බුල් ෆයිට් සහ පිටින් කෑම

Posted by දුමී

ඉස්සර ඔය ඉඳල හිටලා ඉස්කෝලෙන් ට්‍රිප් යනකොට අපේ අම්මා හරි රහට බත් මුලක් බැඳලා දෙනවා. ඒකෙ අනිවාර්‍යයෙන්ම තම්බපු බිත්තරයක්, තෙම්පරාදු කරපු පරිප්පු ව්‍යෑංජනයක්, කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු සහ සමහර වෙලාවට තෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් තියෙනවාම තමයි.. බුදු අම්මෝ මතක් වෙනකොටත් කටට කෙළ පදාසියක් උණනවා. ගොඩක් වෙලාවට ට්‍රිප් එකේ සිහියට වඩා ඔළුවේ තියෙන්නේ කෙහෙල් කොලේ ඔතලා දෙන ඒ බත් එකට වැඩේ දෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඔය වගේ ට්‍රිප් යනකොට ඔය බත් එක තනියම කන්න ලැබෙන්නේ නැහැ කියලා අම්මා දන්නවා. ඒ නිසා අම්මා වැඩිපුර බත් මුලක් දෙකකුත් දෙනවා හයිනලා සෙට් එකක් වගේ බත් එකට කඩාගෙන පනින යළුවන්ට දෙන්න කියලා. ඒත් එහෙම කලා කියලත් ඉතින් නිවිහැනහිල්ලේ ඔය බත් එක කන්න තියෙන චාන්ස් එක ගොඩක්ම අඩුයි.

ඔය නොදන්නා පලාත්වලට ගියාම කඩවල් වලින් කාලා බඩේ අමාරු හදාගනියි කියලා බයටම තමයි අම්මා කොහොම හරි ඔය බත් මුල ලෑස්ති කරලා දෙන්නේ. කොච්චර ලොකු මහත් උනත් අපි කරදඬු උස් මහත් වෙලා පවුල් පංසල් වෙනකන්ම අම්මා ඔය වගේ දුර පලාතකට යනවා නම් බත් මුලක බැඳලා දෙන එක වැරැද්දුවේ නම් නෑ. අදටත් නිවාඩු ගිහිල්ලා ආපහු එන දවසට මුළු බෑග් එකක් පිරෙන්නම අරගෙන එන්නේ අම්මා දවසක් විතර මහන්සි වෙලා උයලා දෙන පොලොස්, ඇඹරැල්ලා, අච්චාරු, උම්බලකඩ සම්බෝල, කට්ට කරවල තෙල් දාපුවා සහ ඊට අමතරව අර ඉස්සර වාගෙම අපි හැමෝටම කන්න කියලා ඔතලා දෙන බත් මුල් ටික.

ඔන්න ඉතින් ලොකු මහත්වෙලා රස්සාවල් පරස්තාවල් කරගත්තට පස්සේ ටිකෙන් ටික අම්මගේ අතින් ඉදෙන බත් එක කන්න පින නැති වෙලා යනවා. ඊටත් වඩා මේ රාජකාරි වැඩවලට පිට රට කාරිය යන්න උනාම වෙන සන්තෑසිය තමයි ඔක්කෝටම වඩා බරපතල. මමත් මෙහේ ආපු මුල් දවස්වල අර ඉඳි ආප්ප කන්න ගිහිල්ලා හරි අකරතැබ්බයක් උනානේ. ඒ වගේ තමයි.

කාලෙකට කලින් අපිත් එක්ක එමිරේට්ස්වල නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරපු ප්‍රවීන්ටත් ඔය පිට රටවල් වල රාජකාරි වැඩ කරන්න ගොහින් ලොකු අකරතැබ්බයක් උනා. දැන් නම් ප්‍රවීන් කැන්ගරු දේශයට දරු පවුලත් එක්කම සංක්‍රමණය කරලා අවුරුදු බර ගාණකුත් වෙනවා. ඔය මම කියන දවස්වල තමයි එමිරේට්ස් මොස්කව් වලට ගමන් වාර පටන් ගත්තේ. ඉතින් මොස්කව් බ්‍රාන්ච් එකේ නෙට්වර්කින් වැඩ වලට යන්න උනේ අපේ ප්‍රවීන්ට. මේ කියන කාලේ හිම මිදෙන වින්ටර් කාලේ. එහේ ගියාට පස්සෙ තමයි ප්‍රවීන් දන්නේ රුසියාවෙ වතුර පාවිච්චියක් නැති විත්තිය. රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා "ග්ලාස් ඔෆ් වෝටර්' කියලා ඉල්ලපු ගමන් හම්බවෙන්නේ වොඩ්කා වීදුරුවක්. මොන කෑමක් කෑවත් වතුර වෙනුවට හම්බවෙන්නේ වොඩ්කා. හොඳම දේ තමයි රුසියාවට යන්න කලින් ප්‍රවීන් ෆුල් වෙජිටේරියන්. ඒ කියන්නේ සැර ජාති කට අහලකටවත් තියන්නේ නෑ.

අනික තමයි රුසියානුවෝ කියන්නේ හරිම මිත්‍රශීලී ජාතියක්. ඒ ගොල්ලෝ මිත්‍ර කම් ඇති කරගන්න එනවා කියන්නේ වොඩ්කා බෝතලයකුත් අරගෙන. අතන මෙතන කොතැන කියලා වෙනසක් නෑ, විදේශිකයෙක් කියලා දැනගත්ත ගමන් රුසියන් කාරයෙක් දෙන්නෙක් එනවා වොඩ්කා බෝතලේකුත් අරගෙන සෙට් වෙන්න. එහෙම ආවම ඒ ගොල්ලෝ වීදුරුවට දාල දෙන වොඩ්කා එක එක හුස්මට බොටම්ස් අප් ගහන්නත් ඕනේ. ප්ලේන්ටි බොනවා වගේ චුට්ට චුට්ට බොන්න බෑ. එහෙම කලොත් ඒ ගොල්ලෝ සලකන්නේ ඒ ගොල්ලන්ට මදි පුංචිකමක් කරනවා කියලයි. රුසියානුවන්ට අනුව වොඩ්කා තමයි මේ ලෝකේ තියෙන සුපිරිම පානය. ඒ කියන්නේ මේ ලෝකේ කොහේ හරි වොඩ්කා තියෙනවනම් කවදාවත් කොහේවත් නරක වොඩ්කා කියලා ජාතියක් තියෙන්න විදිහක් නෑ. තියෙන්න පුළුවන් ජාති දෙකයි. තියෙන්න පුළුවන් හොඳ වොඩ්කා සහ හොඳම වොඩ්කා විතරයි.

අර කතාවකුත් තියෙනවනේ දෙවනි ලෝක යුද්දෙදි ජර්මන් කාරයෝ රුසියාවට පැරදුනේ මොකද කියලා. ජර්මන් කාරයෝ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත කාලේ එක දිගට රුසියාවේ තෙල් ආකර වලට, තෙල් සංචිත වලට බෝම්බ දාල විනාස කරනවා. ඔය අතර තමයි රුසියාවට වින්ටර් කාලේ ලබන්නේ. ජර්මන් කාරයන්ට බොන්න වැතුර නැති වෙනවා. මොකද ඔක්කොම වතුර මිදිලා. ඒ වගේම ජර්මන් කාරයන්ගේ යුද්ධ ටැංකි හිටං ෆ්‍රීz වෙලා යනවා. ඒකට රුසියන් කාරයෝ. උන් කොහොමත් වතුර වෙනුවට වොඩ්කා බොන නිසා සීතල ගාණක් වත් නැතිව යනවා. උන්ගේ යුද්ධ ටැංකි හදලා තියෙන්නේ තෙල් නැතිනම් වොඩ්කා වලින් දුවන්න පුළුවන් විදිහට නිසා උන් යුද්දේ දිනනවා. ජර්මන් කාරයෝ කරපු වැරැද්ද තමයි වොඩ්කා පෙරන තැන්වලට බෝම්බ දාන්නේ නැතිව තෙල් පෙරන තැන් වලට බෝම්බ දැමීම කියලා තමයි කියන්නේ.

තව පොඩ්ඩෙන් ප්‍රවීන්ව අමතක වෙනවා. කොහොමින් කොහොම හරි සතු තුනකට විතර පස්සෙ ප්‍රවීන් ආපහු ඩුබායි එනකොට අමුම අමු වොඩ්කා-බද්දෙක් වෙලා. කොටින්ම කියනවනම් ඩුබායි ඇවිල්ලත් බත් කාල බොන්නේ වොඩ්කා.

හරි ප්‍රවීන්ගේ කතාව එච්චරයි....!

කාලෙකට කලින් මම එමිරේට්ස් වැඩ කරන කාලේ, එමිරේට්ස් වල බැගේජ් හැන්ඩ්ලින් සහ ට්‍රැකින් සිස්ටම් එක ඩිසයින් කරලා ඩිවලොප් කරන්න කියලා JKCS එකෙන් මෙහේ ආවා ටීම් එකක්. ඒකේ ප්‍රොජෙක්ට් මැනේජර් විදිහට ආවේ චාන්. චාන් කිව්වට පොර චීනෙක් නෙමෙයි. හොඳ ශ්‍රී ලාංකිකයෙක්. ඇත්ත නම චන්ද්‍රලාල් හරි, චන්ද්‍රකුමාර හරි චන්ද්‍රබන්දු හරි වෙන කෙහෙල්මලක් හරි වෙන්නැති. උගේ නම කියන්න ලේසි වෙන්න සුද්දෝ තමයි ඌට චාන් කියලා බෞතීස්ම කරලා තියෙන්නේ. ඔය චාන් ඇවිත් අපි වගේ දෙගුණයක් වයස තරුණයෙක්. ෆීල්ඩ් එකේ වගේම ජීවිතෙත් හොඳටම අත්දැකීම් බහුල මනූස්සයා. මෙහේ එනකොටත් චාන්ගේ ලොකු දුව කොළඹ යුනි එකේ අයි.ටී ඩිග්‍රි එකක් කරනවා. අනේ ඉතින් ටීම් එකේ එවුන් මාමව ෂේප් කරගන්න නොකරපු දෙයක් නෑ. සමහරු ලංකාවේ ඉන්නකොට ස්වේච්ඡාවෙන් දුවට "ජාවා" උගන්නන්න චාන්ලගේ ගෙදර යනවා. හැබැයි පැට්‍රල් පුච්චගත්තට ඒ එකෙකුටවත් වැඩක් උනේ නෑ. හැබැයි කෙල්ල නම් ෆර්ස්ට් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය ගොඩ ගියා. ඊට පස්සෙ ස්කොල් එකක් හම්බවෙලා මාස්ටර්ස් කරන්න ඇමරිකා ගියා.

ඔය චාන් ඇවිත් තමන්ගේ වයසට වඩා දෙගුණයක් වයස අඩු අපිත් එක්කත් හරි හරියට සෙට් උනා කිසිම වෙනසක් නැතිව. ඔන්න එක කාලයක් චාන් හොංකොන් පැත්තේ ගිහින් තියෙනවා රාජකාරි වැඩකට තවත් ලංකාවෙ ටීම් එකක් එක්ක. එහෙම ගිහින් ඉන්නකොට එක දවසක් කට්ටියත් එක්කම ගිහිල්ලා ඒ පැත්තේ තිබිච්ච හෝටලයකට දවල්ට කන්න කියලා. ඔන්න ඉතින් චාන් අහලා,

"මල්ලි, අද ලන්ච් වලට මොනවද තියෙන්නේ ?" කියලා...

ඔන්න ඉතින් ඒ මල්ලි කියාගෙන යනවලු....

"චිකන්, බීෆ්, පෝක්, ෆිශ්, කැට්, ඩෝග්, ස්නේක්, ෆ්‍රොග්, රැට් කියලා.....

බලනකොට මුළු ආහාර දාමයම මුන් ලන්ච් එකට උයනවා. ඉතින් මේ ලෝකේ සත්ව සම්පත්තිය ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා හිතලා චාන් සහ ටීම් එක ඔක්කාරය නවත්තගෙන එතනින් නැගිටලා ඇවිල්ලා. ඊට පස්සෙ කට්ටියම හෝටලේට ඇවිත්, අයන් එක අනිත් පැත්ත හරෝලා ඒක උඩ තියලා පොල් රොටි පුච්චගෙන කෑව කියලා තමයි කියන්නේ.

විරේන් කියන්නේ මාත් එක්කම එමිරට්ස් වල එකම ටීම් එකේ හිටපු කෙනෙක්. දැන් ඉන්නේ කැන්ගරු දේසේ. විරේන් කසාද බැන්දලා හනිමූන් ගිහින් තියෙන්නෙත් හොංකොං වලට. කොහොම හරි වෙඩිං එකෙන් දවස් දෙකකට විතර පස්සෙ විරේන් සහ විරේන්ගේ අළුත් මනමාලි වෙච්චි ඇව්රිල් හනිමූන් බලා පිටත්ව යනකොට ඇව්රිල් වීල් චෙයාර් එකේ. මොකද උනේ කියලා අපි ඇහුවේ නෑ. හැබැයි එහෙම තමයි උනේ. කලින් බුක් කරපු ගමන නවත්තන්න බැරි නිසා විරේනුත් ඇව්රිල්ව වීල් චෙයාර් එකේ තියාගෙනම හොංකොං ගියා. ඉතින් ඔහොම හොංකොං ගිහින් හෝටලේටත් චෙකින් උනා කියමුකෝ. ගමන් මහන්සියටයි, වීල් චෙයාර් එකේ එහෙමෙහේ ගෙනියන්න කරදර නිසයි විරේන් ඇව්රිල් කාමරේ තියලා තනියම කෑමට මොනව හරි අරගෙන එන්න කියලා කාමරෙන් එලියට ආවා. ඊට පස්සෙ හෝටලේ ලොබී එකේ පොඩ්ඩක් ඉඳගෙන වට පිට එහෙම බලනකොට ඔන්න විරේන් දිහාවට මනුස්සයෙක් එනවා. ඇවිත් විරේන්ගේ අතේ මෙනූ පොතක් තියනවා. බලනකොට ඒක මෙනූ එකක් නෙමෙයි ඇල්බම් එකක්. උයලා කන කෑම නෙමෙයි ඒකේ තියෙන්නේ වෙන කෑම ජාතියක්.

ලස්සනම ලස්සන කෙල්ලෝ ඉන්න ෆොටෝ ඇල්බම් එකක්. ඔන්න විරේනුත් ඉතින් ඕක අතේ තියාගෙන පෙරල පෙරලා ලස්සන බලනවා. ඇල්බම් එක දීපු පොරත් ලඟ ඉඳගෙන එක එක ෆොටෝ වල ඉන්න අයව වර්ණනා කරනවා. ජීවිතේට උණුවතුර මිසක් ඇල්වතුරවත් නොබොන විරේන් ඉතින් මුල ඉඳන් අගට ඇල්බම් එක බලලා අර පොරට ආපහු දුන්නලු...!

ඔන්න එක පාරටම අර පොර පොඩ්ඩක් ඉන්න කියලා තව ඇල්බම් එකක් දුන්නලු.

අප්පට සිරි ඒකෙ ඉන්නේ තනිකරම පිරිමි. එක එක ජාතියේ බොඩි තියෙන පොරවල් ඒකේ ඉන්නවා.

සික් විතරක් මුන් නම් කියලා විරේන් ආපහු ඇල්බම් එක අරූට දීලා. ඒත් බුවා ලේසියෙන් ගේම අති අරින පාටක් නෑ. ආපහු අතින් පොඩ්ඩක් ඉන්න කියලා මූ තව ඇල්බම් එකක් දෙනවලු විරේන්ට.

අප්පද බොල සනුහුරේ කිව්වලු. මෙන්න බොලේ ඒක තියෙනවලු පොමනේරියන්, ඇල්ෂේශන්, ටෙරියර්, ඩොබර්මන්, බුල්ඩෝග් ඊට අමතරව ලංකාවෙ ඉන්නවා වගේ වල් බල්ලන්ගේ පින්තූර තොගයක්. විරේන් ඇස් දෙක ලොකු කරගෙන අරූගේ දිහා බලනකොට ඌ කියනවලු,

සර්, අයි ගිව් යූ වුමන් - යූ නෝ ලයික්, අයි ගිව් යූ මෑන් - යූ නෝ ලයික්

ටෙල් මී සර් යූ නෝ ලයික් ඩෝග් ඕල්සො...?

අනේ හොඳ වෙලාවල ඇව් රිල් වීල් චෙයාර් එකේ හිටියේ කියලා හිත හිත විරේන් ආපහු කාමරේට ආවලු.



එමිරේට්ස් වල වැඩ කරන අපේ කණිෂ්ක ගැන මම කතා දෙක තුනක්ම කියලා තියෙනවා. අන්තිම කිව්වේ අර 31ස්ට් නයිට් ගත කරන්න කියලා දවස් දෙක තුනකට ලංකාවට ගිය කතාව. දැන් එමිරේට්ස් අයිටී සිකියුරිටි ටීම් එකේ වැඩ කලාට ඒ දවස්වල කණිෂ්ක වැඩ කලේ එමිරටේස් වල "සිස්ටම්ස්" ටීම් එකේ. ඔන්න ඉතින් කණිශ්කට රාජකාරි වැඩකට යන්න වෙලා තිබුනේ ස්පාඤ්ඤ්යට එහෙම නැත්නම් ස්පේන් වලට. එහේ මාසෙක හාමාරක රාජකාරී කටයුත්තකට තමයි කණිෂ්ක ගිහිල්ලා තිබුනේ. ඉතින් දවසක් ඔය රාජකාරී වලින් මිදිලා හවස් යාමෙක කණිෂ්ක වටේ පිටේ ඇවිදින්න ගිහිල්ලා. එහේ තියෙන සුවිශේෂ, සංචාරක ඇට්‍රෑක්ෂන් එකක්නේ ඔය "බුල් ෆයිටින්" කියලා කියන්නේ. අර රෙද්දක් වන වනා පොරක් ඇවිත් හරකෙක්ව හලාල් කරන සෙල්ලම. කොහොමින් කොහොම හරි අපේ කනිෂ්කත් ඔය බුල් ෆයිටින් එකක් බලන්න සෙට් වෙලා. ඔන්න ඉතින් හරි අති උද්වේගකර රෙද්ද වැනිල්ලකට පස්සෙ බුල් ෆයිට් කරපු පොර හරකව හලාල් කරලා දාලා. ඉතින් ඕක බලලා ඉවර වෙනකොට ගොඩක් හවස් වෙලා. ආපහු පාරට බැහැපු කනිෂ්කගේ බඩ පණුවෝ බුල් ෆයිට් කරන වෙලාවක් ඒක. එහෙන් මෙහෙන් ඉව අල්ලගෙන කනිෂ්කත් ගිහිල්ල ලඟ පාත තිබිච්ච රෙස්ටුරන්ට් එකකට. ඒකට ගිහිල්ලා මෙනූ එකත් අරගෙන එහෙන් මෙහෙන් කියවලා ඔය මොනව හරි දෙයක් ඕර්ඩර් කරලා පොර දැන් බලාගෙන ඉන්න්වලු. ඒත් එක්කම පොරගේ ටේබල් එකට මෙහා ටේබල් එකට වේටර් කෙනෙක් දුම් දාක්ගෙන චිරිස් බිරිස් ගාගෙන (අර සිස්ලින් කියලා කියන්නේ ) පලාතම සුවඳ ගස්සගෙන කෑමක් අරගෙන ආවලු. අනේ ඉතින් අර මේසෙ ඉන්න එකත් හෙන පෙරත කමෙන් අර ගෙනාපු කෑම එක කාගෙන කාගෙන යනවලු. පලාතම සුවඳයිලු. දැන් කණිශ්කගේ බඩගින්න දෙගුණ තෙගුණ වෙලා ඔන්න ඊට පස්සෙ කණිෂ්ක වේටර් කොළුවට කතා කරලා ඇහුවලු අර එහා ටේබල් එකට ගෙනාපු කෑම එක මොකක්ද කියලා. ඒ පාර වේටර් කොළුවා කියනවලු,

"සර්, ඒක මේ අපේ ඩෙලිකසි එකක් (සුවිශේෂී කෑමක් ) ඒ අර බුල් ෆයිට් එකෙන් මැරිච්ච හරකාගේ ටෙස්ටිකල් (වෘෂණ කෝෂ) දෙක...." ”මේ පැත්තටම මේක දෙන්නේ මේ අපේ හෝටලේ විතරමයි. ඒක නිසා......ගාණත් ටිකක් සැරයි” … කියලා…

ඒ තිබිච්ච සුවඳේ හැටියම මොන කෝශේ උනත් කණිශ්කට මේක කන්න දැන් තියෙන්නේ පුදුම පෙරේත කමක්.

ඉතින් කණිශ්කත් කිව්වලු " කමක් නෑ...මටත් ඒ කෑම එකක් ගේන්න කියලා..."

ඒ පාර වේටර් කිළුවා කිවාලු,

"සර්, එක දවසකට තියෙන්නේ එක බුල් ෆයිට් එකක් විතරක් නිසා මේ කෑම එක හම්බවෙන්නේ දවසට එකක් විතරයි. ඒක අර එහා ටේබල් එකේ මහත්තයා කලින්ම ඕර්ඩර් කරලා තිබුනේ. සර් කැමති නම් හෙට බුල් ෆයිට් එකේ ටෙස්ටිකල්ස් දෙක ඔර්ඩර් කරන්න පුළුවන්..." කියලා

ඔන්න ඒ පාර කණිශ්කත් කැමති වෙලා පහු වෙනිදට ඕර්ඩර් එක දාලා සල්ලිත් ගෙවලා ආවලු.

ඔන්න ඉතින් ඒ දවසත් බොහොම අමාරුවෙන් ගෙවලා දාලා කණිශ්ක හවස් වෙලා කෙලින්ම හෝටලේට ගියාලු. ඔන්න ටික වෙලාවකින් අර ඊයේ විදිහටම දුම් දාගෙන, චිරිස් බිරිස් ගාගෙන සිස්ලින් කෑම දීසියක් මේසෙට ආවලු. පලාතම සුවඳයිලු දැන්. කණිශ්කත් මේලෝකේ සිහියක් නැතිව මේක දැන් කාගෙන කාගෙන යනවලු. කෑම එකත් මාරම රහයිලු. ඒත් මදියි මදියි වගේලු. කණිශ්කට මතක් උනාලු කලින් දවසේ අල්ලපු ටේබල් එකට අරගෙන ආපු ඩිශ් එකේ ප්‍රමානේ මීට වඩා වැඩියි නේද කියලා. ඊට පස්සෙ කණිෂ්ක අර වේටර් කොළුවට කතා කරලා කම්ප්ලේන් පාරක් දැම්මලු.

"මල්ලි, අර ඊයේ එහා ටේබල් එකට දුන්නු කෑම එකේ ප්‍රමාණෙන් භාගයක්වත් අද මගේ කෑම එකේ තිබුනේ නෑනේ....." කියලා.....

“ආ සර් ඒ අද බුල් ෆයිට් එකෙන් හරකා දිනලනේ.... “ එහෙම තමයි සර් ඉඳලා හිටලා බුල් ෆයිට් එකෙන් හරකා දිනනවා සර්…” කියලා කිව්වලු....!

Related Posts with Thumbnails