දුමී බබා කාලේ - පුකේ තෙල් ගාගත්ත හැටි

Posted by දුමී

කලින් පෝස්ට් එකට උදව් උනේ අපේ කතන්දර සූරීන් විසින් පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු එකයි. ඒ අගනා හෙලිදරව්ව නිසා පුකෙන් ගන්න පුළුවන් ප්‍රථිකාරයක් ගැන සමාජය දැනුවත් උනා. මේ වෙනකොට කී දෙනෙක් මේ ප්‍රථිකාරෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇතිද කියලා හිතෙනකොටත් පුක සලිත වෙලා යන තරමට සන්තෝසයි. ඔන්න සමහරක් අය කියන්න පටන් ගත්තා පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට ඒක "ග්‍රාම්‍යය" වචනයක් කියලා. එතකොට ගමේ අය පාවිච්චි කරන වචන නගරේ අය පාවිච්චි කරන වචන වලට වඩා හොඳ නැති වචනද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඒත් ඔන්න ඔහේ ඕන පුකක් කියලා මම කට පියාගෙන ඉන්නවා.

දැනට අවුරුදු බර ගාණකට කලින් දුමී බබා කාලේ පෝතකයෙක් වෙලා හිටියා. අර පෝතක බාලදක්ෂ කියලා කියන්නෙ. ඉංගිරීසියෙන් කියනවනම් කව් බෝයි කෙනෙක්. මට මතක හැටියට මේ කියන්න මම පහේ පන්තියේදි විතර. ඔය කාලේ හැම අවුරුද්දකම වාගේ කොළඹ විහාරමහාදේවි පාක් එකේ බාල දක්ෂ ජම්බෝරියක් (කඳවුරට කියන කව් බෝයි වචනයක් ) තිබුනා. අනේ ඉතින් පෝතකයෝ කියන්නේ අන්තිම ජූනියර්ස්ලා. ලොකු අයියලාගේ රැස්පොට් බලාගෙන, ඒ ගොල්ලො ගැට දාන හැටි, කොඩි අදින හැටි, ලණු පාලම් ගහන හැටි වගේ ඒවා කට ඇරගෙන බලාගෙන ඉන්න තමයි මේ පෝතකයන්ට තිබුනේ. ඊට අමතරව කන්න උයන වෙලාවට ලූණු සුද්ද කරන වැඩ, පොල් ගාන වැඩ, මුකුණුවැන්න මිටි වලින් තනකොල ගස් ඉවත් කරන වැඩ වගේ මහා බැරෑරුම් වැඩ ගොඩකුත් කරන්න සිදු උනා මතක හැටියට.

කොහොමත් විහාර මහාදේවි එකේ ජම්බෝරිය තිබුනේ යහමින් ලොකු ලොකු ගස් තිබුනු ඒරියා එකේ. කොයි වෙලේද නසරාණි වැඩක් කරන්නෙ කියලා බලාගෙන ඉන්න නිසා පෝතකයන්ට ලොකු කව් බෝයි අයියලා තද බල නීති රීති දාල තමයි තිබුනේ. පොඩ්ඩක් එහා මෙහා වෙලා කේස් එකක් උනොත්, අපේ කෑම්ප් එකේ ලකුණු එහෙම කැපුනොත් අපිව ස්කාෆ් එකෙන් අල්ලලා ලණු පාලමේ එල්ලනවා කියලා තමයි ලොකුම ලොකුම ලොකු කව් බෝයි අයියා අපිව බය කරලා තිබුනේ. ඒත් ඉතින් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් කාල සටහනකට අනුව නිදාගන්න යන වෙලාව වෙනකන් අපිටත් වද දිදී මුන් මේ කරන පිස්සු විකාර වැඩ අපිට නම් ඇති වෙලා තමයි තිබුනේ. කම්බි වැටකින් එහා පැත්තෙ පේන සී.සෝ, ලිස්සන බෝට්ටු, ඔංචිලා තියෙන ඒරියා එකට කොයි වෙලාවෙ පනින්න චාන්ස් එකක් එයිද කියලා තමයි කට්ටිය බලාගෙන හිටියේ. ඒත් ඉතින් අනිත් ඉස්කෝලවල කව් බොයිලටත් පේන්න ලණු පාලමේ ස්කාෆ් එකෙන් එල්ලිලා ඉන්න පෝතකයෝ වෙච්චි අපි කවුරුවත් කැමති උනේ නැති නිසා ඒ කම්බි වැටෙන් පැනල සෙල්ලම් ඒරියා එකට යන එක අමාරුවෙන් හරි තාවකාලිකව යටපත් කරගෙන තමයි තිබුනේ.

දවස් තුනක් තිස්සේ තිබුනු ජම්බෝරියේ අන්තිම දවස වෙනකොට මේ යටපත් කරගෙන තිබුනු ඇම්ම අර වතුර යට ඔබාගෙන හිටපු රබර් බෝල වගේ උඩ පාවෙන්න පටන් ගත්තා. කොහොමත් එදා හවස් වෙනකොට විසිර යන්න තිබුනු නිසා පෝතකයෝ සෙට් එක කතා උනේ දවල් කෑම වෙලාවෙන් පස්සෙ දවල් දොලහ මාරේ ඉඳන් දෙකහ මාර වෙනකන් නිදාගන්න කියලා දෙන පැය දෙකේදි හොරෙන් පාක් එකේ සී සෝ, ඔන්චිල්ලා තියෙන ප්ලේ ඒරියා එකට පනිමු කියලා. ඔන්න ඉතින් එදා දවල් කෑමෙන් පස්සෙ හැමෝම තම තමන්ගේ කූඩාරං වලට ගිහිල්ලා නිදා ගත්තට පස්සෙ තමයි අපි පෝතකයෝ සෙට් එක හිටපු කූඩරම් වලින් එකා දෙන්නා එලියට පැන්නේ. චන්ඩි වගේ 15ක් විතර මුලදි ප්ලෑන් කලත් මේ වෙනකොට වැඩේට සෙට් උනේ ඒකෙන් හරියටම බාගයයි. ලණු පාලමේ එල්ලෙන්න බයේ වඩේට සෙට් උනේ නැති අනිත් එවුන් ටික කූඩාරම් වල බොරුවට නිදි වගේ තදින් ඇස් පියාගෙන ඉන්නවා මට මේ දැනුත් මැවිලා පේනවා.

කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් කට්ටිය හොර පූසෝ ටික වගේ ගස් වලට කවර් වෙවී ජම්බෝරිය තිබුනු මායිමයි සෙල්ලං ඒරියා එකේ මායිමයි වෙන්වෙන කටු කම්බි වැට ගාවට පැන්නා. ඊට පස්සෙ වැටවල් පැනල පුරුදු එකෙක් කකුල තියලා එක කම්බියක් පාත් කරන ගමන් අනිත් කම්බිය උස්සලා ඉඩ හදලා දීපු ගමන් එක එකා ඒ හිඩසෙන් අනිත් පැත්තට පැන්නා.

ඔන්න බොලේ පැන්න ගමන්ම තියෙන්නෙ තඩිම තඩි සුදු පාටට සුදු පාටේ කොන්ක්‍රීට් වලින් හදලා තියෙන දෙතුන් පාරක් කැරකිලා පල්ලෙහාට යන යන ලිස්සන බෝට්ටුවක් (සලයිඩ්) එකක්. කට්ටියම දුවල ගියේ ඒකට. ඉස්සෙල්ලාම ඕකට නගින්න හම්බ උනේ දමින්දට. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දණ්ඩා නිසා හයියෙන් දුවන්න පුළුවන්. දෙවනියාට මම තමයි දමින්දගේ පස්සෙන් ලිස්සන බෝට්ටුවේ ඉණි මග දිගේ නැග්ගේ. ඔන්න ඉතින් එකා පස්සෙ එකා වගේ ඕකට නැගලා පැන්නා නේද ලිස්සන ස්ලයිඩ් එකට. ලිස්සන්න පටන් ගත්තා විතරයි බුදු අම්මෝ !!! පුකට ඇමරිකාවෙන් පරමාණු බෝම්බේ දැම්මා වගේ තරු වීසි වෙන්න පටන් ගත්තා. මල මාරලයයි. ඒ ගිණි දවල් රස්නෙට කොන්ක්‍රීට් ලිස්සන බෝට්ටුව පෝරණුවක් වගේ ගිණියම් වෙන්න රත් වෙලා. ලිස්සනකොට නවතින්න කියලයෑ ?, ඒ අස්සේ අරක වටේ වට දෙකක් කැරකිලා පල්ලෙහාට යනකන් ඉන්නත් එපායෑ. මෙන්න පල්ලෙහාට එනකොට දමින්දයා ඉන්නවා ලිස්සන බෝට්ටුව පාමුල දිගා වෙලා පුක බදාගෙන. මාව ගිහිල්ලා වැටුනේ ඌවත් ආපහු පෙරලගෙන. පුක පුපුරු ගහනවා නැගිට ගන්නත් බෑ. ඇස් දෙකේ කඳුළු ගෙඩි එළියට පනින්න ඔන්න මෙන්න. දමින්දයාගේ මුළු මූණම රතු වෙලා. කොරේ පිටට මරේ වගේ අනිත් එවුන් ටිකත් එක එකා ඇවිත් එක පොදියට එකා පිට එකා වැටෙන්න ගත්ත හරියට කාටූන් එකක් වගේ. හැමෝම ඉන්නවා පුකවල් බදාගෙන. ඒකාලේ පහේ පන්තියේ බබාල නිසා එකෙක් දෙන්නෙක් හූ තිය තිය අඬනවා. අනිත් හැමෝගෙම ඇස් වල කඳුලු බෝල. කටවල් ඇද වෙලා. කලිසම තියෙද්දිම හැමෝගෙම පුකවල් පිච්චිලා දිය පට්ට එන්නම.

අනේ ඉතින් මේක දැනගත්තොත් සීනියර් කව් බෝයි අයියාලා ස්කාෆ් එකෙන් නෙමෙයි අහවල් එකෙන් තමයි කට්ටියව ලණු පාලමේ එල්ලන්නේ. ඔන්න එකා දෙන්න බොහොම අමාරුවෙන් කොර ගගහා ආපහු වැට පැනලා කූඩාරමට පැන ගත්තා. ඔය අස්සෙ දමිත් කියන එකා සැරෙන් සැරේ අඬනවා. මල මරාලයයි මූ නිසා කට්ටියම මාට්ටු වෙනවා. ඔය අස්සෙ තමයි කලින් සෙට් වෙලා පස්සෙ මග ඇරලා හිටපු එකෙක් කිව්වෙ ඉක්මනට ගිහින් පොල් තෙල් බෝතලේ අරගෙන ඇවිත් හැමෝගෙම පුකේ ගාන්න කියලා. ඔන්න තව එකෙක් දිව්වා පොල් තෙල් ගේන්න කියලා. ඌ ගිහින් උස්සගෙන ආවෙ නිවිච්ච තෙල් තිබුනු තාච්චියක්. එදා අන්තිම දවස නිසා ඔක්කොම තෙල් දවල්ට උයන්න අරගෙන. තෙල් ගාල හරි කමක් නෑ මේ පුපුරු ගහන පුකේ දැවිල්ල නැති කර ගන්න තමයි හැමෝටම ඕන උනේ.

ඒත් ඉතින් තනියම තෙල් ගාගන්න කියල යෑ. ඒත් පෝතක බබාලා උනත් කවුද කැමති තව පෝතක බබෙක්ගේ පුකේ තෙල් ගාලා අත ගාන්න ? ඒත් කොහොම හරි එකෙක් වොලන්ටියරි ඉදිරි පත් උනා අසරණ, පුකවල් පිච්චුණු අපේ පුකවල් වල තෙල් ගාන්න. අනේ දැන් පුකවල් පිච්චුණු අපි පෝතක බබාල ටික ජුණ්ඩයියාව විතරක් වැහෙන්න පිටි පස්සෙන් විතරක් කලිසමත් පාත් කරගෙන පෝලිමේ ඉන්නවා. බලන්න ලස්සනයි. සුදු පුකවල් වල රෝස පාට දිය පට්ට, කළු පුකවල් වල සුදු පාට දිය පට්ට. තාමත් කට්ටියගේ කටවල් ඇදවෙලා. ඇස් රතු වෙලා. ඔන්න අරුත් එක එකාගේ තට්ටම් වල තෙල් ගලා අතුල්ලන්න පටන් ගත්තා. ඒ ඇතිල්ලිල්ලට අර දිය පට්ටත් කැඩෙනවා.

මේ වෙනකොට තුන් හතර දෙනෙක්ගේ විතර තෙල් ගාල ඉවරයි. මෙන්න බොලේ අර තෙල් ගාගත්තු එවුන් ටික වෙලාවකින් හූ තිය තිය කූඩාරමේ බිම පෙරලෙනවා. යකෝ බැලින්නම් අරූ උස්සගෙන ඇවිත් තියෙන්නෙ දවල් කෑමට මිරිස් බැදලා තාච්චියේ ඉතුරු වෙච්ච තෙල් ටික. අනේ ඉතින් අරුන්ට පුක පලලා ලුණු දැම්මා වගේ මිරිස් වල දැවිල්ලට කූඩාරම් දෙවනත් කරනවා.

ඔන්න ඒ අස්සෙ තමයි අති භයංකර සිද්ධිය සිදු උනේ. මෙච්චර දවසක් ජම්බෝරියට එන්න නැතිව හිටපු කව් බෝයි බාර ගුණවර්ධන සර් කාරයා අන්තිම දවසේ ජම්බෝරියට ඇවිල්ලා. මුන්ගේ ලතෝනි සද්දෙට සීනියර් කව් බෝයි අයියාලත් එක්ක කඩාගෙන පාත් උනේ ගුණවර්ධන සර්. පොර කූඩාරම්ට ඇවිත් දැක්ක දෙයින් පොරට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදිලා එතනම මැරෙනවා.

පොර දැකපු විදිහට,

කට්ටියක් පුකවල් එලියෙ දාගෙන පෝලිමේ ඉන්නවා. එකෙක් තාච්චියක් තියාගෙන පොලිමේ ඉන්න එවුන්ගේ පුකේ තෙල් ගානවා. තුන් හතර දෙනෙක් පුකවල් බදාගෙන බිම පෙරලි පරලි ලතෝනි දෙනවා.









ප.ලි:

මොකක්ද උනේ, මොකක්ද වෙන්නෙ කියලා හරියටම දන්නෙ නැති සර් කාරයට සිහි එළෝගන්න ටික වෙලාවක් ගියා.

පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට, සර්ගේ කටින් නම් ඒ වෙලාවේ පිට උනේ මේ ඉන්නෙ පෝතක බබාලා කියලවත් හිතන්නෙ නැති කුණු හරුප වැලක්.


අපි ඒකාලේ පෝතක බබාල උනාට, වයස අවුරුදු 18ට වැඩි නම් සහ ටැබූ කතාවක් කියවන්න කැමති නම් විතරක්, සර් කාරයා ඒ වෙලාවෙ කියපු දේ බලන්න පල්ලෙහා බට්න් එක ක්ලික් කරන්න.


මට අවුරුදු 18ට වැඩියි. කියවන්න දෙන්න.



"කාලකණ්නි හැත්ත. යකෝ, තොපි මේ කරන වැඩ ආරංචි උනොත් තොපේ තාත්තලා මට අරින්නේ පුකේ පොල් තෙල් ගාන්නේ නැතිව...."

වඳුරු පුක් රෙමඩිය - Monkey Butt Remedy

Posted by දුමී

පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින්. ඔන්න ඒ පාර අපේ මාරයා උන්නැහේත් පුක බිහිඋනේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා දාපු මාර බණ පෝස්ටුවකින් පහදලා දුන්නා. ඔන්න ඉතින් කොටුව සකස් කරලා තියෙන වෙලාවෙ බුලත් දඬු ටිකක් හිටව ගන්න ඕනෙ කියලා මමත් හිතුවා පුක් සීරීස් එකක් පටන් ගන්න කියලා. කලින් එක කතාවක් විදිහට ලියන්න හිතුවත් ගොඩාරියක් දික් වෙයි කියලා කතා කීපයක් විදිහට දාන්න තමයි ඕං දැන් කල්පනාව. ඕං එහෙනං ඈ....!

අපේ සීයා ජීවත් වෙලා හිටියේ මතුගම පාන්තියේ. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ මුළු දිවයිනටම බලපාන සාමධාන විනිසුරු වරයෙක්, ඒ කියන්නෙ ජේ.පී කෙනෙක්. ඒ කාලේ දැන් කාලේ වගේ පඳුරක් පඳුරක් ගානට වගේ ඉන්න ජේ.පී ලා හිටියේ නෑනේ.

ඉස්කෝල රස්සාවෙන් විශ්‍රාම අරගෙන හිටිය සීයා මුළු කාලෙම යෙදෙව්වෙ ගොවිතැන් කරන්න. පාන්තියේ ගෙදර වටේටම තියෙන කුඹුරු යායකුත් තව ගොඩ ඉඩම් වල මැන්ගුස්, ගොරකා, අඹ, ජම්බෝල වගේ මෙකී නොකී පළතුරු මහ ගොඩක් සීයා වවල තිබුනා. ඒ වගේම විවිධ ජාතියේ තැඹිලි, කුන්දිරා වගේම හොඳ සරුසාර පොල් වගාවකිනුත් පාන්තියේ ගෙදර වට වෙලා තමයි තිබුනේ. අපිත් ඉතින් හිච්චි සන්දියේදි ඉකෝලේ නිවාඩුවක් ලැබුනු ගමන්ම දුවන්නේ මතුගම (පාන්තියේ ). අනිත් නිවාඩු කාල කොහොම වෙතත් අවුරුදු නිවාඩුව නම් අනිවාර්යයෙන්ම ගෙවෙන්නෙ එහේ.

ඔන්න ඔය වගේ එක අවුරුදු නිවාඩුවකට මතුගම ගිහින් හිටිය කාලෙක හරි අපූරු සිද්ධියක් සිදු උනා. මේ සිද්ධිය උනේ 1986ට කලින්. සමහර විට 85 වෙන්නේ පුළුවං. මොකද 86 අවුරුදු මාසෙම තමයි සීයා අප අතරින් සමු අරගෙන ගියෙත්.

මතුගම නිවාඩුව ගත කරන අපිට එළියට බැස්සොත් හැමතිස්සේම කකුලේ ඇඟිලි අස්සෙ එල්ලෙන කූඩැල්ලන්ට අමතරව නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි හැමතිස්සේම පොල් අත්තකින් තවත් පොල් අත්තකට පැනලා ඔංචිලි පදින වඳුරු රංචු. සාමාන්‍යයෙන් මේ වඳුරු රංචු වල එක එක සයිස් එකේ වඳුරෝ 20ක් 30ක් නොවරදවාම ඉන්නවා. ගොඩක් වෙලාවට පොල් ගස් කරටි වලට නැගලා කුරුම්බැට්ටි, පොල් මල්, ඒ වගේම මැංගුස්, අඹ, ගොරක හිටන් කඩලා නාස්ති කරලා දාන නිසා අපේ සීයට නම් මේ වඳුරො සෙට් එක නයාට අඳු කොළ වගේ තමයි.

ඔන්න එදත් පීදීගෙන පොල් ගස් ටිකකට වඳුරො වැඩක් දීගෙන යනවා දැකපු සීයට උන් හිටි තැන් අමතක උනා. විගහට ගේ ඇතුලට දුවල ගිය සීයා ආපහු ආවෙ සීයගේ ලයිසන් තුවක්කුවට පතුරම් ලෝඩ් කරන ගමන්. පොල් කරටියක පොල් මල් වලට වැඩක් දිදී හිටිය වඳුරෙක්ට ඉලක්කෙ ගත්ත සීයා කොකා ගැස්සුවේ අපේ කණ් අඩි අගුළු වට්ටලා. කොහොම උනත් සීයගේ වයස හින්දදා අර වඳුරගේ වාසනාව හින්දදා මන්දා සීයා ගත්ත ඉලක්කය හරියටම හරිගියේ නැතත් උණ්ඩේ ගිහිල්ලා තිබුනේ අර වඳුරගේ මීටර් එකක් විතර දිග වලිගේ හරි මැදින් තුවාල කරගෙන. ඒ වෙඩිල්ල තිබ්බා විතරයි මෙච්චර වෙලා ගස් වෙලට වෙලා ෆුල් කූල් එකේ රිලැක්ස් එකේ හිටිය වඳුරො සෙට් එක මල පැනලා කොච්චර දරුණු උනාද කියනවනම් මහ හයියෙන් කෑ ගගහා පොල් අතු අඹරව අඹරව අතට අහුවෙන හැම ගෙඩියක්ම, මලක්ම කඩ කඩ බිමට දාන්න ගත්තා. කොටින්ම කිව්වොත් සමහර පොල් වලු පිටින්ම ගෙඩිය ගෙඩිය කඩ කඩ බිමට දැම්මා.

ඒ අතරේ තමයි මරු සිද්ධියක් දකින්න ලැබුනේ. කොහේද ඉඳන් ආපු ටිකක් වයසක වඳුරෙක් (සමහර විට ඌ වඳුරන්ගේ වෙද-පප්පා වඳුරා වෙන්නැති ) අර තුවාල වෙලා ගහෙන් අනිත් ගහට පනින්න බැරිව ඉන්න වලිගෙට වෙඩි වැදිච්ච වඳුරා ලඟට ගිහිල්ලා ඌට ප්‍රථිකාර කලේ. මොකක්ද දන්නවද ප්‍රථිකාර ...? අර තුවාල වෙච්ච වලිගේ අරගෙන දෙපැත්තෙන්ම අල්ලගෙන වෙද පප්පා වඳුරා අර තුවාල වෙච්ච හරිය තමන්ගේ පුකේ අතුල්ල ගන්න එක. ඔන්න ඉතින් අර තුවාල වෙච්ච වඳුරත් හරි සනීපෙට ඉන්නවා. වෙද පප්පා වඳුරා ඒ විදිහට දෙපාරක් තුන් පාරක් කලාට පස්සෙ තවත් වඳුරො දෙතුන් දෙනෙකුත් ඇවිත් අර වෙද පප්පා වඳුරා විදිහටම තුවාල වෙච්ච වලිගෙට ප්‍රතිකාර කලා තම තමන්ගේ පුකේ පිහිටෙන්. ඒ සෙට් එක සමහර විට වෛද්‍ය ශිෂ්‍ය වඳුරො ටික වෙන්න ඇති. ඔන්න ටික වෙලාවකට පස්සෙ අර වෙඩි වැදිච්ච වඳුරට අමාරුවෙන් හරි අනිත් ගස් වලට පැනලා වඳුරු රංචුවත් එක්ක යන්න තරම් ඒ වඳුරු පුක් ප්‍රථිකාර ක්‍රමය වැඩ කරලා තිබුනා වගේ පෙනුනා.

ඔන්න ඉතින් එදා ඉඳන් දවස් කීපයක් යනකන් අපේ මාතෘකාව තමයි මේ වඳුරෝ පුකේ පිහිටෙන් කරන වඳුරු පුක් ප්‍රථිකාරය. මිනිහා වඳුරගෙන් පැවතෙනවා කියලා හැමෝම කියන නිසා වඳුරන්ගේ පුක් ප්‍රථිකාරේත් මිනිස්සුන්ට වරදින්න විදිහක් නෑනේ. ඔන්න ඉතින් අපිත් එක්ක සෙල්ලං කරන්න එන කොල්ලෝ කුරුට්ටො සෙට් එකත් එක්ක අපි කතා කලේ මීට පස්සෙ දුවනකොට වැටිලා එහෙම නැත්නම් ඔය ඉරටු සුද්ද කරන වෙලාවට ඇඟිලි කැපිලා එහෙම යනකොට කෝපි කොල තලලා, කෝපි කුඩු තියලා වගේ කරන ප්‍රථිකාර කරන්නෙ නැතිව මේ පුක් ප්‍රථිකාරේ කරලා බලමු කියලා.

ඒත් දවසක් දෙකක් යනකං අපේ කාටවත් තුවාලයක් උනේ නැති නිසා මේක අපිට අත්හදා බලන්න පුළුවංකමක් තිබුනේ නෑ. ඔය අස්සෙ තමයි අපිත් එක්ක නිතරම සෙල්ලම් කරන්න එන චමින්ද අයියා හිටපු ගමන් සෙල්ලං කරන්න එන්නෙ නැතිව ඇරපු එක. ඔන්න එක දවසක් අපිට ක්‍රිකට් ගහන්න ටීම් එකට කට්ටිය මදි වෙච්ච වෙලාවක කට්ටිය කතා උනේ චමින්ද අයියාව ගිහින් කොහොම හරි එක්කගෙන එමු කියලයි.අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් ඒ වගේම අෆ්‍රිඩි වගේ පොල් අඩි කාරයෙක් වෙච්චි චමින්ද අයියා ඉන්න පැත්ත හැමදාම දිනන එකත් පොරව කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ කියන එකට වැඩි ඡන්ද ටිකක් ලැබුනා. ඔන්න ඉතින් කට්ටියම පොරගේ ගෙදරට ගිහිල්ලා කෑ ගැහුවා. ඔන්න එතකොට තමයි බුවා ජනේලෙකින් ඔළුවා දාලා කතා කලේ.

"චමින්ද අයියේ එන්නෙ නැද්ද සෙල්ලං කරන්න......" අපිත් කැගහලා ඇහුවා....!

“මල්ලි, මට එන්න වෙන්නෙ නෑ... ඔයගොල්ලෝ යන්න......”

“චමින්ද අයියේ, මොකද සීන් එක...?”

ඔන්න එතකොට තමයි චමින්ද අයියා සිද්ධිය විස්තර කලේ. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.

පහුගිය දවසක හවස් වරුවේ සෙල්ලම් කරලා මූණ කට හෝදගෙන ගෙදර ආපු චමින්ද අයියාත් සරමත් ගහගෙන පත්තරයක් කියව කියව ඉඳලා. එතකොට තමයි එක පාරටම චමින්ද අයියාලාගේ තාත්තා කුස්සියේ පිලිකන්න පැත්තෙ ඉඳගෙන කතා කරලා තියෙන්නෙ. මොකද වෙලා තියෙන්නෙ, ලිපේ දාන්න හනසු වගයක් සුද්ද කර කර ඉඳලා තියෙන චමින්ද අයියාගේ තාත්තගේ ඇඟිල්ලක් පිහියට කැපිලා. තාත්තා කතා කරලා තියෙන්නෙ මේකට බෙහෙත් ටිකක් දාන්න කියලයි. මෙන්න බොලේ චමින්ද අයියත් පැනපු ගමන් මොකද කරලා තියෙන්න සරම උස්සලා තාත්තගේ තුවාල වෙච්ච ඇඟිල්ල අරගෙන පුකේ ගහගත්ත එක.

ඉතුරු ටික කියන්න කලින් අපේ එවුන් බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

තාත්තට වඳුරු පුක් ප්‍රථිකාරේ කරන්න ගිය චමින්ද අයියට වෙලා තියෙන්නෙ හොඳවැයින් හනසු පාරවල් දෙක තුනක් පිට හරහයි, පුක හරහයි ලබා ගන්න.

චමින්ද අයියගේ තාත්තගේ ඇඟිල්ල ඒ ප්‍රථිකාර ක්‍රමෙන් හොඳ උනාද කියලා නම් පස්සෙ අපිට අහන්න නම් බැරි උනා..........!

රාමා, සීතා සහ අබ්දුල් කලාම්

Posted by දුමී

අපේ අසල්වැසියා වන ඉන්දියාවෙන් අපිට නිතරම විවිධ දේවල් ලැබෙනවා. ගොඩක් වෙලාවට හම්බවෙන්නෙ හොඳ දේවල් වලට වඩා නරක දේවල්. කොහොමත් පුරාණ කාලේ ඉඳන්ම ඉන්දියාවෙන් අපිට ගොඩ වෙලාවට ලැබෙන්න පරිප්පුම තමයි. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ලංකාවට පරිප්පු වලින් සංග්‍රහ කරන්නෙ කියලයි.

සමහරු කියනවා ලංකාවෙ ජනාවාස පටන්ගත්තෙ ඉන්දියාවෙන් ආපු විජය කුමාරයගෙන් කියලා. තවත් සමහරු මේකට විරුද්ධව අදහස් දක්වන්නෙ ලංකාවේ විජය එන්න කලින් ඉඳලම ජනාවාස තිබුනාය විජය එනකොටත් කුවේනිය කපු කටින තාක්ෂණය පවා ප්‍රගුණ කරගෙන සිටියාය කියලයි. කොච්චර හොඳට තාක්ෂණය ප්‍රගුණ කරගෙන හිටියාද කියවනන් විජය එන්නත් අවුරුදු දහස් ගාණකට කලියෙන් ලංකා පුරවරය පාලනය කරපු ඔය රාවණා ගොයියාට විතරනේ ඒ දවස්වල අහසෙන් යන්න පුළුවං දඬුමොණරේ හරි තිබුනේ. (රාමායනේ නම් ඔය දඬුමොණරේ ගැන නම් කියන්නෙ රාවණා ඒකත් හොරකම් කරපු එකක්ය කියලා. ඒ ඉතින් කුහක කමට කියන කතා. )

දැන් බලන්න ඔය අපි දන්න රාම රාවණා කතාවත් අපිට ඉන්දියාවෙන් දීපු අම්බ පරිප්පුවක්නේ. ඒකේ හැටියට රාවණා හොරා, රාමා පොර. ඇත්තටම බලනවනම් රාවණා ගොයියා ගිහිල්ලා නල්ල මලේ සීතාව උස්සගෙන ආවෙ තමන්ගේ සහෝදරිය සුපර්ණිකාගේ නහය කපපු එකට, එකට එක කරන්න. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරියට වෙච්ච අසාධාරණේට යුක්තිය පසිඳලන්න. රාවණා කරපු ලොකුම මෝඩ කම තමයි ගිහින් ඒකිව උස්සගෙන ආපු එක. ඕක කරගහහෙන එන්නෙ නැතිව ඒකිගෙ නහයත් එතනදිම කපලා දාලා රිටර්න් එක දීලා ආවනම් අද රාමත් නෑ හනුමත් නෑ.

අනික රාමායනයේ කියන්නේ සීතා තමන්ගේ පති වත රැක ගත්තාය කියලානේ. හරි අමාරු වෙන්නැති එයාට ඒක රැක ගන්න. දඬුමොණරෙන් ගේ දොරකඩටම ගිහිල්ලා ගෑණිව උස්සගෙන ආපු, තුන් ලෝකයක් පාලනය කලැයි කියන රාවණ ගොයියට ඕකට ඕන කමක් තිබුනා නම් ඔය පතිවත කුඩු පට්ටම් නොකර ඉඳියිද ? ඒකට රාමා. ආපහු ආව ගෑණිව පොරට කොච්චර ෂුවර් නැද්ද කියවනං ගෑණිව ගිණි ගොඩකට විසික් කරලා දැම්මා. වැඩේ කියන්නෙ සීතාව ගින්දරට දැම්මත් පිච්චුනේ නෑ. එතකොට තමයි හොරේ අහු උනේ. ගිනි ගොඩට දාලත් පිච්චුනේ නෑ කියන්නෙ සීතාගේ ඇඟේ කොච්චර නම් කුණු තියෙන්නෙ ඇතිද ? ඒකනේ පිච්චුවත් පිච්චුනේ නැත්තෙ. අනික රාවණත් ඕකට අත තියන්නෙ නැතිව ඉන්නෙ නැත්තෙ සීතා නාන්නෙ නැති නිසා නොවෙයි කියලා ඔය රාමායනේ කියලා තියෙනවද ? අනික රාවණා ගොයියත් ගොහින් ඔය ගෑණිව ඇල්ලක් ලඟ නවත්තල තිබ්බේ දැන් නායි, දැන් නායි කියලා හිතලා වෙන්න ඇති. ඒත් කොහේද...? ඒකි නාලම නෑනේ...!!

ඉතින් රාමායනය ලියපු එකා ඕක ලියලා තියෙන්නෙ රාමාව පොර කරන්නනේ. ඒක ලියපු වාල්මිකී වගේම ඔය තමන්ගේ එවුන්ව පොර කරන්න ඉන්දියන් පත්තර කාරයෝ කොච්චර ආසද කියනවන් දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉන්දියාවෙ පත්තර විතරක් නෙමෙයි බී.බී.සී එක හිටන් හරිම අපූරු නිව්ස් එකක් පැල් බැඳගෙන සති ගාණක් ප්‍රචාරය කලා.

Saurabh Singh

මේ සිද්ධිය උනේ 2005 වගේ අවුරුද්දේ වගේ තමයි මතක. ඒ වෙනකොට ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් කියන ප්‍රදේශයේ බල්ලියා කියන නගරේ ජීවත් වෙච්චර අවුරුදු 15ක් විතර වයස සෞරාබ් සින් (Saurabh Singh) කියන කොල්ලා ගැන හරිම අපූරු නිව්ස් එකක් පල උනා. ඒ තමයි ඇමරිකාවෙ නාසා ආයතනය මගින් අළුත් අජඨාකාශගාමීන් සොයාගන්න පවත්වපු විභාගෙකින් මේ සෞරාබ් සින් මුළු ලෝකෙන්ම පළවෙනියා වෙලා තියෙනවා කියලා. ඒ නිව්ස් එකෙන් තවත් කිය උනේ මේ විභාගෙට ලෝකෙන්ම ලක්ෂ දෙකක් විතර පෙනී සිටියාය, ඒ දවස්වල ඉන්දියාවෙ ජනාධිපති වෙලා හිටිය අබ්දුල් කලාම් 1960දි මේ විභාගෙන් 7 වෙනියා වෙලා තියෙනවාය   කියලයි. ඒ වගේම කාලෙකට ඉස්සෙල්ලා කොලොම්බියා අභ්‍යාවකාශ යාන අනතුරෙන් මියගිය ගගණ ගාමිණියක (ගගණ ගාමියා කියන එකේ ස්ත්‍රී ලිංග පදේ ගගණ ගාමිණියද ගගණ ගාමිච්චියද කියල ෂුවර් නෑ) වූ කල්පනා චවුලා ඒ විභාගෙන් 1988 දී 21 වෙනියා වෙලා තියෙනවා කියලත් ප්‍රචාරය උනා. ඔන්න ඉතින් දැන් බලනකොට සෞරාබ් තමයි පොර. මොකද අබ්දුල් කලාමුත් 7 වෙනියා වෙච්ච විභාගෙන් සෞරාබ් 1 වෙනියා වෙලානේ. අනේ ඉතින් මුළු ඉන්දියාවම හොඳට උඩ ගිහින් තිබුනේ. කොටින්ම කියනවානම් අපේ ඔෆිස් එකේ හිටපු ඉන්දියන් කාරයොත් එහේ මෙහේ ඇවිද්දේ උන් හරියට සෞරාබ් සින්ගේ අයියලා අක්කලා කියලා හිතාගෙන. ඔන්න ඊට පස්සෙ ආරංචියක් ආව සෞරාබ්ව බලන්න අබ්දුල් කලාම් සෞරාබ්ගේ ඉස්කෝල විසින් සංවිධානය කරපු උත්සවයකටත් පැමිනෙනවාය, ඊට පස්සෙ ඉන්දියාවෙ අගමැති මන්මෝහන් සින් එක්කත් විශේෂ හමුවක් තියෙනවාය කියලත්. ඔන්න ඉතින් සෞරාබ්ටයි පවුලේ අයටයි ප්‍රාන්ථ ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් සල්ලියි, ශිශ්‍යත්වයි අරවයි මේවයි පල් බැඳගෙන හම්බවෙන්න පටන් ගත්තා.

ඔන්න ඔහොම ඔය නිව්ස් එක නැගලා යනකොට තමයි එක පාරටම නාසා එකේ ප්‍රකාශිකාවක් ඇවිත් කිව්වේ නාසා එකෙන් එහෙම විභාගයක් කවදාවත් තියලා නැහැ කියලා. ඔන්න එහෙම කියලා ඊට දවසකකට දෙකකට විතර පස්සෙ අබ්දුල් කලාම්ගේ ප්‍රකාශකයෙක් කියනවා අබ්දුල් කලාමුත් එහෙම විභාගයක් කලේ නෑනේ කියනවා කියලා. ඔන්න ඉතින් එතකොට තමයි කට්ටියට පත්තු උනේ ‘පොරක්' කරන්න ගිය පොරගේ සැබෑ තත්වේ. එහෙම කිව්වත් සෞරාබ් මේක ඔප්පු කරන්න තව තවත් උත්සාහ ගත්තා. පොර ඉඳන් කියන්න ගත්තා නාසා එකේ විභාගයක් උනත් මේක තිබ්බේ එංගලන්තෙ ඔක්ස්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය මගින්ය කියලා. ඒකෙ අවසාන විභාගෙට පොර ලංඩන්වලටත් ගියාය කියලා. හැබැයි පොර දැනගෙන ඉඳලා නෑ ඔක්ස්ෆෝඩ් තියෙන්නෙ ලංඩන් වල ඉඳනුත් කිලෝමීටර් 100ක් විතර එහායින් කියලා. කවුද එක්කෙනෙක් අහලා තිබුනා සෞරාබ් ලංඩන් වල කොහේද නැවතිලා හිටියේ, ලංඩන්වල ඉඳන් කොහොමද ඔක්ස්ෆර්ඩ් එකට ආවේ ගියේ කිය්ලා. ඒ පාර සෞරාබ් කියලා තියෙන්නෙ පොර නැවතිලා හිටියේ බකිංහැම් මාලිගයේ සහ ඔක්ස්ෆර්ඩ් එකට ආවෙ ගියේ ටැක්සියක කියලත්.

ඕක ඉතින් අතේ පත්තු උනේ නැත්නම් තාමත් සෞරාබ් ෆුල් සිරා පොරක් වෙලා හරියට ඉන්දියාවෙන් රමා දැන් පොරක් කරලා ඉන්නවා වගේ.

ඔය කාලෙම වගේ මම වැඩ කලේ එමිරේට්ස් ගුවන් සේවයේ පරිගණක අංශයේ. හිටපු ගමන් අපේ ටීම් එකට පැරෂූටයකින් වගේ කඩාගෙන පාත් උනා "සමීර්" කියලා පොරක් ප්‍රොජෙක්ට් කන්ට්‍රෝලර් කෙනෙක් හැටියට. දැන් පොතේ හැටියට අපේ ටීම් ලීඩර් වෙන්නෙ සමීර්. පස්සෙ කාලෙකද වැඩ බැරි දාස කෙනෙක් විදිහට අඳුන ගත්තත් ඉන්දියන් කාරයන්ට ආවේණික හොඳට කතාකිරීමේ හැකියාව නොඅඩුව තිබිච්ච පොරක් තමයි සමීර්. කොහොමත් ලංකාවෙ අපි 4 දෙනෙක් හිටිය ටීම් එකට මූ ආපු එක කොහොමත්ම අපිට දිරෙව්වෙ නෑ. ඒක නිසා මූත් එක්ක ගේමෙන්ම තමයි කට්ටිය හිටියේ. ඔන්න දවසක් ටීම් මීටින් එකකදි සමීර් මෝටිවේෂන් ස්පීච් එකක් කියනවා මේ අබ්දුල් කලාම් ගැන. මේ කාලේ අබ්දුල් කලාම් තමයි ඉන්දියාවෙ ජනාධිපති. සමීර් කියපු විදිහට කතාව තමයි මේ.


ඉන්දියාවෙ ජාධිපති වෙන්න කලින් අබ්දුල් කලාම් වැඩ කරලා තිබුනේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේක්ෂණ ආයතනයේ ප්‍රධාණ විද්‍යාඥ්ඥයා විදිහට. ඒ කාලේ අබ්දුල් කලාම්ගේ ටීම් එකේ හරිම දක්ෂ විද්‍යාඥ්ඥයෝ රාශියක් සේවය කරලා තිබුනා. ඔය අතර හිටිය ඉතාමත් කාර්‍යශූර තරුණ විද්‍යාඥ්ඥයෙක් දවසක් උදෙන්ම ඇවිදින් අබ්දුල් කලාම්ට කියලා තියෙනවා "සර් අද මගේ පුතාගේ ඉස්කෝලේ කොන්සර්ට් එක, මම වයිෆ්ට පොරොන්දු උනා හවසට ඇවිත් එයාව කොන්සර්ට් එක බලන්න එක්ක යනවා කියලා, ඒක නිසා මම රෑ වෙන්න කලින් ගෙදර ගියාට කමක් නැද්ද..." ඒ පාර අබ්දුල් කලාම් ඒ තරුණ විද්‍යාඥ්ඥයාට හා කමක් නෑ කියලා අවසර දීලා තියෙනවා. කොහොමින් කොහොම හරි ඒ දවසේ හවස් වෙනකොට අර ගෙදර යන්න ඕනෙයි කිව්ව විද්‍යාඥ්ඥයාට කොන්සර්ට් එක ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගෙදර ගිහින් තියෙන්නෙ පහුවෙනිදා උදේ. උදේ ගෙදර යන ගමන් තමයි පොරට කලින් දවසේ කොන්සර්ට් එක ගැන මතක් වෙලා තියෙන්නෙ. අනේ ඉතින් දැන් පොරට ගෙදර යන්නත් බයයි. අභ්‍යාවකාශ විද්‍යාඥ්ඥයෙක්ගේ උනත් වයිෆ් වයිෆ්මනේ. ඔන්න ඉතින් පොර වලං මුට්ටි කරට එන සීන් ගැන ගැන හීන මව මව ගෙදර ගියා. ඔන්න ගෙදර ගියා විතරයි මෙන්න බොලේ පොරගේ වයිෆ් ඇවිල්ලා හරිම සන්තෝසෙන් හිනා වෙලා දොර ඇරලා පොරව පිළි ගත්තා. ඔන්න ඉතින් පොරට දැන් හරිම පුදුමයි. ආපහු එළියට බැහැලා බැළුවා මේ ඇවිත් තියෙන්න හරි ගෙදරටද කියලා. ඔව්, වැරදිලා නෑ. ඇවිත් තියෙන්නෙ හරි ගෙදරට. ඒත් වයිෆ් ෆුල් ජොලියේ ඉන්නවා. ඔන්න ඉතින් කෝකටත් කියලා ඉතින් අපේ පොරත් සෑඩ් මූඩ් එකක් දාගෙන වයිෆ්ට කියනවා

"අනේ සොරි ඩාලිං. මම වැඩ කර කර ඉන්නකොට ඊයේ පුතාගේ කොන්සර්ට් එක ගැන අමතක උනානේ....! ඔයාව කොන්සර්ට් එකට එක්කගෙන යන්න බැරි වෙච්ච එක ගැන සොරි හොඳේ....!" කියලා.

ඔන්න ඒපාර වයිෆ් ෆුල් ජොලි මූඩ් එකේ කියනවා "අයියෝ ඩාලිං ගණං ගන්න එපා. මට ඔයාගේ බොස් ඔක්කොම කිව්වා ඔයා හරි බිසී කියලා. ඔයාගේ බොස් ඊයේ හවස අපේ ගෙදර ඇවිල්ලා මාව කොන්සර්ට් එක බලන්න එක්කගෙන ගියා....!"

බලාගෙන යනකොට මේ පොර හොඳටම බිසී කියලා දැකලා අබ්දුල් කලාම් පොරගේ ගෙදර ඇවිත් වයිෆ්ව කොන්සර්ට් එකට අරගෙන ගිහිල්ලා.

ඔන්න ඉතින් මේ කතාව කියපු සමීර් ඉඳන් කියනවා, "බලන්න, කොච්චර හොඳ නායකයෙක්ද, ලීඩර් කෙනෙක්ද අබ්දුල් කලාම්. එයාගේ ගෝලයෝ ගැන කොච්චර හොඳට හොයලා බලනවද. මමත් උත්සාහ කරන්නෙ අන්න ඒ වගේ ලීඩර් එකෙනෙක් වෙන්න...." බුවා හදන්නේ කට්ටිය ඉස්සරහා පොර වෙන්න.

කට්ටිය කොහොමත් මූත් එක්ක මලෙන් ඉන්න එකේ කතාව ඉවරවෙච්ච ගමන්ම අපේ එකෙක් කියනවා, "සමීර් මේ, කරදර වෙන්න එපා... ඔයා ඔයාගේ වයිෆ් ගැන බලාගන්න. අපි අපේ වයිෆ්ලා ගැන බලා ගන්නම්..." කියලා.

අනේ ඉතින් අපේ බඩවල් කොර. සමීරුත් ඇස් දෙක උඩ ඉඳවගේන මේ මොකක්ද කඩා පාත් වෙච්ච මරාලය කියලා උඩ බිම බලනවා.

ඔන්න ඒ පාර අරූ ආපහු කියනවා, "අනේ උඹලගේ අබ්දුල් කලාම් ! ඌ දැක්ක නම් උගේ ගෝලයට ගෙදර යන්න අමතක වෙලා කියලා, ඌ හොඳ මිනිහෙක්නම් ගෝලයට ගිහිල්ල මතක් කරලා දීලා පොරව ගෙදර අරිනවා. ඒත් මූ කරලා තියෙන්නෙ අරූ බිසී වෙනකන් බලාගෙන ඉඳලා පොරගේ ගෙදරට රිංගලා මදිවට උගේ ගෑණිවත් උස්සගෙන කොන්සර්ට් එකකුත් බලන්න ගිහිල්ලා.....!"

එදායින් පස්සෙ සමීර් අපිට මෝටිවේෂන් ස්ටෝරීස් කියන එක නවත්තලා දැම්මා...!




Photo's taken from - 
http://www.flixya.com/photo/2381260/ugly-indian-girl
http://news.bbc.co.uk/2/hi/south_asia/4283733.stm
http://cartoon-photocollection.blogspot.com/2009/03/abdul-kalam-cartoon-photos.html

කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා - දෙවන කොටස

Posted by දුමී



පළවෙනි කොටස මෙතනින් කියවන්න.



දෙයියොත් බමන්ත සද්ද කියලා නම මාරු කරලා ඇඟට කිටි කිටියේ හිරවෙන ඇඳුමකුත් දීල ගියා මිසක් අඩුගාණෙ කුණ්ඩලීනි යූසර් මැනුවල් එකවත් දීල ගියේ නෑ නේද කියලා බමන්ත සද්දට මතක්වෙලා ටික ටික මල පැන ගෙන ඇවිල්ලා දෙයියොත් එක්කම දෙයියන්ගේ පරම්පරාවත් මතක් කරන්න ගත්ත ගමන් එක පාරටම ඔන්න දෙයියන්ගේ මූණ ආපහු මතු උනා බමන්තගේ ඉස්සරහින්.

"මොන රෙද්දක්ද බමන්ත, බුදිය ගන්නවත් දෙන්නෙ නැද්ද මට..කිඹුහුම් යනවා....මොකද මාව මතක් කලේ....?" ඔන්න බොලේ කුණ්ඩලීනි දෙයියොත් ගෝරණාඩු කරනවා ඔළුව විතරක් දාලා.

"ඔහේ මේ මට බේබි සූට් එකක් වගේ ඇඳුමක් අන්දල, මගේ යසට තිබිච්ච නම වෙනස් කරලා ගියාට මට අනාගතේට යන හැටි කිව්වෙ නෑනේ.....!" ඔන්න බමන්ත සද්දත් කියලා දැම්මා.

"ඕක තමයි මේ මොනිටිසෝරියත් කට්ටි පැනපු උං කුණ්ඩලීනි වලට දා ගත්තහම මේ අහක ඉන්න අපිට තමයි අමාරු. ඕකට අර හැමදෙනාම දාන ජ්‍යාමිතික සූත්‍රය දැම්මානම් හරිනේ....." දෙයියොත් ගෝරණාඩුවක් දැම්මා....

"එහෙනම් පොඩ්ඩක් ඉන්න දෙයියෝ මම කවකටු පෙට්ටිය අරගෙන එනකං...." බමන්ත නැගිට්ටෙ කවකටු පෙට්ටිය හොයාගෙන එන්න...!

"කවකටු පෙට්ටි මොකටද... ජ්‍යාමිතිය විසඳන්නේ ඇඟිලි වලින්නේ..... ඉස්සෙල්ලම අරක මෙතනින් ගන්න මෙන්න මෙහෙම....." දෙයියෝ වම් අත කරකවලා ඇඟිලි ටික විහිදුවලා බඩ උඩ තියාගත්තා....."ඊට පස්සෙ මේක මෙතනින් ගන්න මෙන්න මෙහෙම...." දෙයියෝ දකුණු අත කරකවලා අරගෙන වම් අතේ ඇඟිලි වලට කිට්ටු කරලා තියාගත්තා..

"ඊට පස්සෙ මේ දෙක එකතු කරන්න, කම්බයින් කරන්න මෙන්න මෙහෙම...." දෙයියෝ ඇඟිලි ටික බඩ උඩ පටලව ගත්තා....

"ඈහ්.......?" බමන්තට කෑගැහුනේ ඉබේටම වගේ....

"පොඩි විහිලුවක් කලේ බමන්තයෝ, ගණන් ගන්න එපා.... මම මේ පහු ගිය දවස්වල ජ්‍යාමිතිය ගැන එෆ්.බී එකේ තිබුනු ජෝක් වීඩියෝ එකක් බැළුවා....”

බමන්තයෝ, ඕකට ඔච්චර මැරෙන්න ඕනෙ නෑ... ඇස් දෙක පියාගෙන යන්න ඕනෙ අවුරුදු ගාණ ගණන් කරපු ගමන් ඒ ගණන් කරපු ගාණට අනාගතේට යන්න පුළුවං.පස්සට කරාම අතීතයට යන්න පුළුවන්....ගණන් කරලා ඉවර වෙලා අප්පුඩියක් ගහන්න....එච්චරයි." කුණ්ඩලීනියත් ඇඟට පතට නොදැනී කියලා ආපහු මාරු වෙලා ගියා.......

ඔන්න ඉතින් බමන්ත සද්දත් ඒ කිව්ව විදිහටම ඇස් දෙක පියාගෙන ගණන් කරන්න පටන් ගත්තා...."එකායි, දෙකායි, තුනායි...................... පනස් එකායි, පනස් දෙකායි........, මදුරුවෙක්....චටාස්........පොහ්.......!!”

'පොහ්' ගාල මදුරුවා මැරුනේ කොහොමද බමන්ත ඇස් දෙක ඇරලා බැලුවා.....

ඇස් දෙක ඇරලා බලපුවහම බමන්තගේ ඉස්සරහා නිල් වන් කෙත් වතු යායක්. ඈතින් සීයා කෙනෙක් අමුඩයක් ගහගෙන පෝර ඉහිනවා...! බමන්ත වාඩිවෙලා ඉන්නෙ ඒ වෙල අද්දර ගල් තලාවක් උඩ.....වෙල අද්දර සිරාවට කාපට් කරපු, දෙපැත්තටම යකඩ වැටවල් ගහපු තඩි පාරක්, පාරෙන් එහා පැත්තට වෙන්න පොල් අතු හෙවෙලි කරපු තේ කඩයක්.....ඔන්න ටික වෙලාවකට පස්සෙ අර කාපට් කරපු පාර දිගේ ඩක ඩක ගාගෙන තනි දොරේ ලංගම බස් එකක් එනවා....

"මේ කොහෙද බොලේ මේ.....?" බමන්තත් බිරන්තට්ටු වෙලා වගේ බලාගෙන ඉන්නවා ගලටම වෙලා....හෝඩුවාවක් දැන ගන්න....!!

ඔන්න ටිකකින් අර පෝර ඉහ ඉහද කොහෙද හිටපු සීයා එනවා උදැල්ලත් උස්සගේන් අමුඩ කෙටියත් ගහගෙන ගල ගාවින් ඇවිදගෙන යන්න...."

සීයේ....!" බමන්ත අර සීයට කතා කලා....!

"සීයේ......? මම කොහොමද ඕයි තමුසෙගේ සීයා උනේ.... මගේ නම චමින්ද....!"

"අනේ සීයේ ... සොරි සොරි... සමාවෙන්න..අයියේ ඔයා ලංකාවෙද ?" බමන්තට ඉබේම ඇහුනේ හිතේ කොනක සැකයක් තිබිච්චි නිසා....!

අර චමින්දත් එක පාරටම යන ගමන නවත්තලා බමන්ත දිහා ඔළුවේ ඉඳන් පාදාන්තය දක්වාම බැල්මක් හෙළුවා....!

"ඇයි... තමුසේ අහලා තියෙනවද ඉන්දියාවෙ මිනිස්සු කුඹුරු කොටලා යන ගමන් සිංහලෙන් කතා කරනවා....?" චමින්ද සීයත් කරුණාවෙන්ම උත්තර දෙනවා. ඒ හඬේ ලාංකීය බව බේරෙනවා...

"හරි හරි.... ඇති යාන්තන්....මම ඉන්නෙ ලංකාවෙ තමයි...."අර සුපුරුදු ලාංකීය ආමන්ත්‍රණ කනට වැටුනු බමන්තට හිතුනා.....! අයියේ මොකක්ද මේ අවුරුද්ද....?"

"මේ මනුස්සයෝ මේ 2064...... තමුසේ අංගොඩින් පැනලා එන ගමන්ද....?" සීයට මල පැනලා.....!

"අප්පට සිරි.... 2064...කුණඩලීනි වැඩ...........මම ඉන්නෙ අනාගතේ …......අංගොඩත් තාම තියෙනවලු.......!"

ඒ එක්කම බමන්තට හිතුනේ …. “මේ 2064 නම්, මුගේ වයස පේන හැටියට නම් මේ චමින්ද ඉපදෙන්න ඇත්තෙ එක්දාස් නවසිය අනූ ගණන් වල වගේ වෙන්න ඕනෙ..... හුටා... ඒ කියන්නෙ මූ මට වඩා ඇත්තටම බාලයි...........” බමන්තටත් හිතුනා....

"මචං....උඹේ ගෙවල් කොහෙද....?" අමාරුවෙන් එහෙම කතා කරන්න කට හදාගත්ත බමන්ත අර චමින්දගෙන ඇහුවා......

ඒ විදිහට මචං කියලා කතා කරපු එකෙන් චමින්දත් පොඩ්ඩක් කික් එකක් ඇවිල්ලා....

“මෙන්න මේ හයි වේ එකේ හරියටම අනිත් පැත්තේ බං.....!” චමින්ද ඇඟිල්ල දික්කරලා හරියටම පාරෙ එහා පත්තෙන් පාර අයිනට වෙන්න තියෙන ගෙයක් පෙන්නනවා...

“ මේ මම දැන් මම හයි වේ ඉන්ටර් සිටියක් එනකන් ඉන්නවා ගෙදර යන්න....! ඇයි පයින් මාරු වෙන්න බෑනේ... 5000ක් දඩ...! ඊට වඩා ලාබයි රුපියල් 400ක් දීලා ඉන්ටර්සිටියේ යනවා....!” චමින්දත් ඔරේ කියවනවා....

"මචං ඉන්ටර්සිටියක් එනකන් පොඩ්ඩක් කතා කරමුද ? 2064 වෙලත් තාම අමුඩේ ගහගෙන කුඹුරු කොටන්නෙ ඇයි...?"

"ඇයි ඕයි, තමුසෙ කියන්නෙ 2064 කියලා හෙළුවෙන් කුඹුර කොටන්න කියලද ?" ...මේකා එන්නෙම වලියට....

"නෑ මචං මම අහන්නේ ලංකාව දියුණු වෙලා නැද්ද පහු ගිය අවුරුදු 50ට 60ට....?"

බමන්තත් පොඩ්ඩක් ශාන්ත දාන්තව ප්‍රශ්නේ අහලා දැම්මා...?

"දියුණු වෙලා නැද්ද ? දැන් තමුසේ බලනවකෝ අපි පොඩි කාලේ තිබුනා වගේ අඩි පාරක්, ගුරු පාරක්, තාර පාරක් ඉතුරු වෙලා තියෙනවද කියලා....! බෝක්කුවක්, කාණුවක් ඉතුරු වෙලා තියෙනවද කියලා.....! ඒවා ඔක්කොම හයිවේ එහෙම නැත්නම් ගුවන් පාලම් වලට හරවලා තියෙන්නෙ......! බේතකටවත් නිකන් පාරක් නෑ....! පේනවා නේද.. බොහොම අමාරුවෙන් මේ කුඹුරක නියරක්වත් බේරගෙන තියෙන්නෙ.!! දියුණු වෙලාද කියලා අහනවා....! දැන් ලංකාවෙ ප්‍රධාන ආධායම් මාර්ගය තමයි හයිවේ....! " චමින්දත් කියවගෙන කියවගෙන යනවා හරියට මයිනෙක් වගේ.

"ඒකත් එහෙමද..එතකොට දේශපාලනේ.....? දැන් එතකොට කවුද මේ රටේ නායකයා....?"

“රටේ නායකයා තමයි අපේ මහ රජ තුමා.........!”

“මොන මහ රජතුමාද ?” තක්බීර් වෙච්ච බමන්තත් ඇහුවා...

“මොන මහ රජතුමාද ? ඒකවත් දන්නෙ නැද්ද... අර පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන්නෙ...?”

“පණ්ඩුකාභය...? ඒ කියන්නෙ අබා...?” බමන්තට ඒකාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා

“අන්න හරි.... අබාගේ බබා තමයි දැන් රජ කරන්නෙ...!!”

“හුටා... ඒ කියන්නෙ ඇක්සන් ජන්තු වැඩේ දීලා....!” පොර ඉතිහාසය ලියන මුවාවෙන් අනාගතේට ගේම දීල වගේ. මොනව උනත් මීයක් කඩන්නෙ ඇඟිලි ලෙවකන්න නෙමෙයි කියලා ඒ දවස්වල සූ එකේ හිටපු වලහෙක්ද කොහෙද කියලා තිබුනා.

"මචං චමින්ද... අර ඒ දවස්වල හිටපු රාජ පරම්පරාවට මොකද උනේ..? ඒ කියන්නෙ මීට අවුරුදු 50 කට විතර කලින් හිටපු...?" බමන්තත් හිතේ කැකෑරෙමින් තිබුනු පුරස්නේ ඇදලා දැම්මා....!

“අනේ ගොනෝ.....” ….චමින්දයා පටන් ගත්තා..."අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා ගැන දන්නවද ?"

"ඔව් ඔව් ඉතින් ඉතින්" බමන්තට දැන් හරිම කුතුහලේ

"ඒ එක වඳුරෙක් ඉඳලා එහෙම උනේ. ඉතින් හිතා ගන්නකෝ වඳුරො දෙසිය ගාණක් වටේට හිටියහම වෙන සන්තෑසිය..."

අපොයි දෙයියනේ කියලා කම්මුලේ අත ගහගත්ත බමන්ත ඊට පස්සෙ ඒ ගැන මොකුත් අහන්නෙ නැතිව ඉන්න තීරණය කලා.

"එතකොට ඒ වඳුරො ටික ?"

"ආහ්... ඒ වඳුරො ටිකට දැන් පුළුන් පුරවලා දියවන්නාවේ මියුසියම් එකට දාල තියෙනවා ජනතාවට බලලා විනෝද වෙන්න......"

‘එහෙනම් ඒ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් නෑනේ, තාමත් වඳුරො ටික ජනතාවට විනෝදය සපයනවා...’

"මචං චමින්ද.... කවුද එතකොට දැන් රටේ විපක්ෂ නායකයා....?" අමාරුවෙන් අනාගතේට ආපු එකේ ඔන්න ඔක්කොම විස්තර ටික අහගෙනම යනවා කියලා බමන්තට හිතුනා.

“විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” බමන්තගේ ඇස් දෙක නළලට යවන ගමන් චමින්දයත් මරු කියවනවා.

“රනිල්..? මෙච්චර කල්... ඒ කොහොමද …....? පොර ඒ කාලෙත් සෑහෙන්න වයසයිනේ....”

“ඕකනේ කියන්නෙ.... තමුසේ දන්න අටමගලයක් නෑ කියලා. රනිල් ලොක්කට අර ධවල බමුණා බේතක් මවලා දීලානේ නොමැරී ඉන්න...”

“ධවල බමුණා.......?” බමන්තට නම් හිතුනේ මේ චමින්දයත් අංගොඩින් පැනලා එන ගමන්දෝයි කියලයි.

"ඔව් ඔව්, අර වලියන්ත ඊට් කියලා හිටියේ. අර ඒ දවස්වල එෆ්.එම් එකකින් ගලක් පෙරලලා දාලා මස්ත බාල්දු වෙලා ගියේ. පොර ඒ කාලේම ගිහි ගෙය කල කිරිලා හිමාලේ පැත්තට භාවනා කරන්න ගියා කියලා ආරංචියි."

බමන්තට දැන්නම් වැඩේ හොඳටම පැහැදිලි වීගෙන එනවා...

“එතකොට අර ඒ දවස්වල අනීවාරතේ හිරේ යන්න වෙච්ච ජන රාළ තුමාට මොකද උනේ...? නිදහස් උනාද...?” බමන්තගේ හිතේ තිබිච්ච තවත් ප්‍රශ්නයක් ඇදලා ඇරියා....

“නිදහස් උනා නිදහස් උනා....! ඇමරිකාවෙ ජනාධිපති, උන්නැහේ වෙනුවෙන් සමාව ඉල්ලුවනේ....! ඉතින් නිදහස් උනා....”

"හෑහ්...? ඇමරිකාවෙ ජනාධිපති...සමාව ඉල්ලුවා..?" බමන්තගේ කට තාමත් ඇරිච්ච ගමන්මයි....

“නැතිව නැතිව.... උන්නැහේට උන්නැහේගේ වැඩක් කරගෙන යන්න බැරි තරමටම වැඩේ දරුණු උනානේ. ලියුං එන තරමක් ආවා කියන්නෙ ලංකාවෙන් යවන පෙත්සං.... ඔන්න ඉතින් උන්නැහේ එතුමා වෙනුවෙන් සමාව ඉල්ලුවා...”

“ඉතින්.. මොකද උනේ....?”

“මොකද උනේ තමයි... නිදහස් උනා විතරයි ජන රාළ තුමා හිරේ ඉන්නකං උඩ පැනපු ගෝතයෝ ටික උන්නැහේගේ පැත්තවත් බැළුවෙ නෑ. ඉස්සර එතුමා උසාවියට, ඉස්පිරිතාලෙට යනකන් කැමරා මානගෙන ෆොටෝ අල්ලන්න බලාගෙන හිටපු මාධ්‍යය වේදියෝ එකෙක්වත් එතුමාගේ ෆොටෝ එකක් ගහන්න පැත්ත පලාතක ආවෙ නෑනේ...බැරිම තැන එතුමා එළියෙ ඉන්නවට වඩා ඇතුල හොඳයි කියලා ආපහු ඉල්ලගෙන හිරේ ගියා....”

හපොයි, මේව ඇහෙනකොට බමන්තට නිකං කැරකිල්ල වගේ......

“එතකොට අර රතු සහෝදරවරු. ඒ ගොල්ලන්ට මොකද උනේ....?” බමන්තගෙනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න.

“ආ ඒක ඒ කාලෙම විසඳුනානේ....! දැන් බලන්න නයි දෙන්නෙක් ඉන්නවා. එක නයෙක් අනිත් නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අනිත් නයත් අර නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අන්තිමට නයි කී දෙනෙක් ඉතුරුද...?”

“එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑනේ....” බමන්තට ඉබේම කිය උනා......

“මචං චමින්දයෝ, අඩුම තරමේ ක්‍රීඩාවෙන්වත් දියුණුවක් නැද්ද හැබෑටම.....! කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්ත්වෙ එහෙම. 96න් පස්සෙ කීපාරක් ලෝක කුසලාණේ දින්නද ?” මොලේ කරපට් වෙලා හිටිය බමන්තත් මාතෘකාව වෙන පැත්තකට හරෝලා දැම්මා....!

“මොකා කිව්වා.....? ක්‍රිකට්...? ඒ මොකක්ද ? ආහ්... ඉස්සර එහෙම එකක් තිබුනා තමයි. ටික කාලෙකට ඉස්සෙල්ල ඒ ගොල්ලන්ව ගොඩවල් ගාණට ඉන්දියාවෙන් සල්ලි දීලා ගත්තයින් පස්සෙ එහෙම එකක් නැතිව ගියා..... ” චමින්දයත් කිසිම විළි සංගයක් නැතිව කියවනවා...

“අඩු ගානේ ජාතික ක්‍රීඩාවක්වත් නැත්ද ?” බමන්තගෙත් ඉවසීමේ සීමාව පැනලද කොහෙද .

“ජාතික ක්‍රීඩාවක් නැත්තෙ මොකද. අපේ ජාතික ක්‍රීඩාව තමයි නයිට් රේස්....” චමින්දයත් දෙකට නැවිලා අමුඩ ලේන්සුවෙන් කට පිහිදගන්න ගමන් කිව්වා.

එතකොටම තමයි චමින්ද මෙච්චර වෙලා බලාගෙන හිටපු හයිවේ ඉන්ටර්සිටිය ආවේ. චමින්ද අත දැම්ම විතරයි යන්තන් ස්ලෝ කරපු පරණ ටකරන් බස් එකට චමින්ද උදැල්ලත් උස්සගෙන ටික දුරක් දුවල ගිහිල්ලා යාන්තම් එල්ලුනා.

අනාගත ආශ්චර්යය බලන්න ආපු බමන්තට දැන් හොඳටම කලන්තෙ වගෙයි. ආපහු යන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඇස්දෙක පියාගෙන පිටිපස්සට ගණන් කරන්න පටන් ගත්තා.... 52, 51, 50.....3,2,1 චටස්. ම්හ්... මුකුත් වෙන්නෙ නෑ... හිටපු තැනමයි.... චටස්....චටස්....චටස්.....!

එතකොටම තමයි බමන්තට හුරු පුරුදු හීනි සොඳුරු කට හඬක් ඇහුනේ.....

“මොන මළ වදයක්ද මම දන්නෙ නෑ.... මේ මිනිහට පිස්සු හැදිලද කොහෙද.... මහ රෑ තිස්සේ නැගිටගෙන ඇඳ උඩ උඩ පැන පැන අප්පුඩි ගහන්නෙ....! මේ පොඩි එවුන්වත් ඇහැරවන්න හදනවා.....!

හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......! පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් හිටන් අමතක වෙනවා.....!

අනේ ඉතින් මෙයාට මට කුණ්ඩලීනි යෝගේ ලැබුනා කිව්වොත් පිලිගනීද ? ඒක නිසා දුමියත් ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා

Posted by දුමී

දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න පුරුදුවෙච්ච නිසා. එකේ සතියකට සැරයක් හරිම අපූරු විද්‍යා ප්‍රභන්ධයක් පල උනා. ආතර් සී ක්ලාක් රචනා කරපුවා වගේම ආධුනික රචකයන්ගේ කතාත් පල උනා.

දුමීගේ හිතට මේ ටයිම් ට්‍රැවලින් ගැන උනන්දුවක් ඇති කලේ ඔය විදුසරේ ගිය කතා දෙක තුනක් නිසයි. ඔය කතා කියවපු දවස්වල ඉඳන්ම ටයිම් ට්‍රැවලින් මැෂින් එකක් හදන්න ඕනෙයි කියලා දුමීගේ හිතට තදින්ම කාවැදිලයි තිබුනේ. ඒ නිසා දුමී ඒ දවස්වල ඉඳලම පරණ බල්බ් (විශේෂයෙන්ම ටියුබ් ලයිට් ) , පරණ බැටරි කෑලි, යකඩ ඇණ, බෝල්ට් ඇණ වගේ දේවල් එකතු කලේ මේ ටයිම් මැෂින් එක හදාගන්න. ඒ වගේම පකිස් පෙට්ටි දෙක තුනකුත් හොයාගත්තෙ මේ ටයිම් මැෂින් එකේ බොඩි එක හදාගන්න.

ඔය කාලෙ තමයි ඔය බ්ලේක් සෙවන්, බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා, ස්ටාර් ට්‍රෙක් වගේ අභ්‍යවකාශ කතා සෙට් එකක් ටී.වී එකේ ගියේ. ඔය හැම යානෙකම එක එක බල්බ් පත්තුවෙන නිවෙන ලොකු ලොකු මැෂින් තියෙනවා දැකලා හොයලා බැලුවම කවුදෝ කිව්වා ඕවා හදලා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් වලින් තමයි කියලා. ඔන්න ඉතින් දුමීටත් ඕනෙ උනේ ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් ගැන ටිකක් ඉගෙන ගන්න ඕනෙ කියලයි.මොකද ටයිම් මැෂින් එක හදන වැඩේට ඒවා අනිවාර්යයෙන්ම ඕනෙ වෙන නිසා. ඔය අදහස දුමීලගේ තාත්තට දාන පරක්කුවෙන්ම දුමීව ගොහිල්ලා බැන්දෙව්වා බත්තරමුල්ලේ තියෙන "කැපිටල් රේඩියෝ ටෙලිවිෂන් ස්කූල්" එකට. ඔන්න ඉතින් දුමිත් මාස 8ක් විතර තිස්සෙ ඔකෙන් රේඩියෝ, ඇම්ලිෆයර් වගේ නානා ප්‍රකාර ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් හදන්න ඉගෙන ගත්තා. කොහොමෙන් කොහොම හරි ගෙදර ඇවිල්ලා දුමිත් දන්න දන්න සෙල්ලම් දාලා රේඩියෝ හදන්න පටන් ගත්තා...! මොන කරුමයක්ද දන්නෙ නෑ හදන හදන රේඩියෝ වලින් අහු උනේම දෙමළ චැනල් විතරයි. ඔන්න ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් ටයිම් මැෂිමක් හදන්න ගියොත් තමිල්නාඩුවෙන් එහාට යන්න වෙන එකක් නෑ කියලා දුමීට හිතිලයි තිබුනේ. ඔන්න එහෙම්මම ඒ මැෂිම හදන වැඩේ අත ඇරලම දැම්මා...

ඊට පස්සෙ ටික කාලෙකට පස්සෙ තමයි අපේ ජයන්ත චන්ද්‍රසිරි ගොයියගේ "දඬුබස්නාමානයයි" ඊට පස්සෙ "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" කියන ටෙලි ටික ටී.වී එකේ ගියේ. ඔන්න දැන් දුමීට හරි සතුටුයි. මොකද දැන් ටයිම් මැෂින් එකක් හදන්න ඕනෙ වෙන්නෙ නෑනේ. යෝග පාරක් දාලා කුණ්ඩලීණී යෝගය ලබා ගත්තා නම් ගොඩ. අතීතයටද අනාගතයටද ඕනෙම එකකට සුටුස් ගාලා ගිහිල්ලා එතැහැකි.
ඊටත් පස්සෙ දවසක තමයි දුමීට මෙන්න මේ පින්තූරේ තියෙන පුස්කොල පොත පරණ පොත් ගොඩක තිබිලා හම්බ උනේ. පුරාණ සෘෂිවරයෙක් ලියලා තියෙන පුස්කොල පොතේ නම "කුණ්ඩලීණි ෆොර් ඩමීස් (දුමීස්ද මන්දා )". ඔන්න ඉතින් පුස්කොල පොතේ කියලා තියෙන හැටියට උදේ කෑමට පෙරයි, රෑ කෑමෙන් පස්සෙයි පැය ගානෙ දවසට පැය දෙකක් යෝගේ වැඩුවොත් අවුරුදු 5කින් කුණ්ඩලීණි ලැබෙනවා ෂුවර් කියලා තමයි පොතේ නම් තිබුනේ. ඒත් ඉතින් දවසට පැය දෙකක් ඕකට යොදවන්නෙ කොහොමද කියලා කල්පනා කරපු දුමී අඩු ගානෙ විනාඩි 15ක් හරි යොදවනවා කියලා තමයි වැඩේට බැස්සෙ.

දුමී වැඩේට බැහැලා අවුරුදු 15ක් විතර ගියාට පස්සෙ ඊයෙ පෙරේද දවසක දුමී රෑ කෑමෙන් පස්සෙ කුණ්ඩලීනි යෝගේ වඩමින් තමයි හිටියේ. එක පාරටම "බරස් බරස්" කියලා සද්දයක් ඇහිච්චි නිසා දුමී ඇස් දෙක ඇරලා බැලුවා. ඒත් මුකුත් නැති නිසා ආපහු ඇස් දෙක පියාගෙන යෝගේ වඩන්න පටන් ගත්තා. ආයෙමත් අර "බරස් බරස්" සද්දෙ සැරටම ඇහිච්ච නිසා දුමී ආයෙත් ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට තමයි දුමී දැක්කෙ දුමීගෙ ඉස්සරහා දිලිසි දිලිසි ඔටුන්නකුත් දාගෙන බුවෙක් එරමිණියා ගොතාගෙන ඉන්න හැටි. "ඔබ තුමා කවුද....?" දුමීගේ කඩ හඬත් වෙව්ලනවා....

“දුමී, මම තමයි කුණ්ඩලීනි දෙයියෝ....ඔන්න ඔය සරම ගලවලා දාලා මෙන්න මේක ඇඳගන්නවා දැන්...” එහෙම කියපු කුණ්ඩලීනි දෙයියෝ කහපාටින් මහපු බාච්චුවක් වගේ දිග කලිසමකුයි අත් දිග කමිසෙක්යි දුමී දිහාට විසිකලා.

"ඒ මොකද ඒ...?" අඤ්ඤකොරොස් වෙලා දුමියත් ඇහුවා.

“දැන් තමුන් කුණ්ඩලීනි යෝගෙ ලබලා ඉන්නෙ. ඇහුනේ නැද්ද අර බරස් බරස් සද්දේ...? යෝග ලැබුවහම අඳින ඇඳුම වෙනස් කරන්න ඕනෙ...! හා හා ගලවනවා සරම...!” දෙයියොත් දුමීගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා....

“ඔබ තුමා පොඩ්ඩක් අහක බලා ගන්නවද මට සරම ගලවන්න ?” දෙයියෝ උනත් පොරගේ බැල්ම එච්චර ඇල්ලුවෙ නැති නිසා දුමියත් කියලා දැම්මා.

දෙයියෝ අහක බලනකම් ඉඳලා දුමී සුටුස් ගාල සරම ගලවලා අර කහ පාට බාච්චු කලිසමට බැහැලා අර කහ පාට ෂර්ට් එකත් ඇඳ ගත්තා.

“දැන් දුමී ඔහේගෙ නම අද ඉඳන් වෙනස් කරන්න ඕනෙ. ‘බමන්ත සද්ද’ කියලා.” ඔන්න ආයෙත් දෙයියෝ කියන්න පටන් ගත්තා....

“අර මක්කෙයි අර... මේ යසට තියෙන දුමීගෙ නම වෙනස් කරන්නෙ..? ” මල පැනපු දුමියත් කියලා දැම්මා...

"තමුසෙට කුණ්ඩලීනි ඕනෙද එපාද... ඕනෙ නැත්නම් කියනවා මම වෙන කාට හරි දෙන්නම්....දැන ගන්නවා මේ වගේ යෝග ලැබුනම නම වෙනස් කරන්න ඕනෙ... ඇඳුම වෙනස් කරන්නත් ඕනෙ" දෙයියන්ට මල පැනලද කොහෙද.

"හා හා හරි හරි, ඕක ඉතින් ඔබ තුමා කලින් කිව්වනම් ඉවරයිනේ" අමාරුවෙන් අතට ගත්ත දේ කටේ දාගන්නවත් කලින් මිස් උනොත් කියලා දුමිත් කැමති උනා.

ඔන්න ඉතින් 'බමන්ත සද්ද' කියලා නම වෙනස් කරගත්ත දුමියත් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කට බලියගෙන දැන් බලාගෙන ඉන්නවා.

"බමන්ත සද්ද, දැන් අහගන්නවා මේ කුණ්ඩලීනි නීති ටික...." දෙයියොත් මහ නපුරු පෙනුමක් ආරුඨ කරගෙනම කියනවා.

"තමුන්ගේ කුණ්ඩලීනි ලයිසන් එක තාම අළුත්. ඒ නිසා වැඩි ඈත යන්න දෙන්න බෑ. අනාගතයට අවුරුදු 100යි අතීතයට අවුරුදු 100යි තමයි පටන් ගන්නකොට දෙන්නෙ. තමුන්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි ඒක වැඩි කරන්නෙ."

“අතීතයට ගිහිල්ලා, අනාගතේදි අදින ස්වීප් ටිකට් ගන්න තහනම්....එහෙම දැනගන්න ලැබුනොත් ඒ වෙලාවෙම කුණ්ඩලීනි ලයිසන් කැන්සල්.”

“අතීතයට ගිහිල්ලා තමුන්ගේ තරහ කාරයන්ට ගේම් දෙන්න තහනම්...”

“මේ ලඟදි එක්කෙනෙක්ගේ ලයිසන් එක කැන්සල් කරා මොකද පොර අනාගතයට ගිහිල්ලා ඒ.ලෙවල්. ඕ.ලෙවල් ප්‍රශ්න පත්තර බලලා අතීතයට ගිහින් ටියුෂන් කඩයක් දාගෙන ඉඳලා. ඒවගේ ඒව කරලා අහු උනොත් දැඩි දඬුවම්..... තේරුනාද ?”

"එතකොට මොනවද මේකෙන් කරන්න පුළුවන්....?" මේ නීති ටික ඇහුවහම මේ රෙද්දෙන් වැඩක් නෑනේ කියල දුමීට, නෑ බමන්ත සද්දට හිතිච්ච නිසා අහලා දැම්මා.

"හොහ් හොහ් හොහ්... ඒක ගිහිල්ලම බලපන් බමන්ත සද්ද ඒක ගොහිල්ලම බලපන්...." දෙයියොත් නක්කල් හිනාවක් දැම්මා....

"හරි මම දැන් කොහාටද ඉස්සෙල්ලම යන්නෙ.....?" බමන්ත සද්ද අහනවා.

"ඔහේ තාම එල් බෝඩ් නිසා හැමතැනම යන්න දෙන්න බෑ. තමන් ඉපදිච්ච රටේ අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන්...." දෙයියොත් හරියට අතින් පයින් යනවා වගේ කියනව.

හ්ම්ම්..අතීතයට..? වැඩක් නෑ. බමන්ත සද්දට ඉතිහාසය සහ සමාජ අධ්‍යනයට විශිෂ්ඨ සම්මනයක් තියෙන නිසා අතීතයට ගිහින් වැඩක් නෑ. "හරි මට යන්න ඕනෙ ලංකාවෙ ආශ්චර්යය බලන්න අනාගතේට....." බමන්ත සද්දට කියවුනා....!

කට කොණට නක්කල් හිනාවක් දාගත්ත කුණ්ඩලීනි දෙයියෝ..

"හා හොඳයි එහෙනම්....ගොහිල්ලා එමුකෝ බලන්න......" කියන ගමන් සුටුස් ගාලා අන්තරස්දාන උනා.....









ප.ලි: බමන්ත සද්ද කුණ්ඩලීනි පාවිච්චි කරලා ආශ්චර්යය බලන්න අනාගතේට ගිය හැටි ඊලඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න....!


picture taken from : http://paranormalspy.com/news/is-that-the-time-it-will-be.html

දුමී බබා කාලේ - එන්ටද ඩ්‍රැගන් ?

Posted by දුමී

දුමීලගේ ගෙදරට ඉස්සෙල්ලාම ටී.වී එකක් ගෙනාවෙ 1979 දිහාවෙ. දුමීලගේ තාත්තා රට ගිහිල්ලා එනකොට ටී.වී එකක් විතරක් නෙමෙයි තඩි වීඩියෝ ප්ලේයර් එකකුත් ගෙනාවා. ටී.වී එකේ ජාතිය Sanyo. හරියටම ඔය පින්තූරෙ තියෙන ජාතියේ ටී.වී එකක්. තඩි නොබ් දෙකක් එක්ක ඔන් ඕෆ් කරන්න ඉස්සරහට අදින්නයි පස්සට දාන්නයි පරණ කාර් එකක් ගියර් එක වගේ බටන් එකක් තිබුනා මතකයි.
චැනල් මාරු කරනකොට ටොක ටොක ටොක කියලා නොබ් එක එහාටයි මෙහාටයි කරකවන්න ඕනෙ. කොහොමත් ටී.වී එක ගෙනැල්ලා වැඩි කාලයක් යනකන් ඒ චැනල් මාරු කරන එක එච්චර ප්‍රොයෝජනවත් උනේ නෑ මොකද ඒ කාලේ තිබුනේ අයි.ටී.එන් එක විතරයි. වීඩියෝ රෙකෝඩර් එකේ ජාතිය Mitsubishi. හරියටම මේ පින්තූරෙ තියෙන්නෙ ඒක. බර කිලෝ 20කට එහා පැත්තෙ. තනිකරම පරණ මිට්සුබිෂී මෝටර් සයිකලයක් විතර සයිස් යකඩගොඩක්.
මම හිතන්නෙ ඒ දවස්වල මුළු කළුබෝවිලටම ගෙනාපු පලවෙනි ටී.වී එක තමයි දුමීලගේ ටී වී එක. කලින් කිව්වත් වගේ ඒ කාලේ ලංකාවටම තිබුනේ අයි.ටී එන් චැනල් එක විතරමයි. ඒකත් තාත්තා එනකොට ගෙනාපු ඇන්ටනා එකට හරියට අහු උනේ නෑ. පස්සෙ ගෙදර පිටිපස්සෙ තිබුනු කොස් ගහ මුදුනෙනුත් හැතැප්මක් විතර උඩට යකට බටයක් හයි කරාට පස්සෙ තමයි ඔන්න යාන්තන් ඒ චැනල් එක හරි පෙනුනේ. ඒ පෙනුනත් හරියට පැහැදිලිව පෙනුනේ නෑ. තිත් ගොඩවල් එක්ක තමයි පින්තූර පෙනුනේ. අනිත් එක දුමීට මතක විදිහට හවස 6ට තමයි චැනල් එක පටන් ගන්නෙ. ඊට පස්සෙ රෑ 10ට ඉවරයි. මතක විදිහට නම් ඒ දවස්වල පටන් ගත්ත ගමන්ම යන්නෙ සැසම්-ස්ට්‍රීට්, ඊට පස්සෙ මපට් ෂෝ. තව කතා කරන අස්සයෙක්ගෙ ප්‍රෝග්‍රෑම් එකක් ගියා මිස්ටර් එඩ් කියලා. බදාදා දවස්වල ගියා හරිම බය හිතෙන සීරීස් එකක් ඩොකටර් හූ කියලා. ඩොක්ටර් හූ එක පටන් ගන්නකොට යන මියුසික් එකේ ඉඳලම දුමී ඒකට මර බයයි. හැම බදාදාම ඉක්මනටම තියෙන දෙයක් කාලා දුමී ඇඳට පනිනවා අර මියුසික් එක ඇහෙන්න කලින් නිදාගන්න.

ටී.වී එක දාන වෙලාවට මුළු කළුබෝවිල පීරිස් මාවතේම ඉන්න කොල්ලො කුරුට්ටො ඔක්කොම ටික එනවා ටී.වී බලන්න දුමීලගේ ගෙදර. ජනෙල් අස්සෙන්, ජනෙල් කූරු වල එල්ලිලා උන් ටී.වී බලනවා. සමහර දවස්වලට අම්මගෙන් දෝස් මුරේ ලැබෙනවා ඒ ගොල්ලන්ට මොකද අම්මා අමාරුවෙන් වවාගත්ත බිගෝනියා, ඇන්තූරියම්, ඕකිඩ් වගේ වල් පැල ටික අරුන් ඇවිත් පාගලා, මල් පෝච්චි කඩලා විනාස කරලා යන නිසා. හැබැයි දුමී නම් හරිම කැමතියි ඒ කොල්ලෝ කුරුට්ටෝ ටික එනවට. මොකද දුමීලත් එක්ක සෙල්ලම්කරන්න එහෙම හිටපු ගැන්සිය තමයි ඒ. ඒත් එක්කම ඔය වල් පැලයක් දෙකක් පෑගිලා මැරිලා යන එකටත් දුමී ඒ හැටි අමනාපයක් දැක්කුවෙ නැත්තෙ හවසට අම්මගේ වදේට පැලවලට වතුර දාන්න වෙනකොට, වතුර දාන්න වෙන එක පැලයක් හරි අඩු වෙන නිසා.

ඒ දවස්වල මාසෙකට සැරයක් සෙනසුරාදා රෑට සිංහල ෆිල්ම් එකක් යනවා. ඒ දවසට මුළු ගමේම ගෑණු ටික දුමීලගේ ගෙදර පිරිලා. ඉතින් දුමීලගේ ගෙදරත් පැදුරු එලලා දීලා, කට්ටියට මාරි බිස්කට් එකක්, තේ කහට ටිකක් එහෙම හදලා දීලා සංග්‍රහ කරනවා ෆිල්ම් එක යන වෙලාවට. ඒ වගේ දවස්වලට පහුවෙනිදා උදේ පාන්දරම ගෙදර වැඩට ඉන්න දයාගේ මැසිවිල්ල තමයි ඇහෙන්නෙ. "මේකනම් කරන්න බෑ නෝනා... මුන් ඇවිත් බයිස්කෝප් විතරක් බලලා යනවනං මදෑ......... මේ බලන්න මේ පැදුරෙ චූත් කරලා...!" පැදුරු ටික අව්වේ දාලා පොල් කුඩු දාලා බිම මදින ගමන් දයා එහෙම කියපු සෑහෙන්න වාර ගානක් දුමීට මතකයි. එහෙම උනා කියලා තව කාලාන්තරයක් යනකං ටී.වී එකේ සිංහල ෆිල්ම් එකක් පෙන්නන දවස් වලට දුමීලගේ ගෙදර ප්‍රජා ශාලාවක් වෙන එක නැවතුනේ නෑ.

දයා කියන්නෙ දුමීට මතක ඇති කාලෙ ඉඳන්ම දුමීලගේ ගෙදර වැඩ පල වලට උදව් දීගෙන ගෙදරම නතරවෙලා හිටපු ගෑණු මනුස්සයෙක්. දයත් එක්ක දයාගේ දුව බට්ටිත් දුමීලගේ ගෙදර නැවතිලා තමයි හිටියේ. බට්ටිට තාත්තා කෙනෙක් හිටපු බවක් නම් දුමී කවදාවත් දැකලාවත් අහලවත් තිබුනේ නෑ. දයා ඇවිල්ලා ක,ක,ක ජාතියේ එක්කෙනෙක්. ඒ කියන්නෙ කළු, කොට, කැත සහ බත දිහා බැලුවම හොද්ද පේන තරම් වපරයක් තිබුනු පොඩි එවුන් දැකපු ගමන් බය වෙන ජාතියේ එක්කෙනෙක්. ගති ගුණත් ඒ පෙනුමට හරියන විදිහට තමයි තිබුනේ. අම්මා, ආත්තම්මා වගේ අය වට පිට ඉන්නකොට හරිම බය පක්ශපාතව හැසුරුනත් ඒ ගොල්ලො අහල පහල නැති වෙලාවට නිතරම කේන්තිගන්න ඒ වගේම දුමීලව, නංගිලව සහ නැන්දගේ පුතාලව කොනිත්තන එක දයා කවදාවත් නැවැත්තුවෙ නෑ. ඉතින් දුමීලත් පුළු පුළුවන් වෙලාවට දයාටත් රිටර්න් එක දෙන්න අමතක කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට සම්බෝල කඩන, ටින් කඩන සෙල්ලම් එහෙම කරන වෙලාවට දයා ලඟ පාතක හිටියොත් බෝල පාරවල් දෙක තුනක් නොකා දයා ගියේ කලාතුරකින් තමයි. දයාට දුමීලත් එක්ක සෙල්ලම් කරන්න නිතර යන එන අහල පහල කොල්ලො කුරුන්ටන්ව පෙන්නන්න බැරි වෙන්නත් ඒක එක හේතුවක් උනා.

ඔය කාලේ දුමීලගේ ගෙදර අයගේ ජීවිත වලට අළුතෙන්ම ඇතුළු වෙච්චි විනෝදාංශෙ තමයි මේ වීඩියෝ ෆිල්ම්ස් ( ප්‍රායෝගික භාෂාවෙන් කියනවන් වීඩියෝ පීස් ) බලන පුරුද්ද. ගොඩක් වෙලාවට රට ගිහිල්ල නිවාඩුවට ගෙදර එන තාත්තාගේ යාළුවන්ගේ අතේ තාත්තා නා නා ප්‍රකාර වීඩියෝ කැසට් එවන්න පුරුදු වෙලා හිටියා. ඔය කාලේ දුමීගේ වීරයෝ වෙලා හිටියේ 25කට 30කට තනියෙම ගහලා බිම දාන බෲස් ලී, ඒ වගේ අහසට පැනලා, කැරකිලා, සෙල්ලම් දාලා හතුරන්ව බිමට සමතලා කරලා දාන අමිතාබච්චන්, තොප්පියක් දාගෙන අස්සයගේ පිටේ ගිහිල්ලා රතු ඉඳියන් කාරයන්ව පෙනේර කරන කව්බෝයිලා වගේ අය. ඔය අතරින් බෲස්ලි උන්මාදය කොච්චර දරුණුද කියනවනම් දුමීගේ ඉස්කෝලේ යාළුවන් අතර තරඟ පවා තිබුනා බෲස්ලීගේ ස්ටිකර් වැඩිම ගාණක් පොත් බෑග් එකේ අලවන්න. ඒ තරඟ වලින් හැමදාම දින්නෙ දමින්ද කියලා දුමීගේ යාළුවෙක්. දමින්ද ඉස්කෝලෙ අරගෙන ආපු පොඩි සූට් කේස් එකේ ඇතුළු පැත්තෙ විතරක් නෙමෙයි, පිටත පවා බෲස්ලිගේ ස්ටිකර් තොග ගාණේ අලවලා තිබුනා. ඒ කාලේ දුමිත් සිහින මැව්වේ දමින්ද වගේ බෲස්ලිගේ ස්ටිකර් මහ ගොඩක් අලවපු සූට් කේස් එකක හිමි කාරයෙක් වෙන්න.

දුමීලගේ ගෙදර වීඩියෝ එකක් තියෙනවා කියලා මුළු කළුබෝවිලම දැනගෙන තමයි තිබුනේ. ඒ කාලේ හිටපු ගමන් ජීවිතේට නොදැකපු සමහර අය එනවා වීඩියෝ කැසට් උස්සගෙන ඒවා බලන්න කියලා. මුලදි කීප දෙනෙකුට එහෙම බලන්න අවස්ථාව දුන්නත් මේක කරදරයක් වෙන තරමට වැඩි වෙච්ච නිසා දුමීලගේ කොච්චර අකමැත්ත පිට උනත් පහු වෙනකොට ඒ කැසට් අරන් එන අයට අහන්න ලැබුනේ "අනේ, අපේ වීඩියෝ එක දැන් ටික දවසක ඉඳන් කැඩිලනේ..." කියන වචන සෙට් එක. ගොඩක් වෙලාවට වත්තට ඇතුළුවෙන තැන ඉඳන්ම මේ වාක්‍යය සෙට් එක කියන්න දයා පුරුදු පුහුණු වෙලා හිටියේ. නාඳුනන අයට විතරක් නෙමෙයි, දුමිත් එක්ක සෙල්ලම් කරන්න එන කොල්ලෙක් විඩියෝ කැසට් එකක් අරගෙන ආවත් දයා මේ වාක්‍යය සෙට් එක කියලා හරවලා යවපු අවස්ථා දුමීට යාළුවන්ගෙන් දැන ගන්න ලැබුනා. හැබැයි බෲස්ලිගේ ෆිල්ම් බලන්න දයාටත් තිබුනේ පුදුම පෙරේත කමක්. බෲස්ලිගේ ෆිල්ම් එකක් අරගෙන ආපු කෙනෙක්ව දයා කීයටවත් හරවලා ඇරියෙ නෑ. ඉතින් දුමිත් යාළුවන්ට කියලා තිබුනා දයා එන්න දුන්නෙ නැත්නම් අතේ තියෙන්නෙ බෲස්ලිගේ ෆිල්ම් එකක් කියලා දයාට කියන්න කියලා.

දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් විජය පත්තරෙත් කියව කියව අම්ම බෙදල දුන්න බත් එකට වග කියන කොට මිදුලේ ඉඳන් දයා කාටදෝ බැනිනව ඇහිච්ච අම්මා ඇහුවෙ

"දයා, කාටද කෑගහන්නෙ...." කියලයි.

“මේ අර විදුලි බල මණ්ඩල ගෙදර සුමනෙගේ ලොකු එකානේ නෝනා. මොකක්ද මන්දා කැසට් පීස් එකක් උස්සගෙන ඇවිත්...”

"ඉතින් දයා ඇයි බනින්නෙ....?"

"ඌ එන්ටද කියලා ඇහුවා....මම එපා කිව්වා....මේ අසමජ්ජාතියා මට ඉංග්‍රීසියෙන් නමකුත් පට බැන්දනේ නෝනා..."

"ඒ මොකක්ද දයා...."

"ඩ්‍රැගන්.... කියලා...! ඌ මගෙන් අහනවා 'එන්ටද ඩ්‍රැගන්' කියලා. ආවොත් එහෙමනම් මම කඩනවා ඕකගේ කකුල්....!"  දයා කොස්සත් අරගෙන ආපහු මිදුලට බැස්සේ අපිට ඇහෙන්න තරම් තදින් දත් මිටි කාලයි.







ප.ලි : ඊටත් කාලෙකට පස්සෙ ගෙදර හොරකමක් කර අසුවී ගෙදරින් යන්න සිදුවෙන කල්ම අහල පහල කොල්ලො කුරුට්ටෝ දයාට "එන්ටද ඩ්‍රැගන්" කියා කෑගසා දිවීමත්, උන් පස්සෙ ටික දුරක් ඉදලත් උස්සගෙන දිවීමත් සෑම දවසකම වගේ වෙන සාමාන්‍ය දෙයක් බවට පත් උනා.

මාරියා කියන්නෙ බඩුවක්ද ?

Posted by දුමී

මෙහේ ඉන්නකොට පාළුව, කාංසිය, ඒකාකාරිත්වය, ආතතිය ඔය මෙකී නොකී දේවල් වලින් බේරෙන්න කියලා අපි යාළුවො ටිකක් එක්ක එකතු වෙලා වෙවේකී වෙලාවට සින්දුවක් කියලා පොඩි ජොලියක් දානවා. එහෙම සුළුවෙන් ජොලියට පටන් ගත්ත අපේ සංගීත වැඩවලට පහු කාලෙ වෙනකොට සෑහෙන්න වැඩ වැඩි උනා. දැන් වෙනකොට ගෙදර නිදහසේ ඉන්න පුළුවන් සති අන්තයක් හොයාගන්න බැරි වෙන තරමට වැඩ වැඩි වෙලා.

අපි හැමදාම උත්සාහ කලේ මෙහේ ඉන්න අපේ ලාංකිකයන්ට සංගීතය සපයලා විනෝදාස්වාදය සපයන අතරම ඒ හරහා එක එක චැරිටි වැඩ වලට යම් කිසි සම්මාදමක් ලබාගන්න තමයි. ඒ විදිහට අපි මෙහේ තියන හෙළබිම කියන සංවිධානයක් එක්ක එකතු වෙලා 2010 මැයි මාසෙ සංගීත ප්‍රසංගයක් පවත්වලා මුදල් හොයාගෙන අපේ රට බේරගන්න පෙරමුණට ගිහින් අද වෙනවිට අභාධිත තත්වයට පත්වෙලා, අසරණ වෙලා ඉන්න රණ විරුවන්ගේ සුභ සාධනය උදෙසා ව්‍යාපෘතියක් සම්පූර්ණ කලා. හෙළබිම සංවිධානයෙන් මේ දවස්වල තවත් ප්‍රංගයක් සංවිධානය කරගෙන යනවා. අවසාන සටනින් අත් පා අහිමි වූ අපේ වීරෝධාර රණ විරුවන්ට කෘතිම අත් පා ලබාදීම තමයි ඒ ප්‍රසංගයේ අරමුණ. ලංකාවෙ පවත්වපු "රණවිරු රියල් ස්ටාර්" රියලිටි වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ රණවිරුවන් තමයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන්න නියමිත වෙලා තියෙන්නෙ. අපිත් මේ දවස්වල ආත බූත කඩාගෙන පුහුණුවීම් කරන්නෙ ඒ ප්‍රසංගයට සංගීතය සපයන්න අපේ වාදක කණ්ඩායමට ඇරයුමක් ලැබිලා තියෙන නිසයි.

මොනව උනත් අපේ පුහුණුවීම් හරිම විනෝද ජනක ලෙස ගෙවිලා යනවා. විශේෂයෙන්ම ඒ අපේ කණ්ඩායමේ ඉන්න බේස් ගිටාර් වාදක "කින්චා" නිසා. කිංචා අපේ තාත්තටත් වඩා වුරුදු දෙකක් විතර වැඩිමල් උනාට අපිට කට පුරෝලා "මචං" කියලා කියන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. ඉතිං මේ අපේ කිංචා ගැන කියනවනං, පොර ඇවිල්ලා ලංකාවෙ කණ්ඩායම් සංගීතය පටන් ගත්ත කාලෙ ඉඳන්ම කණ්ඩායම් සංගීතයේ යෙදී ඉන්න වෙටරන් කෙනෙක්. කොටින්ම කියනවනම් ඔය ලංකාවෙ මුල් කාලේ ප්‍රසංග වල සංගීතය සපයපු "සුපර්ස් ස්ටාර්ස්" සංගීත කණ්ඩායමත් එක්කත් අපේ කිංචා වාදනය කරලා තියෙනවා. කොච්චර වෙටරන් කෙනෙක්ද කියනවනම් කියනවනම් සුපර්ස් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ අය තරුණ කාලෙත් අපේ කිංචා නාකියි.

ඊලඟ දේ තමයි අපේ කිංචාට සිංහල භාෂාවෙ සමහර බරපතල වචන නුහුරු නුපුරුදු වීම. පොර සිංහල කතා කරන්නෙ බිලිං ගෙඩියක් කාලා සුද්දෙක් විසිල් ගහනවා වගේ. මොකද කිංචා ඇවිල්ලා උපතින්ම බර්ගර් ජාතිකයෙක්. ඉතින් ඔය සමහර සිංහල වචන කින්චට තේරුම් ගන්නෙ පොරටම ආවේනික විදිහට. ඒ වගේම මිනිහගේ ලොජික් දැනුමත් සෑහෙන්න අන්තිමයි.

ඔන්න දවසක් කිංචා අපෙන් අහනවා,

"මචං, චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි නිහාල් නෙල්සනුයි තරහයිද ?"

"ඈ...? ඒ මොකෝ කිංචෝ එහෙම අහන්නෙ.....?"

“නෑ බං මම ලංකාවෙ නිවාඩුවට ගිහිලා ඉන්න වෙලාවක සංගීතයක් බලන්න ගියා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඇවිල්ලා කිව්වෙ අර ‘නාවල අන්නාසි’ කියන සින්දුව. ඒකෙ තියෙනවනේ අර ‘නුවර පොල් හොදී, කොළඹ මස් කරී’ කියලා. පොර එහම කියලා බැහැලා ගියා විතරයි, නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැගලා කියනවා ‘එපා එපා මස් කන්නට’ කියලා....! දෙන්නා තරහා නැතිනම් ඌ එහෙම කියනවද දෙනෝ දාහක් ඉස්සරහා ?”

කින්චා එයින් නවතින්නෙ නෑ. උගේ ගීත විචාර තවත් ඉදිරිපත් කරනවා...!

"ඔන්න බලපන්, අපේ රටේ ගායකයන්ටත් ප්‍රතිපත්තියක් නෑ....! බලපන් දැන් එඩ්වර්ඩ් ජයකොඩි....! පොර ස්ටේජ් එකට නැගලා කෙල්ලෙක්ට එන්න කියනවා මෙන්න මෙහෙම........."

“මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම්...... දේදුණු පාලම උඩ හැන්දෑවේ...... මම ඉන්නම්”

ඔන්න ඊට පස්සෙ පොරම කියනවා,

“ඔබ තෙමෙයි කියා බයයි වැසි වැටේ සුළං තදයි......” කියලා.

ඉතින් බං කොහොමද කෙල්ලෙක් හිත හදාගෙන මූව බලන්න පාලම උඩට එන්නෙ ?

ඔන්න තවත් දවසක් නිවාඩුවට ලංකාවට ගිහිල්ලා ආපු කිංචා දවසක් ඇවිත් ලංකාවෙ ගායකයන්ට පළු යන්න බනිනවා මෙන්න මෙහෙම,

“ෂිහ් මචං, ලංකාවෙ සදාචාරය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. දැන් මුන් මලකට ඉන්න දෙන්නෙත් නෑනේ. මල් එක්කත් වල් කං කරන්න කතා කරනවා.....”

"ඇයි කිංචෝ, මොකද උනේ....?"

“ඇයි බං උඹලා ඇහුවෙ නැද්ද අර අළුතෙන් සින්දුවක් ඇවිත් තියෙන්නෙ...”

“සුදු අරලියා මල... පිපුනේ ඇයි තනිව.... ලිංගික ඇසුරකට... මට දැන් අවසරද.... “ කියලා

“මොකක් කිව්වා ? මොන ඇසුරක් ? කිංචෝ, ඒ සින්දුවේ තියෙන්නෙ ලෙංගතු ඇසුරකට කියලා...” අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා..

"ලෙංගතු ? මොකක්ද බං ලෙංගතු කියන්නෙ.....!" කිංචා අහනවා...

කිංචා ලංසියෙක් නිසා ඌට ලෙංගතු කියන වචන්ගේ ඇහෙන්නෙ "ලිංගික" කියලායි. අනික ලෙංගතු කියලා වචනයක් උගේ ශබ්ධ කෝෂේ නෑ....!

කිංචා ආපහු වැරදියට තේරුම් ගත්ත සින්දුවක් තමයි අර පරණ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් වෙන "මීමැස්සො" සංගීත කණ්ඩායම ගායනා කරන "මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුනා" කියන සින්දුව.

ඔන්න කිංචා දවසක් කියනවා,

“මොන රෙද්දකටද බන් වේසියෝ කම්මලේ දුක් විඳින්නෙ........?”

“කිංචෝ, මොනවද බං කියවන්නෙ ?” අපිත් තක්කු මුක්කු වෙලා අහන්වා...

ඇයි බං අර සින්දුවේ තියෙන්නෙ,

"වේසීලා..... දුක් විඳලා....කම්මලේ යකඩ තලා..........! උන් මොකටද බං දුක් විඳ විඳ කම්මලේ යකඩ තලන්නෙ ?”

අනේ ඉතින් අපේ බඩවල් හොයා ගන්න නෑ..... කොර වෙලා කුඩු වෙලා යනවා....!

"කිංචෝ, වේසීලා නෙමෙයි යකෝ, ඒකෙ කියන්න වෙහෙසීලා කියලා...." අපිත් යන්තන් ඌට තේරුම් කරලා දෙනවා....

ඔන්න මේ අළුත්ම ජවනිකාව උනේ මේ ඊයේ පෙරේදා. ලඟ එන ප්‍රසංගයට එක ගායකයෙක් ගායනා කරන "මාරියාවේ" කියන ගුණදාස කපුගේ මහත්මයාගේ අපූරු ගීතය පුරුදු පුහුණු වෙනකොට.

"මචං.... මාරියා කියන්නෙ බඩුවක්ද ?" ඔන්න කිංචා අහනවා....

මේකා ආපහු වලිගේ පාගගෙන කියලා දන්න අපිත් අහනවා..

"ඇහි බං එහෙම කියන්නෙ....?"

"ඇයි බං, ඕක තේරෙන්නෙ නැද්ද ? මාරියා කියන හොර ගෑණි ආපු දවසෙ ඉඳන් ගෙදර කචල් කියලනේ බං මේ සින්දුවේ තියෙන්නේ...!"

මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ


කිංචගේ බූට් දෙකට බැහැලා, ඌ හිතන විදහට ලොජික් එක හිතලා ඇහුවහම තමයි මූ මේ ඇත්තනේ කියන්නෙ කියලා හිතෙන්නෙ.....!

Related Posts with Thumbnails