මංගල ගැහිල්ල....!

Posted by දුමී


දෙදාස් දොලහා ලැබුවේ මේ ඊයේ පෙරේදා වගේ. ඒත් හරියට නිකං හුළං ගිය බැළුමක් වගේ ඇඟට පතට නොදැනීම මේ අවුරුද්දත් ගෙවිලා යන්න තව පොඩි කාලයයි ඕං තියෙන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා ලෝකෙ විනාස උනේ නැති නම් අපිට මේ දෙසැම්බර් 31 රෑටත්වෙනදා වගේම පොඩි ජොලියක් දාලා 2013 අවුරුද්දට යන්න පුළුවං වෙයි ඕං. ඉස්සර අපි ඇට්ටර කාලෙදි නම් ඉතින් 31 වෙනිදා වෙනකං හිටියේ රෑ දොළහට නැගිටලා රතිඤ්ඤා වැලක් පත්තු කරලා, අහස් ගුණ්ඩුවක් දෙකක් යවලා ගිණි රාමෙට අවුරුද්ද පිළි ගන්න තමයි. ඔන්න ටිකක් කරදඬු ඇදිලා පැදිලා එනකොට ගිණි රාමෙට රත් වෙන්න රතිඤ්ඤා, අහස් ගුණ්ඩු විතරක්ම මදි වෙනවා.

එක කාලයක් තිබුනා තිර්ටි ෆස්ට් එනකන් මාස ගණන් කර කර ඉන්නේ ගතමනාවක් හොයාගන්න.ඒ බෑන්ඩ් ගහන කාලේ. ඒ මොකද සාමාන්‍යයෙන් තර්ටි ෆස්ට් නයිට් ඩාන්ස් එකකට බෑන්ඩ් එකක් සාමාන්‍යය ගාණට වඩා තුන් හතර ගුණයක් චාර්ජ් කරනවා.

මම කියලා තියෙනවනේ මට ඔය මියුසික් උණ ඔළුවට ගහලා තිබුනේ යන්තන් ඕ.ලෙවල් කරන කාලෙට පොඩ්ඩක් කලින් කියලා. ඔන්න ඉතින් ඕ.ලෙවල් විභාගෙත් කරලා ගෙදර හිටපු ජොලිම ජොලි සංක්‍රාන්ති සමයෙදි තමයි ඔය හතර වටේ හිටපු තව කොල්ලෝ ටිකකුත් එක්කාසු කරගෙන ඉස් ඉස්සෙල්ලාම බෑන්ඩ් එකක් පටන් ගත්තෙ. බොක්ස් ගිටාර් කටු දෙක තුනකුයි, එක්ස් රේ කොල රීප්ප පටි ෆ්‍රේම් වලට ගහලා හදා ගත්ත ඩ්‍රම් සෙට් එකකුයි එක්ක ඔන්න ඉතින් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්න කට්ටිය එනවා අපේ ගෙදර. ප්‍රැක්ටිස් කරන්නෙ ඉතින් මගේ කාමරේ තමයි.

ඔය කාලෙම වගේ තමයි අර පත්තරේ කතාවක් ගියේ ACDC ලගේ හෙවි-මෙටල් සින්දු අහලා නුවර පැත්තෙ කොල්ලෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි පිහියෙන් ඇනලා මරලා දාලා තිබුනා කියලා. කොහොමෙන් කොහොම හරි අපි බෑන්ඩ් ප්‍රැක්ටිස් පටන් අරගෙන මාසයක් දෙකක් ගියෙ නෑ ඔන්න ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් පාරෙ ගිය කාටද කවුදෝ පිහියෙන් ඇනලා මරලා දාලා තියෙනවා කියලා. එදායින් පස්සෙ අපි පොඩ්ඩක් සද්දේ අඩුවෙන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. ඒත් පස්සෙ තවත් ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න හරිම සන්තෝසෙන් ජීවත් වෙච්ච අහිංසක අංකල් කෙනෙක් එයාගේ වයිෆ්ගේ සාරියකින් ෆෑන් එකේ එල්ලිලා මැරිලා කියලා. ඒත් ඉතින් අපි සැලුනේ නෑ. බාධක කම්කොටලු මැද දිගටම බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල කරගෙන ගියා.

කොහොමෙන් කොහොම හරි ඔය කාලේ අපේ ගෙදර කට්ටියට රේඩියෝ එකේ හරි ටී.වී එකේ හරි සින්දුවක් ගියත් මල පනිනවා. අද උනත් අපේ ගෙදර කට්ටියගෙයි අහල පහල ගෙවල් වල අයගෙයි රසඥ්ඥතාවය නැත්තටම නැති වෙන්න අපේ මේ බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල හේතුවක් උනා කියලා තමයි නම් මට හිතෙන්නෙ.

කොහොම හරි මාස ගාණක් ප්‍රැක්ටිස් කරලා සින්දු දහයක් පහලොවක් අමාරුවෙන් ගහගන්න පුළුවන් කාලේ යාළුවෙක් හරි අපූරු යෝජනවාක් අරගෙන ආවා. ඔය බෙන්තර පැත්තේ මුල්ලක තියෙන හෝටලේක තර්ටි ෆස්ට් නයිට් ගහන්න හිටපු බෑන්ඩ් එකට වෙන බූකින්ග් එකක් වැඩි ගාණකට හම්බ වෙලාද කොහෙද හෝටලේට පොල්ල තියලා. දැන් හෝටලෙන් බෙල්ල කඩාගෙන තර්ටි ෆස්ට් නයිට් ගහන්න බෑන්ඩ් එකක් හොයනවා, ඒ අතරේ කොහෙන් ආරංචි වෙලාද දන්නෙ නෑ අපේ බෑන්ඩ් එකට එදාට ප්ලේ කරන්න පුළුවන්ද අහලා පණිවිඩයක් එවලා. ඉබ්බා දියේ දාන්නද කියලා ඇහුවාම, ඇයි නෑවේ කියලා ඇහුවා වගේ එක පයින් නෙමෙයි, ඔක්කොම පයින් වලින් වැඩේට සෙට් උනා.

කෝකටත් කියලා පොඩ්ඩක් අදි මදි කරලා එහෙම ඔන්න කට්ටිය වැඩේ බාරගත්තා. ඉතින් ගාණකුත් කතා කරගන්න එපැයි. හා හා පුරා කියලා ඉස්සෙල්ලාම ප්ලේ කරන්න යන වැඩේනෙ. කොහොමෙන් කොහොම හරි එක්කෙනෙක්ට රුපියල් 300 ගාණේ බෑන්ඩ් එකේ ඉන්න 7 දෙනාට රුපියල් 2100යි. වැඩේ අල්ලලා දීපු එකාට රුපියල් 400යි. මුළු වැඩේටම 2500 යි. සවුන්ඩ් සිස්ටෙම් එක හෝටලේ ගාණේ. වැඩේ තීන්දුයි. මේ කාලේ 1991, 92 වගේ කාලේ. එක්කෙනෙක්ට රුපියල් 300ක් ලැබෙනවා කියන්නෙ ලොකු දෙයක්. මොකද ඒ කාලේ පාන් ගෙඩියත් රුපියල් 7.00 කට වඩා නෑ මට මතක විදිහට. කළුබෝවිල ඉඳන් නුගේගොඩටට බස් ටිකට් එකත් 1.50යි.

අනේ ඉතින් කට්ටියත් එදා ඉඳන් රැයක් දවාලක් නැතිව අපේ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරනවා. ඔන්න ඉතින් අපි මෙහෙම වැඩකට සෙට් වෙලා ඉන්නෙ කියලා ආරංචිය ලැබිලා බෑන්ඩ් එකේ ඉන්න උන්ගේ අහල පහල යාළුවොයි, අල්ලපු ගෙවල් වල උනුයි, අම්මලයි, තාත්තලයි, මාමලයි, නැන්දලයි පෝලිමේ එනවා ප්‍රැක්ටිස් කරනවා බලන්න. අනේ ඉතින් අපේ අම්මගේ වැඩේ බෑන්ඩ් එකේ ඉන්න උන්ටයි, අපිව බලන්න එන උන්ටයි රැයක් දවාලක් නැතිව තේ වක්කරනවා, දවල්ට කන්න දෙනවා, රෑට කන්න දෙනවා ඉවරයක් නෑ. කොහොම හරි ඒ වෙනකොට අපේ අම්මට බෑන්ඩ් එකේ උන්ටයි, බලන්න එන උන්ටයි කන්න දෙන්නම එක දවසකට රුපියල් 300කට වඩා වියදම යනවා.

ඔන්න ඉතින් 30 වෙනිදාත් ආවා. බෑන්ඩ් එකේ මැණ්ඩලින් එකක් නැති උනත් හැමෝගෙම කකුල් මැණ්ඩලින් ගහන සයිස් එකට ටික ටික වෙවුලන්න අරගෙන ඒ වෙනකොට. ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්මා ඇවිත් මේවා මේ ලේසියට පාසුවට ගන්න ඕන වැඩ නෙමෙයි කියලා කට්ටියවම කුදලෝගෙන එක්කගෙන ගියා කළුබෝවිල පංසලට. ගිහින් බෝධිපූජාවක් එහෙම තියලා හාමුදුරවන්ට කියලා අතේ පිරිත් නූලකුත් බැන්දා.

ඔන්න ඉතින් 31 වෙනිදා උදේ පාන්දරම බෑන්ඩ් එකේ උන් එදා රෑට අඳින ඇඳුම් එහෙමත් ලෑස්ති කරගෙන අපේ ගෙදරට සෙට් උනා. වෙනදා ජනවාරි පළවෙනිදට කිරිබතක් ඉදෙන අපේ ගෙදර 31වෙනිදා උදෙත් කිරිබතක් ඉදිලා. කට්ටියම නමෝ විත්තියෙන් කිරි බත් කාල දකුණු කකුල් ටික ඉස්සර කොරගෙන බස් එකේ නැගලා උදේ 10ට විතර කළුබෝවිලින් පිටත් උනා බෙන්තර යන්න. හවස එක දෙක විතර වෙනකොට යන්තන් බෙන්තරට ඇවිත් හෝටලේ හොයා ගන්න පුළුවන් උනා.

හවස තුන හතර වෙද්දි සවුන්ඩ් කාරයත් ඇවිත් හෝල් එකේ කෙලවරක පොඩි ස්ටේජ් එකක වගේ සවුන්ඩ් ටිකත් හයි කලා. කට්ටිය ඉතින් සවුන්ඩ් හයි කරන කං තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක අත පත ගානවා. මෙච්චර කල් බොක්ස් ගිටාර් වලින් ඇඟිලි පතුරු යනකන් ප්‍රැක්ටිස් කරපු එවුන්ට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ප්ලේ කරනවා කියන්නෙ ත්‍රී වීලර් එලවපු එකෙක්ට ලැම්බොගිනියක් ලැබුනා හා සමානයි. ඔන්න ඉතින් සවුන්ඩ් අයියා ඇවිත් බඩු ටික හයි කරලා දුන්නට පස්සෙ කට්ටිය එකසිය ගාණට පටන් ගන්නවා බඩු ටියුන් කරන්න. එහෙන් කරකවනවා, මෙහෙන් කරකවනා, අතන ඔබනවා, මෙතන ඔබනවා, චෑස්, චීස්, බූස්, ඩොක් ඩොක්, ටික් ටික් ප්‍රීම්, පෲම්, බොහ් බොහ් වගේ සද්ද තමයි ඇහෙන්නෙ. බඩු ටික ටියුන් කරලා එහෙම ඉවර වෙලා කට්ටිය පොඩි සවුන්ඩ් බැලන්ස් එකකුත් බලලා හවස හත අට වෙනකොට වැඩේට සෙට් උනා.

ඔන්න ටිකෙන් ටික හවස් වේගෙන එනකොට සෙනගත් එකා දෙන්නා පිරෙන්නෙ පටන් ගත්තා. දැන් කට්ටියත් නමෝ විත්තියෙන් ලාවට වැඩේ පටන් ගත්තා කියමුකෝ. ඒත් ඉතින් කංකරච්චලේකට වඩා දෙයක් නෑ. හැම එකාටම ඕනෙ උගේ භාණ්ඩේ සද්දේ වැඩියෙන් ගහන්න. ඉතින් එක එකා තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක වැඩි කරගන්නවා. සවුන්ඩ් අයියත් ෆුල් ගේමක් දෙනවා වැඩේ බැලන්ස් කරන්න.

හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙන සින්දු ඒ කියන්නෙ ක්ලැරන්ස්ගේ මලට බඹරෙකු සේ, සිහින ලොවක්, මිල්ටන්ගේ අවසර නැත මට වගේ සින්දු දැන් ගහගෙන යනවා. ඔන්න එක පාරට වේටර් කෙනෙක් ඇවිත් කියනවා,

"මල්ලි, ඉංග්‍රීසි සින්දු ගහන්න කියලා රික්වෙස්ට් එකක් තියෙනවා...."

හුටා, ප්‍රැක්ටිස් කරලා තියෙන්නෙම ඉංග්‍රීසි සින්දු දෙකයි. එකක් එල්ටන් ජෝන්ගේ සැක්‍රිෆයිස්, අනික කන්ට්‍රි රෝඩ්ස්.....! ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට්වින්කල් වගේ ඒවා විතරයි.

අනේ ඉතින් කට්ටිය එකෙන් සැක්‍රිෆස්යිස් ගහලා අනික ආපහු ඉල්ලුවොත් ගහන්න පරිස්සම් කරලා තියා ගත්තා.

දන්න සින්දු විස්ස බේර ගන්නත් ඕනෙ නිසා එක සින්දුවක් ගහලා අනිත් සින්දුව ගහන්න කලින් සෑහෙන්න කල් මැරීමක් කලත් පැය දෙකක් විතර යද්දි දන්න සින්දු 20 ඉවරයි. දැන් ඉතින් මල කෙලියයි මහ රජ කිව්වලු. මොනව කරන්නද, කලින් ගහපු සින්දු තැනින් තැනින් ආපහු ගහන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි සමහර සින්දු තුන් හතර පාරක් විතර ගහලා.

ඔන්න ටික වෙලාවකින් වේටර් කෙනෙක් පොඩි චිට් එකක් අරගෙන එනවා ටේබල් එකකින්.

අනේ ඒකෙ අහලා තියෙනවා "මොකද, අර ගුවන් විදුලියේ වගේ ඔයාලගේ තැටිත් ප්‍රථි වාදනය වෙනවද....?" කියලා.

කොහොමෙන් කොහොම හරි ඔය වගේ විළි ලැජ්ජා සහගත ජවනිකා මැද රෑ එකොලහත් පහු උනා කියමුකො. ටික වෙලාවකට පස්සෙ හෝටලේ මැනේජර් කාරයා එනවා අපි හිටපු පැත්තට. ඔන්න ඊට පස්සෙ පොර මයික් එකක් ඉල්ලගෙන හැමෝටම විශ් කරලා,

“දැන් බෑන්ඩ් එක මිඩ්නයිට් මෙඩ්ලි ප්ලේ කරන අතරේ, හැමෝම ඩාන්සින් ෆ්ලෝ එකට එන්න...!” මෙන්න බොලේ මූ කට්ටියට නටන්න අඬ ගහපි....!

පස්සෙ මූ අපි දිහාවට හැරිලා,

"මල්ලි, දැන් “මිඩ්නයිට් මෙඩ්ලි”** එක ගහන්න පටන් ගන්න....! ඊට පස්සෙ බයිලා සෙෂන් එක....!" කියපි.

"මොකෑ....? මිඩ්නයිට් මෙඩ්ලි.....!" ඒ මොකක්ද බොලේ ඒ. එහෙම සින්දුවක් අපි අහලවත් නෑනේ. කට්ටිය දැන් මූනට මූන බලනවා....!

අපේ එවුන් දැන් දැන් කුටු කුටු ගානවා.....

"මොකක්ද බං මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ.....!"

"හරි හරි, අපි ඒ සින්දුව දන්නෙ නෑනේ.... අපි වෙන සින්දුවක් ගහමු.....! මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ රෑට ගහන සින්දුවක් වෙන්නැති....!”

"හරි හරි.... අපි එහෙනම් 'අම්බිලි මාමේ' ගහමු......."

අනේ ඉතින් ඉස්කෝලේ ට්‍රිප් යනකොට කියලම කට පාඩම් වෙලා තියෙන නිසා කට්ටිය දැන් අම්ම්බිලි මාමේ සින්දුව ගහනවා....."

"අම්බිලි මාමේ.....! නුඹ මොකද කරන්නේ.....! පුළුං වලා යටින් ඉඳන් එබිලා බලන්නේ.....!"

මිඩ්නයිට් මෙඩ්ලි එක බලාගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ආපු එවුනුත් කර කියා ගන්න දෙයක් නැතිව එහෙට මෙහෙට පැද්දෙනවා....

අම්බිලි මාමා ගහන අතරේ ඔන්න බොලේ මැද හිස් වටේ කෙස් තියෙන මැනේජර් කාරයත් පුපුර පුපුර ආපහු එනවා වගේ පේනවා.....

"අය්සේ මල්ලි, මම කිව්වෙ මිඩ්නයිට් මෙඩ්ලි එක ගහන්න කියලනේ....! මොනවද තමුසෙලා මේ කරන්නෙ.....!"

"අනේ අයියේ අපි ඒ සින්දුව ප්‍රැක්ටිස් කරලා නෑනේ.....! ඒකයි මේ ප්‍රැක්ටිස් කරලා තියෙන වෙන සින්දුවක් ගැහුවේ...." අපිත් පිණ්සෙණ්ඩු වෙනවා.....!

"අයිසේ එහෙනම් ‘බයිලා’ ටිකක් වත් ගහනවා.....! බලනවා මේ මිනිස්සු නටන්න බලාගෙන ඉන්නෙ.......!"

ඒ පාර තවත් හුටස් පරයක්. එහෙමට කියලා බයිලා ප්‍රැක්ටිස් කරලත් නෑ.

"මචං, මොකද කරන්නෙ......! ෆාස්ට් නමර් එකක් ගහන්න වෙයි.....! මොකක්ද ගහන්නේ.....?"

"මචන්, නැගලා යන එකක් හින්දා අපි ගහමු 'වාසනා දිනේකි මේක....!' "

ඔන්න ඉතින් කට්ටිය පටන් ගත්තා,

"වාසනා දිනේකි මේක පාමු සෙනේ තුටීන..... වාසනා දිනේකි මේක පාමු සෙනේ.....!"

වැඩි වෙලා ගහන්න හම්බ උනේ නෑ. මැනේජර් කාරයා මැදට පැනලා නැවැත්තුවා.....!

"වාසනා දිනේකි ගහන්නේ ගෙස්ට්ලට ලී කෙලි නටන්නද....?"

"අයිසේ පවු නොදී මේකෙන් බැහැලා යනවලා......! සිරිසේන අරං එනවා අර සන්ෆ්ලවර් සාලාදේ කැසට් එක....!" මැනේජර් කාරයත් කෑ ගහනවා.......!

මතක ඇති කාලෙක ඒ වගේ අසරණ කමක් මීට කලින් දැනිලා තියෙන්නෙ දහම්පාසලේ තුනේ පන්තියේ ඉන්දැද්දි බුද්ධ පූජාව හොරෙන් කාල හාමුදුරුවන්ට අහුවෙච්ච දවසේ විතරයි.

ඔන්න ඉතින් වේටර් කෙනෙක් කොහෙන්ද මන්දන්නෙ නෑ උස්සගෙන ආපු කැසට් ප්ලේයර් එකක් හයි කරලා සන්ෆ්ලවර් ලගේ සලාදේ කැසට් එක ප්ලේ කරන්න දැම්මා.

“ආච්චි උනත් මොකද හොඳට ලව් කරනව නම්....” කියලා සන්ෆ්ලවර්ස්ලා ගහද්දි අපි කට්ටියත් බලෙන් හුඹස් වලින් එලියට ඇදලා දාපු තල ගොයි ටික වගේ හෙමි හෙමිහිට එලියට ආවා.







** ඇත්තටම මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ කාලෙකට කලින් ජිප්සීස්ලා විසින් ගායනා කරපු ඉංග්‍රීසි නන්ස්ටොප් එකකට. ඒ කාලේ ඉඳලා තාමත් තර්ටි ෆස්ට් නයිට් වලදි මේ ජිප්සීස් මිඩ්නයිට් මෙඩ්ලි එක ගොඩක් වෙලාවට බෑන්ඩ් විසින් වරද්දන්නෙ නැතිවම ප්ලේ කරනවා.



පින්තූර සඳහා අනුග්‍රහය මෙතනින් http://abstract.desktopnexus.com/wallpaper/67261/

Related Posts with Thumbnails