කුමාරස්වාමිගේ අවතාරය

Posted by දුමී



මා ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) ආයතනය හා සම්භන්ධ වූයේ මින් හරියටම දස වසරකට පෙරදීය. කොම්පඤ්ඤ වීදිය නගරයෙහි වූ වෝක්ෂෝල් වීදියෙහි ඇවිද යන්නෙකුට රක්ෂණ සමාගමට මදක් ඈතින් දකුණු පසට වන්නට පිහිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුගයේදී ගොඩනැගුවා යැයි සිතිය හැකි එක පේළියට වූ ඉපැරණි ගොඩනැගිලි සමූහය නම් ආගන්තුක නොවේ. එම ගොඩ්නැගිලි සමූහයේ ආරම්භයේ ඇති ගොඩනැගිල්ලෙහි JKCS ආයතනය පිහිටා තිබේ. තට්ටු දෙකකින් යුක්තවූ එම ඉපැරණි ගොඩනැගිල්ලෙහි පළමු මහලේ නැතිනම් සොල්දරයේ පොළොවට යොදා ඇත්තේ බුරුත ලෑලිය. පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම යොදා සාදා ඇති ලී වලින්ම තැනු කොටස් දෙකකින් යුක්තවු පියගැට පෙලකින් පිවිසිය යුතු වූ එය පරිඝණක මෘදුකාංග ආයතනයකට උචිත පරිදි නවීකරණය කර ඇතත් එහි වු ඉපැරණි බව මවා පානුයේ ගාම්භීරවූ ගුප්ත බවකි. පැරණි ගෘහ භාණ්ඩ වලටම ආවේනික වූ සුවඳක් එම පඩි පේළිය නැග එහි පිවිසෙන්නෙකුට නිරන්තරයෙන්ම විඳිය හැක.

කුමාරස්වාමි මහතා එම ගොඩනැගිල්ලේ හිමි කරුවාය. ජෝන් කීල්ස් ආයතනය ඔහුගෙන් මුළු ගොඩනැගිල්ලම බද්දට ගෙන තිබුනද කුමාරස්වාමි මහතාද තම කාර්යාලයද එහිම පසෙකින් පවත්වාගෙන ගියේය. වඩා විශාල නොවූ කාමරයකින් සමන්විත වූ ඔහුගේ කාර්යාලය තුල ඔහු සමග සිටියේ නිරතුරුවම පරිඝණකයක් ඉදිරියේ වාඩි වී සිටි මැදි වයස ඉක්මවූ කාන්තාවක් හා කාර්යාල සහායක යැයි සිතිය හැකි වූ තරුණයෙක්ද පමණි. කුමාරස්වාමි මහතා ඉතාමත් වයෝවෘද්ධ පුද්ගලයෙක් විය. ඉතා සිහින් වූ ශරීරයකින් යුතු වයස අවුරුදු 85 ඉක්මවූ පෙනුමක් ඔහු වෙතින් දිස්විය. සෑම විටම ඉතාමත් පිළිවෙලට තනිකරම සුදු පැහැයෙන් යුත් සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකිනුත් රතු පැහැති කර පළඳනාවකිනුත් සැරසී සිටින ඔහු ගමන් කරුනුයේ අතේ රැඳි හැරමිටියක් ආධාරයෙනි. උදයේත්, දවාලෙත්, සවසත්, ඇතැම් විට රාත්‍රියේදිත් නිරතුරුවම මුළු ආයතන පරිශ්‍රයේ සැරි සරමින් සිටින ඔහුගේ රුව ආයතනය තුල සිටින සෑම දෙනෙකුටම දකින්නට ලැබෙන්නාවූ ඉතා සුලබ දසුනකි. තමන්ගේ ඉදිරියට හමුවෙන සියළුම කාන්තාවන් හා වචනයක් දෙකක් කතා කිරීමට කුමාරස්වාමි මහතා ඉමහත් රුචියක් දැක්වීය. නමුත් කිසි දිනක පිරිමියෙක් සමග නම් ඔහු එසේ දොඩමළුවී සිටිය දිනක් මගේ මතකයට නගා ගත නොහැක.

මෙසේ සති මාස ගණනින් කාලය ගතවූ අතර එක් දිනකදී අප වෙත ලැබී තිබූ විද්‍යුත් ලිපියකින් කියවුනේ කුමාරස්වාමි මහතා අභාවප්‍රාප්ත වී ඇති බවය. ඒ ආරංචිය අප සිත් තුල එතරම් කම්පනයක් ඇති කිරීමට සමත් නොවූයේ අපහට එය එතරම් අරුමයක් වූ ප්‍රවෘතියක් නොවූ බැවිනැයි මට සිතේ. ඔහුගේ මරණය එතරම් වැදගත් ප්‍රවෘතියක් ලෙස අප සඟයින් අතරවත් කතා බස් කලාදැයි වත් මගේ මතකයේ නැත. ඉතාමත් කාර්යබහුල වූ අප හට එම ප්‍රවෘත්තිය දින කිහිපයකින්ම මතකයෙන් බැහැර වන්නට ඇත. අප හට දක්නට ලැබුනා වූ එකම වෙනස නම් වෙනදා ආයතන පරිශ්‍රය තුල ඔබ මොබ සැරි සරණ කුමාරස්වාමි මහතාගේ රුව ඉන්පසු අප ඇස නොගැටීමය.

මා එම දිනවල සම්භන්ධ වී සිටියේ නෝර්වේජියානු ගුවන් සමාගමකට සම්භන්ධ මෘදුකාංග නිර්මාණ ව්‍යාපෘතියකටය (Software Project). එක් දිනක උදෑසන මාත් මාගේ කණ්ඩායමත් යුහුසුළුව යෙදී සිටියේ එම ව්‍යාපෘතිය සම්භන්ධයෙන්වූ කාර්යයකය. අප කණ්ඩායම සඳහා වෙන් කර තිබූ කොටසට මදක් ඈතින් වන්නට සිටි වෙනත් කණ්ඩායමක වූ ව්‍යාපෘති කලමණාකාරියකවූ ඔසාකා හදිසියේම සිහි නැතිවී ඉඳගෙන සිටි පුටුවත් පෙරලාගෙන බිම ඇද වැටෙන්නේ මේ අතරය. ඇයව ඔසවා වත්තම් කරගත් ඇයගේ කණ්ඩායමේ සගයින් යුහුසුළුව ඇයට ප්‍රතිකාර ලබාදීමට රැගෙන ගියහ. විවිධාකාර වූ හේතූන් නිසා කාන්තාවක් සිහි නැතිවෙන සිද්ධීන් දුලබ නොවූ නිසාවෙන් අපහටද සුළු වේලාවකින් එය අමතකව නැවතත් අපගේ කාර්ය්‍ය වෙත යොමු වූ සැටි මාගේ මතකයේ තිබේ.

ඉන් මාස කීපයකට පසු එනම් 2002 ජූලි මස 6 වන දින මා ඩුබායි නගරය වෙත පැමිනෙන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ ව්‍යාපෘතියකට සම්භන්ධවීමටය. ( එදින සිට අද දක්වාම මා රැකියාව කරනුයේ ඩුබායි පුරවරයේයි ). එහි සපැමිණ මාස කිහිපයකට පසු මා ඇස ගැටුනේ අප ආයතනයේ අන්තර්ජාල පුවත් පතකට ඔසාකා ලියා තිබූ තීරු ලිපියකි. එදා ඇය සිහි නැති වී වැටුනු අයුරුත් එයට හේතු පාදකවූ සිද්ධියත් ඈ එම තීරු ලිපියෙන් විස්තර කර තිබුනාය. එය සැකවින් මෙසේය.

සති කිහිපයක නිවාඩුවකට පසු ඔසාකා කාර්යාලයට පැමිණ සිටියේ එදාය. හිමිදිරි උදෑසනම කාර්යාලයට පැමිණි ඇය සති කීපයක් කාර්යාලයෙන් පිටත සිටි නියාවෙන් ගොඩ ගැසී තිබූ ඇයගේ විද්‍යුත් ලිපි එකින් එක කියවමින් සිටියාය. මේ අතර ඇයට ඇස ගැටෙන්නේ කුමාරස්වාමි මහතාගේ මරණ දැන්වීම සඳහන් විද්‍යුත් ලිපියයි. ඇය සිහිසුන්ව ඇද වැටෙන්නේ එම ලිපිය කියවීමෙන් පසුවයි. ඇය එසේ සිහිනැතිව ඇද වැටෙන්නේ කුමාරස්වාමි මහතා මියගියා යැයි ශෝකයට පත් වීම නිසා නොව, ඉන් පැය කීපයකට කලින් කුමාරස්වාමි මහතා ඇය සමග කතා කර තිබූ නිසාය. හිමිදිරි උදෑසන කළුවර තුරල් වී යෑමටත් මත්තෙන් කාර්යාලයට පැමිණි ඈ හට පඩි පෙල නැග ඇතුළුවෙනවාත් සමගම මුන ගැසී ඇත්තේ කුමාරස්වාමි මහතාවය. ඔහු මිය ගිය බවක් නොදැන සිටි ඔසාකා මදක් නැවති ඔහුට සුභ උදෑසනක් යැයි සුභ පතා තිබේ. වෙනදා මෙන්ම තවත් වචනයක් හෝ දෙකක් ඔහු සමග කතා කිරීමෙන් පසු තමාගේ අසුන වෙත පැමිනෙන ඇය දැක තිබුනේ කුමරස්වාමි මහතා ඔහුගේ කාර්යාලය තුලට වැදෙන අයුරුය.

ඉන් පසු කාලයකදිත් කිහිප දෙනෙකුටම ඔහුගේ අවතාරය ආයතන පරිශ්‍රයේදි ඇස ගැටී ඇත. JKCS ආයතනය තුල මා සමග එකට සිටි සගයින් කිහිප දෙනෙක් තවමත් සේවය කරති. ඔවුන් සියල්ල මෙම සිද්ධියට සාක්ෂි දරනවා ඇත.



(ඉහලින් පල කල ඡායාරූපය උපුටා ගත්තේ http://www.jkcsworld.com අඩවියෙනි.)

බේබදු බල්ලා සහ තවත් බලු කතා

Posted by දුමී



ඉස්සොත් එක්ක බත් කාපු අපේ ඩෑෂ් හවුන්ඩ්ලට වෙච්ච දේ ලියනකොට මට තව බලු කතා දෙක තුනක් මතක් උනා. අමතක වෙන්න කලින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුන නිසා රෑ දෙගොඩ හරිය උනත් ඔන්න ඔහේ ලියන්න පටන් ගත්තා.

අවුරුදු දහයකට විතර කලින් අපේ ගෙදර හිටියා පොමනේරියන් බල්ලෙක්. උගේ නම ස්නෝවි. ඌ හරිම ලස්සන කහපාට ලයන් පොමනේරියන් කෙනෙක්. ගෙදරට එන ඕන කෙනෙක්ගේ ඇඟට පනින එක තමයි උගේ වැඩේ. එක්කෙනෙක් දෙන්නෙක්ව හපලත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඌව දාල තිබුනෙ කූඩුවක. ඌ එලියෙ ඉන්න වෙලාවක "ස්නෝවි දුවපන් කූඩුවට" කියපු ගමන් ආයි කිසි කතාවක් නෑ ඌ කෙලින්ම නවතින්නෙ කූඩුවේ. හරි කීකරු බල්ලා. මේ සිද්ධිය උනේ අපේ දුව ඉපදිච්ච දවස්වල. මම එතකොට වැඩ කලේ මම අර ලියපු භාෂාව වැරදිච්ච බොස් හිටපු කොම්පඤ්ඤ වීදියේ තිබුනු කම්පැනි එකේ. මගේ බොස්ගෙත් බොස්ගෙ නම තමයි ‘රීස්වි’. එයා ඉතින් හරිම භක්තිවන්ත මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් ඔන්න මගේ දුව ඉපදුනා කියල ආරංචි උනහම රිස්වි කිව්වා දුවව බලන්න එයා අපේ ගෙදර එනවා කියලා. ඉතින් මමත් දවසක් සෙට් කරගෙන රිස්විට අපේ ගෙදර ඩිනර් එකට එන්න කියල ඉන්විටේෂන් පාරක් දුන්නා. ඉතින් රිස්වි කියන්නෙ මගේ බොස්ගෙත් බොස් නිසා හොඳට සලකන්නත් ඕනෙනෙ. මොකද සැලරි ඉන්ක්‍රිමන්ට්ස්, ප්‍රමෝශන්ස් ඒව මේව ඔක්කොම ඉතින් තියෙන්නෙ පොරගෙ අතේ තමයි. ඉතින් ගම හාමිනෙයි අපේ අම්මයි එකතු වෙලා වැඩ කිඩ දාල හොඳ කෑමක් හැදුවා රිස්විට දෙන්න. දැන් ඉතින් ඔක්කොම උපරිමයෙන්ම සෙට්. ඔන්න රිස්විත් ගේ ගාවට ඇවිල්ල මට කෝල් එකක් දුන්නහම මමත් ගිහිල්ල ගේට්ටුව ඇරියා කාර් එක වත්ත ඇතුලට ගන්න. රිස්වි කාර් එක නවත්වල බහිනකොටම මෙන්න බොලේ ස්නෝවියා කොහෙද ඉඳන් හුරේ රන් එකක් දීගෙන එනව රිස්විගෙ ඇඟට පනින්න. දැන් ඇඟට පැන්නොත් වෙන්නෙ එකම ජංජාලයයි මොකද ඔය ගොඩක් මුස්ලිම් ජාතිකයො බල්ලො ඇඟේ ගෑවෙනවට කැමති නෑනෙ. ඉතින් කලබල වෙච්ච පාර මම කෑගැහුවෙ,

"රිස්වි දුවපන් කූඩුවට" කියල.

මගේ කරුමේ කියන්නෙ බල්ලත් කෙලින්ම ගිහින් නැවතුනේ කූඩුවේ. ඉතුරු ටික මගෙන් අහන්න එපා.

මේ කතාව මට කිව්වෙ අපේ පෙරකදෝරු නෑනා. ඒ කියන්නෙ අපේ ගම හාමිනේගෙ බාල මල්ලිගෙ නෝනා. මේක වෙලා තියෙන්නෙ ඒ නෑනගෙ යාළුවෙක්ට. මේගොල්ලන්ගෙ ගෙදරත් ඉඳල තියෙනවා අර පොඩි කාලෙදිම වලිගෙ කපන්න ඕනෙ ජාතියේ බලු පැටව් දෙන්නෙක්. ඉතින් මෙයා බලු දොස්තර ක්ලිනික් එකට කෝල් කරල තියෙනව මේකට අපොයින්මන්ට් එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කතාව වෙලා තියෙන්නෙ,

නෑනගෙ යාළුවා : "හලෝ, බලු දොස්තර ක්ලිනික් එකද ?"
ක්ලිනික් එකෙන් : "ඔව් මැඩම් . . . "
නෑනගෙ යාළුවා : "මට වලිග කපන්න අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්ද ?"
ක්ලිනික් එකෙන් : "පුළුවන් මැඩම් . . අද හවස හතරට කලින් එක්කන් එන්න "
නෑනගෙ යාළුවා : "හතරට කලින්නම් බෑ . . මගෙ හස්බන්ඩ් එනකොට පහ විතර වෙනවා . ."
ක්ලිනික් එකෙන් : "අනේ සොරි මැඩම්. අපි වලිග කපන්නෙ බල්ලන්ගෙ විතරයි . ."

ඉතින් තාමත් ඒ බලු පැටව් දෙන්නගෙ වලිග කපල නැහැ කියල තමයි ආරංචිය.

අපි මේ ඊයෙ පෙරේදා ගියා දඹානෙ වැද්දො බලන්න කියල. අර ටැබූ කියල තිබුන විදිහටම එතන මාර බිස්නස් තමයි වෙන්නෙ. පොඩි වැදි පැටව් ලඟට ඇවිල්ල කියනව "මේ හූරො හූරො . . කීයක් හරි දියන්කො බං" කියල හොඳ අමු සිංහලෙන්. ඉතින් ඔය ගමනට ගියා මගෙ යාළුවෙකුත් 'දොන්' කියල. (ඌට දොන් කියන්නෙ ඌ පාතාලේ හින්ද නෙමෙයි ඕං ) ඔන්න එක පාරටම කොහෙද ඉඳල ආපු නාකි වැද්දෙක් "උත්තිල ඇත්තෝ, උත්තිල ඇත්තෝ" කියල දොන් හිටපු දිහාවට අත දික්කරලා කතා කරලා. ඉතින් දොනුත් වැද්දා ලඟට ගිහිල්ලා කීයක්ද අත මිට මොලවලා ඇවිල්ලා. ටික වෙලාවකට පස්සෙ තමයි අපි දැන ගත්තෙ වැදි භාෂාවෙන් "උත්තිල ඇත්තො" කියල කියන්නෙ බල්ලට කියලා.

මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා දමින්ද කියලා. ඒ ගොල්ලන්ගෙ ආච්චිල හිටියේ ඔය කළුතර පැත්තෙ. දන්නවනෙ ඒ පැත්තෙ අර කිතුල් රා, පොල් රා එහෙම මදින එක ගජරාමෙටම සිද්ද වෙනවා කියලා. ඉතින් ඔය පැත්තෙ රා මදින අය මුට්ටිය තෙලිජ්ජෙන් පිරුනට පස්සෙ ඒක ගහෙන් බාල ගහ මුල තියල තියෙනවලු හබරළ කොලේකින් එහෙම වහල ටිකක් පැහෙනකං කියල. ඉතින් ඒ ආච්චිලාගේ ගෙදර හිටියලු බල්ලෙක්. ඌ කොහොම හරි මේ මුට්ටි හොයාගෙන ගිහිල්ල හබරළ කොලේ ඉරල තෙලිජ්ජ බීල එනවලු. කන පැලෙන්න තෙලිජ්ජ බීල එන බල්ල ඊට පස්සෙ දිවත් එලියේ දාගෙන මුළු දවස තිස්සෙම බුදිලු. ආයි ඇහිරිච්ච ගමන් දුවන්නෙත් තෙලිජ්ජ බොන්නලු. ඌ කොහෙන් හරි මුට්ටියක් හොයා ගෙන හැමදාම තෙලිජ්ජ ගහනවලු. ඉතින් ආච්චි ගෙ වැඩේ මේ බල්ලට බනින එකලු.

"නොදකින් මේ බේබදු බල්ල අදත් කණමදය වගේ බීගෙන ඇවිල්ල දවස තිස්සෙම බුදිනේ" කියලා.

කරුමේ කියන්නෙ අහල පහල එවුන් හිතන්නෙ ආච්චි මේ හැමදාම බනින්නෙ සීයට කියලලු.

ඩෑෂ් හවුන්ඩ්ලා සහ ඉස්සෝ

Posted by දුමී




ඔන්න අපේ ගෙදරට අළුතෙන් සාමාජිකයො දෙන්නෙක් ඇවිල්ලා. දෙන්නම නිවුන් සහෝදරයො. මුන්ට කියන්නෙ ඩෑෂ්-හවුන්ඩ් ( Dachshund ) කියලලු. මේ ගොල්ලො කුරු බලු පැටව් දෙන්නෙක්. දෙන්නට තාම මාස තුනයි. අපේ මල්ලිගෙ යාළුවෙක්ගෙන් තමයි මේ දෙන්නා දරුකමට හදාගන්න අරන් තියෙන්නෙ. දරුකමට කිව්වෙ ඇත්තටම දරුවො හදනව වගේ හරිම සැළකිල්ලෙන් තමයි මේගොල්ලන්ව බලාගන්න වෙන්නෙ. ඉතින් ඔන්න අම්මගෙනුයි මල්ලිගෙනුයි නීති ගොඩයි. කාල ඉතුරුවෙන මස් කටු, මාලු කටු එහෙම මුන්ට දෙන්න තහනම්. ඉතින් දුක තමා බල්ලො කිව්වලු. මස් කට්ටක්වත් සූප්පු කරන්න පින නෑ පොෂ් බල්ලො උනහම.

අපේ ගම හාමිනේ නම් බල්ලන්ට ආස නැහැ. මගේ පොඩි එවුන් දෙන්නනම් මුන්ගේ පස්සෙන්මයි. ඒ ගොල්ලො එකතු වෙලා දෙන්නව බෙදාගෙන නම් දෙකක් දාල. එකෙක් ප්ලූටෝ අනිකා ජුපිටර්ද කොහෙද. නෑ නෑ බෲනෝ. පොඩි එවුන් දෙන්න බල්ලන්ගෙ පස්සෙ දුවනව, ගම හාමිනේ බල්ලන්ව අල්ලන්න එපා කිය කිය පොඩි එවුන්ගෙ පස්සෙන් දුවනව. කොහොමෙන් කොහොම හරි හැමෝටම එක්සයිස් එකට නම් මරු. ඔෆිෂල් නම කෙසේ වෙතත් මගෙ අවුරුදු පහක් වයස පුතා එයාගෙ බල්ලට කියන්නෙ 'සුපර් ඩෝග්' කියල. ඌව උස්සගෙන සුපර් මෑන් වගේ ඉගිල්ලෙන්න කියල දෙනවා. දැන් ඌටත් ඉගිල්ලිලා එපා වෙලා පොඩි එකා එනකොටම අහු වෙන තැනකට ගිහිල්ල හැංගෙනවා.

ඔන්න අද උදේ 10 යේ විතර ඉඳන් බෲනෝ සැරින් සැරේ කෑගහනව ඇහුනා. වෙනදට නැති කෑගැහිල්ල මොකක්ද කියල බලනකොට මෙන්න බොලේ මෙයාගෙ මුලු මූනම ඉදිමිලා ඇස් දෙකත් තඩිස්සි වෙලා ඇස් දෙක ඇර ගන්න බැහැ. ඉතින් අම්මත් ඉක්මනටම මෙයාව අරගෙන ගියා බලු දොස්තර ලඟට. ගිහිල්ලා ඉන්ජෙක්ෂන් හතරක් විතර ගහල තමයි ගෙනාවෙ. බලාගෙන යනකොට අද උදේ අම්ම මෙයාලට බත් දීල තියෙන්න ඉස්සොත් එක්ක. මොන සැපද. කොටින්ම කිව්වොත් 'වයිට් රයිස් විත් ප්‍රෝන්ස්'. හුටා . . මේ බල්ලන්ට ඉස්සො ඇලර්ජික්. ඉතින් කවුද බං බල්ලො මේව දන්නෙ. අපිටත් ඉතින් ඉස්සෙක් කන්න හම්බවෙන්නෙ මාස දෙක තුනකට සැරයක් එකේ බල්ලන්ටත් ඉස්සො හම්ම්බවෙච්ච එක ගැන පොඩි ඊරිසියාවකුත් නැත්තෙ නැහැ. ඇයි ඉතින් අපිට උනත් සැරේකට ඉස්සො තුන් හතර දෙනෙක්ට වඩා හම්බවෙන්නෙත් නැහැනෙ. ඔන්න බෲනෝට ඉන්ජෙක්ෂන් ගහගෙන ඇවිල්ල පැය දෙක තුනක් විතර ගියාට පස්සෙ එයාගෙ මල්ලි ප්ලූටෝ ටත් ඒ විදිහටම රෝග ලක්ෂණ ඇවිල්ල අම්ම ඌවත් උස්සගෙන දිව්ව බලු දොස්තර ලඟට ඉන්ජෙක්ෂන් ගහ ගෙන එන්න. එතකොට බලු දොස්තර අම්මගෙන් අහල "පිස්සුද මුන්ට ඉස්සො දෙන්නෙ" කියල. එහෙම ඇහුවෙ ඇත්තටම මුන්ට ඉස්සො අගුණ හින්දද එහෙම නැතිනම් දොස්තරටත් බල්ලන්ට ඉස්සො දීපු එක ගැන දුක හිතිච්ච හින්දද කියල දන්නෙ දොස්තරම තමා. කොහොමෙන් කොහොම හරි අද ඉඳන් ප්ලූටෝටත්, බෲනෝටත් මස් කටුත් නෑ, මාලු කටුත් නෑ, ඉස්සොත් නෑ. වල් බල්ලෙක්වත් වෙලා ඉපදෙන්න වාසනාව තිබුනේ නෑනෙ මුන්ට.

ඔන්න හවස් වරුවෙ මගේ නංගියි මස්සිනා පොඩ්ඩයි අපේ ගෙදර ආවා. ඇවිල්ල දෙන්නත් එක්කම ඉස්සො හොදියි රෝස් පානුයි කෑවා. කාල ටිකක් වෙලා යනකොට මෙන්න බොලේ මස්සිනා පොඩ්ඩගෙත් මූනත් ඉදිමිලා. ඉතින් මමත් ඇහුව "ඈ බං උඹේ වර්ගෙත් ඩෑෂ්-හවුන්ඩ්ද ?" කියල. එහෙම කියල මම කිව්ව පොඩ්ඩක් හංගිලා හිටපන් අපේ අම්මට පේන්නෙ නැති තැනකට වෙලා නැතිනම් උඹ්ටත් වෙන්නෙ බල්ලො දෙන්නට වෙච්ච දේමයි, බලු දොස්තරට කියල පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් 4ක් ගහගන්න කියල.

කොහොමෙන් කොහොම හරි මම දන්නෙ නැහැ ඉතින් ඩෑෂ්-හවුන්ඩ්ලා හැර අනිත් හවුන්ඩ්ලාටත් ඉස්සො ඇලර්ජිද කියල. කොහොම හරි මගෙ යාළුවෙක් හිටියා ඌටනම් ඉස්සො කියන්නෙ මාරයෙක්. උගේ ලඟ ඉඳන් වෙන එකෙක් ඉස්සො කෑවත් උගේ ඇඟේ පළු දානව. ඌ මුහුදේ නාන්නෙත් නෑ මොකද මුහුදෙ ඉස්සො ඉන්නව කියල.

ඔය අපි ඩුබායි ආපු අළුත ලංකාවෙන් ආපු අපේ අය ඔක්කොම එකම බිල්ඩින්ග් එකක තියෙන අපාර්ට්මන්ට් වල තමයි හිටියෙ. ඉතින් එක ත්‍රී බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක හිටියා 'බැචූලර් බෝයිස්ල' තුන් දෙනෙක්. එයින් එකෙක්ට අපි කිව්වෙ ඒ.ජේ කියල. මතකනෙ අර 'සෙරප්පු සුපා' ඒ.ජේ රණසිංහ ? ඌත් ඒ වගේම පිස්සු ඩයල් එකක්. ඉතින් දවසක් බ්‍රහස්පතින්දා (අපි පාටි දාන දවස ) මුන් තුන්දෙනා ෆිෂ් මාකට් ගිහිල්ල තඩි ටයිගර් ප්‍රෝන්ස් කිලෝ තුනක් අරගෙන ඇවිල්ල ( ටයිගර් ප්‍රෝන්ස් කියන්නෙ පොකිරිස්සන්ට වඩා ටිකක් පොඩි තඩිම තඩි ඉස්සො වගේකට ) ලංකාවෙ වගේ නෙමෙයි එහෙ මාළු, ඉස්සො සෑගෙන්න ලාබයි මොකද ලංකාව වගේ නෙමෙයි ඒ රට තුන් පැත්තකින් මුහුදෙන් වට වෙලා තියෙන්නෙ. ඉතින් හවස උන් ටික ඇවිල්ල ඕක ඩෙවල් කරන හැටි අහගත්තෙ අපේ ගම හාමිනේගෙන්. ඊට පස්සෙ තව පැය දෙක තුනකට විතර පස්සෙ මම නිදා ගන්න කියල සෙට් වෙනකොටම උන්ගෙන් එකෙක් කෝල් කරනව "මචං, ඉක්මනට වරෙන් අපේ අපාර්ට්මෙන්ට් එකට" කියල. මමත් මොකක්ද යකෝ මුන්ට උනේ කියල බලන්න දඩි බිඩි ගාල දිව්වා එහෙට. ගිහිල්ල බලනකොට ඒ.ජේ ඉන්නවා තඩි ඉස්සෙක් වගේ. උගේ ඇස් දෙක එලියට පැනලා, මුළු ඇඟේම තඩි රතු පාට පළු දාලා. මුන් තුන්දෙනා බඩජහරි කමට ඉස්සො කිලෝ තුනම කොටා බාලා. පස්සෙ ඌට ඇඟිල්ල දම්මල බලෙන්ම වමනෙ කෙරෙව්වා. ඊට පස්සෙ පොල් කිරි ( මැගී පිටි කල පොල් කිරි ) කෝප්පයක් පොවල ඉස්ස්පිරිතාලෙ එක්කං ගියා. ඒ ගිහිල්ලත් පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගැහැව්වට පස්සෙ තමයි ඌ ඉස්සා වේශෙන් මනුස්ස වේශෙට ආවෙ. මම ඉතින් ඇත්තටම දැන්නෙ නැහැ ඌට එහෙම උනේ ඉස්සො ඇලජි හින්දද නැතිනම් අපේ ගම හාමිනේගෙ රෙසපි එක හින්දද කියල.

රඹුටන් සහ දුරියන්

Posted by දුමී




ඔන්න බොලේ රඹුටන් වාරෙත් ඇවිල්ලා. පේනවනේ මේ දවස්වල පාර දිගට රතු පාටටයි කහ පාටටයි බල්බ් දාල වගේ ලස්සනේ බැරුවා. හෙන කාලෙකින් රඹුටන් ගෙඩියක රහ බලන්නත් බැරිවෙච්චි එකේ මමත් ඉතින් ගියා රුපියල් 10කුත් අරගෙන රඹුටන් ටිකක් ගන්න. ගිහිල්ලා ඉල්ලුවා රුපියල් 10ක රඹුටන්. ඔය හම්බ උනේ. එක රඹුටන් ගෙඩියකුයි ඉතුරු රුපියල් 3කුයි. ගනන් ඇහුවහම එළොව රඹුටන් පේනවා. එක ගෙඩියක් රුපියල් 7යි. රුපියල් 100ක් දෙනවනම් ඔන්න රඹුටන් ගෙඩි 15ක් දෙනව කිසි ලෝබ කමක් නැතුව. ඉතින් මමත් අපරාදේ රඹුටන්නෙ කියල අතේ තිබුනු එකම රුපියල් 100 දීල රඹුටන් ගෙඩි 15ක් අරගෙන ගෙදර ඇවිල්ලා ගෙදර හැමෝටම ගෙඩි දෙක දෙක දුන්නා. එකක් දවල්ට කාල කන්න අනිත් එක රෑට කන්න කියල.

මගෙත් යාළුවෙක් ඉන්නවා මල්වානෙන් කසාද බැඳල. දෑවැද්දටත් රඹුටන් ගස් දෙක තුනක් හම්බ උනා කියලා තමා ආරංචිය. කොහෙද ඉතින් මේ දවස්වල කෝල් කරහමත් ආන්සර් කරන්නෙ නැහැ ගෙදර එන්න කියයි කියල. එනකොට ඉතින් රඹුටන් වල්ලක් දෙකක් ගේන්න වෙනවනෙ.

ඒවගේම දූරියන් වාරෙත් මේ අස්සෙම ඇවිල්ලානෙ. මමනම් දූරියන් කන්න ආස නැහැ. හැබැයි දූරියන් සුවඳට ටිකක් ආසයි. අර අලියා ජීවිතේට දූරියන් ගස් යටින් යන්නෙ නැහැ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා දූරියන් තියෙන පැත්ත පලාතකවත් යන්නෙ නැහැ. අපේ ගම හාමිනෙත් ඒ වගේ. දූරියන් පෙන්නන්න බැහැ.

හැබැයි පුදුමෙ කියන්නෙ අපි දෙන්නගෙ කුළුඳුල් දූ පොඩ්ඩ බඩට ආපු දවස්වල ගම හාමිනේට ඉස් ඉස්සෙල්ලම කන්න දොල දුක හැදුනෙ දූරියන්. මේ ඇවිල්ල දෙදාහෙ අවුරුද්දෙ මාර්තු හරි අප්‍රේල් වගේ කාලේ. ඉතින් මොන දූරියන්ද ? ෆුල් අවාරෙ. ඔන්න කජු පුහුලන් කන්නවත් දොල දුක හැදුනනං ඒත් එකක්. කොහෙද මේ දොල දුක කියන ඒවත් හැදෙන්නෙත් අපි වගේ තාත්තලටම දුක් දෙන්නම තමා. ඉතින් මමත් මොකද කලේ නුගේගොඩ ඉඳන් කිරුලපනට බස් එකේ ඇවිල්ල එතන ඉඳන් පයින්ම තුන් මුල්ලට යනකන් ගියා දූරියන් තියෙනවද කියල බලන්න. ඇයි ඉතින් දූරියන් තියෙනවනම් අනිවාර්යයෙන්ම තියෙන්නෙ හයි ලෙවල් පාරේ කිරුලපන ඉඳන් තුම්මුල්ල හරියට වෙනකන් පාර දෙපැත්තෙනෙ. ම්හ් . . මොන දූරියන්ද. ඉතින් ෆුල් අප්සෙට් එකේ තුන් මුල්ලෙ ඉඳන් ආපහු ගෝල් රෝඩ් එක පැත්තට ගියා. ඒත් නැහැ. දැන් ඉතින් කකුල් කඩෙත්තුවත් හැදිල දිවේ අන්තිම ටික ගිලෙන්න කලින් ඔන්න මෙන්න තියල ගියා මොනව හරි බොන්න කියල මිල්ක් හට් එකකට. එතකොට තමා මම ජීවිත කාලෙදි දැකපු සුන්දරම දේ දැක්කෙ.

මේන්න තියෙනවා දෙහි ගෙඩි දෙකක් විතර සයිස් එකේ දුරියන් ගෙඩියක් ඒ කඩේ විකුනන්න. ඇත්තටම ඒකෙ කටු නොතිබුනානන් දූරියන් කියල හොයන්නවත් බැරි තරම් සයිස් එක. මම හිතන්නෙ කලින් පාර දූරියන් වාරෙදි අතරමං වෙච්ච එකක්ද කොහෙද. ඊට පස්සෙ ගාන ඇහුවහම තමා දුරියන් ගෙඩියෙන්ම ඔළුවට ගැහුවනං හොඳයි කියල හිතුනෙ. රුපියල් 175 යි. ඒ දවස්වල හොඳ සයිස් එකේ දූරියන් ගෙඩියක් වෙන්නෙත් රුපියල් 75ක් විතර. ඉතින් මොක කරන්නද. අතේ තිබුන අන්තිම රුපියලත් හූරල හූරල දුරියන් ගෙඩියත් අරගෙන ආපහු බම්බල පිටියෙ ඉඳන් කළුබෝවිලට පයිංම ආව. අර තිබහට මොනව හරි බොන්න කියලනෙ ගියේ. ඒක බිව්වනන් දූරියන් ගෙඩිය ගන්න සල්ලි මදි වෙන හින්ද ඒ අදහසත් අත ඇරල දිව ගිලෙන්න නොදී හයියෙන් තද කරල අල්ලගෙන තමා ආවෙ.

දූරියන් ගෙඩිය දැක්ක විතරයි තව පොඩ්ඩෙන් ගම හාමිනේ ඒක කට්ට පිටින්ම ගිලිනවා. එච්චරටම තද දොළ දුකක් තමයි ඒක. බොහොම අමාරුවෙන් ඒක සුද්ද කරල දෙනකන් තියාගත්තා. සුද්ද කරහම තමයි දැක්කෙ යාන්තම් එක මදුලයි ඒකෙ තිබ්බෙ. ගම හාමිනෙත් ඒක ගත්ත ගමන් කාගෙන කාගෙන ගියා. එයා ජීවිත කාලෙටම අද වෙනතුරු කාපු එකම දූරියන් මදුල එච්චරයි. ඊට පස්සෙ අද වෙනතුරුත් ආපහු දූරියන් පයිත්‍යයං.

ඔන්න ඉතින් රඹුටනුයි දූරියනුයි මතක් වෙච්ච වෙලාවෙ මේවට සම්භන්ධ තව නෝටි කතාවකුත් මතක් උනා. දැන් මම කියන්න යන්නෙ ඒ නෝටි කතාව තමා. මේක නොකිව්වොත් මගේ කට කහන එක නම් නවතින එකක් නැහැ ඕං. ඔන්න නෝටි කතාවලට ආස නැති කට්ටිය මෙතනින් පල්ලෙහාට බලන්න එපා. මේ කතාව අහපු කට්ටියත් ගොඩක් ඇති. ඒ අයත් මෙතනින් පල්ලෙහාට කියවන්න එපා.

මතකනෙ චාල්ස් සහ ඩයනා. මේ දෙන්නා කසාද බැන්දෙ 1982 අවුරුද්දෙදිනෙ. මතකනෙ මුළු ලෝකෙටම සජීවී විදිහට මගුල පෙන්නුවා. ඉතින් ඕකට ලෝකෙම ඉන්න රාජ්‍ය නායකයන්ටත් ආරාධනා කරල තිබුනා. ඒ දවස්වල අපේ රටේ හිටපු ජනාධිපතිටයි, අගමැතිටයි තමයි ලංකාව නියෝජනය කරන්න ලැබුනෙ. ඉතින් මේ ගොල්ලන්ට මගුලට ආරධනා ලැබුනම දෙන්නත් එක්ක කතා උනා දැන් මොනවද චාල්ස්ටයි ඩයනටයි මගුල් තෑගි විදිහට දෙන්නෙ කියල. ඉතින් ඔන්න දෙන්නත් එක්ක කතා වෙනවලු මොනව දුන්නොත් හොඳයිද කියල. ඉතින් ලංකාව ප්‍රසිද්ධ තේ, පොල් රබර් වලටනෙ. ඉතින් අගමැතිතුමා කියනවා
"සර්, අපි හොඳවැයින් තේ කන්ටේනර් එකක් දෙමු" .
ඉතින් ජනාධිපතිතුමා කියනවලු,
"ඒක හරියන්නෙ නැහැ තේ සුද්දොම අපිට දීපු එකක්නෙ. අපි දෙන්න ඕන සුද්දන්ට එච්චර ලේසියෙන් හොයාගන්න බැරි දෙයක්" කියල.
ඉතින් රබර් ගැනයි, පොල් ගැනයි කතා කරල දෙන්නම තීරණය කලාලු ඒව හරියන්නෙ නැහැ කියල. ඊට පස්සෙ අගමැතිතුමා කියනවලු
"සර්, අපි හොඳ පළතුරු ජාතියක් දෙමු ඔය සුද්දන්ට එංගලන්තෙ දිහාවෙ හොයාගන්න බැරි ජාතියේ . . " කියල.
ඉතින් ජනාධිපතිතුමාත් මේකට කැමති වෙලා ඇහුවලු

"මොනවගේ පළතුරක් හොඳයිද අගමැතිතුමෝ ?" කියල.

අගමැතිතුමාගෙ ප්‍රියතම පළතුර දූරියන්ලු. ඉතින් අගමැතිතුමා ගත් කටටම කිව්වලු

"සර්, අපි දෙමු හොඳ දූරියන් ගෙඩි ලොරියක් විතර" කියල.

ඒත් කරුමෙට ජනාධිපතිතුමාට දූරියන් පෙන්නනවත් බැරිලු. පොර කියනවලු

"හපොයි ඒක හරියන්නෙ නැහැ, අපි දෙමු හොඳවැයින් මල්වානෙ පැණි රඹුටන් කූඩයක් දෙකක්" කියල.

ඒත් අගමැතිතුමා මේකට කැමති නැහැල්ලු. පොරට ඕනෙ කොහොම හරි දූරියන්ම ගෙනියන්නලු. කොහොමෙන් කොහොම හරි දෙන්නත් එක්ක වාද විවාද වෙලා අන්තිමට ජනාධිපතිතුමා කිව්වලු
"ආයේ කතා දෙකක් නැහැ . . . අපි අරගෙන යන්න ඕනෙ රඹුටන්ම තමයි " කියල.

ඉතින් විධායක ජනාධිපති තුමා එහෙම කිව්වහම ආයේ අගමැති තුමාට නෝ චොයිස්නෙ. පොරත් අකමැත්තෙන් කැමති වෙලා ඔන්න දෙන්නම රඹුටන් කූඩ තුන හතරක් අරගෙන ගියාලු මගුල් ගෙදර යන්න කියල.

ඉතින් මගුල දවසෙ විශේෂ අරාධිතයො අළුත් යුවලට තෑගි දෙන අවස්ථාව ආවලු. ඉතින් මුළු ලෝකෙම රාජ්‍ය නායකයො ලොකු ශාලාවකට රැස් වෙලා එක එක්කෙනා ගෙනාපු තෑගි නව යුවලට පිරිනමනවලු. එංගලන්තෙ මහ රැජිනත් මේ අවස්ථාවට සහභාගිවෙලා බලාගෙන ඉන්නවලු මොනවද මේ අමුත්තො දෙන තෑගි බෝග එහෙම කියල.

ලංකාවෙ වගේ නමෙයිනෙ ඒ රටවල්. දෙන තෑගි ඒ වෙලාවෙම හැමෝම ඉස්සරහ ඇරල බලනවනෙ. ඉතින් ඇමරිකාවෙ ජනාධිපතියි, අගමැතියි ඇවිල්ල දුන්නලු අළුත්ම අළුත් "රෝල්ස් රොයිස්" කාර් එකක්. ඊට පස්සෙ තව රටකින් දුන්නලු දියමන්ති ඔටුන්නකුයි, මාල, කරාබු මහ ගොඩක්. ඔය වගේ ඉතින් අනිත් රාජ්‍ය නායකයොත් හරිම වටිනා දේවල් තමයිලු තෑගි විදිහට දීල තියෙන්නෙ.

ඔන්න ඉතින් අපේ රටේ වාරෙ ආවහම ජනාධිපති තුමයි, අගමැතිතුමයි රඹුටන් කූඩ දෙකක් උස්සන් ගිහිල්ල සභාව ඉස්සරහින් තිබ්බලු. ඉතින් චාල්සුයි ඩයනයි මේ මොනාද බොලේ මේ කියල බලන්න කූඩ දෙක ඇරියලු. බලනකොට රඹුටන්වල ඉඳල කළු කූඹි රොත්තක් චාර්ල්ස්ගෙයි ඩයනගෙයි මුළු ඇඟේම ගියාලු. මේක දැකපු මහ රැජිනට හොඳටම කේන්ති ගිහිල්ලා ලඟ හිටපු රාජ පුරුෂයෙකුට (ඔව් ඔව් එහෙත් ඉන්නවනෙ රාජ පුරුෂයො ) කිව්වලු මේ ගෙඩි අරන් ගිහිල්ල මුන් දෙන්නගෙ පස්ස පැත්තෙ ගහපල්ල කියල. ඉතින් ඔන්න එංගලන්තෙ රාජ පුරුෂයොත් රාජ අණ ඉටු කරන්න ජනාධිපතිවයි, අගමැතිවයි, රඹුටන් කූඩ දෙකයි අරගෙන ගියාලු කාමරයකට. ඔන්න ඉතින් දෙන්නව දෙකට නවල රාජ පුරුෂයො රඹුටන් ගෙඩිය ගෙඩිය මාරුවෙන් මාරුවට දෙන්නගෙම පස්ස පැත්තෙ ගහනවලු. ටික වෙලාවක් ඔහොම ගහ ගහ යනකොට දැන් අගමැති තුමාට කෙඳිරිත් ගෑවෙනවලු.

ඒ අස්සෙ ජනාධිපති තුමා බක බක ගාල හිනා වෙනවලු. ඉතින් අමාරුවෙන් අගමැතිතුමා අහනවලු,

"සර්, මොකද මේ හිනාවෙන්නෙ, මට නම් මේ ඉන්න බැරිව ඉන්නවා " කියල.

ඒ පාර ජනාධිපති තුමා ඇහැව්වලු . . , "අගමැතිතුමෝ, . . . කොහොමද අපි දූරියන් ගෙනාවනන්"

ලයිසොං කතා

Posted by දුමී




ඔන්න මගේ ගම හාමිනේ හා හා පුරා කියල ඊයේ ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස් උනා. පහු ගිය ජූනි මාසෙ ලංකාවට ආපු දවසෙ ඉඳන් එයාගේ තිබුනු ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි ඒ. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ නිවාඩුවට ආපු ගමන් තමයි. එතකොට යන්තම් ලියන විභාගෙ විතරයි ඉවර කර ගන්න පුලුවන් උනේ. මේ පාර ආවහම තමයි මාසයක්ම එලවන්න පුරුදු වෙලා ඊයේ යාන්තන් ටෙස්ට් එක පාස් උනේ.

පහු ගිය දවස් වල ඔය නුගේගොඩ, අතුරුගිරිය, මාදිවෙල එහෙම පැතිවල නයෙක් වගේ පාර පුරා වෑන් එකක් යනව දැක්කනං ෂුවර් එකටම ඒ අපේ ගම හාමිනේ එළවන්න පුරුදු වෙනව. කොහොමෙන් කොහොම හරි ඉතින් එයත් ලැයිසොං එක ගත්තා කියමුකො, හැබැයි ඔන්න මීට පස්සෙ පාරෙ තොටේ යනකොට සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම කළුබෝවිල, දෙල්කඳ නුගේගොඩ වගේ පැතිවල. වාහනයක් ඇඟට ආවොත් ගහකට හරි නැගල බේරෙන එක තමයි තියෙන්නෙ ඕං පස්සෙ මට එහෙම දොස් නොකියා.

ඉතින් ඊයේ දවස ගම හාමිනේගෙ ට්‍රයල් යන දවස නිසා මමත් ගියා එයාගේ තනි රකින්න. දවල් 12 ට විතර එතනට ගියත් ඉඳල ඉඳල ට්‍රයල් එක ගියේ 3 ට විතර. එහෙම යනකොට ඉතින් රොත්තක්ම අරගෙන යනවනෙ. ඒ ඔක්කොගෙම ට්‍රයල් ඉවර වෙන්න පැය දෙකක් විතර ගියා. මටත් ඉතින් වේලි වේලි ඉන්න වෙච්ච් හින්ද එතන හිටපු පොඩි එකෙක් එක්ක සෙට් වෙලා සරුංගලයක් ඇර ඇර හිටිය ඒ ගොල්ලො එනකන්. ඔහොම ඉන්න කොට මට මතක් උනා මේ ඩ්‍රයිවින් ලයිසොන් ගැන මරු කතා ටිකක්.

ඉස්සෙල්ලම මට මතක් උනේ මම ඔය ලැයිසොන් එක ගන්න ගිහිල්ල මටම වෙච්ච හුට පටයක්. මම ගොඩක් පොඩි කාලේ ඉඳන්ම වාහන එළෙව්වට ලැයිසොන් එක ගත්තෙ ගොඩක් පහු වෙලා තමයි. හරියට කිව්වොත් 2000 අවුරුද්ද වගේ තමයි මට මතක. මාත් එක්ක තව මගේ යාළුවෙකුත් සෙට් උනා මේකට. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕනෙ ඇප්ලිකේසොං එක දාන එකනෙ. මේකට ඉතින් මෙඩිකල් එකකුත් කරන්නත් එපැයි. ඉතින් ඔන්න අපේ ඔෆිස් එකේ හිටපු යාළුවෙක් අඳුරන කිරුලපන පැත්තෙ හිටපු ඩොකෙක් ගාවට ගියා මෙඩිකල් එකට. ඩොකා ටිකක් වයසක දෙමළ පොරක්. නුගේගොඩ තියෙන සී.ටී.බී එකේ ඩ්‍රයිවින් ස්කූල් එකේ හිටපු මෙඩිකල් ඔෆිසර් තමයි පොර. ඒ වෙනකොට ඩොකා ඒකෙන් විශ්‍රාම අරන් ක්ලිනික් එකක් දාගෙන තමයි හිටියෙ. එහෙම මෙඩිකල් එකක් මගේ ජීවිතේට කරල නැහැ. ඇස් ටෙස්ට් කරන්න තියෙන ඔක්කොම ක්‍රම වලට පොර ඇස් ටෙස්ට් කරා. දුර ඉඳන් එක එක සයිස් රූප, ඉන්ග්‍රීසි අකුරු, සිංහල අකුරු පෙන්න පෙන්න ඇස් ටෙස්ට් කරා. අපි බයේ හිටියේ මූ දෙමළ අකුරුත් පෙන්නයිද කියල. ඒ ටෙස්ට් කිරිල්ලට තව පොඩ්ඩෙන් අපේ හොඳට තියෙන ඇස් දෙකත් පොට්ට වෙනවා. ඊට පස්සෙ කන් ටෙස්ට් කලා. එක කනකට පුළුං කෑල්ලක් ගහල අනිත් කනට රහසින් මොකක් හරි කොඳුරනව. ඊට පස්සෙ අහනව මොකක්ද කිව්වෙ කියලා. ඊට පස්සෙ පොර හිටපු බිල්ඩින් එකේ පඩි පෙල නග්ගල බැස්සෙව්ව කකුල් වැඩ කරනවද කියල බලන්න. ඊට පස්සෙ ඩිප්ස් 10ක් ගැස්සුවා හතිය තියෙනවද බලන්න. මම හිතන්නෙ ආමි එකේවත් මෙහෙම මෙඩිකල් ටෙස්ට් එකක් කරන්නෙ නැතුව ඇති. හවස 6ට විතර පටන් ගත්ත අපි දෙන්නගෙ ටෙස්ට් එක ඉවර උනේ රෑ 10ට විතර. ඉතින් හිතා ගන්න පුළුවන්නෙ.

ඉතින් අපිත් ඩොකා දුන්නු මෙඩිකල් රිපෝට් එකත් අරගෙන ගියා වේරහැරට. ගිහිල්ල ඇප්ලිකේසොං එක දුන්නැයි කියමුකො. ඒක ගත්ත කවුන්ටරේ එකා කියපි මේ මෙඩිකල් එක බාර ගන්න බැහැ මොකද මේ ඩොකාට එම්.බී.බී.එස් නැහැ කියල. බලාගෙන යනකොට ඒ ඩොකා ඇපෝතිකරියෙක්. ඒ කියන්නෙ සහකාර වෛද්‍යවරයෙක්. පස්සෙ කවුන්ටරේ හිටපු පොර කියනව අර අතන පාරෙ අහවල් තැන ඉන්නව ඩොකෙක් එයාට කියල මෙඩිකල් එකක් අරගෙන එන්න කියල. ඉතින් අපිත් ගියා බලන්න. ඔන්න ඉතින් කියපු තැන පොඩි කඩයක් ඇතුලේ පුටු කබලක් තියාගෙන ඉන්නව අවුරුදු 30ක 40ක විතර පොරක්. අපි ගියහම ඌ "ආහ් මල්ලි අයි.ඩී එක දෙන්නකො" කියල මෙඩිකල් කොලේ පුරවගෙන පුරවගෙන ගියා. ඊට පස්සෙ "රුපියල් සීයයි" කියල ඒක දුන්නා. අඩු ගානේ ඒ යකා මුන්ට ඇස් දෙකක් තියෙනවද කියලවත් ඔළුව උස්සල බැලුවෙ නැහැ. ඇප්ලිකේසොං කවුන්ටරෙනුත් කිසිම ගින්නක් නැතුව ඒක බාර ගත්තා. අර කලින් ඩොකා අපිට දස වද දුන්නත් ෆුල් සිස්ටමැටික් විදිහට ඔක්කෝම හරියටම ටෙස්ට් කරල දීපු මෙඩිකල් එක මුන් බාර ගත්තෙ නෑ. අර කොහේද ඉන්න හොර සීල් එකක් තියාගෙන මෙඩිකල් කොල විකුණන එකාගෙ රිපෝට් එක ගේමක් නැතිවම බාර ගන්නවා. අපි දෙන්නත් ඉතින් "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ ඒ අමාරුව" කියල ඇප්ලිකේසොං එකත් බාරදීල ආව.

ඒ දවස්වල ට්‍රයල් ගිය ගමන් පාස් උනානන් ඒවෙලාවෙම ටෙම්පරරි ලයිසං එක ලියල අතට දීල තමයි එග්සැමිනර් වාහනෙන් බහින්නෙ. මේ කතාව මට කිව්වෙ මගෙ යාළුවෙක්. ඌ දන්න පොරක් ලයිසන් එක ගන්න ට්‍රයල් ගිහිල්ල. ඒත් පොරට එච්චරම එළවන්න බැහැල්ලු. අර වමට සිග්නල් දාල දකුණට හරවන ජාතියේ ගෝතයෙක්. තුන් හතර සැරේකට වැඩිය ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙනත් නෑ. ඉතින් පොර ට්‍රයල් යන්න සෙට් වෙලා එග්සැමිනර් අවිල්ල වාහනේ අනිත් පැත්තෙන් නැග්ගලු. අපේ පොර මොකද දන්නවද කරල තියෙන්නෙ, පට ගාල පර්ස් එකෙන් රුපියල් දාහක් අරගෙන එග්සැමිනර් ඉස්සරහම ඒක ලියුං කවරයක දාල වාහනේ ඩෑෂ් බෝඩ් එක උඩින් තිබ්බලු. ඊට පස්සෙ ඔන්න දෙයියනේ කියල දැන් වාහනේ එහෙම ස්ටාර්ට් කරගෙන ගස්ස ගස්ස යනවලු. හිටපු ගමන් ක්ලච් එක එහෙම පාගන්නෙ නැතුව ගියර් මාරු කරන්න ගිහිල්ල "බ්‍රාස්. . . . . " ගාල සද්දයක් දෙකක් එහෙමත් එන්නෙ නැතුවත් නෙමෙයිලු. කොහොමෙන් කොහොම හරි කිලෝ මීටෙරයක් විතර ගියාට පස්සෙ එග්සැමිනර් අයිනට කරල නවත්තන්න කියල ලියුම් කවරෙ දිහා බලාගෙන මූට "හරි පාස්" කියල කොලේ ලියල දුන්නලු. මූ මොකද කරේ "තෑන්ක් යූ සර්" කියල ලියුම් කවරෙ අරගෙන ආපහු සාක්කුවේ දාගත්තලු.

මේරි ආච්චි

Posted by දුමී



මාගේ පියාගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකි. ඒ අතරින් තිදෙනෙකු නැන්දලාද, දෙදෙනෙකු බාප්පලාද වෙයි. ඊට අමතරව මාගේ සීයා සහ ආත්තම්මා විසින් දරු කමට සාදාගන්නා ලද තවත් නැන්දලා දෙදෙනෙකුද ඒ අතර විය. ජික්කි නැන්දා සහ අයිරින් නැන්දා නම් ඔවුන්ය. ඒ ඔවුන්ගේ සැබෑ නම් නොවූ අතර ඔවුන්ට ගෙදරදී ආමන්ත්‍රණය කරන ලද්දේ එලසය. මාගේ සීයාත් ආත්තම්මාත් වෘතියෙන් විදුහල්පතිවරු වූහ. මා හට මතක ඇති කාලයේ පටන් ආත්තම්මා ඇයගේ උපන් ගම් ප්‍රදේශය වු කළුබෝවිලත්, සීයා ඔහුගේ ගම් ප්‍රදේශය වු මතුගම පාන්තිය නම් ගමේත් දිවි ගෙවූහ. එසේ ඉතා දුරින් පිහිටි ප්‍රදේශ දෙකකට වී දිවි ගෙවීමට සිදු වූයේ ඔවුන්ගේ වෘතිය අනුව ඒ ප්‍රදේශ වල විදුහල්වල සේවය කිරීමට සිදුවූ නිසා යැයි මම උප කල්පණය කරමි. මාසයකට වරක් දෙවරක් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසෙන අපේ සීයා ආත්තම්මා බැලීමට කළුබෝවිල පැමිනෙන සැටි මට අදත් ආවර්ජනය කර ගැනීමට පුළුවන. ඒ යන එන වරෙක මමත් සීයා සමග මතුගමද, තවත් වරෙක ඔහු සමග කළුබෝවිලද පැමිණ තිබේ. මේරි ආච්චී යනු ඉතා කාර්ය්‍ය බහුල වූ ඔවුන් දෙපල වෙනුවෙන් මාගේ පියාත් ඔහුගේ සහෝදර සහෝදරයන් රැසත් කුඩා කල රැක බලාගත් ආයම්මාය. මට මතක ඇති කාලයේදී වියපත් වී සිටි ඇයත් දිවි ගෙවූයේ මාගේ ආත්තම්මා සමග කළුබෝවිල නිවසෙහිය. ඉතා කරුණාවන්ත කාන්තාවක් ලෙස මාගේ මතකයේ රැඳී ඉන්නා ඇය අප හට ඉතා සෙනෙහසක් දැක්වූවා යැයි මට මතකය. ඒ වාගේම මාගේ ආත්තම්මාටද ඉතා සෙනෙහසින් යුතුව ඈ කටයුතු කලා යැයි මා අසා ඇත.

ජීවිතයේ අවසාන කාලයේ දියවැඩියාවෙන් පීඩා විඳි ඇය 1979 දී මිය ගියාය. එවිට මාගේ වයස යාන්තම් අවුරුදු පහක් පමණය. ඇය මිය යත්දී මතුගම මාගේ සීයාගේ නිවසේ සිටි මා සීයා සමග ඇයගේ මරණයට සහභාගී වීමට කළුබෝවිල පැමිණියා මට මතකය. මුල් කාලයේදී කාමර දෙකක්, කුඩා සාලයක් හා කුස්සියකීන් සමන්විත වී තිබූ කළුබෝවිල ගෙදර මාගේ පියා විසින් නවීකරණය කරමින් පැවති කාලයයි ඒ. අද මා මේ ලිපිය සකසණුයේ එසේ මාගේ පියා විසින් නවීකරණය කරන ලද නිවසේ සිටයි. අඩක් ඉදිකරමින් පැවති නිවසේ ඒ කාලයේ ඉඩ පහසුකම් මදිවී තිබුනු බැවින් ඇයගේ දේහය තබා තිබුනේ මා මේ ලිපිය සකසන පරිගණකය තබා තිබෙන ස්ථානයේමය. ඇයගේ දේහය තැබූ විට යන්තම් කිහිප දෙනෙකුට ඒ අසලින් සිට ගෙන දේහයට ආචාර කිරිමට තරම් පමණක් ඉඩ තිබූ බව මාගේ මතකයේ රැඳි තිබේ.

කොහුවල පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියද ඇයගේ ආත්මය නම් තවත් වසර කිහිපයක් යන තෙක්ම අපගේ නිවසේ සැරි සැරුවාය. මා මෙසේ පවසන සෑම සංසිධියක්ම එම දිනවල සැබෑ ලෙසම සිද්ද වූ දේවල්මය. ඇයගේ ආත්මය නිවස අත්හැර නොගිය බැව් පසක් වූ පළමු සන්සිද්ධිය සිදු වූයේ ඇයගේ සත් දවසේ දානයටත් ටික දිනකට පසුවය. ඒ දිනවල මට මතක හැටියට නම් නිවසට විදුලිය ලැබී තිබුනේ නැත. විදුලිය තිබුනත් එය දවසේ වැඩි කාලයක්ම විසන්ධි වී තිබුනා යැයි මට මතක් කල හැක. නිවස ආලෝක කිරීම පැවරී තිබුනේ පැට්‍රල් මැක්ස් යැයි හැඳින්වූ හොඳින් එළිය විහිදුවන ලාම්බු කිහිපයකටය. එම දිනවල නිවසේ ජල නළ පද්දතියක් නොතිබූ අතර නිවසට වතුර ලබා ගැණුනේ නිවසේ සිට යාර 25ක් පමණ වත්ත පහලට වෙන්න ඉදිකර තිබූ ලිඳෙනි. අදත් එම ලිඳ එසේම පවතින අතර අපගේ නිවසත් ලිඳ පැවති ප්‍රදේශයත් තාප්පයක් ගසා අද වෙන් කර ඇත්තේ තාත්තාගේ සොහොයුරියකට එම ලිඳ අසලින් ඉඩම බෙදා දුන් නිසාය. එම දිනවල ඒ ලිඳ වටා විශාල වූ කොස් ගස් කිහිපයකුත්, පොල් ගස්, කැන්ද ගස්, ගස්ලබු සහ කෙසෙල් වැනි ගස් විශාල ප්‍රමාණයකින් සමන්විතව පැවතියේයයි මට මතකය.

මා මේ පවසන සිද්ධියට මුහුණ පෑමට සිදු වූයේ ඒ දිනවල අපගේ කළුබෝවිල නිවසේ වැඩ පළ කිරිමට නැවතී සිටි 'දයා' යැයි හැඳින්වු එවක මැදි වයසේ පසුවූ තැනැත්තියකටය. රාත්‍රිය උදා වූ තිබූ එදිනේ නිවසේ රැස් කර තිබූ වතුර අහවර වී තිබුන හෙයින් දයා ලිඳ ලඟට ගොස් තිබුනේ බේසමකට වතුර පුරවාගෙන පැමිණීටය.චිමිනි ලාම්පුවක්ද අතැතිව ලිඳ ලඟට ගොස් සිටි ඇය බේසම බිම තබාද චිමිනි ලාම්පුව ලිං කණ්ඩිය උඩින් තබාද වතුර බාල්දිය ලිඳ තුලට දමා වතුර ඇදීමට පටන්ගෙන තිබේ. අඩි විස්සක් පමණ ගැඹුරැති ලිඳෙන් පලමු වතුර බාල්දිය ගෙන බේසමට පිරවූ දයා දෙවන වරද බාල්දිය ලිඳ තුලට දමා නැවත වතුර ඇද තිබේ. එම වතුර බාල්දිය බේසමට දැමීමට සැරසෙනවාත් සමගම ඇය චිමිනි ලාම්පු එළියෙන් දැක තිබුනේ දෝතින් වතුර බේසම ඔසවාගෙන තමා දෙසට එය අල්ලාගෙන සිටින මේරි ආච්චීවය. නිවස තුල සිටි අප හට ඇසුනේ ගිරිය යටින් කෑ ගසාගෙන දිව ආ දයාගේ හඬත්, දුටුවේ සිහි සුන්ව කුස්සිය අද්දර වැටී සිටි දයාවත්ය. ආත්තම්මා විසින් පිරිත් කියා මුහුනට වතුර ඉස ඇය සිහි ගැන්නුවද ඉන් දින කිහිපයකට පසුව ඇය යථා තත්වයට පත්වූයේ කට්ටඩියෙක් විසින් මතුරන ලද නූල් කැබැල්ලක් ඇයගේ ඉනේ බැඳීමෙනි. එදිනෙන් පසුව කිසිවෙකු තනි පංගලමේ ලිඳ ලඟට නොගිය බැව්ද මට මතකය.

ඉන් පසු සිදුවූ ආසන්නම සිදුවීම වූයේ ඉන් මාස කිහිපයකට පසුවය. ඉදි කෙරෙමින් පැවති නිවසට සෙත් පැතීම සඳහාද, අපල උපද්‍රව දුරු කෙරුමටද කිරි අම්මා වරුන්ගේ දානයක් දීමට කටයුතු පිළියෙල කර තිබුනි. ඒ සඳහා කැවිලි පෙවිලි සැකසීම සඳහා මතුගමින් කාන්තාවක් කැඳවා තිබුනේ කිරි දානයට සහභාගී වීමට සැලකිය යුතු පිරිසකට ආරාධනා කර තිබූ නිසාත් ඒ සඳහා කැවිලි පෙවිලි යහමින් සෑදීමට තිබු නිසාත්ය.මහා පරිමාණයෙන් තෙල් කෑම පිලියෙල කරනා විට ඒවා ගේ ඇතුලේ පිලියෙල නොකර ඒ සඳහා ගෙයින් එළියට වෙන්න ඉදි කෙරූ මඩුවක පිසීම සිරිතක් ලෙසින් ඒ කාලයේ සිදු කරන ලදී. පොල් අතු වලින් සකසන ලද එම මඩුව අප නිවසට යාබදින් ඉදි කර තිබුනේ එක් දොරටුවකට නිවසේ සිට පිවිසිය හැකි පරිදිද අනෙක් දොරටුව එළියට නිරාවරණය වෙන පරිදිත්ය. පසුවදා උදේ පාන්දරින්ම පැමිනෙන කිරි අම්මාවරුන්ට දානය දීමට ලහි ලහියේම කැවිලි පෙවිලි පැමිණි කාන්තාව අතින් සිදු කරන ලදී. ඒ අතර තුර ඇය කැවුම් බැදීමට පටන් ගෙන තිබුනේ මදක් රාත්‍රිය උදා වී තිබූ විටයි. ගෙදර සිටි නැන්දලා, පුංචිලා සහ මාගේ අම්මාද මේ කටයුතු වලට යුහුසුළුව සම්භන්ධ වී සිටියහ. මේ අතර නිවසේ කුස්සියේ වූ කටයුතු වලටද පිරිසක් මැදිවී සිටි අතර කැවුම් බදිමින් සිටි කාන්තාව අසල රැඳීමට කිසිවෙකුටත් අමතකවී තිබිනි. හෝරා බාගයකට පමණ පසුව මාගේ ලොකු නැන්දාට එය සිහිවී මඩුව තුලට ගොස් තිබුනේ කැවුම් බදිමින් උන් කාන්තාවගෙන් ඇය තනි කිරීම පිලිබඳව කණගාටුව ප්‍රකාශ කරමින්ය. එවිට ඇය පවසා තිබුනේ,

"අයියෝ නෝනා මම තනියෙන් නෙවෙයි හිටියේ. අර අක්ක මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර ඉඳල දැන් ටිකකට කලින් තමයි මෙතනින් ගියේ . . ."

පුදුමයට පත්වූ ලොකු නැන්දා ඇයගෙන් විස්තර අසත්දී පසක් වී තිබුනේ මෙතෙක් වෙලා ඇය ගත කර ඇත්තේ මේරී ආච්චී සමග බවය. කැවිලි සෑදීමට පැමිණි කාන්තාව මේරි ආච්චි ගැන හාං කවිසියක්වත් නොදන්නා අතර ලොකු නැන්දාද ඇය මෙතෙක් වෙලා ගත කර ඇත්තේ මිය ගිය ආත්මයක් සමග යැයිද ඇයට පවසා නැත්තේ කිරි දානය කෙසේ වෙතත් තොවිලයක් නැටීමට සිදුවේ යැයි බිය වූ බැවින්ය.

මාගේ ආත්තම්මා කළුබෝවිල පංසලේ කුළඝන සමිතියේ සභාපතිවරිය ලෙස කාලයක් කටයුතු කලාය. එයට සම්භන්ධ වූ කාන්තාවන් නිතරම අපගේ නිවසට ආවේ ගියේ සමිතිය විසින් ක්‍රියාවට නැගූ නොයෙකුත් ආකාරයේ පුණ්‍යයමය කටයුතු වලට සම්භන්ධ වීම සඳහායි. මේ කාලයේ ආත්තම්මගේ ඇස් පෙනීමද ක්‍රමක්‍රමයෙන් දුර්වලව පැවති යුගයයි. (ඉන් ටික කලකට පසුව ඇය සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත්වූවාය ). ඇය සන්ධ්‍යා යාමයේදී පුරුද්දක් ලෙසට ගුවන් විදුලියට සවන් දීම සිදු කලාය. උඳු පියලිය යායක් ලෙසින් එකල තිබු ගෙමිදුලෙහි පුටුවක් තබා හෝරා කිහිපයක් ගත කිරීම ඇයගේ සිරිතය. එසේ මිදුලේ සිට ගෙතුල තිබූ ගුවන් විදුලියට සවන් යොමා සිටි ආත්තම්මා හමුවීමට පැමිණි කාන්තාවක් දැක තිබුනේ ඇයගේ දෙපා පාමුල වාඩි වී සිටින මේරි ආච්චීවය. ජීවත්ව සිටියදී මේරි ආච්චීව හොඳින් දැනගෙන සිටි ඒ කාන්තාව නිවසට පැමිනෙන විටදීම දැක තිබුනේ ආත්තම්ම අසලින් බිම වාඩි වී ඉඳ ඇය පැමිනෙන විටදී මේරි ආච්චි ආත්තම්මාට වැඳ නමස්කාරය කර වත්ත පහලට ඇදී යන අන්දමයි.

මා අවසානයට පවසන මේ සිද්දිය මාගේ බාල සොයුරිය මුහුන පෑ සිද්දියකි. එය සිදු වූයේ මේරි ආච්චි මිය ගොස් වසර දෙකක් පමණ ගතවූ විටදීය. ඒ ඇය ගැන මතකය අප සෑම දෙනෙකුගෙන්ම මැකී යමින් තිබූ කාලකදීය. කළුබෝවල ගෙදර පහත මාලය සම්පූර්ණයෙන්ම වාගේ ඉදි කර තිබූ ඒ සමයේ සෑම සෙනසුරාදාවකම මාවත් අක්කාවත් වජිරා සහ චිත්‍රසේන කලායතනය වෙත නැටුම් පංති සඳහා අම්මා විසින් රැගෙන ගියාය. එසේ පංති යනවිට අත දරුවෙක්ව සිටි මාගේ මල්ලිවද අවුරුදු හතරකට ආසන්නයේ සිටි මාගේ නැගනියද බලා ගත්තේ මා මුලින් සඳහන් කල අයිරින් නැන්දා විසිනි. නිවසේ මැද කාමරය එහි වූ ප්‍රධානම කාමරය වූ අතර එයට සම්භන්ධ වූ නාන කාමරය එවක සම්පූර්ණ කර නොතිබින. පළංචි බැඳීමට සාදා තිබූ කුහුර කිහිපයක්ම නාන කාමරයේ බිත්තිවල පැවතියේය. මා සන්තකයේ තිබූ සියළුම සෙල්ලම් බඩු එම කාමරයේ මුල්ලක වූ ලොකු පෙට්ටියක බහා තිබූ අතර මා නිවසේ ඉන්නා විට නංගීට එය තහනම් වස්තුවක් විය. මා නිවසින් බැහැර වන්නාවූ විටදී පමණක් සිතේ සැටියට මාගේ සෙල්ලම් බඩු පෙට්ටිය ඇවිස්සීමට ඇයට හැකි වේ. අයිරින් නැන්දා මුළුතැන්ගෙයි සිට කෑම පිලියෙල කරනා විට නංගීද මැද කාමරයට ගොස් සිටියාය. ඒ මාගේ සෙල්ලම් බඩු පෙට්ටිය සමග රිසි ලෙස ගැටීමටය. ටික වේලාවකට පසුව අයිරින් නැන්දාට ඇසී ඇත්තේ "එපා එපා" යැයි හයියෙන් කෑ ගසනා සිව් හැවිරිදි නංගීගේ හඬය. කරමින් සිටි කාර්ය්‍ය පසෙකට දා අයිරින් නැන්දා කාමරය වෙත දුව එන විට ඇය දැක ඇත්තේ "බෑ බෑ එපා එපා " කියමින් පසු පසට එන නංගීවය. බොහෝ බියපත් වී සිටි ඇය පවසා ඇත්තේ මේරි ආච්චි පැමිණ ඇයට තමා ලඟට එන ලෙස පවසා ඇති බවය. ඒ වෙනවිට "මේරි ආච්චි" යන නමද නංගී දැන නොසිටියාය. මේරි ආච්චි මිය යනවිට ඇය අවුරුදු දෙකක් පමණ වයස ළදැරියකි. කාමරයට පැමිණි මේරි ආච්චි නංගීට තමා "මේරි ආච්චි" බවද පවසා ඇත.අප පංති ඇරී ගෙදරට පැමිණෙන විට දුටුවේ පාර අයිනට වී මල්ලීවත් නංගීවත් අතින් ගෙන අප එන පෙර මග බලා සිටිනා අයිරින් නැන්දාය. ගෙතුලට යෑමට බිය වී සිටි ඇය සිදු වූ සියල්ල අම්මා හමුවේ පැවසුවාය. නංගීගෙන් මේ පිලිබඳ ඇසූ කල ඇය පවසා සිටියේ වැඩ අහවර නොවූ නාන කාමරයේ බිත්තියේ සිදුරක් අතරින් මේරි ආච්චි කාමරය තුලට පැමිණි බවද, දනහිස බිම ගසා දෑත දික්කරමින් තමා මේරි ආච්චි බවද ලඟට පැමිනෙන ලෙසටද නංගීට පැවසුවාය යන්නය. සම්පූර්ණ දිග වාක්‍යයක් එක දිගට පැවසීමටවත් නොහැකි වයසක උන් නංගී වචන ගැට ගසමින් සහ ගොත ගසමින් එය විස්තර කල ආකාරය තවමත් මට මෙනෙහි කල හැක.

ඉන් පසු කාලයේ නොයෙකුත් දානමය පිංකම් මගින්ද, සෙත් පිරිත් සඡ්ජායනා මගින්ද ඇයගේ ආත්මයට පිංපෙත් පැමණවීම හේතුවෙන්ද ඇයගේ ආත්මය ඉන්පසු කිසිවෙකුටත් ඇස ගැටුනේ නැත. තව කිව යුතු කරුණක් නම් ඉතාමත් කරුණාවන්ත කාන්තාවක් වූ මේරි ආච්චි කිසි විටකත් කිසි වෙකුටත් කරදරයක් කිරීමේ චේතනාවෙන් නොපැමිණිය බවයි.

Related Posts with Thumbnails