දුමී බබා කාලේ - දුමීගේ යාළුවෝ

Posted by දුමී

දුමී හෝඩියේ ඉඳන් දහතුන වසර වෙනකන්ම ඉස්කෝලේ ගියේ නුගේගොඩ තියෙන එකම එක පිරිමි ඉස්කෝලෙට. හැමෝටම වගේ දුමීටත් හරිම හරි රසවත් පාසල් කාලයක් තිබුනා. ඒ දවස්වල දුමීගේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ සහ පොඩි ඉස්කෝලේ කියලා කොටස් දෙකක් තිබුනා. පොඩි ඉස්කෝලේ කිව්වෙ හෝඩියේ ඉඳන් 4 පන්තිය දක්වා පන්ති පවත්වපු ප්‍රාථමික අංශයට. ඔය කොටස තිබුනේ නුගේගොඩ මෙට්‍රෝ ෆිල්ම් හෝල් එකට මායිම් වෙලා හරියටම ඒකට දකුණු පැත්තට වෙන්න. හයිලෙවල් පාරේ ඉඳන් හැරිලා යන්න තියෙන අතුරු පාරක තමයි පොඩි ඉස්කෝලේ තිබුනේ. හයිලෙවල් පාරෙ ඉඳන් බැළුවම වංගුවත් එක්ක කෙලින්ම පේන්නේ දුමීගේ පොඩි ඉස්කොලේ.

දුමී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවස දුමීට අද වගේ මතකයි. ඒ 1980 අවුරුද්ද. දුමීව අතින් අල්ලගත්ත දුමීගේ අම්මා අනිත් අතින් දුමීගේ පොත් බෑග් එකයි, වතුර බෝතලෙයි අරගෙන අමුතු සුවඳක් තියෙන, ලා නිල්පාටින් පාට කරපු කොට ඩෙස්ක් සහ පුටු තියෙන පංති කාමරේකට එක්කගෙන ගියා. ඒ කාමරේදි දුමීව පිලිගන්න හිටියේ දුඹුරුපාට මල් මල් තියෙන සාරියකින් සැරසිලා හිටිය දුමීගේ අම්මාට වඩා ගොඩක් වයස පාට පොඩ්ඩක් විතර මහත මුණසිංහ ටීචර්. දුමීගේ අම්මත් එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු මුණසිංහ ටීචර් දුමීගේ අත අම්මගේ අතින් අරගෙන නොම්මර 25 ගහපු පොඩි පුටුවක දුමීව ඉන්දෙව්වා. ඒත් එක්කම දුමී දැක්කේ දුමීව පන්තියේ තනි කරලා දාලා එලියට යන අම්මව. එහෙම එලියට ගිය අම්මා තව ටික වෙලාවක් පන්තියේ දැල් කවුලුවලට එහා පැත්තෙ ඉඳන් පන්තිය ඇතුල බලාගෙන හිටියා. දුමීගේ අම්මා විතරක් නෙමෙයි, දුමී වගේම මේ නුහුරු නුපුරුදු පන්තියේ තනි වෙලා ඉන්න අනිත් බබාලගේ අම්මලත් ඒ විදිහටම තමන්ගේ බබාලව දාලා යන්න බෑ වගේ ඒ පන්තියේ දැලේ එල්ලිලා හිටියා.

තුශ්නිම්භූත වෙලා වට පිට බලපු දුමී දැක්කේ දුමී වගේම භිරන්ත වෙලා අඬන්න ඔන්න මෙන්න වගේ ඉන්න තවත් බබාල ගොඩක්. සමහරක් බබාලා දැනටමත් අඬන්න පටං අරගෙන. ඒ දිහා බලාගෙන ඉන්න දුමීටත් අඬන්න ලොකු උවමනාවක් ආවත් තාමත් දැලේ එල්ලිලා අම්මා ඉන්නව දැකපු නිසා ඒ ඇඬීම තාවකාලිකව නවත්ත ගත්තා. ඔන්න ඉතින් මුණසිංහ ටීචත් ඒ අඬන බබාල ලඟට ගිහින් ආදරෙන් ඔළුව අතගාලා පුටුවේ ඉන්දවනවා.ඒත් හරියන්නෙ නෑ. ටික වෙලාවකින් ආපහු ඒ බබාලා මර හඬ දීලා අඬාගෙන දැල ගාවට දුවල යන්න හදනවා. දුමීටත් දැන්නම් ඇඬුම තවත් තද කරගෙන ඉන්න බෑ බෑ වගේ. ඒත් එක්කම තමයි මෙච්චර වෙලාවක් ටිකීන් ටික ඇහැට පිරිච්චි කඳුලු බෝලයක් කම්මුල දිගේ බේරෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම තොල් දෙකත් ටික ටික වෙව්ලලා වෙව්ලල ඉබේම කණපිටට හැරෙන්න ගත්තා. ඊට පස්සෙ අර අඬන බබාලගේ ගොඩට වැටෙන්න දුමීට වැඩි කාලයක් ගත උනේ නෑ.

ඒ විදිහට දුමීට වැඩි වෙලා අඬන්න හම්බ උනේ නෑ. එක පාරටම දුමීගේ පිට හරහා වැදුනේ හොඳට අත මිට මොලවපු පාරක්. ඇඬිල්ලත් උගුරේ හිරවෙච්ච දුමී හැරිලා බැළුවේ දුමීට පතබෑව එකා මොකාද කියලා. එහෙම බලනකොට තමයි දැක්කෙ සුදු උස බබෙක් තවපාරක් ගහන්න අත මිට මොලවගෙන දුමී දිහා රවාගෙන බලාගෙන ඉන්න හැටි. ඒ බබාගේ පුටුවේ ගහලා තියෙන නොම්මරේ 24. සුදු උනාට මහම මහ මරුමුස් පෙනුමක් තමයි ඒ බබාට තිබුනේ. දකුණු අත තාමත් මිට මොලවගත්ත ඒ බබා වම් අතේ දබර ඇඟිල්ල ඒ බබාගේම කටට තියලා සද්ද කරන්න එපාලු. මේකා තව පාරක් දෙන්න ඉඩ කඩ වැඩි නිසා ඇස් දෙක තාම අඬත්දි දුමී කට අඬන එක නැවැත්තුවා. එතකොට තමයි මුණසිංහ ටීචර් දුමීගේ මේස පේලියට එහා පැත්තේ මේස පේලියේ ඉන්න අඬන බබාලව නලවන්න ආවෙ. දුමී පැනපු ගමන් මුණසිංහ ටීචට අත දික් කරලා කිව්වා, අර බබා මට ගැහුවා කියලා.

"දමින්ද බබා.....! ඇයි මේ දුමී බබාට ගැහුවේ....?" මුණසිංහ ටීචත් අහනවා. ඒ බබාගේ නම දමින්දලු......!

"මේ බබා අඬනකොට මට මේ චිත්‍රේ පාට කරන්න බෑ......!" ඒ පාර දමින්ද බබා කියනවා.

දමින්ද බබා හරි ලස්සනට පෙට්ටියක් වගේ සී.ටී බී බස් එකක් ඇඳලා රතු පාටින් ඒක පාට කරනවා.....

දමින්ද බබා මේ දුමී බබත් එක්ක යාළුවෙන්න. ආපහු ගහගන්න බෑ හොඳේ....! මුණසිංහ ටීචත් එහෙම කියාගෙන අඬන වෙන බබාලව නලවන්න ගියා.

දමින්දයා දුමියත් එක්ක යාළු උනේ අන්න එහෙමයි.....!

දුමීට ඉස්කෝලේ එකේ පන්තියේ ඉන්න බැරි උනා මොකද දුමීට පවුලේ අයත් එක්ක දුමීගේ තාත්තා ඒ කාලේ වැඩ කරපු සවුදි අරාබියට පදිංචියට යන්න වෙච්ච නිසා. ආපහු දුමී ඉස්කෝලෙට ආවේ දෙකේ පන්තියත් පටන් අරගෙන මාස කීපයක් ගියාට පස්සෙ. එතකොට දමින්ද දුමීගේ පන්තියේ නෙමෙයි. හැබැයි දමින්දයා ගැන හැමෝම දැනගෙන හිටියා විතරක් නෙමෙයි උගෙන් ගුටි කාපු නැති එකෙක්ව හොයාගන්න පුළුවං උනේ නෑ. දමින්දයව ඉස්කෝලේ කොල්ලෝ අතරේ හොඳට ප්‍රසිද්ධ වෙලා තිබුනේ ටික දවසකට කලිනුයි. පැද පැද හිටපු ඔන්චිල්ලාව බලෙන් අරගන්න ආපු තුනේ පන්තියේ නසරාණි කොල්ලෙක්ට ඔංචිල්ලාවේ යකඩ කණුවක පැද්දිලා ෆ්ලයින් කික් එකකින් ගහලා බිම දැම්මට පස්සෙ දමින්දයාට ටිකක් ලොකු පන්තිවල කොල්ලොත් බයෙන් තමයි හිටියේ.

දුමී ආපහු ඉස්කෝලේ දෙකේ පන්තියට ආවට පස්සෙ ආරංචි උනේ දමින්ද ඉන්ටර්වල් එකේදි පන්තියෙන් එලියට බහින්නෙත් පොළු දෙකක් අතින් අරගෙන කියලයි. ඒක දුමිත් දැක්කේ දමින්දයා කොහු පොළු දෙකක් අරගෙන පිට්ටනිය මැදින් දුවනවා දැකපු නිසයි. (ටික කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ, දමින්දයා පොළු දෙකක් අරගෙන ඇවිල්ල තිබුනේ ස්පෝට් මීට් එකේ ලී කෙළි නැටුමකට ඌව තෝරගෙන තිබුනු නිසා කියලා)

දුමියට ආපහු දමින්දයව සෙට් උනේ තුනේ පන්තියට ආවහම තමයි. වැඩියමත් ඌ දුමිත් එක්ක සෙට් උනේ දුමී වතුර බෝතලේ පුරවගෙන එන "ටෑන්ග් " බීම ටික බොන්නයි. ටෑන්ග් දීලා හරි දමින්දයව යාළුවෙක් විදිහට තියාගන්න දුමීගෙත් අකමැත්තක් ඒ කාලේ තිබුනේ නෑ.

"දුමී, අළුත් ෂෝ එකක් ඇවිල්ලා... ඉන්ටවල් එකේදි වරෙන් යන්න ඒක අහන්න.....!" දමින්දයා එදා උදේම ආපු ගමන් කිව්වෙ ඒ නිව්ස් එක.

ඒ කාලේ දුමීලගේ සිරිතක් වෙලා තිබුනේ අළුතෙන් එන ෆිල්ම් අහන එක. නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකයි දෙකේ පන්ති පේලියයි අතරේ තිබුනා අඩි තුනක හතරක විතර පොඩි කොරිඩෝර් කෑල්ලක්. ඒකෙ ගොඩක් වෙලාවට පුරවලා තිබුනේ කැඩිච්ච ඩෙස්ක් බංකු වගේ දේවල්. ඔතනට ගිහින් මෙට්‍රෝ එකේ යන ෆිල්ම් එක අහගෙන ඉන්න එක ඒ කාලේ කරපු ජොලිම දේ. ඒක කරන්න ඕන හොරෙන් තමයි. අහු උනොත් එහෙම ලොකු ටීචගෙන් වේවැල් පාරක් කාලා ලොකු ටීචර්ගේ කාමරේ පැයක් විතර දණ ගහගෙන ඉන්න වෙනවා. ඒ විදිහට ඒ කාලේ මෙට්‍රෝ එකට ආපු හැම ෆිල්ම් එකක් වගේම අහන්න දුමිත් ගියා දමින්දයත් එක්ක.

ඔය කාලෙම තමයි වසන්ත හෙවත් ජංගියාත් මාතර පැත්තෙ ඉස්කෝලෙක ඉඳන් දුමීලගේ පන්තියට කඩාගෙන පාත් උනේ. තුනේ පන්තියක ටීච කෙනෙක් වෙච්ච ජංගියාගේ අම්මාට දුමීලගේ ඉස්කෝලෙට මාරු වීමක් ලැබිලා තිබුනු නිසා තමයි ජංගියත් දුමීලගේ ඉස්කෝලෙට ආවේ.

ජංගියා පන්තියට ආපු අළුත ඌ ඇදලා පැදලා කියන මෙලෝ වචනයක් දුමීලට තේරුනේ නෑ. "ඔහේ", "ඔහේලා", "ගියැයි", "එයැයි", "කෑවැයි ?" "බීවැයි ?", "හක්කොලං කරනවා", "මක්කෙයි" වගේ අමුතු වචන දුමීලා ඒ වෙනකොට අහලා තිනුනේ නෑ. ඒ නිසා තමයි දවසක් දමින්දයා ඌව ඇදලා අරගෙන දෙකක් ඇනලා කිව්වේ "අඩෝ සිංහලෙන් කතා කරපන්......." කියලා. එහෙම කියලා එදා ඉඳන් ඌට සිංහල උගන්වන වැඩෙත් බාරගත්තෙ දමින්දයම තමයි. ගොඩක් වෙලාවට ෆිල්ම් අහන ගමන් ඌට සිංහල ඉගැන්නුවා විතරක් නෙමෙයි උගෙන් සුද්ද සිංහලත් දුමීල හොඳට ඉගෙන ගත්තා.

හැමදාම ඉන්ටර්වල් එකෙන් පස්සෙ තියෙන පීරියඩ් දෙකම ඉංග්‍රීසි. ජානකී මිස් තමයි දුමීලට ඉංග්‍රීසි ඉගැන්නුවේ. හැමදාම ඉන්ටර්වල් එකේදි ෆිල්ම් අහන්න යන නිසත්, ඉන්ටර්වල් එකේදි ටොයිලට් එකට ලොකු පෝලිමක් තියෙන නිසත් දුමිලා ගොඩක් වෙලාවට චූ කරන්න යන්නෙ ඉන්ටර්වල් එක ඉවර වෙලා ඉංග්‍රීසි පාඩම පටන් අරගෙන ටික වෙලාවකට පස්සෙ. හැබැයි එහෙම ටොයිලට් එකට යන්න ඕනෙ නම් ජානකී මිස්ගෙන් ඒක ඉංග්‍රීසියෙන් අහන්න ඕනෙ. නැත්නම් යන්න දෙන්නෙ නෑ. එහෙම අහන්න ඕන වචන ටික ජානකී මිස් මුළු පන්තියටම කියලා දීලයි තිනුනේ. "මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්....?" කියලා ඇහුවෙ නැත්නම් මිස්ගෙන් බැනුම් කෝටියක් විතරක් නෙමෙයි ටොයිලට් එකට යන්න දෙන්නෙත් නෑ.

අළුතෙන් පන්තියට ආපු වසන්තයට ඔය වචන සෙට් ටික කියන එක ලෝකේ තියෙන අමාරුම වැඩේ උනා. ඉතින් ඌ තීරණය කරලා තිබුනේ ජානකී ටීචගෙන් ඕක අහනවට වඩා චූ බර තද කරගෙන ඉන්න එක සැපයි කියලයි. එහෙම දවසක තමයි ඉංග්‍රීසි දෙවන පීරියඩ් එකේ අන්තිම හරියෙදි වසන්තයට ජංගියේ චූ ගියේ. එදා ඉඳන් ටික කාලයක් යනකන් "චූ ජංගියා" වෙච්ච වසන්ත පස්සෙ කාලෙක “ජංගියා” කියලා බෞතිස්ම ලැබුවා.

මොනතරම් චන්ඩියෙක් උනත් දමින්දයාට ක්‍රිකට් නම් මෙලෝ ඇල්ෆබට් එකක්වත් බෑ. අනිත් උන් ක්‍රිකට් ගහත්දිත් මූ පැත්තකට වෙලා හිටියේ ඌ හරියකට බැට් කරන්නත් බෝල් කරන්නත් දන්නෙ නැති නිසා. ඔහොම ඉන්නකොට තමයි වෙන පන්තියකට චැලෙන්ජ් කරලා සෙට් වෙලා ගහපු මැච් එකක අම්පයර් වැඩේ කරන්න කියලා දමින්දයව තෝර ගත්තෙ.

කොහොමෙන් කොහම හරි ඒ මැච් එක දුමීලගේ පන්තියේ එවුන් දින්නෙ අනිත් පන්තියේ මුළු ටීම් එකටම දමින්දයා විසින් බෝලෙ කකුලේ වැදිච්ච ගමන් අවුට් එක දීපු එකටත් වඩා, සීමා ඉර පන්නලා බෝලයක් දාපු අනිත් පන්තියේ හිටපු හොඳම බෝලර්ව "නෝ බෝල්" කරනවා වෙනුව "අවුට්" කරලා ඌට ආපහු බෝල් කරන්න ඉඩ දීපු නැති නිසා. අන්න එහෙමයි දමින්දයා ලෝක ඉතිහාසේ ප්‍රථම වරට "නෝ බෝලයක්" දාපු බෝලර් කෙනෙක්ව අවුට් කලේ. ඒකට විරුද්ධ වෙච්ච අල්ලපු පන්තියේ දෙතුන් දෙනෙකුගේ හොක්ක සමතලා කරපු දමින්ද දුමීලගේ පන්තිය මැච් එකෙන් දිනපු බවට අල්ලපු පන්තියේ හූ හඬ අස්සේ ප්‍රකාශයට පත් කරලා දැම්මා.

Related Posts with Thumbnails