ඉන්දියන් සයිස්

Posted by දුමී

ගොඩක් වෙලාවට මෙහෙ වැඩ කරන ලංකාවෙ එවුන්ට ඉන්දියන් කාරයන්ව දිරවන්නෙම නෑනෙ. ඒවගේම තමයි ඉන්දියන් කාරයන්ටත් ලංකාවෙ අපිව ගොඩක් වෙලාවට දිරවන්නෙ නැහැ. ඉතින් ඔය සීතල යුද්දේ හැමදාම වගේ මෙහෙ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට උන් අපිට මඩ ගහන ඒවයි අපි උන්ට මඩ ගහන එකෙයි කෙලවරක් නැහැ. කොහොමෙන් කොහොම හරි මේ රාම රාවණා සීතල යුද්දේ කෙරීගෙන යන අතරෙදි රාවණා පාර්ශවය, ඒ කියන්නෙ මෙන්න මේ අපිට මරුම මරු සමූහ ඝාතක අවියක් හම්බ උනා මීට අවුරුදු කීපයකට කලින්. ඒ අවිය අපිට දුන්නේ බී.බී.සී නිවුස් අඩවියෙන්. මෙන්න මේ තියෙන්නෙ එන්න ඒ මාරක සමූහ ඝාතක අවිය තමා. ඉතින් අපිට මේ අවිය ලැබිච්ච දවසෙ ඉඳන් යුද්දෙන් රාවණා දිනුම්. කොටින්ම කියනවනම් හනුමත් වලිගෙ පස්ස පැත්තෙ ගහගෙන හැංගිලා ඉන්නවා එළියට බහින්න ලැජ්ජාවෙ.

ඒ නිව්ස් එකේ සාරංශය ගත්තොතින්, අද භාවිතයේ තියෙන කොන්ඩම් ගොඩක් ඉන්දියන් කාරයන්ට ලොකු වැඩියි. ඉතින් හරිම ජංජාලයයි. ආයුධයට වඩා ලොකු ආවරණ පාවිච්චි කරනකොට ආවරණය පළුදු වෙලා හරිම හරි ජංජාලයක් තමයි වෙනවා කියන්නෙ.

ඉතින් ඔය උඩ දාල තියෙන නිව්ස් එක කියෙව්වනම් දකියි එක්තරා සඟරාවක කතෘ තුමෙක් තමන්ගේ සහෝදර රට වැසියන්ගේ හිත සනසවන්න කියල තියෙනවා,

“ප්‍රමාණය නෙමෙයි, කරන කාරය්‍යයයි වැදගත්. අපේ රටේ ජනගහනය දිහා බැළුවහම අපි හොඳට සාර්ථක වෙලා බව පේනවානෙ . . . "

හරි හරි, පේනවා පේනවා . . හොඳට පේනවා මුන්ගේ ජනගහනය වැඩි වෙන්න හේතුව. තමන්ගේ තරමට වඩා ලොකු ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න ගිහිල්ලා ඉරාගත්ත හින්ද තමයි .

මේ හේතුව නිසා කොහොමෙන් කොහොම හරි දැන් ඔන්න අළුතෙන් සයිස් එකක් හඳුන්වල දීල තියෙනවා. දැන් තියෙන සයිස් මෙන්න මෙහෙමයි.

"ලොකු - (Big)", "මධ්‍යම - (Medium)" , "පොඩි - (Small)" සහ "ඉන්දියන් - (Indian)"

මෙන්න මේ අස්සෙ අපේ එකෙක් තව කතාවක් හදල මේ අසරණ අසල්වැසියන්ට. ඒකත් මේ වගේ ආරක්ෂිත ක්‍රම ගැනම කතාවක් තමයි, කතාව යන්නෙ මෙන්න මෙහෙම.

ඔන්න අළුත බැඳපු අපේ අල්ලපු රටේ සහෝදරයෙක් යනවා මෙහෙ තියෙන ෆාමසි එකකට. ජීවිතේ පලවෙනි පාරට තමයි ඉතින් මේ ඇත්තො මේ ආරක්ෂිත උපක්‍රමයක් පාවිච්චි කරන්න යන්නෙ. ඔන්න මෑනුත් ගිහිල්ල ෆාමසී එකේ ඉන්න පොරගෙන් බොහොම ලැජ්ජාවෙන් ඉල්ලනවා ආරක්ෂිත ආවරණයක් දෙන්න කියලා. ෆාමසී එකේ එකත් ඉතින් තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකකින් එකක් දෙනවා. අපේ අසල්වැසියත් ඉතින් මේක අරගෙන යනවා. පහුවෙනිදත් බොලේ මෑන් ආපහු ෆාමසි එකේ. මූනත් එච්චර හොඳ නැහැ. ඉතින් ෆාමසි එකේ එකා අහනවා මොකද උනේ කියලා. ඔන්න අපේ අසල්වසි සහෝදරයත් හිමිහිට කියනවා, "ඊයෙ ගත්ත එක ලොකු වැඩියි . . ඊට වඩා පුන්චි එකක් දෙන්න" කියලා. ඔන්න ෆාමසි එකේ පොරත් ඊයෙ දුන්නට වඩා පොඩි ආරක්ෂිත ආවරණයක් දීල යවනවා. ඔන්න බොලේ ඊට පහුවෙනිදත් අපේ අල්ලපු රටේ පොර ඇවිත් කියනවා ඒකත් ලොකු වැඩියි ඊට වඩා පොඩි එකක් ඕනෙ කියලා. ෆාමසි එකේ එකත් ඔන්න හොයල බලලා මිනිහට එකක් තෝරල දෙනවා. හත් ඉලව්වයි, ඔන්න බොලේ ඊට පහු වෙනිදත් අපේ වීරය ෆාමසි එකේ, මූනත් ඤොරොක් කරගෙන. ඉතින් පොර අහන්න කියන්නත් කලින්ම ෆාමසී එකේ පොර බෙහෙත් රාක්කෙ අවුස්සලා ටිකක් දිග පෙටිටියක් අරගෙන පොරගේ අතේ තියන ගමන් කියනවා “මල්ලි මෙන්න මේක පාවිච්චි කරන්න. ඔන්න ඕක ඇරිල යයි” කියලා.

පෙට්ටියේ ගහලා තියෙනවලු මෙහෙම. Clearasil

මාත් එක්කම දැන් මගේ ටීම් එකේ වැඩ කරන මලබාර් යාළුවෙක් කියපු කතාවක් මේක. එයාගේ යාළුවෙක් හිටියලු ඉන්දියාව පොඩි පහේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන . සෞඛ්‍ය ප්‍රශ්න මොකක්ද කියනවා නම් මෑන් ඔය ‘නම්බර් වන්’ වැඩේ කරාට පස්සෙ ටික වෙලාවක් යනකන් පොඩ්ඩ පොඩ්ඩ ටැප් එක ලීක් වෙන ලෙඩක් තිබිලා තියෙනවා. ඉතින් මේක කාටවත් කිය කිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර දොස්තර කෙනෙක් ලඟට ගියහම දොස්තර කියලා තියෙන්නෙ මේකට ප්‍රථිකර්මයක් විදිහට කොන්ඩම් එකක් දාගෙන ඉන්න කියලා. ඉතින් යාළුවත් දැන් මේ ප්‍රථිකර්මේ අත්හදා බැළුවහම ඉතින් වැඩේ හරිම සාර්ථකයි. ඉතින් පොරත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතාගෙන දැන් මේ ප්‍රථිකර්මය හොරෙන්ම කරගෙන ඉන්නවලු.ඔන්න දවසක් පොර ගෙදර ඇවිල්ල තියෙන්නෙ කරටි කැඩෙන්න බීලා. (ඔව් ඔව් එහෙත් ඔය සැර ජාති යහමෙට තියෙනවා ) කොච්චර බීලද කියනවනන් පොර ගෙදර ආපු හැටියෙම ඇඳගෙන ඉන්න ඇඳුනුත් එක්කම ඇඳේ හාන්සිලු. ඉතින් ඔන්න යාළුවගේ ප්‍රිය භාර්යාව ඇවිල්ල ඔන්න මෙයාගේ ඇඳුම් මාරු කරනවලු. ගෑණි කලිසම මාරු කරන්න යනකොට, හුටා මෙන්න යකෝ මූ ඉන්නවලු කොන්ඩම් එකක් දාගෙන. එතනින් පස්සෙ මූට සිහිය එනකොට එනකොට මූගේ ඔළුවට උඩින් ෆෑන් එකක් කැරකෙනවා. බලනකොට මූ ඉන්නෙ ඉස්පිරිතාලේ.

මම මේ දැන් කියන්න යන කතාව නම් තිබුනේ දැනට ටික කාලෙකට කලින් පත්තරේක. හරියටම මතක නැහැ මේක ඇත්ත කතාවක්ද නැද්ද කියලා. ඔන්න ටික කාලෙකට ඉස්සර ලංකාවෙ තිබුනනේ මේ පවුල් සංවිධාන වැඩ සටහනක්. ඉතින් මේකට අනුව ඔය ඈත පලාත්වල ගොවිතැනින් බතින් ජීවත්වෙන හද්දා පිටිසර මිනිස්සුන්ව දැනුවත් කිරීමකදි ගමේ ඉන්න ගොවියො, ගෙවිලියො ඔක්කෝටම ඉස්පිරිතාලෙ වැඩමුළුවක් පවත්වලා තියෙනවා මේ පවුල් සංවිධාන ක්‍රම සම්භන්ධව. මොකද මේ පැත්තෙ මිනිස්සුන්ට මේ ක්‍රම දන්නෙ නැති නිසා අවුරුද්දකට එක ගානේ ළමයි හම්බ වෙනවලු. ඉතින් ඉස් ඉස්සෙල්ලාම මේගොල්ලන්ට මේ ආරක්ෂිත කොපු ගැන හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවත් මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා පෙන්නල දීල තියෙන්නෙ කොසු මිටක් උපයෝගී කරගෙන මේ ආරක්ෂිත කොපුව එකට දාල. නැතුව ඉතින් මේක වෙන පෙන්නල දෙන්න විදිහක් නෑනෙ. ඔන්න ඉතින් කට්ටිය හරිම උන්නන්දුවකින් මේක ඉගෙන ගත්තට පස්සෙ වැඩමුළුව අවසන් කරලා තියෙන්නෙ ආපු හැමෝටම නොමිලේ මේවා බෙදලත් දීල ඉවර වෙලා තමයි. ඔන්න වැඩමුළුව ඉවර වෙලා මාස කීපයකට පස්සෙ මේකට සහභාගි වෙච්ච දැනටත් ළමයි පහක් හයක් ඉන්න අම්ම කෙනෙක් ආපහු එනවලු ක්ලිනික් එකට ලොකු බඩ ගෙඩියකුත් උස්සගෙන.ඔන්න පවුල් සෞඛ්‍ය සේවිකාවත් දැන් අහනවලු,

"මොකද අම්මේ මේ ආපහු ? අර අපි දීපු ඒව පාවිච්චි කලේ නැත්තෙ මොකද ?"

"අනේ නෝනේ, ඒවා පාවිච්චි කරා තමයි . . .ඒත් පේනවනෙ ඒවයින් වැඩක් උනේ නැහැනේ "

"එහෙම කොහොමද වෙන්නෙ ? හරියට පාවිච්චි කරානම් මෙහෙම වෙන්න විදිහක් නෑනේ . . .?"

"අනේ මගේ මිනිහා පල්ලා නෝනේ, ඕනෙනම් මේ මිනිහගෙනුත් අහල බලන්න. අර නෝනෙ කියල දීපු විදිහට ගෙදර කොහු මිටට අර රබර් එක දාල තමයි කලේ . . . ."

ඉන්දියාවෙ කෙසේ වෙතත් ඔන්න ඔහොමයිලු ලංකාවෙ ජන ගහනය වැඩි වෙන්නෙ . . . . !

මගුල් කතා

Posted by දුමී

ඔය ඉතින් කර දඬු උස් මහත් වෙච්චි දූ දරුවො ඉන්න අම්මල තාත්තලගේ සිහිනය තමයි තමන්ගේ දුවට හරි පුතාට හරි කලට වේලාවට ගැලපෙන තැනකින් කටයුත්තක් හොයලා බලලා කරලා දෙන එක. ඉතින් බලාගෙන යනකොට මේක ලේසි පහසු වැඩක් නම් නෙමෙයිනේ. මේක අර පවුල් ජීවිතේ ගත කරනවාටත් වඩා අමාරු කෙලියක්. දුවට බෑනා කෙනෙක් හොයනවනම් කොච්චරනම් කියල දේවල් නම් හොයලා බලන්න ඕනෙද ? ඔය අතරින් "සුරා සූදුවෙන් සියලු දුසිරිතෙන් තොර” , "ස්ථිර රැකියාවැති", "වාහනයක් හිමි", "ගෙයක් දොරක්, ඉඩමක් කඩමක් හිමි" මෙකී නොකී දහසක් දේවල් ඉස්සරහට එනවනේ. දැනට අවුරුදු 30කට 40කට කලින්නම් "කලිසන් අඳිනවද" කියලත් හොයලා බලනවා. අපිටනම් දැන් හිතෙයි කලිසං අඳින්නෙ නැතිව නැතිනම් යකෝ හෙළුවෙං ඉන්නවයෑ කියලා. ඒත් ඉස්සර ගොඩක් අය ඇන්දේ රෙද්දයි බැනියමයිනෙ. එහෙමත් එක්කෙනෙක් තමයි කලිසමක් ඇන්දේ. තව ඒකාලේ ඔය "ආණ්ඩුවේ රස්සාවක් කරනවද" (දැන්නම් ආණ්ඩුවේ රස්සාවක් කරනවා කිව්වොත් ගෑනියෙක් ගන්න ලේසි නෑ ) වගේ කාරණාත් හොයල බලනවා කියලා මම අහලා තියෙනවා.

පුතාට ලේලි කෙනෙක් හොයනවා නම් ඔන්න "සිහින් සිරුරැති, පැහැපත්, ගුණගරුක, දෙමව්පියන්ට සලකන, ආගමට දහමට ලැදි" වගේ මෙකී නොකී දේවල්ද, මෑතකදී නම් "සිරස නොබලන", "ප්‍රවීනාට අකමැති", "කැම්පස් නොගිය (මගේ අදහසක් නෙමෙයි ඔන්න මේක )", “ෆේස් බූක් එකේ බාන් බඩී, ෆාම් විලේ සෙල්ලම් නොකරන” වගේ දේවලුත් එකතු වෙනවා.

හැබැයි දැන් කාලේ නම් ගොඩක් කෙල්ලො කොල්ලො තමන්ගේ අම්මලා තාත්තලාට මොකටද ඔච්චර කරදර කරන්නෙ කියලා හිතලා ඕ ලෙවල් කරන්නත් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල කෙල්ලෙක් එහෙම නැතිනම් කොල්ලෙක් සෙට් කර ගන්නවා. එහෙම හරි ටිකක් පහුවෙලා හරි ඉතින් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් කරගන්න බැරි උනෝතින් ඉතින් ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරයේ දැන්වීමක් දානවා. එහෙම අය විතරක් නෙමෙයි ඕං ගොඩක් වෙලාවට එක පාරක් කසාද බැඳල දික්කසාද වෙලා පාඩමක් ඉගෙන ගන්නෙ නැතිව දෙයියනේ දෙවෙනි නැතිනම් තෙවෙනි පාරටත් පොඩි ට්‍රයි පාරක් දාන අයගේ දැන්වීම් වලිනුත් මේ පිටු පිරිල තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මංගල යෝජනා පිට බලලා පරස්තාවක් කරගන්න හිතන එකෙකුට, එකියෙකුට හරි කාවද තෝරගන්නෙ කියලා හිතා ගන්නවත් බැරි විදිහට මේවයේ ෆුල් කොලිෆිකේෂන් එක්ක තමයි දැන්වීම පළ කරන්නෙ. කොහොමෙන් කොහොම හරි ඔය මංගල යෝජනා කියවනකොට මරු මරු කෑලි සෙට් වෙනවා. පත්තරේක තිබුන මට ඇහැ ගැහුනු දැන්වීම් කීපයක් තමයි ඔය පල්ලෙහා දිහාවෙ දාල තියෙන්නෙ.

උස 5'4" , 43 ලාබාල පෙනුමැති රූමත් චරිතවත් සෑහෙන්න දේපළ ඉඩකඩම් හිමි මා අසාර්ථක විවාහ දෙකකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් දික්කසාද වී සිටිමි. දරුවන්ද මා භාරයේ සිටී. සම වයසැති වයස නොපෙනෙන මහත්මයෙකු ඇසුරු කිරීමකින් පසු විවාහය සඳහා සොයමි. කුජ 07 කැති නැකතට ගැලපෙන කේන්ද්‍ර පමණක් සලකා බලනු ලැබේ.

ඔන්න බලන්න ඉතින් ඉතාමත් චරිතවත් ගෑණු ළමයෙක් වන මේ තැනැත්තිය විවාහ කිහිපයකින්ම පැමිණිලි පාර්ශවය වෙලා නීතියෙන් වෙන්වෙලා. අනේ ඉතින් ආපහු බඳින එකාටත් දෙයියන්ගේම පිහිටයි. ඇයි ඉතින් මොන දෙයියොද දන්න ආයෙත් කොයි වෙලාවෙ පැමිණිල්ලක් සෙට් වෙලා විත්තිකාර පාර්ශවය වෙන්න වෙයිද කියල.. අනිත් එක මේ කැති නැකත නිසා, පොළු නැකතේ අය ඇප්ලයි නොකරනවා නම් තමයි හොඳ. මොකද ඔය කැත්තට පොල්ල සෙට් උනොත් ඉතින් මේ විවාහයත් වැඩිකල් තියෙන එකක් නැහැ. අනිත් එක කොච්චර චරිතවත්ද කියනවනම් මහත්තයව ඇසුරු කරලා බලලා හරියට සැටිස් නම් තමා බඳින්න යන්නෙ. හැබැයි ඉතින් හොඳේ තියෙන්නෙ කම්ප්ලීට් පැකේජ් එකක්. ආපහු ඉතින් දරු මල්ලො හදන්න කියලා මොට කරදර වෙනවැයි ?

අගනුවරට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික පවුලක අවු: 26, උස 5' 3'' රූමත් චරිතවත් ගණකාධිකාරී දායාදහිමි දියණියට දන්ත වෛද්‍ය වෘතියේ නියුතු ගුණගරුක පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.

මේකනම් සිරා එකක්. බිස්නස් කරන තාත්තා හොයන්නෙ අනිත් අයගේ දත් ගලවන්න පුළුවං බෑනා කෙනෙක්ව. අදහස ඉතා පැහැදිලියි.

මේ වගේ මංගල දැන්වීම් ඇනලයිස් කරන්න ගියොත් ඉතින් ආයේ කොහෙන් නවතීද දන්නෙ නැති නිසා දැනට ඔය දෙකෙන් විතරක් නවත්තන්නම්.

කසාද බඳින ගෑණු ළමයින්ට තියෙන ඊලඟ ලොකුම ප්‍රශ්නය තමා ඉතින් දෑවැද්ද. දැන් කාලේ නම් ඕක පස්සෙ එච්චර එලවන්නෙ නැති උනත් තාමත් යහමින් ඉඩ කඩම්, හරක බාන, යාන වාහන දෑවැද්දට නොඉල්ලා ඉල්ලන අය ඕන තරම් ඉන්නවා. ඒකනෙ ඔය මංගල දැන්වීම් වල උනත් ගෑනු ළමයට දෙන්න තියෙන පැකේජ් එක එහෙම ගෙඩි පිටින්ම පළ කරන්නෙ. හැබැයි ඔය අපිට අල්ලපු රටේ, ඒ කියන්නෙ ඉන්දියාවත් එක්ක බලනකොට නම් මේ දෑවැදි කේස් එක අපේ රටේ නැති ගානයි. දැනට ටික කාලෙකට කලින් මාත් එක්ක වැඩ කරපු ඉන්දියන් කාරයෙක් මගෙන් අහනවා "උඹලඟේ රටේ BE (Bachellor of Engineering) තියෙන කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ට ලක්ෂ කීයක දෑවැද්දක් ගන්න පුළුවන්ද" කියලා. ඒක අහල මම ෆුල් හොල්මංවෙලා කිව්වා අපේ රටේනම් කොල්ලො ඩිග්‍රිය ගහන්නෙ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරන්න මිසක් ලක්ෂ ගනන් දෑවැද්ද එක්ක ගෑණියෙක් ගන්න නෙමෙයි කියලා.

ඒ උනාට ලංකාවෙ උනත් ගොඩක් වෙලාවට දීග යන්න බැරිව ගෙදරට නාකිවෙන සහ දරුමල්ලොත් එක්ක ආපහු ගෙදර එන ගෑණුන්ව බන්දල දෙන්න ඔය දෑවද්ද තාමත් ඇමක් විදිහට පාවිච්චි කරනවා. මම අහලා තියෙන කතාවක් තමයි කාලෙකට ඉස්සර ඔය උඩරට පැත්තෙ ගරා වැටෙන වල්ලව්වක ගෙදරට වේලි වේලි හිටිය හතලිහ පැනපු කුමාරිහාමියෙක්ව බන්දල දෙන්න දැන්වීමක් දැම්මෙ දෑවැද්දට යස අපූරු අලියෙක් දෙනවා කියලයි. කොහොමෙන් කොහොම හරි ඔය ඇම ගිල්ල පොරක් මේක කර ගැහුවා. පොරොන්දු වෙච්චි විදිහටම අලියෙක් නම් දෑවැද්දටත් ලැබුනා. ඒ උනාට බලාගෙන යනකොට අලියටත් කුමාරිහාමිගේ වයසමයි.ඇවිද ගන්නවත් පණ නැති නාකි අලියෙක්. ඉතින් මූට කියලා කොටන් අද්දවන්නයෑ ? නාකි උනාට මේ අලියා කිතුල් බඩ ටොන් ගානකුයි, කොස් කොළ කරත්තයක් විතරයි දෙසා බානකොට අන්තිමට පොර නැත්තටම නැති උනේ ගෑනිව විතරක් නෙමෙයි අලියවයත් නඩත්තු කරගන්න බැරිව. ඔන්න ඔහොමයි කුමාරිහාමිගේ වලව්වෙ කට්ටිය කුමාරිහාමිගෙන් විතරක් නෙමෙයි අලියගෙනුත් ගැලවුනේ. ඕක නිසා තමයි කට කහනවට කියන්නෙ ගෑනියෙකුයි අලියෙකුයි එකපාර කරගහන්න එපා කියලා.

මම මේ කියන්න යන කතාව මට කිව්වෙ මෙහෙ ඉන්න කින්චා කියලා මගේ යාළුවෙක්. මේකත් ඔය මංගල යෝජනාවක් සම්භන්ධ කතාවක්. සිද්ද වෙලා තියෙන්නෙ ඔය පහුගිය යුද්ද කාලේදි.

දවසක් ඉතින් ඔය මංගල යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කල වයසත් පැනපු ගෑනු ළමයෙක් හිතට අල්ලන මංගල යෝජනාවක් දකිනවා. ඒක විස්තරේ තියෙන්නෙ මේ විදිහට,

“ උසස් තැනක රැකියාවැති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයනුයේ, රූමත්, පැහැපත්, ගුණ යහපත්, විනීත ගැහැණු ළමයෙකි. කේන්දර අනවශ්‍යයි. තමාම ලියන්න. නොම්බර 35, ගුවන් හමුදා මාවත, කටුනායක”.

ඉතින් මේක කියවලා ගෑණු ළමයත් “ෂා, දාල තියෙන විස්තරේ හැටියට මේ එයා ෆෝස් පයිලට් කෙනෙක් තමා” කියලා පරක්කු වෙන්නෙ නැතිව මේකට රිප්ල්යි එකක් දැම්මා. ඉතින් ඔන්න ටික දවසකින් කොල්ලත් රිප්ලයි කරලා වැඩේ දැන් නැගල යනවා. කොල්ල ෆෝන් කර කර මල් කඩන තරමටම වැඩේ සීරියස් විදිහටම නැගල යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට කෙල්ලත් කොල්ලට කියනවා,

"අනේ මම ඔයා ගැන අපේ තාත්තටත් කියලා තියෙන්නෙ. තාත්තා කිව්ව ඔයාට මේ ඉරිදට අපේ ගෙදර එන්න කියන්න කියලා."

ඔන්න ඉතින් ඉරිදා දවසේ කොල්ලත් හා හා පුරා කියලා කෙල්ලගේ ගෙදරට යනවා මොකද මාමණ්ඩි එන්න කියපු නිසා. දැන් කතාව මේ විදිහට කෙරීගෙන යනවා,

"අපිට හරිම සන්තෝසයි පුතා වගේ ගොඩක් ඉහල රස්සාවක් කරන වැදගත් ළමයෙක් අපේ මේ දුවට ලැබීම ගැන. පුතා එතකොට ගුවන් හමුදා කඳවුරේමද වැඩ කරන්නෙ ?" මාමණ්ඩි අහනවා.

"කඳවුරේත් වැඩ කරනවා ඒ වගේම ගොඩක් වෙලාවට එලියෙත් වැඩ කරන්න වෙනවා මාමේ , දන්නවානේ, ඉතින් අපේ රස්සාවෙ හැටිනේ. " කොල්ලත් කියනවා.

"එතකොට ඔය උඩට ගිය වෙලාවට මොකද කරන්නෙ ?" මාමණ්ඩියත් අහනවා.

"ගොඩක් වෙලාවට විස්සක් තිහක් බිමට අත ඇරලා තමයි ආපහු බහින්නෙ . . . " කොල්ලත් කියනවා.

"ආ, විස්සක් තිහක් දානවා ? " මාමණ්ඩියත් අහනවා.

"දවසකට ඉතින් සීය හමාර දාන වෙලාවළුත් තියෙනවා . . . " කොල්ලත් අරින්නෙ නෑ.

"ඈහ්, හැබෑද, ඔක්කොම ඉලක්කෙටම වැටෙනවද ? ඔය එකක් බර ගානක් වෙනවා නේද ?"

"නෑ, සමහර වෙලාවට කාණුවලටත් වැටෙන වෙලාවල් තියෙනවා . . . එකක් රුපියල් විස්සක් විතරනේ වෙන්නෙ . . . ! කාණුවලට වැටුනහම ඉතින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්නවා . . ."

"ඈහ්, හෝදලා ගන්නවා, බෝම්බ ? එකක් රුපියල් විස්සයි ?" මාමණ්ඩියා ෆුල් අඤ්ඤකොරොස් වෙලා අහනවා. . .

ඔන්න කොල්ල කියනවා "බෝම්බ ? මොන බෝම්බද ? මම කියන්නෙ මේ පොල් පොල් . . . "

"මොකක්, පොල්, එතකොට තමුසේ පයිලට් කෙනෙක් නෙම්යිද ?" මාමණ්ඩියා උතුර දකුණ මාරු කරගෙන අහනවා.

"පයිලට් ? කවුද කිවුවේ මම පයිලට් කෙනෙක් කියලා. මම මේ කරන්නෙ කුලියට පොල් කඩන එකනේ . . " කොල්ලත් කියනවා.

"එතකොට මේ පත්තරේ දැන්වීමේ කියලා තියෙන්නෙ ගුවනේ සිට සිරි නරඹනවා කියලා" ඔන්න දැන් කෙල්ලත් අඬන මූඩ් එකෙන් කතාව මැද්දට පනිනවා.

"ඔව් ඉතින් පොල් ගහකට නැග ගත්තම පොඩ්ඩක් අවට සිරි නරඹලා තමා ආපහු පල්ලෙහාට බහින්නෙ . . . නැත්තන් අපරාදෙනෙ .. " කොල්ලත් කියනවා.

"එතකොට මේ කියලා තියෙන්නෙ, තාත්තාත් ගොඩක් උසස් රැකියාවක් කරනවැයි, තාත්තාගේ යටතේ තමයි වැඩ කරන්නෙ කියලා" . . . මාමණ්ඩියත් පුටුවෙන් නැගිටින ගමන් අහනවා.

"ඉතින් බොරුයෑ . . . . තාත්තා තමයි ගොඩක් උස ගස් වලට නගින්නෙ. මම නගින්නෙ පැල ගස් වලට . . . " කොල්ලත් කියපි.

මම නම් හිතන්නෙ ඒ මගුලත් කෙරෙන්නෙ නැතිව ඇති . . . .!

මග ඇවුරූ සුදු ඇඳි කත

Posted by දුමී

මාගේ පියාගේ උපන් ගම වනුයේ මතුගම පාන්තිය නම් අති සුන්දර වූ ගම් පියසයි. කුඩා කලදී ලද සෑම නිවාඩුවක්ම ගත කිරීම සඳහා මමත් මාගේ සොයුරු සොයුරියනුත්, නැන්දාගේ පුතනුවන් දෙපලත් දිව එන්නේ මෙහිය. පසෙකින් දිවෙන වෙල් යායත්, අක්කර ගනනින් ඈතට විහිදෙන රබර් යායත්, කඳු හෙල් අතරින් ගලා යන දොල පාරවල් අතරත් නිබඳවම අපගේ බාල කාලය ගත විනි. ඒ අති සුන්දර වූ බාල කාලයේ මතකය පසුවට ලියා තැබීමට ඉටා ගනිමින් එහි කාලයකට ඉහතදී මුහුන පෑ අති භයංකර වූ අත් දැකීමක් මෙහි ලියා තැබීමට මුලින්ම අදහස් කරමි.

මගේ මතකයට අනුව එය 1991 වර්ෂයෙහි මුල විය යුතුයි. මාස කීපයකට පෙර එනම් දෙසැම්බරයේදී මුහුණ දුන් සාමාන්‍යය පෙළ විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටි මාද මට වඩා දින තුනකින් පමණක් බාල වූ මාගේ මස්සිනා වන නැන්දාගේ ලොකු පුතා වන ලකී මල්ලීද මේ කාලය ගත කරන ලද්දේ කුණාටුවකට හසුව ගසාගෙන යන කුඩාම කුඩා පුළුන් රොදක් වන් සැහැල්ලුවකිනි. නොබෝ දිනකින්ම අපගේ ගමනාන්තය වූයේ මතුගමය. මේ ගමන සඳහා ලකී මල්ලිගේ පාසලේ මිතුරන් කිහිප දෙනෙකුද සම්භන්ධ වූයෙන් ගමන වඩාත් රසවත් එකක් වූවේය. පාසලේ "වෝටර් පෝලෝ" කණ්ඩායමේ සාමාජිකයන් වන මාගේ මස්සිනාද ඔහුගේ මිතුරන් කිහිප දෙනාද වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම "දිය කාවුන්ය". අහල පහල දකින දකින දිය පහරවල්ද, කෙනෙකුගෙන් අසා දැනගත් මතුගම නගරය වටා පිහිටි නොයෙකුත් ඇළ දොළවල්ද සොය සොයා ගොස් ඒවාට පැන නා, පිහිනා දියකෙලියේ යෙදීමට එහි ගත කෙරූ දින කිහිපයේදී මාගේ මස්සිනාද මිතුරු කැලද මොනවට වග බලා ගත්හ. යන්තම් අත පය ගසා ජලයේ නොගිලී හිටීමට තරම් පමණක් හැකියාවක් තිබූ මා ඔවුන් සමග සෑම විටම එකතු නොවූයේ ඔවුන් සමග හරි හරියට ජලයේ ඔට්ටු වීමට තරම් මා දක්ෂයෙකු නොවීමයි. එවන් විටක මතුගම වෙසෙන චමින්ද අයියාත් තවත් කොල්ලො කුරුට්ටනුත් සමග කාඩ් ක්‍රීඩාවේ හෝ කැරම් ක්‍රීඩාවේ යෙදීමටත්, බාප්පාගේ මෝටර් සයිකලය පාළු අතුරු පාරවල් පුරා පැද යාමටත් මා වඩාත් රුචි වූයෙමි.

පසලොස්වක පොහොය දිනක් වූ එදින අපගේ උදය වරුව ගෙවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටය. ඒ අතර අප සමග ක්‍රීඩාවේ යෙදීමට පැමින සිටි මතුගම ප්‍රදේශයේම කොල්ලෙකුගෙන් ලකී මල්ලි සහ මිතුරු කැලට ලැබුනු ඔත්තුවක් වූයේ නිවසට හැතැක්ම කිහිපයක් දුරින් පිහිටා ඇතැයි කියවුනු දිය කෙලියේ යෙදීමට කියාපු දොල පාරක්ය. සැනෙකින් ක්‍රීඩාවද නවතා දමා එම දොල සොයා ගිය ලකී මල්ලීද මිතුරු කැලද මුහුණ දුන් ඒ ත්‍රාසජනක අත්දැකීම මම මෙසේ දිග හරිමි.

දිවා ආහාරය කටකට දෙකකට ගිල දැමූ ඔවුන් දිය පාර සොයා ගියේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගත වූ පසුවය. ප්‍රධාන මාවතෙන් හැරී ගොස් අතුරු පාරකින් ලඟා විය යුතු විශාලවූ රබර් වතු යායක් මැද පිහිටියාවූ එම දොල පහර පැවසූ පරිදිම ඉතා ප්‍රියජනක එකක් වීය. අහල පහලක මිනිස් පුළුටක් දකින්නට නොමැති නිස්කලංක සැන්දෑවේ ඔවුන් සිතු සිතූ ලෙස දිය ක්‍රීඩාවේ යෙදෙමින් මුළු සවස් කාලයම ගත කලහ. හතර වටින්ම රබර් ගස් වලින් වටවූ මේ දිය අගල අද්දරින් හිරු මුවා වී යෑම සඳහා වැඩි වේලාවක් නොයන්නේය. ටික වේලාවකින් දිය කෙලියේ වුවන්ට ඇසෙන්නට වූයේ තම කූඩු කරා වේගයෙන් ඉගිලී යන කෑරල්ලන්ගේ කඨෝර ශබ්ධයත් වරින් වර ඈතින් උඩු බුරුලන බල්ලෙකුගේ මූසල හඬත් පමණි.දනි පනි ගා ගොඩට විත් ලහි ලහියේ ගත වන් තෙත මාත්තු කර ඇඳුම් දවටා ගත් ඔවුන්ට පසක් වූයේ මේ වනවිටත් කෑලි කැපිය හැකි ලෙස අඳුරු වී තිබුනු මග ආපසු යෑමට උදව් දෙන කිසිම එලියක් ඔවුන් සතුව නොතිබූ බවය. යාන්තමටවත් මග සොයා ගත හැක්කේ රබර් තුරු මුදුන්වලට මුවා වී අතු පතරින් ගලා යන පසලොස්වක සඳ එළිය උදව්වෙනි.මිතුරන් පස් හය දෙනෙකුගෙන් සැදුම් ලද මිතුරු නඩය පය එසවූයේ අතුරු පාර හරහා ප්‍රධාන පාරට ඇති හැතැප්මක් පමණ වූ දුර ගෙවා දමන්නටය. පැවති දැඩි කළුවර නිසා තමන් ඉදිරියේ ගමන් කරන්නා පමනක් නොව අඩි ශබ්ධය පමණක් ඇසෙන්නාවූ තමන් පසු පසින් ඇත්තටම ඇදෙනුයේ තම මිතුරෙක්ද එසේ නොමැතිනම් වෙනත් කිසිවෙක් දැයි දැක ගැනීමටවත් පැවතියාවූ ඝන අඳුර නිසා පුළුවන්කමක් නොතිබිනි. සිත හරහා ඇදී යන්නාවූ සියුම් බිය ජනක ගුප්ත ගැඟීමද මිතුරන් වෙතින් දොඩමළු බවද අකා මකා දමා ඇත. මදකට කලින් ඉතා ඈතින් ඇසෙන්නට වූ බල්ලාගේ උඩු බිරුලෑමද දැන් දැන් ලඟ ලඟම ඇසෙනුයේ වඩාත් තිවූර හඬක් නගමිනි. ඉතා අපහසුවෙන් අතුරු මග දිගේ පැමිණි නඩයට සැනසුම් සුසුමක් හෙලුනේ මදක් ඔබ්බෙන් වූ ප්‍රධාන පාර දැකීමෙනි. පළලින් තරම්ක් විශාලවූ ප්‍රධාන මාවතද පැමිණි අතුරු පාරට වඩා වැඩි වෙනසක් නොවූයේ නගරයේ මෙන් වීදි පහන් මගින් මග දෙපස ආලෝකමත් වී නොතිබූ නියාවෙනි. එනමුත් සඳ එළිය හොඳින් පාර මතට වැටී දිලිසෙන නිසාද අතුරු පාර මෙන් මාවත උඩින් වසාගත් උඩු වියනක් නොතිබූ බැවිනුත් මිතුරු නඩය දැන් පය ඔසවන්නේනම් පෙරට වඩා පහසුවෙන්ය. එනමුත් සියළුදෙනා තුලින්ම දොඩමළු බව සැඟව ගොස් ඇත්තේ සියළු දෙනාම කතාවී කතා නොකර සිටීමට ගිවිස ගත්තා යැයි සිතෙන පරිද්දෙන්ය. සියල්ලන්ගේම සිත් නොපුරුදු ගුප්තමය සියුම් බියකින් වෙලා ගෙනය. එතරම්ම රෑ බෝ වී නොතිබේ යැයි සිතුනද කිසිවෙකු අතත් ඔරලෝසුවක් නොතිබුනේ දිය පාර සොයා යෑමේ හදිස්සියෙන් ගෙදරින් එළියට බැස්සද නෑමට අවශ්‍ය අඳුම් සහ පිස දා ගැනීම තුවා පමණක් මිස වෙන යමක් රැගෙන නොපැමිණි නිසාය.

ප්‍රධාන මගෙහි මද දුරක් පැමිනි මිතුරු කැල දුටුවේ පසෙකින් පිහිටි කුඩා තේ කඩයකි. චිමිනි ලාම්පු කිහිපකින් පමණක් එලිය ලබා තිබූ කඩයට මිතුරන් සියල්ල ගොඩ වූයේ සැනසුම් සුසුම් හෙලමින් වුවද තමන්ගේ හිත් ගැස්සී ඇතැයි අනෙකුන්ට නොපෙන්වීමටද සියලු දෙනාම වග බලා ගත්තහ. මෙතෙක් වේලා දිය කෙලියෙන් සහ ඇවිදවිත් හෙම්බත් වී උන් සියළුදෙනාම කඩය පුරා නෙත්හෙළුවේ දැනෙන්නාවූ සියුම් බඩ ගින්න නිවා ගැනීමට සුදුස්සක් ඇත්දැයි විපරම් කිරීමටය. පරන වීදුරු කබඩයක දමා තිබූ විස්කිරිඤ්ඤං කිහිපයක් පමණක් තිබුනෙන් සියළු දෙනාම එය බෙදාගෙන කෑවහ. මිනිත්තු කිහිපයක් කඩයේ රැඳෙමින් මුදලාලි විසින් සාදා දුන් කහට වීදුරු කිහිපයෙනුත් බඩ පුරවාගත් අප මිතුරු කැලට මුදලාලි පැවසුවේ "කොල්ලනේ ගොම්මන් වෙන්න කලියෙන් විජහට ගෙදර පලයල්ලා . . !" කියාය. එසේ පවසන විට ඔහුගේ මුහුනේ වූ බැරෑරුම් බව කුමක් නිසා හට ගත්තාදැයි ඔවුනට හැඟුනේ නැත.

විස්කිරිඤ්ඤයට සහ කහට වීදුරුවට පින්සිදු වෙන්නට ලැබුවාවූ ප්‍රබෝධවත් බව බව සමගින් මිතුරන් නැවත මාවතට පිවිස සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.දැන් දැන් නඩය පසු කරන්නේ පලාතේ වූ සුසාන භූමිය තිබෙන ප්‍රදේශයයි. එදින සවස ආදාහනය කරන ලද චිතකයක ගිණිදැල් බුර බුරා අහස් කුසට නැගෙනුයේ අවට පලාතේම අඳුර මකා දමමිනි. කනත්ත පසු කර සැතපුම් කාලක් පමණ ගමන් ගත් පසු එකෙකුට පසක් වූයේ තමන්ගේ ඇඳුම් බෑගය කඩයේ දමා පැමිණි බවය. ඔහු හට දෙස් දෙවොල් තබමින් සියළු දෙනාම නැවත හැරී කඩය තිබූ දෙසට පිය මනින්න වූහ. එසේ ආපසු යෑමට ලැබුනේ පියවර කිහිපයක් පමණි. පාරට වන් සඳ එළියෙන් දුටු දෙයින් සියළු දෙනාගේම රෝම කූප කෙලින් විනි. ඔවුන් ගමන් කරමින් උන් තැනට බඹ කිහිපයක් දුරින් පාර අද්දර වූ ලියැද්දෙන් එක් වරම පාරට පැන්නේ සුදු වතින් ගත වසාගත් කාන්තාවකි. කුදු වූ ශරීරයකින් හෙබි ඇයගේ මුව දැකීමෙන් සියළුදෙනාගේම කෙල සිඳී ගියේ එක් වරමය. ලේ පැහැයෙන් දිලිසෙන ඒ මුව දිස් වූයේ වැටෙනා සඳ එළියෙනි. ඇඳ සිටි සුදු පාට අඳුමේ තැනින් තැන රතු පැල්ලම්ද පැහැදිලිවම දැක ගැනීමට පිලිවන් විය. සැනෙකින් ආපසු හැරුනු ඔවුන් සියළුම විරිය ගෙන හැල්මේ දුවන්නට පටන් ගති. එසේ කොපමණ වෙලාවක් දිව්වාදැයි නොහැගුනු ඔවුන් දිවිම නැවත්තූවේ ඉතාම තදින් හති වැටී තව දුරටත් පය එසවීමට නොහැකි වූ විටදීය. තාර පාරේ තැනින් තැන ඉඳ ගත් සියළු දෙනා හති අරින්නට වූයේ එකිනෙකාගේ බියපත් මූනු දෙස බලමින්ය. දිව ආ පාර දෙසට නෙත් යොමු කරමින් ඔවුන් උන්නේ ලද්දාවූ දැඩි කම්පණය දරා ගනිමින්ය. තවමත් තමන් පසු කරගෙන ආ ඈත වංගුව වරින් වර එළිය කෙරෙන්නේ කනත්තේ ගිණි ගෙන දැවෙනා චිතකයෙනි. ඉන්පසු දකින්නට ලැබෙන දර්ශණය කිසි දින කිසිවෙක් හැබැහින් දකින්න නොලද දෙයකි. ඈත වංගුවෙන් පාවී ඉදිරියට ඇදී එන්නේ පාරට වන් සුදු ඇඳි ගැහැණියයි. පාරට වඩා අඩි කිහිපයක් උඩින්, යමෙකු ඇවිදිනවාට වඩා වේගයෙන් පාවෙමින් ඔවුන් වෙතට ඈ ඇදී එයි.

ඉතිරි වී තිබූ සියළුම ශක්තිය පා යුග වලට යෙදවූ මිතුරු කැල පසු පස නොබලාම ඉතිරි හැතැප්ම කිහිපයද ගෙවා දමා අප උන් නිවසට ලඟා වන විට කිසි වෙකුටත් කතා කිරීමට හැකියාවක් නොතිබුනි. චමින්ද අයියා සහ තවත් කොල්ලන් කිහිප දෙනෙකුත් සමග කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටි මට දැක ගැනීම හැකි වූයේ ඉස්තෝප්පුවේ තැනින් තැන වැටී හති අරින මිතුරු නඩයයි. සියළු දෙනාම බොහෝ බියවී සිටියහ. සැනකින් එතනට රොක් වූ ගෙදර සියළු දෙනා සිදු වූයේ කුමක්දැයි අසන්නට වීය. එනමුදු කිසිවෙකුත් වචනයක්වත් නොදෙඩුවේ සියළු දෙනාම දැඩිව බියපත් වී සහ හෙම්බත් වී සිටියාවෙනි.

මද වේලාවකට පසුව දකින්න ලැබෙනුයේ කළු පැහැති බයිසිකලයක් පැදගෙන වත්තට ආ දන්නා හඳුනන කොළු ගැටයකි. අප සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඇතැම් දිනක පැමිණෙන ඔහු මේ දර්ශණය දෙස බලා හිටියේ පුදුමයෙනි.

"අයියලා මොකද මේ බය වෙලා ?" කොල්ලා අසයි.

"අයියලා අපේ ආච්චිට බය වෙලා වගේ . . ." ඔහු පවසයි.

"ඔය ගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ අපේ ආච්චිනේ." ඔහු කියාගෙන යයි.

"උන්දැට ඔන්න හදීසියේ එළි බහින්න ඕනෙ කියලා පාර අයිනේ ලියැද්දට රිංගුවානේ, මම මේ උන්දැව පංසලේ සිල් පවාරණය කරලා ඉඳල බයිසිකලේ දාගෙන එක්කං එන ගමන්. . ."

"ඔය ගොල්ලො දුවනවා දැකලා මාත් ආච්චිව බයිසිකලේ දාගෙන ඉක්මනට පැදගෙන ආවා. ඒත් කොහෙද ඔයගොල්ලන්ව අල්ලගන්න බැරි උනා . . . මාර දිවිල්ලක්නෙ දිව්වෙ . . . පස්සෙ මම ආච්චිව ගෙදර බස්සලා මෙහෙ දුවගෙන ආවෙ මොකක් හරි අල කලංචියක් වෙලා කියලා දැනගෙන තමයි."

තවමත් අයා ගත් කටවල් වලින් යුතුව කිසිවක් නොදොඩා මිතුරු කැල ඔහු දෙස බලාගෙන සිටිති.

"ම . .මල්ලි අර ඇඳුම පුරාම රතු පාටට තිබුනේ මොනවද . . . " එකෙක් ගොත ගසමින් අසයි.

"අයියෝ අයියේ අපේ ආච්චි කොච්චරවත් කට පිරෙන්න බුලත් කෙල පුරෝගෙන ඉන්නවානෙ. උන්දෑ දන්නෙත් නෑ අඳුම පුරා බුලත් කෙල වැටෙනකං"

පාවී පාවී එනවා වගේ අඩ අඳුරේ හඳ එළියෙන් කට්ටිය දැකල තියෙන්නෙ ආච්චිව බයිසිකලේ පොල්ල උඩ තියාගෙන කොල්ලා බයිසිකලේ පැදගෙන එන එකයි.

පවුල් ජීවිතේ

Posted by දුමී


මම ඉතින් හැමදාම වැඩට යනකොට ඔය රේඩියෝ එක එහෙම අහගෙන කරගෙන තමයි යන්නෙ. ගොඩක්ම මොකද කොහේ හරි ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා පාරවල් එහෙම බ්ලොක් වෙලාද කියලා දැන ගන්න. එහෙම උනෝතින් වෙන පාරකින් හරි ඒ බ්ලොක් එක මග ඇරලා හරි යන්න පුළුවං නිසා. මම ඉන්න ෂාජා ගෙදර ඉඳන් ඔෆිස් එකට කිලෝ මීටර් 65ක් විතර තියෙනවා. ඉතින් ඔය දුර යන්න උදේට පැයකුයි හවසට පැයකුයි පැය දෙකක්ම පාරටම පූජ කරනවා. ඔය යනින් ගමන කොහේ හරි ඇක්සිඩෙන්ට් එකක් එහෙම වෙලා තිබුනොත් ඉතින් පැය දෙක තුනකට මෙහායින් නවතින්නෙ නැහැ. ඔන්න එක දවසකුත් මගෙම කරුමෙට ඇක්සිඩන්ට් එකක් හින්දා පාරෙ වරු ගානක් හිර උනා. ඔන්න ඉතින් එදා රේඩියෝ එකේ මරු ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔන්න රේඩියො එනවුන්සර් කියනවා වයිෆ්ලට, තමන්ගෙ ස්වාමි පුරුෂයට හරියට කරන්න බැරි වැඩ මොනවද කියලා එස්.එම්.එස් එවන්න කියලා. මෙන්න බොලේ වක්කඩ කැඩුවා වගේ එස්.එම්.එස් සිය ගානක් එනවා කියලා දැන් රේඩියෝ ප්‍රසෙන්ටර් කියනවා. ඔන්න ඉතින් එක වයිෆ් කෙනෙක්ව ටෙලි ෆෝන් එකෙන් සම්භන්ධ කර ගත්තා. මෙයා ඉතින් කියනවා ඔන්න එයාගේ මහත්තයට කරන්න බැරි දේ. එයා කියන විදිහට කොච්චර කරත් එයාගේ මහත්තයට කිලිටි රෙදි ටික ලොන්ඩරි බාස්කට් එකට දාන්න බැහැයිලු. ඉතින් මෙයා ටිකක් ලොකු බාස්කට් එකක් ගෙනාවලු. ඒත් හැමදාම රෙදි ටික බිමලු. අනේ මන්දන්නෙ නැහැ ඒ මනුස්සයට රෙදි ටික බාස්කට් එකට් දාන එක විතරමද බැරි කියලා.

ටික වෙලාවකට පස්සෙ තව නෝන කෙනෙක් දුරකථනයෙන් සම්භන්ධ උනා. මෙන්න බොලේ මෙයා කියනවා එයාගේ හස්බන්ඩ්ට ඩිෂ් වොශර් එකට පිඟන් ටික හරියට අඩුක් කරන්න දන්නෙ නැහැල්ලු. මට ඉතින් හරියට දුක හිතුනා ඒ අසරණ මනුස්සය ගැන. ඔන්න බලන්න ගෑනිගෙ තියෙන කෙලෙහි ගුනේ. පිඟන් අතින් හෝදන්න දෙන්නෙ නැතිව තමන්ගෙ බිරිඳට ඩිෂ් වොශර් එකකුත් අරන් දීපු මනස්සයාව මුළු රටටම ඇහෙන්න නෝන්ඩි කරනවා මේ බිරින්ඳන්නාන්සෙ. ඩිෂ් වොශර් එක අරන් දුන්නා මදිවට තව හස්බන්ඩ්ම පිඟන් ටිකත් අඩුක් කරන්නත් ඕනෙ. ඉතින් එදා මම හිතා ගත්තා මට කවුරු හරි නිකන් දුන්නත් අපේ ගෙදරට නම් ඩිෂ් වොශර් එකක් අර ගන්නෙ නැහැ කියලා. එහෙම හිතෙන්න තව හේතුවක් තියෙනවා. ඒ මේ මමත් ගෙදර තියෙන වොෂින් මැෂින් එක ඔපරේට් කරන්න නම් දන්නෙ නැහැ. හැම අවුරුද්දකම ගම හාමිනේ සහ පොඩි එවුන් දෙන්නා සමර් නිවාඩුවට ලංකාවට ගියහම මම ඉතින් රෙදි ටික ලඟ තියෙන ලොන්ඩරි එකට දෙනවා මිසක් ඔය බැරි වැඩ කරන්න යන්නෙ නැහැ.ඉතින් එදා බැරි වෙලා හරි අපේ ගම හාමිනේ ඔය ප්‍රෝග්‍රෑම් එක ඇහැව්වනම් ශුවර් ඇන්ඩ් ෂොට් ඕකට කෝල් කරල ඕක කියනවම තමයි.

මේක මේ මම සෑහෙන කාලයක ඉඳන් ඇනලයිස් කරපු දෙයක්. ඔය හැමදේම මැව්වැයි කියන මහ බඹාද, මහ බබාද ඉන්නවනෙ. ඌ පිරිමින්ව මවන්න නම් එක එක වෛවාරණ්‍ය අච්චු පාවිච්චි කරාට කම්මැලි කමටද කොහෙද ගැණුන්ව මවන්න නම් පාවිච්චි කරලා තියෙන්නෙ එකම එක අච්චුවයි. ඔක්කොම ගෑණු ටික එකම අච්චුවට දාල හදලා ඉවර වෙලා පිට පොත්ත විතරක් වෙන වෙන පාට පවිච්චි කරලා ෆිනිෂින් පාරක් දාලා. මොකද මම දන්න හැම යාළුවෙක්ටම වගේ තියෙන්නෙත් මේ මට තියෙන කරදර ටිකම තමයි ගෙදර බිරින්ඳන්නාන්සේගෙන්. අපි හැමෝගෙම ප්‍රශ්න බලාගෙන යනකොට හරිම සමානයි. මොකද අච්චුව එකයි, එන්ජින් එක සේම් මොඩල්.

ඔන්න මුළු දවසම මහන්සි වෙලා ට්‍රැෆික් එකේ චාටර් වෙලා අහල පහලින් යන කාර් කාරයන් එක්කත් මල පන්නගෙන ගෙදරට ඇවිල්ල පොඩ්ඩක් පුටුවක්ට බර වෙලා ටී.වී එක දිහා හරි කම්පියුටරේ ඉස්සරහට ඇවිල්ල බ්ලොග් එකක්, පත්තරයක් හරි කියවන්න ගත්තහම හරි ඔන්න ඉතින් මූන කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන බ්‍රහ්ම දණ්ඩණය පනවනවා. ඉතින් මේ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ අපි එදා මුළු දවස ගත කරේ කොහොමද කියලා කතන්දරයක් වගේ කියනකන්නෙ. ඒ වගේම ඒ ගොල්ලො දත් මැදපු වෙලාවෙ ඉඳන් රෑවෙනකං වෙච්ච දේවල් අකුරක් නෑර අපිට කියනකං අපි අහගෙන ඉන්නත් ඕනෙ. ඔය අතරේ අල්ලපු ගෙදර ඉන්න ඉන්ඩියන් ලේඩි ගෙන් පීනට් චට්නි හදන හැටි ෆෝන් එකෙන් අහගත්ත රෙසිපි එකයි, තව යාළුවෙක් ගෙදරට අළුතෙන් දාපු කර්ටන් වල දිග පලල සහ ඒකට රේන්ද අල්ලලද නැතිද වගේ විස්තරත් අපිට කියන්න ඒ ගොල්ලො සෙට් කරන් තමයි ඉන්නෙ. ඉතින් පිරිමි අපිට ඔය අහන ප්‍රශ්නයකට දෙකකට ශෝට් ඇන්ඩ් ස්වීට් උත්තරයක් දීල තියෙන දෙයක් බඩට දාගෙන ඇඳට පනින්නනේ ඕනෙ. එතනදී තමයි ඔන්න යුද්දේ පටන් ගන්නෙ.

"ඔයා දැන් මට ඉස්සර වගේ ආදරේ නැහැ ......." ,

"ඔයාට ඔෆිස් එකේ කවුරු හරි ඇති, ඒකනෙ මාත් එක්ක දැන් හරියට කතා කරන්නෙවත් නැත්තෙ . . . ."

ඔන්න තවත් දෙයක් තමයි ඔය ඔෆිස් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි වෙන එකකට හරි අම්බානෙකට හිර වෙලා ඉන්න වෙලාවට කෝල් එකක් දීල, "අනේ මොනව හරි කියන්නකෝ අනේ, මට හරි කම්මැලියි . . . " කියලා කියන එක. ඒ කතා කරන්නෙත් එයාට ඉන්න යළුවො විසි තිස් දෙනත් එක්කම පැය දෙක තුන ලිඳ ලඟ සංගමය දාගෙන ඉඳල ෆෝන් එකෙන් කේක්, පැටිස්, අතිරස අළුව හදලා වෙන කතා කරන්න එක්කෙනෙක් නැති උනහම.

මේ කතාව කිව්වෙ අපේ අසෝක අයියා. අපි ඔය පසුගිය මැයි මාසෙ දිහාවෙ අබාධිත රණවිරුවන්ට සනීපාරක්ෂක පහසුකම් ඉදිකරලා දෙන්න කියලා සංගීත ප්‍රසංගයක් කලා අබු ඩාබියේ. ඒකෙදි හොඳ රස කතා දන්න අසෝක අයියගෙන් කට්ටිය ඉල්ලා හිටියා එහෙම කතාවක් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවෙ අසෝක අයියා කියපු කතාව තමයි ඔන්න මම දැන් කියන්න යන්නෙ.

මේක මේ කැලෑ කතාවක්. කවුරුත් දන්නවානේ කැලේ රජා කවුද කියලා. ඉතින් ඔය කැලේ රජාගේ දූ කුමරිය සිංහ කුමාරිව අල්ලපු කැලේ සිංහ කුමාරයෙක්ට බන්දල දෙන්න උත්සවයක් තිබිලා. ඉතින් ඔය උත්සවය ගජ රාමෙටම නැගල යනවලු. ඉතින් කැලේ ඉන්න අලි, කොටි වලස්සු, අනෙකුත් සිංහයෝ, ව්‍යාග්‍රයො වගේ ඔක්කොම ලොකු ලොකු සත්තුන්ට තමයි මේ උත්සවයට ආරධනා කරලා තියෙන්නෙ.

කොහොමෙන් කොහොම හරි පාටිය නැගල යනකොට මෙන්න බොලේ කොහෙන්ද ආපු මීයෙක් වලිගෙත් උස්සගෙන එහෙ මෙහෙ දුවනවලු. එක තැනක ඉන්නෙත් නැහැල්ලු, එහාට යනවලු, මෙහාට යනවලු. මේක දැකපු කොටි නාම්බෙක් මීයව අල්ල ගත්තලු. අල්ලගෙන ඌට කිව්වලු,

"ඈ බං බොල මීයෝ, බොලා කොහොමද මේ සිංහයගේ පාටියට ආවෙ. මේකට ආරධනා කරල තියෙන්න අපි වගේ ලොකු ලොකු අලි කොටි වලස්සු, සිංහයෝ වගේ සත්තුන්ට විතරයිනෙ" කියලා.

ඔන්න ඒ පාර මීයා කියනවලු,

"මචං කොටියෝ, මමත් ඉස්සර සිංහයෙක් තමයි, කසාද බැන්ඳට පස්සෙ තමයි බං මමත් මීයෙක් උනේ" කියලා.

හෝව් හෝව් ඔන්න බොලේ ගම හාමිනේ එනවා. මම ලිව්ව ඇති දැනට. නැතිනම් මටත් ඔන්න මීයෙක් වෙන්න තමයි වෙන්නෙ.

අපේ ඩොකා

Posted by දුමී

මගේ ජීවිතයේ ඉතාමත්ම සුන්දරම කාලය විදිහට මම සලකන්නෙ මම NIBM එකේ ගත කරපු කාලයයි. අවුරුදු එකහමාරක් වූ පරිඝණක පද්ධති සැලසුම් කිරීම සම්භන්ධ ඩිප්ලෝමා කෝස් එක සිංහලෙන් කිව්වොත් "Diploma in Computer System Design", ඉවර කරලා ඊට පස්සෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකට ජොයින් වෙලා තව අවුරුදු එකහමාරක් විතර වැඩ කලා. ජීවිතේටම හරිම අපූරු අත්දැකීම් ගොඩක් එක්කාසු කරගන්න ලැබිච්ච කාලයක් තමා ඒක. පාසල් කාලය ඉවර කරලා වැඩිහිටියෙක් විදිහට සමාජයට පය තබන්න ලබපු පෙර හුරුව තමා අපි NIBM එක තුල ලැබුවේ. ඒකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට තමා ඉස්සෙල්ලාම රැකියාවක් වශයෙන් පඩියක් හම්බ උනේ. 1997 අග භාගයේ ඒ හම්බ වෙච්ච පඩිය රුපියල් 2250. පඩිය ගත්ත ගමන් ඉස්සෙල්ලම කලේ අම්මාට අළුත් ඇඳුමක් අරගත්ත එක. ඒ කාලේ මම ගම හාමිනේ සමග මල් කඩන අවධිය. මට මතක හැටියට එයත් එක්ක ගිහිල්ල තමයි නුගේගොඩින් අපේ අම්මාට ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අරගත්තෙ. ඒත් මට මතක නැහැ මම මොනවද ගම හාමිනේට අරගෙන දුන්නෙ කියලා. ඕං බලන්න ගම හාමිනේටත් මතක නැහැනෙ ඒක. ඊට පස්සෙ මතකයි මම නංගිලා මල්ලිලාට චයිනීස් ෆ්‍රයිඩ් රයිස් අරගෙන ගියා කියලා. කොහොමෙන් කොහොම හරි දවස් දෙකකින් විතර අර පඩිය කුඩේ කුඩු. ඊට පස්සෙ මට තිබුනු මෝටර් බයිසිකල් කබලට පැට්‍රල් ගහන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලන් තමයි ගියේ.

අපිට NIBM එකේදි ගුරු හරු කම් දීපු ගුරුවරු වුනේ ඩොක්ටර් ජයසිරි, කල්‍යාණි මැඩම්, අකාලයේ අප අතරින් වියෝවූ දයාබර බස්නායක මැඩම්, කොලඹගේ සර්, ශ්‍යාමා මැඩම් යන දයාබර ගුරුවරුන්. මේ අතරින් ඉතාමත්ම සොඳුරු ඇදුරු තුමා වුනේ ඩොක්ටර් ජයසිරි මහතායි. NIBM එකේ පරිඝණක අංශයේ අධ්‍යක්ෂක වී සිටියේ ඔහු. රසවත් සාගරයක් වුනු ඩොක්ටර්ගේ ලෙක්චර් එකක් කවුරු හරි මිස් කලේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. NIBM එකේ එදා මෙදා සිටි ශිෂ්‍යයන් ඔහුට පට බැඳ තිබූ ආදරණීය නම වුනේ "ඩොකා" යි. ශරීරයෙන් ඉතාමත් කුඩා මිනිසෙකු වූ එතුමා ඔහුටම ආවේනික වූ මනා පෞරෂයකින් හෙබි සෑම කෙනුගේම ගෞරවාදරයට පත් වූ අයෙක්. එතුමා හා බැඳුනු රසවත් කතා ගොඩක් NIBM එකේ ‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ආවා. මගේ මතකයේ තිබෙන මම අහලා තියෙන කතා කීපයක් තමයි මම අද කියන්න යන්නෙ.

ඉතින් අපේ ඩොකා ලෙක්චර් එකක් දෙන වෙලාවට ඉංග්‍රීසි, සිංහල දෙමළ හැම භාෂාවකින්ම කතා කරනවා. හිටපු ගමන් මුකුත් කියන්නෙ නැතිව අංග චලනය වගේම මුහුනේ විවිද ඉරියව් පාවිච්චි කරලත් උගන්නනවා. මට මතකයි අපිට පලවෙනි දවස් දෙකේ "Introduction to computers" ඉගැන්නුවේ ඩොකා. මදර් මෝඩ් එකක් පෙන්නල අහුව්වාම මේක මොකක්ද කියල ඉතින් ඔය ඉදිරි පේලියේ ඉන්න එකෙක් කිව්ව "සර්, මදර් බෝඩ් එකක් කියලා". ඩොකා නක්කලේට හිනාවක් දාල කියනවා, "කෙහෙම්මල, පෙරියර් බෝඩ්" කියල. ඊට පස්සෙ ඩෝටර් බෝඩ් එකක් පෙන්නල කියනවා "සින්න බෝඩ්" කියල. ඉතින් එදායින් පස්සෙ අපිත් මදර්බෝඩ් වලට කියන්නෙ “පෙරියර් බෝඩ්” සහ ඩෝටර් බෝඩ් වලට “සින්න බෝඩ්” කියලා.

ඉස්සර NIBM එකේ කැන්ටිම තිබුනේ පලවෙනි තට්ටුවේ. මේ ලඟකදි ගිය වෙලාවක තමයි දැක්කෙ දැන්නම් හොඳටම වෙනස් කරලා කැන්ටිම හදල තියෙන්නෙ කලින් ඔඩිටෝරියම් එක තිබුන තැන. අපිට කලින් සීනියර් බැච් එක පටන් ගත්ත කාලේ, ඔන්න පලවෙනි දවසෙ බ්‍රේක් එකේදි පොරක් කැන්ටිමට ගිහිල්ලා පුටුවක ඉඳ ගන්නකොට තව එකෙක් පුටුව උඩින් සෝස් පිඟානක් තියලා. දැන් මුගේ පස්ස පැත්තට වෙඩි තියලා වගේ. ඉතින් පොර ඉක්කමනටම වොෂ් රූම් එකට ගිහිල්ල දැන් මේක දමාගෙන හෝදනවා. ඔය වොෂ් රූම් එකේ අර ‘නම්බර් වන්’ වැඩේ කරන්න හදල තියෙන ඒව පේලිය තිබුනේ පොලොව මට්ටමෙන් උඩ පොඩි කණ්ඩියක් උඩට නගින්න පුළුවන් විදිහට. ඊට විරුද්ධ පැත්තේ තමා සින්ක් එකක් හයි කරලා තිබුනේ කණ්නාඩියක් එක්ක. දැන් ඉතින් මූ අර කණ්ඩියට නැගගෙන සෝස් පිඟාන තියපු එකාගේ මවු පාර්ශවයට හොඳට පිං අනුමෝදං කර කර ලේන්සුවක් පොඟවලා පස්ස පැත්ත පිහිදනවා. අනිත් පැත්ත හැරිලා කණ්නාඩියෙන් පස්ස බල බලා සෝස් අයින් කරනකොට ඒ වෙලාවෙ එතන නම්බර් වන් වැඩේ කර කර හිටිය පොරකගේ උරහිසිට අත තියාගෙන වාරු වෙලා තමයි මූ දැන් මේක කරන්නෙ. ලෝකේ තියෙන ඔක්කොම කුණුහරුප ටික කිය කියා මූ දැන් සෝස් පිහිදාන ගමන් අර වැඩේ ඉවර වෙච්ච එකාට ලේන්සුව දීල කියනවා මචං පොඩ්ඩක් මගේ කලිසම පිහිදපං කියලා. ඉතින් අර පොරත් මුගෙන් ලේන්සුව අරගෙන මුගේ පස්ස ක්ලීන් කරනවා. ටික වෙලාවකට පස්සෙ තමයි මූ දැක්කෙ කණ්නාඩියෙන්, බොලේ මුගේ පස්ස ක්ලීන් කරන්නෙ ඩොකා කියලා. මූ එක පාරටම "අනේ සොරි සර්" කියල ලේන්සුව ඉල්ලගෙන. ඩොකත් ඉතින් නක්කල් හිනාවක් එහෙම දාල ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ ලෙක්චර් එකට ආපු ගමන් ඩොකා මුළු ඔඩිටෝරියම් එකම එහා කොනේ ඉඳන් මෙහා කොනට සර්ච් පාරක් දානවලු. ඊට පස්සෙ මූව දැක්ක ගමන් . . . "ආහ් . . . හරි මේ ඉන්නෙ" කියල ඌව මාක් කරල තමයි ලෙක්චර් එක පටන් ගන්නෙ. එදා ඉඳන් ඩිප් එක ඉවර වෙනකන් හැමදාම ඩොකා ලෙක්චර් එකකට ආපු ගමන්ම හොයන්නෙ මූවලු. ඉතින් අනිත් එවුනුත් ඩොකා ආපු ගමන් මූ ඉන්න තැන පෙන්නන්න පුරුදු උනාලු. බැරිවෙලා හරි මූ ආපු නැති දවසකට ඩොකා මියුට් මෝඩ් එකෙන් පස්ස පැත්ත පෙන්නලා ක්ලාස් එකෙන් අහනවලු මූ කෝ කියලා. ඔය සිද්ධිය නිසා කොල්ලො මූට කාඩ් එක ගහල තියෙන්නෙ "බැක් ෆයර්ඩ් (Back Fired) " කියලා.

ඩිප් එකේ අන්තිම මොඩියුල් එක තමයි සිස්ටම් ඩිසයින් ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක කරලා රිපෝට් එක හදලා "වයිවා" දෙන්න ඕනෙ ඩොකාට. මේක තමයි ඉතින් අන්තිම කඩඉම. ඩොක්ටර්ගෙ රූම් එක තිබුනේ NIBM එකේ හතරවෙනි තට්ටුවෙ කොනක. මෙතනට SSC ග්‍රව්න්ඩ් එක නියමෙට පේනවා හරියට ග්‍රව්න්ඩ් එකේ මේන් පැවිලියන් එක වගේ. දවසක් පොරක් වයිවා දෙන්න කියලා ඩොක්ටර්ගෙ රූම් එකට ගිහිල්ල ඉඳ ගත්තලු. ඔන්න ඩොකා ඉන්නවලු පැත්තට පුටුව හරෝගෙනන ග්‍රව්න්ඩ් එක දිහා බලාගෙන. එදා ලංකාව ප්ලේ කරන මැච් එකක් තිබිලා. ඉතින් ඩොකා කොල්ලට කිව්වලු "හා පුතා පටන් ගන්න" කියලා. එහෙම කියන්නෙ ඉතින් ප්‍රොජෙක් එක විස්තර කරන්න කියන එකයි. දැන් ඉතින් කොල්ලත් හිටු කියල කියවගෙන කියවගෙන යනවලු. දැන් ඉතින් කොල්ලත් ඔරේ පිට ගිරව වගේ ප්‍රොජෙක්ට් එක විස්තර කරනව. එකපාරටම ඩොකා,

"හුටා . . . කෙලිය නේද පොල්ලටම . . " කියල කියපි. බැලින්නම් අපේ එකෙක්ගෙ විකට් එකක් ගිහිල්ලා.

දැන් අරූ ෆුල් අඤ්ඤකොරොස් වෙලා මුලයි අගයි දෙකම පැටලිලා. දැන් ඩොකා කියනවා "ඇයි පුතා නැවත්තුවේ ? මතක නැද්ද , හා හා කියපන් කියපන් . . . "

දැන් මූට නවත්තපු තැනත් මතක නෑ .. .ඔන්න ආපහු පොඩ්ඩක් රිවර්ස් එකට ගිහිල්ල ආපහු ගිරව වගේ කියවනවා.

ටික වෙලාවකට පස්සෙ ඩොකා පුටුවෙනුත් නැගිටල,

"ගෙඩිය ගෙඩිය ගෙඩිය . . . .......අතගාල බිම දැම්මනෙ . . " කියපි.

දැන් වයිවා දෙන එකාට පොල්ලෙන් ගැහුව්වා වගේ මේ දාන ඇඩ්වර්ටීස්ට්මන්ට් වලට. හිතා ගන්නත් බැහැ මොකද කරන්නෙ කියලා. ඔන්න පොර ආපහු ටිකක් පස්සට ගිහිල්ල පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවකට පස්සෙ මුගෙ ඩිස්ක්‍රිප්ශන් එක ඉවරයි. ඔන්න දැන් ඩොකා මුගෙන් හිටු කියල ප්‍රශ්න අහනවා. ඔක්කොම අහන්නෙ මූ කියපු දේවල් වලින්. ඒත් මූට මතක නැහැ මූ කියපු දේවල්වත්. ඔන්න ඩොකා කියනවා "පුතා, උඹ ප්‍රොජෙක් එක කාගෙන් හරි කොපියක් ගැහැව්ව නේද ? පලයන් පලයන්, ගිහිල්ල ප්‍රොජෙක් එක හරියට කරගෙන වරෙන්" කියලා. මැච් එක බැලුවත් ඩොකා මූ කියපු හැම වචනයක් නෑරම රෙකෝඩ් කරගෙන තමා ඉඳල තියෙන්නෙ.

ඔන්න තව දවසක් තව එකෙක් වයිවා දෙන්න සෙට් වෙලා. ඉතින් එදා ඩොක්ටර් ලන්ච් එක අරගත්ත ගමන්ම තමයි මූ කාමරේට ගිහිල්ල තියෙන්නෙ. මූ යනකොටත් ඩොක්ටර් කෑම කාල අත පිහිද පිහිද ඉන්නවා. ඉතින් මූ ගිහිල්ල ඉඳගත්ත ගමන්ම ඩොක්ට මේසෙ ලාච්චුවක් ඇරල තඩි ආනමළු ඇවරියක් එලියට අරන් මූට දික් කරලා "ආ පුතා කන්න කෙසෙල් ගෙඩියක්" කියලා. බයේ ගැහි ගැහි වයිවා දෙන්න ආපු එකාට මොන ආනමාළුද ? ඉතින් මූත් කියලා "නෑ සර් එපා තැන්ක් යූ".

"උඹට එපා නම් මම කනවා" කියල ඩොකා ආනමාළු දෙකකටම වග කියලා උණුවතර බෝතලේ අරගෙන කෝප්පෙකට තේකකුත් වක්කරනවා. එහෙම කරන ගමන් ඩොකා කියනවා,

"පුතා මගේ මේ උණුවතුර බෝතලේ තේ ඉක්මනටම නිවෙනවනෙ. මොකද ඒ ?" කියලා.

හීන් දාඩිය දාගෙන වයිවා දෙන්න ආපු එකාගෙන් ඩොකා උණුවතුර බෝතලයක් ගැන අහනවා. දැන් ඉතින් මූටත් මුකුත් නොකිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර සාමන්‍ය දැනීම එහෙම දාල කියනවා,

"ඩොක්ටර්, ඔය බෝතලේ ඇතුලේ සිලින්ඩරේ යට පොඩි වීදුරු බල්බ් එකක් තියෙනවා. මම හිතන්නෙ ඒක කැඩිලා ඇති"

"යට බල්බ් එක ?" . . . . "පලයන් බං යන්න මගේ යට බල්බ් එක හොඳට තියෙනවා. හා කියපන් කියපන්" ඩොකා කියපි.

ඔන්න ඉතින් වයිවා දෙන්න ආපු එකත් උතුර දකුණ මාරු කරගෙන දැන් ගොත ගහනවා.

ඇත්තටම ඩොකා ඒවගේ දේවල් කරන්නෙ ඕන කමින්මයි. ඩොකටර්ගෙ Phd. එක “industrial psychology” ("කාර්මික මනෝ විද්‍යාව ").ඉතින් වයිවා දෙන්න පොරක් කාමරේට එන කොටම ඩොකා දන්නවා මූ හරියට ප්‍රොජෙක් එක කරලද, ගිරවා දාලද නැතිනම් කොප්පෙ ගහලද කියලා. ඉතින් ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය පාවිච්චි කරනවා.

ඉතින් ඔය හැම බැච් එකකම ඉන්නවානෙ ලෙක්චරස්ලට ගොට්ට අල්ලන එවුනුත්. ඉතින් අපිට වඩා ජූනියර් බැච් එකකත් හිටියා නිකන්ම නිකන් ගොට්ටෙක් නෙමෙයි, ඉම්පෝටඩ් ගොටු අල්ලන්නෙක්. හැම තැනකම ඉතින් පොර ලකුණු දාගන්නම තමයි බලන්නෙ. මුගේ දින චරියාව පටන්ගන්නෙ උදෙන්ම එන්.අයි.බී.එම් එකට ඇවිල්ලා ඩොකා එන වෙලාවට ඉස්සරහට දුවගෙන ගිහිල්ල "ගූඩ් මෝනින් ඩොක්ටර්" කියන එකෙන් තමයි. දවසක් ඔය ගොට්ට අල්ලන්න ආපු වෙලාවෙ ඩොක්ට මූට කතා කලා. ඊට පස්සෙ ඩොක්ට මුගේ කරට අත එහෙම දාල ටික දුරක් මූත් එක්ක ඇවිදගෙන යනවා. දැන් මූටත් මාර සිරා. ඇයි ඩොකා මුගේ කරටත් අත දාගෙන ඇවිදිනවනෙ. ඉතින් මූ වට පිට එහෙම බල බල අහල පහල ඉන්න අය දිහා ආඩම්බරෙන් බල බල එහෙම යනවා.ඔහොම මුකුත් නොකියා මූත් එක්ක කරට අත දාගෙන ලිෆ්ට් එක ගාවට ඇවිදගෙන ආපු ඩොකා එක පාරටම,

"පුතා, දොස්තරට උනත් _ක දෙන්න එපා !" කියලා ලිෆ්ට් එකට නැගලා යන්න ගියා. හිටපු තැනම ගල් බමුණා වෙච්ච ඌ ඊට පස්සෙ අර ඉම්පෝටඩ් ගොට්ට විකුනලා දැම්ම.


(ප.ලි , මේක හිතුවට වඩා දිග වැඩි උනා. තව රස කතා ටිකක් තියෙනවා NIBM එකේ වෙච්ච. ඒව වෙන පෝස්ට් එකක දාන්නම්. )

ගිසර්ස් හී අවතාරය

Posted by දුමී

මා මින් වසර කීපයකට පෙර ජීවිතයේ එක් දිනක් පමණක් යම් අත්භූත අත්දැකීමක් ලැබ ඇතත් එය අවතාරයක් දැයි සක් සුදක් සේ පැහැදිලි කරලීමට හෝ එය එසේමැයි යැයි මා හටම ප්‍රත්ත්‍යක්ෂ කරලීමට අවැසි වූ ප්‍රමාණවත් සාක්කියක් වත් මා සතු නොවේ. එයිටත් වඩා මා සිත එය මනෝ විකාරයක් යැයි පෙළඹවීමට හේතුව මා එදින 'මද පමණට' වඩා මත් වී සිටි හෙයිනි. එනමුත් මා හට ඉතා සමීපතයන් එවැනි වූ නොයෙක් ආකාරයේ අත්දැකීම් ලැබ ඇති බව නම් කිව යුතු මනාය. මා මෙයට කලින් පල කරනු ලැබූ මේරි ආච්චි හා කුමාරස්වාමිගේ අවතාරය යන ලිපි එසේ මා හටම නොවුවත් මා දැන හුන් සමීපතයන්හට අත්දකින්න ලැබුවාවූ අත්භූතමය සිද්ධීන්ය. අද මා කියන්න යන සිද්ධියත් එසේ මාගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් විසින් ලැබුවාවූ අත්භූතයම අත්දැකීමකි.

මා රැකියාවේ යෙදී සිටින ඩුබායි දේශය මෑත කාලේ ඉතා සීග්‍රයෙන් සංවර්ධණය වූ නගරයකි. ඩුබායි පමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැදුම්ලත් සප්ත එමීරයන්ම හුදු වාලුකා කතරින් පමණක්ම පිරී තිබුනේ මෑත අතීතය වූ 1971 තරම් කාලයේය. හැටේ දශකයේදි අබුඩාබි නගර කේන්ද්‍ර කර ගනිමින් තෙල් සොයා ගැනීමත් සමග මෙම රාජ්‍යය නොසිතූ විරූ ලෙසකින් දියුණුවේ හිණිපෙත්ත කරාම ලඟා වුනි. මේ රාජ්‍යයේ ඈත අතීතය හාරා අවුසන්නෙකුට නිබඳවම ලැබෙන්නාවූ හෝඩුවාව වනුයේ ප්‍රධාන වශයෙන්ම මුහුදු කොල්ල කරුවන්ගෙන් පිරී තිබුනු අති ආක්‍රමණකාරී සමාජයක්ය. මුහුදු බඩ ආශ්‍රිතව තම ජනාවාස ඉදිකරගනිමින් ජීවත් වූ සහ ඉරාණයෙන් සංක්‍රමණය වූ අරාබි ගෝත්‍රිකයන්ගෙන් සමන්විත වූ ඔවුන්ගෙන් ඇතැමුන් මුතු බෙල්ලන් සෙවීමේ කිමිදුම්ක්‍රමයන් ජීවනෝපාය කරගනිමින් ජීවත් වූහ. ඔවුන් එසේ සොයා ගත් මුතු බෙල්ලන්, එසේ නැතිනම් මහ සයුරෙහි යාත්‍රා කරමින් තිබූ වෙළඳ යාත්‍රා වලින් කොල්ළ කන ලද භාණ්ඩ නැවත නැවතත් විකුනමින් සංක්‍රමණකාරී දිවි පෙවතක් ගත කලහ. සමාජයේ වරප්‍රසද ලද්දාවූ ප්‍රභූන්ට පමණක් හුණු ගල් වලින් සැදුම්ලත් ස්ථිර වාසස්ථාන තිබු නමුත් අනිකුත් සංක්‍රමණ කාරී ගෝත්‍රික ජනතාව ජීවත් වූයේ කාන්තාරයේ තැනින් තන අටවා ගන්න ලද තාවකාලික වූ කූඩාරම් තුලය. මුතු බෙල්ලන් එසේ නැතිනම් කොල්ල කන ලද්දාවූ නොයෙකුත් භාණ්ඩ විකුනමින් අරාබි කරයේ සිට ඈත පෙරදිග දක්වා ගොඩ බිම මාර්ගයන් ඔස්සෙ නිති සංචාර්ය කරන ලද ඔවුන්ගේ වාසස්ථාන කිසි දිනෙකත් ස්ථීරවූවන් නොවේ. එසේ නිති පතා ජීවනෝපාය සඳහා සංකරමණය වූ ඔවුන් ඈත අතීයේ පටන්ම ඉස්ලාම් භක්තිවන්තයෝ වූහ. සංක්‍රමණයේදී ඇති වන්නාවූ විවිද වූ රෝග ව්‍යාදි හේතුවෙන් මරණයට පත් වෙන්නවුන්ට සිදු වූයේ එසේ මිය යන තැනම වූ භූමියක භූමි ගත වන්නටය. එසේ තැන තැන කාලෙන් කාලෙට සිරුරු භූම දානය කරලූ ස්ථාන විශාල ප්‍රමාණයක් මේ ජනාවාස වටා පිහිටා තිබුනි. පසු කාලීනව අත්දකිනා ලද සීග්‍ර දියුණුව අරබයා කොන්ක්‍රීට් වනාන්තර ඉදිවන්න වූයෙන් සමහර හොඩනැගිලි ඉදිවූයේ මෙසේ තැන තැන පිහිටුවන ලද සලකුණු නොකරන ලද නොයෙකුත් සොහොන් බිම් මතය.

මා මිත්‍ර වර්ෂ (සැබෑ නම නොවේ) වෘතියෙන් ගුවන් යානා ඉංජිනේරුවෙකි. කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් කටයුතු කල ඔහු ඩුබායි දේශයට පැමිනින්නේ කේ.එල්.එම් (KLM) ගුවන් සේවයේ ඉංජිනේරුවෙකු ලෙසින් ලද පත්වීමක් නිසාය. මෙයින් වසර හයකට පමණ පෙර ඔහු දිවි ගෙවූයේ තනිකඩයෙකු ලෙසිනි. ඩුබායි දේශයට අළුතෙන්ම පැමින රැකියාවක් කරන ඕනෑම අයෙකු දවාලන ප්‍රශ්නයක් වනුයේ ඉන්න හිටින්නට සුදුසු ගෙයක් දොරක් පහසු මිලකට සොයා ගැනීමය. ටික කාලයක් මිතුරෙකු සමග වාසය කෙරූ වර්ෂට ඔහුගේම නවාතැනක අවශ්‍යතාවයක් මතු ආවේ මිතුරාගේ දරු පවුල ඔහු සමග විසීමට ඩුබායි දේශට සපැමිණි බැවිනි. එසේ නිවාස සොය ගිය ඔහුට එම දිනවල තිබුණු මිල ගනන්වලට වඩා සෑහෙන අඩු මිලකට තනි කාමරයක් සහිත නිවසක් (one bedroom apartment) සොයා ගැනීමට ලැබුනේ ඩුබායි, සාජා මායිමේ පිහිටියාවූ ඒ දිනවල කිසිසේත්ම ජනාකීර්ණ නොවූ (අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණය ) ගිසර්ස් නම් වූ ප්‍රදේශයෙනි. සැනෙකින් එය බද්දට ගත් මා මිත්‍ර වර්ෂ එහි පදිංචිටය පැමිණියේ එම මිල ගණනට එම පහසුකම් සහිත වූ වෙන නිවසක් සොයා ගැනීමට නොහැකි බව පසක් වීමෙන් සිත පිළසිඳගත් සතුටකුත් සමගය. එනමුත් එම සතුට වැඩිකල් සිතේ රඳවා තබා ගැනීමට නම් මාගේ මිත්‍රයාට නොහැකි වුනි.

ඩුබායි දේශයේ සීත සෘතුව සමයෙහි ඇට මිදුලු ඝනී භවනය කරන සීතලක් පැවතීම සාමාන්‍යයෙන් අත්දැකීමට සිදුවෙන්නාවූ සුලභ දෙයකි. එලෙස සීත සෘතුව සපැමිණ තිබු එසමයෙහි ඝන පොරෝණයක් නොමැතිව නිදා ගැනීමට නම් කිසි වෙකුටත් කල හැකි දෙයක් නොවන්නේය. වරෙක රාත්‍රී වැඩ මුරයන්ද, වරෙක දහවල් වැඩ මුරයන්ද අහවර කර පැමිණෙන වර්ෂට නින්ද තරම් සුව දෙන වෙනත් දෙයක් නොමැත්තේය. එසේ වෙහෙස වී පැමිණෙන වර්ෂ ඉක්මනින්ම කිසියම් දෙයකින් කුස පුරවාගෙන ඇඳට පනින්නේ නින්ද තරම් සුවයක් නොමැති නිසාය. දහවලද රාත්‍රියද වෙනසක් නොමැති සීතල පැතිර යත්දී ඝන පොරෝනය තුලට ගුලිවෙන වර්ෂට ඇහැරෙන්නේ ඇට මිදුලු සූරා යන තරමට දැනෙන සීතලකිනි. ඇස් පියන් ඇර බලන ඔහුට දිස් වනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන මෙතෙක් වේලා තමන්ට උණුසුම සැපයූ පෝරණයය. එය කෙසේ සිදු වූවාදැයිවත් නොසිතෙන සීතලෙන් ගැහෙන ඔහු නැවතත් එය රැගෙන පොරවාගෙන නින්දට යතත් තවත් ටික වෙලාවකින් හීනෙන් මෙන් දැනෙණුයේ කිසිවෙක් විසින් පොරෝණය ඇද ඉවත් කරන බවකි. නැවතත් ඇහැරෙන ඔහුට දැකින්න ලැබෙනුයේ ඇඳ පාමුල වැතිර තිබෙන පොරෝණයයි. නින්දේදි මෙහෙමත් දඟලනවාදැයි තමන්ටම සිනාසෙන ඔහු නැවත වරක් පොරෝනය ගෙන ඇඟ දවටා නින්දට යයි. දින පතාම සිදුවෙන්නාවූ මේ ක්‍රියාදාමය නිසාම කඩින් කඩ නින්ද අහිම වන වර්ෂට රාජකාරියේදිත් නිදි කිරා වැටීමට සිදු වනුයේ රාත්‍රියේදි හරි හැටි නින්දක් නොලැබෙන හෙයිනෙ. මෙසේ සති කිහිපයක් ගත වෙන විට අති භයංකර සිදු වීමකට හර්ෂ මුහුණ පානුයේ මෙලෙසිනි. එදිනද සුපුරුදු පරිදි පොරෝනය නොමැති වීමෙන් ඇහැරුනු ඔහු එය නැවත ඇඟ දවටා නිදා ගැනීම සැරසුනා පමණි. එක් වරම යමෙක් ඔහුගේ කුකුලෙන් ඇද ඇඳෙන් බිමට ඇද දමන ලදී. පරිසරයේ සීතලට වඩා වැඩි වූ සීතලක් ඔහුගේ වලළු කර ප්‍රදේශයට දැනීමත් වැරෙන් ඇද බිමට දැමීම නිසා ඇති වූ කම්පණය නිසාත් වර්ෂට කෑ ගැසී තිබුනේ ඉබේටමය. එනමුත් තනිකඩව විසූ ඔහුගේ කෑගැසීමට ප්‍රථිචාර දැක්වූවෙක් නොමැත. මෙවැනි දෙයක් මින් පෙර අත්දැක නොතිබූ සහ මෙවැනි දෙයක් පවතී යැයි විශ්වාසයක්වත් නොතිබූ වර්ෂ මේ සිදු වූයේ කුමක්දැයි සිතමින් නොනිදමින් මුළු රැය මානසික ආථතියෙන්ම පහන් කරන ලදී. ඇති වූ කම්පණයෙන් සිටි ඔහුට පහුවදා වන විට තදින් උණ සෑදි තිබුනි. පහුදා උදෙන්ම තමාගේ කලින් නවාතැනේ මිතුරාට දුරකථන ඇමතුමක් දුන් වර්ෂ ඔහුත් සමග ගොස් ප්‍රතිකාර රැගෙන පමිණියේය. තම මිතුරා තනි නොකල වර්ෂගේ මිතුරා එදින රැය ඔහු සමග ගත කලේ වර්ෂගේ උණ ගතිය අඩු වී නොතිබූ නියාවෙනි. බිමට එලනු ලැබූ මෙට්ටයක නිදා ගත් වර්ෂගේ මිතුරාටත් අත් විඳින්නට වූයේ වර්ෂ විසින් අත් දකිනා ලද දෙයමය. කකුලෙන් ඇද මෙට්ටෙන් බිමට දමන ලද මිතුරාත් බයෙන් බීරාන්ත්‍ර වී ගියේ මෙය කිසියම් අමුනුස්සයෙකුගේ වැඩක් යැයි දැන් දැන් මොනවට පැහැදිලි වූ නිසාය

මිතුරාත් සමගම වර්ෂ පසුදිනම නිවස බදු දෙන ලද ආයතනය වෙත පැමිණියේ නිවසින් පිට වෙන බව දැනුම් දෙනු සඳහාය. තමන් අත්දකින ලද විස්තරය පවසනු ලදුව ආයතනයෙන් පවසනු ලැද්දේ මින් පෙර කිසිවෙකුත් වර්ෂ සිටියාවූ නිවසෙහි මාසයකට වඩා පදිංචි වී නොමැති බවය. මෙහි මාස තුනකට ආසන්න කාලයක් පදිංචි වී සිට ඇත්තේ වර්ෂ පමණකි. වහාම ඉන් පිටවූ වර්ෂ මිතුරාගේ නිවසේ යළි ටික කලක් පදිංචි සිට වෙනත් නිවසකට මාරු වී ගියේය. පසු කලෙකදි එම ගොඩනැගිල්ලේ වර්ෂ පදිංචිව උන් නිවහන වසා දමා කිසිවෙකුටත් කුලියට නොදෙන ලැද්දේ කිසි කෙනෙකුටහ් එහි සැනසිල්ලේ විසීමට නොහැකි වූ නියාවෙනි..

කට කහන කාර් කතා

Posted by දුමී

මම NIBM ඩිප්ලෝමා එක ඉවරවෙලා තව අවුරුදු එකහමාරක් විතර ඒකෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙත් ඉඳල හා හා පුරා කම්පැණි එකකට ජොයින් උනේ 98 ඔක්තෝබර් මාසේදි විතර. ඒ ඔය මොරටුව පැත්තෙ තියෙන ගොඩනැගිලි උපාංග නිපදවන සහ බෙදාහරින ආයනයක පරිගණක කලමණාකාරවරයෙක් විදිහට තමයි. ඒ වෙනකොට මැනේජ්මන්ට් එකේ හිටපු වයසින් අඩුම එකා උනෙත් මං. අනිත් අය ඔක්කොම ඒ වෙනකොට මට වඩා අවුරුදු 10ක් 15ක් විතර වයසින් වැඩි අය තමා. ඉතින් කම්පැණි එකේ ඉන්න එකවුන්ටන්ට, සේල්ස් මැනේජර්ට, ඒරියා මනේජර්ලට එහෙම කම්පැනි එකෙන්ම නඩුත්තු කරන වාහන දෙන එක සිරිතක් වෙලා තිබුනා. ( මටත් ඒකට ගිහින් අවුරුද්දකට හමාරකට විතර පස්සෙ ඔය වෑන් කබලක් එහෙම හම්බ උනා.) ඉතින් නිකන් හම්බවෙන වාහනේ උනත් පුළුවං තරං ඉස්තරම්ම එකක් ලබා ගන්න තමයි හැමෝම ෆුල් ට්‍රයි එක දෙන්නෙ. ඒත් ඉතින් කම්පැණි එකේ තියෙන ආර්ථික තත්වෙ හැටියට තමයි කාට කාටත් වාහන හම්බ උනේ. ඉතින් ඔය ලන්ච් ටේබල් එකේදි එහෙම තමයි අපි ඕව ගැන කතා කරන්නෙ. මම ජොයින් වෙන්න කලින් හිටපු එකවුන්ටන්ට දීල තිබිල තියෙන්නෙ ටිකක් විතර පරණ කාර් එකක්. ඉතින් කට්ටිය උගෙන් අහනවා,

"කොහොමද මචං කාර් එක හොඳයිද ? ෆුල් ඔප්ෂන්ද ?"

මූත් ඉඳන් කියනවා, "ෂහ් මචං, මරු කාර් එක. මේක ෆුල් ඔප්ෂන්දත් කියල අහනවා. ෆුල් ඔප්ෂන් වලටත් වැඩිය මේකෙ එක්ස්ට්‍රා ඔප්ෂන්ස් තියෙනවා කියලා"

"ඈහ් . .! ඒ මොනවද බං ඒ එක්ස්ට්‍රා ඔප්ෂන් ? කියලා අනිත් එවුනුත් මුගෙන් දැන් අහනවා.

"ඇයි බං මේකෙ ෂවර් ඇන්ඩ් බිඩර් ඔප්ෂන් හිටන් තියෙනවනෙ. වහිනකොට හොඳට නාගන්න විතරක් නෙමෙයි පස්ස පැත්තත් හෝද ගන්නත් පුළුවංනෙ. අනික බිඩර් එක හොඳටම වැඩ කරන්නෙ මගේ වයිෆ් වාඩිවෙලා යන පැත්තෙ. ඉතින් අපරාදෙ හින්ද එයා ගෙදර වතුර නාස්ති කරන්නෙ නැහැ. "

බලනකොට කාර් එකේ වහලෙයි අඩියයි අම්බානෙකට දිරල. වහිනකොට හිටු කියල වහලෙන් තෙමෙනවා විතරක් නෙමෙයි වලකට වැටුනොත් නිකන්ම පස්සත් හේදෙනවා.

කොහොමෙන් කොහම හරි දවසක් මූ ගිහිල්ලා කාර් එක තඩි කන්ටේනර් ටේලර් එකක පිටි පස්සෙ ගහල. කාර් එකේ වහලෙ කන්ටේනර් ටේලර් එක උඩලු. මූ වදිනකොටම පාත් වෙච්ච හින්ද මුගෙ ඔළුව ගැලවිලා නැහැ. යන්තන් පොඩි හීරීම් තුවාල ටිකකුත් එක්ක පොර බේරිලා. ඉතින් කට්ටිය විස්තර අහලා "මොකද මචං උනේ ?" කියලා. ඉතින් මූ කියනවලු "නෑ මචං මෙච්චර ඔප්ෂන් තියෙන එකේ මට නිකන් හිතුන කාර් එක කන්වර්ටිබල් කරගත්තොත් හොඳයිනෙ කියලා" (කන්වර්ටිබල් කියන්නෙ ඕනෙ වෙලාවට වහලේ ගලවන්න පුළුවං වාහනවලටනෙ )

කොහොම හරි මම ජොයින් වෙනකොට ඒ එකවුන්ටන්ට් අස්වෙලා ගිහිල්ල අළුත් එක්කෙනෙක් තමයි හිටියේ. ඉතින් එයාට දීල තිබුනේ අර ටොයෝටා DX වැගන් කියලා තිබුනේ. අන්න ඒ ජාතියේ වාහනයක්. ඉතින් පොර දවසක් ඔය ලිබර්ටි ප්ලාසා එකේ කාර් පාක් එකේ වාහනේ නවත්තල ඇතුලට ගිහිල්ල ටික වෙලාවකට පස්සෙ ඇවිත් බලනකොට වාහනේ මිසින්ලු. දැන් පොර කල්පනා කරනවලු බොලේ හොරෙක් අරගෙන ගියා නම් මෙච්චර මේ සිරා අළුත් වාහන තියෙත්දි මේ ලදරම මොනවට අරගෙන ගියාද කියලා. ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මිනිහට පේනවලු කාර් එක ආපහු හෙමිහිට කාර් පාක් එකට ඇතුළු වෙනවා. ඉතින් එහම ඇවිල්ල අයිනකින් නවත්තල හොඳට ටයි එකක් එහම දාල හිටපු පොරක් කාර් එකෙන් බැස්සලු. දැන් අපේ එකත් මේ මොන අට මගලක්ද කියල බලන්න ලඟට ගියහම අර කාර් එක අරගෙන ගිය පොර බොහෝම අහිංසක විදිහට කියනවලු,

"අනේ සොරි මිස්ටර්. මගේ කාර් එකත් මේක වගේමයි. අර එහා පැත්තෙ නවත්තල තියෙන්නෙ ඒක. මම මගේ කාර් එක කියල හිතල වැරදිලා මේකනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ"

"ඒත් මේ රේඩියෝ එක දාන්න බලනකොට ඒක වැඩ කරන්නෙ නැති කොට තමයි මම මේ කල්පනා කරේ මේකට මේ මොකද හිටි හැටියේ උනේ කියලා. ඒ මදිවට මම මේ හිත හිතා හිටියේ කවුද යකෝ මගේ කාර් එකේ මේ කුරුසයක් එල්ලුවේ කියල".

බලාගෙන යනකොට මේකට ඕනෙම ගල් ඉබ්බෙක්ගෙ යතුරක් දාල දොරවල් ඇරල ස්ටාර්ට් කරගෙන යන්න පූළුවංලු.

ඉතින් අපේ එකා කියනවා, "බලපන් බං මගේ කාර් එක කොච්චර ෂෝක්ද.බැරි වෙලා හරි කාර් එකේ යතුර නැති උනොත් ගෙදර, දොරේ යතුර දාල හරි කාර් එක ස්ටාර්ට් කරගන්න පුළුවංනේ " කියලා.

මම කිවුවනේ මේ කම්පැණි එක කලේ නොයෙකුත් මාදිලියේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවන එකයි ඒව බෙදා හරින එකයි කියලා. ඉතින් ඔය හාර්ඩ්වෙයාර් කඩ වලට තමයි මේ නිෂ්පාදන බෙදා හරින්නෙ. ලංකාවෙ වටේම හාර්ඩ්වෙයාර් කඩ 20,000 විතර තිබුනා ඒ කාලේ මේ කම්පැණි එකේ නිෂ්පාදන ලබා ගන්න. මේ කතාව අපේ ලන්ච් ටේබල් එකේදි කිව්වෙ ඔය ගම්පහ පැත්ත බාරව හිටපු ඒරියා මැනේජර්.

ඉතින් ඔය ගම්පහ පැත්තෙ ලොකු හාර්ඩ්වෙයාර් කඩේක මුදලාලි කෙනෙක් වාහනයක් ගත්තලු. ඉතින් මාසෙකට විතර පස්සෙ අපේ ඒරියා මැනේජර් ගිහිල්ල මුදලාලිගෙන් ඇහුවලු,
"මුදලාලි, කොහොමද අළුත් වාහනේ ?" කියලා.
ඉතින් මුදලාලි කියනවලු

"වැඩක් නැහැ මහත්තයෝ, මම ඒ කෙහෙම්මල විකුනල දැම්මා" කියල.

ඉතින් අපේ පොර අහනවලු "ඇයි මුදලාලි අරගෙන මාසයක්වත් ගියෙ නෑනේ"

ඔන්න මුදලාලි කියනවලු , "වැඩක් නෑ මහත්තයෝ, ඔය කාලකණ්නි වාහනේ හින්ද මගේ අළුත්ම සෙරප්පු කුට්ටම් දෙකක්ම නැති උනානේ" බලාගෙන යනකොට කාර් එකේ අඩියේ තඩි හිලක්. ගමනක් එහෙම ගිහින් බහින්න හදනකොටලු දන්නෙ සෙරප්පු කුට්ටම ඒ හිලෙන් වැටිලා කියලා. ඉතින් සෙරප්පු නැතිව යන්න බැරි හින්ද මුදලාලි ආපහු ගෙදර එනවා

"තාම නම් නැති උනේ සෙරප්පු විතරයි. මම මේකෙ අපේ උන්දැවත් දාගෙන යනවනෙ.උන්දැ එහෙම මගදි වැටුනොත් මම මොකද කරන්නෙ ?" .

මම ඒ කම්පැණියෙන් අස් වෙලා තමයි අර කොම්පඤ්ඤ වීදියේ තිබුන කම්පැණි එකට ජොයින් උනේ. ඉතින් මේකෙන් අස් උනාට පස්සෙ මමත් ඔය මම හදපු සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් දෙකක් විකුනල සල්ලි ටිකක් හොයා ගෙන මටම කියල වාහනයක් ගන්න හෙව්වා. ඉතින් මමත් ඉරිදා සිළුමිණ පත්තරෙයි, ඔබ්සවර් පත්තරෙයි අරගෙන හතර වටේ ගියා වාහන හොය හොයා.

ඔහොම යනකොට ඔය කිරුළපන පැත්තෙ කාර් එකක් බලන්න ගියා. දැන්වීමේ නම් තිබුනේ ෆුලි ගෑස් කන්වර්ටඩ්, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් කියලා. ගිහිල්ල බලන කොට තමයි දැක්කෙ කියපුවා ඔක්කොම ඇත්තනෙ කියලා. මින්ට් කියන්නෙ මින්ට්ම මින්ට්. අර රවුම් පෙපර් මින්ට් ටොපියක් වගේ රවුම්. හරියට ශේප් එක මොකක්ද කියලා හිතා ගන්න බැහැ. හරිනේ, ලේඩි ඩ්‍රිවන් කියන්නෙ ඒක තමයි අර සුපුරුදු විදිහටම ලේඩීස්ල එළවනවා වගේ හතර පැත්තම හප්පලා රවුම් කරන් තමයි එළවලා තියෙන්නෙ. ෆුලි ගෑස් කන්වර්ටඩ් කිව්වම පැට්‍රල් වලින් දුවන්නෙම නැහැ. පැට්‍රල් ටැංකිය හොඳටම දිරල ගලවලා දාල. බලනකොට අර ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩර් එකකින් තමයි දුවන්නෙ. ඔන්න පොරක් ආවා කාර් එක තිබුන ගෙදර ඉඳන්.ඉතින් පොඩි ට්‍රයල් එකක් ගිහිල්ල බලමු කිව්වහම පොර පට ගාල ගේ ඇතුලට දුවල එල්.පී ගෑස් සිලින්ඩර් එකක් උස්සන් ඇවිත් ඩිකියට දාලා අර ගෑස් කුකර් එකකට ගහනවා වගේ රෙගියුලේටර් එකක් හයි කලා. ගෑස් කන්වර්ට් කරාට වාහනේ ස්ටාර්ට් කරනකොට පැට්‍රල් ඕනෙනෙ. මේකෙ පැට්‍රල් ටැංකිය ගලවලා දාල මොකද ඒක දිරලා හින්ද. ඔන්න පොර බොනට් එක ඇරල කාබලේටර් එකට පොඩි සිංගර් තෙල් බෝතලයකට දාපු පැට්‍රල් ටිකක් දාල කාර් එක ස්ටාර්ට් කරා ඊට පස්සෙ ඔන්න කාර් එකේ අයිති කාරයවත් දාගෙන මම ඉතින් කිරළපනින් හයිලෙවල් පාරට දාගෙන මේක එලවනවා. ඔහොම ටික දුරක් යනකොට, හචස් හචස් ගාල හිටියේ නැතෑ කාර් එක මහ පාරේ ට්‍රැෆික් එකේ. ඔන්න අයිති පොරත් ඇවිල්ල දන්න සෙල්ලං දානවා මේක ස්ටාර්ට් කරන්න. හරියන්නෙම නෑ. පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා කාර් එක පාර අයිනට තල්ලු කරලා නැවැත්තුවා. දැන් මේ ගිණි මද්දහනේ එකත් පහු වෙලා. ආ කියන්න බැරි උනානේ. කාර් එකේ හයි කර තියෙනවා ඔරලෝසුවක් අර බිත්ති ඔරලෝසුවකට වඩා පොඩ්ඩක් පොඩියි. ඔන්න පොර කියනවා

"මල්ලි, මට අද මේ කාර් එක විකුනන්න වෙන්නෙ නැහැ. මොකද අපි තාම දවල්ට උයල නැහැ.”

" එහෙම කියලා පොර ත්‍රී වීලර් එකක් නවත්තගෙන ඩිකියෙන් ගෑස් සිලින්ඩර් එක ගලෝලා දාගෙන කාර් එකත් එහෙම්මම තියල යන්න ගියා. බලාගෙන යනකොට ගෙදර ගෑණි උය උයා හිටපු ගෑස් සිලින්ඩර් එක තමයි මූ මේ කාර් එකට හයි කරගෙන ට්‍රයල් එකට ඇවිත් තියෙන්නෙ.

කාර් හෙවිල්ල පැත්තක තියලා ඊට පස්සෙ මමත් කිරුළපනින් නුගේගොඩ බස් එකකට නැගල එහෙම්මම ගෙදර ආවා.

Related Posts with Thumbnails