දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

Posted by දුමී

දුමී කියන්න යන මේ කට කහන කතා දෙක තුන කියන්න කලින් දුමීගේ තෝම්බුවෙන් ටිකක් දිග අරින්නම වෙනවා. ඉතින් සමාව භජනය කරලා ඒක පොඩ්ඩක් කියවලා හිටියනං අර කියන්න යන මළකෙලි සමග ජරමර කතා ටිකට පොඩි ප්‍රවේශයක් වෙයි කියලා තමයි හිතන්නේ.

දුමී බබා කාලේ කවුරු හරි ඇහුවොත් "දුමී බබා ලොකුවෙලා මොනා කරන්නද කැමති" කියලා දුමී ගත් කටටම කියන්නේ පයිලට් කෙනෙක් වෙන්න කැමතියි කියලා.... අපිට ඕනේ විදිහට හැඩ ගස්වගන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වෙලා ප්ලෑන් ගගහා ඉන්නකොට, ජීවිතය අපිට නොදැනුවත්වම වෙනස්ම විදිහකට අපි වෙනුවෙන් ප්ලෑනක් ගහලා....

Life is just what happens to you, While you’re busy making other plans (John Lennon - Beautiful Boy )

ඔන්න ඉතින් පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කියලා ප්ලෑන් ගගහා හිටපු දුමියා අන්තිම නතර උනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා. ඒත් එහෙම උනා කියලා දෛවය නිකං හිටියෙත් නෑ. දුමීට ප්ලේන් එක්ක ඉතා සමීපව වැඩ කරන්න අවස්ථාව උදා කරලත් දුන්නා. දුමී 2000 අවුරුද්දේ තමයි ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) කියන කම්පැණියට බැඳුනේ. JKCS එකේ Java ඩිවිෂන් එක ගොඩ නැගුවේ දුමී ඇතුලු කීප දෙනෙක් විසින්. ඒත් එක්කම දුමීලට ලොකු ප්‍රොජෙක්ට් එකක් ලැබෙනවා නෝවේජියානු ගුවන් සමාගමක් වන "බ්‍රාතන්ස් එයාර්" (Braathens Air ) කියන ගුවන් සමාගමෙන්. පස්සෙ කාලෙකදි බ්‍රාතන්ස් එයාර් සමාගම ස්කැන්ඩනේවියානු ගුවන් සමාගම (SAS) සමග ඒකාබද්ධ වෙනවා. ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක ලීඩ් කරන්න සහ පස්සෙ කාලෙකදී මැනේජ් කරේ දුමී. ඔය ප්‍රොජෙක්ට් එක නිසා දුමීලට එයාර්ලයින් ඩොමේන් එක ගැන හොඳ දැනුමක් ලැබුනා. (තාමත් SAS Braathens වෙනුවෙන් JKCS එක මෘදුකාංග නිපදවනවා )

දුමී ඩුබායි යන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණක අංශයට සම්බන්ධ වෙන්න 2002 අවුරුද්දේ . ඒ JKCS එකට ලැබුනු ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න. දුමී ඇතුළු ලංකාවෙන් ගිය 4 දෙනෙක් තමයි එමිරේට්ස් ගුවන් සමාගමේ "ඉන්ටර්නෙට් බුකින් එන්ජින්" IBE එක (http://fly.emireates.com ) සම්පූර්ණයෙන්ම මුල සිටම ඩිසයින් කරලා ඩිවලප් කලේ. පස්සෙ කාලෙකදි මේ ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් වගේම ප්‍රොජෙක්ට් කන්ට්‍රොලර් විදිහටත් දුමී වැඩ කලා. එමිරේට්ස් වල හිටපු අවුරුදු 5 - 6 කාලෙදි දුමී "ඒවියේෂන් සිස්ටම්" සම්බන්ධව ලබපු අත් දැකීම් නිමක් කරන්න බැහැ....! අද උනත් කවුරු හරි එමිරේට්ස් ෆ්ලයිට් එකක යනවනම් ලයිව් ඉන්ෆ්ලයිට් BBC නිව්ස් සිස්ටම් එක දකිනකොට දුමීව මතක් කර ගන්න. ඒ සිස්ටම් එකේ නිර්මාතෘ දුමී තමයි. ලෝකයේම පළවෙනි පාරට ගුවන් යානයක ලයිව් නිව්ස් ෆීඩ් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කලේ එමිරේට්ස් වල. 2004 දී මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරනකොට අද තරමට තාක්ෂණය, කමියුනිකේෂන් ටෙක්නික්ස් දියුණු වෙලා තිබුනේ නෑ. ඒත් අදටත් එමිරේට්ස් මුලු ෆ්ලීට් එකම පාවිච්චි කරන්නේ දුමී හදපු සිස්ටම් එක තමයි.

හරි, තෝම්බුව ඉවරයි. කියෙව්වාට ඉස්තූතියි, මෙන්න කතාව.....

ඉතින් ඔය "IBE" එකේ වැඩ කර කර ඉන්නකොට එමිරේට්ස්ලගේ "Frequent Flyer programme වන "Skywards" එකත් එක්ක සිස්ටම් ඉන්ටිග්‍රේෂන් එක කලේ දුමී. මේකේ තමයි එමිරේට්ස් වල ෆ්ලයිට් රිසර්ව් කරන අයගේ තෝම්බුව රැස් කරලා තියා ගන්නේ. පැසෙන්ජර්ට ප්ලේන් එකේදි අවශ්‍යය විශේෂ කෑම, ඉඳගන්න කැමති සීට් එක, පාස්පෝට් විස්තර, විශේෂ පහසුකම් අවශ්‍යය නම් ඒවා සම්බන්ධ විස්තර ආදී මෙකී නොකී යූසර් ප්‍රොෆයිල් සම්බන්ධ කරුණු කාරනා.

විශේෂයෙන්ම කෑම ගැන කතා කරනවනන් ඔය ෆ්ලයිට් වල ලෝකේ විවිධ ජාතියේ අය ගමන් කරනකොට ඒ අයගේ සුවිශේෂ කෑම අවශ්‍යයතා තියෙනවා. සමහර අය වෙජිටේරියන්, සමහර අය කිරි දාල තියෙන කෑම කන්නේ නෑ, ඔය ජෛන ආගමේ ඉන්න තවත් කොට්ටාසයක් ඉන්නවා වෙජිටේරියන් උනාට කිරි ජාතිත් පොලොවේ යට වැවෙන ජාතිත් (අල ජාති, මුල් ජාති) කන්නේ නෑ....ඒ වගේම කොලෙස්ටරෝල් නැතිනම් ප්‍රෙෂර් කාරයෝ, පොඩි බබාල වගේ අයටත් විශේෂ කෑම වට්ටෝරු තියෙනවා. ඒ හැම එකකටම ස්ටෑන්ඩර්ඩ් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඔය කියන කෑම වට්ටෝරු සෙට් එක තමයි.

ඔන්න ඔය "IBE" ප්‍රොජෙක්ට් එක ලයිව් ගියාට පස්සෙ දුමී නිවාඩුවට ලංකාවට එනවා එමිරේට්ස් ෆ්ලයිට් එකක. ගම හාමිනේලා දුමීට කලින්ම ලංකාවට ඇවිත් තිබුනේ ඒ වෙනකොට. ඔන්න ඉතින් කෑම දෙන වෙලාවත් කිට්ටු කරපු නිසා ඒ වෙනකොට බඩේ පණුවොත් ෆුල් මඤ්ඤං වෙලා හාමතේ හිටපු වෙලාවක්. නිකං දෙන විස්කි වඩියකුත් ගහලා, නිකං දෙන කෑම එකත් කාල දෙයියනේ කියලා දොයියන්ඩ තමයි එදත් දුමී බලාගෙන හිටියේ. ඒ අස්සෙ ඔන්න බොලේ ඇටෙන්ඩොං නංගි කෙනෙක් අනිත් අයට කෑම දෙන්නත් කලින් ඇවිත් දුමීගේ නම චෙක් කරලා, අර කෑම ට්‍රේ එක එහෙම දිග ඇරලා ඒක උඩ කෑම එකකුත් තියලා මෙහෙම කියනවා.....”Sir here’s your special meal….enjoy…. ! ඈහ්...යකෝ එහෙම ස්පෙෂල් මීල් එකක් දුමී ඕර්ඩර් කලේ නෑනේ...කියලා හිතමින් දුමී කෑම එක වහල තිබ්බ පියන අයින් කලා.....! හපොයි දෙයියනේ..... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා...තම්බපු අල ගෙඩියක් මැදින් බෝට්ටුවක් වගේ හාරලා ඒකෙ මැදට තම්බපු මුං ඇට ටිකක් දාලා, තම්බපු ඇස්පරගස් නැටි ටික තමයි මේ ස්පෙෂල් මීල් එක….! අඩු ගානේ අල ගෙඩියේ පොත්ත සුද්ද කරලවත් නෑ....! අනේ ඉතින් දුමී ඇටෙන්ඩොං නංගිටත් කතා කරලා බැළුවා මේ මොකක්ද මේ ජිල්බරිය කියලා. ඒ පාර ඒ නංගිත් ඇදලා පැදලා ගස්සලා කිව්වා…”Sir you have ordered a Diabetic meal”.... (සර් ඔයා දියවැඩියා කාරයන්ට දෙන කෑම එකක් ඕර්ඩර් කරලා තියෙන්නේ ) දුමී ඉතින් පොඩ්ඩක් උඩ බිම බැළුවා මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔන්න පස්සෙ තමයි මීටර් උනේ සිද්ධ වෙලා තියෙන ජරමරේ.

බුකින් එන්ජින් එක (IBE) එක "Skywards" එකත් එක්ක ඉන්ටිග්‍රේට් කරනකොට ඒවා ටෙස්ට් කරන්න දුමී පාවිච්චි කලේ දුමීගේ "Skywards" ප්‍රොෆයිල් එක. ඔය ටෙස්ට් කරන වෙලාවෙ එක එක මීල් රික්වෙස්ට්, ස්පෙෂල් රික්වෙස්ට් දදා ඕක ටෙස්ට් කලා. ඒ අස්සෙ තමයි ලංකාවට එන්නත් ටිකට් එක රිසර්ව් කලේ. අනේ ඉතින් දුමීගේ ප්‍රොෆයිල් එකේ එතකොට තිබිච්ච මීල් ප්‍රිෆරන්ස් එක ඔටෝමැටිකලි දුමීගේ ෆ්ලයිට් රිසර්වේෂන් එකට ඇවිත්.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? ඇටෙන්ඩොං නංගි කෙනෙක්ට අසරණ මූණ පෙන්නලා "නැද්ද බබෝ වැඩිපුර කෑම එකක්" කියලා ඇහුවා......! එතකොට ඒ නංගි බබා අර බත් කන්න හොර බබෙක් දිහා අම්මා කෙනෙක් දාන රකුසු බැල්මෙන් මගේ දිහා බලපු බැලිල්ලට, "නෑ නෑ කමක් නෑ නංගි, මම මේක කන්නං" කිව්වා......අනේ ඉතින් ඊට පස්සෙ ඉතින් කංකුන් මිටියක් කන කේසර සිංහයෙක් වගේ දුමී අර තම්බපු අල ගෙඩියයි, මුං ඇට ටිකයි, ඇස්පරගස් දඬු ටිකයි කාල කෑම එකත් එක්ක තිබ්බ කරවිල තම්බපු වතුර ටිකත් බීලා දැම්මා.....! ඒ ගමන් දුමී හිතුවේ මොනවා උනත් " හදපු සිස්ටම් එක නම් එලටම වැඩ නේද " කියලයි......!

ඔන්න ඊට පස්සෙ ජවනිකාව උදාවෙන්නේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සෙ. ඇටෙන්ඩොං නංගි කෙනෙක් ඇවිත් දුමීට කියනවා "Sir please be seated ….. We’ll help you …” කියලා. ඈහ්... ඒ මොකටද වාඩිවෙලා ඉන්න කියන්නෙ කියලා හිතපු දුමීට පස්සෙ හිතුනේ ආහ් සමහර විට ඒ නගාට දුක හිතිලා පස්සෙ ඉතුරු වෙච්ච කෑම එකක් දුමීට දෙන්න තමයි මේ ඉන්න කියන්නෙ කියලා.....අනේ ඉතින් දුමිත් ඉන්නවා අනිත් පැසෙන්ජර්ල්ස්ලා ටික ඔක්කොම බැහැලා ඉවර වෙනකන්. මෙන්න බොලේ ඊට පස්සෙ දුමීට පේනවා ප්ලේන් එකේ දොරෙන් එළියේ ඉඳන් රෝද පුටුවක් තල්ලු කරගෙන ඇවිත් දුමීගේ දිහාවට තල්ලු කරගෙන එනවා.......දැන් දුමීට වෙලා තියෙන දේ සක් සුදක් සේ පැහැදිලියි. ඒ මදිවට කකුල් දෙකත් පණ නෑ....! අනේ සත්දන්ත දෙන්නෙක් ඇවිත් දුමීගේ කිහිලි යටට අත දාල උස්සලා රෝද පුටුවේ තියන්න හදනකොට දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා "යකෝ මට ඇවිදින්න දීපියව් මට ඇවිදින්න බැරි ආබාදයක් නෑ යකෝ..." කියලා....!

මේ දුමියට හෙන ගහන්න ඌ ටෙස්ට් කරන වෙලේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදිහට වීල් චෙයාර් එකකුත් ප්‍රොෆයිල් එකට ඇඩ් කරලා......

අනේ ඉතින් ගෙදර ගිය ගමන් දුමියා ඉස්සෙල්ලම කලේ "Skywards" ප්‍රොෆයිල් එක එඩිට් කරන එක. ටෙස්ට් කරන කොට දාපු ප්‍රිෆෙරන්සස් ඔක්කොම අයින් කරලා තමයි දුමියා ආපහු හුස්මක් කටක් ගත්තේ.

ඔන්න යන්තන් සන්තන් ආපහු එන ගමනේදී ප්ලේන් එක ඇතුලේ දුමීට කිසිම කරදරයක මූන දෙන්න උනේ නෑ. පුරුදු විදිහට දෙකක් දාගෙන සාමාන්‍යය කෑම එකක් කාල දුමියා බුදියගත්තා. ඒත් ඔන්න ඊටේ පස්සෙ අති භයංකරම සිද්ධිය උනේ ආපහු ඩුබායි වල ලෑන්ඩ් කලාට පස්සෙ.

වෙනදට එයාර් බ්‍රිජ් එකක නවත්තන එමිරේට්ස් ප්ලේන් එක එදා නැවැත්තුවේ ටාමැක් එකේ.ඔන්න ප්ලේන් එක ටාමැක් එකේ නැවැත්තුවා විතරයි මෙන්න බොලේ තඩි ඇම්බියුලනස් එකක් මහා හයියෙන් සද්දේ දාගෙන ඇවිත් ප්ලේන් එක ලඟ නවත්තනවා දුමියා දැක්කා ප්ලේන් එකේ වීදුරුවෙන්.....! ඔන්න දුමියට දැන් හීනියට දාඩියදාගෙන ආපහු කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්ත.....!

යකෝ දුමියා ඇම්බියුලන්ස් එකකුත් ප්‍රිෆරන්ස් එකට දාලද ?

දැන් දුමියා හිතෙන් මවාගෙන ඉන්නවා ප්ලේන් එකේ අනිත් මිනිස්සු බලාගෙන ඉන්න ගමන් දුමියව කුදලගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන ඇම්බුලන්ස් එකේ ගෙනියන හැටි....!

ඔන්න එතකොටම ඇටෙන්ඩොං නංගි කෙනෙක් එනවුන්ස්මන්ට් එකක් දෙනවා ඔක්කොම පැසෙන්ජර්ස්ලට ටික වෙලාවක් සීට් වලටම වෙලා ඉන්න, හදිසි ලෙඩෙක්ව ගෙනියන්න තියෙනවා කියලා....!

දැන් දුමීගේ ඉහින් කනින් දාඩිය මුගුරු ගලනවා.....!

බැලින්නං අනේ ඔන්න පස්සෙ තමයි දුමී දැක්කේ බිස්නස් ක්ලාස් එකේ ගිය මනුස්සයෙක්ට ලාවට හාට් ඇටෑක් එකක් හැදිලා, ඒක නිසා තමයි ඇම්බියුලන්ස් එකක් ඇවිත් තියෙන්න එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...!



ප.ලි : දුමී බය උනාට ඇත්තටම ඔය ස්පෙෂල් රික්වෙස්ට් වල ඇම්බියිලන්ස් එකක් රික්වෙස්ට් කරන්න ඔප්ෂන් එකක් නෑ.....!

දුමී බබා කාලේ - හැන්ඩි සීයාගේ අවුරුද්ද

Posted by දුමී

ගුරු නිවස, පාන්තිය, මතුගම, ඕක තමයි දුමීගේ සීයා ජීවත් වෙලා හිටපු ගෙදර, එහෙම නැතිනම් දුමීගේ තාත්තගේ මහ ගෙදර ඇඩ්‍රස් එක. දුමීගේ සීයා විශ්‍රාමික විදුහල්පති වරයෙක්, ඒ වගේම ඒ පැත්තට හිටිය එකම සාමධාන විනිශ්චකාරවරයා. දුමීගේ ආත්තම්මත් එහෙමයි, විශ්‍රාමික විදුහල්පතිවරියක්. දුමීගේ සීයා මතුගම ගුරු නිවසේ හිටියට, දුමීගේ ආත්තම්මා ගොඩක් වෙලාවට හිටියේ කළුබෝවිල ගෙදර. දුමී බබා කාලේ ගෙවුනේ මේ ගෙවල් දෙක අතර තමයි. ඉස්කෝලේ කාලෙට කළුබෝවිල ගෙදර, නිවාඩු කාලෙට මතුගම ගෙදර. දුමී බබා කාලේ හරිම ලස්සන මතක අත්දැකීම් මහ ගොඩක් මේ ගෙවල් දෙක අතර රැඳිලා තියෙනවා.

ඇට්ටේරියා මල් සුවඳ, සේපාලිකා මල් සුවඳ නහයට දැනෙනකොට, ඇස් පියාගත්ත ගමන්, කාලය කැරකිලා කැරකිලා මතකය දිව යන්නේ ආත්තම්මත් එක්ක කළුබෝවිල ගෙදර ගෙවපු කාලය. ඇට්ටේරියා මල්, සේපාලිකා මල් කඩාගෙන ආත්තම්මත් එක්ක බුදුන් වැන්ද හැටි, පංසල් ගිය හැටි, භාවනා කල හැටි…... ඒ වගේම ගොයම් පිරිච්ච කුඹුරක්, ගොයම් කපන කොට එන නැවුම් සුවඳ, බිමට නැමිච්ච ගොයම් කරල්, දොළ පාරක්, මැංගුස්, කුන්දිරා වගේ දේවල් දකිනකොට ඇදිලා යන්නේ සීයත් එක්ක නිවාඩු කාලවල මතුගම ගත කරපු අති සුන්දර කාලේ…....!

අවුරුදු නිවාඩුව කියන්නේ දුමීටත්, දුමීගේ අක්කලා නංගිලා මල්ලිලාට හරිම ජොලි කාලයක්. මොකද ඒ වෙනකොට පිට රට රාජකාරි කරපු දුමීගේ තාත්තත් නොවැරදීම ලංකාවට එනවා. දුමීගේ තාත්තා ගෙදර ආපු ගමන් දවස් දෙක තුනක් කළුබෝවිල ඉඳලා කට්ටියත් එක්කම අවුරුදු ගත කරන්න මතුගම යනවා. දුමීගේ බාප්පලා, නැන්දලා ඔක්කොමල්ලත් ගොඩක් වෙලාවට අවුරුද්දට මතුගම එනවා. ඒ වගේම දුමීගේ බාප්පලා හිටියෙත් මතුගම ගෙදර. හැමෝම එකට එකතු වෙලා ඒ කාලේ ගත කරපු අළුත් අවුරුද්ද විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

අවුරුද්ද කියන්නේ දුමීගේ අතේ මිටෙත් කාසි ටිකක් වැඩිපුර ගැවසෙන කාලයක්. අවුරුද්දට බුලත් දීලා වැන්දහම බාප්පලා, නැන්දලා, සීයලගෙන ලැබෙන රුපියල, රුපියල් දෙක සමහර වෙලාවට රුපියල් පහ කියන්නේ මහමෙරක් වගේ. අවුරුදු නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලේ ගිහින්, ඒ කාලේ දුමීගේ ප්‍රියතම කෑම වන මාළුපාන් මහ ගොඩක් කන්න පුළුවන් වෙන්නේ ඒ අවුරුද්දට බුලත් දීලා ලැබෙන සල්ලි වලින් තමයි. ඒ දවස්වල දුමීට තිබ්බ ඔය මාළුපාන් පෙරේතකම ගැනත් කට කහන කතාවක් තියෙනවා. ඒක පස්සෙ ලියන්න බලමු.

මතුගම ගිහිල්ලා කියන්නේ කරන්න තියෙන දේවල් වල නම් නිමක් නෑ. ඒ ටික කරන්න දවසක් හොඳටම මදි. කට්ටියත් එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන්න, ටීක් බෝල ගහන්න, සම්බෝල කඩන්න, ගුඩු ගහන්න, දොළේ නාන්න යන්න, වෙලේ බැහලා බට්ටෝ කාවයියෝ අල්ලන්න සීයාට හොරෙන් කුන්දිරා කඩාගෙන බොන්න, මැන්ගුස් කඩන්න, ජම්බු වෙරළු කඩන්න, පාළු පාරවල් දිගේ බයිසිකල් පදින්න, කැලේ වැදුනම කකුලේ එල්ලෙන කූඩැල්ලෝ ගලවන්න.... අම්මේ මතක් වෙනකොටත් කාල යන්තරේක නැගලා ආපහු ඒ කාලෙට යන්න කියලා හිතෙනවා.                                                              

මතුගම සීයගේ ගෙදරට යන්න මහ පාරේ ඉඳන් මීටර් දෙසීයක් විතර ගුරු පාරක යන්න ඕනේ. ගුරු පාරේ යනකොට වම් අත පත්තෙන් වෙල් යාය, වෙල ඉවර වෙච්ච ගමන් නිල් කැටේට වතුර උතුරලා යන, පොකුණක් වගේ කළුගල් බැඳලා හදලා තිබ්බ ගැඹුරු නැති නාන ලිඳ. දකුණු පත්තේ පාරටම මායිම් වෙලා පාරත් එක්ක සමාන්තරව ගලාගෙන ඇවිල්ලා පාර හරහා පාර යටින් බෝක්කුවකින් මෙතර වෙලා කුඹුරට වතුර ගලාගෙන එන ඇල පාර. පාර දිගටම දෙපැත්තේ වවලා තියන බිම ඉඳලා ගෙඩි කඩන්න පුළුවන් උසට වැවිලා තිබිච්ච කුන්දිරා සහ තැඹිලි ගස් ටික.....ඊට පස්සෙ ගෙදරට ගොඩ වෙන්න ලොකු කළුගල් වලින් බැඳලා තිබිච්ච පඩි විස්සක විසි පහක විතර පඩි පේලිය. ඒක නැග්ගම තමයි ගුරු නිවස තියෙන්නේ, පුංචිම පුංචි කඳු ගැටේක තිබ්බ පුංචි මාලිගාවක් වගේ තමයි දුමීට සීයගේ ගෙදර ඒ දවස්වල පෙනුනේ. ඇතුලු වෙච්ච ගමන් විවෘත මහ සාලේ. මහ සාලේ දෙපැත්තටම දෙක දෙක වෙන්න කාමර 4යි. ඕකෙන් දකුණු පැත්තේ පළවෙනි කාමරේ තමයි සීයාගේ කාමරේ. වම් පැත්තේ පළවෙනි කාමරේ පොඩි බාප්පාගේ කාමරේ. සීයාගේ කාමරේට අල්ලපු එක, චුට්ටි බාප්පාගේ කාමරේ. ඊට පස්සෙ තමයි ගෙට ඇතුලු වෙන දොර තියෙන්නේ. ගේ ඇතුලෙත් කාමර මහ ගොඩක්.

හැන්ඩි සීයා කියන්නේ අපේ සීයගේ ගජයෙක්. ගජයෙක් කිව්වට සීයාගේ කුඹුරු වැඩ වලට එහෙම උදව්වෙන්න හිටිය අයගෙන එක්කෙනෙක් තමයි හැන්ඩි සීයා. අපේ අම්මලා තාත්තලා එයාට කිව්වේ හැන්ඩි සිඤ්ඤෝ කියලා. හැන්ඩි සීයාගේ හාමිනේ තමයි එව්ජින් ආච්චි. (ඇත්ත නම ඉයුජින් වෙන්න ඇති ) හැමෝම එයාට කිව්වෙ එව්ජින් අක්කා කියලා. ඒක නිසා අපිට එයා එව්ජින් ආච්චි උනා. එව්ජින් ආච්චි කියන්නේ හරිම කරුණාවන්ත, අපිට පපුව පිරෙන්න ආදරේ කල හරිම සීදේවි කාන්තාවක්. කොයිවෙලේ බැළුවත් කුස්සියේ ඉඳගෙන වැඩක් පලක් කරගෙන, වත්ත පිටිය සුද්ද බුද්ද කරලා හවසට ඔය මොනව හරි දෙයක් ඔතාගෙන ගෙදර යන එක තමයි එව්ජින් ආච්චිගේ දින චරියාව උනේ. හැන්ඩි සීයත් කොයිවෙලේ බැළුවත් අමුඩේ ගහගෙන සීයාගේ බුලත් කොරටුවේ එහෙම නැතිනම් කුඹුරේ වැඩක් පලක් කර කර තමයි ඉන්නේ.

අවුරුද්ද කාලෙදි මතුගම පැත්තේ නොවරදින අංගයක් තමයි ඔය බයිසිකල් රේස්. බයිසිකල් රේස් එකක් එනවා කියලා දැනගන්නේ ලවුඩ් ස්පීකර් දෙකක් බැඳ ගත්ත මොරිස් මයිනර් කාර් එකක් මුළු පලාතම දෙවනත් කරගෙන හැටට හැටේ මහ පාර දිගේ ඈත ඉඳන් එනකොට තමයි. මොන සෙල්ලම කර කර හිටියත් දුමී සහ දුමීගේ සගයෝ සෙට් එක ගුරු පාර දිගේ මහ පාර ගාවට දුවගෙන එනකොටත් බයිසිකල් රේස් එකේ ඉස්සරහින්ම යන දෙතුන් දෙනා ඊ ගස් ටිකක් වගේ අපිව පහු කරලත් ඉවරයි. අහලා පහල ගම් හතක තරඟ කාරයෝ ඔය මතුගම බයිසිකල් රේස් එකට එන නිසා කොහොමත් තරඟ කාරයෝ දෙතුන් සීයක් නොවැරදීම ඉන්නවා. බයිසිකල් රේස් බලන පාර තොටේ අයිනේ ගෙවල් වල මිනිස්සු ඊට පස්සෙ කරන්නේ අතට අහුවෙන භාජනේකට වතුර ගෙනැල්ලා අර බයිසිකල් රේස් පදින අයට හිටු කියලා වතුර ගහන එක. වතුර පාර කාගෙන තෙමිච්ච කුකුලෝ ටිකක් වගේ අනිත් එකාව කොහොම හරි පහු කරගෙන යන්න හදන බයිසිකල් කාරයෝ දුමීට අදටත් මැවි මැවී පේනවා.

ඔන්න දවසක් දුමීලා ඔය වගේ බයිසිකල් රේස් එකක් බල බල ඉන්නකොට තමයි හරිම අපූරු සිද්ධියක් උනේ. ඔය සීයලාගේ ගෙදරට හැරෙන පාරට පොඩ්ඩක් එහාට වෙන්න තිබුනේ ඒ පැත්තේ මිනිස්සු නාන කරන ගැහැණු / පිරිමි කියලා දෙපැත්තක් වෙන වෙනම වෙන්න හදලා තිබිච්ච පොදු ලිඳක්. ඉතින් රේස් එක බලන මිනිස්සු එක එක භාජන වලට වතුර අරගන්නේ ඔන්න ඔය ලිඳෙන් තමයි. ඔන්න එදත් සුපුරුදු විදිහට රේස් එක යනකොට මිනිස්සු භාජන වලට වතුර අරගෙන අරගෙන අවිත් බයිසිකල් රේස් පදින රේස් කාරයන්ට වතුර ගහනවා ඒ ගොල්ලන්ගේ මහන්සිය නිවන්න කියලා. ඔන්න බොලේ එක පාරටම අමුඩ කොටෙත් ගහගෙන කොහේද ඉඳන් දුව ගෙන ආවේ නැද්ද අපේ හැන්ඩි සීයා. කොහෙන්ද මන්දන්නේ නෑ හොයාගත්ත ලොකු ඇළුමීනියම් පණිට්ටුවකට කට පිරෙන්න වතුර පුරෝගෙන ආපු හැන්ඩි සීයා එක රොත්තට පැදගෙන එන බයිසිකල් කාරයෝ ටිකකට එල්ලේ බලලා , මුළු ඇඟේ පතේම වීරියත් යොදාලා ගැහුවේ නැද්ද වතුර බාල්දිය.

ඒ ගහපු ගැහිල්ල කොච්චර සැරද කියනවන් , අනේ අර පනිට්ටුවේ හැන්ඩල් එක හැන්ඩි සීයාගේ අතේ. හැන්ඩ්ල් එක ගැලවිච්ච වතුර පිරිච්ච මලකඩ කාපු පනිට්ටුව ගිහින් වැදුනේ අර එක රොත්තට පැදගෙන එන බයිසිකල් කාරයෝ සෙට් එකේ. ඒ වැදිච්ච පාරටයි, ආපු වේගෙටයි මුන් ටික එක රොත්තට එකා පිට එකා ඇදගෙන වැටෙන්න ගත්තා.

අනේ ඊට පස්සෙ තමයි මෙච්චර වෙලා තිබිච්ච බයිසිකල් රේස් එක, මහා ගම හරහා දිවීමේ තරඟයක් උනේ. බයිසිකල් තරඟේ දිනනන්න බලාගෙන අහල පහල ගම් හතකින් විතර කට්ට කාලා රේස් එකට ඇවිත් මලකඩ කාපු පනිට්ටු පාරක් කාල වැටිච්ච බයිසිකල් කාරයෝ ටික බයිසිකල් ටිකත් එහෙම්මම තියෙලා එළවන්න ගත්තේ නැතෑ හැන්ඩි සීයගේ පස්සෙන්. අමුඩ කොටේ ගහ ගත්ත හැන්ඩි සීයා පාරට පැනලා ටික දුරකුත්, ඊට පස්සෙ වෙලට පැනලා මඩ කාගෙන හතර ගාතෙන් ටික දුරකුත්, ඇළට පැනලා ඇළ දිගේ ටික දුරකුත් ගිහිල්ලා නැවතිලා තිබුනේ සීයගේ පුවක් ගහක කරටියේ.........

ඊට පස්සෙ දකින්නේ ලැබුනේ පුවක් ගහත් වට කරගෙන පුවක් ගහ පද්ද පද්ද සුද්ද සිංහලෙන් ඔංචිලි වාරං කියන බයිස්කල් කාරයෝ ටික. ඒත් හැන්ඩි සීය නම් නෙමෙයි බදාගෙන හිටිය පුවක් කරටිය නම් අත ඇරියේ.

ඔන්න ඊලඟට පටන් ගත්තේ ලිස්සන ගහේ නගින තරඟේ. හැන්ඩි සීයව අල්ලගන්න පුවක් ගහට නගින්න හදන එකෙකුටවත් ගහෙන් බාගෙකටවත් වඩා උඩට නගින්න බැරි උනේ පුවක් ගහේ ග්‍රීස් ගාලා තිබ්බ නිසා නෙමෙයි. ඒ වෙනකොටත් එතනට දුවගෙන ආපු එව්ජින් ආච්චි පුවක් ගහට නගින නගින එකාගේ කකුල් දෙකෙන් අල්ලලා බිමට දැම්ම නිසා.

හැන්ඩි සීයව බස්ස ගන්න පුවක් ගහ කපන්න ගිය එක නැවැත්තුවේ දුමීගේ සීයා මැදිහත් වෙලා තමයි. හැන්ඩි සීයා පුවක් ගහෙන් බැහැලා තිබුනේ එදා රෑ කළුවර වැටිලත් හෝරා දෙක තුනක් ගියාට පස්සේයි.

ඒ සිංහල අවුරුද්ද හැන්ඩි සීයා ගෙවලා දැම්මේ ඔන්න ඔය විදිහට තමයි....







ප.ලි

ඒ දවස්වල අවුරුද්දට මතුගම පාන්තියේ පන්සලේ වගේම පාන්තියේ ගුරු නිවසෙත් හිස තෙල් ගෑමේ උත්සව දෙකක් පැවැතුනා. ඒ දවස්වල පන්සලට හිස තෙල් ගාන්න යනවටත් වඩා සෙනග ආවේ දුමීගේ සීයගෙන් හිස තෙල් ගාගන්න. ඒ එන හැමෝටම කැවුම් කොකිස් සහ බත බුලතින් සංග්‍රහ කරන්න පාන්තියේ ගුරු නිවසේ හැමෝම සැදී පැහැදී සිටියා....! 1986 අවුරුද්දේ හිස තෙල් ගෑම යෙදී තිබුනේ අප්‍රේල් 16 වෙනිදා. වෙනදා වගේම දුමීගේ සීයා අවුරුදු චාරිත්‍ර වලට අනුව ගුරු නිවැසියන්ගෙන් පටන් අරගෙන පොලිමේ ඇදී ආපු අනිත් හැමෝගේම හිස තෙල් ගෑමේ චාරිත්‍රය හරිම සන්තෝසෙන් ඉෂ්ඨ කලා.....

දුමී, දුමීගේ අක්කා, දුමීගේ නංගි සහ ලොකුනැන්දගේ පුතාලා දෙන්න සීයව වට කරගෙන ෆොටෝ ඇල්බම් එකක් බලන ගමන්. කහපාට කමිසයක් ඇඳලා ඉන්නේ දුමී.....


සීයාට පපුවේ අමාරුව හැදිලා තිබුනේ එදා හිස තෙල් ගාපු දවසෙම මහ රෑ. දුමීගේ තාත්තත්, අම්මත්, බාප්පත් එකතුවෙලා කාර් එකේ දාගෙන සීයව අරගෙන ගිහිල්ල තිබුනේ මතුගම ටවුන් එකේ හිටිය දොස්තර මහත්තයගේ ක්ලිනික් එකට. ඒත් දොස්තර මහත්තයා කියලා තිබුනේ ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. ඒ යමින් ගමන පානදුර ඉස්පිරිතාලේ පෙනෙන නොපෙනන මානයේ සීයා ඇස් දෙක පියාගෙන තිබුනේ දුමීගේ අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන.....!

දුමීගේ සීයා සහ ආත්තම්මා..... සීයා දෙනෙත් පියාගෙන අවුරුදු එකහමාරකට විතර පස්සෙත් ආත්තම්මත් දුමීලව දාලා ගියා.....


සෝභමාන ගුවන් ඇටෙන්ඩොං

Posted by දුමී

දැන් ඔය ප්ලේන් වල යන එන අය දන්නවනේ ෆ්ලයිට් එක නග්ගන්න කලින් සේෆ්ටි ප්‍රොසීඩියර්ස් දෙනවා. ඉන් එකක් තමයි ප්ලේන් එකේ ඉන්න හැමෝම ටේක් ඕෆ් එකේදියි, ලෑන්ඩින්ග් එකේදියි තමන්ගේ තියෙන ලැප්ටොප්, ටැබ්ලෙට්, ෆෝන් ඇතුලු මෙකී නොකී හැම ඉලෙක්ට්‍රොනික් උපාංගයක්ම ඕෆ් කරන්න ඕනේ. ෆෝන් අනිවාර්‍යයෙන්ම මුළු ෆ්ලයිට් ටයිම් එකේදීම ඕෆ් කරලා තියෙන්න ඕන, නැතිනම් ෆ්ලයිට් මෝඩ් එකේ දාල තියන්න ඕන. ඒ කියන්නෙ කෝල් ගන්නවත්, මැසේජ් කරන්නවත් තහනම්. එහෙම කරන්නේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිසා ප්ලේන් එකේ නැවිගේෂන් සිස්ටම් එකටයි, කමියුනිකේෂන් සිස්ටම් වලටයි බාධා ඇති වෙන්න පුළුවන් නිසයි....!

කොහොමහරි ඔන්න තව දවසක් මම තනියෙන් ලංකාවට එන වෙලාවක වෙච්ච සිද්ධියක්. ඉතින් එදත් මම ආවේ ලෝ කොස්ට් එයාර් ලයින් එකක. වෙනදා විදිහටම ලැප් එකත් ඇරගෙන, ඉයර් ෆෝන් එකත් කනේ ගහගෙන මූවි එකක් බල බල තමයි හිටියේ. මේ වෙනකොට ප්ලේන් එක ලෑන්ඩ් කරන්න ටික වෙලාවයි තිබුනේ. ඔය වෙලාවට තමයි ප්ලේන් එකේ මිනිස්සු තමන්ගේ ෆොන් ඕෆ් කරලද නැද්ද කියලා ඇත්තටම බලාගන්න පුළුවන් වෙන්නේ. මොකද ලංකාවට කිට්ටු වෙලා ෆෝන් සිග්නල් ආපු ගමන්ම ෆෝන් වලට ටීක් ටීක්, නීක් නීක්, පීක් පීක් වගේ එක එක විදිහේ සද්ද දාගෙන එස්.එම්.එස් එන්න පටන් ගන්නවා රෝමින් සර්විස් වලින්.

අප්පද බොල ඔන්න ඔය අස්සේ එකපාරටම මූවි එක ඇතුලෙන් ගෑණු කෙනෙක් සිංහලෙන් කතා කරනවා ඇහෙනවා. ඇහිලා බලද්දි, මගේ සීට් එක ඉස්සරහා ඉන්න ගෑණු මනුස්සයෙක් මෙන්න ප්ලේන් එකටම ඇහෙන්න කෝල් එකක් අරගෙන කතා කරනවා.. ඒ කතා කරපු කතා කිරිල්ලට ෆෝන් එක තිබ්බේ නැතත් ලංකාවටම ඇහෙනවා.

ප්ලේන් එක ලෑන්ඩ් කරන්න කිට්ටු නිසා මමත් ලැප්ටොප් එක ඕෆ් කරලා බෑග් එකට දාගත්තා.

අනිත් අයගේ කතා වලට ඇහුම්කන් දෙන්න ඕන කමක් නොතිබුනත් බලෙන්ම අස්සවන නිසා මොනා කරන්නද ඉතින්.....ඔන්න ඉතින් ඒක පාර්ශවික (අනිත් පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑනේ ) කතාව යන්නෙ මෙන්න මෙහෙම...

“අනේ සිරී මම ප්ලේන් එක නග්ගපු වෙලාවෙ ඉඳන් ට්‍රයි කරනවා පැටියෝ…... ඔන්න දැන් තමයි රින්ග් උනේ. ඔයා එයාපෝට් ඇවිල්ලද ඉන්නේ රත්තරන්....” (ෆ්ලයිට් ඇටෙන්ඩොංලා කට කැඩෙනකං මොබයිල් ෆෝන් ඕෆ් කරන්න කිව්වත් මෙයා ප්ලේන් එක නග්ගපු වෙලාවෙ ඉඳන් ට්‍රයි කරලා තියෙන්නේ සිරිට කෝල් එකක් ගන්න )

“නෑ නෑ..තාම බැස්සෙ නෑ අනේ....තව තව ටිකකින් බස්සයි.....”

“ඔයා කලිසමක් ඇඳලද ආවේ.....!” (ඈහ්.... යකෝ නැත්නම් හෙළුවෙන් එන්නයෑ ඒ මිනිහා )

“මම කිව්වනේ මගේ ඉස්සරහා සරම අඳින්න එපා කියලා......!” (යකෝ මේ ගෑණිට තියෙන කුලප්පුවක්, ඌට දැම්මම සරම ගලෝගෙනද ඉන්න කියන්නෙ )

“තමුසෙට මම කලිසන් රෙදි කොච්චර එව්වද. විල්සන් බාප්පට කියලා කලිසමක් මහගන්න බැරි උනාද ?” (ඔන්න දැන් මෙච්චර වෙලා රොමෑන්ටික් සාගරේ ගිලිලා හිටිය, ගෑණිගේ නියම වාග් විලාසය ටික ටික මතු වෙනවා…….)

“මේ සිරිසේන, මම දන්නවනේ තමුසෙගේ හැටි.... තමුසේ කලිසන් රෙදි විකුණලා කසිප්පු බිව්ව නේද ?” (ඔන්න දැන් තමයි සංවාදේ ෆුල් රොමෑන්තික් ගතියට ආවෙ )

මම ඩුබායි එකෙන් මේ විස්කි බෝතල් දෙකකුත් අරගත්තා. (ඒ අතින් නම් අපේ ගම හාමිනේට වඩා හොඳයි වගේ )

තමුසේ එන්න එපා මගේ ඇස් දෙකට පේන්නේ ඔය සරම ඇඳගෙන.....ලැජ්ජාවෙ බෑ.....! (යකෝ ඒ ගෑණිට යෑ.... මේකා සරම නැතිව ඉන්නකොට ලැජ්ජ වෙන්න ඕනේ සරම නැතිව ඉන්න එකාටනේ )

ඒ අස්සෙ තමයි ඔන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කනෙක් ගෝරිය මැදට ආවෙ....

Madam, you are not supposed to use your mobile phone. We are in the final approach…. ( නෝනා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න ඔබට බැහැ....අපි ගොඩ බාන ගමන් ඉන්නේ )

අනේ පලයන් _ _ _ යන්න.......! (ගැලපෙන අකුරු තුනේ කුණුහරුපයක් දාගන්න)

මම ඉතින් කල්පනා කරේ ෆ්ලයිට් ඇටෙන්ඩොං කෙනෙක් උනාම භාෂා කීයකින් කුණුහරුප අහන්න වෙනවද කියලයි.

අරාබි ජාතික ගුවන් සේවිකාවක් වෙච්ච ඇයට මෙයා කිව්වේ මොකක්ද කියලා තේරුනේ නෑ. ආපහු හැරිලා ගියේ මේ ගෑනි ෆෝන් එක එතකොටත් ඕෆ් කරගෙන හිටිය නිසයි.

මගේ යාළුවෙක් ඉන්නවා නිරේෂ් කියලා. ඒකා අවුරුද්දකට විතර කලින් කසාද බැන්දේ මෙහේ තියෙන ප්‍රසිද්ධ ගුවන් සේවයක ෆ්ලයිට් ඇටෙන්ඩොං කෙනෙක්. එයාගේ නම සයුරි. මේ අළුත බැඳපු ජෝඩුව, කුරුල්ලයි පැස්බරයි, කිරිල්ලියි වගේ තමයි. අරූට ටිකක් ඉගෙල්ලෙන අමාරුයි මොකද ඌ ටිකක් මහත නිසා, හැබැයි ඉතින් සයුරිගේ වැඩේ ඉගිල්ලෙන එකනේ.

ඉතින් සයුරිත් ඔය ඉස්සෙල්ල කිව්ව ඉලෙක්ට්‍රොනික් අයිටම් ඕෆ් කරන්න ඕනේ කියන නීති රීති ටික ප්ලේන් එකටම එනන්වුන්ස් කරනවා. අනේ ඉතින් ඊට පස්සෙ සයුරි මොකද කරන්නෙ, නිවිහැනහිල්ලේ එයාගේ සීට් එකට ගිහිල්ලා එයාගේ ෆෝන් එක එළියට අරගෙන, ප්ලේන් එක කෲසින් ඇල්ටිටියුඩ් එකට ඇවිල්ලා, සිග්නල් නැති වෙලා යනකන්ම නිරේෂ් එක්ක වට්ස් ඇප් එකෙන් මල් කඩනවා. ඩියුටි රොස්ටර් එක නිසා හරියකට හනිමුන්වත් යාගන්න බැරි උනා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් ඔන්න ඔහොමයි සයුරිලා වගේ ෆ්ලයිට් ඇටෙන්ඩොංලා අපේ ආරක්ෂාව ගැන වගකීමෙන් ක්‍රියාත්මක වෙන්නේ.

සයුරි කෙල්ල කාලේ, ඒ කියන්නේ අපේ පැස්බරාව බඳින්න කලින් වෙච්ච සිද්ධියක්. ඒ වෙනකොට ගුවන් සේවා ඇමති වෙලා හිටියේ, පස්සෙ කාලෙක කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා අකාලේ මියැදිච්ච ඇමති කෙනෙක්. එයා ඔය මොකක්ද රාජකාරී වැඩකට ලංඩොන් යන ගමනකදී, ෆස්ට් ක්ලාස් කැබින් එකේ ඉඳලා තියෙන්නේ සයුරි. සාමාන්‍යයෙන් ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න කලින් ස්ටීම් කරපු හොට් ටවල් එකක් දෙනවා මූන , අතපය එහෙම පිහිදාගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න කියලා....!

ඉකනොමි ක්ලාස් නැතිනම් කැටල් ක්ලාස් (එහෙම කියන්නෙ හරක් පටවනවා වගේ පටවන නිසා විතරක් නෙමෙයි නෙමෙයි, ඇටෙන්ඩොං නංගිලා මිනිස්සුන්ට හරක්ට වගේ සලකන නිසා ) එකට නම් ඔය හොට් ටවල් ටික ට්‍රේ එකක තියලා ඕන නම් ගනින් නැතිනම් ඒත් ගනින් කියලා තමයි ඇටෙන්ඩොං නංගිලා අරගෙන යන්නේ....

ඒත් ෆස්ට් ක්ලාස් කැබින් එකේ එහෙම කරන්න බෑනේ... මොනව හරි දෙන්න ඕනෙනම්, පැසෙන්ජර් ගාව දණ ගහලා, දෙකට නැමිලා, පනාව දාල බටර් බේරෙන මූන දාල අහන්න ඕනේ.....!

ඉතින් සයුරිත් අපේ ඇමතිතුමා ගාව දණ ගහලා මෙහෙම ඇහුවලු.....

"Sir, may I give you a steamed hot towel ?" ( සර්, මම ස්ටීම් කරපු හොට් ටවල් එකක් දෙන්නද ? )

එතකොට අපේ ඇමති තුමා......

“No No ! I just had a bath and came……” එපා එපා, මම නාලා ආවේ....!

ෆස්ට් ක්ලාස් එකේ දෙන සැප හැටියට ඇමති තුමා හිතලා තියෙන්නේ ඇටෙන්ඩොං නංගිලා එකතු වෙලා ඇමති තුමාව නාවන්න හදනවා කියලයි....!

ඔය පොඩි එවුන් ෆ්ලයිට් වල දෙන වද ගැන අපේ ගම හාමිනේගෙන්ම තමයි අහන්න ඕනේ. එයාට එච්චරටම අත්දැකීම් තියෙනවා පහුගිය අවුරුදු පහළොවේ අපේ පොඩි උන් තුන් දෙනාව ප්ලේන් එක ඇතුලේ ආම්බාං කරගෙන. දැන් උනත් මගේ පොඩි එකී ප්ලේන් එකට නැගලා අම්මා මුත්තා කිව්වත් සීට් බෙල්ට් එක දාන්න දෙන්නේ නෑ....!

සයුරිලා වගේ ඇටෙන්ඩොංලට ඔය පොඩි උන් ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. පුළුවන් තරමක් බලන්නේ පොඩි උන්ව ෂේප් එකේ අඬන්නේ නැතිව තියා ගන්න තමයි. ඔන්න එක දවසක් සයුරි වැඩ කරපු ෆ්ලයිට් එකක් පොඩි බබෙක්ව වඩාගත්ත අම්ම කෙනෙක් ඉන්නවා. කිරි බොන වයසේ පොඩි එකෙක්. ඔන්න කෑම ට්‍රොලිය තල්ලු කරගෙන ආපු සයුරි දකිනවා මේ අම්මා පොඩි එකාව අතේ තියාගෙන ඉන්නවා. එයාට කෑම එක කන්නවත් විදිහක් නෑ. ඔන්න ඉතින් සයුරි අහනවා අර අම්මගෙන්,

"මැඩම්, මම බබාට 'බේබි බැසිනට්'* එකක් දෙන්නද ?"

අනේ ඉතින් අම්ම මෙහෙම කියනවා...

"අනේ එයා තාම බේබි බැසිනට් කන්නේ නෑ.... මගේ කිරි විතරයි බොන්නේ..." කියලා

පව්, ඒ අම්මගේ හිතේ බේබි බැසිනට් කියන්නේ අර බේබි බිස්කට් වගේ කන ජාතියක් කියලා....


                                                     (මේ පින්තූරේ තියෙන්නේ බේබි බැසිනට් එකක්)                                                                          
ඔය වගේ ප්ලේන් එක ඇතුලේ සිද්ධ වෙන කමියුනිකේෂන් වැරදි අනන්තයි අප්‍රමාණයි. සයුරිලාට ඉතින් ඕවා එච්චර ගාණක් නෑ...හැබැයි යාළුවෝ කට්ටියත් එක්ක සෙට් උනාම තමයි ඕවා කිය කියා ඒවට මූන දීපු උන්ගේ රෙදි ගලවන්නෙ....!

එහෙම වෙච්ච එකක් තමයි දවසක් ලංකාවෙ ඉඳන් එන ප්ලේන් එකක සිංහල බෑ, ඉංග්‍රීසි විතරයි පුළුවන් ටයිප් එකේ ලංකාවෙ පොරක් සයුරිට මෙහෙම කියනවලු,

"May I have a orange juice with snow ?" ( මට හිම දාපු ඔරේන්ජ් ජූස් එකක් දෙන්න )

එයාට කොච්චර සිංහල බැරිද කියනවනම්, "අයිස්" කියන්න ඕනේ එකට කියලා තියෙන්නේ "ස්නෝ.." කියලා....

මම නම් ඔය ශ්‍රී ලංකන් වගේ ෆ්ලයිට් එකක යනවනම් ඇටෙන්ඩොං නගාලත් එක්ක කතා කරන්නෙම සිංහලෙන්. මොකද මට තාම ඉංග්‍රීසියට වඩා සිංහලෙන් හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නිසා. අනික බැරි වෙලා හරි මොනව හරි වැරදුනොත් මුන් අපි නැති තැන අපේ රෙදි ගලවන හැටි දන්න නිසා....

මේක මටම වෙච්චි ඇබැද්දියක්, දැනට අවුරුදු 13 කට විතර කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ වැඩට ගිය අළුතම වගේ රාජකාරි වැඩකට ඩුබායි වල ඉඳලා අයර්ලන්තේ ඩබ්ලින් වලට එමිරේට්ස් ෆ්ලයිට් එකක යන වෙලාවක. එදා නම් මට සිංහලෙන් කතා කරන්න බැරි උනා මොකද ඒ ඇටෙන්ඩොං නංගිට සිංහල බැරි නිසා....

ඔන්න ඉතින් ෆ්ලයිට් ඇටෙන්ඩොං නංගි බීම ට්‍රොලිය තල්ලු කරගෙන එන ගමන් හැමොගෙන්ම අහනවා මොනාද බොන්න කැමති කියලා.....! ෆ්ලයිට් එකේ යන ගමන් ඔය ඇපල් ජූස්, ඔරේන්ජ් ජූස් බීලා පුරුද්දක් නැති නිසා මම බැළුවා මොනාද ට්‍රොලියේ තියෙන්නේ කියලා. ජාති දෙකක විතර විස්කි ජාති වලට අමතරව Cognac ("කොග්නැක්") කියලා ගහපු බෝතලේකුත් තියෙනවා මම ටිකක් ඈතදීම දැක්කා. කලින් බීලා නොතිබිච්ච ජාතියක් නිසා මම හිතා ගත්තා අද කොග්නැක් එකක් ගහනවා කියලා.

අර ඇටෙන්ඩොං නගා මං ගාවට ආවහම කන්වර්සේෂන් එක යන්නේ මෙහෙම......!

“Sir, What do you like to drink…? ” සෝභමාන ගුවන් ඇටෙන්ඩොං එහෙම අහනවා....

“I’ll have කොග්නැක් please ……” කලින් කොග්නැක් බීලා හොඳ පුරුදු කාරයෙක් විදිහට මමත් හොඳ හුස්මක් අරන් කියනවා..

“කොග්නැක් ? What කොග්නැක් ? “ සෝභමාන නගා එහෙම ඇහුවම තමයි තේරුනේ තාප්පෙටම කෙලියා තමයි කියලා…

වෙන කරන්න දෙයක් නැති නිසා මමත් අසරණ බයාදු මූණ දාලා අර ට්‍රොලියේ තියෙන බෝතලේ ඇඟිල්ලෙන් පෙන්නුවා.....!

කින්ඩි හිනාවක් දාගත්තු සෝභමාන නගා,

" Ahh…. you wanna glass of කොන්‍යයැක්....?"........කවදා ගහපු කොන්‍යයැක්ද..........? මේකි කලින්ම දන්නවා මම ඉල්ලුවේ මොකක්ද කියලා. ඒත් මේකි එහෙම කිව්වේ කිණ්ඩියට කියලා දැන් මට හොඳටම තේරෙනවා.

“Sir how do you like to have your කොන්‍යයැක් ?” දැන් මේකි අහනවා මොන විදිහට කොන්‍යයැක් ඕනේ කියලා....

“Shall I pour it on rock……? “ ඈහ්.. මේකි මෙන්න අහනවා කොන්‍යයැක් එක ගලක් උඩට දාන්නද කියලා. යකෝ මේ මොන අපරාදයක්ද ?

No no, not on a rock, pour it in a glass please ! කළබල වෙච්චි මමත් කිව්වා ගලක් උඩට දාන්න එපා, ග්ලාස් එකකට දාන්න කියලා….

මෙන්න යකෝ මේකි බඩ අල්ලගෙන හිනා වෙනවා......!

“Sir I meant ice, ice...rocks means ice…..” එදා තමයි මම දැනගත්තේ රොක්ස් කියන්නේ අයිස් වලට කියලා.....

කොහොමින් කොහොමහරි ඔන්න එක දවසක් සයුරිට වැඩ කරන්න සෙට් වෙලා තියෙන්නේ ඩුබායි ඉඳන් ඇම්ස්ට්‍රඩෑම් යන ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් කැබින් එකේ. මේක ඉඳලා තියෙනවා ඩුබායි වල නිවාඩුවක් ගත කරන්න ඇවිත් ආපහු ගෙදර යන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. හොඳට ලස්සනට පිළිවෙලට ඇඳලා පැලඳලා, කුරුළු ජෝඩුවක් වගේ තුරුළුවෙලා ඉඳලා තියෙන මේ දෙන්නා අවුරුදු හැත්තෑ පහ පැනපු ජෝඩුවක් වගේ තමයි පෙනිලා තියෙන්නේ.

ඔන්න එදත් සයුරි අර සේෆ්ටි ප්‍රොසීඩියර්ස් ටික එනවුන්ස් කරලා කැබින් එක චෙක් කරගෙන ඉස්සරහට යනකොට අර ආච්චි අම්මා සයුරිගේ අතින් අල්ලලා නවත්තගෙන මෙහෙම අහනවලු....!

“Dear ! do we have to switch off all our personal electronics……?” (දුවේ අපි ගාව තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රොන්ක් දේවල් ඕෆ් කරන්න ඕනෙද ?)

“Yes Mam ! it’s just for sake of everyone's safety…..!” (ඔව් නෝනා, එහෙම කරන්නේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්…)

ඔන්න ඉතින් එහෙම කියාගෙන සයුරි අනිත් අයව චෙක් කරගෙන ඉස්සරහට ගියාලු....

ඔන්න ඊට විනාඩි පහලවකට විතර පස්සෙ අර ආච්චි ඉන්න සීට් එකෙන් "ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෝල්"* එකක් එනවළු. ඔන්න ඉතින් සයුරිත් අර ආච්චි ගාවට ගිහිල්ලා ඇහුවලු මොනවහරි අවශ්‍යයද කියලා....! (ඔන්න ඊට පස්සෙ වෙච්ච සංවාදය සිංහලට හරවලා…)

“අනේ දුවේ මගේ මහත්තයගේ හියරින් ඒඩ් එක දැන් ඔන් කලාට කමක් නැද්ද ?”

සයුරිගේ ඇස් දෙක උඩ ගියාළු....

“නෝනා කවුද ඒක ඕෆ් කරන්න කිව්වෙ, ඒක දාන්න ඒක දාන්න......” සයුරිත් කිව්වලු

“අනේ දුවේ මගේ මහත්තයා හුස්මගන්නේ ටිකක් අමාරුවෙන්.....එයාගේ පේස්-මේකර් එකත් ඔන් කරන්නද ?” (පේස්-මේකර් එක කියන්නේ, හදවත් දුර්වල අයගේ හාට් රේට් එක ක්‍රමාණුකූලව තියාගන්න හයි කරපු පල්ස් යන්ත්‍රයක්)

ඉලෙක්ට්‍රොනික් ඕෆ් කරන්න කිව්වම මේ ආච්චි අම්මා, එයාගේ මහත්තයගේ හියරින් ඒඩ් එකයි, හාට් සපෝට් එකයි ඕෆ් කරලා....!

සයුරිට එතනම කලන්තේ දැම්මලු.....!

තනිකඩ වසන්තය සහ ඉන්ෆ්ලයිට් කතා

Posted by දුමී

හැම අවුරුද්දකදී වගේ මේ පාරත් ඕං සමර් එක කිට්ටු වෙනකොට අපි ඉතින් ලක ලෑස්ති වෙන්නේ ගම රට බලා නිවාඩුව සමරන්න යන්න කියලා තමයි. මැයි මාසේ ඉඳන් ටික ටික රත් වෙන්න පටන් ගන්න කාන්තාරේ ජූනි මැද වෙනකොට ලෝදිය හැලියක් වගේ වෙනවා. එතකොට තමයි මෙහේ ඉස්කෝලේ යන පොඩි එවුන්ට නිවාඩු ලැබෙන්නේ. ඒ මාස දෙකහමාරකට විතර. ඉතින් හැම පාරම මම කරන්නේ මගේ නිවාඩු කෝටා එක දෙකට බෙදලා, ගම හාමිනෙයි පොඩි එවුනුයි එක්ක ලංකාවට ඇවිල්ලා, ඒ ගොල්ලන්ව ලංකාවෙ තියලා සතියකින් හමාරකින් ආපහු එන එක. ඊට පස්සේ මාසයක් විතර තනිකඩ ජීවිතේට බැහැලා ඉඳලා ආපහු අගෝස්තු මැදක් හරියේ ගොහින් ඉතුරු නිවාඩු ටික අරගෙන දරු පවුලත් එක්ක ආපහු සැපත් වෙනවා.

මේ අතරමැද දරු පවුල නැතිව ඩුබායි වල ගෙවන කාලෙට අපේ යාළුවෝ කියන්නේ 'තනිකඩ වසන්තය'  කියලා. මම වගේම මාසෙකට හමාරකට තනිකඩ වෙච්ච යාළුවෝ සෙට් එකත් එක්ක ඕන තරම් බීලා, ඕනෙ නම් උයාගෙන කාලා වෙලාවක් අවේලාවක් නැතිව නිදාගෙන මාස එකොලහක් නිවනක්වත් නැතිව හිටිය කන් බෙර දෙකට පොඩි හරි නිවණක් දෙන්න ලැබෙන්නේ ඉතින් ඔන්න ඔය කාලෙදි තමයි.

ඉතින් ඔය ගිය අවුරුද්දේ දිහාවෙත් තනිකඩ වසන්තය ගෙවන්න පස්වනක් ප්‍රීතියෙන් ලංකාවෙන් ආපහු එන්න එයාර්පෝට් එකට සැපත් උනා කියමුකෝ. ෆ්ලයිට් එක තිබුනේ උදේ පහයි පනස් පහට විතර නිසා, ගෙදරින් පාන්දර තුනට විතර තමයි පිටත් උනේ. ‘තනිකඩ වසන්තේ’ මූඩ් එකේ යන නිසා සහ උදේ පාන්දර ආපු නිසත් හරියකට නිදාගන්න බැරි උනා. ඒක නිසා කලින්ම හිතාගෙන ආවෙ ලාවට විතර පොඩි ශොට් එකක් එහෙම කාරිය දාගෙන මොනව හරි අතට අහු වෙච්චි දෙයක් දෙසාබාලා හොඳ නින්දක් දානවා කියලා.

මම බුක් කරලා තිබුනේ ෆ්ලයි ඩුබායි ලෝ-කොස්ට් ෆ්ලයිට් එකක්. ඒක නිසා හැමදේම සල්ලි දීලා ගන්න ඕනේ. නිවාඩුවේ භාගයක් ගතකරලා රිම් එකත් තලාගෙන ආපහු එන වෙලාවෙ, ප්ලේන් එක ඇතුලෙන් විස්කි වඩියක් ගන්න ගියොත් තලාගත්ත රිම් එකත් උගස් තියෙන්න වෙයිද දන්නෙ නැති නිසා, ඩියුටි ෆ්‍රී එකට ගොඩ වැදිලා විස්කි බෝතල් කාලක් සහ අඩුම කුඩුම ටිකත් වේලාසනම අරගෙන ලැප් එකේ බෑග් එකට දාගෙන තමයි ගියේ.

ඔන්න ඉතින් ඔක්කොම එයාර් පෝට් රාජකාරී ටික ඉවර කරලා ප්ලේන් එකට බෝඩ් කලේ විනාඩි 40ක් විතර පරක්කු වෙලා. මම වාඩිවෙලා හිටියේ දහවෙනි පේලියේ විතර වින්ඩෝ සීට් එකේ. ෆ්ලයි ඩුබායි ඔපරේට් කරන්නේ බොයින් 737-800 මොඩල් එකේ ‘සින්ගල් අයිල් ප්ලේන්’* නිසා සීට් තියෙන්නේ දෙපැත්තටම සීට්ස් තුනක් තියෙන විදිහට. ඉතින් මම වින්ඩෝ සීට් එකේ ඉඳ ගත්තට පස්සෙ මගේ ලඟ ඉතුරු සීට් දෙකම තිබුනේ හිස් වෙලා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තේ සීට් තුනත් හිස්. මට ඉතින් හැපි හැපි ඉන්න දෙයක් නෑ ෆුල් හැපී. ප්ලේන් එක ටේක් ඕෆ් කරපු ගමන් දෙකක් නවාගෙන, මොනවහරි දෙසාබාලා, සීට් තුනම දිග ඇරගෙන පැය හතරහක් හමාරක් හොඳ නින්දක් දැම්මෑකි....! දැන් ඉතින් මට ඉස්පාසුවක් නෑ මේක නග්ග ගන්නකන්. බෝතලේ කඩලා උගුර කට තෙමාගන්නකන්.

ඔන්න දැන් ප්ලේන් එකේ දොරවල් වහන්න ඔන්න මෙන්න. මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න කියලා මගේ හීනේ මම ජීවත් වෙනවා. මෙන්න බොලේ එක පාරටම වහන්න ඔන්න මෙන්න කියලා හිටපු දොරෙන් මතු උනේ නැද්ද හාමුදුරුවරු දෙනමක්. මෙන්න බොලේ උන්නාන්සෙලා දෙනම සීට් නම්බර්ස් බල බලා ඇවිත් ඉඳගත්තෙ නැතෑ මගේ ගාව හිස් වෙලා තිබිච්ච සීට් දෙකේ.....! වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා දෙයියනේ එහෙම කරුමයක්. යකෝ කර්මය පටිසන් දෙනව කියලා කියනවා තමයි, ඒත් මෙහෙමත් ජීවත් වෙලා ඉන්නකොටම පටිසන් දෙනවද ?

අනේ දෙයියනේ, දැන් ඉතින් කොහොමද අප්පා බෝතලේ කඩන්නේ ? දෙකක් දාගෙන නිදාගන්නේ ?

දැන් ඉතින් බෞද්ධයෙක් විදිහට තරහා ගන්නත් බෑ....හිතෙන් බනින්නත් බෑ මුන්නාන්සෙලා දෙන්නට. මම ඉතින් හොල්මන් දෑසින් මඤ්ඤං වෙලා පොඩ්ඩක් නැගිටලා වගේ හාමුදුරුවෝ දෙන්නට නමස් කාරය කලා. ඊට පස්සෙ එහේ මෙහේ බලනකොට තමයි දැක්කේ අනිත් පැත්තේ සීට් තුනම තාම හිස් කියලා. යන්තන් ඇඟට ලේ ටිකක් උනා ගෙන උනා ගෙන ආවා, නිවෙන්න ඔන්න මෙන්න කියලා තිබුනු බලාපොරොත්තුවේ අවසාන ගිණි සිළුව අපහු ‘පොහ් ‘ ගාලා දල්වා ගත්තා.

ඔන්න ඉතින් මම ප්ලෑන් කරන්නේ ප්ලේන් එක ටේක් ඕෆ් කරපු ගමන් අනිත් පැත්තේ හිස් සීට් වලට පනින්න. එක පාරටම පැන්නොත් හාමුදුරුවෝ දෙන්නත් මුකුත් නොහිතා ඉන්න බැරි නිසා මම කතාවකුත් හදාගත්තා...

"අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධයෙක් හැටියට හාමුදුරුවොත් එක්ක එකට ඉඳගෙන විස්කි බොන්න හොඳ නැති නිසා මම එහා පැත්තේ සීට් එකට යන්නම්....." ම්ම්හු, ඒ සෙන්ටන්ස් එක හිතට හරි නෑ.... ඊට පස්සෙ මෙහෙම කියන්න ඕනේ කියලා හිතුනා...

"අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධයෙක් හැටියට හාමුදුරුවොත් එක්ක එකට සම අසුන් ගන්න එක හොඳ නැති නිසා මම එහා පැත්තේ සීට් එකට යන්නම්....." ආහ්, ඒ සෙන්ටන්ස් එක හොඳයි....

ඔන්න ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න සද්දේ දාලා පිකප් කලා, අනේ ඉතින් මම සැදහවත් හිතින් තව ටිකකින් උදා වෙන අසිරිමත් මොහොත ගැන හිත හිත සීට් එකේ හොඳට හරි බරි ගැහිලා ඉඳ ගත්තා. මෙන්න යකෝ ප්ලේන් එකේ නෝස් එක උස්සන්න පටන් ගත්ත විතරයි අපේ හාමුදුරුවරු දෙනම දඩි බඩි ගාලා අර ඒ ගොල්ලන්ගේ රෙදි මල්ල ඇරලා කෙහෙල් කොලවල ඔතලා තිබිච්ච වංඩු ආප්ප වගයක් අරන්, වලදන්න පටන් ගත්තා. දැන් අවුරුදු 15ක් විතර ප්ලේන් වල යනවා එනවා, ටේක් ඕෆ් එකේදි කවුරු හරි වංඩු ආප්ප වළඳනවා දැකපු පලවෙන දවස අද. මටත් නොදැනීම මගේ ඇස් දෙකයි දිවයි දෙකම එළියට පැන්නා....!

ඔන්න ටිකෙන් ටික ප්ලේන් එක ක්ලයිම්බ් කරලා ඉවරවෙලා සීට් බෙල්ට් සයින් එක ඕෆ් උනා. ඒත් ඉතින් මම කොහොමද අප්පා බෞද්ධයෙක් විදිහට තාමත් මේ වංඩු ආප්ප වළඳන හාමුදුරුවෝ දෙන්නව පෙරළගෙන අනිත් පැත්තට පනින්නේ......! හපොයි, ගිය ආත්මවල කරලා තියෙන පවු වල මහත කියලා හිත හිත හාමුදුරුවරු වංඩු ආප්ප වලඳලා ඉවර වෙනකන් ඉවසපන් පපුව, ඉවසපන් බෝතලේ කිය කිය හිත හිත හිටියා.

අනේ දෙයියනේ මේ සංසාරේ අත් දැකපු දුක්ම දුක් සීන් එක දැක්කේ එතකොට. පොඩි බබෙක් වඩා ගත්ත තාත්තා කෙනෙක් ඇවිත් අර එහා පැත්තේ මම පනින්න හිටිය හිස් සීට් තුන උඩ අර බබාව නිදි කරවලා එයත් කොනේ සීට් එකේ ඉඳ ගත්තා. හීතලා වෙලා තිබිච්ච හඳුන් පොත දඩස් ගාලා ප්ලේන් එකේ බිමට කඩාගෙන වැටුනා. සාදුලා තාම වංඩු ආප්ප කනවා....

කතාව තාම ඉවර නෑ…….....!

හාමුදුරුවෝ වංඩු ආප්ප වලඳලා ඉවරෙ වෙච්ච ගමන්ම මෙන්න බොලේ මුළු ප්ලේන් එක පුරාම බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා. එක පාරටම අර ලස්සන අරාබි ජාතික ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් නංගි ක්‍රොසාන්ට් දෙකකුයි, ජූස් බෝතල් දෙකකුයි අරගෙන ඇවිත් හාමුදුරුවන්ගේ කෑම කන ට්‍රේ දෙක දිග ඇරලා ඒක උඩ තියලා මෙහෙම කිව්වා.

Sir ! The Gentleman who is sitting in the seat (so and so) offered this food for you….! (මහත්තයෝ, අර සීට් එකේ ඉන්න මහත්මයා මේ කෑම ඔබලා වෙත ලබා දෙන්න කියලා කිව්වා ) අප්පද බොල, මේ ජර මර අස්සේ ප්ලේන් එකේ ඉන්න සැදැහැවත් බෞද්ධයෝ හාමුදුරු වරු දෙනමට හීල් දානේ දෙන්න සෙට් වෙලා.

ඔන්න ඊට පස්සෙ මැද සීට් එකේ හිටිය හාමුදුරු නම මගේ පැත්තට හැරිලා මෙන්න මෙහෙම කියනවා....

"අයියේ (හාමුදුරු දෙනම මට වඩා ගොඩක් බාලයි ), අපි හීල් දානේ ගන්න වෙලාව පහු වෙලා නිසා, අපේ අතට පූජා නොකරපු කෑමක් වලඳන්න අකැපයි…....."

හුටා, දැන් ඉතින් කාපියකෝ ක්‍රොසාන්ට්....මම හිතුවේ මට දෙන්න හදනවා කියලයි.. ඒත් ඊට පස්සෙ හාමුදුරුවො මෙහෙම කියනවා....

“අනේ අයියේ, අයියට පුළුවන්ද මේවා අපිට පූජා කරන්න....?”

අනේ ඉතින් ඊලඟට එළඹෙන්නෙ දුමී, හාමුදුවරු දෙදෙනාට හීල් දානේ පූජ කරන ජවනිකාව.

ක්‍රොසාන්ට් එක අත් දෙකෙන්ම අල්ලලා හාමුදුරුවන් දෙනමගේ අතටම දීලා, දොහොත් මුදුන් තියලා නමස් කාර කරනවා. ඒ වගේම ජූස් බෝතල් දෙක, ඒ වගේම අත්දෙකටම පූජා කරලා දොහොත් මුදුන් නගලා නමස් කාර කරනවා.

හමුදුරුවරු දෙන්නත් පින් සිද්ධ වෙච්චාවෙ කියලා අඹරනවා.... සමාවෙන්න වලඳනවා....

මෙන්න බොලේ ප්ලේන් එකේ ඉන්න සැදැහැවත් බෞද්ධයොත් අරින්නේ නෑ..... කාලෙකට පස්සෙ පිනක් දහමක් කරගන්න ලැබිච්ච චාන්ස් එක අත අරින්නේ මොකටද කියලා හිටු කියලා හාමුදුරුවන්ට හීල් දානේ එවනවා. එකක් ඉවර වෙන්න එකක් අරුමෝසම් කෑම ජාති බීම ජාති අර හුරු බුහුටි ඇටෙන්ඩන්ට් නංගි ගෙනැත් හාමුදුරුවන්ගේ ට්‍රේ එකේ තියලා යනවා...අනේ ඉතින් මමත් ඒ හැම එකක්ම හාමුදුරුවරු දෙන්නට පූජ කරනවා.... හාමුදුරුවොත් එකක්වත් අරින්නේ නෑ, වලඳනවා......

ඔන්න ඔහොම ටික වෙලාවක් ගියා, මට දැන් පේනවා හාමුදුරුවරු දෙනම දැන් හුස්ම ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඔන්න ඊට පස්සෙ මැද හිටපු හාමුදුරු නම මගේ පැත්තට හැරිලා මෙහෙම කියනවා...

"අයියේ, දැන් අපිට ඇති. අයියා කන්න මේවා..." කියලා ක්‍රොසාන්ට් එකකුයි, ජූස් බෝතලේකුයි මට දෙනවා.......මෙච්චර වෙලා මම හාමුදුරුවන්ට හීල් දානේ පූජ කලා, මෙන්න බොලේ දැන් හාමුදුරුවෝ මට හීල් දානේ පූජ කරනවා......

යකෝ මම පතාගෙන ආවෙ ක්‍රොසාන්ට් කාල ජූස් බොන්නද ? මගේ දෛවය ලියවිලා තියෙන්නේ එහෙමද ? ඒ අතර කඳුලු බෝලයක් ඇවිත් ඇස් කෙවෙනි යට නතර වෙලා පනින්නද පනින්නද කියලා අහනවා....!

අනේ ඉතින් මොනවා කරන්නද ? මමත් පින් සිද්ධ වෙච්චාවෙ කියලා අර ක්‍රොසාන්ට් එක බොහෝම දුකසේ වලඳලා, සමාවෙන්න කාලා, බොහෝම දුකසේ අර ජූස් බෝතලෙත් ගුඩුස් ගාලා බීලා දැම්මා. …

ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් ෆේස් එක ෆේල්. ඒ කියන්නේ දෙකක් දාගන්නවා කියන කොටස සිහිනයක් වගේ ඉරිතලා ගිහිල්ලා කුඩු පට්ටම් වෙලා දූවිලි වලට හැරිලා ඉවරයි. අඩු ගානේ දෙවනි ෆේස් එකවත් හරියට කරගන්න ඕනේ කියලා හිතලා ඔන්න මම සීට් එක පස්සට දාගෙන ඇහැ පියා ගත්තා.

ඕනේ නම් ඔය විදිහට මට යන්තන් ඇහැ පියවිලා පැයක් විතර යන්නැති. පොඩි ගෙරවිල්ලක් වගේ ඇහිලා ඔළුව උස්සලා බලද්දි මැද හාමුදුරුවෝ බබා වගේ මගේ උරහිසට ඔළුව තියාගෙන සැපට දොයි, සමාවෙන්න , සැපට සැතපෙනවා.......! ඒ අතරේ බුරුත කොටයකුත් ඉරනවා. ඒ අස්සේ සාංඝික ඛේටයෙන් මගේ ෂර්ට් එකේ දකුණු අත තෙත් වෙලා.......අනිත් කොනේ ඉන්න හාමුදුරුවෝ කෑම කන ට්‍රේ එක දිග ඇරගෙන එකේ අර වංඩු ආප්ප ගෙනාපු බෑග් එක තියලා එකේ ඔළුව ගහගෙන දොයි.

දැන් මොකෑ කරන්නේ ? අපි ඔය බණ කතාවල එහෙම අහලා තියෙනවනේ, ආනන්තරීය පාප කර්මය ගැන. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන එහෙම.

එතකොට මේ බුදිය ගෙන ඉන්න හාමුදුරුවෝ කෙනෙක් නින්දෙන් ඇහෙරෙව්වම සිද්ධ වෙන පාප කර්මේ මොකක්ද ?

ඒ පාප කර්මෙත් එසේ මෙසේ එකක් නොවෙන්න බැරි නෑ කියලා හිත හිත ඉන්න කොට මට දන්නෙම නැතිව ආයෙත් ඇහැ පියවිලා. ඔන්න ඊට පස්සෙ ආපහු ඇහැරුනේ ප්ලේන් එක ෆයිනල් අප්‍රෝච් එකට එන්ටර් උනා කියලා දෙන එනන්වුන්ස්මන්ට් එකට. ඔළුව උස්සලා බලද්දි හාමුදුරුවෝ දෙන්නා දත් මදිනවා.......

මෙච්චර වෙලා විඳපු දුක් සීන් එක මෙනෙහි කරගත්ත මම පපුව පිරෙන්න ලොකු හුස්මක් අරගෙන ටික ටික ඒක පිට කරන ගමන් ජනේලෙන් එළිය බලා ගත්තා. ලෑන්ඩින්ග් එකට තිබුනේ විනාඩි විස්සක් වගේ කාලයක් නිසා මේ වෙනකොට ප්ලේන් එක ගොඩක් පාත් කරලා තිබුනේ. පහතින් දුඹුරු පාට කාන්තාර, කඳු මුදුන් හොඳට පේනවා. ඒ අතරේ අපේ හාමුදුරුවරු දෙනමත් පොඩි උන් දෙන්නෙක් වගේ එබි එබි ජනේලෙන් එළිය බලන්න හදනවා.

ජීවිතේ පළවෙනි පාර ප්ලේන් එකක යන මේ හාමුදුරු දෙනම ගැන දුක හිතුනු මම,

"හාමුදුරුවනේ මගේ සීට් එකට එන්න, එතකොට ලෑන්ඩ් කරනකොට හොඳට එළිය බලා ගන්න පුළුවන් " කියලා කිව්වා....

ඔන්න හාමුදුරුවරු දෙනමත් කැමති උනා සීට් මාරු කරගන්න. ඔන්න ඉතින් මමත් මගේ සීට් එකෙන් නැගිට්ටා හාමුදුරුවන්ට මගේ සීට් එක දෙන්න.

මුළු ෆ්ලයිට් ටයිම් එකේදිම මම නැගිට්ටේ පළවෙනි පාරට.......!

මගේ ඇඟ හීතල වෙලා ගියා.....!

මම හිටපු සීට් පේලියට පිටි පස්ස පැත්තේ ප්ලේන් එක භාගයකට වඩා හිස්......!




Related Posts with Thumbnails