31 රෑට මොකෑ කරන්නෙ ?

Posted by දුමී

මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩිමල් වෙච්චි මටත් අනිත් අයටත් පොඩි කාලෙදි මේ නත්තල් අසිරිය විඳින්න ලැබුනේ මේ නිසා. මොකද ලකී මල්ලිගේ උපන්දිනය දවසට, අපි බෞද්ධයෝ උනත් ඒ ගොල්ලන්ගේ ගෙදර නත්තල් ගහක් වරදින්නෙ නැතිවම තිබ්බා.

ඊටත් වඩා කොහොමත් මේ දෙසැම්බර් මාසේ කියන්නෙ අවුරුද්දේ මම කැමතිම මාසේ. මේ මාසෙත් එක්ක රැඳිලා තියෙන උත්සව සිරියටත්, හැම තැනින්ම අහන්න ලැබෙන නත්තල් කැරොල් වලටත් හැමදේම අළුත් විදිහට පටන් ගන්න හිතාගෙන එළඹෙන අළුත් අවුරුද්දත් නිසා දෙසැම්බර් මාසෙට මම හැමදාමත් ආසයි.

අනික ඉතින් ජොලිම දේ තමයි, පාටි පාටි සහ පාටි. ගොඩක් වෙලාවට ලංකාවෙ ඉන්නකොට නම් කම්පැනි වල ක්‍රිස්මස් පාටියි, ඒ වගේම නත්තල් වලට කලින් ලැබෙන බෝනසුයි, තව යාළුවන්ගේ ගෙවල් වලින් ලැබෙන ඉන්විටේෂනුයි ඉවරයක් නෑ.

පස්සෙ කාලෙකදි බෑන්ඩ් එකකට සෙට් වෙලා ඉන්නකොට නම් දෙසැම්බර් කියන්නෙ හුස්මක් කටක් ගන්නවත් බැරි කාලයක්. එක දිගටම අර ඩාන්ස් මේ ඩාන්ස්, තර්ටි ෆස්ට් නයිට් , ක්‍රිස්මස් පාටි දවල් රෑ දෙකේම. ඔය වගේ පාටි වලට ගියාම මරු මරු අත්දැකීම ලැබෙනවා ඉතින්. ගොඩක්ම කරදර කාරයෝ තමයි සින්දුවක් කියන්න ඉල්ලගෙන පෝලිමේ එන සෙට් එක. කරටි කැඩෙන්න සප්පායම් වෙලා ඇවිත් මයික් එක අරගෙන අපිවත් එක්ක නාවනවා. සින්දු කියන්න දෙන්න බෑ කිව්වොත් වලියට එනවා. අනේ ඉතින් මග හිටියොත් තා නසී, ගෙදර ගියොත් ඒත් තා නසී.

ඔන්න ඔහොම අපි ප්ලේ කරපු, තරු පන්තියේ හෝටලේක තිබිච්ච පොෂ් ක්‍රිස්මස් පාටියක හරි අපූරු රැෆල් එකක් තිබුනා. අර සාමාන්‍යය විදිහටම ඇතුල් වෙන ටිකට් එක තෝරලා තෑගි දුන්න වගේම එක විශේෂ තෑග්ගක් දුන්නා හරි අපූරු ක්‍රමේකට. මේ පාටි එක කම්පියර් කලේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක්. සමහර වෙලාවට එයත් මේ සිංහල බ්ලොග් කියවන්න පුළුවන් නිසා මම නම සඳහන් කරන්නෙ නෑ.

මේ විශේෂ තෑග්ග විදිහට දුන්නේ, ඒ කාලේ, ඒ කියන්නෙ 1996-97 වගේ කාලේ ආපු අළුත්ම පත සයිස් සෝනි ටී.වී එකක්. ඔන්න ඉතින් වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඇත්තටම බැලුවොත් මේ ටී.එක තිබුනේ විකුණන්න. හැබැයි ගන්න කෙනා නියම කරන මුදල හරියටම ගෙවලා මේක ගන්න ඕනෙ. වැඩි වටිනාකමක් තියෙන මුදලක් දීලා මේක ගන්න බෑ. ඔන්න ඕක තමයි කොන්දේසිය.

කීයද දන්නවද ටී.වී එකට නියම කල මුදල.

හරියටම "සතයයි"....

ගන්න කෙනා හරියටම සතේ දීලා ටී.වී එක ගන්න ඕනේ. සත දෙකක් දීලවත් ගන්න බෑ. හරියටම සතයක්ම දෙන්න ඕනෙ.

අනේ ඉතින් බලන්න ලස්සනයි. පාටි එකට ඇවිත් හිටිය පොෂ් නෝනලා තමන්ගේ දිලිසෙන රත්තරන් පාට පර්ස් මේසෙට හලනවා සතයක් හොයන්න. මහත්තුරුත් අර වැඩි පුර කොල පුරෝගෙන ඉන්න පර්ස් එහාට පෙරලනවා, මෙහාට පෙරලනවා. සතේ කාසියක් හොයන්න. හොඳටම කේන්ති ගිය තව නෝනා කෙනෙක් තමන්ගේ මහත්තයට ඔරවගෙන ඉඳලා හිමිහිට බනිනවා,

"මොනවද මිනිහෝ, තමුසෙ ගාව සතයක්වත් නැද්ද ඕයි ?" කියලා අහලා........

ඔන්න ඔය විදිහට විනාඩි 15ක් 20ක් ගියත් මේ පොෂ් පාටියේ කිසි කෙනෙක් ගාව සතයක් වත් නෑ......

අනේ අර කම්පියර් කරන මහත්තයක් කට්ටියගේ රෙදි ගැලවෙන්නම දෙනවා ගේම.

"බලන්න නෝනා වරුනි මහත්වරුනි, කොච්චර තරු පහේ හෝටල් වලට කන්න බොන්න ආවත්, තමුන් නාන්සේලගේ අතේ සතේ නෑනේ......." කියලා.

ඔන්න ඉතින් සතේ වැඩේ හරියන්නෙ නෑ. ඊට පස්සෙ ටී.වී එකේ ගාන, සත දෙකක් කලා. ඒත් සත දෙකේ කාසියක් තියෙන එක්කෙනෙක්වත් නෑ. ඔන්න ඊට පස්සෙ සත පහ කලා. ඒත් නෑ. සත දහය කලා. කොහෙද ? අන්තිමට ටී.වී එකේ ගාණ සත විසි පහක් කරපු ගමන් මෙන්න බොලේ කට්ටිය 10ක් විතර දුවගෙන එනවා. කොහොමත් ඉස්සෙල්ලාම සත විසිපහ අරගෙන ආපු කෙනාට ගොඩක් කට්ටිය හූල්ලන අතරේ අතරේ ටී.වී එක හම්බ උනා.

එදා ඉඳන් මම පර්ස් එකේ සතේ කාසියක් තියාගෙන ඉන්නවා. ඒත් කරුමේ කියන්නෙ අද වෙනකන් සතේට ටී.වී එකක් නම් ලැබුනේ නෑ.

මට මේ ලඟදි තවත් කතාවක් අහන්න ලැබුනා මාත් එක්ක වැඩ කරන ඩේවිඩ් කියලා ඉන්දියන් කාරයෙක්ගෙන්. ඇත්තටම අපේ කම්පැනි එකේ සපෝට් ඩෙස්ක් එකේ මැනේජර් කාරය තමයි පොර. ඔය තරිටි ෆස්ට් නයිට් වලදි කරන ඩ්‍රින්ක්ස් ගැනිල්ල ගැන කතා කරනකොට තමයි ඔය කතාව ඔන්න ඔහොම ඇදිලා ආවේ.

අර මම කලින් කිව්ව පාටි එක වගේම තිබිච්ච 31ස්ට් නයිට් පාටි එකක කම්පියර් කරලා තියෙන්නේ කම්පියර් නෝනා කෙනෙක්. අනේ ඉතින් හැමෝම දන්නවනේ. මේ පිරිමි අපි වගේ නෙමෙයි ඔය ගෑනු කට්ටියගේ සිතුම් පැතුම්. අපි නම් ඉතින් ඔය පාටියකට ගියාම එකක් දෙකක් සප්පායම් වෙන ගමන් සින්දුවක් කියලා නටලා පොඩි ජොලියක් දාන්නනේ හදන්නෙ. හැබැයි ඉතින් නෝනලා ඔය වගේ 31ස්ට් නයිට් වගේ වෙලාවලදි පොඩ්ඩක් රොමෑන්ටික් වෙනවා.

ඒ වගේම තමයි අපේ මේ කම්පියර් නෝනත් පාටියට පොඩි රොමෑන්ටික් ගතියක් එක්කරන්න කියලා හිතලා මෙන්න මෙහෙම කියනවා.

"අපේ සියළුම මහත්වරුනි......! මේ අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියන වෙලාවෙ, ඔය මහත්තුරුන්ව පහුගිය අවුරුද්ද පුරාවටම උණුසුම් කරපු, ආදරෙන් බලාගත්තු, ජීවිතේට සතුටක් ගෙනාපු එක්කෙනාව අතින් අල්ලගෙන මේ ඩාන්සින් ෆ්ලෝ එකට එන්න......"

අනේ ඔන්න ඉතින් වැඩි වෙලාවක් ගියේ නෑ මුළු පාටියේම හිටපු පිරිමි ටික ඩාන්සින් ෆ්ලෝ එකේ.

නිකන්ම නෙමෙයි. තමන්ගේ අතින් තමන්ගේ විස්කි වීදුරුව හරි බ්‍රැන්ඩි වීදුරුව හරි අල්ලගෙන.

කම්පියර් නෝනටත් වැඩේ චකබ්ලාස් උනා කියලා තේරුනත්, ඒ වගක් පෙන්නනෙ නැතිව ඔන්න ආයෙමත් කියනවා.

"නෑ නෑ, මම කියපු එක අපේ මහත්වරුන්ට හරියට තේරිලා නෑ වගේ...."

"හරි ඔන්න එහෙනම්, දැන් මේ මහත්වරු ගිහිල්ලා මේ පාටියේ ඉන්න තමාට වටිනාම එක්කෙනාව හොඳට බදාගෙන කිස් එකක් දෙන්න.....!"

අනේ ඊට පස්සෙ දකින්න ලැබිලා තියෙන්නෙ අර ටේබල් වලට විස්කි සර්ව් කර කර ඉන්න වේටර් කොල්ලෝ ටික මුළු හෝල් එක පුරාම දුවන සීන් එකක්. මොකද ඔක්කොම මහත්තුරු වේටර් කොල්ලන්ව අල්ලගෙන ඉඹින්න පොරකනවා.

පහුවෙනිදා මළ ගෙවල් කීයක් තිබුනද කියල නම් කවුරුවත් දැනගෙන ඉඳලා නෑ.

අපි කවුරුත් කැමතියි අළුත් අවුරුද්ද අළුත් විදිහට සමරන්න. මෙහේ එමිරේට්ස් එයාර්ලයින්ස්වල අයි.ටී ඩිවිෂන් එකේ වැඩකරන අපේ කණිශ්කත් පහුගිය දෙසැම්බර් 31 අළුත්ම විදිහට අළුත් අවුරුද්ද සැමරුවා.

එයාර්ලයින් වල වැඩ කරන කට්ටියට විශේෂ අඩු ගාණට (සාමාන්‍යය ගාණෙන් 10% කට ) ටිකට් ගන්න පුළුවන් නිසා ඒ ගොල්ලන්ට හැම වීක් එන්ඩ් එකේම උනත් ලංකාවට ඇවිල්ල උනත් යන්න පුළුවන්. හරියට අර කොළඹ වැඩකරන පිට පලාත්වලින් ආපු අය සිකුරාද හවසට ගමේ යනවා වගේ.

ඔන්න ඉතින් අපේ කණිශ්කත් හිතුවා, හුඟ දවසකින් ලංකාවට යන්නත් බැරිවෙච්ච එකේ, මේ පාර දෙසැම්බර් 31 වෙනිදා ලංකාවෙ ගත කරලා ෆුල් ජොලියක් දාලා ජනවාරි 1 වෙනිදා ආපහු එන්න. මොකද ජනවාරි 2 වෙනිදා ඉඳන් තමයි මෙහේ වැඩ පටන් ගන්නෙ.

2011 දෙසැම්බර් 31 වෙනිදා වැටුනේ සෙනසුරාදා දවසකනේ. කොහොමත් ජනවාරි 1 වෙනිදා මෙහේ නිවාඩු දවසක් නිසත්, ඔන්න ඉතින් අපේ කණිශ්කත් බ්‍රහස්පතින්දා වැඩ ඉවරවෙලා, එදා රෑම ලංකාවට ඇවිත්, 30 වෙනි සිකුරාදා තමයි ගොඩ බැහැලා තියෙන්නෙ. ඔන්න ගොඩ බැහැපු ගමන් මහන්සිය යන්නත් එක්ක පොඩ්ඩක් නිදාගෙන ඉඳලා කාරිය, හවස් වෙලා මෝටර් බයිසිකලේට නැගලා ගිහින් තියෙන්නෙ තමන්ගේ යාළු මිත්‍රයෝ ටික මුන ගැහිලා 31ස්ට් නයිට් ජොලියක් ගන්න විදිහ ගැන පොඩි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න කියලා තමයි.

ඒ ගිහිනුත් නිකං ඉඳලා නෑ. කාලෙකට පස්සෙ මුන ගැහිච්ච සන්තෝසෙට යාළුවොත් එක්ක පොඩ්ඩක් බියර් කෑන් දෙක තුනකින් එහෙන් මෙහෙන් සප්පයම් උනා කියලා තමයි කියන්නෙ. අනේ ඉතින් ගොම්මන් ජාමේ වෙනකන් ඔහොම පොඩි සොමියක් අරගෙන කණිෂ්ක තව යාළුවෙකුත් බයිසිකලේ දාගෙන ඇවිත් තියෙන්නෙ ගෙදර යන්න කියලා. අනේ මේ ගේ පේන නොපෙනෙන හරියෙදි බයික් එකට අත දාල තියෙන්නෙ කවුද, අපේ සත්ගුණවත් පොලිස් රාළහාමිලා දෙන්නෙක්.

ලංකාවෙ පොලිස් රාළහාමිලාත් ඉතින් හරි දස්සයිනේ බීලාද නැද්ද කියලා හොයන්න. ඒ ගොල්ලන්ට ඉතින් බැළුන් ඕනෙ නෑනේ ඔය වැඩේට. කොහොමෙන් කොහොම හරි බයිසිකලේ පැදගෙන ආපු කණිශ්ක බීලා ඩ්‍රයිව් කරලා දැන් පොලීසියට මාට්ටු. කොච්චර සැරෙන් කිව්වත්, තදින් කිව්වත් බැරිම තැන දණ ගහලා වැඳලා කිව්වත් අර පොලිස් රාලහාමිලා නෙමෙයි කනකට අරගෙන තියෙන්නෙ. බයිසිකලෙයි කණිශ්කයි කෙලින්ම පොලීසියේ.

අනේ ඉතින් 31 වෙනිදට බැළුන් බෝල පුම්ම්බලා ගෙදර සරසන්න කියලා හිතාගෙන ගිය කණිශ්කට පොලීසියෙන්ම බැළුමක් දීලා පුම්බන්න කියලා. බැළුමත් ඔය යස අගේට කොළ පාට වෙන්නෙ. අනේ ඉතින් සොරිම සොරි තමයි.

බැළුම පුම්බලා කොළ පාට උනාට පස්සෙ ආයේ ඉතින් ඉතින් වැඩේ නවතින්නෙ උසාවි දාලා දඩ ගහලා තමයි. අම්ම මුත්තා කිව්වත් සිස්ටම් එක හදලා තියෙන්නෙ ඉතින් ඒ විදිහට. මොකද නැත්නම් කොහොමද ඔය උසාවි වල ඉන්න අබ්බගාත් නෝනා මහත්වරු කීයක් හරි හොයා ගන්නෙ.

අපේ කණිශ්ක බීලා මාට්ටු උනේ සිකුරාදා හැන්දෑවෙ. ආපහු උසාවි වැඩ කරන්නෙ සඳුදා. ඒ කියන්නෙ 2 වෙනිදා.

ඉතින් 31ස්ට් නයිට ජොලියෙන් ගත කරන්න කියලා ලංකාව ආපු අපේ කණිශ්ක දැන් පොලිස් කූඩුවේ.

පොලීසියේ මහත්තුරු කොච්චර කරුණාවන්තද කියනවනම්, 31 වෙනිදා රෑ කණිශ්කව පොඩ්ඩක් එළියට අරගෙන රතිඤ්ඤා කරල් දෙක තුනක් දීලා පත්තු කරන්න කියලා. ඒක පත්තු කරලා ඉවර උනාම ආපහු කූඩුවට දාලා.

කොහොමෙන් කොහොම හරි ජනවාරි පලවෙනිදත් උදේට පොලීසියෙන්ම කිරි බත් කාලා එදා රෑත් කූඩුවේම රෑ ගත කරලා.

ඔන්න ඉතින් ජනවාරි 2 දෙවෙනිදා උසාවි දැම්මට පස්සෙ රුපියල් 5000ක් දඩ ගෙවල.

ඊට පස්සෙ කෙලින්ම උසාවියෙන්ම එයාර්පෝට් ඇවිල්ලා අනිත් පැත්තට ඩුබායි ඇවිල්ලා

ඔන්න ඔහොමයි අපේ කණිශ්ක පසුගිය අළුත් අවුරුද්ද ජොලියෙන් ගත කලේ..









ප.ලි: ලැබිච්ච අළුත්ම ආරංචියකට අනුව කණිශ්ක මේ සැරෙත් 31ස්ට් නයිට් එක ගත කරන්න ලංකාවට යන්නලු ඉන්නෙ. ආපහු හිරේ යන්නත් ආසයිලු.



පින්තූර ගත්තෙ මෙතනින් - http://www.timeanddate.com/holidays/common/new-year-eve

අලි බැලිල්ල සහ වෙඩි බැලිල්ල.....

Posted by දුමී

එදා මල් වෙඩි තිබුනේ මෙන්න මෙහෙම.
මේ දවස් වෙනකොට 31 රෑට මොකෑ කරන්නෙ කියන පුරස්නේ ගොඩක් යාළුවෝ අහන්න පටන් අරගෙන. වඩා වැඩි වෙනසක් වෙන එකක් නැහ ඕං. වෙනදා වගේම කට්ටිය කොහේ හරි සෙට් වෙලා ඇඟපත රත් කර ගන්න ගමන්ම, සින්දුවක් කියලා, කට්ටියට කට්ටිය විශ් කොරාගෙන, ඒ වගේම කරටි කඩාගෙන අළුත් අවුරුද්දට පිය නගයි.

අර කිව්වත් වගේ ගොඩක් වෙලාවට ඉතින් අවුරුද්ද පටන් ගන්නෙ කරටි කඩාගෙන තමයි. ජනවාරි පළවෙනිදට UAE ආණ්ඩුවෙන්ම නිවාඩුත් දීලා තියෙන්නේ කලින් දවසේ ඇඟේ පතේ අමාරුව හරියනකං ටිකක් වැඩියෙන් නිදාගන්න ඕනෙ හින්දම තමයි.

දැනට අවුරුදු දෙකකට කලින් ඔය පුරුද්දේ පොඩි වෙනසක් උනා එක පාරටම. වෙනදට කරටි කඩාගන්න අපි එදා තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා. ඒක උනේ මෙන්න මෙහෙමයි.

බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි අපේ දීපානි දොස්තර නෝනා. අර අලින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නේ. නෑ නෑ, සිරිකොතේ අලි නෙමෙයි, උඩවලවේ අලි.

අපි ඉතින් දීපානි දොස්තර නෝනට කියන්නෙ ඩී කියලනනේ. එහෙම තමයි එයා කමෙන්ට් එකක් කාරිය එහෙම කොටන්නෙ.ඔය උඩ වලවේ පැත්තේ හැම අලියෙක්වම ඩී හොඳට අඳුනනවා වගේම උඩවලවේ අලිත් ඩී දොස්තර නෝනවා හොඳට අඳුනනවා.

කාලයක් ඒ පැත්තේ ගොවියෝ වගා කරන බඩ ඉරුඟු කරලක් දෙකක් කාලා සාමෙන්, ජොලියෙන් හිටපු අලි සැට් එක දැන් තිබ්බටු කන්න පුරුදු පුහුණු වෙනවලු මේ දවස්වල මොකද ඩී දොස්තර නෝනා සහ ගැන්සිය ගොවියන් ලව්වා බඩ ඉරුඟු වෙනුවට තිබ්බටු වගා කරවනවා.

බ්ලොග් එකක් නොලිව්වත් බ්ලොග් රසිකාවියක් විදිහට ගොඩක් බ්ලොග් වලට ගොඩ වැදිලා කමෙන්ට් එකක් දෙකක් කොටලා යන එක ඩීගේ පුරුද්දක් තමයි. ඔන්න බොලේ 2011 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා ඩී මූණු පොත හරහා මැසේජ් එකක් එවලා තිබුනා,

"අනේ අලි බලන එක හරියට බලි බලනවා වගේ වැඩක්. හරිම ඒකාකාරියි. ඒ නිසා ඔටුවෝ ටිකක් වත් බලා කියාගෙන යන්න ඩුබායි පැත්තේ එනවා....." කියල. ඒ ආවහම ඔටුවෝ බැලුවත් බලි බලන්නැතිව යන්න බෑනේ. ඒක නිසා අපේ දුකාවයි, මාවයිත් බලන්නත් එනවා කියලා.

කොහොමත් සතියකට කලින් ඩුබායි හන්දියට ආවත් මටයි දුකාටයි අපොයින්ට්මන්ට් එක ලැබුනේ 2010, දෙසැම්බර් 31 වෙනිදා උදේට. ඒත් එක කොන්දේසියක් එක්ක. ඒ තමයි 31 දා රෑට 'බර්ජ් කලීෆා' (ලෝකේ උසම බිල්ඩින් එක ) ගාව තියෙන මල් වෙඩි බලන්න එක්කගෙන යන පොරොන්දුව පිට. අයියෝ හරි සිම්පල් දෙයක්නේ කියලා අපිත් එකඟ උනා.

ඔන්න ප්ලෑන් කලා වගේම උදෙන්ම ඩීව ඩුබායි හන්දියෙන් පික් කරගෙන දුකා ඉන්න අබුඩාබි වලට ගියා. දවල් කෑම දුකා හාමිනේ ගානේ. ගෙදර ඉඳන් ලන්ච් ගන්න එක ඇඟට හරි මදි මදි වගේ හින්දා ඔන්න දුකා යෝජනාවක් ගෙනාවා පොඩි එවුනුත් ඉන්න නිසා ඒ ලඟ පාතක තිබිච්ච සත්තු වත්තක් බලන්න යමු කියලා. ඩීත් වැඩිය අදි මදි කරන්නෙ නැතිව එකඟ උනා.

පස්සෙ තමයි තේරුනේ ඩීව සත්තු වත්තට එක්කගෙන ගිය එක නිකං අර උදේ-හවා මුහුදු යන මාළු කාරයෙක්ව බේරේ වැවේ බෝට් රයිඩ් එකක් එක්කගෙන ගියා වගේ කියලා.....”

වැඩි විශේෂ දෙයක් සූ(z) එකේදි උනේ නැහැ. උනේ නැත්තෙත් නෑ. වෙච්ච එකම සිද්ධිය තමයි අපි දවල් කෑම කනකොට ඒ ලඟ හිටිය මැකෝ ගිරව් ටිකක් ගිරිය යටින් කෑ ගහන්න පටන් ගත්ත එක. උන් කෑ ගහන්නෙ මොකද කියලා බලනකොට තමයි රඟේ තේරුනේ. දුකා හාමිනේ කන්ටේනර් එකක් පිරෙන්න තම්බපු බිත්තර ගෙනත්. උන්ගේ කූඩුව ඉස්සරහින් වාඩිවෙලා අපි ඒ බිත්තර කනකොට උන්ට මොනවා නම් හිතෙන්න ඇත්ද?

ඔන්න ඉතින් හවස් වෙනකං සූ(z) එකේ ඇවිදලා කරලා එහෙම කට්ටිය ආපහු ඩුබායි එන්න පිටත් උනා. දැන් ඉතින් ප්ලෑන් එක තමයි ටිකක් වේලාසනින් ‘බර්ජ් කලීෆා’ එක ගාවට යන්න මොකද හොඳ ස්පොට් එකක් අල්ලගන්නත් එපැයි. කාර් වල ඔතනට යනවා කියන්නෙ එලිවෙනකං පාරෙ ඉන්නවෙන සීන් එකක් නිසා කට්ටිය ප්ලෑන් කලේ කාර් ටික ඩුබායි ඉන්ටනෙට් සිටි එකේ අපේ ඔෆිස් එක ගාවින් පාක් කරලා මෙට්‍රෝ කෝච්චියේ ගිහින් බර්ජ් කලීෆා එක ගාවින්ම බැහැලා මල් වෙඩි බලලා ආපහු කෝච්චියේ ඇවිත් කාර් ටික අරගෙන යන්න.

ඔන්න ප්ලෑන ගහපු විදිහටම මෙට්‍රෝ කෝච්චියේ නැගලා ගිහින් බැස්ස 'බර්ජ් කලීෆා' මෙට්‍රෝ ස්ටේෂන් එකෙන්. ඒ වෙනකොටත් සෙනග පිරෙන්නෙ පටන් අරගෙන. කොහොම හරි රෑ 10.30 වෙනකොට 'බර්ජ්' එක පේන මානෙන් බිත්ති කණ්ඩියක් හොයාගෙන වාඩි උනා. ටික වෙලාවක් යනකොට වටා පිටාව එකම මිනිස් ගොඩක්.

ඒ වෙනකොට අපේ ගම හාමිනේ අපේ බාල කෙළි පොඩ්ඩිව ලැබෙන්න ඉන්න කාලේ. බඩට මාස 6 පිරුනා විතරයි. අනේ ඉතින් කට්ටිය ඉන්නව දත කට පූට්ටු කරගෙන සීතලේ ගැහි ගැහී. වෙනදා මේ වෙනකොට වීදුරු පුරවගෙන සින්දු කියන අපි අද බිත්ති කණ්ඩියක් උඩ වාඩි වෙලා හීතලේ ගැහි ගැහි මල් වෙඩි පත්තු කරනකං හූල්ලනවා....!

අනේද කියන්නෙ පැය එකහමාරකට විතර පස්සෙ හරියටම 11.58ට පටන් ගත්තා නේද මල් වෙඩි. ලස්සනේ බැරුවා. උඩ බලං ඉඳලා බෙල්ලත් උළුක් වෙන්න වගේ. උසම බිල්ඩිම මුදුනටත් උඩින්නේ මල් වෙඩි පත්තු වෙන්නෙ. අනේ ඉතින් මල් වෙඩි වරුසාව හරියටම තිබුනා විනාඩි 3ක්. හරියටම 12.01 ට බඩු ඉවරයි. දුම විතරයි.

ඔන්න ඉතින් මල් වෙඩි ඉවර උනා විතරයි මෙච්චර වෙලාවක්, පැය ගාණක් තිස්සේ වට පිටාවට පිරුණු මිනිස් ගංගාවටම එක පාරටම ගෙවල් දොරවල් මතක් වෙලා. මෙහේ ඉතින් එළිවෙනකං ඉන්න පුළුවන් 'ගෝල් ෆේස්' එකක් වත් තියෙන එකක් යෑ. ඔන්න බොලේ මිනිස්සු සුනාමියක් එනවා වගේ ඇදෙනවා මෙට්‍රෝ ස්ටේෂන් එක දිහාවට. ඈත ඉඳන්ම පේන්නේ ස්ට්‍රේෂන් එක වටේට කිලෝ මීටරයක් විතර වට ප්‍රමාණයට මිනිස්සු පොරකනවා.

අනේ ඉතින් හරි සනීපයි. දැන් ඉතින් මෙච්චර වෙලා නට නටා හිටපු පොඩි එවුනුත් නිදි කිරා වැටෙනවා. දුකාගේ සොඳුරු ත්‍රස්තවාදියයි, මගේ නෝටි බබයි දැන් අපේ කරවල් සොඳුරු නිදි යහන් කරගෙන. ඒ අස්සෙ බඩ දරු ගම හාමිනේ මගේ අතේ එල්ලිලා. ලොකු කෙල්ලත් නිදි කිරා වැටෙනවා.

හොඳ හොඳ උපමාත් මතක් වෙන්නෙ මේ වෙලාවටනේ. ඒ අස්සෙ මතක් උනේ අර ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ කියලා තිබිච්ච කතාවක්. ඇවිද්දොත් මෙතනම කකුල් කීයක්ද කියලා හිතාගෙන ඔන්න අපි පටන් ගත්තා කිලෝ මීටර් 1 1/2 විතර දුරින් තියෙන අනිත් ස්ටේෂමට පයින් යනවා කියලා. පැයක් හමාරක් ගෑටුවට පස්සෙ යන්තන් ඒ ස්ටේෂමටත් ආවා. අපි විතරක්ම නෙමෙයිනේ පයින් ගිහින් තියෙන්නෙ. තවත් දාස් ගාණකට අපිට වගේම ඒ උපමාවම මතක් වෙලා අපිට කලින් ඒ ස්ටේෂන් එක ලඟටත් ඇවිත් පොර කනවා.

එදා මල් වෙඩි වලින් පස්සෙ මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුලේ මිනිස්සු පොරකාපු හැටි. 
පින්තූරෙ ගත්තෙ මෙතනින්.
http://dubaimetro.eu/transportation/6691/midnight-mayhem-on-new-years-eve


මේ හිරවිල්ල අස්සේ බඩදරු අම්මා කෙනෙක්ව මොන හිතකින් අරගෙන යන්නද. ඒත් අපේ ගම හාමිනේ සැළුනේ නෑ. දුමියානනි බිය නොවන්න. කෝච්චියේ යන සැටි මම පෙන්නන්නම් කියලා මාවත් ඇදගෙන පෝලිම සෙට් වෙලා කොහොම හරි තල්ලු කරගෙන දැන් කට්ටිය යාන්තන් දොරෙන් ඇතුළු උනා. කට්ටිය එක පොදියට පොර කනවා. මම ඉතින් ගම හාමිනේවත් ඉස්සර කරගෙන, නෝටි බබාවත් කරේ තියාගෙන තල්ලු කරන මිනිස්සුන්ටත් මරිසිය දාගෙන හෙන යුද්දේ. මම ඉතින් “She is pregnant, She is pregnant” කිය කියා කට්ටියව එහෙට මෙහෙට කරගෙන ඉඩ අරගන්නවා.

ඒ අතරේ මට ඇහෙනවා, “What the hell you do in a metro station then ? Take her to a maternity clinic...!” (තමුසෙලා මොන රෙද්දක්ද ස්ටේෂන් එකේ කරන්නෙ. මෙයාව ගර්භනී සායනයකට එක්ක පලයන්...)

කියලා එකෙක් කියනවා. හොම්ම්බට දෙකක් අනින්න හිතුවත් මගේ අත් දෙකම ඒ වෙනකොට බිසී නිසත්, ඌ කිව්වෙ ඇත්තක් නිසත් මම ඇහුනේ නෑ වගේ හිටියා.

ඊට පස්සෙ පොඩ්ඩක් පස්ස හැරිලා බලනකොට මෙන්න බොලේ ඩී ඉන්නවා බිත්තියක ඇලවිලා ස්ටිකර් එකක් වගේ.මෙච්චර මේ අලිත් එක්ක හුරතල් වෙන දොස්තර නෝනා, ඩුබායි ඇවිල්ල මෙට්‍රෝ ස්ට්‍රේෂන් එකක බිත්තියේ බිත්ති රූපයක් වගේ තෙරපිලා මැරුනොත් ලංකාවට හොඳ නෑනේ කියලා ඇදලා ගත්තා කොහොම හරි එයාවත් යන්තං පාද ගත්ත පොඩි ඉඩක් ඇතුලට.

අනේ ඉතින් ඔහොම චාටර් වෙලා වෙලා ආපු කෝච්චියක නැගලා ගිහිල්ලා කාර් ටිකත් අරගෙන ගෙදර යනකොට උදේ 5 ටත් ලඟයිද කොහෙද. ඒ තර්ටිෆස්ට් නයිට් එක අවුරුදු ගාණකට පස්සෙ ගෙවිලා ගියේ අමුම අමුවෙන්.

කොහොමෙන් කොහොම හරි මේ පහුගිය දෙසැම්බර් 31 වෙනිදාත් ආව කියමුකෝ. අපි එදා නම් හිටියේ ගෙදර.සැටියේ වාඩි වෙලා, විස්කි වඩියක් ගහන අතරෙම ටී වී එකෙන් බර්ජ් කලීෆා එකේ මල් වෙඩි සංදර්ශණේ සජීවීව බලනකොට ඇස් දෙකට කඳුලු පිරුණා....

“අනේ අපරාදේ, ඩී හිටියනම් මේ පාරත් අපිව මල් වෙඩි බලන්න එක්ක යනවනේ කියලා.....!”



මංගල ගැහිල්ල....!

Posted by දුමී


දෙදාස් දොලහා ලැබුවේ මේ ඊයේ පෙරේදා වගේ. ඒත් හරියට නිකං හුළං ගිය බැළුමක් වගේ ඇඟට පතට නොදැනීම මේ අවුරුද්දත් ගෙවිලා යන්න තව පොඩි කාලයයි ඕං තියෙන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා ලෝකෙ විනාස උනේ නැති නම් අපිට මේ දෙසැම්බර් 31 රෑටත්වෙනදා වගේම පොඩි ජොලියක් දාලා 2013 අවුරුද්දට යන්න පුළුවං වෙයි ඕං. ඉස්සර අපි ඇට්ටර කාලෙදි නම් ඉතින් 31 වෙනිදා වෙනකං හිටියේ රෑ දොළහට නැගිටලා රතිඤ්ඤා වැලක් පත්තු කරලා, අහස් ගුණ්ඩුවක් දෙකක් යවලා ගිණි රාමෙට අවුරුද්ද පිළි ගන්න තමයි. ඔන්න ටිකක් කරදඬු ඇදිලා පැදිලා එනකොට ගිණි රාමෙට රත් වෙන්න රතිඤ්ඤා, අහස් ගුණ්ඩු විතරක්ම මදි වෙනවා.

එක කාලයක් තිබුනා තිර්ටි ෆස්ට් එනකන් මාස ගණන් කර කර ඉන්නේ ගතමනාවක් හොයාගන්න.ඒ බෑන්ඩ් ගහන කාලේ. ඒ මොකද සාමාන්‍යයෙන් තර්ටි ෆස්ට් නයිට් ඩාන්ස් එකකට බෑන්ඩ් එකක් සාමාන්‍යය ගාණට වඩා තුන් හතර ගුණයක් චාර්ජ් කරනවා.

මම කියලා තියෙනවනේ මට ඔය මියුසික් උණ ඔළුවට ගහලා තිබුනේ යන්තන් ඕ.ලෙවල් කරන කාලෙට පොඩ්ඩක් කලින් කියලා. ඔන්න ඉතින් ඕ.ලෙවල් විභාගෙත් කරලා ගෙදර හිටපු ජොලිම ජොලි සංක්‍රාන්ති සමයෙදි තමයි ඔය හතර වටේ හිටපු තව කොල්ලෝ ටිකකුත් එක්කාසු කරගෙන ඉස් ඉස්සෙල්ලාම බෑන්ඩ් එකක් පටන් ගත්තෙ. බොක්ස් ගිටාර් කටු දෙක තුනකුයි, එක්ස් රේ කොල රීප්ප පටි ෆ්‍රේම් වලට ගහලා හදා ගත්ත ඩ්‍රම් සෙට් එකකුයි එක්ක ඔන්න ඉතින් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්න කට්ටිය එනවා අපේ ගෙදර. ප්‍රැක්ටිස් කරන්නෙ ඉතින් මගේ කාමරේ තමයි.

ඔය කාලෙම වගේ තමයි අර පත්තරේ කතාවක් ගියේ ACDC ලගේ හෙවි-මෙටල් සින්දු අහලා නුවර පැත්තෙ කොල්ලෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි පිහියෙන් ඇනලා මරලා දාලා තිබුනා කියලා. කොහොමෙන් කොහොම හරි අපි බෑන්ඩ් ප්‍රැක්ටිස් පටන් අරගෙන මාසයක් දෙකක් ගියෙ නෑ ඔන්න ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් පාරෙ ගිය කාටද කවුදෝ පිහියෙන් ඇනලා මරලා දාලා තියෙනවා කියලා. එදායින් පස්සෙ අපි පොඩ්ඩක් සද්දේ අඩුවෙන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. ඒත් පස්සෙ තවත් ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න හරිම සන්තෝසෙන් ජීවත් වෙච්ච අහිංසක අංකල් කෙනෙක් එයාගේ වයිෆ්ගේ සාරියකින් ෆෑන් එකේ එල්ලිලා මැරිලා කියලා. ඒත් ඉතින් අපි සැලුනේ නෑ. බාධක කම්කොටලු මැද දිගටම බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල කරගෙන ගියා.

කොහොමෙන් කොහොම හරි ඔය කාලේ අපේ ගෙදර කට්ටියට රේඩියෝ එකේ හරි ටී.වී එකේ හරි සින්දුවක් ගියත් මල පනිනවා. අද උනත් අපේ ගෙදර කට්ටියගෙයි අහල පහල ගෙවල් වල අයගෙයි රසඥ්ඥතාවය නැත්තටම නැති වෙන්න අපේ මේ බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල හේතුවක් උනා කියලා තමයි නම් මට හිතෙන්නෙ.

කොහොම හරි මාස ගාණක් ප්‍රැක්ටිස් කරලා සින්දු දහයක් පහලොවක් අමාරුවෙන් ගහගන්න පුළුවන් කාලේ යාළුවෙක් හරි අපූරු යෝජනවාක් අරගෙන ආවා. ඔය බෙන්තර පැත්තේ මුල්ලක තියෙන හෝටලේක තර්ටි ෆස්ට් නයිට් ගහන්න හිටපු බෑන්ඩ් එකට වෙන බූකින්ග් එකක් වැඩි ගාණකට හම්බ වෙලාද කොහෙද හෝටලේට පොල්ල තියලා. දැන් හෝටලෙන් බෙල්ල කඩාගෙන තර්ටි ෆස්ට් නයිට් ගහන්න බෑන්ඩ් එකක් හොයනවා, ඒ අතරේ කොහෙන් ආරංචි වෙලාද දන්නෙ නෑ අපේ බෑන්ඩ් එකට එදාට ප්ලේ කරන්න පුළුවන්ද අහලා පණිවිඩයක් එවලා. ඉබ්බා දියේ දාන්නද කියලා ඇහුවාම, ඇයි නෑවේ කියලා ඇහුවා වගේ එක පයින් නෙමෙයි, ඔක්කොම පයින් වලින් වැඩේට සෙට් උනා.

කෝකටත් කියලා පොඩ්ඩක් අදි මදි කරලා එහෙම ඔන්න කට්ටිය වැඩේ බාරගත්තා. ඉතින් ගාණකුත් කතා කරගන්න එපැයි. හා හා පුරා කියලා ඉස්සෙල්ලාම ප්ලේ කරන්න යන වැඩේනෙ. කොහොමෙන් කොහොම හරි එක්කෙනෙක්ට රුපියල් 300 ගාණේ බෑන්ඩ් එකේ ඉන්න 7 දෙනාට රුපියල් 2100යි. වැඩේ අල්ලලා දීපු එකාට රුපියල් 400යි. මුළු වැඩේටම 2500 යි. සවුන්ඩ් සිස්ටෙම් එක හෝටලේ ගාණේ. වැඩේ තීන්දුයි. මේ කාලේ 1991, 92 වගේ කාලේ. එක්කෙනෙක්ට රුපියල් 300ක් ලැබෙනවා කියන්නෙ ලොකු දෙයක්. මොකද ඒ කාලේ පාන් ගෙඩියත් රුපියල් 7.00 කට වඩා නෑ මට මතක විදිහට. කළුබෝවිල ඉඳන් නුගේගොඩටට බස් ටිකට් එකත් 1.50යි.

අනේ ඉතින් කට්ටියත් එදා ඉඳන් රැයක් දවාලක් නැතිව අපේ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරනවා. ඔන්න ඉතින් අපි මෙහෙම වැඩකට සෙට් වෙලා ඉන්නෙ කියලා ආරංචිය ලැබිලා බෑන්ඩ් එකේ ඉන්න උන්ගේ අහල පහල යාළුවොයි, අල්ලපු ගෙවල් වල උනුයි, අම්මලයි, තාත්තලයි, මාමලයි, නැන්දලයි පෝලිමේ එනවා ප්‍රැක්ටිස් කරනවා බලන්න. අනේ ඉතින් අපේ අම්මගේ වැඩේ බෑන්ඩ් එකේ ඉන්න උන්ටයි, අපිව බලන්න එන උන්ටයි රැයක් දවාලක් නැතිව තේ වක්කරනවා, දවල්ට කන්න දෙනවා, රෑට කන්න දෙනවා ඉවරයක් නෑ. කොහොම හරි ඒ වෙනකොට අපේ අම්මට බෑන්ඩ් එකේ උන්ටයි, බලන්න එන උන්ටයි කන්න දෙන්නම එක දවසකට රුපියල් 300කට වඩා වියදම යනවා.

ඔන්න ඉතින් 30 වෙනිදාත් ආවා. බෑන්ඩ් එකේ මැණ්ඩලින් එකක් නැති උනත් හැමෝගෙම කකුල් මැණ්ඩලින් ගහන සයිස් එකට ටික ටික වෙවුලන්න අරගෙන ඒ වෙනකොට. ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්මා ඇවිත් මේවා මේ ලේසියට පාසුවට ගන්න ඕන වැඩ නෙමෙයි කියලා කට්ටියවම කුදලෝගෙන එක්කගෙන ගියා කළුබෝවිල පංසලට. ගිහින් බෝධිපූජාවක් එහෙම තියලා හාමුදුරවන්ට කියලා අතේ පිරිත් නූලකුත් බැන්දා.

ඔන්න ඉතින් 31 වෙනිදා උදේ පාන්දරම බෑන්ඩ් එකේ උන් එදා රෑට අඳින ඇඳුම් එහෙමත් ලෑස්ති කරගෙන අපේ ගෙදරට සෙට් උනා. වෙනදා ජනවාරි පළවෙනිදට කිරිබතක් ඉදෙන අපේ ගෙදර 31වෙනිදා උදෙත් කිරිබතක් ඉදිලා. කට්ටියම නමෝ විත්තියෙන් කිරි බත් කාල දකුණු කකුල් ටික ඉස්සර කොරගෙන බස් එකේ නැගලා උදේ 10ට විතර කළුබෝවිලින් පිටත් උනා බෙන්තර යන්න. හවස එක දෙක විතර වෙනකොට යන්තන් බෙන්තරට ඇවිත් හෝටලේ හොයා ගන්න පුළුවන් උනා.

හවස තුන හතර වෙද්දි සවුන්ඩ් කාරයත් ඇවිත් හෝල් එකේ කෙලවරක පොඩි ස්ටේජ් එකක වගේ සවුන්ඩ් ටිකත් හයි කලා. කට්ටිය ඉතින් සවුන්ඩ් හයි කරන කං තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක අත පත ගානවා. මෙච්චර කල් බොක්ස් ගිටාර් වලින් ඇඟිලි පතුරු යනකන් ප්‍රැක්ටිස් කරපු එවුන්ට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ප්ලේ කරනවා කියන්නෙ ත්‍රී වීලර් එලවපු එකෙක්ට ලැම්බොගිනියක් ලැබුනා හා සමානයි. ඔන්න ඉතින් සවුන්ඩ් අයියා ඇවිත් බඩු ටික හයි කරලා දුන්නට පස්සෙ කට්ටිය එකසිය ගාණට පටන් ගන්නවා බඩු ටියුන් කරන්න. එහෙන් කරකවනවා, මෙහෙන් කරකවනා, අතන ඔබනවා, මෙතන ඔබනවා, චෑස්, චීස්, බූස්, ඩොක් ඩොක්, ටික් ටික් ප්‍රීම්, පෲම්, බොහ් බොහ් වගේ සද්ද තමයි ඇහෙන්නෙ. බඩු ටික ටියුන් කරලා එහෙම ඉවර වෙලා කට්ටිය පොඩි සවුන්ඩ් බැලන්ස් එකකුත් බලලා හවස හත අට වෙනකොට වැඩේට සෙට් උනා.

ඔන්න ටිකෙන් ටික හවස් වේගෙන එනකොට සෙනගත් එකා දෙන්නා පිරෙන්නෙ පටන් ගත්තා. දැන් කට්ටියත් නමෝ විත්තියෙන් ලාවට වැඩේ පටන් ගත්තා කියමුකෝ. ඒත් ඉතින් කංකරච්චලේකට වඩා දෙයක් නෑ. හැම එකාටම ඕනෙ උගේ භාණ්ඩේ සද්දේ වැඩියෙන් ගහන්න. ඉතින් එක එකා තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක වැඩි කරගන්නවා. සවුන්ඩ් අයියත් ෆුල් ගේමක් දෙනවා වැඩේ බැලන්ස් කරන්න.

හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙන සින්දු ඒ කියන්නෙ ක්ලැරන්ස්ගේ මලට බඹරෙකු සේ, සිහින ලොවක්, මිල්ටන්ගේ අවසර නැත මට වගේ සින්දු දැන් ගහගෙන යනවා. ඔන්න එක පාරට වේටර් කෙනෙක් ඇවිත් කියනවා,

"මල්ලි, ඉංග්‍රීසි සින්දු ගහන්න කියලා රික්වෙස්ට් එකක් තියෙනවා...."

හුටා, ප්‍රැක්ටිස් කරලා තියෙන්නෙම ඉංග්‍රීසි සින්දු දෙකයි. එකක් එල්ටන් ජෝන්ගේ සැක්‍රිෆයිස්, අනික කන්ට්‍රි රෝඩ්ස්.....! ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට්වින්කල් වගේ ඒවා විතරයි.

අනේ ඉතින් කට්ටිය එකෙන් සැක්‍රිෆස්යිස් ගහලා අනික ආපහු ඉල්ලුවොත් ගහන්න පරිස්සම් කරලා තියා ගත්තා.

දන්න සින්දු විස්ස බේර ගන්නත් ඕනෙ නිසා එක සින්දුවක් ගහලා අනිත් සින්දුව ගහන්න කලින් සෑහෙන්න කල් මැරීමක් කලත් පැය දෙකක් විතර යද්දි දන්න සින්දු 20 ඉවරයි. දැන් ඉතින් මල කෙලියයි මහ රජ කිව්වලු. මොනව කරන්නද, කලින් ගහපු සින්දු තැනින් තැනින් ආපහු ගහන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි සමහර සින්දු තුන් හතර පාරක් විතර ගහලා.

ඔන්න ටික වෙලාවකින් වේටර් කෙනෙක් පොඩි චිට් එකක් අරගෙන එනවා ටේබල් එකකින්.

අනේ ඒකෙ අහලා තියෙනවා "මොකද, අර ගුවන් විදුලියේ වගේ ඔයාලගේ තැටිත් ප්‍රථි වාදනය වෙනවද....?" කියලා.

කොහොමෙන් කොහොම හරි ඔය වගේ විළි ලැජ්ජා සහගත ජවනිකා මැද රෑ එකොලහත් පහු උනා කියමුකො. ටික වෙලාවකට පස්සෙ හෝටලේ මැනේජර් කාරයා එනවා අපි හිටපු පැත්තට. ඔන්න ඊට පස්සෙ පොර මයික් එකක් ඉල්ලගෙන හැමෝටම විශ් කරලා,

“දැන් බෑන්ඩ් එක මිඩ්නයිට් මෙඩ්ලි ප්ලේ කරන අතරේ, හැමෝම ඩාන්සින් ෆ්ලෝ එකට එන්න...!” මෙන්න බොලේ මූ කට්ටියට නටන්න අඬ ගහපි....!

පස්සෙ මූ අපි දිහාවට හැරිලා,

"මල්ලි, දැන් “මිඩ්නයිට් මෙඩ්ලි”** එක ගහන්න පටන් ගන්න....! ඊට පස්සෙ බයිලා සෙෂන් එක....!" කියපි.

"මොකෑ....? මිඩ්නයිට් මෙඩ්ලි.....!" ඒ මොකක්ද බොලේ ඒ. එහෙම සින්දුවක් අපි අහලවත් නෑනේ. කට්ටිය දැන් මූනට මූන බලනවා....!

අපේ එවුන් දැන් දැන් කුටු කුටු ගානවා.....

"මොකක්ද බං මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ.....!"

"හරි හරි, අපි ඒ සින්දුව දන්නෙ නෑනේ.... අපි වෙන සින්දුවක් ගහමු.....! මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ රෑට ගහන සින්දුවක් වෙන්නැති....!”

"හරි හරි.... අපි එහෙනම් 'අම්බිලි මාමේ' ගහමු......."

අනේ ඉතින් ඉස්කෝලේ ට්‍රිප් යනකොට කියලම කට පාඩම් වෙලා තියෙන නිසා කට්ටිය දැන් අම්ම්බිලි මාමේ සින්දුව ගහනවා....."

"අම්බිලි මාමේ.....! නුඹ මොකද කරන්නේ.....! පුළුං වලා යටින් ඉඳන් එබිලා බලන්නේ.....!"

මිඩ්නයිට් මෙඩ්ලි එක බලාගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ආපු එවුනුත් කර කියා ගන්න දෙයක් නැතිව එහෙට මෙහෙට පැද්දෙනවා....

අම්බිලි මාමා ගහන අතරේ ඔන්න බොලේ මැද හිස් වටේ කෙස් තියෙන මැනේජර් කාරයත් පුපුර පුපුර ආපහු එනවා වගේ පේනවා.....

"අය්සේ මල්ලි, මම කිව්වෙ මිඩ්නයිට් මෙඩ්ලි එක ගහන්න කියලනේ....! මොනවද තමුසෙලා මේ කරන්නෙ.....!"

"අනේ අයියේ අපි ඒ සින්දුව ප්‍රැක්ටිස් කරලා නෑනේ.....! ඒකයි මේ ප්‍රැක්ටිස් කරලා තියෙන වෙන සින්දුවක් ගැහුවේ...." අපිත් පිණ්සෙණ්ඩු වෙනවා.....!

"අයිසේ එහෙනම් ‘බයිලා’ ටිකක් වත් ගහනවා.....! බලනවා මේ මිනිස්සු නටන්න බලාගෙන ඉන්නෙ.......!"

ඒ පාර තවත් හුටස් පරයක්. එහෙමට කියලා බයිලා ප්‍රැක්ටිස් කරලත් නෑ.

"මචං, මොකද කරන්නෙ......! ෆාස්ට් නමර් එකක් ගහන්න වෙයි.....! මොකක්ද ගහන්නේ.....?"

"මචන්, නැගලා යන එකක් හින්දා අපි ගහමු 'වාසනා දිනේකි මේක....!' "

ඔන්න ඉතින් කට්ටිය පටන් ගත්තා,

"වාසනා දිනේකි මේක පාමු සෙනේ තුටීන..... වාසනා දිනේකි මේක පාමු සෙනේ.....!"

වැඩි වෙලා ගහන්න හම්බ උනේ නෑ. මැනේජර් කාරයා මැදට පැනලා නැවැත්තුවා.....!

"වාසනා දිනේකි ගහන්නේ ගෙස්ට්ලට ලී කෙලි නටන්නද....?"

"අයිසේ පවු නොදී මේකෙන් බැහැලා යනවලා......! සිරිසේන අරං එනවා අර සන්ෆ්ලවර් සාලාදේ කැසට් එක....!" මැනේජර් කාරයත් කෑ ගහනවා.......!

මතක ඇති කාලෙක ඒ වගේ අසරණ කමක් මීට කලින් දැනිලා තියෙන්නෙ දහම්පාසලේ තුනේ පන්තියේ ඉන්දැද්දි බුද්ධ පූජාව හොරෙන් කාල හාමුදුරුවන්ට අහුවෙච්ච දවසේ විතරයි.

ඔන්න ඉතින් වේටර් කෙනෙක් කොහෙන්ද මන්දන්නෙ නෑ උස්සගෙන ආපු කැසට් ප්ලේයර් එකක් හයි කරලා සන්ෆ්ලවර් ලගේ සලාදේ කැසට් එක ප්ලේ කරන්න දැම්මා.

“ආච්චි උනත් මොකද හොඳට ලව් කරනව නම්....” කියලා සන්ෆ්ලවර්ස්ලා ගහද්දි අපි කට්ටියත් බලෙන් හුඹස් වලින් එලියට ඇදලා දාපු තල ගොයි ටික වගේ හෙමි හෙමිහිට එලියට ආවා.







** ඇත්තටම මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ කාලෙකට කලින් ජිප්සීස්ලා විසින් ගායනා කරපු ඉංග්‍රීසි නන්ස්ටොප් එකකට. ඒ කාලේ ඉඳලා තාමත් තර්ටි ෆස්ට් නයිට් වලදි මේ ජිප්සීස් මිඩ්නයිට් මෙඩ්ලි එක ගොඩක් වෙලාවට බෑන්ඩ් විසින් වරද්දන්නෙ නැතිවම ප්ලේ කරනවා.



පින්තූර සඳහා අනුග්‍රහය මෙතනින් http://abstract.desktopnexus.com/wallpaper/67261/

දත් නැතිදා....!

Posted by දුමී

මගේ කට කහන කතා වල ඉන්න ජනප්‍රියම චරිතයක් තමයි අපේ බ්‍රයන් අයියා. මම එයා ගැන කතා කීපයක්ම ලියලා තියෙනවනේ. දැනට මාස දෙක තුනකට විතර කලිනුත් බ්‍රයන් අයියව මුන ගැහිච්ච වෙලාවත් එයාට වෙච්ච සිරා කතාවක් කිව්වා. බ්‍රයන් අයියත් දැන් ඩුබායි හන්දියේ පදිංචියට ඇවිල්ලත් මහ ලොකු කාලයක් වෙනවා මගේ හිතේ. කොහොමත් මේ දවස්වල බ්‍රයන් අයියා මෙහේ ජීවත් වෙන්නෙ තනියම. දරු පවුල ඉන්නෙ ලංකාවෙ. කාලයක් ඒ ගොල්ලොත් බ්‍රයන් අයියත් එක්ක මෙහේ ඉඳලා පුතාලා දෙන්නගේ ඉගෙනීමේ පහසුව හින්දාම ලංකාවෙ පදිංචි වෙන්න ගියාට පස්සෙ තමයි බ්‍රයන් අයියා තනියම ඉන්න පටන් ගත්තෙ.

ඔන්න ඉතින් දරු පවුල ලංකාවෙ පදිංචි වෙන්න ගියාට පස්සෙ ලොකු ගෙයක් කුලියට අරන් ඉන්න එකේ තේරුමක් නෑනේ කියලා අපේ බ්‍රයන් අයියත් ඔය දන්න කියන කීප දෙනෙක් එක්ක ෂෙයාරින් පාරක් දාගෙන කාලයක් ඉඳලා තියෙනවා. ඔය අතරේ ඉතින් ඉන්දියාවෙ මලය රට පැත්තේ එවුනුයි, පකිස්තාන් කාරයොයි වෙනත් වෙනත් ජාතිවල කට්ටියත් එක්ක එකට ජීවත් වෙලා හොඳ හොඳ එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා අපේ බ්‍රයන් අයියට.

දන්නවනේ ඉතින් ඔය විදිහට ෂෙයාරින් පාරක් දාගෙන ඉන්න කොට එක එක ප්‍රශ්න වලට මුහුන පාන්න වෙනවනේ. දැන් මේ දවස්වල තිබිලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය බාත් රූම් එක ෂෙයාර් කරන එක. උදේ පාන්දර හැමෝම වැඩට යන්න තදියමේ නැගිටගෙන බාත් රූම් පෝලිමේ ඉන්න එක ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. ඔය අතරේ බ්‍රයන් අයියලත් එක්ක ගජේ ගහගෙන ඉඳලා තියෙනවා මලයෙක්. ඒ කියන්නෙ ඔය ඉන්දියාවෙ කේරල ප්‍රාන්තෙ පැත්තෙ බුවෙකුත්. මේකා හැමදාම උදේ පාන්දරම නැගිටලා බාත් රූම් එක අත් පත් කරගත්තාම ආපහු පැයකටත් මෙහා පැත්තේ එළියට එනවා බොරු. ඔය අස්සෙ බාත් රූම් එකට ගිය වෙලාවෙ ඉඳන් මූ ෆුල් ආතල් එකේ සින්දු කිය කියා විසිල් ගගහා තමයි ඉන්නවා කියන්නෙ. අනිත් එවුන් ටික පෝලිමේ ඉන්නකොට ඉතින් කට්ටියටම ඇහෙනවලු මූ විසිල් ගගහා දත් මදිනවා. දත් මදින සද්දෙත් ඇහෙනවා, ඒ අතරේ මේකා විසිලුත් ගහනවා.

යකෝ දත් මැද මැද විසිල් ගහන්නෙ කොහොමද ? බ්‍රයන් අයියයි අනිත් බුවාලටයි මේක දැන් මාර ප්‍රශ්නයක්. ඔන්න මුන් සෙට් එක අර කේරල බුවාගෙන් අහනවලු කොහොමද දත් මදින ගමන් විසිල් ගහන්නෙ කියලා. ඒ පාර මලයා කියනවලු, හොඳට පුරුදු වෙන්න ඕනෙ. පුරුදු උනහම ඉතින් ඒක එච්චර අවුලක් නෑ කියලා. ඔන්න එදා ඉදන් හැම එකාම ෆුල් ට්‍රයි පාරක් දානවලු විසිල් ගගහා දත් මදින්න ප්‍රැක්ටිස් කරන්න. සමහරු ඉස්පොල්ලේ හිටන් ටූත් පේස්ට් යවාගෙන ප්‍රැක්ටිස් කරනවා. ඒත් කොහොම කලත් අරූ තරම් හොඳට එකෙක්ටවත් දත් මදින ගමන් විසිල් ගහන්න පුළුවන් උනේ නෑ.

ඔය අතරේ දවසක තමයි උදේ පාන්දර බ්‍රයන් අයියට බඩේ අමාරුවක් හැදිලා අලි ජරමරයක් වෙන්නේ. ඒ වෙනකොටත් අර මලයා බාත් රූම් එකට රිංගගෙන ඉඳලා තියෙන්නෙ. කොච්චර දොරට තඩි බෑවත් මූ නෙමෙයි එලියට එන්නේ. අන්තිමට බ්‍රයන් අයියට මල පැනලා අද නම් "මුගේ දත් ටික ගලෝලා අතට දීල තමයි මම අද පස්ස බලන්නේ කියලා" හයියෙන් දොරට ගහනකොටම දොරේ අගුල ගැලවිලා දොර ඇරිලා. දොර ඇරෙනකොටත් මලයා විසිල් ගගහා දත් මදිනවා. අරූගේ දත් සෙට් එක ගලවලා අතට දෙන්න කියලා ගියාට ආයි දත් සෙට් එක ගලවන්න දෙයක් නෑ. ඌ දත් සෙට් එක ගලවලා අතේ තියාගෙන  ටූත් බ්‍රෂ් එකකින් මදින ගමන් තමයි ලොම්බෙන් විසිල් ගහන්නෙ. ඒක දැකලා හිනා ගිය පාරට බ්‍රයන් අයියාගේ බඩේ අමාරුවත් හොඳ වෙලා.

ඒ මලයා මෙච්චර කල් බොරු දත් කුට්ටමක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒක තමයි දත් මදින වෙලාවට ඌට ගේමක් නැතිව දත් නැති කටින් විසිල් ගහන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

දැන් මේ කාලේ අපේ ලංකාවෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම චක බ්ලාස් වෙලානේ තියෙන්නේ. මතකනේ ඔය පහු ගිය ටිකේ ඔය ගොයියෝ ටික අර ඉසෙඩ් ස්කෝර් එකක් අල්ලගෙන නාගත්ත නෑම? ඔන්න ඉතින් ඔය පලවෙනි පාරට බයෝ වලින් ඒ ලෙවල් කරලා මෙඩිකල් කොලේජ් යන්න පුලුවන් වෙලා හිටිය කොල්ලෙක්ට දෙවනි පාර ඉසෙඩ් ස්කෝර් අවුල නිසා යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඩෙන්ටල් වලට. ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑනේ. පොරත් හොඳටම අප්සෙට් ගිහිල්ලා දන්න කියන ටිකක් බලගතු පුද්ගලයෙකුත් එක්කම ගිහින් තියෙනවා විභාග දෙපාර්තුමේන්තුවට මේ වෙච්ච අලකලංචියට විසඳුමක් හොයාගෙන. එතන ඉන්න ඉහලම නිලධාරියෙකුට ගිහින් මේක පැමිනිලි කොරනකොට මේ අසරණ ශිෂ්‍යයා කියනවලු,

"අනේ සර් මගේ අම්මයි තාත්තයි දෙන්නම විශේෂඥ්ඥ වෛද්‍යයවරු. දෙන්නම හාර්ට් ස්පෙෂලිස්ට්ලා. අපේ සීයත් එහෙමයි. මගේ අක්කත් දැන් මෙඩිකල් කොලේජ් එකේ ස්පෙෂල් කරන්නෙ කාඩියලොජි (හදවත සම්භන්ධ ). මමත් හිතන් හිටියේ කාඩියලොජිස්ට් කෙනෙක් වෙන්න..... ඒත් මේ අවුල නිසා මට දැන් යන්න වෙන්නෙ ඩෙන්ටල් වලට...."

ඉතින් අර ඉහල නිලධාරියත් පුටුවේ හරි බරි ගැහිලා වාඩිවෙලා මෙහෙම කියනවලු,

"පුතා දැන් බලන්න, මිනිහෙකුට හාර්ට් කීයක් තියෙනවද ? එකයි නේද ? එතකොට දත් කීයක් තියෙනවද....? 32 යි. අනේ බං කොල්ලෝ ඉතින් උඹ ඩෙන්ටල් කරන එකද වාසි, කාඩියෝලොජි කරන එකද වාසි ?"

ඒ කොල්ලා ඊට පස්සෙ ඩෙන්ටල් යන්න හිතා හදාගෙන කියලා තමයි ආරංචිය.....!

වයසට යනකොට ටික ටික කටේ දත් සමහර වෙලාවට ගලවන්න වෙනවා මොකද දිරා පත් වෙන නිසා. ඉතින් ඔය කාලෙට සමහරු ඒ ගලවපු දත් වෙනුවට කෘතිම දත් දාගන්නවා. අපේ තාත්තත් අවුරුදු ගානක්ම රැකියාව කලේ ඕමාන් රටේ නාවික හමුදාවෙ. එහේ ඉන්න කාලේදි තාත්තගෙත් ඉස්සරහ පැත්තෙ ගලෝපු දතක් වෙනුවට කෘතිම දතක් දාගෙන ඉඳලා තියෙනවා. දවසක් යාළුවෙක්ගේ ගෙදර පාටියක ගිහින් ඇවිත් පහුවදා නැගිටලා බලනකොට තාත්තගේ අර දාපු දත මිසින් ඉන් ඇක්ෂන්. කාමරේ හැම තැනම හෙව්වත් හම්බ වෙලා නෑ. ඔන්න කොහොම හරි වැඩට ගියාට පස්සෙ කලින්දවසේ පාටිය තියපු යාළුවා පොඩි පොලිතීන් කවරෙක දාලා ගෙනත් දෙනවලු කුකුල් කකුලක් (කට්ටක්). අනේ ඒ කුකුල් කට්ට පලාගෙන රැඳිලා තියෙන්නෙ තාත්තගේ නැති වෙච්ච දත. එදා ඉඳන් අපේ තාත්තා කුකුල් මස් කන්නේ නෑ.

ඔය ඒකාලේ අපි කසාද බදින්නත් ගොඩක් කාලෙකට කලින් අපේ ගම හාමිනේලගේ ගෙවල් ගාව තලතුනා ගෑණු මනුස්සයෙක් හිටියා චාලට් අක්කා කියලා. සෑහෙන්න දුප්පත් ඒ වගේම අහිංක මේ මනුස්සය ටිකක් තප්පදෝරු සයිස් එකේ. ඒ වගේම රෑකට ටෝච් එකක් නැතිව තමන්ට තමන්ගේ අතපය කකුල් ටිකවත් වෙන්කර අඳුනගන්න බැරි තරමටම කාල වර්ණ දේහ ධාරිණියක්. ඔය මනුස්සයා ඒ දවස්වල ජීවත් උනේ කෑම පැකට් විකුණලා. හැබැයි ආයේ කතා කරන්න දෙයක් නෑ ඒ කෑම වල නම් තිබුනේ පුදුම රහක් තමයි. ඒ වගේම අපේ ගම හාමිනේලාගේ ගෙදරට කිව්වොත් එක බත් එකක් දෙන්නේ දෙතුන් දෙනෙකුටම ඉස්මුරුත්තේ හැදෙන තරමට කන්න පුළුවන් විදිහට තමයි.

අනේ ඉතින් ඔය චාලට් අක්කගෙත් ඉස්සරහ ඇන්දේ එක ලඟ දත් තුනකම දාල තිබුනේ බොරු දත්. ඔය අතරෙදි තමයි චාලට් අක්කට හරි ලොකු අකරතැබ්බයක් වෙන්නෙ. කොහේදෝ මන්දා කොටහලු ගෙදරකට ගිහිල්ලා බඩ පැලෙන්න කකා ඉන්න ගමන් කවුදෝ කිව්ව විහිළු කතාවකට හිනා වෙන්න ගිහින් එක පාරටම අර බොරු දත් සෙට් එක පිටින්ම චාලට් අක්කට ගිලිලා. අනේ දැන් ඉතින් බොහෝම දුකින් චාලට් අක්කා ඉන්නවා හැමෝටම දුක කිය කිය. අලුතෙන් දත් සෙට් එකක් දාන්නත් බර ගානක් යන එකේ බත් පැකට් හදලා විකුණලා ජීවත් වෙන මේ මනුස්සයට ඒක කොහොමවත් ඔරොත්තු දෙන්නෙ නෑ. එදා ඉතින් ඔය කොටහලු පාටියට ගිහින් ඇවිදිනුත් අපේ ගම හාමිනේලගේ ගෙදරට ගොඩ වැදිලා දුක කිය කිය හිටපු චාලට් අක්කා කොහොම හරි පහුවෙනිදා දවල් කරේ ආපහු එනවලු අපේ ගම හාමිනේලගේ ගෙවල් පැත්තෙ. හරිම සන්තෝසෙන් සිරික්කියකුත් දාගෙන ආපු චාලට් අක්කගේ කටේ අර නැතිවෙච්ච දත් ටිකත් තියෙනවලු. ඔන්න ඉතින් අපේ ගම හාමිනේගේ අම්මා ඇහුවලු,

"චාලට් අක්කේ, අළුතෙන් දත් කුට්ටමක් දා ගත්තද.....?"

ඔන්න ඉතින් චාලට් අක්කා කියනවලු,

"අනේ නෝනේ අපිට කොහෙන්ද අළුතෙන් දත් ගන්න සල්ලි. මම ගෙයි පිටිපස්සට ගොහින් පත්තර කොලයක් උඩට එළි බැහලා බලනකොට මේ යස අගේට ඇවිල්ලා තිබුනේ දත් ටික. අනේ මම ඉතින් ඒක ටැප් එකට අල්ලලා කටේ දාගෙන මේ එමින් ගමන තමයි මේ.......!"



පින්තූර සඳහා අනුග්‍රහය...... http://www.freakingnews.com/Teeth-Pictures--1572.asp

කුකුල්ලු නිසා

Posted by දුමී

අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට මම ඇඳ උඩ ඉන්දැත්දි සරම ඇඳ පාමුල තියෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට දන්නෙම නැතිව සරම වරා පොටක් වගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ඒක දන්නෙ නැතිව ඇඳෙන් බහින්න යනකොට හොම්බෙන් යන්න ගිහිල්ල පාරක් දෙපාරක් යන්තමින් බෙල්ල කඩාගන්නෙ නැතිව බේරුනා. එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්.

ඒ උනත් මම ගොඩක් ඔය හොලිවූඩ් පැත්තේ හදන ෆිල්ම් බලන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා නිතරම දකිනවා ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. කොච්චර සිම්පල්ද ?

කාලෙකට ඉස්සර අබුඩාබි වල හිටපු අයියා කෙනෙක්ගේ සුදු ජාතික අසල්වැසියෙක්ට ලොකු කරදරයක් උනා මේ පුරුද්ද නිසාත් තව ඒකට කුකුලෙකුත් සම්භන්ධ වුනු නිසාත්. කොහොමත් අබුඩාබි වල ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒ පැත්තෙ ඉන්න කට්ටිය දන්නවා පොඩ්ඩක් නගරෙන් පිට අතුරුපාරවල් වල යන්න ගියාම දකින්න ලැබෙන නිදැල්ලෙ හැසිරෙන අයිතිකාරයෝ නැති කුකුල්ලු. කාලෙකට ඉස්සර ගෙවල් වල ඇති කරන්න අරගෙන පස්සෙ කාලෙක අයිති කාරයෝ ගෙවල් ඇරලා යනකොට අරගෙන නොගිය, අතරමං වෙච්ච කුකුලන්ගෙන් පැවත එන කුකුල් පරම්පරාවලින් එන කුකුල්ලු තමයි ඒ. හැමතිස්සෙම පැටව් ගැහුවත් මුන්ට වල් කුකුල්ලු කියන්නත් බෑ, වන කුකුල්ලු කියන්නත් බෑ මොකද මුන් ජීවත් වෙන්නේ වනේ නොවන නිසා. පාරවල් අයිනේ තියෙන පඳුරු අස්සෙ බිත්තර දාලා ඒවයේම රැකලා තමයි ඒ කුකුල්ලු පරපුර පැවතගෙන එන්නෙ.

සමර් කාලෙදි පාන්දර හතර හෝ හතරහ මාරවෙද්දි මෙහෙට ඉර පායනවා. ඒ වගේම රෑ අට විතර වෙනවා ඉර බැහැලා යන්න. කුකුල්ලු උනත් ජන්මයෙන් එන පුරුද්දු අත අරින්න උන් කැමති නෑනේ. ඉතින් ඔන්න ඒ පැත්තෙ ඉන්න කුකුල්ලුත් ඈත ක්ෂිතිජයේ ඉර නැගෙන්න කලින් ඉඳන්ම කෑ ගහන්න පටන් ගන්නවා කුක්කු කූක් කූක්....කුක්කු කූක් කූක්.... කියලා. දන්න කට්ටිය දන්නවනේ ඔහොම කෑ ගහන කුකුලා උගේ ගෑනු සතාව උගුඩුවෙක් උස්සගෙන ගියත් කෑ ගැහිල්ල නවත්තන්නෙ නෑ කියලා.

තට්ටු දෙකේ බිල්ඩිමක පල්ලෙහා තට්ටුවේ මම දන්න අයියා ඉන්නකොට උඩ තට්ටුවේ ඉඳලා තියෙනෙ ජර්මන් ජාතික පයිලට් කෙනෙක්. අනේ ඉතින් මේ මනුස්සයා ලෝකේ වටේ රවුම් ගහලා ගහලා පාන්දර ජාමේ ඇවිත් නිදා ගන්න හදනකොටම අර මරුමුස් කුකුලා ඒ බිල්ඩිම ගාවම තියෙන ගහක අත්තක ඉඳන් බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා. ඔන්න ඉතින් අර අයියට ඇහෙනවලු අර අසරණ සුද්දා බැල්කනියට ඇවිත් කරුණාවෙන් කුකුලට කියනවා "ප්ලීස් කෑගහන්න එපා යකෝ.....!" (හැබැයි කියනවා කියන්නෙ යටි ගිරියෙන් කෑ ගහලා )... ඒත් මොන. කුකුලා නෙමෙයි කණකටවත් ගන්නෙ. අරාබි කුකුලන්ට ජර්මන් තේරෙනවා කියලයෑ...? ඌත් දෙනවා තව ටිකක් හයියෙන් කුක්කු කූක් කූක් කියලා....ඔන්න ඊට පස්සෙ ඇහෙනවාලු ගෙදර තියෙන කොසු, මොප් වගේ දේවල් උඩින් ඉගිල්ලිලා ගිහින් අර ගහේ වැදිලා බිම වැටෙනවා.

සුද්දා ගෙදර ඉන්න දවස්වල පාන්දරට ඕක සාමාන්‍යය සිද්ධියක් වෙන තරමටම කිසිම විශේෂයක් නැතිව ගිහිල්ලා. හැබැයි ඔන්න එක දවසක් සුපුරුදු විදිහට කුකුලා අඬලන්න පටන් අරගෙන ටික වෙලාවකින් අර සුපුරුදු සංසිද්ධි ටික එක පෙලට වෙන්න පටන් ගන්නවා. හැබයි ඊට ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් වෙනස් සද්දෙකුත් ඇහිලා මේ වගේ...."ක්‍රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )". ඔන්න ඉතින් මේ නුහුරු නොපුරුදු සද්දේ මොකක්ද කියලා බලන්න අයියා එලියට ඇවිත් බලනකොට අර සුද්ද පාරෙ ඉඳන් පොඩි එකෙක් වගේ දණ ගාණවා.ඔන්න ඉතින් අයියත් දුවලා ගිහිල්ල සුද්දව නැගිට්ටවලා. දෙයියන්ගේ පිහිටින් පොඩි හීරීම් ටිකක් ඇරෙන්න ලොකු තුවාලයක් වෙලා නෑ පොරට. සුද්දගේ ඉවසීමේ සීමාව පැනපු පාර මූ බැල්කනියෙන් අර ගහට නැගලා තියෙන්නෙ කොස්සත් අතේ තියාගෙන කුකුලව මරන්න.එල්ලිච්ච අත්තත් එක්කම තමයි මූව පාරට ඇදගෙන වැටිලා තියෙන්නෙ. දැන් ඔන්න අහල පහල ඉන්න ගෑණු මිනිස්සුත් එලියට ඇවිත් මේ සද්දෙට. කරුමේ කියන්නෙ ඒත් එක්කම නගරේ පැට්‍රල් යන පොලිස් ජීප් එකත් මේත් එක්කම මෙතන නවත්තලා මොකක්ද මේ කලබලේ කියලා බලන්න. කොරේ පිටට මරේ කියලා සුද්ද ඉඳලා තියෙන්නෙ ජොකා පිටින්. මෙහේ නීතිය හැටියට පිරිමි කෙනෙක්ට දණහිසින් උඩට වෙන්නවත් කොට කලිසම් ඇඳගෙන පාරෙ යන්න බෑ. අනේ ඉතින් අර සුද්දව අල්ලගත්ත පොලීසිය පොරව ජීප් එකට දාගත්තෙ නොහොබිනා ලෙස මහපාරේ ගැවසීමේ වැරද්ද නිසා. සුද්දා ජීප් එකට නගිනකොටත් කුකුලා මර හඬ දිදී කුක්කු කූක් කූක් කියනවලු.

ඔන්න ඔහොමයි අසරණ සුදු පයිලට් කෙනෙක්ට කුකුලෙක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උනේ.

කුකුලට කකුල් දෙකක් තියෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක් විශේෂෙන්ම පවුලේ පොඩි එවුන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට. හරියට අපි පොඩි කාලේ වගේ. අර කුකුල් කකුල් දෙකට කට්ටිය මරා ගන්නෙ නැති එක විතරයි. ඔය ප්‍රශ්නේ මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් තියෙනවා.

දවසක් ඇමරිකාවෙ එක පිටිසර පලාතකට අළුතෙන් පත්වෙච්ච ෂෙරීෆ් කෙනෙක් තමන්ගේ කාර් එකෙන් ගොවිපලක් ලඟින් යනකොට එක පාරටම පැයට කිලෝමීටර් එකසිය ගාණක වේගෙන් ආපු සතෙක් ෂෙරීෆ්ගේ කාර් එකත් පහු කරගෙන ගොවිපලේ වැටත් පැනලා ගොවි පල ඇතුලට පැන්නලු. හොල්මන් වෙච්ච පාර ෂෙරීෆ් කාර් එක නවත්තලා බලනකොට ඒ පැනපු සතා කුකුලෙක්ලු. අප්පද බොල බලාගෙන යනකොට ඒ කුකුලට කකුල් හතරක් තියෙනවලු. ඒ කුකුලා විතරක් නෙමෙයි ගොවි පොල ඇතුලේ ඒ වගේ කකුල් හතරේ කුකුල්ලු මහ ගොඩක් හැම තැනම අහුල අහුලා කකා ඉන්නවලු.

ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ සීන් එකක් දැකපු ෂෙරීෆුත් ඔන්න ගියාළු ගොවිපලේ අයිති කාරයව හම්බවෙන්න. ගොඩක් වයසට ගිය අයිතිකාරයගෙන් ෂෙරීෆ් ඇහුවලු කොහෙන්ද මේ කකුල් හතරේ කුකුල්ලු හොයාගත්තෙ කියලා. ඔන්න ඉතින් ගොවිපලේ අයිතිකාරයා කිව්වලු,

"ෂෙරීෆ් මහත්තයෝ, මට දරුවො හතර දෙනෙක් හිටියා. රෑට කන්න කියලා කුකුලෙක් රෝස්ට් කලොත් හැමදාම ගෙදර රණ්ඩු උගේ කකුල් දෙක බෙදාගන්න. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට ඔය ජාන තාක්ෂණේ පාවිච්චි කරලා කුකුලගේ තටු දෙකත් කකුල් දෙකක් වෙන විදිහට වෙනස් කරා...."

"ෂා හරි ශෝක් විසඳුමක්නේ මහත්තයෝ. ඉතින් ගෙදර ප්‍රශ්නේ විසදෙන්න ඇති නේද ?"

“මොන පිස්සුද ෂෙරීෆ් මහත්තයෝ, ඊට පස්සෙ ආසාවට ගෙදර පැත්ත පලාතේ චිකන් රෝස්ට් කලේ නෑ....

“හෑහ්, ඒ මොකද.....?”

“මේ යක්කු කකුල් දෙකක් තිබිච්ච කාලෙදිත් අල්ලගත්තෙ බොහොම අමාරුවෙන් උන්ගේ පස්සෙ දුවලා. දැන් මුන් කකුල් හතරෙන් දුවනකොට අල්ලයි උන්ගේ නැට්ට...!”

"කොටින්ම මගේ ගොවිපලේ පොඩි කාලේ ඉඳන් වැඩකරපු, කුකුල්ලු ටික බලාගත්ත කොල්ලා තමයි ගිය පාර ඔලිම්පික් මීටර් සීය රන් පදක්කම දින්නේ......!"

ඒ කතාව කුකුල්ලු නිසා ඔලිම්පික් රන් පදක්කමක් දිනපු එකක් ගැන.

අපි හැමෝම දන්නවා පංසල්වල හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන විදිහ ගැන. උන් වහන්සේලාට ගොඩ වෙලාවට දවල් දානය නම් නොවැරදීම ලැබෙනවා මොකද මිනිස්සු දාන මාන දෙන්නෙ දවල්ට. ඒත් ඉතින් හීල් දානේ ඒ කියන්නෙ උදේ දානේ ඒ වගේ සුලබව ලැබෙන්නෙ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හමුදුරුවරු තම්න්ට පුළු පුළුවන් විදිහට ඒක පංසලේ ඇබිත්ත කොලුවෙක් ඉන්නවා නම් එයාට කියලා හරි, නැති නම් තමන් විසින් හරි සිදු කරගන්නවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවෙ හැටියට රෑට ඝන ආහාරයක් අරගන්නෙ නැතිව සැතපෙන හාමුදුරුවරුන්ට උදේටත් මුකුත් වලඳන්න ලැබුනේ නැත්නම් ලොකු අපහසුතාවයකට තමයි පත් වෙන්නෙ.

ඔන්න දවසක් එක්තරා ගමක පන්සලේ හාමුදුරුවන්ටත් හීල් දානේ මග ඇරුනා. පංසලේ කිසිම දෙයක් තිබුනේ නෑ දානෙට ගන්නවත් දානෙ පිළියෙල කරගන්නවත්. කොහොම හරි ඔය පන්සල කිට්ටුවම තියෙන මුස්ලිම් ගෙදරක ඉන්නවා ගම් කිකිලියෝ දහයක් පහලවක් තියාගෙන බිත්තර එහෙම අරගෙන ලඟ පාත කඩවල් වලට බිත්තර විකුණන්න දාලා කීයක් හරි හොයා ගන්න ජෝඩුවක්. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර වලට අමතරව ආප්ප, ඉඳි ආප්ප වගේ දේවලුත් කඩවල් වලට දානවා.

කොහොම හරි දානෙ මග ඇරිච්ච දවසෙ හාමුදුරුවෝ දකිනවා මේ බිත්තර ගෙදර ගෑණු මනුස්සයත් උදේ පාන්දරම කඩවල් වලට කඩයප්පම් දාලා හනි හනිකට ගෙවල් පැත්තෙ යනවා. හොඳටම බඩගින්නෙ හිටපු හමුදුරුවොත් අර මනුස්සයට කතා කරලා අහනවා,

"ඉතුරු වෙච්ච ආප්ප එහෙම ගන්න තියෙනවද උපාසක අම්මේ...? මොකද මේ අපේ පොඩි උන්නාන්සේලා ටිකට වත් අද උදේට වලඳන්න මොනවත් පංසල හරියේ නෑ....! ?" කියලා

ඒ වෙනකොට හිස් පංකොල වට්ටිය අරගෙන ගිය ගෑණු මනුස්සයගේ හිත හොඳටම රිදුනා හාමුදුරුවෝ ඒක අහපු විදිහෙන්ම.

"අනේ ෂාදු ඔක්කොම කඩයෙප්පම් ටික ඉවරයි තමයි......... යේත් හිටින්නකෝ මම විජහට ගොහින් ආප්ප ටිකක් තමා ඉකමනටම හදාගෙන යෙන්නම්....!" කියලා අඩිය ඉක්මන් කරලා ගෙදර පැත්තට දිව්වා.

කොහොම හරි ගෙදර ගිය ගෑණු මනුස්සයා ඉතුරු වෙලා තිබුනු ආප්ප පිටි වලින් නිකන් ආප්පයි තව බිත්තර අප්පයි හදාගෙන ගියා ආපහු පන්සල පැත්තෙ.

හාමුදුරුවොත් ආප්ප වලට සල්ලිත් දීලා පිනුත් දීලා ආප්ප ටික ගත්තා. පස්සෙ පොඩි හාමුදුරුවරු ගොල්ලන්ටත් කතා කරලා බෙදා හදා ගෙන ආප්ප වළඳන ගමන්ම හාමුදුරුවො කතා කරනවා.

"උපාසකම්මේ, මම පහුගිය දොහේ ගෙවල් ගාවින් යමින් ගමන දැක්කේ, උපාසකම්මගේ මහත්තයා වත්තෙ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කුක් කුක් කුක් කිය කිය කුකුලෙක් වගේ කෑ ගගහා. මොකක්ද අර ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ....?" ප්ලේන් ආප්පයක් වලඳලා අහවර වෙලා, බිත්තර ආපෙකුත් දෙකට නමලා වලඳන අතරේ හාමුදුරුවො එහෙම ඇහුවා.

“අනේ යේක තමෙයි ෂාදු දැන් ටික දොහක යිඳලා යේ මනුශ්ෂය ඔහොම තමයි. අපේ මුනියා හිතාගෙන ඉන්නේ මුනියා කුකුලෙක් කියලා. කොටින්ම කියනවනම් උදේට නැගිටින්නෙත් කුක්කු කූක් කිය කියා.... මුනියා ෂිකුරාදා පල්ලි යන්නෙත් නෑ කිකිලියෝ ටික අත ඇරලා.”

“හපොයි උපාසකම්මේ. ඕක ඉතින් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ගියෙ නැද්ද ඉතින් දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න........” කටේ පැත්තෙන් බේරෙන බිත්තර කහමදේ ඇඟිල්ලකින් පිහිදාන ගමන් හාමුදුරුවොත් අහනව.

“අයියෝ ෂාදු යෙහෙම කළොත් මගේ කිකිලියෝ ටිකට බිත්තර දේන්න කුකුලෙක් කෝ......?”





picture from http://www.ehow.com/facts_5344635_diseases-chickens.html

අපිත් කමුද මකුල් කුස් ?

Posted by දුමී

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල් එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න පටන් ගන්නවා අපිටත් නොදැනිම.

ඔන්න ඉතින් අන්තිම පීරියඩ් දෙක වෙද්දි උගන්නන මේ ලෝකෙ දෙයක් ඔළුවට වදින්නෙ නෑ මොකද බඩේ කුකුලා පිකටින් කරන්න පටන් ගන්න නිසා. ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳන් හිතෙන්නෙ,

"අද දවල්ට මොනවද කන්න ඇත්තේ ....?"

"බිත්තරයක්වත් තම්බලා, පරිප්පු හොදිත් එක්ක තිබුනොත් නම් මරු....."

"නැත්නම් අදත් කරවල හොදියි, බෝංචියි, කොල මැල්ලුමයිද දන්නෙත් නෑ.....!"

වගේ නා නා ප්‍රකාර සිතිවිලි......

කොහොමෙන් කොහොම හරි ඔය මොනව තිබුනත් සාගතේට අහුවෙලා වගේ ගෙදර දුවලා සපත්තුයි ෂර්ට් එකයි විතරක් ගලවලා දාලා අම්මා බෙදලා තියෙන බත් පිඟාන අතට අරගෙන මේලෝක සිහියක් නැතිව කාගෙන කාගෙන යන හැටි මට අදත් මතකයි.

ගොඩක් වෙලාවට අම්මා සතියේ දවස් හත ප්ලෑන් කරලා තමයි කෑම උයන්නෙ. සතියට එක දවසක් බිත්තර. ගොඩක් වෙලාවට ඒක සෙට් වෙන්නෙ බදාදට. හවස පන්ති හරි වෙන මොනව හරි ප්‍රැක්ටිස් තියෙනවා නම් ඒ ෂැඩියුල් එක වෙනස් වෙලා අනිවාර්‍යයෙන්ම බිත්තරයක් බත් එකට එකතු වෙනවා.

සතියට දවස් දෙකක් සාලයෝ වගේ පොඩි මාළු මිරිසට උයලා. සති දෙකකට වරක් විතර කෙලවල්ලෝ, තලපත් වගේ මාළු ජාතියක්. අනිත් හැම දවසකටම කරෝල එහෙමත් නැත්නම් හාල් මැස්සො තෙල් දාල හරි උයලා හරි.

ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි අපි කැමතිම දවස උදා වෙන්නෙ. ගොඩක් වෙලාවට ඒක සෙනසුරාදවක් හරි ඉරිදාවක් හරි. එදාට අම්මා හදන්නෙ කහ බතුයි, කුකුල් මසුයි, අල තෙල් දාලා, වම්බටු මෝජුයි මින්චි සම්බෝලයයි. එදාට බුරිය උල් වෙන්නෙ ආපහු ඉස්මුරුත්තාව හැදිලා ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි. මේ දවස ගොඩක් වෙලාවට තාත්තා රට ඉඳලා සල්ලි එවන දවස් කිට්ටුවේ තමයි සෙට් වෙන්නෙ.

මේ පැටර්න් එක වෙනස් වෙන්නෙ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම තමයි. තාත්තව බලන්න කියලා ගෙදරට එන (ගොඩක් වෙලාවට තාත්තා ගේන තෑගි බෝග බලාගෙන ) බාප්පලා, නැන්දලා රොත්තයි, තව තාත්තගේ යාළුවොයි නිසා ගෙදර නිතරම සැණකෙළි ස්වරූපයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙට ඉතින් දවසක් ඇර දවසක්වත් කුකුල් මස් කන්න චාන්ස් එක සෙට් වෙනවා.

ඒ මීට අවුරුදු 15කට 20කට කලින් තත්වේ. ඒත් දැන් කාලේ බලනකොට මේ චක්කරේ එහෙම පිටින්ම අනිත් පැත්ත ගහලා.

ඒකට දැන් ගෙදරක මාළු ටිකක්, කරවල ටිකක් උයනවට වැඩියෙන් උයන්නෙම කුකුළු මස්ම තමයි. අපේ පොඩි එවුනුත් දැන් කුකුල් මස් නැතිව බත් කන්නෙ නැති තත්වෙකට පත්වෙලා.

දැන් අපිට කීරමින් ටිකක් තෙල් දාලා, පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් දුන්නොත් ඇදලා අරින්නෙ ආයි නෑ උණ්ඩුක පුච්චෙත් පිරෙන්නම තමයි.

කොහොමෙන් කොහොම හරි කාලයක් මම කුකුල් මස් කන එක නවත්තලා දාලම හිටියා. ඒ මට වුරුදු 13ක් 14ක් තරම් වංගියේ කියලා තමයි මට මතක. ඒ කාලේ ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක පිටි පස්සට වෙන්න මස් කඩ පේලියක් තිබුනා. (තාම තියෙනවද දන්නෙ නෑ මොකද සෑහෙන කාලෙකින් ඒ පැත්තට යන්න බැරි වෙච්ච නිසා ). ඔය කඩ පේලියේ තිබුනේ හරක් මස්, එළු මස් ඌරු මස් විකුණන කඩ අතර එක කුකුල් මස් විකුණන කඩයක්. අපේ අම්මා ඔතනින් කුකුල් මස් ගන්න පුරුදු වෙලා හිටියේ ටික කාලෙකට කලින් ඉඳලා. අයිස් නැතිව කුකුල් මස් ගන්න පුළුවන් නිසා තමයි ඒකට ගොඩක්ම හේතුව.

දවසක් අම්මාගේ විධානෙන් මම ඔය කඩේට ගියේ කුකුලෙක් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නෙ මරලා සුද්ද කරලා කඩේ ඉස්සරහා එල්ලලා තියෙන කුකුලෙක් අරගෙන එන එක උනත් එදා මට කලින් එතනට ඇවිත් හිටපු ගෑණු මනුස්සයෙක් කූඩුවක දාල හිටිය පණ තියෙන කුකුලෙක්ව මුදලාලිට පෙන්නුවා. මුදලාලි මොකද කලේ අර කුකුලගේ කකුල් දෙකන් අරගෙන බෙල්ලෙන් අල්ලලා එතන තිබිච්ච ලොකු බැරල් එකක ගැට්ටට තියලා පිහියකින් බෙල්ල කැපුවෙ හරියට පාන් ගෙඩියක් කපනවා වගේ හතර පස් පාරක් අතුල්ලලා. එහෙම්මම බෙල්ල එල්ලි එල්ලි තියෙන සුදුම සුදු පාටට හිටිය කුකුලව ඒ මිනිහා ඊට පස්සෙ අර බැරල් එක ඇතුලටම දැම්මා. ඊට පස්සෙ විනාඩියක් දෙකක් ඇහුනේ සට පට සට පට ගාලා අර කුකුලා බැරල් එක ඇතුලේ දඟලන සද්දේ. සද්දේ නැවතිච්ච ගමන්ම මස් කඩේ මුදලාලේ ආපහු කුකුලව කකුල් දෙකෙන් අල්ලලා ගෝලයට දෙනකොට අර බැරල් එකට දාපු සුදු පාට කුකුලා තනිකරම රතු පාට වෙලා හිටියා.

කොහොම හරි එදා අපේ ගෙදර අයට කුකුල් මස් කන්න බැරි උනේ තුෂ්නිම්භූත වෙලා හිටිය මම දමලා ගහලා ගෙදර ගිය නිසා. ඊට පස්සෙ අවුරුද්දක් හමාරක් මම කුකුල් මස් කෑම අත් ඇරියේ පිඟානේ තියෙන කුකුල් මස් කෑල්ල අර බැරල් එක ඇතුලේ ඉඳන් දඟලපු කුකුලගේ කියලා මට හිතෙන්න පටන් ගත්ත නිසා.

කොහොම හරි පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ මම නමය වසර දහය වසර කාලෙදි විතර අපේ තාත්තා රට ඉඳල එනකොට ගෙනාව හරිම අපූරු එලාර්ම් ඔරලෝසුවක්. ඒකෙ විශේෂත්වය තමයි මේක කතා කරන ඔරලෝසුවක් වීම. ඕනෙම මහ රෑක නැගිටලා අත පත ගාලා ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබපු ගමන් ලස්සන කට හඬක් තියෙන ගෑල්ලමයෙක් රහසින් වගේ වෙලාව කියනවා. ඉතින් ඊට පස්සෙ හරි සනීපෙටත් නින්දත් යනවා. හැබැයි කරුමෙ උනේ මේකෙන් උදේ නැගිටින්න එලාර්ම් එක තියන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඒ කාලේ පාඩම් කරන්න කියලා උදේ 4ට විතර එලාර්ම් එක සෙට් කරලා තමයි නිදා ගන්නෙ. මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා.

මට වඩා අවුරුදු 3ක් විතර බාල මගේ නැන්දගේ පුතා තේරුනේ පේරාදෙණියේ කෘෂි විද්‍යා පීටයට. පොර ඔතන ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට කට්ටියවම එක්කෙගෙන ගිහිල්ලා තිබුනේ ලංකාවෙ දැනට තියෙන ලොකුම කුකුල් මස් නිශ්පාදන ගොවිපල බලන්න. ඕක බලලා ඇවිත් පොරත් එදා ඉඳන් කුකුල් මස් විතරක් නෙමෙයි ඔක්කොම මස් මාළු ජාති කන එක නවත්තලා දාලා තනිකරම වෙජිටේරියන් උනා.

මිනිහා කියපු විදිහට එතන කුකුලෝ මරන්නෙ මහා පරිමාණෙට. ලොකු හෝල් එකක හයි කරලා තියෙන නවතින්නෙ නැතිව වැඩ කරන බෙල්ට් එකක් තියෙනවා. එතන ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් කරන්නෙ පණ පිටින් ඉන්න කුකුලන්ව අරගෙන අර බෙල්ට් එකේ උන්ගේ කකුල් වලින් එල්ලන එකයි.එකාට එකා ගෑවෙන විදිහට තමයි උන්ව එල්ලනවා කියන්නෙ මොකද විනාඩියට කුකුල්ලු 50ක් 60ක් ඒ විදිහට එල්ලනවා. ඔන්න ඉතින් ඔය බෙල්ට් එකේ එල්ලපු කුකුලන්ගේ බෙල්ල ඊට ටිකක් එහාට වෙලා ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් කපනවා. ඒ කැපිල්ලත් හරියටම කැපෙන්නෙ නැත්තෙ බෙල්ට් එක දිගේ එන කුකුල්ලන්ගේ ප්‍රමාණය වැඩි නිසා. කැපෙන කුකුලගේ බෙල්ලත් කැපෙන්නෙ බාගෙට. ඊට තත්පර කීපෙකට පස්සෙ අර පණ ගගහා ඉන්න කුකුල්ලු ටික සේරම විසාල උණුවතුර ටැංකියක් ඇතුලෙන් යනකොටත් අර කුකුල්ලු ඉන්නෙ පණ පිටින්. ඊට පස්සෙ තියෙන්නෙ ලොකු රොලර් දෙකක් අතරින් මේ කුකුලන්ව යවන එක. එතනදි තමයි මුන්ගේ පිහාටු ටික ඔක්කොම ගැලවිලා සුද්ද වෙන්නෙ. ඒ මැෂින් එකෙන් එලියට එනකොටත් සමහර කුකුල්ලු ඉන්නෙ දඟල දඟලලු.




හොඳම හරිය තියෙන්නෙ මුස්ලිම් ව්‍යාපරිකයෙකුට අයිති මේකෙ කුකුල්ලු මරන්නෙ හලාල් විදිහට. ඒ තමයි ඒ ගොල්ලන්ගේ හලාල් වාක්‍යය කැසට් එකකින් කුකුලන්ට ඇහෙන්න ප්ලේ කරලා. ඒත් ඉතින් අර කුකුලා මැරෙනකොට ඒ හලාල් වාක්කි වලින් සීයෙට දහයක්වත් අහගෙන නෙමෙයි ඌ මැරෙන්නෙ. ඒත් මුන් පස්සෙ ඒ මස් පැකට් එකේ ගහන්නෙ සීයට සීයක්ම හලාල් කියලා.

කොහොමෙන් කොහොම හරි මම දැක්කට වඩා මහා පරිමාණෙන් කුකුල්ලු මරනවා දැකලා මස් මාළු කන එක නවත්තපු ඒ මල්ලිට මම අර එලාර්ම් ඔරලෝසුව තෑගි දුන්නේ මේක අනිවාර්‍යයෙන්ම මේ එලාර්ම් එක දාගෙන නිදාගත්තොත් මූ ආපහු කුකුල් මස් කන්න පටන් ගන්නවා කියලා හොඳටම ෂුවර් නිසා. . ඒත් කරුමේ කියන්නෙ මම දැනන් නොහිටියට මේ ඔරලෝසුවේ මේ එලාර්ම් එකේ ටෝන් එක වෙනස් කරන ඔප්ෂන් එකක් තිබිලා මිනිහා ඒක බීප් බීප් සද්දෙකට මාරු කරගෙන. තාමත් ඌ කුකුල් මස් කන්නෙත් නෑ, මට එලාර්ම් ඔරලෝසුවත් නෑ.


මතු සම්භන්ධයි





පින්තූර ගත්තේ
http://slowfoodtufts.blogspot.com/2010/10/chicken-slaughtering.html http://matthewcompany.com/images/poultry_breeding.jpg

ඕං බස් කතා

Posted by දුමී


ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම මාරුවෙන් මාරුවට වගේ තමයි පංති තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නිසා, ඉස්කෝලේ ඇරිච්ච ගමන් පයින්ම යනවා නාවල පාරෙ තියෙන ක්ලාස් එකට. ඒ කාලේ ඔය දුර මහ දුරක් විදිහට දැනුනේ නෑ. නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ. ඊට අමතරව කෝට්ටෙ පැත්තෙ තියෙන ඉස්කෝල වලිනුයි, දෙහිවල පැත්තෙ තියෙන ඉස්කෝලවලිනුයි එන බාලිකාවියෝ නිසා ඔය පයින් ගමන හරිම ජොලි ගමනක් තමයි ඒ කාලේ.

යාන්තම් දැළි රැවුල වැඩීගෙන එන වයසත් නිසා, ඔය එක එක ජාතියේ ටයි පටි දිහා බල බල ඉන්නෙ නැතුව ෆුල් ජොලියේ අපිත් ඉතින් පයින්ම යනවා ක්ලාස් එකට. ක්ලාස් එක ඉවර වෙනකොට ජයනෙත්ති සර්ගේ නියමය තමයි, ගෑල්ළමයිව යවලා විනාඩි 10කට පස්සෙ තමයි පිරිමි ළමයින්ව යවන්නෙ. ඒත් ඉතින් ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. ඒ කාලේ ගෑණු ළමයි කොච්චර නෝටිද කියනවනං නම් පිරිමි ළමයි එනකං හිමි හිමිහිට හිමි හිමිහිට හොර ගල් අහුල අහුලා තමයි ඒ ගොල්ලෝ ඇවිදින්නෙ. පිරිමි ළමයි මැරතන් දුවනවා වගේ ඇවිදලා කොහොම හරි ගෑල්ළමයින්ව පහු කරලා ඒ ගොල්ලෝ දිහා බලන්නෙවත් නැතිව යනකොට ඒ ගොල්ලන්ට ඉතින් හරිම තරහයි.

ඔන්න ඔන්න පරණ දෙවල් මතක් වෙනකොට ලියන්න ගිය මාතෘකාවත් වෙන පැත්තකට යනවා.

ඔන්න ඉතින් අපි ගැන්සිය නුගේගොඩ සුපර්මාකට් එක තියෙන පැත්තෙන් ඇවිදගෙන ඇවිල්ලා පාරෙ අනිත් පැත්තට මාරු වෙන්න ඕනනෙ නාවල පාරට යන්න. ඔහොම එන අතරේ එකෙක් අනිත් උන්ට කලින් පාරෙ අනිත් පැත්තට පැනලා, ඔය පිට කෝට්ටෙ පැත්තට හරි, බත්තරමුල්ල පැත්තට හරි යන බස් එකක්, පාර මැද්දට පැනලා, අත දාලා, නවත්තගන්නවා හරියට අර පාරෙන් එහා පැත්තෙ ඉන්න සෙට් එකම බස් එකට නගින්න දුවගෙන එනවා වගේ. ඊට පස්සෙ පාරෙන් එහා පැත්තෙ ඉන්න උන්ට කෑ ගහනවා,

"ඉක්මනට පැනලා වරෙල්ලා බං....!" කියලා.

අනේ උන් ටිකත් අර නවත්තගත්ත බස් එක ඉස්සරහින්ම දුවලා ඇවිත් පාර පනිනවා. ඔන්න ඉතින් ඩ්‍රැයිවර් කාරයා බලාගෙන ඉන්නව කට්ටියම බස් එකට නගින කන්. අරුන් ටික පාර පැනපු ගමන් අර බස් එක නවත්ත ගත්ත එකා ඔළුව දාලා,

"තැන්ක් යූ අංකල්....!" කියලා අතින් බස් එකට යන්න කියනවා.

ඊට පස්සෙ ඉතින් ඩ්‍රයිවර් කාරයා කියන දේවල් අහගෙන ඉන්න එක විනාඩියක්වත් කට්ටිය එතන ඉන්නෙ නැතුව දුවනවා.

173 නුගේගොඩ-තොටලඟ බස් එක පටන් ගන්නෙත් ඔය නාවල පාරට හැරෙන තැනම ඉඳන් තමයි ඒ දවස්වල. ඒ රූට් එකේ දිව්වේ ලදරම්ම ලදරම් රෝසා වගේ බස් ටිකක්. කොහොමත් නුගේගොඩින් පටන් ගන්න ඔය බස් එක ඔතන කොට කොට ඉන්නවා සෑහෙන්න වෙලාවක් මිනිස්සු පටව ගන්නකං. බැරි වෙලාහරි අපි යනවෙලාවට ඔය බස් එකක් ඇද්දුවොත් එහෙම එකෙක් බස් එක පස්සෙ දුවනවා
"හෝව්, හෝව්...." කිය කිය. ඔන්න ඉතින් පස්සෙන් දුවගෙන එන රුපියලේ කෑල්ල දාල යන්න බෑ බෑ වගේ (ඒ කාලේ අවම බස් ගාස්තුව රුපියලයි, ඇඬෙනවා ) කොන්දත් බස් එකට දොහ් දොහ් දොහ්  සද්දෙට තට්ටුවක් එහෙම් දාලා නවත්තනවා. ඔන්න ඊට පස්සෙ දෙබස යන්නෙ මෙන්න මෙහෙම...

“තොට ලඟද තොට ලඟද....?" අපේ එකා දුවන ගමන් හති දදා අහනවා...!

"ඔව් ඔව් මල්ලි, ඉක්මනට නගින්න....ඉක්මනට නගින්න...." කොන්දත් කෑ ගහනවා...

"හැතැප්ම කීයක් විතර තියෙනවද.......?" අපේ එකා බස් එකට එක කකුලක් තියාගෙන අහනවා....

"20ක් විතර තියෙනවා මල්ලි...." කොන්දත් අරූව ඇතුලට ඔබා ගන්න හදන ගමන් කියනවා....

"හාපෝ... තොට ලඟ උනාට මට දුරයි...!" කියාගෙන අරූ ආපහු දුවගෙන එනවා.....!

අනේ ඉතින් අර බස් එක අද්දලා යනකන්ම කොන්දා අත දික් කර කර බනිනවා අපිට ඈතට ඇහෙනවා.....!

කවුරුත් දන්නවනේ මහින්ද අබේසුන්දර මහත්තයව. මම ඉස්සර ඉඳන්ම හරිම කැමතියි උන්නැහේට. මොකද ඒ දවස්වල ඉඳලම හරිම විහිළුකාරයා. පොර දිවයිනේ ඉන්න කාලේ පටන් ගත්ත "මහින්දගේ ආගිය කතා" වලින් පොර හරිම ජනප්‍රිය උනා. ඉස්සෙල්ලාම දිවයිනේ, ඊට පස්සෙ ලක්බිමේ ඊට පස්සෙ සිළුමිණේ වගේ උන්නැහේ යන යන තැනට ඔය ආගිය කතාත් අරගෙන ගියානේ. උන්නැහේ ආගිය කතාවලට ලියපු ඔය බස් සම්භන්ධ කතාවකුත් මට මතක් වෙච්ච එකේ, මට මතක තියෙන විදිහට ඒකත් ඔන්න ඔහේ ලියලා දානව කියලා හිතුවා.

ඔන්න ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ කතාවට කන්ද උඩරට විස්ස විද්‍යාලයත් සම්භන්ධයි. මම ඉතින් ඔය විස්ස විද්‍යාලෙට විසි තිස් පාරක් ගිහිල්ලා තිබුනට ඒ වැඩි හරියක් වලේ නාට්ටි පෙන්නන්න සයිඩ් සපෝට් එකක් දෙන්න තමයි. ඒක නිසා සමහර විස්තර වල අඩු පාඩු කං තියෙන්න පුළුවන් හොඳේ....!

මේ කාලේ වෙනකොට කන්ද උඩරට විස්ස විද්ද්‍යාලෙට අළුත් නැවක් ආපු කාලේ. ඉතින් නැවෙන් ආපු කෂ්ටිය පිලිගන්න ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියෝ කුරුඳු නැටි වලින් එහෙම දත කට මැදගෙන ඉන්න කාලයක්. කැමැත්තෙන්ම රැගට සෙට් වෙන අයයි, බලෙන් රැගට අරගෙන යන අයයි, සම්පූර්ණයෙන්ම රැගෙන් අයින් වෙලා ඉන්න හාල් කෑලියි කියලා ඔය කෂ්ටියව ඉතින් බෙදෙනවනේ ඔය කාලේ වෙනකොට.

ඔන්න ඉතින් දෙයියනේ කියලා උදේ පාන්දරම කුණු ප්‍රෙෂාලව පෝලිම් ගස්සලා රැගට අරගෙන යන්න තමයි ජ්‍යේෂ්ට උත්තම උත්තමාවියෝ සැරසෙන්නෙ. ඔය අස්සෙ මේකෙන් ගැලවෙන්න බලාගෙන ඉන්න එවුන් ගස් ගල් පඳුරු වලට මුවාවෙලා ෂේප් එකේ මාරු වෙලා යනවා. එහෙම පැනලා යන එවුන් පට ගාල පාරට පැනලා ගලහා පැත්තට යන බස් වල එල්ලිලා මාරු වෙන්න තමයි කල්පනාව. ඔය සංසිද්ධිය අවුරුදු ගාණක් වෙලා පළ පුරුදු නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ හැතැක්මක් දෙකක් එහාට ගිහිල්ල ඔය එන හැම බස් එකකටම නැගලා දැන් යමරෙට චෙක් කරනවා ප්‍රෙෂාලා පැනලා යනවද කියලා.

ඔන්න බස් එකට නැගපු ජ්‍යේෂ්ඨ උත්තමයෝ කෑගහනවා,

"තොපි හිතුවද රැග් එකෙන් බේරෙන්ඩ... ආහ්...? බැහැපිය ඔක්කොම කුණු ප්‍රෙෂාලා බස් එකෙන්....!" අනේ ඉතින් වැඩි හරියක් ප්‍රෙෂාල සෙට් එක දඩි බිඩි ගාල බස් එකෙන් බහිනවා....

ඔය අස්සෙ බස් වලට නැගපු සමහර ප්‍රෙෂාලා අයිනේ සීට් අල්ලගෙන වාඩි වෙලා බොරුවට නිදි කිරා වැටි වැටි වගේ ඉන්නවා...

ඔන්න ඒ පාර ආපහු අර ජ්‍යේෂ්ඨයා කෑගහනවා....

"ඔය බොරුවට නිදාගෙන ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුත් බැහැපියව් ඔක්කොම....."

අනේ ඉතින් වැඩේ අතේ මාට්ටු නිසා නිදාගෙන වගේ ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුයි ඔක්කොම ටිකත් බස් එකෙන් බහිනවා....!

දැන් ඉතින් පැනලා යන්න හදපු නිසා පෝරියල් එක වැඩියි....! සෙට් එකම අල්ලලා පෝලිම් ගස්සලා දැන් කට්ටියව පාරෙ ඉඳන්ම හාවා පන්නනවා...... තව ටික දුරක් තාරාවා යවනවා... කැම්පස් එකට එනකන්ම....!

ඔන්න ඉතින් ඔය විදිහට හවස් වෙනකන්ම එක එක රැග් සීන් දීලා දැන් ප්‍රෙෂාලට පාං කියා ගන්න බැරි තරම්. ඔන්න මුන් ටිකව ආපහු පෝලිං ගස්සලා ජ්‍යේෂ්ඨ උත්තමයෝ දැන් තෙල බෙදනවා රැග් එක මග ඇරීමේ ප්‍රථිවිපාක, ආනිසංස එහෙම පහදලා දීලා....

ඔන්න ඉතින් අර බස් එකට නැගලා ප්‍රෙෂාලව බස්ස ගත්ත ජ්‍යේෂ්ඨ උත්තමයා කියනවා....

"තොපි අද වගේ හෙටත් මග ඇරලා තිබුනොත්, උඹලට ආපහු දෙන්නෙ අම්ම මුත්ත මතක් වෙන්න දැනගනියව්.....! හෙට උදේම ඇවිල්ල තොපි පෝලිං ගැහිලා හිටියෙ නැත්නම් බලාගන්න පුළුවං....!"

ඔන්න ඒ අස්සෙ පෝලිමේ හිටිය එකෙක් වෙව්ල වෙල අත උස්සනවා......

"මොනාද තොට කියන්න තියෙන්නෙ...." ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියේ, හෙටත් එන්න ඕනෙද ..?”

"හෙටත් එන්න ඕනෙද ...? තොපේ අම්මලා තාත්තලා දුක් විඳලා මහන්සිවෙලා තොපිට උගන්නලා, විභාග පාස් කරවලා කැම්පස් එකට එව්වෙ තොට හිතිච්ච වෙලාවට කැම්පස් එන්නද බොල.....?" ජ්‍යේෂ්ඨයත් ගෝරනාඩු කරනවා....

“අනේ අයියේ, මම විභාගේ ෆේල්නේ...! ” ඔන්න පෝලිමේ ඉඳලා අත උස්සපු එකා කියනවා...

"විභාගේ ෆේල්...? එහෙනම් කොහොමද යකෝ තෝ කැම්පස් ආවේ....?" ජ්‍යේෂ්ටයා මුගේ ලඟටම ඇවිල්ල ගෝරනාඩු කරනවා....

“ඉතින් අයියනේ මාව බස් එකෙන් බස්සගෙන හාවා පන්න පන්න කැම්පස් එකට එක්කගෙන ආවෙ...”

ඔන්න ඉතින් ජ්‍යේෂ්ඨයට ටික ටික පත්තු වෙනවා කොහේ හරි වැරද්දක් වෙලා කියලා. ඒ අස්සෙ මෙච්චර වෙලා රැග කාපු ප්‍රෙෂාලත් කිණ්ඩියට හිනා වෙනවා...

“කැම්පස් නෙවේ නං තෝ මොකටද යකෝ බස් එකෙන් බැස්සෙ...? ” හීන් දාඩිය පිහිදාන ගමන් ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියා කිව්වෙ නිදි කිරා වැටි වැටි ඉන්න එවුන් ඔක්කොම බැහැපියව් කියලා.......”

හුටා....දැන් පෝලිම්වල ඉන්න ප්‍රෙෂාලා බඩවල් අල්ලගෙන හිනා වෙනවා.

“තෝ කොහේ යන ගමන්ද ?”

“ක්ලාස් යන ගමන් අයියේ....”

“මොන ක්ලාස්ද බොල...?”

“කරාටේ ක්ලාස්....!”

-------------------------------------------------------------------

කරාටේ ක්ලාස් කියපු එකේ මතක් උනේ, දැනට අවුරුදු පහ හයකට කලින් විතර මම අනංමනං එකට ලියපු කතාවක්.

ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින් මිනිහා අළුත් නිසා තැලිලා පොඩි වෙලා එහෙම නැති නිසා හරිම ප්‍රවේසමෙන් තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින් තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක් එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත පොරක් නගිනවා බස් එකට.

“අයියේ ටිකට් ගන්න...” ඔන්න කොන්දා කියනවා...

"හහ්, ටිකට් ගන්න....? මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත් කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම ඇහෙන්න කියනවා...

වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත් දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා, කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට් කඩන්න පටන් ගන්නවා...

ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට නගිනවා....

කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...

“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත් මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත් සද්දේ වහලා ඉන්නවා.

ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට හැමදාම වෙන මේ නව නිංගිරාව තව දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට ගියා කරාටේ ඉගෙන ගන්න.

ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන් ඔන්න කොන්දා යකාටවත් බය නෑ....

ඔන්න එදා කොන්දා උදේ බස් එකට නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවාමයි කියලා හිතාගෙන.

අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට නැග්ගා...

"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත් ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....

"මම තමයි මාතලේ ජේමිස්, මම බස් එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත් පුරුදු උත්තරේම දුන්නා....

"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!" කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක් කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...



“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට් ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන් සීසන් එක අරගෙන කොන්දට දුන්නා.



(කොන්)දොස්තර(ගේ) දත් ගැලවීම

Posted by දුමී



මේ ලඟදි දවසක් මගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ඩුබායි හන්දියට ආපු ගමන් අපේ ගෙදරත් ආවා අපිව බලලා යන්න එහෙම කියලා. ඒ එනකොට පොර හැමෝටම තෑගි බෝග එහෙමත් මහ ගොඩක් බරටම උස්සගෙන තමයි ආවෙ ඕං. උසස් පෙළ කරන කාලෙදිම උතුරු කුරු දිවයිනට එහෙම නැතිනම් කැන්ගරු දේශයට මයිග්‍රේට කරලා අඩු වයසින්ම කැන්ගරු දේනුවකුත් කර කාර බැඳගත්ත පොරව මට මුන ගැහුනේ අවුරුදු විස්සකට විතර පස්සෙ මම හිතන්නෙ. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හමුවෙච්ච නිසා පොඩියට මදුවිත ටිකකුත් තොල ගාන අතරෙදි අතීතය හාර අවුස්ස අවුස්ස ඒ දවස්වල වෙච්ච සිද්ධි, ආගිය කතා එහෙම රස කර කර ඉන්න කොට තමයි ඒ දවස්වල වෙච්ච මරු සිද්ධියක් මතකෙට ආවෙ.

ඔන්න අපි ඒ කැන්ගරු යාළුවට රුවන් කියලා කියමුකෝ පහසුවටත් එක්කලා. රුවන් ඉස්කෝලෙදි හිටියේ මට වඩා එක පන්තියක් පහලට වෙන්න. ඉතින් රුවන්ලා ඕ.ලෙවල් විභාගෙ කරනකොට අපේ ඒ.ලෙවල් පන්ති එහෙම පටන් අරගෙන. කොහොමත් රුවන් ඒකාලේ සෙට් වෙලා හිටියේ හැමතිස්සෙම වලියට බර අන්තිම නසරාණි සෙට් එකත් එක්ක තමයි. අවුරුද්දක් උඩින් හිටිය අපි ඇඩ්වාන්ස් ලෙවල් කරන ඇඩ්වාන්ස් කොල්ලෝ නිසාත්, අළුතෙන් ප්‍රිෆෙක්ට් බැජ් එකක් එහෙම ගහගෙන හිටපු නිසත් ඔය නසරාණි වැඩ වලින් ඈත් වෙලා ඒවාට අනුකූලතාවයක් නොදක්වන මට්ටමක තමයි හිටියේ. ඉතින් රුවන්ලත් එක්ක අපේ ඇයි හොඳැයියක් තිබුනේම නෑ ඒ කාලේ. ( පස්සෙ කාලෙක මුන් සෙට් එක ඒ.ලෙවල් කරන්න ඇවිත් ප්‍රෙෆෙක්ට් බෝඩ් එකට ජොයින් උනාට පස්සෙ තමයි හොඳටම ෆිට් උනේ. )

ඕ.ලෙවල් විභාගේ අන්තිම දවසේ මුන් සෙට් එක ගිහින් තිබුනා මරදානේ ඔලිම්පියා එකේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක ඒ දවස්වල ආපු හොරර් ෆිල්ම් එකක්. මතක විදිහට ‘ෆ්‍රයිඩේ ද තිර්ටීන්ත්’ වගේ තමයි මට මතක. වැඩේ කියන්නෙ මමත් මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්ක එදාම ඔය ෆිල්ම් එක බලන්න ගියා. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ඉවර වෙලා ගෙදර එන්න 176 කරගම්පිටිය සී.ටී.බී බස් එකට නැගලා එනකොට ඔන්න රුවන්ලගේ සෙට් එකත් ඇවිත් ඔය බස් එකේම එල්ලුනා. එහෙම එල්ලිලා බස් එක ඇතුලේ ඉඩ තියෙද්දිත් මුන් ටික ෆුට් බෝඩ් එකේම එල්ලිලා බස් එකේ ටකරන් වලට මහ හයියෙන් බෙර ගගහා හරයෙන් ඉතා ගැඹුර,ු ඝෘතියෙන් තොර සින්දු කිය කිය විභාගය ඉවර උන එකේ ෆන් එක හරිම අහිංසක විදිහට විඳගෙන විඳගෙන යනවා.

පුදුම අහඹු සිදුවීමක් කියන්නෙ මේ බස් එකේ කොන්දා අර දුමීගේ අක්කට දෝස් මුරේ දාන්න ගිහින් වෙච්චි සිද්දියේ හිටිය කොන්දමයි. ඉතින් මේ කොන්දත් සොමියෙන් තොර වලියට බර මෙලෝ රහක් නැති එකෙක්නේ. ඔන්න දැන් අරුන්ගේ සින්දු ටිකත් ටික ටික නැගලා යන කොට එකෙක් පඩි පෙලෙන් උඩට නැගලා සින්දුවේ තාලෙට බස් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තා. (ඒ බස් එකේ තිබුනේ අර ලණුවෙන් අදින, ටිං ටිං ගලා වදින බෙල් එකක්) ඔන්න ඉතින් කොන්දත් පිටි පස්සට ඇවිත් කුණුහරුපයක් දෙකක් කියනකොට බෙල් එක ගහන එක නැවැත්තුවත්, පොර ටිකට් දෙන්න බස් එක ඇතුලට ගිය ගමන් අරුන් ටික ආපහු බෙල් එක ගහන්න පටන් ගන්නවා.

ටික වෙලාවක් යනකොට ඩ්‍රයිවර් කාරයටත් මල පැනලා, බහින්න ඉන්න එකෙක් බෙල් එක ගැහුවත් බස් එක නවත්තන්නෙ නැතිව ඇරලා දාල යන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සෙ තමයි බස් එකේ හිටපු බඩ දරු අම්මා කෙනෙක් බහින්න බෙල් එක ගැහුවත් බස් එකේ මැද හරියේ හිටපු කොන්දාගේ සිග්නල් එකට ඩ්‍රයිවර් කාරයා හෝල්ට් එකේ නවත්තනෙ නැතිව බස් එක අද්දලා ගියේ. ඊට පස්සෙ අර අම්මා "බහිනවා, බහිනවා" කියලා බෙරිහන්දීපු නිසත් බස් එකේ අනිත් මිනිස්සුත් කෑගහලා බස් එක නවත්ත ගත්ත නිසාත් ඒ අම්මා ෆුට් බෝඩ් එකේ ඉන්න රුවන්ලගේ සෙට් එකේ පරම්පරාවටම පින් දෙන ගමන් බස් එකෙන් බැහැලා යන්න ගියා. ඔන්න ඊට පස්සෙ තමයි කොන්දා මාරාවශේෂ වෙලා වගේ වලියට සෙට් උනේ.

කොන්දගේ යූෂුවල් පොට එකට (ෆුට් බෝඩ් එකත් අන්තිම සීට් එකත් අතර අයිනේ කෑල්ල ) පැනපු කොන්දා පොර ගාව තියෙන සමූල ඝාතක අවියෙන් (ටිකට් මැෂිමෙන් ) ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ බස් එකත් එකසිය හැටට හැටේ යන අතරේ. ටිකට් මැෂිමේ පටියෙන් පද්ද පද්ද කොන්ද දැන් ෆුට් බෝඩ් එකේ ඉන්න කොල්ලන්ට කෙලිනවා. කොල්ලෝ ටිකත් පුළු පුළුවන් විදිහට ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන ගමන්ම කොන්දටත් ප්‍රති ප්‍රහාර දෙනවා. ඔය අතරේ තමයි එකෙක් පැනපු ගමන් ටිකට් මැෂිම කොන්දගෙන් උදුරගෙන ඒක රුවන්ගේ අතට පාස් කලේ. මෙච්චර වෙලා ටිකට් මැෂිමෙන් ගුටි කකා හිටපු ඌත් පටිය පද්දලා පද්දලා කොන්දගේ මූණටම මැශිමෙන් කෙලියා කොන්දගේ මූණ ඥාළුවෙලා යන්නම. ඒත් එක්කම තමයි කොන්දගේ කෘන්තක, රදනක චාර්වක සහ පුර්ස්චාර්වක යන දත් වලින් තෝරා බේරා ගත් ඉස්සරහා දත් දෙකක් බලාගෙන ඉන්දැද්දිම ලේ තලියකුත් එක්ක බිමට වැටුනේ. ඒත් එක්කම කොන්දත් කෙහෙල් කඳක් වගේ ලේ පෙරාගෙනම බස් එකේ ඇදගෙන වැටුනා සිහිය නැතිව වගේ. ලේ පෙරාගෙන බස් එක ඇතුලේ වැටුන කොන්දව දැකපු ගමන් තමයි රුවන්ලගේ සෙට් එකට හීන් දාඩිය දැම්මේ.

"අඩෝ, මූ මැරුනද කොහෙද.....! උඹ ගහපු පාර ඔළුවටමයි වැදුනේ...! මෙන්න ඔළුව කුඩුවෙලා ලේ එනවා...." එකෙක් කෑ ගහලා කිව්ව විතරයි මුන් සෙට් එක ෆුට් බෝඩ් එකෙන් පැනලා දුවන්න ගත්තා. ඒත් එක්කම වගේ බස් එකත් බ්‍රාස් කියලා බ්‍රේක් ගහලා නැවැත්තුවා. මිනිස්සු වටවෙලා කොන්දව උස්සලා පිටි පස්සෙ සීට් එක උඩින් තිබ්බා.

බස් එක නැවැත්තුවේ කාසල් ඉස්පිරිතාලේ පහුවෙලා ටික දුරක් ගියාම තමයි. රුවන්ලගේ සෙට් එක රේල් පාරට පැනලා රේල් පාර දිගේ ඈතට දුවනවා. හතර පස් දෙනෙක් උන්ගේ පස්සෙ එලෝනවා.

කොහොමත් ටික වෙලාවකට පස්සෙ කොන්දා නැගිට්ටා. ඉස්සරහ දත් දෙකක් කැඩිලා තිබුනට වඩා වැඩි දෙයක් වෙලා තිබුනේ නෑ කොන්දට. ඌත් හොටු පෙර පෙර අඬනවා. ඔන්න ඉතින් මුළු බස් එකේම කට්ටියව බැස්සුවා බස් එක පොලීසියට ගෙනියන්න කියලා.

මේ වෙනකං ජවනිකා ටික සියසින්ම නරඹන්න පුළුවන් උනත්  එතන ඉඳලා කතාව කිව්වෙ රුවන්.

කොහොම හරි මුන් ටික පණ එපා කියලා රේල් පාර දිගේ නාරාහේන්පිටට යනකන්ම දුවලා. පිටිපස්සෙනුත් මුන්ටිකව අල්ලගන්න සෙට් එකක් දුවගෙන එනවා. කොහොමෙන් කොහොම හරි නාරහේන්පිට හන්දියේදි පොලිස් ජීප් එකක් ඇවිත් මුන් ටික ඔක්කොම අල්ලගෙන එකා පිට එකා ජීප් එකේ පිටි පස්සට දාලා නාරාහේන්පිට පොලීසියට අරගෙන ගිහිල්ලා. ජීප් එකෙන් අරගෙන ආපු සෙට් එකම එක පොදියකට කූඩුවට දාලා. චන්ඩි වගේ වලියට සෙට් උනාට මොකද දැන් කට්ටියට චූ යන තරමටම තක්බීර් වෙලා තමයි ඉඳලා තියෙන්නෙ. ඔක්කොම හිතාගෙන ඉඳලා තියෙන්නෙ කොන්දා මැරිලා කියලයි. ඔන්න ඉතින් කට්ටිය නඩු වලට උසාවි යන හැටි, එල්ලුම් ගහට ගිහින් කඹේ එල්ලිලා ඉන්න හැටි, ජීවිතාන්තය දක්වා හිරේට ගිහින් පරිප්පු හැඳි ගාන හැටි හීන මව මව ජොලියේ කූඩුවට වෙලා ඉන්නවා.

කොහොමෙන් කොහොම හරි පොලීසියේ උන් දැන් මුන් සෙට් එකව අම්බානෙකට බය කරනවා උසාවි දානව, නඩු දානවා, උඩ එල්ලලා ගහනවා වගේ මුන්ගේ හීන හැබෑ වෙන දේවල් කියනවා .

කොහොම හරි පැයක් දෙකක් විතර ගියාට පස්සෙ තමයි බෙහෙතුත් දාගෙන කොන්දත් ඇවිත් තියෙන්නෙ පොලීසියට. ඊට පස්සෙ තමයි මුන් ටිකගේ කටට කෙළ හරි ටිකක් උණලා තියෙන්නෙ.

ඊට පස්සෙ යුනිෆෝම් එකෙන් හිටිය රුවන්ලගේ සෙට් එකෙන් ගෙවල් වල විස්තරයි, ෆෝන් නොම්මරයි අරගත්තෙ ගෙවල්වලට දැනුම් දෙන්න කියලා.

ඔන්න දැන් තමයි කට්ටියට පත්තු වෙන්න ගත්තෙ. එල්ලුම් ගහේ යැව්වත් කාටවත් මේ සිද්ධිය තමන්ගේ ගෙවල් වලට දැනගන්න තියන්න ඕන උනේ නෑ.

"අනේ අංකල් අපේ තාත්තා පපුව අමාරුකාරයා, අපේ ගෙදරට නම් මේක කියන්න එපා...." ඔන්න එකෙක් නහයෙන් අඬනවා....!

"තොපි කරන අළුගුත්තේරු වැඩ වලට තොපේ තාත්තලා මෙච්චර කල් හරි ජීවත් වෙලා හිටපු එකත් ලොකු දෙයක්....!" පොලිස් අංකලුත් ඉතා කාරුණිකව පිළිතුරු දෙනවා.....

"අනේ අංකල් මම විභාගෙත් හොඳට කලේ පාස් උනාට පස්සෙ එයාර් ෆෝස් එකට ජොයින් වෙලා පයිලට් කෙනෙක් වෙන්න...! පොලිස් පොතේ නම් මගේ නම ලියන්න එපා..." තව එකෙක් කුණු කුණු ගානවා....!

"පයිලට්...? තෝව යවන්නෙ දැනගනින් නගරසභාවෙ කොණු ලොරිය එලවන්න බලාපිය.....!" පොලිස් අංකල්ලත් සුපුරුදු මානුෂීය භාෂාවෙන්ම උත්තර දෙනවා...!

කොහොමෙන් කොහමහරි රුවන්ලගේ තාත්තා ඒ වෙනකොට ඒ පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ බස් අයිතිකාරයෙක්. රුවන්ලට අයිති ලොකු ටාටා බස් හත අටක්ම එක එක පාරවල් වල දිව්වා. රුවන්ගේ තාත්තගේ නම කියපු ගමන් රුවන්ව පොලීසියෙන් අඳුරගත්තා.

ඔන්න ඒ පාර පොලීසියේ ඕ.අයි.සී රුවන්ටයි, කොන්දටයි කාමරේට කතා කලා.

"ඔය කරලා තියෙන්නෙ පුතන්ඩියා හොඳ වැඩක් තාත්තාගේ නම්ඹුව වැඩි කරන්න...." කියන ගමන් ඕ.අයි.සී ටෙලි ෆෝන් එක උස්සලා ඩයල් කරන්න පටන් ගත්තා...

"අනේ අංකල් තාත්තට නම් කියන්න එපා.... මම මේ කොන්දා අංකල්ට බෙහෙත් දාගන්න සල්ලි දෙන්නම්....!"

"බෙහෙත් ? බෙහෙත් නෙමෙයි මනුස්සයෝ, බලනවා මේ මුනුස්සයගේ කටේ හැටි....! අලියෙක් කුණු බෝක්කුවක් කඩාගෙන ගිහිල්ලා වගේ.....! තමුසෙට දත් සෙට් එකක් දාලා දෙන්න වෙයි...!" ඕ.අයි.සිත් ගෝරණාඩු කරනවා....

"හා හා අංකල්, මම මේ අංකල්ට දත් දාන්න සල්ලි දෙන්නම් කොහොම හරි....! ගෙදරට නම් කියන්න එපා...අනේ..!.."

"හ්ම්... හරි එහෙනම්... ඔන්න තමුසේ මේ ළමයගෙන් සල්ලි අරගෙන අඩු පාඩුවක් නැතිව දත් ටික දාගන්නවා....! තමුසෙත් යනවනේ ඉතින් මේ ඉස්කෝලේ යන කොල්ලොත් එක්ක වලි දාගන්න.....!"

"රාළහාමි, මෙන්න මෙයාගෙන් කට උත්තරයක් අරගෙන ඔය ළමයි ටිකට යන්න දෙනවා.... තමුසේ දත් සෙට් එක දාගෙන ඇවිත් පෙන්නනවා සතියකින් දෙකකින්...." අන්තිමට ඕ.අයි.සීත් අවසාන තීන්දුව දුන්නේ රුවන්ට යන්තම් ඇති ඔයින් ගොඩ ගියා කියලා හිතෙන ගමන්මයි....!

කොන්දත් රුවන්ගෙන් ගෙදරට එන පාරයි, පහුවෙනිදට එන්න ඕන වෙලාවයි අහගත්තට පස්සෙ කට්ටියම සාමදානෙන් අත් අල්ලගෙන පොලීසියෙන් එළියට බැස්සා....!

ඔන්න පහුවෙනිදත් කියපු වෙලාවටම වරද්දන්නෙ නැතිව කොන්දාත් එනවා සල්ලි අරගෙන යන්න.

"තමුසෙට කීයක් ඕනෙද දත් දාන්න...?" රුවන් හෙමිහිට කොන්දා ලඟට ගිහිල්ලා ඇහුවා....!

"රුපියල් 5000 ක් ඕනෙ මේ දත් දෙක දාන්න....."

"රුපියල් 5000ක් ?" , ( ඒ කාලේ රුපියල් 5000 ට රත්තරන් දත් සෙට් එකක් දාන්න පුළුවං. )

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. රුපියල් 5000ක් නොදිත් බෑ. මේක ගෙදර දැනගත්තොත් රුපියල් 5000 වගේ නෙමෙයි.

රුවන්ලගේ බස් වලින් ලැබෙන ආදායමේ දවසේ එකතුව දාන්න, බස් එකේ නොම්බරේ ගහපු එක බස් එකකට එක මුට්ටියක් ගානේ ගෙදර තියෙනවා. ඒකට රුවන්ලා කියන්නෙ 'බස් මුට්ටි' කියලා. දවස ගානේ සල්ලි දැම්මත්, මාසේ අන්තිමට තමයි මේ සල්ලි ගැනලා බලලා බැංකුවට දානවයි කියන්නෙ. ගෙදර වියදමටත් අම්මයි තාත්තයි සල්ලි ගන්නෙ ඔය බස් මුට්ටි වලින්මයි.

ඔන්න ඉතින් රුවනුත් මොකද කලේ බස් මුට්ටි හතර පහකට අත දාලා අහුවෙච්ච සල්ලි ටික ගණන් කරලා රුපියල් 5000ක් සෙට් කරලා කොන්දට දුන්නා.

සල්ලි ටික අතට ගත්ත හැටියෙම කොන්දාගේ ඇස් දෙක දිලිසෙනවා රුවන් දැක්කා. මුව මුක්තාලතා පෙන්නලා හිනා වෙනකොට කැඩිච්ච දත් දෙක අතරෙන් දිව එළියට ඇවිල්ලා අමුතුම සුන්දර දර්ශණයකින් කොන්දගේ මූණ බැබලෙන්න පටන් ගත්තා.

"හරි, මම ගිහින් එන්නම්....." කියලා තත්පරයක්වත් නවතින්නෙ නැතිව කොන්දා ආපහු හැරුනා....

"ගිහින් එන්නම්...." කියලා කියපු විදිහ රුවන්ට එච්චර හිතට ඇල්ලුවෙ නැති උනත් ඒ කරදරේ ඔයින් ඉවරයිනේ කියලා රුවන් හිත හදා ගත්තා.....!

ගත උනේ දවස් තුන හතරයි. දවසක් හවස් යාමේ ගෙදර හැමෝම ඉන්න වෙලාවේ මෙන්න බොලේ කොන්දා එනවා රුවන්ව අහගෙන, තනියම නෙමෙයි තව ගෑණියෙකුත් එක්ක.

ගෙදර අය ප්‍රශ්න අහන්න කලින් ගේට්ටුව ගාවට දුවල ගිය රුවන් දැක්කේ කිරි පාට සුදුට සුදේ අළුත් දත් දෙකක් දාගෙන හිනාවෙන කොන්දවයි.

"මොකටද මනුස්සයෝ ආපහු ආවෙ.......?"

"මල්ලි, අපේ ගෑනිටත් දත් දෙකක් දාගන්න ඕනෙළු....! කීයක් හරි ඉල්ලගෙන යන්න කියලා ආවෙ..." කොන්දා එහෙම කියනකොටම ගෑනිත් සිරික්කිය දාල හිනා උනා. හුටා, ගෑණිගෙත් ඉස්සරහ දත් දෙකක් නෑ.....!

"තමුසේ මාර කතාවක්නේ ඕයි කියන්නෙ....! මම යෑ තමුසෙගේ ගෑණිගේ දත් කැඩුවේ....?" රුවනුත් අඤ්ඤකොරොස් බමුනා සේ අහනවා....!

"නෑ මල්ලි, එක දතක් පණුවෝ කාලා ගැලෙව්වා.... අනික කොහු මිටක වැදිලා ගැලවුනා....!" කොන්දා කියනකොට....

"කොහුමිටක වැදිලා ගැලවුනා....? කොහුමිට ඉබේ ඇවිල්ලා වදින්න ඇති....? මේ මිනිහම තමයි මල්ලි කොස්සෙන් ගහලා මගේ අනිත් දත කැඩුවේ...." ගෑණිත් බලාගෙන යනකොට ගිණි බෝම්බයක්....!

"මේ මේ, තමුසෙලාගේ ප්‍රශ්න තමුසෙලා ගිහින් විසඳගන්නවා..... මම ඕවට පලි නෑ....!" කියලා රුවන් යන්න හැරුනා විතරයි,

"මල්ලි, අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්නවද ....?" කියලා කොන්දා අහනවා

මූ එන පොට හොඳ නෑ කියලා රුවන්ට දැනටමත් තේරිලා ඉවරයි. පොර හදන්නෙ රුවන්ව බ්ලැක් මේල් කරන්න.

"හරි හරි, තමුසෙට තව කීයක් ඕනෙද ?"

"මල්ලි, තව 2500ක් වත් ඕනෙ. ගෑණු දත් හින්දා එච්චර ගණන් නෑ...." කොන්දත් ඇඟට පතට නොගෑවී කියනවා.

රුවන්ටත් කරන්න දෙයක් නැති තැන කට්ටිය එහාට මෙහාට වෙනකං ඉඳලා බස් මුට්ටි වලට අතදාලා තව 2500ක් ගෙනැල්ලා කොන්දා අතේ තියනකොට තමයි රුවන් දැක්කේ ගේට්ටුවට මුවා වෙලා ඉන්න පොඩි කොල්ලව.

"ආහ්, මේ අපේ පුතා.... අවුරුදු හතයි තාම. මල්ලි යන ඉස්කෝලෙටම තමයි යන්නෙ.....!" කියනකොට කොල්ලත් කට පුරා හිනා වෙනවා. ඒක දැකලා රුවන්ට කලන්තෙට වගේ ඇවිල්ලා ඉක්මනටම ගේට්ටුවට වාරු උනා...



උගේ ඉස්සරහා දත් පේලියේ උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි දත් හතරක්ම නෑ....!

දුමී බබා කාලේ - දුමීගේ යාළුවෝ

Posted by දුමී

දුමී හෝඩියේ ඉඳන් දහතුන වසර වෙනකන්ම ඉස්කෝලේ ගියේ නුගේගොඩ තියෙන එකම එක පිරිමි ඉස්කෝලෙට. හැමෝටම වගේ දුමීටත් හරිම හරි රසවත් පාසල් කාලයක් තිබුනා. ඒ දවස්වල දුමීගේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ සහ පොඩි ඉස්කෝලේ කියලා කොටස් දෙකක් තිබුනා. පොඩි ඉස්කෝලේ කිව්වෙ හෝඩියේ ඉඳන් 4 පන්තිය දක්වා පන්ති පවත්වපු ප්‍රාථමික අංශයට. ඔය කොටස තිබුනේ නුගේගොඩ මෙට්‍රෝ ෆිල්ම් හෝල් එකට මායිම් වෙලා හරියටම ඒකට දකුණු පැත්තට වෙන්න. හයිලෙවල් පාරේ ඉඳන් හැරිලා යන්න තියෙන අතුරු පාරක තමයි පොඩි ඉස්කෝලේ තිබුනේ. හයිලෙවල් පාරෙ ඉඳන් බැළුවම වංගුවත් එක්ක කෙලින්ම පේන්නේ දුමීගේ පොඩි ඉස්කොලේ.

දුමී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවස දුමීට අද වගේ මතකයි. ඒ 1980 අවුරුද්ද. දුමීව අතින් අල්ලගත්ත දුමීගේ අම්මා අනිත් අතින් දුමීගේ පොත් බෑග් එකයි, වතුර බෝතලෙයි අරගෙන අමුතු සුවඳක් තියෙන, ලා නිල්පාටින් පාට කරපු කොට ඩෙස්ක් සහ පුටු තියෙන පංති කාමරේකට එක්කගෙන ගියා. ඒ කාමරේදි දුමීව පිලිගන්න හිටියේ දුඹුරුපාට මල් මල් තියෙන සාරියකින් සැරසිලා හිටිය දුමීගේ අම්මාට වඩා ගොඩක් වයස පාට පොඩ්ඩක් විතර මහත මුණසිංහ ටීචර්. දුමීගේ අම්මත් එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු මුණසිංහ ටීචර් දුමීගේ අත අම්මගේ අතින් අරගෙන නොම්මර 25 ගහපු පොඩි පුටුවක දුමීව ඉන්දෙව්වා. ඒත් එක්කම දුමී දැක්කේ දුමීව පන්තියේ තනි කරලා දාලා එලියට යන අම්මව. එහෙම එලියට ගිය අම්මා තව ටික වෙලාවක් පන්තියේ දැල් කවුලුවලට එහා පැත්තෙ ඉඳන් පන්තිය ඇතුල බලාගෙන හිටියා. දුමීගේ අම්මා විතරක් නෙමෙයි, දුමී වගේම මේ නුහුරු නුපුරුදු පන්තියේ තනි වෙලා ඉන්න අනිත් බබාලගේ අම්මලත් ඒ විදිහටම තමන්ගේ බබාලව දාලා යන්න බෑ වගේ ඒ පන්තියේ දැලේ එල්ලිලා හිටියා.

තුශ්නිම්භූත වෙලා වට පිට බලපු දුමී දැක්කේ දුමී වගේම භිරන්ත වෙලා අඬන්න ඔන්න මෙන්න වගේ ඉන්න තවත් බබාල ගොඩක්. සමහරක් බබාලා දැනටමත් අඬන්න පටං අරගෙන. ඒ දිහා බලාගෙන ඉන්න දුමීටත් අඬන්න ලොකු උවමනාවක් ආවත් තාමත් දැලේ එල්ලිලා අම්මා ඉන්නව දැකපු නිසා ඒ ඇඬීම තාවකාලිකව නවත්ත ගත්තා. ඔන්න ඉතින් මුණසිංහ ටීචත් ඒ අඬන බබාල ලඟට ගිහින් ආදරෙන් ඔළුව අතගාලා පුටුවේ ඉන්දවනවා.ඒත් හරියන්නෙ නෑ. ටික වෙලාවකින් ආපහු ඒ බබාලා මර හඬ දීලා අඬාගෙන දැල ගාවට දුවල යන්න හදනවා. දුමීටත් දැන්නම් ඇඬුම තවත් තද කරගෙන ඉන්න බෑ බෑ වගේ. ඒත් එක්කම තමයි මෙච්චර වෙලාවක් ටිකීන් ටික ඇහැට පිරිච්චි කඳුලු බෝලයක් කම්මුල දිගේ බේරෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම තොල් දෙකත් ටික ටික වෙව්ලලා වෙව්ලල ඉබේම කණපිටට හැරෙන්න ගත්තා. ඊට පස්සෙ අර අඬන බබාලගේ ගොඩට වැටෙන්න දුමීට වැඩි කාලයක් ගත උනේ නෑ.

ඒ විදිහට දුමීට වැඩි වෙලා අඬන්න හම්බ උනේ නෑ. එක පාරටම දුමීගේ පිට හරහා වැදුනේ හොඳට අත මිට මොලවපු පාරක්. ඇඬිල්ලත් උගුරේ හිරවෙච්ච දුමී හැරිලා බැළුවේ දුමීට පතබෑව එකා මොකාද කියලා. එහෙම බලනකොට තමයි දැක්කෙ සුදු උස බබෙක් තවපාරක් ගහන්න අත මිට මොලවගෙන දුමී දිහා රවාගෙන බලාගෙන ඉන්න හැටි. ඒ බබාගේ පුටුවේ ගහලා තියෙන නොම්මරේ 24. සුදු උනාට මහම මහ මරුමුස් පෙනුමක් තමයි ඒ බබාට තිබුනේ. දකුණු අත තාමත් මිට මොලවගත්ත ඒ බබා වම් අතේ දබර ඇඟිල්ල ඒ බබාගේම කටට තියලා සද්ද කරන්න එපාලු. මේකා තව පාරක් දෙන්න ඉඩ කඩ වැඩි නිසා ඇස් දෙක තාම අඬත්දි දුමී කට අඬන එක නැවැත්තුවා. එතකොට තමයි මුණසිංහ ටීචර් දුමීගේ මේස පේලියට එහා පැත්තේ මේස පේලියේ ඉන්න අඬන බබාලව නලවන්න ආවෙ. දුමී පැනපු ගමන් මුණසිංහ ටීචට අත දික් කරලා කිව්වා, අර බබා මට ගැහුවා කියලා.

"දමින්ද බබා.....! ඇයි මේ දුමී බබාට ගැහුවේ....?" මුණසිංහ ටීචත් අහනවා. ඒ බබාගේ නම දමින්දලු......!

"මේ බබා අඬනකොට මට මේ චිත්‍රේ පාට කරන්න බෑ......!" ඒ පාර දමින්ද බබා කියනවා.

දමින්ද බබා හරි ලස්සනට පෙට්ටියක් වගේ සී.ටී බී බස් එකක් ඇඳලා රතු පාටින් ඒක පාට කරනවා.....

දමින්ද බබා මේ දුමී බබත් එක්ක යාළුවෙන්න. ආපහු ගහගන්න බෑ හොඳේ....! මුණසිංහ ටීචත් එහෙම කියාගෙන අඬන වෙන බබාලව නලවන්න ගියා.

දමින්දයා දුමියත් එක්ක යාළු උනේ අන්න එහෙමයි.....!

දුමීට ඉස්කෝලේ එකේ පන්තියේ ඉන්න බැරි උනා මොකද දුමීට පවුලේ අයත් එක්ක දුමීගේ තාත්තා ඒ කාලේ වැඩ කරපු සවුදි අරාබියට පදිංචියට යන්න වෙච්ච නිසා. ආපහු දුමී ඉස්කෝලෙට ආවේ දෙකේ පන්තියත් පටන් අරගෙන මාස කීපයක් ගියාට පස්සෙ. එතකොට දමින්ද දුමීගේ පන්තියේ නෙමෙයි. හැබැයි දමින්දයා ගැන හැමෝම දැනගෙන හිටියා විතරක් නෙමෙයි උගෙන් ගුටි කාපු නැති එකෙක්ව හොයාගන්න පුළුවං උනේ නෑ. දමින්දයව ඉස්කෝලේ කොල්ලෝ අතරේ හොඳට ප්‍රසිද්ධ වෙලා තිබුනේ ටික දවසකට කලිනුයි. පැද පැද හිටපු ඔන්චිල්ලාව බලෙන් අරගන්න ආපු තුනේ පන්තියේ නසරාණි කොල්ලෙක්ට ඔංචිල්ලාවේ යකඩ කණුවක පැද්දිලා ෆ්ලයින් කික් එකකින් ගහලා බිම දැම්මට පස්සෙ දමින්දයාට ටිකක් ලොකු පන්තිවල කොල්ලොත් බයෙන් තමයි හිටියේ.

දුමී ආපහු ඉස්කෝලේ දෙකේ පන්තියට ආවට පස්සෙ ආරංචි උනේ දමින්ද ඉන්ටර්වල් එකේදි පන්තියෙන් එලියට බහින්නෙත් පොළු දෙකක් අතින් අරගෙන කියලයි. ඒක දුමිත් දැක්කේ දමින්දයා කොහු පොළු දෙකක් අරගෙන පිට්ටනිය මැදින් දුවනවා දැකපු නිසයි. (ටික කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ, දමින්දයා පොළු දෙකක් අරගෙන ඇවිල්ල තිබුනේ ස්පෝට් මීට් එකේ ලී කෙළි නැටුමකට ඌව තෝරගෙන තිබුනු නිසා කියලා)

දුමියට ආපහු දමින්දයව සෙට් උනේ තුනේ පන්තියට ආවහම තමයි. වැඩියමත් ඌ දුමිත් එක්ක සෙට් උනේ දුමී වතුර බෝතලේ පුරවගෙන එන "ටෑන්ග් " බීම ටික බොන්නයි. ටෑන්ග් දීලා හරි දමින්දයව යාළුවෙක් විදිහට තියාගන්න දුමීගෙත් අකමැත්තක් ඒ කාලේ තිබුනේ නෑ.

"දුමී, අළුත් ෂෝ එකක් ඇවිල්ලා... ඉන්ටවල් එකේදි වරෙන් යන්න ඒක අහන්න.....!" දමින්දයා එදා උදේම ආපු ගමන් කිව්වෙ ඒ නිව්ස් එක.

ඒ කාලේ දුමීලගේ සිරිතක් වෙලා තිබුනේ අළුතෙන් එන ෆිල්ම් අහන එක. නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකයි දෙකේ පන්ති පේලියයි අතරේ තිබුනා අඩි තුනක හතරක විතර පොඩි කොරිඩෝර් කෑල්ලක්. ඒකෙ ගොඩක් වෙලාවට පුරවලා තිබුනේ කැඩිච්ච ඩෙස්ක් බංකු වගේ දේවල්. ඔතනට ගිහින් මෙට්‍රෝ එකේ යන ෆිල්ම් එක අහගෙන ඉන්න එක ඒ කාලේ කරපු ජොලිම දේ. ඒක කරන්න ඕන හොරෙන් තමයි. අහු උනොත් එහෙම ලොකු ටීචගෙන් වේවැල් පාරක් කාලා ලොකු ටීචර්ගේ කාමරේ පැයක් විතර දණ ගහගෙන ඉන්න වෙනවා. ඒ විදිහට ඒ කාලේ මෙට්‍රෝ එකට ආපු හැම ෆිල්ම් එකක් වගේම අහන්න දුමිත් ගියා දමින්දයත් එක්ක.

ඔය කාලෙම තමයි වසන්ත හෙවත් ජංගියාත් මාතර පැත්තෙ ඉස්කෝලෙක ඉඳන් දුමීලගේ පන්තියට කඩාගෙන පාත් උනේ. තුනේ පන්තියක ටීච කෙනෙක් වෙච්ච ජංගියාගේ අම්මාට දුමීලගේ ඉස්කෝලෙට මාරු වීමක් ලැබිලා තිබුනු නිසා තමයි ජංගියත් දුමීලගේ ඉස්කෝලෙට ආවේ.

ජංගියා පන්තියට ආපු අළුත ඌ ඇදලා පැදලා කියන මෙලෝ වචනයක් දුමීලට තේරුනේ නෑ. "ඔහේ", "ඔහේලා", "ගියැයි", "එයැයි", "කෑවැයි ?" "බීවැයි ?", "හක්කොලං කරනවා", "මක්කෙයි" වගේ අමුතු වචන දුමීලා ඒ වෙනකොට අහලා තිනුනේ නෑ. ඒ නිසා තමයි දවසක් දමින්දයා ඌව ඇදලා අරගෙන දෙකක් ඇනලා කිව්වේ "අඩෝ සිංහලෙන් කතා කරපන්......." කියලා. එහෙම කියලා එදා ඉඳන් ඌට සිංහල උගන්වන වැඩෙත් බාරගත්තෙ දමින්දයම තමයි. ගොඩක් වෙලාවට ෆිල්ම් අහන ගමන් ඌට සිංහල ඉගැන්නුවා විතරක් නෙමෙයි උගෙන් සුද්ද සිංහලත් දුමීල හොඳට ඉගෙන ගත්තා.

හැමදාම ඉන්ටර්වල් එකෙන් පස්සෙ තියෙන පීරියඩ් දෙකම ඉංග්‍රීසි. ජානකී මිස් තමයි දුමීලට ඉංග්‍රීසි ඉගැන්නුවේ. හැමදාම ඉන්ටර්වල් එකේදි ෆිල්ම් අහන්න යන නිසත්, ඉන්ටර්වල් එකේදි ටොයිලට් එකට ලොකු පෝලිමක් තියෙන නිසත් දුමිලා ගොඩක් වෙලාවට චූ කරන්න යන්නෙ ඉන්ටර්වල් එක ඉවර වෙලා ඉංග්‍රීසි පාඩම පටන් අරගෙන ටික වෙලාවකට පස්සෙ. හැබැයි එහෙම ටොයිලට් එකට යන්න ඕනෙ නම් ජානකී මිස්ගෙන් ඒක ඉංග්‍රීසියෙන් අහන්න ඕනෙ. නැත්නම් යන්න දෙන්නෙ නෑ. එහෙම අහන්න ඕන වචන ටික ජානකී මිස් මුළු පන්තියටම කියලා දීලයි තිනුනේ. "මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්....?" කියලා ඇහුවෙ නැත්නම් මිස්ගෙන් බැනුම් කෝටියක් විතරක් නෙමෙයි ටොයිලට් එකට යන්න දෙන්නෙත් නෑ.

අළුතෙන් පන්තියට ආපු වසන්තයට ඔය වචන සෙට් ටික කියන එක ලෝකේ තියෙන අමාරුම වැඩේ උනා. ඉතින් ඌ තීරණය කරලා තිබුනේ ජානකී ටීචගෙන් ඕක අහනවට වඩා චූ බර තද කරගෙන ඉන්න එක සැපයි කියලයි. එහෙම දවසක තමයි ඉංග්‍රීසි දෙවන පීරියඩ් එකේ අන්තිම හරියෙදි වසන්තයට ජංගියේ චූ ගියේ. එදා ඉඳන් ටික කාලයක් යනකන් "චූ ජංගියා" වෙච්ච වසන්ත පස්සෙ කාලෙක “ජංගියා” කියලා බෞතිස්ම ලැබුවා.

මොනතරම් චන්ඩියෙක් උනත් දමින්දයාට ක්‍රිකට් නම් මෙලෝ ඇල්ෆබට් එකක්වත් බෑ. අනිත් උන් ක්‍රිකට් ගහත්දිත් මූ පැත්තකට වෙලා හිටියේ ඌ හරියකට බැට් කරන්නත් බෝල් කරන්නත් දන්නෙ නැති නිසා. ඔහොම ඉන්නකොට තමයි වෙන පන්තියකට චැලෙන්ජ් කරලා සෙට් වෙලා ගහපු මැච් එකක අම්පයර් වැඩේ කරන්න කියලා දමින්දයව තෝර ගත්තෙ.

කොහොමෙන් කොහම හරි ඒ මැච් එක දුමීලගේ පන්තියේ එවුන් දින්නෙ අනිත් පන්තියේ මුළු ටීම් එකටම දමින්දයා විසින් බෝලෙ කකුලේ වැදිච්ච ගමන් අවුට් එක දීපු එකටත් වඩා, සීමා ඉර පන්නලා බෝලයක් දාපු අනිත් පන්තියේ හිටපු හොඳම බෝලර්ව "නෝ බෝල්" කරනවා වෙනුව "අවුට්" කරලා ඌට ආපහු බෝල් කරන්න ඉඩ දීපු නැති නිසා. අන්න එහෙමයි දමින්දයා ලෝක ඉතිහාසේ ප්‍රථම වරට "නෝ බෝලයක්" දාපු බෝලර් කෙනෙක්ව අවුට් කලේ. ඒකට විරුද්ධ වෙච්ච අල්ලපු පන්තියේ දෙතුන් දෙනෙකුගේ හොක්ක සමතලා කරපු දමින්ද දුමීලගේ පන්තිය මැච් එකෙන් දිනපු බවට අල්ලපු පන්තියේ හූ හඬ අස්සේ ප්‍රකාශයට පත් කරලා දැම්මා.

දුමී බබා කාලේ - පුකේ තෙල් ගාගත්ත හැටි

Posted by දුමී

කලින් පෝස්ට් එකට උදව් උනේ අපේ කතන්දර සූරීන් විසින් පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු එකයි. ඒ අගනා හෙලිදරව්ව නිසා පුකෙන් ගන්න පුළුවන් ප්‍රථිකාරයක් ගැන සමාජය දැනුවත් උනා. මේ වෙනකොට කී දෙනෙක් මේ ප්‍රථිකාරෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇතිද කියලා හිතෙනකොටත් පුක සලිත වෙලා යන තරමට සන්තෝසයි. ඔන්න සමහරක් අය කියන්න පටන් ගත්තා පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට ඒක "ග්‍රාම්‍යය" වචනයක් කියලා. එතකොට ගමේ අය පාවිච්චි කරන වචන නගරේ අය පාවිච්චි කරන වචන වලට වඩා හොඳ නැති වචනද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඒත් ඔන්න ඔහේ ඕන පුකක් කියලා මම කට පියාගෙන ඉන්නවා.

දැනට අවුරුදු බර ගාණකට කලින් දුමී බබා කාලේ පෝතකයෙක් වෙලා හිටියා. අර පෝතක බාලදක්ෂ කියලා කියන්නෙ. ඉංගිරීසියෙන් කියනවනම් කව් බෝයි කෙනෙක්. මට මතක හැටියට මේ කියන්න මම පහේ පන්තියේදි විතර. ඔය කාලේ හැම අවුරුද්දකම වාගේ කොළඹ විහාරමහාදේවි පාක් එකේ බාල දක්ෂ ජම්බෝරියක් (කඳවුරට කියන කව් බෝයි වචනයක් ) තිබුනා. අනේ ඉතින් පෝතකයෝ කියන්නේ අන්තිම ජූනියර්ස්ලා. ලොකු අයියලාගේ රැස්පොට් බලාගෙන, ඒ ගොල්ලො ගැට දාන හැටි, කොඩි අදින හැටි, ලණු පාලම් ගහන හැටි වගේ ඒවා කට ඇරගෙන බලාගෙන ඉන්න තමයි මේ පෝතකයන්ට තිබුනේ. ඊට අමතරව කන්න උයන වෙලාවට ලූණු සුද්ද කරන වැඩ, පොල් ගාන වැඩ, මුකුණුවැන්න මිටි වලින් තනකොල ගස් ඉවත් කරන වැඩ වගේ මහා බැරෑරුම් වැඩ ගොඩකුත් කරන්න සිදු උනා මතක හැටියට.

කොහොමත් විහාර මහාදේවි එකේ ජම්බෝරිය තිබුනේ යහමින් ලොකු ලොකු ගස් තිබුනු ඒරියා එකේ. කොයි වෙලේද නසරාණි වැඩක් කරන්නෙ කියලා බලාගෙන ඉන්න නිසා පෝතකයන්ට ලොකු කව් බෝයි අයියලා තද බල නීති රීති දාල තමයි තිබුනේ. පොඩ්ඩක් එහා මෙහා වෙලා කේස් එකක් උනොත්, අපේ කෑම්ප් එකේ ලකුණු එහෙම කැපුනොත් අපිව ස්කාෆ් එකෙන් අල්ලලා ලණු පාලමේ එල්ලනවා කියලා තමයි ලොකුම ලොකුම ලොකු කව් බෝයි අයියා අපිව බය කරලා තිබුනේ. ඒත් ඉතින් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් කාල සටහනකට අනුව නිදාගන්න යන වෙලාව වෙනකන් අපිටත් වද දිදී මුන් මේ කරන පිස්සු විකාර වැඩ අපිට නම් ඇති වෙලා තමයි තිබුනේ. කම්බි වැටකින් එහා පැත්තෙ පේන සී.සෝ, ලිස්සන බෝට්ටු, ඔංචිලා තියෙන ඒරියා එකට කොයි වෙලාවෙ පනින්න චාන්ස් එකක් එයිද කියලා තමයි කට්ටිය බලාගෙන හිටියේ. ඒත් ඉතින් අනිත් ඉස්කෝලවල කව් බොයිලටත් පේන්න ලණු පාලමේ ස්කාෆ් එකෙන් එල්ලිලා ඉන්න පෝතකයෝ වෙච්චි අපි කවුරුවත් කැමති උනේ නැති නිසා ඒ කම්බි වැටෙන් පැනල සෙල්ලම් ඒරියා එකට යන එක අමාරුවෙන් හරි තාවකාලිකව යටපත් කරගෙන තමයි තිබුනේ.

දවස් තුනක් තිස්සේ තිබුනු ජම්බෝරියේ අන්තිම දවස වෙනකොට මේ යටපත් කරගෙන තිබුනු ඇම්ම අර වතුර යට ඔබාගෙන හිටපු රබර් බෝල වගේ උඩ පාවෙන්න පටන් ගත්තා. කොහොමත් එදා හවස් වෙනකොට විසිර යන්න තිබුනු නිසා පෝතකයෝ සෙට් එක කතා උනේ දවල් කෑම වෙලාවෙන් පස්සෙ දවල් දොලහ මාරේ ඉඳන් දෙකහ මාර වෙනකන් නිදාගන්න කියලා දෙන පැය දෙකේදි හොරෙන් පාක් එකේ සී සෝ, ඔන්චිල්ලා තියෙන ප්ලේ ඒරියා එකට පනිමු කියලා. ඔන්න ඉතින් එදා දවල් කෑමෙන් පස්සෙ හැමෝම තම තමන්ගේ කූඩාරං වලට ගිහිල්ලා නිදා ගත්තට පස්සෙ තමයි අපි පෝතකයෝ සෙට් එක හිටපු කූඩරම් වලින් එකා දෙන්නා එලියට පැන්නේ. චන්ඩි වගේ 15ක් විතර මුලදි ප්ලෑන් කලත් මේ වෙනකොට වැඩේට සෙට් උනේ ඒකෙන් හරියටම බාගයයි. ලණු පාලමේ එල්ලෙන්න බයේ වඩේට සෙට් උනේ නැති අනිත් එවුන් ටික කූඩාරම් වල බොරුවට නිදි වගේ තදින් ඇස් පියාගෙන ඉන්නවා මට මේ දැනුත් මැවිලා පේනවා.

කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් කට්ටිය හොර පූසෝ ටික වගේ ගස් වලට කවර් වෙවී ජම්බෝරිය තිබුනු මායිමයි සෙල්ලං ඒරියා එකේ මායිමයි වෙන්වෙන කටු කම්බි වැට ගාවට පැන්නා. ඊට පස්සෙ වැටවල් පැනල පුරුදු එකෙක් කකුල තියලා එක කම්බියක් පාත් කරන ගමන් අනිත් කම්බිය උස්සලා ඉඩ හදලා දීපු ගමන් එක එකා ඒ හිඩසෙන් අනිත් පැත්තට පැන්නා.

ඔන්න බොලේ පැන්න ගමන්ම තියෙන්නෙ තඩිම තඩි සුදු පාටට සුදු පාටේ කොන්ක්‍රීට් වලින් හදලා තියෙන දෙතුන් පාරක් කැරකිලා පල්ලෙහාට යන යන ලිස්සන බෝට්ටුවක් (සලයිඩ්) එකක්. කට්ටියම දුවල ගියේ ඒකට. ඉස්සෙල්ලාම ඕකට නගින්න හම්බ උනේ දමින්දට. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දණ්ඩා නිසා හයියෙන් දුවන්න පුළුවන්. දෙවනියාට මම තමයි දමින්දගේ පස්සෙන් ලිස්සන බෝට්ටුවේ ඉණි මග දිගේ නැග්ගේ. ඔන්න ඉතින් එකා පස්සෙ එකා වගේ ඕකට නැගලා පැන්නා නේද ලිස්සන ස්ලයිඩ් එකට. ලිස්සන්න පටන් ගත්තා විතරයි බුදු අම්මෝ !!! පුකට ඇමරිකාවෙන් පරමාණු බෝම්බේ දැම්මා වගේ තරු වීසි වෙන්න පටන් ගත්තා. මල මාරලයයි. ඒ ගිණි දවල් රස්නෙට කොන්ක්‍රීට් ලිස්සන බෝට්ටුව පෝරණුවක් වගේ ගිණියම් වෙන්න රත් වෙලා. ලිස්සනකොට නවතින්න කියලයෑ ?, ඒ අස්සේ අරක වටේ වට දෙකක් කැරකිලා පල්ලෙහාට යනකන් ඉන්නත් එපායෑ. මෙන්න පල්ලෙහාට එනකොට දමින්දයා ඉන්නවා ලිස්සන බෝට්ටුව පාමුල දිගා වෙලා පුක බදාගෙන. මාව ගිහිල්ලා වැටුනේ ඌවත් ආපහු පෙරලගෙන. පුක පුපුරු ගහනවා නැගිට ගන්නත් බෑ. ඇස් දෙකේ කඳුළු ගෙඩි එළියට පනින්න ඔන්න මෙන්න. දමින්දයාගේ මුළු මූණම රතු වෙලා. කොරේ පිටට මරේ වගේ අනිත් එවුන් ටිකත් එක එකා ඇවිත් එක පොදියට එකා පිට එකා වැටෙන්න ගත්ත හරියට කාටූන් එකක් වගේ. හැමෝම ඉන්නවා පුකවල් බදාගෙන. ඒකාලේ පහේ පන්තියේ බබාල නිසා එකෙක් දෙන්නෙක් හූ තිය තිය අඬනවා. අනිත් හැමෝගෙම ඇස් වල කඳුලු බෝල. කටවල් ඇද වෙලා. කලිසම තියෙද්දිම හැමෝගෙම පුකවල් පිච්චිලා දිය පට්ට එන්නම.

අනේ ඉතින් මේක දැනගත්තොත් සීනියර් කව් බෝයි අයියාලා ස්කාෆ් එකෙන් නෙමෙයි අහවල් එකෙන් තමයි කට්ටියව ලණු පාලමේ එල්ලන්නේ. ඔන්න එකා දෙන්න බොහොම අමාරුවෙන් කොර ගගහා ආපහු වැට පැනලා කූඩාරමට පැන ගත්තා. ඔය අස්සෙ දමිත් කියන එකා සැරෙන් සැරේ අඬනවා. මල මරාලයයි මූ නිසා කට්ටියම මාට්ටු වෙනවා. ඔය අස්සෙ තමයි කලින් සෙට් වෙලා පස්සෙ මග ඇරලා හිටපු එකෙක් කිව්වෙ ඉක්මනට ගිහින් පොල් තෙල් බෝතලේ අරගෙන ඇවිත් හැමෝගෙම පුකේ ගාන්න කියලා. ඔන්න තව එකෙක් දිව්වා පොල් තෙල් ගේන්න කියලා. ඌ ගිහින් උස්සගෙන ආවෙ නිවිච්ච තෙල් තිබුනු තාච්චියක්. එදා අන්තිම දවස නිසා ඔක්කොම තෙල් දවල්ට උයන්න අරගෙන. තෙල් ගාල හරි කමක් නෑ මේ පුපුරු ගහන පුකේ දැවිල්ල නැති කර ගන්න තමයි හැමෝටම ඕන උනේ.

ඒත් ඉතින් තනියම තෙල් ගාගන්න කියල යෑ. ඒත් පෝතක බබාලා උනත් කවුද කැමති තව පෝතක බබෙක්ගේ පුකේ තෙල් ගාලා අත ගාන්න ? ඒත් කොහොම හරි එකෙක් වොලන්ටියරි ඉදිරි පත් උනා අසරණ, පුකවල් පිච්චුණු අපේ පුකවල් වල තෙල් ගාන්න. අනේ දැන් පුකවල් පිච්චුණු අපි පෝතක බබාල ටික ජුණ්ඩයියාව විතරක් වැහෙන්න පිටි පස්සෙන් විතරක් කලිසමත් පාත් කරගෙන පෝලිමේ ඉන්නවා. බලන්න ලස්සනයි. සුදු පුකවල් වල රෝස පාට දිය පට්ට, කළු පුකවල් වල සුදු පාට දිය පට්ට. තාමත් කට්ටියගේ කටවල් ඇදවෙලා. ඇස් රතු වෙලා. ඔන්න අරුත් එක එකාගේ තට්ටම් වල තෙල් ගලා අතුල්ලන්න පටන් ගත්තා. ඒ ඇතිල්ලිල්ලට අර දිය පට්ටත් කැඩෙනවා.

මේ වෙනකොට තුන් හතර දෙනෙක්ගේ විතර තෙල් ගාල ඉවරයි. මෙන්න බොලේ අර තෙල් ගාගත්තු එවුන් ටික වෙලාවකින් හූ තිය තිය කූඩාරමේ බිම පෙරලෙනවා. යකෝ බැලින්නම් අරූ උස්සගෙන ඇවිත් තියෙන්නෙ දවල් කෑමට මිරිස් බැදලා තාච්චියේ ඉතුරු වෙච්ච තෙල් ටික. අනේ ඉතින් අරුන්ට පුක පලලා ලුණු දැම්මා වගේ මිරිස් වල දැවිල්ලට කූඩාරම් දෙවනත් කරනවා.

ඔන්න ඒ අස්සෙ තමයි අති භයංකර සිද්ධිය සිදු උනේ. මෙච්චර දවසක් ජම්බෝරියට එන්න නැතිව හිටපු කව් බෝයි බාර ගුණවර්ධන සර් කාරයා අන්තිම දවසේ ජම්බෝරියට ඇවිල්ලා. මුන්ගේ ලතෝනි සද්දෙට සීනියර් කව් බෝයි අයියාලත් එක්ක කඩාගෙන පාත් උනේ ගුණවර්ධන සර්. පොර කූඩාරම්ට ඇවිත් දැක්ක දෙයින් පොරට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදිලා එතනම මැරෙනවා.

පොර දැකපු විදිහට,

කට්ටියක් පුකවල් එලියෙ දාගෙන පෝලිමේ ඉන්නවා. එකෙක් තාච්චියක් තියාගෙන පොලිමේ ඉන්න එවුන්ගේ පුකේ තෙල් ගානවා. තුන් හතර දෙනෙක් පුකවල් බදාගෙන බිම පෙරලි පරලි ලතෝනි දෙනවා.









ප.ලි:

මොකක්ද උනේ, මොකක්ද වෙන්නෙ කියලා හරියටම දන්නෙ නැති සර් කාරයට සිහි එළෝගන්න ටික වෙලාවක් ගියා.

පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට, සර්ගේ කටින් නම් ඒ වෙලාවේ පිට උනේ මේ ඉන්නෙ පෝතක බබාලා කියලවත් හිතන්නෙ නැති කුණු හරුප වැලක්.


අපි ඒකාලේ පෝතක බබාල උනාට, වයස අවුරුදු 18ට වැඩි නම් සහ ටැබූ කතාවක් කියවන්න කැමති නම් විතරක්, සර් කාරයා ඒ වෙලාවෙ කියපු දේ බලන්න පල්ලෙහා බට්න් එක ක්ලික් කරන්න.


මට අවුරුදු 18ට වැඩියි. කියවන්න දෙන්න.



"කාලකණ්නි හැත්ත. යකෝ, තොපි මේ කරන වැඩ ආරංචි උනොත් තොපේ තාත්තලා මට අරින්නේ පුකේ පොල් තෙල් ගාන්නේ නැතිව...."

වඳුරු පුක් රෙමඩිය - Monkey Butt Remedy

Posted by දුමී

පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින්. ඔන්න ඒ පාර අපේ මාරයා උන්නැහේත් පුක බිහිඋනේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා දාපු මාර බණ පෝස්ටුවකින් පහදලා දුන්නා. ඔන්න ඉතින් කොටුව සකස් කරලා තියෙන වෙලාවෙ බුලත් දඬු ටිකක් හිටව ගන්න ඕනෙ කියලා මමත් හිතුවා පුක් සීරීස් එකක් පටන් ගන්න කියලා. කලින් එක කතාවක් විදිහට ලියන්න හිතුවත් ගොඩාරියක් දික් වෙයි කියලා කතා කීපයක් විදිහට දාන්න තමයි ඕං දැන් කල්පනාව. ඕං එහෙනං ඈ....!

අපේ සීයා ජීවත් වෙලා හිටියේ මතුගම පාන්තියේ. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ මුළු දිවයිනටම බලපාන සාමධාන විනිසුරු වරයෙක්, ඒ කියන්නෙ ජේ.පී කෙනෙක්. ඒ කාලේ දැන් කාලේ වගේ පඳුරක් පඳුරක් ගානට වගේ ඉන්න ජේ.පී ලා හිටියේ නෑනේ.

ඉස්කෝල රස්සාවෙන් විශ්‍රාම අරගෙන හිටිය සීයා මුළු කාලෙම යෙදෙව්වෙ ගොවිතැන් කරන්න. පාන්තියේ ගෙදර වටේටම තියෙන කුඹුරු යායකුත් තව ගොඩ ඉඩම් වල මැන්ගුස්, ගොරකා, අඹ, ජම්බෝල වගේ මෙකී නොකී පළතුරු මහ ගොඩක් සීයා වවල තිබුනා. ඒ වගේම විවිධ ජාතියේ තැඹිලි, කුන්දිරා වගේම හොඳ සරුසාර පොල් වගාවකිනුත් පාන්තියේ ගෙදර වට වෙලා තමයි තිබුනේ. අපිත් ඉතින් හිච්චි සන්දියේදි ඉකෝලේ නිවාඩුවක් ලැබුනු ගමන්ම දුවන්නේ මතුගම (පාන්තියේ ). අනිත් නිවාඩු කාල කොහොම වෙතත් අවුරුදු නිවාඩුව නම් අනිවාර්යයෙන්ම ගෙවෙන්නෙ එහේ.

ඔන්න ඔය වගේ එක අවුරුදු නිවාඩුවකට මතුගම ගිහින් හිටිය කාලෙක හරි අපූරු සිද්ධියක් සිදු උනා. මේ සිද්ධිය උනේ 1986ට කලින්. සමහර විට 85 වෙන්නේ පුළුවං. මොකද 86 අවුරුදු මාසෙම තමයි සීයා අප අතරින් සමු අරගෙන ගියෙත්.

මතුගම නිවාඩුව ගත කරන අපිට එළියට බැස්සොත් හැමතිස්සේම කකුලේ ඇඟිලි අස්සෙ එල්ලෙන කූඩැල්ලන්ට අමතරව නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි හැමතිස්සේම පොල් අත්තකින් තවත් පොල් අත්තකට පැනලා ඔංචිලි පදින වඳුරු රංචු. සාමාන්‍යයෙන් මේ වඳුරු රංචු වල එක එක සයිස් එකේ වඳුරෝ 20ක් 30ක් නොවරදවාම ඉන්නවා. ගොඩක් වෙලාවට පොල් ගස් කරටි වලට නැගලා කුරුම්බැට්ටි, පොල් මල්, ඒ වගේම මැංගුස්, අඹ, ගොරක හිටන් කඩලා නාස්ති කරලා දාන නිසා අපේ සීයට නම් මේ වඳුරො සෙට් එක නයාට අඳු කොළ වගේ තමයි.

ඔන්න එදත් පීදීගෙන පොල් ගස් ටිකකට වඳුරො වැඩක් දීගෙන යනවා දැකපු සීයට උන් හිටි තැන් අමතක උනා. විගහට ගේ ඇතුලට දුවල ගිය සීයා ආපහු ආවෙ සීයගේ ලයිසන් තුවක්කුවට පතුරම් ලෝඩ් කරන ගමන්. පොල් කරටියක පොල් මල් වලට වැඩක් දිදී හිටිය වඳුරෙක්ට ඉලක්කෙ ගත්ත සීයා කොකා ගැස්සුවේ අපේ කණ් අඩි අගුළු වට්ටලා. කොහොම උනත් සීයගේ වයස හින්දදා අර වඳුරගේ වාසනාව හින්දදා මන්දා සීයා ගත්ත ඉලක්කය හරියටම හරිගියේ නැතත් උණ්ඩේ ගිහිල්ලා තිබුනේ අර වඳුරගේ මීටර් එකක් විතර දිග වලිගේ හරි මැදින් තුවාල කරගෙන. ඒ වෙඩිල්ල තිබ්බා විතරයි මෙච්චර වෙලා ගස් වෙලට වෙලා ෆුල් කූල් එකේ රිලැක්ස් එකේ හිටිය වඳුරො සෙට් එක මල පැනලා කොච්චර දරුණු උනාද කියනවනම් මහ හයියෙන් කෑ ගගහා පොල් අතු අඹරව අඹරව අතට අහුවෙන හැම ගෙඩියක්ම, මලක්ම කඩ කඩ බිමට දාන්න ගත්තා. කොටින්ම කිව්වොත් සමහර පොල් වලු පිටින්ම ගෙඩිය ගෙඩිය කඩ කඩ බිමට දැම්මා.

ඒ අතරේ තමයි මරු සිද්ධියක් දකින්න ලැබුනේ. කොහේද ඉඳන් ආපු ටිකක් වයසක වඳුරෙක් (සමහර විට ඌ වඳුරන්ගේ වෙද-පප්පා වඳුරා වෙන්නැති ) අර තුවාල වෙලා ගහෙන් අනිත් ගහට පනින්න බැරිව ඉන්න වලිගෙට වෙඩි වැදිච්ච වඳුරා ලඟට ගිහිල්ලා ඌට ප්‍රථිකාර කලේ. මොකක්ද දන්නවද ප්‍රථිකාර ...? අර තුවාල වෙච්ච වලිගේ අරගෙන දෙපැත්තෙන්ම අල්ලගෙන වෙද පප්පා වඳුරා අර තුවාල වෙච්ච හරිය තමන්ගේ පුකේ අතුල්ල ගන්න එක. ඔන්න ඉතින් අර තුවාල වෙච්ච වඳුරත් හරි සනීපෙට ඉන්නවා. වෙද පප්පා වඳුරා ඒ විදිහට දෙපාරක් තුන් පාරක් කලාට පස්සෙ තවත් වඳුරො දෙතුන් දෙනෙකුත් ඇවිත් අර වෙද පප්පා වඳුරා විදිහටම තුවාල වෙච්ච වලිගෙට ප්‍රතිකාර කලා තම තමන්ගේ පුකේ පිහිටෙන්. ඒ සෙට් එක සමහර විට වෛද්‍ය ශිෂ්‍ය වඳුරො ටික වෙන්න ඇති. ඔන්න ටික වෙලාවකට පස්සෙ අර වෙඩි වැදිච්ච වඳුරට අමාරුවෙන් හරි අනිත් ගස් වලට පැනලා වඳුරු රංචුවත් එක්ක යන්න තරම් ඒ වඳුරු පුක් ප්‍රථිකාර ක්‍රමය වැඩ කරලා තිබුනා වගේ පෙනුනා.

ඔන්න ඉතින් එදා ඉඳන් දවස් කීපයක් යනකන් අපේ මාතෘකාව තමයි මේ වඳුරෝ පුකේ පිහිටෙන් කරන වඳුරු පුක් ප්‍රථිකාරය. මිනිහා වඳුරගෙන් පැවතෙනවා කියලා හැමෝම කියන නිසා වඳුරන්ගේ පුක් ප්‍රථිකාරේත් මිනිස්සුන්ට වරදින්න විදිහක් නෑනේ. ඔන්න ඉතින් අපිත් එක්ක සෙල්ලං කරන්න එන කොල්ලෝ කුරුට්ටො සෙට් එකත් එක්ක අපි කතා කලේ මීට පස්සෙ දුවනකොට වැටිලා එහෙම නැත්නම් ඔය ඉරටු සුද්ද කරන වෙලාවට ඇඟිලි කැපිලා එහෙම යනකොට කෝපි කොල තලලා, කෝපි කුඩු තියලා වගේ කරන ප්‍රථිකාර කරන්නෙ නැතිව මේ පුක් ප්‍රථිකාරේ කරලා බලමු කියලා.

ඒත් දවසක් දෙකක් යනකං අපේ කාටවත් තුවාලයක් උනේ නැති නිසා මේක අපිට අත්හදා බලන්න පුළුවංකමක් තිබුනේ නෑ. ඔය අස්සෙ තමයි අපිත් එක්ක නිතරම සෙල්ලම් කරන්න එන චමින්ද අයියා හිටපු ගමන් සෙල්ලං කරන්න එන්නෙ නැතිව ඇරපු එක. ඔන්න එක දවසක් අපිට ක්‍රිකට් ගහන්න ටීම් එකට කට්ටිය මදි වෙච්ච වෙලාවක කට්ටිය කතා උනේ චමින්ද අයියාව ගිහින් කොහොම හරි එක්කගෙන එමු කියලයි.අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් ඒ වගේම අෆ්‍රිඩි වගේ පොල් අඩි කාරයෙක් වෙච්චි චමින්ද අයියා ඉන්න පැත්ත හැමදාම දිනන එකත් පොරව කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ කියන එකට වැඩි ඡන්ද ටිකක් ලැබුනා. ඔන්න ඉතින් කට්ටියම පොරගේ ගෙදරට ගිහිල්ලා කෑ ගැහුවා. ඔන්න එතකොට තමයි බුවා ජනේලෙකින් ඔළුවා දාලා කතා කලේ.

"චමින්ද අයියේ එන්නෙ නැද්ද සෙල්ලං කරන්න......" අපිත් කැගහලා ඇහුවා....!

“මල්ලි, මට එන්න වෙන්නෙ නෑ... ඔයගොල්ලෝ යන්න......”

“චමින්ද අයියේ, මොකද සීන් එක...?”

ඔන්න එතකොට තමයි චමින්ද අයියා සිද්ධිය විස්තර කලේ. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.

පහුගිය දවසක හවස් වරුවේ සෙල්ලම් කරලා මූණ කට හෝදගෙන ගෙදර ආපු චමින්ද අයියාත් සරමත් ගහගෙන පත්තරයක් කියව කියව ඉඳලා. එතකොට තමයි එක පාරටම චමින්ද අයියාලාගේ තාත්තා කුස්සියේ පිලිකන්න පැත්තෙ ඉඳගෙන කතා කරලා තියෙන්නෙ. මොකද වෙලා තියෙන්නෙ, ලිපේ දාන්න හනසු වගයක් සුද්ද කර කර ඉඳලා තියෙන චමින්ද අයියාගේ තාත්තගේ ඇඟිල්ලක් පිහියට කැපිලා. තාත්තා කතා කරලා තියෙන්නෙ මේකට බෙහෙත් ටිකක් දාන්න කියලයි. මෙන්න බොලේ චමින්ද අයියත් පැනපු ගමන් මොකද කරලා තියෙන්න සරම උස්සලා තාත්තගේ තුවාල වෙච්ච ඇඟිල්ල අරගෙන පුකේ ගහගත්ත එක.

ඉතුරු ටික කියන්න කලින් අපේ එවුන් බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

තාත්තට වඳුරු පුක් ප්‍රථිකාරේ කරන්න ගිය චමින්ද අයියට වෙලා තියෙන්නෙ හොඳවැයින් හනසු පාරවල් දෙක තුනක් පිට හරහයි, පුක හරහයි ලබා ගන්න.

චමින්ද අයියගේ තාත්තගේ ඇඟිල්ල ඒ ප්‍රථිකාර ක්‍රමෙන් හොඳ උනාද කියලා නම් පස්සෙ අපිට අහන්න නම් බැරි උනා..........!

Related Posts with Thumbnails