දුමී බබා කාලේ - ඉබ්බා දියේ දැමීම

Posted by දුමී

අර මම නෝටි බබාලගේ කතාව ලියන්න ගත්තහම තමා මතක් උනේ මමත් බොලේ බබෙක් වෙලා හිටියනේ කියලා දැනට අවුරුදු බර ගානකට කලින්. දුමීගේ බබා කාලෙ කතාත් සෑහෙන්න ඔන්න මගේ ඔළුවට එන්න පටන් ගත්තා එක පස්සෙ එක. අනේ මන්දන්නෙ නෑ ඒ කතා නං එක පෝස්ට් එකක් දාල ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා.

දුමී නං අහලා තියෙන විදිහට දුමී බබා කාලේ, තාර පීප්පයක් වගේ කළුයිලු, ඒවගේම කොටයි මහතයිලු. හැබැයි දුමී නම් ඔය රට්ටු කියන කතා ගනන් ගන්නෙ නැහැ. දුමීට මතක විදිහට දුමී තමා අම්මිගේ සුදු පුතා. ඇයි යකෝ දුමීගෙ අක්කත් සුදුම සුදු පාටයි, දුමීට පස්සෙ ආපු දුමීගෙ නංගිටත් කට්ටිය කිව්වෙ "කිරි බෝලෙ" කියලා මොකද එයා එච්චරටම සුදුයි. ඉතින් කොහොමද දුමී විතරක් කළු වෙන්නෙ ? හැබැයි අම්මා නම් මල පැනපු වෙලාවට කියන්නෙ, "මූ නම් ඉස්පිරිතාලේ මගේ ඇඳ ගාව හිටපු දෙමළ ගෑනිගෙ ළමයාද කොහෙද, මට මාරුවෙලා ඇවිල්ල තියෙන්නෙ" කියලා. ඒ ඉතින් දුමී ඉඳල හිටල කරන නසරාණි වැඩ දරාගන්න බැරිවෙච්චි වෙලාවට තමයි. පස්සෙ කාලෙකදි දුමීගෙ මල්ලිවත් හම්බ උනාට පස්සෙ තමයි දුමීට තේරුම් ගියේ හපොයි, මමත් මූ වගේ කැත ඇති නේද කියලා.

දුමීගෙ මතකේ තියෙන පළවෙනි නසරාණි වැඩේ වෙනකොට දුමීට අවුරුදු දෙකහමාරක් විතර වෙන්න ඕනෙ. මොකද ඒ වෙනකොට දුමීට වඩා අවුරුදු තුනක් බාල නංගි මේ ලෝකෙට ඇවිල්ලා හිටියේ නෑ. අම්මගෙ බඩත් එයාව හම්බවෙන්න තරම් ලොකු වෙලා තිබුනේ නෑ කියලා වගේ තමයි දුමීට මතක. ඒ වගේම මේ සිද්ධිය ගලේ කෙටුවා වගේ දුමීගෙ හිතේ කෙටිලා තියෙනවා හරියට ෆිල්ම් එකක ජවනිකාවක් වගේ.

මේකට හැබැයි දුමීටත් වඩා දායකත්වය දුන්නෙ දුමීට වඩා අවුරුදු දෙකක් වැඩිමල් දුමීගේ අක්කා තමයි. මේ සිද්ධිය වෙනකොට දුමීලා පදිංචි වෙලා හිටියේ කල්පිටියේ නේවි ක්වාටස් වල. මොකද දුමීගෙ තාත්තා ඔය නැව් හමුදාවෙ නිලධාරියෙක් විදිහට කල්පිටිය කෑම්ප් එකේ තමයි වැඩ කලේ ඒ කාලෙ. මතක විදිහටනම් ඒ ක්වාටස් වල මිදුලේ තිබුනේ සුදුම සුදු පාට වැල්ලක්. වත්තට ටිකක් එහායින් ලොකු ලිඳක් තිබුනා ලොකු සිමෙන්ති කණ්ඩියකින් වට කරපු. ලිඳ ගැඹුරුද නැද්ද කියල නම් දන්නෙ නෑ, මොකද ලිඳට එබෙන්න බැරි තරම් ලිං කණ්ඩිය උසයි වගේ තමා මතක.

දුමීගෙ අම්මා නම් කියන විදිහට දුමී ඒ කාලේ අඳින්නෙ ඉනෙන් උඩට විතරයිලු. යට කෑල්ල වැහෙන්න ඇඳුමක් අන්ඳවන්න පුළුවන් වෙන්නෙ කොහෙ හරි ගමනක් එක්ක යනකොට විතරම්යිලු. ඉතින් කොයි වෙලාවෙත් ඝාන්ටාර පූජාවක් එහෙම කර කර එහෙ මෙහෙ දුවන එකමලු වැඩේ. අම්මා කියන විදිහට ඔහොම සෙල්ලං කර කර ඉන්නකොට එකපාරටම දුමී, මිසින් ඉන් ඇක්ෂන් වෙනවලු. ඉතින් අම්මා බයවෙලා හොයනකොට දුමී ඉන්නවලු පාරෙ ටිකක් ඈතින් තියෙන "හඳ මාමගෙ" කඩේ බංකුවකට වෙලා "හඳ මාමා" දීපු මුරුක්කුවකුත් කකා. ඉතින් අම්මා කරන්නෙ ගිහින් ආපහු කනෙන් ඇදගෙන එන එකලු. ඒ උනාට ආපහු පහුවෙනිදත් දුමී දුවන්නෙ හඳ මාමගේ කඩේටමලු. දැන් උනත් දුමීට හඳ පේනකොට මුරුක්කු මතක් වෙනවා.

ඉතින් මේ කියන දවසෙත් දුමී සහ අක්කා මහා බැරෑරුම් විදිහට මිදුලේ සෙල්ලම් කර කර තමයි හිටියේ. ඔන්න ඉතින් මිදුලේ එහේ මෙහේ දුව දුව ඉන්නකොට එකපාරටම අක්කා කෑ ගහන්න ගත්තා මල්ලි මල්ලි, ගෙම්බෙක් ගෙම්බෙක් කියලා. දුමිත් ඉතින් දුවලා ගිහින් බැළුවා මොකාද මේ ගෙම්බා කියලා.මේ ඉන්නෙ බොලේ ගෙම්බා කටුව අස්සට රිංගගෙන. ඇත්තටම මොකෙක්ද මේ දුමීටයි අක්කටයි හම්බ උනේ? තඩි ඉබ්බෙක්. අක්කට ඉතින් මේ ඉබ්බවයි ගෙම්බවයි පැටලිලා. දුමී දන්නවැයෑ ඉතින් ගෙම්බෙකුගෙයි ඉබ්බෙකුගෙයි වෙනස. අක්කා කිව්වොත් මූ ගෙම්බෙක් කිහලා, දුමීටත් ඉතින් ඌ ගෙම්බම තමා.

දුමීට මතක විදිහට නම් මේ ඉබ්බා දුමීටත් වඩා ලොකු එකෙක්. මූව හම්බ උනේ අර තල් කොල වලින් හදපු වැට අයිනේ ඉඳලා තමයි. ඉතින් ටික ටික මූ වැට අස්සට යන්න හදනකොට අක්කයි දුමියි එකතු වෙලා මූව ආපහු තල්ලු කරගෙන එනවා මිදුල මැදට. ඉබ්බා ඉතින් කටුව ඇතුලට රිංගුවාම හරියට බෝට්ටුවක් වගේ, සුදුම සුදු වැල්ල දිගේ තල්ලු කරන්න ලේසියි.

ඔහොම සෙල්ලං කර කර ඉන්නකොට තමයි ඔතනින් ගිය කවුරු හරි කිව්වේ ඉබ්බගේ පිටේ ඉටි පන්දමක් ගහන්න කියලා. ඒ කිව්ව එක්කෙනාමද කොහෙද (හරියටම මතක නෑ ) ඉටි පන්දමක් පත්තු කරගෙන ඇවිල්ල ගැහැව්වා අර ඉබ්බගේ පිටේ. දුමීටයි අක්කටයි දැන් හරිම සතුටුයි. දැන් ඇවිදින පහනක් වගේ, ඉබ්බා ඉටි පන්දමත් පත්තු කරගෙන මිදුල පුරාම යනවා. ඔහොම ටික වෙලාවකට පස්සෙ තමයි අම්මා දැක්කෙ දුමියි අක්කයි එකතු වෙලා මේ ඉබ්බට දෙන වදේ. ඉතින් ඔන්න අම්මත් කෑගහල කිව්වා,

"අනේ ළමයිනේ ඔය ඉබ්බට වතුරකට යන්න දෙන්න, ඌට තිබහත් ඇති...." කියලා.

ඒත් ඉතින් මොන හිතකින් යන්න දෙන්නද ? ජීවිතේට ලැබුනු හොඳම සෙල්ලම් බඩුවට. ඒත් ඉතින් දැන් අක්කටත් දුකයි මේ ගැන. එයා කියනවා,

"මල්ලි, පව් මේ ගෙම්බා, උදේ ඉඳන් අපිත් එක්ක සෙල්ලං කරලා ගොඩක් මහන්සිත් ඇති. තිබහත් ඇති. අපි මූට වතුරට යන්න අරිමු. "

ඒත් ඉතින් කොහෙ තියෙන වතුරක්ද ? අක්කයි දුමියි දන්නෙ නේවි කෑම්ප් එක ඇතුලේ තියෙන මුහුදයි වත්තෙ පල්ලෙහා තියෙන ලිඳයි විතරයි. කොහොමත් ඒ කාලේ අක්කා කියන ඕනෙම දේකට දුමිත් රෙඩි නිසා අකමැත්තෙන් උනත් (ඇත්තටම් මතක නෑ කැමති උනාද අකමැති උනාද කියලා ) දුමිත් ඉබ්බව වතුරට යන්න දෙන්න කැමති උනා. දැන් කොහාටද ඉබ්බව දාන්නෙ ? මුහුදට දාන්න යන්න නම් දුර වැඩියි. තාත්තටත් අහුවෙන්නත් පුළුවන් කෑම්ප් එක ඇතුලෙන් යනකොට. එකම විසඳුම තමා ඉතින් ලිඳ.

ඔන්න ඉතින් දෙන්නත් එක්කම බැරි බැරි ගාතේ සැරින් සැරේ බිම තිය තියා ඉබ්බව දෙපැත්තෙන් උස්සගෙන ගිහිල්ලා අමාරුවෙන් ලිං ගැට්ට උඩින් තිබ්බා. අනේ අර ඉටි පන්දං කොටෙත් තාම ඉබ්බගේ පිටේ (පත්තු වෙනවද නිවිලද කියලා නම් මතක නෑ ). ඔන්න ඊට පස්සෙ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා අක්කා තල්ලු කලේ නැද්ද ඉබ්බව ලිඳට. තල්ලු කරලත් ටික වෙලාවකට පස්සෙ තමයි "ජබොහ්" ගානවා ඇහුනේ. (දැන් තමයි හිතෙන්නෙ ලිඳ කොච්චර ගැඹුරු ඇතිද කියලා ). අනේ ඉතින් දුමියි අක්කයි හරි සන්තෝසෙන් ගෙදරට දුවලා අම්මට කිව්වා අපි දෙන්න ඉබ්බව ලිඳට දැම්මා කියලා. අම්මා "අනේ අපොයි" කියලා කම්මුලට අත් දෙක තියාගෙන පුටුවෙ ඉඳ ගත්තෙ ඇයි කියලා නම් තේරුනේ නෑ...

මං හිතන්නෙ තාමත් ඒ ඉබ්බා ඒ ලිඳේ ඉන්නවා ඇති...... දැන් සමහර විට දරු මල්ලොත් ඇති.... කළුවරට පත්තු කරගන්න ඉටි පන්දමකුත් තියෙනවනේ.

දැන් උනත් දුමීට ඉබ්බෙක් දකින දකින වාරයක් පාසා හිතෙන්නෙ ඌව ගිහිල්ල වතුරකට දාන්න ඕනෙ කියලමයි.





ප.ලි: සමහර විට ඕක දැකපු කවුරු හරි තමයි අර උපමාව හදල තියෙන්නෙ,

"ඉබ්බා දියේ දාන්නද ඇහුවහම, (ඉබ්බා ) දැන් නෑවේ කිව්වලු !!"

61 comments :

  1. ඉබ්බා වතුරට දැම්මම පින් දීලා ඇති කරදර කරපුවා අමතක කරලා.
    අද උදෙන්ම ලේ පිරිසිදු කරලා දුමී පින් ලබාගත්තා.

    ReplyDelete
  2. දුමී නං අහලා තියෙන විදිහට දුමී බබා කාලේ, තාර පීප්පයක් වගේ කළුයිලු, ඒවගේම කොටයි මහතයිලු.

    දැන් කියලත් වැඩි වෙනසක් තියෙනවද දුමියා... ඒ කාලේ කලයක් වගේ බඩක් තිබ්බද කියලා අම්මා කියලා නැද්ද?

    ReplyDelete
  3. @ගල්මල්-Coral,
    එහෙමවත් පිනක් දහමක් කර ගත්තෙ නැත්තන්, වෙන පින් කරන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නැහැනෙ මචං. ස්තූතියි උදෙන්ම ඇවිත් කරපු දිරිමත් කිරීමට.

    @අභීත ,
    හපොයි ඉතින් මොනවා කරන්නද අභියෝ, උපන් කැත අරින්න බැහැනෙ.

    උඹලත් ඉතින් මඩක් ගහන්න පුලුවන් පොයින්ට් එකක් අල්ල ගන්නවා ඇරෙන්න මෙච්චර මේ ආදර්ශවත් කතාවෙන් ජීවිතේට යමක් එකතු කරගන්න බලන්නෙ නැහැනෙ... :)

    ReplyDelete
  4. වටපිටාවෙ හැටියට ඕකා තරු ඉබ්බෙක්.. ඔවුන් ජීවිතේට වතුරට යන්නෙ නෑ!! ඔය පල දීලා තියෙන්නෙ ඔහෙට, දිට්ට දම්ම වේදනීයව.. අරාබි හන්දියෙ..!!! ;-)

    ReplyDelete
  5. @Dee,
    ඉබ්බවයි ගෙම්බවයි අඳුරන්නෙ නැති ඒ කාලේ, තාරකා ඉබ්බෙක්ව කොහොම කියලා අඳුරන්නද ? ඇරත් කවුද අප්පේ දන්නෙ තාරකා ඉබ්බො වතුරෙ ඉන්නෙ නෑ කියලා. දැන් අහුවුනත් ට්‍රයි කරලා කොහොම හරි වතුරකට දාන්නම තමා හිතෙන්නෙ... හැබැයි අර දිට්ඨ ධම්ම වේදනීය කර්මයනම් හරිම තමා....!

    ReplyDelete
  6. හොඳට හිනා වුනා කාලෙකට පස්සෙ...අනේ අම්මපා මුන්ගෙ ඇට්ටර කම් වල සීමාවක් නැනෙ..මොකො දැන් කියලත් අඩුවක් යැ..

    ReplyDelete
  7. හෆොයි . . .

    උඹ එහෙනම් නසරානි වැඩ ඒ කාලේ ඉඳන්ම කරගෙන ඇවිත් හහ් . .

    "Dee" ඉතිං "වෙටී" නේ . . හරියටම හොයා ගත්තා ගෙම්බගේ වර්ගේ . . හික් හික්

    එයා කිව්ව එක තමයි නියම එක

    "ඔය පල දීලා තියෙන්නෙ ඔහෙට, දිට්ට දම්ම වේදනීයව.. අරාබි හන්දියෙ..!!! ;-)"

    ReplyDelete
  8. ඉබ්බා ළිදේ නොදා මුහුදටනෙ දාන්න තිබ්බෙ.

    ReplyDelete
  9. හපොයි, මටත් හිතෙන්නෙ ඌ තාරකා ඉබ්බෙක් කියලා. මමත් ඔය වැඩේ පොඩිකාලෙ ඇත්තම ගෙම්බෙක්ට කළා

    ReplyDelete
  10. එක පෝස්ට් එකක් නෙවෙයි දුමි බබාගේ කතා සීරීස් එකක්ම වැටෙයි කියලා බලාපොරොත්තු වෙනවා... :)
    අර උපමාව මට මතක නිකන් "ඉබ්බා දියේ දාන්නද ඇහුවහම, ඇන්නෑවේ" කිව්වා කියල වගෙ.. (සමහර විට මට ඇහුන විදිහ වැරදිද මන්දා...)

    ReplyDelete
  11. මං හිතන්නෙ තාමත් ඒ ඉබ්බා ඒ ලිඳේ ඉන්නවා ඇති...... දැන් සමහර විට දරු මල්ලොත් ඇති....
    ඈ දුමියො, ඉබ්බියෙකුත් දැම්මයි ඒ ලිඳටම?

    ReplyDelete
  12. @පැන්da,
    හිනාවෙන එක කොච්චර හොඳයිද ? තව ටිකක් විතර තර වෙන්න පුළුවං ඔය උණ බට දළු කෑනවට වඩා..

    මොනව කොරන්නද... ඇට්ටර කං ඉතින් තියෙන්නෙ ලේවලනේ...!

    @දුකා,
    උඹ දන්නවනේ ඉතින් මගේ වර්තමාන නස්සරාණි වැඩ....

    ඩී ඉතින් තරු ඉබ්බෝ ගැන කිව්වට අපි ඉතින් දැන්නව‍යෑ ඉතින් ඔය තරු ගැන...

    @පිණිබිඳු... ,
    කැස්බෑවෙක් කියලා හිතුවද....? අර ඩී කිව්වෙ, ඌ තරු ඉබ්බෙක්ලු....

    @blog gadol,
    දැන් කියහල්ලා බලන්න ඔය ඉබ්බන්ගේ තරු බලන්නෙ කොහොමද කියලා... තරු ගෙම්බොත් ඉන්නවද ?


    @පුතා ,
    පොඩ්ඩක් හිටහන් මලේ, දුමී බබාගේ කතා වලින් අසභ්‍ය කතා ටික වෙන් කරලා හදාගන්න කාලයක් යනවා....

    පුතා මලේ, ඔය විදිහේ උපමාවක් වැරදියට ඇහෙන්න උඹ බීලද හිටියේ ?

    @nawam,
    ඇයි ඔය ඕනෙ තරම් ඉබ්බියෝ ඉන්නෙ ලිං වල... අර ඔහෙත් කතාවක් දාලා තියෙන්නෙ හැම ලිඳෙන්ම වතුර බීපු ඉබ්බියෙක් ගැන...!

    ReplyDelete
  13. මමත් මෙච්චර කල් හිතන් හිටියෙ පුතාට ඇහිල තිබුනු විදියටමයි ... ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කියල
    මටත් අව්රුදු 7දි විතර ඔය විදිය ඉබ්බෙක් හම්බඋනා ගෙදර ලග පාරෙ ගිහින්... ඒත් ඒ ලග ගෙදරක ඉන්න ඉබ්බෙක් කියල එදාම ඌව ගිහින් දුන්න... ඊට පස්සෙ ගොඩක් කාලයක් දුක් උනා ඇයි ඌව ගෙනියන්න දුන්නෙ කියල ... ඒත් දැන් ඒ වගේම ඉබ්බෙක් ගෙදර ඉන්නව.. ඒත් කිසිම ආසාවක් නෑ

    නැති කාලෙ තියන අගේ... තියන කොට නැති එකනේ වැඩේ !

    ReplyDelete
  14. මේ යකා කලොත් කරන්නේ ඔය වගේ වැඩක්මයි. :D

    තරහා අවසර, මෙච්චර කල් බ්ලොග් එක කියෙව්වට අද තමයි කොමෙන්ට් එකක් දැම්මේ.

    ReplyDelete
  15. කතාව නම් මරු. පුතා මල්ලී නාලා වගේ කියලා දැක්කම ඊට වඩා හිනා නේද දුමී අයියේ.... :D

    ReplyDelete
  16. ඉබ්බන්ට ගොඩක් කල් ඉන්න පුලුවන් ...සමහරවිට ඔය අසරන ඉබ්බා ලිං කටෙන් අහස දිහා බලාගෙන හූල්ලනවා ඇති ...අනේ පවු

    කොහොමද බොල දුමී අයියේ ඔය ඉබ්බා දරුවෝ හදන්නේ ?.. උඹල අපිට නොකියම ලිඳට ඉබ්බියෙකුත් දැම්මද ?...නැත්නම් ඉබ්බන්ට බබාල දෙයියෝ මවල දෙනවද ? ...

    ලිඳට ඉබ්බා දාපු එක හොඳයි ..එතකොට කාටවත් වතුර ගන්න බෑනේ ..කවුරුහරි ඇහුවිත් කිවුවහැකි ඔය ලිඳට ඉබ්බා දාලා තියෙන්නේ කියලා ! ..

    එල කතාව දුමී කතාවක් ලිවුවොත් ආයේ ඉබ්බ මූද හත්ගවුවක් තියලා අමුඩේ ගැහුව වගේ තමයි ..

    ජය වේවා !!

    ReplyDelete
  17. දුමී අයිය පොඩි එකා කාලේ ඉබ්බාගේ ස්ත්‍රී පුරුෂ භාවය අඳුරන්න දන්නේ නෑනේ .ඉබ්බෙක් කියලා හිතලා බඩබිත්තර ඉබ්බියෙක්ව එයාල ලිඳට දාලා තියෙන්නේ .. කාලෙකට පස්සේ ලිඳ ඇතුලේ ඊඩිපස් සංකීර්ණය එහෙම නැත්නම් පිළි දෙමුහුම වගේ සංසිද්ධියක් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන් ... දුමී අයිය ලිඳට නිතරම ගිනි පෙට්ටිත් දානවාලු .

    ReplyDelete
  18. හහ්......හහ්......මල් 7 යි.....ඉබ්බා ලිදට දාන්න යනෙකාට උෟ කියන්න අැති දැන් නෑෙව් කියලා....එත් ඉතිං දුමාට ඉබි භාෂාව ෙත්ෙරන එකක් යෑ.

    ReplyDelete
  19. @සහෝදරයා ,
    හොඳ වෙලාවට, මලයා හොඳ හින්දා හොඳා, නැතිනම් අර පාර ක්‍රොස් කරපු ඉබ්බට වෙන දේ තමයි වෙන්නෙ, අර දීපාල් සිල්වා කියුව වගේ...

    ම්හ් ...උපමාව නේද ප්‍රශ්නෙ ?

    @හසිත මදුශංක ,
    මොනව කොරන්නද මලේ, කෙරෙන්නෙම ඔය වගේ වැඩනේ...! ස්තූතියි කමෙන්ටුවට...!

    ReplyDelete
  20. @හරී - පිණිපළස ,
    පුතා විතරක් නෙමෙයිනෙ, අපේ සහෝදරයත් දැන් නෑවෙලු...!

    ඔතන වරද තියෙන්නෙ ප්‍රාථමික අධ්‍යාපනයේ, මේ ගොල්ලො මොන්ටිසෝරි යන්නැතුව කෙලින්ම හෝඩියට ඇතුළු උනාම ඔහොම වෙනවා.... හික් හික් හික්..

    ReplyDelete
  21. @හිස් අහස ,
    බොලාට මලේ මම කියන්න ඕනෙ එක පස්සෙ කමෙන්ටුව දාපු වෙබ් මාස්ටර් මලයා දීල තියෙන්නෙ. මම දැන්නෙ කොහොමද බන් ඌ ඉබ්බෙක්ද ඉබ්බියෙක්ද කියලා. දාන වෙලාවෙ බඩු දරු ඉබ්බියෙක් නම් මෙලහකටත් පරම්පරා දෙක තුනක් ගිහිල්ලා...., ඇරත් ඉබ්බෙක් නම්, ඔය ලිං පතුලෙන් ඉබ්බියෙක් හොයා ගන්නෙ නැතෑ....! නැතිනම් ඔය මොකක් හරි සතෙක් හම්බ වෙන්නෙ නැතෑ... ඔය ඩාවින්චි ගොයියා කියලා තියෙන්නෙ සත්තු පරිණාමය වෙනවා කියලා.

    ReplyDelete
  22. ඉස්සර අපේ ගම්පලාතෙත් ඉබ්බො හිටිය. දැන් නම් කාලෙකින් එකෙක් දැක්කෙ නෑ. මේ තිරිසන්නු උන් ඔක්කොම මරාගෙන කාල. දුමියි අක්කයි ඉබ්බව ලිඳට දාපු එක හොඳයි. ඌ තාමත් ඒකෙ ජීවත් වෙනව ඇති. නැත්නම් මෙලහකට කවුරු හරි ඌවත් මරන් කාල

    ReplyDelete
  23. @Web Master_guir,
    හරියට හරි, මම ඔය කාරණය ගැන හිත හිත ඉන්නකොට තමා ඔන්න බොලේ කමෙන්ටුව වැටුනේ...

    @ගීත් (සහෘදයා),
    අනේද කියන්නෙ. මමත් තව ටික කාලයක් කල්පිටියේ හිටියනං ඉබි භාෂාව ඉගෙන ගන්න තිබුනා. විශේෂයෙන්ම ඉබි කුණුහරුප ටික, මොකද අර ඉබ්බා ලිඳ ඇතුලේ ඉඳන් කෑ ගහනකොට....කොහෙද ඊට කලින් එන්න උනානෙ..!

    ReplyDelete
  24. @කලිකාල ,
    ඒකනම් ඇත්ත, පුදුමයි තාම අපේ රටේ කබර ගොයි හරි ඉතිරිවෙලා ඉන්නවා...!

    ReplyDelete
  25. මල් 7තයි තමා කතාව. මමත් පොඩිකාලේ ඉබ්බෙකුට ඉටිපන්දමක් ගහල ගෙදර මිදුලේ යවල තියනවා

    ReplyDelete
  26. අක්කයි මල්ලියි දෙන්නා ඉබ්බට දීලා තියෙන වදවල හැටියට ඌට හිතෙන්න ඇති ළිදේ ඉන්න එක සැපයි කියලා....

    ReplyDelete
  27. මම පොඩි කාලේ කරපු දේවල් දෙකක් මතක් වුනා .

    1. වඩු බාසුන්නැහ බුරුමෙන් ලී විදිනවා බලන් ඉඳලා , මමත් මගේ පිටි අල්ල උඩ බුරුමය තියලා කැරකෙව්වා. මට මටක නැහැ රිදුනද කියලා . එත් අතේ එහා පැත්තට යනකන් විද්දා මතකයි. අවුරුදු 27 කට පස්සෙත් තවම ඒ කැළල පැහැදිලිව තියෙනවා ..

    2. අල්ලපු ගෙදර අන්කල් බවුත් එකෙන් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා දැකලා , මම පීරක් අරගෙන , ගෙදර හීටරේ වයර් එක කපල . වයර් 2 පීරට සෙට් කරලා ප්ලග් එකට ගැහැව්වා . වෙලාවට ට්‍රිප් එක ඕෆ් වුනා , නැත්තන් අද මම මේ චොම්මෙන්ට් එක දාන්නේ නෑනේ .. ඕක වෙලා අවුරුදු 24ක් ඇති ..

    මට දැන් දශක ක් වයසයි ... :P

    ReplyDelete
  28. නිවැරදි කිරීම

    2. අල්ලපු ගෙදර අන්කල් බවුත් එකෙන් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා දැකලා , මම පීරක් අරගෙන , ගෙදර හීටරේ වයර් එක කපල . වයර් 2 පීරට සෙට් කරලා ප්ලග් එකට ගැහැව්වා . වෙලාවට ට්‍රිප් එක ඕෆ් වුනා , නැත්තන් අද මම මේ කමෙන්ටුව එක දාන්නේ නෑනේ .. ඕක වෙලා අවුරුදු 24ක් ඇති ..

    මට දැන් දශක 3ක් වයසයි ... :P

    ReplyDelete
  29. හිනා තමයි වෙනදා වගේම දුමී ලියන කතා කියවද්දී. අපේ ලේ සුද්ද කරනවාට ලැබෙන පින් වලින් අරාබි හන්දිය පැත්තට මල් වැස්සක් වත් වැටෙන්න ඕනෑ!!

    ReplyDelete
  30. දෙමල නං කලුයි, සිංහල නං සුදුයි. මාරයි නේද?

    ReplyDelete
  31. @yasith,
    කොහෙන්ද දැන්නෙ නෑ ඒ ඉටිපන්දම ගහන පුරුද්ද ඇවිල්ල තියෙන්නෙ...!
    ස්තූතියි අදහස් බෙදාගත්තට...

    @Web Master_guir,
    බොහොම ස්තූතියි බබා කාලේ කතා ටිකට... අර බුරුමෙන් විද ගත්ත එකනම් සිරා... මමත් ඔය බවුත් එකනම් අල්ලලා තියෙන ගිනි රස්නෙට රත්වෙලා තියෙනකොට...

    ReplyDelete
  32. @arunishapiro,
    ස්තූතියි අරුණි මේ පැත්තෙ ඇවිල්ලා කියවලා කමෙන්ට් කලාට. පහු ගිය දවස් ටිකේ නම් මල් වැහි වගේ තමයි, දවස තිස්සෙම චුරු චුරුව තමයි....!

    ReplyDelete
  33. @මගේ දවස,
    ඔයාට මාරයි කියල හිතෙනවද ....? හරිම ෂෝයි !

    ReplyDelete
  34. දුමී නං අහලා තියෙන විදිහට දුමී බබා කාලේ, තාර පීප්පයක් වගේ කළුයිලු, ඒවගේම කොටයි මහතයිලු. මේ ටික හරි, " හරියට දැං වාගෙමයි" කියලා තියෙන ටික ඩිලිට් වෙලා මගේ හිතේ

    ReplyDelete
  35. ඉබ්බො කිව්වම තව කතාවක් මතක් උනා. මේ මෑතක දුමීගෙ ජාතියෙ (ඉදි )බුවෙක් ඉබ්බෙක්ව මස් කරලා, උඩ යට කටු දෙක විතරක් බත්තරමුල්ලෙ, වන ජීවි ස0රක්ෂණ දෙපාර්තමේන්තුවෙ තාප්පෙ අයිනෙන් තියලා ගිහින් තිබුනා!

    ReplyDelete
  36. @බුද්ධි ,
    බුද්ධියෝ, මම කිව්වනෙ බං, උපං කැත අරින්න බැහැ කියලා... කොහොමත් උඹයි මායි අතර වැඩි වෙනසක් නැහැ...!

    @Dee,
    ඉදිබුවා කියන්නෙත් ඉබ්බට නේද ? ඉබි මස් මොන රහයිද ? කටු දෙක අරංගිහිල්ල Dee මොනවද කලේ...? දැන් බත් උයන්නෙ ඒකෙද ?

    ReplyDelete
  37. ඉබ්බාට කාලා ඉන්න බැරි ළිඳට දැම්ම එකටත් වැඩිය ඉටිපන්දම ගලෝගන්න බැරි එකට වෙන්න ඇති... ළිඳේ ගෙම්බෙක්වත් හිටියද දන්නෑ ගලවලා දෙන්න...

    ReplyDelete
  38. @Beetle,
    ඉබ්බා කොහොමත් ලිඳේ පනින්න බලාගෙන තමයි හිටියේ.... දීපු වදේට..!

    ReplyDelete
  39. දැන්නම් නෑ මේ පැත්තෙ ඉබ්බෙක් බේතකටවත් හොයාගන්න. අපේ තාත්ත පොඩිකාලෙ වැස්සක් වැහැල පෑව්වම ඉබ්බො 7-8 ක් මිදුලෙලු.

    කොහෙද ඉතිං මෙහෙම වද දෙනකොට ඉබ්බො ඉතුරු වෙයි යැ.

    ReplyDelete
  40. ඔයාගෙ කතාව මගෙ සුද්දාට කිව්වා. මම තනියම හිනා වෙවි යනකොට එයාටත් හිනාවෙන්න ඕනා කියල අහගත්තෙ! ඉතින් එයා මට මතක් කළා තවත් ඉබි කතාවක්. අපි ලංකාවට ආපු දවසක මේ පැත්තො ඉබ්බෝ ඉන්නවා ද කියල එයා මගෙ තාත්තගෙන් නිකමට ඇහැව්ව. ඊ ළඟ දවසේ අපි හිටිය තැනට තාත්තා තරු ඉබ්බෝ පුංචි බාල්දියක් පුරෝල එවලා තිබුණ. අපි නම් වතුර හෙව්වෙ නැහැ බාල්දිය පිටින්ම ගෙනාපු එක්කෙනාගෙ අතේම ආපහු තාත්තට යැව්ව. මෙන්න මෙයා කියනවා ඔයාට කියන්නලු මේ පැත්තෙ ඉන්න ‘ස්නැපින් ඉබ්බො’ බල්ලෙක් තරම් ලොකුයි, හපා කෑවොත් ඇඟිල්ලක් නැතිවෙනවා කියලා. ඉතින් මේ පැත්තෙ ඇවිත් ඉබ්බෙක් දැක්කම ඌව උස්සාගෙන වතුර හොයන්න දුවන්න එපාලු!!!

    ReplyDelete
  41. මම නම් මේ හූල්ලන්නේ (ඔයා කොච්චර කැත උනත්...:D ) ඔයාට කොච්චර ලස්සන ලමා කාලයක් තිබුනද කියලා. අනේ මම ඉබ්බෙක් දකින කාලේ වෙනකොට ඒ ඉබ්බෙක් කියලා දැනගෙන හිටියනේ.

    ReplyDelete
  42. බොල පව් බන් ඒ ඉබ්බා...

    හිත ආපු එව්ව ඔක්කොම කොමෙන්ට් විදියට වැටිල උත්තරත් ලැබිලා... ඒ නිසා ඔය ඇති හික් හික්

    ReplyDelete
  43. @Nuwan Kumaranayake (නුවන් කුමාරනායක),
    අපි ඉතින් ඉබ්බව ලිඳට දැම්මෙ සත්ව කරුණාව නිසා ඌට තිබ්බහ ඇති කියලා හිතිච්චි නිසානෙ.

    දැන් කැලෑ එළි කරලා, වගුරු ගොඩ කරලා තියෙන හැටියට තව ටික කාලෙකින් මොන මොන සත්තු වඳ වෙලා යයිද දන්නෙ නෑ.

    ReplyDelete
  44. @arunishapiro,
    අරුණි , මට ආරංචියි අපේ ගුග්ල් බස් පදින යාළුවො ටික මේ දවස්වල ගුග්ල් කට්ටියට බලපෑම් කරනවා කියලා සිංහල ඉංග්‍රීසි කන්වර්ටර් එකක් හදන්න. ඔන්න එතකොට සුද්දටත් පුළුවං වෙයි සිංහල බ්ලොග් රස විඳින්න... :) . හැබැයි ඉතින් අපේ කට්ටිය ලියන ඒවා දැකල සුද්දට ඇමරිකාව එපා වෙලා ලංකාවෙ පදිංචි වෙන්න ආවොත්නම් අපි වග කියන්නෙ නෑ.

    අරුණි කියන කොට තමයි මටත් ආස හිතෙන්නෙ, බාල්දියක් පිරෙන්නෙ ඉබ්බො දැක ගන්න. දැන් කොහෙද එහෙම වාසනාවක්.

    ReplyDelete
  45. @Podi Kumarihami,
    ඒකනම් එහෙම තමයි නගෝ. මොනා කරන්නද කොච්චර හීල්ලුවත් ඉතින් කැත නම් මොකෑ කොරන්නෙ. කළු, කොට, කැත (කොටයි කියන්නෙ අඩි 6ක් විතර කොටයි )

    අපිට තිබුනා වගේ ළමා කාලයක් අපේ පොඩි එවුන්ට දෙන්න බැරි එකම කොච්චර අවාසනාවක්ද ? අපි පොඩි කාලේ නිවාඩු කාලෙට උදෙන්ම එළියට ගිහාම ආපහු ගෙදරට එන්නෙ රෑ වෙන්න ඔන්න මෙන්න කියලා තමයි. ඇල දොලවල්වල, කුඹුරු ලියදි දිගේ, ගස් ගල් උඩ තමා දවස ගත කරන්නෙ....

    ReplyDelete
  46. @පිස්සා,
    නෑ බං, බබා කාලෙත් අපි ඉදිබු හිතවාදීව හිතපු නිසා තමයි ඌව ලිඳේ දැම්මෙ. අපි කොහොමද දන්නෙ අපිට හම්ම්බවෙන්න කලිනුත් ඌ ලිඳේ පනින්න හිතාගෙන හිටියද කියලා.

    අනික ඌට ලිඳේදි ඉබ්බියෙක්ව හම්බවෙලා පවුල් පංසලක් උනා.... එපා කියන්නද ?

    ReplyDelete
  47. හෙට දෙරන...

    "බලහත්කාරයෙන් ඉබ්බෙක්ව (ළිඳට පැන ) සියදිවි නසා ගැනීමට පෙළඹවීමේ වරදට දුමීට විරුද්ධව නඩු......!!!! "

    ReplyDelete
  48. අපරාදේ කියන්න බැහැ, අක්ක මලෝ තකට තක.......

    ReplyDelete
  49. දුමී : ලංකාවට එද්දි පරිස්සමෙන්, මෙහේ අන්න "ඉබ්බන්ගෙ ඉබි හිමිකම් සු‍රැකීමෙ සංවිදානයක්" උපවාස කරනවලු. එනව නම් හොරෙන් එවිල්ල පලයන්.

    මමත් හැමදාම බැලුවට කමෙන්ට් නම් දානව අඩුයි මචං

    ReplyDelete
  50. දුමී අයියා, ගූගල් කොන්වර්ටර් එක කියලා ඔයා අදහස් කලේ මේකද ..
    http://www.google.com/transliterate/ .. එහෙම නැත්තන් ඒ පරිවර්තකයක් ගැනද ?

    ReplyDelete
  51. ඕව ඔහොම තමයි මච්ං.

    මේ දෙතුං අවුරුද්දකට උඩින් අපේ මලයගෙ වෙඩිං එකෙට ගෙහුං රෑ හුලුදාගොඩ පාරෙ යාලුවෙක් බස්සන්න ගිහින් එනකොට මෙන්න ත්ඩි ඉබ්බෙක් ඉන්නව පාරෙ!

    පස්සෙ මාත් එක්ක හිටපු "මාර & අතිජාත" මිත්‍රය බැහැල ගිහින්

    " පව් බං මේ පැත්තෙ එකෙක්ට අහු උනොත් මූව මරං කයි"

    කියල ඉබ්බව පයිම්ම තල්ලු කරා එතන තිබ්බ කාණුවට. ඉබ්බව දැම්මට මොකද අපේ එකා තාම කාණුවට එබිච්ච ගමම්මයි!

    මොකද සීන් එක කියල බලන්න බැහැල ගියාම මෙන්න අර පාතාල කාණුවෙ මැද ඉබ්බගෙ කට්ට හිරවෙලා ඌ ඉන්නව උඩටත් නෑ පහලටත් නෑ!

    පාන්දර දෙකට විතර වෙඩිං එකට ඇඳපු සූට් පිටින් ( කබාය ඇර ) මද මතෙ කාණුවට බැහැගෙන ඒක හදපු උංගෙ දෙමාපියන්ට පිං දිදී අරූව ගොඩ ගන්න විඳපු චාටරේ...ඇත්තමයි මචං බීල නොහිටියනං ඉබ්බටයි කාණුව හදපු උන්ටයි උන්ගෙ දෙමාපියොන්ටයි ...කා ගන්න කියල යනවනෙ කියල පස්සෙයි හිතුනෙ!

    ReplyDelete
  52. අරුණි කිව්වත් වගේ, මෙන්න දුමී ළිඳේ දානවා නම් ඉබ්බෙක්!
    http://www.youtube.com/watch?v=rIeL0g8GpXM

    PS. ඉබි කටු වල බත් උයන්ඩ බෑ, තාපා0කය වැඩියි නෙ.. :P

    ReplyDelete
  53. අර Dee කියලා තියෙන වීඩියෝ එක බලන්න ගිහින් මම මෙන්න මේ වීඩියෝ එකත් දැක්කා .

    http://www.youtube.com/watch?v=_sMFN69l_ZY&feature=related

    ReplyDelete
  54. දැං උඹ අර ඝන්ටාර පූජාව තියන්නේ නැතැයි? ;-)

    ReplyDelete
  55. ඇස් වලින් කදුලු පනිනකල් හිනා වුනා මේ පෝස්ට් එකයි කොමෙන්ටු ටිකයි කියවලා. මට මැවිලා පේනවා පොඩි එකෙක් අක්කා එක්ක ඉබ්බෙක්ව උස්සගෙන යනවා. ඇත්තට මේ වැඩේ ගැන අහපු වෙලේ අම්මා ට මොනවා හිතෙන්න ඇද්ද?

    ReplyDelete
  56. දුමියත් ගල් ඉබ්බෙක්නෙ කරන වැඩ බලපුවම. අඩෝ කළු කැතයි කියලා මොන පොතේද තියෙන්නෙ. මූණු පොතේවත් නැහැ. දුමී කථාව එළ. කමෙන්ට් දාන උනුත් කථා අහුරක් අරන්නෙ එන්නෙ.

    ReplyDelete
  57. හෆොයි අර අසරණ ඉබ්බා...

    ReplyDelete
  58. පව් අප්ප අර ඉබ්බ...
    සාතන්ගෙ නංගියෙක් කිව්වනෙ ගෙම්බෙක්ට බෙන්කෙක් කියල... එදා ඉඳන් කාඩ් එක බෙන්කා...

    ReplyDelete
  59. අනේ ඉබ්බා තාම තනිකඩයා වෙන්න ඇති. ඉබ්බියක්වත් ගෙනත් දාන්නනේ තිබ්බේ.................

    ReplyDelete
  60. මන් මේ දහ අතේ කල්පනා කරන්නේ දුමී අයගේ පොස්ට් ටික කියවන්න time එක හොයාගන්නේ කොහොමද කියල. දැනටම office එක වැඩ හිරවෙලා දුමීගේ කතා කියවෙලා. කොහෙද ඉතින් මේවා නොකියවල ඉන්නේ කොහොමද. උදේට දුමී අය්යාගේ බ්ලොග් එකට අවේ නැත්නම් ඉතින් දවසම අප්සෙට් තමයි.

    ReplyDelete

Related Posts with Thumbnails