ඕං බස් කතා

Posted by දුමී


ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම මාරුවෙන් මාරුවට වගේ තමයි පංති තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නිසා, ඉස්කෝලේ ඇරිච්ච ගමන් පයින්ම යනවා නාවල පාරෙ තියෙන ක්ලාස් එකට. ඒ කාලේ ඔය දුර මහ දුරක් විදිහට දැනුනේ නෑ. නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ. ඊට අමතරව කෝට්ටෙ පැත්තෙ තියෙන ඉස්කෝල වලිනුයි, දෙහිවල පැත්තෙ තියෙන ඉස්කෝලවලිනුයි එන බාලිකාවියෝ නිසා ඔය පයින් ගමන හරිම ජොලි ගමනක් තමයි ඒ කාලේ.

යාන්තම් දැළි රැවුල වැඩීගෙන එන වයසත් නිසා, ඔය එක එක ජාතියේ ටයි පටි දිහා බල බල ඉන්නෙ නැතුව ෆුල් ජොලියේ අපිත් ඉතින් පයින්ම යනවා ක්ලාස් එකට. ක්ලාස් එක ඉවර වෙනකොට ජයනෙත්ති සර්ගේ නියමය තමයි, ගෑල්ළමයිව යවලා විනාඩි 10කට පස්සෙ තමයි පිරිමි ළමයින්ව යවන්නෙ. ඒත් ඉතින් ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. ඒ කාලේ ගෑණු ළමයි කොච්චර නෝටිද කියනවනං නම් පිරිමි ළමයි එනකං හිමි හිමිහිට හිමි හිමිහිට හොර ගල් අහුල අහුලා තමයි ඒ ගොල්ලෝ ඇවිදින්නෙ. පිරිමි ළමයි මැරතන් දුවනවා වගේ ඇවිදලා කොහොම හරි ගෑල්ළමයින්ව පහු කරලා ඒ ගොල්ලෝ දිහා බලන්නෙවත් නැතිව යනකොට ඒ ගොල්ලන්ට ඉතින් හරිම තරහයි.

ඔන්න ඔන්න පරණ දෙවල් මතක් වෙනකොට ලියන්න ගිය මාතෘකාවත් වෙන පැත්තකට යනවා.

ඔන්න ඉතින් අපි ගැන්සිය නුගේගොඩ සුපර්මාකට් එක තියෙන පැත්තෙන් ඇවිදගෙන ඇවිල්ලා පාරෙ අනිත් පැත්තට මාරු වෙන්න ඕනනෙ නාවල පාරට යන්න. ඔහොම එන අතරේ එකෙක් අනිත් උන්ට කලින් පාරෙ අනිත් පැත්තට පැනලා, ඔය පිට කෝට්ටෙ පැත්තට හරි, බත්තරමුල්ල පැත්තට හරි යන බස් එකක්, පාර මැද්දට පැනලා, අත දාලා, නවත්තගන්නවා හරියට අර පාරෙන් එහා පැත්තෙ ඉන්න සෙට් එකම බස් එකට නගින්න දුවගෙන එනවා වගේ. ඊට පස්සෙ පාරෙන් එහා පැත්තෙ ඉන්න උන්ට කෑ ගහනවා,

"ඉක්මනට පැනලා වරෙල්ලා බං....!" කියලා.

අනේ උන් ටිකත් අර නවත්තගත්ත බස් එක ඉස්සරහින්ම දුවලා ඇවිත් පාර පනිනවා. ඔන්න ඉතින් ඩ්‍රැයිවර් කාරයා බලාගෙන ඉන්නව කට්ටියම බස් එකට නගින කන්. අරුන් ටික පාර පැනපු ගමන් අර බස් එක නවත්ත ගත්ත එකා ඔළුව දාලා,

"තැන්ක් යූ අංකල්....!" කියලා අතින් බස් එකට යන්න කියනවා.

ඊට පස්සෙ ඉතින් ඩ්‍රයිවර් කාරයා කියන දේවල් අහගෙන ඉන්න එක විනාඩියක්වත් කට්ටිය එතන ඉන්නෙ නැතුව දුවනවා.

173 නුගේගොඩ-තොටලඟ බස් එක පටන් ගන්නෙත් ඔය නාවල පාරට හැරෙන තැනම ඉඳන් තමයි ඒ දවස්වල. ඒ රූට් එකේ දිව්වේ ලදරම්ම ලදරම් රෝසා වගේ බස් ටිකක්. කොහොමත් නුගේගොඩින් පටන් ගන්න ඔය බස් එක ඔතන කොට කොට ඉන්නවා සෑහෙන්න වෙලාවක් මිනිස්සු පටව ගන්නකං. බැරි වෙලාහරි අපි යනවෙලාවට ඔය බස් එකක් ඇද්දුවොත් එහෙම එකෙක් බස් එක පස්සෙ දුවනවා
"හෝව්, හෝව්...." කිය කිය. ඔන්න ඉතින් පස්සෙන් දුවගෙන එන රුපියලේ කෑල්ල දාල යන්න බෑ බෑ වගේ (ඒ කාලේ අවම බස් ගාස්තුව රුපියලයි, ඇඬෙනවා ) කොන්දත් බස් එකට දොහ් දොහ් දොහ්  සද්දෙට තට්ටුවක් එහෙම් දාලා නවත්තනවා. ඔන්න ඊට පස්සෙ දෙබස යන්නෙ මෙන්න මෙහෙම...

“තොට ලඟද තොට ලඟද....?" අපේ එකා දුවන ගමන් හති දදා අහනවා...!

"ඔව් ඔව් මල්ලි, ඉක්මනට නගින්න....ඉක්මනට නගින්න...." කොන්දත් කෑ ගහනවා...

"හැතැප්ම කීයක් විතර තියෙනවද.......?" අපේ එකා බස් එකට එක කකුලක් තියාගෙන අහනවා....

"20ක් විතර තියෙනවා මල්ලි...." කොන්දත් අරූව ඇතුලට ඔබා ගන්න හදන ගමන් කියනවා....

"හාපෝ... තොට ලඟ උනාට මට දුරයි...!" කියාගෙන අරූ ආපහු දුවගෙන එනවා.....!

අනේ ඉතින් අර බස් එක අද්දලා යනකන්ම කොන්දා අත දික් කර කර බනිනවා අපිට ඈතට ඇහෙනවා.....!

කවුරුත් දන්නවනේ මහින්ද අබේසුන්දර මහත්තයව. මම ඉස්සර ඉඳන්ම හරිම කැමතියි උන්නැහේට. මොකද ඒ දවස්වල ඉඳලම හරිම විහිළුකාරයා. පොර දිවයිනේ ඉන්න කාලේ පටන් ගත්ත "මහින්දගේ ආගිය කතා" වලින් පොර හරිම ජනප්‍රිය උනා. ඉස්සෙල්ලාම දිවයිනේ, ඊට පස්සෙ ලක්බිමේ ඊට පස්සෙ සිළුමිණේ වගේ උන්නැහේ යන යන තැනට ඔය ආගිය කතාත් අරගෙන ගියානේ. උන්නැහේ ආගිය කතාවලට ලියපු ඔය බස් සම්භන්ධ කතාවකුත් මට මතක් වෙච්ච එකේ, මට මතක තියෙන විදිහට ඒකත් ඔන්න ඔහේ ලියලා දානව කියලා හිතුවා.

ඔන්න ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ කතාවට කන්ද උඩරට විස්ස විද්‍යාලයත් සම්භන්ධයි. මම ඉතින් ඔය විස්ස විද්‍යාලෙට විසි තිස් පාරක් ගිහිල්ලා තිබුනට ඒ වැඩි හරියක් වලේ නාට්ටි පෙන්නන්න සයිඩ් සපෝට් එකක් දෙන්න තමයි. ඒක නිසා සමහර විස්තර වල අඩු පාඩු කං තියෙන්න පුළුවන් හොඳේ....!

මේ කාලේ වෙනකොට කන්ද උඩරට විස්ස විද්ද්‍යාලෙට අළුත් නැවක් ආපු කාලේ. ඉතින් නැවෙන් ආපු කෂ්ටිය පිලිගන්න ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියෝ කුරුඳු නැටි වලින් එහෙම දත කට මැදගෙන ඉන්න කාලයක්. කැමැත්තෙන්ම රැගට සෙට් වෙන අයයි, බලෙන් රැගට අරගෙන යන අයයි, සම්පූර්ණයෙන්ම රැගෙන් අයින් වෙලා ඉන්න හාල් කෑලියි කියලා ඔය කෂ්ටියව ඉතින් බෙදෙනවනේ ඔය කාලේ වෙනකොට.

ඔන්න ඉතින් දෙයියනේ කියලා උදේ පාන්දරම කුණු ප්‍රෙෂාලව පෝලිම් ගස්සලා රැගට අරගෙන යන්න තමයි ජ්‍යේෂ්ට උත්තම උත්තමාවියෝ සැරසෙන්නෙ. ඔය අස්සෙ මේකෙන් ගැලවෙන්න බලාගෙන ඉන්න එවුන් ගස් ගල් පඳුරු වලට මුවාවෙලා ෂේප් එකේ මාරු වෙලා යනවා. එහෙම පැනලා යන එවුන් පට ගාල පාරට පැනලා ගලහා පැත්තට යන බස් වල එල්ලිලා මාරු වෙන්න තමයි කල්පනාව. ඔය සංසිද්ධිය අවුරුදු ගාණක් වෙලා පළ පුරුදු නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ හැතැක්මක් දෙකක් එහාට ගිහිල්ල ඔය එන හැම බස් එකකටම නැගලා දැන් යමරෙට චෙක් කරනවා ප්‍රෙෂාලා පැනලා යනවද කියලා.

ඔන්න බස් එකට නැගපු ජ්‍යේෂ්ඨ උත්තමයෝ කෑගහනවා,

"තොපි හිතුවද රැග් එකෙන් බේරෙන්ඩ... ආහ්...? බැහැපිය ඔක්කොම කුණු ප්‍රෙෂාලා බස් එකෙන්....!" අනේ ඉතින් වැඩි හරියක් ප්‍රෙෂාල සෙට් එක දඩි බිඩි ගාල බස් එකෙන් බහිනවා....

ඔය අස්සෙ බස් වලට නැගපු සමහර ප්‍රෙෂාලා අයිනේ සීට් අල්ලගෙන වාඩි වෙලා බොරුවට නිදි කිරා වැටි වැටි වගේ ඉන්නවා...

ඔන්න ඒ පාර ආපහු අර ජ්‍යේෂ්ඨයා කෑගහනවා....

"ඔය බොරුවට නිදාගෙන ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුත් බැහැපියව් ඔක්කොම....."

අනේ ඉතින් වැඩේ අතේ මාට්ටු නිසා නිදාගෙන වගේ ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුයි ඔක්කොම ටිකත් බස් එකෙන් බහිනවා....!

දැන් ඉතින් පැනලා යන්න හදපු නිසා පෝරියල් එක වැඩියි....! සෙට් එකම අල්ලලා පෝලිම් ගස්සලා දැන් කට්ටියව පාරෙ ඉඳන්ම හාවා පන්නනවා...... තව ටික දුරක් තාරාවා යවනවා... කැම්පස් එකට එනකන්ම....!

ඔන්න ඉතින් ඔය විදිහට හවස් වෙනකන්ම එක එක රැග් සීන් දීලා දැන් ප්‍රෙෂාලට පාං කියා ගන්න බැරි තරම්. ඔන්න මුන් ටිකව ආපහු පෝලිං ගස්සලා ජ්‍යේෂ්ඨ උත්තමයෝ දැන් තෙල බෙදනවා රැග් එක මග ඇරීමේ ප්‍රථිවිපාක, ආනිසංස එහෙම පහදලා දීලා....

ඔන්න ඉතින් අර බස් එකට නැගලා ප්‍රෙෂාලව බස්ස ගත්ත ජ්‍යේෂ්ඨ උත්තමයා කියනවා....

"තොපි අද වගේ හෙටත් මග ඇරලා තිබුනොත්, උඹලට ආපහු දෙන්නෙ අම්ම මුත්ත මතක් වෙන්න දැනගනියව්.....! හෙට උදේම ඇවිල්ල තොපි පෝලිං ගැහිලා හිටියෙ නැත්නම් බලාගන්න පුළුවං....!"

ඔන්න ඒ අස්සෙ පෝලිමේ හිටිය එකෙක් වෙව්ල වෙල අත උස්සනවා......

"මොනාද තොට කියන්න තියෙන්නෙ...." ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියේ, හෙටත් එන්න ඕනෙද ..?”

"හෙටත් එන්න ඕනෙද ...? තොපේ අම්මලා තාත්තලා දුක් විඳලා මහන්සිවෙලා තොපිට උගන්නලා, විභාග පාස් කරවලා කැම්පස් එකට එව්වෙ තොට හිතිච්ච වෙලාවට කැම්පස් එන්නද බොල.....?" ජ්‍යේෂ්ඨයත් ගෝරනාඩු කරනවා....

“අනේ අයියේ, මම විභාගේ ෆේල්නේ...! ” ඔන්න පෝලිමේ ඉඳලා අත උස්සපු එකා කියනවා...

"විභාගේ ෆේල්...? එහෙනම් කොහොමද යකෝ තෝ කැම්පස් ආවේ....?" ජ්‍යේෂ්ටයා මුගේ ලඟටම ඇවිල්ල ගෝරනාඩු කරනවා....

“ඉතින් අයියනේ මාව බස් එකෙන් බස්සගෙන හාවා පන්න පන්න කැම්පස් එකට එක්කගෙන ආවෙ...”

ඔන්න ඉතින් ජ්‍යේෂ්ඨයට ටික ටික පත්තු වෙනවා කොහේ හරි වැරද්දක් වෙලා කියලා. ඒ අස්සෙ මෙච්චර වෙලා රැග කාපු ප්‍රෙෂාලත් කිණ්ඩියට හිනා වෙනවා...

“කැම්පස් නෙවේ නං තෝ මොකටද යකෝ බස් එකෙන් බැස්සෙ...? ” හීන් දාඩිය පිහිදාන ගමන් ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියා කිව්වෙ නිදි කිරා වැටි වැටි ඉන්න එවුන් ඔක්කොම බැහැපියව් කියලා.......”

හුටා....දැන් පෝලිම්වල ඉන්න ප්‍රෙෂාලා බඩවල් අල්ලගෙන හිනා වෙනවා.

“තෝ කොහේ යන ගමන්ද ?”

“ක්ලාස් යන ගමන් අයියේ....”

“මොන ක්ලාස්ද බොල...?”

“කරාටේ ක්ලාස්....!”

-------------------------------------------------------------------

කරාටේ ක්ලාස් කියපු එකේ මතක් උනේ, දැනට අවුරුදු පහ හයකට කලින් විතර මම අනංමනං එකට ලියපු කතාවක්.

ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින් මිනිහා අළුත් නිසා තැලිලා පොඩි වෙලා එහෙම නැති නිසා හරිම ප්‍රවේසමෙන් තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින් තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක් එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත පොරක් නගිනවා බස් එකට.

“අයියේ ටිකට් ගන්න...” ඔන්න කොන්දා කියනවා...

"හහ්, ටිකට් ගන්න....? මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත් කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම ඇහෙන්න කියනවා...

වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත් දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා, කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට් කඩන්න පටන් ගන්නවා...

ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට නගිනවා....

කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...

“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත් මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත් සද්දේ වහලා ඉන්නවා.

ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට හැමදාම වෙන මේ නව නිංගිරාව තව දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට ගියා කරාටේ ඉගෙන ගන්න.

ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන් ඔන්න කොන්දා යකාටවත් බය නෑ....

ඔන්න එදා කොන්දා උදේ බස් එකට නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවාමයි කියලා හිතාගෙන.

අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට නැග්ගා...

"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත් ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....

"මම තමයි මාතලේ ජේමිස්, මම බස් එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත් පුරුදු උත්තරේම දුන්නා....

"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!" කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක් කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...



“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට් ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන් සීසන් එක අරගෙන කොන්දට දුන්නා.



(කොන්)දොස්තර(ගේ) දත් ගැලවීම

Posted by දුමී



මේ ලඟදි දවසක් මගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ඩුබායි හන්දියට ආපු ගමන් අපේ ගෙදරත් ආවා අපිව බලලා යන්න එහෙම කියලා. ඒ එනකොට පොර හැමෝටම තෑගි බෝග එහෙමත් මහ ගොඩක් බරටම උස්සගෙන තමයි ආවෙ ඕං. උසස් පෙළ කරන කාලෙදිම උතුරු කුරු දිවයිනට එහෙම නැතිනම් කැන්ගරු දේශයට මයිග්‍රේට කරලා අඩු වයසින්ම කැන්ගරු දේනුවකුත් කර කාර බැඳගත්ත පොරව මට මුන ගැහුනේ අවුරුදු විස්සකට විතර පස්සෙ මම හිතන්නෙ. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හමුවෙච්ච නිසා පොඩියට මදුවිත ටිකකුත් තොල ගාන අතරෙදි අතීතය හාර අවුස්ස අවුස්ස ඒ දවස්වල වෙච්ච සිද්ධි, ආගිය කතා එහෙම රස කර කර ඉන්න කොට තමයි ඒ දවස්වල වෙච්ච මරු සිද්ධියක් මතකෙට ආවෙ.

ඔන්න අපි ඒ කැන්ගරු යාළුවට රුවන් කියලා කියමුකෝ පහසුවටත් එක්කලා. රුවන් ඉස්කෝලෙදි හිටියේ මට වඩා එක පන්තියක් පහලට වෙන්න. ඉතින් රුවන්ලා ඕ.ලෙවල් විභාගෙ කරනකොට අපේ ඒ.ලෙවල් පන්ති එහෙම පටන් අරගෙන. කොහොමත් රුවන් ඒකාලේ සෙට් වෙලා හිටියේ හැමතිස්සෙම වලියට බර අන්තිම නසරාණි සෙට් එකත් එක්ක තමයි. අවුරුද්දක් උඩින් හිටිය අපි ඇඩ්වාන්ස් ලෙවල් කරන ඇඩ්වාන්ස් කොල්ලෝ නිසාත්, අළුතෙන් ප්‍රිෆෙක්ට් බැජ් එකක් එහෙම ගහගෙන හිටපු නිසත් ඔය නසරාණි වැඩ වලින් ඈත් වෙලා ඒවාට අනුකූලතාවයක් නොදක්වන මට්ටමක තමයි හිටියේ. ඉතින් රුවන්ලත් එක්ක අපේ ඇයි හොඳැයියක් තිබුනේම නෑ ඒ කාලේ. ( පස්සෙ කාලෙක මුන් සෙට් එක ඒ.ලෙවල් කරන්න ඇවිත් ප්‍රෙෆෙක්ට් බෝඩ් එකට ජොයින් උනාට පස්සෙ තමයි හොඳටම ෆිට් උනේ. )

ඕ.ලෙවල් විභාගේ අන්තිම දවසේ මුන් සෙට් එක ගිහින් තිබුනා මරදානේ ඔලිම්පියා එකේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක ඒ දවස්වල ආපු හොරර් ෆිල්ම් එකක්. මතක විදිහට ‘ෆ්‍රයිඩේ ද තිර්ටීන්ත්’ වගේ තමයි මට මතක. වැඩේ කියන්නෙ මමත් මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්ක එදාම ඔය ෆිල්ම් එක බලන්න ගියා. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ඉවර වෙලා ගෙදර එන්න 176 කරගම්පිටිය සී.ටී.බී බස් එකට නැගලා එනකොට ඔන්න රුවන්ලගේ සෙට් එකත් ඇවිත් ඔය බස් එකේම එල්ලුනා. එහෙම එල්ලිලා බස් එක ඇතුලේ ඉඩ තියෙද්දිත් මුන් ටික ෆුට් බෝඩ් එකේම එල්ලිලා බස් එකේ ටකරන් වලට මහ හයියෙන් බෙර ගගහා හරයෙන් ඉතා ගැඹුර,ු ඝෘතියෙන් තොර සින්දු කිය කිය විභාගය ඉවර උන එකේ ෆන් එක හරිම අහිංසක විදිහට විඳගෙන විඳගෙන යනවා.

පුදුම අහඹු සිදුවීමක් කියන්නෙ මේ බස් එකේ කොන්දා අර දුමීගේ අක්කට දෝස් මුරේ දාන්න ගිහින් වෙච්චි සිද්දියේ හිටිය කොන්දමයි. ඉතින් මේ කොන්දත් සොමියෙන් තොර වලියට බර මෙලෝ රහක් නැති එකෙක්නේ. ඔන්න දැන් අරුන්ගේ සින්දු ටිකත් ටික ටික නැගලා යන කොට එකෙක් පඩි පෙලෙන් උඩට නැගලා සින්දුවේ තාලෙට බස් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තා. (ඒ බස් එකේ තිබුනේ අර ලණුවෙන් අදින, ටිං ටිං ගලා වදින බෙල් එකක්) ඔන්න ඉතින් කොන්දත් පිටි පස්සට ඇවිත් කුණුහරුපයක් දෙකක් කියනකොට බෙල් එක ගහන එක නැවැත්තුවත්, පොර ටිකට් දෙන්න බස් එක ඇතුලට ගිය ගමන් අරුන් ටික ආපහු බෙල් එක ගහන්න පටන් ගන්නවා.

ටික වෙලාවක් යනකොට ඩ්‍රයිවර් කාරයටත් මල පැනලා, බහින්න ඉන්න එකෙක් බෙල් එක ගැහුවත් බස් එක නවත්තන්නෙ නැතිව ඇරලා දාල යන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සෙ තමයි බස් එකේ හිටපු බඩ දරු අම්මා කෙනෙක් බහින්න බෙල් එක ගැහුවත් බස් එකේ මැද හරියේ හිටපු කොන්දාගේ සිග්නල් එකට ඩ්‍රයිවර් කාරයා හෝල්ට් එකේ නවත්තනෙ නැතිව බස් එක අද්දලා ගියේ. ඊට පස්සෙ අර අම්මා "බහිනවා, බහිනවා" කියලා බෙරිහන්දීපු නිසත් බස් එකේ අනිත් මිනිස්සුත් කෑගහලා බස් එක නවත්ත ගත්ත නිසාත් ඒ අම්මා ෆුට් බෝඩ් එකේ ඉන්න රුවන්ලගේ සෙට් එකේ පරම්පරාවටම පින් දෙන ගමන් බස් එකෙන් බැහැලා යන්න ගියා. ඔන්න ඊට පස්සෙ තමයි කොන්දා මාරාවශේෂ වෙලා වගේ වලියට සෙට් උනේ.

කොන්දගේ යූෂුවල් පොට එකට (ෆුට් බෝඩ් එකත් අන්තිම සීට් එකත් අතර අයිනේ කෑල්ල ) පැනපු කොන්දා පොර ගාව තියෙන සමූල ඝාතක අවියෙන් (ටිකට් මැෂිමෙන් ) ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ බස් එකත් එකසිය හැටට හැටේ යන අතරේ. ටිකට් මැෂිමේ පටියෙන් පද්ද පද්ද කොන්ද දැන් ෆුට් බෝඩ් එකේ ඉන්න කොල්ලන්ට කෙලිනවා. කොල්ලෝ ටිකත් පුළු පුළුවන් විදිහට ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන ගමන්ම කොන්දටත් ප්‍රති ප්‍රහාර දෙනවා. ඔය අතරේ තමයි එකෙක් පැනපු ගමන් ටිකට් මැෂිම කොන්දගෙන් උදුරගෙන ඒක රුවන්ගේ අතට පාස් කලේ. මෙච්චර වෙලා ටිකට් මැෂිමෙන් ගුටි කකා හිටපු ඌත් පටිය පද්දලා පද්දලා කොන්දගේ මූණටම මැශිමෙන් කෙලියා කොන්දගේ මූණ ඥාළුවෙලා යන්නම. ඒත් එක්කම තමයි කොන්දගේ කෘන්තක, රදනක චාර්වක සහ පුර්ස්චාර්වක යන දත් වලින් තෝරා බේරා ගත් ඉස්සරහා දත් දෙකක් බලාගෙන ඉන්දැද්දිම ලේ තලියකුත් එක්ක බිමට වැටුනේ. ඒත් එක්කම කොන්දත් කෙහෙල් කඳක් වගේ ලේ පෙරාගෙනම බස් එකේ ඇදගෙන වැටුනා සිහිය නැතිව වගේ. ලේ පෙරාගෙන බස් එක ඇතුලේ වැටුන කොන්දව දැකපු ගමන් තමයි රුවන්ලගේ සෙට් එකට හීන් දාඩිය දැම්මේ.

"අඩෝ, මූ මැරුනද කොහෙද.....! උඹ ගහපු පාර ඔළුවටමයි වැදුනේ...! මෙන්න ඔළුව කුඩුවෙලා ලේ එනවා...." එකෙක් කෑ ගහලා කිව්ව විතරයි මුන් සෙට් එක ෆුට් බෝඩ් එකෙන් පැනලා දුවන්න ගත්තා. ඒත් එක්කම වගේ බස් එකත් බ්‍රාස් කියලා බ්‍රේක් ගහලා නැවැත්තුවා. මිනිස්සු වටවෙලා කොන්දව උස්සලා පිටි පස්සෙ සීට් එක උඩින් තිබ්බා.

බස් එක නැවැත්තුවේ කාසල් ඉස්පිරිතාලේ පහුවෙලා ටික දුරක් ගියාම තමයි. රුවන්ලගේ සෙට් එක රේල් පාරට පැනලා රේල් පාර දිගේ ඈතට දුවනවා. හතර පස් දෙනෙක් උන්ගේ පස්සෙ එලෝනවා.

කොහොමත් ටික වෙලාවකට පස්සෙ කොන්දා නැගිට්ටා. ඉස්සරහ දත් දෙකක් කැඩිලා තිබුනට වඩා වැඩි දෙයක් වෙලා තිබුනේ නෑ කොන්දට. ඌත් හොටු පෙර පෙර අඬනවා. ඔන්න ඉතින් මුළු බස් එකේම කට්ටියව බැස්සුවා බස් එක පොලීසියට ගෙනියන්න කියලා.

මේ වෙනකං ජවනිකා ටික සියසින්ම නරඹන්න පුළුවන් උනත්  එතන ඉඳලා කතාව කිව්වෙ රුවන්.

කොහොම හරි මුන් ටික පණ එපා කියලා රේල් පාර දිගේ නාරාහේන්පිටට යනකන්ම දුවලා. පිටිපස්සෙනුත් මුන්ටිකව අල්ලගන්න සෙට් එකක් දුවගෙන එනවා. කොහොමෙන් කොහොම හරි නාරහේන්පිට හන්දියේදි පොලිස් ජීප් එකක් ඇවිත් මුන් ටික ඔක්කොම අල්ලගෙන එකා පිට එකා ජීප් එකේ පිටි පස්සට දාලා නාරාහේන්පිට පොලීසියට අරගෙන ගිහිල්ලා. ජීප් එකෙන් අරගෙන ආපු සෙට් එකම එක පොදියකට කූඩුවට දාලා. චන්ඩි වගේ වලියට සෙට් උනාට මොකද දැන් කට්ටියට චූ යන තරමටම තක්බීර් වෙලා තමයි ඉඳලා තියෙන්නෙ. ඔක්කොම හිතාගෙන ඉඳලා තියෙන්නෙ කොන්දා මැරිලා කියලයි. ඔන්න ඉතින් කට්ටිය නඩු වලට උසාවි යන හැටි, එල්ලුම් ගහට ගිහින් කඹේ එල්ලිලා ඉන්න හැටි, ජීවිතාන්තය දක්වා හිරේට ගිහින් පරිප්පු හැඳි ගාන හැටි හීන මව මව ජොලියේ කූඩුවට වෙලා ඉන්නවා.

කොහොමෙන් කොහොම හරි පොලීසියේ උන් දැන් මුන් සෙට් එකව අම්බානෙකට බය කරනවා උසාවි දානව, නඩු දානවා, උඩ එල්ලලා ගහනවා වගේ මුන්ගේ හීන හැබෑ වෙන දේවල් කියනවා .

කොහොම හරි පැයක් දෙකක් විතර ගියාට පස්සෙ තමයි බෙහෙතුත් දාගෙන කොන්දත් ඇවිත් තියෙන්නෙ පොලීසියට. ඊට පස්සෙ තමයි මුන් ටිකගේ කටට කෙළ හරි ටිකක් උණලා තියෙන්නෙ.

ඊට පස්සෙ යුනිෆෝම් එකෙන් හිටිය රුවන්ලගේ සෙට් එකෙන් ගෙවල් වල විස්තරයි, ෆෝන් නොම්මරයි අරගත්තෙ ගෙවල්වලට දැනුම් දෙන්න කියලා.

ඔන්න දැන් තමයි කට්ටියට පත්තු වෙන්න ගත්තෙ. එල්ලුම් ගහේ යැව්වත් කාටවත් මේ සිද්ධිය තමන්ගේ ගෙවල් වලට දැනගන්න තියන්න ඕන උනේ නෑ.

"අනේ අංකල් අපේ තාත්තා පපුව අමාරුකාරයා, අපේ ගෙදරට නම් මේක කියන්න එපා...." ඔන්න එකෙක් නහයෙන් අඬනවා....!

"තොපි කරන අළුගුත්තේරු වැඩ වලට තොපේ තාත්තලා මෙච්චර කල් හරි ජීවත් වෙලා හිටපු එකත් ලොකු දෙයක්....!" පොලිස් අංකලුත් ඉතා කාරුණිකව පිළිතුරු දෙනවා.....

"අනේ අංකල් මම විභාගෙත් හොඳට කලේ පාස් උනාට පස්සෙ එයාර් ෆෝස් එකට ජොයින් වෙලා පයිලට් කෙනෙක් වෙන්න...! පොලිස් පොතේ නම් මගේ නම ලියන්න එපා..." තව එකෙක් කුණු කුණු ගානවා....!

"පයිලට්...? තෝව යවන්නෙ දැනගනින් නගරසභාවෙ කොණු ලොරිය එලවන්න බලාපිය.....!" පොලිස් අංකල්ලත් සුපුරුදු මානුෂීය භාෂාවෙන්ම උත්තර දෙනවා...!

කොහොමෙන් කොහමහරි රුවන්ලගේ තාත්තා ඒ වෙනකොට ඒ පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ බස් අයිතිකාරයෙක්. රුවන්ලට අයිති ලොකු ටාටා බස් හත අටක්ම එක එක පාරවල් වල දිව්වා. රුවන්ගේ තාත්තගේ නම කියපු ගමන් රුවන්ව පොලීසියෙන් අඳුරගත්තා.

ඔන්න ඒ පාර පොලීසියේ ඕ.අයි.සී රුවන්ටයි, කොන්දටයි කාමරේට කතා කලා.

"ඔය කරලා තියෙන්නෙ පුතන්ඩියා හොඳ වැඩක් තාත්තාගේ නම්ඹුව වැඩි කරන්න...." කියන ගමන් ඕ.අයි.සී ටෙලි ෆෝන් එක උස්සලා ඩයල් කරන්න පටන් ගත්තා...

"අනේ අංකල් තාත්තට නම් කියන්න එපා.... මම මේ කොන්දා අංකල්ට බෙහෙත් දාගන්න සල්ලි දෙන්නම්....!"

"බෙහෙත් ? බෙහෙත් නෙමෙයි මනුස්සයෝ, බලනවා මේ මුනුස්සයගේ කටේ හැටි....! අලියෙක් කුණු බෝක්කුවක් කඩාගෙන ගිහිල්ලා වගේ.....! තමුසෙට දත් සෙට් එකක් දාලා දෙන්න වෙයි...!" ඕ.අයි.සිත් ගෝරණාඩු කරනවා....

"හා හා අංකල්, මම මේ අංකල්ට දත් දාන්න සල්ලි දෙන්නම් කොහොම හරි....! ගෙදරට නම් කියන්න එපා...අනේ..!.."

"හ්ම්... හරි එහෙනම්... ඔන්න තමුසේ මේ ළමයගෙන් සල්ලි අරගෙන අඩු පාඩුවක් නැතිව දත් ටික දාගන්නවා....! තමුසෙත් යනවනේ ඉතින් මේ ඉස්කෝලේ යන කොල්ලොත් එක්ක වලි දාගන්න.....!"

"රාළහාමි, මෙන්න මෙයාගෙන් කට උත්තරයක් අරගෙන ඔය ළමයි ටිකට යන්න දෙනවා.... තමුසේ දත් සෙට් එක දාගෙන ඇවිත් පෙන්නනවා සතියකින් දෙකකින්...." අන්තිමට ඕ.අයි.සීත් අවසාන තීන්දුව දුන්නේ රුවන්ට යන්තම් ඇති ඔයින් ගොඩ ගියා කියලා හිතෙන ගමන්මයි....!

කොන්දත් රුවන්ගෙන් ගෙදරට එන පාරයි, පහුවෙනිදට එන්න ඕන වෙලාවයි අහගත්තට පස්සෙ කට්ටියම සාමදානෙන් අත් අල්ලගෙන පොලීසියෙන් එළියට බැස්සා....!

ඔන්න පහුවෙනිදත් කියපු වෙලාවටම වරද්දන්නෙ නැතිව කොන්දාත් එනවා සල්ලි අරගෙන යන්න.

"තමුසෙට කීයක් ඕනෙද දත් දාන්න...?" රුවන් හෙමිහිට කොන්දා ලඟට ගිහිල්ලා ඇහුවා....!

"රුපියල් 5000 ක් ඕනෙ මේ දත් දෙක දාන්න....."

"රුපියල් 5000ක් ?" , ( ඒ කාලේ රුපියල් 5000 ට රත්තරන් දත් සෙට් එකක් දාන්න පුළුවං. )

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. රුපියල් 5000ක් නොදිත් බෑ. මේක ගෙදර දැනගත්තොත් රුපියල් 5000 වගේ නෙමෙයි.

රුවන්ලගේ බස් වලින් ලැබෙන ආදායමේ දවසේ එකතුව දාන්න, බස් එකේ නොම්බරේ ගහපු එක බස් එකකට එක මුට්ටියක් ගානේ ගෙදර තියෙනවා. ඒකට රුවන්ලා කියන්නෙ 'බස් මුට්ටි' කියලා. දවස ගානේ සල්ලි දැම්මත්, මාසේ අන්තිමට තමයි මේ සල්ලි ගැනලා බලලා බැංකුවට දානවයි කියන්නෙ. ගෙදර වියදමටත් අම්මයි තාත්තයි සල්ලි ගන්නෙ ඔය බස් මුට්ටි වලින්මයි.

ඔන්න ඉතින් රුවනුත් මොකද කලේ බස් මුට්ටි හතර පහකට අත දාලා අහුවෙච්ච සල්ලි ටික ගණන් කරලා රුපියල් 5000ක් සෙට් කරලා කොන්දට දුන්නා.

සල්ලි ටික අතට ගත්ත හැටියෙම කොන්දාගේ ඇස් දෙක දිලිසෙනවා රුවන් දැක්කා. මුව මුක්තාලතා පෙන්නලා හිනා වෙනකොට කැඩිච්ච දත් දෙක අතරෙන් දිව එළියට ඇවිල්ලා අමුතුම සුන්දර දර්ශණයකින් කොන්දගේ මූණ බැබලෙන්න පටන් ගත්තා.

"හරි, මම ගිහින් එන්නම්....." කියලා තත්පරයක්වත් නවතින්නෙ නැතිව කොන්දා ආපහු හැරුනා....

"ගිහින් එන්නම්...." කියලා කියපු විදිහ රුවන්ට එච්චර හිතට ඇල්ලුවෙ නැති උනත් ඒ කරදරේ ඔයින් ඉවරයිනේ කියලා රුවන් හිත හදා ගත්තා.....!

ගත උනේ දවස් තුන හතරයි. දවසක් හවස් යාමේ ගෙදර හැමෝම ඉන්න වෙලාවේ මෙන්න බොලේ කොන්දා එනවා රුවන්ව අහගෙන, තනියම නෙමෙයි තව ගෑණියෙකුත් එක්ක.

ගෙදර අය ප්‍රශ්න අහන්න කලින් ගේට්ටුව ගාවට දුවල ගිය රුවන් දැක්කේ කිරි පාට සුදුට සුදේ අළුත් දත් දෙකක් දාගෙන හිනාවෙන කොන්දවයි.

"මොකටද මනුස්සයෝ ආපහු ආවෙ.......?"

"මල්ලි, අපේ ගෑනිටත් දත් දෙකක් දාගන්න ඕනෙළු....! කීයක් හරි ඉල්ලගෙන යන්න කියලා ආවෙ..." කොන්දා එහෙම කියනකොටම ගෑනිත් සිරික්කිය දාල හිනා උනා. හුටා, ගෑණිගෙත් ඉස්සරහ දත් දෙකක් නෑ.....!

"තමුසේ මාර කතාවක්නේ ඕයි කියන්නෙ....! මම යෑ තමුසෙගේ ගෑණිගේ දත් කැඩුවේ....?" රුවනුත් අඤ්ඤකොරොස් බමුනා සේ අහනවා....!

"නෑ මල්ලි, එක දතක් පණුවෝ කාලා ගැලෙව්වා.... අනික කොහු මිටක වැදිලා ගැලවුනා....!" කොන්දා කියනකොට....

"කොහුමිටක වැදිලා ගැලවුනා....? කොහුමිට ඉබේ ඇවිල්ලා වදින්න ඇති....? මේ මිනිහම තමයි මල්ලි කොස්සෙන් ගහලා මගේ අනිත් දත කැඩුවේ...." ගෑණිත් බලාගෙන යනකොට ගිණි බෝම්බයක්....!

"මේ මේ, තමුසෙලාගේ ප්‍රශ්න තමුසෙලා ගිහින් විසඳගන්නවා..... මම ඕවට පලි නෑ....!" කියලා රුවන් යන්න හැරුනා විතරයි,

"මල්ලි, අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්නවද ....?" කියලා කොන්දා අහනවා

මූ එන පොට හොඳ නෑ කියලා රුවන්ට දැනටමත් තේරිලා ඉවරයි. පොර හදන්නෙ රුවන්ව බ්ලැක් මේල් කරන්න.

"හරි හරි, තමුසෙට තව කීයක් ඕනෙද ?"

"මල්ලි, තව 2500ක් වත් ඕනෙ. ගෑණු දත් හින්දා එච්චර ගණන් නෑ...." කොන්දත් ඇඟට පතට නොගෑවී කියනවා.

රුවන්ටත් කරන්න දෙයක් නැති තැන කට්ටිය එහාට මෙහාට වෙනකං ඉඳලා බස් මුට්ටි වලට අතදාලා තව 2500ක් ගෙනැල්ලා කොන්දා අතේ තියනකොට තමයි රුවන් දැක්කේ ගේට්ටුවට මුවා වෙලා ඉන්න පොඩි කොල්ලව.

"ආහ්, මේ අපේ පුතා.... අවුරුදු හතයි තාම. මල්ලි යන ඉස්කෝලෙටම තමයි යන්නෙ.....!" කියනකොට කොල්ලත් කට පුරා හිනා වෙනවා. ඒක දැකලා රුවන්ට කලන්තෙට වගේ ඇවිල්ලා ඉක්මනටම ගේට්ටුවට වාරු උනා...



උගේ ඉස්සරහා දත් පේලියේ උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි දත් හතරක්ම නෑ....!

Related Posts with Thumbnails