පාටි පාටි සහ බීමේ ආදීනව

Posted by දුමී

මේ කාලේ ඉතින් උත්සව කාලෙනේ. හැම තැනම ඉතින් නත්තල් පාටියි, ඉයර් එන්ඩ් ඔෆිස් පාටියි, අර පාටියි මේ පාටියි. පාටි එනකොට එන්නෙ එක පිට එක. සමහර වෙලාවට වාන් පාටියක්වත් හොයාගන්න නැති කාලවල් එනවා. මට උනත් ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා හිටපු වීක් එන්ඩ් එකක් හොයා ගන්නවත් බැහැ. නිවාඩු දවස්වල වේලාසනින් නින්දට ගිය දවසක් නම් මතක නැහැ. හැමදාම නින්දට යනකොට පාන්දර පහ හය පහුවෙලා.

ඉතින් පාටි කිව්වහම ඔය එක එක ජාතියේ සැර බීම ජාති එහෙම නැතිනම් ඒවාට පාටියි කියල කියන්න නම් සමහරක් ඈයො කැමතිම නෑ. පිරිමින්ට නම් ඔය විස්කි, වොඩ්කා, රම්, බකාඩි වගේ ජාතිත් ගෑණු උදවියට බ්‍රැන්ඩි, වයින්, අයිරිෂ් ක්‍රීම්, ස්මර්නෝෆ් අයිස්, බකාඩි බ්‍රීසර් වගේ මෙකී නොකී ජාතිවලින් පුළු පුළුවන් විදිහට ලෑස්ති කරන්න ඕනෙ. නැතිනම් එන පාටි වලට එන කට්ටියගේ මූණු හරි නෑ.
ගොඩක් වෙලාවට හැමදාම සෙට් වෙන යාළුවො නම් දන්නවා එක එක්කෙනාගේ ප්‍රමාණවල් කොහොමද, ෆැමිලි එන්වයර්මන්ට් එකක හැසිරෙන්නෙ කොහොමද කියලා. එහෙම නැතිව හිටපු ගමන් සමහර යාළුවො, යාළුවන්ගෙ යාළුවෝ වගේ අළුත් කට්ටිය මේ වගේ පාටි වලට එක්කගෙන ආවහම සමහර වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න වෙනවා..

එක දවසක් මෙහෙට සමර් කාලෙදි අපේ කට්ටියේ යාළුවෙක්ගෙ උපන්දිනයක් සමරන්න අපි කට්ටිය එකතු උනා අපි ඉන්න පලාතෙන් ටිකක් දුර බැහැර "අල් ඒන්" කියන නගරයේ නිවාඩු නිකේතනයක. ඒකෙ කාමර දෙක තුනක විතර ටිකක් ලොකු ගෙයක් අරගෙන තමයි කට්ටිය පාටි එකට සෙට් උනේ. මේකාලේ ගොඩක් අය 'මැරීඩ් බැචුලර්ස්ලා' මොකද ඉස්කෝලවල සමර් නිවාඩු කාලේ නිසා ගොඩක් අයගේ භාර්යාවෝ සහ ළමයි ලංකාවට ගිහිල්ල තමයි හිටියේ අපේ ගම හාමිනේ සහ පොඩි එවුන් දෙන්නත් ඇතුළුව. ඒ උනාට නිවාඩු නොගිය දරු පවුල් දෙක තුනක් විතර සහ බලවත් බවලත් උදවියත් සෑහෙන්න ගණනකුත් පාටි එකට ඇවිත් හිටියා. තව මේකට ඇවිල්ල හිටියා වෙනදට අපිත් එක්ක සෙට් වෙන්නෙ නැති අබුඩාබි වල ඉඳන් ආපු අපේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙකුත්. ඔන්න ඉතින් රෑ අටට නමයට විතර පටන් ගත්ත පාටිය BBQ ද අරවද මේවද, සින්දුද , ඩාන්ස්ද මෙකී නොකී ඒවත් එක්ක බෝතල් එකින් එක හිස් වෙවී වැඩේ නියමෙටම නැගලා යනවා. ඉතින් මම අර කිව්ව අබුඩාබි යාළුවො දෙන්නත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන අනිත් අය තමන්ට වඩා ඉස්සර වේයිද දන්නෑ කියලද කොහෙද ඔරේ වක්කරගන්නවා. වැඩි වෙලාවක් යන්න කලින් එකෙක්ගෙ කණ සාක්කුවේ. අපි ඉතින් වෙනද වගේ සුපුරුදු විදිහට පුංචි එකකින් සප්පායම් වෙලා කට්ටිය වට කරගෙන සින්දු කියනවා. මෙන්න බොලේ ටික වෙලාවකින් අර කණ සාකුවේ දාගත්ත එකා සභාව මැදට ඇවිල්ලා ගැලෙව්වෙ නැතෑ උගේ කලිසම. කලිසම විතරක් නෙමෙයි ඊට යටින් තියෙන එකත් ගලවලා මූ අමු හෙලුවැල්ලෙන් පුටුවක ඉඳගත්තා. කොච්චර බලවත් උනත් අර සින්දු කිය කියා හිටපු බවලත් උදවිය සී සී කඩ දිව්වා. ඒ අස්සෙ අපේ නඩේ ගායකයා "කොටා" පැනපු ගමන් අරූගෙ සෙට් එක අත්දෙකෙන් කවර් කරගෙන. දැන් අරුත් නැගිටලා එහෙ මෙහෙ ඇවිදිනවා. අපේ කොටත් අත්දෙකෙන් අරූගේ භාණ්ඩේ කවර් කරගෙන ඌත් එක්ක ඇවිදිනවා. සීන් එක ෆුල් ඩ්‍රැමර්ටික්. අන්තිමට කාඩ් ගහ ගත්තෙ අපේ කොටා. ඒවගේ චාන්ස් එකක් ආපහු හම්බවන්නෙ නැහැනෙ කිය කියා කට්ටිය කොටාව මදි නොකියන්න බයිට් කලා. කොහොම හරි ඔන්න ඔහොමයි සමහරුන්ට පමණට වඩා රත් උනහම ඉන්න හිටින තැන අමතක වෙන්නෙ...
ඔන්න මම මේ දැන් කියන්න යන කතාව කිව්වේ අබුඩාබි වල හිටපු අපේ අසෝක අයියා. ඔය අසෝක අයියා ෆුල් වෙජිටේරියන්. ඒ කියන්නෙ කටේ පැත්ත පලාතකින්වත් බොන්නෙ නෑ. මේ කතාව ඉතින් කිව්වෙ අපිව යහ මාර්ගෙට ගන්න පරම පිරිසිදු චේතනාවෙන්ම තමයි.

ඔන්න එකමත් එක කාලෙක ගමක් ලඟ තිබුන කැලෑ පාරකින් කුකුලෙක් ගමනක් ගියාලු. ඔහොම ටික දුරක් යනකොට ඔන්න කුකුලට හම්බ වෙනවලු පාර අයිනෙ වැටිලා තියෙන අරක්කු බෝතලයක්. කුකුලත් මොකද කලේ, බෝතලේ ඇරල කට ගාවට වෙනකන් පිරිලා තිබිච්ච බෝතලෙන් මූඩියට එකක් වක්කරගෙන බිව්වලු.

"ෂාහ්... මාර ගතිනෙ කියලා කුකුලා තව මූඩියක් ගැහැව්වලු.... ඔහොම තුන්වෙනි මූඩියත් ගැහැව්වා විතරයි කුකුලා කරපට් වෙලා ඇදගෙන වැටුනලු..."

ඔය අතරෙ ඔතනින් යන්න ආවලු නරියෙක්. මෙන්න බොලේ මූ දැක්කලු අරක්කු බෝතලේකුයි, ඒ ලඟ වැටිලා ඉන්න කුකුලවයි. ඒ පාර නරියත් හිතුවලු,

"ෂාහ්... නියමයිනෙ බොලේ. අදනම් මගේ වාසනාව. බයිට් එකකුයි, බෝතලේකුයි දෙකම තියෙනවා.. කියලා කුකුලා දිහා බලාගෙන, "දෙකක් දාගෙනම බයිට් එක ගන්නවා" කියලා ලඟ ලඟ දෙකක් නවා ගත්තලු.......වැඩි වෙලා ගියේ නැහැල්ලු, නරියත් කට් වෙලා එතනම ඇදගෙන වැටුනලු.

තව ටිකකින් ඔතනින් යන්න ආවලු සිංහයෙක්. අප්පට සිරි සිංහයා දැක්කලු මේ සීන් එක. ඌ හිතුවලු,

"ෂාහ්... බෝතලේකුත් තියෙනවා, බයිට් එකකුත් තියෙනවා, මදි නොකියන්න ඩයට් එකත් තියෙනවා.." කියලා. එහෙම හිතලා ඌත් බෝතලේ කටේ තියාගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියාලු. වැඩි වෙලාවක් ගියේ නැහැල්ලු සිංහයත් එතනම කට් වෙලා ඇදගෙන වැටිලා දපලා බුදිලු.

ඔන්න ටික වෙලාවකට පස්සෙ අර මූඩි තුනක් බීපු කුකුලට සිහිය ආවලු. සිහිය ආපු ගමන් ඌ දැක්කෙ හිස් වෙච්ච බෝතලෙයි, වැටිලා ඉන්න නරියවයි සිංහයවයිලු. ඒ පාර කුකුලා හිතුවලු,

"අප්පද බොල, බෝතලයක් ගැහැව්වහම මාත් මාර වැඩ වැඩකාරයෙක්නෙ බොලේ.... නරියෙකුයි, සිංහයෙකුයි දෙන්නෙක්ටම ගහලා බිම දාලනේ..."
අපේ බ්‍රයන් අයියා මෙහෙ තියෙන ෂිපින් ඉන්ෂුවරන්ස් කැම්පැණි එකක ලොකු රස්සාවක් තමයි කරන්නෙ. මෙයා මෙහෙ ඩුබායි වලට එන්න කලින් වැඩ කරලා තියෙන්නෙ ලංකාවෙ තිබිච්ච ෂිපිං කොම්පැණියක. මේකෙ ලොක්කත් දැන් බ්‍රයන් අයියා වගේ ෆුල් සත්දන්ත පොරක්ලු. (බ්‍රයන් අයියත් පොරව ආදර්ශෙට අරගෙන තමා ඔය තියෙන ඇඟ හදා ගෙන තියෙන්නෙ. ) ඉතින් ඔය ලොක්කත් හොඳට රෑ ඉඳන් එළි වෙනකන් කොළඹ බී.ආර්.සී ක්ලබ් එකට වෙලා දින පතා හොඳට කරටි කැඩෙන්න දාන පොරක්. එහෙම බීල බීල හැමදාම මූණයි කන්දෙකයි රතු කරගෙන වැඩට එන්නෙ උදේ 10ට 11 ට විතර. පොර එනකොට අපේ බ්‍රයන් අයියල කරන්නෙ මොකද ඔය කම්පැණි එකට අලුතෙන් ජොයින් වෙච්ච කොල්ලො කෙල්ලන්ව ඉස්සරහට යවලා "ගූඩ් මෝනින් සර්..." කියලා කියවන එකලු. ලොක්කා හිතන්නෙ පරක්කු වෙලා එන හින්දා මුන් කින්ඩියට තමයි මේ ගූඩ් මෝනින් කියන්නෙ කියලා උත්තර දෙන්නෙ "ෆ..... ඕෆ්" කියලලු.

ඔන්න එක පාරක් ලොක්කා ඔෆිස් එකේ ඔක්කොටම ගෙදරට ඉන්වයිට් කරලා ක්‍රිස්ට්මස් පාටි එහෙකට. ඉතින් අපේ බ්‍රයන් අයියා ඇතුලු ඔෆිස් නඩයත් දත කට මැද ගෙන ගියාලු ලොක්කගේ ගෙදරට. ඇයි ඉතින් කෑමෙන් සහ බීමෙන් කිසිම අඩු පාඩුවක් වෙන්න විදිහක් නෑනෙ. ඔය අතර එකෙක් ගිටාර් එකකුත් උස්සගෙන ආවලු ලොක්කව ඉම්ප්‍රෙස් කරලා ලකුණු ටිකක් දාගන්න කියලා. ඉන්විටේෂන් එක ලැබිච්ච දවසෙ ඉඳන් සතියක් විතර පොර හොඳට මහන්සි වෙලා ඔය ක්‍රිස්ට්මස් කැරොල් එහෙම පුරුදු වෙලාලු එදා ආවෙ. ඉතින් කට්ටිය ගෙදර ඇවිල්ල බෙල් එක ගැහුවහම ගෙදර ඉන්න වැඩ කාරය දුවගෙන ඇවිල්ල දොර ඇරියලු. ඉතින් බ්‍රයන් අයියා අහුවලු කෝ මහත්තයා කියලා. ඉතින් වැඩ කාරය කිව්වලු , "එන්න එන්න මහත්තයා ඉන්නවා කියලා..." . කට්ටිය ඇතුල ගිහිල්ල බැලින්නම් ඔන්න බොස් ඉන්නවලු හොඳට කරටි කැඩෙන්න දාලා ක්‍රිස්ට්මස් ගහ ගාව ටෙඩී බෙයාර් කෙනෙක් වගේ තඩි බඩත් එළියට දාගෙන ෂර්ට් එකක්වත් නැතිව බිම ඉඳගෙන. කාලක් විතර ඉතුරු වෙච්ච විස්කි බෝතලේකුත් ලඟින් තියාගෙන. ඔන්න ඒ පාර අර ගිටාර් කාරයත් බොස්ගේ ලඟට ගිහිල්ලා ගිටාර් ගහන්න පටන් ගත්තලු,

"සයිලන්ට් නයිට්.... හෝලි නයිට්....." කියලා...

එක පාරටම බොස් මුගේ දිහාවට හැරිලා කියලා කිව්වලු...,

"සයිලන්ට් නයිට් ?... වට් ද ෆ...න් සයිලන්ට් නයිට්....? ගහපන් ඉතින් බමුණො ............."

අරූගේ ගිටාර් ගැහිල්ලයි පාටියයි එතනින්ම ඉවරයිලු. බ්‍රයන් අයියා ඇතුලු ඔෆිස් එකේ කට්ටිය බොසාට විශ් කරලා එලියට ඇවිල්ලා ඔන්න බලපන් ඉතින් බීමේ ආදීනව නිසා අපිට කෙලවෙන හැටි කියලා තෝසෙ කඩේකින් තෝසෙ කාලා ගෙදර ගියාලු.







෴  ඔබ සැමට පාටි වලින් පිරි සුභ නව වසරක් වේවා...! ෴

එක් සත්‍ය කතාවක් - ජීවිතයට ලද හැකි වටිනාම තෑග්ග.

Posted by දුමී

අදින් දස වසරකට පෙර හරියටම අද වගේ දවසක්. හරියටම කිව්වොත් දෙදාහ වසරේ දෙසැම්බර් විසි දෙවනිදා. කුළුඳුල් දරු ගැබ දාරාගෙන සිටි මගේ ප්‍රිය බිරිඳව කළුබෝවිල ඉස්පිරිතාලේ නැවැත්තුවේ මීට දින තුනකට පෙර. දරු ප්‍රසූතිය සඳහා ඇයට දින ලැබී තිබුනේ එළඹෙන ජනවාරි මස පළවෙනි දිනමුත් පසුගිය දින කීයපයේදි ඇය විඳි සංකූලතා සැලකිල්ලට ගනිමින් දොස්තර වරයා පැවසුවේ විගසින් රෝහල් ගතවන ලෙසයි.

රෝසපාට බෙඩ් ජැකට් එකක් සහ කහ පාට මල් වැටුනු චීත්තයකින් සැරසී සිටි ඇය අවශ්‍ය අඩුම කුඩුම, ඇය විසින්ම සති කීපයකට පෙර සිට සකස් කරගෙන සිටි බෑගයට ඔබා ගනු ලැබුවේ තඩිස්සි වූ දෙනෙතකින් කඳුළු රූරා වැටෙමින් තිබියදීය. ජීවිතයේ ප්‍රථම වරට අත්දකින්නා වූ තම ප්‍රථම දරු ප්‍රසූතිය නුදුරේ ඇය සියුම් තැති ගැනීමකට ලක්වී සිටියාය.

වායු සමීකරණය කරන ලද පුද්ගලික කාමරයක, බොත්තමක් ඔබනා සැනින් දිව එන්නට සැදී පැහැදී සිටිනා හෙදියන් සිටිනා සුව පහසු පෞද්ගලික රෝහලකට, දරු ප්‍රසූථිය සඳහා ඇය අතුලත් කරලීමට නම් මෑතකදී ජීවිතය පටන් ගත් අප දෙදෙනාගේ ආර්ථික තත්වය කෙසේවත් ඉඩ ප්‍රස්ථා නොසැලසීය. කිහිල්ලේ ගසාගත් කොට්ටයක්ද ඇයගේ සුරතද ගෙන මා පියමන් කලේ පොදු ජනී ජනයා සඳහා විවරවූ පොදු ගර්භණී වාට්ටුවකටය. පිරි ඉතිරී තිබූ රෝහලේ ගර්භණී වාට්ටුවේ ඉතිරි වූ එකදු ඇඳක් වත් නොතිබුනි. සියළුම ඇඳවල්වලම පාහේ තම දරු ප්‍රසූථිය අපේක්ෂා කරන්නාවූ මවුවරු දෙදෙනා බැගින් වාඩි වී සිටිති. සැබෑ ලෙසම පැවසුවහොත් එක් අයෙකු රාත්‍රී කාලයේදී නිදා ගන්නේ අනෙකාගේ ඇඳ පාමුළ එලා ගත් පැදුරකය. දිවා කාලයේ දෙදෙනාම එකම ඇඳ බෙදා හදා ගනිති.

මාගේ බිරිඳට එවන් පහසුකමක්වත් නොලැබුනි. ඇය හට ලැබුනේ වාට්ටුවේ කොරිඩෝරයේ තබා තිබූ බංකුවක් අසල සිමෙන්ති පොලොවේ පැදුරක් එලා ගැනීමට හැකි තරම් වූ කුඩා ඉඩ කඩකි. අප සතුව පැදුරක්ද නොතිබුනෙන් ගෙන ගිය බෙඩ් ෂීට් එකක් බිම එලාගත් මාගේ බිරිඳ එතැන දමා මා නැවත ගෙදරට දිව ගියේ ඇය සඳහා පැදුරක් ගෙන ඒම සඳහාය. තම කුළුඳුල් ගැබිණි සමයේ අවසන් තුන් දින ඇය ගෙවා දැමූයේ එලෙසින් බිම එලාගත් කර්කෂ පැදුරකය. එසේ එළඹියාවූ තෙවනි දින රාත්‍රියේ නිදන්නට ඉඩක් සොයා ගනු නොහැකිවූ තවත් ගැබිණි මාතාවක් හා තමන්ගේ පැදුරද බෙදා හදා ගැනීමට තරම් මාගේ බිරිඳ කාරුණික වී සිටියාය.

දෙසැම්බර් විසිදෙවනි දින ඇයගේ උදේ ආහාරය ඇයවෙත ලබා දුන් මා ලෙඩුන් බලන කාලය අවසානයේ දිව ගියේ කාර්යාලය වෙතය. තවමත් රැකියාවේ පරිවාස කාලය ගෙවමින් සිටි මාහට අවශ්‍ය ලෙස නිවාඩු ලබා ගැනීමක් කල නොහැකිය. වාසනාවකට එදින සෙනසුරාදාවක් වූ නිසා වැඩ කල යුතු වන්නේ 12.30 තෙක් පමණි. කෙසේ වෙතත් පෙරවරු 12ට පෙර ඔෆීසයෙන් පැන 12.30 වන විට රෝහලට පැමිණීමට හැකි විය. ඒ සමගම දැන ගන්නට ලැබුනේ උදේ වරුවේ කල පරීක්ෂණ කිහිපයක ප්‍රථිඵල මත වෛද්‍යවරයා විසින් සිසේරියන් ක්‍රමයට දරු ප්‍රසූතිය කිරීමට තීරණය කර ඇති බවකි. පස්වරු 2.30 වනවිට ශල්‍යකර්මය සිදුකිරීමට ඇය ශල්‍යාගාරය වෙත ගෙන යනවග පැවසූ වාට්ටුව භාර හෙදිය මා අත තැබුවේ තුණ්ඩු කැබැල්ලකි. එහි වූයේ ශල්‍යකර්මයෙන් පසු ඇය වෙත ලබා දිය යුතු වේදනා නාශක බෙහෙතකුත්, කපනා ලද උදරය මැසීමට අවශ්‍ය ඉඳි කට්ට සහ මැහුම් දැමීමට ගන්නා වූ විශේෂිත වූ වර්ගයේ නූල් වර්ගයකුත්ය. විගසින් මේවා රැගෙන ශල්‍යකර්මයට පෙර ශල්‍යාගාරය වෙත භාර දෙනමෙන් මා හට දන්වන ලදී.

කළුබෝවිල හන්දියේ සැලකිය යුතු ප්‍රමාණයක් බෙහෙත් සල් ඇති නිසා කලබල විය යුතු නැත. මා දිව ගියේ නගරයේ වූ එවන් බෙහෙත් සලකටය. එහි වූ සියළුම බෙහෙත් සැල්වලට ගොඩ වැදුනද අවාසනාවකට තුණ්ඩු කැබැල්ලේ වූ කිසිම බෙහෙතක්වත්, නූල් වත්, ඉඳිකටු වත් සොයා ගැනීමට නොහැකි වුනි. අයෙක් පැවසුවේ කොහුවලත් නුගේගොඩත් අතර වූ රාජ්‍ය ඔසු සලේ මේවා මිලදී ගත හැකිය යන්නය. වහා නිවසට දිව ගිය මා ගොඩ වූයේ මාගේ 14 ශ්‍රී ස්ටේෂන් වැගන් කාරයටය. සැනෙකින් ඔසු සල වෙත ඉගිල ගිය මා හට දැන ගැනීමට හැකිවූයේ මේ කිසිම දෙයක් ඔවුන් සතුවද නොමැති බවත්, ටවුන් හෝල් වල වූ ඔවුන්ගේ ප්‍රධාන ඔසු සලේ සොයා බලන ලෙසත්ය. වෙන කලයුත්තක් සිතා ගැනීමට නොහැකි වූයෙන් ගැහෙනා සිතින්ම මා කාරය හයිලෙවල් පාරට දමා ගත්තේ කොලඹ ටවුන් හෝල් වල පිහිටියා වූ රාජ්‍ය ඔසු සලේ ප්‍රධාන ශාඛාව සොයා යෑමටය.

පැවතියේ තද වාහන තදබදයකි. කිරුලපොන ප්‍රදේශයට ලඟා වූ වා පමණි මහා වාහන තද බදය අස්සේ වාහනයේ එන්ජිම නතර උනි. පිටි පස්සේ වූවන්ගේ නොනවතින නළා හඬ මැද කිහිප වරක් වැර වෑයමෙන් එන්ජිම පණ ගන්වා ගැනීමට හැකි විය. එලෙස ඉදිරියට ඇදීමට හැකිවූයේ ටික දුරක් පමණි. නැවතත් එන්ජිම නතර උනි. මා දැන් සිටින්නේ හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණය අසලය. කිහිප විටක් උත්සාහ ගත්තද මෙවර නම් එන්ජිම පණ ගැන්වුනේ නැත. පසුපස වූවන් තොර තෝංචියක් නැතිව නළා හඬවති. කරකියා ගැනීමට දෙයක් නොමැති මගේද මුළු ගතම දහඩියෙන් තෙත් වී ඇත. පාරේ ක්‍රීඩාංගණය පැත්තේ තදබදයක් නොවූ බැවින් තනියම මා වාහනය ඒ පැත්තට තල්ලු කරන්නට පටන් ගත්තෙමි. පාරේ වූ කුඩා පල්ලමකට පිවිසි වාහනය වැඩි වෙහසක් නොදරාම ටික ටික ඉදිරියට ඇදෙයි. පාර අයිනට ගැනීමට සැරසෙත්ම ප්‍රථිවිරුද්ධ පැත්තෙන් හීයට විදින්නක් මෙන් පැමිණියේ හැල්මේ රේස් දුවන තඩි ටාටා වර්ගයේ පෞද්ගලික බස් රථයකි. සියළුම වෙර වීරිය යොදා දොරේ එල්ලෙමින් ඉදිරියට ඇදෙන කාරය නවතා නොගන්නට එම බසයේ වැදී මාත් සමගම වාහනය සුණු විසුණු වී යන්නේය. කාරයට නූලක් පමණ ඈතින් වෙට්ටුවක් දමා පදික වේදිකාව උඩින්ද දමාගෙන බසය ඉදිරියටම ඇදුනි.

කෙසේ හෝ පේදිරිස් ක්‍රීඩාංගණය අයිනට වෙන්නට කාරය තල්ලු කර බොනට්ටුව ඇර බැලූ මට දෙවියන් සිහිවූයේ රේඩියේටර් බටය පුපුරා ගොස් ඇති බව දැකීමෙනි. රේඩියේටරයේ වතුර බිඳකුදු නැත. මුළු එන්ජිමම රත්වී දුම් දායි. ඇයි දෙයියනේ මේවා මේ අදම සිද්ධ වෙන්නෙ ? පේදිරිස් පිටියේ පසෙකින් හැව්ලොක් හන්දියේ වූ කඩ පේලිය වෙත දිව ගිය මා ඉල්ලා සිටියේ වතුර ගැනීමට භාජනයකුත් වතුර ගැනීමට කරාමයක් තිබෙනා තැනක් පවසන ලෙසත්ය. සැනකින් මට සොයා ගැනීමට හැකි වූයේ අලියා බීම බෝතලයකි. ඒ අසලම ඔවුන් පෙන්වුයේ කඩ පේලිය අතරේ වූ පොදු වතුර කරාමයකුත්ය. බෝතලයත් රැගෙන එතන දිව ගියත් කරුමෙක මහත. කරාමයෙන් වතුර වැගෙරෙනුයේ ඉතා සෙමින්ය. අලියා බෝතලය පිරීමට විනාඩි පහකට ආසන්න කාලයක් ගත වේ. එලෙස කිහිප විටක්ම එහා මෙහා දිව යමින් කාරයේ රේඩියේටරයට වතුර පිරෙව්වෙමි. අවසානයේදී විනාඩි විස්සකට පමණ පසු වාසනාවකට මෙන් වාහනය පණ ගැන්වීමට ගත් උත්සාහය සාර්ථක විය.

එවර නම් ටවුන් හෝල් හන්දියේ රාජ්‍ය ඔසු සල වාහන අංගනය දක්වාම පැමිණිමට හැකියාව ලැබුනේ වාසනාවකටය. එනමුත් ඔසු සල ඇතුලට දිව ගිය මාගේ සියළු බලාපොරොත්තු සුන් වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මා හට පවසන ලද්දේ වේදනා නාශකය හැර ඉඳි කටුවද නූලද ඔවුන් සතුව නොමැති බවත්ය. කරුණු විමසීමකින් දැන ගැනීමට හැකි වූයේ "යූනියන් කෙමිස්ට්" නැමති ෆාමසියේ සොයා බලන ලෙසය. පසු ගිය හෝරා කිහිපයේදි විඳින්නට සිදු වූ මේ අසාමාන්‍ය සිද්ධි පෙළ හමුවේ ගතින්ද සිතින්ද හෙම්බත් වී සිටි මා සිහිනයෙන් මෙන් දිව ගියේ මදක් දුරින් පිහිටි ඒ සඳහන් කල බෙහෙත් සැල වෙතය.

"මල්ලි, ඉඳි කට්ටනම් තියෙනවා, හැබැයි මේ නූල නම් දැන් මාස දෙකක විතර ඉඳන් අවුට් ඔෆ් ස්ටොක්. අපි විතරයි මේක ගෙන්නන්නෙ......." ඔවුන් පැවසූ දෙයින් මගේ දෙලොවම රත්විය.

මා ඉන්නා තැන වටා ලොව කැරකෙන්නාක් මෙන් මට දැනේ.... "ඉඳි කට්ට තිබුනත් නූල නැතිව මහන්නෙ කොහොමද...?" මට කිසි දෙයක් කර කියා ගැනීමට නොහැක.

දැන් වේලාව පෙරවරු දෙකද පසු වී ඇත. තව ඇත්තේ හෝරා බාගයකටත් අඩු කාලයකි. සැනෙකින් නිවස ඇමතූ මා අපේ නිවසේ නැවතී සිටි වෛද්‍ය ශිෂ්‍යාවකට කතා කර මේ සංතෑසිය පැවසූවෙමි.

"බය වෙන්න එපා, ඔයා තියෙන දේවල් ටික අරගෙන එන්න. ඉස්පිරිතාලේ ඔය දේවල් තියෙනවා. .."

විගසින් වේදනා නාශකයද, ඉඳි කට්ටද රැගෙන, වාහනය ඔසු සල රථ ගාලේ අත හැර දමා ත්‍රීවීලයකට ගොඩ වූ මා හැල්මේ රෝහල වෙත පැමිණියෙමි. ඒ වනවිට ඇයව ශල්‍යාගාරය වෙත රැගෙන ගොසිනි. වාට්ටුවෙන් පැවසූවේ රැගෙන ආ ද්‍රව්‍යය ශල්‍යාගාරයට ලබා දෙන ලෙසය. වෙව්ලන දෙපයින් වුවත් සැනකින් එදෙසට දිව ගිය මා ශල්‍යාගාරයට ඒවා ලබා දෙන විට පස්වරු දෙක පසුවී විනාඩි හතලිහක් ගතවී තිබුනි. කෙලින් සිට ගැනීමටත් නොහැකි තරමටම හෙම්බත් වී සිටි මා හති ඇරීමට පටන් ගත්තේ ශල්‍යාගාරය අසල වූ කෙටි තාප්පයකට වාරු වෙමිනි.

෴ ෴ ෴ ෴ ෴

ශල්‍යාගාරය අසල නොවිසිලිමත්ව රැඳුනු හෝරාවකට ආසන්න කාලය මා ජීවිතයේ ගෙවුනාවූ දීර්ඝතම හෝරාවයි. පසුව ට්‍රොලියක හොත් ඇය ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන ආවාය. අඩවන් දෑසින් සහ මද සිහියෙන් සිටි ඇය පසු පස මමද වාට්ටුව වෙත පැමිණියෙමි.

මද වෙලාවකට පසුව සියළු දුක් කරදර දෝමනස්සයන් ඉවතට විසි කරමින් මෙලොව මා ලද වටිනාම සම්පත මා අතට පත් වුනි. ඒ මාගේ කුළුඳුල් කිරි කැටි දියණියයි. මා පිය පදවිය ලද්දේ ඇය වෙතිනි. මා බිරිඳ මවක් වූයේ ඇය වෙතිනි. ජීවිතයේ අප දෙදෙනා ලද වටිනාම වස්තුව ඇයයි. රෙදි කඩක ඔතා මා අතට වන් ඇය තුලින් මම මාවද මගේ ආදරණීය බිරිඳවද දකිමි.

෴ ෴ ෴ ෴ ෴

දෙසැම්බර් විසි දෙක.
ජනදි ආශින්සනී
මගේ ඒ පුංචි දියණිය අද දිවියේ දස වස් පූර්ණය කරයි. දස වසරක් තුල අපගේ ජීවිතයේ මැණික් පහන වූයේ නුඹයි. නුඹ හෙට දවසෙද අපේ ජීවිත එළිය කරණු ඇති...
දෙසැම්බර් විසි දෙක.
අද මාගේද උපන්දිනයයි. පියෙකුගේ උපන්දිනයට ලැබිය හැකි වටිනාම උපන්දින තෑග්ග නුඹ මට තිලිණ වීමයි...

මගේ රත්තරන් චූටි දුවේ නුඹට සුභ උපන්දිනයක් වේවා !!

දෙක ලප්පන් සහ කෑම කතා

Posted by දුමී

මතකනේ මගේ අර අති ජාත මිත්‍රයා පයිතා කොස් හට්ටිය කාපු හැටි මම කිව්වා කාලේකට ඉස්සෙල්ලා. ඒවගේම අපේ බ්‍රයන් අයියා මස් හට්ටිය කාපු හැටි සහ බිග් මැක් ස්නැක් එක ගැන පහු ගිය පෝස්ට් එකේ දැම්මානේ. ඒවගේම අපේ මාරයා ගොයියාගෙ පෝස්ට් දහයක් ගත්තොත් 8කම තියෙන්නෙත් කෑම ගැන. මාරයා කෑම ගැන කොරන එක එක පරීක්ෂණයි, නිරීක්ෂණයි, අත්හදා බැලීමුයි ගත්තහම අපේ ගල්කිස්සෙ මහ හෝටලේ පබිලිස් ගොයියටත් වඩා දක්ෂතා පෙන්නනවානේ. මේ ඊයේ පෙරේදත් අර මොකක්ද මන්දා චයිනීස් නූඩුලුස් එකක්ද මොකක්ද ඉරටු දෙකකින්ද කොහෙද කන්න ගිහිල්ලා ඒක කටේ ඇනිලා විදුරු මහට බෙහෙත් ගන්න යක්කල ගියා කියලා අරංචියක් ආවා. හැබැයි ඌ නං කියන්නෙ තෙල් මාරු කරගන්න ගියා කියලා. අපි ඕවයේ ඇත්ත නැත්ත දන්නෙ නැහැ ඉතින් ඕං.

ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් අද මම ඉතින් හිතුවා මේ කෑම ගැන කට කහන කතාවක් ලිව්වොත් හොඳයි කියලා. ඕං එහෙනං ඈ....

ඔය කසාද බඳින්න එහෙම ඉන්න කොල්ලො අද කාලේ ගෑණු ළමයි අතරින් කෑම උයන්න එහෙම දන්න කියන අය හොය හොය කසාද බඳින්න බැළුවොත් එහෙම ලංකාවෙ ඉන්න ඔක්කොම කෙල්ලන්ට වෙන්නෙ ගෙදරට නාකි වෙන්න. වැඩිය ඕනෙ නැහැ, මගේ නගාත් ඉස්සර කුස්සිය පැත්ත පලාතෙ යන්නෙ නැහැ, අපේ අම්මා තම්බලා දෙන මොනා හරි ගිලලා දානව මිසක්. ඔය ඉඳලා හිටලා එයාට බඩගිනි හැදුනාම කරන්නෙ පාං පෙති දෙකක් අරගෙන, ඕකට සලාද කොලයක් තියලා, තක්කාලි පෙත්තක් තියලා කාලා දාන එක, හරියට හරකෙක් ගෝව ගෙඩියක් කනවා වගේ. ඉතින් මම ඒ දවස් වල කිය කිය හිටියේ මේකිට නම් රබර් බෝල ඉටි පන්දම් කන එකෙක්ව හොයලා දෙන්න වෙයි කියලා. කොහොමෙන් කොහොම හරි මගෙ යාළුවෙක්ම තමා මෙයාව බැන්දෙ. ඌට ඉතින් දෙයියන්ගෙම පිහිටයි. ඌ දැන් බලාගෙන ඉන්දැද්දි කෙට්ටු වෙනවා.

මටත් ඉතින් ඒ ආනිසංසෙම තමා අත් උනේ අපේ ගම හාමිනේව කසාද බැඳපු දවස්වල. අපරාදේ කියන්න බැහැ මොනා උනත් හැමදාම උදේ පාන්දරින්ම නැගිටලා කෑම එක හදලා දෙනවා මෙලෝ යකෙකුට කන්න බැරි උනත්. ඉතින් ඉස්සර ඔෆිස් එකේ සෙට් එකත් එක්ක කෑම කනකොට උං ඉතින් ඉල්ලනවා, අපිටත් දීපන්කෝ බං අළුත් මනමාලි උයපු ව්‍යාංජන ටිකක් එහෙම කියලා. ඉතින් නොදී ඉන්නයෑ. ඔන්න ඒවා කාපු උන්ට දුක හිතිලා පහු වෙනිදා ඉඳං වැඩි පුර හොදි ව්‍යාංජන ගෙනැල්ලා මට දෙනවා. ඔන්න එහෙමයි ඒ කාලෙ පන ණළ රැක ගත්තෙ.

ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට සමහරු බඳින්න කලින් කුකරි ක්ලාස් යනවා. හැබැයි බඳින්න කලින් කුකරි ක්ලාස් යනවා කියලා ගෙදරට බොරු කියලා මල් කඩන්න ගිය කට්ටියට තමා බැන්ඳට පස්සෙ කෙලවෙන්නෙ. ඔන්න ඒවගේ සිද්දියකට මුහුන පාන්න වෙච්චි මගේ යාළුවෙක් බඳින්න කලින් අත පහු වෙච්ච නිසා බැන්ඳට පස්සෙ වයිෆ්ව කුකරි ක්ලාස් එකකට දැම්මා. දවසක් මම මේ යාළුවගේ ගෙදර යනකොට ගෙදර ඉස්සරහා දොර හුළඟට වැහෙනවට අඩයක් විදිහට තියලා තිබුනා ලොකු දුඹුරු පාට පොලිෂ් කරපු හරිම හරි ලස්සන ලොකු ගලක්. ඉතින් මමත් උගෙන් ඇහුවා මචං මේක නං මාර ලස්සනයි කොහෙන්ද හොයා ගත්තෙ කියලා. මෙන්න ඒපා පාර ඌ කියනවා,

"මචං මේ අපේ කාන්ති කුකරි ක්ලාස් ගිහිල්ලා ඉගෙන ගෙන හදපු කිරි ටොපි..............." කියලා.

ඉතින් ඕක අහලා මම බඩ අල්ලගෙන හිනා වෙන ගමන් මූ කියනවා,

"මචං හොඳ වෙලාවට ඕක කන්න කලින් ගල් උනේ. ඒ උනාට මෙයා ගිය සතියේ වැලි තලප හැදුවා... ඊට පස්සෙ දොස්තර ලඟට ගිහිල්ලා තමයි මගෙ කටේ එකට ඇලවිච්ච හකු දෙක ගලව ගත්තෙ කියලා........"

මට ආරංචි විදිහට කාන්ති දැන් ඒ පැත්තෙම කුකරි ක්ලාස් එකක් දාගෙන ළමයින්ට උගන්නනවා.

පහු ගිය කාලේ අපේ ගම හාමිනේ පොඩි එවුන්ගේ නිවාඩුවට ලංකාවට ගොහිල්ල හිටපු කාලෙදි තමයි අපේ දුකා මහත්තයි, නදීශා නෝනයි අපේ ගෙවල් පැත්තෙ ඉස්සිස්සෙල්ලාම සැපත් උනේ. ඔන්න ඉතින් මේ දෙන්න දෙමහල්ලෝ හිස් අතින් එන්න හොඳ නෑනෙ කියලා හිතිලද කොහෙද අපේ ගෙදර අරගෙන එන්න කියල වටලප්පමක් හදලා. ඔන්න ඉස්සෙලාම හදපු වටලප්පම මොකක්ද මන්දා අකරතැබ්බයක් වෙලා උතුරලා ගිහිල්ලා කියලා තමයි දුකා නං කියන්නෙ. ඉතින් දෙවනි පාරත් මේ ගොල්ලො ට්‍රයි කරලා වටලප්පමක් හදලා ගෙනාවා. වටලප්පම සුදුම සුදු පාටයි ආසාවෙ බැහැ. කජු කෑලිත් එහෙං මෙහෙං තියෙනවා. පොඩ්ඩක් විතර පැනිත් රහයි.

ඉතින් එදා අපේ ගෙදර ආපු හැමෝටම වගේ මේක කන්න ලෝබ හිතිච්ච හින්දද කොහෙද ඕක එහෙම්මම ෆ්‍රිජ් එකට ගියා. ඊට පස්සෙ වෙනින් දවසක සෙට් වෙන්න කියලා මගෙ යාළුවෙක් අපේ ගෙදර ආවා. මම පොඩ්ඩක් එහා මෙහා වෙච්ච වෙලාවක ඌ මේකෙන් ටිකක් අරගෙන බයිට් එකට. ඌ කියනවා,

"මචං අර උඹේ ෆ්‍රිජ් එකේ තිබිච්ච ඔම්ලට් එකට සීනි ටිකක් වැඩියි වගේ... එක නිසා මං ගම්මිරිස් කුඩු ටිකක් ඉහගත්තා, දැන්නම් නියමයි......" කියලා.

ඒ පාර මම ඔළුවෙ අත ගහගෙන කිවා, "යකෝ, ඔය ඔම්ලට් නෙමෙයි බං වටලප්පන් වටලප්පන්..." කියලා.

ඒ පාර ඌ කියනවා, "ඇත්තද මචං, මගේ ජීවිතේට පලවෙනි පාරට මම වටලප්පන් එකක් එක්ක බිව්වේ.........." කියලා.

ඔන්න ඊට පස්සෙ දවසක ඕකෙං ඉතුරුවෙච්ච ටික ෆ්‍රිජ් එකේ නිකං අසරණ වෙලා ඉන්නවා වගේ දැකලා මම මොකද කලේ ගෙදර තිබුනු කිතුල් පැණි ටිකක් වක්කරගෙන කෑවා..... අප්පට බොල... මේ තියෙන්නෙ නියමෙට.... සිරාම සිරා.

ඉතින් අපේ මාරයා විතරක් නෙමෙයි ඔන්න ඔහොමයි අපේ දුකා අළුත් කෑමක් හොයා ගත්තෙ. ගම්මිරිස් ටිකක් ඉහ ගත්තහම ඔම්ලට්, පැණි ටිකක් ඉහල ගත්තම වටලප්පන්.

ඉතින් මොකක්ද මේකට දාන නම,

"දෙක ලප්පන්....!!!!!"

බ්‍රයන් ද අල් මේදා ?

Posted by දුමී

හරියටම දැනට අවුරුදු දෙකකට විතර කලින් අර 'අපි නොදන්න Live' එකේ පොඩි මල්ලිවයි, චූටි මල්ලිවයි මෙහෙට ගෙන්නුවා අපි අවුරුදු පතා කරන පැදුරු සාජ්ජේ ප්‍රධාන අමුත්තෝ විදිහට. ඔය ඉතින් යමින් ගමන දඹුල්ලට ආපු එකේ තල ගොයෙකුත් මරාගෙනම යමහන් කියලා හිතලද කොහෙද උන් දෙන්නා මෙහෙ ඉඳල "අපි නොදන්න Live" ප්‍රෝග්‍රෑම් එකකුත් රෙකෝඩ් කරගෙන තමයි ඕං ආපහු ලංකාවට ගියේ. ඔය පල්ලෙහා දාල තියෙන වීඩියෝ එක ඒ රෙකෝඩ් කරපු එපිසෝඩ් එකේ කෑල්ලක්. මේක කලින් බලලා තිබුනත් ආපහු බලන්න, මොකද ඕකෙ ඉන්න ප්‍රධාන නළුවා තමයි අද කට කහන කතාවෙත් ප්‍රධාන නළුවා.





ඔන්න ඉතින් ඔය කතාවෙ අල් මේදා විදිහට රඟ පාන්නෙ "අපේ කට්ටිය" ගැන්සියේ ඉන්න අපේ "ගොවිගම ලංසියා" නොහොත් වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රයන් අයියා . අපේ ගෙවල් වල එනකොට ඉතින් ඔය රට ඉඳි කූඩයක්, අල් මාරි බිස්කට් පෙට්ටියක් වගේ දේවල් ගේන එක අපේ අල් මේදා නොහොත් බ්‍රයන් අයියාගේ නොවරදින සිරිතක්. අනික පේනවනේ, අපේ බ්‍රයන් අයියා ඉතින් හරිම හීන්දෑරි කෙට්ටු ළමයනේ. ශරීර සුවතාවය ගැන තමයි හැම තිස්සේම හිතන්නෙ. ඉතින් හැමදාම හවසට ජොගින් පාරක් දාන එක නම් නවත්තන්නෙම නෑ. පහුගිය දොහේ නම් හිටියේ සාජා වල නගර සභාවෙන් කොන්ත්‍රාත්තුවක් එහෙමත් අරගෙන තමයි. ඒ තමා සාජා කෝනීෂ් එකට අළුතෙන් දාපු මැටි පාර තලන්න. ඒක සාර්ථකව ඉවර කරපු හින්ද දැන් ඩුබායි නගර සභාවෙන් ඩුබායි පැත්තේ අළුත් කොන්ත්‍රාත්තුවක් අරගෙන කියල තමයි ඕං ආරංචිය.

මම කිව්වනේ අපේ බ්‍රයන් අයියා හරි හෙල්ත් කොන්ෂස් කියලා. ඉතින් පොර ෆුල් ට්‍රයි ඔය පපුව හරියේ අර බැට්‍රි කෑලි තුන හතරක් හදා ගන්න. ඉතින් පොර ජිම් එකකට එහෙම බැඳිලා ෆුල් එක්සයිස් පාරක් දාන්න සෙට් උනාලු. ඉතින් ඕකෙ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කාරයත් පොරට හොඳ ෂැඩූල් එකකුත් හදලා දුන්නලු. කාලෙකට පස්සෙත් බ්‍රයන් අයියා කිසි වෙනසක් නැහැ, හිටියා වගේමලු. ජිම් එකේ තියෙන මැෂිනුත් හැමදාම රෙපෙයාර් කරන්න වෙනවලු. ඔන්න ඉතින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් ඇහුවලු අපේ බ්‍රයන් අයියාගෙන්,

"මිස්ටර් බ්‍රයන්, ඔයාගේ ඊටින් හැබිට්ස් එහෙම කොහොමද ? " කියලා.

ඉතින් බ්‍රයන් අයියා කියනවලු,

"මම හොඳට බ්‍රෙක්ෆස්ට් ගන්නවා, දවල්ට ඉතින් ඔය බුරියානි එකක් හරි, ඉන්දියන් තාලි එකක් වගේ කනවා, ඊට පස්සෙ ඩිනර් එකත් වරද්දන්නෙ නැහැ . . . තව ගොඩක් වෙලාවට වැඩ ඇරිලා ගෙදර යන ගමන් පොඩි ස්නැක් එකකුත් ගන්නවා . . ." කියලා.

"මොන වගේ ස්නැක් එකක්ද ගෙදර යන ගමන් ගන්නෙ .. ?" ජිම් ඉන්ස්ට්‍රක්ටරුත් දැන් අහනවලු.

"ආහ් ස්නැක් එකද ? හැමදාම වගේ ඉතින් ඔය මැක් ඩොනල්ඩ්ස් එකෙන් බිග් මැක් දෙකක් විතර තමයි කන්නෙ, ඩිනර් වලට කලින්. . . ."



ඊට පස්සෙ අපිට ආරංචිය නම් ආවේ අපේ බ්‍රයන් අයියාව ජිම් එකෙන් අස් කරලා දාලා කියලයි.



ඔන්න ඉතින් ඔය සිද්ධියෙන් පස්සෙ පපුවට බැට්‍රි කෑලි ටිකක් දාගන්න තිබුනු චාන්ස් එකත් නැතිවෙච්ච නිසා බ්‍රයන් අයියා හොඳට හිතට අරගෙන ෆුල් ඩයටින් ප්‍රෝග්‍රෑම් එකකට සෙට් උනා. හැම සිකුරාදම (මෙහෙ ඉතින් නිවාඩු දවසනේ) අපේ බ්‍රයන් අයියා සහ මිතුරු කැළ ක්‍රිකට් ගහනවා. ඔන්න එදාත් බ්‍රයන් අයියත් මැච් එකට ආවලු කෙසෙල් ගෙඩි දෙකකුත් අරගෙන.

හැමෝටම පෙන්න පෙන්න පොර කියනවා,

"මල්ලි, අයි හැඩ් ඔන්ලි සීරියල්ස් ෆො මයි බ්‍රෙක්ෆස්ට් ටුඩේ . . ඇන්ඩ් දීස් ටූ බනානාස් ආර් ෆො මයි ලන්ච්...."
(malli, I had only cereals for my breakfast today. . . And these two bananas are for my lunch . )

සාමාන්‍යයෙන් සිකුරාදට ක්‍රිකට් ගහලා රෑට කට්ටිය කාගෙ හරි ගෙදරක ඉතින් සෙට් වෙනවා මොකද ගොඩක් අයට සෙනසුරාදත් නිවාඩු නිසා. ඉතින් එදත් කට්ටිය මැච් එකෙන් පස්සෙ එහෙම සෙට් වෙලා. බ්‍රයන් අයියත් එදා සෙට් වෙන්න ඇවිල්ලා. ඔන්න ඉතින් කට්ටිය බයිට් එකකුත් හදලා තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා, එක කට්ටියක් වොෂ් එකක් දාගෙන එන්නම් කියලා ගිහිල්ලා, තව කට්ටියක් අඩුම කුඩුම ගේන්න කියලා ග්‍රොසරියකට ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ කට්ටිය සෙට් වෙන්න යන කොට එකෙක් මල පන්නගෙන කෑගනවා...

"කවුද බං මේ බයිට් එකට හදපු ඌරු මස් කිලෝ දෙක කෑවෙ ?"



ඔය කැෂුවල් සෙට් වීම් වලදි එහෙම බ්‍රයන් අයියා ගොඩක් වෙලාවට අඳින්නෙ කළු කොට කලිසමක් සහ කළුම කලු ටී ෂර්ට් එකක් තමයි මොකද එතකොට හරිම සෙක්සි පාටයි කියලා. ඉතින් දවසක් ඔයවගේ කට්ටිය සෙට් වෙලා ඉවර වෙලා පාන්දර ජාමේ ගෙවල් කරා ගමන් කරන විට සෙට් වෙච්ච එක්කෙනෙක්ගේ කාර් එක පාරට දානවත් එක්කම පාරෙ ගිය තව කාර් එකක් එක්ක හැප්පිලා. ඉතින් ඒ හැප්පිච්ච කාර් එකේ ඉඳල තියෙන්නෙ ඔය ඊජිප්ට්, ලෙබනීස් වගේ ජාතියක පොරක්. කොහොමත් මෙහෙට ඇවිල්ලා ඉන්න ඔය වගේ වෙන අරාබි රටවල් වල උන් මහම මහා චාරයක් නැති නසරාණි උන්නේ. ඔන්න දැන් මූත් ෆුල් සද්දේ දානවලු හැප්පිච්ච එකට. දන්නවානේ, මෙහෙ බීලා ගිහිල්ලා ඔය වගේ කේස් එකක් දාගත්තහම ඉතින් සොරිම තමයි. තට්ටෙ ගාල මාස හයක් කූරු ගන්නලවම තමයි ඩිපෝට් කරන්නෙ. ඒත් එක්කම ඔතනට ඇවිල්ලා තියෙන්නෙ බ්‍රයන් අයියා. පොර එක පාරටම බ්‍රාස් ගාල බ්‍රේක් පාරක් ගහලා වාහනය නවත්තල එලියට බැස්සලු. එලියට බැස්සට මොකද පොරටත් එක කකුලක් උස්සලා අනිත් කකුල තියාගන්න බැරි විදිහට වැදිලා. එහෙම එනකොට අත්දෙකත් දෙපැත්තට විහිදුවගෙන, "මල්ලී, වට් ඊස් ද ප්‍රොබ්ලම්.....?" කියලා මහ හයීන් කෑගහගෙන ඇවිල්ලා තියෙන්නෙ. මෙන්න යකෝ මෙච්චර වෙලා අර සද්දේ දාගෙන හිටපු එකා ගාල කඩාගත්ත හරකෙක් වගේ දඩ බඩ ගාලා උගේ කාර් එකට නැගල ලෑල්ලටම පාගලා ඇරලා ගියාලු. ඔන්න ඉතින් බ්‍රයන් අයියා අර කාර් එක හප්ප ගත්ත යාළුවගෙන් ඇහුවාලු,

"මොකද මල්ලි අර අරූට උනේ ?"

එතකොට කාර් එක හප්ප ගත්ත එකා කිව්වලු,

"බ්‍රයන් අයියා, මම හිතන්නෙ උන්ගෙ රටෙත් අපේ රටේ වගේ මහසෝනා, රීරි යකා වගේ යක්කු ඇති . . . "



එක දවසක් අපේ බ්‍රයන් අයියට ලොකු අකරතැබ්බයක් වෙලා. වෙනදා වගේ වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා බාත් රූම් එකට ගිහිල්ල තියෙන්නෙ පොඩි වොෂ් එකක් එහෙම දාගන්න කියලා. ඉතින් ඔහොම වොෂ් දදා ඉන්නකොට කරුමෙට ඇඟේ ගගා හිටපු සබන් කෑල්ල ලිස්සලා බිමට වැටිලා. ඉතින් ඔන්න පොර ඕක අහුලන්න කියලා බිමට නැවෙනකොටම කකුලක් ලිස්සල ගිහිල්ල දඩාං ගාල පොලොවට පත බෑවිලා. වැටිල තියෙන්නෙ උඩු බැලි අතට කොමඩ් එකයි සින්ක් එකයි අතරට. වැටෙන්න යනකොට කලබලේට ෂවර් කර්ටන් එකේ එල්ලිච්ච හින්දා එකත් කැඩිල ඒක වැදිල බිත්තියේ ගහලා තිබිච්ච රාක්කයි, එක එක ජාතියේ බඩුයි දැන් දඩං බඩං ගගා බිමට වැටෙනවා. බ්‍රයන් අයිය වැටිල ටික වෙලාවක් යනකනුත් අර බඩු හරියට මේ දැන් කවුරු හරි වැට්ටුවා වගේ එක එක සද්ද දාගෙන බිමට වැටෙනවා. ඔන්න ටික වෙලාවක් ගියාට පස්සෙ ඔක්කොම සද්ද ටික ඉවර උනහම බ්‍රයන් අයියා අත පය හොලෝලා, ඔළුව එහෙම අතගාල බැලුවලු මොනව හරි ඩැමේච්ද කියලා. ඒත් ඔක්කොම කෑලි ටික තිතට වැඩ හින්ද ඔන්න අමාරුවෙන් නැගිට ගත්තලු. දැන් පොරට මාර හැපීලු මොකද එච්චර තදේට වැටිලත් අතක් පයක් නොකැඩි බේරිච්ච එකට. ඒ උනාට වැටිච්ච එකේ රඟේ දැනිලා තියෙන්නෙ පහුවෙනිදා තමයි.

ඔන්න ඉතින් බ්‍රයන් අයියත් වෙනද වගේ සුපුරුදු විදිහට පහුවෙනිදා හවස ගෙදර ඇවිල්ල ජොගින් පාරක් දාන්න කියලා පාරට බැස්සලු. ඉතින් ජොගින් එක ඉවර වෙලා පොර ආපහු අපාර්ට්මන්ට් බිල්ඩින්ග් එකේ ලොබියට එනකොට බ්‍රයන් අයියාට හම්බ උනාලු බ්‍රයන් අයියාගේ අපාර්ට්මෙන්ට් එකට හරියටම යට අපාර්ට්මන්ට් එකේ ඉන්න නෝනව. එයාගෙ නම මිසිස් ඇන්ඩර්සන්. එයාගෙ මහත්තය තමයි බ්‍රයන් අයියාගේ ජොගින් පාර්ට්නර්. ඔන්න ඉතින් බ්‍රයන් අයියා ඇහුවලු,

"හෙලෝ, ගූඩ් ඊව්නින් මිසිස් ඇන්ඩර්සන්, කෝ මේ මිස්ටර් ඇන්ඩර්සන්. ඇයි අද ජොගින් ආවෙ නැත්තෙ ?"

"අනේ බලන්නකෝ මිස්ටර් බ්‍රයන්, ඊයේ එයා බාත් රූම් එකේ ඉන්නකොට බාත් රූම් එකේ සීලිම ඔළුවට කඩාගෙන වැටිලා ඉස්පිරිතාලෙනෙ . . ."

බ්‍රයන් අයියා ඉක්මනට එතනින් මාරු වෙලා ගියාලු.






ප.ලි, අර "අපි නොදන්න ලයිව්" එකේ අපේ ගම හාමිනෙත් රඟ පෑවා. මේ තියෙන්නෙ ඒ කෑල්ල. ඔය පොඩි මල්ලිත් එක්ක "අපි ඔටුවෝ" එකේ ඉන්නෙ එයා තමයි. (අර අන්තිමට චූටි මල්ලියි පොඩි මල්ලියි එක්ක නටන්නෙ වෙන එක්කෙනෙක් හොඳේ ! )

ඉන්දියන් සයිස්

Posted by දුමී

ගොඩක් වෙලාවට මෙහෙ වැඩ කරන ලංකාවෙ එවුන්ට ඉන්දියන් කාරයන්ව දිරවන්නෙම නෑනෙ. ඒවගේම තමයි ඉන්දියන් කාරයන්ටත් ලංකාවෙ අපිව ගොඩක් වෙලාවට දිරවන්නෙ නැහැ. ඉතින් ඔය සීතල යුද්දේ හැමදාම වගේ මෙහෙ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට උන් අපිට මඩ ගහන ඒවයි අපි උන්ට මඩ ගහන එකෙයි කෙලවරක් නැහැ. කොහොමෙන් කොහොම හරි මේ රාම රාවණා සීතල යුද්දේ කෙරීගෙන යන අතරෙදි රාවණා පාර්ශවය, ඒ කියන්නෙ මෙන්න මේ අපිට මරුම මරු සමූහ ඝාතක අවියක් හම්බ උනා මීට අවුරුදු කීපයකට කලින්. ඒ අවිය අපිට දුන්නේ බී.බී.සී නිවුස් අඩවියෙන්. මෙන්න මේ තියෙන්නෙ එන්න ඒ මාරක සමූහ ඝාතක අවිය තමා. ඉතින් අපිට මේ අවිය ලැබිච්ච දවසෙ ඉඳන් යුද්දෙන් රාවණා දිනුම්. කොටින්ම කියනවනම් හනුමත් වලිගෙ පස්ස පැත්තෙ ගහගෙන හැංගිලා ඉන්නවා එළියට බහින්න ලැජ්ජාවෙ.

ඒ නිව්ස් එකේ සාරංශය ගත්තොතින්, අද භාවිතයේ තියෙන කොන්ඩම් ගොඩක් ඉන්දියන් කාරයන්ට ලොකු වැඩියි. ඉතින් හරිම ජංජාලයයි. ආයුධයට වඩා ලොකු ආවරණ පාවිච්චි කරනකොට ආවරණය පළුදු වෙලා හරිම හරි ජංජාලයක් තමයි වෙනවා කියන්නෙ.

ඉතින් ඔය උඩ දාල තියෙන නිව්ස් එක කියෙව්වනම් දකියි එක්තරා සඟරාවක කතෘ තුමෙක් තමන්ගේ සහෝදර රට වැසියන්ගේ හිත සනසවන්න කියල තියෙනවා,

“ප්‍රමාණය නෙමෙයි, කරන කාරය්‍යයයි වැදගත්. අපේ රටේ ජනගහනය දිහා බැළුවහම අපි හොඳට සාර්ථක වෙලා බව පේනවානෙ . . . "

හරි හරි, පේනවා පේනවා . . හොඳට පේනවා මුන්ගේ ජනගහනය වැඩි වෙන්න හේතුව. තමන්ගේ තරමට වඩා ලොකු ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න ගිහිල්ලා ඉරාගත්ත හින්ද තමයි .

මේ හේතුව නිසා කොහොමෙන් කොහොම හරි දැන් ඔන්න අළුතෙන් සයිස් එකක් හඳුන්වල දීල තියෙනවා. දැන් තියෙන සයිස් මෙන්න මෙහෙමයි.

"ලොකු - (Big)", "මධ්‍යම - (Medium)" , "පොඩි - (Small)" සහ "ඉන්දියන් - (Indian)"

මෙන්න මේ අස්සෙ අපේ එකෙක් තව කතාවක් හදල මේ අසරණ අසල්වැසියන්ට. ඒකත් මේ වගේ ආරක්ෂිත ක්‍රම ගැනම කතාවක් තමයි, කතාව යන්නෙ මෙන්න මෙහෙම.

ඔන්න අළුත බැඳපු අපේ අල්ලපු රටේ සහෝදරයෙක් යනවා මෙහෙ තියෙන ෆාමසි එකකට. ජීවිතේ පලවෙනි පාරට තමයි ඉතින් මේ ඇත්තො මේ ආරක්ෂිත උපක්‍රමයක් පාවිච්චි කරන්න යන්නෙ. ඔන්න මෑනුත් ගිහිල්ල ෆාමසී එකේ ඉන්න පොරගෙන් බොහොම ලැජ්ජාවෙන් ඉල්ලනවා ආරක්ෂිත ආවරණයක් දෙන්න කියලා. ෆාමසී එකේ එකත් ඉතින් තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකකින් එකක් දෙනවා. අපේ අසල්වැසියත් ඉතින් මේක අරගෙන යනවා. පහුවෙනිදත් බොලේ මෑන් ආපහු ෆාමසි එකේ. මූනත් එච්චර හොඳ නැහැ. ඉතින් ෆාමසි එකේ එකා අහනවා මොකද උනේ කියලා. ඔන්න අපේ අසල්වසි සහෝදරයත් හිමිහිට කියනවා, "ඊයෙ ගත්ත එක ලොකු වැඩියි . . ඊට වඩා පුන්චි එකක් දෙන්න" කියලා. ඔන්න ෆාමසි එකේ පොරත් ඊයෙ දුන්නට වඩා පොඩි ආරක්ෂිත ආවරණයක් දීල යවනවා. ඔන්න බොලේ ඊට පහුවෙනිදත් අපේ අල්ලපු රටේ පොර ඇවිත් කියනවා ඒකත් ලොකු වැඩියි ඊට වඩා පොඩි එකක් ඕනෙ කියලා. ෆාමසි එකේ එකත් ඔන්න හොයල බලලා මිනිහට එකක් තෝරල දෙනවා. හත් ඉලව්වයි, ඔන්න බොලේ ඊට පහු වෙනිදත් අපේ වීරය ෆාමසි එකේ, මූනත් ඤොරොක් කරගෙන. ඉතින් පොර අහන්න කියන්නත් කලින්ම ෆාමසී එකේ පොර බෙහෙත් රාක්කෙ අවුස්සලා ටිකක් දිග පෙටිටියක් අරගෙන පොරගේ අතේ තියන ගමන් කියනවා “මල්ලි මෙන්න මේක පාවිච්චි කරන්න. ඔන්න ඕක ඇරිල යයි” කියලා.

පෙට්ටියේ ගහලා තියෙනවලු මෙහෙම. Clearasil

මාත් එක්කම දැන් මගේ ටීම් එකේ වැඩ කරන මලබාර් යාළුවෙක් කියපු කතාවක් මේක. එයාගේ යාළුවෙක් හිටියලු ඉන්දියාව පොඩි පහේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන . සෞඛ්‍ය ප්‍රශ්න මොකක්ද කියනවා නම් මෑන් ඔය ‘නම්බර් වන්’ වැඩේ කරාට පස්සෙ ටික වෙලාවක් යනකන් පොඩ්ඩ පොඩ්ඩ ටැප් එක ලීක් වෙන ලෙඩක් තිබිලා තියෙනවා. ඉතින් මේක කාටවත් කිය කිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර දොස්තර කෙනෙක් ලඟට ගියහම දොස්තර කියලා තියෙන්නෙ මේකට ප්‍රථිකර්මයක් විදිහට කොන්ඩම් එකක් දාගෙන ඉන්න කියලා. ඉතින් යාළුවත් දැන් මේ ප්‍රථිකර්මේ අත්හදා බැළුවහම ඉතින් වැඩේ හරිම සාර්ථකයි. ඉතින් පොරත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතාගෙන දැන් මේ ප්‍රථිකර්මය හොරෙන්ම කරගෙන ඉන්නවලු.ඔන්න දවසක් පොර ගෙදර ඇවිල්ල තියෙන්නෙ කරටි කැඩෙන්න බීලා. (ඔව් ඔව් එහෙත් ඔය සැර ජාති යහමෙට තියෙනවා ) කොච්චර බීලද කියනවනන් පොර ගෙදර ආපු හැටියෙම ඇඳගෙන ඉන්න ඇඳුනුත් එක්කම ඇඳේ හාන්සිලු. ඉතින් ඔන්න යාළුවගේ ප්‍රිය භාර්යාව ඇවිල්ල ඔන්න මෙයාගේ ඇඳුම් මාරු කරනවලු. ගෑණි කලිසම මාරු කරන්න යනකොට, හුටා මෙන්න යකෝ මූ ඉන්නවලු කොන්ඩම් එකක් දාගෙන. එතනින් පස්සෙ මූට සිහිය එනකොට එනකොට මූගේ ඔළුවට උඩින් ෆෑන් එකක් කැරකෙනවා. බලනකොට මූ ඉන්නෙ ඉස්පිරිතාලේ.

මම මේ දැන් කියන්න යන කතාව නම් තිබුනේ දැනට ටික කාලෙකට කලින් පත්තරේක. හරියටම මතක නැහැ මේක ඇත්ත කතාවක්ද නැද්ද කියලා. ඔන්න ටික කාලෙකට ඉස්සර ලංකාවෙ තිබුනනේ මේ පවුල් සංවිධාන වැඩ සටහනක්. ඉතින් මේකට අනුව ඔය ඈත පලාත්වල ගොවිතැනින් බතින් ජීවත්වෙන හද්දා පිටිසර මිනිස්සුන්ව දැනුවත් කිරීමකදි ගමේ ඉන්න ගොවියො, ගෙවිලියො ඔක්කෝටම ඉස්පිරිතාලෙ වැඩමුළුවක් පවත්වලා තියෙනවා මේ පවුල් සංවිධාන ක්‍රම සම්භන්ධව. මොකද මේ පැත්තෙ මිනිස්සුන්ට මේ ක්‍රම දන්නෙ නැති නිසා අවුරුද්දකට එක ගානේ ළමයි හම්බ වෙනවලු. ඉතින් ඉස් ඉස්සෙල්ලාම මේගොල්ලන්ට මේ ආරක්ෂිත කොපු ගැන හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවත් මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා පෙන්නල දීල තියෙන්නෙ කොසු මිටක් උපයෝගී කරගෙන මේ ආරක්ෂිත කොපුව එකට දාල. නැතුව ඉතින් මේක වෙන පෙන්නල දෙන්න විදිහක් නෑනෙ. ඔන්න ඉතින් කට්ටිය හරිම උන්නන්දුවකින් මේක ඉගෙන ගත්තට පස්සෙ වැඩමුළුව අවසන් කරලා තියෙන්නෙ ආපු හැමෝටම නොමිලේ මේවා බෙදලත් දීල ඉවර වෙලා තමයි. ඔන්න වැඩමුළුව ඉවර වෙලා මාස කීපයකට පස්සෙ මේකට සහභාගි වෙච්ච දැනටත් ළමයි පහක් හයක් ඉන්න අම්ම කෙනෙක් ආපහු එනවලු ක්ලිනික් එකට ලොකු බඩ ගෙඩියකුත් උස්සගෙන.ඔන්න පවුල් සෞඛ්‍ය සේවිකාවත් දැන් අහනවලු,

"මොකද අම්මේ මේ ආපහු ? අර අපි දීපු ඒව පාවිච්චි කලේ නැත්තෙ මොකද ?"

"අනේ නෝනේ, ඒවා පාවිච්චි කරා තමයි . . .ඒත් පේනවනෙ ඒවයින් වැඩක් උනේ නැහැනේ "

"එහෙම කොහොමද වෙන්නෙ ? හරියට පාවිච්චි කරානම් මෙහෙම වෙන්න විදිහක් නෑනේ . . .?"

"අනේ මගේ මිනිහා පල්ලා නෝනේ, ඕනෙනම් මේ මිනිහගෙනුත් අහල බලන්න. අර නෝනෙ කියල දීපු විදිහට ගෙදර කොහු මිටට අර රබර් එක දාල තමයි කලේ . . . ."

ඉන්දියාවෙ කෙසේ වෙතත් ඔන්න ඔහොමයිලු ලංකාවෙ ජන ගහනය වැඩි වෙන්නෙ . . . . !

මගුල් කතා

Posted by දුමී

ඔය ඉතින් කර දඬු උස් මහත් වෙච්චි දූ දරුවො ඉන්න අම්මල තාත්තලගේ සිහිනය තමයි තමන්ගේ දුවට හරි පුතාට හරි කලට වේලාවට ගැලපෙන තැනකින් කටයුත්තක් හොයලා බලලා කරලා දෙන එක. ඉතින් බලාගෙන යනකොට මේක ලේසි පහසු වැඩක් නම් නෙමෙයිනේ. මේක අර පවුල් ජීවිතේ ගත කරනවාටත් වඩා අමාරු කෙලියක්. දුවට බෑනා කෙනෙක් හොයනවනම් කොච්චරනම් කියල දේවල් නම් හොයලා බලන්න ඕනෙද ? ඔය අතරින් "සුරා සූදුවෙන් සියලු දුසිරිතෙන් තොර” , "ස්ථිර රැකියාවැති", "වාහනයක් හිමි", "ගෙයක් දොරක්, ඉඩමක් කඩමක් හිමි" මෙකී නොකී දහසක් දේවල් ඉස්සරහට එනවනේ. දැනට අවුරුදු 30කට 40කට කලින්නම් "කලිසන් අඳිනවද" කියලත් හොයලා බලනවා. අපිටනම් දැන් හිතෙයි කලිසං අඳින්නෙ නැතිව නැතිනම් යකෝ හෙළුවෙං ඉන්නවයෑ කියලා. ඒත් ඉස්සර ගොඩක් අය ඇන්දේ රෙද්දයි බැනියමයිනෙ. එහෙමත් එක්කෙනෙක් තමයි කලිසමක් ඇන්දේ. තව ඒකාලේ ඔය "ආණ්ඩුවේ රස්සාවක් කරනවද" (දැන්නම් ආණ්ඩුවේ රස්සාවක් කරනවා කිව්වොත් ගෑනියෙක් ගන්න ලේසි නෑ ) වගේ කාරණාත් හොයල බලනවා කියලා මම අහලා තියෙනවා.

පුතාට ලේලි කෙනෙක් හොයනවා නම් ඔන්න "සිහින් සිරුරැති, පැහැපත්, ගුණගරුක, දෙමව්පියන්ට සලකන, ආගමට දහමට ලැදි" වගේ මෙකී නොකී දේවල්ද, මෑතකදී නම් "සිරස නොබලන", "ප්‍රවීනාට අකමැති", "කැම්පස් නොගිය (මගේ අදහසක් නෙමෙයි ඔන්න මේක )", “ෆේස් බූක් එකේ බාන් බඩී, ෆාම් විලේ සෙල්ලම් නොකරන” වගේ දේවලුත් එකතු වෙනවා.

හැබැයි දැන් කාලේ නම් ගොඩක් කෙල්ලො කොල්ලො තමන්ගේ අම්මලා තාත්තලාට මොකටද ඔච්චර කරදර කරන්නෙ කියලා හිතලා ඕ ලෙවල් කරන්නත් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල කෙල්ලෙක් එහෙම නැතිනම් කොල්ලෙක් සෙට් කර ගන්නවා. එහෙම හරි ටිකක් පහුවෙලා හරි ඉතින් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් කරගන්න බැරි උනෝතින් ඉතින් ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරයේ දැන්වීමක් දානවා. එහෙම අය විතරක් නෙමෙයි ඕං ගොඩක් වෙලාවට එක පාරක් කසාද බැඳල දික්කසාද වෙලා පාඩමක් ඉගෙන ගන්නෙ නැතිව දෙයියනේ දෙවෙනි නැතිනම් තෙවෙනි පාරටත් පොඩි ට්‍රයි පාරක් දාන අයගේ දැන්වීම් වලිනුත් මේ පිටු පිරිල තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මංගල යෝජනා පිට බලලා පරස්තාවක් කරගන්න හිතන එකෙකුට, එකියෙකුට හරි කාවද තෝරගන්නෙ කියලා හිතා ගන්නවත් බැරි විදිහට මේවයේ ෆුල් කොලිෆිකේෂන් එක්ක තමයි දැන්වීම පළ කරන්නෙ. කොහොමෙන් කොහොම හරි ඔය මංගල යෝජනා කියවනකොට මරු මරු කෑලි සෙට් වෙනවා. පත්තරේක තිබුන මට ඇහැ ගැහුනු දැන්වීම් කීපයක් තමයි ඔය පල්ලෙහා දිහාවෙ දාල තියෙන්නෙ.

උස 5'4" , 43 ලාබාල පෙනුමැති රූමත් චරිතවත් සෑහෙන්න දේපළ ඉඩකඩම් හිමි මා අසාර්ථක විවාහ දෙකකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් දික්කසාද වී සිටිමි. දරුවන්ද මා භාරයේ සිටී. සම වයසැති වයස නොපෙනෙන මහත්මයෙකු ඇසුරු කිරීමකින් පසු විවාහය සඳහා සොයමි. කුජ 07 කැති නැකතට ගැලපෙන කේන්ද්‍ර පමණක් සලකා බලනු ලැබේ.

ඔන්න බලන්න ඉතින් ඉතාමත් චරිතවත් ගෑණු ළමයෙක් වන මේ තැනැත්තිය විවාහ කිහිපයකින්ම පැමිණිලි පාර්ශවය වෙලා නීතියෙන් වෙන්වෙලා. අනේ ඉතින් ආපහු බඳින එකාටත් දෙයියන්ගේම පිහිටයි. ඇයි ඉතින් මොන දෙයියොද දන්න ආයෙත් කොයි වෙලාවෙ පැමිණිල්ලක් සෙට් වෙලා විත්තිකාර පාර්ශවය වෙන්න වෙයිද කියල.. අනිත් එක මේ කැති නැකත නිසා, පොළු නැකතේ අය ඇප්ලයි නොකරනවා නම් තමයි හොඳ. මොකද ඔය කැත්තට පොල්ල සෙට් උනොත් ඉතින් මේ විවාහයත් වැඩිකල් තියෙන එකක් නැහැ. අනිත් එක කොච්චර චරිතවත්ද කියනවනම් මහත්තයව ඇසුරු කරලා බලලා හරියට සැටිස් නම් තමා බඳින්න යන්නෙ. හැබැයි ඉතින් හොඳේ තියෙන්නෙ කම්ප්ලීට් පැකේජ් එකක්. ආපහු ඉතින් දරු මල්ලො හදන්න කියලා මොට කරදර වෙනවැයි ?

අගනුවරට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික පවුලක අවු: 26, උස 5' 3'' රූමත් චරිතවත් ගණකාධිකාරී දායාදහිමි දියණියට දන්ත වෛද්‍ය වෘතියේ නියුතු ගුණගරුක පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.

මේකනම් සිරා එකක්. බිස්නස් කරන තාත්තා හොයන්නෙ අනිත් අයගේ දත් ගලවන්න පුළුවං බෑනා කෙනෙක්ව. අදහස ඉතා පැහැදිලියි.

මේ වගේ මංගල දැන්වීම් ඇනලයිස් කරන්න ගියොත් ඉතින් ආයේ කොහෙන් නවතීද දන්නෙ නැති නිසා දැනට ඔය දෙකෙන් විතරක් නවත්තන්නම්.

කසාද බඳින ගෑණු ළමයින්ට තියෙන ඊලඟ ලොකුම ප්‍රශ්නය තමා ඉතින් දෑවැද්ද. දැන් කාලේ නම් ඕක පස්සෙ එච්චර එලවන්නෙ නැති උනත් තාමත් යහමින් ඉඩ කඩම්, හරක බාන, යාන වාහන දෑවැද්දට නොඉල්ලා ඉල්ලන අය ඕන තරම් ඉන්නවා. ඒකනෙ ඔය මංගල දැන්වීම් වල උනත් ගෑනු ළමයට දෙන්න තියෙන පැකේජ් එක එහෙම ගෙඩි පිටින්ම පළ කරන්නෙ. හැබැයි ඔය අපිට අල්ලපු රටේ, ඒ කියන්නෙ ඉන්දියාවත් එක්ක බලනකොට නම් මේ දෑවැදි කේස් එක අපේ රටේ නැති ගානයි. දැනට ටික කාලෙකට කලින් මාත් එක්ක වැඩ කරපු ඉන්දියන් කාරයෙක් මගෙන් අහනවා "උඹලඟේ රටේ BE (Bachellor of Engineering) තියෙන කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ට ලක්ෂ කීයක දෑවැද්දක් ගන්න පුළුවන්ද" කියලා. ඒක අහල මම ෆුල් හොල්මංවෙලා කිව්වා අපේ රටේනම් කොල්ලො ඩිග්‍රිය ගහන්නෙ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරන්න මිසක් ලක්ෂ ගනන් දෑවැද්ද එක්ක ගෑණියෙක් ගන්න නෙමෙයි කියලා.

ඒ උනාට ලංකාවෙ උනත් ගොඩක් වෙලාවට දීග යන්න බැරිව ගෙදරට නාකිවෙන සහ දරුමල්ලොත් එක්ක ආපහු ගෙදර එන ගෑණුන්ව බන්දල දෙන්න ඔය දෑවද්ද තාමත් ඇමක් විදිහට පාවිච්චි කරනවා. මම අහලා තියෙන කතාවක් තමයි කාලෙකට ඉස්සර ඔය උඩරට පැත්තෙ ගරා වැටෙන වල්ලව්වක ගෙදරට වේලි වේලි හිටිය හතලිහ පැනපු කුමාරිහාමියෙක්ව බන්දල දෙන්න දැන්වීමක් දැම්මෙ දෑවැද්දට යස අපූරු අලියෙක් දෙනවා කියලයි. කොහොමෙන් කොහොම හරි ඔය ඇම ගිල්ල පොරක් මේක කර ගැහුවා. පොරොන්දු වෙච්චි විදිහටම අලියෙක් නම් දෑවැද්දටත් ලැබුනා. ඒ උනාට බලාගෙන යනකොට අලියටත් කුමාරිහාමිගේ වයසමයි.ඇවිද ගන්නවත් පණ නැති නාකි අලියෙක්. ඉතින් මූට කියලා කොටන් අද්දවන්නයෑ ? නාකි උනාට මේ අලියා කිතුල් බඩ ටොන් ගානකුයි, කොස් කොළ කරත්තයක් විතරයි දෙසා බානකොට අන්තිමට පොර නැත්තටම නැති උනේ ගෑනිව විතරක් නෙමෙයි අලියවයත් නඩත්තු කරගන්න බැරිව. ඔන්න ඔහොමයි කුමාරිහාමිගේ වලව්වෙ කට්ටිය කුමාරිහාමිගෙන් විතරක් නෙමෙයි අලියගෙනුත් ගැලවුනේ. ඕක නිසා තමයි කට කහනවට කියන්නෙ ගෑනියෙකුයි අලියෙකුයි එකපාර කරගහන්න එපා කියලා.

මම මේ කියන්න යන කතාව මට කිව්වෙ මෙහෙ ඉන්න කින්චා කියලා මගේ යාළුවෙක්. මේකත් ඔය මංගල යෝජනාවක් සම්භන්ධ කතාවක්. සිද්ද වෙලා තියෙන්නෙ ඔය පහුගිය යුද්ද කාලේදි.

දවසක් ඉතින් ඔය මංගල යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කල වයසත් පැනපු ගෑනු ළමයෙක් හිතට අල්ලන මංගල යෝජනාවක් දකිනවා. ඒක විස්තරේ තියෙන්නෙ මේ විදිහට,

“ උසස් තැනක රැකියාවැති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයනුයේ, රූමත්, පැහැපත්, ගුණ යහපත්, විනීත ගැහැණු ළමයෙකි. කේන්දර අනවශ්‍යයි. තමාම ලියන්න. නොම්බර 35, ගුවන් හමුදා මාවත, කටුනායක”.

ඉතින් මේක කියවලා ගෑණු ළමයත් “ෂා, දාල තියෙන විස්තරේ හැටියට මේ එයා ෆෝස් පයිලට් කෙනෙක් තමා” කියලා පරක්කු වෙන්නෙ නැතිව මේකට රිප්ල්යි එකක් දැම්මා. ඉතින් ඔන්න ටික දවසකින් කොල්ලත් රිප්ලයි කරලා වැඩේ දැන් නැගල යනවා. කොල්ල ෆෝන් කර කර මල් කඩන තරමටම වැඩේ සීරියස් විදිහටම නැගල යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට කෙල්ලත් කොල්ලට කියනවා,

"අනේ මම ඔයා ගැන අපේ තාත්තටත් කියලා තියෙන්නෙ. තාත්තා කිව්ව ඔයාට මේ ඉරිදට අපේ ගෙදර එන්න කියන්න කියලා."

ඔන්න ඉතින් ඉරිදා දවසේ කොල්ලත් හා හා පුරා කියලා කෙල්ලගේ ගෙදරට යනවා මොකද මාමණ්ඩි එන්න කියපු නිසා. දැන් කතාව මේ විදිහට කෙරීගෙන යනවා,

"අපිට හරිම සන්තෝසයි පුතා වගේ ගොඩක් ඉහල රස්සාවක් කරන වැදගත් ළමයෙක් අපේ මේ දුවට ලැබීම ගැන. පුතා එතකොට ගුවන් හමුදා කඳවුරේමද වැඩ කරන්නෙ ?" මාමණ්ඩි අහනවා.

"කඳවුරේත් වැඩ කරනවා ඒ වගේම ගොඩක් වෙලාවට එලියෙත් වැඩ කරන්න වෙනවා මාමේ , දන්නවානේ, ඉතින් අපේ රස්සාවෙ හැටිනේ. " කොල්ලත් කියනවා.

"එතකොට ඔය උඩට ගිය වෙලාවට මොකද කරන්නෙ ?" මාමණ්ඩියත් අහනවා.

"ගොඩක් වෙලාවට විස්සක් තිහක් බිමට අත ඇරලා තමයි ආපහු බහින්නෙ . . . " කොල්ලත් කියනවා.

"ආ, විස්සක් තිහක් දානවා ? " මාමණ්ඩියත් අහනවා.

"දවසකට ඉතින් සීය හමාර දාන වෙලාවළුත් තියෙනවා . . . " කොල්ලත් අරින්නෙ නෑ.

"ඈහ්, හැබෑද, ඔක්කොම ඉලක්කෙටම වැටෙනවද ? ඔය එකක් බර ගානක් වෙනවා නේද ?"

"නෑ, සමහර වෙලාවට කාණුවලටත් වැටෙන වෙලාවල් තියෙනවා . . . එකක් රුපියල් විස්සක් විතරනේ වෙන්නෙ . . . ! කාණුවලට වැටුනහම ඉතින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්නවා . . ."

"ඈහ්, හෝදලා ගන්නවා, බෝම්බ ? එකක් රුපියල් විස්සයි ?" මාමණ්ඩියා ෆුල් අඤ්ඤකොරොස් වෙලා අහනවා. . .

ඔන්න කොල්ල කියනවා "බෝම්බ ? මොන බෝම්බද ? මම කියන්නෙ මේ පොල් පොල් . . . "

"මොකක්, පොල්, එතකොට තමුසේ පයිලට් කෙනෙක් නෙම්යිද ?" මාමණ්ඩියා උතුර දකුණ මාරු කරගෙන අහනවා.

"පයිලට් ? කවුද කිවුවේ මම පයිලට් කෙනෙක් කියලා. මම මේ කරන්නෙ කුලියට පොල් කඩන එකනේ . . " කොල්ලත් කියනවා.

"එතකොට මේ පත්තරේ දැන්වීමේ කියලා තියෙන්නෙ ගුවනේ සිට සිරි නරඹනවා කියලා" ඔන්න දැන් කෙල්ලත් අඬන මූඩ් එකෙන් කතාව මැද්දට පනිනවා.

"ඔව් ඉතින් පොල් ගහකට නැග ගත්තම පොඩ්ඩක් අවට සිරි නරඹලා තමා ආපහු පල්ලෙහාට බහින්නෙ . . . නැත්තන් අපරාදෙනෙ .. " කොල්ලත් කියනවා.

"එතකොට මේ කියලා තියෙන්නෙ, තාත්තාත් ගොඩක් උසස් රැකියාවක් කරනවැයි, තාත්තාගේ යටතේ තමයි වැඩ කරන්නෙ කියලා" . . . මාමණ්ඩියත් පුටුවෙන් නැගිටින ගමන් අහනවා.

"ඉතින් බොරුයෑ . . . . තාත්තා තමයි ගොඩක් උස ගස් වලට නගින්නෙ. මම නගින්නෙ පැල ගස් වලට . . . " කොල්ලත් කියපි.

මම නම් හිතන්නෙ ඒ මගුලත් කෙරෙන්නෙ නැතිව ඇති . . . .!

මග ඇවුරූ සුදු ඇඳි කත

Posted by දුමී

මාගේ පියාගේ උපන් ගම වනුයේ මතුගම පාන්තිය නම් අති සුන්දර වූ ගම් පියසයි. කුඩා කලදී ලද සෑම නිවාඩුවක්ම ගත කිරීම සඳහා මමත් මාගේ සොයුරු සොයුරියනුත්, නැන්දාගේ පුතනුවන් දෙපලත් දිව එන්නේ මෙහිය. පසෙකින් දිවෙන වෙල් යායත්, අක්කර ගනනින් ඈතට විහිදෙන රබර් යායත්, කඳු හෙල් අතරින් ගලා යන දොල පාරවල් අතරත් නිබඳවම අපගේ බාල කාලය ගත විනි. ඒ අති සුන්දර වූ බාල කාලයේ මතකය පසුවට ලියා තැබීමට ඉටා ගනිමින් එහි කාලයකට ඉහතදී මුහුන පෑ අති භයංකර වූ අත් දැකීමක් මෙහි ලියා තැබීමට මුලින්ම අදහස් කරමි.

මගේ මතකයට අනුව එය 1991 වර්ෂයෙහි මුල විය යුතුයි. මාස කීපයකට පෙර එනම් දෙසැම්බරයේදී මුහුණ දුන් සාමාන්‍යය පෙළ විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටි මාද මට වඩා දින තුනකින් පමණක් බාල වූ මාගේ මස්සිනා වන නැන්දාගේ ලොකු පුතා වන ලකී මල්ලීද මේ කාලය ගත කරන ලද්දේ කුණාටුවකට හසුව ගසාගෙන යන කුඩාම කුඩා පුළුන් රොදක් වන් සැහැල්ලුවකිනි. නොබෝ දිනකින්ම අපගේ ගමනාන්තය වූයේ මතුගමය. මේ ගමන සඳහා ලකී මල්ලිගේ පාසලේ මිතුරන් කිහිප දෙනෙකුද සම්භන්ධ වූයෙන් ගමන වඩාත් රසවත් එකක් වූවේය. පාසලේ "වෝටර් පෝලෝ" කණ්ඩායමේ සාමාජිකයන් වන මාගේ මස්සිනාද ඔහුගේ මිතුරන් කිහිප දෙනාද වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම "දිය කාවුන්ය". අහල පහල දකින දකින දිය පහරවල්ද, කෙනෙකුගෙන් අසා දැනගත් මතුගම නගරය වටා පිහිටි නොයෙකුත් ඇළ දොළවල්ද සොය සොයා ගොස් ඒවාට පැන නා, පිහිනා දියකෙලියේ යෙදීමට එහි ගත කෙරූ දින කිහිපයේදී මාගේ මස්සිනාද මිතුරු කැලද මොනවට වග බලා ගත්හ. යන්තම් අත පය ගසා ජලයේ නොගිලී හිටීමට තරම් පමණක් හැකියාවක් තිබූ මා ඔවුන් සමග සෑම විටම එකතු නොවූයේ ඔවුන් සමග හරි හරියට ජලයේ ඔට්ටු වීමට තරම් මා දක්ෂයෙකු නොවීමයි. එවන් විටක මතුගම වෙසෙන චමින්ද අයියාත් තවත් කොල්ලො කුරුට්ටනුත් සමග කාඩ් ක්‍රීඩාවේ හෝ කැරම් ක්‍රීඩාවේ යෙදීමටත්, බාප්පාගේ මෝටර් සයිකලය පාළු අතුරු පාරවල් පුරා පැද යාමටත් මා වඩාත් රුචි වූයෙමි.

පසලොස්වක පොහොය දිනක් වූ එදින අපගේ උදය වරුව ගෙවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටය. ඒ අතර අප සමග ක්‍රීඩාවේ යෙදීමට පැමින සිටි මතුගම ප්‍රදේශයේම කොල්ලෙකුගෙන් ලකී මල්ලි සහ මිතුරු කැලට ලැබුනු ඔත්තුවක් වූයේ නිවසට හැතැක්ම කිහිපයක් දුරින් පිහිටා ඇතැයි කියවුනු දිය කෙලියේ යෙදීමට කියාපු දොල පාරක්ය. සැනෙකින් ක්‍රීඩාවද නවතා දමා එම දොල සොයා ගිය ලකී මල්ලීද මිතුරු කැලද මුහුණ දුන් ඒ ත්‍රාසජනක අත්දැකීම මම මෙසේ දිග හරිමි.

දිවා ආහාරය කටකට දෙකකට ගිල දැමූ ඔවුන් දිය පාර සොයා ගියේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගත වූ පසුවය. ප්‍රධාන මාවතෙන් හැරී ගොස් අතුරු පාරකින් ලඟා විය යුතු විශාලවූ රබර් වතු යායක් මැද පිහිටියාවූ එම දොල පහර පැවසූ පරිදිම ඉතා ප්‍රියජනක එකක් වීය. අහල පහලක මිනිස් පුළුටක් දකින්නට නොමැති නිස්කලංක සැන්දෑවේ ඔවුන් සිතු සිතූ ලෙස දිය ක්‍රීඩාවේ යෙදෙමින් මුළු සවස් කාලයම ගත කලහ. හතර වටින්ම රබර් ගස් වලින් වටවූ මේ දිය අගල අද්දරින් හිරු මුවා වී යෑම සඳහා වැඩි වේලාවක් නොයන්නේය. ටික වේලාවකින් දිය කෙලියේ වුවන්ට ඇසෙන්නට වූයේ තම කූඩු කරා වේගයෙන් ඉගිලී යන කෑරල්ලන්ගේ කඨෝර ශබ්ධයත් වරින් වර ඈතින් උඩු බුරුලන බල්ලෙකුගේ මූසල හඬත් පමණි.දනි පනි ගා ගොඩට විත් ලහි ලහියේ ගත වන් තෙත මාත්තු කර ඇඳුම් දවටා ගත් ඔවුන්ට පසක් වූයේ මේ වනවිටත් කෑලි කැපිය හැකි ලෙස අඳුරු වී තිබුනු මග ආපසු යෑමට උදව් දෙන කිසිම එලියක් ඔවුන් සතුව නොතිබූ බවය. යාන්තමටවත් මග සොයා ගත හැක්කේ රබර් තුරු මුදුන්වලට මුවා වී අතු පතරින් ගලා යන පසලොස්වක සඳ එළිය උදව්වෙනි.මිතුරන් පස් හය දෙනෙකුගෙන් සැදුම් ලද මිතුරු නඩය පය එසවූයේ අතුරු පාර හරහා ප්‍රධාන පාරට ඇති හැතැප්මක් පමණ වූ දුර ගෙවා දමන්නටය. පැවති දැඩි කළුවර නිසා තමන් ඉදිරියේ ගමන් කරන්නා පමනක් නොව අඩි ශබ්ධය පමණක් ඇසෙන්නාවූ තමන් පසු පසින් ඇත්තටම ඇදෙනුයේ තම මිතුරෙක්ද එසේ නොමැතිනම් වෙනත් කිසිවෙක් දැයි දැක ගැනීමටවත් පැවතියාවූ ඝන අඳුර නිසා පුළුවන්කමක් නොතිබිනි. සිත හරහා ඇදී යන්නාවූ සියුම් බිය ජනක ගුප්ත ගැඟීමද මිතුරන් වෙතින් දොඩමළු බවද අකා මකා දමා ඇත. මදකට කලින් ඉතා ඈතින් ඇසෙන්නට වූ බල්ලාගේ උඩු බිරුලෑමද දැන් දැන් ලඟ ලඟම ඇසෙනුයේ වඩාත් තිවූර හඬක් නගමිනි. ඉතා අපහසුවෙන් අතුරු මග දිගේ පැමිණි නඩයට සැනසුම් සුසුමක් හෙලුනේ මදක් ඔබ්බෙන් වූ ප්‍රධාන පාර දැකීමෙනි. පළලින් තරම්ක් විශාලවූ ප්‍රධාන මාවතද පැමිණි අතුරු පාරට වඩා වැඩි වෙනසක් නොවූයේ නගරයේ මෙන් වීදි පහන් මගින් මග දෙපස ආලෝකමත් වී නොතිබූ නියාවෙනි. එනමුත් සඳ එළිය හොඳින් පාර මතට වැටී දිලිසෙන නිසාද අතුරු පාර මෙන් මාවත උඩින් වසාගත් උඩු වියනක් නොතිබූ බැවිනුත් මිතුරු නඩය දැන් පය ඔසවන්නේනම් පෙරට වඩා පහසුවෙන්ය. එනමුත් සියළුදෙනා තුලින්ම දොඩමළු බව සැඟව ගොස් ඇත්තේ සියළු දෙනාම කතාවී කතා නොකර සිටීමට ගිවිස ගත්තා යැයි සිතෙන පරිද්දෙන්ය. සියල්ලන්ගේම සිත් නොපුරුදු ගුප්තමය සියුම් බියකින් වෙලා ගෙනය. එතරම්ම රෑ බෝ වී නොතිබේ යැයි සිතුනද කිසිවෙකු අතත් ඔරලෝසුවක් නොතිබුනේ දිය පාර සොයා යෑමේ හදිස්සියෙන් ගෙදරින් එළියට බැස්සද නෑමට අවශ්‍ය අඳුම් සහ පිස දා ගැනීම තුවා පමණක් මිස වෙන යමක් රැගෙන නොපැමිණි නිසාය.

ප්‍රධාන මගෙහි මද දුරක් පැමිනි මිතුරු කැල දුටුවේ පසෙකින් පිහිටි කුඩා තේ කඩයකි. චිමිනි ලාම්පු කිහිපකින් පමණක් එලිය ලබා තිබූ කඩයට මිතුරන් සියල්ල ගොඩ වූයේ සැනසුම් සුසුම් හෙලමින් වුවද තමන්ගේ හිත් ගැස්සී ඇතැයි අනෙකුන්ට නොපෙන්වීමටද සියලු දෙනාම වග බලා ගත්තහ. මෙතෙක් වේලා දිය කෙලියෙන් සහ ඇවිදවිත් හෙම්බත් වී උන් සියළුදෙනාම කඩය පුරා නෙත්හෙළුවේ දැනෙන්නාවූ සියුම් බඩ ගින්න නිවා ගැනීමට සුදුස්සක් ඇත්දැයි විපරම් කිරීමටය. පරන වීදුරු කබඩයක දමා තිබූ විස්කිරිඤ්ඤං කිහිපයක් පමණක් තිබුනෙන් සියළු දෙනාම එය බෙදාගෙන කෑවහ. මිනිත්තු කිහිපයක් කඩයේ රැඳෙමින් මුදලාලි විසින් සාදා දුන් කහට වීදුරු කිහිපයෙනුත් බඩ පුරවාගත් අප මිතුරු කැලට මුදලාලි පැවසුවේ "කොල්ලනේ ගොම්මන් වෙන්න කලියෙන් විජහට ගෙදර පලයල්ලා . . !" කියාය. එසේ පවසන විට ඔහුගේ මුහුනේ වූ බැරෑරුම් බව කුමක් නිසා හට ගත්තාදැයි ඔවුනට හැඟුනේ නැත.

විස්කිරිඤ්ඤයට සහ කහට වීදුරුවට පින්සිදු වෙන්නට ලැබුවාවූ ප්‍රබෝධවත් බව බව සමගින් මිතුරන් නැවත මාවතට පිවිස සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.දැන් දැන් නඩය පසු කරන්නේ පලාතේ වූ සුසාන භූමිය තිබෙන ප්‍රදේශයයි. එදින සවස ආදාහනය කරන ලද චිතකයක ගිණිදැල් බුර බුරා අහස් කුසට නැගෙනුයේ අවට පලාතේම අඳුර මකා දමමිනි. කනත්ත පසු කර සැතපුම් කාලක් පමණ ගමන් ගත් පසු එකෙකුට පසක් වූයේ තමන්ගේ ඇඳුම් බෑගය කඩයේ දමා පැමිණි බවය. ඔහු හට දෙස් දෙවොල් තබමින් සියළු දෙනාම නැවත හැරී කඩය තිබූ දෙසට පිය මනින්න වූහ. එසේ ආපසු යෑමට ලැබුනේ පියවර කිහිපයක් පමණි. පාරට වන් සඳ එළියෙන් දුටු දෙයින් සියළු දෙනාගේම රෝම කූප කෙලින් විනි. ඔවුන් ගමන් කරමින් උන් තැනට බඹ කිහිපයක් දුරින් පාර අද්දර වූ ලියැද්දෙන් එක් වරම පාරට පැන්නේ සුදු වතින් ගත වසාගත් කාන්තාවකි. කුදු වූ ශරීරයකින් හෙබි ඇයගේ මුව දැකීමෙන් සියළුදෙනාගේම කෙල සිඳී ගියේ එක් වරමය. ලේ පැහැයෙන් දිලිසෙන ඒ මුව දිස් වූයේ වැටෙනා සඳ එළියෙනි. ඇඳ සිටි සුදු පාට අඳුමේ තැනින් තැන රතු පැල්ලම්ද පැහැදිලිවම දැක ගැනීමට පිලිවන් විය. සැනෙකින් ආපසු හැරුනු ඔවුන් සියළුම විරිය ගෙන හැල්මේ දුවන්නට පටන් ගති. එසේ කොපමණ වෙලාවක් දිව්වාදැයි නොහැගුනු ඔවුන් දිවිම නැවත්තූවේ ඉතාම තදින් හති වැටී තව දුරටත් පය එසවීමට නොහැකි වූ විටදීය. තාර පාරේ තැනින් තැන ඉඳ ගත් සියළු දෙනා හති අරින්නට වූයේ එකිනෙකාගේ බියපත් මූනු දෙස බලමින්ය. දිව ආ පාර දෙසට නෙත් යොමු කරමින් ඔවුන් උන්නේ ලද්දාවූ දැඩි කම්පණය දරා ගනිමින්ය. තවමත් තමන් පසු කරගෙන ආ ඈත වංගුව වරින් වර එළිය කෙරෙන්නේ කනත්තේ ගිණි ගෙන දැවෙනා චිතකයෙනි. ඉන්පසු දකින්නට ලැබෙන දර්ශණය කිසි දින කිසිවෙක් හැබැහින් දකින්න නොලද දෙයකි. ඈත වංගුවෙන් පාවී ඉදිරියට ඇදී එන්නේ පාරට වන් සුදු ඇඳි ගැහැණියයි. පාරට වඩා අඩි කිහිපයක් උඩින්, යමෙකු ඇවිදිනවාට වඩා වේගයෙන් පාවෙමින් ඔවුන් වෙතට ඈ ඇදී එයි.

ඉතිරි වී තිබූ සියළුම ශක්තිය පා යුග වලට යෙදවූ මිතුරු කැල පසු පස නොබලාම ඉතිරි හැතැප්ම කිහිපයද ගෙවා දමා අප උන් නිවසට ලඟා වන විට කිසි වෙකුටත් කතා කිරීමට හැකියාවක් නොතිබුනි. චමින්ද අයියා සහ තවත් කොල්ලන් කිහිප දෙනෙකුත් සමග කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටි මට දැක ගැනීම හැකි වූයේ ඉස්තෝප්පුවේ තැනින් තැන වැටී හති අරින මිතුරු නඩයයි. සියළු දෙනාම බොහෝ බියවී සිටියහ. සැනකින් එතනට රොක් වූ ගෙදර සියළු දෙනා සිදු වූයේ කුමක්දැයි අසන්නට වීය. එනමුදු කිසිවෙකුත් වචනයක්වත් නොදෙඩුවේ සියළු දෙනාම දැඩිව බියපත් වී සහ හෙම්බත් වී සිටියාවෙනි.

මද වේලාවකට පසුව දකින්න ලැබෙනුයේ කළු පැහැති බයිසිකලයක් පැදගෙන වත්තට ආ දන්නා හඳුනන කොළු ගැටයකි. අප සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඇතැම් දිනක පැමිණෙන ඔහු මේ දර්ශණය දෙස බලා හිටියේ පුදුමයෙනි.

"අයියලා මොකද මේ බය වෙලා ?" කොල්ලා අසයි.

"අයියලා අපේ ආච්චිට බය වෙලා වගේ . . ." ඔහු පවසයි.

"ඔය ගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ අපේ ආච්චිනේ." ඔහු කියාගෙන යයි.

"උන්දැට ඔන්න හදීසියේ එළි බහින්න ඕනෙ කියලා පාර අයිනේ ලියැද්දට රිංගුවානේ, මම මේ උන්දැව පංසලේ සිල් පවාරණය කරලා ඉඳල බයිසිකලේ දාගෙන එක්කං එන ගමන්. . ."

"ඔය ගොල්ලො දුවනවා දැකලා මාත් ආච්චිව බයිසිකලේ දාගෙන ඉක්මනට පැදගෙන ආවා. ඒත් කොහෙද ඔයගොල්ලන්ව අල්ලගන්න බැරි උනා . . . මාර දිවිල්ලක්නෙ දිව්වෙ . . . පස්සෙ මම ආච්චිව ගෙදර බස්සලා මෙහෙ දුවගෙන ආවෙ මොකක් හරි අල කලංචියක් වෙලා කියලා දැනගෙන තමයි."

තවමත් අයා ගත් කටවල් වලින් යුතුව කිසිවක් නොදොඩා මිතුරු කැල ඔහු දෙස බලාගෙන සිටිති.

"ම . .මල්ලි අර ඇඳුම පුරාම රතු පාටට තිබුනේ මොනවද . . . " එකෙක් ගොත ගසමින් අසයි.

"අයියෝ අයියේ අපේ ආච්චි කොච්චරවත් කට පිරෙන්න බුලත් කෙල පුරෝගෙන ඉන්නවානෙ. උන්දෑ දන්නෙත් නෑ අඳුම පුරා බුලත් කෙල වැටෙනකං"

පාවී පාවී එනවා වගේ අඩ අඳුරේ හඳ එළියෙන් කට්ටිය දැකල තියෙන්නෙ ආච්චිව බයිසිකලේ පොල්ල උඩ තියාගෙන කොල්ලා බයිසිකලේ පැදගෙන එන එකයි.

පවුල් ජීවිතේ

Posted by දුමී


මම ඉතින් හැමදාම වැඩට යනකොට ඔය රේඩියෝ එක එහෙම අහගෙන කරගෙන තමයි යන්නෙ. ගොඩක්ම මොකද කොහේ හරි ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා පාරවල් එහෙම බ්ලොක් වෙලාද කියලා දැන ගන්න. එහෙම උනෝතින් වෙන පාරකින් හරි ඒ බ්ලොක් එක මග ඇරලා හරි යන්න පුළුවං නිසා. මම ඉන්න ෂාජා ගෙදර ඉඳන් ඔෆිස් එකට කිලෝ මීටර් 65ක් විතර තියෙනවා. ඉතින් ඔය දුර යන්න උදේට පැයකුයි හවසට පැයකුයි පැය දෙකක්ම පාරටම පූජ කරනවා. ඔය යනින් ගමන කොහේ හරි ඇක්සිඩෙන්ට් එකක් එහෙම වෙලා තිබුනොත් ඉතින් පැය දෙක තුනකට මෙහායින් නවතින්නෙ නැහැ. ඔන්න එක දවසකුත් මගෙම කරුමෙට ඇක්සිඩන්ට් එකක් හින්දා පාරෙ වරු ගානක් හිර උනා. ඔන්න ඉතින් එදා රේඩියෝ එකේ මරු ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔන්න රේඩියො එනවුන්සර් කියනවා වයිෆ්ලට, තමන්ගෙ ස්වාමි පුරුෂයට හරියට කරන්න බැරි වැඩ මොනවද කියලා එස්.එම්.එස් එවන්න කියලා. මෙන්න බොලේ වක්කඩ කැඩුවා වගේ එස්.එම්.එස් සිය ගානක් එනවා කියලා දැන් රේඩියෝ ප්‍රසෙන්ටර් කියනවා. ඔන්න ඉතින් එක වයිෆ් කෙනෙක්ව ටෙලි ෆෝන් එකෙන් සම්භන්ධ කර ගත්තා. මෙයා ඉතින් කියනවා ඔන්න එයාගේ මහත්තයට කරන්න බැරි දේ. එයා කියන විදිහට කොච්චර කරත් එයාගේ මහත්තයට කිලිටි රෙදි ටික ලොන්ඩරි බාස්කට් එකට දාන්න බැහැයිලු. ඉතින් මෙයා ටිකක් ලොකු බාස්කට් එකක් ගෙනාවලු. ඒත් හැමදාම රෙදි ටික බිමලු. අනේ මන්දන්නෙ නැහැ ඒ මනුස්සයට රෙදි ටික බාස්කට් එකට් දාන එක විතරමද බැරි කියලා.

ටික වෙලාවකට පස්සෙ තව නෝන කෙනෙක් දුරකථනයෙන් සම්භන්ධ උනා. මෙන්න බොලේ මෙයා කියනවා එයාගේ හස්බන්ඩ්ට ඩිෂ් වොශර් එකට පිඟන් ටික හරියට අඩුක් කරන්න දන්නෙ නැහැල්ලු. මට ඉතින් හරියට දුක හිතුනා ඒ අසරණ මනුස්සය ගැන. ඔන්න බලන්න ගෑනිගෙ තියෙන කෙලෙහි ගුනේ. පිඟන් අතින් හෝදන්න දෙන්නෙ නැතිව තමන්ගෙ බිරිඳට ඩිෂ් වොශර් එකකුත් අරන් දීපු මනස්සයාව මුළු රටටම ඇහෙන්න නෝන්ඩි කරනවා මේ බිරින්ඳන්නාන්සෙ. ඩිෂ් වොශර් එක අරන් දුන්නා මදිවට තව හස්බන්ඩ්ම පිඟන් ටිකත් අඩුක් කරන්නත් ඕනෙ. ඉතින් එදා මම හිතා ගත්තා මට කවුරු හරි නිකන් දුන්නත් අපේ ගෙදරට නම් ඩිෂ් වොශර් එකක් අර ගන්නෙ නැහැ කියලා. එහෙම හිතෙන්න තව හේතුවක් තියෙනවා. ඒ මේ මමත් ගෙදර තියෙන වොෂින් මැෂින් එක ඔපරේට් කරන්න නම් දන්නෙ නැහැ. හැම අවුරුද්දකම ගම හාමිනේ සහ පොඩි එවුන් දෙන්නා සමර් නිවාඩුවට ලංකාවට ගියහම මම ඉතින් රෙදි ටික ලඟ තියෙන ලොන්ඩරි එකට දෙනවා මිසක් ඔය බැරි වැඩ කරන්න යන්නෙ නැහැ.ඉතින් එදා බැරි වෙලා හරි අපේ ගම හාමිනේ ඔය ප්‍රෝග්‍රෑම් එක ඇහැව්වනම් ශුවර් ඇන්ඩ් ෂොට් ඕකට කෝල් කරල ඕක කියනවම තමයි.

මේක මේ මම සෑහෙන කාලයක ඉඳන් ඇනලයිස් කරපු දෙයක්. ඔය හැමදේම මැව්වැයි කියන මහ බඹාද, මහ බබාද ඉන්නවනෙ. ඌ පිරිමින්ව මවන්න නම් එක එක වෛවාරණ්‍ය අච්චු පාවිච්චි කරාට කම්මැලි කමටද කොහෙද ගැණුන්ව මවන්න නම් පාවිච්චි කරලා තියෙන්නෙ එකම එක අච්චුවයි. ඔක්කොම ගෑණු ටික එකම අච්චුවට දාල හදලා ඉවර වෙලා පිට පොත්ත විතරක් වෙන වෙන පාට පවිච්චි කරලා ෆිනිෂින් පාරක් දාලා. මොකද මම දන්න හැම යාළුවෙක්ටම වගේ තියෙන්නෙත් මේ මට තියෙන කරදර ටිකම තමයි ගෙදර බිරින්ඳන්නාන්සේගෙන්. අපි හැමෝගෙම ප්‍රශ්න බලාගෙන යනකොට හරිම සමානයි. මොකද අච්චුව එකයි, එන්ජින් එක සේම් මොඩල්.

ඔන්න මුළු දවසම මහන්සි වෙලා ට්‍රැෆික් එකේ චාටර් වෙලා අහල පහලින් යන කාර් කාරයන් එක්කත් මල පන්නගෙන ගෙදරට ඇවිල්ල පොඩ්ඩක් පුටුවක්ට බර වෙලා ටී.වී එක දිහා හරි කම්පියුටරේ ඉස්සරහට ඇවිල්ල බ්ලොග් එකක්, පත්තරයක් හරි කියවන්න ගත්තහම හරි ඔන්න ඉතින් මූන කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන බ්‍රහ්ම දණ්ඩණය පනවනවා. ඉතින් මේ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ අපි එදා මුළු දවස ගත කරේ කොහොමද කියලා කතන්දරයක් වගේ කියනකන්නෙ. ඒ වගේම ඒ ගොල්ලො දත් මැදපු වෙලාවෙ ඉඳන් රෑවෙනකං වෙච්ච දේවල් අකුරක් නෑර අපිට කියනකං අපි අහගෙන ඉන්නත් ඕනෙ. ඔය අතරේ අල්ලපු ගෙදර ඉන්න ඉන්ඩියන් ලේඩි ගෙන් පීනට් චට්නි හදන හැටි ෆෝන් එකෙන් අහගත්ත රෙසිපි එකයි, තව යාළුවෙක් ගෙදරට අළුතෙන් දාපු කර්ටන් වල දිග පලල සහ ඒකට රේන්ද අල්ලලද නැතිද වගේ විස්තරත් අපිට කියන්න ඒ ගොල්ලො සෙට් කරන් තමයි ඉන්නෙ. ඉතින් පිරිමි අපිට ඔය අහන ප්‍රශ්නයකට දෙකකට ශෝට් ඇන්ඩ් ස්වීට් උත්තරයක් දීල තියෙන දෙයක් බඩට දාගෙන ඇඳට පනින්නනේ ඕනෙ. එතනදී තමයි ඔන්න යුද්දේ පටන් ගන්නෙ.

"ඔයා දැන් මට ඉස්සර වගේ ආදරේ නැහැ ......." ,

"ඔයාට ඔෆිස් එකේ කවුරු හරි ඇති, ඒකනෙ මාත් එක්ක දැන් හරියට කතා කරන්නෙවත් නැත්තෙ . . . ."

ඔන්න තවත් දෙයක් තමයි ඔය ඔෆිස් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි වෙන එකකට හරි අම්බානෙකට හිර වෙලා ඉන්න වෙලාවට කෝල් එකක් දීල, "අනේ මොනව හරි කියන්නකෝ අනේ, මට හරි කම්මැලියි . . . " කියලා කියන එක. ඒ කතා කරන්නෙත් එයාට ඉන්න යළුවො විසි තිස් දෙනත් එක්කම පැය දෙක තුන ලිඳ ලඟ සංගමය දාගෙන ඉඳල ෆෝන් එකෙන් කේක්, පැටිස්, අතිරස අළුව හදලා වෙන කතා කරන්න එක්කෙනෙක් නැති උනහම.

මේ කතාව කිව්වෙ අපේ අසෝක අයියා. අපි ඔය පසුගිය මැයි මාසෙ දිහාවෙ අබාධිත රණවිරුවන්ට සනීපාරක්ෂක පහසුකම් ඉදිකරලා දෙන්න කියලා සංගීත ප්‍රසංගයක් කලා අබු ඩාබියේ. ඒකෙදි හොඳ රස කතා දන්න අසෝක අයියගෙන් කට්ටිය ඉල්ලා හිටියා එහෙම කතාවක් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවෙ අසෝක අයියා කියපු කතාව තමයි ඔන්න මම දැන් කියන්න යන්නෙ.

මේක මේ කැලෑ කතාවක්. කවුරුත් දන්නවානේ කැලේ රජා කවුද කියලා. ඉතින් ඔය කැලේ රජාගේ දූ කුමරිය සිංහ කුමාරිව අල්ලපු කැලේ සිංහ කුමාරයෙක්ට බන්දල දෙන්න උත්සවයක් තිබිලා. ඉතින් ඔය උත්සවය ගජ රාමෙටම නැගල යනවලු. ඉතින් කැලේ ඉන්න අලි, කොටි වලස්සු, අනෙකුත් සිංහයෝ, ව්‍යාග්‍රයො වගේ ඔක්කොම ලොකු ලොකු සත්තුන්ට තමයි මේ උත්සවයට ආරධනා කරලා තියෙන්නෙ.

කොහොමෙන් කොහොම හරි පාටිය නැගල යනකොට මෙන්න බොලේ කොහෙන්ද ආපු මීයෙක් වලිගෙත් උස්සගෙන එහෙ මෙහෙ දුවනවලු. එක තැනක ඉන්නෙත් නැහැල්ලු, එහාට යනවලු, මෙහාට යනවලු. මේක දැකපු කොටි නාම්බෙක් මීයව අල්ල ගත්තලු. අල්ලගෙන ඌට කිව්වලු,

"ඈ බං බොල මීයෝ, බොලා කොහොමද මේ සිංහයගේ පාටියට ආවෙ. මේකට ආරධනා කරල තියෙන්න අපි වගේ ලොකු ලොකු අලි කොටි වලස්සු, සිංහයෝ වගේ සත්තුන්ට විතරයිනෙ" කියලා.

ඔන්න ඒ පාර මීයා කියනවලු,

"මචං කොටියෝ, මමත් ඉස්සර සිංහයෙක් තමයි, කසාද බැන්ඳට පස්සෙ තමයි බං මමත් මීයෙක් උනේ" කියලා.

හෝව් හෝව් ඔන්න බොලේ ගම හාමිනේ එනවා. මම ලිව්ව ඇති දැනට. නැතිනම් මටත් ඔන්න මීයෙක් වෙන්න තමයි වෙන්නෙ.

අපේ ඩොකා

Posted by දුමී

මගේ ජීවිතයේ ඉතාමත්ම සුන්දරම කාලය විදිහට මම සලකන්නෙ මම NIBM එකේ ගත කරපු කාලයයි. අවුරුදු එකහමාරක් වූ පරිඝණක පද්ධති සැලසුම් කිරීම සම්භන්ධ ඩිප්ලෝමා කෝස් එක සිංහලෙන් කිව්වොත් "Diploma in Computer System Design", ඉවර කරලා ඊට පස්සෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකට ජොයින් වෙලා තව අවුරුදු එකහමාරක් විතර වැඩ කලා. ජීවිතේටම හරිම අපූරු අත්දැකීම් ගොඩක් එක්කාසු කරගන්න ලැබිච්ච කාලයක් තමා ඒක. පාසල් කාලය ඉවර කරලා වැඩිහිටියෙක් විදිහට සමාජයට පය තබන්න ලබපු පෙර හුරුව තමා අපි NIBM එක තුල ලැබුවේ. ඒකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට තමා ඉස්සෙල්ලාම රැකියාවක් වශයෙන් පඩියක් හම්බ උනේ. 1997 අග භාගයේ ඒ හම්බ වෙච්ච පඩිය රුපියල් 2250. පඩිය ගත්ත ගමන් ඉස්සෙල්ලම කලේ අම්මාට අළුත් ඇඳුමක් අරගත්ත එක. ඒ කාලේ මම ගම හාමිනේ සමග මල් කඩන අවධිය. මට මතක හැටියට එයත් එක්ක ගිහිල්ල තමයි නුගේගොඩින් අපේ අම්මාට ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අරගත්තෙ. ඒත් මට මතක නැහැ මම මොනවද ගම හාමිනේට අරගෙන දුන්නෙ කියලා. ඕං බලන්න ගම හාමිනේටත් මතක නැහැනෙ ඒක. ඊට පස්සෙ මතකයි මම නංගිලා මල්ලිලාට චයිනීස් ෆ්‍රයිඩ් රයිස් අරගෙන ගියා කියලා. කොහොමෙන් කොහොම හරි දවස් දෙකකින් විතර අර පඩිය කුඩේ කුඩු. ඊට පස්සෙ මට තිබුනු මෝටර් බයිසිකල් කබලට පැට්‍රල් ගහන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලන් තමයි ගියේ.

අපිට NIBM එකේදි ගුරු හරු කම් දීපු ගුරුවරු වුනේ ඩොක්ටර් ජයසිරි, කල්‍යාණි මැඩම්, අකාලයේ අප අතරින් වියෝවූ දයාබර බස්නායක මැඩම්, කොලඹගේ සර්, ශ්‍යාමා මැඩම් යන දයාබර ගුරුවරුන්. මේ අතරින් ඉතාමත්ම සොඳුරු ඇදුරු තුමා වුනේ ඩොක්ටර් ජයසිරි මහතායි. NIBM එකේ පරිඝණක අංශයේ අධ්‍යක්ෂක වී සිටියේ ඔහු. රසවත් සාගරයක් වුනු ඩොක්ටර්ගේ ලෙක්චර් එකක් කවුරු හරි මිස් කලේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. NIBM එකේ එදා මෙදා සිටි ශිෂ්‍යයන් ඔහුට පට බැඳ තිබූ ආදරණීය නම වුනේ "ඩොකා" යි. ශරීරයෙන් ඉතාමත් කුඩා මිනිසෙකු වූ එතුමා ඔහුටම ආවේනික වූ මනා පෞරෂයකින් හෙබි සෑම කෙනුගේම ගෞරවාදරයට පත් වූ අයෙක්. එතුමා හා බැඳුනු රසවත් කතා ගොඩක් NIBM එකේ ‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ආවා. මගේ මතකයේ තිබෙන මම අහලා තියෙන කතා කීපයක් තමයි මම අද කියන්න යන්නෙ.

ඉතින් අපේ ඩොකා ලෙක්චර් එකක් දෙන වෙලාවට ඉංග්‍රීසි, සිංහල දෙමළ හැම භාෂාවකින්ම කතා කරනවා. හිටපු ගමන් මුකුත් කියන්නෙ නැතිව අංග චලනය වගේම මුහුනේ විවිද ඉරියව් පාවිච්චි කරලත් උගන්නනවා. මට මතකයි අපිට පලවෙනි දවස් දෙකේ "Introduction to computers" ඉගැන්නුවේ ඩොකා. මදර් මෝඩ් එකක් පෙන්නල අහුව්වාම මේක මොකක්ද කියල ඉතින් ඔය ඉදිරි පේලියේ ඉන්න එකෙක් කිව්ව "සර්, මදර් බෝඩ් එකක් කියලා". ඩොකා නක්කලේට හිනාවක් දාල කියනවා, "කෙහෙම්මල, පෙරියර් බෝඩ්" කියල. ඊට පස්සෙ ඩෝටර් බෝඩ් එකක් පෙන්නල කියනවා "සින්න බෝඩ්" කියල. ඉතින් එදායින් පස්සෙ අපිත් මදර්බෝඩ් වලට කියන්නෙ “පෙරියර් බෝඩ්” සහ ඩෝටර් බෝඩ් වලට “සින්න බෝඩ්” කියලා.

ඉස්සර NIBM එකේ කැන්ටිම තිබුනේ පලවෙනි තට්ටුවේ. මේ ලඟකදි ගිය වෙලාවක තමයි දැක්කෙ දැන්නම් හොඳටම වෙනස් කරලා කැන්ටිම හදල තියෙන්නෙ කලින් ඔඩිටෝරියම් එක තිබුන තැන. අපිට කලින් සීනියර් බැච් එක පටන් ගත්ත කාලේ, ඔන්න පලවෙනි දවසෙ බ්‍රේක් එකේදි පොරක් කැන්ටිමට ගිහිල්ලා පුටුවක ඉඳ ගන්නකොට තව එකෙක් පුටුව උඩින් සෝස් පිඟානක් තියලා. දැන් මුගේ පස්ස පැත්තට වෙඩි තියලා වගේ. ඉතින් පොර ඉක්කමනටම වොෂ් රූම් එකට ගිහිල්ල දැන් මේක දමාගෙන හෝදනවා. ඔය වොෂ් රූම් එකේ අර ‘නම්බර් වන්’ වැඩේ කරන්න හදල තියෙන ඒව පේලිය තිබුනේ පොලොව මට්ටමෙන් උඩ පොඩි කණ්ඩියක් උඩට නගින්න පුළුවන් විදිහට. ඊට විරුද්ධ පැත්තේ තමා සින්ක් එකක් හයි කරලා තිබුනේ කණ්නාඩියක් එක්ක. දැන් ඉතින් මූ අර කණ්ඩියට නැගගෙන සෝස් පිඟාන තියපු එකාගේ මවු පාර්ශවයට හොඳට පිං අනුමෝදං කර කර ලේන්සුවක් පොඟවලා පස්ස පැත්ත පිහිදනවා. අනිත් පැත්ත හැරිලා කණ්නාඩියෙන් පස්ස බල බලා සෝස් අයින් කරනකොට ඒ වෙලාවෙ එතන නම්බර් වන් වැඩේ කර කර හිටිය පොරකගේ උරහිසිට අත තියාගෙන වාරු වෙලා තමයි මූ දැන් මේක කරන්නෙ. ලෝකේ තියෙන ඔක්කොම කුණුහරුප ටික කිය කියා මූ දැන් සෝස් පිහිදාන ගමන් අර වැඩේ ඉවර වෙච්ච එකාට ලේන්සුව දීල කියනවා මචං පොඩ්ඩක් මගේ කලිසම පිහිදපං කියලා. ඉතින් අර පොරත් මුගෙන් ලේන්සුව අරගෙන මුගේ පස්ස ක්ලීන් කරනවා. ටික වෙලාවකට පස්සෙ තමයි මූ දැක්කෙ කණ්නාඩියෙන්, බොලේ මුගේ පස්ස ක්ලීන් කරන්නෙ ඩොකා කියලා. මූ එක පාරටම "අනේ සොරි සර්" කියල ලේන්සුව ඉල්ලගෙන. ඩොකත් ඉතින් නක්කල් හිනාවක් එහෙම දාල ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ ලෙක්චර් එකට ආපු ගමන් ඩොකා මුළු ඔඩිටෝරියම් එකම එහා කොනේ ඉඳන් මෙහා කොනට සර්ච් පාරක් දානවලු. ඊට පස්සෙ මූව දැක්ක ගමන් . . . "ආහ් . . . හරි මේ ඉන්නෙ" කියල ඌව මාක් කරල තමයි ලෙක්චර් එක පටන් ගන්නෙ. එදා ඉඳන් ඩිප් එක ඉවර වෙනකන් හැමදාම ඩොකා ලෙක්චර් එකකට ආපු ගමන්ම හොයන්නෙ මූවලු. ඉතින් අනිත් එවුනුත් ඩොකා ආපු ගමන් මූ ඉන්න තැන පෙන්නන්න පුරුදු උනාලු. බැරිවෙලා හරි මූ ආපු නැති දවසකට ඩොකා මියුට් මෝඩ් එකෙන් පස්ස පැත්ත පෙන්නලා ක්ලාස් එකෙන් අහනවලු මූ කෝ කියලා. ඔය සිද්ධිය නිසා කොල්ලො මූට කාඩ් එක ගහල තියෙන්නෙ "බැක් ෆයර්ඩ් (Back Fired) " කියලා.

ඩිප් එකේ අන්තිම මොඩියුල් එක තමයි සිස්ටම් ඩිසයින් ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක කරලා රිපෝට් එක හදලා "වයිවා" දෙන්න ඕනෙ ඩොකාට. මේක තමයි ඉතින් අන්තිම කඩඉම. ඩොක්ටර්ගෙ රූම් එක තිබුනේ NIBM එකේ හතරවෙනි තට්ටුවෙ කොනක. මෙතනට SSC ග්‍රව්න්ඩ් එක නියමෙට පේනවා හරියට ග්‍රව්න්ඩ් එකේ මේන් පැවිලියන් එක වගේ. දවසක් පොරක් වයිවා දෙන්න කියලා ඩොක්ටර්ගෙ රූම් එකට ගිහිල්ල ඉඳ ගත්තලු. ඔන්න ඩොකා ඉන්නවලු පැත්තට පුටුව හරෝගෙනන ග්‍රව්න්ඩ් එක දිහා බලාගෙන. එදා ලංකාව ප්ලේ කරන මැච් එකක් තිබිලා. ඉතින් ඩොකා කොල්ලට කිව්වලු "හා පුතා පටන් ගන්න" කියලා. එහෙම කියන්නෙ ඉතින් ප්‍රොජෙක් එක විස්තර කරන්න කියන එකයි. දැන් ඉතින් කොල්ලත් හිටු කියල කියවගෙන කියවගෙන යනවලු. දැන් ඉතින් කොල්ලත් ඔරේ පිට ගිරව වගේ ප්‍රොජෙක්ට් එක විස්තර කරනව. එකපාරටම ඩොකා,

"හුටා . . . කෙලිය නේද පොල්ලටම . . " කියල කියපි. බැලින්නම් අපේ එකෙක්ගෙ විකට් එකක් ගිහිල්ලා.

දැන් අරූ ෆුල් අඤ්ඤකොරොස් වෙලා මුලයි අගයි දෙකම පැටලිලා. දැන් ඩොකා කියනවා "ඇයි පුතා නැවත්තුවේ ? මතක නැද්ද , හා හා කියපන් කියපන් . . . "

දැන් මූට නවත්තපු තැනත් මතක නෑ .. .ඔන්න ආපහු පොඩ්ඩක් රිවර්ස් එකට ගිහිල්ල ආපහු ගිරව වගේ කියවනවා.

ටික වෙලාවකට පස්සෙ ඩොකා පුටුවෙනුත් නැගිටල,

"ගෙඩිය ගෙඩිය ගෙඩිය . . . .......අතගාල බිම දැම්මනෙ . . " කියපි.

දැන් වයිවා දෙන එකාට පොල්ලෙන් ගැහුව්වා වගේ මේ දාන ඇඩ්වර්ටීස්ට්මන්ට් වලට. හිතා ගන්නත් බැහැ මොකද කරන්නෙ කියලා. ඔන්න පොර ආපහු ටිකක් පස්සට ගිහිල්ල පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවකට පස්සෙ මුගෙ ඩිස්ක්‍රිප්ශන් එක ඉවරයි. ඔන්න දැන් ඩොකා මුගෙන් හිටු කියල ප්‍රශ්න අහනවා. ඔක්කොම අහන්නෙ මූ කියපු දේවල් වලින්. ඒත් මූට මතක නැහැ මූ කියපු දේවල්වත්. ඔන්න ඩොකා කියනවා "පුතා, උඹ ප්‍රොජෙක් එක කාගෙන් හරි කොපියක් ගැහැව්ව නේද ? පලයන් පලයන්, ගිහිල්ල ප්‍රොජෙක් එක හරියට කරගෙන වරෙන්" කියලා. මැච් එක බැලුවත් ඩොකා මූ කියපු හැම වචනයක් නෑරම රෙකෝඩ් කරගෙන තමා ඉඳල තියෙන්නෙ.

ඔන්න තව දවසක් තව එකෙක් වයිවා දෙන්න සෙට් වෙලා. ඉතින් එදා ඩොක්ටර් ලන්ච් එක අරගත්ත ගමන්ම තමයි මූ කාමරේට ගිහිල්ල තියෙන්නෙ. මූ යනකොටත් ඩොක්ටර් කෑම කාල අත පිහිද පිහිද ඉන්නවා. ඉතින් මූ ගිහිල්ල ඉඳගත්ත ගමන්ම ඩොක්ට මේසෙ ලාච්චුවක් ඇරල තඩි ආනමළු ඇවරියක් එලියට අරන් මූට දික් කරලා "ආ පුතා කන්න කෙසෙල් ගෙඩියක්" කියලා. බයේ ගැහි ගැහි වයිවා දෙන්න ආපු එකාට මොන ආනමාළුද ? ඉතින් මූත් කියලා "නෑ සර් එපා තැන්ක් යූ".

"උඹට එපා නම් මම කනවා" කියල ඩොකා ආනමාළු දෙකකටම වග කියලා උණුවතර බෝතලේ අරගෙන කෝප්පෙකට තේකකුත් වක්කරනවා. එහෙම කරන ගමන් ඩොකා කියනවා,

"පුතා මගේ මේ උණුවතුර බෝතලේ තේ ඉක්මනටම නිවෙනවනෙ. මොකද ඒ ?" කියලා.

හීන් දාඩිය දාගෙන වයිවා දෙන්න ආපු එකාගෙන් ඩොකා උණුවතුර බෝතලයක් ගැන අහනවා. දැන් ඉතින් මූටත් මුකුත් නොකිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර සාමන්‍ය දැනීම එහෙම දාල කියනවා,

"ඩොක්ටර්, ඔය බෝතලේ ඇතුලේ සිලින්ඩරේ යට පොඩි වීදුරු බල්බ් එකක් තියෙනවා. මම හිතන්නෙ ඒක කැඩිලා ඇති"

"යට බල්බ් එක ?" . . . . "පලයන් බං යන්න මගේ යට බල්බ් එක හොඳට තියෙනවා. හා කියපන් කියපන්" ඩොකා කියපි.

ඔන්න ඉතින් වයිවා දෙන්න ආපු එකත් උතුර දකුණ මාරු කරගෙන දැන් ගොත ගහනවා.

ඇත්තටම ඩොකා ඒවගේ දේවල් කරන්නෙ ඕන කමින්මයි. ඩොකටර්ගෙ Phd. එක “industrial psychology” ("කාර්මික මනෝ විද්‍යාව ").ඉතින් වයිවා දෙන්න පොරක් කාමරේට එන කොටම ඩොකා දන්නවා මූ හරියට ප්‍රොජෙක් එක කරලද, ගිරවා දාලද නැතිනම් කොප්පෙ ගහලද කියලා. ඉතින් ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය පාවිච්චි කරනවා.

ඉතින් ඔය හැම බැච් එකකම ඉන්නවානෙ ලෙක්චරස්ලට ගොට්ට අල්ලන එවුනුත්. ඉතින් අපිට වඩා ජූනියර් බැච් එකකත් හිටියා නිකන්ම නිකන් ගොට්ටෙක් නෙමෙයි, ඉම්පෝටඩ් ගොටු අල්ලන්නෙක්. හැම තැනකම ඉතින් පොර ලකුණු දාගන්නම තමයි බලන්නෙ. මුගේ දින චරියාව පටන්ගන්නෙ උදෙන්ම එන්.අයි.බී.එම් එකට ඇවිල්ලා ඩොකා එන වෙලාවට ඉස්සරහට දුවගෙන ගිහිල්ල "ගූඩ් මෝනින් ඩොක්ටර්" කියන එකෙන් තමයි. දවසක් ඔය ගොට්ට අල්ලන්න ආපු වෙලාවෙ ඩොක්ට මූට කතා කලා. ඊට පස්සෙ ඩොක්ට මුගේ කරට අත එහෙම දාල ටික දුරක් මූත් එක්ක ඇවිදගෙන යනවා. දැන් මූටත් මාර සිරා. ඇයි ඩොකා මුගේ කරටත් අත දාගෙන ඇවිදිනවනෙ. ඉතින් මූ වට පිට එහෙම බල බල අහල පහල ඉන්න අය දිහා ආඩම්බරෙන් බල බල එහෙම යනවා.ඔහොම මුකුත් නොකියා මූත් එක්ක කරට අත දාගෙන ලිෆ්ට් එක ගාවට ඇවිදගෙන ආපු ඩොකා එක පාරටම,

"පුතා, දොස්තරට උනත් _ක දෙන්න එපා !" කියලා ලිෆ්ට් එකට නැගලා යන්න ගියා. හිටපු තැනම ගල් බමුණා වෙච්ච ඌ ඊට පස්සෙ අර ඉම්පෝටඩ් ගොට්ට විකුනලා දැම්ම.


(ප.ලි , මේක හිතුවට වඩා දිග වැඩි උනා. තව රස කතා ටිකක් තියෙනවා NIBM එකේ වෙච්ච. ඒව වෙන පෝස්ට් එකක දාන්නම්. )

ගිසර්ස් හී අවතාරය

Posted by දුමී

මා මින් වසර කීපයකට පෙර ජීවිතයේ එක් දිනක් පමණක් යම් අත්භූත අත්දැකීමක් ලැබ ඇතත් එය අවතාරයක් දැයි සක් සුදක් සේ පැහැදිලි කරලීමට හෝ එය එසේමැයි යැයි මා හටම ප්‍රත්ත්‍යක්ෂ කරලීමට අවැසි වූ ප්‍රමාණවත් සාක්කියක් වත් මා සතු නොවේ. එයිටත් වඩා මා සිත එය මනෝ විකාරයක් යැයි පෙළඹවීමට හේතුව මා එදින 'මද පමණට' වඩා මත් වී සිටි හෙයිනි. එනමුත් මා හට ඉතා සමීපතයන් එවැනි වූ නොයෙක් ආකාරයේ අත්දැකීම් ලැබ ඇති බව නම් කිව යුතු මනාය. මා මෙයට කලින් පල කරනු ලැබූ මේරි ආච්චි හා කුමාරස්වාමිගේ අවතාරය යන ලිපි එසේ මා හටම නොවුවත් මා දැන හුන් සමීපතයන්හට අත්දකින්න ලැබුවාවූ අත්භූතමය සිද්ධීන්ය. අද මා කියන්න යන සිද්ධියත් එසේ මාගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් විසින් ලැබුවාවූ අත්භූතයම අත්දැකීමකි.

මා රැකියාවේ යෙදී සිටින ඩුබායි දේශය මෑත කාලේ ඉතා සීග්‍රයෙන් සංවර්ධණය වූ නගරයකි. ඩුබායි පමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැදුම්ලත් සප්ත එමීරයන්ම හුදු වාලුකා කතරින් පමණක්ම පිරී තිබුනේ මෑත අතීතය වූ 1971 තරම් කාලයේය. හැටේ දශකයේදි අබුඩාබි නගර කේන්ද්‍ර කර ගනිමින් තෙල් සොයා ගැනීමත් සමග මෙම රාජ්‍යය නොසිතූ විරූ ලෙසකින් දියුණුවේ හිණිපෙත්ත කරාම ලඟා වුනි. මේ රාජ්‍යයේ ඈත අතීතය හාරා අවුසන්නෙකුට නිබඳවම ලැබෙන්නාවූ හෝඩුවාව වනුයේ ප්‍රධාන වශයෙන්ම මුහුදු කොල්ල කරුවන්ගෙන් පිරී තිබුනු අති ආක්‍රමණකාරී සමාජයක්ය. මුහුදු බඩ ආශ්‍රිතව තම ජනාවාස ඉදිකරගනිමින් ජීවත් වූ සහ ඉරාණයෙන් සංක්‍රමණය වූ අරාබි ගෝත්‍රිකයන්ගෙන් සමන්විත වූ ඔවුන්ගෙන් ඇතැමුන් මුතු බෙල්ලන් සෙවීමේ කිමිදුම්ක්‍රමයන් ජීවනෝපාය කරගනිමින් ජීවත් වූහ. ඔවුන් එසේ සොයා ගත් මුතු බෙල්ලන්, එසේ නැතිනම් මහ සයුරෙහි යාත්‍රා කරමින් තිබූ වෙළඳ යාත්‍රා වලින් කොල්ළ කන ලද භාණ්ඩ නැවත නැවතත් විකුනමින් සංක්‍රමණකාරී දිවි පෙවතක් ගත කලහ. සමාජයේ වරප්‍රසද ලද්දාවූ ප්‍රභූන්ට පමණක් හුණු ගල් වලින් සැදුම්ලත් ස්ථිර වාසස්ථාන තිබු නමුත් අනිකුත් සංක්‍රමණ කාරී ගෝත්‍රික ජනතාව ජීවත් වූයේ කාන්තාරයේ තැනින් තන අටවා ගන්න ලද තාවකාලික වූ කූඩාරම් තුලය. මුතු බෙල්ලන් එසේ නැතිනම් කොල්ල කන ලද්දාවූ නොයෙකුත් භාණ්ඩ විකුනමින් අරාබි කරයේ සිට ඈත පෙරදිග දක්වා ගොඩ බිම මාර්ගයන් ඔස්සෙ නිති සංචාර්ය කරන ලද ඔවුන්ගේ වාසස්ථාන කිසි දිනෙකත් ස්ථීරවූවන් නොවේ. එසේ නිති පතා ජීවනෝපාය සඳහා සංකරමණය වූ ඔවුන් ඈත අතීයේ පටන්ම ඉස්ලාම් භක්තිවන්තයෝ වූහ. සංක්‍රමණයේදී ඇති වන්නාවූ විවිද වූ රෝග ව්‍යාදි හේතුවෙන් මරණයට පත් වෙන්නවුන්ට සිදු වූයේ එසේ මිය යන තැනම වූ භූමියක භූමි ගත වන්නටය. එසේ තැන තැන කාලෙන් කාලෙට සිරුරු භූම දානය කරලූ ස්ථාන විශාල ප්‍රමාණයක් මේ ජනාවාස වටා පිහිටා තිබුනි. පසු කාලීනව අත්දකිනා ලද සීග්‍ර දියුණුව අරබයා කොන්ක්‍රීට් වනාන්තර ඉදිවන්න වූයෙන් සමහර හොඩනැගිලි ඉදිවූයේ මෙසේ තැන තැන පිහිටුවන ලද සලකුණු නොකරන ලද නොයෙකුත් සොහොන් බිම් මතය.

මා මිත්‍ර වර්ෂ (සැබෑ නම නොවේ) වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙකි. කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් කටයුතු කල ඔහු ඩුබායි දේශයට පැමිනින්නේ කේ.එල්.එම් (KLM) ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් ලද පත්වීමක් නිසාය. මෙයින් වසර හයකට පමණ පෙර ඔහු දිවි ගෙවූයේ තනිකඩයෙකු ලෙසිනි. ඩුබායි දේශයට අළුතෙන්ම පැමින රැකියාවක් කරන ඕනෑම අයෙකු දවාලන ප්‍රශ්නයක් වනුයේ ඉන්න හිටින්නට සුදුසු ගෙයක් දොරක් පහසු මිලකට සොයා ගැනීමය. ටික කාලයක් මිතුරෙකු සමග වාසය කෙරූ වර්ෂට ඔහුගේම නවාතැනක අවශ්‍යතාවයක් මතු ආවේ මිතුරාගේ දරු පවුල ඔහු සමග විසීමට ඩුබායි දේශට සපැමිණි බැවිනි. එසේ නිවාස සොය ගිය ඔහුට එම දිනවල තිබුණු මිල ගනන්වලට වඩා සෑහෙන අඩු මිලකට තනි කාමරයක් සහිත නිවසක් (one bedroom apartment) සොයා ගැනීමට ලැබුනේ ඩුබායි, සාජා මායිමේ පිහිටියාවූ ඒ දිනවල කිසිසේත්ම ජනාකීර්ණ නොවූ (අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණය ) ගිසර්ස් නම් වූ ප්‍රදේශයෙනි. සැනෙකින් එය බද්දට ගත් මා මිත්‍ර වර්ෂ එහි පදිංචිටය පැමිණියේ එම මිල ගණනට එම පහසුකම් සහිත වූ වෙන නිවසක් සොයා ගැනීමට නොහැකි බව පසක් වීමෙන් සිත පිළසිඳගත් සතුටකුත් සමගය. එනමුත් එම සතුට වැඩිකල් සිතේ රඳවා තබා ගැනීමට නම් මාගේ මිත්‍රයාට නොහැකි වුනි.

ඩුබායි දේශයේ සීත සෘතුව සමයෙහි ඇට මිදුලු ඝනී භවනය කරන සීතලක් පැවතීම සාමාන්‍යයෙන් අත්දැකීමට සිදුවෙන්නාවූ සුලභ දෙයකි. එලෙස සීත සෘතුව සපැමිණ තිබු එසමයෙහි ඝන පොරෝණයක් නොමැතිව නිදා ගැනීමට නම් කිසි වෙකුටත් කල හැකි දෙයක් නොවන්නේය. වරෙක රාත්‍රී වැඩ මුරයන්ද, වරෙක දහවල් වැඩ මුරයන්ද අහවර කර පැමිණෙන වර්ෂට නින්ද තරම් සුව දෙන වෙනත් දෙයක් නොමැත්තේය. එසේ වෙහෙස වී පැමිණෙන වර්ෂ ඉක්මනින්ම කිසියම් දෙයකින් කුස පුරවාගෙන ඇඳට පනින්නේ නින්ද තරම් සුවයක් නොමැති නිසාය. දහවලද රාත්‍රියද වෙනසක් නොමැති සීතල පැතිර යත්දී ඝන පොරෝනය තුලට ගුලිවෙන වර්ෂට ඇහැරෙන්නේ ඇට මිදුලු සූරා යන තරමට දැනෙන සීතලකිනි. ඇස් පියන් ඇර බලන ඔහුට දිස් වනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන මෙතෙක් වේලා තමන්ට උණුසුම සැපයූ පෝරණයය. එය කෙසේ සිදු වූවාදැයිවත් නොසිතෙන සීතලෙන් ගැහෙන ඔහු නැවතත් එය රැගෙන පොරවාගෙන නින්දට යතත් තවත් ටික වෙලාවකින් හීනෙන් මෙන් දැනෙණුයේ කිසිවෙක් විසින් පොරෝණය ඇද ඉවත් කරන බවකි. නැවතත් ඇහැරෙන ඔහුට දැකින්න ලැබෙනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන පොරෝණයයි. නින්දේදි මෙහෙමත් දඟලනවාදැයි තමන්ටම සිනාසෙන ඔහු නැවත වරක් පොරෝනය ගෙන ඇඟ දවටා නින්දට යයි. දින පතාම සිදුවෙන්නාවූ මේ ක්‍රියාදාමය නිසාම කඩින් කඩ නින්ද අහිම වන වර්ෂට රාජකාරියේදිත් නිදි කිරා වැටීමට සිදු වනුයේ රාත්‍රියේදි හරි හැටි නින්දක් නොලැබෙන හෙයිනෙ. මෙසේ සති කිහිපයක් ගත වෙන විට අති භයංකර සිදු වීමකට හර්ෂ මුහුණ පානුයේ මෙලෙසිනි. එදිනද සුපුරුදු පරිදි පොරෝනය නොමැති වීමෙන් ඇහැරුනු ඔහු එය නැවත ඇඟ දවටා නිදා ගැනීම සැරසුනා පමණි. එක් වරම යමෙක් ඔහුගේ කුකුලෙන් ඇද ඇඳෙන් බිමට ඇද දමන ලදී. පරිසරයේ සීතලට වඩා වැඩි වූ සීතලක් ඔහුගේ වලළු කර ප්‍රදේශයට දැනීමත් වැරෙන් ඇද බිමට දැමීම නිසා ඇති වූ කම්පණය නිසාත් වර්ෂට කෑ ගැසී තිබුනේ ඉබේටමය. එනමුත් තනිකඩව විසූ ඔහුගේ කෑගැසීමට ප්‍රථිචාර දැක්වූවෙක් නොමැත. මෙවැනි දෙයක් මින් පෙර අත්දැක නොතිබූ සහ මෙවැනි දෙයක් පවතී යැයි විශ්වාසයක්වත් නොතිබූ වර්ෂ මේ සිදු වූයේ කුමක්දැයි සිතමින් නොනිදමින් මුළු රැය මානසික ආථතියෙන්ම පහන් කරන ලදී. ඇති වූ කම්පණයෙන් සිටි ඔහුට පහුවදා වන විට තදින් උණ සෑදි තිබුනි. පහුදා උදෙන්ම තමාගේ කලින් නවාතැනේ මිතුරාට දුරකථන ඇමතුමක් දුන් වර්ෂ ඔහුත් සමග ගොස් ප්‍රතිකාර රැගෙන පමිණියේය. තම මිතුරා තනි නොකල වර්ෂගේ මිතුරා එදින රැය ඔහු සමග ගත කලේ වර්ෂගේ උණ ගතිය අඩු වී නොතිබූ නියාවෙනි. බිමට එලනු ලැබූ මෙට්ටයක නිදා ගත් වර්ෂගේ මිතුරාටත් අත් විඳින්නට වූයේ වර්ෂ විසින් අත් දකිනා ලද දෙයමය. කකුලෙන් ඇද මෙට්ටෙන් බිමට දමන ලද මිතුරාත් බයෙන් බීරාන්ත්‍ර වී ගියේ මෙය කිසියම් අමුනුස්සයෙකුගේ වැඩක් යැයි දැන් දැන් මොනවට පැහැදිලි වූ නිසාය

මිතුරාත් සමගම වර්ෂ පසුදිනම නිවස බදු දෙන ලද ආයතනය වෙත පැමිණියේ නිවසින් පිට වෙන බව දැනුම් දෙනු සඳහාය. තමන් අත්දකින ලද විස්තරය පවසනු ලදුව ආයතනයෙන් පවසනු ලැද්දේ මින් පෙර කිසිවෙකුත් වර්ෂ සිටියාවූ නිවසෙහි මාසයකට වඩා පදිංචි වී නොමැති බවය. මෙහි මාස තුනකට ආසන්න කාලයක් පදිංචි වී සිට ඇත්තේ වර්ෂ පමණකි. වහාම ඉන් පිටවූ වර්ෂ මිතුරාගේ නිවසේ යළි ටික කලක් පදිංචි සිට වෙනත් නිවසකට මාරු වී ගියේය. පසු කලෙකදි එම ගොඩනැගිල්ලේ වර්ෂ පදිංචිව උන් නිවහන වසා දමා කිසිවෙකුටත් කුලියට නොදෙන ලැද්දේ කිසි කෙනෙකුටහ් එහි සැනසිල්ලේ විසීමට නොහැකි වූ නියාවෙනි..

කට කහන කාර් කතා

Posted by දුමී

මම NIBM ඩිප්ලෝමා එක ඉවරවෙලා තව අවුරුදු එකහමාරක් විතර ඒකෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙත් ඉඳල හා හා පුරා කම්පැණි එකකට ජොයින් උනේ 98 ඔක්තෝබර් මාසේදි විතර. ඒ ඔය මොරටුව පැත්තෙ තියෙන ගොඩනැගිලි උපාංග නිපදවන සහ බෙදාහරින ආයනයක පරිගණක කලමණාකාරවරයෙක් විදිහට තමයි. ඒ වෙනකොට මැනේජ්මන්ට් එකේ හිටපු වයසින් අඩුම එකා උනෙත් මං. අනිත් අය ඔක්කොම ඒ වෙනකොට මට වඩා අවුරුදු 10ක් 15ක් විතර වයසින් වැඩි අය තමා. ඉතින් කම්පැණි එකේ ඉන්න එකවුන්ටන්ට, සේල්ස් මැනේජර්ට, ඒරියා මනේජර්ලට එහෙම කම්පැනි එකෙන්ම නඩුත්තු කරන වාහන දෙන එක සිරිතක් වෙලා තිබුනා. ( මටත් ඒකට ගිහින් අවුරුද්දකට හමාරකට විතර පස්සෙ ඔය වෑන් කබලක් එහෙම හම්බ උනා.) ඉතින් නිකන් හම්බවෙන වාහනේ උනත් පුළුවං තරං ඉස්තරම්ම එකක් ලබා ගන්න තමයි හැමෝම ෆුල් ට්‍රයි එක දෙන්නෙ. ඒත් ඉතින් කම්පැණි එකේ තියෙන ආර්ථික තත්වෙ හැටියට තමයි කාට කාටත් වාහන හම්බ උනේ. ඉතින් ඔය ලන්ච් ටේබල් එකේදි එහෙම තමයි අපි ඕව ගැන කතා කරන්නෙ. මම ජොයින් වෙන්න කලින් හිටපු එකවුන්ටන්ට දීල තිබිල තියෙන්නෙ ටිකක් විතර පරණ කාර් එකක්. ඉතින් කට්ටිය උගෙන් අහනවා,

"කොහොමද මචං කාර් එක හොඳයිද ? ෆුල් ඔප්ෂන්ද ?"

මූත් ඉඳන් කියනවා, "ෂහ් මචං, මරු කාර් එක. මේක ෆුල් ඔප්ෂන්දත් කියල අහනවා. ෆුල් ඔප්ෂන් වලටත් වැඩිය මේකෙ එක්ස්ට්‍රා ඔප්ෂන්ස් තියෙනවා කියලා"

"ඈහ් . .! ඒ මොනවද බං ඒ එක්ස්ට්‍රා ඔප්ෂන් ? කියලා අනිත් එවුනුත් මුගෙන් දැන් අහනවා.

"ඇයි බං මේකෙ ෂවර් ඇන්ඩ් බිඩර් ඔප්ෂන් හිටන් තියෙනවනෙ. වහිනකොට හොඳට නාගන්න විතරක් නෙමෙයි පස්ස පැත්තත් හෝද ගන්නත් පුළුවංනෙ. අනික බිඩර් එක හොඳටම වැඩ කරන්නෙ මගේ වයිෆ් වාඩිවෙලා යන පැත්තෙ. ඉතින් අපරාදෙ හින්ද එයා ගෙදර වතුර නාස්ති කරන්නෙ නැහැ. "

බලනකොට කාර් එකේ වහලෙයි අඩියයි අම්බානෙකට දිරල. වහිනකොට හිටු කියල වහලෙන් තෙමෙනවා විතරක් නෙමෙයි වලකට වැටුනොත් නිකන්ම පස්සත් හේදෙනවා.

කොහොමෙන් කොහම හරි දවසක් මූ ගිහිල්ලා කාර් එක තඩි කන්ටේනර් ටේලර් එකක පිටි පස්සෙ ගහල. කාර් එකේ වහලෙ කන්ටේනර් ටේලර් එක උඩලු. මූ වදිනකොටම පාත් වෙච්ච හින්ද මුගෙ ඔළුව ගැලවිලා නැහැ. යන්තන් පොඩි හීරීම් තුවාල ටිකකුත් එක්ක පොර බේරිලා. ඉතින් කට්ටිය විස්තර අහලා "මොකද මචං උනේ ?" කියලා. ඉතින් මූ කියනවලු "නෑ මචං මෙච්චර ඔප්ෂන් තියෙන එකේ මට නිකන් හිතුන කාර් එක කන්වර්ටිබල් කරගත්තොත් හොඳයිනෙ කියලා" (කන්වර්ටිබල් කියන්නෙ ඕනෙ වෙලාවට වහලේ ගලවන්න පුළුවං වාහනවලටනෙ )

කොහොම හරි මම ජොයින් වෙනකොට ඒ එකවුන්ටන්ට් අස්වෙලා ගිහිල්ල අළුත් එක්කෙනෙක් තමයි හිටියේ. ඉතින් එයාට දීල තිබුනේ අර ටොයෝටා DX වැගන් කියලා තිබුනේ. අන්න ඒ ජාතියේ වාහනයක්. ඉතින් පොර දවසක් ඔය ලිබර්ටි ප්ලාසා එකේ කාර් පාක් එකේ වාහනේ නවත්තල ඇතුලට ගිහිල්ල ටික වෙලාවකට පස්සෙ ඇවිත් බලනකොට වාහනේ මිසින්ලු. දැන් පොර කල්පනා කරනවලු බොලේ හොරෙක් අරගෙන ගියා නම් මෙච්චර මේ සිරා අළුත් වාහන තියෙත්දි මේ ලදරම මොනවට අරගෙන ගියාද කියලා. ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මිනිහට පේනවලු කාර් එක ආපහු හෙමිහිට කාර් පාක් එකට ඇතුළු වෙනවා. ඉතින් එහම ඇවිල්ල අයිනකින් නවත්තල හොඳට ටයි එකක් එහම දාල හිටපු පොරක් කාර් එකෙන් බැස්සලු. දැන් අපේ එකත් මේ මොන අට මගලක්ද කියල බලන්න ලඟට ගියහම අර කාර් එක අරගෙන ගිය පොර බොහෝම අහිංසක විදිහට කියනවලු,

"අනේ සොරි මිස්ටර්. මගේ කාර් එකත් මේක වගේමයි. අර එහා පැත්තෙ නවත්තල තියෙන්නෙ ඒක. මම මගේ කාර් එක කියල හිතල වැරදිලා මේකනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ"

"ඒත් මේ රේඩියෝ එක දාන්න බලනකොට ඒක වැඩ කරන්නෙ නැති කොට තමයි මම මේ කල්පනා කරේ මේකට මේ මොකද හිටි හැටියේ උනේ කියලා. ඒ මදිවට මම මේ හිත හිතා හිටියේ කවුද යකෝ මගේ කාර් එකේ මේ කුරුසයක් එල්ලුවේ කියල".

බලාගෙන යනකොට මේකට ඕනෙම ගල් ඉබ්බෙක්ගෙ යතුරක් දාල දොරවල් ඇරල ස්ටාර්ට් කරගෙන යන්න පූළුවංලු.

ඉතින් අපේ එකා කියනවා, "බලපන් බං මගේ කාර් එක කොච්චර ෂෝක්ද.බැරි වෙලා හරි කාර් එකේ යතුර නැති උනොත් ගෙදර, දොරේ යතුර දාල හරි කාර් එක ස්ටාර්ට් කරගන්න පුළුවංනේ " කියලා.

මම කිවුවනේ මේ කම්පැණි එක කලේ නොයෙකුත් මාදිලියේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවන එකයි ඒව බෙදා හරින එකයි කියලා. ඉතින් ඔය හාර්ඩ්වෙයාර් කඩ වලට තමයි මේ නිෂ්පාදන බෙදා හරින්නෙ. ලංකාවෙ වටේම හාර්ඩ්වෙයාර් කඩ 20,000 විතර තිබුනා ඒ කාලේ මේ කම්පැණි එකේ නිෂ්පාදන ලබා ගන්න. මේ කතාව අපේ ලන්ච් ටේබල් එකේදි කිව්වෙ ඔය ගම්පහ පැත්ත බාරව හිටපු ඒරියා මැනේජර්.

ඉතින් ඔය ගම්පහ පැත්තෙ ලොකු හාර්ඩ්වෙයාර් කඩේක මුදලාලි කෙනෙක් වාහනයක් ගත්තලු. ඉතින් මාසෙකට විතර පස්සෙ අපේ ඒරියා මැනේජර් ගිහිල්ල මුදලාලිගෙන් ඇහුවලු,
"මුදලාලි, කොහොමද අළුත් වාහනේ ?" කියලා.
ඉතින් මුදලාලි කියනවලු

"වැඩක් නැහැ මහත්තයෝ, මම ඒ කෙහෙම්මල විකුනල දැම්මා" කියල.

ඉතින් අපේ පොර අහනවලු "ඇයි මුදලාලි අරගෙන මාසයක්වත් ගියෙ නෑනේ"

ඔන්න මුදලාලි කියනවලු , "වැඩක් නෑ මහත්තයෝ, ඔය කාලකණ්නි වාහනේ හින්ද මගේ අළුත්ම සෙරප්පු කුට්ටම් දෙකක්ම නැති උනානේ" බලාගෙන යනකොට කාර් එකේ අඩියේ තඩි හිලක්. ගමනක් එහෙම ගිහින් බහින්න හදනකොටලු දන්නෙ සෙරප්පු කුට්ටම ඒ හිලෙන් වැටිලා කියලා. ඉතින් සෙරප්පු නැතිව යන්න බැරි හින්ද මුදලාලි ආපහු ගෙදර එනවා

"තාම නම් නැති උනේ සෙරප්පු විතරයි. මම මේකෙ අපේ උන්දැවත් දාගෙන යනවනෙ.උන්දැ එහෙම මගදි වැටුනොත් මම මොකද කරන්නෙ ?" .

මම ඒ කම්පැණියෙන් අස් වෙලා තමයි අර කොම්පඤ්ඤ වීදියේ තිබුන කම්පැණි එකට ජොයින් උනේ. ඉතින් මේකෙන් අස් උනාට පස්සෙ මමත් ඔය මම හදපු සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් දෙකක් විකුනල සල්ලි ටිකක් හොයා ගෙන මටම කියල වාහනයක් ගන්න හෙව්වා. ඉතින් මමත් ඉරිදා සිළුමිණ පත්තරෙයි, ඔබ්සවර් පත්තරෙයි අරගෙන හතර වටේ ගියා වාහන හොය හොයා.

ඔහොම යනකොට ඔය කිරුළපන පැත්තෙ කාර් එකක් බලන්න ගියා. දැන්වීමේ නම් තිබුනේ ෆුලි ගෑස් කන්වර්ටඩ්, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් කියලා. ගිහිල්ල බලන කොට තමයි දැක්කෙ කියපුවා ඔක්කොම ඇත්තනෙ කියලා. මින්ට් කියන්නෙ මින්ට්ම මින්ට්. අර රවුම් පෙපර් මින්ට් ටොපියක් වගේ රවුම්. හරියට ශේප් එක මොකක්ද කියලා හිතා ගන්න බැහැ. හරිනේ, ලේඩි ඩ්‍රිවන් කියන්නෙ ඒක තමයි අර සුපුරුදු විදිහටම ලේඩීස්ල එළවනවා වගේ හතර පැත්තම හප්පලා රවුම් කරන් තමයි එළවලා තියෙන්නෙ. ෆුලි ගෑස් කන්වර්ටඩ් කිව්වම පැට්‍රල් වලින් දුවන්නෙම නැහැ. පැට්‍රල් ටැංකිය හොඳටම දිරල ගලවලා දාල. බලනකොට අර ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩර් එකකින් තමයි දුවන්නෙ. ඔන්න පොරක් ආවා කාර් එක තිබුන ගෙදර ඉඳන්.ඉතින් පොඩි ට්‍රයල් එකක් ගිහිල්ල බලමු කිව්වහම පොර පට ගාල ගේ ඇතුලට දුවල එල්.පී ගෑස් සිලින්ඩර් එකක් උස්සන් ඇවිත් ඩිකියට දාලා අර ගෑස් කුකර් එකකට ගහනවා වගේ රෙගියුලේටර් එකක් හයි කලා. ගෑස් කන්වර්ට් කරාට වාහනේ ස්ටාර්ට් කරනකොට පැට්‍රල් ඕනෙනෙ. මේකෙ පැට්‍රල් ටැංකිය ගලවලා දාල මොකද ඒක දිරලා හින්ද. ඔන්න පොර බොනට් එක ඇරල කාබලේටර් එකට පොඩි සිංගර් තෙල් බෝතලයකට දාපු පැට්‍රල් ටිකක් දාල කාර් එක ස්ටාර්ට් කරා ඊට පස්සෙ ඔන්න කාර් එකේ අයිති කාරයවත් දාගෙන මම ඉතින් කිරළපනින් හයිලෙවල් පාරට දාගෙන මේක එලවනවා. ඔහොම ටික දුරක් යනකොට, හචස් හචස් ගාල හිටියේ නැතෑ කාර් එක මහ පාරේ ට්‍රැෆික් එකේ. ඔන්න අයිති පොරත් ඇවිල්ල දන්න සෙල්ලං දානවා මේක ස්ටාර්ට් කරන්න. හරියන්නෙම නෑ. පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා කාර් එක පාර අයිනට තල්ලු කරලා නැවැත්තුවා. දැන් මේ ගිණි මද්දහනේ එකත් පහු වෙලා. ආ කියන්න බැරි උනානේ. කාර් එකේ හයි කර තියෙනවා ඔරලෝසුවක් අර බිත්ති ඔරලෝසුවකට වඩා පොඩ්ඩක් පොඩියි. ඔන්න පොර කියනවා

"මල්ලි, මට අද මේ කාර් එක විකුනන්න වෙන්නෙ නැහැ. මොකද අපි තාම දවල්ට උයල නැහැ.”

" එහෙම කියලා පොර ත්‍රී වීලර් එකක් නවත්තගෙන ඩිකියෙන් ගෑස් සිලින්ඩර් එක ගලෝලා දාගෙන කාර් එකත් එහෙම්මම තියල යන්න ගියා. බලාගෙන යනකොට ගෙදර ගෑණි උය උයා හිටපු ගෑස් සිලින්ඩර් එක තමයි මූ මේ කාර් එකට හයි කරගෙන ට්‍රයල් එකට ඇවිත් තියෙන්නෙ.

කාර් හෙවිල්ල පැත්තක තියලා ඊට පස්සෙ මමත් කිරුළපනින් නුගේගොඩ බස් එකකට නැගල එහෙම්මම ගෙදර ආවා.

මෙඩිකල් ටෙස්ට් සහ අයි ටෙස්ට්

Posted by දුමී

මතකනෙ මම අර අපේ ගම හාමිනේ ලයිසොන් ගත්ත කතාවෙදි කිව්වෙ මම ලයිසොන් එක ගන්න වෙලාවෙ මගේ මෙඩිකල් එක ගන්න ගිහිල්ල වෙච්ච සන්තෑසිය ගැන.ඉතින් මම ආපහු මේ පෝස්ට් එක කියව කියව ඉන්නකොට ඔය මෙඩිකල් ගැන තව කට කහන කතා ටිකක් මතක් උනා. මේකෙන් එකක් මේ මටම වෙච්ච එකක් සහ අනිත් ඒව සුපුරුදු විදිහටම මගේ අති ජාත මිත්‍ර කැලට වෙච්ච ඒවා. හැබැයි මම ඔන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මීට පස්සෙ ඔය අකරතැබ්බ වෙච්ච යාළුවන්ගෙ සැබෑ නම් හෙලි නොකර සිටීමට. මොකද පහු ගිය ටිකේම මට නිතරම ඉන්ටර්නැෂනල් කෝල් එන්න පටන් ගත්තා පාතාලෙන් "පරිස්සම් වෙලා හිටපන්" කියල. අනික සමහර යාළුවො කෙලින්ම මූනට කියන්න බැරි හින්ද ෆේස් බූක් එකෙන් මැසේජ් එවන්න පටන් ගත්ත "යකෝ තොගෙ කට කහනවං පොල් ලෙල්ලකින් උළාගෙන ඩෙටෝල් ටිකක් දාල හෝදගනින්" කියල. මෙහෙ ඉතින් කොහෙද පොල් ලෙළි හොයන්නෙ කියල උන් හිතන්නෙ නැහැ.

හරි හරි, යමුකො ඉතින් කතාවට. ඉස්සෙල්ලම කියන්න යන්නෙ මගේ යාළුවෙක්ට වෙච්ච සන්තෑසියක් තමා. මම අර කලින් පෝස්ට් එකකදි හෙලි කලානෙ මම අර කලින් වැඩ කරපු කොම්පඤ්ඤ වීදියේ කම්පැණි එක ගැන. ඒකෙ නම ජෝන් කීල්ස් කම්පියුටර් සර්විස් (JKCS). ඉතින් ඕක හරහා තමයි අපි ඔක්කොම ඩුබායි වල එමිරේට්ස් ගුවන් සමාගමේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් වලට ආවෙ. ඉතින් මෙහේ දීර්ඝ කාලීන, ඒ කියන්නෙ මාස තුනකට වඩා වැඩි ප්‍රොජෙක්ට්ස් වලට ආවහම රෙසිඩන්ට් වීසා එක අරගෙන තමයි ඉන්න වෙන්නෙ. ඉතින් ඔය රෙසිඩන්ට් වීසා එක නිකන්ම දෙන්නෙ නැහැ. ෆුල් මෙඩිකල් ටෙස්ට් එකක් තියලා ඉහේ සිට පාදාන්තේ දක්වා චෙක් කරලා තමයි මෙඩිකල් එක පාස් කරන්නෙ. ඕකට ඉතින් බ්ලඩ් ටෙස්ට් එකක්, යූරීන් ටෙස්ට්, අයි ටෙස්ට්, චෙස්ට් ටෙස්ට් අර ටෙස්ට්, මේ ටෙස්ට් කියල නා නා ප්‍රකාර ටෙස්ට් ජාති තියෙනවා. ඕක කරන්න යන්න ඕනෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට. ඉතින් ඔතනට හැම ජාතියේම ඒ කියන්නෙ පාර අතුගාන්න ආපු කම්කරුවගේ ඉඳන් දොස්තර වැඩේට මෙහෙ ආපු එකාට වෙනකන් එනවා. ගොඩක්ම එන්නෙ ඉතින් ඔය ලේබර් කැටගරියෙ බුවාලා තමයි. ඉතින් ඉස්පිරිතාලෙන් උනත් හැමෝටම සලකන්නෙ එකම විදිහට. උන්ට වැඩක් නැහැ මේකා ලේබරයෙක්ද නැතිනම් ඉන්ජෙක්ද, නැතිනම් ඩොකෙක්ද කියලා. ඉස්පිරිතාලේ ඉන්න බල්ලගෙ ඉඳන් හැම එකාගෙම ආඩම්බර බලන්න වෙනවා ඉතින් ඔතනට ගියහම.

ඔන්න මගේ යාළුවෙක් හිටිය ඉන්ද්‍රජිත් කියලා. අපි ඌට කියන්නෙ ඉන්ද්‍රා කියලා. ඉතින් ඉන්ද්‍රත් දැන් ඩුබායි ඇවිල්ලා හා හා පුරා කියලා මෙඩිකල් යන්න තමයි ලෑස්තිය. එකම අවුල තියෙන්නෙ මූ ඉන්ජෙක්ෂන් කටු වලට චූ යන්න බයයි. ටී වී එකේ කාට හරි ඉන්ජෙක්ෂන් එකක් හැහුවත් මූට කලන්තෙ හැදෙනවා.

ඉතින් බයෙන් බයෙන් මූත් මෙඩිකල් එකට ගිහිල්ල ආවා කියමුකො. ඔන්න ඊට පස්සෙ කට්ටිය ඇහුවහම "මොකද මචං උනේ" කියලා මූ ඇවිල්ල විස්තරේ කියනවා.

"බලහං මචන්, ඌ කටුව ගැහුව විතරක් නෙමෙයි බං මට පයිනුත් ගැහුවා" කියලා.

බලනකොට මොකද වෙලා තියෙන්නෙ මූ ලේ ගන්න තැනට ගිහිල්ල වාඩිවෙලා අත දෙන්නෙ නැතුව අත කකුල් දෙක අස්සෙ ගහන් ඉන්නවලු බයට. ලේ ගන්න පොර මොකද කරල තියෙන්නෙ බැරිම තැන උගේ කකුල් දෙකට පයිං පාරක් ගහල කකුල් දෙක ඈත් කරගෙන මුගේ අත ඇදල අරන් බලෙන්ම කටුව ගහල ලේ අරගෙන.

ඔන්න ඊට පස්සෙ මූට තිබිලා තියෙන්නෙ යූරීන් ටෙස්ට් එක කරන්න. පොර ඊට පස්සෙ තිබුන යූරීන් සාම්පල් ගන්න කාමරේට ගියහම පොඩි කන්ටේනර් එකක් දීලා කිව්වළු අර ටොයිලට් එකට ගිහිල්ල මේකට යූරීන් දාන්න කියලා. ඔන්න ඉන්ද්‍රත් පොඩි ප්ලාස්ටික් කන්ටේනර් එකත් අරගෙන ඇතුලට ගිහිලා ආපහු ආවලු ඒත් කන්ටේනර් එක හිස්ලු. ඉතින් යූරීන් සාම්ප්ලෙ ගන්න පොර ඇහුවලු මොකද සාම්පල් එක ගෙනාවෙ නැත්තෙ කියලා. ඒ පාර ඉන්ද්‍ර කියනවලු,

"නෑ මේකට දාන්න ඕන උනේ නැහැ එක ඇතුලේ කොමඩ් එකක් තියෙනවා" කියලා.

ඔන්න පස්සෙ සාම්පල් කලෙක්ට් කරන එකාටත් මල පැනල කිව්වලු හොඳට වතුර බීල ආපහු මේක පුරෝගෙන එන්න කියලා. ඉතින් ඉන්ද්‍රත් මොකද කරල තියෙන්නෙ වතුර ලීටර් එකක් විතර බීල ටික වෙලාවක් ඉඳල කොහොම හරි සාම්පල් එක දීල ඇවිල්ලා. හොඳම හරිය වෙලා තියෙන්නෙ මෙඩිකල් රිපෝට් එක ආපුවහම රිපෝට් එකේ තියෙනවලු මූට දිය වැඩියාව කියලා. ඔන්න දැන් ඉන්ද්‍රට යකා නැගලා මූ බනිනවලු අර ක්ලිනික් එකේ එකාට, නෑ බං "අරූ තමයි කිව්වෙ මට වතුර බෝතලයක් බීල සාම්පල් එක පුරවන්න” කියලා. මූ හිතන්නෙ වතුර ගොඩක් බීපු හින්ද රිපෝට් එකේ "දිය වැඩියාව" කියල පෙන්නුවා කියලා. බලාගෙන යනකොට ක්ලිනික් එකේදි සාම්පල් එක මාරු වෙලාද කොහෙද අපේ ඉන්ද්‍රා කරපු බුල් සීන් එක නිසා. පස්සෙ ඉතින් කොහොමෙන් කොහොම හරි දෙවනි පාර මෙඩිකල් එකකුත් කරාට පස්සෙ ටෙස්ට් එක නෝමල් කියලා ආවලු.

මේක උනේ මම ඔතන මෙඩිකල් එකට ගිය දවසෙ. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කරන්නෙ ඇස් ටෙස්ට් කරන එක. මේකෙදි ඇස් දෙක හොඳට පේනවද කියලා විතරක් නෙමෙයි කලර් බ්ලයින්ඩ්ද කියලත් ටෙස්ට් කරනවා. මේක කරන්නෙ මේ ඔය උඩින් පෙන්නල තියෙනවා වගේ එක එක පාටෙන් තියෙන රූප පෙන්නල අහනව මේකෙ තියෙන රූප මොනවද කියලා. ඉතින් සමහර කලර් බ්ලයින්ඩ් තියෙන අයට පේන්නෙ නැහැ මේකෙ තියෙන ඉලක්කම් හරි රූප හරි, මොකද ඒ ගොල්ලන්ට සමහර වර්ණ අනිත් වර්ණත් එක්ක වෙන් කරල හඳුන ගන්න බැරි නිසා. ඔය රූප ටික තියෙන පොඩි පොතකින් පෙරළ පෙරළ තමයි ඩොකා අහන්නෙ. එක එක රූප වලින් වෙනස් වෙනස් වර්ණ අන්ධතා හොයා ගන්න පුළුවං. පොතේ අන්තිම හරියෙ හරියට තියෙනවා විස්තර කරලා, දෙන උත්තරේ හැටියට උත්තරේ හරිද එහෙම නැතිනම් මොකක් හරි වර්ණ අන්ධතාවයක් එහෙම තියෙනවද කියලා.

ඔන්න ඉතින් මටත් ඩොකා එක එක රූප පෙන්න පෙන්න අහනව මේකෙ තියෙන්නෙ මොනවද කියලා. මමත් ඉතින් කිසි ගේමක් නැතිව උත්තර දෙනවා. ඔහොම චෙක් කරන ගමන් ඩොකා මට රූපයක් පෙන්නල අහනවා මේකෙ තියෙන්නෙ මොකක්ද කියලා. ඒකෙ ඇත්තටම තිබුනේ නිකන් නයෙක් ගියා වගේ රූපයක්. මම එහෙම කිව්වහම ඔන්න ඩොකා ඒක පිළිගන්නෙ නැහැ. ඊට පස්සෙ පොර කියනව මට ඇඟිල්ල රූපේ උඩින් අරගෙන ගිහිල්ල පෙන්නන්න කියලා. මමත් ඉතින් රූපේ උඩින් ඇඟිල්ල අරගෙන ගිහිල්ල පෙන්නුවා. ඒත් පොරට විශ්වාස නැහැ.පස්සෙ ඔන්න ඩොකා පොතේ පිටි පස්ස පෙරලල බැලුවා මම කිව්වා හරිද කියලා. බලනකොට මම පෙන්නුවා හරි. බලාගෙන යනකොට ඒ ඩොකා කලර් බ්ලයින්ඩ්. ඌට පේන්නෙ එකෙ වෙන රූපයක්.

ඉතින් ඔහොම ටික කාලයක් ගියහම අපේ එවුන් එකා දෙනා මෙහේ ඩ්‍රයිවින් ලයිසන් ගන්න සෙට් උනා. මෙහේ ලයිසන් ගන්නව කියන්නෙ ඉතින් ඩිග්‍රියක් ගහනවාටත් වඩා අමාරු වැඩක් තමයි. නිකන් ආවට ගියාට ලයිසන් දෙන්නෙ නැහැ. මාරම වියදමකුයි කාලයකුයි ඒකට යනවා. ඉස්සෙල්ලාම පිලිගත් රියදුරු පුහුණු පාසලකින් පුහුණු වෙන්නම ඕනෙ. ඊට පස්සෙ සිග්නල් ටෙස්ට් එකක්, මාර්ග නීති ටෙස්ට් , පාකින් ටෙස්ට් එහෙම කරල පාස් උනහම තමයි අන්තිම ට්‍රයල් එක කරන්නෙ දෙන්නෙ. මෙහෙ ට්‍රයල් ටෙස්ට් කරන්නෙ පොලිසියෙන්. එහෙමත් එක්කෙනෙක් තමයි මේක ලේසියෙන් පාස් වෙන්නෙ. ගොඩක් වෙලාවට කාර් එකක් ගන්න යන සල්ලි වලට වඩා වැඩි සල්ලි යනවා ලයිසන් එක අරගෙන ඉවර වෙනකොට. මේගේ යාළුවෙක් 14 පාරක් ට්‍රයල් ගිහිල්ල තමයි මෙහෙ ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස් උනේ. හොඳේ කියන්නෙ ඉස්සර ලංකාවෙ ඉන්නකොට ඌ නුවර එළියෙ කාර් රේස් හිටන් පැදපු එකෙක්.

ඔන්න ඉතින් ලයිසන් ගන්න රෙජිස්ටර් වෙනකොටත් මෙහෙ ‘අයි ටෙස්’ට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. මේක ඉතින් ගොඩක් වෙලාවට කරන්නෙ ඩ්‍රයිවින් ඉගෙන ගන්න යන ඉන්ස්ටිටියුට් එකෙන්ම තමා.

ඔන්න ඉතින් මගෙ තව යාළුවෙක් ගියා ලයිසන් එකට රෙජිස්ටර් වෙන්න කියලා. කොහොමත් මූ කණ්නාඩි එහෙම දාන පොරක්. ඉතින් ඔන්න ඉන්ස්ටිටියුට් එකෙන් මුගේ ඇස් ටෙස්ට් කරලා. මූ එනවා මූන මළ ගෙයක් වගේ කරගෙන. ඉතින් අපි ඇහුවා "මොකෝ මචං උනේ" කියලා

මෙන්න මූ ඉඳන් කියනවා, "මචං උං ටෙස්ට් කරල කිව්ව මචං මගෙ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියලා, ඒක මාරු කරගෙන එන්න කිව්ව" කියලා.

අපි නිකන් අඤ්ඤොකොරොස් වෙලා ඇහුවා "මොකක් බං, මොකක් අප්සෙට් කිව්වා ?"

“ඔව් බං අර ටෙස්ට් කරපු පිලිපිනෝ කෙල්ල අර අන්වීක්ෂයක් වගේ එකකින් බලල තමයි කිව්වෙ මගේ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියල.” මූත් දැන් කියවනවා.

පස්සෙ තමයි අපිට ක්ලික් උනේ මූට කියල තියෙන්නෙ "ස්පෙක්ටකල්ස් (කණ්නාඩි ) දෙක අප්සෙට්" කියලා. කලබල වෙච්ච පාරට මූට ස්පෙක්ටකලුයි ටෙස්ටිකලුයි පැටලිලා.

ලංකාව 2015 - ( දෙවන කොටස )

Posted by දුමී

පළමු කොටස මෙතනින් කියවන්න.

ගොඩ බැසීම සඳහා තව ඇත්තේ මිනිත්තු කිහිපයකි. කවුළුව තුලින් ඉවත බැලූ විට දැන් දැන් දිස් වනුයේ පහල සුදුවන් වලාකුළු ස්ථරය යටින් රිදී පාටින් දිලිසෙන මුහුදු ජලයයි. දෙකන් අගුළු වට්ටමින්ද දෙකන් වලට සියුම් වේදනාවක්ද ගෙනෙමින්ද වරෙක ගැස්සෙමින්ද ගුවන් යානය ටිකෙන් ටික පහලට ඇදෙමින් තිබේ. කන් අගුළු වැටෙනා විට බලෙන්ම වාගේ ඈනුමක් යැව්වවු විට එය සමණය වී යන බව දුමී දැන ගත්තේ අත්දැකීමෙන්ය. යානය තුල සිටින කුඩා දරුවන් අඬන්නට පටන් ගැනීම මෙවන් ගොඩ බෑම්වලදී සිද්ද වෙන සුළභ දෙයකි. කන් අගුළු වැටීමෙන් ඇතිවන වේදනාව නිසා පොඩි එවුන් ආතක් බූතක් නැතිව කෑගසනු ඇසේ. එවුන්ගේ මව්වරු උන් නලවා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනු දුමීට පෙනේ.

දැන් දැන් ඈතින් ලංකාවේ වෙරළ තීරය දිස් වෙනුයේ රන් හවඩියක වටේට දැමුනු රිදී පබළු වැලක් ලෙසිනි. කෙලින්ම පහල බැලූ කල දිස් වනුයේ පේලියට නමුත් පිලිවෙලට තැනින් තැන නවතා තිබෙන නැව් සමූහයකි. ගුවන් යානය ගමන් කරනා උසට අනුව ඉතාම කුඩා කඩදාසි බෝට්ටු සේ දිස් වුවද මෙම යාත්‍රා ඉතා විශාල ප්‍රමාණයේ ඒවා බව සිතිය හැක. ගුවන් මග වැටී ඇත්තේ හම්බන්තොට වරායේ පිවිසුම් දොරටුවට ඉහලින් බවට මොනවට පැහැදිලිවේ. මින් වසර කිහිපයකට පෙර ප්‍රථම වෙළඳ නැව් මෙහයුම ඇරඹූ හම්බන්තොට වරාය අද වනවිට ලෝකයේ ඇති ප්‍රධානතම වරායන්ගෙන් එකකි. ඈත පෙරදිග වෙත යාත්‍රා කරන්නාවූ සියළුම නාවික යාත්‍රා තමන්ගේ සැපයුම් සඳහාද, වෙලඳ යාත්‍රා ප්‍රථි නැව්ගත කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසද හම්බන්තොට වරාය යොදා ගන්නේය.

හම්බන්තොට වරාය හේතුවෙන් බුන්වත් භාවයට පත් වූ රටවල් කිහිපයක්ම වෙයි. සිංගප්පූරුව ඉන් ප්‍රධානය. මින් පෙර ඈත පෙරදිග නාවික ගමන් මාර්ගයේ අනිවාර්ය නැවතුම් පලක් වූ සිංගප්පූරු වරායට යන එන මං නැතිව ගියේ ලංකාවට දකුණු දෙසින් යාත්‍රා කරන සියළුම නාවික යාත්‍රා හම්බන්තොටට සේන්දු වී යෑම පුරුද්දක් කර ගත් බැවිනි. කුඩා භූමි ප්‍රමාණයකින්ද, නොගෙණිය හැකි තරම් ස්වාභාවික සම්පත් වලින්ද යුත් සිංගප්පූරුවේ සම්පූර්ණ ආර්ථිකයම ගොඩ නැගී තිබුනේ ඔවුනගේ වරාය වටාය. එයට හිමිව තිබූ ස්ථානය හම්බන්තොට අයත් කර ගත්තේ වසරකටත් අඩු කාල පරාසයකදීය. මේ කාලය වන විට සිංගපූරුව තම අය වැය හිඟය පියවා ගන්නේ ලංකාව විසින් මානුෂීය මට්ටමින් ලබා දෙන ආධාර උපයෝගී කර ගනිමින්ය. සිංගප්පූරුව නොහොත් 'සිංහපුරය' සිංහ දේශය වන ලංකාවට ඈඳා ගැනීමටද රට කරවන ලොක්කන් දත කට මැදගෙන බලා සිටින වග සිංගපූරුවේ අයිති වාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියවෙන ලංකාවේ ගොංබාහු වාදීන් කෑ කොස්සන් ගසන්නේ අද ඊයේ දිනක හිඳ නොවේ.

හම්බන්තොට වරාය නිසා යන එන මං නැති වූයේ සිංගප්පූරු වරායට පමණක්ද නොවේ. අපගේම කොළඹ වරායට අත් වූයේද ඒ ඉරණමමය. මේ දින වන විට කොළඹ වරායේ ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් පමණි. කොළඹ වරායේ වර්තමානයේ ක්‍රියාකාරි එකම අංශය 'වරායේ කුස්සියයි' . ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය යැයි විරුදාවලිය ලත් එය මෙකල සිදු කරනුයේ කොළඹ නටඹුන් බලන්නට පැමිණෙන සැදැහැවතුණට කෑම බීම සැපයීමය. කොළඹ නටබුන් වී ඇත්තේ කෙසේද කියතොත්, කලක් 'බෙන්තර ගඟෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගෙනෙන්න එපා' යැයි කියවූ කොළඹුන් දැන් පතන්නේ හම්බන්තොට පැත්තේ පූස් පැටියෙක් හරි වෙලා ඉපදියන් කියාය.

හම්බන්තොට වරාය විවෘත කලේ යැයි කිවූ දින එය රූපවාහිනියෙන් නැරඹුවා දුමීගේ මතකයේ තිබේ. ඉතා උත්කර්ෂවත් යැයි කියා පැවැත්වූ එම උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගයක් යැයි කියුවේ, පැවැත්වූ 'මඩ බුරි’ නැටුමයි. ‘බුරි’ නැටුම් කලාව ලංකාවට දායාද කල පරපුරෙන්ම මඩ ගොඩක බුරි නැටුම නටවා ඉදිරිපත් කර එළි දැක්වුනු 'මඩ බුරි' නැටුම දැන් ලංකාවේ ජාතික නැටුම ලෙස පිළිගෙන ඇත. ලෝකයෙන්ද එයට මහා ඉල්ලුමක් ඇතිවී ඇතුවා පමණක් නොව ලංකාවේ විශ්වවිද්‍යාල වලද නැටුම් විශේෂවේදී උපාධිය විෂය නිර්දේශයටද එය ඇතුලත් කර ඇත. දැන් දැන් ලංකාවේ හැම මඩ වලකම, කුඹුරකම මේ ‘මඩ බුරි’ නැටුම් පාඨමාලා පැවැත්වෙනු ඒවා අසලින් ගමන් යන්නෙකුට නිරතුරුවම දැක ගැනීමට පුළුවන.

ලංකාවේ මෑත කාලයේදී සිදු වූ විශාලතම විප්ලවය සිදු කරන ලද්දේ මදුරුවන්ට එරෙහිවය. වසර පහ හයකට පමණ පෙර තනි පංගලමේ මග තොට යන්නෙකු පැහැරගෙන යන තරමටම බෝ වී සිටි මදුරු ගහණය නැත්තටම නැති වී ගියේ දේශීය වශයෙන් නිපදවන ලදැයි කියනා බැක්ටීරියාවක් නිසා යැයි දුමීට මතක තිබේ. ඒ දිනවල ලීටරයක් රුපියල් දෙදහස් ගණනක් වටිනා වූ එම බැක්ටීරියාව නිසාම පොහොසතුන් වූ විශාල ප්‍රමාණයක් අදත් යෙහෙමින් වැජබෙති. එපමණ වටිනාකමක් ඇති වෙනත් දියරයක් නොතිබුනු ඒ යුගයේ එම බැක්ටීරියාව නිපදවීම ගෘහ කර්මාන්තයක් ලෙසට ප්‍රචලිතව ගියේ බඩු මිල පහතට වැටෙනවාටත් වැඩි වේගයකිනි. කලින් හැළි අරක්කු පෙරමින් ජීවත් වූ ජනී ජනයාද වඩාත් ලාබ දායී වූ බැක්ටීරියාව පෙරීමේ කර්මාන්තය තෝරා ගත්තෙන් අතිරික්තක්ද ඇතිවී තිබුනි. නිපදවන ලද අතිරික්තය අදත් කියුබාව, ඇමරිකාව සහ අනිකුත් මදුරුවන්ගෙන් පීඩා විඳින රටවල් වලට අපනයනය කරණු ලැබෙයි. තෙල් අපනයනයෙන් ලැබෙන ආදායමටත් වඩා වැඩි ආදායමක් ලංකාව ලබා ගන්නේ මෙම බැක්ටීරියාව අපනයනයෙන්ය.

දුමී සිතිවිලි අතර සැරි සරත්දීම ගුවන් යානය ධාවන පථය මත ගැටෙනු දැනී නැවතත් කවුළුව අතරින් පිටතට නෙත් යොමු කලේය. දුඹුරු පැහැ දූවිලි පිරුණු අපායක සිට හරිතවන් ගහකොල සපිරි දිව්‍ය පුරයකට සපැමිණියා යැයි හඟීමක් දුමීට දැනුණි. මගී පර්යන්තට පිසිවි දුමී 'ශ්‍රී ලාංකික බලපත්‍ර දරන්නන්' යැයි සඳහන් ආගමන විගමන පේලියට සේන්දු වූයේ ඉන් එහා ඇති වෙනත් රටවල් සඳහා වූ පේලි දෙසට දෑස් යොමා ගෙනය. කලකට පෙර ලෝකයේ ඕනෑම තක්කඩි ගොබිලයෙකුට වීසා බලපත්‍ර නොමැතිව ගුවන් තොටින් ගොඩ බැස රට තුලට පිවිසීමේ අසීමිත නිදහස දැන් අතුරා ඇති සේය. ගව් ගානක් දිග වූ අනෙකුත් රටවල්වල ගමන් බලපත්‍ර දරන්නන් රැඳී උන් පේලියේ උන්ගේ මුහුනත් වල දිස්වනුයේ රට තුලට පිවිසීමට අවසර ලැබෙයිදෝ, නොලැබෙයිදෝ යන අවිනිශ්චිත හැඟීම යැයි දුමීට සිතේ. ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් වීසා ලබා ගොඩබැස ඇතැයි හෙලි වූ සමහරක් යුරෝපීයන්, බ්‍රිතාන්‍යයන්, ඇමරිකානුවන් නැවතත් තම රටවල් වලට පිටුවහල් කරනාතුරු පසෙක කාමරයක රඳවාගෙනය.

ඉතාමත් කාර්යක්ෂම ආගමන ක්‍රමවේදයකට පසු දුමී බඩු මළුද රැගෙන පර්යන්තයෙන් ඉවතට පිවිසියේ රැගෙන යාමට පැමිණි වාහනය බලාපොරොත්තුවෙනි. කොහේදෝ සිට පැමිණි මදුරුවෙක් දුමීගේ බාහුවේ වසන්නේ මේ අතරය. පුදුමයෙනුත් පුදුමයට පත් දුමී ජන්මෙට වඩා පුරුද්ද ලොකු බැවින් දකුණු අත විහිදා මදුරුවාට පහරක් ගසන්නේ ඌ ඇනෝපිලස්ද නැතිනම් ඊඩස්ද නැතිනම් මොහකටවත් නැති වල් මදුරුවෙක්දැයි නොදැනය. මදුරුවා මැරී බිම පතිත වෙත්ම එතනට දුවගෙන ආවේ පිරිසිදු කරන්නෙක්ය. දූවිලි එකතු කිරීමට හැකි බඳුනක්ද බුරුසුවක්ද රැගෙන දිව ආ ඔහු සැනෙකින් බිම වැටුනු මදුරුවා බුරුසුවෙන් ගෙන දූවිලි එකතුකරන බඳුනට දැමුවේ දුමී දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි. එකදු දූවිලි පොදක් වත් නොමැති ඉතාම පිළිවෙලට නඩත්තු කරන්වා වූ වට පිටාව දැකීමෙන් දුමී තුල ඇති වූයේ මහා වරදකාරී හැඟීමකි.

ඒ සමගම පැමිණියේ දුමී බලපොරොත්තුවෙන් සිටි රැගෙන යෑමට පැමිණි වාහනයයි. බඩු පොදිද සමගින් වාහනයට ගොඩ වූ දුමී ඉතාමත් විනීතව මාර්ග නීති රකිමින් ඇදෙන අනෙකුත් වාහන සමග එක්වී ඇදෙන වඩාත් නවීන වූ මාර්ගයට පිවිසියේය. ගුවන් තොටේ සිට මාර්ගයට පිවිසෙන දොරකඩ අසල දිස්වනුයේ ලංකාවේ පාලනය දරනා රාජකීය පවුලේ විශාල ඡායාරූපයකි. මීට ඉහත පාර්ලිමේන්තු ක්‍රමයකින් පාලනය කෙරුනු ශ්‍රී ලංකාව රාජාණ්ඩු ක්‍රමයකට මාරු උනේ පාර්ලි මේන්තුවේ ‘තුනෙන් තුනක’ ඡන්දයෙන් බව දුමීට මතක් විය. පසුගිය අවුරුදු කිහිපයක පටන් වඳ වී යෑමේ තර්ජනයට ලක්වී හුන් ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විපක්ෂය නැත්තටම නැති වී ගියේ අන්තිමටම විපක්ෂයේ ඉතුරු උන විපක්ෂ නායකයාද ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමත් සමගය. ඉන් දින කීපයකට පසු පැවති පාර්ලිමේන්තු සංශෝධනයකින් පාර්ලිමේන්තුව අහෝසි කර රාජාණ්ඩුවකට අවැසි අණ පනත් සම්මත කර ගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් තුනක ඡන්ද බලයද සමගය.

එසැනින් වාහනය දෙසට අත දිගු කරන ලද්දේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකි. පසෙකින් නවත්වනු ලැබූ වාහනයෙන්න් දුමී ඉවතට බැස පොලිස් නිලදාරීන් දෙසට පිය නැගීය. ඉතාමත් විනීත ලෙස අත් දෙක එකතු කර කට පුරා "ආයුබෝවන්" යැයි පැවසූ නිලධාරියා අත රැඳි කඩදාසියකට නෙතු යොමු කරමින්,

"මහත්මයාගේ නම දුමීද ?" යැයි අසනු ලැබීය. එය එසේ යැයි දුමී සනාථ කලේ ප්‍රශ්නාර්ථයක්ද මුහුනේ රඳවමිනි. "මහත්මයාට අපි සමග එන්න වෙනවා." පොලිස් නිලදාරියා ඉතාමත් කාරුණිකව පවසන ලදී.

"ඒ මොකද ? මොකක් හරි වැරදීමක් සිද්ද වෙලා වගේ" දුමී ප්‍රහේලිකාවකට මැදිවූ ලෙසක් හඟවමින් පැවසීය.

"ලංකාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සංරක්ෂිත සත්වයෙක් විනාශ කිරීමේ වරදට සහ පරිසරය අපවිත්‍ර කිරීමේ වරදට අපිට ඔබව අත් අඩංගුවට ගැනීමට සිදුවෙනවා" පොලිස් නිලධාරියා කියාගෙන යයි.

"මොකක් ? මම එහෙම දෙයක් කලේ නැහැනෙ" දුමීට කියවිනි.

"මහත්තයා වඳ වී යෑමේ තර්ජනයට ලක්වී සිටින, ලංකාවෙ නීතියෙන් සංරක්ෂණය කරන ලද මදුරුවෙක් මරා පාරට දමනවා ඇස දුටු සාක්ෂි අපි ලඟ තියෙනවා . . . " පොලිස් නිලදාරියා පවසයි.

ඉතාමත් සූක්ෂම දෙයකටත් දැන් දැන් ලංකාවේ නීතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීම ගැන සිතින් සතුටු වෙමින්, මදුරුවා මරා පාරට දැමූ වරදට හිරේ යෑමට දුමී පොලිස් රියට ගොඩ විය.

Related Posts with Thumbnails