අපි පරාදයි මල්ලියේ

Posted by දුමී

වැප් මල්ලි ගොඩක් වෙලාවට චැට් එකෙන් මට කතා කරන්නෙ ගුගුල් බස් එකේ යන මොකක් හරි දෙයක් ගැන අප්ඩේට් එකක් දෙන්න එහෙමත් නැත්නම් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලා කාව හරි බයිට් කරන්න. 18 වෙනිදා රෑ වැප් මල්ලි ගුගුල් චැට් එකෙන් ඇවිත් මට කතා කරහම මම හීනෙකින්වත් හිතුවෙ නෑ වැප් ආවේ අවාසනාවන්ත ආරංචියක් කියන්න කියලා. ඒත් ඒ දේ සිද්ධ වෙලා.

මෙහි සඳහන් වේලාවන්, එක්සත් අරාබි එමීරයේ වේලාවෙන් බව සලකන්න. (GMT + 4 - ලංකාවේ වේලාවෙන් පැය 1 1/2 පසුපසින් )

මෙයින් අවුරුද්දකට වගේ ඈතට යනකොට මම "ඉලන්දාරියා" කියලා දැනගෙන හිටියේ ඉතාමත් අපූරු නිර්මාණ කරන තවත් එක සහෘද බ්ලොග් කරුවෙක්ව. ඔහු මගේ බ්ලොගයේත් මම ඔහුගේ බ්ලොගයේත් ඉඳ හිට කමෙන්ටුවක් දැමීම ඇර වෙන කියන්න තරම් විශේෂත්වයක් තිබුනේ නෑ. ඒ වෙනකොටත් තමන් පෙලනාවූ ශ්‍රවණ අබාධයද අමතක කර මෙවන් නිර්මාණ කරනයේ යෙදී සිටිනවා කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ. තමන්ගේ ශ්‍රවණ ආබාධය ගැන ලොවට හෙලි කර, තමන්ට නැවතත් ලොව අසන්නට උදව් වන්න යැයි ඉලන්දාරියා ආයාචනය කරන්නේ මේ අතරයි. ඉන් පස්සේ සිංහල බ්ලොග් අවකාශයේ සිද්ධ වෙච්ච පෙරළිය ගැන ආපහු අටුවා ටීකා ලියන්න අවශ්‍යයයි කියලා මම හිතන්නෙ නෑ.

ඉලන්දාරියාගේ ආයාචනය පළ කෙරුනු දිනට පසු දින උදෑසන දුකා මා අමතන්නෙ ඉලන්දාරියා වෙනුවෙන් අපට කල හැකි දේ ගැන කතා කරන්න. ඉතාමත් දීර්ඝ කතිකාවකට පස්සෙ කල හැකි කාර්යයන් එකින් එක සලකා බැලීමෙන් පසු මෙහෙදී අපහට කල හැකි හොඳම දේ නම්, පැදුරු පාටි ව්‍යාපෘතිය කියලා අපි තීරණය කරන්නෙ. පැදුරු සාජ්ජ 10ක් පවත්වා මුළු මුදලින් 10%ක් වත් සොයා ගැනීමට පිඹුරුපත් සැකසූ අපිට, ඒ මුදල සාජ්ජ 4ක් පමණක් පවත්වා සොයා ගැනීමට ලැබීම අපි සියළුම දෙනාවම ඉතාමත් දිරිමත් කිරීමක් උනා. ඉන්පසු අපේ ඉලක්කය උනේ, බලාපොරොත්තු වූ පරිදිම පැදුරු සාජ්ජ 10ම හෝ, ඊට වැඩියෙන් පවත්වා රුපියල් ලක්ෂ 10ක් පමණ එකතු කර ගැනීමට. මේ ලැබූ ප්‍රගථිය නිසා අපි වගේම ඉලන්දාරියත් පසු වූයේ දැඩි සතුටකින්.

දිලුම්ව කොහොම හරි ගොඩ දානවා යැයි අපේ සිතේත්, "මගේ යාළුවෝ" මාව කොහොම හරි ගොඩ දානවා යැයි දිළුම්ගේ සිතේත් දහසක් බලා පොරොත්තු ඇති වෙලයි තිබුනේ. දිළුම් ඉඳ හිට මූණු පොත හරහා අපි මේ කරගෙන යන කාරිය ගැන තමන්ගේ අතිශය කෘතඥ්ඥ බව පල කලේ,

"දුමී අයියේ, මම වෙනුවෙන් කරන මේ කැප කිරීමට ඔයාටත් යාළුවන්ටත් මට දෙන්නෙ තියෙන්නෙ පිං විතරයි....!" කියලා.

ඉතාමත් කැප කිරීමකඉන් මේ කාර්යය අපි දිළුම් වෙනුවෙන් සිදු කලේ දිලුම්ගේ අබාධය සුව වෙන තුරු මේක අත අරින්නෙ නෑ කියන අධිෂ්ඨානයත් එක්ක. බොහෝ විට මා පාන්දර දෙක තුන හෝරා පහුවනතුරු පැදුරු පාටියකට සහභාගී වූයේ දරු ප්‍රසූතියට ඉතා ආසන්නව පසු වූ මගේ බිරිඳව ගෙදර තට්ට තනියම තනි කර දමායි. එහිදී යම් හදීසියක් වුවහොත් ඇයව රෝහල කරා රැගෙන යෑමට පවා කිසිවෙක් නොසිටියේ, බොහෝ විට මාගේ සියළුම මිතුරනුත් මා සමග පැදුරු සාජ්ජයට සහභාගී වෙමින් සිටි නිසයි.මා මෙන්ම මා වට උන් සියළුම මිතරනුත් මේ කාර්යයට උර දුන්නේ දහසකුත් එකක් කැපකිරීම් මැද. අපි සෑම දෙනාගේම සිතේ තිබුනේ එකම අරමුණයි. "අපි කොහොම හරි දිළුම්ව ගොඩ දානවා....!" කියන හැඟීමයි.

ඉතාමත් සුළු ශල්‍යකර්මයක් යැයි පැවසූ, දිළුම්ගේ ඔළුවේ තිබූ කුඩා ගෙඩිය ඉවත් කිරීම මේ විදිහට අවසන් වෙයි කියලා කොහොම සිතන්නද ?

“මෙතෙක් කල් මම වෙනුවෙන් කල සියලු දේට ඔබ සැමට ස්තුතියි!”

ඒ තමයි මූනු පොතේ දිළුම් සැත්කමට පෙර අවසානයට දමා තිබූ කෙටි සටහන.

"දිළුම්, මල්ලියේ නුඹේ කාලය අවසාන යැයි උඹ දැනගෙන සිටියාද ? නැතිනම් උඹේ වටේ හිටිය දෙමව්පියන්ට, මිතුරන්ට තවත් බරක් නොවෙන්න නුඹ සිතා ගත්තාද ?"

උඹේ සවණ පාදන පුණ්‍ය කර්මය සම්පූර්ණ කිරීමට අපිට පිණක් නැති උනා. උඹ සිතෙනුත් ගතෙනුත් දරා ගත්තාවූ අපමණ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අද වෙන විට මිදිලා.

උඹව ගොඩ දානවා යැයි අදිටන් කරගෙන හිටපු අපි ඔක්කොම අද මරුවාට පරාද වෙලා !

නුඹ දිනෙක නිවන් දකිනා තුරු මෙවන් ව්‍යසනයක් අත් නොවේවා !

22 comments :

  1. කවුරැත් පරාද වුනේ නෑ... කල හැකි දේ උපරිමෙන් කිරීමක් පමණයි කියලා හිත හදාගමු.

    ReplyDelete
  2. ගොඩාක් දරාගන්න බැරි දෙයක් අය්යේ.. ඔයාලා තරමට අපි ඒ වෙනුවෙන් මහන්සි උනේ නැතුව දැනෙන දුක ගැන හිතනකොට අය්යලාගේ හිත්වල කොඉ තරම් දුකක් තියනවද කියලා හිතාගන්න පුලුවන්

    අපි අතරම ආයේමත් සොහොයුරෙක් ලෙස ඉපදෙන්නට අපි ප්‍රර්ථනා කරමු අය්යේ

    ReplyDelete
  3. දිලුම්ගෙ පවුලෙ අය එක්ක දිගටම සම්බන්ධතා තියා ගන්න

    ReplyDelete
  4. දිලුම් 19-05-2010 දා ඉලංදාරියා හි කල පොස්ට් එක:

    විඩාබර වෙලා නෙතු
    http://ilandhariaya.blogspot.com/2010/05/blog-post_19.html

    ව්ඩාබර වෙලා නෙතු ......
    බොහො දුර ගෙවාවිත්....
    අපමනයි වෙහෙස මට...
    විඩාව නිවගත නොහැක මට......

    කලයුතු බොහොදේ තිබුනත්....
    කාලය ගෙවි ගොස් අහවරයි..
    මට දැනෙයි.....
    නිහඩ විය යුතුද මම......

    දෛවයට පිටුපානු බැරුව....
    යුද වදිනු නොහැක මට දෛවයට ....
    නික්ම යයුතුනම්.......
    යායුතුමය මම නික්ම.......

    ReplyDelete
  5. දිලුම් ඉලංදාරියා බ්ලොග් එක හරහා එකිනෙක ගෙන හැර දැක්වූයේ කාලෙක සිට. ඒවා නිර්මාණාත්මකව රසවිඳින අතර තුර ඒ පදපේලිවල හිර වී තිබුණ වේදනාව බොහෝ මතු වූවා. දිලුම් තම අසනීප තත්වය හෙලි කර පොස්ට් එක කියවූ මට කඳුලු පැන්නේ ඒ එකිනෙක මතක් වෙමින්. ඒ අතර "නොකියා සිටියෙමි” (07-07-2010, http://ilandhariaya.blogspot.com/2010/07/blog-post_07.html) පොස්ට් එකේ අතීතයෙන් අහුලන මතක ලියන දිල් නංගී කල දිරිදෙන කොමන්ටුව මතක් වුනා. දිලුම් ගේ තත්වය ගැන තවත් සොයා බලන්න අවශ්‍ය වූයේ නැහැ. පුද්ගලිකව යමක් කරනවා හැර වෙන මොනවා කරම් දෝ හිතාගන්න බැරිව ඒ සඳහා කටයුතු සූදානම් කරා.

    ඒත් දවස දෙක ගෙවෙද්දී බ්ලොග් අවකාෂයේ මනුස්සකම නම් මුතු පබලු යාකරන්න දිලුම්ගේ තත්වය මුල් වූයේ ඇස් කඳුලින් දෝරගලමින්, ඒ සතුටු කඳුලු. බලාපොරොත්තු කන්දරාව ඉහළට එසවුනේ; විශේෂයෙන් අපේ පහල පරම්පරාවේ ද, සුරැකිව ඇති මනුසත්කම ගැන හිත උද්දාමයට පත්කරමින්.

    ඒ වෙනුවෙන් දුමී හා මිතුරු කැල විසින් කල කැපවීම ගැන ලියන්න වචන නැහැ. අපේ සහෘදයින් විසින් නොකල දෙයක් නැහැ.

    ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර මිනිසා විසින් පැරදවිය නොහැකි ලෝක සත්‍යය විසින් යටපත් වූවා මිස කවුරුවත් පරාද නැහැ මගේ යාළුවේ. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.

    දුමී, ජීවිතය හරි පුදුමාකාරයි. බලාපොරොත්තු ඇති වෙනවා නැති වෙනවා. දිලුම් හැම වේදනාවම විඳගෙන නිතරම අපිව බලාපොරොත්තු ඇතිව ජීවත් කරා කියලා මං හිතන්නේ. දිලුම් සයිබරය හරහා ගොඩනැගූ එකමුතුව තුළින් වැදගත් යමක් කරමු.

    දිලුම් ගේ පැතුමක් මල් පලගන්වන්න අපට පුලුවන් නම් අකාලයේ පරවූ ඒ සුවඳ මලට උපහාරයක් වේවි. දිලුම් නම තවත් දිලේවි (ඒ ගැන දිලුම්ගේ පවුලේ අය ද එක්ව කටයුතු කරන්න වෙනවා).

    ReplyDelete
  6. දුමී අපි දිලුම්ගේ මරණය කතා කරද්දී "හ්හ්ම්ම්ම් මොනව කරන්නද ජීවිතේ හැටි ඔහොමයි" වගේ කියලා හිත හදා ගත්තා වුනත් මේ ලිපිය කියෙව්වාම නම් හිත හොඳටම කඩන් වැටුනා මචං.

    අර කතන්දරගේ පෝස්ට් එකට උඹ දාපු අසෝක අයියගේ කතාව එහෙම ඇහුවම මට හිතෙනවා දිලුම් අපි ඔහු වෙනුවෙන් කරපු කරන දෙයක් දකින්න විඳින්න පුලුවන් තත්වෙක ඉන්නවා වෙන්න ඇති කියලා.

    අපි ඔහු වෙනුවෙන් කරන්න උත්සාස කරපු දේ ඔහුගේ නමින් වෙනත් කෙනෙක් වෙනුවෙන් හරි කරන්න පුලුවන් නම් අපි පරාද වුනේ නෑ මල්ලියේ කියලා හදවතින් දිලුම්ගේ ආත්මයට කියන්න අපිට පුලුවන් වෙයි මචන්.

    ඒක දිලුම්ගේ ආත්මයට දැනෙයි. ඒකෙන් ඔහුගේ ආත්මයට සුවයක් දැනෙයි . . .

    මම ආත්ම වාඩියෙක් නෙමෙයි ඒත් සමහර අපි විඳපු අත්දැකීම් එක්ක අපි එහෙම හිතන එක වැරදි නෑම කියලත් හිතෙනවනේ බන් . .

    අපි උත්සාහය අත්නොහැර ඉමු මචං . . දිලුම් වෙනුවෙන් අපි අපිට කරන්න පුලුවන් දේ නොකඩවා කරගෙන යමු . .

    ReplyDelete
  7. මොනා කරන්නද ..... සොයුර ඔබට නිවන් සුව ........!

    ReplyDelete
  8. දිඵම් නිකම්ම පිටවෙලා ගියේ නෑ. මනුෂ්‍යත්වයේ සංවේදනාවන් ඉහළම මට්ටමින් උඹල කවුරුත් තුළ අවුලුවලයි පිටවෙලා ගිහින් තියෙන්නෙ. ඒක නිසා දිඵම්ගෙ මරණයට ලොකු වටිනාකමක් තියෙනව කියල මම හිතනව. මියගිය දිඵම් ගැන දුක්වෙන ඔයාලට වඩා ජීවත් වුණ දිඵම් වෙනුවෙන් කැපවුණ ඔයාලගෙ හදවත් හරිම සුන්දරයි.

    ReplyDelete
  9. දුමී, ඇත්තටම උඹේ ලිපිය කියෙව්වම මගෙ හිතේවේදනාව ආයෙම අලුත් උනා. දිලුම් වෙනුවෙන් මට වැඩිය බොහොම වෙහෙස වෙලා හදවතින්ම කැපකිරීමක් කරල උත්සාහයක් දරපු උඹට ඒක මොන තරම් දුක්බර අත්දැකීමක්ද කියල මට ඇත්තටම හිතාගන්න වත් බෑ.

    ජීවිතේ ඔහොම තමයි කියල හිත හදා ගන්නවට වඩා මම හිතන්නෙ උඹට හිතට අස්වැසිල්ලක් ගෙනෙයි දිලුම් වෙනුවෙන් අපි කරන්න පුලුවන් හැම දෙයක්ම කලා.සිද්ධ වෙන්ඩ තිබ්බ දේ ඒ විදිහට උනා කියල හිතුවොත්.

    සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
    සිතේ අප හැම මතක තවරා,
    ආයෙ දවසක දකින්නට නැත,
    සොයුර.........නුඹ,
    නොකියම යන්න ගිහින්,

    Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. - Shakespeare's Hamlet

    සුවසේ නිදන්න දයාබර කුමරුනි,
    දෙවඟනන් කැළ ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!

    ReplyDelete
  10. ඔයාල ලොකු දෙයක් කලා අයිය...දිලුම් අයිය වෙන්වෙලා හිටිය හදවතක් තියන මිනිස්සු ගොඩක් එක්කලා... එකමුතු කලා..
    අපෙත් කාලය ඉවර වෙනකම් දිලුම්ව අමතකවෙන එකක් නෑ ඒ නිසාම :(

    ReplyDelete
  11. අපි දිලුම් අයියගෙ නමින් මොකක් හරි අරමුදලක් පිහිටෙව්වොත් මොකද... හිත හොද මිනිස්සු වෙනුවෙන්

    ReplyDelete
  12. අපි පරාද නැහැ දුමී, කවදාවත් ඇසින් නොදුටු, වචනයක් කතා කරල නැති කී දෙනෙක් එකතු වෙලා දිලුම් වෙනුවෙන් මහන්සි වුනාද? ඒ මහන්සිය තුලින් කොය් තරං මනුස්සකන් එලියට ආවද? එක එක තරාතිරන් වල එක එක දේශ වල ඉන්න කී දෙනෙක් දිලුම් හින්ද, එකතු වුනාද අඳුන ගත්තද? දිලුම් එහෙමත් නැත්තන් ඉලන්දාරියා කියන නම, සිංහල බ්ලොග් ලෝකයේ ඉන්න කී දෙනෙක් එක තැනකට ගෙනාවද? කරන්න තියෙන්නෙ ඒ ඇතිවුන එකමුතු කම ඉස්සහරට අරන් යන එක දුමී, ඕනෙ වෙනකොට කාට හරි උදව් කරන්න හරි වෙන සද්කාර්යයකට හරි ප්‍රයෝජනයක් වෙන විධියට.

    ReplyDelete
  13. දුමී...සනත් අයියා කියලා තියෙන දේට වඩා මටත් කියන්න දෙයක් අද නැහැ.
    කවුරු කොහොම උනත් උඹට අයිතියක් නැහැ ඔය උඩම තියෙන වචන ටික පාවිච්චි කරන්න.

    ReplyDelete
  14. දිලුම් ගැන ලියවුන දේ ගැන කියවද්දී මට දැනෙන්නේ මා ගැනම තරහක් දුමී අයියේ...මට දිලුම්ගේ මිතුදම් මග හැරී ගිය කාලයේ මොනතරම් දේ සිද්ද වෙලාද...?
    මම බ්ලොග් අවකාශයෙන් ඈත්වෙලා උන්න කාලයේ වෙන්න ඕනෙ හැමදෙයක්ම සිද්ධ වෙලා...මම ආයේම එද්දී දිලුම් යන්න ගිහින්......කවදාවත් එන්නෙ නැතිව ඉන්න.....දිලුම්ගෙ වේදනාව මට වැඩියෙන් දැනෙන්නේ මගෙ ආදරණීය මිනූ නන්ගා එන්නේ දිලුම් ඉන්න තත්වයෙම නිසා වෙන්න ඇති.....


    මම දිලුම්ව අදුනගත්ත මුල්ම කාලයේදී දිලුම් එයා ගැන මුල්වරට මට එළි කරද්දී ...එයා මට කියද්දී මගෙ නන්ගා වගේම අවාසනාවන්ත තත්වයක් උඩ එයත් ඉන්නවා කියලා.....මට හිතාගන්න බැරි උනා... මට කරන්න පුළුවන් උනේ දිලුම්ව දිරිමත් කරන එක විතරමයි..... කාටවත්ම නොකියා රහසක්ව තියාගන්න කියපු නිසාවට දිරිමත් කරනවා හැර මට කරන්න වෙන යමක් තිබුනෙත් නෑ අයියේ...

    මිනූ එයාගේ ට්‍රීටමන්ට් වලට දකුණු අප්‍රිකාවට ගියාට පස්සෙ...දිලුම් හැමදාම මාව දිරිමත් කලා.....මිනූ සනීප වේවි කියලා......කාලයත් එක්කම මට මිනූ වෙනුවෙන් මගෙ ජීවිතේ හුග දේවල් කැප කරන්න උනා.... යාලුකම්....මගෙ බ්ලොග් එක....කාලය...හැමදේම....

    මම ආයේ එද්දී දිලුම් ගිහින්....යන්නම ගිහින්...

    මම දිලුම් බලන්න ගියා අයියේ..... මේ දවස්වල මම ඉන්නෙ මගේ කොණ්ඩය මුඩු කරගෙන...ඒ මගේ මිනූ නන්ගට එයාගෙ වෙනසක් නොදැනෙන්න..... බ්ලොග් යාළුවෝ එන්න කලින් මම දිලුම් බලලා ආවා.... මගේ යාළුවව බලලා ආවා...බ්ලොග් යාලුවො මාව දැක්කොත් හිනා වේවී කියලා මට හිතුනා......

    මිනූ ජීවිතේ එක දවසක් හරි ජීවත් වෙන්න සටන් කරන හැටි මම දිළුම්ට හැමදාම කියලා දුන්න අයියේ...දිලුම් උනත් අන්තීම මොහොත වෙනකම්ම එයාගේ සටන අත ඇරියේ නෑනෙ.... අයියලා එයාවෙනුවෙන් කරපු හැම දේටම.....දිලුම් පින් දෙන්න ඇති හදවතින්ම.....අයියාලාගේ උත්සාහය අපතේ ගියා කියලා මට නම් කොහෙත්ම හිතෙන්නේ නෑ...ඒ උත්සාහය දිලුම්ට දවස් ගෙවන්න බලාපොරොත්තුවක් උනා කියලා මට හිතෙනවා අයියෙ...

    ReplyDelete
  15. අපි පැරදුනා දිලුම් දිනුවා එහෙමද උනෙ.
    මට හැමතිස්සෙම හිතෙන්නෙ එහෙමයි උනෙ කියලා.

    ReplyDelete
  16. බැදී දුක සැප දෙකෙහි නිතියෙන්...හදේ තනි නොතනියට වැඩහුන්...ලබැදි සිත් මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ.....ජීවිතය යනු සිහිනයක්මය ...සසර මග දකිනා....!!!
    යා යුතුය ඒ නියත නික්මන...සියලු බැමි සිදිනා....

    ReplyDelete
  17. අත්තටම කනගාටුයි. බ්ලොග් කියෙඋවට කවදාවත් චොම්මෙන්ට් 1ක් වත් දාල නෑ, ඉලන්දරිය කියන්නෙ කව්ද කියලා විතරයි මම දන්නෙ. බුට් අත්තටම කනගාටු වෙනව උනු දේට

    ReplyDelete
  18. දුමී,

    උඹල වගේ රත්තරන් මිනිස්සු පරාද වෙන්නෙ නෑ මචං! ඒ වගේම කාටවත් පරාද කරන්නත් බෑ. උඹ දුකාට වගේම මේ ගේම ගහපු අනික් ලීඩර්ලත් එකතු කරන් ඒ තරම්ම නොවුනත් යම් තරමකින් හරි දිගටම ඒ වගේ අසරණයන්ට යමක් කරන්න වැඩපිලිවෙලක් හදන්න මේ උන දේ වේදිකාවක් කර ගනින්, අපි පහණ අල්ලන්නං.

    ReplyDelete
  19. දිලුම් සොයුරාට නිවන් සුව පතන්නෙමු !!!!!

    ReplyDelete
  20. දිළුම් කියන්නේ මාර ම චරිතයක් කියලා කියන්න සාක්ෂි ඕනි තරම්. අවුරුදු 70-80 ආයු වළඳපු කෙනෙක්ට වඩා දෙයක් ඔහු මේ ජීවිතයෙන් අරං යන්න ඇති... ස්තුතියි සහෝ... ඔයාලා දරපු උත්සාහයට...

    ReplyDelete
  21. man nuwaradi ilandariyage marana danweemak dakkama mata serama hithaganna puluwan una! =( matat aththatama godak danuna siddiyak! man kawadawat dakala thibbe nathi unath! hoda yaluwek nathi una wage danuna!

    Read more: http://dhumee.blogspot.com/2011/05/blog-post_30.html#ixzz1S6irhA3L

    ReplyDelete
  22. COPY BY:

    ``` Outsider```


    දිඵම් නිකම්ම පිටවෙලා ගියේ නෑ. මනුෂ්‍යත්වයේ සංවේදනාවන් ඉහළම මට්ටමින් උඹල කවුරුත් තුළ අවුලුවලයි පිටවෙලා ගිහින් තියෙන්නෙ. ඒක නිසා දිඵම්ගෙ මරණයට ලොකු වටිනාකමක් තියෙනව කියල මම හිතනව. මියගිය දිඵම් ගැන දුක්වෙන ඔයාලට වඩා ජීවත් වුණ දිඵම් වෙනුවෙන් කැපවුණ ඔයාලගෙ හදවත් හරිම සුන්දරයි.

    meeta vada kiyanta vachna na ayyiye...
    Erandi

    ReplyDelete

Related Posts with Thumbnails