මෙන්න පඩ කතා

Posted by දුමී

ඔන්න ඉතින් පහුගිය දොහේ තිබුනු අධික වැඩ රාජ කාරි නිසා කට කහන කතා බ්ලොග් එක පාළුවට යන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවක තමයි මේක ඔන්න ඔහේ කොටලා දාන්න ඕනෙ කියලා හිතුනේ.
අපේ කතන්දර සූරියෝ පටන් ගත්තනේ පඩ කතාවක් කියලා. ඊට පස්සෙ ඔන්න අපේ අරුණිත් දැම්ම පඩ ගැන හරිම රසවත් ශාස්ත්‍රීය විවරණයක් මෙන්න මෙතන. ඔන්න ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට්ස් එහෙම දාලා මේ පඩ වැඩේ ගොඩක් වර්ණනා එහෙම කලා. ගොඩක් අය නම් කිව්වෙ පඩයක් ඇරපු නැති එක්කෙනෙක් පුළුවන්නම් අත උස්සන්න, පඩ යවන්න පුළුවන්නම් පඩ ගැන කතා කලාම ලිව්වාම මොකක් වෙනවද කියලා. ඔන්න ඉතින් දුමිත් බැළුවා කුඹුර හාල තියෙන වෙලාවෙ වී ටික වපුර ගන්න ඕනෙ කියලා ලිස්ට් එකේ තිබුනු පඩ කතාවක් දෙකක් ඔන්න දිග අරින්නයි යන්නෙ. හැබැයි ඉතින් හිතපු තරම්ම පඩ සීරීස් එක නැගලා ගියේ නැද්ද කොහේද. කසූ ගෙනුයි අරුණිටයි පස්සෙ පඩ කතාවක් දැක්කෙම නෑ.

ඔන්න පලවෙනි කතාවෙ කතා නායකයගේ නම සුජීව. එයත් ඉන්නෙ මේ ඩුබායි හන්දියේම තමයි. වෘතීය වශයෙන්නම් එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් යානා ඉන්ජිනේරු වරයෙක්. හැබැයි සුජීව කියපු විදිහට නම් මේ වැඩේ වෙලා දැනට ටික කාලයක් වෙනවා. ඔන්න ඉතින් සුජීවලා ඉස්කෝලෙන් අවුට් වෙලා වේලි වේලි ඉන්න සමයේදි ඔය දන්න හඳුනන නංගිලා, මල්ලිලා එතකොට නෑනලා මස්සිනාල සහ කසින්ලා වගයකුත් එක්ක නුවර එළියේ පැත්තෙ ට්‍රිප් එකක් ගිහිල්ලා. ගිහිල්ල තියෙන්නෙ කෝච්චියේ. දන්නවානේ ඉතින් කෝච්චියෙ නුවර එළියෙ යන්න ඕනෙ නම් නානුඔයින් බැහැලා එතනින් බස් එකේ යන්න ඕනෙ කියලා. මේ කියන කාලේ දැන් වගේ ඔය දඩ සයිස් ටාටා බස් එහෙම තිබුනේ නැහැ. සී.ටී.බී ටකරන් බස් වලට අමතරව ලොකු බස් වලට කියලා තිබිලා තියෙන්නෙ අර මිට්සුබිෂි රෝසා වගේ ප්‍රයිවට් බස්. ඊටත් වඩා නානුඔය ඉඳලා නුවර එළියට තිබිලා තියෙන්නෙ අර පාන් බාගයක් වගේ තියෙන වෑන්. ඔය අපි වගේ හැත්තෑව දශකයේ ඉපදිලා, අසූව දශකයේ ඉඳල අනූව දශකයට වෙනකන් ඉස්කෝලේ ගිය පරණ අයට මතක ඇති ඒ කාලෙ කට කපලා ඕවට මිනිස්සු පටවන හැටි.. කොටින්ම කිව්වොතින් ඔය පාන් බාගේ ප්‍රයිවට් වෑන් නිසා තමයි අර සිද්ධාලේප මුදලාලිත් ඔච්චර දියුණු උනේ. ඇයි ඉතින් ඕවයේ බෙලි නවාගෙන යනකොට ගහන බ්‍රේක් පාරවල් වලට බෙල්ල උළුක් උනහම මිනිස්සු ගෑවෙම සිද්ධාලේප.

ඔන්න ඉතින් සුජීව ඇතුළු නඩයත් නමෝ විත්තියෙන් පිටකොටුවෙන් නානුඔය කෝච්චියට නැගලා සින්දුවක් එහෙම කියාගෙන ආතල් එකේ යනවා. ඔය ඉතින් කෝච්චියේ යන අතර දන්නවනේ හැම ස්ටේශන් එකෙන්ම එන අන්නාසි කාරයොද, අඹ කාරයොද, ඊට පස්සෙ වඩේ කාරයෝද අරවද මේවද වැහි වැහැලනේ. අනේ ඉතින් සුජීවගේ සෙට් එකත් බඩජහරි කමට ඔය හැම කාරයගෙන්ම මොනවා මොනවා හරි බඩවල් වලට දාගෙන. කොහොම හරි නානු ඔයෙන් බහිනකොට ටිකක් හවස් වෙලා ඒ මදිවට කට කපලා වහිනවා. ඒ අස්සෙ හීතලයි. කොහොම හරි කට්ටියම ස්ටේෂන් එක ගාවින්ම නුවර එළිය බලා යන බාගේ වෑන් එහෙකට රිංගලා. දෙතුන් දෙනෙක්ට සීට් හම්බ උනාට වැඩි හරියක් දෙනා හිටගෙන. ඒත් එක්කම ඔය තව එළවලු මලු පටවගත්ත අයයි, දවසෙ වැඩ ඉවර වෙලා ගෙවල් දොරවල් වලට යන අයගෙනුයි වෑන් එක කට ලඟටම පිරිලා. ඔන්න කොහොමෙන් කොහොම හරි වෑන් එකත් යන්න පටන් ගත්තා. එලියේ මොර හූරන වැස්ස. සීට් වල වාඩි වෙලා ඉන්න ඈයො වීදුරු එහෙම වහගෙන මොකද ඇතුලට හිරිකඩ එන නිසා. මතකනේ ඔය වෑන් වල සීට් තියෙන්නෙ එක පැත්තකට වෙන්නනේ, අනිත් පැත්තේ තියෙන කොරිඩෝර් එකේ තමයි හිටගෙන යන කට්ටිය බෙලි කඩාගෙන යන්නෙ. ඉතින් ඒ පැත්තෙ තියෙන එක වීදුරුවක් යන්තමට ඇරිලා තමයි තිබිලා තියෙන්නෙ. සුජීවගේ නඩේ ඈයෝත් ඉඳලා තියෙන්නෙ ඔය ජනේලෙ ගාව. ඔන්න සුජීව බලනකොට නඩේ එකෙක් මේ ඇරිලා තියෙන ජනේලෙට පස්ස පැත්ත තියාගෙන තටමනවලු. බලනකොට මෙයා සනීපෙට පඩ අරිනවලු. කෙලින්ම එලියට යන නිසා අවුලක් නෑ. අනික අර කෝච්චියේදි කාපු ජාති නිසා යන ඒව සද්ද දාල යන ඒව නම් නෙමෙයි. ෆුල් සයිලන්ට් ඒවා. ඔන්න ඉතින් සුජීවයත් මෙච්චර වෙලා තද කරගෙන ඉඳලා තියෙන්නෙ. ඌ මොකද කලේ අර වීදුරුව ගාව ඉන්න එකාව පොඩ්ඩක් තල්ලු කරලා ඒ විදිහටම පස්ස එලියට දාලා දුන්නලු වැඩේ. ඔන්න දැන් ට්‍රික් එක අල්ල ගත්ත නිසා නඩේ හැම එකාම පස්ස පැත්ත එලියට දාගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවලු. ඔන්න ඔහොම ඔහොම මුන් ටික දඟල දඟල ඉන්න කොට වෑන් එකේ කොන්දා කෑ ගැහැව්වලු.

"ඔය මොකද ඔතන දඟලන්නෙ වීදුරුවකුත් ඇරගෙන.... මේ ඇතුලෙ මිනිස්සු තෙමෙනවා. ඔන්න ඕක වහලා දානවා..." කියලා ඇවිල්ලා වීදුරුව වහලා දැම්මලු.

ඔන්න මෙච්චර වෙලා තද කරගෙන හිටියට මොකද අර ඇරපු ජනේලෙ ට්‍රික් එක දැකලා කට්ටිය සනීප ගන්න හෝප්ස් තියාගෙනනෙ හිටියේ. දැන් ඉතින් ආයෙමත් තද කරනවා බොරු. මෙන්න බොලේ එකා දෙන්නා දැන් පඩ යවනව්ලු හිටු කියලා. ෆුල් සයිලන්ට් නමුත් මාරාන්තික ඒවා. දැන් වෑන් එකේ හිටපු අනිත් එවුන් නහයවල් වහගෙන කටින් තමයි හුස්ම ගන්නෙ. කටින් හුස්ම ගන්නවා කියන්නෙ, ගඳ නැති උනාට පඩේ කෙලින්ම යන්නෙ කටට, හරි ෂෝයි. සීට් අයින්වල ඉන්න සමහර එවුන් වීදුරු ඇරගෙන ඔළුව එලියට දාගෙන නොමැරී ඉන්නවලු. ඒ අස්සේ සුජීවගේ සෙට් එක පණ යනකන් හිනා වෙනවලු. මුන් ටික ඒත් නවත්තන්නෙ නෑ. හිනා වෙවී තව තව වෑන් එක පුරවනලු. ඔන්න ටික වෙලාවකට පස්සෙ ඩ්‍රයිවර් කාරයා "බ්‍රාස්...." ගාල බ්‍රේක් පාරක් ගහලා පස්ස හැරිලා කෑගහනවලු.

"ඔය පඩ යවන එවුන් නැවැත්තුවෙ නැත්තන්, අල්ලනවා මම වෑන් එක පල්ලමකට උඹල ඔක්කොමල්ලවම මරාගෙන මමත් මැරෙන්න...." කියලා.

එහෙම්මම වෑන් එක නවත්තපු ඩ්‍රයිවර් අර මහ වැස්සෙම දොර ඇරගෙන එලියට පැනලා තෙමි තෙමි ලයිට් කණුවක් අල්ලගෙන වමනේ දැම්මලු.


ඔන්න දැන් කියන්න යන කතා දෙකකම ඉන්නෙ එකම චරිත ටිකක් තමයි, හැබැයි මේ කතා දෙකෙන් දෙවනි එක තමයි පඩ කතාව. පලවෙනි කතාව පඩ කතාවක් නෙමෙයි, හැබැයි ඉතින් ඒක නොකියා බෑ දෙවනි කතාව කියන්න.

ඔන්න ඔය පිට කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක්කෙනෙකුට විතරක් එක පාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටික වෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩ කරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලා තියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දන හිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටි පස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙම නැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මම නම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන් පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාට දැම්මනේ ...........!"


ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් කට්ටිය බස් එකට නැග ගත්තලු. ටික වෙලාවක් යනකොට අංකල් කාරයට සීට් එකක් හම්බ වෙලා ඉඳ ගත්තලු. හීනියට අනුමත වෙලා හිටපු නිසා දැන් දැන් අංකල්ගේ කරටිය පොඩ්ඩ පොඩ්ඩ පාත් වෙනවලු. ඔහොම ඔළුව නවාගෙන ඉන්නකොට අන්කල්ට පේනවලු අර කලින් හිටිය නගාගේ කකුල් දෙක. මෙන්න බොලේ කොහෙන්ද ආපු මැස්සෙක් මෙයාගේ කකුල් දෙකේ වහනවලු. ඔන්න ඉතින් මේකිත් එහාට ඇඹරෙනවලු, මෙහාට ඇඹරෙන්වලු. ඔන්න ටික වෙලාවකින් අර මැස්ස කකුල දිගේ සාය ඇතුලටම රිංගුවලු. ඔන්න ඉතින් දැන් කෙල්ලගේ ඇඹරිල්ල එකසිය ගානකින් වැඩි උනාලු. මේ ජර මර අස්සෙ එක පාරටම "පෲක්..." කියලා සද්දයක් ආවලු.

මේ සීන් එක ඔක්කොම අකුරක් නෑර බලන් හිටිය අංකල් කාරයා පට ගාල ඔළුව ඔස්සල කිව්වලු,

"අන්න හරි නංගි, අන්න හරි.... පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!" කියලා.

Related Posts with Thumbnails