කඩ්ඩ සහ කක්කල් කැස්ස

Posted by දුමී

ලංකාවෙ ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිය අපි වගේ අය අතරින් අවුරුදු 9ක් 10ක්ම ඉස්කෝලෙ සබ්ජෙක්ට් එකක් විදිහට කඩ්ඩ ඉගෙන ගත්තත් අන්තිමට ඉස්කෝලෙන් අස්වෙනකොටත් යන්තන් වත් පේලි දෙකක්වත් කඩ්ඩෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නෙ හරිම අතලොස්සක් තමයි.යන්තන් කඩ්ඩෙන් වැඩ කරන්න බය ඇරෙන්නෙ ඔය ඉස්කෝලෙන් පස්සෙ උසස් අධ්‍යාපනයක් වගේ කරන්න ලැබුනොතින් තමයි. මොකද ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන ආයතන වල දේශන පැවැත්වෙන්නෙ කඩ්ඩෙන් නිසා. ඒත් ඉතින් බහුතරයකට යන්තන් සන්තන් විදිහට කඩුවට පොඩි බ්‍රාසෝ පාරක් ගාගන්න ගොඩක් වෙලාවට පුළුවන් වෙන්න රස්සාවකට කාරිය එහෙම ගියහම තමයි. ඕකට එක හේතුවක් මම හිතන්නෙ කොහෙන්ද මන්දන්නෙ නෑ පොඩි කාලෙදීම මේ කඩ්ඩට අසාමාන්‍යය බයක් හැමෝගේම හිතේ ඇති වෙනවා. කොච්චර බයද කියනවනන් කවුරු හරි ලඟට ඇවිල්ල කඩ්ඩෙන් කතා කලොත් චූ යන සයිස් එකට. ඒවගේම කඩ්ඩෙන් වචනයක් දෙකක් කතාකරන්නත් පුදුම බයක් තමයි තියෙන්නෙ. ඒක අනිත් අය හිනාවෙයි කියන බයටමද නැතිනන් වෙන මොකක් හරි අටමගලයක් නිසාද කියල නම් මට කියන්න බෑ.

මට අවුරුදු පහක හයක කාලෙකකදි ඉඳන් අපේ තාත්තා හිටියේ පිට රට. ඉතින් ඔය හැම තිස්සේම වගේ අපේ ගෙදරට තාත්තා එවපු බඩු තෑගි අරගෙන විවිධාකාරයේ අංකල්ලා, ඇන්ටිලා එහෙම එන එක සාමාන්‍යය දෙයක් වෙලා තමයි තිබුනේ. ඔන්න දවසක් අපි මිදුලේ සෙල්ලං කර කර ඉන්න දවසක අපේ ගේ දිහාවට එනවා සුද්දෙක්. අතේ පාර්සලේකුත් තියෙනවා. ඒ වෙලාවෙ අම්මත් ගෙදර හිටියේ නෑ. මල්ලිවත් අරගෙන අම්මත් මොනවා හරි වැඩකට එළියට ගිය ගමන් තාම ඇවිත් නෑ. ගෙදර ඉන්නෙ මමයි, අක්කයි, නංගියි විතරයි. ගේ පැත්තට එන සුද්දව දැක්ක විතරයි තුන් දෙනාම රිංග ගත්තා ගේ ඇතුලට. වැහුවා දොර. ඇයි හත් ඉලව්වෙ දැන් මූත් එක්ක කොහොමද කතා කරන්නෙ ? වෙනදට චන්ඩි පාට් දාන දුමීගේ අක්කත් ෆුල් සරෙන්ඩර්. ඔන්න සුද්ද දොර ගාවටම ඇවිල්ල බෙල් එක ගහනවා.

ඒ අස්සෙ දුමීගේ අක්කා කියනවා,

"ලොකු මල්ලි, ගිහින් දොර අරිනවා......!"

මට පුළුවනෑ ඔය නොදන්න භාෂාවල් වලට බෙල්ල තියන්න ගොහින් වරිගේ නහ ගන්න....

"ඇයි මට කියන්නෙ, තමුසෙ ගිහින් දොර අරිනවකෝ.......!"

දැන් දෙන්නත් එක්ක ෆුල් වලිය කවුද දොර අරින්නෙ කියලා. මෙන්න බොලේ ඒ අස්සෙ යන්තන් මොන්ටිසෝරි යන නංගි ගිහින් දොර ඇරලා. සුද්දා ඉස්තෝප්පුවටම ඇවිල්ලා ඉන්නවා දැක්කම තමයි අක්කටයි, දුමීටයි කටේ කෙළ හිඳිලා හීන් දාඩිය දාන්න ගත්තෙ.

අනේ ඉතින් දුමිත් පුරුෂ දහිරිය අරගෙන ඉස්සරහට ගොහින් මෙහෙම කිව්වා...

"අංකල් අම්මි නෝ හෝම්....!"

මෙන්න බොලේ සුද්දා කියනවා,

"ආහ් පුතා, කමක් නෑ. මෙන්න මේ පාර්සල් එක තාත්ති එව්වා මගේ අතේ. මේක අම්මිට එහෙනම් දෙන්න. අම්මිට කියන්නකෝ විජේපාල අංකල් ඇවිත් ගියා කියලා...."

සුද්දා දෙනවා ෆුල් සුද්ද සිංහලෙන්. දුමියි අක්කයි අඤ්ඤකොරොස් වෙලා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කොහොමද යකෝ සුද්දෙක් මෙච්චර හොඳට සිංහලෙන් කතා කරන්නෙ. අනික පොරගේ නම විජේපාලලු. විජේපාල කියලා සුද්දොත් ඉන්නවද.

ඔන්න ටික වෙලාවකට පස්සෙ අම්මා ආවහම අම්මට කිව්ව විස්තරේ.

"අම්මේ, අන්න තාත්තා විජේපාල කියලා සුද්දෙක්ගේ අතේ පාර්සලයක් එවලා......!"

"ආහ්, විජේපාල අංකල් ආවද මේහේ. එයාට පොඩි කාලේ ඉඳන්ම අර සුදු කබර ලෙඩේ හැදිලා නිසානේ ඔච්චර සුදු......"

දැනුයි තේරුනේ කොහොමද විජේපාල කියන සුද්දා සිංහල කතා කලේ කියලා.


෴෴෴෴෴෴෴෴


කොහොමෙන් කොහොම හරි ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර උනාට පස්සෙ ඔය ඉන්ටර්වීව් එහෙකට දෙකකට මූන දෙන්න ගියාම තමයි කඩ්ඩෙ අගය දැනෙන්නෙ. ඉතින් රටේ නැති සර්ලා ගාවට කට්ටිය පැල් බැඳගෙන යනවා අවුරුදු 9ක් 10ක් ඉගෙනගෙනත් හරියට ඉගෙන ගන්න බැරි උන කඩ්ඩ මාස කීපයකින් හදා ගන්න කියලා. ඉතින් එහෙම කඩු කෝස් දෙක තුනක්ම ෆලෝ කරපු එකෙක් දවසක් කියනවා,

“මචන් මට තාම බැරි මේ කඩ්ඩෙන් කතා කරන්නයි කියන ඒවා තේරුම් ගන්නයි ලියන්නයි, කියවන්නයි විතරයිනේ. නැත්තං එච්චර අවුලක් නෑ...” කියලා.

෴෴෴෴෴෴෴෴෴


මම ඉස්කෝලෙ ඒ ලෙවල් කරන කාලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්නකොට අපේ ප්‍රෙෆෙක්ට් බෝඩ් එක බාරව හිටිය සර්ට වෙනින් ඉස්කෝලෙකට මාරුවීමක් ලැබිලා යන්න උනා. ඔන්න ඉතින් ඊට පස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එක බාර ගත්තෙ අපේ ඉස්කෝලෙ හිටිය වයිස් ප්‍රින්සිපල්. ඉතින් එහෙම බාර ගෙන තියපු පලවෙනිම ප්‍රෙෆෙක්ට්ස් මීටින්ග් එකේදී සර් කියනවා
,
"ඔය ළමයි බය වෙන්න එපා, මට පුළුවං හොඳට ප්‍රිෆෙක්ට් බෝඩ් එක ටකල් කරන්න....!"

ඒ අස්සෙ අපේ ගාව හිටිය එකෙක් අපි ටිකට විතරක් ඇහෙන්න කියනවා,

"මචෝ, මූ ටකල් දාන්න යන්නෙ, අපිට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.... මූ ටකල් කරහම....!"

කොහොමෙන් කොහොම හරි සර්ට විනාඩි කීපයක් කතාව නවත්තගෙන ඉන්න උනා අපි ටික බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත නිසා.


෴෴෴෴෴෴෴෴෴


ඔය මොන මොන චන්ඩි පාට් දැම්මත් ලංකාවේ කඩ්ඩට අම්බානෙකට බය තව කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි පොලිස් කාරයෝ. මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව ගිහිල්ලා, තව ලයිසන් නැතිව කාර් එලවලා, සුදු ඉරි කපලා, අරවද මේවද වැරදිවලට නැවැත්තුවහම පොඩ්ඩක් කඩ්ඩ දාලා කතා කරපු ගමන් පොලිස් කාරයා "හරි මහත්තයා යන්න..." කියලා දඩ කොලේ නොලියා යන්න අරිනවා කියලා කතාවක් තියෙනවනේ..

ඔන්න කාලෙකට පස්සෙ ලංකාවෙදි මාත් එක්ක එකට "NIBM" හිටපු යාළුවෙක්ව හම්බ උනා නිවාඩුවට ගිහිල්ල ඉන්දැත්දි. ඕං ඉතින් කාලෙකට පස්සෙ හම්බ උන යාළුවා නිසා පොඩි එහෙකට සෙට් උනා මගේ තවත් යාළුවෝ සෙට් එකකුත් එක්ක.. ඉතින් ඔය එක එක මාතෘකා යටතේ වාද විවාද, බයිලා ගැහිලි කතන්දර අතර ඔය පොලිස් කාරයෝ ඉංග්‍රීසි වලට බය ඇයි කියන එක ගැනත් කතා උනා. ඔන්න ඒ පාර මේ වෙනකොට ටිකක් විතර වැදිලා හිටිය මගේ යාළුවා කියනවා,

"ඕක බොරු කතාවක් බං.... දවසක් මම වැරදි තැනක පාක් කෙරුවා කියලා දඩ කොලයක් දීපු පොලිස් කාරයෙක්ට කඩ්ඩෙන් කොටන්න ගිහින් ඌ මට දුන්නනෙ ආයේමත් කඩෙන් අනිත් පැත්තට. කොටලා කොටලා දඩ කොලෙත් දීලා තමයි ඌ ගියේ. ඌගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක කොච්චර හොඳද කියනවනන් මට ඌ කියපු එක වචනයක් වත් තේරුනේ නෑ......එච්චරට සිරා..."

"කොහෙද බං ලංකාවෙ එහෙම සිරාවටම ඉංග්‍රීසි කතා කරන ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉන්න පොලීසිය.....?" අපේ තව එකෙක් ඇහුවා...

“ලංකාවෙ ? පිස්සුද බං... මට මේක උනේ ලන්ඩන් වලදි....!”


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


මේ පිට රටවලට ඇවිල්ල ඉන්න අපිට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ලෙඩක් දුකක් හැදුනහම දොස්තර ගාවට ගිහින් ලෙඩේ විස්තර කරන එක. මොකද මේ ගොඩක් ලෙඩ වලටයි, රෝග ලක්ෂණ වලටයි ඉංග්‍රීසියෙන් කියන නම් දන්නෙ නෑනෙ. ඕකට ඉතින් අපේ සෙට් එකට තියෙන විසඳුම තමයි අල් ඒන් වල ඉන්න වන්නි අයියා. වන්නි අයියා ඇවිත් අල් ඒන් වල තියෙන මෙඩිකල් කොලේජ් එකේ ඉන්න ඇනටොමිස්ට්. ඉතින් පොර ඔය මෙඩිසින් ගැන ලෙඩ රෝග ගැන හොඳට දන්න කියන හාදයා හින්දා කවුරු කවුරුත් මේ ලෙඩ රෝග ගැන විස්තර අහගන්නෙ වන්නි අයියගෙන්.

කවුරුත් දන්නවනේ මෙහෙට වීක් එන්ඩ් එක තියෙන්නෙ සිකුරාදා සහ සෙනසුරාදා කියලා. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා රෑ කියන්නෙ කට්ටිය සෙට් වෙන දවස. ඔන්න එක බ්‍රහස්පතින්දාවක පාන්දර ජාමේ වෙනකන් යාළුවොත් එක්ක සෙට් වෙච්ච වන්නි අයියා තුනට විතර ගියාලු නිදා ගන්න. නිදා ගන්න ගියා විතරයි පාන්දර තුනහමාරට විතර, පොරගෙ ෆෝන් එක දැන් රිං වෙනවා.

"හලෝ, වන්නි අයියේ වන්නි අයියේ...."

"ඔව් ඔව් කතා කරනවා..."

"අනේ වන්නි අයියේ, කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"

“මොකක්...?”

"කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"

“යකෝ, පාන්දර තුනහමාරයි වෙලාව, කක්කල් කැස්ස... හැමිනියන් කෝ....”

“ආහ් හරි හරි... තැන්ක් යූ වන්නි අයියේ....!”

කෝල් කරපු එකාගේ වයිෆ්ට රෑ තිස්සේ නවතින්නෙ නැතිව කැස්සක් ඇවිල්ලා. එයාට පොඩි කාලෙදී කක්කල් කැස්ස හැදිලා තියෙනවා. ඉතින් එයාව ඉස්පිරිතාලෙට එක්කන් යන්න කලින් තමයි ඔය වන්නි අයියට කෝල් කරලා තියෙන්නෙ. කෝල් එකෙන් පස්සෙ ඔන්න ඉතින් පොරත් වයිෆ්ව ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින් ඩොක්ටර්ට ලෙඩේ විස්තර කරන ගමන් මෙහෙම කියලා.

“Doctor, she had Haminiyan cough when she was small.......!”

( දොස්තර මහත්තයෝ මෙයාට පොඩි කාලෙදි හැමිනියන් කොෆ් (කැස්ස ) හැදිලා තියෙනවා )







(ප.ලි : කක්කල් කැස්සට කඩ්ඩෙන් කියන්නෙ වූපින් කොෆ් (Wooping cough) කියලා. )









බොම්බිලි සහ ආප්ප

Posted by දුමී

ඔය මම ඉස්කෝලේ ඕ ලෙවෙල් කරන කාලේ අපේ පන්තියේ හිටියා පොරක් ගීත් කියලා. මතකනේ, ඒ කාලේ අර අයි.ටී.එන් එකේ ගිය කෝපි කඩේ ටෙලි නාට්ටිය එහෙම නැගලා යන කාලේ. කොහොමත් ඔය කොල්ලන්ගේ ඉස්කෝලවල හිටපු ගමන් ඉන්නවනෙ හරිම සුකුමාල එක නූල් ගහෙන් කෙල්ලෙක් නොවී කොල්ලෙක් වෙලා ඉපදෙන එවුන්. අන්න ඒ වගේ හරිම සුකුමාල එකෙක් තමයි මේ ගීත්. ඉතින් ඒ කාලේ අපි ඌට කිව්වෙ ගීතා නගා කියලා, අර කෝපි කඩේ සුවඳා ට්‍රයි පාර දෙන කෑල්ල.

ඉතින් ඒ දවස්වල ඉස්කෝලෙන් පස්සෙ දවස් පහේමයි, සති අන්තෙ දවස් දෙකයි, නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගේ ගණන් ක්ලාස් එකයි, තව සයන්ස් ක්ලාස් එකයි, අරකයි මේකයි, අම්මලාගේ වදේට ඕලෙවල් ගොඩ දාගන්න යන ක්ලාස් බර තොගේකුයි කවර් කරන්න වෙනවනේ. ඉතින් ඔය දවස්වල ඉස්කෝලෙ කොල්ලො ගොඩක් වෙලාවට උදේට කන්නයි, දවල්ට කන්නයි කෑම පාර්සල් දෙකක් ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ කෑම එක විදිහට ගේන්නෙ පාන් තමයි. කොහොමත් යන්තන් හරි බඩට දාගන්න හම්බවෙන්නෙ උදේ කෑම එක විතරයි. මොකද ඉන්ටර්වල් එකට කලින් උදේ පීරියඩ් වලදි අතරතුරදි හිමිහිට බෑග් එකට අත දාලා පාන් කෑල්ල කෑල්ල හොරෙන් කාලා ඕක ඉවර කරන නිසා පංතියේ ඉන්න නසරාණීන්ට ඕකට ගේමක් දෙන්න වෙන්නෙ නෑ. ඒකට දවල්ට ගේන බත් එක, දිග ඇරිය ගමන් එක බත් කටක් හරි කෑවොත් බත් එක ගෙනාපු එකා දිනුම්. අපේ පන්තිවල හිටපු සමහර එවුන් කරන්නෙ බත් එක දිග ඇරිය ගමන් ඕකට තූ තූ තූ කියල කෙල ගහන එක. එතකොට එකෙක්වත් ඕකට කිට්ටු වෙන්නෙ නැහැනේ. ඉතින් ඕකත් දිගටම කරන්න හම්බ උනේ නෑ, මොකද කවුරුහරි ඊට පස්සෙ තමන්ගෙ බත් එකට තූ තූ කියලා කෙල ගැහුවොත් තවත් එවුන් දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ඒ බත් එකටම තු තූ කියලා කෙල ගහලා යනවා. අනේ ඉතින් ගෙනාපු එකාටත් නෑ, අනිත් එවුන්ටත් නෑ. පස්සෙ ඉතින් ඒ සිරිත එහෙම්මම නැති උනා.

තවත් සමහරු කරන දෙයක් තමයි බිත්තරයක් හරි කුකුල් මස් කෑල්ලක් හරි දැක්ක ගමන් ඉක්මනට අරගෙන ඒක එහෙම්පිටින්ම කටේ දාගැනීම. දවසක් අපේ එකෙක් තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනයන්න වෙනවා, මොකද ඌ එළු මස් කෑල්ලක් කියලා තඩි ගොරක කෑල්ලක් කටේ දාගත්ත ගමන් හැපිලා ඇඹුල දැනිලා කලබල වෙච්ච පාරට ඒක උගුරේ හිර වෙලා මාර ජංජාලයක් වීම නිසා. පස්සෙ කට්ටිය ඌත් එක්ක තියෙන පරණ තරහ යන්නත් එක්ක බිම දාගෙන පිටට දඩම් බඩං කියලා ගහපු නිසා ඌ යන්තන් බෙරුනා.

මෙච්චර ලොකු ඌණ පූර්ණයක්  පූර්ව කථනයක් දීල මට කියන්න ඕනෙ උනේ මේකයි, අර මම කලින් කිව්ව ගීතා නගා අරගෙන එන කෑම එක තමයි දෙයියනේ කියලා කාගෙන්වත් කිසිම අතුරු ආන්තරයක් නැතිව ඌටම කියලා කන්න පුළුවං උන එකම කෑම එක. මොකද විශ්වාස කලත් නොකලත් ගීතා නගා අරගෙන එන්නෙ පොල් සම්බෝලත් එක්ක ඉඳි ආප්ප ‘පහයි’. ඒකෙන් උදේට ඉඳි ආප්ප දෙකක් කාලා දවල්ට කන්න ඉඳි ආප්ප තුනක් ඉතිරි කර ගන්නවා. ඒ කාලේ දෙයියනේ කියලා එක වේලකට ඉඳි ආප්ප විසි පහක් බඩට දාගන්න අපිට මේක නිකන් හරිම ජිල් බෝල මැජික් එකක් උනා. ඔය ඉඳි ආප්ප පහ කාලා මොනව කරන්නද කියලා පංතියේ හැම එකාම කල්පනා කරපු නිසා අතුරු ආන්තරාවක් නොවී පන්තියේ ඉතුරු උන එකම කෑම එක තමයි මේ ඉඳි ආප්ප පහ. ඒ කාලේ ඉඳි ආප්ප පහ නිසා ගීත නගා කොල්ලන්ගෙන් බයිට් උන වාර ගාන නම් මට මතක නෑ. මොනවා උනත් මම නම් ජීවිතේටවත් හිතුව නෑ ඊට අවුරුදු දොලහකට විතර පස්සෙ මටත් මේ වගේ ඉඳි ආප්ප 2 ක් කාලා වේලක් පිරි පිරිමහගන්න වෙයි කියලා.

දැනට අවුරුදු 8කට 9කට කලින් ඩුබායි දේශයට පය තබපු අළුත වගේ, දවසක් මලබාරි කඩේකට රිංගුවේ පාතරාසය ලබාගැනීමට කියලා තමයි. අතට දීපු මෙනු කාඩ් එක මුල ඉඳලා අගට කියවගෙන යනකොට ඔන්න කන්න ආස කෑමක් තියෙනවා. මොනවද ඉතින් "ඉදියප්පම්". මලායලම් භාෂාවයි, දෙමළ භාෂාවයි ගොඩක් එක සමාන නිසා, ලංකාවෙත් ඉඳිආප්ප වලට සමහරු ඉඳිආප්පම් කියලා කියන නිසා ඔන්න මම ඕඩර් කරා "ටුවෙන්ටි ඉඳිඅප්පම් ඇන්ඩ් චිකන් කරී" කියලා..... ඔන්න බොලේ වේටර් බුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා අහනවා "කිත්නා ආද්මී ? (කී දෙනෙකුටද ?)" මම ඉතින් අතින් පෙන්නුවා එක්කෙනෙකුට කියලා. ඔන්න ඒ පාර පොර මොනවද මංදන්නෙ නෑ හින්දියෙන් කියවගෙන කියවගෙන යනවා. සිංහල සබ් ටයිටල් නැති නිසා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ මම කිව්ව "හිංදි මාළුම් නෙහී බායි....." කියලා. ඔන්න ඒ පාර පොර ආපහු මගේ ඔළුවෙ ඉඳන් පාදාන්තය දක්වා බලාගෙන ඉඳලා ගියා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ පොර එනවා සුදු පාටට සුදු පාටේ අඩියක් විතර උස ඉඳි ආප්ප කන්දකුත් උස්සගේන. ඇවිල්ලා තිබ්බා මේසෙ උඩින්. ඊට පස්සෙ නක්කලේට මගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොඩි චිකන් දීසියකුත් ලඟින් තියලා ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ උනාට මට උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්. වලියකට එහෙම අරගෙන යන්න පුළුවන් කිසි ගේමක් නැතිව, මොකද ඒ ඉඳි ආප්පයකින් ගහලා දෙන්නෙක්ව බිම දාන්න පුළුවං. අනේ මමත් ඉතින් දාහක් ඇස් මගේ දිහා බලාගෙන ඉන්න අස්සේ ඉඳි ආප්ප ගොඩේ ඔළුව හංගගෙන එයින් ඉඳි ආප්ප දෙකක් කාලා හෙමින් සීරුවෙ මුකුත් උනේ නෑ වගේ ආවා.

ඉඳි ආප්ප විතරක් නෙමෙයි, මලබාර් කඩවල ආප්පත් තියෙනවා. ඒවාට කියන්නෙ "ආප්පම්" කියලා. රසනම් ඉතින් ටිකක් ඒ වගේ තමයි හැබැයි අපේ ලංකාවෙ අප්පයකට ගහන්න නම් බෑ. ලංකාවෙ ආප්පනේ ආප්ප. මලබාරි ආප්පම් එක නිකන් ලංකාවෙ ප්ලේන් තෝසයක් වගේ ෆුල් ෆ්ලැට්. ඔන්න එක කාලයක් මගේ ටීම් එකේ හිටියා කේරල කෙල්ලෙක් ලීනා කියලා. කෙල්ලෙක් කිව්වට බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ටීම් එකේ අපි ඔක්කොම අනිත් අය ලංකාවෙ අය. ඉතින් දවසක් මෙයා අපිට රෑ කෑමකට ගෙදරට එන්න කියලා කිව්ව නිසා අපිත් ඉතින් පවුල් පංසල් එක්කහු කරගෙන ලීනාගෙ ගෙදරට ගියා කියමුකො. ඔය සතුටු සාමීච වලින් පස්සෙ ඔන්න රෑ කෑම වෙලාව ආවා. කට්ටියම සෙට් උනා කෑම මේසෙට. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනවා මෙන්න කෑම මේසෙට "මලබාරි ආප්පම්". චිකන් කරි සහ ෆ්‍රයිඩ් බීෆ් එක්ක. ඔන්න ඉතින් අපිත් දැන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක් වගේ දිගටම බැට් කරනවා. ආප්පම් ඉවර වෙන්න ඉවර වෙන්නත් මේසෙට එනවා. කොහොම හරි එක්කෙන් අප්පම් 5කට 6කට විතර වැඩ දුන්නා. දැන් මට පේනවා ලීනාගේ මූණ එච්චර හරි නෑ.ටිකකට පස්සෙ ලීනා ඉඳන් කියනා, "Guys, this is not the main meal....." සිංහලෙන් කිව්වොත්, "යකුනේ මේක ප්‍රධාන කෑම එක නෙමෙයි.." කියලා. විළි ලැජ්ජාවෙ බෑ....බලාගෙන යනකොට මුන් ආප්ප කන්නෙ බුරියානි හරි තාලි හරි කන්න කලින් බඩේ රැළි ඇරගන්න ඇපටයිසර් එකක් විදිහට. අපි හිටු කියලා රැළි කෙලින් වෙන්න ආප්ප කන කෑමට තව පොඩ්ඩෙන් ලීනට කලන්තෙ දානවා. එහෙම ආප්පම් කෑවට පස්සෙ ආපහු මොන මේන් මීල්ද. කොහොමෙන් කොහොම හරි අර කිව්ව මේන් මීල් එක පාර්සල් කරගෙන ගෙදර ගෙනැල්ල පහුවෙනිදා උදේට කෑවා.

ආප්ප ඉඳි ආප්ප වගේම බොම්බිලි කියන්නෙ මම කැමතිම කෑමක් තමයි. බොම්බිලි තෙල් දැම්මහම තියෙන රසට ගහන්න ආපහු වෙන කෑමක් නෑ. හැබැයි ඒ වගේම තමයි බොම්බිලි වල ගඳට ගහන්නත් වෙන ගඳක් නෑ. බොම්බිලි වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ "බොම්බේ ඩක් ( Bombay Duck)" කියලා. ඒ නම හැදිලා තියෙන්නෙත් ඔය ඉංග්‍රීසි පාලනය කාලේ ඉන්දියාවෙ බොම්බේ නගරෙ ඉඳලා එන කෝච්චි ඩෙක් එකෙන් ( Bombay DAK, Bombay Deck) එන ගඳයි, බොම්බිලි වලින් එන ගඳයි එකම නිසා. "බොම්බිලි" කියන වචනය අපේ භාෂාවට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙ මරාති භාෂාවෙන් ඕකට කියන්නෙ "බොම්බ්ලි" Bombli කියලා කියන නිසා. එක කාලෙකදි මට කවුද මන්දා කියලා තිබුනා මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න පණුවො ජාතියක් කියලා. ඒ තිබිච්ච ගඳ නිසා මාත් හිතුවා ඇත්ත තමයි කියලා කාලයක් කටේ තියන්නෙ නැතිව හිටියා. පස්සෙ තමයි දැන ගත්තෙ මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න "උරග මාළුවෙක්" (Lizardfish) කියලා.

මේ ඉතින් මම කියන්න යන බොම්බිලි කතාව සිද්ධ උනේ දැන අවුරුදු 5 කට 6 කට කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ පරිඝණක අංශයේ වැඩ කරන කාලෙ. ඒ කාලෙ මගෙ බොස් වෙලා හිටියේ සුද්දෙක්, පැඩී කියලා. මේ සුද්දත් ඉතින් සුද්දා වගේ තමයි හරිම කෙලින් වැඩ කතා බහ ඔක්කොම.වැඩ කරන්න මාර ලේසියි, වෙලාවක යාළුවෙක් වගේ ඕන කුණුහරුපයක් ඇවිත් කතා කරනවා, ඒ වගේම වැඩ වලදිත් අකුරට වැඩේ තියෙන්නත් ඕනෙ. ඉතින් වැඩේ කියන්නෙ එක දවසක් ඔන්න අපේ ගම හාමිනේ දවල්ට කන්න කියලා මගේ බත් එකට දාල ෆුල් සිරා බොම්බිලි බැදුමක්. ඔන්න මමත් ඉතින් දෙඤ්ඤං බැස්ටිය කියලා බත් ඇටයක්වත් ඉතුරු නොකර බත් ටික කාලා අත සෝදගෙන එළියට එනකොටම ඉස්සරහට එනවා මගේ බොසා, පැඩී. ඉතින් වෙනදා වගේම මූ මට අතට අත දීලා සුභ පතලා ගියා. ඔන්න මම මගේ පුටුවට ගිහිල්ලා ටික වෙලාවකට පස්සෙ මට කෝල් එකක් එනවා පැඩීගෙන්...කෝල් එක ගත්ත ගමන් පොර අහනවා,

"Man, did you scratch your balls..................?"

(ප.ලි : මේ කෑල්ල මම සිංහලට පරිවර්තනය කරන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් කට්ටිය කියයි මම අසභ්‍යය කතා ලියනවා කියලා)


සුවඳ රැගෙන ආ අමුත්තිය

Posted by දුමී


මුළු ගේම ආයිමත් සැරයක් කිරි සුවඳින් පිරිලා ගිහිල්ලා. පුංචිම පුංචි සුරංගනාවියක් අපේ ජීවිත ඇතුලට රිංගලා. මගෙත් ගම හාමිනේගෙත් කැදැල්ලට තෙවනි පාරටත් කිරි සුවඳ අරගෙන රෝසම රෝස පාට දූ පැටික්කියෙක් පදිංචි වෙන්නම ඇවිල්ලා. මෙච්චර කාලයක් මම හිතන් හිටියේ අක්කියි අයියයි නිසා අපේ ජීවිත සම්පූර්ණ වෙලා තියෙන්නෙ කියලා. ඒත් මේ කෙළි පැටික්කි අපේ ජීවිත වලට එබෙනකන් අපේ ජීවිතේ තවත් හිඩැසක් තිබෙනා කියල නම් මට හිතුනේ නැහැ. ඒත් එහෙම හිඩසක් තිබිලා ඒ හිඩස දැන් නේද සම්පූර්ණ වෙලා තියෙන්නෙ කියලා තමයි මට නම් හිතෙන්නෙ. අක්කිගෙයි අයියගෙයි හිත් දෝරෙ ගලලා. හැම තිස්සෙම නංගිගේ වටේ කැරකිච්ච ගමන්මයි. දෙන්නම ඉස්කෝලෙ ඇරිලා දුවලා එන්නෙ නංගිව බලන්න. නංගියා පොඩ්ඩක් අඬනවා ඇහිච්ච ගමන්ම අක්කියා දුවගෙන යන්නෙ නංගිව වඩා ගන්න. එහෙම වඩා ගෙන ඉන්න වෙලාවක නංගිත් අක්කිව හිටපු ගමන් පිළිගන්නව පොඩි චූ පාරක් එහෙම දාලා. ඒත් අක්කි මලක් වගේ නංගියාව තුරුළු කරං චුට්ටක් ඇඹරෙනවා විතරයි.

මෙච්චර කාලයක් මල්ලි කෙනෙක් විතරක් වෙලා හිටපු චූටි පුතා දැන් අයියා කෙනෙකුත් වෙලා. නංගි ගෙදරට ආපු දවස් වල අයියාගේ සෙල්ලම් බඩු ටික ඔක්කොම නංගිගේ වටේට තියලා තිබ්බේ "අනේ නංගි හැමතිස්සෙම නිදාගෙන ඉන්නෙ නැතිව ඉක්මනටම මාත් එක්ක සෙල්ලම් කරන්නකෝ...." කියලා කියන්න වගේ. අවුරුදු පහක් විතර වෙනකන්ම අම්මිගෙන් කුක්කු බීපු අයියණ්ඩිට නංගි ගෙදරට ආවහම නංගි ගැන ටිකක් ඊරිසියා හිතෙයි කියලා අපි හිතුවත් අයියණ්ඩිට ඒ වගේ වගක් නෑ. නංගියා අඬනකොට අම්මි ඒ පැත්තෙ හිට්යේ නැත්නම්, "අම්මී, නංගියාට බඩගිනියි....කුක්කු දෙන්නකෝ..." කියලා අම්මිව එක්කන් එන්නෙත් අයියණ්ඩිම තමයි.

නංගි අම්මිගේ බඩේ ඉන්නකොට අක්කියි අයියයි ඔට්ටු ඇල්ලුවේ අක්කිට නංගියෙකුයි, අයියට මල්ලියෙකුයි ඕනෙ කියලා. අයියට ඕනෙ උනේ බැට් එක අරං දුවගෙන එන වෙලාවට බෝලෙ දාන්නයි, බැට් මෑන්ගෙ ඇඳුම ඇඳන් සෙල්ලං කරන වෙලාවට රොබින් වගේ එයත් එක්ක ඉගිල්ලිලා උඩින් යන්නයි, ප්ලේ ස්ටේෂන් එකේ එයත් එක්ක කාර් රේස් පදින්නයි පුළුවං මල්ලියෙක්ව. ඒ වගේම අක්කිට ඕන වෙලා තිබුනේ අම්මිගේ මේකප් සෙට් එක අරගෙන හොරෙන් මූණෙ උලාගන්න වෙලාවටයි, නියපොතු පාට කරගන්න වෙලාවටයි, පුංචි පුංචි පබළු අරන් මාල වළලු හදන වෙලාවටත්, සෙල්ලං ගෙවල් හදන වෙලාවටත් සපෝට් එකට ලඟින් තියාගන්න නංගියෙක්ව.

නංගි අම්මිගේ බඩට ඇවිත් මාස පහේදී විතර අක්කිවයි අයියවයි ඉස්පිරිතාලෙට එක්කගෙන ගියේ "අද ඩොක්ටර් ආන්ටි නංගියෙක්ද මල්ලියෙක්ද කියලා කියනවා..." කියලයි. ස්කෑන් කරලා ඩොක්ටර් ආන්ටි “You two are going to get a little sister....” කියලා කියපු වෙලාවෙදි අක්කි උඩ පැන පැන අත්පුඩු ගැහුවත්, පුංචි හිතේ පොදි බැඳගෙන හිටිය බලාපොරොත්තු ගොන්න සුන්වෙලා ගිහිල්ලා චූටි පුතාගෙ මූණෙ ඇති උන වෙනස්කම් දැකලා මගේ පපුව ඉරිතලලා ගියා. යන්තම් යටිතොල අනිත් කණපිටට පෙරලිලා එළියට පනින්න නොපනින්න ඇස් වල කඳුලු පුරෝගෙන පොඩි පුතා බිත්තියට හේත්තු වෙච්ච හැටි දැකලා මම අක්කිට කිව්වෙ අත්පුඩි ගහන එක නවත්තන්න කියලයි. මම පුංචි පුතාව වඩාගෙන හිත හැදුවේ "ඔයාටත් නංගිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නෙ. ඔයා එයාව ඔයාගෙ ඔක්කොම ගේම්ස් වලට ගන්න" කියලයි. අක්කණ්ඩිත් ඇවිල්ලා මල්ලිගෙ කරට අත දාල කිව්වෙ "නංගි බබා අපි දෙන්නගෙමනේ මල්ලි....!" කියලා. අයියණ්ඩිගේ පුංචි මූණෙ පුංචි හිනා රැල්ලක් මතු උනේ ඊට පස්සෙ.

මගේ පුංචි කිරිකැටි දුවේ, අප අතරට පැමිණි නුඹ හරිම වාසනාවන්තයි. දිනක උඹට අම්මා කෙනෙකු මෙන් සෙනෙහස බෙදීමට කරුණාබර හදවතකට හිමි අක්කියෙකුයි උඹව මලක් වගේ ආරක්ෂා කිරීමට දයාබර අයියණ්ඩියෙකුයි ඉන්නවා.

දුවණියක් පවුලකට එකතු වෙන එක කොයිතරම් එළියක්ද ඒ වගේම වාසනාවක්ද. පහු ගිය ලෝක කුසලාන අවසාන තරඟය නැරඹීමට අප සැම එකතු උනේ මම කවදත් මගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක් විදිහට සලකන අපේ හිතාදර ජෝජ් අයියාගේ නිවසට. එහිදී මදුවිතෙන් යම් තරමකට හිත විවරවී තිබූ මොහොතක ජෝර්ජ් අයියා ඔහුගේ දුව අමතා කිව්වේ "දුවේ, මේ ගෙදර මාව හරියට තේරුම් අරගෙන තියෙන්නෙ උඹ විතරයි.උඹ තමයි තාත්තාගේ දුව. මගේ හිතේ හැම හැඟීමක්ම උඹට තේරෙනවා. දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

ඔව්,

“දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

Related Posts with Thumbnails