මග ඇවුරූ සුදු ඇඳි කත

Posted by දුමී

මාගේ පියාගේ උපන් ගම වනුයේ මතුගම පාන්තිය නම් අති සුන්දර වූ ගම් පියසයි. කුඩා කලදී ලද සෑම නිවාඩුවක්ම ගත කිරීම සඳහා මමත් මාගේ සොයුරු සොයුරියනුත්, නැන්දාගේ පුතනුවන් දෙපලත් දිව එන්නේ මෙහිය. පසෙකින් දිවෙන වෙල් යායත්, අක්කර ගනනින් ඈතට විහිදෙන රබර් යායත්, කඳු හෙල් අතරින් ගලා යන දොල පාරවල් අතරත් නිබඳවම අපගේ බාල කාලය ගත විනි. ඒ අති සුන්දර වූ බාල කාලයේ මතකය පසුවට ලියා තැබීමට ඉටා ගනිමින් එහි කාලයකට ඉහතදී මුහුන පෑ අති භයංකර වූ අත් දැකීමක් මෙහි ලියා තැබීමට මුලින්ම අදහස් කරමි.

මගේ මතකයට අනුව එය 1991 වර්ෂයෙහි මුල විය යුතුයි. මාස කීපයකට පෙර එනම් දෙසැම්බරයේදී මුහුණ දුන් සාමාන්‍යය පෙළ විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටි මාද මට වඩා දින තුනකින් පමණක් බාල වූ මාගේ මස්සිනා වන නැන්දාගේ ලොකු පුතා වන ලකී මල්ලීද මේ කාලය ගත කරන ලද්දේ කුණාටුවකට හසුව ගසාගෙන යන කුඩාම කුඩා පුළුන් රොදක් වන් සැහැල්ලුවකිනි. නොබෝ දිනකින්ම අපගේ ගමනාන්තය වූයේ මතුගමය. මේ ගමන සඳහා ලකී මල්ලිගේ පාසලේ මිතුරන් කිහිප දෙනෙකුද සම්භන්ධ වූයෙන් ගමන වඩාත් රසවත් එකක් වූවේය. පාසලේ "වෝටර් පෝලෝ" කණ්ඩායමේ සාමාජිකයන් වන මාගේ මස්සිනාද ඔහුගේ මිතුරන් කිහිප දෙනාද වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම "දිය කාවුන්ය". අහල පහල දකින දකින දිය පහරවල්ද, කෙනෙකුගෙන් අසා දැනගත් මතුගම නගරය වටා පිහිටි නොයෙකුත් ඇළ දොළවල්ද සොය සොයා ගොස් ඒවාට පැන නා, පිහිනා දියකෙලියේ යෙදීමට එහි ගත කෙරූ දින කිහිපයේදී මාගේ මස්සිනාද මිතුරු කැලද මොනවට වග බලා ගත්හ. යන්තම් අත පය ගසා ජලයේ නොගිලී හිටීමට තරම් පමණක් හැකියාවක් තිබූ මා ඔවුන් සමග සෑම විටම එකතු නොවූයේ ඔවුන් සමග හරි හරියට ජලයේ ඔට්ටු වීමට තරම් මා දක්ෂයෙකු නොවීමයි. එවන් විටක මතුගම වෙසෙන චමින්ද අයියාත් තවත් කොල්ලො කුරුට්ටනුත් සමග කාඩ් ක්‍රීඩාවේ හෝ කැරම් ක්‍රීඩාවේ යෙදීමටත්, බාප්පාගේ මෝටර් සයිකලය පාළු අතුරු පාරවල් පුරා පැද යාමටත් මා වඩාත් රුචි වූයෙමි.

පසලොස්වක පොහොය දිනක් වූ එදින අපගේ උදය වරුව ගෙවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටය. ඒ අතර අප සමග ක්‍රීඩාවේ යෙදීමට පැමින සිටි මතුගම ප්‍රදේශයේම කොල්ලෙකුගෙන් ලකී මල්ලි සහ මිතුරු කැලට ලැබුනු ඔත්තුවක් වූයේ නිවසට හැතැක්ම කිහිපයක් දුරින් පිහිටා ඇතැයි කියවුනු දිය කෙලියේ යෙදීමට කියාපු දොල පාරක්ය. සැනෙකින් ක්‍රීඩාවද නවතා දමා එම දොල සොයා ගිය ලකී මල්ලීද මිතුරු කැලද මුහුණ දුන් ඒ ත්‍රාසජනක අත්දැකීම මම මෙසේ දිග හරිමි.

දිවා ආහාරය කටකට දෙකකට ගිල දැමූ ඔවුන් දිය පාර සොයා ගියේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගත වූ පසුවය. ප්‍රධාන මාවතෙන් හැරී ගොස් අතුරු පාරකින් ලඟා විය යුතු විශාලවූ රබර් වතු යායක් මැද පිහිටියාවූ එම දොල පහර පැවසූ පරිදිම ඉතා ප්‍රියජනක එකක් වීය. අහල පහලක මිනිස් පුළුටක් දකින්නට නොමැති නිස්කලංක සැන්දෑවේ ඔවුන් සිතු සිතූ ලෙස දිය ක්‍රීඩාවේ යෙදෙමින් මුළු සවස් කාලයම ගත කලහ. හතර වටින්ම රබර් ගස් වලින් වටවූ මේ දිය අගල අද්දරින් හිරු මුවා වී යෑම සඳහා වැඩි වේලාවක් නොයන්නේය. ටික වේලාවකින් දිය කෙලියේ වුවන්ට ඇසෙන්නට වූයේ තම කූඩු කරා වේගයෙන් ඉගිලී යන කෑරල්ලන්ගේ කඨෝර ශබ්ධයත් වරින් වර ඈතින් උඩු බුරුලන බල්ලෙකුගේ මූසල හඬත් පමණි.දනි පනි ගා ගොඩට විත් ලහි ලහියේ ගත වන් තෙත මාත්තු කර ඇඳුම් දවටා ගත් ඔවුන්ට පසක් වූයේ මේ වනවිටත් කෑලි කැපිය හැකි ලෙස අඳුරු වී තිබුනු මග ආපසු යෑමට උදව් දෙන කිසිම එලියක් ඔවුන් සතුව නොතිබූ බවය. යාන්තමටවත් මග සොයා ගත හැක්කේ රබර් තුරු මුදුන්වලට මුවා වී අතු පතරින් ගලා යන පසලොස්වක සඳ එළිය උදව්වෙනි.මිතුරන් පස් හය දෙනෙකුගෙන් සැදුම් ලද මිතුරු නඩය පය එසවූයේ අතුරු පාර හරහා ප්‍රධාන පාරට ඇති හැතැප්මක් පමණ වූ දුර ගෙවා දමන්නටය. පැවති දැඩි කළුවර නිසා තමන් ඉදිරියේ ගමන් කරන්නා පමනක් නොව අඩි ශබ්ධය පමණක් ඇසෙන්නාවූ තමන් පසු පසින් ඇත්තටම ඇදෙනුයේ තම මිතුරෙක්ද එසේ නොමැතිනම් වෙනත් කිසිවෙක් දැයි දැක ගැනීමටවත් පැවතියාවූ ඝන අඳුර නිසා පුළුවන්කමක් නොතිබිනි. සිත හරහා ඇදී යන්නාවූ සියුම් බිය ජනක ගුප්ත ගැඟීමද මිතුරන් වෙතින් දොඩමළු බවද අකා මකා දමා ඇත. මදකට කලින් ඉතා ඈතින් ඇසෙන්නට වූ බල්ලාගේ උඩු බිරුලෑමද දැන් දැන් ලඟ ලඟම ඇසෙනුයේ වඩාත් තිවූර හඬක් නගමිනි. ඉතා අපහසුවෙන් අතුරු මග දිගේ පැමිණි නඩයට සැනසුම් සුසුමක් හෙලුනේ මදක් ඔබ්බෙන් වූ ප්‍රධාන පාර දැකීමෙනි. පළලින් තරම්ක් විශාලවූ ප්‍රධාන මාවතද පැමිණි අතුරු පාරට වඩා වැඩි වෙනසක් නොවූයේ නගරයේ මෙන් වීදි පහන් මගින් මග දෙපස ආලෝකමත් වී නොතිබූ නියාවෙනි. එනමුත් සඳ එළිය හොඳින් පාර මතට වැටී දිලිසෙන නිසාද අතුරු පාර මෙන් මාවත උඩින් වසාගත් උඩු වියනක් නොතිබූ බැවිනුත් මිතුරු නඩය දැන් පය ඔසවන්නේනම් පෙරට වඩා පහසුවෙන්ය. එනමුත් සියළුදෙනා තුලින්ම දොඩමළු බව සැඟව ගොස් ඇත්තේ සියළු දෙනාම කතාවී කතා නොකර සිටීමට ගිවිස ගත්තා යැයි සිතෙන පරිද්දෙන්ය. සියල්ලන්ගේම සිත් නොපුරුදු ගුප්තමය සියුම් බියකින් වෙලා ගෙනය. එතරම්ම රෑ බෝ වී නොතිබේ යැයි සිතුනද කිසිවෙකු අතත් ඔරලෝසුවක් නොතිබුනේ දිය පාර සොයා යෑමේ හදිස්සියෙන් ගෙදරින් එළියට බැස්සද නෑමට අවශ්‍ය අඳුම් සහ පිස දා ගැනීම තුවා පමණක් මිස වෙන යමක් රැගෙන නොපැමිණි නිසාය.

ප්‍රධාන මගෙහි මද දුරක් පැමිනි මිතුරු කැල දුටුවේ පසෙකින් පිහිටි කුඩා තේ කඩයකි. චිමිනි ලාම්පු කිහිපකින් පමණක් එලිය ලබා තිබූ කඩයට මිතුරන් සියල්ල ගොඩ වූයේ සැනසුම් සුසුම් හෙලමින් වුවද තමන්ගේ හිත් ගැස්සී ඇතැයි අනෙකුන්ට නොපෙන්වීමටද සියලු දෙනාම වග බලා ගත්තහ. මෙතෙක් වේලා දිය කෙලියෙන් සහ ඇවිදවිත් හෙම්බත් වී උන් සියළුදෙනාම කඩය පුරා නෙත්හෙළුවේ දැනෙන්නාවූ සියුම් බඩ ගින්න නිවා ගැනීමට සුදුස්සක් ඇත්දැයි විපරම් කිරීමටය. පරන වීදුරු කබඩයක දමා තිබූ විස්කිරිඤ්ඤං කිහිපයක් පමණක් තිබුනෙන් සියළු දෙනාම එය බෙදාගෙන කෑවහ. මිනිත්තු කිහිපයක් කඩයේ රැඳෙමින් මුදලාලි විසින් සාදා දුන් කහට වීදුරු කිහිපයෙනුත් බඩ පුරවාගත් අප මිතුරු කැලට මුදලාලි පැවසුවේ "කොල්ලනේ ගොම්මන් වෙන්න කලියෙන් විජහට ගෙදර පලයල්ලා . . !" කියාය. එසේ පවසන විට ඔහුගේ මුහුනේ වූ බැරෑරුම් බව කුමක් නිසා හට ගත්තාදැයි ඔවුනට හැඟුනේ නැත.

විස්කිරිඤ්ඤයට සහ කහට වීදුරුවට පින්සිදු වෙන්නට ලැබුවාවූ ප්‍රබෝධවත් බව බව සමගින් මිතුරන් නැවත මාවතට පිවිස සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.දැන් දැන් නඩය පසු කරන්නේ පලාතේ වූ සුසාන භූමිය තිබෙන ප්‍රදේශයයි. එදින සවස ආදාහනය කරන ලද චිතකයක ගිණිදැල් බුර බුරා අහස් කුසට නැගෙනුයේ අවට පලාතේම අඳුර මකා දමමිනි. කනත්ත පසු කර සැතපුම් කාලක් පමණ ගමන් ගත් පසු එකෙකුට පසක් වූයේ තමන්ගේ ඇඳුම් බෑගය කඩයේ දමා පැමිණි බවය. ඔහු හට දෙස් දෙවොල් තබමින් සියළු දෙනාම නැවත හැරී කඩය තිබූ දෙසට පිය මනින්න වූහ. එසේ ආපසු යෑමට ලැබුනේ පියවර කිහිපයක් පමණි. පාරට වන් සඳ එළියෙන් දුටු දෙයින් සියළු දෙනාගේම රෝම කූප කෙලින් විනි. ඔවුන් ගමන් කරමින් උන් තැනට බඹ කිහිපයක් දුරින් පාර අද්දර වූ ලියැද්දෙන් එක් වරම පාරට පැන්නේ සුදු වතින් ගත වසාගත් කාන්තාවකි. කුදු වූ ශරීරයකින් හෙබි ඇයගේ මුව දැකීමෙන් සියළුදෙනාගේම කෙල සිඳී ගියේ එක් වරමය. ලේ පැහැයෙන් දිලිසෙන ඒ මුව දිස් වූයේ වැටෙනා සඳ එළියෙනි. ඇඳ සිටි සුදු පාට අඳුමේ තැනින් තැන රතු පැල්ලම්ද පැහැදිලිවම දැක ගැනීමට පිලිවන් විය. සැනෙකින් ආපසු හැරුනු ඔවුන් සියළුම විරිය ගෙන හැල්මේ දුවන්නට පටන් ගති. එසේ කොපමණ වෙලාවක් දිව්වාදැයි නොහැගුනු ඔවුන් දිවිම නැවත්තූවේ ඉතාම තදින් හති වැටී තව දුරටත් පය එසවීමට නොහැකි වූ විටදීය. තාර පාරේ තැනින් තැන ඉඳ ගත් සියළු දෙනා හති අරින්නට වූයේ එකිනෙකාගේ බියපත් මූනු දෙස බලමින්ය. දිව ආ පාර දෙසට නෙත් යොමු කරමින් ඔවුන් උන්නේ ලද්දාවූ දැඩි කම්පණය දරා ගනිමින්ය. තවමත් තමන් පසු කරගෙන ආ ඈත වංගුව වරින් වර එළිය කෙරෙන්නේ කනත්තේ ගිණි ගෙන දැවෙනා චිතකයෙනි. ඉන්පසු දකින්නට ලැබෙන දර්ශණය කිසි දින කිසිවෙක් හැබැහින් දකින්න නොලද දෙයකි. ඈත වංගුවෙන් පාවී ඉදිරියට ඇදී එන්නේ පාරට වන් සුදු ඇඳි ගැහැණියයි. පාරට වඩා අඩි කිහිපයක් උඩින්, යමෙකු ඇවිදිනවාට වඩා වේගයෙන් පාවෙමින් ඔවුන් වෙතට ඈ ඇදී එයි.

ඉතිරි වී තිබූ සියළුම ශක්තිය පා යුග වලට යෙදවූ මිතුරු කැල පසු පස නොබලාම ඉතිරි හැතැප්ම කිහිපයද ගෙවා දමා අප උන් නිවසට ලඟා වන විට කිසි වෙකුටත් කතා කිරීමට හැකියාවක් නොතිබුනි. චමින්ද අයියා සහ තවත් කොල්ලන් කිහිප දෙනෙකුත් සමග කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටි මට දැක ගැනීම හැකි වූයේ ඉස්තෝප්පුවේ තැනින් තැන වැටී හති අරින මිතුරු නඩයයි. සියළු දෙනාම බොහෝ බියවී සිටියහ. සැනකින් එතනට රොක් වූ ගෙදර සියළු දෙනා සිදු වූයේ කුමක්දැයි අසන්නට වීය. එනමුදු කිසිවෙකුත් වචනයක්වත් නොදෙඩුවේ සියළු දෙනාම දැඩිව බියපත් වී සහ හෙම්බත් වී සිටියාවෙනි.

මද වේලාවකට පසුව දකින්න ලැබෙනුයේ කළු පැහැති බයිසිකලයක් පැදගෙන වත්තට ආ දන්නා හඳුනන කොළු ගැටයකි. අප සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඇතැම් දිනක පැමිණෙන ඔහු මේ දර්ශණය දෙස බලා හිටියේ පුදුමයෙනි.

"අයියලා මොකද මේ බය වෙලා ?" කොල්ලා අසයි.

"අයියලා අපේ ආච්චිට බය වෙලා වගේ . . ." ඔහු පවසයි.

"ඔය ගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ අපේ ආච්චිනේ." ඔහු කියාගෙන යයි.

"උන්දැට ඔන්න හදීසියේ එළි බහින්න ඕනෙ කියලා පාර අයිනේ ලියැද්දට රිංගුවානේ, මම මේ උන්දැව පංසලේ සිල් පවාරණය කරලා ඉඳල බයිසිකලේ දාගෙන එක්කං එන ගමන්. . ."

"ඔය ගොල්ලො දුවනවා දැකලා මාත් ආච්චිව බයිසිකලේ දාගෙන ඉක්මනට පැදගෙන ආවා. ඒත් කොහෙද ඔයගොල්ලන්ව අල්ලගන්න බැරි උනා . . . මාර දිවිල්ලක්නෙ දිව්වෙ . . . පස්සෙ මම ආච්චිව ගෙදර බස්සලා මෙහෙ දුවගෙන ආවෙ මොකක් හරි අල කලංචියක් වෙලා කියලා දැනගෙන තමයි."

තවමත් අයා ගත් කටවල් වලින් යුතුව කිසිවක් නොදොඩා මිතුරු කැල ඔහු දෙස බලාගෙන සිටිති.

"ම . .මල්ලි අර ඇඳුම පුරාම රතු පාටට තිබුනේ මොනවද . . . " එකෙක් ගොත ගසමින් අසයි.

"අයියෝ අයියේ අපේ ආච්චි කොච්චරවත් කට පිරෙන්න බුලත් කෙල පුරෝගෙන ඉන්නවානෙ. උන්දෑ දන්නෙත් නෑ අඳුම පුරා බුලත් කෙල වැටෙනකං"

පාවී පාවී එනවා වගේ අඩ අඳුරේ හඳ එළියෙන් කට්ටිය දැකල තියෙන්නෙ ආච්චිව බයිසිකලේ පොල්ල උඩ තියාගෙන කොල්ලා බයිසිකලේ පැදගෙන එන එකයි.

19 comments :

  1. පාන්තිය කිව්වමත් බයයි,,, සුසාන භූමිය තියෙන්නෙත් එහෙ නිසා,

    ReplyDelete
  2. හොඳ වෙලාවට අර මල්ලියෙක් ආවේ. නැත්නම් ඉතිං හොල්මන් තමයි.
    දුමී, හොල්මන් කතා ඉදිරිපත් කිරීම නම් උපරිමයි.

    ReplyDelete
  3. හැබැයි ලස්සන සීන් එක. ලියල තියෙන විදිහට මැවිල පේනව.
    අයියත් යන්නනෙ තිබුනෙ ඔය ගමන. එහෙම ගියානම් මෙන්න හොල්මනා............ක් කියාගෙන ආච්චි කෙනෙක් පාර මැද වැටෙනව කට්ටියටම බලා ගන්න තිබුනනෙ..... කවුරුත් බය වෙන්නෙ නැහැ ඔයාලගෙ සෙට් එකේ.

    ඔන්න ඔය වගේම හිත ගැස්සෙන වැඩනම් මටත් වෙලා තියෙනව. හැබැයි එම චෙක් කොරනව මොකද මේ කියල. මෙහෙම්මම කොමන්ටුවකින්ම කියල දාන්න කියලත් හිතල පටන් ගත්ත. ඒත් දිග වැඩියි. වෙලාවක බ්ලොග් එකෙන්ම ලියන්නම්.
    ඉස්සරනම් මහ රෑ 12ට උනත් තට්ට තනියම ඕන දිහාවක යන්න තරම් හිත හයියයි. එහෙම ගිහිල්ලත් තියෙනව. (හොඳ සිහියෙන් හොඳේ )ගමේ යාලුවොත් එක්ක ඔට්ටු දාල එහෙම වැඩ කරලත් තියෙනව. ඒ කාලෙ මම බය සර්පයින්ට විතරයි.
    ඒත් දැන් ටික ටික ඒක වෙනස් වේගෙන එනවද මන්ද........

    ReplyDelete
  4. අනේ සීයේ තව හොල්මන් කතාවක් කියන්න කෝ....
    හික්..එල එල...........
    මැවිලා පේනවා දුමී අයියා කතාව

    ReplyDelete
  5. අඩේ මැවිලා පෙනෙවි හොල්මන් දුමි අයියගේ.....
    මරේ මරු සිරා පට්ට රොක්ස් විත් මැක්සා.....
    උදේ පාන්දරම ලේ ටික වතුර කරන් ඊට පස්සේ පිරිසිදු කොරගත්ත ඕන් දුමී අයියගේ පිහිටෙන්...

    ReplyDelete
  6. පට්ට කතාව දුමි අයියේ..........මැවිලා පේනවා හොල්මන එනහැටි....

    ReplyDelete
  7. ෆුල් හොල්මන් නෙ කියෙව්වහම. එළටම ලියලා තියෙන්නෙ. නියමයි.

    ReplyDelete
  8. නියමයි අයියේ... මටත් මැවිලා පෙනුනා... අයියාට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා..

    ReplyDelete
  9. කථාවනම් ශෝක්. හනේ......ඇත්තටම හොල්මන් කථාවක් නම් මුන් සෙට් එකට එකතුවෙලා වටකරගෙන නෙලන්ට තිබුනේ නැද්ද මහසෝනට හරි මොකාට උනත්...ඇයි දෙයියනේ හයදෙනෙක් හිටපු එකේ මොනා කරන්ට බැරිද...

    ReplyDelete
  10. අම්මො මට බැරියො.... මගේ ඇස් දෙකෙන් කදුලු එන්නත් වගේ..... මරුවට විස්තර කරලා අයියේ... ලස්සනයි... මමත් මුල ඉදන් ඇස් ලොකු කරන් කියෙව්වා..අග කියවද්දි ..... හරිනේ ඉතින්,,,, :)

    ReplyDelete
  11. සුදු වත හැදි කත ඔය මහ රාත්තිරියේ දැක්කම බය නොවී තියේයැ ඉතින්.

    ReplyDelete
  12. කතාවටත් වඩා ලස්සනම වැඩේ කියන්නෙ "නිම්ශා" ට කතාවෙ අග වෙනකොට වෙලා තියෙනෙ දේටනේ.....හොල්මන් කතා වලටත් එහෙම..........

    ReplyDelete
  13. හොල්මන් කියල දෙයක් මේ ලෝකේ නැහැ කියල මම මේ හොල්මනට ආහ් නැහැ නැහැ මේ දුමී අයියට කී සැරයක් නම් කියල තියෙද?

    අපිට වඩා තවත් හොල්මන් කොහෙද අයියා...

    හැබැයි එකක්.. ඔය පිරිමි තමයි වැඩියම හොල්මන් වලට බය.ආහ් නැද්ද මම අහන්නේ.

    ReplyDelete
  14. හොල්මන් කතා නැතුව ෆන් කතා ටිකක් කියන්න අයියා. පන යනකම් හිනා වෙන්න.

    ReplyDelete
  15. නියමයි දුමී. හොඳට ලියලා තියෙනවා.

    ReplyDelete
  16. උඹට යස අගේට හොල්මං කතා ලියන්න ඇහැකිනේ බං... හොල්මං කතාවක තිබිය යුතු බර සාර බව අප්‍රමාණෙට තියෙනවා... :)

    ReplyDelete
  17. නියමයි දුමි !!!! නියම කතාව !!!

    ReplyDelete

Related Posts with Thumbnails