සුනිමල් සහ සඳමාලි

Posted by දුමී


සුනිමල් සහ සඳමාලි හැදී වැඩුනේ අති සුන්දර වූ කඳු වළල්ලකින් වට වූ, ගමේ එක් කොණක සිට අනිත් කොන දක්වා විහිදී ගිය නිල්වන් කුඹුරු යායක්ද තිබූ අතිශයින්ම සුන්දර ගම්මානයකය. කඳු වළල්ල අතරින් කඩා හැලී ගම මැද්දෙන් මුළු කුඹුරු යායම සරු සාර කරමින් ගලා ගිය අතිශයින්ම මණරම් දොළ පාරකින්ද ඒ ගම්මානය සුන්දර වී තිබුනි. පාරම්පරික ගොවියන් වූ ගම් වාසීන් කුඹුරු ගොවිතැනින්ද, කුරුඳු වගාවෙන් සහ ඇතෙමෙකු සරු සාරවූ එළවලු කොරටු පවත්වාගෙන යෑමෙන්ද ඉතා සරළ දිවි පෙවෙතක් ගත කලහ.

සුනිමල් සහ සඳමාලි අකුරු කෙරුවේ ගමේ මිශ්‍ර පාසලෙනි. සුනිමල් සඳමාලිට වඩා පන්ති දෙකක් ඉහෙලින් ඉගෙනුම ලැබුවේය. කුඩා කල සිට දැන හැඳින සිටියද, සුනිමල්ට සඳමාලි ගැන ආදරයක් ඇති වූයේ කවදාදැයි සුනිමල්ට මතක නැත. නව යොවුන් වියට පා තැබූ, හිමිදිරි පින්නෙන් ප්‍රමෝධමත් වූ ඇහැල මලක් ලෙස පාසල වෙත ඇදෙන සඳමාලිගේ දසුන සුනිමල්ගේ සිතට චමත්කාරයක් ගෙන එන්නට සමත් වූයේ කවදා සිටන්දැයිද සුනිමල්ට මතකයක් නොතිබුනි.

පාසලේදී මුන ගැසෙන සෑම වරකදීම "සුනිමල් අයියේ......කොහොමද ඔයාට...." කියා වල ගැහෙන කොපුල්, නාදල්ලක් වන් දෙතොල් වලින් සිනාසෙන විට ඇයගේ දීප්තිමත් දෙනෙත් දෙකද තොල් පරයා සුනිමල් සමග සිනා සෙන්නේයැයි සුනිමල්ට සිතුනි. සඳමාලිද සුනිමල් වෙත සිතින් ආදරය කරන වග සුනිමල්ට නොතේරී තිබුනේ නැත. ගමේම සිටිනා කඩවසම්ම ඉලන්දාරියා වූ සුනිමල් හා හාද වන්නට පාසලේ කෙල්ලන් රොත්තක්ම සැදී පැහැදී සිටියත්, සුනිමල්ගේ සිත ඇදී ගියේ හිමිදිරි උදයේ පිබිදෙන පින්න මලක් මෙන් රූමතියක් වූ සඳමාලි වෙතය.

මුවින් නොමුනා, දෑසින්ම පමණක් කතා කරමින් ඇති වූ නව යොවුන් ආදරයෙන් සුනිමල් සහ සඳමාලිගේ ජීවිත වෙලාගන්නට වැඩි කාලයක් ගියේ නැත. සඳමාලිගේ ආදරයෙන් සුනිමල් කුල්මත් වී සිටියේය. මුලු ගමේම සිටින වාසනාවන්තම කොල්ලා තමන් යැයි සුනිමල් පවසන විට, ගම්මානයේ වෙසන වසනාවන්තම කෙල්ල තමන් යැයි සඳමාලිද සුනිමල්ට පවසා තිබුනි. සුනිමල් හා හාද වෙන්නට මාන බලන් සිටි අනෙකුත් කෙල්ලන්ගේ ඊරිසියා බැලුම් නොරිස්සුම් කතා කණ ගැටෙන සුනිමල්ද මුවින් නොබැන ඒ කතා මග හැර සිටියේ සිතේ සියුම් ආඩන්ම්බරයක්ද නොසඟවාගෙන නොවේ.

ඉගෙනීමේ අදක්ශයකු නොවූ සුනිමල් සාමාන්‍යය පෙලින් පසු පාසල් ගමන නවතා දැමුවේ කොනක් නොපෙනෙන තම පවුල සතු කුඹුරු යාය අස්වද්දන්නට දැන් මහලු වියේ සිටින තාත්තාට දැන් හරි හමන් ගතේ වාරුවක් නැති බව දන්නා නිසාය. අක්කර දෙක තුනක් වගා කර තිබූ සරුසාර කුරුඳු යායක්ද සුනිමල්ලාට උරුම වී තිබූ සෙයින් ඒවා බලා කියාගෙන වැඩි දියුණු කරගැනීමෙන් ලබන ආදායම, දිනෙක සඳමාලීව කැන්දාගෙන පැමිණීමෙන් සම්පූර්ණ වන තමන්ගේ ජීවිතයට ඕනෑවටත් වඩා සෑහේ යැයි හොඳින්ම සුනිමල් හොඳ හැටි දැන සිටියේය.

කාලය විසින් සුනිමල් හා සඳමාලිගේ ආදරය මහා වෘක්ෂයක අරටුවක් මෙන් ශක්තිමත්ව ගොඩ නගා තිබුනි. ඔවුන්ගේ ආදර අන්දරය මුලු ගම්මානයටම රහසක් නොවුනි. තැන්නේද, ලන්දේද, දොළ පාරේද, කුරුඳු මණ්ඩියේද ඔවුනගේ ආදරය දෝරේ ගලා ගියේ කිසිවෙකුගේවත් අබමල් බාධාවක් නැති පරිද්දෙනි. එකට හමු වී විටක තමා වටා තිබෙන මුළු ලොවම අමතක කර රාගී සිතින් ඇයව සිප වැලඳගන්නා සුනිමල්, සීමාව ඉක්මවා රාගයට වැට කොටු පනින්න ඉඩ නොදුන්නේ ඇයව කැන්දාගෙන පැමිණෙන දිනයේදී රෙදි නැන්දාගේ පරීක්ෂණය මේ ගම්මානයේ ඕනෑම කෙල්ලකගේ තීරණාත්මකම පරීක්ෂණය යැයි වන වග ඉතා හොඳින්ම දැන සිටි බැවිනි.

සඳමාලි පාසලේ සිටින දක්ශතම සිසුවිය වූවාය.ඉතාමත් ඉහලින්ම සාමාන්‍යය පෙලද සමත් වූ ඇය උසස්පෙල සඳහා කලා අංශයෙන් ඉගෙන ගැනීමට සිත සදා ගත්තේ ගමේ පාසලේ උසස්පෙල පන්ති පැවතියේ කලා විශයන් සඳහා පමණක්ම බැවිනි. වසර ගාණකින් පාසලේදී ලැබූ උසස්ම ප්‍රථිඵල ලබා තිබූ සඳමාලිට විද්‍යා අංශයෙන් වුවද උසස් පෙල කිරීමට හැකියාවක් තිබුනත් ඒ සඳහා ටවුමේ ඉස්කෝලෙට යන්නට සිදු වේ. ගසකින් වැටී ඔත්පලව සිටි තාත්තාගෙන් මග ඇරුනු පවුලේ බර අම්මා කර ගැසුවේ රබර් කට්ටියේ කිරි කැපීමට ගොසිනි. ටවුමේ ඉස්කෝලෙට යන්න සිදු වුවහොත් අලුත් ඇඳුම්, සපත්තු අනෙකුත් අඩුම කුඩුමද, දිනපතා ටවුමට් යන බස් රථයේ ප්‍රවේශ පත්‍ර වලටද අවශ්‍යය මුදල් ඉල්ලා අම්මාට කරදර කිරීමට සඳමාලීට නොහැකි බව ඇය සුනිමල්ට පවසා තිබුනාය.

තමන්ගේ පාසලටම ආඩම්බරයක් වූ තම සොඳුරියගේ විය පැහැදම් දරන්නට සුනිමල් ඉදිරිපත් වුවත්, ඇය ගමේ පාසලෙන්ම උසස් පෙල හදාරනවාට සුනිමල්ගේද කැමැත්ත විය. දිනක ගුරුවරියක් වී තමන්ගේ පාසලටම පත්වීමක් ලබා පැමින, සුනිමල්ගේ අලුත් නිවසේ සිරිලියක වන්නට සඳමාලි දින ගැන ගැන සිටින සිටිනා බව් සුනිමල් සිතුවේය.

සඳමාලි ඉහලින්ම කලා අංශයෙන් උසස් පෙල සමත් වන්නේද මේ අතරය. ගමේ පාසලේ ඉතිහාසයේ විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලද එකම සිසුවිය බවට සඳමාලි පත්වී සියාය. නමුත් විශ්වවිද්‍යාලයට යෑමේ අදහසක් සඳමාලිට නොතිබූ බව සුනිමල් දැන සිටියේය. ඔහු දිවා රෑ දෙකේදීම කලපනා කලේය. ගමටම මිණි පහනක් වූ තමන්ගේ ආදර පෙම්වතිය තමන් වෙතින් එක මොහොතක්වත් ඉවතට යනු දැකීමට සුනිමල් අකමැති වුවත්, දිනෙක ඇය උපාධිය ලබා ගුරුවරියක් ලෙස ගමේ ඉස්කෝලෙටම ඉගැන්වීමට පත්වීමක් ලබනවා මැනවැයි ඔහු කලපනා කලේය.

සඳමාලි විශ්වවිද්‍යාලයට යෑමට සිත සාදා ගත්තේ සුනිමල්ගේ පෙරත්ත කිරීම නිසාම බව සුනිමල් දැන සිටියේය. එපමණක් නොව, විශ්වවිද්‍යාලය සඳහා අවැසි සියලුම වියහියදම් සුනිමල් විසින් ලබා දීමට ඔහු ඉදිරිපත් වූවේය. සුනිමල් කොළඹ පැමිණ තිබුනේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු වාර ගණනකදීය. සඳමාලි සුනිමල් තරම්වත් ගෙන්දගම් පොළොවේ පය ගසා නොසිටි බව සුනිමල් දැන සිටියේය. සඳමාලිගේ මවද කැටිව සඳමාලී විශ්වවිද්‍යාලය වෙත ඇරලීමට සුනිමල්ද පැමිණියේය. විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුලට වන් සැනින් එය වෙනස්ම ලෝකයක් බැව් සුනිමල් සැනකින් වටහා ගත්තේය.

අම්මාගේ සුරත දරමින්, බියැති මුවැත්තියක් සේ, චාම් ගවුමකින්ද, සරල පාවහන් යුගලයකින්ද, තනි කරලට ගොතා නිතඹටත් පහලට රූරා වැටෙන මනරම් කොණ්ඩය සලමින් සෙමින් අඩිය තියමින් විශ්වවිද්‍යාලය තුලට ඇවිද යන සඳමාලි දෙස සුනිමල් මොහොතක් නැවතී බලා සිටියේය. තමන් පසු කරමින් කෙලි ලොල් වදන් දොඩමින් ඇවිද යන විවිධාකාර කොල්ලන් දෙසද සුනිමල් ඇස් කොනින් බැලුවේය. උන් සියලු දෙනාම තමන්ට වඩා කොතරම් කඩවසම්දැයිද නවීන පන්නයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටින්නේදැයි සුනිමල්ට සිතුනි. නමුත් සඳමාලී ගැන අබමල් රේණුවක තරම්වත් අහිතක් සුනිමල්ට නොතිබුනි. ඇය තමන් මත්තේම නැහෙන බව ඔහු දැනගෙන සිටියේය. එය පසක් කරමින් ලියුම් කාරයා පැමිණෙන සෑම දිනකම සුනිමල්ට සඳමාලිගෙන් ලියුමක් නොවැරදීම ලැබුනේය. ඒ සෑම සෑම දිනකම සුනිමල්ද පෙරලා තමන්ගේ පෙම්බරියට පිළිතුරු ලිපි යැවුවේය. සඳමාලීගේ ලිපි වලින් සෑම විටම ආදරය දෝරේ ගලා යමින් තිබුනි. විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබ, ගුරු පත්වීමක්ද ලැබ ගමට පැමිණ, සුනිමල්ගේ ගෙදර මිණි පහන වන්නේ කවදා දැයි ඇඟිලි ගණිමින් සිටින වග නිතර නිතර සඳමාලී සෙනෙහේ කොල වල ලියා එවුවාය. ඒ සෑම ලිපියක්ම සුනිමල් සිය දහස් වාරයක් කියෙව්වේය. අනාගතය ගැන සුභ සිහින මැව්වේය.

සඳමාලී නිවාඩුවට පැමිණි සෑම දිනකදීම සුනිමල් සොයා පැමිණියාය. ඉඩ ලද සෑම විටම සුනිමලුත් සඳමාලිත් තමන්ගේම ලෝකයක තනි වූහ. තමන්ව ඉක්මනටම ගෙදරට කැන්දාගෙන එන ලෙස සඳමාලි රාගයෙන් අඩවන් වූ යුග නෙතින් සෑම විටම සුනිමල්ට කොඳුරා පැවසුවාය.

දින දින ගෙවී යයි. දිනපතාම සඳමාලිගෙන් ලැබෙන සෙනෙහෙකොලේ දැන් ලැබෙන්නේ සතියකට දෙකකට වතාවක්ය. නමුත් වෙන්දා මෙන් නැවුම් ආදර බස් ඒ සෙනෙහේ කොල වලින් හැලී තිබුනි. තමන් ඉතාමත් කාර්යය බහුල බවත්, විභාග සඳහා සූදානම් වන විට ලියුම් ලිවීම කාලයක් නොමැති බවත් සඳමාලි ලියා එවා තිබුනාය. නමුත් ගමේ බැන්කුව වෙත ගොස් සඳමාලිගේ ගිණුම වෙත මාසයකට සෑහෙන වියදමටත් වඩා වැඩි මුදලක් ඇයගේ ගිණුම වෙත තැන්පත් කිරීමට සුනිමල් වග බලා ගත්තේය. සරල ගවුමකින් සැරසී විශ්වවිද්‍යාලයට ගිය සඳමාලි, අවසාන වතාවට ගමට ආ වෙලේ ඇඳ සිටියේ ඇඟටම සිරවෙන ඩෙනිම් කලිසමකුත්, බුරිය එලියට පෙනෙනා ලෙස නිරාවරණය වූ අලුත්ම මාදිලියක බ්ලව්සයකිනුත් බව සුනිමල් මතක් කර ගත්තේය. ඒ ඇඳුමට සඳමාලි කොතරම් නම් හැඩදැයි, ලස්සනදැයි සුනිමල්ගේ හිතේ සියුම් ආඩම්බරයක්ද ඇතිවී තිබුනි. සඳමාලීව වෙනදා මෙන් කුරුදු මණ්ඩියට ඇදගෙන ගොස් සිත් සේ සිප වැලඳගන්නට සිරිමල්ට උවමනාව තිබුනත් සඳමාලි එදා කුරුදු මණ්ඩියට යෑමට අදි මදි කලේ විභාග කටයුතු යෙදී ඇතිනිසා ඉක්මනටම ආපහු කොළඹ යායුතු බව පවසමිනි.

අන්තිමටම සඳමාලිගෙන් ලියමනක් ලැබුනේ කවදාදැයි සුනිමල්ට මතකයක් නැත. විශ්වවිද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සූදානාම් වන නිසා නිතර නිතර ලියුම් එවීමට නොහැකි යැයි සන්දමාලි අවසානයට ලියා එවා තිබුනා සුනිමල්ට මතකය. ඇයට කරදරයක් වීමට සුනිමල් නොසිතුව නිසා ඇය වෙත දින දෙකතුනකට වතාවක් යවන ලියුම්, සතියකට වතාවක් යැවීමටද සුනිමල් හිත හදාගත්තේය. විශ්වවිද්‍යාලයේ විභාගය අවසන් වනවා යැයි කිව් දිනයද ඉක්මවා ගිය නිසා, සුනිමල් පෙර මග බලා සිටියේ සඳමාලි ගමේ පැමිණෙන තෙක්ය. නැකැත් බලන ඉස්කෝලේ ලොකු මහත්තයා හමුවීමට් ගොස්, සඳමාලීව කැන්දාගෙන ඒමට සුදුසු නැකතතක් ඉකමනටම සාදා ගත යුතුයු යැයි සුනිමල් සිතා ගත්තේය. කුරුඳු කැපීමට අවශ්‍යය වක් පිහියද ඉනේ ගසාගත් සුනිමල් කුරුඳු මණ්ඩිය වෙත ඇවිද ගියේ හවස් වී හෝ ලොකු මහත්තයා හමුවීමට ගොස් කරුණු කාරණා කියා අවශ්‍යය නැකත් පත සුනංගු නොවී ලෑස්ති කරගන්නා අදහසිනි.

ගමටම ලියුම් බෙදනා තැපැල් පියුම් අයියා සුනිමල්ට මුන ගැසෙන්නේ ඒ තරතුරය.

"ආ සුනිමල් මල්ලි, මෙන්න ඕහේට ලියුමක් තියෙනවා. මගදිම හම්බ වෙච්ච එක හොඳයි....." ලිපිය සුනිමල් අත තැබූ පියුම් අයියා බයිසිකලය හරවාගෙන නැවතත් ගමන් ඇරඹුවේය.......

සුනිමල් සඳමාලී විසින් එවූ ලියුම පියුම් අයියාගෙන ලබාගෙන අසල තිබූ කපා දැමූ දැවැන්ත වෘක්ෂයක ඉතිරි වී තිබූ කොටයක් මත ඉඳ ගෙන ලිපිය විවෘත කලේය......

වෙනදාට කොල තුන හතරක් පිරෙන්න නොයෙකුත් දේ ලියා එවන සඳමාලි එදා එවා තිබුනේ තනි කොලයකි. එහි මෙස්සේ ලියා තිබුනි......

“හිතාදර සුනිමල් අයියේ,”

“අපි දෙන්නා ගැලපෙන්නේ නෑ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ඉක්මනටම ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.”

“මීට හිතාදර සඳමාලි.”

සුනිමල්ගේ ඔලුව කැරකෙන්නක්ක් මෙන් හැඟුනි. සෑම දෙයක්ම කලු පැහැ ගැන්වී අඳුරු වී යනවා යැයි, දැන් දැන් කොටෙන් ලිස්සා බිමට වැටේවිදැයි බියෙන් සුනිමල් ඔලුව තමන්ගේ කකුල් දෙක මත තබා ගත්තේය. කොපමණ වෙලාවක් සුනිමල් ඒ ඉරියව්වේ සිටියේදැයි මතකයක් ඔහුට තිබුනේ නැත. ඔහු හෙමින් ඔලුව උස්සා "අනේ මේක හීනයක් වේවා..." යැයි සිතා තදින් දෑස් පියා ගත්තේය. නැවතත් දෙනෙත් ඇර බලන විට වම් අතට ගුලිවී තිබූ ලියුම නැවතත් දිග ඇර කියවා බැලීය. සඳමාලිට වැරදී තිබුනේ නැත. ඒ ඇයගේ අකුරුය. ඒ අකුරු පැහැදිලිය. තවදුරටත් සඳමාලිට සුනිමල්ගේ අවශ්‍යයතාවයක් නැත......ඇය කියා ඇත්තේ එයයි.

සුනිමල්ගේ මුලු ලෝකයම ඇස් ඉස්සරහා කඩාගෙන වැටෙනවා යැයි සුනිමල්ට සිතුනි. ඔහු ඔලුව හැරුණු අතේ ඉබාගාතේ ඇවිද ගියේය. රැයක් දවාලක් නොමැතිව සඳමාලි සමග සක්මන් කල ලියැද්දේ, දොල පාරේ, කුරුඳු මණ්ඩියේ පැය ගානක් තනිවී කල්පනා කරමින් සිටියේය. සුනිමල් කෑමක් බීමක් ගැන නොසිතුවේය. ඔහුගේ මූන පුරා රැවුලද, කොණ්ඩයද වැවී තිබුනේ කිසිම දාක නොවු විරූ පරිදිනි. කොටින්ම සුනිමල්ට සඳමාලි පමණක් නොව තමන්වද අහිමිවී යමින් තිබුනි.

සඳමාලී ඒ වන විටත් විවාහ වී සිටි බව සුනිමල් දැනගත්තේ පසුවය. ඇය විශ්වවිද්‍යාලයේම තරුණ කථිකාචාර්යය වරයෙක් සමග පෙමින් වෙලී ඔහු හා විවාහ වී තිබුනේ විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයටත් කලින් යැයි සුනිමල්ට පවසා තිබුනේ ගමේ ඩෝබි ගෙදර රෙදි නැන්දාය. ඇයගේ අප්‍රසිද්ධ විවාහයට සඳමාලිගේ අම්මාද සහභාගී වී තිබෙන බවද රෙදි නැන්දෑ පැවසුවේ "තූහ් නොදකින් කෙලෙහි ගුණයක් නැති හැත්ත....." යැයි පේලියක්ද අවසානයට එකතු කරමිනි.

කාලය ගත වී යමින් තිබුනි. කිසිදා සුව නොවන තුවාලයෙන් බැට කෑ සුනිමල් ඔලුව උස්සා බැලීය. අවුරුද්දකින් හමාරකින් කුඹුරු යාය අස්වද්දා නැත. කුරුඳු කැලේ සාත්තුවක් නොමැතිව වල් බිහිවී ඇත. සඳමාලි ගැන නිතර දෙවේලේ සිතා තමන්ගේ සිහි විකල් වී දැයි සුනිමල් බිය වූවේය. පුරන් වූ කුඹුර නැවත අස්වැද්දිය යුතුයි. ඉක්මනටම කුරුඳු ටික කපා පිලිවෙලක් කල යුතුයි. සුනිමල් වක් පිහියද ඉනේ ගසා ගෙන දිග සුසුමක් හෙලා දෙපා වලට වැර වීරිය බරදී නැගිට්ටේය.

ඒ සමගම ඉස්සරහ දුව එන්නේ ඩෝබි ගෙදර රෙදි නැන්දාය......

"සුනිමල් පුතේ, සුනිමල් පුතේ..... ආරංචිද ආරංචිද ?"

"මොකක්ද බන් නැද්දේ ආරංචිද අහන්නේ?"

"අන්න සඳමාලි කෙල්ල ඊයේ ගෙදර ඇවිල්ලලු, බඩකුත් උස්සගෙන......."

“මොකක් කිව්වා, බඩකුත් උස්සගෙන ගෙදර ඇවිල්ලා........”

"ඔව් ඔව්, බඩකුත් උස්සගෙන ඊයේ ඇවිල්ල තියෙන්නේ. අලුත බැඳපු මිනිහත් එක්කම. ලොකු කාර් එකකින් කිව්වේ ආවේ......කාර් තඩිය ගෙදරට හරවන තැන පාරට ගන්න බැරි නිසා අර අප්පුහාමි අයියලගේ ගෙදර තමයි කාර් එක නවත්තලා ඇවිත් තියෙන්නේ.......මම ඉතින් ගියා පුතේ, මොනවා උනත් ගමේ ගොඩේ ඉන්න අයගේ දුක සැප බලන එක අපේ සිරිත නිසා.......කෙල්ලගේ බඩට මාස 7ක් විතර වෙනවා.....රත්තරන් මහත්තයා.......දරුවා ලැබෙනකොට අම්මා ගාවට එන එක ඉතින් අපේ ගමේ ගොඩේ සිරිතනේ පුතේ.....ඒකයි ඔය ඇවිත් තියෙන්නේ......කෙල්ලව බස්සලා අර මහතැන් තැන ගියා වැඩ රාජකාරි තියෙනවා කියලා......ඔන්න අද ග්‍රාමීය රෝහලේ මැටිනිටි ක්ලිනික් එකට යනවා කියලා කිව්වා. මෙලහකට ගිහින් එනවත් ඇති........”

සුනිමල්ට ඩෝබි නැන්දා කියූ අවසන් පේළි ටික ඇසුනේ හීනෙකෙන් වගේය.....ඔහුගේ මුලු ඇඟම වෙවුලන්ට පටන් ගත්තේය.

"මොකක්, අද මැටිනිටි ක්ලිනික් ගියා සඳමාලි..........?"

රෙදි නැන්දාගේ පිලිතුර ලැබෙන තෙක් සුනිමල් එතන රැඳුනේ නැත. ඔහු සැනකින් පාරට පැන ඉදිරියට දිව ගියේ මාතෲ සායනයට ගොස් නැවත පැමිණෙන සඳමාලී බලාපොරොත්තුවෙන්ය. සුනිමල්ගේ බලාපොරොත්තුව ඉටුවී ඇත,

ඈතින් සඳමාලි අම්මාගේ සුරතේ එල්ලී හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඇවිදගෙන එයි. විශ්වවිද්‍යාලයට ගිය මුල් දිනයේ සඳමාලි නිතඹ සලා, දිගු කෙස් වැටිය නලව නලවා තමන්ට පිටුපා ගේට්ටුවෙන් ඇතුලට ගිය සැටි චිත්‍රපටියක් මෙන් සුනිමල්ගේ ඇස් ඉදිරිපිට දර්ශනය වෙයි. එද දුටු සඳමාලිගේ දිගු කෙස් වැටිය කොටට කපා ඇත. නමුත් ඈගේ සුන්දර වත නොවෙනස්වම පවතියි.

සුනිමල්ගේ මුලු ගතම දාඩියෙන් පෙඟී ඇත. අමුතු වෙව්ලිල්ලක් මුලු ඇඟ පුරා කරන්ට් එකක් වැදුනාක් මෙන් දිව යයි. කුරුඳු කපන වක් පිහිය තාමත් ඉනේය.සුනිමල් පාර අයියේ රූස්ස ගසකට මුවා උනේය. තව ටික වේලාවකින් සඳමාලිත් අම්මාත් මෙතනට පසු කරගෙන යන්න එයි. තවමත් අමුතු වෙව්ලිල්ල ගත පුරා දිව යයි. දෙකින් එකක් අදම බේරා ගත යුතු යැයි සුනිමල්ගේ යටි හිත පුන පුනා පවසයි.......

ගත වූයේ මිනිත්තු කීපයකි. සඳමාලිත් අම්මාත් හෙමින් හෙමින් රූස්ස ගස පසු කර යෑමට ආසන්න වෙයි......සුනිමල් ආරූඨ වූ යක් දෙස්සෙක් මෙන් පාර මැදට පැන්නේ වියරුවෙනි.........

"ස ඳ-මා----ලී----------!" සුනිමල්ට කෑ ගැසුනි.

"අනේ, සුනිමල් අයියේ.....භයෙන් බීරන්ත වූ මුව පොව්වෙක් මෙන් සඳමාලිට කෑ ගැසුනි. සුනිමල්ගේ ඉනේ තිබෙන වක් පිහියත්, අම්මාගේ මූණ දෙසත් මාරුවෙන් මාරුවට සඳමාලි බැලුවේ දැන් සිද්ධ වෙන්න යන්නේ මොකක්දැයි සක් සුදක් සේ ඇයට දැනුන නිසාය......."

සුනිමල් වෙවුලන දෙකකුල් වලින් සඳමාලි වෙත හෙමින් හෙමින් ඇවිද ගියේය.....

සඳමාලිගේ දෙපා පණ නැති වී ඇත. ආපහු හැරී දිවීමට සිතුවත් ඒ සඳහා දෙපා වාරු නැති බව සඳමාලිට සිතුනි. .

සුනිමල් සෙමෙන් සෙමෙන් සඳමාලි වෙත ඇදී එයි !

"සඳමාලි....." සුනිමල්ගේ හඬ ඉතාමත් මෘදුය......!

"සඳමාලි.........."

"වැඩිපුර ත්‍රිපෝෂ පැකට් එකක් තියෙනව නම් දීලා යන්න ප්ලීස්......"

සඳමාලි අම්මා අත වූ බෑගයට අත දමා තිබුනු ත්‍රිපෝෂ පැකට් දෙකම සුනිමාල් අත තැබුවාය.......

රටක් රාජ්‍යක් ලැබූ රජ කෙනෙකු සේ, විසිල් පාරක්ද ගසා සුනිමල් ගෙදර දිව්වේ, අම්මට කියා ඉක්මනටම ත්‍රිපෝෂ ගුලි සාදා කෑමේ බලාපොරොත්තුවද සමගිනි.......

-- නිමි

13 comments :

  1. hi hi patta. sammanya awasanaya awasanayedi asamanya wiya. niyamai bro.

    ReplyDelete
  2. අම්මෝ! මේක! ත්‍රිපෝෂ දුන්නොත් කොල්ලො ඕනේ දෙයක් කරයි! 

    ReplyDelete
    Replies
    1. අපි හොඳට අම්මගේ කිරි බීලා, මදි හරියට ආණ්ඩුවෙන් නොමිලේ දෙන ත්‍රිපෝෂ කාලා හැදිච්ච කොල්ලෝ ! :D

      Delete
  3. හයියෙන් උඩ පල්ලෙහා යන ඔන්චිල්ලාවක වාඩිවෙලා ඇඟේ දැවටෙන මුදු නල පහස විඳ විඳ ඉන්නකොට ඔන්චිල්ලාවේ ලණුව කැඩිලා වාඩි වෙලා හිටපු ලෑල්ලත් එක්කම විසිවෙලා ගිහින් පස්ස බිම ඇනුනා වගේ දැනුනා දුෂාන් මල්ලී.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් , එහෙම වෙන්න තමයි ලිව්වේ......තව ටිකක් රස කරලා ලියන්න තිබුනා, දිග වැඩි වෙන නිසා ලිපු සමහර කෑලි කපලත් දැම්ම.....!

      Delete
  4. මොකක්ද බොලේ ඒ උනේ??

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සමහර වෙලාවට අපිට වෙන්ඩ දේවල් මේ වගේ නෙමෙයිද ?

      Delete
  5. අවුරුදු බරගානකට පස්සේ. අන්තිම වෙනකම් හිතාගන්න බැරි වුනා. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන්....තාමත් පරණ බ්ලොග් කාරයෝ "බ්ලොග් මණ්ඩියේ" කරක් ගහන එකට අප්‍රමාණ සන්තෝසයි !

      Delete
  6. Replies
    1. හඃ හඃ... බ්ලොග් එකේ මකුළු දැල් ටිකක් කඩලා යන්න ගොඩ උනා කසූ !

      Delete

Related Posts with Thumbnails