කට කහන කාර් කතා

Posted by දුමී

මම NIBM ඩිප්ලෝමා එක ඉවරවෙලා තව අවුරුදු එකහමාරක් විතර ඒකෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙත් ඉඳල හා හා පුරා කම්පැණි එකකට ජොයින් උනේ 98 ඔක්තෝබර් මාසේදි විතර. ඒ ඔය මොරටුව පැත්තෙ තියෙන ගොඩනැගිලි උපාංග නිපදවන සහ බෙදාහරින ආයනයක පරිගණක කලමණාකාරවරයෙක් විදිහට තමයි. ඒ වෙනකොට මැනේජ්මන්ට් එකේ හිටපු වයසින් අඩුම එකා උනෙත් මං. අනිත් අය ඔක්කොම ඒ වෙනකොට මට වඩා අවුරුදු 10ක් 15ක් විතර වයසින් වැඩි අය තමා. ඉතින් කම්පැණි එකේ ඉන්න එකවුන්ටන්ට, සේල්ස් මැනේජර්ට, ඒරියා මනේජර්ලට එහෙම කම්පැනි එකෙන්ම නඩුත්තු කරන වාහන දෙන එක සිරිතක් වෙලා තිබුනා. ( මටත් ඒකට ගිහින් අවුරුද්දකට හමාරකට විතර පස්සෙ ඔය වෑන් කබලක් එහෙම හම්බ උනා.) ඉතින් නිකන් හම්බවෙන වාහනේ උනත් පුළුවං තරං ඉස්තරම්ම එකක් ලබා ගන්න තමයි හැමෝම ෆුල් ට්‍රයි එක දෙන්නෙ. ඒත් ඉතින් කම්පැණි එකේ තියෙන ආර්ථික තත්වෙ හැටියට තමයි කාට කාටත් වාහන හම්බ උනේ. ඉතින් ඔය ලන්ච් ටේබල් එකේදි එහෙම තමයි අපි ඕව ගැන කතා කරන්නෙ. මම ජොයින් වෙන්න කලින් හිටපු එකවුන්ටන්ට දීල තිබිල තියෙන්නෙ ටිකක් විතර පරණ කාර් එකක්. ඉතින් කට්ටිය උගෙන් අහනවා,

"කොහොමද මචං කාර් එක හොඳයිද ? ෆුල් ඔප්ෂන්ද ?"

මූත් ඉඳන් කියනවා, "ෂහ් මචං, මරු කාර් එක. මේක ෆුල් ඔප්ෂන්දත් කියල අහනවා. ෆුල් ඔප්ෂන් වලටත් වැඩිය මේකෙ එක්ස්ට්‍රා ඔප්ෂන්ස් තියෙනවා කියලා"

"ඈහ් . .! ඒ මොනවද බං ඒ එක්ස්ට්‍රා ඔප්ෂන් ? කියලා අනිත් එවුනුත් මුගෙන් දැන් අහනවා.

"ඇයි බං මේකෙ ෂවර් ඇන්ඩ් බිඩර් ඔප්ෂන් හිටන් තියෙනවනෙ. වහිනකොට හොඳට නාගන්න විතරක් නෙමෙයි පස්ස පැත්තත් හෝද ගන්නත් පුළුවංනෙ. අනික බිඩර් එක හොඳටම වැඩ කරන්නෙ මගේ වයිෆ් වාඩිවෙලා යන පැත්තෙ. ඉතින් අපරාදෙ හින්ද එයා ගෙදර වතුර නාස්ති කරන්නෙ නැහැ. "

බලනකොට කාර් එකේ වහලෙයි අඩියයි අම්බානෙකට දිරල. වහිනකොට හිටු කියල වහලෙන් තෙමෙනවා විතරක් නෙමෙයි වලකට වැටුනොත් නිකන්ම පස්සත් හේදෙනවා.

කොහොමෙන් කොහම හරි දවසක් මූ ගිහිල්ලා කාර් එක තඩි කන්ටේනර් ටේලර් එකක පිටි පස්සෙ ගහල. කාර් එකේ වහලෙ කන්ටේනර් ටේලර් එක උඩලු. මූ වදිනකොටම පාත් වෙච්ච හින්ද මුගෙ ඔළුව ගැලවිලා නැහැ. යන්තන් පොඩි හීරීම් තුවාල ටිකකුත් එක්ක පොර බේරිලා. ඉතින් කට්ටිය විස්තර අහලා "මොකද මචං උනේ ?" කියලා. ඉතින් මූ කියනවලු "නෑ මචං මෙච්චර ඔප්ෂන් තියෙන එකේ මට නිකන් හිතුන කාර් එක කන්වර්ටිබල් කරගත්තොත් හොඳයිනෙ කියලා" (කන්වර්ටිබල් කියන්නෙ ඕනෙ වෙලාවට වහලේ ගලවන්න පුළුවං වාහනවලටනෙ )

කොහොම හරි මම ජොයින් වෙනකොට ඒ එකවුන්ටන්ට් අස්වෙලා ගිහිල්ල අළුත් එක්කෙනෙක් තමයි හිටියේ. ඉතින් එයාට දීල තිබුනේ අර ටොයෝටා DX වැගන් කියලා තිබුනේ. අන්න ඒ ජාතියේ වාහනයක්. ඉතින් පොර දවසක් ඔය ලිබර්ටි ප්ලාසා එකේ කාර් පාක් එකේ වාහනේ නවත්තල ඇතුලට ගිහිල්ල ටික වෙලාවකට පස්සෙ ඇවිත් බලනකොට වාහනේ මිසින්ලු. දැන් පොර කල්පනා කරනවලු බොලේ හොරෙක් අරගෙන ගියා නම් මෙච්චර මේ සිරා අළුත් වාහන තියෙත්දි මේ ලදරම මොනවට අරගෙන ගියාද කියලා. ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මිනිහට පේනවලු කාර් එක ආපහු හෙමිහිට කාර් පාක් එකට ඇතුළු වෙනවා. ඉතින් එහම ඇවිල්ල අයිනකින් නවත්තල හොඳට ටයි එකක් එහම දාල හිටපු පොරක් කාර් එකෙන් බැස්සලු. දැන් අපේ එකත් මේ මොන අට මගලක්ද කියල බලන්න ලඟට ගියහම අර කාර් එක අරගෙන ගිය පොර බොහෝම අහිංසක විදිහට කියනවලු,

"අනේ සොරි මිස්ටර්. මගේ කාර් එකත් මේක වගේමයි. අර එහා පැත්තෙ නවත්තල තියෙන්නෙ ඒක. මම මගේ කාර් එක කියල හිතල වැරදිලා මේකනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ"

"ඒත් මේ රේඩියෝ එක දාන්න බලනකොට ඒක වැඩ කරන්නෙ නැති කොට තමයි මම මේ කල්පනා කරේ මේකට මේ මොකද හිටි හැටියේ උනේ කියලා. ඒ මදිවට මම මේ හිත හිතා හිටියේ කවුද යකෝ මගේ කාර් එකේ මේ කුරුසයක් එල්ලුවේ කියල".

බලාගෙන යනකොට මේකට ඕනෙම ගල් ඉබ්බෙක්ගෙ යතුරක් දාල දොරවල් ඇරල ස්ටාර්ට් කරගෙන යන්න පූළුවංලු.

ඉතින් අපේ එකා කියනවා, "බලපන් බං මගේ කාර් එක කොච්චර ෂෝක්ද.බැරි වෙලා හරි කාර් එකේ යතුර නැති උනොත් ගෙදර, දොරේ යතුර දාල හරි කාර් එක ස්ටාර්ට් කරගන්න පුළුවංනේ " කියලා.

මම කිවුවනේ මේ කම්පැණි එක කලේ නොයෙකුත් මාදිලියේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවන එකයි ඒව බෙදා හරින එකයි කියලා. ඉතින් ඔය හාර්ඩ්වෙයාර් කඩ වලට තමයි මේ නිෂ්පාදන බෙදා හරින්නෙ. ලංකාවෙ වටේම හාර්ඩ්වෙයාර් කඩ 20,000 විතර තිබුනා ඒ කාලේ මේ කම්පැණි එකේ නිෂ්පාදන ලබා ගන්න. මේ කතාව අපේ ලන්ච් ටේබල් එකේදි කිව්වෙ ඔය ගම්පහ පැත්ත බාරව හිටපු ඒරියා මැනේජර්.

ඉතින් ඔය ගම්පහ පැත්තෙ ලොකු හාර්ඩ්වෙයාර් කඩේක මුදලාලි කෙනෙක් වාහනයක් ගත්තලු. ඉතින් මාසෙකට විතර පස්සෙ අපේ ඒරියා මැනේජර් ගිහිල්ල මුදලාලිගෙන් ඇහුවලු,
"මුදලාලි, කොහොමද අළුත් වාහනේ ?" කියලා.
ඉතින් මුදලාලි කියනවලු

"වැඩක් නැහැ මහත්තයෝ, මම ඒ කෙහෙම්මල විකුනල දැම්මා" කියල.

ඉතින් අපේ පොර අහනවලු "ඇයි මුදලාලි අරගෙන මාසයක්වත් ගියෙ නෑනේ"

ඔන්න මුදලාලි කියනවලු , "වැඩක් නෑ මහත්තයෝ, ඔය කාලකණ්නි වාහනේ හින්ද මගේ අළුත්ම සෙරප්පු කුට්ටම් දෙකක්ම නැති උනානේ" බලාගෙන යනකොට කාර් එකේ අඩියේ තඩි හිලක්. ගමනක් එහෙම ගිහින් බහින්න හදනකොටලු දන්නෙ සෙරප්පු කුට්ටම ඒ හිලෙන් වැටිලා කියලා. ඉතින් සෙරප්පු නැතිව යන්න බැරි හින්ද මුදලාලි ආපහු ගෙදර එනවා

"තාම නම් නැති උනේ සෙරප්පු විතරයි. මම මේකෙ අපේ උන්දැවත් දාගෙන යනවනෙ.උන්දැ එහෙම මගදි වැටුනොත් මම මොකද කරන්නෙ ?" .

මම ඒ කම්පැණියෙන් අස් වෙලා තමයි අර කොම්පඤ්ඤ වීදියේ තිබුන කම්පැණි එකට ජොයින් උනේ. ඉතින් මේකෙන් අස් උනාට පස්සෙ මමත් ඔය මම හදපු සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් දෙකක් විකුනල සල්ලි ටිකක් හොයා ගෙන මටම කියල වාහනයක් ගන්න හෙව්වා. ඉතින් මමත් ඉරිදා සිළුමිණ පත්තරෙයි, ඔබ්සවර් පත්තරෙයි අරගෙන හතර වටේ ගියා වාහන හොය හොයා.

ඔහොම යනකොට ඔය කිරුළපන පැත්තෙ කාර් එකක් බලන්න ගියා. දැන්වීමේ නම් තිබුනේ ෆුලි ගෑස් කන්වර්ටඩ්, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් කියලා. ගිහිල්ල බලන කොට තමයි දැක්කෙ කියපුවා ඔක්කොම ඇත්තනෙ කියලා. මින්ට් කියන්නෙ මින්ට්ම මින්ට්. අර රවුම් පෙපර් මින්ට් ටොපියක් වගේ රවුම්. හරියට ශේප් එක මොකක්ද කියලා හිතා ගන්න බැහැ. හරිනේ, ලේඩි ඩ්‍රිවන් කියන්නෙ ඒක තමයි අර සුපුරුදු විදිහටම ලේඩීස්ල එළවනවා වගේ හතර පැත්තම හප්පලා රවුම් කරන් තමයි එළවලා තියෙන්නෙ. ෆුලි ගෑස් කන්වර්ටඩ් කිව්වම පැට්‍රල් වලින් දුවන්නෙම නැහැ. පැට්‍රල් ටැංකිය හොඳටම දිරල ගලවලා දාල. බලනකොට අර ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩර් එකකින් තමයි දුවන්නෙ. ඔන්න පොරක් ආවා කාර් එක තිබුන ගෙදර ඉඳන්.ඉතින් පොඩි ට්‍රයල් එකක් ගිහිල්ල බලමු කිව්වහම පොර පට ගාල ගේ ඇතුලට දුවල එල්.පී ගෑස් සිලින්ඩර් එකක් උස්සන් ඇවිත් ඩිකියට දාලා අර ගෑස් කුකර් එකකට ගහනවා වගේ රෙගියුලේටර් එකක් හයි කලා. ගෑස් කන්වර්ට් කරාට වාහනේ ස්ටාර්ට් කරනකොට පැට්‍රල් ඕනෙනෙ. මේකෙ පැට්‍රල් ටැංකිය ගලවලා දාල මොකද ඒක දිරලා හින්ද. ඔන්න පොර බොනට් එක ඇරල කාබලේටර් එකට පොඩි සිංගර් තෙල් බෝතලයකට දාපු පැට්‍රල් ටිකක් දාල කාර් එක ස්ටාර්ට් කරා ඊට පස්සෙ ඔන්න කාර් එකේ අයිති කාරයවත් දාගෙන මම ඉතින් කිරළපනින් හයිලෙවල් පාරට දාගෙන මේක එලවනවා. ඔහොම ටික දුරක් යනකොට, හචස් හචස් ගාල හිටියේ නැතෑ කාර් එක මහ පාරේ ට්‍රැෆික් එකේ. ඔන්න අයිති පොරත් ඇවිල්ල දන්න සෙල්ලං දානවා මේක ස්ටාර්ට් කරන්න. හරියන්නෙම නෑ. පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා කාර් එක පාර අයිනට තල්ලු කරලා නැවැත්තුවා. දැන් මේ ගිණි මද්දහනේ එකත් පහු වෙලා. ආ කියන්න බැරි උනානේ. කාර් එකේ හයි කර තියෙනවා ඔරලෝසුවක් අර බිත්ති ඔරලෝසුවකට වඩා පොඩ්ඩක් පොඩියි. ඔන්න පොර කියනවා

"මල්ලි, මට අද මේ කාර් එක විකුනන්න වෙන්නෙ නැහැ. මොකද අපි තාම දවල්ට උයල නැහැ.”

" එහෙම කියලා පොර ත්‍රී වීලර් එකක් නවත්තගෙන ඩිකියෙන් ගෑස් සිලින්ඩර් එක ගලෝලා දාගෙන කාර් එකත් එහෙම්මම තියල යන්න ගියා. බලාගෙන යනකොට ගෙදර ගෑණි උය උයා හිටපු ගෑස් සිලින්ඩර් එක තමයි මූ මේ කාර් එකට හයි කරගෙන ට්‍රයල් එකට ඇවිත් තියෙන්නෙ.

කාර් හෙවිල්ල පැත්තක තියලා ඊට පස්සෙ මමත් කිරුළපනින් නුගේගොඩ බස් එකකට නැගල එහෙම්මම ගෙදර ආවා.

20 comments :

  1. කොහොමද ඒ කාර් එක ගත්තනං... පොඩි පැන්ට්‍රි කබඩ්ස් ටිකක් එහෙම ගහල ගත්ත නම්, කාර් එකත් එක්ක කිචන් එකක් නොමිලේම ලැබෙනවා..

    සිම්පල් ප්ලෑන් එකක් නේද

    ReplyDelete
  2. ආ ආ ලේඩි ඩ්‍රයිවින් කියලා එහෙමම කියන්න හොඳ නෑ නේද ඉතිං. ;-(

    ReplyDelete
  3. මේ දවස් වල සිරි ලංකාපුරේ බරපතලෙටම පැතිර යන උණක් නෙව මේ "කාර් උණ"....

    ඔප්ෂන්ස් වැඩිවුන තරමට හොදයි කියල හිතෙන එක වැරදියි වගේ නේද අයියා....

    මට නම් දෙයියනේ කියල කකුල් දෙකේ ගමන....සති අන්තයට විතරක් විනාඩි 45ක් බස් එකේ යනව...

    කාර් කියන්නේ තමන්ගේ තරාතිරම (හිහ් වෙන තරාතිරම් නෙමෙයි ) පෙන්වන අංගයක් ලු නේද...

    සෙතන්ඩ් හෑන්ඩ් මොකටද අයියා... ගන්නකො බ්‍රෑන්ඩ් නිව් වාහනයක්... මේ දැන් නැවෙන් බාන උණු උණු කිරි කිරි කාර් එකක්.....කට්ටියත් එක්කාසු කරන් රවුමක් එන්නකෝ මාතර ‍අකුරුස්ස පැත්තෙ එහෙම.....

    ReplyDelete
  4. හොඳ වෙලවට මිනිහට මතක් වෙලා තියෙන්නෙ ගැස් එක ගෙනාවෙ උය උය ඉන්නගමන් කියලා.. නැත්නම් ඉතින් පොරට ගෙදර් යන්න වෙන්නෙ කනේ ඇඟිලි ගහගෙන...

    හික්ස්... පට්ට සීන් එක..

    ReplyDelete
  5. දුමී අයියා සද්දයක් නැත්තේ මොකද කියලා බලන් හිටියේ. නියම කතා ටික. එතකොට දැන් පාවිච්චි කරන වාහනේ මොකක්ද අයියා ? ඒක ගැනත් පොඩ්ඩක් දෙසුවා නම් තමා හොඳ :)

    ReplyDelete
  6. මදැ දුමී අයියා වාහන බැලුවා.....අයියා ගන්න ගිය වාහනෙ නම් මරු... ගෑස් ලිපකුත් හයිකරගත්තනම් වටිනාකම තවත් වැඩි වෙනවා......2 in 1
    :)

    ReplyDelete
  7. හොඳයි හොඳයි....දැන්නෙ අපිත් දන්නෙ අපේ යාළුවො වැඩ පටන් අරගෙන තියෙන්නෙම බොහොම ඉහලින් කියල....අපි ඒත් බැලුවා මෙහෙට ඇවිල්ලත් මොකද පරන වාහනම හෙව්වෙ කියලා.....

    ReplyDelete
  8. මරු වැඩනේ වෙලා තියෙන්නේ..... අර කාර් එක බලන්න ගිය වෙලාවේ ගැස් ටැංකිය ගහද්දිවත් වැඩේ අල්ලා දාලා නාපු එකයි මට පුදුම

    ReplyDelete
  9. ගම හාමිනෙත් ලයිසොන් ගත්තයි කියුවනෙ. එහෙනම් අර කිරුලුපන ඇඩ් එකේ තිබුන විස්තර වලින් "ෆුලි ගෑස් කන්වර්ටඩ්" කියන එක ඇර අනිත් ටික එහෙම දාල ඇඩ් එකක් ලෑස්ති කොරල තියා ගන්න.
    නියම කතා ටික.
    කට කහනවට බ්ලොග් එකක් හදල එලියට දැම්මට, දුමී අයියගෙ හිත කහ කහ කොයි තරම් කල් තිබුන කතා අපි මේ උඩ පැන පැන හිනා වෙවී කියවන්නෙ හැබෑට.........

    ReplyDelete
  10. ගෙද‍ර උයන සිලින්ඩ‍රේ ගහනවා දැකලත් ට්ර්යල් ගියා කියන්නෙ ඒක ගන්න මාර ආසාවක්නෙ තිබිල තියෙන්නෙ.

    ReplyDelete
  11. හපොයි ලේඩීස් ඩ්‍රිවන් තමා. මම අකමෑතිම දේ තමා ගෑනු පරානයක් පස්සෙන් වාහන එලවීම. කොයි වෙලේ මොනවා කරයි ද දන්නෙ නෑනේ?

    එල කතාව බන් හි හි

    ReplyDelete
  12. හිකි හිකිස් පට්ට කතාව නේන්නම්.කාර් එකක් නම් ගන්න අදහසක් තියනවා තව අවුරුදු 3,4 කින්.කතාව කියෙව්වට පස්සේ හිතුවා ගන්නවා නම් ගන්නවා අලුත්ම් එකක් නෝ සෙකන්ඩ් හෑන්ඩ් කියලා

    ReplyDelete
  13. අනෙ සන්සාරෙ ! මට මේ මද්යම රාත්තිරියෙ ගම දෙක වෙන්න හිනා ගියානෙ.. දුමී අයියෙ ඔන්න වග කියන්න වෙයි මට ගමේ අය ගහන්න ආවොත් ....! හිකිස්

    ReplyDelete
  14. හික් හික් හික් පට්ටම සීන් ටිකනේ දුමියො....

    ReplyDelete
  15. අපූරු කාර් පොඩ්ඩ ...මගේ යාළුවෙකුගේ ගෙදරත් තිබුනා ඔය වගේම එකක්...
    ආ කෑර් එකක් නෙවි ඒක වෑන් එකක් පෙට්‍රල් ටැන්කිය වෙනුවට කෑන් එකකට බටයක් ගහල පිටිපස්සේ සීට් එක ගාව තිබුනේ...
    ඒසී,අර ෂවර් කේස් එහෙම ඔක්කොම තිබුනා...

    ReplyDelete
  16. සුපිරි බං. ැර එක්ස්ට්‍රා ඔප්ෂන් ටිකනං පට්ට... :)

    ReplyDelete
  17. Maru kathaa.Dumiitamane mewaa wenne.

    ReplyDelete
  18. පට්ට පොරක් නෙ අර ගැස් මැන්..
    dx කතාව නම් ඇත්ත තමයි..මාත් හිටි ගමන් යතුර ගන්න අමතක වුනාම අපේ කාර් එක ගැරෙජ් එකෙ ඉබ්බගෙ දොරෙ යතුරෙන්ම ස්ටාට් කර ගන්නව.දවසක් ඇපලො එකට ගිය වෙලාවක යතුර ඇතුලෙ දාල දොර ලොක් කලා..පස්සෙ එහා පැත්තෙ ත්‍රිවිල් අයිය කෙනෙක්ගෙ යතුර ඉල්ල ල දොර ඇරිය..මැන්ස් කට ඇරගෙන ඇස් උඩ දාගෙන මම දිහා බලා ඉන්නව.

    ReplyDelete

Related Posts with Thumbnails