මග ඇවුරූ සුදු ඇඳි කත

Posted by දුමී

මාගේ පියාගේ උපන් ගම වනුයේ මතුගම පාන්තිය නම් අති සුන්දර වූ ගම් පියසයි. කුඩා කලදී ලද සෑම නිවාඩුවක්ම ගත කිරීම සඳහා මමත් මාගේ සොයුරු සොයුරියනුත්, නැන්දාගේ පුතනුවන් දෙපලත් දිව එන්නේ මෙහිය. පසෙකින් දිවෙන වෙල් යායත්, අක්කර ගනනින් ඈතට විහිදෙන රබර් යායත්, කඳු හෙල් අතරින් ගලා යන දොල පාරවල් අතරත් නිබඳවම අපගේ බාල කාලය ගත විනි. ඒ අති සුන්දර වූ බාල කාලයේ මතකය පසුවට ලියා තැබීමට ඉටා ගනිමින් එහි කාලයකට ඉහතදී මුහුන පෑ අති භයංකර වූ අත් දැකීමක් මෙහි ලියා තැබීමට මුලින්ම අදහස් කරමි.

මගේ මතකයට අනුව එය 1991 වර්ෂයෙහි මුල විය යුතුයි. මාස කීපයකට පෙර එනම් දෙසැම්බරයේදී මුහුණ දුන් සාමාන්‍යය පෙළ විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටි මාද මට වඩා දින තුනකින් පමණක් බාල වූ මාගේ මස්සිනා වන නැන්දාගේ ලොකු පුතා වන ලකී මල්ලීද මේ කාලය ගත කරන ලද්දේ කුණාටුවකට හසුව ගසාගෙන යන කුඩාම කුඩා පුළුන් රොදක් වන් සැහැල්ලුවකිනි. නොබෝ දිනකින්ම අපගේ ගමනාන්තය වූයේ මතුගමය. මේ ගමන සඳහා ලකී මල්ලිගේ පාසලේ මිතුරන් කිහිප දෙනෙකුද සම්භන්ධ වූයෙන් ගමන වඩාත් රසවත් එකක් වූවේය. පාසලේ "වෝටර් පෝලෝ" කණ්ඩායමේ සාමාජිකයන් වන මාගේ මස්සිනාද ඔහුගේ මිතුරන් කිහිප දෙනාද වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම "දිය කාවුන්ය". අහල පහල දකින දකින දිය පහරවල්ද, කෙනෙකුගෙන් අසා දැනගත් මතුගම නගරය වටා පිහිටි නොයෙකුත් ඇළ දොළවල්ද සොය සොයා ගොස් ඒවාට පැන නා, පිහිනා දියකෙලියේ යෙදීමට එහි ගත කෙරූ දින කිහිපයේදී මාගේ මස්සිනාද මිතුරු කැලද මොනවට වග බලා ගත්හ. යන්තම් අත පය ගසා ජලයේ නොගිලී හිටීමට තරම් පමණක් හැකියාවක් තිබූ මා ඔවුන් සමග සෑම විටම එකතු නොවූයේ ඔවුන් සමග හරි හරියට ජලයේ ඔට්ටු වීමට තරම් මා දක්ෂයෙකු නොවීමයි. එවන් විටක මතුගම වෙසෙන චමින්ද අයියාත් තවත් කොල්ලො කුරුට්ටනුත් සමග කාඩ් ක්‍රීඩාවේ හෝ කැරම් ක්‍රීඩාවේ යෙදීමටත්, බාප්පාගේ මෝටර් සයිකලය පාළු අතුරු පාරවල් පුරා පැද යාමටත් මා වඩාත් රුචි වූයෙමි.

පසලොස්වක පොහොය දිනක් වූ එදින අපගේ උදය වරුව ගෙවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටය. ඒ අතර අප සමග ක්‍රීඩාවේ යෙදීමට පැමින සිටි මතුගම ප්‍රදේශයේම කොල්ලෙකුගෙන් ලකී මල්ලි සහ මිතුරු කැලට ලැබුනු ඔත්තුවක් වූයේ නිවසට හැතැක්ම කිහිපයක් දුරින් පිහිටා ඇතැයි කියවුනු දිය කෙලියේ යෙදීමට කියාපු දොල පාරක්ය. සැනෙකින් ක්‍රීඩාවද නවතා දමා එම දොල සොයා ගිය ලකී මල්ලීද මිතුරු කැලද මුහුණ දුන් ඒ ත්‍රාසජනක අත්දැකීම මම මෙසේ දිග හරිමි.

දිවා ආහාරය කටකට දෙකකට ගිල දැමූ ඔවුන් දිය පාර සොයා ගියේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගත වූ පසුවය. ප්‍රධාන මාවතෙන් හැරී ගොස් අතුරු පාරකින් ලඟා විය යුතු විශාලවූ රබර් වතු යායක් මැද පිහිටියාවූ එම දොල පහර පැවසූ පරිදිම ඉතා ප්‍රියජනක එකක් වීය. අහල පහලක මිනිස් පුළුටක් දකින්නට නොමැති නිස්කලංක සැන්දෑවේ ඔවුන් සිතු සිතූ ලෙස දිය ක්‍රීඩාවේ යෙදෙමින් මුළු සවස් කාලයම ගත කලහ. හතර වටින්ම රබර් ගස් වලින් වටවූ මේ දිය අගල අද්දරින් හිරු මුවා වී යෑම සඳහා වැඩි වේලාවක් නොයන්නේය. ටික වේලාවකින් දිය කෙලියේ වුවන්ට ඇසෙන්නට වූයේ තම කූඩු කරා වේගයෙන් ඉගිලී යන කෑරල්ලන්ගේ කඨෝර ශබ්ධයත් වරින් වර ඈතින් උඩු බුරුලන බල්ලෙකුගේ මූසල හඬත් පමණි.දනි පනි ගා ගොඩට විත් ලහි ලහියේ ගත වන් තෙත මාත්තු කර ඇඳුම් දවටා ගත් ඔවුන්ට පසක් වූයේ මේ වනවිටත් කෑලි කැපිය හැකි ලෙස අඳුරු වී තිබුනු මග ආපසු යෑමට උදව් දෙන කිසිම එලියක් ඔවුන් සතුව නොතිබූ බවය. යාන්තමටවත් මග සොයා ගත හැක්කේ රබර් තුරු මුදුන්වලට මුවා වී අතු පතරින් ගලා යන පසලොස්වක සඳ එළිය උදව්වෙනි.මිතුරන් පස් හය දෙනෙකුගෙන් සැදුම් ලද මිතුරු නඩය පය එසවූයේ අතුරු පාර හරහා ප්‍රධාන පාරට ඇති හැතැප්මක් පමණ වූ දුර ගෙවා දමන්නටය. පැවති දැඩි කළුවර නිසා තමන් ඉදිරියේ ගමන් කරන්නා පමනක් නොව අඩි ශබ්ධය පමණක් ඇසෙන්නාවූ තමන් පසු පසින් ඇත්තටම ඇදෙනුයේ තම මිතුරෙක්ද එසේ නොමැතිනම් වෙනත් කිසිවෙක් දැයි දැක ගැනීමටවත් පැවතියාවූ ඝන අඳුර නිසා පුළුවන්කමක් නොතිබිනි. සිත හරහා ඇදී යන්නාවූ සියුම් බිය ජනක ගුප්ත ගැඟීමද මිතුරන් වෙතින් දොඩමළු බවද අකා මකා දමා ඇත. මදකට කලින් ඉතා ඈතින් ඇසෙන්නට වූ බල්ලාගේ උඩු බිරුලෑමද දැන් දැන් ලඟ ලඟම ඇසෙනුයේ වඩාත් තිවූර හඬක් නගමිනි. ඉතා අපහසුවෙන් අතුරු මග දිගේ පැමිණි නඩයට සැනසුම් සුසුමක් හෙලුනේ මදක් ඔබ්බෙන් වූ ප්‍රධාන පාර දැකීමෙනි. පළලින් තරම්ක් විශාලවූ ප්‍රධාන මාවතද පැමිණි අතුරු පාරට වඩා වැඩි වෙනසක් නොවූයේ නගරයේ මෙන් වීදි පහන් මගින් මග දෙපස ආලෝකමත් වී නොතිබූ නියාවෙනි. එනමුත් සඳ එළිය හොඳින් පාර මතට වැටී දිලිසෙන නිසාද අතුරු පාර මෙන් මාවත උඩින් වසාගත් උඩු වියනක් නොතිබූ බැවිනුත් මිතුරු නඩය දැන් පය ඔසවන්නේනම් පෙරට වඩා පහසුවෙන්ය. එනමුත් සියළුදෙනා තුලින්ම දොඩමළු බව සැඟව ගොස් ඇත්තේ සියළු දෙනාම කතාවී කතා නොකර සිටීමට ගිවිස ගත්තා යැයි සිතෙන පරිද්දෙන්ය. සියල්ලන්ගේම සිත් නොපුරුදු ගුප්තමය සියුම් බියකින් වෙලා ගෙනය. එතරම්ම රෑ බෝ වී නොතිබේ යැයි සිතුනද කිසිවෙකු අතත් ඔරලෝසුවක් නොතිබුනේ දිය පාර සොයා යෑමේ හදිස්සියෙන් ගෙදරින් එළියට බැස්සද නෑමට අවශ්‍ය අඳුම් සහ පිස දා ගැනීම තුවා පමණක් මිස වෙන යමක් රැගෙන නොපැමිණි නිසාය.

ප්‍රධාන මගෙහි මද දුරක් පැමිනි මිතුරු කැල දුටුවේ පසෙකින් පිහිටි කුඩා තේ කඩයකි. චිමිනි ලාම්පු කිහිපකින් පමණක් එලිය ලබා තිබූ කඩයට මිතුරන් සියල්ල ගොඩ වූයේ සැනසුම් සුසුම් හෙලමින් වුවද තමන්ගේ හිත් ගැස්සී ඇතැයි අනෙකුන්ට නොපෙන්වීමටද සියලු දෙනාම වග බලා ගත්තහ. මෙතෙක් වේලා දිය කෙලියෙන් සහ ඇවිදවිත් හෙම්බත් වී උන් සියළුදෙනාම කඩය පුරා නෙත්හෙළුවේ දැනෙන්නාවූ සියුම් බඩ ගින්න නිවා ගැනීමට සුදුස්සක් ඇත්දැයි විපරම් කිරීමටය. පරන වීදුරු කබඩයක දමා තිබූ විස්කිරිඤ්ඤං කිහිපයක් පමණක් තිබුනෙන් සියළු දෙනාම එය බෙදාගෙන කෑවහ. මිනිත්තු කිහිපයක් කඩයේ රැඳෙමින් මුදලාලි විසින් සාදා දුන් කහට වීදුරු කිහිපයෙනුත් බඩ පුරවාගත් අප මිතුරු කැලට මුදලාලි පැවසුවේ "කොල්ලනේ ගොම්මන් වෙන්න කලියෙන් විජහට ගෙදර පලයල්ලා . . !" කියාය. එසේ පවසන විට ඔහුගේ මුහුනේ වූ බැරෑරුම් බව කුමක් නිසා හට ගත්තාදැයි ඔවුනට හැඟුනේ නැත.

විස්කිරිඤ්ඤයට සහ කහට වීදුරුවට පින්සිදු වෙන්නට ලැබුවාවූ ප්‍රබෝධවත් බව බව සමගින් මිතුරන් නැවත මාවතට පිවිස සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.දැන් දැන් නඩය පසු කරන්නේ පලාතේ වූ සුසාන භූමිය තිබෙන ප්‍රදේශයයි. එදින සවස ආදාහනය කරන ලද චිතකයක ගිණිදැල් බුර බුරා අහස් කුසට නැගෙනුයේ අවට පලාතේම අඳුර මකා දමමිනි. කනත්ත පසු කර සැතපුම් කාලක් පමණ ගමන් ගත් පසු එකෙකුට පසක් වූයේ තමන්ගේ ඇඳුම් බෑගය කඩයේ දමා පැමිණි බවය. ඔහු හට දෙස් දෙවොල් තබමින් සියළු දෙනාම නැවත හැරී කඩය තිබූ දෙසට පිය මනින්න වූහ. එසේ ආපසු යෑමට ලැබුනේ පියවර කිහිපයක් පමණි. පාරට වන් සඳ එළියෙන් දුටු දෙයින් සියළු දෙනාගේම රෝම කූප කෙලින් විනි. ඔවුන් ගමන් කරමින් උන් තැනට බඹ කිහිපයක් දුරින් පාර අද්දර වූ ලියැද්දෙන් එක් වරම පාරට පැන්නේ සුදු වතින් ගත වසාගත් කාන්තාවකි. කුදු වූ ශරීරයකින් හෙබි ඇයගේ මුව දැකීමෙන් සියළුදෙනාගේම කෙල සිඳී ගියේ එක් වරමය. ලේ පැහැයෙන් දිලිසෙන ඒ මුව දිස් වූයේ වැටෙනා සඳ එළියෙනි. ඇඳ සිටි සුදු පාට අඳුමේ තැනින් තැන රතු පැල්ලම්ද පැහැදිලිවම දැක ගැනීමට පිලිවන් විය. සැනෙකින් ආපසු හැරුනු ඔවුන් සියළුම විරිය ගෙන හැල්මේ දුවන්නට පටන් ගති. එසේ කොපමණ වෙලාවක් දිව්වාදැයි නොහැගුනු ඔවුන් දිවිම නැවත්තූවේ ඉතාම තදින් හති වැටී තව දුරටත් පය එසවීමට නොහැකි වූ විටදීය. තාර පාරේ තැනින් තැන ඉඳ ගත් සියළු දෙනා හති අරින්නට වූයේ එකිනෙකාගේ බියපත් මූනු දෙස බලමින්ය. දිව ආ පාර දෙසට නෙත් යොමු කරමින් ඔවුන් උන්නේ ලද්දාවූ දැඩි කම්පණය දරා ගනිමින්ය. තවමත් තමන් පසු කරගෙන ආ ඈත වංගුව වරින් වර එළිය කෙරෙන්නේ කනත්තේ ගිණි ගෙන දැවෙනා චිතකයෙනි. ඉන්පසු දකින්නට ලැබෙන දර්ශණය කිසි දින කිසිවෙක් හැබැහින් දකින්න නොලද දෙයකි. ඈත වංගුවෙන් පාවී ඉදිරියට ඇදී එන්නේ පාරට වන් සුදු ඇඳි ගැහැණියයි. පාරට වඩා අඩි කිහිපයක් උඩින්, යමෙකු ඇවිදිනවාට වඩා වේගයෙන් පාවෙමින් ඔවුන් වෙතට ඈ ඇදී එයි.

ඉතිරි වී තිබූ සියළුම ශක්තිය පා යුග වලට යෙදවූ මිතුරු කැල පසු පස නොබලාම ඉතිරි හැතැප්ම කිහිපයද ගෙවා දමා අප උන් නිවසට ලඟා වන විට කිසි වෙකුටත් කතා කිරීමට හැකියාවක් නොතිබුනි. චමින්ද අයියා සහ තවත් කොල්ලන් කිහිප දෙනෙකුත් සමග කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටි මට දැක ගැනීම හැකි වූයේ ඉස්තෝප්පුවේ තැනින් තැන වැටී හති අරින මිතුරු නඩයයි. සියළු දෙනාම බොහෝ බියවී සිටියහ. සැනකින් එතනට රොක් වූ ගෙදර සියළු දෙනා සිදු වූයේ කුමක්දැයි අසන්නට වීය. එනමුදු කිසිවෙකුත් වචනයක්වත් නොදෙඩුවේ සියළු දෙනාම දැඩිව බියපත් වී සහ හෙම්බත් වී සිටියාවෙනි.

මද වේලාවකට පසුව දකින්න ලැබෙනුයේ කළු පැහැති බයිසිකලයක් පැදගෙන වත්තට ආ දන්නා හඳුනන කොළු ගැටයකි. අප සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඇතැම් දිනක පැමිණෙන ඔහු මේ දර්ශණය දෙස බලා හිටියේ පුදුමයෙනි.

"අයියලා මොකද මේ බය වෙලා ?" කොල්ලා අසයි.

"අයියලා අපේ ආච්චිට බය වෙලා වගේ . . ." ඔහු පවසයි.

"ඔය ගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ අපේ ආච්චිනේ." ඔහු කියාගෙන යයි.

"උන්දැට ඔන්න හදීසියේ එළි බහින්න ඕනෙ කියලා පාර අයිනේ ලියැද්දට රිංගුවානේ, මම මේ උන්දැව පංසලේ සිල් පවාරණය කරලා ඉඳල බයිසිකලේ දාගෙන එක්කං එන ගමන්. . ."

"ඔය ගොල්ලො දුවනවා දැකලා මාත් ආච්චිව බයිසිකලේ දාගෙන ඉක්මනට පැදගෙන ආවා. ඒත් කොහෙද ඔයගොල්ලන්ව අල්ලගන්න බැරි උනා . . . මාර දිවිල්ලක්නෙ දිව්වෙ . . . පස්සෙ මම ආච්චිව ගෙදර බස්සලා මෙහෙ දුවගෙන ආවෙ මොකක් හරි අල කලංචියක් වෙලා කියලා දැනගෙන තමයි."

තවමත් අයා ගත් කටවල් වලින් යුතුව කිසිවක් නොදොඩා මිතුරු කැල ඔහු දෙස බලාගෙන සිටිති.

"ම . .මල්ලි අර ඇඳුම පුරාම රතු පාටට තිබුනේ මොනවද . . . " එකෙක් ගොත ගසමින් අසයි.

"අයියෝ අයියේ අපේ ආච්චි කොච්චරවත් කට පිරෙන්න බුලත් කෙල පුරෝගෙන ඉන්නවානෙ. උන්දෑ දන්නෙත් නෑ අඳුම පුරා බුලත් කෙල වැටෙනකං"

පාවී පාවී එනවා වගේ අඩ අඳුරේ හඳ එළියෙන් කට්ටිය දැකල තියෙන්නෙ ආච්චිව බයිසිකලේ පොල්ල උඩ තියාගෙන කොල්ලා බයිසිකලේ පැදගෙන එන එකයි.

පවුල් ජීවිතේ

Posted by දුමී


මම ඉතින් හැමදාම වැඩට යනකොට ඔය රේඩියෝ එක එහෙම අහගෙන කරගෙන තමයි යන්නෙ. ගොඩක්ම මොකද කොහේ හරි ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා පාරවල් එහෙම බ්ලොක් වෙලාද කියලා දැන ගන්න. එහෙම උනෝතින් වෙන පාරකින් හරි ඒ බ්ලොක් එක මග ඇරලා හරි යන්න පුළුවං නිසා. මම ඉන්න ෂාජා ගෙදර ඉඳන් ඔෆිස් එකට කිලෝ මීටර් 65ක් විතර තියෙනවා. ඉතින් ඔය දුර යන්න උදේට පැයකුයි හවසට පැයකුයි පැය දෙකක්ම පාරටම පූජ කරනවා. ඔය යනින් ගමන කොහේ හරි ඇක්සිඩෙන්ට් එකක් එහෙම වෙලා තිබුනොත් ඉතින් පැය දෙක තුනකට මෙහායින් නවතින්නෙ නැහැ. ඔන්න එක දවසකුත් මගෙම කරුමෙට ඇක්සිඩන්ට් එකක් හින්දා පාරෙ වරු ගානක් හිර උනා. ඔන්න ඉතින් එදා රේඩියෝ එකේ මරු ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔන්න රේඩියො එනවුන්සර් කියනවා වයිෆ්ලට, තමන්ගෙ ස්වාමි පුරුෂයට හරියට කරන්න බැරි වැඩ මොනවද කියලා එස්.එම්.එස් එවන්න කියලා. මෙන්න බොලේ වක්කඩ කැඩුවා වගේ එස්.එම්.එස් සිය ගානක් එනවා කියලා දැන් රේඩියෝ ප්‍රසෙන්ටර් කියනවා. ඔන්න ඉතින් එක වයිෆ් කෙනෙක්ව ටෙලි ෆෝන් එකෙන් සම්භන්ධ කර ගත්තා. මෙයා ඉතින් කියනවා ඔන්න එයාගේ මහත්තයට කරන්න බැරි දේ. එයා කියන විදිහට කොච්චර කරත් එයාගේ මහත්තයට කිලිටි රෙදි ටික ලොන්ඩරි බාස්කට් එකට දාන්න බැහැයිලු. ඉතින් මෙයා ටිකක් ලොකු බාස්කට් එකක් ගෙනාවලු. ඒත් හැමදාම රෙදි ටික බිමලු. අනේ මන්දන්නෙ නැහැ ඒ මනුස්සයට රෙදි ටික බාස්කට් එකට් දාන එක විතරමද බැරි කියලා.

ටික වෙලාවකට පස්සෙ තව නෝන කෙනෙක් දුරකථනයෙන් සම්භන්ධ උනා. මෙන්න බොලේ මෙයා කියනවා එයාගේ හස්බන්ඩ්ට ඩිෂ් වොශර් එකට පිඟන් ටික හරියට අඩුක් කරන්න දන්නෙ නැහැල්ලු. මට ඉතින් හරියට දුක හිතුනා ඒ අසරණ මනුස්සය ගැන. ඔන්න බලන්න ගෑනිගෙ තියෙන කෙලෙහි ගුනේ. පිඟන් අතින් හෝදන්න දෙන්නෙ නැතිව තමන්ගෙ බිරිඳට ඩිෂ් වොශර් එකකුත් අරන් දීපු මනස්සයාව මුළු රටටම ඇහෙන්න නෝන්ඩි කරනවා මේ බිරින්ඳන්නාන්සෙ. ඩිෂ් වොශර් එක අරන් දුන්නා මදිවට තව හස්බන්ඩ්ම පිඟන් ටිකත් අඩුක් කරන්නත් ඕනෙ. ඉතින් එදා මම හිතා ගත්තා මට කවුරු හරි නිකන් දුන්නත් අපේ ගෙදරට නම් ඩිෂ් වොශර් එකක් අර ගන්නෙ නැහැ කියලා. එහෙම හිතෙන්න තව හේතුවක් තියෙනවා. ඒ මේ මමත් ගෙදර තියෙන වොෂින් මැෂින් එක ඔපරේට් කරන්න නම් දන්නෙ නැහැ. හැම අවුරුද්දකම ගම හාමිනේ සහ පොඩි එවුන් දෙන්නා සමර් නිවාඩුවට ලංකාවට ගියහම මම ඉතින් රෙදි ටික ලඟ තියෙන ලොන්ඩරි එකට දෙනවා මිසක් ඔය බැරි වැඩ කරන්න යන්නෙ නැහැ.ඉතින් එදා බැරි වෙලා හරි අපේ ගම හාමිනේ ඔය ප්‍රෝග්‍රෑම් එක ඇහැව්වනම් ශුවර් ඇන්ඩ් ෂොට් ඕකට කෝල් කරල ඕක කියනවම තමයි.

මේක මේ මම සෑහෙන කාලයක ඉඳන් ඇනලයිස් කරපු දෙයක්. ඔය හැමදේම මැව්වැයි කියන මහ බඹාද, මහ බබාද ඉන්නවනෙ. ඌ පිරිමින්ව මවන්න නම් එක එක වෛවාරණ්‍ය අච්චු පාවිච්චි කරාට කම්මැලි කමටද කොහෙද ගැණුන්ව මවන්න නම් පාවිච්චි කරලා තියෙන්නෙ එකම එක අච්චුවයි. ඔක්කොම ගෑණු ටික එකම අච්චුවට දාල හදලා ඉවර වෙලා පිට පොත්ත විතරක් වෙන වෙන පාට පවිච්චි කරලා ෆිනිෂින් පාරක් දාලා. මොකද මම දන්න හැම යාළුවෙක්ටම වගේ තියෙන්නෙත් මේ මට තියෙන කරදර ටිකම තමයි ගෙදර බිරින්ඳන්නාන්සේගෙන්. අපි හැමෝගෙම ප්‍රශ්න බලාගෙන යනකොට හරිම සමානයි. මොකද අච්චුව එකයි, එන්ජින් එක සේම් මොඩල්.

ඔන්න මුළු දවසම මහන්සි වෙලා ට්‍රැෆික් එකේ චාටර් වෙලා අහල පහලින් යන කාර් කාරයන් එක්කත් මල පන්නගෙන ගෙදරට ඇවිල්ල පොඩ්ඩක් පුටුවක්ට බර වෙලා ටී.වී එක දිහා හරි කම්පියුටරේ ඉස්සරහට ඇවිල්ල බ්ලොග් එකක්, පත්තරයක් හරි කියවන්න ගත්තහම හරි ඔන්න ඉතින් මූන කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන බ්‍රහ්ම දණ්ඩණය පනවනවා. ඉතින් මේ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ අපි එදා මුළු දවස ගත කරේ කොහොමද කියලා කතන්දරයක් වගේ කියනකන්නෙ. ඒ වගේම ඒ ගොල්ලො දත් මැදපු වෙලාවෙ ඉඳන් රෑවෙනකං වෙච්ච දේවල් අකුරක් නෑර අපිට කියනකං අපි අහගෙන ඉන්නත් ඕනෙ. ඔය අතරේ අල්ලපු ගෙදර ඉන්න ඉන්ඩියන් ලේඩි ගෙන් පීනට් චට්නි හදන හැටි ෆෝන් එකෙන් අහගත්ත රෙසිපි එකයි, තව යාළුවෙක් ගෙදරට අළුතෙන් දාපු කර්ටන් වල දිග පලල සහ ඒකට රේන්ද අල්ලලද නැතිද වගේ විස්තරත් අපිට කියන්න ඒ ගොල්ලො සෙට් කරන් තමයි ඉන්නෙ. ඉතින් පිරිමි අපිට ඔය අහන ප්‍රශ්නයකට දෙකකට ශෝට් ඇන්ඩ් ස්වීට් උත්තරයක් දීල තියෙන දෙයක් බඩට දාගෙන ඇඳට පනින්නනේ ඕනෙ. එතනදී තමයි ඔන්න යුද්දේ පටන් ගන්නෙ.

"ඔයා දැන් මට ඉස්සර වගේ ආදරේ නැහැ ......." ,

"ඔයාට ඔෆිස් එකේ කවුරු හරි ඇති, ඒකනෙ මාත් එක්ක දැන් හරියට කතා කරන්නෙවත් නැත්තෙ . . . ."

ඔන්න තවත් දෙයක් තමයි ඔය ඔෆිස් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි වෙන එකකට හරි අම්බානෙකට හිර වෙලා ඉන්න වෙලාවට කෝල් එකක් දීල, "අනේ මොනව හරි කියන්නකෝ අනේ, මට හරි කම්මැලියි . . . " කියලා කියන එක. ඒ කතා කරන්නෙත් එයාට ඉන්න යළුවො විසි තිස් දෙනත් එක්කම පැය දෙක තුන ලිඳ ලඟ සංගමය දාගෙන ඉඳල ෆෝන් එකෙන් කේක්, පැටිස්, අතිරස අළුව හදලා වෙන කතා කරන්න එක්කෙනෙක් නැති උනහම.

මේ කතාව කිව්වෙ අපේ අසෝක අයියා. අපි ඔය පසුගිය මැයි මාසෙ දිහාවෙ අබාධිත රණවිරුවන්ට සනීපාරක්ෂක පහසුකම් ඉදිකරලා දෙන්න කියලා සංගීත ප්‍රසංගයක් කලා අබු ඩාබියේ. ඒකෙදි හොඳ රස කතා දන්න අසෝක අයියගෙන් කට්ටිය ඉල්ලා හිටියා එහෙම කතාවක් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවෙ අසෝක අයියා කියපු කතාව තමයි ඔන්න මම දැන් කියන්න යන්නෙ.

මේක මේ කැලෑ කතාවක්. කවුරුත් දන්නවානේ කැලේ රජා කවුද කියලා. ඉතින් ඔය කැලේ රජාගේ දූ කුමරිය සිංහ කුමාරිව අල්ලපු කැලේ සිංහ කුමාරයෙක්ට බන්දල දෙන්න උත්සවයක් තිබිලා. ඉතින් ඔය උත්සවය ගජ රාමෙටම නැගල යනවලු. ඉතින් කැලේ ඉන්න අලි, කොටි වලස්සු, අනෙකුත් සිංහයෝ, ව්‍යාග්‍රයො වගේ ඔක්කොම ලොකු ලොකු සත්තුන්ට තමයි මේ උත්සවයට ආරධනා කරලා තියෙන්නෙ.

කොහොමෙන් කොහොම හරි පාටිය නැගල යනකොට මෙන්න බොලේ කොහෙන්ද ආපු මීයෙක් වලිගෙත් උස්සගෙන එහෙ මෙහෙ දුවනවලු. එක තැනක ඉන්නෙත් නැහැල්ලු, එහාට යනවලු, මෙහාට යනවලු. මේක දැකපු කොටි නාම්බෙක් මීයව අල්ල ගත්තලු. අල්ලගෙන ඌට කිව්වලු,

"ඈ බං බොල මීයෝ, බොලා කොහොමද මේ සිංහයගේ පාටියට ආවෙ. මේකට ආරධනා කරල තියෙන්න අපි වගේ ලොකු ලොකු අලි කොටි වලස්සු, සිංහයෝ වගේ සත්තුන්ට විතරයිනෙ" කියලා.

ඔන්න ඒ පාර මීයා කියනවලු,

"මචං කොටියෝ, මමත් ඉස්සර සිංහයෙක් තමයි, කසාද බැන්ඳට පස්සෙ තමයි බං මමත් මීයෙක් උනේ" කියලා.

හෝව් හෝව් ඔන්න බොලේ ගම හාමිනේ එනවා. මම ලිව්ව ඇති දැනට. නැතිනම් මටත් ඔන්න මීයෙක් වෙන්න තමයි වෙන්නෙ.

අපේ ඩොකා

Posted by දුමී

මගේ ජීවිතයේ ඉතාමත්ම සුන්දරම කාලය විදිහට මම සලකන්නෙ මම NIBM එකේ ගත කරපු කාලයයි. අවුරුදු එකහමාරක් වූ පරිඝණක පද්ධති සැලසුම් කිරීම සම්භන්ධ ඩිප්ලෝමා කෝස් එක සිංහලෙන් කිව්වොත් "Diploma in Computer System Design", ඉවර කරලා ඊට පස්සෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකට ජොයින් වෙලා තව අවුරුදු එකහමාරක් විතර වැඩ කලා. ජීවිතේටම හරිම අපූරු අත්දැකීම් ගොඩක් එක්කාසු කරගන්න ලැබිච්ච කාලයක් තමා ඒක. පාසල් කාලය ඉවර කරලා වැඩිහිටියෙක් විදිහට සමාජයට පය තබන්න ලබපු පෙර හුරුව තමා අපි NIBM එක තුල ලැබුවේ. ඒකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට තමා ඉස්සෙල්ලාම රැකියාවක් වශයෙන් පඩියක් හම්බ උනේ. 1997 අග භාගයේ ඒ හම්බ වෙච්ච පඩිය රුපියල් 2250. පඩිය ගත්ත ගමන් ඉස්සෙල්ලම කලේ අම්මාට අළුත් ඇඳුමක් අරගත්ත එක. ඒ කාලේ මම ගම හාමිනේ සමග මල් කඩන අවධිය. මට මතක හැටියට එයත් එක්ක ගිහිල්ල තමයි නුගේගොඩින් අපේ අම්මාට ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අරගත්තෙ. ඒත් මට මතක නැහැ මම මොනවද ගම හාමිනේට අරගෙන දුන්නෙ කියලා. ඕං බලන්න ගම හාමිනේටත් මතක නැහැනෙ ඒක. ඊට පස්සෙ මතකයි මම නංගිලා මල්ලිලාට චයිනීස් ෆ්‍රයිඩ් රයිස් අරගෙන ගියා කියලා. කොහොමෙන් කොහොම හරි දවස් දෙකකින් විතර අර පඩිය කුඩේ කුඩු. ඊට පස්සෙ මට තිබුනු මෝටර් බයිසිකල් කබලට පැට්‍රල් ගහන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලන් තමයි ගියේ.

අපිට NIBM එකේදි ගුරු හරු කම් දීපු ගුරුවරු වුනේ ඩොක්ටර් ජයසිරි, කල්‍යාණි මැඩම්, අකාලයේ අප අතරින් වියෝවූ දයාබර බස්නායක මැඩම්, කොලඹගේ සර්, ශ්‍යාමා මැඩම් යන දයාබර ගුරුවරුන්. මේ අතරින් ඉතාමත්ම සොඳුරු ඇදුරු තුමා වුනේ ඩොක්ටර් ජයසිරි මහතායි. NIBM එකේ පරිඝණක අංශයේ අධ්‍යක්ෂක වී සිටියේ ඔහු. රසවත් සාගරයක් වුනු ඩොක්ටර්ගේ ලෙක්චර් එකක් කවුරු හරි මිස් කලේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. NIBM එකේ එදා මෙදා සිටි ශිෂ්‍යයන් ඔහුට පට බැඳ තිබූ ආදරණීය නම වුනේ "ඩොකා" යි. ශරීරයෙන් ඉතාමත් කුඩා මිනිසෙකු වූ එතුමා ඔහුටම ආවේනික වූ මනා පෞරෂයකින් හෙබි සෑම කෙනුගේම ගෞරවාදරයට පත් වූ අයෙක්. එතුමා හා බැඳුනු රසවත් කතා ගොඩක් NIBM එකේ ‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ආවා. මගේ මතකයේ තිබෙන මම අහලා තියෙන කතා කීපයක් තමයි මම අද කියන්න යන්නෙ.

ඉතින් අපේ ඩොකා ලෙක්චර් එකක් දෙන වෙලාවට ඉංග්‍රීසි, සිංහල දෙමළ හැම භාෂාවකින්ම කතා කරනවා. හිටපු ගමන් මුකුත් කියන්නෙ නැතිව අංග චලනය වගේම මුහුනේ විවිද ඉරියව් පාවිච්චි කරලත් උගන්නනවා. මට මතකයි අපිට පලවෙනි දවස් දෙකේ "Introduction to computers" ඉගැන්නුවේ ඩොකා. මදර් මෝඩ් එකක් පෙන්නල අහුව්වාම මේක මොකක්ද කියල ඉතින් ඔය ඉදිරි පේලියේ ඉන්න එකෙක් කිව්ව "සර්, මදර් බෝඩ් එකක් කියලා". ඩොකා නක්කලේට හිනාවක් දාල කියනවා, "කෙහෙම්මල, පෙරියර් බෝඩ්" කියල. ඊට පස්සෙ ඩෝටර් බෝඩ් එකක් පෙන්නල කියනවා "සින්න බෝඩ්" කියල. ඉතින් එදායින් පස්සෙ අපිත් මදර්බෝඩ් වලට කියන්නෙ “පෙරියර් බෝඩ්” සහ ඩෝටර් බෝඩ් වලට “සින්න බෝඩ්” කියලා.

ඉස්සර NIBM එකේ කැන්ටිම තිබුනේ පලවෙනි තට්ටුවේ. මේ ලඟකදි ගිය වෙලාවක තමයි දැක්කෙ දැන්නම් හොඳටම වෙනස් කරලා කැන්ටිම හදල තියෙන්නෙ කලින් ඔඩිටෝරියම් එක තිබුන තැන. අපිට කලින් සීනියර් බැච් එක පටන් ගත්ත කාලේ, ඔන්න පලවෙනි දවසෙ බ්‍රේක් එකේදි පොරක් කැන්ටිමට ගිහිල්ලා පුටුවක ඉඳ ගන්නකොට තව එකෙක් පුටුව උඩින් සෝස් පිඟානක් තියලා. දැන් මුගේ පස්ස පැත්තට වෙඩි තියලා වගේ. ඉතින් පොර ඉක්කමනටම වොෂ් රූම් එකට ගිහිල්ල දැන් මේක දමාගෙන හෝදනවා. ඔය වොෂ් රූම් එකේ අර ‘නම්බර් වන්’ වැඩේ කරන්න හදල තියෙන ඒව පේලිය තිබුනේ පොලොව මට්ටමෙන් උඩ පොඩි කණ්ඩියක් උඩට නගින්න පුළුවන් විදිහට. ඊට විරුද්ධ පැත්තේ තමා සින්ක් එකක් හයි කරලා තිබුනේ කණ්නාඩියක් එක්ක. දැන් ඉතින් මූ අර කණ්ඩියට නැගගෙන සෝස් පිඟාන තියපු එකාගේ මවු පාර්ශවයට හොඳට පිං අනුමෝදං කර කර ලේන්සුවක් පොඟවලා පස්ස පැත්ත පිහිදනවා. අනිත් පැත්ත හැරිලා කණ්නාඩියෙන් පස්ස බල බලා සෝස් අයින් කරනකොට ඒ වෙලාවෙ එතන නම්බර් වන් වැඩේ කර කර හිටිය පොරකගේ උරහිසිට අත තියාගෙන වාරු වෙලා තමයි මූ දැන් මේක කරන්නෙ. ලෝකේ තියෙන ඔක්කොම කුණුහරුප ටික කිය කියා මූ දැන් සෝස් පිහිදාන ගමන් අර වැඩේ ඉවර වෙච්ච එකාට ලේන්සුව දීල කියනවා මචං පොඩ්ඩක් මගේ කලිසම පිහිදපං කියලා. ඉතින් අර පොරත් මුගෙන් ලේන්සුව අරගෙන මුගේ පස්ස ක්ලීන් කරනවා. ටික වෙලාවකට පස්සෙ තමයි මූ දැක්කෙ කණ්නාඩියෙන්, බොලේ මුගේ පස්ස ක්ලීන් කරන්නෙ ඩොකා කියලා. මූ එක පාරටම "අනේ සොරි සර්" කියල ලේන්සුව ඉල්ලගෙන. ඩොකත් ඉතින් නක්කල් හිනාවක් එහෙම දාල ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ ලෙක්චර් එකට ආපු ගමන් ඩොකා මුළු ඔඩිටෝරියම් එකම එහා කොනේ ඉඳන් මෙහා කොනට සර්ච් පාරක් දානවලු. ඊට පස්සෙ මූව දැක්ක ගමන් . . . "ආහ් . . . හරි මේ ඉන්නෙ" කියල ඌව මාක් කරල තමයි ලෙක්චර් එක පටන් ගන්නෙ. එදා ඉඳන් ඩිප් එක ඉවර වෙනකන් හැමදාම ඩොකා ලෙක්චර් එකකට ආපු ගමන්ම හොයන්නෙ මූවලු. ඉතින් අනිත් එවුනුත් ඩොකා ආපු ගමන් මූ ඉන්න තැන පෙන්නන්න පුරුදු උනාලු. බැරිවෙලා හරි මූ ආපු නැති දවසකට ඩොකා මියුට් මෝඩ් එකෙන් පස්ස පැත්ත පෙන්නලා ක්ලාස් එකෙන් අහනවලු මූ කෝ කියලා. ඔය සිද්ධිය නිසා කොල්ලො මූට කාඩ් එක ගහල තියෙන්නෙ "බැක් ෆයර්ඩ් (Back Fired) " කියලා.

ඩිප් එකේ අන්තිම මොඩියුල් එක තමයි සිස්ටම් ඩිසයින් ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක කරලා රිපෝට් එක හදලා "වයිවා" දෙන්න ඕනෙ ඩොකාට. මේක තමයි ඉතින් අන්තිම කඩඉම. ඩොක්ටර්ගෙ රූම් එක තිබුනේ NIBM එකේ හතරවෙනි තට්ටුවෙ කොනක. මෙතනට SSC ග්‍රව්න්ඩ් එක නියමෙට පේනවා හරියට ග්‍රව්න්ඩ් එකේ මේන් පැවිලියන් එක වගේ. දවසක් පොරක් වයිවා දෙන්න කියලා ඩොක්ටර්ගෙ රූම් එකට ගිහිල්ල ඉඳ ගත්තලු. ඔන්න ඩොකා ඉන්නවලු පැත්තට පුටුව හරෝගෙනන ග්‍රව්න්ඩ් එක දිහා බලාගෙන. එදා ලංකාව ප්ලේ කරන මැච් එකක් තිබිලා. ඉතින් ඩොකා කොල්ලට කිව්වලු "හා පුතා පටන් ගන්න" කියලා. එහෙම කියන්නෙ ඉතින් ප්‍රොජෙක් එක විස්තර කරන්න කියන එකයි. දැන් ඉතින් කොල්ලත් හිටු කියල කියවගෙන කියවගෙන යනවලු. දැන් ඉතින් කොල්ලත් ඔරේ පිට ගිරව වගේ ප්‍රොජෙක්ට් එක විස්තර කරනව. එකපාරටම ඩොකා,

"හුටා . . . කෙලිය නේද පොල්ලටම . . " කියල කියපි. බැලින්නම් අපේ එකෙක්ගෙ විකට් එකක් ගිහිල්ලා.

දැන් අරූ ෆුල් අඤ්ඤකොරොස් වෙලා මුලයි අගයි දෙකම පැටලිලා. දැන් ඩොකා කියනවා "ඇයි පුතා නැවත්තුවේ ? මතක නැද්ද , හා හා කියපන් කියපන් . . . "

දැන් මූට නවත්තපු තැනත් මතක නෑ .. .ඔන්න ආපහු පොඩ්ඩක් රිවර්ස් එකට ගිහිල්ල ආපහු ගිරව වගේ කියවනවා.

ටික වෙලාවකට පස්සෙ ඩොකා පුටුවෙනුත් නැගිටල,

"ගෙඩිය ගෙඩිය ගෙඩිය . . . .......අතගාල බිම දැම්මනෙ . . " කියපි.

දැන් වයිවා දෙන එකාට පොල්ලෙන් ගැහුව්වා වගේ මේ දාන ඇඩ්වර්ටීස්ට්මන්ට් වලට. හිතා ගන්නත් බැහැ මොකද කරන්නෙ කියලා. ඔන්න පොර ආපහු ටිකක් පස්සට ගිහිල්ල පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවකට පස්සෙ මුගෙ ඩිස්ක්‍රිප්ශන් එක ඉවරයි. ඔන්න දැන් ඩොකා මුගෙන් හිටු කියල ප්‍රශ්න අහනවා. ඔක්කොම අහන්නෙ මූ කියපු දේවල් වලින්. ඒත් මූට මතක නැහැ මූ කියපු දේවල්වත්. ඔන්න ඩොකා කියනවා "පුතා, උඹ ප්‍රොජෙක් එක කාගෙන් හරි කොපියක් ගැහැව්ව නේද ? පලයන් පලයන්, ගිහිල්ල ප්‍රොජෙක් එක හරියට කරගෙන වරෙන්" කියලා. මැච් එක බැලුවත් ඩොකා මූ කියපු හැම වචනයක් නෑරම රෙකෝඩ් කරගෙන තමා ඉඳල තියෙන්නෙ.

ඔන්න තව දවසක් තව එකෙක් වයිවා දෙන්න සෙට් වෙලා. ඉතින් එදා ඩොක්ටර් ලන්ච් එක අරගත්ත ගමන්ම තමයි මූ කාමරේට ගිහිල්ල තියෙන්නෙ. මූ යනකොටත් ඩොක්ටර් කෑම කාල අත පිහිද පිහිද ඉන්නවා. ඉතින් මූ ගිහිල්ල ඉඳගත්ත ගමන්ම ඩොක්ට මේසෙ ලාච්චුවක් ඇරල තඩි ආනමළු ඇවරියක් එලියට අරන් මූට දික් කරලා "ආ පුතා කන්න කෙසෙල් ගෙඩියක්" කියලා. බයේ ගැහි ගැහි වයිවා දෙන්න ආපු එකාට මොන ආනමාළුද ? ඉතින් මූත් කියලා "නෑ සර් එපා තැන්ක් යූ".

"උඹට එපා නම් මම කනවා" කියල ඩොකා ආනමාළු දෙකකටම වග කියලා උණුවතර බෝතලේ අරගෙන කෝප්පෙකට තේකකුත් වක්කරනවා. එහෙම කරන ගමන් ඩොකා කියනවා,

"පුතා මගේ මේ උණුවතුර බෝතලේ තේ ඉක්මනටම නිවෙනවනෙ. මොකද ඒ ?" කියලා.

හීන් දාඩිය දාගෙන වයිවා දෙන්න ආපු එකාගෙන් ඩොකා උණුවතුර බෝතලයක් ගැන අහනවා. දැන් ඉතින් මූටත් මුකුත් නොකිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර සාමන්‍ය දැනීම එහෙම දාල කියනවා,

"ඩොක්ටර්, ඔය බෝතලේ ඇතුලේ සිලින්ඩරේ යට පොඩි වීදුරු බල්බ් එකක් තියෙනවා. මම හිතන්නෙ ඒක කැඩිලා ඇති"

"යට බල්බ් එක ?" . . . . "පලයන් බං යන්න මගේ යට බල්බ් එක හොඳට තියෙනවා. හා කියපන් කියපන්" ඩොකා කියපි.

ඔන්න ඉතින් වයිවා දෙන්න ආපු එකත් උතුර දකුණ මාරු කරගෙන දැන් ගොත ගහනවා.

ඇත්තටම ඩොකා ඒවගේ දේවල් කරන්නෙ ඕන කමින්මයි. ඩොකටර්ගෙ Phd. එක “industrial psychology” ("කාර්මික මනෝ විද්‍යාව ").ඉතින් වයිවා දෙන්න පොරක් කාමරේට එන කොටම ඩොකා දන්නවා මූ හරියට ප්‍රොජෙක් එක කරලද, ගිරවා දාලද නැතිනම් කොප්පෙ ගහලද කියලා. ඉතින් ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය පාවිච්චි කරනවා.

ඉතින් ඔය හැම බැච් එකකම ඉන්නවානෙ ලෙක්චරස්ලට ගොට්ට අල්ලන එවුනුත්. ඉතින් අපිට වඩා ජූනියර් බැච් එකකත් හිටියා නිකන්ම නිකන් ගොට්ටෙක් නෙමෙයි, ඉම්පෝටඩ් ගොටු අල්ලන්නෙක්. හැම තැනකම ඉතින් පොර ලකුණු දාගන්නම තමයි බලන්නෙ. මුගේ දින චරියාව පටන්ගන්නෙ උදෙන්ම එන්.අයි.බී.එම් එකට ඇවිල්ලා ඩොකා එන වෙලාවට ඉස්සරහට දුවගෙන ගිහිල්ල "ගූඩ් මෝනින් ඩොක්ටර්" කියන එකෙන් තමයි. දවසක් ඔය ගොට්ට අල්ලන්න ආපු වෙලාවෙ ඩොක්ට මූට කතා කලා. ඊට පස්සෙ ඩොක්ට මුගේ කරට අත එහෙම දාල ටික දුරක් මූත් එක්ක ඇවිදගෙන යනවා. දැන් මූටත් මාර සිරා. ඇයි ඩොකා මුගේ කරටත් අත දාගෙන ඇවිදිනවනෙ. ඉතින් මූ වට පිට එහෙම බල බල අහල පහල ඉන්න අය දිහා ආඩම්බරෙන් බල බල එහෙම යනවා.ඔහොම මුකුත් නොකියා මූත් එක්ක කරට අත දාගෙන ලිෆ්ට් එක ගාවට ඇවිදගෙන ආපු ඩොකා එක පාරටම,

"පුතා, දොස්තරට උනත් _ක දෙන්න එපා !" කියලා ලිෆ්ට් එකට නැගලා යන්න ගියා. හිටපු තැනම ගල් බමුණා වෙච්ච ඌ ඊට පස්සෙ අර ඉම්පෝටඩ් ගොට්ට විකුනලා දැම්ම.


(ප.ලි , මේක හිතුවට වඩා දිග වැඩි උනා. තව රස කතා ටිකක් තියෙනවා NIBM එකේ වෙච්ච. ඒව වෙන පෝස්ට් එකක දාන්නම්. )

ගිසර්ස් හී අවතාරය

Posted by දුමී

මා මින් වසර කීපයකට පෙර ජීවිතයේ එක් දිනක් පමණක් යම් අත්භූත අත්දැකීමක් ලැබ ඇතත් එය අවතාරයක් දැයි සක් සුදක් සේ පැහැදිලි කරලීමට හෝ එය එසේමැයි යැයි මා හටම ප්‍රත්ත්‍යක්ෂ කරලීමට අවැසි වූ ප්‍රමාණවත් සාක්කියක් වත් මා සතු නොවේ. එයිටත් වඩා මා සිත එය මනෝ විකාරයක් යැයි පෙළඹවීමට හේතුව මා එදින 'මද පමණට' වඩා මත් වී සිටි හෙයිනි. එනමුත් මා හට ඉතා සමීපතයන් එවැනි වූ නොයෙක් ආකාරයේ අත්දැකීම් ලැබ ඇති බව නම් කිව යුතු මනාය. මා මෙයට කලින් පල කරනු ලැබූ මේරි ආච්චි හා කුමාරස්වාමිගේ අවතාරය යන ලිපි එසේ මා හටම නොවුවත් මා දැන හුන් සමීපතයන්හට අත්දකින්න ලැබුවාවූ අත්භූතමය සිද්ධීන්ය. අද මා කියන්න යන සිද්ධියත් එසේ මාගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් විසින් ලැබුවාවූ අත්භූතයම අත්දැකීමකි.

මා රැකියාවේ යෙදී සිටින ඩුබායි දේශය මෑත කාලේ ඉතා සීග්‍රයෙන් සංවර්ධණය වූ නගරයකි. ඩුබායි පමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැදුම්ලත් සප්ත එමීරයන්ම හුදු වාලුකා කතරින් පමණක්ම පිරී තිබුනේ මෑත අතීතය වූ 1971 තරම් කාලයේය. හැටේ දශකයේදි අබුඩාබි නගර කේන්ද්‍ර කර ගනිමින් තෙල් සොයා ගැනීමත් සමග මෙම රාජ්‍යය නොසිතූ විරූ ලෙසකින් දියුණුවේ හිණිපෙත්ත කරාම ලඟා වුනි. මේ රාජ්‍යයේ ඈත අතීතය හාරා අවුසන්නෙකුට නිබඳවම ලැබෙන්නාවූ හෝඩුවාව වනුයේ ප්‍රධාන වශයෙන්ම මුහුදු කොල්ල කරුවන්ගෙන් පිරී තිබුනු අති ආක්‍රමණකාරී සමාජයක්ය. මුහුදු බඩ ආශ්‍රිතව තම ජනාවාස ඉදිකරගනිමින් ජීවත් වූ සහ ඉරාණයෙන් සංක්‍රමණය වූ අරාබි ගෝත්‍රිකයන්ගෙන් සමන්විත වූ ඔවුන්ගෙන් ඇතැමුන් මුතු බෙල්ලන් සෙවීමේ කිමිදුම්ක්‍රමයන් ජීවනෝපාය කරගනිමින් ජීවත් වූහ. ඔවුන් එසේ සොයා ගත් මුතු බෙල්ලන්, එසේ නැතිනම් මහ සයුරෙහි යාත්‍රා කරමින් තිබූ වෙළඳ යාත්‍රා වලින් කොල්ළ කන ලද භාණ්ඩ නැවත නැවතත් විකුනමින් සංක්‍රමණකාරී දිවි පෙවතක් ගත කලහ. සමාජයේ වරප්‍රසද ලද්දාවූ ප්‍රභූන්ට පමණක් හුණු ගල් වලින් සැදුම්ලත් ස්ථිර වාසස්ථාන තිබු නමුත් අනිකුත් සංක්‍රමණ කාරී ගෝත්‍රික ජනතාව ජීවත් වූයේ කාන්තාරයේ තැනින් තන අටවා ගන්න ලද තාවකාලික වූ කූඩාරම් තුලය. මුතු බෙල්ලන් එසේ නැතිනම් කොල්ල කන ලද්දාවූ නොයෙකුත් භාණ්ඩ විකුනමින් අරාබි කරයේ සිට ඈත පෙරදිග දක්වා ගොඩ බිම මාර්ගයන් ඔස්සෙ නිති සංචාර්ය කරන ලද ඔවුන්ගේ වාසස්ථාන කිසි දිනෙකත් ස්ථීරවූවන් නොවේ. එසේ නිති පතා ජීවනෝපාය සඳහා සංකරමණය වූ ඔවුන් ඈත අතීයේ පටන්ම ඉස්ලාම් භක්තිවන්තයෝ වූහ. සංක්‍රමණයේදී ඇති වන්නාවූ විවිද වූ රෝග ව්‍යාදි හේතුවෙන් මරණයට පත් වෙන්නවුන්ට සිදු වූයේ එසේ මිය යන තැනම වූ භූමියක භූමි ගත වන්නටය. එසේ තැන තැන කාලෙන් කාලෙට සිරුරු භූම දානය කරලූ ස්ථාන විශාල ප්‍රමාණයක් මේ ජනාවාස වටා පිහිටා තිබුනි. පසු කාලීනව අත්දකිනා ලද සීග්‍ර දියුණුව අරබයා කොන්ක්‍රීට් වනාන්තර ඉදිවන්න වූයෙන් සමහර හොඩනැගිලි ඉදිවූයේ මෙසේ තැන තැන පිහිටුවන ලද සලකුණු නොකරන ලද නොයෙකුත් සොහොන් බිම් මතය.

මා මිත්‍ර වර්ෂ (සැබෑ නම නොවේ) වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙකි. කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් කටයුතු කල ඔහු ඩුබායි දේශයට පැමිනින්නේ කේ.එල්.එම් (KLM) ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් ලද පත්වීමක් නිසාය. මෙයින් වසර හයකට පමණ පෙර ඔහු දිවි ගෙවූයේ තනිකඩයෙකු ලෙසිනි. ඩුබායි දේශයට අළුතෙන්ම පැමින රැකියාවක් කරන ඕනෑම අයෙකු දවාලන ප්‍රශ්නයක් වනුයේ ඉන්න හිටින්නට සුදුසු ගෙයක් දොරක් පහසු මිලකට සොයා ගැනීමය. ටික කාලයක් මිතුරෙකු සමග වාසය කෙරූ වර්ෂට ඔහුගේම නවාතැනක අවශ්‍යතාවයක් මතු ආවේ මිතුරාගේ දරු පවුල ඔහු සමග විසීමට ඩුබායි දේශට සපැමිණි බැවිනි. එසේ නිවාස සොය ගිය ඔහුට එම දිනවල තිබුණු මිල ගනන්වලට වඩා සෑහෙන අඩු මිලකට තනි කාමරයක් සහිත නිවසක් (one bedroom apartment) සොයා ගැනීමට ලැබුනේ ඩුබායි, සාජා මායිමේ පිහිටියාවූ ඒ දිනවල කිසිසේත්ම ජනාකීර්ණ නොවූ (අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණය ) ගිසර්ස් නම් වූ ප්‍රදේශයෙනි. සැනෙකින් එය බද්දට ගත් මා මිත්‍ර වර්ෂ එහි පදිංචිටය පැමිණියේ එම මිල ගණනට එම පහසුකම් සහිත වූ වෙන නිවසක් සොයා ගැනීමට නොහැකි බව පසක් වීමෙන් සිත පිළසිඳගත් සතුටකුත් සමගය. එනමුත් එම සතුට වැඩිකල් සිතේ රඳවා තබා ගැනීමට නම් මාගේ මිත්‍රයාට නොහැකි වුනි.

ඩුබායි දේශයේ සීත සෘතුව සමයෙහි ඇට මිදුලු ඝනී භවනය කරන සීතලක් පැවතීම සාමාන්‍යයෙන් අත්දැකීමට සිදුවෙන්නාවූ සුලභ දෙයකි. එලෙස සීත සෘතුව සපැමිණ තිබු එසමයෙහි ඝන පොරෝණයක් නොමැතිව නිදා ගැනීමට නම් කිසි වෙකුටත් කල හැකි දෙයක් නොවන්නේය. වරෙක රාත්‍රී වැඩ මුරයන්ද, වරෙක දහවල් වැඩ මුරයන්ද අහවර කර පැමිණෙන වර්ෂට නින්ද තරම් සුව දෙන වෙනත් දෙයක් නොමැත්තේය. එසේ වෙහෙස වී පැමිණෙන වර්ෂ ඉක්මනින්ම කිසියම් දෙයකින් කුස පුරවාගෙන ඇඳට පනින්නේ නින්ද තරම් සුවයක් නොමැති නිසාය. දහවලද රාත්‍රියද වෙනසක් නොමැති සීතල පැතිර යත්දී ඝන පොරෝනය තුලට ගුලිවෙන වර්ෂට ඇහැරෙන්නේ ඇට මිදුලු සූරා යන තරමට දැනෙන සීතලකිනි. ඇස් පියන් ඇර බලන ඔහුට දිස් වනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන මෙතෙක් වේලා තමන්ට උණුසුම සැපයූ පෝරණයය. එය කෙසේ සිදු වූවාදැයිවත් නොසිතෙන සීතලෙන් ගැහෙන ඔහු නැවතත් එය රැගෙන පොරවාගෙන නින්දට යතත් තවත් ටික වෙලාවකින් හීනෙන් මෙන් දැනෙණුයේ කිසිවෙක් විසින් පොරෝණය ඇද ඉවත් කරන බවකි. නැවතත් ඇහැරෙන ඔහුට දැකින්න ලැබෙනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන පොරෝණයයි. නින්දේදි මෙහෙමත් දඟලනවාදැයි තමන්ටම සිනාසෙන ඔහු නැවත වරක් පොරෝනය ගෙන ඇඟ දවටා නින්දට යයි. දින පතාම සිදුවෙන්නාවූ මේ ක්‍රියාදාමය නිසාම කඩින් කඩ නින්ද අහිම වන වර්ෂට රාජකාරියේදිත් නිදි කිරා වැටීමට සිදු වනුයේ රාත්‍රියේදි හරි හැටි නින්දක් නොලැබෙන හෙයිනෙ. මෙසේ සති කිහිපයක් ගත වෙන විට අති භයංකර සිදු වීමකට හර්ෂ මුහුණ පානුයේ මෙලෙසිනි. එදිනද සුපුරුදු පරිදි පොරෝනය නොමැති වීමෙන් ඇහැරුනු ඔහු එය නැවත ඇඟ දවටා නිදා ගැනීම සැරසුනා පමණි. එක් වරම යමෙක් ඔහුගේ කුකුලෙන් ඇද ඇඳෙන් බිමට ඇද දමන ලදී. පරිසරයේ සීතලට වඩා වැඩි වූ සීතලක් ඔහුගේ වලළු කර ප්‍රදේශයට දැනීමත් වැරෙන් ඇද බිමට දැමීම නිසා ඇති වූ කම්පණය නිසාත් වර්ෂට කෑ ගැසී තිබුනේ ඉබේටමය. එනමුත් තනිකඩව විසූ ඔහුගේ කෑගැසීමට ප්‍රථිචාර දැක්වූවෙක් නොමැත. මෙවැනි දෙයක් මින් පෙර අත්දැක නොතිබූ සහ මෙවැනි දෙයක් පවතී යැයි විශ්වාසයක්වත් නොතිබූ වර්ෂ මේ සිදු වූයේ කුමක්දැයි සිතමින් නොනිදමින් මුළු රැය මානසික ආථතියෙන්ම පහන් කරන ලදී. ඇති වූ කම්පණයෙන් සිටි ඔහුට පහුවදා වන විට තදින් උණ සෑදි තිබුනි. පහුදා උදෙන්ම තමාගේ කලින් නවාතැනේ මිතුරාට දුරකථන ඇමතුමක් දුන් වර්ෂ ඔහුත් සමග ගොස් ප්‍රතිකාර රැගෙන පමිණියේය. තම මිතුරා තනි නොකල වර්ෂගේ මිතුරා එදින රැය ඔහු සමග ගත කලේ වර්ෂගේ උණ ගතිය අඩු වී නොතිබූ නියාවෙනි. බිමට එලනු ලැබූ මෙට්ටයක නිදා ගත් වර්ෂගේ මිතුරාටත් අත් විඳින්නට වූයේ වර්ෂ විසින් අත් දකිනා ලද දෙයමය. කකුලෙන් ඇද මෙට්ටෙන් බිමට දමන ලද මිතුරාත් බයෙන් බීරාන්ත්‍ර වී ගියේ මෙය කිසියම් අමුනුස්සයෙකුගේ වැඩක් යැයි දැන් දැන් මොනවට පැහැදිලි වූ නිසාය

මිතුරාත් සමගම වර්ෂ පසුදිනම නිවස බදු දෙන ලද ආයතනය වෙත පැමිණියේ නිවසින් පිට වෙන බව දැනුම් දෙනු සඳහාය. තමන් අත්දකින ලද විස්තරය පවසනු ලදුව ආයතනයෙන් පවසනු ලැද්දේ මින් පෙර කිසිවෙකුත් වර්ෂ සිටියාවූ නිවසෙහි මාසයකට වඩා පදිංචි වී නොමැති බවය. මෙහි මාස තුනකට ආසන්න කාලයක් පදිංචි වී සිට ඇත්තේ වර්ෂ පමණකි. වහාම ඉන් පිටවූ වර්ෂ මිතුරාගේ නිවසේ යළි ටික කලක් පදිංචි සිට වෙනත් නිවසකට මාරු වී ගියේය. පසු කලෙකදි එම ගොඩනැගිල්ලේ වර්ෂ පදිංචිව උන් නිවහන වසා දමා කිසිවෙකුටත් කුලියට නොදෙන ලැද්දේ කිසි කෙනෙකුටහ් එහි සැනසිල්ලේ විසීමට නොහැකි වූ නියාවෙනි..

කට කහන කාර් කතා

Posted by දුමී

මම NIBM ඩිප්ලෝමා එක ඉවරවෙලා තව අවුරුදු එකහමාරක් විතර ඒකෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙත් ඉඳල හා හා පුරා කම්පැණි එකකට ජොයින් උනේ 98 ඔක්තෝබර් මාසේදි විතර. ඒ ඔය මොරටුව පැත්තෙ තියෙන ගොඩනැගිලි උපාංග නිපදවන සහ බෙදාහරින ආයනයක පරිගණක කලමණාකාරවරයෙක් විදිහට තමයි. ඒ වෙනකොට මැනේජ්මන්ට් එකේ හිටපු වයසින් අඩුම එකා උනෙත් මං. අනිත් අය ඔක්කොම ඒ වෙනකොට මට වඩා අවුරුදු 10ක් 15ක් විතර වයසින් වැඩි අය තමා. ඉතින් කම්පැණි එකේ ඉන්න එකවුන්ටන්ට, සේල්ස් මැනේජර්ට, ඒරියා මනේජර්ලට එහෙම කම්පැනි එකෙන්ම නඩුත්තු කරන වාහන දෙන එක සිරිතක් වෙලා තිබුනා. ( මටත් ඒකට ගිහින් අවුරුද්දකට හමාරකට විතර පස්සෙ ඔය වෑන් කබලක් එහෙම හම්බ උනා.) ඉතින් නිකන් හම්බවෙන වාහනේ උනත් පුළුවං තරං ඉස්තරම්ම එකක් ලබා ගන්න තමයි හැමෝම ෆුල් ට්‍රයි එක දෙන්නෙ. ඒත් ඉතින් කම්පැණි එකේ තියෙන ආර්ථික තත්වෙ හැටියට තමයි කාට කාටත් වාහන හම්බ උනේ. ඉතින් ඔය ලන්ච් ටේබල් එකේදි එහෙම තමයි අපි ඕව ගැන කතා කරන්නෙ. මම ජොයින් වෙන්න කලින් හිටපු එකවුන්ටන්ට දීල තිබිල තියෙන්නෙ ටිකක් විතර පරණ කාර් එකක්. ඉතින් කට්ටිය උගෙන් අහනවා,

"කොහොමද මචං කාර් එක හොඳයිද ? ෆුල් ඔප්ෂන්ද ?"

මූත් ඉඳන් කියනවා, "ෂහ් මචං, මරු කාර් එක. මේක ෆුල් ඔප්ෂන්දත් කියල අහනවා. ෆුල් ඔප්ෂන් වලටත් වැඩිය මේකෙ එක්ස්ට්‍රා ඔප්ෂන්ස් තියෙනවා කියලා"

"ඈහ් . .! ඒ මොනවද බං ඒ එක්ස්ට්‍රා ඔප්ෂන් ? කියලා අනිත් එවුනුත් මුගෙන් දැන් අහනවා.

"ඇයි බං මේකෙ ෂවර් ඇන්ඩ් බිඩර් ඔප්ෂන් හිටන් තියෙනවනෙ. වහිනකොට හොඳට නාගන්න විතරක් නෙමෙයි පස්ස පැත්තත් හෝද ගන්නත් පුළුවංනෙ. අනික බිඩර් එක හොඳටම වැඩ කරන්නෙ මගේ වයිෆ් වාඩිවෙලා යන පැත්තෙ. ඉතින් අපරාදෙ හින්ද එයා ගෙදර වතුර නාස්ති කරන්නෙ නැහැ. "

බලනකොට කාර් එකේ වහලෙයි අඩියයි අම්බානෙකට දිරල. වහිනකොට හිටු කියල වහලෙන් තෙමෙනවා විතරක් නෙමෙයි වලකට වැටුනොත් නිකන්ම පස්සත් හේදෙනවා.

කොහොමෙන් කොහම හරි දවසක් මූ ගිහිල්ලා කාර් එක තඩි කන්ටේනර් ටේලර් එකක පිටි පස්සෙ ගහල. කාර් එකේ වහලෙ කන්ටේනර් ටේලර් එක උඩලු. මූ වදිනකොටම පාත් වෙච්ච හින්ද මුගෙ ඔළුව ගැලවිලා නැහැ. යන්තන් පොඩි හීරීම් තුවාල ටිකකුත් එක්ක පොර බේරිලා. ඉතින් කට්ටිය විස්තර අහලා "මොකද මචං උනේ ?" කියලා. ඉතින් මූ කියනවලු "නෑ මචං මෙච්චර ඔප්ෂන් තියෙන එකේ මට නිකන් හිතුන කාර් එක කන්වර්ටිබල් කරගත්තොත් හොඳයිනෙ කියලා" (කන්වර්ටිබල් කියන්නෙ ඕනෙ වෙලාවට වහලේ ගලවන්න පුළුවං වාහනවලටනෙ )

කොහොම හරි මම ජොයින් වෙනකොට ඒ එකවුන්ටන්ට් අස්වෙලා ගිහිල්ල අළුත් එක්කෙනෙක් තමයි හිටියේ. ඉතින් එයාට දීල තිබුනේ අර ටොයෝටා DX වැගන් කියලා තිබුනේ. අන්න ඒ ජාතියේ වාහනයක්. ඉතින් පොර දවසක් ඔය ලිබර්ටි ප්ලාසා එකේ කාර් පාක් එකේ වාහනේ නවත්තල ඇතුලට ගිහිල්ල ටික වෙලාවකට පස්සෙ ඇවිත් බලනකොට වාහනේ මිසින්ලු. දැන් පොර කල්පනා කරනවලු බොලේ හොරෙක් අරගෙන ගියා නම් මෙච්චර මේ සිරා අළුත් වාහන තියෙත්දි මේ ලදරම මොනවට අරගෙන ගියාද කියලා. ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මිනිහට පේනවලු කාර් එක ආපහු හෙමිහිට කාර් පාක් එකට ඇතුළු වෙනවා. ඉතින් එහම ඇවිල්ල අයිනකින් නවත්තල හොඳට ටයි එකක් එහම දාල හිටපු පොරක් කාර් එකෙන් බැස්සලු. දැන් අපේ එකත් මේ මොන අට මගලක්ද කියල බලන්න ලඟට ගියහම අර කාර් එක අරගෙන ගිය පොර බොහෝම අහිංසක විදිහට කියනවලු,

"අනේ සොරි මිස්ටර්. මගේ කාර් එකත් මේක වගේමයි. අර එහා පැත්තෙ නවත්තල තියෙන්නෙ ඒක. මම මගේ කාර් එක කියල හිතල වැරදිලා මේකනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ"

"ඒත් මේ රේඩියෝ එක දාන්න බලනකොට ඒක වැඩ කරන්නෙ නැති කොට තමයි මම මේ කල්පනා කරේ මේකට මේ මොකද හිටි හැටියේ උනේ කියලා. ඒ මදිවට මම මේ හිත හිතා හිටියේ කවුද යකෝ මගේ කාර් එකේ මේ කුරුසයක් එල්ලුවේ කියල".

බලාගෙන යනකොට මේකට ඕනෙම ගල් ඉබ්බෙක්ගෙ යතුරක් දාල දොරවල් ඇරල ස්ටාර්ට් කරගෙන යන්න පූළුවංලු.

ඉතින් අපේ එකා කියනවා, "බලපන් බං මගේ කාර් එක කොච්චර ෂෝක්ද.බැරි වෙලා හරි කාර් එකේ යතුර නැති උනොත් ගෙදර, දොරේ යතුර දාල හරි කාර් එක ස්ටාර්ට් කරගන්න පුළුවංනේ " කියලා.

මම කිවුවනේ මේ කම්පැණි එක කලේ නොයෙකුත් මාදිලියේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවන එකයි ඒව බෙදා හරින එකයි කියලා. ඉතින් ඔය හාර්ඩ්වෙයාර් කඩ වලට තමයි මේ නිෂ්පාදන බෙදා හරින්නෙ. ලංකාවෙ වටේම හාර්ඩ්වෙයාර් කඩ 20,000 විතර තිබුනා ඒ කාලේ මේ කම්පැණි එකේ නිෂ්පාදන ලබා ගන්න. මේ කතාව අපේ ලන්ච් ටේබල් එකේදි කිව්වෙ ඔය ගම්පහ පැත්ත බාරව හිටපු ඒරියා මැනේජර්.

ඉතින් ඔය ගම්පහ පැත්තෙ ලොකු හාර්ඩ්වෙයාර් කඩේක මුදලාලි කෙනෙක් වාහනයක් ගත්තලු. ඉතින් මාසෙකට විතර පස්සෙ අපේ ඒරියා මැනේජර් ගිහිල්ල මුදලාලිගෙන් ඇහුවලු,
"මුදලාලි, කොහොමද අළුත් වාහනේ ?" කියලා.
ඉතින් මුදලාලි කියනවලු

"වැඩක් නැහැ මහත්තයෝ, මම ඒ කෙහෙම්මල විකුනල දැම්මා" කියල.

ඉතින් අපේ පොර අහනවලු "ඇයි මුදලාලි අරගෙන මාසයක්වත් ගියෙ නෑනේ"

ඔන්න මුදලාලි කියනවලු , "වැඩක් නෑ මහත්තයෝ, ඔය කාලකණ්නි වාහනේ හින්ද මගේ අළුත්ම සෙරප්පු කුට්ටම් දෙකක්ම නැති උනානේ" බලාගෙන යනකොට කාර් එකේ අඩියේ තඩි හිලක්. ගමනක් එහෙම ගිහින් බහින්න හදනකොටලු දන්නෙ සෙරප්පු කුට්ටම ඒ හිලෙන් වැටිලා කියලා. ඉතින් සෙරප්පු නැතිව යන්න බැරි හින්ද මුදලාලි ආපහු ගෙදර එනවා

"තාම නම් නැති උනේ සෙරප්පු විතරයි. මම මේකෙ අපේ උන්දැවත් දාගෙන යනවනෙ.උන්දැ එහෙම මගදි වැටුනොත් මම මොකද කරන්නෙ ?" .

මම ඒ කම්පැණියෙන් අස් වෙලා තමයි අර කොම්පඤ්ඤ වීදියේ තිබුන කම්පැණි එකට ජොයින් උනේ. ඉතින් මේකෙන් අස් උනාට පස්සෙ මමත් ඔය මම හදපු සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් දෙකක් විකුනල සල්ලි ටිකක් හොයා ගෙන මටම කියල වාහනයක් ගන්න හෙව්වා. ඉතින් මමත් ඉරිදා සිළුමිණ පත්තරෙයි, ඔබ්සවර් පත්තරෙයි අරගෙන හතර වටේ ගියා වාහන හොය හොයා.

ඔහොම යනකොට ඔය කිරුළපන පැත්තෙ කාර් එකක් බලන්න ගියා. දැන්වීමේ නම් තිබුනේ ෆුලි ගෑස් කන්වර්ටඩ්, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් කියලා. ගිහිල්ල බලන කොට තමයි දැක්කෙ කියපුවා ඔක්කොම ඇත්තනෙ කියලා. මින්ට් කියන්නෙ මින්ට්ම මින්ට්. අර රවුම් පෙපර් මින්ට් ටොපියක් වගේ රවුම්. හරියට ශේප් එක මොකක්ද කියලා හිතා ගන්න බැහැ. හරිනේ, ලේඩි ඩ්‍රිවන් කියන්නෙ ඒක තමයි අර සුපුරුදු විදිහටම ලේඩීස්ල එළවනවා වගේ හතර පැත්තම හප්පලා රවුම් කරන් තමයි එළවලා තියෙන්නෙ. ෆුලි ගෑස් කන්වර්ටඩ් කිව්වම පැට්‍රල් වලින් දුවන්නෙම නැහැ. පැට්‍රල් ටැංකිය හොඳටම දිරල ගලවලා දාල. බලනකොට අර ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩර් එකකින් තමයි දුවන්නෙ. ඔන්න පොරක් ආවා කාර් එක තිබුන ගෙදර ඉඳන්.ඉතින් පොඩි ට්‍රයල් එකක් ගිහිල්ල බලමු කිව්වහම පොර පට ගාල ගේ ඇතුලට දුවල එල්.පී ගෑස් සිලින්ඩර් එකක් උස්සන් ඇවිත් ඩිකියට දාලා අර ගෑස් කුකර් එකකට ගහනවා වගේ රෙගියුලේටර් එකක් හයි කලා. ගෑස් කන්වර්ට් කරාට වාහනේ ස්ටාර්ට් කරනකොට පැට්‍රල් ඕනෙනෙ. මේකෙ පැට්‍රල් ටැංකිය ගලවලා දාල මොකද ඒක දිරලා හින්ද. ඔන්න පොර බොනට් එක ඇරල කාබලේටර් එකට පොඩි සිංගර් තෙල් බෝතලයකට දාපු පැට්‍රල් ටිකක් දාල කාර් එක ස්ටාර්ට් කරා ඊට පස්සෙ ඔන්න කාර් එකේ අයිති කාරයවත් දාගෙන මම ඉතින් කිරළපනින් හයිලෙවල් පාරට දාගෙන මේක එලවනවා. ඔහොම ටික දුරක් යනකොට, හචස් හචස් ගාල හිටියේ නැතෑ කාර් එක මහ පාරේ ට්‍රැෆික් එකේ. ඔන්න අයිති පොරත් ඇවිල්ල දන්න සෙල්ලං දානවා මේක ස්ටාර්ට් කරන්න. හරියන්නෙම නෑ. පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා කාර් එක පාර අයිනට තල්ලු කරලා නැවැත්තුවා. දැන් මේ ගිණි මද්දහනේ එකත් පහු වෙලා. ආ කියන්න බැරි උනානේ. කාර් එකේ හයි කර තියෙනවා ඔරලෝසුවක් අර බිත්ති ඔරලෝසුවකට වඩා පොඩ්ඩක් පොඩියි. ඔන්න පොර කියනවා

"මල්ලි, මට අද මේ කාර් එක විකුනන්න වෙන්නෙ නැහැ. මොකද අපි තාම දවල්ට උයල නැහැ.”

" එහෙම කියලා පොර ත්‍රී වීලර් එකක් නවත්තගෙන ඩිකියෙන් ගෑස් සිලින්ඩර් එක ගලෝලා දාගෙන කාර් එකත් එහෙම්මම තියල යන්න ගියා. බලාගෙන යනකොට ගෙදර ගෑණි උය උයා හිටපු ගෑස් සිලින්ඩර් එක තමයි මූ මේ කාර් එකට හයි කරගෙන ට්‍රයල් එකට ඇවිත් තියෙන්නෙ.

කාර් හෙවිල්ල පැත්තක තියලා ඊට පස්සෙ මමත් කිරුළපනින් නුගේගොඩ බස් එකකට නැගල එහෙම්මම ගෙදර ආවා.

මෙඩිකල් ටෙස්ට් සහ අයි ටෙස්ට්

Posted by දුමී

මතකනෙ මම අර අපේ ගම හාමිනේ ලයිසොන් ගත්ත කතාවෙදි කිව්වෙ මම ලයිසොන් එක ගන්න වෙලාවෙ මගේ මෙඩිකල් එක ගන්න ගිහිල්ල වෙච්ච සන්තෑසිය ගැන.ඉතින් මම ආපහු මේ පෝස්ට් එක කියව කියව ඉන්නකොට ඔය මෙඩිකල් ගැන තව කට කහන කතා ටිකක් මතක් උනා. මේකෙන් එකක් මේ මටම වෙච්ච එකක් සහ අනිත් ඒව සුපුරුදු විදිහටම මගේ අති ජාත මිත්‍ර කැලට වෙච්ච ඒවා. හැබැයි මම ඔන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මීට පස්සෙ ඔය අකරතැබ්බ වෙච්ච යාළුවන්ගෙ සැබෑ නම් හෙලි නොකර සිටීමට. මොකද පහු ගිය ටිකේම මට නිතරම ඉන්ටර්නැෂනල් කෝල් එන්න පටන් ගත්තා පාතාලෙන් "පරිස්සම් වෙලා හිටපන්" කියල. අනික සමහර යාළුවො කෙලින්ම මූනට කියන්න බැරි හින්ද ෆේස් බූක් එකෙන් මැසේජ් එවන්න පටන් ගත්ත "යකෝ තොගෙ කට කහනවං පොල් ලෙල්ලකින් උළාගෙන ඩෙටෝල් ටිකක් දාල හෝදගනින්" කියල. මෙහෙ ඉතින් කොහෙද පොල් ලෙළි හොයන්නෙ කියල උන් හිතන්නෙ නැහැ.

හරි හරි, යමුකො ඉතින් කතාවට. ඉස්සෙල්ලම කියන්න යන්නෙ මගේ යාළුවෙක්ට වෙච්ච සන්තෑසියක් තමා. මම අර කලින් පෝස්ට් එකකදි හෙලි කලානෙ මම අර කලින් වැඩ කරපු කොම්පඤ්ඤ වීදියේ කම්පැණි එක ගැන. ඒකෙ නම ජෝන් කීල්ස් කම්පියුටර් සර්විස් (JKCS). ඉතින් ඕක හරහා තමයි අපි ඔක්කොම ඩුබායි වල එමිරේට්ස් ගුවන් සමාගමේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් වලට ආවෙ. ඉතින් මෙහේ දීර්ඝ කාලීන, ඒ කියන්නෙ මාස තුනකට වඩා වැඩි ප්‍රොජෙක්ට්ස් වලට ආවහම රෙසිඩන්ට් වීසා එක අරගෙන තමයි ඉන්න වෙන්නෙ. ඉතින් ඔය රෙසිඩන්ට් වීසා එක නිකන්ම දෙන්නෙ නැහැ. ෆුල් මෙඩිකල් ටෙස්ට් එකක් තියලා ඉහේ සිට පාදාන්තේ දක්වා චෙක් කරලා තමයි මෙඩිකල් එක පාස් කරන්නෙ. ඕකට ඉතින් බ්ලඩ් ටෙස්ට් එකක්, යූරීන් ටෙස්ට්, අයි ටෙස්ට්, චෙස්ට් ටෙස්ට් අර ටෙස්ට්, මේ ටෙස්ට් කියල නා නා ප්‍රකාර ටෙස්ට් ජාති තියෙනවා. ඕක කරන්න යන්න ඕනෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට. ඉතින් ඔතනට හැම ජාතියේම ඒ කියන්නෙ පාර අතුගාන්න ආපු කම්කරුවගේ ඉඳන් දොස්තර වැඩේට මෙහෙ ආපු එකාට වෙනකන් එනවා. ගොඩක්ම එන්නෙ ඉතින් ඔය ලේබර් කැටගරියෙ බුවාලා තමයි. ඉතින් ඉස්පිරිතාලෙන් උනත් හැමෝටම සලකන්නෙ එකම විදිහට. උන්ට වැඩක් නැහැ මේකා ලේබරයෙක්ද නැතිනම් ඉන්ජෙක්ද, නැතිනම් ඩොකෙක්ද කියලා. ඉස්පිරිතාලේ ඉන්න බල්ලගෙ ඉඳන් හැම එකාගෙම ආඩම්බර බලන්න වෙනවා ඉතින් ඔතනට ගියහම.

ඔන්න මගේ යාළුවෙක් හිටිය ඉන්ද්‍රජිත් කියලා. අපි ඌට කියන්නෙ ඉන්ද්‍රා කියලා. ඉතින් ඉන්ද්‍රත් දැන් ඩුබායි ඇවිල්ලා හා හා පුරා කියලා මෙඩිකල් යන්න තමයි ලෑස්තිය. එකම අවුල තියෙන්නෙ මූ ඉන්ජෙක්ෂන් කටු වලට චූ යන්න බයයි. ටී වී එකේ කාට හරි ඉන්ජෙක්ෂන් එකක් හැහුවත් මූට කලන්තෙ හැදෙනවා.

ඉතින් බයෙන් බයෙන් මූත් මෙඩිකල් එකට ගිහිල්ල ආවා කියමුකො. ඔන්න ඊට පස්සෙ කට්ටිය ඇහුවහම "මොකද මචං උනේ" කියලා මූ ඇවිල්ල විස්තරේ කියනවා.

"බලහං මචන්, ඌ කටුව ගැහුව විතරක් නෙමෙයි බං මට පයිනුත් ගැහුවා" කියලා.

බලනකොට මොකද වෙලා තියෙන්නෙ මූ ලේ ගන්න තැනට ගිහිල්ල වාඩිවෙලා අත දෙන්නෙ නැතුව අත කකුල් දෙක අස්සෙ ගහන් ඉන්නවලු බයට. ලේ ගන්න පොර මොකද කරල තියෙන්නෙ බැරිම තැන උගේ කකුල් දෙකට පයිං පාරක් ගහල කකුල් දෙක ඈත් කරගෙන මුගේ අත ඇදල අරන් බලෙන්ම කටුව ගහල ලේ අරගෙන.

ඔන්න ඊට පස්සෙ මූට තිබිලා තියෙන්නෙ යූරීන් ටෙස්ට් එක කරන්න. පොර ඊට පස්සෙ තිබුන යූරීන් සාම්පල් ගන්න කාමරේට ගියහම පොඩි කන්ටේනර් එකක් දීලා කිව්වළු අර ටොයිලට් එකට ගිහිල්ල මේකට යූරීන් දාන්න කියලා. ඔන්න ඉන්ද්‍රත් පොඩි ප්ලාස්ටික් කන්ටේනර් එකත් අරගෙන ඇතුලට ගිහිලා ආපහු ආවලු ඒත් කන්ටේනර් එක හිස්ලු. ඉතින් යූරීන් සාම්ප්ලෙ ගන්න පොර ඇහුවලු මොකද සාම්පල් එක ගෙනාවෙ නැත්තෙ කියලා. ඒ පාර ඉන්ද්‍ර කියනවලු,

"නෑ මේකට දාන්න ඕන උනේ නැහැ එක ඇතුලේ කොමඩ් එකක් තියෙනවා" කියලා.

ඔන්න පස්සෙ සාම්පල් කලෙක්ට් කරන එකාටත් මල පැනල කිව්වලු හොඳට වතුර බීල ආපහු මේක පුරෝගෙන එන්න කියලා. ඉතින් ඉන්ද්‍රත් මොකද කරල තියෙන්නෙ වතුර ලීටර් එකක් විතර බීල ටික වෙලාවක් ඉඳල කොහොම හරි සාම්පල් එක දීල ඇවිල්ලා. හොඳම හරිය වෙලා තියෙන්නෙ මෙඩිකල් රිපෝට් එක ආපුවහම රිපෝට් එකේ තියෙනවලු මූට දිය වැඩියාව කියලා. ඔන්න දැන් ඉන්ද්‍රට යකා නැගලා මූ බනිනවලු අර ක්ලිනික් එකේ එකාට, නෑ බං "අරූ තමයි කිව්වෙ මට වතුර බෝතලයක් බීල සාම්පල් එක පුරවන්න” කියලා. මූ හිතන්නෙ වතුර ගොඩක් බීපු හින්ද රිපෝට් එකේ "දිය වැඩියාව" කියල පෙන්නුවා කියලා. බලාගෙන යනකොට ක්ලිනික් එකේදි සාම්පල් එක මාරු වෙලාද කොහෙද අපේ ඉන්ද්‍රා කරපු බුල් සීන් එක නිසා. පස්සෙ ඉතින් කොහොමෙන් කොහොම හරි දෙවනි පාර මෙඩිකල් එකකුත් කරාට පස්සෙ ටෙස්ට් එක නෝමල් කියලා ආවලු.

මේක උනේ මම ඔතන මෙඩිකල් එකට ගිය දවසෙ. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කරන්නෙ ඇස් ටෙස්ට් කරන එක. මේකෙදි ඇස් දෙක හොඳට පේනවද කියලා විතරක් නෙමෙයි කලර් බ්ලයින්ඩ්ද කියලත් ටෙස්ට් කරනවා. මේක කරන්නෙ මේ ඔය උඩින් පෙන්නල තියෙනවා වගේ එක එක පාටෙන් තියෙන රූප පෙන්නල අහනව මේකෙ තියෙන රූප මොනවද කියලා. ඉතින් සමහර කලර් බ්ලයින්ඩ් තියෙන අයට පේන්නෙ නැහැ මේකෙ තියෙන ඉලක්කම් හරි රූප හරි, මොකද ඒ ගොල්ලන්ට සමහර වර්ණ අනිත් වර්ණත් එක්ක වෙන් කරල හඳුන ගන්න බැරි නිසා. ඔය රූප ටික තියෙන පොඩි පොතකින් පෙරළ පෙරළ තමයි ඩොකා අහන්නෙ. එක එක රූප වලින් වෙනස් වෙනස් වර්ණ අන්ධතා හොයා ගන්න පුළුවං. පොතේ අන්තිම හරියෙ හරියට තියෙනවා විස්තර කරලා, දෙන උත්තරේ හැටියට උත්තරේ හරිද එහෙම නැතිනම් මොකක් හරි වර්ණ අන්ධතාවයක් එහෙම තියෙනවද කියලා.

ඔන්න ඉතින් මටත් ඩොකා එක එක රූප පෙන්න පෙන්න අහනව මේකෙ තියෙන්නෙ මොනවද කියලා. මමත් ඉතින් කිසි ගේමක් නැතිව උත්තර දෙනවා. ඔහොම චෙක් කරන ගමන් ඩොකා මට රූපයක් පෙන්නල අහනවා මේකෙ තියෙන්නෙ මොකක්ද කියලා. ඒකෙ ඇත්තටම තිබුනේ නිකන් නයෙක් ගියා වගේ රූපයක්. මම එහෙම කිව්වහම ඔන්න ඩොකා ඒක පිළිගන්නෙ නැහැ. ඊට පස්සෙ පොර කියනව මට ඇඟිල්ල රූපේ උඩින් අරගෙන ගිහිල්ල පෙන්නන්න කියලා. මමත් ඉතින් රූපේ උඩින් ඇඟිල්ල අරගෙන ගිහිල්ල පෙන්නුවා. ඒත් පොරට විශ්වාස නැහැ.පස්සෙ ඔන්න ඩොකා පොතේ පිටි පස්ස පෙරලල බැලුවා මම කිව්වා හරිද කියලා. බලනකොට මම පෙන්නුවා හරි. බලාගෙන යනකොට ඒ ඩොකා කලර් බ්ලයින්ඩ්. ඌට පේන්නෙ එකෙ වෙන රූපයක්.

ඉතින් ඔහොම ටික කාලයක් ගියහම අපේ එවුන් එකා දෙනා මෙහේ ඩ්‍රයිවින් ලයිසන් ගන්න සෙට් උනා. මෙහේ ලයිසන් ගන්නව කියන්නෙ ඉතින් ඩිග්‍රියක් ගහනවාටත් වඩා අමාරු වැඩක් තමයි. නිකන් ආවට ගියාට ලයිසන් දෙන්නෙ නැහැ. මාරම වියදමකුයි කාලයකුයි ඒකට යනවා. ඉස්සෙල්ලාම පිලිගත් රියදුරු පුහුණු පාසලකින් පුහුණු වෙන්නම ඕනෙ. ඊට පස්සෙ සිග්නල් ටෙස්ට් එකක්, මාර්ග නීති ටෙස්ට් , පාකින් ටෙස්ට් එහෙම කරල පාස් උනහම තමයි අන්තිම ට්‍රයල් එක කරන්නෙ දෙන්නෙ. මෙහෙ ට්‍රයල් ටෙස්ට් කරන්නෙ පොලිසියෙන්. එහෙමත් එක්කෙනෙක් තමයි මේක ලේසියෙන් පාස් වෙන්නෙ. ගොඩක් වෙලාවට කාර් එකක් ගන්න යන සල්ලි වලට වඩා වැඩි සල්ලි යනවා ලයිසන් එක අරගෙන ඉවර වෙනකොට. මේගේ යාළුවෙක් 14 පාරක් ට්‍රයල් ගිහිල්ල තමයි මෙහෙ ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස් උනේ. හොඳේ කියන්නෙ ඉස්සර ලංකාවෙ ඉන්නකොට ඌ නුවර එළියෙ කාර් රේස් හිටන් පැදපු එකෙක්.

ඔන්න ඉතින් ලයිසන් ගන්න රෙජිස්ටර් වෙනකොටත් මෙහෙ ‘අයි ටෙස්’ට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. මේක ඉතින් ගොඩක් වෙලාවට කරන්නෙ ඩ්‍රයිවින් ඉගෙන ගන්න යන ඉන්ස්ටිටියුට් එකෙන්ම තමා.

ඔන්න ඉතින් මගෙ තව යාළුවෙක් ගියා ලයිසන් එකට රෙජිස්ටර් වෙන්න කියලා. කොහොමත් මූ කණ්නාඩි එහෙම දාන පොරක්. ඉතින් ඔන්න ඉන්ස්ටිටියුට් එකෙන් මුගේ ඇස් ටෙස්ට් කරලා. මූ එනවා මූන මළ ගෙයක් වගේ කරගෙන. ඉතින් අපි ඇහුවා "මොකෝ මචං උනේ" කියලා

මෙන්න මූ ඉඳන් කියනවා, "මචං උං ටෙස්ට් කරල කිව්ව මචං මගෙ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියලා, ඒක මාරු කරගෙන එන්න කිව්ව" කියලා.

අපි නිකන් අඤ්ඤොකොරොස් වෙලා ඇහුවා "මොකක් බං, මොකක් අප්සෙට් කිව්වා ?"

“ඔව් බං අර ටෙස්ට් කරපු පිලිපිනෝ කෙල්ල අර අන්වීක්ෂයක් වගේ එකකින් බලල තමයි කිව්වෙ මගේ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියල.” මූත් දැන් කියවනවා.

පස්සෙ තමයි අපිට ක්ලික් උනේ මූට කියල තියෙන්නෙ "ස්පෙක්ටකල්ස් (කණ්නාඩි ) දෙක අප්සෙට්" කියලා. කලබල වෙච්ච පාරට මූට ස්පෙක්ටකලුයි ටෙස්ටිකලුයි පැටලිලා.

ලංකාව 2015 - ( දෙවන කොටස )

Posted by දුමී

පළමු කොටස මෙතනින් කියවන්න.

ගොඩ බැසීම සඳහා තව ඇත්තේ මිනිත්තු කිහිපයකි. කවුළුව තුලින් ඉවත බැලූ විට දැන් දැන් දිස් වනුයේ පහල සුදුවන් වලාකුළු ස්ථරය යටින් රිදී පාටින් දිලිසෙන මුහුදු ජලයයි. දෙකන් අගුළු වට්ටමින්ද දෙකන් වලට සියුම් වේදනාවක්ද ගෙනෙමින්ද වරෙක ගැස්සෙමින්ද ගුවන් යානය ටිකෙන් ටික පහලට ඇදෙමින් තිබේ. කන් අගුළු වැටෙනා විට බලෙන්ම වාගේ ඈනුමක් යැව්වවු විට එය සමණය වී යන බව දුමී දැන ගත්තේ අත්දැකීමෙන්ය. යානය තුල සිටින කුඩා දරුවන් අඬන්නට පටන් ගැනීම මෙවන් ගොඩ බෑම්වලදී සිද්ද වෙන සුළභ දෙයකි. කන් අගුළු වැටීමෙන් ඇතිවන වේදනාව නිසා පොඩි එවුන් ආතක් බූතක් නැතිව කෑගසනු ඇසේ. එවුන්ගේ මව්වරු උන් නලවා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනු දුමීට පෙනේ.

දැන් දැන් ඈතින් ලංකාවේ වෙරළ තීරය දිස් වෙනුයේ රන් හවඩියක වටේට දැමුනු රිදී පබළු වැලක් ලෙසිනි. කෙලින්ම පහල බැලූ කල දිස් වනුයේ පේලියට නමුත් පිලිවෙලට තැනින් තැන නවතා තිබෙන නැව් සමූහයකි. ගුවන් යානය ගමන් කරනා උසට අනුව ඉතාම කුඩා කඩදාසි බෝට්ටු සේ දිස් වුවද මෙම යාත්‍රා ඉතා විශාල ප්‍රමාණයේ ඒවා බව සිතිය හැක. ගුවන් මග වැටී ඇත්තේ හම්බන්තොට වරායේ පිවිසුම් දොරටුවට ඉහලින් බවට මොනවට පැහැදිලිවේ. මින් වසර කිහිපයකට පෙර ප්‍රථම වෙළඳ නැව් මෙහයුම ඇරඹූ හම්බන්තොට වරාය අද වනවිට ලෝකයේ ඇති ප්‍රධානතම වරායන්ගෙන් එකකි. ඈත පෙරදිග වෙත යාත්‍රා කරන්නාවූ සියළුම නාවික යාත්‍රා තමන්ගේ සැපයුම් සඳහාද, වෙලඳ යාත්‍රා ප්‍රථි නැව්ගත කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසද හම්බන්තොට වරාය යොදා ගන්නේය.

හම්බන්තොට වරාය හේතුවෙන් බුන්වත් භාවයට පත් වූ රටවල් කිහිපයක්ම වෙයි. සිංගප්පූරුව ඉන් ප්‍රධානය. මින් පෙර ඈත පෙරදිග නාවික ගමන් මාර්ගයේ අනිවාර්ය නැවතුම් පලක් වූ සිංගප්පූරු වරායට යන එන මං නැතිව ගියේ ලංකාවට දකුණු දෙසින් යාත්‍රා කරන සියළුම නාවික යාත්‍රා හම්බන්තොටට සේන්දු වී යෑම පුරුද්දක් කර ගත් බැවිනි. කුඩා භූමි ප්‍රමාණයකින්ද, නොගෙණිය හැකි තරම් ස්වාභාවික සම්පත් වලින්ද යුත් සිංගප්පූරුවේ සම්පූර්ණ ආර්ථිකයම ගොඩ නැගී තිබුනේ ඔවුනගේ වරාය වටාය. එයට හිමිව තිබූ ස්ථානය හම්බන්තොට අයත් කර ගත්තේ වසරකටත් අඩු කාල පරාසයකදීය. මේ කාලය වන විට සිංගපූරුව තම අය වැය හිඟය පියවා ගන්නේ ලංකාව විසින් මානුෂීය මට්ටමින් ලබා දෙන ආධාර උපයෝගී කර ගනිමින්ය. සිංගප්පූරුව නොහොත් 'සිංහපුරය' සිංහ දේශය වන ලංකාවට ඈඳා ගැනීමටද රට කරවන ලොක්කන් දත කට මැදගෙන බලා සිටින වග සිංගපූරුවේ අයිති වාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියවෙන ලංකාවේ ගොංබාහු වාදීන් කෑ කොස්සන් ගසන්නේ අද ඊයේ දිනක හිඳ නොවේ.

හම්බන්තොට වරාය නිසා යන එන මං නැති වූයේ සිංගප්පූරු වරායට පමණක්ද නොවේ. අපගේම කොළඹ වරායට අත් වූයේද ඒ ඉරණමමය. මේ දින වන විට කොළඹ වරායේ ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් පමණි. කොළඹ වරායේ වර්තමානයේ ක්‍රියාකාරි එකම අංශය 'වරායේ කුස්සියයි' . ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය යැයි විරුදාවලිය ලත් එය මෙකල සිදු කරනුයේ කොළඹ නටඹුන් බලන්නට පැමිණෙන සැදැහැවතුණට කෑම බීම සැපයීමය. කොළඹ නටබුන් වී ඇත්තේ කෙසේද කියතොත්, කලක් 'බෙන්තර ගඟෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගෙනෙන්න එපා' යැයි කියවූ කොළඹුන් දැන් පතන්නේ හම්බන්තොට පැත්තේ පූස් පැටියෙක් හරි වෙලා ඉපදියන් කියාය.

හම්බන්තොට වරාය විවෘත කලේ යැයි කිවූ දින එය රූපවාහිනියෙන් නැරඹුවා දුමීගේ මතකයේ තිබේ. ඉතා උත්කර්ෂවත් යැයි කියා පැවැත්වූ එම උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගයක් යැයි කියුවේ, පැවැත්වූ 'මඩ බුරි’ නැටුමයි. ‘බුරි’ නැටුම් කලාව ලංකාවට දායාද කල පරපුරෙන්ම මඩ ගොඩක බුරි නැටුම නටවා ඉදිරිපත් කර එළි දැක්වුනු 'මඩ බුරි' නැටුම දැන් ලංකාවේ ජාතික නැටුම ලෙස පිළිගෙන ඇත. ලෝකයෙන්ද එයට මහා ඉල්ලුමක් ඇතිවී ඇතුවා පමණක් නොව ලංකාවේ විශ්වවිද්‍යාල වලද නැටුම් විශේෂවේදී උපාධිය විෂය නිර්දේශයටද එය ඇතුලත් කර ඇත. දැන් දැන් ලංකාවේ හැම මඩ වලකම, කුඹුරකම මේ ‘මඩ බුරි’ නැටුම් පාඨමාලා පැවැත්වෙනු ඒවා අසලින් ගමන් යන්නෙකුට නිරතුරුවම දැක ගැනීමට පුළුවන.

ලංකාවේ මෑත කාලයේදී සිදු වූ විශාලතම විප්ලවය සිදු කරන ලද්දේ මදුරුවන්ට එරෙහිවය. වසර පහ හයකට පමණ පෙර තනි පංගලමේ මග තොට යන්නෙකු පැහැරගෙන යන තරමටම බෝ වී සිටි මදුරු ගහණය නැත්තටම නැති වී ගියේ දේශීය වශයෙන් නිපදවන ලදැයි කියනා බැක්ටීරියාවක් නිසා යැයි දුමීට මතක තිබේ. ඒ දිනවල ලීටරයක් රුපියල් දෙදහස් ගණනක් වටිනා වූ එම බැක්ටීරියාව නිසාම පොහොසතුන් වූ විශාල ප්‍රමාණයක් අදත් යෙහෙමින් වැජබෙති. එපමණ වටිනාකමක් ඇති වෙනත් දියරයක් නොතිබුනු ඒ යුගයේ එම බැක්ටීරියාව නිපදවීම ගෘහ කර්මාන්තයක් ලෙසට ප්‍රචලිතව ගියේ බඩු මිල පහතට වැටෙනවාටත් වැඩි වේගයකිනි. කලින් හැළි අරක්කු පෙරමින් ජීවත් වූ ජනී ජනයාද වඩාත් ලාබ දායී වූ බැක්ටීරියාව පෙරීමේ කර්මාන්තය තෝරා ගත්තෙන් අතිරික්තක්ද ඇතිවී තිබුනි. නිපදවන ලද අතිරික්තය අදත් කියුබාව, ඇමරිකාව සහ අනිකුත් මදුරුවන්ගෙන් පීඩා විඳින රටවල් වලට අපනයනය කරණු ලැබෙයි. තෙල් අපනයනයෙන් ලැබෙන ආදායමටත් වඩා වැඩි ආදායමක් ලංකාව ලබා ගන්නේ මෙම බැක්ටීරියාව අපනයනයෙන්ය.

දුමී සිතිවිලි අතර සැරි සරත්දීම ගුවන් යානය ධාවන පථය මත ගැටෙනු දැනී නැවතත් කවුළුව අතරින් පිටතට නෙත් යොමු කලේය. දුඹුරු පැහැ දූවිලි පිරුණු අපායක සිට හරිතවන් ගහකොල සපිරි දිව්‍ය පුරයකට සපැමිණියා යැයි හඟීමක් දුමීට දැනුණි. මගී පර්යන්තට පිසිවි දුමී 'ශ්‍රී ලාංකික බලපත්‍ර දරන්නන්' යැයි සඳහන් ආගමන විගමන පේලියට සේන්දු වූයේ ඉන් එහා ඇති වෙනත් රටවල් සඳහා වූ පේලි දෙසට දෑස් යොමා ගෙනය. කලකට පෙර ලෝකයේ ඕනෑම තක්කඩි ගොබිලයෙකුට වීසා බලපත්‍ර නොමැතිව ගුවන් තොටින් ගොඩ බැස රට තුලට පිවිසීමේ අසීමිත නිදහස දැන් අතුරා ඇති සේය. ගව් ගානක් දිග වූ අනෙකුත් රටවල්වල ගමන් බලපත්‍ර දරන්නන් රැඳී උන් පේලියේ උන්ගේ මුහුනත් වල දිස්වනුයේ රට තුලට පිවිසීමට අවසර ලැබෙයිදෝ, නොලැබෙයිදෝ යන අවිනිශ්චිත හැඟීම යැයි දුමීට සිතේ. ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් වීසා ලබා ගොඩබැස ඇතැයි හෙලි වූ සමහරක් යුරෝපීයන්, බ්‍රිතාන්‍යයන්, ඇමරිකානුවන් නැවතත් තම රටවල් වලට පිටුවහල් කරනාතුරු පසෙක කාමරයක රඳවාගෙනය.

ඉතාමත් කාර්යක්ෂම ආගමන ක්‍රමවේදයකට පසු දුමී බඩු මළුද රැගෙන පර්යන්තයෙන් ඉවතට පිවිසියේ රැගෙන යාමට පැමිණි වාහනය බලාපොරොත්තුවෙනි. කොහේදෝ සිට පැමිණි මදුරුවෙක් දුමීගේ බාහුවේ වසන්නේ මේ අතරය. පුදුමයෙනුත් පුදුමයට පත් දුමී ජන්මෙට වඩා පුරුද්ද ලොකු බැවින් දකුණු අත විහිදා මදුරුවාට පහරක් ගසන්නේ ඌ ඇනෝපිලස්ද නැතිනම් ඊඩස්ද නැතිනම් මොහකටවත් නැති වල් මදුරුවෙක්දැයි නොදැනය. මදුරුවා මැරී බිම පතිත වෙත්ම එතනට දුවගෙන ආවේ පිරිසිදු කරන්නෙක්ය. දූවිලි එකතු කිරීමට හැකි බඳුනක්ද බුරුසුවක්ද රැගෙන දිව ආ ඔහු සැනෙකින් බිම වැටුනු මදුරුවා බුරුසුවෙන් ගෙන දූවිලි එකතුකරන බඳුනට දැමුවේ දුමී දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි. එකදු දූවිලි පොදක් වත් නොමැති ඉතාම පිළිවෙලට නඩත්තු කරන්වා වූ වට පිටාව දැකීමෙන් දුමී තුල ඇති වූයේ මහා වරදකාරී හැඟීමකි.

ඒ සමගම පැමිණියේ දුමී බලපොරොත්තුවෙන් සිටි රැගෙන යෑමට පැමිණි වාහනයයි. බඩු පොදිද සමගින් වාහනයට ගොඩ වූ දුමී ඉතාමත් විනීතව මාර්ග නීති රකිමින් ඇදෙන අනෙකුත් වාහන සමග එක්වී ඇදෙන වඩාත් නවීන වූ මාර්ගයට පිවිසියේය. ගුවන් තොටේ සිට මාර්ගයට පිවිසෙන දොරකඩ අසල දිස්වනුයේ ලංකාවේ පාලනය දරනා රාජකීය පවුලේ විශාල ඡායාරූපයකි. මීට ඉහත පාර්ලිමේන්තු ක්‍රමයකින් පාලනය කෙරුනු ශ්‍රී ලංකාව රාජාණ්ඩු ක්‍රමයකට මාරු උනේ පාර්ලි මේන්තුවේ ‘තුනෙන් තුනක’ ඡන්දයෙන් බව දුමීට මතක් විය. පසුගිය අවුරුදු කිහිපයක පටන් වඳ වී යෑමේ තර්ජනයට ලක්වී හුන් ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විපක්ෂය නැත්තටම නැති වී ගියේ අන්තිමටම විපක්ෂයේ ඉතුරු උන විපක්ෂ නායකයාද ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමත් සමගය. ඉන් දින කීපයකට පසු පැවති පාර්ලිමේන්තු සංශෝධනයකින් පාර්ලිමේන්තුව අහෝසි කර රාජාණ්ඩුවකට අවැසි අණ පනත් සම්මත කර ගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් තුනක ඡන්ද බලයද සමගය.

එසැනින් වාහනය දෙසට අත දිගු කරන ලද්දේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකි. පසෙකින් නවත්වනු ලැබූ වාහනයෙන්න් දුමී ඉවතට බැස පොලිස් නිලදාරීන් දෙසට පිය නැගීය. ඉතාමත් විනීත ලෙස අත් දෙක එකතු කර කට පුරා "ආයුබෝවන්" යැයි පැවසූ නිලධාරියා අත රැඳි කඩදාසියකට නෙතු යොමු කරමින්,

"මහත්මයාගේ නම දුමීද ?" යැයි අසනු ලැබීය. එය එසේ යැයි දුමී සනාථ කලේ ප්‍රශ්නාර්ථයක්ද මුහුනේ රඳවමිනි. "මහත්මයාට අපි සමග එන්න වෙනවා." පොලිස් නිලදාරියා ඉතාමත් කාරුණිකව පවසන ලදී.

"ඒ මොකද ? මොකක් හරි වැරදීමක් සිද්ද වෙලා වගේ" දුමී ප්‍රහේලිකාවකට මැදිවූ ලෙසක් හඟවමින් පැවසීය.

"ලංකාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සංරක්ෂිත සත්වයෙක් විනාශ කිරීමේ වරදට සහ පරිසරය අපවිත්‍ර කිරීමේ වරදට අපිට ඔබව අත් අඩංගුවට ගැනීමට සිදුවෙනවා" පොලිස් නිලධාරියා කියාගෙන යයි.

"මොකක් ? මම එහෙම දෙයක් කලේ නැහැනෙ" දුමීට කියවිනි.

"මහත්තයා වඳ වී යෑමේ තර්ජනයට ලක්වී සිටින, ලංකාවෙ නීතියෙන් සංරක්ෂණය කරන ලද මදුරුවෙක් මරා පාරට දමනවා ඇස දුටු සාක්ෂි අපි ලඟ තියෙනවා . . . " පොලිස් නිලදාරියා පවසයි.

ඉතාමත් සූක්ෂම දෙයකටත් දැන් දැන් ලංකාවේ නීතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීම ගැන සිතින් සතුටු වෙමින්, මදුරුවා මරා පාරට දැමූ වරදට හිරේ යෑමට දුමී පොලිස් රියට ගොඩ විය.

Related Posts with Thumbnails