ඇය අම්මා විය

Posted by දුමී

 

මම 2002 ඉඳලා ජීවත් වෙන්නේ ප්‍රාන්ත 7කින් හැදිලා තියෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි සහ ෂාජා කියන ප්‍රාන්ත වල. මිනිස්සු මෙහේ රස්සාවල් කරන්න එන්නේ ජීවිතයේ තියෙන දහසකුත් එකක් වූ අප්‍රමාණ සිහින සැබෑවක්ම කරගන්න. අරාබි තෙල් සල්ලි වලින් සහ සිහින සැබෑ කරගන්න මෙහේ එන මිනිසුන් විසින් නොනවත්වා හෙලන ලද, තවමත් හෙලමින් තිබෙන දහඩිය බිංදු, ලේ කඳුළු මත්තෙන්ම තමයි මේ අති සුපෝඛභෝගී නගර සහ දහසකුත් එකක් සිහින සාප්පු ගොඩ නැගිලා තියෙන්නේ. මේක කේතුමතුමතියක්, හැබැයි ඒ කේතුමතිය ඇතුලේ සිය දහස් ගණන් කඳුළු කතා ලියවිලා සහ තවමත් ලියවෙමින් තියෙනවා අපිට හිතාගන්නවත් බැරි විදිහට.

පවුල් පිටින් මෙහේ ඇවිත් රැකි රක්ෂා, ව්‍යාපාර අරඹමින් සිහින පස්සේ හැල්මේ දුවන සමහරු, ඒ අතොරක් නොපෙනෙන සිහින කැලෑවල් වල අතරමං වෙලා මංමුලා වෙනාවා. තමන්ගේ තරමට නොසරිලන තරමේ ණය මුදල් ලබාගෙන, පසුව ඒ ණය ගෙවා ගන්න නොහැකිව, හිරේ විළංගුවේ වැටෙන, ආර්ථික දුෂ්කරතා වලින් කරවටක් ගිලී, පවුල් පිටින් සිය දිවි හානි කර ගත්ත කතා ඕනෑ තරම් මෙහේ පළවන දිනපතා පුවත් පත්වල කාලෙන් කාලෙට දැක ගන්න පුලුවන්. මෑතකදී අසන්නට ලැබුණු පුවතක් නම් (වසරකට එකහමාරකට වගේ කාලයක් ඇතුලත ), තම ව්‍යාපාරය බංකලොත් වූ පියෙක්, තමන්ගේ බිරිඳ සහ දරු තිදෙනාවද හුස්ම හිර කර මරා දමා, නිවසේ විදුලි පංකාව එල්ලී සිය දිවි නසා ගත් පුවතක්. තට්ටු නිවාසවල දොර අගුල් වසාගෙන ජීවිත ගෙවන මිනිස්සු, අල්ලපු නිවාසයේ වෙන දේවල් දන්නේ නෑ. මේ සිද්ධියත් මිනිසුන් දැනගන්නේ සිද්ධිය වී සතියකට දෙකකට ඇවෑමෙන් ඒ නිවස අසලින් හමනා අධික දුර්ගන්ධය හේතුවෙන්, බලධාරීන් පැමිණ දොරවල් කඩා කරන ලද සෝදිසි කිරීමෙන්.

අපේ රටවල් වල වගේම අරාබි ජාතිකයනුත් මලගිය ආත්ම තදින් විශ්වාස කරනවා. අපි හොල්මන්, භූතයන් ප්‍රේතයන් හඳුනන මලගිය ආත්ම ඔවුන් හඳුන්වන්නේ "ජීන්" කියලා. අපේ රටවල් වල කරන ගුරුකම් වගේම ඔවුන් අතරත් මේ ජීන් ආත්ම පලවා හරින ගුරුකම් ඉතාමත් ප්‍රචලිතයි.

මේ අරාබි එමිරේටයේ මේ වගේ අත්භූත සිද්ධීන්, ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර කිසිවෙකුටවත් පදිංචි විය නොහැකි රජමාලිගාවක්, කිසිම කෙනෙකුට ජීවත් විය නොහැකි අතහැර දමන ලද සම්පූර්ණ ගම්මානයක්, ඒ වගේම අත්භූත සිද්ධීන් නිසා සම්පූර්ණයෙන්ම අත හැර දමන ලද තට්ටු නිවාසයක් (මා සිටිනා නිවසට තරමක් ආසන්නයේ) පවතිනවා. මේ කතා එකින් එක, වෙලාවන් ලද සැනින් ලියා පල කරන්නම්.

මේ මම ලියන කතාවත් මීට අවුරුදු කීපයකට කලින් සිද්ධ වූ සත්‍යම කතාවක්. දැනට වසර කීපයකට කලින් සිද්ධ වූ ලෝක අර්ථික කඩා වැටීම සෑහෙන දෙනෙකුට මතක ඇති. ඒ 2009 අවුරුද්ද වගේ. මේ කාලයේදී එක්තරා ව්‍යාපාරයක් කරමින් ඉතාමත් සුපෝඛභෝගී ජීවිතයක් ගෙවූ ඊජිප්තු ජාතික පවුලක් ෂාජා නගරයේ ජීවත් උනා. ඔවුන් ජීවත් වූයේ තට්ටු නිවාසයක නොව, යමක් කමක් ඇත්තන් ජීවත් වන "විලා" නමින් හඳුන්වන ඉඩමක් සමග තට්ටු දෙක තුනකට සදා තිබුන සාමාන්‍යය මිලෙන් අධික නිවාසයකයි. මේ ආර්ථික අවපාතයත් සමග මේ පවුලෙ ව්‍යාපාරම මුලටම කඩා වැටෙනවා. දිනෙන් දින ඉහල යන ණය කන්දරාවත්, බැංකුවලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව කොයි වෙලාවේ නීතිය විසින් යදම් දා කූඩු කරාවිදැයි ව්‍යාපාරයේ හිමිකරු අධික ආතතියකින් කල් ගෙවනු ලැබුවා. මේ ජීවන අභියෝග හමුවේ තව දුරටත් කල හැකි යමක් දෑස් පනාපිට නොපෙනුනු ඔහු ඊලඟ හෝරාවෙහිදී තීරණය කරන්නේ මුලු පවුලම සමග සිය දිවි නසා ගැනීමටයි. තම රූමත් බිරිඳත්, හත් හැවිරිදි දියණිය සහ වසරක්වත් වයස නොවූ පුංචි පුතා දෙසත් බලන ඔහු ඔවුන්ගේ දිවි තොර කරන්නේ කෙසේදැයි සිය දහස් වරක් අඳෝනා දෙන හදවතින් කල්පනා කරා. තම දෑතින් ඒ අපරාධය කල නොහැකි වූ ඔහු එකතරා දවසක එක් තීරණයක් ගන්නවා. ඔවුන් ජීවත් වූ විලා නමින් හඳුවන නිවසේ ගබඩා කාමරය තනා තිබුනේ බේස්මන්ට් නොහොත් පොලොව මට්ටමෙන් යටට සිටින්නටය. තම බිරිඳද දරු දෙදෙනාද ඔහු විසින් ඒ පොලොව යට කාමරය ගොස් ඇරලවන්නේ, ගෙයි සිටිනා මැසි මදුරුවන්, කැරපොත්තන් සඳහා කෘමි නාශක ඉසිනට ඇති බැවින් ඔවුන්ට පැයක් දෙකක් පමණ කාලයක් ඒ තුල සිටින ලෙස පවසමිනි. කෙලි දෙලෙන් තම මලනුවන් සමග සෙල්ලම් කරන දියණියත් පුතනුවනුත් හා තමන්ගේ ආදර බිරිඳ දෙසත් බලන ඔහු බූගත කාමරයෙන් පිටතට පැමින ඒ දොරේ දොර අගුල් දමනවා. ඉන් පසු ඔහු කරන්නේ කලින් සූදානම් කරගත් කඹයක්ද රැගෙන ගෙදර සාලයේ එල්ලී සියදිවි හානි කරගන්නටය. කීපවරක්ම තම දිවි තොරකරගැනීම උත්සා කලත් එසේ සිදු කිරීමට කිසියම් හේතුවකින් ඔහු අපොහොසත් වෙනවා. ඔහු ඉන්පසු කරන්නේ ගෙදර දොරවල් අගුලු දමා ගෙයින් නික්මී ඉබාගාතේ සිහි විකල් වූවෙකු මෙන් ඇවිද යාමයි.

බිරිඳගේ දෙමව්පියන් ජීවත් වන්නේද එමීර් රාජ්‍යයේමයි. සති කීපයකින් තම දියණියගෙන් කිසිම ඇමතුමක් නොලද ඇයගේ දෙමව්පියන් ඇයව සොයා එනවා. ගෙදර දොරවල් අගුල් දමා පවතින බවත්, ගෙදර සීනුව නාද නොවන බවත් (ඒ වන විට ව්‍යාපාරිකයා ගෙදර විදුලිය විසන්දි කර පවතිනවා ) දකින ඔවුන් නිවසින් නිකම යනවා. තම දියණියගේ පවුලට වූයේ කුමක්දැයි සිතා ගත නොහැකී වූ ඔවුන් සිතන්නේ, ආර්ථික ආඝාධයෙහි වැටෙන බහුතරයක් පිරිස් කරනා ලෙස, ඔවුනද හොර රහසේම රටෙන් පැන ගොස් ඇතැයි සිතා කිසිම බලධාරියෙක්ට ඔවුනගේ අතුරුදන් වීම සඟවා තබා ගැනීමට උත්සුක වෙනවා. 

ඉන්පසු ගතවන්නේ මාස තුනකට නොවැඩි කාලයක්. සුන්දර නොවන අරාබි වසන්තයේ දවසක (මේ කාලයේදී වැලි කැට පුපුරන රස්නයක්, ඇතැම් දිනවල සෙන්ටිග්‍රේඩ් අංශක පනහ ඉක්මවන උශ්ණත්වයක්, දවල්ද රැයෙහිද නොවෙනස්ව පවතිනවා ) කාන්තාවගේ දෙමව්පියන්ට දියණියගේ සැමියා හමුවන්නේ ප්‍රදේශයේ මාකට්ටුවක් තුලදියි. සිහි විකල් වූවෙකු මෙන් කොණ්ඩයද රැවුලද වවාගෙන අපිරිසිදු ඇඳුම් ඇඟලා සිටින ඔහු දකින කාන්තාවගේ දෙමව්පියන් ඔහුව තම නිවසට රැගෙන යනවා.

වචනයක්වත් කතා කිරීමට තරම් සිහියක් නොතිබූ ඔහුගෙන් ඔවුන් ප්‍රශ්න කරන්නේ තම දියණිය සහ දරුවන් කොහේ සිටීද යන්නය. මෙසේ දිනක් දෙකක් ගතවන තැන, එක්තරා දිනක ඔහු සිහි එළෝ ගන්නවා. මහා හඬින් අඬමින්, දෙදණින් වැටෙමින් ඔහු පවසන්නේ තමා විසින් සිය දරු පවුල මරා දමන ලද බවය. ඔහු පවසනා දේ ගැන හිතාගැනීමටත් නොහැකි ඔවුන් මේ සිද්ධිය බලධාරීන් වෙත දැනුම් දෙනවා. ඉන්පසු සියලුම දෙනා යුහුසුළුව පැමිනෙන්නේ ඔවුන් වාසය කරනා ලද නිවස වෙතය. ඔවුන් දොර අගුල් කඩා දමා නිවසට ඇතුළු වෙනවා. නාස් පුඬු වලට නොදැරිය හැකි දුගදින් ඔවුන් සිතාගන්නේ විය යුතු සියල්ල ඒ වනවිටත් සිදුවී හමාර බවය. ඔවුන් ඉන්පසු බූගත කාමරයේ දොර විවර කරනවා.මල මිනී වලින් නික්මෙන දුර්ගන්ධය වඩ වඩාත් දැන් ඔවුනට දැනෙන්න ගන්නවා.

කිසිම එළියක් නොමැති කාමරයට විදුලි පන්දම් ආලෝකයක් එල්ලවන සැනින් ඔවුන් දක්කින්නේ කාමරයේ බිම වැතී තිබෙන, ඒ වනවිටත් කුණුවී ඕජස් ගලමින් තිබෙන මල සිරුරුය. ඒ අමගම යමක් ඉතා වේගයෙන් ගොස්, මුල්ලකට වදිනු චායාවක් මෙන් දකින් ඔවුන්, ඒ අසලට විදුලි පන්දම යොමු කරනවා. ඔවුනට ඔවුන්ගේ ඇස් අදහා ගත නොහැකි වනවා.

විදුලි පන්දම එළියෙන් ඔවුන් දකින්නේ කුමක්ද. අඳුරු මුල්ලේ ගුලිවී තවමත් ප්‍රාණය සහිතව සිටින අවුරුද්දක්වත් වයස නැති පවුලේ බාලම දරුවායි.කොණ්ඩය වැවී, අපිරිසිදු ඇඳුමෙන් සිටියත් ඔවුන් දකින්නේ ඔහු ඉතාමත් හොඳ සෞඛ්‍යය සම්පන්නව සිටිනා බවය. ඒ වනවිටත් කාන්තාව සහ වැඩිමල් දියණිය මිය ගොස් මාස කීපයක් ගත වී ඇති බව ඔවුනට වැටහී යන්නේ සිරුරු දිරාපත් වී ඇති ආකරය අනුවය. වහාම වෛද්‍යය ප්‍රතිකාර සඳහා දරුවා රැගෙන යන ඔවුන් සොයා ගන්නේ, දරුවා කිසිම පෝෂණ ඌනතාවයකින් නොපෙලෙන බවයි. කෑමට බීමට වතුර පොදක්වත් නොමැතිව තම මව සහ සහෝදරිය මරු වැලඳගන්නා විට අවුරුද්දක්වත් නැති මේ කුඩා දරුවා මේ ලෙස ජීවිතය බේරාගෙන ඇත්තේ කෙසේද ? ඔවුන්ට නැගෙන විසඳා ගත නොහැකි ප්‍රහේලිකාව එයයි.

තවමත් හරි හැටි වචන හැසිරිය නොහැකි ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඔහු ජීවත් වූයේ කෙසේද යන්නය. කුඩා දරුවා ඔහුට හැකි පරිදි ලබා දෙන ලද තොරතුරු වලින් ඔවුන් මවිතයෙන් වික්ශිප්ත වෙනවා.

කුඩා දරුවා පවසන ලද තොරතුරු අනුව, සිය මව ඔහුට නිරතුරුවම පැමින මවුකිරි පොවා තිබෙනවා.....තමන් මියගියත්, නොමියෙන මවු සෙනෙහස තම දරුවා මියදෙන්න නොදී ඒ කුඩා පුතුගේ ජීවිතය ඒ විදිහට බේරාගත්තේ කෙසේදැයි අදටත් නොවිසඳී ඇති ප්‍රහේලිකාවක්.

කොරෝනා කතන්දර සහ සෙක්ස්

Posted by දුමී

මේ කොරෝනා කාලේ ලොක් ඩවුන් නිසා මුලු පවුලම ඉතින් ගෙදර. පොඩි උන්ට ඔන්ලයින් ඉස්කෝලේ, මම ගෙදර ඉඳන් වැඩ. හාමිනේ ඉතින් උදේ පාන්දර කොල්ලවයි පොඩි කෙල්ලවයි ඇහරවලා, මොනා හරි දඩි බිඩියේ හදලා ඉවර වෙලා පොඩි කෙල්ලත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකට වාඩි වෙන්න ඕනේ. නැත්නම් අර අපි පොඩි කාලේ ඉස්කෝලේ යනවයි කියලා කැලේ පැන්නා වගේ මුන් කරන්නේ, හාමිනේ පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා ක්ලාස් එක පැත්තක තියෙද්දි පොඩි උන් දෙතුන් දෙනා වෙන වෙනම පොඩි පොඩි චැට් වලට සෙට් වෙලා නෙට්ලික්ස් වීඩියෝ, යූ ටියුබ් වීඩියො බලන එක නැත්නම් ඔන්ලයින් ගේම් ගහන එක.....අනේ ඉතින් හාමිනේ තමයි පොඩි එකාගේ ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙලා පාඩම් වැඩ කරන්නෙයි, හෝම් වර්ක් ටික කරලා දාන්නෙයි.

ඉතින් ඔය පාඩම් ටික ඉවර වෙලා, ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර ලියලා, හෝම්වර්ක් ටික කරලා ඉවර උනාම හාමිනේට මහන්සියි. ඉතින් ඔන්න පොඩ්ඩක් ෆෝන් එක කොට කොට ඉන්නවා, නැත්නම් කලින් දවසේ ලංකාවේ හැම චැනල් එකකම ගිය ටෙලි ඩ්‍රාම ටික එකක් පස්සේ එකක් බලනවා.......ඔන්න ඔය අතරේ ගෙදර ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් එනවා.......ඉතින් ඒ එන කාත් එක්ක හරි අරකයි, මේකයි, කොරෝනා ගැනයි, ගෙදර උයන පිහින ඒවා ගැනයි, ගේ ඇතුලටම වෙලා ඉන්න වෙලා තියෙන එකයි වගේ මෙකී නොකී කාරනා ගොඩාක් ගැන පැය ගාණක් කතා කරලා ඉවර වෙලා ෆෝන් එක තිබ්බා........ඊට පස්සේ හාමිනේ බර කල්පනාවක.......මම ඉතින් නිකමට ඇහුවා

හාමිනේ, මොකෝ අවුල......?" කියලා

නෑ නෑ මුකුත් නෑ...." 

මම නොදන්නවයෑ හාමිනේලගේ හැටි......මුකුත් නෑ කියලා කියන්නේ නැති දෙයක් නෑ කියන එක.......ඉතින් මමත් ගණන් උස්සවන්න යන්නේ නැතිව කට පියාගෙන මගේ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන ඉන්නකොට හාමිනේ කියනවා.....

"මේ.......! මම මේ කල්පනා කලේ මම ඒ කාත් එක්කද කතා කලේ කියලා........"

අනේ අම්මේ, පැයක් එකහමාරක් කතා කරලා ඉවරවෙනකොට, කාත් එක්කද කතා කලේ කියන එකත් අමතක වෙලා......

මමත් ඉතින් අනේ අපොයි කියලා හිතලා කිව්වා.....ඉතින් ඔය ෆෝන් එකේ කෝලර් ලිස්ට් එකට ගිහින් ආපහු ඩයල් කරලා බලන්නකෝ කියලා.......

ඔන්න අපේ හාමිනෙත් ඉතින් එහෙම කරලා රී ඩයල් ගහලා ආපහු කෝල් එකක් ගත්තා........

"හලෝ......ආනේ.....මේ ඔයානේ......."

ඔන්න බොලේ එහෙම ගත්ත කෝල් එක ඉවර උනේ තවත් පැය එකහමාරකට පස්සේ.........

(මෙහේ ලෑන්ඩ් ලයින් ටු ලෑන්ඩ් ලයින් කෝල් ෆ්‍රී නිසා අවුලක් නෑ......)

ලංකාවේ මාසයක් දෙකක් ලොක් ඩවුන් කරලා කර්ෆිව් දාලා තිබ්බ නිසා ඉතින් ඔය ගෑණු උදවියට තමයි ලොකුම පාඩුව වෙලා තිබුනේ. ඇයි ඉතින් වෙනදට සතියකට සැරයක් දෙසැරයක් ගිහින් කොණ්ඩේ ට්‍රිම් කරලා, නියපොතු පාට කරලා, පොලිෂ් කරලා, ෆේෂල්ද අරවද මේවද කරලා ෆුල් කික් එකේ තියාගෙන ඉන්න ශරීර කූඩුව අපායට කැලැන්ඩර් ගහන්න පුලුවන් වෙන සයිස් එකට වෙනස් වෙලා ඒ වෙනකොට....... කොහොමෙන් කොහොම හරි ඔය අතරේ ඔන්න එක දවසක් නිවේධනයක් ආවා සැලෝන් වලට නිරෝධායනය නීති පවත්වා ගනිමින් සේවය සපයන්න පුලුවන් කියලා......ඔන්න ඉතින් අපි දන්න අඳුනන යාලුවෙක් හනි හනිකට කෝල් එකක් ගත්තලු.....

"හලෝ.... හලෝ....මට හදිස්සි අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න පුලුවන්ද....?" අපේ යාළුවා ඇමතුම ගත්තලු

"හලෝ......හදිස්සි ඇමතුම් සේවය.....පුලුවන් මැඩම්.....!"

"අනේ....ඔයගොල්ලෝ ඉමර්ජන්සි සර්විස් එකකුත් පටන් ගත්තද....? හරි ෂෝක්.....මටත් මේ හරිම හදිස්සියි........"

"හරි නෝනා....ඇඩ්‍රස් එක කියන්න...අපි ඉක්මනටම එන්නම්....."

"අනේ ඔයගොල්ලෝ ගෙදරටම එනවද.....හරි ෂෝක්නේ.......ඒත් කරදර වෙන්න එපා.....මට ඔතනට එන්න පුලුවන්......."

"නෑ මැඩම් එහෙම කරදරයක් නෑ....ඉක්මනටම එඩ්‍රස් එක කියන්න........"

"අයියෝ....නෑ අනේ.....මම ඔතනට එන්නම්.....කියන්නකෝ ඉතින් කීයටද මම එන්න ඕනේ........"

"මැඩම් මේ ඉමර්ජන්සි සර්විස් එක........"

"ඔව් ඔව්....මටත් මේ හදිස්සියක් තමයි.......කොණ්ඩේ පොඩ්ඩක් ට්‍රිම් කරලා, ෆේෂල් එකක් දාලා මෙනිකියෝ පෙඩිකියෝ එකක් කරගන්න ඕනේ....."

"මැඩම්......මේ සැලුන් එකක් නෙමෙයි...... මේ  xxxxx ප්‍රයිවට් හොස්පිටල් එකේ ඇම්බියුලන්ස් සර්විස් එක.....අපි හිතුවේ කාට හරි කොරෝනා හැදිලා කියලා......."

"දඩස්......."

කොහොමින් කොහොම හරි, අපේ යාලුවා සැලෝන් එකක් හොයාගෙන අපොයින්ට්මන්ට් එකක් දාලා වැඩේ කරගෙන. ඊට පස්සේ මෙයා ගෙදර ඇවිල්ලා. ගෙදර ගේට්ටුව අරිනකොට ගෙදර බල්ලා මෙයාට හිටු කියලා බුරනවලු...........ඇතුලට එන්න දෙන්නෙම නෑල්ලු........ඔන්න ඉතින් ඔය සද්දේ ඇහිච්ච මෙයාගේ හස්බන්ඩ් ඇවිත් බැලුවලු මේ කොරෝනා සීන් අස්සේ මොකාද ගෙට රිංගන්න එන්නේ කියලා බලන්න......බලනකොට කෑල්ලක් ඉන්නවලු ගේට්ටුව ගාව.......පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා, බල්ලව පැත්තකට ඇදලා දැම්මලු..........

"බල්ලට විතරක් නෙමෙයි ඕයි...., මටත් අඳුර ගන්න බැරි උනානේ තමුසෙව........." කියලා ගෑනිව ගෙට ගත්තලු........


කොරෝනා කොරෝනා කිය කියා අපි සෙට් නොවී ඉන්නවද ? පහුගිය දොහේ සූම් වලින් සෙට් වෙලා අපි යාලුවෝ ටික දෙනෙක් පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් උනා......ඔහොම පැයක් දෙකක් යනකොට කට්ටියට ටිකක් වැදීගෙන එනකොට එකෙක් කියනවා....

"ඕයි.... දීග ගාමිණි පිස්සෙක් ඕයි.....!"

"ඒ මොකද ? මොකාද දීග ගාමිනී.......?"

"නෑ අර උන්මාද චිත්‍රාව උස්සගෙන ගිය එකා......."

"ඒ මොකද බන්......."

"අර එක්ටැම් ගේක දාලා කොරන්ටීන් කර කර තිබ්බ උන්මාද චිත්‍රව උස්සගෙන පැනපු එකා.......බලහන්, ෂුවර් එකටම චිත්‍රාව තියන්න ඇත්තේ කොරන්ටීන් එකක.....බරපතල ලෙඩක් තිබිච්ච හින්දා......අර බූරු දීග ගාමිණියා ගිහින් ඒකිව උස්සගෙන පැනලා මුලු සමාජෙම කොච්චර ලොකු අනතුරකද දැම්මේ.....?"

බිබී හිටපු ටිකත් ඉස්පොල්ලේ ගියා......!

පලි:කොරෝනා කතා දෙක තුනක් කිව්වට සෙක්ස් ගැන කියන්න දෙයක් නෑ......දීග ගාමිණියි උන්මාද චිත්‍රයි සෙක්ස් කරන්න ඇති. ඒත් වැඩි විස්තර දන්නෙ නැති නිසා ලියන්න විදිහක් නෑ........!!!

සුනිමල් සහ සඳමාලි

Posted by දුමී


සුනිමල් සහ සඳමාලි හැදී වැඩුනේ අති සුන්දර වූ කඳු වළල්ලකින් වට වූ, ගමේ එක් කොණක සිට අනිත් කොන දක්වා විහිදී ගිය නිල්වන් කුඹුරු යායක්ද තිබූ අතිශයින්ම සුන්දර ගම්මානයකය. කඳු වළල්ල අතරින් කඩා හැලී ගම මැද්දෙන් මුළු කුඹුරු යායම සරු සාර කරමින් ගලා ගිය අතිශයින්ම මණරම් දොළ පාරකින්ද ඒ ගම්මානය සුන්දර වී තිබුනි. පාරම්පරික ගොවියන් වූ ගම් වාසීන් කුඹුරු ගොවිතැනින්ද, කුරුඳු වගාවෙන් සහ ඇතෙමෙකු සරු සාරවූ එළවලු කොරටු පවත්වාගෙන යෑමෙන්ද ඉතා සරළ දිවි පෙවෙතක් ගත කලහ.

සුනිමල් සහ සඳමාලි අකුරු කෙරුවේ ගමේ මිශ්‍ර පාසලෙනි. සුනිමල් සඳමාලිට වඩා පන්ති දෙකක් ඉහෙලින් ඉගෙනුම ලැබුවේය. කුඩා කල සිට දැන හැඳින සිටියද, සුනිමල්ට සඳමාලි ගැන ආදරයක් ඇති වූයේ කවදාදැයි සුනිමල්ට මතක නැත. නව යොවුන් වියට පා තැබූ, හිමිදිරි පින්නෙන් ප්‍රමෝධමත් වූ ඇහැල මලක් ලෙස පාසල වෙත ඇදෙන සඳමාලිගේ දසුන සුනිමල්ගේ සිතට චමත්කාරයක් ගෙන එන්නට සමත් වූයේ කවදා සිටන්දැයිද සුනිමල්ට මතකයක් නොතිබුනි.

පාසලේදී මුන ගැසෙන සෑම වරකදීම "සුනිමල් අයියේ......කොහොමද ඔයාට...." කියා වල ගැහෙන කොපුල්, නාදල්ලක් වන් දෙතොල් වලින් සිනාසෙන විට ඇයගේ දීප්තිමත් දෙනෙත් දෙකද තොල් පරයා සුනිමල් සමග සිනා සෙන්නේයැයි සුනිමල්ට සිතුනි. සඳමාලිද සුනිමල් වෙත සිතින් ආදරය කරන වග සුනිමල්ට නොතේරී තිබුනේ නැත. ගමේම සිටිනා කඩවසම්ම ඉලන්දාරියා වූ සුනිමල් හා හාද වන්නට පාසලේ කෙල්ලන් රොත්තක්ම සැදී පැහැදී සිටියත්, සුනිමල්ගේ සිත ඇදී ගියේ හිමිදිරි උදයේ පිබිදෙන පින්න මලක් මෙන් රූමතියක් වූ සඳමාලි වෙතය.

මුවින් නොමුනා, දෑසින්ම පමණක් කතා කරමින් ඇති වූ නව යොවුන් ආදරයෙන් සුනිමල් සහ සඳමාලිගේ ජීවිත වෙලාගන්නට වැඩි කාලයක් ගියේ නැත. සඳමාලිගේ ආදරයෙන් සුනිමල් කුල්මත් වී සිටියේය. මුලු ගමේම සිටින වාසනාවන්තම කොල්ලා තමන් යැයි සුනිමල් පවසන විට, ගම්මානයේ වෙසන වසනාවන්තම කෙල්ල තමන් යැයි සඳමාලිද සුනිමල්ට පවසා තිබුනි. සුනිමල් හා හාද වෙන්නට මාන බලන් සිටි අනෙකුත් කෙල්ලන්ගේ ඊරිසියා බැලුම් නොරිස්සුම් කතා කණ ගැටෙන සුනිමල්ද මුවින් නොබැන ඒ කතා මග හැර සිටියේ සිතේ සියුම් ආඩන්ම්බරයක්ද නොසඟවාගෙන නොවේ.

ඉගෙනීමේ අදක්ශයකු නොවූ සුනිමල් සාමාන්‍යය පෙලින් පසු පාසල් ගමන නවතා දැමුවේ කොනක් නොපෙනෙන තම පවුල සතු කුඹුරු යාය අස්වද්දන්නට දැන් මහලු වියේ සිටින තාත්තාට දැන් හරි හමන් ගතේ වාරුවක් නැති බව දන්නා නිසාය. අක්කර දෙක තුනක් වගා කර තිබූ සරුසාර කුරුඳු යායක්ද සුනිමල්ලාට උරුම වී තිබූ සෙයින් ඒවා බලා කියාගෙන වැඩි දියුණු කරගැනීමෙන් ලබන ආදායම, දිනෙක සඳමාලීව කැන්දාගෙන පැමිණීමෙන් සම්පූර්ණ වන තමන්ගේ ජීවිතයට ඕනෑවටත් වඩා සෑහේ යැයි හොඳින්ම සුනිමල් හොඳ හැටි දැන සිටියේය.

කාලය විසින් සුනිමල් හා සඳමාලිගේ ආදරය මහා වෘක්ෂයක අරටුවක් මෙන් ශක්තිමත්ව ගොඩ නගා තිබුනි. ඔවුන්ගේ ආදර අන්දරය මුලු ගම්මානයටම රහසක් නොවුනි. තැන්නේද, ලන්දේද, දොළ පාරේද, කුරුඳු මණ්ඩියේද ඔවුනගේ ආදරය දෝරේ ගලා ගියේ කිසිවෙකුගේවත් අබමල් බාධාවක් නැති පරිද්දෙනි. එකට හමු වී විටක තමා වටා තිබෙන මුළු ලොවම අමතක කර රාගී සිතින් ඇයව සිප වැලඳගන්නා සුනිමල්, සීමාව ඉක්මවා රාගයට වැට කොටු පනින්න ඉඩ නොදුන්නේ ඇයව කැන්දාගෙන පැමිණෙන දිනයේදී රෙදි නැන්දාගේ පරීක්ෂණය මේ ගම්මානයේ ඕනෑම කෙල්ලකගේ තීරණාත්මකම පරීක්ෂණය යැයි වන වග ඉතා හොඳින්ම දැන සිටි බැවිනි.

සඳමාලි පාසලේ සිටින දක්ශතම සිසුවිය වූවාය.ඉතාමත් ඉහලින්ම සාමාන්‍යය පෙලද සමත් වූ ඇය උසස්පෙල සඳහා කලා අංශයෙන් ඉගෙන ගැනීමට සිත සදා ගත්තේ ගමේ පාසලේ උසස්පෙල පන්ති පැවතියේ කලා විශයන් සඳහා පමණක්ම බැවිනි. වසර ගාණකින් පාසලේදී ලැබූ උසස්ම ප්‍රථිඵල ලබා තිබූ සඳමාලිට විද්‍යා අංශයෙන් වුවද උසස් පෙල කිරීමට හැකියාවක් තිබුනත් ඒ සඳහා ටවුමේ ඉස්කෝලෙට යන්නට සිදු වේ. ගසකින් වැටී ඔත්පලව සිටි තාත්තාගෙන් මග ඇරුනු පවුලේ බර අම්මා කර ගැසුවේ රබර් කට්ටියේ කිරි කැපීමට ගොසිනි. ටවුමේ ඉස්කෝලෙට යන්න සිදු වුවහොත් අලුත් ඇඳුම්, සපත්තු අනෙකුත් අඩුම කුඩුමද, දිනපතා ටවුමට් යන බස් රථයේ ප්‍රවේශ පත්‍ර වලටද අවශ්‍යය මුදල් ඉල්ලා අම්මාට කරදර කිරීමට සඳමාලීට නොහැකි බව ඇය සුනිමල්ට පවසා තිබුනාය.

තමන්ගේ පාසලටම ආඩම්බරයක් වූ තම සොඳුරියගේ විය පැහැදම් දරන්නට සුනිමල් ඉදිරිපත් වුවත්, ඇය ගමේ පාසලෙන්ම උසස් පෙල හදාරනවාට සුනිමල්ගේද කැමැත්ත විය. දිනක ගුරුවරියක් වී තමන්ගේ පාසලටම පත්වීමක් ලබා පැමින, සුනිමල්ගේ අලුත් නිවසේ සිරිලියක වන්නට සඳමාලි දින ගැන ගැන සිටින සිටිනා බව් සුනිමල් සිතුවේය.

සඳමාලි ඉහලින්ම කලා අංශයෙන් උසස් පෙල සමත් වන්නේද මේ අතරය. ගමේ පාසලේ ඉතිහාසයේ විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලද එකම සිසුවිය බවට සඳමාලි පත්වී සියාය. නමුත් විශ්වවිද්‍යාලයට යෑමේ අදහසක් සඳමාලිට නොතිබූ බව සුනිමල් දැන සිටියේය. ඔහු දිවා රෑ දෙකේදීම කලපනා කලේය. ගමටම මිණි පහනක් වූ තමන්ගේ ආදර පෙම්වතිය තමන් වෙතින් එක මොහොතක්වත් ඉවතට යනු දැකීමට සුනිමල් අකමැති වුවත්, දිනෙක ඇය උපාධිය ලබා ගුරුවරියක් ලෙස ගමේ ඉස්කෝලෙටම ඉගැන්වීමට පත්වීමක් ලබනවා මැනවැයි ඔහු කලපනා කලේය.

සඳමාලි විශ්වවිද්‍යාලයට යෑමට සිත සාදා ගත්තේ සුනිමල්ගේ පෙරත්ත කිරීම නිසාම බව සුනිමල් දැන සිටියේය. එපමණක් නොව, විශ්වවිද්‍යාලය සඳහා අවැසි සියලුම වියහියදම් සුනිමල් විසින් ලබා දීමට ඔහු ඉදිරිපත් වූවේය. සුනිමල් කොළඹ පැමිණ තිබුනේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු වාර ගණනකදීය. සඳමාලි සුනිමල් තරම්වත් ගෙන්දගම් පොළොවේ පය ගසා නොසිටි බව සුනිමල් දැන සිටියේය. සඳමාලිගේ මවද කැටිව සඳමාලී විශ්වවිද්‍යාලය වෙත ඇරලීමට සුනිමල්ද පැමිණියේය. විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුලට වන් සැනින් එය වෙනස්ම ලෝකයක් බැව් සුනිමල් සැනකින් වටහා ගත්තේය.

අම්මාගේ සුරත දරමින්, බියැති මුවැත්තියක් සේ, චාම් ගවුමකින්ද, සරල පාවහන් යුගලයකින්ද, තනි කරලට ගොතා නිතඹටත් පහලට රූරා වැටෙන මනරම් කොණ්ඩය සලමින් සෙමින් අඩිය තියමින් විශ්වවිද්‍යාලය තුලට ඇවිද යන සඳමාලි දෙස සුනිමල් මොහොතක් නැවතී බලා සිටියේය. තමන් පසු කරමින් කෙලි ලොල් වදන් දොඩමින් ඇවිද යන විවිධාකාර කොල්ලන් දෙසද සුනිමල් ඇස් කොනින් බැලුවේය. උන් සියලු දෙනාම තමන්ට වඩා කොතරම් කඩවසම්දැයිද නවීන පන්නයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටින්නේදැයි සුනිමල්ට සිතුනි. නමුත් සඳමාලී ගැන අබමල් රේණුවක තරම්වත් අහිතක් සුනිමල්ට නොතිබුනි. ඇය තමන් මත්තේම නැහෙන බව ඔහු දැනගෙන සිටියේය. එය පසක් කරමින් ලියුම් කාරයා පැමිණෙන සෑම දිනකම සුනිමල්ට සඳමාලිගෙන් ලියුමක් නොවැරදීම ලැබුනේය. ඒ සෑම සෑම දිනකම සුනිමල්ද පෙරලා තමන්ගේ පෙම්බරියට පිළිතුරු ලිපි යැවුවේය. සඳමාලීගේ ලිපි වලින් සෑම විටම ආදරය දෝරේ ගලා යමින් තිබුනි. විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබ, ගුරු පත්වීමක්ද ලැබ ගමට පැමිණ, සුනිමල්ගේ ගෙදර මිණි පහන වන්නේ කවදා දැයි ඇඟිලි ගණිමින් සිටින වග නිතර නිතර සඳමාලී සෙනෙහේ කොල වල ලියා එවුවාය. ඒ සෑම ලිපියක්ම සුනිමල් සිය දහස් වාරයක් කියෙව්වේය. අනාගතය ගැන සුභ සිහින මැව්වේය.

සඳමාලී නිවාඩුවට පැමිණි සෑම දිනකදීම සුනිමල් සොයා පැමිණියාය. ඉඩ ලද සෑම විටම සුනිමලුත් සඳමාලිත් තමන්ගේම ලෝකයක තනි වූහ. තමන්ව ඉක්මනටම ගෙදරට කැන්දාගෙන එන ලෙස සඳමාලි රාගයෙන් අඩවන් වූ යුග නෙතින් සෑම විටම සුනිමල්ට කොඳුරා පැවසුවාය.

දින දින ගෙවී යයි. දිනපතාම සඳමාලිගෙන් ලැබෙන සෙනෙහෙකොලේ දැන් ලැබෙන්නේ සතියකට දෙකකට වතාවක්ය. නමුත් වෙන්දා මෙන් නැවුම් ආදර බස් ඒ සෙනෙහේ කොල වලින් හැලී තිබුනි. තමන් ඉතාමත් කාර්යය බහුල බවත්, විභාග සඳහා සූදානම් වන විට ලියුම් ලිවීම කාලයක් නොමැති බවත් සඳමාලි ලියා එවා තිබුනාය. නමුත් ගමේ බැන්කුව වෙත ගොස් සඳමාලිගේ ගිණුම වෙත මාසයකට සෑහෙන වියදමටත් වඩා වැඩි මුදලක් ඇයගේ ගිණුම වෙත තැන්පත් කිරීමට සුනිමල් වග බලා ගත්තේය. සරල ගවුමකින් සැරසී විශ්වවිද්‍යාලයට ගිය සඳමාලි, අවසාන වතාවට ගමට ආ වෙලේ ඇඳ සිටියේ ඇඟටම සිරවෙන ඩෙනිම් කලිසමකුත්, බුරිය එලියට පෙනෙනා ලෙස නිරාවරණය වූ අලුත්ම මාදිලියක බ්ලව්සයකිනුත් බව සුනිමල් මතක් කර ගත්තේය. ඒ ඇඳුමට සඳමාලි කොතරම් නම් හැඩදැයි, ලස්සනදැයි සුනිමල්ගේ හිතේ සියුම් ආඩම්බරයක්ද ඇතිවී තිබුනි. සඳමාලීව වෙනදා මෙන් කුරුදු මණ්ඩියට ඇදගෙන ගොස් සිත් සේ සිප වැලඳගන්නට සිරිමල්ට උවමනාව තිබුනත් සඳමාලි එදා කුරුදු මණ්ඩියට යෑමට අදි මදි කලේ විභාග කටයුතු යෙදී ඇතිනිසා ඉක්මනටම ආපහු කොළඹ යායුතු බව පවසමිනි.

අන්තිමටම සඳමාලිගෙන් ලියමනක් ලැබුනේ කවදාදැයි සුනිමල්ට මතකයක් නැත. විශ්වවිද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සූදානාම් වන නිසා නිතර නිතර ලියුම් එවීමට නොහැකි යැයි සන්දමාලි අවසානයට ලියා එවා තිබුනා සුනිමල්ට මතකය. ඇයට කරදරයක් වීමට සුනිමල් නොසිතුව නිසා ඇය වෙත දින දෙකතුනකට වතාවක් යවන ලියුම්, සතියකට වතාවක් යැවීමටද සුනිමල් හිත හදාගත්තේය. විශ්වවිද්‍යාලයේ විභාගය අවසන් වනවා යැයි කිව් දිනයද ඉක්මවා ගිය නිසා, සුනිමල් පෙර මග බලා සිටියේ සඳමාලි ගමේ පැමිණෙන තෙක්ය. නැකැත් බලන ඉස්කෝලේ ලොකු මහත්තයා හමුවීමට් ගොස්, සඳමාලීව කැන්දාගෙන ඒමට සුදුසු නැකතතක් ඉකමනටම සාදා ගත යුතුයු යැයි සුනිමල් සිතා ගත්තේය. කුරුඳු කැපීමට අවශ්‍යය වක් පිහියද ඉනේ ගසාගත් සුනිමල් කුරුඳු මණ්ඩිය වෙත ඇවිද ගියේ හවස් වී හෝ ලොකු මහත්තයා හමුවීමට ගොස් කරුණු කාරණා කියා අවශ්‍යය නැකත් පත සුනංගු නොවී ලෑස්ති කරගන්නා අදහසිනි.

ගමටම ලියුම් බෙදනා තැපැල් පියුම් අයියා සුනිමල්ට මුන ගැසෙන්නේ ඒ තරතුරය.

"ආ සුනිමල් මල්ලි, මෙන්න ඕහේට ලියුමක් තියෙනවා. මගදිම හම්බ වෙච්ච එක හොඳයි....." ලිපිය සුනිමල් අත තැබූ පියුම් අයියා බයිසිකලය හරවාගෙන නැවතත් ගමන් ඇරඹුවේය.......

සුනිමල් සඳමාලී විසින් එවූ ලියුම පියුම් අයියාගෙන ලබාගෙන අසල තිබූ කපා දැමූ දැවැන්ත වෘක්ෂයක ඉතිරි වී තිබූ කොටයක් මත ඉඳ ගෙන ලිපිය විවෘත කලේය......

වෙනදාට කොල තුන හතරක් පිරෙන්න නොයෙකුත් දේ ලියා එවන සඳමාලි එදා එවා තිබුනේ තනි කොලයකි. එහි මෙස්සේ ලියා තිබුනි......

“හිතාදර සුනිමල් අයියේ,”

“අපි දෙන්නා ගැලපෙන්නේ නෑ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ඉක්මනටම ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.”

“මීට හිතාදර සඳමාලි.”

සුනිමල්ගේ ඔලුව කැරකෙන්නක්ක් මෙන් හැඟුනි. සෑම දෙයක්ම කලු පැහැ ගැන්වී අඳුරු වී යනවා යැයි, දැන් දැන් කොටෙන් ලිස්සා බිමට වැටේවිදැයි බියෙන් සුනිමල් ඔලුව තමන්ගේ කකුල් දෙක මත තබා ගත්තේය. කොපමණ වෙලාවක් සුනිමල් ඒ ඉරියව්වේ සිටියේදැයි මතකයක් ඔහුට තිබුනේ නැත. ඔහු හෙමින් ඔලුව උස්සා "අනේ මේක හීනයක් වේවා..." යැයි සිතා තදින් දෑස් පියා ගත්තේය. නැවතත් දෙනෙත් ඇර බලන විට වම් අතට ගුලිවී තිබූ ලියුම නැවතත් දිග ඇර කියවා බැලීය. සඳමාලිට වැරදී තිබුනේ නැත. ඒ ඇයගේ අකුරුය. ඒ අකුරු පැහැදිලිය. තවදුරටත් සඳමාලිට සුනිමල්ගේ අවශ්‍යයතාවයක් නැත......ඇය කියා ඇත්තේ එයයි.

සුනිමල්ගේ මුලු ලෝකයම ඇස් ඉස්සරහා කඩාගෙන වැටෙනවා යැයි සුනිමල්ට සිතුනි. ඔහු ඔලුව හැරුණු අතේ ඉබාගාතේ ඇවිද ගියේය. රැයක් දවාලක් නොමැතිව සඳමාලි සමග සක්මන් කල ලියැද්දේ, දොල පාරේ, කුරුඳු මණ්ඩියේ පැය ගානක් තනිවී කල්පනා කරමින් සිටියේය. සුනිමල් කෑමක් බීමක් ගැන නොසිතුවේය. ඔහුගේ මූන පුරා රැවුලද, කොණ්ඩයද වැවී තිබුනේ කිසිම දාක නොවු විරූ පරිදිනි. කොටින්ම සුනිමල්ට සඳමාලි පමණක් නොව තමන්වද අහිමිවී යමින් තිබුනි.

සඳමාලී ඒ වන විටත් විවාහ වී සිටි බව සුනිමල් දැනගත්තේ පසුවය. ඇය විශ්වවිද්‍යාලයේම තරුණ කථිකාචාර්යය වරයෙක් සමග පෙමින් වෙලී ඔහු හා විවාහ වී තිබුනේ විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයටත් කලින් යැයි සුනිමල්ට පවසා තිබුනේ ගමේ ඩෝබි ගෙදර රෙදි නැන්දාය. ඇයගේ අප්‍රසිද්ධ විවාහයට සඳමාලිගේ අම්මාද සහභාගී වී තිබෙන බවද රෙදි නැන්දෑ පැවසුවේ "තූහ් නොදකින් කෙලෙහි ගුණයක් නැති හැත්ත....." යැයි පේලියක්ද අවසානයට එකතු කරමිනි.

කාලය ගත වී යමින් තිබුනි. කිසිදා සුව නොවන තුවාලයෙන් බැට කෑ සුනිමල් ඔලුව උස්සා බැලීය. අවුරුද්දකින් හමාරකින් කුඹුරු යාය අස්වද්දා නැත. කුරුඳු කැලේ සාත්තුවක් නොමැතිව වල් බිහිවී ඇත. සඳමාලි ගැන නිතර දෙවේලේ සිතා තමන්ගේ සිහි විකල් වී දැයි සුනිමල් බිය වූවේය. පුරන් වූ කුඹුර නැවත අස්වැද්දිය යුතුයි. ඉක්මනටම කුරුඳු ටික කපා පිලිවෙලක් කල යුතුයි. සුනිමල් වක් පිහියද ඉනේ ගසා ගෙන දිග සුසුමක් හෙලා දෙපා වලට වැර වීරිය බරදී නැගිට්ටේය.

ඒ සමගම ඉස්සරහ දුව එන්නේ ඩෝබි ගෙදර රෙදි නැන්දාය......

"සුනිමල් පුතේ, සුනිමල් පුතේ..... ආරංචිද ආරංචිද ?"

"මොකක්ද බන් නැද්දේ ආරංචිද අහන්නේ?"

"අන්න සඳමාලි කෙල්ල ඊයේ ගෙදර ඇවිල්ලලු, බඩකුත් උස්සගෙන......."

“මොකක් කිව්වා, බඩකුත් උස්සගෙන ගෙදර ඇවිල්ලා........”

"ඔව් ඔව්, බඩකුත් උස්සගෙන ඊයේ ඇවිල්ල තියෙන්නේ. අලුත බැඳපු මිනිහත් එක්කම. ලොකු කාර් එකකින් කිව්වේ ආවේ......කාර් තඩිය ගෙදරට හරවන තැන පාරට ගන්න බැරි නිසා අර අප්පුහාමි අයියලගේ ගෙදර තමයි කාර් එක නවත්තලා ඇවිත් තියෙන්නේ.......මම ඉතින් ගියා පුතේ, මොනවා උනත් ගමේ ගොඩේ ඉන්න අයගේ දුක සැප බලන එක අපේ සිරිත නිසා.......කෙල්ලගේ බඩට මාස 7ක් විතර වෙනවා.....රත්තරන් මහත්තයා.......දරුවා ලැබෙනකොට අම්මා ගාවට එන එක ඉතින් අපේ ගමේ ගොඩේ සිරිතනේ පුතේ.....ඒකයි ඔය ඇවිත් තියෙන්නේ......කෙල්ලව බස්සලා අර මහතැන් තැන ගියා වැඩ රාජකාරි තියෙනවා කියලා......ඔන්න අද ග්‍රාමීය රෝහලේ මැටිනිටි ක්ලිනික් එකට යනවා කියලා කිව්වා. මෙලහකට ගිහින් එනවත් ඇති........”

සුනිමල්ට ඩෝබි නැන්දා කියූ අවසන් පේළි ටික ඇසුනේ හීනෙකෙන් වගේය.....ඔහුගේ මුලු ඇඟම වෙවුලන්ට පටන් ගත්තේය.

"මොකක්, අද මැටිනිටි ක්ලිනික් ගියා සඳමාලි..........?"

රෙදි නැන්දාගේ පිලිතුර ලැබෙන තෙක් සුනිමල් එතන රැඳුනේ නැත. ඔහු සැනකින් පාරට පැන ඉදිරියට දිව ගියේ මාතෲ සායනයට ගොස් නැවත පැමිණෙන සඳමාලී බලාපොරොත්තුවෙන්ය. සුනිමල්ගේ බලාපොරොත්තුව ඉටුවී ඇත,

ඈතින් සඳමාලි අම්මාගේ සුරතේ එල්ලී හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඇවිදගෙන එයි. විශ්වවිද්‍යාලයට ගිය මුල් දිනයේ සඳමාලි නිතඹ සලා, දිගු කෙස් වැටිය නලව නලවා තමන්ට පිටුපා ගේට්ටුවෙන් ඇතුලට ගිය සැටි චිත්‍රපටියක් මෙන් සුනිමල්ගේ ඇස් ඉදිරිපිට දර්ශනය වෙයි. එද දුටු සඳමාලිගේ දිගු කෙස් වැටිය කොටට කපා ඇත. නමුත් ඈගේ සුන්දර වත නොවෙනස්වම පවතියි.

සුනිමල්ගේ මුලු ගතම දාඩියෙන් පෙඟී ඇත. අමුතු වෙව්ලිල්ලක් මුලු ඇඟ පුරා කරන්ට් එකක් වැදුනාක් මෙන් දිව යයි. කුරුඳු කපන වක් පිහිය තාමත් ඉනේය.සුනිමල් පාර අයියේ රූස්ස ගසකට මුවා උනේය. තව ටික වේලාවකින් සඳමාලිත් අම්මාත් මෙතනට පසු කරගෙන යන්න එයි. තවමත් අමුතු වෙව්ලිල්ල ගත පුරා දිව යයි. දෙකින් එකක් අදම බේරා ගත යුතු යැයි සුනිමල්ගේ යටි හිත පුන පුනා පවසයි.......

ගත වූයේ මිනිත්තු කීපයකි. සඳමාලිත් අම්මාත් හෙමින් හෙමින් රූස්ස ගස පසු කර යෑමට ආසන්න වෙයි......සුනිමල් ආරූඨ වූ යක් දෙස්සෙක් මෙන් පාර මැදට පැන්නේ වියරුවෙනි.........

"ස ඳ-මා----ලී----------!" සුනිමල්ට කෑ ගැසුනි.

"අනේ, සුනිමල් අයියේ.....භයෙන් බීරන්ත වූ මුව පොව්වෙක් මෙන් සඳමාලිට කෑ ගැසුනි. සුනිමල්ගේ ඉනේ තිබෙන වක් පිහියත්, අම්මාගේ මූණ දෙසත් මාරුවෙන් මාරුවට සඳමාලි බැලුවේ දැන් සිද්ධ වෙන්න යන්නේ මොකක්දැයි සක් සුදක් සේ ඇයට දැනුන නිසාය......."

සුනිමල් වෙවුලන දෙකකුල් වලින් සඳමාලි වෙත හෙමින් හෙමින් ඇවිද ගියේය.....

සඳමාලිගේ දෙපා පණ නැති වී ඇත. ආපහු හැරී දිවීමට සිතුවත් ඒ සඳහා දෙපා වාරු නැති බව සඳමාලිට සිතුනි. .

සුනිමල් සෙමෙන් සෙමෙන් සඳමාලි වෙත ඇදී එයි !

"සඳමාලි....." සුනිමල්ගේ හඬ ඉතාමත් මෘදුය......!

"සඳමාලි.........."

"වැඩිපුර ත්‍රිපෝෂ පැකට් එකක් තියෙනව නම් දීලා යන්න ප්ලීස්......"

සඳමාලි අම්මා අත වූ බෑගයට අත දමා තිබුනු ත්‍රිපෝෂ පැකට් දෙකම සුනිමාල් අත තැබුවාය.......

රටක් රාජ්‍යක් ලැබූ රජ කෙනෙකු සේ, විසිල් පාරක්ද ගසා සුනිමල් ගෙදර දිව්වේ, අම්මට කියා ඉක්මනටම ත්‍රිපෝෂ ගුලි සාදා කෑමේ බලාපොරොත්තුවද සමගිනි.......

-- නිමි

Related Posts with Thumbnails