(කොන්)දොස්තර(ගේ) දත් ගැලවීම

Posted by දුමී



මේ ලඟදි දවසක් මගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ඩුබායි හන්දියට ආපු ගමන් අපේ ගෙදරත් ආවා අපිව බලලා යන්න එහෙම කියලා. ඒ එනකොට පොර හැමෝටම තෑගි බෝග එහෙමත් මහ ගොඩක් බරටම උස්සගෙන තමයි ආවෙ ඕං. උසස් පෙළ කරන කාලෙදිම උතුරු කුරු දිවයිනට එහෙම නැතිනම් කැන්ගරු දේශයට මයිග්‍රේට කරලා අඩු වයසින්ම කැන්ගරු දේනුවකුත් කර කාර බැඳගත්ත පොරව මට මුන ගැහුනේ අවුරුදු විස්සකට විතර පස්සෙ මම හිතන්නෙ. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හමුවෙච්ච නිසා පොඩියට මදුවිත ටිකකුත් තොල ගාන අතරෙදි අතීතය හාර අවුස්ස අවුස්ස ඒ දවස්වල වෙච්ච සිද්ධි, ආගිය කතා එහෙම රස කර කර ඉන්න කොට තමයි ඒ දවස්වල වෙච්ච මරු සිද්ධියක් මතකෙට ආවෙ.

ඔන්න අපි ඒ කැන්ගරු යාළුවට රුවන් කියලා කියමුකෝ පහසුවටත් එක්කලා. රුවන් ඉස්කෝලෙදි හිටියේ මට වඩා එක පන්තියක් පහලට වෙන්න. ඉතින් රුවන්ලා ඕ.ලෙවල් විභාගෙ කරනකොට අපේ ඒ.ලෙවල් පන්ති එහෙම පටන් අරගෙන. කොහොමත් රුවන් ඒකාලේ සෙට් වෙලා හිටියේ හැමතිස්සෙම වලියට බර අන්තිම නසරාණි සෙට් එකත් එක්ක තමයි. අවුරුද්දක් උඩින් හිටිය අපි ඇඩ්වාන්ස් ලෙවල් කරන ඇඩ්වාන්ස් කොල්ලෝ නිසාත්, අළුතෙන් ප්‍රිෆෙක්ට් බැජ් එකක් එහෙම ගහගෙන හිටපු නිසත් ඔය නසරාණි වැඩ වලින් ඈත් වෙලා ඒවාට අනුකූලතාවයක් නොදක්වන මට්ටමක තමයි හිටියේ. ඉතින් රුවන්ලත් එක්ක අපේ ඇයි හොඳැයියක් තිබුනේම නෑ ඒ කාලේ. ( පස්සෙ කාලෙක මුන් සෙට් එක ඒ.ලෙවල් කරන්න ඇවිත් ප්‍රෙෆෙක්ට් බෝඩ් එකට ජොයින් උනාට පස්සෙ තමයි හොඳටම ෆිට් උනේ. )

ඕ.ලෙවල් විභාගේ අන්තිම දවසේ මුන් සෙට් එක ගිහින් තිබුනා මරදානේ ඔලිම්පියා එකේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක ඒ දවස්වල ආපු හොරර් ෆිල්ම් එකක්. මතක විදිහට ‘ෆ්‍රයිඩේ ද තිර්ටීන්ත්’ වගේ තමයි මට මතක. වැඩේ කියන්නෙ මමත් මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්ක එදාම ඔය ෆිල්ම් එක බලන්න ගියා. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ඉවර වෙලා ගෙදර එන්න 176 කරගම්පිටිය සී.ටී.බී බස් එකට නැගලා එනකොට ඔන්න රුවන්ලගේ සෙට් එකත් ඇවිත් ඔය බස් එකේම එල්ලුනා. එහෙම එල්ලිලා බස් එක ඇතුලේ ඉඩ තියෙද්දිත් මුන් ටික ෆුට් බෝඩ් එකේම එල්ලිලා බස් එකේ ටකරන් වලට මහ හයියෙන් බෙර ගගහා හරයෙන් ඉතා ගැඹුර,ු ඝෘතියෙන් තොර සින්දු කිය කිය විභාගය ඉවර උන එකේ ෆන් එක හරිම අහිංසක විදිහට විඳගෙන විඳගෙන යනවා.

පුදුම අහඹු සිදුවීමක් කියන්නෙ මේ බස් එකේ කොන්දා අර දුමීගේ අක්කට දෝස් මුරේ දාන්න ගිහින් වෙච්චි සිද්දියේ හිටිය කොන්දමයි. ඉතින් මේ කොන්දත් සොමියෙන් තොර වලියට බර මෙලෝ රහක් නැති එකෙක්නේ. ඔන්න දැන් අරුන්ගේ සින්දු ටිකත් ටික ටික නැගලා යන කොට එකෙක් පඩි පෙලෙන් උඩට නැගලා සින්දුවේ තාලෙට බස් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තා. (ඒ බස් එකේ තිබුනේ අර ලණුවෙන් අදින, ටිං ටිං ගලා වදින බෙල් එකක්) ඔන්න ඉතින් කොන්දත් පිටි පස්සට ඇවිත් කුණුහරුපයක් දෙකක් කියනකොට බෙල් එක ගහන එක නැවැත්තුවත්, පොර ටිකට් දෙන්න බස් එක ඇතුලට ගිය ගමන් අරුන් ටික ආපහු බෙල් එක ගහන්න පටන් ගන්නවා.

ටික වෙලාවක් යනකොට ඩ්‍රයිවර් කාරයටත් මල පැනලා, බහින්න ඉන්න එකෙක් බෙල් එක ගැහුවත් බස් එක නවත්තන්නෙ නැතිව ඇරලා දාල යන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සෙ තමයි බස් එකේ හිටපු බඩ දරු අම්මා කෙනෙක් බහින්න බෙල් එක ගැහුවත් බස් එකේ මැද හරියේ හිටපු කොන්දාගේ සිග්නල් එකට ඩ්‍රයිවර් කාරයා හෝල්ට් එකේ නවත්තනෙ නැතිව බස් එක අද්දලා ගියේ. ඊට පස්සෙ අර අම්මා "බහිනවා, බහිනවා" කියලා බෙරිහන්දීපු නිසත් බස් එකේ අනිත් මිනිස්සුත් කෑගහලා බස් එක නවත්ත ගත්ත නිසාත් ඒ අම්මා ෆුට් බෝඩ් එකේ ඉන්න රුවන්ලගේ සෙට් එකේ පරම්පරාවටම පින් දෙන ගමන් බස් එකෙන් බැහැලා යන්න ගියා. ඔන්න ඊට පස්සෙ තමයි කොන්දා මාරාවශේෂ වෙලා වගේ වලියට සෙට් උනේ.

කොන්දගේ යූෂුවල් පොට එකට (ෆුට් බෝඩ් එකත් අන්තිම සීට් එකත් අතර අයිනේ කෑල්ල ) පැනපු කොන්දා පොර ගාව තියෙන සමූල ඝාතක අවියෙන් (ටිකට් මැෂිමෙන් ) ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ බස් එකත් එකසිය හැටට හැටේ යන අතරේ. ටිකට් මැෂිමේ පටියෙන් පද්ද පද්ද කොන්ද දැන් ෆුට් බෝඩ් එකේ ඉන්න කොල්ලන්ට කෙලිනවා. කොල්ලෝ ටිකත් පුළු පුළුවන් විදිහට ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන ගමන්ම කොන්දටත් ප්‍රති ප්‍රහාර දෙනවා. ඔය අතරේ තමයි එකෙක් පැනපු ගමන් ටිකට් මැෂිම කොන්දගෙන් උදුරගෙන ඒක රුවන්ගේ අතට පාස් කලේ. මෙච්චර වෙලා ටිකට් මැෂිමෙන් ගුටි කකා හිටපු ඌත් පටිය පද්දලා පද්දලා කොන්දගේ මූණටම මැශිමෙන් කෙලියා කොන්දගේ මූණ ඥාළුවෙලා යන්නම. ඒත් එක්කම තමයි කොන්දගේ කෘන්තක, රදනක චාර්වක සහ පුර්ස්චාර්වක යන දත් වලින් තෝරා බේරා ගත් ඉස්සරහා දත් දෙකක් බලාගෙන ඉන්දැද්දිම ලේ තලියකුත් එක්ක බිමට වැටුනේ. ඒත් එක්කම කොන්දත් කෙහෙල් කඳක් වගේ ලේ පෙරාගෙනම බස් එකේ ඇදගෙන වැටුනා සිහිය නැතිව වගේ. ලේ පෙරාගෙන බස් එක ඇතුලේ වැටුන කොන්දව දැකපු ගමන් තමයි රුවන්ලගේ සෙට් එකට හීන් දාඩිය දැම්මේ.

"අඩෝ, මූ මැරුනද කොහෙද.....! උඹ ගහපු පාර ඔළුවටමයි වැදුනේ...! මෙන්න ඔළුව කුඩුවෙලා ලේ එනවා...." එකෙක් කෑ ගහලා කිව්ව විතරයි මුන් සෙට් එක ෆුට් බෝඩ් එකෙන් පැනලා දුවන්න ගත්තා. ඒත් එක්කම වගේ බස් එකත් බ්‍රාස් කියලා බ්‍රේක් ගහලා නැවැත්තුවා. මිනිස්සු වටවෙලා කොන්දව උස්සලා පිටි පස්සෙ සීට් එක උඩින් තිබ්බා.

බස් එක නැවැත්තුවේ කාසල් ඉස්පිරිතාලේ පහුවෙලා ටික දුරක් ගියාම තමයි. රුවන්ලගේ සෙට් එක රේල් පාරට පැනලා රේල් පාර දිගේ ඈතට දුවනවා. හතර පස් දෙනෙක් උන්ගේ පස්සෙ එලෝනවා.

කොහොමත් ටික වෙලාවකට පස්සෙ කොන්දා නැගිට්ටා. ඉස්සරහ දත් දෙකක් කැඩිලා තිබුනට වඩා වැඩි දෙයක් වෙලා තිබුනේ නෑ කොන්දට. ඌත් හොටු පෙර පෙර අඬනවා. ඔන්න ඉතින් මුළු බස් එකේම කට්ටියව බැස්සුවා බස් එක පොලීසියට ගෙනියන්න කියලා.

මේ වෙනකං ජවනිකා ටික සියසින්ම නරඹන්න පුළුවන් උනත්  එතන ඉඳලා කතාව කිව්වෙ රුවන්.

කොහොම හරි මුන් ටික පණ එපා කියලා රේල් පාර දිගේ නාරාහේන්පිටට යනකන්ම දුවලා. පිටිපස්සෙනුත් මුන්ටිකව අල්ලගන්න සෙට් එකක් දුවගෙන එනවා. කොහොමෙන් කොහොම හරි නාරහේන්පිට හන්දියේදි පොලිස් ජීප් එකක් ඇවිත් මුන් ටික ඔක්කොම අල්ලගෙන එකා පිට එකා ජීප් එකේ පිටි පස්සට දාලා නාරාහේන්පිට පොලීසියට අරගෙන ගිහිල්ලා. ජීප් එකෙන් අරගෙන ආපු සෙට් එකම එක පොදියකට කූඩුවට දාලා. චන්ඩි වගේ වලියට සෙට් උනාට මොකද දැන් කට්ටියට චූ යන තරමටම තක්බීර් වෙලා තමයි ඉඳලා තියෙන්නෙ. ඔක්කොම හිතාගෙන ඉඳලා තියෙන්නෙ කොන්දා මැරිලා කියලයි. ඔන්න ඉතින් කට්ටිය නඩු වලට උසාවි යන හැටි, එල්ලුම් ගහට ගිහින් කඹේ එල්ලිලා ඉන්න හැටි, ජීවිතාන්තය දක්වා හිරේට ගිහින් පරිප්පු හැඳි ගාන හැටි හීන මව මව ජොලියේ කූඩුවට වෙලා ඉන්නවා.

කොහොමෙන් කොහොම හරි පොලීසියේ උන් දැන් මුන් සෙට් එකව අම්බානෙකට බය කරනවා උසාවි දානව, නඩු දානවා, උඩ එල්ලලා ගහනවා වගේ මුන්ගේ හීන හැබෑ වෙන දේවල් කියනවා .

කොහොම හරි පැයක් දෙකක් විතර ගියාට පස්සෙ තමයි බෙහෙතුත් දාගෙන කොන්දත් ඇවිත් තියෙන්නෙ පොලීසියට. ඊට පස්සෙ තමයි මුන් ටිකගේ කටට කෙළ හරි ටිකක් උණලා තියෙන්නෙ.

ඊට පස්සෙ යුනිෆෝම් එකෙන් හිටිය රුවන්ලගේ සෙට් එකෙන් ගෙවල් වල විස්තරයි, ෆෝන් නොම්මරයි අරගත්තෙ ගෙවල්වලට දැනුම් දෙන්න කියලා.

ඔන්න දැන් තමයි කට්ටියට පත්තු වෙන්න ගත්තෙ. එල්ලුම් ගහේ යැව්වත් කාටවත් මේ සිද්ධිය තමන්ගේ ගෙවල් වලට දැනගන්න තියන්න ඕන උනේ නෑ.

"අනේ අංකල් අපේ තාත්තා පපුව අමාරුකාරයා, අපේ ගෙදරට නම් මේක කියන්න එපා...." ඔන්න එකෙක් නහයෙන් අඬනවා....!

"තොපි කරන අළුගුත්තේරු වැඩ වලට තොපේ තාත්තලා මෙච්චර කල් හරි ජීවත් වෙලා හිටපු එකත් ලොකු දෙයක්....!" පොලිස් අංකලුත් ඉතා කාරුණිකව පිළිතුරු දෙනවා.....

"අනේ අංකල් මම විභාගෙත් හොඳට කලේ පාස් උනාට පස්සෙ එයාර් ෆෝස් එකට ජොයින් වෙලා පයිලට් කෙනෙක් වෙන්න...! පොලිස් පොතේ නම් මගේ නම ලියන්න එපා..." තව එකෙක් කුණු කුණු ගානවා....!

"පයිලට්...? තෝව යවන්නෙ දැනගනින් නගරසභාවෙ කොණු ලොරිය එලවන්න බලාපිය.....!" පොලිස් අංකල්ලත් සුපුරුදු මානුෂීය භාෂාවෙන්ම උත්තර දෙනවා...!

කොහොමෙන් කොහමහරි රුවන්ලගේ තාත්තා ඒ වෙනකොට ඒ පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ බස් අයිතිකාරයෙක්. රුවන්ලට අයිති ලොකු ටාටා බස් හත අටක්ම එක එක පාරවල් වල දිව්වා. රුවන්ගේ තාත්තගේ නම කියපු ගමන් රුවන්ව පොලීසියෙන් අඳුරගත්තා.

ඔන්න ඒ පාර පොලීසියේ ඕ.අයි.සී රුවන්ටයි, කොන්දටයි කාමරේට කතා කලා.

"ඔය කරලා තියෙන්නෙ පුතන්ඩියා හොඳ වැඩක් තාත්තාගේ නම්ඹුව වැඩි කරන්න...." කියන ගමන් ඕ.අයි.සී ටෙලි ෆෝන් එක උස්සලා ඩයල් කරන්න පටන් ගත්තා...

"අනේ අංකල් තාත්තට නම් කියන්න එපා.... මම මේ කොන්දා අංකල්ට බෙහෙත් දාගන්න සල්ලි දෙන්නම්....!"

"බෙහෙත් ? බෙහෙත් නෙමෙයි මනුස්සයෝ, බලනවා මේ මුනුස්සයගේ කටේ හැටි....! අලියෙක් කුණු බෝක්කුවක් කඩාගෙන ගිහිල්ලා වගේ.....! තමුසෙට දත් සෙට් එකක් දාලා දෙන්න වෙයි...!" ඕ.අයි.සිත් ගෝරණාඩු කරනවා....

"හා හා අංකල්, මම මේ අංකල්ට දත් දාන්න සල්ලි දෙන්නම් කොහොම හරි....! ගෙදරට නම් කියන්න එපා...අනේ..!.."

"හ්ම්... හරි එහෙනම්... ඔන්න තමුසේ මේ ළමයගෙන් සල්ලි අරගෙන අඩු පාඩුවක් නැතිව දත් ටික දාගන්නවා....! තමුසෙත් යනවනේ ඉතින් මේ ඉස්කෝලේ යන කොල්ලොත් එක්ක වලි දාගන්න.....!"

"රාළහාමි, මෙන්න මෙයාගෙන් කට උත්තරයක් අරගෙන ඔය ළමයි ටිකට යන්න දෙනවා.... තමුසේ දත් සෙට් එක දාගෙන ඇවිත් පෙන්නනවා සතියකින් දෙකකින්...." අන්තිමට ඕ.අයි.සීත් අවසාන තීන්දුව දුන්නේ රුවන්ට යන්තම් ඇති ඔයින් ගොඩ ගියා කියලා හිතෙන ගමන්මයි....!

කොන්දත් රුවන්ගෙන් ගෙදරට එන පාරයි, පහුවෙනිදට එන්න ඕන වෙලාවයි අහගත්තට පස්සෙ කට්ටියම සාමදානෙන් අත් අල්ලගෙන පොලීසියෙන් එළියට බැස්සා....!

ඔන්න පහුවෙනිදත් කියපු වෙලාවටම වරද්දන්නෙ නැතිව කොන්දාත් එනවා සල්ලි අරගෙන යන්න.

"තමුසෙට කීයක් ඕනෙද දත් දාන්න...?" රුවන් හෙමිහිට කොන්දා ලඟට ගිහිල්ලා ඇහුවා....!

"රුපියල් 5000 ක් ඕනෙ මේ දත් දෙක දාන්න....."

"රුපියල් 5000ක් ?" , ( ඒ කාලේ රුපියල් 5000 ට රත්තරන් දත් සෙට් එකක් දාන්න පුළුවං. )

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. රුපියල් 5000ක් නොදිත් බෑ. මේක ගෙදර දැනගත්තොත් රුපියල් 5000 වගේ නෙමෙයි.

රුවන්ලගේ බස් වලින් ලැබෙන ආදායමේ දවසේ එකතුව දාන්න, බස් එකේ නොම්බරේ ගහපු එක බස් එකකට එක මුට්ටියක් ගානේ ගෙදර තියෙනවා. ඒකට රුවන්ලා කියන්නෙ 'බස් මුට්ටි' කියලා. දවස ගානේ සල්ලි දැම්මත්, මාසේ අන්තිමට තමයි මේ සල්ලි ගැනලා බලලා බැංකුවට දානවයි කියන්නෙ. ගෙදර වියදමටත් අම්මයි තාත්තයි සල්ලි ගන්නෙ ඔය බස් මුට්ටි වලින්මයි.

ඔන්න ඉතින් රුවනුත් මොකද කලේ බස් මුට්ටි හතර පහකට අත දාලා අහුවෙච්ච සල්ලි ටික ගණන් කරලා රුපියල් 5000ක් සෙට් කරලා කොන්දට දුන්නා.

සල්ලි ටික අතට ගත්ත හැටියෙම කොන්දාගේ ඇස් දෙක දිලිසෙනවා රුවන් දැක්කා. මුව මුක්තාලතා පෙන්නලා හිනා වෙනකොට කැඩිච්ච දත් දෙක අතරෙන් දිව එළියට ඇවිල්ලා අමුතුම සුන්දර දර්ශණයකින් කොන්දගේ මූණ බැබලෙන්න පටන් ගත්තා.

"හරි, මම ගිහින් එන්නම්....." කියලා තත්පරයක්වත් නවතින්නෙ නැතිව කොන්දා ආපහු හැරුනා....

"ගිහින් එන්නම්...." කියලා කියපු විදිහ රුවන්ට එච්චර හිතට ඇල්ලුවෙ නැති උනත් ඒ කරදරේ ඔයින් ඉවරයිනේ කියලා රුවන් හිත හදා ගත්තා.....!

ගත උනේ දවස් තුන හතරයි. දවසක් හවස් යාමේ ගෙදර හැමෝම ඉන්න වෙලාවේ මෙන්න බොලේ කොන්දා එනවා රුවන්ව අහගෙන, තනියම නෙමෙයි තව ගෑණියෙකුත් එක්ක.

ගෙදර අය ප්‍රශ්න අහන්න කලින් ගේට්ටුව ගාවට දුවල ගිය රුවන් දැක්කේ කිරි පාට සුදුට සුදේ අළුත් දත් දෙකක් දාගෙන හිනාවෙන කොන්දවයි.

"මොකටද මනුස්සයෝ ආපහු ආවෙ.......?"

"මල්ලි, අපේ ගෑනිටත් දත් දෙකක් දාගන්න ඕනෙළු....! කීයක් හරි ඉල්ලගෙන යන්න කියලා ආවෙ..." කොන්දා එහෙම කියනකොටම ගෑනිත් සිරික්කිය දාල හිනා උනා. හුටා, ගෑණිගෙත් ඉස්සරහ දත් දෙකක් නෑ.....!

"තමුසේ මාර කතාවක්නේ ඕයි කියන්නෙ....! මම යෑ තමුසෙගේ ගෑණිගේ දත් කැඩුවේ....?" රුවනුත් අඤ්ඤකොරොස් බමුනා සේ අහනවා....!

"නෑ මල්ලි, එක දතක් පණුවෝ කාලා ගැලෙව්වා.... අනික කොහු මිටක වැදිලා ගැලවුනා....!" කොන්දා කියනකොට....

"කොහුමිටක වැදිලා ගැලවුනා....? කොහුමිට ඉබේ ඇවිල්ලා වදින්න ඇති....? මේ මිනිහම තමයි මල්ලි කොස්සෙන් ගහලා මගේ අනිත් දත කැඩුවේ...." ගෑණිත් බලාගෙන යනකොට ගිණි බෝම්බයක්....!

"මේ මේ, තමුසෙලාගේ ප්‍රශ්න තමුසෙලා ගිහින් විසඳගන්නවා..... මම ඕවට පලි නෑ....!" කියලා රුවන් යන්න හැරුනා විතරයි,

"මල්ලි, අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්නවද ....?" කියලා කොන්දා අහනවා

මූ එන පොට හොඳ නෑ කියලා රුවන්ට දැනටමත් තේරිලා ඉවරයි. පොර හදන්නෙ රුවන්ව බ්ලැක් මේල් කරන්න.

"හරි හරි, තමුසෙට තව කීයක් ඕනෙද ?"

"මල්ලි, තව 2500ක් වත් ඕනෙ. ගෑණු දත් හින්දා එච්චර ගණන් නෑ...." කොන්දත් ඇඟට පතට නොගෑවී කියනවා.

රුවන්ටත් කරන්න දෙයක් නැති තැන කට්ටිය එහාට මෙහාට වෙනකං ඉඳලා බස් මුට්ටි වලට අතදාලා තව 2500ක් ගෙනැල්ලා කොන්දා අතේ තියනකොට තමයි රුවන් දැක්කේ ගේට්ටුවට මුවා වෙලා ඉන්න පොඩි කොල්ලව.

"ආහ්, මේ අපේ පුතා.... අවුරුදු හතයි තාම. මල්ලි යන ඉස්කෝලෙටම තමයි යන්නෙ.....!" කියනකොට කොල්ලත් කට පුරා හිනා වෙනවා. ඒක දැකලා රුවන්ට කලන්තෙට වගේ ඇවිල්ලා ඉක්මනටම ගේට්ටුවට වාරු උනා...



උගේ ඉස්සරහා දත් පේලියේ උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි දත් හතරක්ම නෑ....!

120 comments :

  1. Replies
    1. පට්ට තමයි. රුවනයගේ පට්ටත් නෑ....!

      Delete
  2. අම්මටසිරි රුවනගේ හක්කේ දතුත් එක්කම ගලවලානේ අරූ ....

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා....! තව පොඩ්ඩෙන් රුවන්ගේ හක්කම ගලෝනවා ඌ...!

      Delete
  3. හිකිස්... මරු වැඩේ..
    බලන් ගිහාම කොන්දගේ පවුලෙම දත් නෑනේ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කල දුටු කල වල ඉහගෙන කෑම....!

      සැමදා රජ වී බැබලේවා.....!

      Delete
  4. ෂෙහ් ... කොන්දටත් මාර පල්ලමක්නේ අහුවෙල තියෙන්නෙ .... මම වුණානම් කීය ගියත් ඕකගෙ තව දත් දෙකක් ගලවනවා.

    ReplyDelete
    Replies
    1. රුවනයා ඕ.ලෙවල් කොල්ලා කාලේ වෙච්ච දෙයක්නේ. ඒ කාලේ ඔය වගේ සීන් වල බරක් පතලක් තේරෙන්නෙ නෑ...!

      Delete
  5. පුල් ආතල් ඕ‍යි... :D :D

    ReplyDelete
    Replies
    1. ෆුල් ආතල් කොන්දට. මාසෙ පඩියයි, මාටිය පාරටයි වඩා වැඩි ගාණක් දට් වල පිහිටෙන් පොර හම්බ කරගත්තා....!

      Delete
  6. කොන්ද තමන්ගෙ දත් දාගන්න රුවන්ගෙ දත් ගලවල. හිකිස්!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැලුවහම කොන්දා ගලවා තියෙන්නෙ රුවන්ගේ දත් නෙමෙයි. රුවන් කොන්දගේ දත් දෙකයි, තාත්තගේ දතුයි ඔක්කොම ගලවලා...!

      Delete
  7. උගේ ඉස්සරහා දත් පේලියේ උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි දත් හතරක්ම නෑ....! // හෙහ් හේ.... රුවාට කලන්තෙ හැදිලා නැවතුනා මදැයි. ඒත් එව්වර අවුලක් නෑ නේ....කොල්ලගෙ නම් දත් එනවනේ...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, රුවන්ට පපුවෙ අමාරුව හැදුනට, කොන්දා ටිකක් සාධාරණ දත් ගලවන්නෙක්. පුතාගේ දත් හතර වෙනුවෙන් සල්ලි ඉල්ලලා නෑ. මොකද ඒවා වැටිච්ච කිරි දත් නිසා. රුවනට එක පාරටම ඕක කල්පනා වෙන්නෙ නෑනෙ. මූ හිතුවෙ පුතාව එක්කගෙන ඇවිල්ල තියෙන්නෙ ඌටත් දත් දාන්න කියලා.

      Delete
  8. කොන්දට ආච්චිල සීයලත් ඉන්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙම ඉන්න නැතිව ඇති....!

      Delete
  9. රුවන්ගේ හක්කෙන්ම ගලවලා :p

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් ගෙදර අයගෙත් හක්කෙ දත් ගැලවෙනවා....

      Delete
  10. දුටුවෑං දුටුවේ නෑ එහෙම කොන්දෙක්! :D

    ReplyDelete
    Replies
    1. ඔය වගේම සිද්ධියක් වෙන්න ඕනෙ, ඔය වගේ පොරවල් අඳුර ගන්න...! ගොඩක් වෙලාවට බස් වල කොන්දලා කියන්නෙ රටෙන් භාගයක් කාල වතුර නොබී ඉන්න ජල්තර කාරයෝ...!

      Delete
    2. මම කිව්වෙ....! :D

      Delete
    3. සාධක අැතුවම ඔප්පු වෙලා වගේ ...................

      Delete
  11. අප්පේ....මාර බැලැක් මේල් කිරිල්ලක්නෙ ඒක...:))

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ බ්ලැක් මේල් කියන වචෙනෙවත් දන්නෙ නෑනෙ. කල්පනා වෙන්නෙ මේක තාත්තා දැනගත්තනම් කන්න වෙන පරිප්පුව ගැනනේ. ඒ විදිහට ඉස්සර කාලෙ කරපු මෝඩකම් කොච්චර නම් ඇතිද....?

      Delete
  12. ඔය මුකුත් නෑ පොලිසියෙදිම තාත්තට එන්ඩ කියල බැනුමක් අහගෙන හරි අරුගේ තව දත්දෙකක් ගැලෙව්වනං

    ReplyDelete
    Replies
    1. පොලීසියේදි කොහොමද දන්නෙ මේ වගේ ආතල් එකක් සෙට් වෙයි කියලා.....?

      Delete
  13. පව් බං දත් නොගලවා. කොන්ද කඩන්න තිබ්බෙ කොන්දගේ..

    ReplyDelete
    Replies
    1. දත් දෙකක් දාගන්න රුපියල් 5000ක් ඉල්ලුවනම් කොන්දක් දාගන්න ඌ කීයක් නොඉල්ලාවිද ?

      Delete
  14. දැන් රුවන්ගෙ කටේ දත් ඉතුරු වෙලා තියෙනවද

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ගැලවුනේ රුවන්ගේ දත් නෙමෙයිනේ. රුවන්ගේ තාත්තගේ දත් නේ.....

      Delete
  15. ඒ කොන්දට නන්නාදුනන මැර ප්‍රහාර වලට එහෙම මුණ පාන්න උනේ නැද්ද දන්නේ නෑ ඊට පස්සේ දවසකවත්

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඔය ඉඳලා හිටල ඔය ලාවට සෙට් වෙන වලි තිබුනට මහා පරිමාණෙන් ගේම් දෙන්න ගියේ නෑ....!

      Delete
  16. කොන්දා රුවන්ගේ දත් ගැලෙව්වා. අන්තිමට මුට්ටිවල සල්ලි අඩුවෙලා රුවනයාගේ තාත්තා රුවනයාගේ අඩු ගැලෙව්වේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔය ගාණ අඩු උනා කියලවත් තාත්තා දන්නෙ නැතිව ඇති...! පස්සෙ කාලෙකදි පාඩු නිසා බස් කෙරුවාව නවත්තලා දැම්මත් ඒ කාලේ හොඳට ලාබ ලබලා තියෙනවා....!

      Delete
  17. ජීවිතේ බ්ලැක් මේල් වෙන එක තරං නරක දෙයක් නැහැ. අත්දැකීමෙං කියන්නෙ. අපේ අක්කව බ්ලැක් මේල් කරල තියෙන්නෙ ලේලි. ළමයව පෙන්නන්න නං ඉල්ලන දේ දෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද...? ආච්චි අම්මලගෙන් සීයලගෙන් දරුවෝ ඉගෙන ගන්න දේවල් පොත් පත් වලින් ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. ලේලි කවද හරි ඉගෙන ගනියි ඒවා...! එක්කො ලේලිත් මෙලෝ මොලේ නැති එක්කෙනෙක් වෙන්නැති...!

      Delete
  18. ඒ පාර උගේ කිරිදත් දාන්න කීයක් ගියාද දන්නේ නැහැ නේද? කොහොම හරි කොන්දට පෑදිලා තියන්නේ එසේ මෙසේ ඉල්ලමක් නෙමේ වගේ. මේකෙ තව විස්තර ඇතිනේ ඒ ටිකත් කිව්ව නම් තමයි අගේ...

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ රුවන් බය උනාට කොන්දා කොල්ලගේ දත් වලට චාර්ජ් කරලා නැහැ. ඒවා ස්වභාවිකවම හැලිච්ච කිරිදත් නිසා......!

      කොහොමත් ඊට පස්සෙ රුවන් ලංකාවෙ හිටියේ අවුරුද්දකත් අඩු කාලයක් මගේ හිතේ. පොර උතුරු කුරු දිවයිනට මයිග්‍රේට කලා....!

      Delete
  19. ඒකට කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා.. යකෝ සල්ලි වගේද දත් දෙකක් කියන්නේ.. බොරු දත් දාගන අර කලින් වගේ හිටියැකිද..?

    ෂික් පොඩි එකාටත් දත් දාන්න සල්ලි ඉල්ලුවනං තමා වැඩේ ආතල්...

    ReplyDelete
    Replies
    1. දීකිරටත් සාක්කි දෙන්න බලල්ලු හිටියලුනේ ඒ කාලේ....! කොන්දෙක්ට හිටපු කොන්දෙක් සපෝට් එකට කතා කරන්නෙ නැතිව වෙන කවුරු කතා කොරන්නද ? මාරයත් දත් ගලවන්න ඇතිනේ ඒ කාලේ....! නැද්ද මම කියන්නෙ....?

      Delete
  20. බලන් ගියාම කොන්දත් මහ අමුතුම පුග්ගලයෙක් නේ... රුවන් ලංකාවෙ හිටියා නම් කොන්දගේ නෑදෑ පරපුරම එයි දත් දා ගන්න ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, කොහොමත් ඌ හොඳ වෙලාවට රට ගියේ.... නැතිනම් දාන්න වෙන්නෙ අම්මලගේ තාත්තල්ගේ දත් තමයි....!

      Delete
  21. කොන්දාගේ දත් ටික කොහොමටත් ගෑනිගේ අතින් කැඩෙන්න තිබුන හින්දා ඌට රජ මගුල්.. ඇති ඌ උගේ ආච්චිත්..අරන් ආවේ නැතුවා දත් දාගන්න..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ වලියකට යනකොට දෙන්නම දත් සෙට් එක ගලෝලා කැබිනට් එකට දාලලු යන්නෙ....!

      Delete
  22. දැන් ඔය කොන්දා ඉන්නේ පාර්ලිමේන්තුවේද ? එහෙ ඉන්න අයියලත් ඔහොම පවුල් පිටින් ගිහින් ඉල්ලන් කනවානේ..

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවේ ඉන්න කෂ්ටිය ඉතින් දත් විතරක් ගලවන්නේ නෑනේ...! මිනිස්සුන්ගේ ආත්මයම ගලෝගන්නවනේ.....!

      Delete
  23. රුවන් පව් කියන්නත් බෑ..කොන්දත් නියම දත් දොස්තරෙක්නෙ බලන් යන කොට කොන්දොස්තර වැඩේ නවත්තලා ඒ වැඩේට බැස්සනම් මිනිහා ගොඩ යන්න ඇති.. :-D

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔය සිද්ධියෙන් පස්සෙ ඔය කොන්දා පොඩ්ඩක් වලියට යන එකෙන් ෂේප් වෙලා හිටියා මට මතකයි.....!

      Delete
  24. නියම කතාවක්......කොන්දොස්තර කෙනෙක් මටත් ගෙමක් දෙන්න ගිහින් මට වාසිවුනා මම 100 මොර‍ටුව-කො‍ටුව බස් එකකට දෙහිවල නගර සබාව ලඟින් නැගලා රු50 දිලා වැල්ලවත්තට ටිකට් එකක් ගත්තා, කොන්දොස්තර මට ඉතුරු දෙනගමන් රු10 මාරු සල්ලි නැහැ, බහිනකොට දෙන්නම් කියලා, වැල්ලවත්ත හරියට එනකොට මගෙ අතට මිට මොලවලා 10 කාසියක් දුන්නා, මමත් බස් එකෙන් බැහැලා ඔ‍ෆිස් එකට ඇවිල්ලා බලද්දි තමයි දැක්කේ , මට දිලා තියෙන්නේ යුරෝ 1 කාසියක්, පස්සෙ දවසක මම එක රු160 කට මාරු කරගත්තා....

    ReplyDelete
    Replies
    1. මල මගුලයි, ලංකාවෙ රුපියල එච්චරටම බාල්දු වෙලාද....? දැන් මිනිස්සු යුරෝ වලින් ටිකට් ගන්නෙ....?

      Delete
  25. කොන්දාගෙ ආච්චිගෙ සීයගෙ එහෙම දත් තිබුනද දන්නෙ නෑ.
    මට හිනාව නවත්තගන්න් බැරි වුණා අන්තිම වාක්‍ය කියෙව්වට පස්සෙ. නිකම් මවාගෙන බලන්නකො කටේ දතක් වත් නැති නසරානි පාට කොල්ලෙක් හී කියලා හිනා වෙන් හැටි.

    (මම රුවන් වුණා නම් කිසි කතාවක් නැතුව හිමීට කොන්දා ලඟට ගිහින් කියනවා "අයියෙ, කලුබෝවිල දුමී අපේ අයියා කෙනෙක්" කියලා.)

    ReplyDelete
    Replies
    1. කොන්දගේ ආච්චියි සීයයි දෙන්නම ඒ වෙනකොට මැරිලා ඇති මයේ හිතේ....! නැතිනම් රුවන්ට ඕස්ට්‍රේලියාවට යන්න සල්ලි මදි වෙනවා.....!

      Delete
  26. දෙයියෝ සාක්කි! ඔහොමත් දත් ගලවන්න හොඳද.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ.....! ඔහොම දත් ගලවන්න හොඳ උනත්, ඔය විදහට දත් දාල දෙන්න හොඳද.....?

      Delete
  27. අම්මෝ මෙහෙමත් දත් ගැලවිල්ලක්.... කොන්ද සල්ලි කඩාගන්න ගෑණිගේ දතුත් කඩලා....

    ReplyDelete
    Replies
    1. ගෑණිගේ දත් කඩලා තියෙන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ මම හිතන්නෙ....! චාන්ස් එක ආපු වෙලාවෙ ඒ පිටින් දාලා තව ගාණක් කඩා ගත්තා.....!

      Delete
  28. කොන්දගේ සීයා ආච්චි දෙන්න එක්ක ආව නම් අරූට අබ සරණයි :D

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ වෙනකොට ඌ ලංකාවෙ හිඟාකනවා....!

      Delete
  29. හයියෝ සල්ලි.. දත් ගැන මතක් කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. මොකෝ නගෝ, දත් පණුවෝ කාලද ?

      Delete
  30. කොන්දට බ්ලැක් මේල් විශේෂවේදී උපාධියක් තිබිලනේ.

    ReplyDelete
    Replies
    1. දත් දා ගැනීමේ උපාධියක්....!

      Delete
  31. එහෙනං ඔහොමයි දත් ගලවන්නේ!
    තවත් විනෝදකාමී කතාවක් ගෙන ආවට දුමීට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. නෑ ඔන්න ඔහොමයි දත් දාගන්නෙ....!

      Delete
  32. සුපිරි සීන් එක මැවිලා පේනවා කොන්දා සල්ලි අතට අරන් හිනාවෙන හැටි... මොනා උනත් කොන්දා ප්ලෑන් කොරලම තමා ගෑනිගේ දතට වැඩේ දෙන්න ඇත්තේ 2500ක් ආවා කියන්නේ සෙල්ලම්ද...

    නියමයි අයියේ එල ඈ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ කොන්දා ඇවිල්ලා කැතේ උපත... ඉතින් හිතා ගන්නකෝ අර කැඩිච්ච දත් අස්සෙන් දිව එළියට දානකොට ගැරඬියා වගේ.....!

      Delete
  33. අනේ මමනං කොන්දගේ ඉතුරු දත් ටිකත් කඩල මමම පොලිසි යනවා.. ඇයි දෙයියනේ??

    ReplyDelete
    Replies
    1. ඔය චන්ඩිකං නෑ එතකොට.... ඕ.ලෙවල් කරන පැඟිරි කොල්ලෝ කාලේ....!

      Delete
  34. බ්ලැක්මේල් කිරිල්ල..නතර උනේ කොහොමද..අන්තිමට...

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගේ දත් වලට සල්ලි ඉල්ලලා නෑ හොඳ වේලාවට රුවනයා බය උනාට....! එහෙම උනා නං ඌට බස් විකුනන්න වෙනවා...!

      Delete
  35. ගෑනු දත්? එහෙම එව්වත් තියනවද? :))

    මරු කතාව

    ReplyDelete
    Replies
    1. අමු අඹ ගෙඩියක් හරි, ඇඹරැල්ලා ගෙඩියක් හරි හපලා බලන්න...! අර ඒවයේ වදින දත් පාර තමයි ගෑණු දත් වල සයිස් එක....! පිරිමි දත් ගැහුවොත් කවදාවත් දත් පාර හිටින්නෙ නෑ....කෙලින්ම කෑල්ලක් කඩලා ගන්න නිසා....!

      Delete
  36. හයියෝ දුමී අයියා ඉදලා ඉදලා දාන්නේ මරුම ලිපි..මොකද්ද අප්පා සතියකට සැරයක් වත් දාන්නකෝ මෙහෙම කතාවක්..

    ReplyDelete
    Replies
    1. අම්මෝ, මොහොම අමාරුවෙන් තමයි මාස තුනකට සැරයක් හරි එකක් දාගන්නෙ....! ලියන්න නම් තව කතා මහ ගොඩක් තියෙනවා, මොනව කොරන්නද...? ජීවිකාව කොරගන්නත් එපැයි.....!

      Delete
  37. උනුත් එක්ක බලපුහාම අපි මොනුන්ද? ලඟ ලඟ එනවා නේද? ඕනයා ඉන්ටවීව් යනවා ඊට කලින් ජොබක් හොයාගන්න...

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ කලින් කිවා නේද කාගෙවත් දත් ගලවන්නෙ නෑ කියලා....? කට බොරු කිව්වත් දත් බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕකට තමයි....!

      ඕනයා කොහේද යන්නෙ ජොබක් හොයන්න ?

      Delete
  38. කුම්බලා ෆිශ් කෑවා නම් විදවපන් කැටලෝ කිව්වලු... මදැයි අන්තිමේදී කොන්දා තමයි පට්ට විදියටම දත් ගලවලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට රුවනයා නම කුම්බලා මාළු තියා සාලයෙක්වත් කන ජාතියේ එකෙක් නෙමෙයි....!

      Delete
  39. අම්මෝ.... හත්මුතු පරම්පරාවටම දත් දාන්න වුනාද දන්නේ... නියමම දත් ගැලවිල්ල

    ReplyDelete
    Replies
    1. දත් ගැලවිල්ලක් නෙමෙයි, දත් දා ගැනීමක්....!

      Delete
  40. ඒකෙන් මේකෙන් කොන්දට මාර පල්ලම නේ. දතක් කඩා ගන්න වාරයක් ගානේ රුවන්ව හොයාගෙන එනවා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඕක නිසාමද කොහේද ඌට ඒ දවස්වලම රට ඇරලා යන්න උනේ....!

      Delete
  41. රුවන පල් මෝඩයෙක්නේ... ආපහු ගිහින් පොලිස් මාමට කියන්න එපයි කොන්දා කරපු අලුගුත්තේරු වැඩේ....
    මොනවා උනත් මරු කතාව දුමී අයියේ.... :))

    ReplyDelete
    Replies
    1. පොලිස් මාමට කිව්වනං රුවනයත් ආපහු හිරේ යනවනේ, තාත්තාගේ බස් මුට්ටි වලින් හොරෙන් සල්ලි ඉස්සුවා කියලා.....!

      Delete
  42. මම් මුල ඉදන්ම කියෙව්වෙ මූ කොන්දොස්තරගෙ දතගලවලා කියලා බැලින්නම් දත් ගලවලා තියෙන්නෙ මුගෙනේ

    ReplyDelete
    Replies
    1. කොන්දා මුගෙන් ගලෝගෙන උගේ පවුලටම දත් දාලා...! ඕක තමයි කියන්නෙ කොන්දොත් එක්ක වලියට නම් යන්න එපා කියලා...!

      Delete
  43. හිකිස් :) හපෝ .. දත් ගෑලවිල්ල. ගෙදර පූසට දත් දාන්න ආවෙ නැද්ද කොන්දා ?? :)

    ReplyDelete
    Replies
    1. කොන්දට පූසෙක් නෑල්ලු....!

      Delete
  44. රුවන්ලට බස් මුට්ටි තිබුන හින්දා හොඳයි . කාලෙකින් නේද ලිව්වේ දුමි

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නම් තමයි බින්දි. බත් මුට්ටිය සාදාගන්න තියෙන නිසා කාලය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ....!

      Delete
  45. අඩෝ දුමියා. මගෙත් දතක් හෙලවෙනවා වගේ බං.
    නියමෙට ලියලා තියෙනවා, විශේෂයෙන්ම අර නතිම කෑල්ල.
    (මගෙ මල්ලිටත් උඹව හම්බවුනයි කිව්වා, ඩුබායි වලදි)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම කොන්දෙක් එක්ක වලියට ගිහිල්ලා ටිකට් මැෂිමෙන් දත් දෙක තුනක් කඩහන්....!

      කවුද උඹේ මල්ලි ? කොහෙදිද මාව මුනගැහුනා කිව්වෙ ?

      Delete
    2. IT කරන හිමාල් ජයවර්ධන කියලා කිලෝම සීයක විතර එකෙක්.උඹලා දෙන්නගෙම mutual යාලුවෙක් ඉන්නවා.

      henryblogwalker the Dude

      Delete
    3. දැන් ඉතින් පලයල්ලකෝ තරාදියකුත් අරගෙන යාළුවන්ගේත් යාළුවන්ගේ බර කිරන්න....!

      Delete
  46. ඕකෙං වෙන්ඩැති සල්ලි කඩාවඩා ගන්න එකට දත් ගලවනවා කියන උපහැරණේ භාවිතේට එන්ඩ ඇත්තෙ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඒ උපහැරණේ ආවෙ වෙන විදිහකින්.....!

      Delete
  47. පට්ටම පෝස්ට් එකක් සහෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි....!

      Delete
  48. ආයේ හෝදන්න දෙයක් නෑ පට්ටයි !!

    ReplyDelete
  49. රුවන් ආපු දවසේ උඹලගේ ගෙදර බර්ටි ඇනස්ලිලගේ විනෝද සමය වගේ තියෙන්න ඇති නේද. . අපරාදේ . . . . උඹලගේ ඉස්කෝලෙට අර "සුන්දර නම" වැටිලා තියෙන්නේ ඇයි කියලා අද තමයි හරියටම තේරුනේ . . හික් හික් හික් . . .

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත, නැත්නම් මෙච්චර හොඳ ඉස්කෝල තියෙද්දි අපේ එවුන් උඹලගේ ඉස්කෝලෙත් එක්ක බිග් මැච් ගහන්න යයිද බං...?

      Delete
  50. හම්මා අදමයි ආවේ.....ආයිත් එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ...! ඕන වෙලාවක දොර ඇරලා තමයි තියෙන්නෙ...!

      Delete
  51. රුවන් අය්යගෙ දත් කීයක් ඉතුරුද දුමී අය්යා?කොන්දා ගලවගෙන ගලවගෙන ගිය විදිහට මට නම් හිතෙන්නෙ දැං රුවන් අය්ය සුප් විතරයි බොනව ඇත්තෙ...! :O

    ReplyDelete
    Replies
    1. ඊට කලින් බුවා රට ගිය නිසා බේරුනා..!

      Delete
  52. පට්ටම කථාව.... හාස්‍ය රසය වෑහෙනවා... යාලුවා ගේට්ටුවට වාරැ උන හැටි මට මැවිලා පේනවා....

    අයියන්ඩි නිවාඩු පාඩුවේ මගේ කාමරේ පැත්තෙත් පොඩ්ඩක් ඇවිල්ලා යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. ගේට්ටුව තිබුනේ නැත්නම් පොර බිම...!

      Delete
  53. දුමීගේ අක්කට සද්දෙ දාපුදා දුමීට බැරි වුණානේ ඔය කොන්දගේ දතක් ගලවන්න ඒකට රුවන් .. අන්න කොල්ලො

    ReplyDelete
    Replies
    1. එදා ගේම දුන්නෙ හීන් නූලෙන්....! එහෙම උනා නම් මෙලහකට මම පාරෙ හිඟා කනවා...!

      Delete
  54. හාපෝ මතක් කරන්න එපා. ලංකාවෙ ඉන්න තරමක් ඔය වගේ ඩයල් ඔය වගේ සිද්ධියක් වුනාම වවාගෙන කාලා ඒකෙන්ම ගොඩයන්න තමා බලං ඉන්නෙ. අම්මපා මේ වගේ ලැජ්ජාවක් නැති ජාතියක්

    ReplyDelete
  55. අන්න ඕවාට තමයි කියන්නනේ දත් ගැලවෙනවා කියලා

    ReplyDelete

Related Posts with Thumbnails