ලංකාව 2015 - ( පළමු කොටස )
Posted by
ගුවන් යානය මගී පර්යන්ථයෙන් හෙමිහිට පසු පසට ඇදෙන්නට පටන් ගත්තේ තව මොහොතකින් පවනට බඳු වේගයෙන් අහස් කුස වෙත ඉගිලෙන්න නියමිත බව පසක් කරමින්ය. ගුවන් යානය තුල කවුළුවක් අසල අසුන් ගෙන සිටි දුමී අවසන් වරටත් කවුළුව තුලින් පිටතට යොමා ගත් දෙනෙතින් සිටී. කාන්තාරයට 'වසන්තය' නොහොත් සමර් කාලය වූයෙන් මූණට වැටෙනුයේ සම දැවී යන තරමේ රස්නයකි. කාන්තාරයේ වසන්තයේ තරම පෙන්නන දූවිලි රොටු කැරකි කැරකි ඉහලට නගින්නේ ගුවන් යානයට තනි රකින්නාක් මෙනි.පහුගිය අවුරුදු බර ගානෙම දුමී හිටියේ අරාබි කරයේයි. එහි යෙදුනු රැකියාවෙන් තව දුරත් ජීවත් විය නොහැකි ලෙසට කරුණු කාරණා යෙදී තිබේ. එය සිතේ සියුම් සතුටක්ද ගෙන දෙයි. රුපියලට සාපේක්ෂව ඩොලරය සෑහෙන්න අව ප්‍රමාණය වී ඇත. මෙයට අවුරුදු පහ හයකට පෙර ඩොලරයකට රුපියල් එකසිය දොලහක් ගෙවන කල කිසිදා එය අනිත් පැත්තට කැරකේ යැයි හීනෙන් වුවද නොසිතුවේ යැයි දුමීට මතකය.
යානය තුල පුවත් පත් බෙදමින් සිටි ගුවන් සේවිකාවකගෙන් පුවත් පතක් ලබා ගත් දුමී මුල් පිටුව වෙත දෑස් යොමු කලෙන්, එහි වූ ප්‍රධාන පුවත් සිරස් තලය වඩාත් උනන්දුවෙන් කියවීය.
"සෞදි රජයේ රෝහලේ සැත් කමකින් ඇණ කිලෝ බාගයක් ඉවත් කරයි" ලෙස එය කියවිනි.
"ලංකාවේ රැකියාවක් සඳහා ගොස් සිටි සෞදි අරාබි ජාතිකයෙකුගේ පස්ස පැත්තේ ගසා තිබූ යකඩ ඇණ කිලෝ බාගයක් පමණ සෞදි අරාබියේ රජයේ රෝහල මගින් කෙරුණු ශල්‍යය කර්මයක් මගින් ඉවත් කරන ලදී."
ඒ විස්තරයට යටින් තිබුනේ ඉවත් කෙරුණු තඩි පරාල ඇන රැසකගේ ඡායා රූපයක්ය.
"ඇණ ගහපු එකා පරාල ඇණම ගහල තියෙනවා" . . දුමී තමාටම කියා ගත්තේය.
මීට අවුරුදු ගාණකට කලින් මේ වගේම ඇණ ගහපු කතාවක් දුමී පත්තරවලින් කියෙව්වා යැයි දුමීට යන්තම් මතක තිබේ. නමුත් එය නිච්චියටම කුමක්දැයි නම් දුමීට මතක නැත.
"පස්ස පැත්තට ඇණ ගසා ගත්තේ සෞදි ජාතිකයාමය - සෞදි විශ්ව විද්‍යාල ඇදුරෙක් පවසයි". තරමක් යටින් වූ උප සිරස්තලයකින් කියවෙයි.
"මේක අප දෙරට අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය කඩා කප්පල් කිරීම සඳහා විරුද්ධවාදීන් දියත් කල කුමන්ත්‍රණයක්" සෞදි විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශක් උපුටා දක්වමින් පල කෙරුණු තවත් ප්‍රවෘතියක්.
"මේ සිද්ධිය ගැන අපි ශ්‍රී ලංකා රජයෙන් සමාව අයදින අතර පස්ස පැත්තේ ඇණ ගසාගත් බව ඔප්පු උවහොත් මොහු හිස ගසා මරා දමා යුක්තිය ඉෂ්ඨ කරන බවත් දිවුරා පොරොන්දු වෙමි" පුවත නැවතත් ඔහුව උපුට උපුටා දක්වයි.
පුවත් පතෙන් දෑස් ඉවතට ගත් දුමී දූවිලි කපාගෙන ඉහල අහසට ඇදෙන ගුවන් යානයේ කවුළුව තුලින් නැවතත් දෑස් යොමු කලේ කල්පනාවකට නිමග්න වෙමිනි.
සෞදි අරාබියේ තෙල් සම්පත නැත්තටම නැතිවී ගියේ මින් අවුරුදු දෙක තුනකට පෙරදීය. අනිකුත් අරාබි රටවල් වලටද නුදුරේම මුහුණ පෑමට සිදුවන්නේ එයමය.
ඒ අතරම මන්නාරම් ද්‍රෝණියේ සිට හම්බන්තොට දක්වා පමණක් නොව ලංකාවට පසු කාලයේදි දකුණු දෙසින් අයත් වුනු කිලෝමීටර් සිය ගණනක මුහුදු තීරයේද තෙල් සම්පත සොයා ගැනුනේද එවැනිම කාල වකවානුවකදීය. ලෝකයේ නව ‘වෙනිසියුලාව’ ලංකාව බවට පත්වෙමින් තිබේ.
පසු ගිය අතීතයේ රැකි රක්ෂා සඳහා ලංකාවේ ශ්‍රමිකයන්ට අවස්ථාව ලබාදීමට කෘත ගුණ සැලකීමක් වශයෙන් ලක් රජය සෞදි සහ අනෙකුත් අරාබි රටවල් වල ශ්‍රමිකයන් සඳහා තම රටේ ගෘහ සේවයේ දොරටු විවර කරනා ලදී. පස්ස පැත්තේ ඇණ ගසා ගත් සෞදි ජාතිකයා ලංකාවට පැමිණ ඇත්තේ එසේ ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනට ගෙනය.
ගෘහ සේවය සඳහා ලංකාවට පැමිණෙන රූමත් අරාබි ගැහැණුන් බඩ ගෙඩි උස්සන් නැවතත් තමන්ගේ රටවල් වෙතට පැමිණෙන සිද්ධීන් නම් සාමාන්‍ය දෙයක් ලෙස දැන් දැන් පිලි ගනු ලැබේ. එසේ පැමිණෙන සෞදි කාන්තාවන්ගේ සියළු අවශ්‍යතාවයන් සොයා බලනුයේ එම රටවල් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්ය. එසේ ලැබෙන සැලකුම් හේතුවෙන්ම බලෙන්ම ගැබ් ගන්වාගන්නටද මෙම කාන්තාවන් සමහරක් උත්සාහ ගන්නේ යැයි කියන කතාද දුලබ නොවේ. එසේ ලැබෙන්නට සිටින දරුවා මගින් යම් කිසි දිනෙක ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීම ඔවුන්ගේ යටි අරමුණ යැයි තැනක කසු කුසුවකින් කියවිනි.
කල්පනාවේ නිමග්න වී සිටි දුමීට නොදැනුවත්වම නින්ද ගියේය. නැවත දෑස් විවර කරන විට හෝරා කීපයක්ම ගතවී ඇත. ගුවන් යානය දැන් ගොඩ බෑමට සූදෑනම් වී ඇත.
"නෝනාවරුනි මහත් වරුනි අපි තව ස්වල්ප වේලාවකින් හම්බන්තොට අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩ බෑමට නියමිතයි." ගුවන් යානයේ මගී ආමන්ත්‍රණ යන්ත්‍රයෙන් කපිතාන්වරයා ප්‍රකාශ කරයි.
පිටව ගිය ඈණුමක් අල්ලෙන් කිහිප වරක් ගසා තලා නැවතත් කට ඇතුලටම දමා ගත් දුමී අසුනේ හරි බරි ගැසී ඉඳ ගත්තේ ආරක්ෂිත පටියද තව දුරටත් තද කර ගනිමින්ය.
( කතාව දිග වැඩි වූ බැවින් දෙවන කොටස පසුව පලාපොරොත්තු වන්න. )
ලංකාව 2015 - ( දෙවන කොටස )






