අලි බැලිල්ල සහ වෙඩි බැලිල්ල.....
Posted by
![]() |
| එදා මල් වෙඩි තිබුනේ මෙන්න මෙහෙම. |
අර කිව්වත් වගේ ගොඩක් වෙලාවට ඉතින් අවුරුද්ද පටන් ගන්නෙ කරටි කඩාගෙන තමයි. ජනවාරි පළවෙනිදට UAE ආණ්ඩුවෙන්ම නිවාඩුත් දීලා තියෙන්නේ කලින් දවසේ ඇඟේ පතේ අමාරුව හරියනකං ටිකක් වැඩියෙන් නිදාගන්න ඕනෙ හින්දම තමයි.
දැනට අවුරුදු දෙකකට කලින් ඔය පුරුද්දේ පොඩි වෙනසක් උනා එක පාරටම. වෙනදට කරටි කඩාගන්න අපි එදා තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා. ඒක උනේ මෙන්න මෙහෙමයි.
බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි අපේ දීපානි දොස්තර නෝනා. අර අලින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නේ. නෑ නෑ, සිරිකොතේ අලි නෙමෙයි, උඩවලවේ අලි.
අපි ඉතින් දීපානි දොස්තර නෝනට කියන්නෙ ඩී කියලනනේ. එහෙම තමයි එයා කමෙන්ට් එකක් කාරිය එහෙම කොටන්නෙ.ඔය උඩ වලවේ පැත්තේ හැම අලියෙක්වම ඩී හොඳට අඳුනනවා වගේම උඩවලවේ අලිත් ඩී දොස්තර නෝනවා හොඳට අඳුනනවා.
කාලයක් ඒ පැත්තේ ගොවියෝ වගා කරන බඩ ඉරුඟු කරලක් දෙකක් කාලා සාමෙන්, ජොලියෙන් හිටපු අලි සැට් එක දැන් තිබ්බටු කන්න පුරුදු පුහුණු වෙනවලු මේ දවස්වල මොකද ඩී දොස්තර නෝනා සහ ගැන්සිය ගොවියන් ලව්වා බඩ ඉරුඟු වෙනුවට තිබ්බටු වගා කරවනවා.
බ්ලොග් එකක් නොලිව්වත් බ්ලොග් රසිකාවියක් විදිහට ගොඩක් බ්ලොග් වලට ගොඩ වැදිලා කමෙන්ට් එකක් දෙකක් කොටලා යන එක ඩීගේ පුරුද්දක් තමයි. ඔන්න බොලේ 2011 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා ඩී මූණු පොත හරහා මැසේජ් එකක් එවලා තිබුනා,
"අනේ අලි බලන එක හරියට බලි බලනවා වගේ වැඩක්. හරිම ඒකාකාරියි. ඒ නිසා ඔටුවෝ ටිකක් වත් බලා කියාගෙන යන්න ඩුබායි පැත්තේ එනවා....." කියල. ඒ ආවහම ඔටුවෝ බැලුවත් බලි බලන්නැතිව යන්න බෑනේ. ඒක නිසා අපේ දුකාවයි, මාවයිත් බලන්නත් එනවා කියලා.
කොහොමත් සතියකට කලින් ඩුබායි හන්දියට ආවත් මටයි දුකාටයි අපොයින්ට්මන්ට් එක ලැබුනේ 2010, දෙසැම්බර් 31 වෙනිදා උදේට. ඒත් එක කොන්දේසියක් එක්ක. ඒ තමයි 31 දා රෑට 'බර්ජ් කලීෆා' (ලෝකේ උසම බිල්ඩින් එක ) ගාව තියෙන මල් වෙඩි බලන්න එක්කගෙන යන පොරොන්දුව පිට. අයියෝ හරි සිම්පල් දෙයක්නේ කියලා අපිත් එකඟ උනා.
ඔන්න ප්ලෑන් කලා වගේම උදෙන්ම ඩීව ඩුබායි හන්දියෙන් පික් කරගෙන දුකා ඉන්න අබුඩාබි වලට ගියා. දවල් කෑම දුකා හාමිනේ ගානේ. ගෙදර ඉඳන් ලන්ච් ගන්න එක ඇඟට හරි මදි මදි වගේ හින්දා ඔන්න දුකා යෝජනාවක් ගෙනාවා පොඩි එවුනුත් ඉන්න නිසා ඒ ලඟ පාතක තිබිච්ච සත්තු වත්තක් බලන්න යමු කියලා. ඩීත් වැඩිය අදි මදි කරන්නෙ නැතිව එකඟ උනා.
“පස්සෙ තමයි තේරුනේ ඩීව සත්තු වත්තට එක්කගෙන ගිය එක නිකං අර උදේ-හවා මුහුදු යන මාළු කාරයෙක්ව බේරේ වැවේ බෝට් රයිඩ් එකක් එක්කගෙන ගියා වගේ කියලා.....”
වැඩි විශේෂ දෙයක් සූ(z) එකේදි උනේ නැහැ. උනේ නැත්තෙත් නෑ. වෙච්ච එකම සිද්ධිය තමයි අපි දවල් කෑම කනකොට ඒ ලඟ හිටිය මැකෝ ගිරව් ටිකක් ගිරිය යටින් කෑ ගහන්න පටන් ගත්ත එක. උන් කෑ ගහන්නෙ මොකද කියලා බලනකොට තමයි රඟේ තේරුනේ. දුකා හාමිනේ කන්ටේනර් එකක් පිරෙන්න තම්බපු බිත්තර ගෙනත්. උන්ගේ කූඩුව ඉස්සරහින් වාඩිවෙලා අපි ඒ බිත්තර කනකොට උන්ට මොනවා නම් හිතෙන්න ඇත්ද?
ඔන්න ඉතින් හවස් වෙනකං සූ(z) එකේ ඇවිදලා කරලා එහෙම කට්ටිය ආපහු ඩුබායි එන්න පිටත් උනා. දැන් ඉතින් ප්ලෑන් එක තමයි ටිකක් වේලාසනින් ‘බර්ජ් කලීෆා’ එක ගාවට යන්න මොකද හොඳ ස්පොට් එකක් අල්ලගන්නත් එපැයි. කාර් වල ඔතනට යනවා කියන්නෙ එලිවෙනකං පාරෙ ඉන්නවෙන සීන් එකක් නිසා කට්ටිය ප්ලෑන් කලේ කාර් ටික ඩුබායි ඉන්ටනෙට් සිටි එකේ අපේ ඔෆිස් එක ගාවින් පාක් කරලා මෙට්රෝ කෝච්චියේ ගිහින් බර්ජ් කලීෆා එක ගාවින්ම බැහැලා මල් වෙඩි බලලා ආපහු කෝච්චියේ ඇවිත් කාර් ටික අරගෙන යන්න.
ඔන්න ප්ලෑන ගහපු විදිහටම මෙට්රෝ කෝච්චියේ නැගලා ගිහින් බැස්ස 'බර්ජ් කලීෆා' මෙට්රෝ ස්ටේෂන් එකෙන්. ඒ වෙනකොටත් සෙනග පිරෙන්නෙ පටන් අරගෙන. කොහොම හරි රෑ 10.30 වෙනකොට 'බර්ජ්' එක පේන මානෙන් බිත්ති කණ්ඩියක් හොයාගෙන වාඩි උනා. ටික වෙලාවක් යනකොට වටා පිටාව එකම මිනිස් ගොඩක්.
ඒ වෙනකොට අපේ ගම හාමිනේ අපේ බාල කෙළි පොඩ්ඩිව ලැබෙන්න ඉන්න කාලේ. බඩට මාස 6 පිරුනා විතරයි. අනේ ඉතින් කට්ටිය ඉන්නව දත කට පූට්ටු කරගෙන සීතලේ ගැහි ගැහී. වෙනදා මේ වෙනකොට වීදුරු පුරවගෙන සින්දු කියන අපි අද බිත්ති කණ්ඩියක් උඩ වාඩි වෙලා හීතලේ ගැහි ගැහි මල් වෙඩි පත්තු කරනකං හූල්ලනවා....!
අනේද කියන්නෙ පැය එකහමාරකට විතර පස්සෙ හරියටම 11.58ට පටන් ගත්තා නේද මල් වෙඩි. ලස්සනේ බැරුවා. උඩ බලං ඉඳලා බෙල්ලත් උළුක් වෙන්න වගේ. උසම බිල්ඩිම මුදුනටත් උඩින්නේ මල් වෙඩි පත්තු වෙන්නෙ. අනේ ඉතින් මල් වෙඩි වරුසාව හරියටම තිබුනා විනාඩි 3ක්. හරියටම 12.01 ට බඩු ඉවරයි. දුම විතරයි.
ඔන්න ඉතින් මල් වෙඩි ඉවර උනා විතරයි මෙච්චර වෙලාවක්, පැය ගාණක් තිස්සේ වට පිටාවට පිරුණු මිනිස් ගංගාවටම එක පාරටම ගෙවල් දොරවල් මතක් වෙලා. මෙහේ ඉතින් එළිවෙනකං ඉන්න පුළුවන් 'ගෝල් ෆේස්' එකක් වත් තියෙන එකක් යෑ. ඔන්න බොලේ මිනිස්සු සුනාමියක් එනවා වගේ ඇදෙනවා මෙට්රෝ ස්ටේෂන් එක දිහාවට. ඈත ඉඳන්ම පේන්නේ ස්ට්රේෂන් එක වටේට කිලෝ මීටරයක් විතර වට ප්රමාණයට මිනිස්සු පොරකනවා.
අනේ ඉතින් හරි සනීපයි. දැන් ඉතින් මෙච්චර වෙලා නට නටා හිටපු පොඩි එවුනුත් නිදි කිරා වැටෙනවා. දුකාගේ සොඳුරු ත්රස්තවාදියයි, මගේ නෝටි බබයි දැන් අපේ කරවල් සොඳුරු නිදි යහන් කරගෙන. ඒ අස්සෙ බඩ දරු ගම හාමිනේ මගේ අතේ එල්ලිලා. ලොකු කෙල්ලත් නිදි කිරා වැටෙනවා.
හොඳ හොඳ උපමාත් මතක් වෙන්නෙ මේ වෙලාවටනේ. ඒ අස්සෙ මතක් උනේ අර ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ කියලා තිබිච්ච කතාවක්. ඇවිද්දොත් මෙතනම කකුල් කීයක්ද කියලා හිතාගෙන ඔන්න අපි පටන් ගත්තා කිලෝ මීටර් 1 1/2 විතර දුරින් තියෙන අනිත් ස්ටේෂමට පයින් යනවා කියලා. පැයක් හමාරක් ගෑටුවට පස්සෙ යන්තන් ඒ ස්ටේෂමටත් ආවා. අපි විතරක්ම නෙමෙයිනේ පයින් ගිහින් තියෙන්නෙ. තවත් දාස් ගාණකට අපිට වගේම ඒ උපමාවම මතක් වෙලා අපිට කලින් ඒ ස්ටේෂන් එක ලඟටත් ඇවිත් පොර කනවා.
එදා මල් වෙඩි වලින් පස්සෙ මෙට්රෝ ස්ටේෂන් එක ඇතුලේ මිනිස්සු පොරකාපු හැටි.
පින්තූරෙ ගත්තෙ මෙතනින්.
http://dubaimetro.eu/transportation/6691/midnight-mayhem-on-new-years-eve
මේ හිරවිල්ල අස්සේ බඩදරු අම්මා කෙනෙක්ව මොන හිතකින් අරගෙන යන්නද. ඒත් අපේ ගම හාමිනේ සැළුනේ නෑ. දුමියානනි බිය නොවන්න. කෝච්චියේ යන සැටි මම පෙන්නන්නම් කියලා මාවත් ඇදගෙන පෝලිම සෙට් වෙලා කොහොම හරි තල්ලු කරගෙන දැන් කට්ටිය යාන්තන් දොරෙන් ඇතුළු උනා. කට්ටිය එක පොදියට පොර කනවා. මම ඉතින් ගම හාමිනේවත් ඉස්සර කරගෙන, නෝටි බබාවත් කරේ තියාගෙන තල්ලු කරන මිනිස්සුන්ටත් මරිසිය දාගෙන හෙන යුද්දේ. මම ඉතින් “She is pregnant, She is pregnant” කිය කියා කට්ටියව එහෙට මෙහෙට කරගෙන ඉඩ අරගන්නවා.
ඒ අතරේ මට ඇහෙනවා, “What the hell you do in a metro station then ? Take her to a maternity clinic...!” (තමුසෙලා මොන රෙද්දක්ද ස්ටේෂන් එකේ කරන්නෙ. මෙයාව ගර්භනී සායනයකට එක්ක පලයන්...)
කියලා එකෙක් කියනවා. හොම්ම්බට දෙකක් අනින්න හිතුවත් මගේ අත් දෙකම ඒ වෙනකොට බිසී නිසත්, ඌ කිව්වෙ ඇත්තක් නිසත් මම ඇහුනේ නෑ වගේ හිටියා.
ඊට පස්සෙ පොඩ්ඩක් පස්ස හැරිලා බලනකොට මෙන්න බොලේ ඩී ඉන්නවා බිත්තියක ඇලවිලා ස්ටිකර් එකක් වගේ.මෙච්චර මේ අලිත් එක්ක හුරතල් වෙන දොස්තර නෝනා, ඩුබායි ඇවිල්ල මෙට්රෝ ස්ට්රේෂන් එකක බිත්තියේ බිත්ති රූපයක් වගේ තෙරපිලා මැරුනොත් ලංකාවට හොඳ නෑනේ කියලා ඇදලා ගත්තා කොහොම හරි එයාවත් යන්තං පාද ගත්ත පොඩි ඉඩක් ඇතුලට.
අනේ ඉතින් ඔහොම චාටර් වෙලා වෙලා ආපු කෝච්චියක නැගලා ගිහිල්ලා කාර් ටිකත් අරගෙන ගෙදර යනකොට උදේ 5 ටත් ලඟයිද කොහෙද. ඒ තර්ටිෆස්ට් නයිට් එක අවුරුදු ගාණකට පස්සෙ ගෙවිලා ගියේ අමුම අමුවෙන්.
කොහොමෙන් කොහොම හරි මේ පහුගිය දෙසැම්බර් 31 වෙනිදාත් ආව කියමුකෝ. අපි එදා නම් හිටියේ ගෙදර.සැටියේ වාඩි වෙලා, විස්කි වඩියක් ගහන අතරෙම ටී වී එකෙන් බර්ජ් කලීෆා එකේ මල් වෙඩි සංදර්ශණේ සජීවීව බලනකොට ඇස් දෙකට කඳුලු පිරුණා....
“අනේ අපරාදේ, ඩී හිටියනම් මේ පාරත් අපිව මල් වෙඩි බලන්න එක්ක යනවනේ කියලා.....!”











