කඩ්ඩ සහ කක්කල් කැස්ස

Posted by දුමී

ලංකාවෙ ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිය අපි වගේ අය අතරින් අවුරුදු 9ක් 10ක්ම ඉස්කෝලෙ සබ්ජෙක්ට් එකක් විදිහට කඩ්ඩ ඉගෙන ගත්තත් අන්තිමට ඉස්කෝලෙන් අස්වෙනකොටත් යන්තන් වත් පේලි දෙකක්වත් කඩ්ඩෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නෙ හරිම අතලොස්සක් තමයි.යන්තන් කඩ්ඩෙන් වැඩ කරන්න බය ඇරෙන්නෙ ඔය ඉස්කෝලෙන් පස්සෙ උසස් අධ්‍යාපනයක් වගේ කරන්න ලැබුනොතින් තමයි. මොකද ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන ආයතන වල දේශන පැවැත්වෙන්නෙ කඩ්ඩෙන් නිසා. ඒත් ඉතින් බහුතරයකට යන්තන් සන්තන් විදිහට කඩුවට පොඩි බ්‍රාසෝ පාරක් ගාගන්න ගොඩක් වෙලාවට පුළුවන් වෙන්න රස්සාවකට කාරිය එහෙම ගියහම තමයි. ඕකට එක හේතුවක් මම හිතන්නෙ කොහෙන්ද මන්දන්නෙ නෑ පොඩි කාලෙදීම මේ කඩ්ඩට අසාමාන්‍යය බයක් හැමෝගේම හිතේ ඇති වෙනවා. කොච්චර බයද කියනවනන් කවුරු හරි ලඟට ඇවිල්ල කඩ්ඩෙන් කතා කලොත් චූ යන සයිස් එකට. ඒවගේම කඩ්ඩෙන් වචනයක් දෙකක් කතාකරන්නත් පුදුම බයක් තමයි තියෙන්නෙ. ඒක අනිත් අය හිනාවෙයි කියන බයටමද නැතිනන් වෙන මොකක් හරි අටමගලයක් නිසාද කියල නම් මට කියන්න බෑ.

මට අවුරුදු පහක හයක කාලෙකකදි ඉඳන් අපේ තාත්තා හිටියේ පිට රට. ඉතින් ඔය හැම තිස්සේම වගේ අපේ ගෙදරට තාත්තා එවපු බඩු තෑගි අරගෙන විවිධාකාරයේ අංකල්ලා, ඇන්ටිලා එහෙම එන එක සාමාන්‍යය දෙයක් වෙලා තමයි තිබුනේ. ඔන්න දවසක් අපි මිදුලේ සෙල්ලං කර කර ඉන්න දවසක අපේ ගේ දිහාවට එනවා සුද්දෙක්. අතේ පාර්සලේකුත් තියෙනවා. ඒ වෙලාවෙ අම්මත් ගෙදර හිටියේ නෑ. මල්ලිවත් අරගෙන අම්මත් මොනවා හරි වැඩකට එළියට ගිය ගමන් තාම ඇවිත් නෑ. ගෙදර ඉන්නෙ මමයි, අක්කයි, නංගියි විතරයි. ගේ පැත්තට එන සුද්දව දැක්ක විතරයි තුන් දෙනාම රිංග ගත්තා ගේ ඇතුලට. වැහුවා දොර. ඇයි හත් ඉලව්වෙ දැන් මූත් එක්ක කොහොමද කතා කරන්නෙ ? වෙනදට චන්ඩි පාට් දාන දුමීගේ අක්කත් ෆුල් සරෙන්ඩර්. ඔන්න සුද්ද දොර ගාවටම ඇවිල්ල බෙල් එක ගහනවා.

ඒ අස්සෙ දුමීගේ අක්කා කියනවා,

"ලොකු මල්ලි, ගිහින් දොර අරිනවා......!"

මට පුළුවනෑ ඔය නොදන්න භාෂාවල් වලට බෙල්ල තියන්න ගොහින් වරිගේ නහ ගන්න....

"ඇයි මට කියන්නෙ, තමුසෙ ගිහින් දොර අරිනවකෝ.......!"

දැන් දෙන්නත් එක්ක ෆුල් වලිය කවුද දොර අරින්නෙ කියලා. මෙන්න බොලේ ඒ අස්සෙ යන්තන් මොන්ටිසෝරි යන නංගි ගිහින් දොර ඇරලා. සුද්දා ඉස්තෝප්පුවටම ඇවිල්ලා ඉන්නවා දැක්කම තමයි අක්කටයි, දුමීටයි කටේ කෙළ හිඳිලා හීන් දාඩිය දාන්න ගත්තෙ.

අනේ ඉතින් දුමිත් පුරුෂ දහිරිය අරගෙන ඉස්සරහට ගොහින් මෙහෙම කිව්වා...

"අංකල් අම්මි නෝ හෝම්....!"

මෙන්න බොලේ සුද්දා කියනවා,

"ආහ් පුතා, කමක් නෑ. මෙන්න මේ පාර්සල් එක තාත්ති එව්වා මගේ අතේ. මේක අම්මිට එහෙනම් දෙන්න. අම්මිට කියන්නකෝ විජේපාල අංකල් ඇවිත් ගියා කියලා...."

සුද්දා දෙනවා ෆුල් සුද්ද සිංහලෙන්. දුමියි අක්කයි අඤ්ඤකොරොස් වෙලා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කොහොමද යකෝ සුද්දෙක් මෙච්චර හොඳට සිංහලෙන් කතා කරන්නෙ. අනික පොරගේ නම විජේපාලලු. විජේපාල කියලා සුද්දොත් ඉන්නවද.

ඔන්න ටික වෙලාවකට පස්සෙ අම්මා ආවහම අම්මට කිව්ව විස්තරේ.

"අම්මේ, අන්න තාත්තා විජේපාල කියලා සුද්දෙක්ගේ අතේ පාර්සලයක් එවලා......!"

"ආහ්, විජේපාල අංකල් ආවද මේහේ. එයාට පොඩි කාලේ ඉඳන්ම අර සුදු කබර ලෙඩේ හැදිලා නිසානේ ඔච්චර සුදු......"

දැනුයි තේරුනේ කොහොමද විජේපාල කියන සුද්දා සිංහල කතා කලේ කියලා.


෴෴෴෴෴෴෴෴


කොහොමෙන් කොහොම හරි ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර උනාට පස්සෙ ඔය ඉන්ටර්වීව් එහෙකට දෙකකට මූන දෙන්න ගියාම තමයි කඩ්ඩෙ අගය දැනෙන්නෙ. ඉතින් රටේ නැති සර්ලා ගාවට කට්ටිය පැල් බැඳගෙන යනවා අවුරුදු 9ක් 10ක් ඉගෙනගෙනත් හරියට ඉගෙන ගන්න බැරි උන කඩ්ඩ මාස කීපයකින් හදා ගන්න කියලා. ඉතින් එහෙම කඩු කෝස් දෙක තුනක්ම ෆලෝ කරපු එකෙක් දවසක් කියනවා,

“මචන් මට තාම බැරි මේ කඩ්ඩෙන් කතා කරන්නයි කියන ඒවා තේරුම් ගන්නයි ලියන්නයි, කියවන්නයි විතරයිනේ. නැත්තං එච්චර අවුලක් නෑ...” කියලා.

෴෴෴෴෴෴෴෴෴


මම ඉස්කෝලෙ ඒ ලෙවල් කරන කාලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්නකොට අපේ ප්‍රෙෆෙක්ට් බෝඩ් එක බාරව හිටිය සර්ට වෙනින් ඉස්කෝලෙකට මාරුවීමක් ලැබිලා යන්න උනා. ඔන්න ඉතින් ඊට පස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එක බාර ගත්තෙ අපේ ඉස්කෝලෙ හිටිය වයිස් ප්‍රින්සිපල්. ඉතින් එහෙම බාර ගෙන තියපු පලවෙනිම ප්‍රෙෆෙක්ට්ස් මීටින්ග් එකේදී සර් කියනවා
,
"ඔය ළමයි බය වෙන්න එපා, මට පුළුවං හොඳට ප්‍රිෆෙක්ට් බෝඩ් එක ටකල් කරන්න....!"

ඒ අස්සෙ අපේ ගාව හිටිය එකෙක් අපි ටිකට විතරක් ඇහෙන්න කියනවා,

"මචෝ, මූ ටකල් දාන්න යන්නෙ, අපිට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.... මූ ටකල් කරහම....!"

කොහොමෙන් කොහොම හරි සර්ට විනාඩි කීපයක් කතාව නවත්තගෙන ඉන්න උනා අපි ටික බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත නිසා.


෴෴෴෴෴෴෴෴෴


ඔය මොන මොන චන්ඩි පාට් දැම්මත් ලංකාවේ කඩ්ඩට අම්බානෙකට බය තව කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි පොලිස් කාරයෝ. මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව ගිහිල්ලා, තව ලයිසන් නැතිව කාර් එලවලා, සුදු ඉරි කපලා, අරවද මේවද වැරදිවලට නැවැත්තුවහම පොඩ්ඩක් කඩ්ඩ දාලා කතා කරපු ගමන් පොලිස් කාරයා "හරි මහත්තයා යන්න..." කියලා දඩ කොලේ නොලියා යන්න අරිනවා කියලා කතාවක් තියෙනවනේ..

ඔන්න කාලෙකට පස්සෙ ලංකාවෙදි මාත් එක්ක එකට "NIBM" හිටපු යාළුවෙක්ව හම්බ උනා නිවාඩුවට ගිහිල්ල ඉන්දැත්දි. ඕං ඉතින් කාලෙකට පස්සෙ හම්බ උන යාළුවා නිසා පොඩි එහෙකට සෙට් උනා මගේ තවත් යාළුවෝ සෙට් එකකුත් එක්ක.. ඉතින් ඔය එක එක මාතෘකා යටතේ වාද විවාද, බයිලා ගැහිලි කතන්දර අතර ඔය පොලිස් කාරයෝ ඉංග්‍රීසි වලට බය ඇයි කියන එක ගැනත් කතා උනා. ඔන්න ඒ පාර මේ වෙනකොට ටිකක් විතර වැදිලා හිටිය මගේ යාළුවා කියනවා,

"ඕක බොරු කතාවක් බං.... දවසක් මම වැරදි තැනක පාක් කෙරුවා කියලා දඩ කොලයක් දීපු පොලිස් කාරයෙක්ට කඩ්ඩෙන් කොටන්න ගිහින් ඌ මට දුන්නනෙ ආයේමත් කඩෙන් අනිත් පැත්තට. කොටලා කොටලා දඩ කොලෙත් දීලා තමයි ඌ ගියේ. ඌගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක කොච්චර හොඳද කියනවනන් මට ඌ කියපු එක වචනයක් වත් තේරුනේ නෑ......එච්චරට සිරා..."

"කොහෙද බං ලංකාවෙ එහෙම සිරාවටම ඉංග්‍රීසි කතා කරන ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉන්න පොලීසිය.....?" අපේ තව එකෙක් ඇහුවා...

“ලංකාවෙ ? පිස්සුද බං... මට මේක උනේ ලන්ඩන් වලදි....!”


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


මේ පිට රටවලට ඇවිල්ල ඉන්න අපිට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ලෙඩක් දුකක් හැදුනහම දොස්තර ගාවට ගිහින් ලෙඩේ විස්තර කරන එක. මොකද මේ ගොඩක් ලෙඩ වලටයි, රෝග ලක්ෂණ වලටයි ඉංග්‍රීසියෙන් කියන නම් දන්නෙ නෑනෙ. ඕකට ඉතින් අපේ සෙට් එකට තියෙන විසඳුම තමයි අල් ඒන් වල ඉන්න වන්නි අයියා. වන්නි අයියා ඇවිත් අල් ඒන් වල තියෙන මෙඩිකල් කොලේජ් එකේ ඉන්න ඇනටොමිස්ට්. ඉතින් පොර ඔය මෙඩිසින් ගැන ලෙඩ රෝග ගැන හොඳට දන්න කියන හාදයා හින්දා කවුරු කවුරුත් මේ ලෙඩ රෝග ගැන විස්තර අහගන්නෙ වන්නි අයියගෙන්.

කවුරුත් දන්නවනේ මෙහෙට වීක් එන්ඩ් එක තියෙන්නෙ සිකුරාදා සහ සෙනසුරාදා කියලා. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා රෑ කියන්නෙ කට්ටිය සෙට් වෙන දවස. ඔන්න එක බ්‍රහස්පතින්දාවක පාන්දර ජාමේ වෙනකන් යාළුවොත් එක්ක සෙට් වෙච්ච වන්නි අයියා තුනට විතර ගියාලු නිදා ගන්න. නිදා ගන්න ගියා විතරයි පාන්දර තුනහමාරට විතර, පොරගෙ ෆෝන් එක දැන් රිං වෙනවා.

"හලෝ, වන්නි අයියේ වන්නි අයියේ...."

"ඔව් ඔව් කතා කරනවා..."

"අනේ වන්නි අයියේ, කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"

“මොකක්...?”

"කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"

“යකෝ, පාන්දර තුනහමාරයි වෙලාව, කක්කල් කැස්ස... හැමිනියන් කෝ....”

“ආහ් හරි හරි... තැන්ක් යූ වන්නි අයියේ....!”

කෝල් කරපු එකාගේ වයිෆ්ට රෑ තිස්සේ නවතින්නෙ නැතිව කැස්සක් ඇවිල්ලා. එයාට පොඩි කාලෙදී කක්කල් කැස්ස හැදිලා තියෙනවා. ඉතින් එයාව ඉස්පිරිතාලෙට එක්කන් යන්න කලින් තමයි ඔය වන්නි අයියට කෝල් කරලා තියෙන්නෙ. කෝල් එකෙන් පස්සෙ ඔන්න ඉතින් පොරත් වයිෆ්ව ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින් ඩොක්ටර්ට ලෙඩේ විස්තර කරන ගමන් මෙහෙම කියලා.

“Doctor, she had Haminiyan cough when she was small.......!”

( දොස්තර මහත්තයෝ මෙයාට පොඩි කාලෙදි හැමිනියන් කොෆ් (කැස්ස ) හැදිලා තියෙනවා )







(ප.ලි : කක්කල් කැස්සට කඩ්ඩෙන් කියන්නෙ වූපින් කොෆ් (Wooping cough) කියලා. )









බොම්බිලි සහ ආප්ප

Posted by දුමී

ඔය මම ඉස්කෝලේ ඕ ලෙවෙල් කරන කාලේ අපේ පන්තියේ හිටියා පොරක් ගීත් කියලා. මතකනේ, ඒ කාලේ අර අයි.ටී.එන් එකේ ගිය කෝපි කඩේ ටෙලි නාට්ටිය එහෙම නැගලා යන කාලේ. කොහොමත් ඔය කොල්ලන්ගේ ඉස්කෝලවල හිටපු ගමන් ඉන්නවනෙ හරිම සුකුමාල එක නූල් ගහෙන් කෙල්ලෙක් නොවී කොල්ලෙක් වෙලා ඉපදෙන එවුන්. අන්න ඒ වගේ හරිම සුකුමාල එකෙක් තමයි මේ ගීත්. ඉතින් ඒ කාලේ අපි ඌට කිව්වෙ ගීතා නගා කියලා, අර කෝපි කඩේ සුවඳා ට්‍රයි පාර දෙන කෑල්ල.

ඉතින් ඒ දවස්වල ඉස්කෝලෙන් පස්සෙ දවස් පහේමයි, සති අන්තෙ දවස් දෙකයි, නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගේ ගණන් ක්ලාස් එකයි, තව සයන්ස් ක්ලාස් එකයි, අරකයි මේකයි, අම්මලාගේ වදේට ඕලෙවල් ගොඩ දාගන්න යන ක්ලාස් බර තොගේකුයි කවර් කරන්න වෙනවනේ. ඉතින් ඔය දවස්වල ඉස්කෝලෙ කොල්ලො ගොඩක් වෙලාවට උදේට කන්නයි, දවල්ට කන්නයි කෑම පාර්සල් දෙකක් ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ කෑම එක විදිහට ගේන්නෙ පාන් තමයි. කොහොමත් යන්තන් හරි බඩට දාගන්න හම්බවෙන්නෙ උදේ කෑම එක විතරයි. මොකද ඉන්ටර්වල් එකට කලින් උදේ පීරියඩ් වලදි අතරතුරදි හිමිහිට බෑග් එකට අත දාලා පාන් කෑල්ල කෑල්ල හොරෙන් කාලා ඕක ඉවර කරන නිසා පංතියේ ඉන්න නසරාණීන්ට ඕකට ගේමක් දෙන්න වෙන්නෙ නෑ. ඒකට දවල්ට ගේන බත් එක, දිග ඇරිය ගමන් එක බත් කටක් හරි කෑවොත් බත් එක ගෙනාපු එකා දිනුම්. අපේ පන්තිවල හිටපු සමහර එවුන් කරන්නෙ බත් එක දිග ඇරිය ගමන් ඕකට තූ තූ තූ කියල කෙල ගහන එක. එතකොට එකෙක්වත් ඕකට කිට්ටු වෙන්නෙ නැහැනේ. ඉතින් ඕකත් දිගටම කරන්න හම්බ උනේ නෑ, මොකද කවුරුහරි ඊට පස්සෙ තමන්ගෙ බත් එකට තූ තූ කියලා කෙල ගැහුවොත් තවත් එවුන් දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ඒ බත් එකටම තු තූ කියලා කෙල ගහලා යනවා. අනේ ඉතින් ගෙනාපු එකාටත් නෑ, අනිත් එවුන්ටත් නෑ. පස්සෙ ඉතින් ඒ සිරිත එහෙම්මම නැති උනා.

තවත් සමහරු කරන දෙයක් තමයි බිත්තරයක් හරි කුකුල් මස් කෑල්ලක් හරි දැක්ක ගමන් ඉක්මනට අරගෙන ඒක එහෙම්පිටින්ම කටේ දාගැනීම. දවසක් අපේ එකෙක් තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනයන්න වෙනවා, මොකද ඌ එළු මස් කෑල්ලක් කියලා තඩි ගොරක කෑල්ලක් කටේ දාගත්ත ගමන් හැපිලා ඇඹුල දැනිලා කලබල වෙච්ච පාරට ඒක උගුරේ හිර වෙලා මාර ජංජාලයක් වීම නිසා. පස්සෙ කට්ටිය ඌත් එක්ක තියෙන පරණ තරහ යන්නත් එක්ක බිම දාගෙන පිටට දඩම් බඩං කියලා ගහපු නිසා ඌ යන්තන් බෙරුනා.

මෙච්චර ලොකු ඌණ පූර්ණයක්  පූර්ව කථනයක් දීල මට කියන්න ඕනෙ උනේ මේකයි, අර මම කලින් කිව්ව ගීතා නගා අරගෙන එන කෑම එක තමයි දෙයියනේ කියලා කාගෙන්වත් කිසිම අතුරු ආන්තරයක් නැතිව ඌටම කියලා කන්න පුළුවං උන එකම කෑම එක. මොකද විශ්වාස කලත් නොකලත් ගීතා නගා අරගෙන එන්නෙ පොල් සම්බෝලත් එක්ක ඉඳි ආප්ප ‘පහයි’. ඒකෙන් උදේට ඉඳි ආප්ප දෙකක් කාලා දවල්ට කන්න ඉඳි ආප්ප තුනක් ඉතිරි කර ගන්නවා. ඒ කාලේ දෙයියනේ කියලා එක වේලකට ඉඳි ආප්ප විසි පහක් බඩට දාගන්න අපිට මේක නිකන් හරිම ජිල් බෝල මැජික් එකක් උනා. ඔය ඉඳි ආප්ප පහ කාලා මොනව කරන්නද කියලා පංතියේ හැම එකාම කල්පනා කරපු නිසා අතුරු ආන්තරාවක් නොවී පන්තියේ ඉතුරු උන එකම කෑම එක තමයි මේ ඉඳි ආප්ප පහ. ඒ කාලේ ඉඳි ආප්ප පහ නිසා ගීත නගා කොල්ලන්ගෙන් බයිට් උන වාර ගාන නම් මට මතක නෑ. මොනවා උනත් මම නම් ජීවිතේටවත් හිතුව නෑ ඊට අවුරුදු දොලහකට විතර පස්සෙ මටත් මේ වගේ ඉඳි ආප්ප 2 ක් කාලා වේලක් පිරි පිරිමහගන්න වෙයි කියලා.

දැනට අවුරුදු 8කට 9කට කලින් ඩුබායි දේශයට පය තබපු අළුත වගේ, දවසක් මලබාරි කඩේකට රිංගුවේ පාතරාසය ලබාගැනීමට කියලා තමයි. අතට දීපු මෙනු කාඩ් එක මුල ඉඳලා අගට කියවගෙන යනකොට ඔන්න කන්න ආස කෑමක් තියෙනවා. මොනවද ඉතින් "ඉදියප්පම්". මලායලම් භාෂාවයි, දෙමළ භාෂාවයි ගොඩක් එක සමාන නිසා, ලංකාවෙත් ඉඳිආප්ප වලට සමහරු ඉඳිආප්පම් කියලා කියන නිසා ඔන්න මම ඕඩර් කරා "ටුවෙන්ටි ඉඳිඅප්පම් ඇන්ඩ් චිකන් කරී" කියලා..... ඔන්න බොලේ වේටර් බුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා අහනවා "කිත්නා ආද්මී ? (කී දෙනෙකුටද ?)" මම ඉතින් අතින් පෙන්නුවා එක්කෙනෙකුට කියලා. ඔන්න ඒ පාර පොර මොනවද මංදන්නෙ නෑ හින්දියෙන් කියවගෙන කියවගෙන යනවා. සිංහල සබ් ටයිටල් නැති නිසා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ මම කිව්ව "හිංදි මාළුම් නෙහී බායි....." කියලා. ඔන්න ඒ පාර පොර ආපහු මගේ ඔළුවෙ ඉඳන් පාදාන්තය දක්වා බලාගෙන ඉඳලා ගියා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ පොර එනවා සුදු පාටට සුදු පාටේ අඩියක් විතර උස ඉඳි ආප්ප කන්දකුත් උස්සගේන. ඇවිල්ලා තිබ්බා මේසෙ උඩින්. ඊට පස්සෙ නක්කලේට මගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොඩි චිකන් දීසියකුත් ලඟින් තියලා ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ උනාට මට උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්. වලියකට එහෙම අරගෙන යන්න පුළුවන් කිසි ගේමක් නැතිව, මොකද ඒ ඉඳි ආප්පයකින් ගහලා දෙන්නෙක්ව බිම දාන්න පුළුවං. අනේ මමත් ඉතින් දාහක් ඇස් මගේ දිහා බලාගෙන ඉන්න අස්සේ ඉඳි ආප්ප ගොඩේ ඔළුව හංගගෙන එයින් ඉඳි ආප්ප දෙකක් කාලා හෙමින් සීරුවෙ මුකුත් උනේ නෑ වගේ ආවා.

ඉඳි ආප්ප විතරක් නෙමෙයි, මලබාර් කඩවල ආප්පත් තියෙනවා. ඒවාට කියන්නෙ "ආප්පම්" කියලා. රසනම් ඉතින් ටිකක් ඒ වගේ තමයි හැබැයි අපේ ලංකාවෙ අප්පයකට ගහන්න නම් බෑ. ලංකාවෙ ආප්පනේ ආප්ප. මලබාරි ආප්පම් එක නිකන් ලංකාවෙ ප්ලේන් තෝසයක් වගේ ෆුල් ෆ්ලැට්. ඔන්න එක කාලයක් මගේ ටීම් එකේ හිටියා කේරල කෙල්ලෙක් ලීනා කියලා. කෙල්ලෙක් කිව්වට බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ටීම් එකේ අපි ඔක්කොම අනිත් අය ලංකාවෙ අය. ඉතින් දවසක් මෙයා අපිට රෑ කෑමකට ගෙදරට එන්න කියලා කිව්ව නිසා අපිත් ඉතින් පවුල් පංසල් එක්කහු කරගෙන ලීනාගෙ ගෙදරට ගියා කියමුකො. ඔය සතුටු සාමීච වලින් පස්සෙ ඔන්න රෑ කෑම වෙලාව ආවා. කට්ටියම සෙට් උනා කෑම මේසෙට. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනවා මෙන්න කෑම මේසෙට "මලබාරි ආප්පම්". චිකන් කරි සහ ෆ්‍රයිඩ් බීෆ් එක්ක. ඔන්න ඉතින් අපිත් දැන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක් වගේ දිගටම බැට් කරනවා. ආප්පම් ඉවර වෙන්න ඉවර වෙන්නත් මේසෙට එනවා. කොහොම හරි එක්කෙන් අප්පම් 5කට 6කට විතර වැඩ දුන්නා. දැන් මට පේනවා ලීනාගේ මූණ එච්චර හරි නෑ.ටිකකට පස්සෙ ලීනා ඉඳන් කියනා, "Guys, this is not the main meal....." සිංහලෙන් කිව්වොත්, "යකුනේ මේක ප්‍රධාන කෑම එක නෙමෙයි.." කියලා. විළි ලැජ්ජාවෙ බෑ....බලාගෙන යනකොට මුන් ආප්ප කන්නෙ බුරියානි හරි තාලි හරි කන්න කලින් බඩේ රැළි ඇරගන්න ඇපටයිසර් එකක් විදිහට. අපි හිටු කියලා රැළි කෙලින් වෙන්න ආප්ප කන කෑමට තව පොඩ්ඩෙන් ලීනට කලන්තෙ දානවා. එහෙම ආප්පම් කෑවට පස්සෙ ආපහු මොන මේන් මීල්ද. කොහොමෙන් කොහොම හරි අර කිව්ව මේන් මීල් එක පාර්සල් කරගෙන ගෙදර ගෙනැල්ල පහුවෙනිදා උදේට කෑවා.

ආප්ප ඉඳි ආප්ප වගේම බොම්බිලි කියන්නෙ මම කැමතිම කෑමක් තමයි. බොම්බිලි තෙල් දැම්මහම තියෙන රසට ගහන්න ආපහු වෙන කෑමක් නෑ. හැබැයි ඒ වගේම තමයි බොම්බිලි වල ගඳට ගහන්නත් වෙන ගඳක් නෑ. බොම්බිලි වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ "බොම්බේ ඩක් ( Bombay Duck)" කියලා. ඒ නම හැදිලා තියෙන්නෙත් ඔය ඉංග්‍රීසි පාලනය කාලේ ඉන්දියාවෙ බොම්බේ නගරෙ ඉඳලා එන කෝච්චි ඩෙක් එකෙන් ( Bombay DAK, Bombay Deck) එන ගඳයි, බොම්බිලි වලින් එන ගඳයි එකම නිසා. "බොම්බිලි" කියන වචනය අපේ භාෂාවට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙ මරාති භාෂාවෙන් ඕකට කියන්නෙ "බොම්බ්ලි" Bombli කියලා කියන නිසා. එක කාලෙකදි මට කවුද මන්දා කියලා තිබුනා මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න පණුවො ජාතියක් කියලා. ඒ තිබිච්ච ගඳ නිසා මාත් හිතුවා ඇත්ත තමයි කියලා කාලයක් කටේ තියන්නෙ නැතිව හිටියා. පස්සෙ තමයි දැන ගත්තෙ මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න "උරග මාළුවෙක්" (Lizardfish) කියලා.

මේ ඉතින් මම කියන්න යන බොම්බිලි කතාව සිද්ධ උනේ දැන අවුරුදු 5 කට 6 කට කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ පරිඝණක අංශයේ වැඩ කරන කාලෙ. ඒ කාලෙ මගෙ බොස් වෙලා හිටියේ සුද්දෙක්, පැඩී කියලා. මේ සුද්දත් ඉතින් සුද්දා වගේ තමයි හරිම කෙලින් වැඩ කතා බහ ඔක්කොම.වැඩ කරන්න මාර ලේසියි, වෙලාවක යාළුවෙක් වගේ ඕන කුණුහරුපයක් ඇවිත් කතා කරනවා, ඒ වගේම වැඩ වලදිත් අකුරට වැඩේ තියෙන්නත් ඕනෙ. ඉතින් වැඩේ කියන්නෙ එක දවසක් ඔන්න අපේ ගම හාමිනේ දවල්ට කන්න කියලා මගේ බත් එකට දාල ෆුල් සිරා බොම්බිලි බැදුමක්. ඔන්න මමත් ඉතින් දෙඤ්ඤං බැස්ටිය කියලා බත් ඇටයක්වත් ඉතුරු නොකර බත් ටික කාලා අත සෝදගෙන එළියට එනකොටම ඉස්සරහට එනවා මගේ බොසා, පැඩී. ඉතින් වෙනදා වගේම මූ මට අතට අත දීලා සුභ පතලා ගියා. ඔන්න මම මගේ පුටුවට ගිහිල්ලා ටික වෙලාවකට පස්සෙ මට කෝල් එකක් එනවා පැඩීගෙන්...කෝල් එක ගත්ත ගමන් පොර අහනවා,

"Man, did you scratch your balls..................?"

(ප.ලි : මේ කෑල්ල මම සිංහලට පරිවර්තනය කරන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් කට්ටිය කියයි මම අසභ්‍යය කතා ලියනවා කියලා)


සුවඳ රැගෙන ආ අමුත්තිය

Posted by දුමී


මුළු ගේම ආයිමත් සැරයක් කිරි සුවඳින් පිරිලා ගිහිල්ලා. පුංචිම පුංචි සුරංගනාවියක් අපේ ජීවිත ඇතුලට රිංගලා. මගෙත් ගම හාමිනේගෙත් කැදැල්ලට තෙවනි පාරටත් කිරි සුවඳ අරගෙන රෝසම රෝස පාට දූ පැටික්කියෙක් පදිංචි වෙන්නම ඇවිල්ලා. මෙච්චර කාලයක් මම හිතන් හිටියේ අක්කියි අයියයි නිසා අපේ ජීවිත සම්පූර්ණ වෙලා තියෙන්නෙ කියලා. ඒත් මේ කෙළි පැටික්කි අපේ ජීවිත වලට එබෙනකන් අපේ ජීවිතේ තවත් හිඩැසක් තිබෙනා කියල නම් මට හිතුනේ නැහැ. ඒත් එහෙම හිඩසක් තිබිලා ඒ හිඩස දැන් නේද සම්පූර්ණ වෙලා තියෙන්නෙ කියලා තමයි මට නම් හිතෙන්නෙ. අක්කිගෙයි අයියගෙයි හිත් දෝරෙ ගලලා. හැම තිස්සෙම නංගිගේ වටේ කැරකිච්ච ගමන්මයි. දෙන්නම ඉස්කෝලෙ ඇරිලා දුවලා එන්නෙ නංගිව බලන්න. නංගියා පොඩ්ඩක් අඬනවා ඇහිච්ච ගමන්ම අක්කියා දුවගෙන යන්නෙ නංගිව වඩා ගන්න. එහෙම වඩා ගෙන ඉන්න වෙලාවක නංගිත් අක්කිව හිටපු ගමන් පිළිගන්නව පොඩි චූ පාරක් එහෙම දාලා. ඒත් අක්කි මලක් වගේ නංගියාව තුරුළු කරං චුට්ටක් ඇඹරෙනවා විතරයි.

මෙච්චර කාලයක් මල්ලි කෙනෙක් විතරක් වෙලා හිටපු චූටි පුතා දැන් අයියා කෙනෙකුත් වෙලා. නංගි ගෙදරට ආපු දවස් වල අයියාගේ සෙල්ලම් බඩු ටික ඔක්කොම නංගිගේ වටේට තියලා තිබ්බේ "අනේ නංගි හැමතිස්සෙම නිදාගෙන ඉන්නෙ නැතිව ඉක්මනටම මාත් එක්ක සෙල්ලම් කරන්නකෝ...." කියලා කියන්න වගේ. අවුරුදු පහක් විතර වෙනකන්ම අම්මිගෙන් කුක්කු බීපු අයියණ්ඩිට නංගි ගෙදරට ආවහම නංගි ගැන ටිකක් ඊරිසියා හිතෙයි කියලා අපි හිතුවත් අයියණ්ඩිට ඒ වගේ වගක් නෑ. නංගියා අඬනකොට අම්මි ඒ පැත්තෙ හිට්යේ නැත්නම්, "අම්මී, නංගියාට බඩගිනියි....කුක්කු දෙන්නකෝ..." කියලා අම්මිව එක්කන් එන්නෙත් අයියණ්ඩිම තමයි.

නංගි අම්මිගේ බඩේ ඉන්නකොට අක්කියි අයියයි ඔට්ටු ඇල්ලුවේ අක්කිට නංගියෙකුයි, අයියට මල්ලියෙකුයි ඕනෙ කියලා. අයියට ඕනෙ උනේ බැට් එක අරං දුවගෙන එන වෙලාවට බෝලෙ දාන්නයි, බැට් මෑන්ගෙ ඇඳුම ඇඳන් සෙල්ලං කරන වෙලාවට රොබින් වගේ එයත් එක්ක ඉගිල්ලිලා උඩින් යන්නයි, ප්ලේ ස්ටේෂන් එකේ එයත් එක්ක කාර් රේස් පදින්නයි පුළුවං මල්ලියෙක්ව. ඒ වගේම අක්කිට ඕන වෙලා තිබුනේ අම්මිගේ මේකප් සෙට් එක අරගෙන හොරෙන් මූණෙ උලාගන්න වෙලාවටයි, නියපොතු පාට කරගන්න වෙලාවටයි, පුංචි පුංචි පබළු අරන් මාල වළලු හදන වෙලාවටත්, සෙල්ලං ගෙවල් හදන වෙලාවටත් සපෝට් එකට ලඟින් තියාගන්න නංගියෙක්ව.

නංගි අම්මිගේ බඩට ඇවිත් මාස පහේදී විතර අක්කිවයි අයියවයි ඉස්පිරිතාලෙට එක්කගෙන ගියේ "අද ඩොක්ටර් ආන්ටි නංගියෙක්ද මල්ලියෙක්ද කියලා කියනවා..." කියලයි. ස්කෑන් කරලා ඩොක්ටර් ආන්ටි “You two are going to get a little sister....” කියලා කියපු වෙලාවෙදි අක්කි උඩ පැන පැන අත්පුඩු ගැහුවත්, පුංචි හිතේ පොදි බැඳගෙන හිටිය බලාපොරොත්තු ගොන්න සුන්වෙලා ගිහිල්ලා චූටි පුතාගෙ මූණෙ ඇති උන වෙනස්කම් දැකලා මගේ පපුව ඉරිතලලා ගියා. යන්තම් යටිතොල අනිත් කණපිටට පෙරලිලා එළියට පනින්න නොපනින්න ඇස් වල කඳුලු පුරෝගෙන පොඩි පුතා බිත්තියට හේත්තු වෙච්ච හැටි දැකලා මම අක්කිට කිව්වෙ අත්පුඩි ගහන එක නවත්තන්න කියලයි. මම පුංචි පුතාව වඩාගෙන හිත හැදුවේ "ඔයාටත් නංගිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නෙ. ඔයා එයාව ඔයාගෙ ඔක්කොම ගේම්ස් වලට ගන්න" කියලයි. අක්කණ්ඩිත් ඇවිල්ලා මල්ලිගෙ කරට අත දාල කිව්වෙ "නංගි බබා අපි දෙන්නගෙමනේ මල්ලි....!" කියලා. අයියණ්ඩිගේ පුංචි මූණෙ පුංචි හිනා රැල්ලක් මතු උනේ ඊට පස්සෙ.

මගේ පුංචි කිරිකැටි දුවේ, අප අතරට පැමිණි නුඹ හරිම වාසනාවන්තයි. දිනක උඹට අම්මා කෙනෙකු මෙන් සෙනෙහස බෙදීමට කරුණාබර හදවතකට හිමි අක්කියෙකුයි උඹව මලක් වගේ ආරක්ෂා කිරීමට දයාබර අයියණ්ඩියෙකුයි ඉන්නවා.

දුවණියක් පවුලකට එකතු වෙන එක කොයිතරම් එළියක්ද ඒ වගේම වාසනාවක්ද. පහු ගිය ලෝක කුසලාන අවසාන තරඟය නැරඹීමට අප සැම එකතු උනේ මම කවදත් මගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක් විදිහට සලකන අපේ හිතාදර ජෝජ් අයියාගේ නිවසට. එහිදී මදුවිතෙන් යම් තරමකට හිත විවරවී තිබූ මොහොතක ජෝර්ජ් අයියා ඔහුගේ දුව අමතා කිව්වේ "දුවේ, මේ ගෙදර මාව හරියට තේරුම් අරගෙන තියෙන්නෙ උඹ විතරයි.උඹ තමයි තාත්තාගේ දුව. මගේ හිතේ හැම හැඟීමක්ම උඹට තේරෙනවා. දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

ඔව්,

“දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

මෙන්න පඩ කතා

Posted by දුමී

ඔන්න ඉතින් පහුගිය දොහේ තිබුනු අධික වැඩ රාජ කාරි නිසා කට කහන කතා බ්ලොග් එක පාළුවට යන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවක තමයි මේක ඔන්න ඔහේ කොටලා දාන්න ඕනෙ කියලා හිතුනේ.
අපේ කතන්දර සූරියෝ පටන් ගත්තනේ පඩ කතාවක් කියලා. ඊට පස්සෙ ඔන්න අපේ අරුණිත් දැම්ම පඩ ගැන හරිම රසවත් ශාස්ත්‍රීය විවරණයක් මෙන්න මෙතන. ඔන්න ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට්ස් එහෙම දාලා මේ පඩ වැඩේ ගොඩක් වර්ණනා එහෙම කලා. ගොඩක් අය නම් කිව්වෙ පඩයක් ඇරපු නැති එක්කෙනෙක් පුළුවන්නම් අත උස්සන්න, පඩ යවන්න පුළුවන්නම් පඩ ගැන කතා කලාම ලිව්වාම මොකක් වෙනවද කියලා. ඔන්න ඉතින් දුමිත් බැළුවා කුඹුර හාල තියෙන වෙලාවෙ වී ටික වපුර ගන්න ඕනෙ කියලා ලිස්ට් එකේ තිබුනු පඩ කතාවක් දෙකක් ඔන්න දිග අරින්නයි යන්නෙ. හැබැයි ඉතින් හිතපු තරම්ම පඩ සීරීස් එක නැගලා ගියේ නැද්ද කොහේද. කසූ ගෙනුයි අරුණිටයි පස්සෙ පඩ කතාවක් දැක්කෙම නෑ.

ඔන්න පලවෙනි කතාවෙ කතා නායකයගේ නම සුජීව. එයත් ඉන්නෙ මේ ඩුබායි හන්දියේම තමයි. වෘතීය වශයෙන්නම් එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් යානා ඉන්ජිනේරු වරයෙක්. හැබැයි සුජීව කියපු විදිහට නම් මේ වැඩේ වෙලා දැනට ටික කාලයක් වෙනවා. ඔන්න ඉතින් සුජීවලා ඉස්කෝලෙන් අවුට් වෙලා වේලි වේලි ඉන්න සමයේදි ඔය දන්න හඳුනන නංගිලා, මල්ලිලා එතකොට නෑනලා මස්සිනාල සහ කසින්ලා වගයකුත් එක්ක නුවර එළියේ පැත්තෙ ට්‍රිප් එකක් ගිහිල්ලා. ගිහිල්ල තියෙන්නෙ කෝච්චියේ. දන්නවානේ ඉතින් කෝච්චියෙ නුවර එළියෙ යන්න ඕනෙ නම් නානුඔයින් බැහැලා එතනින් බස් එකේ යන්න ඕනෙ කියලා. මේ කියන කාලේ දැන් වගේ ඔය දඩ සයිස් ටාටා බස් එහෙම තිබුනේ නැහැ. සී.ටී.බී ටකරන් බස් වලට අමතරව ලොකු බස් වලට කියලා තිබිලා තියෙන්නෙ අර මිට්සුබිෂි රෝසා වගේ ප්‍රයිවට් බස්. ඊටත් වඩා නානුඔය ඉඳලා නුවර එළියට තිබිලා තියෙන්නෙ අර පාන් බාගයක් වගේ තියෙන වෑන්. ඔය අපි වගේ හැත්තෑව දශකයේ ඉපදිලා, අසූව දශකයේ ඉඳල අනූව දශකයට වෙනකන් ඉස්කෝලේ ගිය පරණ අයට මතක ඇති ඒ කාලෙ කට කපලා ඕවට මිනිස්සු පටවන හැටි.. කොටින්ම කිව්වොතින් ඔය පාන් බාගේ ප්‍රයිවට් වෑන් නිසා තමයි අර සිද්ධාලේප මුදලාලිත් ඔච්චර දියුණු උනේ. ඇයි ඉතින් ඕවයේ බෙලි නවාගෙන යනකොට ගහන බ්‍රේක් පාරවල් වලට බෙල්ල උළුක් උනහම මිනිස්සු ගෑවෙම සිද්ධාලේප.

ඔන්න ඉතින් සුජීව ඇතුළු නඩයත් නමෝ විත්තියෙන් පිටකොටුවෙන් නානුඔය කෝච්චියට නැගලා සින්දුවක් එහෙම කියාගෙන ආතල් එකේ යනවා. ඔය ඉතින් කෝච්චියේ යන අතර දන්නවනේ හැම ස්ටේශන් එකෙන්ම එන අන්නාසි කාරයොද, අඹ කාරයොද, ඊට පස්සෙ වඩේ කාරයෝද අරවද මේවද වැහි වැහැලනේ. අනේ ඉතින් සුජීවගේ සෙට් එකත් බඩජහරි කමට ඔය හැම කාරයගෙන්ම මොනවා මොනවා හරි බඩවල් වලට දාගෙන. කොහොම හරි නානු ඔයෙන් බහිනකොට ටිකක් හවස් වෙලා ඒ මදිවට කට කපලා වහිනවා. ඒ අස්සෙ හීතලයි. කොහොම හරි කට්ටියම ස්ටේෂන් එක ගාවින්ම නුවර එළිය බලා යන බාගේ වෑන් එහෙකට රිංගලා. දෙතුන් දෙනෙක්ට සීට් හම්බ උනාට වැඩි හරියක් දෙනා හිටගෙන. ඒත් එක්කම ඔය තව එළවලු මලු පටවගත්ත අයයි, දවසෙ වැඩ ඉවර වෙලා ගෙවල් දොරවල් වලට යන අයගෙනුයි වෑන් එක කට ලඟටම පිරිලා. ඔන්න කොහොමෙන් කොහොම හරි වෑන් එකත් යන්න පටන් ගත්තා. එලියේ මොර හූරන වැස්ස. සීට් වල වාඩි වෙලා ඉන්න ඈයො වීදුරු එහෙම වහගෙන මොකද ඇතුලට හිරිකඩ එන නිසා. මතකනේ ඔය වෑන් වල සීට් තියෙන්නෙ එක පැත්තකට වෙන්නනේ, අනිත් පැත්තේ තියෙන කොරිඩෝර් එකේ තමයි හිටගෙන යන කට්ටිය බෙලි කඩාගෙන යන්නෙ. ඉතින් ඒ පැත්තෙ තියෙන එක වීදුරුවක් යන්තමට ඇරිලා තමයි තිබිලා තියෙන්නෙ. සුජීවගේ නඩේ ඈයෝත් ඉඳලා තියෙන්නෙ ඔය ජනේලෙ ගාව. ඔන්න සුජීව බලනකොට නඩේ එකෙක් මේ ඇරිලා තියෙන ජනේලෙට පස්ස පැත්ත තියාගෙන තටමනවලු. බලනකොට මෙයා සනීපෙට පඩ අරිනවලු. කෙලින්ම එලියට යන නිසා අවුලක් නෑ. අනික අර කෝච්චියේදි කාපු ජාති නිසා යන ඒව සද්ද දාල යන ඒව නම් නෙමෙයි. ෆුල් සයිලන්ට් ඒවා. ඔන්න ඉතින් සුජීවයත් මෙච්චර වෙලා තද කරගෙන ඉඳලා තියෙන්නෙ. ඌ මොකද කලේ අර වීදුරුව ගාව ඉන්න එකාව පොඩ්ඩක් තල්ලු කරලා ඒ විදිහටම පස්ස එලියට දාලා දුන්නලු වැඩේ. ඔන්න දැන් ට්‍රික් එක අල්ල ගත්ත නිසා නඩේ හැම එකාම පස්ස පැත්ත එලියට දාගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවලු. ඔන්න ඔහොම ඔහොම මුන් ටික දඟල දඟල ඉන්න කොට වෑන් එකේ කොන්දා කෑ ගැහැව්වලු.

"ඔය මොකද ඔතන දඟලන්නෙ වීදුරුවකුත් ඇරගෙන.... මේ ඇතුලෙ මිනිස්සු තෙමෙනවා. ඔන්න ඕක වහලා දානවා..." කියලා ඇවිල්ලා වීදුරුව වහලා දැම්මලු.

ඔන්න මෙච්චර වෙලා තද කරගෙන හිටියට මොකද අර ඇරපු ජනේලෙ ට්‍රික් එක දැකලා කට්ටිය සනීප ගන්න හෝප්ස් තියාගෙනනෙ හිටියේ. දැන් ඉතින් ආයෙමත් තද කරනවා බොරු. මෙන්න බොලේ එකා දෙන්නා දැන් පඩ යවනව්ලු හිටු කියලා. ෆුල් සයිලන්ට් නමුත් මාරාන්තික ඒවා. දැන් වෑන් එකේ හිටපු අනිත් එවුන් නහයවල් වහගෙන කටින් තමයි හුස්ම ගන්නෙ. කටින් හුස්ම ගන්නවා කියන්නෙ, ගඳ නැති උනාට පඩේ කෙලින්ම යන්නෙ කටට, හරි ෂෝයි. සීට් අයින්වල ඉන්න සමහර එවුන් වීදුරු ඇරගෙන ඔළුව එලියට දාගෙන නොමැරී ඉන්නවලු. ඒ අස්සේ සුජීවගේ සෙට් එක පණ යනකන් හිනා වෙනවලු. මුන් ටික ඒත් නවත්තන්නෙ නෑ. හිනා වෙවී තව තව වෑන් එක පුරවනලු. ඔන්න ටික වෙලාවකට පස්සෙ ඩ්‍රයිවර් කාරයා "බ්‍රාස්...." ගාල බ්‍රේක් පාරක් ගහලා පස්ස හැරිලා කෑගහනවලු.

"ඔය පඩ යවන එවුන් නැවැත්තුවෙ නැත්තන්, අල්ලනවා මම වෑන් එක පල්ලමකට උඹල ඔක්කොමල්ලවම මරාගෙන මමත් මැරෙන්න...." කියලා.

එහෙම්මම වෑන් එක නවත්තපු ඩ්‍රයිවර් අර මහ වැස්සෙම දොර ඇරගෙන එලියට පැනලා තෙමි තෙමි ලයිට් කණුවක් අල්ලගෙන වමනේ දැම්මලු.


ඔන්න දැන් කියන්න යන කතා දෙකකම ඉන්නෙ එකම චරිත ටිකක් තමයි, හැබැයි මේ කතා දෙකෙන් දෙවනි එක තමයි පඩ කතාව. පලවෙනි කතාව පඩ කතාවක් නෙමෙයි, හැබැයි ඉතින් ඒක නොකියා බෑ දෙවනි කතාව කියන්න.

ඔන්න ඔය පිට කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක්කෙනෙකුට විතරක් එක පාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටික වෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩ කරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලා තියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දන හිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටි පස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙම නැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මම නම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන් පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාට දැම්මනේ ...........!"


ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් කට්ටිය බස් එකට නැග ගත්තලු. ටික වෙලාවක් යනකොට අංකල් කාරයට සීට් එකක් හම්බ වෙලා ඉඳ ගත්තලු. හීනියට අනුමත වෙලා හිටපු නිසා දැන් දැන් අංකල්ගේ කරටිය පොඩ්ඩ පොඩ්ඩ පාත් වෙනවලු. ඔහොම ඔළුව නවාගෙන ඉන්නකොට අන්කල්ට පේනවලු අර කලින් හිටිය නගාගේ කකුල් දෙක. මෙන්න බොලේ කොහෙන්ද ආපු මැස්සෙක් මෙයාගේ කකුල් දෙකේ වහනවලු. ඔන්න ඉතින් මේකිත් එහාට ඇඹරෙනවලු, මෙහාට ඇඹරෙන්වලු. ඔන්න ටික වෙලාවකින් අර මැස්ස කකුල දිගේ සාය ඇතුලටම රිංගුවලු. ඔන්න ඉතින් දැන් කෙල්ලගේ ඇඹරිල්ල එකසිය ගානකින් වැඩි උනාලු. මේ ජර මර අස්සෙ එක පාරටම "පෲක්..." කියලා සද්දයක් ආවලු.

මේ සීන් එක ඔක්කොම අකුරක් නෑර බලන් හිටිය අංකල් කාරයා පට ගාල ඔළුව ඔස්සල කිව්වලු,

"අන්න හරි නංගි, අන්න හරි.... පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!" කියලා.

දුමී බබා කාලේ - දුමීගේ අක්කා සහ කළුබෝවිල දුමී

Posted by දුමී

දුමී බබා කාලේ කතා දෙකක්ම කියුවනේ. මේ කියන්න යන කතාව නම් බබා කාලේ වෙච්ච එකක් නෙමෙයි, ඊට ගොඩක් පස්සෙ වෙච්ච එකක්. ඒත් ඉතින් බබා කාලේ කියලා කැටගරයිස් කරලා දැම්මා ඔන්න ඔහේ. ඔන්න ටික ටික ලොකු වෙනකොට ඉතින් දුමීට තමයි ගෙදර සිකියුරිටි කාරයාගේ වැඩේ කරන්න උනේ. අක්කට තනි රකින්න එයාගෙ වලිගේ වගේ අරහෙයි මෙහෙයි, නංගියි මල්ලියි ක්ලාස් අරගෙන ගිහිල්ලා ආපහු එක්කං එන වැඩයි, ඊට පස්සෙ නාට්ටාමි වැඩ ටික, අර අම්මත් එක්ක ෂොපින් ගිහිල්ලා කිලෝ ගනන් ෂොපින්ග් බෑග් එල්ලගෙන බස් එකේ සෙනග අස්සෙ හිර වෙවී කරන ඩිලිවරි බෝයිගෙ වැඩ, ඉවරයක් නෑ. ඉතින් මේ කාලේ වෙනකොට අක්කා තමයි ගෙදර වැඩර්. එයාට උඩින් තිබුනේ ගෙදර සීලිමේ හයි කරලා තිබ්බ බල්බ් ටික විතරයි. තව ඕනෙමනම් ඔය මේරුවෙක්ව දෙන්නෙක්ව අල්ලන්න බලාගෙන යන හූනෙක් දෙන්නෙක් ඕන්නං උඩින් ඉන්නැති.

මේ මොන නව නිංගිරාවක්ද කියලා දුමී කිහිප පාරක්ම ට්‍රයි කලා එයත් එක්ක යුද්ද ප්‍රකාශ කරලා ගේ ආක්‍රමණය කරන්න. ඒ හැම පාරකම පෙර පිනකින්ද කොහෙදෝ දුමී ඉස්පිරිතාලේ නොගිහින් යන්තම් පණ බේර ගත්තා. ඒ හැම වලියක්ම ඉවර වෙනකොට දුමීගේ අත්, මූණ, කකුල් වල කොටියෙක් හීරුවා වගේ නියපොතු පරවලුයි, දත් පාරවලුයි, ඊට පස්සෙ දවස් ගානක් තෙල් බෙහෙත් බඳින්න තරම් උළුක් වෙච්ච ඇඟිලියි තමයි ඉතුරු වෙන්නෙ. දුමී එහෙම ගුටි කන්නෙ ඉතින් දුමීගෙ කේන්දරේ නිසා. කවුද මං දන්නෙ නෑ ආචාරියෙක් පොඩි කාලේ දුමීගෙ කේන්දරේ බලලා කිව්වලු දුමීගෙන් පාරක් කාල එකෙක් මැරෙනවා කියලා. අනේ ඉතින් එදායින් පස්සෙ දුමීගෙ අම්මා දුමීට ගෙදර වහලේ සීලිමේ බල්බ් එකක් හයි කරන්නවත් අතක් උස්සන්න දෙන්නෙ නෑ. ඒ නිසා අනේ ඉතින් කොච්චර යුද්ද ප්‍රකාශ කලත් අක්කා ඇවිල්ලා හපලා, හූරලා, විකලා, ඇදලා උළුක් කරලා යනකං දුමී බලාගෙන ඉන්නවා.

දුමීගේ අක්කා සහ නංගී දෙන්නාම ගියේ ඔය නුගේගොඩ පැත්තෙ තියෙන කෝලි කුට්ටු ලෙල්ලක් බෙල්ලෙ එල්ල ගත්තා වගේ ගෑණු ළමයි ඉන්න ඉස්කෝලෙට. ඔන්න කොච්චර කොක්කෙන් හිටියත් ඉස්කෝලේ මොකක් හරි එක්සිබිෂන් එකක් වගේ එකක් තියෙනවනම් ඔන්න අක්ක එනවා ඇස්ට්‍රා ටිකිරි පැකට් එකක් අරගෙන බටර් ගාලා දුමීට කියලා මොකක් හරි හදවගන්න. ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් උණ හැදිලා තිබුනු නිසා ඔය එක එක සර්කිට් කෑලි හදන එක තමයි දුමීගෙ විනෝදාංශය වෙලා තිබුනේ. ඔන්න එක දවසක් ඉතින් එහෙම තිබිච්ච එක්සිබිෂන් එකකට දුමී අක්කට හදලා දුන්නා පොඩි පාට පාට බල්බ් (එල්.ඊ.ඩී) වලින් හදපු ගේම් එකක්. එකෙන් වෙන්නෙ බොත්තමක් එබුවහම පාට පාට බල්බ් 10ක් නිවි නිවි පත්තු වෙලා, එක පාරටම එක බල්බ් එකක් විතරක් පත්තු වෙලා තියෙත්දි අනික් බල්බ් ඔක්කොම නිවිලා යනවා. මේ ඉතුරු වෙන බල්බ් එක එක වෙලාවලදි වෙනස් වෙනවා. ඉතින් ඔය ඉතුරුවෙන බල්බ් එක ප්‍රඩික්ට් කරන එක තමයි ඔය ගේම. හපොයි ඉතින් දුමී සහෝදර ප්‍රේමෙ නිසා අතින් කයිට් කරගෙන පොකට් මනිත් වියපැහැදම් කොරලා හදලා දුන්නා කියමුකො. දුමීගේ අක්කා ඇතුළු කෙල්ලො සෙට් එක (එයාට හිටියා එයා වගේම මාර දූතිකාවෝ ටිකක් ) එක්සිබිෂන් එකේදි මේ ගේම් එක ගහන්න එක්කෙනෙක්ගෙන් රුපියල් 5ක් අය කරලා. ඒ කාලේ ඒ කියන්නෙ 90-91 කාලේ රුපියල් 5ක් කියන්නෙ හෙන ගානක්. අන්තිමට දුමීගේ අක්කා සහ යාළුවෝ සෙට් එක කාඩ් එකක් ගහගෙන එක්සිබිෂන් එක බලන්න එන අයගෙන් "ජැක් පොට්" කියලා. අනේ ඉතින් ඊට පස්සෙ ක්ලාස් යනකොටත් කොල්ලො කුරුට්ටෝ මේ ගොල්ලන්ට කෑගහනවලු, "ජැක් පෝට්, ජැක් පෝට්" කියලා. ඉතින් ටික දවසකට පස්සෙ අක්කණ්ඩි ඇවිල්ලා දුමීට රවලා, ගොරවලා විරිත්තලා ගියා එයාට ජැක් පොට් එකක් හදලා දුන්නා කියලා. හරියට නිකං එයාට කියලා මම රුපියල් 5 ගානේ හම්බ කරගත්තා වගේ.

දුමීගේ අක්කා උසස් පෙළට කලේ අර ඇඟ පුරාම මොලේ තියෙන උදවිය කරන බයේ සයන්ස්. කොහොමත් ඒ බයේ සයන්ස් කිරිල්ලෙන් උනේ අන්තිමට අහිංසක ගෙම්බෝ කීපදෙනෙකුට ජීවිතය පූජා කරන්න වෙච්ච එක විතරයි. ඉතින් එයා උසස් පෙල පන්තියේ මුල් අවුරුද්දේ ඉන්නකොට දුමී සාමාන්‍යය පෙල කරලා ජොලියේ ගෙදරට වෙලා ඉන්න කාලේ. ඔන්න ඉතින් ඒ අවුරුද්දේ දුමීගේ අක්කණ්ඩි සහ මාර දූත යාළුවො සෙට් එක ප්‍රදර්ශනයකට තියන්න සෙට් වෙලා ඉන්නෙ කඩොලානක්. කෙල්ලො සෙට් එකේ මොලේ කොහොමද කියලා කියනවනන්, විනිවිද පේන (වීදුරු වගේ ) ප්ලාස්ටික් ෂීට් අරගෙන "බෝල්ට්" ඇණ දාල පෙට්ටියක් හදලා. වතුර පුරවන්න ප්ලෑන් කරලා තියෙන්නෙ ඇතුලට පොලිතීන් ෂීට් දාලා. අනේ මුන්ට හිතුනේ ණෑනේ වීදුරු මාළු ටැංකියක් හොයා ගන්න. ඇයි ඇඟ පුරාම මොලේනෙ. ඔන්න ඊට පස්සෙ මේකට මඩ තට්ටුවක් දාලා, එක එක ගස් හිටවලා, වතුර පුරවලා, කොහෙන්දෝ ගප්පි ටිකක් හොයාගෙන (කඩොලානේ ජෛව විවිදත්වය පෙන්නන්න ) දාලා කොහොම හරි වැඩේ අටවගෙන. ඔන්න යන්තං පලවෙනි දවසේ ෂේප් කර ගත්තා කියමුකෝ. පහුවෙනිදා උදේ ඇවිත් බලනකොට පොලිතීන් එක හිල් වෙලා වතුර ඔක්කොම ලීක්, ගප්පි ටික පස් කඳු වලට යට වෙලා මැරිලා එකම ඛේදවාචකයයි. අක්කා ඇතුළු මාර දූතියෝ ටික ඉන්නවා නිකං නයා පැනලා ගිය නයි නටවන්නෝ ටික වගේ මූණු ටික මල ගෙවල් කරගෙන. ඔන්න ඉතින් කෙල්ලො සෙට් එකේ කඩොලානත් එහෙම්ම්මම චකබ්ලාස්.

ඔන්න එක දවසක් දුමියි අක්කයි ඉන්නවා කළුබෝවිල බස් හෝල්ට් එකේ නුගේගොඩ පැත්තට යන්න. ඒ කාලේ ඉතින් අම්මා පොකට් මනී දෙන්නෙ වෙන වෙනම නිසා තමන්ගෙ වියදම් තමං බලා ගන්න ඕනෙ. ඒ කියන්න දුමී ටිකට් ගන්නෙ දුමීට විතරයි. අක්කා ටිකට් ගන්නෙ අක්කට විතරයි. හරිම ස්වාධීනයි. ඔන්න ඉතින් අර මාරයා වැඩ කරන ජාතියේ ලංගමයක් ආවා. ඕකෙ හිටපු කොන්දා නැතිනම් බස් පළුවා මහ නාහෙට නාහන මැන්ටලයක්. මම දැකලා තියෙනවා පොර දවසක් වලියක් දාන්න ආපු එකෙක්ට ටිකට් මැෂිමෙන් ගහනවා මූණ ඤාලු වෙන්න. ඒ දවස්වල කළුබෝවිල ඉඳන් නුගේගොඩට 1.50යි. ඔන්න ඉස්සෙලාම නැග්ගෙ අක්කා. කොන්දා බෙරිහන් දෙනවා මාරු සල්ලි අරගෙන එන්න කියලා. ඔන්න අක්කා දුන්නා සල්ලි කොන්දට. පොර ඒක අතට අරගෙන හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සෙ සාක්කුවෙන් කණ්නාඩි කුට්ටමත් අරගෙන දාලා ආපහු බැළුවා. දුමිත් ඉතින් බැළුවා මොකක්ද යකෝ මෙච්චර මූ මේ බලන්නෙ කියලා. යකෝ බැලින්නම් අපේ අක්කණ්ඩි රුපියල් දහයක් දීලා, නිකං නෙමෙයි, ඒක ගිණි කූරක් සයිස් එකට පුංචිම පුංචියට රෝල් කරලා. ඔන්න අක්කත් මේක මුගේ අතට දීල බස් එක ඉස්සරහට ගියා. අර මාරු සල්ලි අරං එන්න කියලා කෑගහපු කොන්දා දැන් දාගෙන රුපියල් දහය දිග අරිනවා. ඔන්න දැන් මූට මල පැනලා, මූ දැන් ටික ටික කියවනවා නවත්තන්නෙ නැතිව. තාම මූ අර රුපියල් දහය දිග අරිනවා. දැන් අර කියවිල්ල හෙන බැනුමක් වෙලා, මුළු බස් එකම දැන් බලනවා. ඔන්න ඉතින් දුමීටත් පුළුවන් යෑ මූ අක්කට බනිනකොට කට පියාගෙන ඉන්න. ඒත් වලියට යන්නත් බැහැ මොකද දුමී දන්නව සතා කවුද කියලා. ටිකට් මැෂිමේ ඉලක්කං ටික මූණෙ එම්බෝස් කර ගන්න පුළුවං මූත් එක්ක දැන් වලියට ගියොත්. ඉතින් දුමී ස්ථානෝචිත ප්‍රඥ්ඤාව පාවිච්චි කරලා කොන්දගේ කණට කරලා මෙහෙම කිව්වා.

"ෂ්.... අංකල් කැගහන්න එපා....දන්නවද ඒ කවුද කියලා......"

දුමී දිහා ඇස් ලොකු කරලා බලලා ඔන්න කොන්දත් ඔළුව වනනවා දන්නෙ නෑ කියලා.

"ෂ්.... අංකල් ….. ඒ තමයි කළුබෝවිල දුමීගේ අක්කා......!"

දුමී බොහොම බැරෑරුම් විදිහට රහසින් වගේ කියලා දැම්මා.

ඒ කියපු විදිහට කොන්ද නම් හිතුවෙ කළුබෝවිල දුමී කියන්න හරියට අර මරු සිරා වගේ මැර ඩයල් එකක් කියලා එහෙම්මම සද්දේ වහ ගත්තා.

ඔන්න ඊට පස්සෙ බබා මූනක් දාගෙන ඔළුව පාත් කරගෙන අක්කා ලඟටම ගිහිල්ලා ටිකට් එකයි ඉතුරු සල්ලියි දුන්නා.

කොන්දා දන්නවනම් කළුබෝවිල දුමී තමයි මේ උගේ ඉස්සරහා ඉන්නෙ කියලා, පොර ඒ වෙලාවෙම දුමීව රෝල් කරලා ටිකට් මැෂිමෙ ඇතුලට දානවා ටිකට් රෝල වෙනුවට.

ඒ සීන් එක එහෙම ෂේප් කරා කියමුකෝ, හොඳම හරිය තියෙන්නෙ ඊට පස්සෙ. දුමීගේ අක්ක එදායින් පස්සෙ බලන් ඉඳලා බලන් ඉඳලා අර බස් එකේම තමයි යන්නෙ. මොකද කොන්දා එදායින් පස්සෙ කවදාවත් අක්කාගෙන් සල්ලි ගත්තෙ නෑ.

දුමී බබා කාලේ - චීන දත්, බඳින තැන

Posted by දුමී

ඔන්න දැන් ඉතින් දුමී බබා කාලේ වෙච්චි දේවල් පෝලිමට මතක් වෙනවා. දුමී බබා කාලේ එක එක ප්‍රදේශ වල තමයි හිටියේ. ඒ අතරෙ මතකයේ තියෙන්නෙ කල්පිටිය, මතුගම, කළුබොවිල වගේ ප්‍රදේශ තමයි. දුමී ඉපදිලා තියෙන්නෙ කළුබොවිල මහා ඉස්පිරිතාලේ ( ඉස්සර ඒකට කියල තියෙන්නෙ එහෙමයි, දැන් තමයි ශික්ෂණ රෝහල කියන්නෙ ) . පස්සෙ රට වටේ, බබා කාලේ ගත කරලා කළුබොවිල ඒ කියන්නෙ අපේ ආත්තම්මගේ ගම් පාලාතෙ තමයි ස්ථිර පදිංචිය සිද්ධ උනේ.

ඉතින් ඔය දවස්වල අම්මගේ හරි ආත්තම්මගේ, එහෙම නැතිනම් නැන්ද කෙනෙක්ගෙ, එහෙමත් නැත්නම් පුංචි කෙනෙක්ගේ අතේ එල්ලිලා නුගේගොඩ සුපර් මාකට් එකට හරි නැතිනම් නුගේගොඩ පොළට යන එක දුමීගෙ සුලභ චර්යාවක් වෙලා තමයි තිබුනේ.ඔහොම යමින් ගමන දකින දෙයක් තමයි නුගේගොඩ සුපර් මාකට් එක ඉස්සරහා ගැමුණු ස්ටූඩියෝ එකේ වීදුරු පෙට්ටිය ඇතුලෙ දාල තිබුනු මනමාලියෙක්ගෙ තඩි කටවුට් එක. බබා කාලේ දෙහි ගෙඩි දෙකක් තරමටවත් උස නැති දුමීට ඒකෙ හිටියේ නම් තඩිම තඩි මනමාලියෙක්. අනික ඒකෙ හිටපු මනමාලිත් දත් තිස්දෙකම එලියට දාගෙන තමා හිටියේ. තව හිටපු ගමන් දුමී දකිනවා කාර්වලින් බැහැලා මනමාලියෝ ඕක ඇතුලට රිංගනවා. හිටපු ගමන් මනමාලියෝ දෙතුන් දෙනා රිංගපු වෙලාවල් දැකලා තිබුනා. ඉතින් මොකක්ද මේ බැඳිල්ල කියලවත් කිසිම වගක් විභාගයක් නොතිබුනු දුමීට මෙතන මේ මොකක්ද වෙන්නෙ කියලා ලොකු කුතුහලයක් එක්කම ප්‍රශ්න වැලකුත් තිබුනා. ඕක තව තවත් බරපතල ප්‍රශ්නයක් කරපු දෙයක් උනේ, ඔය ගැමුණු ස්ටූඩියෝ එකටම අල්ලපු බිල්ඩිමේ උඩ තට්ටුවේ ගහල තිබුනු බෝඩ් එකක් නිසා. බැලූ බැල්මට පේන්නෙ ඒක නිකන් ගැමුණු ස්ටූඩියෝ එකේම උඩ තට්ටුවේ වගේ තමයි. ඒකෙ තඩි දත් ඇන්දකුත් එක්ක දාල තිබුනා මෙන්න මෙහෙම,

"චීන දත් බඳින තැන...." කියලා.

ඔන්න ඔතැනදි තමයි දුමීට උහතකෝටික ප්‍රශ්නයකට මුහුන පාන්න උනේ. කසාද බැඳිල්ල මොකක්ද කියලා ලොකු එක්කෙනෙක්ගෙන් අහන්න ගිහිල්ල "පැහිච්ච කතා අහන්නෙ නැතිව ඉන්නවා...." කියලා දුමී බැනුම් අහලත් ඒ වෙනකොට වැඩි දවසකුත් ගිහිල්ලා තිබුනේ නෑ. ඒ අස්සෙ මෙන්න බොලේ චීන දත් බැඳිල්ලකුත් තියෙනවා.ඉතින් ඔහොම ඉඳලා තමයි බැරිම තැන දුමී ප්‍රශ්නය අත ඇරියේ අම්මට,

"අම්මේ, කවුද අම්මේ චීන දත් බඳින්නෙ ? ලංකාවෙ දතුත් බඳිනවද ......?"

ඒකට උත්තරයක් හම්බ උනාද කියල නම් මතක නැහැ.

ඉතින් ඔන්න ඔහොම එක එක්කෙනාගෙන් අහලා අහලා ප්‍රශ්නෙට හරි හමන් උත්තරයක් ලැබුනේ නැති නිසා දුමීම තියරිය හදාගත්තා හරිම අමාරුවෙන්.

"දැන් මේ මනමාලියෝ නම් මේකට රිංගන්නෙ දත් බඳින්න...."
"එහෙම බැඳපු චීන දත් සෙට් එක එලියේ දාගෙන තමයි අර ෆොටෝ එක අරගන්නෙ....."
"එතකොට තියෙන දත් සෙට් එක ?"
"ඒක ගලෝනවා......."

තියෙන දත් සෙට් එක ගලෝනවා ඇති කියලා හිතිච්ච හේතුව තමා, දුමී දවසක් දැකල තිබුනා මනමාලියෙක් හෝ ගාල අඬ අඬා ස්ටූඩියෝ එකට රිංගනවා. ඒ තියෙන දත් සෙට් එක ගලෝනවට තියෙන බයේ තමයි ඒ.

අනේ ඉතින් ඔහොම ටික දවසක් ඉන්න කොට තමයි දුමීගෙ අම්මා දුමීවයි, අක්කවයි, නංගිවයි අරගෙන ගැමුණු ස්ටූඩියෝ එකට ගියේ. දොරෙන් ඇතුළු වෙනකන්ම අම්මා මුකුත් කිව්වෙ නෑ. දොරෙන් ඇතුළු වෙනකොට වගේ තමා දුමීට මහම මහා භයංකාර සිතිවිලි පහල උනේ. මේ නම් යන්නෙ හොඳකට නෙමෙයි කියලා දුමීට ටික ටික හිතිලයි තිබුනේ.

ඉතින් ස්ටූඩියෝ එකේ පල්ලෙහා හිටපු අංකල් කෙනෙකුත් එක්ක කතා කරලා අම්මා දුමීව අරගෙන අර ලණු පැදුරක් දාල තිබුනු ලී තරප්පුව නගින්න හදන කොට තමා දුමීට තරු වීසි උනේ.

"අනේ අම්මේ.... මට බඳින්න බැරියෝ...!" දුමී අර ලණු කාපට් එකේ බිම දිගාවෙලා ඒකෙ එල්ලිලා දෙනවා දැන් බැස්ටිය....

තක්කු මුක්කු වෙච්ච අම්මා කියනවා ඒ පාර, "පිස්සුද ළමයෝ අපි මේ ෆොටෝ එකක් ගන්න යන්නෙ...."

"නෑ නෑ... ඔය බොරු කියන්නෙ....මම දන්නවා ඔය යන්නෙ මගේ දත් ගලවලා චීන දත් දාන්න......මට චීන දත් එපෝ....!"

"පිස්සුද මේ ළමයට, මොන චීන දත්ද ? ෆොටෝ එකක් ගන්න යන්නෙ. ඒක රිදින්නෙ නෑ....."

කොච්චර කිව්වත් අම්මා කියන ඒවා දුමී දැන් සත පහකට ගනන් ගන්නෙ නැහැ... ඔහොම ඔය විදිහට රිදෙන්නෙ නෑ කියලා තමයි දැනට ටික දවසකට කලිනුත් අම්මා දුමීව ඩොක්ටර් අංකල් ගාවට අරගෙන ගිහිල්ල පස්ස පැත්තට ඉන්ජෙක්ශන් එකක් ගැහුවෙත්. ඉතින් කොහොමද අම්ම කියන මේ කතාව විශ්වාස කරන්නෙ ?මොනවා කලත් ඔය තරප්පුවෙන්නම් උඩට නගින්නෙ නෑ කියලා තමයි දුමී අධිෂ්ඨාන කරගෙන හිටියේ.

ඒත් ඉතින් මෙච්චර වෙලා ගහපු කලාබරේ වැරදිදෝ කියලා දුමීට හිතුනේ ටික වෙලාවකට පස්සෙ කිසිම බයක් සැකක් නැතිව උඩට ගිහිල්ලා ආපහු හිනා වෙවී පල්ලෙහාට බහින අක්කවයි නංගිවයි දැක්කහම තමයි. ඊට පස්සෙ තමයි දුමීට හිතුනේ දුමීගෙ තියරිය වැරදි වෙන්න ඇති කියලා. කොහොමත් අරෙහෙම අඬන කොට අම්මා පොරොන්දු වෙලා තිබුනා ෆොටෝ එක ගන්න දුන්නොත් අයිස්ක්‍රීම් දාපු ෆලූඩා අරගෙන දෙනවා කියලා. දුමීගෙ අක්කා තමයි ඒ අදහස අම්මගේ ඔළුවට දැම්මෙ මොකද දුමීටත් වඩා ෆලූඩා වලට ආසා එයා හින්දා. ඉතින් මේ ෆලූඩා පෙරේත කමත් එක හේතුවක් දුමීව කූල් ඩවුන් වෙන්න.

ඔන්න දැන් ඉතින් දුමී හිතන්න ගත්තා, බැරිවෙලාවත් හදිසියේ බැන්දුවත්, චීන දත් සෙට් එකක් දැම්මත් අයිස්ක්‍රීම් දාපු ෆලූඩා එකක් හම්බ වෙනවනේ, ඒක වඩා වටිනවනේ කියලා.

පස්සෙ දුමී තීරණය කලා අයිස්ක්‍රීම් දාපු ෆලූඩා එකට කැමති වෙන්න.

එහෙම කැමති වෙලා ගත්ත පිංතූරෙ තමයි ඔය යටින් තියෙන්නෙ.

මේක ගත්තෙ 1980 මුල කාලෙදි. ඔය ඇල්බම් එකක දාල තිබිලා ටිකක් සවුත්තු වෙලා.



දුමී බබා කාලේ - ඉබ්බා දියේ දැමීම

Posted by දුමී

අර මම නෝටි බබාලගේ කතාව ලියන්න ගත්තහම තමා මතක් උනේ මමත් බොලේ බබෙක් වෙලා හිටියනේ කියලා දැනට අවුරුදු බර ගානකට කලින්. දුමීගේ බබා කාලෙ කතාත් සෑහෙන්න ඔන්න මගේ ඔළුවට එන්න පටන් ගත්තා එක පස්සෙ එක. අනේ මන්දන්නෙ නෑ ඒ කතා නං එක පෝස්ට් එකක් දාල ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා.

දුමී නං අහලා තියෙන විදිහට දුමී බබා කාලේ, තාර පීප්පයක් වගේ කළුයිලු, ඒවගේම කොටයි මහතයිලු. හැබැයි දුමී නම් ඔය රට්ටු කියන කතා ගනන් ගන්නෙ නැහැ. දුමීට මතක විදිහට දුමී තමා අම්මිගේ සුදු පුතා. ඇයි යකෝ දුමීගෙ අක්කත් සුදුම සුදු පාටයි, දුමීට පස්සෙ ආපු දුමීගෙ නංගිටත් කට්ටිය කිව්වෙ "කිරි බෝලෙ" කියලා මොකද එයා එච්චරටම සුදුයි. ඉතින් කොහොමද දුමී විතරක් කළු වෙන්නෙ ? හැබැයි අම්මා නම් මල පැනපු වෙලාවට කියන්නෙ, "මූ නම් ඉස්පිරිතාලේ මගේ ඇඳ ගාව හිටපු දෙමළ ගෑනිගෙ ළමයාද කොහෙද, මට මාරුවෙලා ඇවිල්ල තියෙන්නෙ" කියලා. ඒ ඉතින් දුමී ඉඳල හිටල කරන නසරාණි වැඩ දරාගන්න බැරිවෙච්චි වෙලාවට තමයි. පස්සෙ කාලෙකදි දුමීගෙ මල්ලිවත් හම්බ උනාට පස්සෙ තමයි දුමීට තේරුම් ගියේ හපොයි, මමත් මූ වගේ කැත ඇති නේද කියලා.

දුමීගෙ මතකේ තියෙන පළවෙනි නසරාණි වැඩේ වෙනකොට දුමීට අවුරුදු දෙකහමාරක් විතර වෙන්න ඕනෙ. මොකද ඒ වෙනකොට දුමීට වඩා අවුරුදු තුනක් බාල නංගි මේ ලෝකෙට ඇවිල්ලා හිටියේ නෑ. අම්මගෙ බඩත් එයාව හම්බවෙන්න තරම් ලොකු වෙලා තිබුනේ නෑ කියලා වගේ තමයි දුමීට මතක. ඒ වගේම මේ සිද්ධිය ගලේ කෙටුවා වගේ දුමීගෙ හිතේ කෙටිලා තියෙනවා හරියට ෆිල්ම් එකක ජවනිකාවක් වගේ.

මේකට හැබැයි දුමීටත් වඩා දායකත්වය දුන්නෙ දුමීට වඩා අවුරුදු දෙකක් වැඩිමල් දුමීගේ අක්කා තමයි. මේ සිද්ධිය වෙනකොට දුමීලා පදිංචි වෙලා හිටියේ කල්පිටියේ නේවි ක්වාටස් වල. මොකද දුමීගෙ තාත්තා ඔය නැව් හමුදාවෙ නිලධාරියෙක් විදිහට කල්පිටිය කෑම්ප් එකේ තමයි වැඩ කලේ ඒ කාලෙ. මතක විදිහටනම් ඒ ක්වාටස් වල මිදුලේ තිබුනේ සුදුම සුදු පාට වැල්ලක්. වත්තට ටිකක් එහායින් ලොකු ලිඳක් තිබුනා ලොකු සිමෙන්ති කණ්ඩියකින් වට කරපු. ලිඳ ගැඹුරුද නැද්ද කියල නම් දන්නෙ නෑ, මොකද ලිඳට එබෙන්න බැරි තරම් ලිං කණ්ඩිය උසයි වගේ තමා මතක.

දුමීගෙ අම්මා නම් කියන විදිහට දුමී ඒ කාලේ අඳින්නෙ ඉනෙන් උඩට විතරයිලු. යට කෑල්ල වැහෙන්න ඇඳුමක් අන්ඳවන්න පුළුවන් වෙන්නෙ කොහෙ හරි ගමනක් එක්ක යනකොට විතරම්යිලු. ඉතින් කොයි වෙලාවෙත් ඝාන්ටාර පූජාවක් එහෙම කර කර එහෙ මෙහෙ දුවන එකමලු වැඩේ. අම්මා කියන විදිහට ඔහොම සෙල්ලං කර කර ඉන්නකොට එකපාරටම දුමී, මිසින් ඉන් ඇක්ෂන් වෙනවලු. ඉතින් අම්මා බයවෙලා හොයනකොට දුමී ඉන්නවලු පාරෙ ටිකක් ඈතින් තියෙන "හඳ මාමගෙ" කඩේ බංකුවකට වෙලා "හඳ මාමා" දීපු මුරුක්කුවකුත් කකා. ඉතින් අම්මා කරන්නෙ ගිහින් ආපහු කනෙන් ඇදගෙන එන එකලු. ඒ උනාට ආපහු පහුවෙනිදත් දුමී දුවන්නෙ හඳ මාමගේ කඩේටමලු. දැන් උනත් දුමීට හඳ පේනකොට මුරුක්කු මතක් වෙනවා.

ඉතින් මේ කියන දවසෙත් දුමී සහ අක්කා මහා බැරෑරුම් විදිහට මිදුලේ සෙල්ලම් කර කර තමයි හිටියේ. ඔන්න ඉතින් මිදුලේ එහේ මෙහේ දුව දුව ඉන්නකොට එකපාරටම අක්කා කෑ ගහන්න ගත්තා මල්ලි මල්ලි, ගෙම්බෙක් ගෙම්බෙක් කියලා. දුමිත් ඉතින් දුවලා ගිහින් බැළුවා මොකාද මේ ගෙම්බා කියලා.මේ ඉන්නෙ බොලේ ගෙම්බා කටුව අස්සට රිංගගෙන. ඇත්තටම මොකෙක්ද මේ දුමීටයි අක්කටයි හම්බ උනේ? තඩි ඉබ්බෙක්. අක්කට ඉතින් මේ ඉබ්බවයි ගෙම්බවයි පැටලිලා. දුමී දන්නවැයෑ ඉතින් ගෙම්බෙකුගෙයි ඉබ්බෙකුගෙයි වෙනස. අක්කා කිව්වොත් මූ ගෙම්බෙක් කිහලා, දුමීටත් ඉතින් ඌ ගෙම්බම තමා.

දුමීට මතක විදිහට නම් මේ ඉබ්බා දුමීටත් වඩා ලොකු එකෙක්. මූව හම්බ උනේ අර තල් කොල වලින් හදපු වැට අයිනේ ඉඳලා තමයි. ඉතින් ටික ටික මූ වැට අස්සට යන්න හදනකොට අක්කයි දුමියි එකතු වෙලා මූව ආපහු තල්ලු කරගෙන එනවා මිදුල මැදට. ඉබ්බා ඉතින් කටුව ඇතුලට රිංගුවාම හරියට බෝට්ටුවක් වගේ, සුදුම සුදු වැල්ල දිගේ තල්ලු කරන්න ලේසියි.

ඔහොම සෙල්ලං කර කර ඉන්නකොට තමයි ඔතනින් ගිය කවුරු හරි කිව්වේ ඉබ්බගේ පිටේ ඉටි පන්දමක් ගහන්න කියලා. ඒ කිව්ව එක්කෙනාමද කොහෙද (හරියටම මතක නෑ ) ඉටි පන්දමක් පත්තු කරගෙන ඇවිල්ල ගැහැව්වා අර ඉබ්බගේ පිටේ. දුමීටයි අක්කටයි දැන් හරිම සතුටුයි. දැන් ඇවිදින පහනක් වගේ, ඉබ්බා ඉටි පන්දමත් පත්තු කරගෙන මිදුල පුරාම යනවා. ඔහොම ටික වෙලාවකට පස්සෙ තමයි අම්මා දැක්කෙ දුමියි අක්කයි එකතු වෙලා මේ ඉබ්බට දෙන වදේ. ඉතින් ඔන්න අම්මත් කෑගහල කිව්වා,

"අනේ ළමයිනේ ඔය ඉබ්බට වතුරකට යන්න දෙන්න, ඌට තිබහත් ඇති...." කියලා.

ඒත් ඉතින් මොන හිතකින් යන්න දෙන්නද ? ජීවිතේට ලැබුනු හොඳම සෙල්ලම් බඩුවට. ඒත් ඉතින් දැන් අක්කටත් දුකයි මේ ගැන. එයා කියනවා,

"මල්ලි, පව් මේ ගෙම්බා, උදේ ඉඳන් අපිත් එක්ක සෙල්ලං කරලා ගොඩක් මහන්සිත් ඇති. තිබහත් ඇති. අපි මූට වතුරට යන්න අරිමු. "

ඒත් ඉතින් කොහෙ තියෙන වතුරක්ද ? අක්කයි දුමියි දන්නෙ නේවි කෑම්ප් එක ඇතුලේ තියෙන මුහුදයි වත්තෙ පල්ලෙහා තියෙන ලිඳයි විතරයි. කොහොමත් ඒ කාලේ අක්කා කියන ඕනෙම දේකට දුමිත් රෙඩි නිසා අකමැත්තෙන් උනත් (ඇත්තටම් මතක නෑ කැමති උනාද අකමැති උනාද කියලා ) දුමිත් ඉබ්බව වතුරට යන්න දෙන්න කැමති උනා. දැන් කොහාටද ඉබ්බව දාන්නෙ ? මුහුදට දාන්න යන්න නම් දුර වැඩියි. තාත්තටත් අහුවෙන්නත් පුළුවන් කෑම්ප් එක ඇතුලෙන් යනකොට. එකම විසඳුම තමා ඉතින් ලිඳ.

ඔන්න ඉතින් දෙන්නත් එක්කම බැරි බැරි ගාතේ සැරින් සැරේ බිම තිය තියා ඉබ්බව දෙපැත්තෙන් උස්සගෙන ගිහිල්ලා අමාරුවෙන් ලිං ගැට්ට උඩින් තිබ්බා. අනේ අර ඉටි පන්දං කොටෙත් තාම ඉබ්බගේ පිටේ (පත්තු වෙනවද නිවිලද කියලා නම් මතක නෑ ). ඔන්න ඊට පස්සෙ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා අක්කා තල්ලු කලේ නැද්ද ඉබ්බව ලිඳට. තල්ලු කරලත් ටික වෙලාවකට පස්සෙ තමයි "ජබොහ්" ගානවා ඇහුනේ. (දැන් තමයි හිතෙන්නෙ ලිඳ කොච්චර ගැඹුරු ඇතිද කියලා ). අනේ ඉතින් දුමියි අක්කයි හරි සන්තෝසෙන් ගෙදරට දුවලා අම්මට කිව්වා අපි දෙන්න ඉබ්බව ලිඳට දැම්මා කියලා. අම්මා "අනේ අපොයි" කියලා කම්මුලට අත් දෙක තියාගෙන පුටුවෙ ඉඳ ගත්තෙ ඇයි කියලා නම් තේරුනේ නෑ...

මං හිතන්නෙ තාමත් ඒ ඉබ්බා ඒ ලිඳේ ඉන්නවා ඇති...... දැන් සමහර විට දරු මල්ලොත් ඇති.... කළුවරට පත්තු කරගන්න ඉටි පන්දමකුත් තියෙනවනේ.

දැන් උනත් දුමීට ඉබ්බෙක් දකින දකින වාරයක් පාසා හිතෙන්නෙ ඌව ගිහිල්ල වතුරකට දාන්න ඕනෙ කියලමයි.





ප.ලි: සමහර විට ඕක දැකපු කවුරු හරි තමයි අර උපමාව හදල තියෙන්නෙ,

"ඉබ්බා දියේ දාන්නද ඇහුවහම, (ඉබ්බා ) දැන් නෑවේ කිව්වලු !!"

Related Posts with Thumbnails