ආවාට තිබුනත් පින්න මලේ

Posted by දුමී

අපේ තාත්තගෙන් මට ලැබිච්ච ලොකුම දායාදය තමයි මේ සංගීත භාණ්ඩයක් දෙකක් වාදයන කිරීමේ හැකියාව. අපේ තාත්තට ඔය මියුසික් උණ හැදිලා තිබුනේ තාත්තලා කොල්ලෝ කාලේ ලෝකෙම කළඹපු බීට්ල්ස් සංගීත කණ්ඩායම නිසා. තාත්තා ගිටාර් එකක් වාදනය කරන්න ඉගෙනගෙන තිබුනේ එයා විසින්ම හදාගත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින්. පස්සෙ කාලෙදි නැව් හමුදාවෙ ඉන්ජිජේරුවෙක් විදිහට වැඩ කරන කාලෙදි නැව් හමුදාවෙ සංගීත කණ්ඩායමේ ඒ කාලේ හිටිය ස්ටැන්ලි පීරිස් මහත්තගෙන් තරමක ගුරුහුරු කම් ගත්තා කියලා තමයි තාත්තා කියන්නේ. ඒ වගේම ගිටාර් එක අල්ලන විදිහේ ඉඳන් කෝඩ් එකක් දෙකක් ප්ලේ කරන හැටි මුලින්ම මට අකුරු කලෙත් අපේ තාත්තා තමයි.

නිවාඩු පාඩුවේ විශ්‍රාම සුවෙන් දැන් ගෙදරට වෙලා ඉන්න තාත්තට දැනට උනත් ගිටාර් එක අරගෙන සින්දු කියන්න තියෙනවනම් කෑම බීම නැතත් කමක් නෑ. ඇත්තටම කියනවනම් කෑම නොතිබුනත් කමක් නෑ. හැබැයි ඉතින් තාත්තත් එක්ක සින්දු කියනකොට පැයකට එක සින්දුවක් වගේ වේගයකින් තමයි වැඩේ යන්නේ. මොකද පොඩ්ඩක් වරදින්න බෑ ඒ සින්දුව ආපහු මුල ඉඳලම කියන්න ඕනේ. ඉතින් එළිවෙනකන් සින්දු කිව්වත් සින්දු දහයක් වත් කියාගන්න වෙන්නේ නෑ.

ඉතින් අපේ තාත්තගෙන් දායාද වෙච්ච ඔය සංගීත හැකියාවට පින්සිද්ද වෙන්න තමයි මම ඉස්සෙල්ලාම කියක් හරි හොයාගත්තෙත්. මම මීට කලින් කියලත් තියෙනවා මම හිතන්නේ. ඉස්සෙල්ලාම මටයි කියලා කීයක් හරි හොයාගත්තේ අපේ ගම හාමිනේලගේ ඉස්කෝලේ භක්ති ගීත වලට ගිටාර් ගහන්න ගිහිල්ලා තමයි. ඒ පොසොන් භක්ති ගීතෙට ගිටාර් ප්ලේ කරලා රුපියල් 50ක් හම්බ උනා. මේ කියන්නේ 1990 - 1991 වගේ කාලේ. එහෙම දිගටම ගම හාමිනේලගේ ඉස්කෝලෙන් මට ආරධානා ලැබුනා ඒ ගොල්ලනේ හැම සංගීත කටයුත්තකටම් සහභාගී වෙන්න. පතාගෙන ආවොත් ඔතාගෙන යන්න වෙනවා කියන්නැහේ අපේ ගම හාමිනේවත් ඔතාගන්න ලැබුනේ ඒ ගිය ගමන් නිසා තමයි.

ඔහොම පටන් ගත්ත අර්ධ වෘතීය ජීවිතය ලංකාවෙන් එන තුරුත් කරගෙන ගියා. සංගීත කණ්ඩායම් වලට සම්භන්ධ වෙලා ප්ලේ කරන අතරතුර, ප්‍රසිද්ධ සංගීතඥ්ඥයන්ගේ සංගීත අධ්‍යක්ශණය කරපු වේදිකා නාට්‍යය ඒ වගේම රෙකෝඩින් වලටත් සම්බන්ධ උනා. ඔන්න ඉතින් ඩුබායි ආවට පස්සෙදිත් ලංකාවෙන් ඇවිත් මෙහේ ප්‍රසංග පවත්වන ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ ප්‍රසංගයන් වලටත් දායකත්වය දෙන්න වාසනාව ලැබිලා තියෙනවා.

ඉතින් ඔය විදිහට ලංකාවේ සුපතල ඉහලම ගණයේ ප්‍රසිද්ධ කලා කාරයෝ, කලා කාරියෝ එක්ක එකට වැඩ කරන්න ලැබෙනවයි කියන්නේ හරිම ජොලි වැඩක් මොකද ඒ ගොල්ලන්ගේ ජීවිත වලට පොඩ්ඩක් එබිලා බලන්නත් චාන්ස් එකක් හම්බවෙනවයි කියන එකනේ. ඒ අතරතුර ඒ ගොල්ලන්ගේ ජීව්ත වල සිද්ද වෙච්ච හරිම රසවත් සිද්ධි මහ ගොඩක් මම සටහන් කරගෙන ඉන්නවා ඔන්න ඔහේ කියලා කට කහන කතා බ්ලොග් එකේ ලියලා දාන්නය කියලත්. ඉතින් අපි බලමු පුළු පුළුවන් විදිහකට වෙලාවක් කලාවක් ආවහම ඕවා ටික ටික ලියලා දාන්න.

ඔය විදිහට දැනට අවුරුද්දකට දෙකකට කලින් අපේ ප්‍රිය සාදයකට ගීත ගයන්න කියලා ආවා ක්‍රිස්ටෝ අංකල්. ඒ කියන්නේ ක්‍රිස්ටෝපර් පෝල් කියන හරිම අපූරු සුන්දර ගායකයා. දැනට ජීවිතයේ සැඳෑ කාලෙට කිට්ටු කරලා හිටියත් ක්‍රිස්ටෝ අංකල් තාමත් හිත ඇතුලෙන් නම් හරිම කෙලිලොල් ඉලන්දාරියෙක්. එයාගේ දශක කීපයක රසවත් අත් දැකීම්, ආගිය කතා ලියන්න ගියොත් බ්ලොග් පෝස්ට් 100කින් මෙහා නවතින්නේ නෑ. ජෝතිපාල ගැන හරූන් ලන්ත්‍රා ගැන එහෙම කියපු සමහර කතා නම් ලියන්න වෙන්නේ 18+ ගහපු බ්ලොග් එකක් හදලා තමයි. හැබැයි ඉතින් ඒ කතා පුදුම රසවත්. අද කියන්න යන කතා දෙක තුනෙන් පළවෙනි එක ක්‍රිස්ටෝ අංකල් කියපු කතාවක්. ක්‍රිස්ටෝ අංකල්ගේ අනිත් කතා ටික වෙනම බ්ලොග් පෝස්ට් එකකින් ලියනකන් මේ පොඩි කතාව කියලා ඉන්නම්.

මේ කියන කාලේ වෙනකොට ක්‍රිස්ටෝ අංකල්ලා තමයි සංගීත ලෝකේ පෙරළි කාරයෝ. ක්‍රිස්ටෝ අංකල්ලාගේ සමකාලීනයෙක් තමයි අර "මම බොහොම බය උනා" කියනා ගීතය ගායනා කරපු මැක්ස්වෙල් මෙන්ඩිස්. මේ කාලේ තමයි මැක්වෙල්ල් මෙන්ඩිස් ඔය 'බොහොම බය උනා' සින්දුව කියලා ජනප්‍රිය වෙච්ච කාලේ. හැම සංගීත ප්‍රසංගයකටම නැතිවම බැරි ගායකයෙක් තමයි මැක්ස්වෙල් ඒ දවස්වල. අද කාලේ වගේ වේදිකාව උඩ නටන්න බුරි නැටුම් කණ්ඩායම් එහෙම හිටියේ නැති නිසා සින්දුව කියන ගායකයම පොඩි ප්‍රසංගීය කෑල්ලකුත් සින්දුවට එකතු කරගන්නවා සින්දුව තවත් රසවත් වෙන්නය කියලා. ඔය විදිහට මැක්ස්වෙල් මෙන්ඩිස් උන්නැහේ කරලා තිය්න්නේ පොඩි කොහු මිටි කැල්ලක ගහපු ඇත්තම ඇත්ත මිනී ඔළුවක් එක පාරටම බෑග් එකෙන් අරගෙන 'මම බොහොම බය උනා' සින්දුව කියන අතරතුර මිනිස්සු දිහාවට දික් කරන එක. ප්‍රසංගය බලන මිනිස්සුත් මේක දකිනකොට එක පාරටම පුංචි පගේ තිගැස්මක් වෙන නිසා අර සින්දුවට අමුතු ගැම්මකුත් එනව කියලා තමයි ක්‍රිස්ටෝ අංකලුත් කියන්නේ.

ඔන්න එක දවසක් මැක්ස්වෙල් මෙන්ඩිස් සංගීත ප්‍රසංගයකට සහභාගි වෙන්න ගිහිල්ල තියෙන්නේ අපේ ක්‍රිස්ටෝ අංකල් සහ තවත් සෙට් එකක් එක්ක වාහනයක් එහෙම කුළියට අරගෙන. එදා ක්‍රිස්ටෝ අංකල්ලා මැක්ස්වෙල් මෙන්ඩිස්ව බලෙන්ම වගේ කලින්ම ස්ටේජ් එකට නග්ගලා තියෙන්නේ ලොකු ලණුවක් දෙන්න හිතාගෙන. ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි "මම බොහොම බය උනා" සින්දුව පටන් අරගෙන දැන් නැගලම යනවා.ඔන්න දැන් තමයි වෙලාව, එක පාරටම මැක්ස්වෙල් මෙන්ඩිස් ස්ටේජ් එක උඩ තියලා තිබ්බ එයාගේ බෑග් එකෙන් කොහුමිටේ ගහලා තිබ්බ මිනී ඔළුව අරගෙන මිනිස්සු ඉස්සරහට වැඩ දාලා දික් කරාලු. ඔන්න බොලේ එක පාරටම පලාතම දෙවනත් කරගෙන හෙන හූ සද්දයක් එනවලු. බැලින්නම් මැක්සල් මෙන්ඩිස් පණ දාගෙන උඩපැනලා මිනිස්සු ඉස්සරහට දික් කරලා තියෙන්නේ තඩි පොල් කෝම්බයක්. ස්ටේජ් එකේ පැත්තක ඉඳන් බඩ අල්ලගෙන හිනා වෙන ක්‍රිස්ටෝ අංකල්ව දැකපු ගමන් මැක්සල් වෙන්ඩිස්ට ඔන්න ඌරු ජුවල් නැගලා. ඉතින් ඌරු ජුවල් නැග්ගා කියලා කිය කිය හිටිය සින්දුව මග නවත්තන්නද ? බුවත් ඉතින් සින්දුවේ අතරමැද මියුසික් එන වෙලාව එනකං ඉඳලා අර පොල් කෝම්බෙත් අරගෙන දත් මිටි කාගෙන දමල ගැහැව්වලු ක්‍රිස්ටෝ අංකල්ට. අනේ ඒ ගහපු ගැහිල්ල කොච්චර සැරද කියනවන්ම්, මැක්ස්වෙල් මෙන්ඩිස් දාගෙන හිටපු බොරු දත් සෙට් එකත් ගැලවිලා ගිහිල්ලා ස්ටේජ් එකට වැටිලා.

හුටා, දැන් දත් සෙට් එක නැතිව ලොම්බෙන් සින්දු කියන්නේ කොහොමද ? මැක්ස්වෙල් මෙන්ඩිස් ලොඹු කටෙන් කුණුහරුප කිය කිය (ලොඹු කටෙන් සිංදු කියන්න බැරි උනත් කුණුහරුප කියන්න පුළුවන්) ස්ටේජ් එකේ බිම දණ ගාගෙන දැන් ඉතින් දත් සෙට් එක හොයනවා. කළුවර හින්දයි, ස්ටේජ් එකේ ලයිට් ඩිම් කරලා තිබිච්ච හින්දයි දත් සෙට් එක හොයා ගන්න විදිහක් නැහැ. අනේ සංගීත කණ්ඩායමත් අර අතර මැද සංගීතය රිපීට් කර කර ඉන්නවලු මැක්ස්වෙල් මෙන්ඩිස් දත් ටික දාගෙන සින්දුව පටන් ගන්න කං. ඔන්න එතකොටම චරස් ගාලා සද්දයක් ඇහිලා තියෙන්නේ. බැලින්නම්, බෑන්ඩ් එකේ ගිටාර් ගහහපු එකෙක්ට පෑගිලා දත් සෙට් එකේ දත් දෙළුම් ඇට ටිකක් වගේ ස්ටේජ් එකේ සී සී කඩ විසිරිලා ගිහිල්ලා.. දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියලා මැක්ස්වෙල් මෙන්ඩිසුත් හූ හඬ අස්සෙ ෂේප් එකේ ස්ටේජ් එකෙන් බැහැලා ගිහිල්ලා. ඒ එනකොට ක්‍රිස්ටෝ අංකල් හිමිහිට වෙන වාහනයක නැගලා ගෙදර ගිහිල්ලා මොකට ගුටි කනවද කියලා හිතලා. කොහොමින් කොහොම හරි ලණු දීම කෙසේ වෙතත් මැක්ස්වෙල් මෙන්ඩිස් ආපහු දත් සෙට් එකක් දාගෙන සින්දු කියනකම් උන්නැහේට කන්න බොන්න දීලා තියෙන්නේ ක්‍රිස්ටෝ අංකල්.

අපේ මංගල ගැහිල්ල ගැන මම ලියලා තියෙනවනේ. කියවලා නැත්නම් ඔය ලින්කුවෙන් ගිහින් කියෝන එකයි ඇත්තේ. ඔය මංගල ගැහිල්ලත් අංජබජල් උනා කියමුකෝ. ඒ මංගල ගැහිල්ලට පස්සෙ ආපු බක් මහේවත් මොකක් හරි එකකට ගහන්න සෙට් උනොත් ලොකු දෙයක් කියලා හිත හිත තමයි අපි සෙට් එක හිටියේ. ඔය දවස්වලම තමයි අපේ යාළුවෝ කට්ටියක් සම්බන්ධ මිතුරු සමාජයකින් සංවිධානය කරන අවුරුදු උත්සවයක් ගැන අපේ කණ වැකෙන්නේ. ඉතින් අපිත් ඉහින් කනින් හොයලා බැළුවා අවුරුදු උත්සවයෙන් පස්සෙ ගොඩක් වෙලාවට පවත්වන සංගීත සංදර්ශනයට බෑන්ඩ් එකකට එහෙම චාන්ස් එකක් තියෙනවද කියලා. ඉබ්බා දියේ දාන්නද කියලා ඉබ්බගෙන් ඇහුවාම, අනේ මචන් මේ නෑව විතරයි කියලා ඉබ්බා කිව්වලු. ඒ කියන්නැහේ අර අවුරුදු උත්සවයේ සංවිධායක මණ්ඩලෙත් අපේ මේ ගහන්න තියෙන ඇම්ම දැකලා එකඟ උනා අපේ බෑන්ඩ් එකට අවුරුදු උත්සවේට ගහන්න චෑන්ස් එක දෙන්න. හැබැයි කොන්දේසියක් උඩ. අපිට සත පහක්වත් දෙන්නේ නෑ. දෙන්නේ චාන්ස් එක විතරයි. ඒ මදිවට අපි අවශ්‍යය සවුන්ඩ් සෙටප් එකත් අපේ සල්ලි වලින්ම අරගෙන එන්න ඕනේ. මේ කියන 91-92 වගේ කාලේදි යන්තම් සවුන්ඩ් ටිකක් අටවගන්නත් රුපියල් 3000ක් විතර යනවා. දැන් කාලෙත් එක්ක බැළුවොත් ඒ ගාණ රුපියල් 30,000 ටත් වැඩියි මගේ හිතේ. කොහොමින් කොහොම හරි නැන්දලා මාමලට වැඳලා කරලා ණයට සල්ලි ටික ටික හොයාගත්තා.

ඔන්න අවුරුදු උත්සවය දවසේ සංගීතේ පටන් ගත්තා. අපිට ගහන්න හම්බ උනේ සින්දු දෙකයි. 'ටිකිරි ටිකිරි ටිකිරි ලියා' සහ 'දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ' විතරයි. මෙන්න බොලේ සීයක හමාරක පෝලිමක් තියෙනවා ස්ටේජ් එකට නගින තැන ඉඳන් පේන නොපෙනෙන දුරකට. යකෝ බැලින්නම් සංවිධායකයෝ ආධුනික ගී තරඟයක් සෙට් කරලා. නිකං නෙමෙයි, එකෙක්ගෙන් රුපියල් 10ක් චාර්ජ් කරලා. තරඟයක්ම නෙමෙයි, සින්දුවක් කියන්න රුපියල් 10යි. අනේ අම්මේ පොලිමේ ඉන්නවා අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා ඒ මදිවට ලඟ තියෙන කරාමෙට වතුර ගන්න ආපු අම්මණ්ඩිලා හතරපස් දෙනෙකුත් කලෙත් උකුලේ තියාගෙන. තව අවුරුදු නිසා දවසම කසිප්පු බීපු සිප්පුවෝ මෙකී නොකී හැම ජාතියේම එකාලා ඉන්නවා පෝලිමේ..

හත් ඉලව්වේ අතින් වියදම් කරගෙන සවුන්ඩ් අරගෙන කට්ට කාලා ප්‍රැක්ටිස් කරලා මෙතනට ආවෙ ආධුනිකයන්ගේ සුන්දර සිහින සැබෑකරන්නද කියලා මේකට ඔබ්ජෙක්ෂන් එකක් දැම්මා විතරයි පෝලිමේ හිටපු හයේ හතරේ එකෙක් ඇදලා ගත්තේ නැද්ද රැවුල කපන බික් රේසර් එකක්. එහෙම අරගෙන

"අඩෝ අපිත් සල්ලි ගෙවලා තමයි ඩෝ සින්දු කියන්න ආවෙ, චාන්ස් එක දුන්නේ නැතිනම් කපනවා තොපි ඔක්කොගෙම රැවුල.....!"

ඒ වෙනකොට අපි එකෙක්ගෙවත් හරි හමන් රැවුලක් වැවිලා තිබුනේ නෑ. එහෙම එකේ මේකා කොහේ තියෙන රැවුලක්ද කපන්න යන්නේ.....ඒක නිසා අකමැත්තෙන් උනත් එකඟ උනා මුන්ට සංගීතේ දෙන්න. සංගීතේ දෙන්න කිව්වත් අපිත් ගහන්න දැනගෙන හිටියේ සින්දු අතේ ඇඟිලි ගාණටයි, කකුලේ ඇඟිලි ගාණටයි විතරයි.

ඔන්න දැන් ආධුනික ගී ප්‍රසංගේ පටන් ගත්තා,

"නෝනාවරනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි......" එහෙම කියලා අක්කා කෙනෙක් පාරු කවියක් කියලා බැහැලා ගියා.....!

ඔන්න ඊට පස්සෙ අවුරුදු 7ක විතර පොඩි එකෙක් ස්ටේජ් එකට නැග්ගා. අපි ඇහුවා "මල්ලි, මොකක්ද කියන සින්දුව ?" , "බා බා බ්ලැක් ෂීප්ද ?"

නෑ අයියේ "පෙම් ලෝකේ මං සක්කර දෙයියෝ......" ඌ එහෙම කියලා ස්ටේජ් එකෙන් පල්ලෙහා හිටපු ඌ වගේ හතර පස් ගුණයක් සයිස් ඇන්ටි කෙනෙක්ට මුකුළු කර කර ඒ සින්දුව කිව්වා.....

අපේ රැවුල කපන්න සෙට් වෙච්ච අයියා ආවා. ඇවිත් මයික් එක බදාගෙන පටන් ගත්තේ "සිරියාමේ සාරා" සින්දුව. හැබැයි ඉවර කලේ "තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ" සින්දුව. අතර මැද උගේ ට්‍රැක් එක පැනලා.

තව එකෙක් ඇවිත් “සොර දෙටුවෙක්, කස තැළුම් කකා” සින්දුව කියලා බැහැලා යනකොට මයික් එක මිසින්. සවුන්ඩ් කරපු එකා උගේ පස්සෙන් එලවලා මයික් එක උදුර ගත්තේ නැතිනම් ඒකටත් රුපියල් දාහක් දෙදාහක් ගෙවන්න වෙනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද කියනවනම් අවුරුදු උත්සවයේ ඉතුරු වෙච්ච කැවුම් කොකිස් හිටන් පාවෙලා ඇවිල්ලා ස්ටේජ් එකට වැටෙනවා. ඔන්න ඔහොම එක එක්කෙනා නාලා ඉවර වෙනකොට රෑ දෙකට විතර ඇති..තුන්සීයකට එහා පැත්තේ ආධුනික ගායකයෝ ගායකයෝ සෙට් එකක් දිය රෙදි ඇතිව හෝ නැතිව නාලා ඉවරයි. ඒ අස්සෙ හූ හඬවල් වලින්, පොඩි සයිස් ගල් කැට වලින් වගේම හිස් බෝතල් වලිනුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා, එහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිච්ච සමහර අය ස්ටේජ් එක පල්ලෙහා කෙස් වලු පටලෝගෙන ප්‍රථිචාර දීපු රසිකයන්ට සමරු සටහන් දෙනවා.

අපි ඉතින් රුපියල් 3000ක් අතින්වියදම් කරලා, සංවිධායකයන්ට හොඳ ගාණක් හොයාගන්න උදව් කරලා අපේ ගහන්න තියෙන ඇම්ම හොඳ කරගත්තා. ඊලඟ අවුරුදු උත්සවේටත් අපිවම ගන්නවාය කියලා තමයි සල්ලි ගණන් කරන ගමන් සංවිධායක මණ්ඩලේ අය නම් කිව්වේ.

මිනිස්සු මයික් වලට තියෙන්නේ පුදුම ආසාවක්. සමහරු ඉන්නවා මයික් එකක් පේන්න බෑ. පැනලා එනවා සින්දු කියන්න, එහෙම නැතිනම් කතාවක් හරි පවත්වන්න. ඔය අතරින් සින්දු කියන්න විශේෂ උණ තියෙන උන් තරාතිරමක් නැතිව ඉන්නවා. පස්සෙ කාලෙකදි අපි ප්ලේ කරපු වෙඩිමකදි මනමාලයා කොච්චර සින්දු කියන්න ආසද කියනවන්ම් පෝරුවෙන් බැස්ස ගමන් ඌ නැවතුනේ ස්ටේජ් එකේ. එහෙම ආපු එකා තමයි වෙඩින් එකේ සින්දු වැඩි පුරම කිව්වේ. ෆොටෝ එකක් ගන්නත් ඌව ස්ටේජ් එකෙන් අරගෙන ගියේ හරිම අමාරුවෙන්. ඌට හනිමූන් යන්නවත් උනන්දුවක් තිබුනේ නෑ සින්දු කියන චාන්ස් එක නැතිවෙයි කියලා.

ඔය විදිහට සින්දු කියන්න තියෙන ආසාව නිසා වෙච්ච නස්පැත්තියක් මාත් එක්ක කිව්වේ ලංකාවෙ ඉන්න දක්ෂ තබ්ලා වාදකයෙක් වන මගේ මස්සිනා.

ඔන්න ඔය අවුරුද්ද කාලෙක එක ගම් පලාතක ලොකු අවුරුදු උත්සවයක් ඒ පළාතේ තරුණ සංවිධානයකින් සංවිධානය කරලා තිබ්බා. හැමතැනම වගේ ඔය වගේ දේවල් වලට ඔළුව දාලා ලකුණක් දෙකක් දාගන්න බලාගෙන ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුත් මේකට ඔළුව දාගෙන හිටියා. ඔය අවුරුදු උත්සවයේ අවසානෙට ලොකු සංගීතයකුත් දාන්න තමයි කට්ටියගේ සැලැස්ම වෙලා තිබුනේ. ගම් පලාතෙන්ම මියුසික් ගෲප් එකකුත් ලෑස්ති කරගෙන තිබුනු නිසා ගෲප් එකත් මාසෙකට විතර කලින් පුරුදු පුහුණුවීම් කරගෙන ගියා.

සිංදු කියන්න පුදුම කෑදරකමක් තිබිච්ච මන්ත්‍රී තුමත් ගමේ මිනිස්සු ඉස්සරහා සිංදුවක් කියලා ලකුණු ටිකක් දාගන්න දත කට මැද ගෙන තමයි හිටියේ. අවුරුදු උත්සවේට ලංවෙලා මන්ත්‍රී තුමා එයා කියන්න ලෑස්ති වෙලා හිටපු සින්දුව සංගීත කණ්ඩායමට කියලා යැව්වා ඒක හොඳට පුහුණු වෙන්නය කියලා.

මන්ත්‍රී තුමා කියන්න යන්නේ අර නිමල් ගුණසේකර ගායකයා විසින් ගායනා කරන "ආවාට තිබුනත් නිසසල සඳ මත" කියන හරි අපූරු සින්දුව.

ඔන්න පලාතේ මන්ත්‍රී තුමා කියන්න යන මේ සින්දුවත් සංගීත කණ්ඩායම හරිම උනන්දුවෙන් පුහුණුවීම් කරන්න පටන් ගත්තා. ඔය සින්දුවේ ආරම්භක සංගීත ඛණ්ඩේ පටන් ගන්නේ ට්‍රම්පට් පාට් එකකින්. ඊට පස්සෙ ගිටාර් පාට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට.


ප්ලේයර් එක වැඩ නැත්නම් භාගත කර අහන්න.පොඩි ක්ලිප් එකක්.

ඒත් කරුමෙට කොච්චර කලත් ලීඩ් ගිටාර් එක ගහන එකාට වදින්නේ අර එඩ්වර්ඩ් ජයකොඩි ගායනා කරන 'පින්න මලේ සුද' සින්දුවේ ගිටාර් පාර්ට් එක. මෙන්න මෙහෙම.


ප්ලේයර් එක වැඩ නැත්නම් භාගත කර අහන්න.පොඩි ක්ලිප් එකක්.

ඔන්න සින්දුව නවත්තල ආපහු මුල ඉඳන්ම ප්ලේ කරනවා. ඒත් කොච්චර කලත් ලීඩ් ගිටාරිස්ට හරි ලීඩ් පාර්ට් එක ප්ලේ වෙන්නෙම නෑ. වදින්නෙම 'පින්න මලේ' සින්දුවේ පාට් එක.

මන්ත්‍රී තුමත් සින්දුව රිහර්ස් කරන්න ඇවිල්ලා. කොච්චර ගැහුවත් අරූට වදින්නෙම පින්න මලේ ලීඩ් පාර්ට් එකමයි.

"අනේ මල්ලියේ තව පොඩ්ඩක් ඕක හොඳට ප්‍රැක්ටිස් කරපන් මල්ලි මාව අනාත කරන්නෙ නැතිව. කොහොමද කියපන් මම "ආවාට තිබුනත්" සින්දුව කියන්නේ උඹ "පින්න මලේ" පාට් එක ගහලා දුන්නම ?" කියලා මන්ත්‍රී තුමත් දැන් නොවඳින වැඳුම් වඳිනවා.

"හරි හරි මන්ත්‍රී තුමා, මම තව පොඩ්ඩක් බලාගන්නම්" කියලා ලීඩ් ගහන එකත් කියනවා.

ඔන්න ඔහොම ඉතින් සංගීතෙට කලින් දවසෙත් අන්තිම රිහර්සල් එක තිබ්බා.

කරුමේ කියන්නේ එදත් මූට වැදුනේ "පින්න මලේ සුද" පාට් එකමයි.

දැන් නම් මන්ත්‍රී තුමාට ඌරු ජුවල් නැගලා. මූ ඒ පාර ලීඩ් ගහන එකාගේ කොලර් එකෙන් අල්ලගෙන,

"තෝ දැන ගනින්, ලීඩ් පාට් එක වැරැද්දුවොත් මම තෝව ස්ටේජ් එක උඩදිම බාවනවා දැනගනින්...." කියලා ෆුල් තර්ජනය පාරක් දැම්මා…..

මොනා උනත් මෙලෝ මොළයක් නැති මේ මන්ත්‍රී කාරයා කිව්වත් වගේ මොනවා කරන්න බැරිද කියලා අනේ අර ලීඩ් ගිටාර් කාරයා මුළු රෑ එළිවෙනකන් දැන් සින්දුව ප්‍රැක්ටිස් කරනවා...

ඔන්න ෂෝ එක තියෙන දවසත් ආවා. කලින් සද්දේ දැම්මට චන්දෙත් කිට්ටු වෙලා තියෙද්දි ස්ටේජ් එක උඩ අංචි අදින්න ගියොත් ලකුණු කැපෙන්නේ තමන්ගෙමයි කියලා මන්ත්‍රී තුමා දන්නවා. පොර කල්පනා කලේ, අරූ වැරදි ගිටාර් පාර්ට් එක ගැහුවත් මම කොහොමත් "ආවාට තිබුනත්" සින්දුව කියනවාමයි කියලයි.

ඔන්න මන්ත්‍රී තුමා සින්දුව කියන වෙලාව ආවා. "අරූ අදත් ලීඩ් පාර්ට් එක ෂුවර් එකටම වරද්දනවා, ඒත් මම 'ආවාට තිබුනත්' සින්දුව කොහොම හරි කියනවා" කියලා හිතට ධෛර්‍යය ටිකක් එහෙම අරගෙන මන්ත්‍රී තුමා ස්ටේජ් එකට නැග්ගා. එහෙම නැගලා රෑ නිදිමරලා ඇස් රතු කරගෙන හිටපු ලීඩ් ගිටාර් කාරයා දිහා රවලත් බැළුවා......

ඔන්න සින්දුව පටන් ගත්තා. ඉස්සෙල්ලම ට්‍රම්පට් පාට් එක....ඔන්න ලීඩ් ගහන එකත් වෙව්ල වෙවුල ප්ලේ කලා. හුටා..... ඔන්න බොලේ ‘ආවාට තිබුනත්’ පාට් එක කිරි ගහට ඇන්න වගේ ටක්කෙටම වැදුනා.... මන්ත්‍රී තුමාට හරි සතුටුයි. බුවා ලීඩ් ගහන එකා දිහා හැරිලා තම්බ්ස් අප් පෙන්නන ගමන් සින්දුව පටන් ගත්තා.....මෙන්න මෙහෙම

“පින්න මලේ සුද ඇන්න ගිහින් නුඹ.......”

70 comments :

  1. ක්‍රිස්ටෝපර් පෝල් මගෙත් ප්‍රියතම. පොඩ්ඩක් ඒ ළඟින් යන්න ගායනා කරනවා වගේ කරන්නත් පුළුවන්. නොරට ඉන්න කාළේ මාත් හොඳ ගායකයෙක් තමයි. ක්‍රිස්ටෝපර් පෝල්, හෙන්‍රි කල්දේරා, ඇන්ටන් ජෝන්ස්, ඩෙස්මන්ඩ් සිල්වා එහෙම නැති කරලා තමයි නවත්තන්නේ. හොඳ වෙලාවට ඒ පැතිවල ගඩොල් බාග තිබුනේ නෑ..

    බෙග් මාසටර් මියුසිකල් ෂෝ ඒකකට ආවම මොකා කලින් ඇවිත් හිටයත් මිනිහට දෙනවා චෑන්ස් එක මුලින්ම ගීත කියන්න. පොර පටන් ගන්නේ හිටියනම් බුදු හාන්දුරුවොත් ඩාන්ස් කරන, "බුද්ධං සරණං ගඡ්චාමී..." කියලා නේ.. ඕක කියලා නවත්තපු ගමන් පල්ලෙහා හිටපු කොල්ලෙක් කෑ ගැහුවලු.. මාසටස් කෝටූ කෑලී කෝටූ කෑලී කියලා. මාස්ටර්ට තේරිලා නෑ.. පොල් ගෙඩි වගේ ඇස් ළොකු කරලා අරු දිහා බැලුවලු.. අරූ ආයෙත් කෑ ගැහුවලු, "මාස්ටර් කෝටු කෑලී ගහන්න.. කෝටූ කෑලී ගහන්න.." කියලා.. මාස්ටර් කිව්වලු.. කෝටූ කෑලී ගහගනින් තොගෙ පුකේ කියලා...

    ReplyDelete
    Replies
    1. පුක යනු කුණුහබ්බයක් නොවේ....
      - කතන්දර කාරයා -

      Delete
    2. එඩ්වර්ඩ් ජයකොඩි ස්ටේජ් එකට එනකොට පල්ලෙහා හිටපු කෙල්ලෙක් කිවුවළු "අයියේ,සිරියහනේ ගහන්න"කියලා."අනේ නංගී,අදනම් සිරියහනේ ගහන්න බෑ,බෙග් මාස්ටර් එනවා.එයාට කියලා කෝටු කෑලි ගහගන්න පුළුවන්ද බලන්න "කියලා.

      Delete
    3. කෙල්ලෙක් සනත් නන්දසිරිට කිව්වලු “සනත් අයියේ, මමනං ආසයි ගහන්න“ කියලා. සනත් කිව්වලු “මාත් ආසයි නංගි, මල්කාන්ති මොනව කියයිද දන්නෑ“ කියලා.

      Delete
    4. හැක්.. නියම කතා ටික බොල

      Delete
    5. මාතලන් මාමේ, අපි හෙට අනිද්දට ආපුවහම සෙට් වෙලා සින්දුවක් දෙකක් කියමු එහෙනම්....

      මේ කතා ටික මගේ පෝස්ට් එකටත් වැඩිය දිගයිනේ බන්....!

      Delete
    6. හිනා කාල පණ යනවා .....

      Delete
    7. හය්යෝ දමයන්ති..!! හිනා කාල පන ගියා ඕයි ..!! හැක හැක..

      Delete
  2. අපේ සෙට් එකෙත් පොරක් ඉන්නවා සුනිල් අයියා කියලා...අයියා කියුවාට අන්කල්ලා දෙනෙක්ගේ වයස...පොර සෙට් වුනොත් මේ කපේදී අපිට සිංදූවක් කියන්න වේන් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව්, සමහර වෙලාවට උන් හොඳට සිංදු කියනවනම් කමක් නෑ... මෙලෝ රහක් නැතිව සින්දු කනවා උන් ගොඩක් වෙලාවට....

      Delete
  3. //බුරි නැටුම් කණ්ඩායම්//
    ටෙලිවිසොන් එකේ පෙන්නන්නෙත් උන්ගේ බුරියමනේ.සමහර ඒවා තියනවා හදිස්සියට හැංගෙන්න පුළුවන් ඒවා.

    ඔය මයික් පෙන්නන්න බැරිලෙඩේ නිසා දැන් වෙඩිමකදී හරි වෙන ෆන්ශ්න් එකකදී හරි එන බෑන්ඩ් එක ඉස්සල්ලම එනවුන්ස් කරලා කියනවා බෑන්ඩ් එකේ අයට හැර වෙන කාටවත් සින්දු කියන්න දෙන්නේ නෑ කියලා.සමහර එවුන් කියනවා මනමාලයාගේ අවසරයක් නැතුව කියන්න දෙන්නේ නෑ කියලා.එතන ඉදන් ඉතින් මනමාලයාට නිවනක් නෑ.

    ReplyDelete
    Replies
    1. මයික් කටාලගෙන් බේරගෙන ෆන්ක්ෂන් එකක් ප්ලේ කරනවා කියන්නේ වෙනම ගේමක් තමයි. ගොඩක් වෙලාවට් උනුත් නාගෙන අපිවත් නාවනවා.....!

      Delete
  4. මං ලීඩ් ගැහුවනම් එවලේම මන්තිරියව බාවනවා.. හැක්.. අර අතින් කයිට් කරන් ගහපු අවුරුදු උස්සවේ සීන් එක පට්ට ඈ..

    ReplyDelete
    Replies
    1. මං දන්න කෙල්ලෙකුට (ගම බදුල්ලෙ) එයාගෙ බැච්මේට් කොල්ලො සඳ කියල කිව්ව. එයා හිතාගෙන හිටියෙ ඒ එයාගෙ මූණ ලස්සන නිසා කියල. හැබැයි කොල්ලො ඒනම දැම්මෙ ආවාට නිසා

      Delete
    2. ගිටාර් එකෙන්ම ගහලා තමයි මන්ත්‍රීව බාවන්න වෙන්නේ.....

      Delete
    3. නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගියාට පස්සෙ සාහිත්‍යය පරපුර සඳ උපමා කරලා සාහිත්‍යය කෘති කරන එක අඩු කරන්න ඇති මන් හිතන්නේ....

      Delete
    4. නන්දා මාලිනීගෙ "මගේ සඳ ඔබ" සිංදුවෙ ඕක අපූරුවට කියල තියෙන්නෙ...

      Delete
  5. මරු මරු.. උඹල නොලියන එක අපේ කරුමයක්.. වසන්තයාට ජය වේවා. ඔය මැක්ස්වෙල් ඒ දවස් වල අපි බලපු සංගීත දෙකකටම ආවේ හරියටම රෑ 12 ට.. මහ භයානක මිනිමරු හූ සද්ද සාගෙන... මිනිස්සු බය වෙනවා. මන්ත්‍රි තුමාගෙ සිංදුව නං එළ... ජය

    ReplyDelete
    Replies
    1. රෑ දොළහට නෙමෙයි, රෑ හතට ආවත් මිනිහගේ භූත පෙනුමට බය හිතෙනවා....!

      Delete
  6. මට මැවිලා පේනවා යකෝ හනිමූන් ගිහිනුත් අර මනමාලයා සින්දු කියනවා “හනික යමං පුල්ලි ගොනෝ“ කියලා පටං ඇරං “ඉරහඳ පායන ලෝකේ...ආලෝකය අතරේ...“ කිය කියා නින්දට යනවා.
    කතා ටික එළස්යැ! (මගුලක් කරන්නැතුව ආයි ලියහං සත්තරනේ නිතර නිතර)

    ReplyDelete
    Replies
    1. ලියන්න...? ලියන්න තමයි. මේ කමෙන්ට් දාන්නෙත් හෙන කම්මැලි කමෙන්...!

      Delete
  7. ගමේ සංගීතෙක ඊලග ගායකයාව හදුන්වල දෙන්න "පිළිගන්න . . . ටී . . . . එම් . . . " කියද්දීම ආවලු පල්ලෙහයින් පට්ට චියර් එකක්. ඉතින් නිවේදකයා තවත් ෆෝම් වෙලා ඇදල කරලා කීවලු ඉතුරු ටික . . . "පුංචි...... බණ්ඩා" කියල.
    ගමෙන් බිහිවෙන්න හිටි ගායකයෙක් එතැනින්ම නතර උණා කියල තමයි පොත පතේ සදහන් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕකේ තව වර්ෂන් එකක් තියේ..
      "පිළිගන්න....ත්‍යාගා...ත්‍යාගා......එන්...... එඩ්වඩ්.... ජයකොඩි...!!!"

      Delete
    2. ඔය වගේ කතා එමෙටයි ඕනයෝ. මේ ලඟදි සනත් සර් (සනත් නන්දසිරි ) ආපු වෙලවෙත් ඔය වගේ කතාවක් කිව්වා මල්කාන්ති ඇන්ටි ගැන. හැබැයි ඒක ලියන්න බෑ... කියන්න විතරයි පුළුවන්.

      Delete
    3. තිසා ත්‍යාගා එන් එඩ්වර්ඩ් සහ එඩ්වර්ඩ් ජයකොඩි දෙන්නම ජනප්‍රිය ගායකයෝනේ....?

      Delete
  8. මගේ යාලුවෙක් හිටියා අර ලීඩ් ගිටාරිස්ට් වගේම අමුතු වැඩක් කරන එකෙක්.

    ඌට කොහේ හරි සංගීතයක් තිබුනොත් සිංදුවක් කියන්න ඕනේ. මූ කොහොම හරි සංවිධායකයන්ව බැලන්ස් කරලා සිංදුවක් කියන්න ඉල්ලගන්නවා.

    නමුත් මූ කියන්නේ අමුතුම ක්‍රමේකට. අපි දන්නවනේ සින්දුවක එක එක පේලිය ගයන විදිහක් තියනවනේ. උදාහරනෙකට ගම්මුකො පින්න මලේ සින්දුවම.

    මූ පින්න මලේ සුද ඇන්න ගිහින්වද කියන පේලිය ගායනා කරන්නේ ඉන්න එපා නුඹ හැන්දෑකරේ කියන ඊළඟ පේලිය ගායනා කරන විදිහට. බෑන්ඩ් එකේ එවුන් මූට හෝ ගාලා බනිනවා. ඒ මදිවට මිනිස්සු හූ කියනවා. මූට ගානක්වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවා කියන්නත් දක්ශතාවයක් තියෙන්න ඕනේ. මම ටිකක් ඔය කියන විදිහට ට්‍රයි කරලා බළුවා....ම්හ්හු මට නම් බෑ එහෙම කියන්න...!

      Delete
  9. දේශ් කිව්වා වාගේ උඹ දිගටම නොලියන එක අපරාදයක්..

    මේක මේ ලියමනට අදාලත් නෑ ඒ හැටි... ඒත් උඹ නම් මට අපේ කාලේ පොරක්... එහෙම වෙන්න තාත්තගෙ පෞරුෂය බලපාන්න ඇති කියලත් හිතෙනව මේවා කියෙව්වම...
    වැඩ සීයක් මැද්දේ හීනියට ගිටාර් එකක් ගහලා බ්‍රයන් අයියල වගේ සෙට් එකක් එක්ක ආතල් එකක් අරන් ඉන්න ඕන තරම් චාන්ස් තිබ්බත් උඹ හා පිරිවර සෑහෙන දෙයක් කරනව මචං... උඹ හොඳ පුද්ගලික ජීවිතේකුත් මේන්ටේන් කරනව... පිට කසනව කියල ඕන්නං හිතාගනින්... ඒත් මචං අද ලොකේ මේ ගේම ලේසි නැති බව මම හොඳින් දන්නවා.. ඒ නිසා අර ආගන්තුකයා කියනවා වාගේ 'මට අනුව නුඹ පොරකි'..
    තව බොහෝ කට කහන කථා ලියැවේවා...
    උඹට නිදුක් නිරෝගී සුව හදවතින්ම..!!

    ReplyDelete
    Replies
    1. තිසා, මේ ගැන කියන්න වචන නෑ. මේ දවස්වල ෆස්ට් හෑන්ඩ් අත්විඳිනව මුගෙ සත්කාර සහ උපකාර.

      Delete
    2. උඹ කිව්වත් වගේ තාත්තා මගේ ජීවිතයේ ඉන්න ලොකුම පරමාදරිශී චරිතයක්. තාත්තා නාවික හම්ඩුහාවෙ නිලධාරියෙක් විදිහට අපිව ලොකු විනයක් යටතේ හදන්න උත්සාහ කලා. හැමදේම පිළිවෙලට ( මම එච්චරම පිළිවෙල නැති උනාට :) )

      උඹේ දයාබර වචනවලට ස්තූතියි.......!

      Delete
    3. මූට පිස්සු. මොන විශේෂ ෆර්ස්ට් හැන්ඩ් සත්කාරද මචන්. අපි කන බොන විදිහට සෙට් වෙලා කෑම වේලක් කෑවට බිව්වට....!

      Delete
  10. //එහෙම දිගටම ගම හාමිනේලගේ ඉස්කෝලෙන් මට ආරධානා ලැබුනා ඒ ගොල්ලනේ හැම සංගීත කටයුත්තකටම් සහභාගී වෙන්න. පතාගෙන ආවොත් ඔතාගෙන යන්න වෙනවා කියන්නැහේ අපේ ගම හාමිනේවත් ඔතාගන්න ලැබුනේ ඒ ගිය ගමන් නිසා තමයි. //

    මෙන්න කතාවේ ලස්සනම කෑල්ල...:P

    ReplyDelete
    Replies
    1. මුගෙ ගමහාමිනේ කියන්නෙ හස්බන්ඩල ඉරිසිය කරන තාල පට්ට චරිතයක් ඇත්තටම :)

      Delete
    2. එක එක්කෙනාට කතාවෙ එක එක කෑලි ලස්සනයිලු....!

      Delete
    3. අඩෝ, බලපන් ඉතින් උඹ යාළුවෝ වෙලත් අපිට කරන දේවල්....මේ කමෙන්ට් එක අපේ ගම හාමිනේ දකින්න කලින් මකන්න ඕනේ. නැතිනම් එයා තවත් ගණන් උස්සනවා....!

      Delete
  11. මචං අය්යෙ සලූන් එකේ ඉඳන් බන් කියෙව්වෙ, කියවල ඉවර වෙලා ඔළුව උස්සනකොට තමයි දැක්කෙ හිටපු මිනිස්සු ටික මාදිහා බලාගෙන ඉන්න හැටි, මොනාකරන්ඩද වෙන දවසක කොන්ඩෙ කපනව කියල හිතාගෙන ගෙදර ආව.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට. කොණ්ඩෙ කපන වෙලාවෙ එහෙම කියෙව්වනං බාබරය දැලි පිහියෙන් බෙල්ලත් කපල තමයි එවන්නෙ.

      Delete
    2. එක පාරටම මම හිතුවේ කොණ්ඩෙ කපන ගමන් බාබරයා මේක කියවලා කියලයි.....

      Delete
  12. හෙහේ,එක ගමනක් අර මන්ත්‍රීතුමා වගේ හිටපු අමත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් ඔය වගේ සින්දු කියන්න ගිහිං බෑන්ඩ් එකේ උන්ට කිව්වාලු පොතේ තියෙන විදියට නෙමේ මම කියන විදියට ගහපන් කියලා.

    ReplyDelete
    Replies
    1. එයා හැමෝටම කිව්වෙත් දැන් කියන්නෙත් එහෙමනේ..... එයාගේ සංගීතෙට අනිත් අයට නටන්න කියලනේ....

      Delete
  13. හැක්.. මම හිතුවෙ මැක්ස් අංකල් ක්‍රිස්ටොගෙ ඔලුව ගලෝල අර කොහු මිටේ උල ගහයි කියල.
    නියම කතා සෙට් එකක්.
    අන්තිම එකේ ලීඩ් ගහන එකාට තිබුණෙ ගිටාර් එකෙන් මංතිරියගෙ ඔලුවට එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. //මම හිතුවෙ මැක්ස් අංකල් ක්‍රිස්ටොගෙ ඔලුව ගලෝල අර කොහු මිටේ උල ගහයි කියල//

      ඉතා තදින් සිනා..

      Delete
    2. එහෙම ගහන්න කලින් තමයි ක්‍රිස්ටෝ අංකල් එක්මනට එතනින් පැනලා ගිහිල්ලා තියෙන්නේ.....!

      Delete
  14. අතින් කයිට් කරන් මියුසික් දීලා සල්ලිත් හොයල දුන්නු අවුරුදු උත්සවේ කතාවනම් ලොවෙත් සුපිරි! මම හිතුවෙම ඒකෙන් බෑන්ඩ් එකේ එකෙක්ගෙ දෙන්නෙක්ගෙවත් මියුසික් උණ නිට්ටාවටම හොඳ වෙන්න ඇති කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, හොඳ උනා හොඳ උනා. ඊලඟ අවුරුද්ද වෙනකොට ඒ බෑන්ඩ් එකේ කෑලිත් නෑ...! ණයට ගත්ත සල්ලි බේරුවේ අම්මගෙන් සල්ලි ටික ටික ඉල්ලගෙන. කතාවෙලා ණය ගත්ත එවුන් පැත්ත පලාතෙවත් නෑ...!

      Delete
  15. ඔය සංගීත පිස්සුව ගහපු උන්ට පුදුම උණක් තියෙන බව මමත් දැකල තියෙනවා.
    අපෙත් යාළුවො ටිකක් හිටියා ඔය පිස්සුව හැදිලා, උන්ට මාස ගාණකටවත් මියුසිකල් ෂෝ එකක් ලැබෙන්නේ නැතුව ඇති.
    හැබැයි ඉතින් උඹල කලා වගේ ඇති කයිට් කරගෙන සංගීත ගහපු උන් ගැන ඇහුවේ අදමයි.
    කතා ටික මරු දුමී...

    ReplyDelete
    Replies
    1. බෑන්ඩ් ගහන්න ගිල්ලා කාපු කටු ගැන නම් කියලා වැඩක් නෑ පුතේ.....! තව කතා ගොඩක් තියෙනවා එහෙන් මෙහෙන් කොටලා දාන්න....

      Delete
  16. සුපිරිම සුපිරි කතා ටික දුමී අයියේ..ඔච්චර ෆන් කතා ටිකක් තියන් නොලියා ඉන්න එපා බං අපි පව්නේ..මන්ත්‍රීතුමාගේ සිංදුව මරු ඈ...ඒ කියන්නේ ලංකාවේ ඉස්සෙල්ලාම සුපර් ස්ටාර් කිරීමේ ගෞරවය හිමිවෙන්න ඕන උඹලටයි..හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ඔය ඉඩ තියෙන තියෙන වෙලාවට....! ස්පර්ස්ටාර් කෙසේ වෙතත් ගුටිනොකාර් වෙලා ආවේ පූරුවේ වාසනාවකට.....!

      Delete
  17. අර ඕඩියෝ ෆයිල් වැඩ නැහැනේ..

    අපෙත් හිටියා ඔහොම සංගීත කාරයෝ අම්බානක...සමහරු ගෘප් හදන්න ගියේම වෙන මගුලකට නෙවෙයි සිංදු කියන්න.. අන්තිමට බලද්දි වාදකයෝ නැහැ.. ගායකයෝ පිරිලා.. වාදකයෝ කිව්වම යන්තං හරි ඉන්නේ ඩ්‍රම් කාරයෝ විතරයි...
    ආ ඒ විතරක් නෙවෙයි... හැම ගමකම වගේ ඒ කාලේ හිටියා “කැලෑ ජෝති“ කෙනෙක්... අපේ ගමට දෙන්නෙක්ම හිටියා... තව එකෙක් හිටියා ඌ ගායන හැකියාවට වඩා තැනක් දුන්නේ උගේ පොකුටු කොණ්ඩේ නඩත්තුවට.. අන්තිමට ඌ කොණ්ඩ ජෝති උනා...

    ඔය කිව්වම තව කතාවක්... සමහර විට මං කලින් කියලත් ඇති.. අපේ අජන්තයියා ගැන.. අන්න බුවා.. කාලෙකට ඌ යනවා කරාටේ ක්ලාස්.. ඒ කාලෙට ඉතිං ලගින් යන්න බැහැ.. අහ්.. උහ් ගාත්ත ගමන්... කලුපටිය ලබන සතියේ ගන්නවා ගානට කතාව... ඒත් මෙන්න මාස දෙක තුනක් යද්දි පොර ඇගිලි උරුක් කර කර ඇඹරි ඇඹරි ඥාවෝ.. මියාවෝ.. ගගා ඉන්නවා.. බැලින්නං ඌ දැන් කරාටේ ක්ලාස් යන්නේ නැහැ.. කුංෆු වලට මාරු වෙලා... දැන් කටේ ඉන්නෙම කොටි වඳුරෝ පූසෝ උකුස්සෝ තමා... ඌව පිකප් කරගත්තම ඉතිං පැය ගානක් ඇද්දැකි... උකුස්සා වගේ පෙන්නන්න ගිහින් තනි කකුලෙන් හිටං අත් දෙපැත්තට කොරං ඉන්න සීන් එකේදී හැමදාම බැලන්ස් නැතිව ඇද වැටුනාම අපි ඒ වෙනකල් හිර කරං ඉන්න හිනාව පයිනවත් එක්කම උගේ කුංෆු සංදර්ශනේ අහවර වෙනවා.. :D
    ආන්න ඒ මෑන් එක පාරක් සංගීත පිස්සුව ඉහට ගහලා ගියා ගෘප් එහෙකට.. පොර පොඩි කොණ්ඩ කුරුච්චියකුත් වවාගෙන බෙල්ලේ ඇට මාලයක් එහෙම දාගෙන තමා ඒ කාලේ ගමන බිමන... දවසක් පොල හන්දියේ සංගීතයක්... පොරත් කොහොම හරි සිංදුවක් කියන්න චාන්ස් එක ගත්තා... ඒ වෙද්දි ඌ සංගීත ඔස්තාර්... ගිටාර් වාදකයෙක් හැටියට තමා හිටියේ.. ලීඩ්ද බේස්ද රිදම්ද මට මතක නැහැ... කොහොම උනත් මෑන් නැග්ගා ස්ටේජ් එකට පාන්දර ජාමේ අල්ලලා... සිංදුව මිල්ටන් මල්ලවාරච්චිගේ “මහ සයුරේ.. රළ පතරේ..“

    මෙන්න මෑන් සිංදුව කියනවා...
    “මහ සයුරේ...
    රළ පතරේ...
    ජීවිත පරදුවට තියා...
    ටිනින් ටින්ටි ටිනි ටිනි ටින්...“

    අනේ පොරට සිංදුවත් එක්කම ගිටාර් පාට් එකත් කටින්ම වැදුනා... මොනවද ඉතිං ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහටත් උඩින්... එදායින් පස්සේ මෑන් ප්‍රසිද්ධ වේදිකාවේ දකින්න ලැබුනේ නැද්ද කොහේද.. :D

    ReplyDelete
    Replies
    1. මේක තමා නියම කමෙන්ටුව
      අරූත් කියල තියන්නේ "මහ සයුරේ - දියගැඹරේ" සින්දුවෙයි "ඝන ඇඳුරේ - රළ පතරේ" සින්දු දෙකම කලවන් කරල කියල මේකා අද වෙනකල් දන්නෙ නෑ...
      ලීඩ් ගිටාර් කාරයට පටලැවෙන එක අහන්න දෙයක්ද :-P

      Delete
    2. ඔව් ඔව්, ජෝතිපාලලා නම් හිටියේ ඒ දවස්වල පඳුරකට පයින් ගහද්දි සීයක් දෙසීයක් විසි වෙන්න. හොඳම දේ තමයි ජෝතිපාල මැරුනට පස්සෙ තමන් තමයි ඒ අඩුව පුරවන්න බිහිවෙලා ඉන්න එකා කියලා උන් අම්බානෙකට හිතාගෙන සිටීම. ඒ කාලේ කොච්චර වන් මෑන් ෂෝ තිබ්බද "පොඩි ජෝති ගී ප්‍රසංගය.." , "ජෝතිපාල අනාගත හඬ....", "ජෝති මිය ගියේ නෑ...." වගේ නම් වලින්....

      කොණ්ඩේ වැවීම ගැන නම් කියලා වැඩක් නෑ.... සමහරු ගිටාර් එකක් සල්ලි දීලා ගන්න කියලා අවුරුද්දක් විතර රුපියල් සීය සීය මාස් පතා ඉතුරු කරනවා....ඒත් එක්කම ගිටාර් අරගෙන බෑන්ඩ් පටන් ගන්නත් ප්ලෑන් කරලා කොණ්ඩේ වවන්නත් පටන් ගන්නවා.... පස්සෙ අර ඉතුරු කරපු රුපියල් 100 ඒවා වියදම් වෙන්නේ ගිටාර් එක ගන්න නෙමෙයි... කොණ්ඩේ නඩත්තු කරන්න....

      මමත් කාලයක් කොණ්ඩේ වවන්න ට්‍රයි එකක් දුන්නා..... මම කොණ්ඩේ වවන්න වවන්න කොණ්ඩේ දික් උනේ නෑ.... අර සායි බබා වගේ කොණ්ඩේ පිම්බෙන්න ගත්තා.....දවසක් උදේ නැගිටිනකොට අපේ ගම හාමිනේ කොණ්ඩේ භාගයක් කපලා.... ඉතුරු භාගේ මම බාබර් සාප්පුවකට ගිහින් කප්ප ගත්තා.....

      Delete
  18. කතා ටික පට්ට දුමී................ අපරාදේ කියන්න බැහැ කට කනේ තියෙන්න ලියලා තියෙනවානේ...

    ReplyDelete
    Replies
    1. වැඩිය කට පලල් කරන්න එපා, කනේ තියෙන කළාඳුරු හැපෙයි....!

      Delete
  19. පට්පටයි ,,,,,,, පට්ටයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ,,,,,,තැන්කූ

      Delete
  20. අඩේ දුමී අයියටත් බෑන්ඩ් පිස්සුව තිබිලා :D. සුපිරි කතා ටික. අර අවුරුදු උත්සවේ ආදුනිකයින්ට බැක් කරල ඉවර වෙද්දී හොඳ පණ යන්න ඇති :D. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බෑන්ඩ් පිස්සුව තිබුනා නෙමෙයි, තාමත් තියෙනවා....!

      Delete
  21. මරු කතාව දුමී අයියේ.. අතින් කයිට් කරන් සංගීත ගහන අය ගැන පොඩි කතාවක් මටත් මතක් උනා මේක කියවන් යද්දී.. ඉස්කෝලේ සෙට් එකක්.. අනේ ඉතින් උන්ටත් සෑහෙන්න ඕනකම තිබුනා බෑන්ඩ් එකක් කරන්න.. දැන් නම් බෑන්ඩ් තියා ඉන්ස්ටෘමන්ට් එකක් අල්ලන්නවහත් හිතන්නේ නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. කතා මතක් වෙන්න මතක් වෙන්න ලියලා දාන්න තමයි තියෙන්නේ.....

      Delete
  22. මරු. ඊට පස්සෙ මොකද උනේ කියලත් කියපංකො.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊට පස්සෙ මොකෑ වෙන්නද බං... අර ණයට ගත්ත රුපියල් 3000 ගෙවනවා මිසක්ක....!

      Delete
  23. //තාත්තට දැනට උනත් ගිටාර් එක අරගෙන සින්දු කියන්න තියෙනවනම් කෑම බීම නැතත් කමක් නෑ. ඇත්තටම කියනවනම් කෑම නොතිබුනත් කමක් නෑ//

    මේකත් මරු කෑල්ල ඈ!

    ReplyDelete
  24. මල් දාහතරයි කතාව ඈ..
    //නෑ අයියේ "පෙම් ලෝකේ මං සක්කර දෙයියෝ......" ඌ එහෙම කියලා ස්ටේජ් එකෙන් පල්ලෙහා හිටපු ඌ වගේ හතර පස් ගුණයක් සයිස් ඇන්ටි කෙනෙක්ට මුකුළු කර කර ඒ සින්දුව කිව්වා.....//

    ReplyDelete
  25. දුමී සහෝදරයා.. ඇයි දෙයියනේ දිගටම ලියන්නෙ නැත්තේ? මම මේක දෙපාරක් තුන්පාරක් බැලුව. රෝලෙන් පොඩ්ඩක් යටට ගිහිං මිස් වෙලා තිබ්බේ. සංගීත උණ ගැන නං කියන්න වදන් නෑ.." කන්න ඕනත් නෑ ගිටාර් එක අතට ගත්තම" කියන කතාව හොඳට දැනෙන එකෙක් මාත්. එහෙම ලොකුවට වාදනය බැරි උනත්.. කතා ටික මල් මසුරං.. වඳින්නං දිගටම ලියන්න...

    ReplyDelete
  26. අපේ බෑන්ඩ් වැඩකට වතාවක් පෝල් මහත්තයා ගෙනාවා...හරිම නිහතමානි මනුස්සයා...අපේ බෑන්ඩ් මාසුටරුත් මේ වයසෙමනෙ...ත්‍යාගා එන් එඩ්වඩ් කියන්නෙ එතුමාගේ බිරිඳ නේද...ඉතිං එදා අපේ බෑන්ඩ් මාස්ටර්ගෙ මයිනර් එක ඇතුලෙම දෙන්නා ගල් බෝතලයක් කඩා ගත්තා මහ දවාලෙ...අපි ඉතින් පොඩි එව්වො නිසා නෝ චෑන්ස්...උ/පෙ පන්තියට ආවට පස්සෙ තමයි සෑර් අපි එක්ක සැට් උනේ බෝතලේට...

    දුමී අයියෙ හැකි තරම් බෑන්ඩ් කථා ලියහං..හරි රහයි මේ පරණ කතන්දර...අවුරුදු උත්සවේ සිද්ධිය නම් මරේ මරු...බොට ගිටාර් ගහලා තුන්සීයකට සින්දු කියන්න කෙලින් ඉන්න පණ තිබ්බද...

    ReplyDelete
  27. මමත් හරිම මෙව්වයි සංගීතයට. අපිටත් බෑන්ඩ් එකක් තිබ්බ ඉස්සර. කට්ටිය කිව්වෙනම් හැලෙන පොල් කියල. මොකද ගිටරිස් ඉන්නකොට කීබෝර්ඩ් ගහන එකා මිසින්. එක්කෝ ඔක්කොම ඉන්නකොට සින් කරන එකා නෑ..ලොල්

    ReplyDelete
  28. මේක පට්ට පොස්ට් එක දුමියෝ.. මමත් බෑන්ඩ් ගහද්දි ඔයවගේම ආධුනික ප්‍රසංග කටුවක් කාපු විස්තරයක් බ්ලොග් එකේ ලිව්වා. අර ලීඩ් ගහන එකාගේ ලෙඩේ හිටපු ගමන් මටත් සමහර සින්දු ගහද්දි තියනවා.
    http://ambalangodakatha.blogspot.com/2014/12/blog-post_19.html

    ReplyDelete

Related Posts with Thumbnails