ඔය ඉන්නෙ කබරයෙක්

Posted by දුමී


මගේ 'දෙවන මනමාලි' පෝස්ට් එක කට්ටිය කියවන්න ඇතිනෙ. ඕක ලියන කොට ඔන්න මට තවත් රසවත් සිද්දි කීපයක් මතක් උනා, මගුල් ගෙවල් වල සිද්ද වෙච්ච. ඒ කාලේ මම සංගීත කණ්ඩායමකට සම්භන්ධ වෙලා හිටියා. මේ මම NIBM එකේ ඩිප්ලෝමා එක කරන කාලේ. ඒ කියන්නෙ 96 අග හරි 97 මුල හරියෙ. ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ මම ගෙදරට බරක් නොවී ඉන්න ලොකු ගේමක් දුන්නා. මගේ වියදම් මංම හොයා ගත්තා මියුසික් වලට පිහිට වෙන්න. ඒ කාලේ මගේ පෙම්වතී, දැන් මගේ ප්‍රිය බිරිඳ එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හරි, එයාගේ උපන් දිනේට ඔරලෝසුවක්, මේකප් සෙට් එකක් නැතිනම් පුංචි ගලක් දාපු මුද්දක් හදල දෙන්නත් මම ඒ දවස්වල හොයාගත්ත සොච්චම් ගාන හොඳටම සෑහුනා.

අපිට ඒ දවස්වල මදි නොකියන්න බූකින්ග්ස් තිබුනා. ඉතින් මමත් මගේ ලෙක්චර්ස් වලට පාඩු නොවෙන විදිහට ඒවට සෙට් උනා. මාසෙකට වෙඩින්ග්ස් 4 ක් 5 ක් හරි ඩාන්ස් දෙක තුනක් හරි වරදින්නෙම නැහැ. එක බූකින් එකකින් එක්කෙනෙක්ට රුපියල් 500 ක් වගේ ගානක් සෙට් උනා. සමහර දවස්වල වෙඩින්ග් දෙක ප්ලේ කරපු දවසුත් තිබුනා. උදේ ඉඳන් දවල් එකයි, ආපහු රෑ තව එකකුයි. ඉතින් ඒ වගේ දවස් වල පාං කියා ගන්න බැහැ. ඔක්කොමටම වැඩිය පහු වෙනිදා ලෙක්චර්ස් හරි ප්‍රැක්ටිකල් හරි සෙට් උනොත් ඉතින් බඩුම තමා.

ඔය කාලේ මට මතකයි අපි වෙඩින් එකක් ප්ලේ කලා හරියටම මහරගම හයිඩ්ඩ්‍රාමනි ගාමන්ට් එක ඉස්සරහා ගෙදරක. සාමාන්‍යය මට්ටමේ මගුල් ගෙයක්. එච්චර ඉඩ පහසුකම් නැති උනත් ඒ ගොල්ලන්ට උපරිම විදිහට මගුල් ගේ තිබුනා කියලා මට මතකයි. අපිත් ඉතින් සුපුරුදු විදිහට කිසි වෙනසක් නැතිව වාදනය සහ ගායනය කරගෙන ගියා. ඒ දවස්වල ඉතින් රොබෝල වගේ තමයි සින්දු ප්ලේ කරන්නෙ. ගොඩක් වෙලාවට එකම සින්දු සෙට් එක තමයි හැම මගුල් ගේකම ප්ලේ කරන්නෙ. එහෙමත් වෙලාවක තමයි එකක් දෙකක් එහාට මෙහාට වෙන්නෙ.අපි නොගැහුවත් අපේ ඇඟිලි ටික දන්නව සින්දුව ප්ලේ කරන හැටි.

මට මතක විදිහට එදා මනමාලය ඇඳල හිටියෙ තනිකරම සුදෝ සුදු ඇඳුමක්. ඉතින් මගුල් ගේත් යස අගේට යනවා. වීදුරු එකිනෙක ගැටෙන හඬ එහෙම අපිට හොඳටම ඇහෙනවා.

ගොඩක් මගුල් ගෙවල් වල අවසානයේ ඔය කතා පැවැත්වීම් අනිවාර්යයෙන්ම සිද්ද වෙනවානෙ. එහෙමත් එකක තමයි ඔය වගේ සිරිත් වලට තැනක් නොදෙන්නෙ. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු හෝටල් වල කෙරෙන මගුල් වලදී. ඉතින් අනිවාර්යයෙන්ම ඔය වගේ තැන්වලදි මයික් ටයිසන්ලා, මයික් ගැටින්ලා ඉන්නවාම තමයි. ඒ කියන්නෙ මයික් එක අතට ගත්තොත් ආපහු දෙනවා බොරු. පැයක් හමාරක් නව යුවලට අවවාද අනුශාසනා දීල තමයි පස්ස බලන්නෙ.

ඉතින් අපිටත් හරි ජොලි ඒ වගේ කතා පවත්වන මගුල් ගෙවල් වලදි, මොකද එතකොට අපිට ප්ලේ කරන්න තියෙන කාලය අඩු වෙනවානේ. කතා පවත්වලා ඉවර උනාට පස්සෙ අපිට තියෙන්නෙ ඉතින් "පුංචි දවස්වල නින්දට යද්දී" කියන සින්දුව ප්ලේ කරන්න මනමාල යුවල අම්මලාට තාත්තලාට සමුදීල කාර් එකට නගින වෙලාවට.

කොහොමෙන් කොහොම හරි එදා මගුල් ගෙදර ටිකක් විතර අවුල් වෙලා වගේ තමයි අපිට පෙනුනෙ. මොකද මනමාලය සතුටටද එහෙම නැතිනම් තනිකඩ ජීවිතේ ඉවරයි කියන දුකටද, එහෙමත් නැතිනම් නිකන් හම්බ වෙච්ච හින්දද දන්නෙ නැහැ කන පැලෙන්න බීල. ඔන්න ඒත් වැඩි හිටියො සුපුරුදු පරිදි කතා පවත්වන්න සෙට් වෙලා. ජෝඩුව වාඩිවෙන කවිච්චිය එහෙම ලෑස්ති කරල මනමාලිව ගෙනැල්ල ඉන්ඳෙව්වා. ඊට පස්සෙ ඔන්න මනමාලයවත් කොහේ ඉඳන්ද මංදන්නෑ තුන් හතර දෙනෙක් වත්තන් කරගෙන ඇවිත් මනමාලි ගාවින් ඉංඳෙව්වා. පොර ෆුල් ට්‍රයි එකක් දෙනවා දැන් ඔළුව කෙලින් කරං ඉන්න. ඒත් කන ෂර්ට් එකේ සාක්කුවටම තමයි වැටෙන්නෙ. ටයි එකේ නොට් එක තියෙන්නෙ මනමාලයගෙ බඩ හරියෙ. ඔන්න ඒක දක්ක මනමාලයගෙ පැත්තෙ නෑයෙක් ඇවිල්ල ට්යි නොට් එක ආපහු බෙල්ලට තියල තද කරා .ඒත් ආපහු කන සාක්කුවේ.

ඔන්න ඉතින් මනමාලිගේ පැත්තෙ ඉන්න වැඩිහිටි පිරිමි කෙනෙක් මංගල සභාවෙන්ම එහෙම අවසර ඉල්ලල කතාව පටන් ගත්තා.

"අද මේ සුභ නැකතින් විවාහපත් මේ යුවතිපති යුවලට මාගේ සුභාශිංෂණය පල කරන අතරම පුංචි පහේ අවවාද අණුශාසනා ටිකක් දෙන්න තමයි මගේ මේ කල්පනාව . . . !" ඔන්න මෑන්ස් පටන් ගත්ත . . .

"දැන් ඉතින් මේ යුවතිපති යුවල තනි කඩ ජීවිතෙන් මිදිල, දෙන්න දෙමහල්ලො වෙලා ජීවිතේට මුහුන දෙන්න තමයි මේ වෑයම . . . ."

"අදින් පස්සෙ මේ දුවගේ දුක සැප බලන්න ඉන්නේ මේ පුතා තමයි . . . ඒ වගේම මේ පුතාට දුකක් කරදරයක් උනහම මේ දුවගේ පිහිට තමයි . . . . " කියනකොටම . . .

"ඕඕඕක් . . . . බෲස් . . ." කියලා සද්දයක් ඇහුනා . . .

බලන කොට මනමාලයා මනමාලිගේ ඔඩොක්කුවට හෝටලයක් දානවා . . . .

මනමාලයා උදේට කාපු කිරි බතුයි ලුණු මිරිසුයි, බොන වෙලාවෙ බයිට් එකට කාපු ජරාවල් ඔක්කොමයි, අරක්කුයි දැන් මනමාලිගෙ ඔඩොක්කුවේ . . .

ඔන්න එතකොටම මනමාලයගෙ පැත්තෙන් ආපු කොල්ලො කීප දෙනෙක් පැනල මනමාලයව ආපහු කෙලින් කරලා වත්තන් කරං කොහෙන්දෝ බාල්දියක් ගෙනැල්ල අල්ලගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සෙ පොර ටිකක් කූල් ඩවුන් උනාට පස්සෙ ඔන්න ආපහු කන සාක්කුවෙ දාගෙන නිදි.

"මේ ජීවිතේ සුමට සුකොමල විදිහට හැම තිස්සෙම ගලාගෙන යන්නෙ නැහැ . . . . . ජීවිතේ කියන්නෙ වල ගොඩැලි ගල් පර්වත මැදින් ගලාගෙන යන මහා ගංගාවක් . . . . " මයික් ටයිසනුත් අරින්නෙ නෑ හෝ ගාලා කියවගෙන යනවා . . .

"දෙමව්පිය නෑදෑයන්ගේ ගෞරවය ආරක්ශා කරගෙන ජීවත් වෙන්න මේ යුවති පති යුවල හොඳින් හිතට ගන්න ඕනෙ . . . . " කියනකොටම

"ඕඕඕක් . . . . ." කියල මනමාලය තමන්ගේම ෂර්ට් එකේ සාක්කුව පුරව ගත්තා . . . . !

ඔන්න ඒත් එක්කම වැඩිහිටි ගෑනු දෙතුන් දෙනෙක් දෙහි බෑයවල් දෙක තුනක් අරන් ඇවිත් එක්කෙනෙක් මනමාලයගේ ඔළුවෙත් තව එක්කෙනෙක් සපත්තු දෙක ගලවලා මනමාලයාගේ යටි පතුල් වලත් උලන්න ගත්ත . . . .

එතකොට තමයි හොඳම ඩ්‍රාමා එක පටන් ගත්තෙ. මනමාලයා ඇවිල්ල නහුතෙටම කිචි තියෙන පොරක්. අර කවුරු හරි ඇඟේ වැදුනත් කුචි ඇවිල්ල කුනු හරුපයක් කියවෙන එවුන් ඉන්නේ. අන්න ඒ ජාතියේ . . . .

දෙහි බෑය කකුලෙ උලන්න උලන්න පොරට කුණු හරුපයක් කියවෙනවා. ඒකත් ෆුල් එකම නෙමෙයි මුල් අකුරු දෙක විතරයි ඌට කියවෙන්නෙ ඩෝප් වැඩි කමට.. . . .

අපිටත් ඉතින් කාල ඉන්න නෑ . . . බඩ කොරවෙන්න හිනා යන්න එනවා . . . ඒත් තොල විකාගෙන ඉවසගෙන හිටියා බිම බලාගෙන.

ඒත් එක්කම මයික් ටයිසන්ගෙන් මයික් එක උදුර ගත්තු මනමාලයගෙ පැත්තෙ පොරක් කියනව. . . .

"හරි හරි, දැන් පිටත් වීමේ නැකතත් හරි " කියල . . . .

ඔන්න ඉතින් යුවල පිටත් වෙන වෙලාව. මනමාලය කවිච්චිය උඩ තල පතා වගේ බුදි . . . මනමාලි විතරක් අම්මලට තාත්තලාට වැඳල දැන් යන්න ලෑස්ති වෙනවා . . . අපිත් ඔන්න සුපුරුදු විදිහට "පුංචි දවස්වල" සින්දුව ප්ලේ කරන්න පටන් ගත්තා. කණ්ඩායමේ ඉන්න ගායිකාව දැන් ලයාන්විතව සින්දුව ගායනා කරනවා . . . .

"මල් බෝනික්කන් . . . පූසි පැටව් ටික . . . . පාට ගවුම් පොඩි . . අද තනි වෙනවා . . . . " කියල අපේ ගායිකාව දැන් සින්දුව ගායනා කරනවා . . . .

එතකොට අපේ බෑන්ඩ් එකේ එකෙක් අපිට විතරක් ඇහෙන්න "පූසි පැටව් මොකටද බං, දැන් ඔය ඉන්නෙ කබරයෙක් . . . . " කියල කියපි.

මෙච්චර වෙලා තද කරගෙන හිටපු හිනාව ඩෝං ගාල එළියට පැනපි. කට්ටිය දෙකට නැවිලා හිනා වෙනවා. ඩ්‍රම්ස් ගහන එකා හයි හැට් එක බදාගෙන හිනා වෙනවා . . . ඒ අස්සෙ මගුල් ගෙදර උන් අපිට රවනවා . . . . ඒත් සින්දුව නැවතුනේ නැහැ . . . කොහොම හරි එල්ලිලා යනවා . . . .

මනමාලිත් ඔරවගෙන ඇවිල්ල ඕං මගුල් කාර් එකට නැග්ග.

"පියානනී ඔබෙ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා . . . " අපේ ගායිකාවත් ගීතය ගයනවා . . . .

එතකොටම හතර පස් දෙනෙක් මනමාලයව උස්සගෙන ඇවිල්ල මගුල් කාර් එකට කුදලලා ඔබල දැම්මා . !

ඒ යුවලට සුභම සුභ මංගලම් . . . . . !

දෙවන මනමාලි

Posted by දුමී


හුඟ දවසකින් කට කහන කතාවක් ලියාගන්න වෙලාවක් කලාවක් හොයගන්න නම් අමාරු උනා. පහුගිය දවස්වල නිවාඩු යන්න හිටි නිසා ඔෆිස් එකේ නහයටත් උඩින් වැඩ තිබුනා. ඔන්න ඉතින් මම සහ මගේ දරු පව්ලත් දෙයියනේ කියල ලංකාවට සැපත් උනා නිවාඩුවට පහුගිය 23 වෙනිද . මගේ අප්පොච්චියේ ලංකාවට ආවට පස්සෙ කට විතරක් නෙමෙයි මුලු ඇඟම දැන් කහනවා මදුරුවො කාලා. හොඳ වෙලාවට අර බී.අයි.ටී ද මොකක්ද එක ගහල තිබුනෙ.

ඔන්න ඉතින් ලංකාවට ඇවිල්ල අම්මලත් එක්ක ආගිය දෙවල් කතා කර කර ඉන්න කොට මට මතක් උනා අපේ නිලමේ මාමව. නිලමෙ කිව්වට එයා නිලමෙ කෙනෙක් නෙවෙයි. එයාට පොඩි කාලෙ ඉඳන් කතා කරල තිබුනෙ එහෙම තමා. නිලමෙ මාමා අපේ අම්මගෙ බාප්ප කෙනෙකුගෙ පුතෙක්. නිලමෙ මාමා පදිංචි වෙලා හිටියෙ ඇල්පිටියෙ යටගල. ඒ තමා අපේ අම්මලාගෙ ගම් පලාත. මට මතක් උන මේ කතාව සිද්ද උනේ නිලමේ මාමගේ මගුල් දවසෙ. එයා කසාද බැන්ද නැන්ද හිටියෙ ගම්පහ පලාතෙ. මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු 14 ක් හරි 15 ක් හරි වගේ මට මතක. නිලමේ මාමාට ඒ නැන්දව මුන ගැහිල තියෙන්නෙ එයාගේ යාලුවෙකුගේ මගුල් ගෙදරකදි. ඒ යාලුවගේ දෙවනි මන මාලයා වෙලා හිටියෙ අපේ මාමා. ඒ යාලුවගේ දෙවනි මනමාලි වෙලා ඉඳල තියෙන්නෙ දැන් ඔය බඳින්න යන නැන්ද තමා. ඒ විදිහට තමයි ඒ දෙන්නට මල් සරා විදල තිබුනෙ.

ඉතින් දන්නවනෙ ඔය ගම් පලාත්වල සිද්දවෙන මගුල් තුලා කටයුතු. ඔන්න මාමගෙ පැත්තෙ කට්ටිය වෑන් තුන හතරක් පුරෝගෙන තමයි ගම්පහ යන්න ආවෙ. ඉතින් යටගල ඉඳන් ගම්පහ යනකොට කොලඹ හරහා එනවා මිසක් වෙන විදිහක් නැහැනෙ. කට්ටිය ඉතින් කුකුලා අඬලන්නත් කලින් එහෙන් පිටත් වෙලා උදේ කෑමට කලුබෝවිල තියෙන අපේ ගෙදරට තමයි ආවෙ. ඉතින් ඔන්න උදේ කෑමෙන් බීමෙන් සප්පායම් වෙලා අපේ ගෙදර කට්ටියත් ඔය ඉඩ තියෙන විදිහට වෑන් එකකට නැගගත්ත. මට නැගගන්න හම්බ උනේ ඔය නිලමෙ මාමගේ යාලුවො සහ කොල්ලො කුරුට්ටො ඉන්න වෑන් එකට තමයි. නිලමේ මාමගේ දෙවනි මනමාලයත් හිටියෙ ඒ වෑන් එකේමයි. මම කලින් කිව්වනෙ අපේ මාමට එයාගේ මනමාලිව මුණ ගැහුන විදිහ. ඔන්න ඉතින් මේ දෙවනි මනමාලයත් ෆුල් හෝප්ස් තියාගෙන තමයි දැන් යන්නෙ කොහොම හරි දෙවන මනමාලිව සෙට් කරගන්න. ඉතින් මග දිගටම කතා බහ ඔය සම්භන්ධයෙන් තමයි. වෑන් එකේ ඉන්න අනිත් අයත් එක එක විදිහට ක්‍රම සහ විදි කියල දෙනව කොහොම හරි දෙවන මනමාලිව සෙට් කරගන්න. මෙයත් කසාදයක් කරගන්න විදිහක් නැතුව ටික කලක් වේලි වේලි හිටිය පොරක්. ඉතින් මෙයත් තදින්ම හිතට අරගෙන කොහොම හරි මේක නම් සෙට් කරගන්නවාම තමයි කියල. ඉතින් මෙයත් අහනව දැන් ගෑනු ළමය ලස්සනයිද අරකද මේකද කියලා. කොහොම හරි එදා දවසෙ ප්‍රධාන මාතෘකාව මනමාලයා සහ මනමාලි නෙවෙයි. දෙවන මනමාලයා සහ දෙවන මනමාලි.

ඔය මගුල් ගෙදර තිබුනේ මනමාලිගේ ගෙදරම තමා. ඒ දවස්වල මගුල් තුලා කටයුතු පුළු පුළුවන් විදිහට ගෙවල් වලම කර ගත්ත මිසක්ක ඔය පාටි හෝල්වල අරගත්තෙ නැහැනෙ. පාටි හෝල්වල මගුලක් ගන්න එක මදි කමක් විදිහට තමයි ගම්වල ඈයො සැලකුවෙ. දැන්නම් ඉතින් ඒකෙ අනිත් පැත්තනෙ.

ඔන්න ඉතින් අපි කට්ටියම මගුල් ගෙදරට සැපත් උනා කියමුකො. මනමාලිගෙ පැත්තෙ ඈයො මුළු ගමටම ඇහෙන්න රඹන් ගහල, රතිඤ්ඤා එහෙම පත්තු කරල මනමාලයගෙ පාර්ශවය ඒ කියන්නෙ අපි කට්ටියව මහ ඉහලින්ම පිලි ගත්තා. ගෙදර කට්ටිය මනමාලයගෙ කකුල් දෝවනය කරල ගේ ඇතුලට ආරාධනා කලා. ඒ අතර ළමා සාරිය අඳ ගත්ත ගෑනු ළමයි ටිකක් පිලි ගැනීමෙ ගීතයක් එහෙම ගායනා කලා. ඔන්න දැන් තියෙන්නෙ දෙවනි මනමාලයා මනමාලියට මල් කලඹ දෙන්න. මේ අවස්ථාව එනකන්නෙ අපේ කතා නයකයත් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියෙ. ඔන්න ඉතින් එයා ගියා මල් බොකේ දෙකත් අරගෙන මනමාලි ඉන්න තැනට. ඔය ඉන්නෙ දෙවන මනමාලිත් බැබලි බැබලි. ලස්සනේ බැරුවා. ඔන්න මෙයා ඉස්සෙල්ලම මල් කලඹ දුන්න මනමාලිට. ෆොටෝ ගහන එක්කෙනත් එහෙට මෙහෙට කර කර ෆොටෝ සීයක් විතර ගැහුවාම තමයි දෙවනි මනමාලිට බොකේ එක දෙන වෙලාව ආවෙ. ඔන්න ඉතින් මෙයා මල් කුමාර හිනාවක් එහෙම දාගෙන ගියා දෙවනි මනමාලිට බොකේ එක දෙන්න.

"ආහ් . . . . . අංකල්ද බෙස්ට් මන් ? " දෙවනි මනමාලි අහපි !

"ඔ . ඔ . . ඔව් . . . ඔව් . . . මම තමයි . . . !" අපේ මෑන්ස්ටත් කියවුනා . . .

ඉතින් ඔක්කොම හබක්. දවස් ගානක් පෙරුම් පුරල පුරල කරගන්න හදපු දේත් බකස්. පෝරුව වෙලාවෙත් අපේ මෑන්ස් ඔය ඉන්නෙ අලිය පැනල ගිය ඇත් ගොව්ව වගේ !! අන්තිමට වෙඩින් ෆොටෝ එක ගන්න මිනිහව හොයනවා . . . ඒත් පොර නෑ . . . . බලනකොට පොර කන පැලෙන්න බීල පිලි කන්නෙ වැටිල ඉන්නවා . අදටත් නිලමෙ මාමගේ වෙඩින් ෆොටෝ එකේ ඉන්නෙ දෙවනි මනමාලි විතරයි. දෙවනි මනමාලයෙක් නැහැ.

එළාර දෙමළෙක්ද

Posted by දුමී

ඔන්න හැමෝම අහල තියෙනවනෙ ඉතින් එළාර දුටුගැමුණු යුද්දේ ගැන. ඒක ගැන තමයි මම අද කට කහන කතාව ලියන්න හිතුවෙ. ඇත්තම කියනවානම් දුටුගැමුණු ගැන නෙවෙයි එළාර ගැන තමයි ලියන්න යන්නෙ.


එළාර දෙමළෙක්ද ?


මම ඔය ටික කාලෙකට ඉස්සර, ඒ කියන්නේ දැනට අවුරුදු 10 කට එහා පැත්තෙ මොකක්දෝ පත්තරයක් කියව කියව ඉන්නකොට කවුදෝ මහත්මයෙක් ඔය ප්‍රශ්නය අහලා තිබුනා පත්තරේ ලිපියකින්. මට හරියටම මතක නැහැ ලිපිය මොකක් සම්භන්ධයෙන්ද කියලවත් කව්ද ලිපියේ කතෘ කියලාවත්. හැබැයි බොලේ මටත් තේරුණා ඒ ප්‍රශ්නයේ තිබුනු සාධාරණත්වය. හැබෑටම අපේ රටේ මෙච්චර දෙමල ජාතිකයො පිරිසක් ජීවත් වෙනවා, අපිට මෙච්චර කාලයකට හම්බවෙලා තියෙනවද එකම එක දෙමළ ජාතිකයෙක් හරි 'එළාර' කියල නම තියෙන ?


මම මේ වැඩ කරණ ඩුබායි පුරවරයේ ඔය ඉන්දියාවෙ හැම පලාතකින්ම වගේ ඇවිත් වැඩ කරන ඉන්දියානුවො තොගයක් ඉන්නවනෙ. ඇත්තටම කියුවොත් මෙහේ ජන ගහනයෙන් 80% ක් විතර ඉන්නේ ඉන්දියාවෙන් ආපු කට්ටිය තමයි. (මේක සම්භන්ධයෙනුත් ඔය පොඩි කට කහන කතාවක් තියෙනව. ඒක ඉතින් පස්සෙ ලියන්න බැරියෑ.) ඉතින් ඔය අතරෙ මලයාලි, කර්ණාටක, චෙන්නායි, මේකී නොකී දකුණු ඉන්දියානුවො ගොඩක් එක්ක මම වැඩ කරල තියෙනවා. හැබැයි මෙච්චර කාලෙකට මට එකම එකෙක්වත් හම්බ උනේ නැහැ ඔය 'එළාර' කියන නම තියෙන. ඒක වෙන්න පුලුවන්ද ? එළාර දෙමළෙක් හරි, ආවෙ ඉන්දියාවෙන්නම් හරි අඩු ගානේ සීයක් හමාරක්වත් ඉන්න එපායෑ ඒ නම තියෙන. බොරුද මම කියන්නෙ. ඔය ඉන්දියාවෙ බොලිවූඩ් නලුවො නිලියො ඇති කරන බල්ලගේ නමත් තමන්ගෙ අලුතෙන් ඉපදුන දරුවට දාන රටේ මේක විශ්වාස කරන්න පුලුවන්ද හැබෑට ? මෙච්චර මේ බලගතුව හිටිය රජ කෙනෙක්, ඊටත් වැඩිය ලංකාව ආක්‍රමණය කරල අවුරුදු බර ගානක් පාලනය කරපු රජ කෙනෙක්ගෙ නමක් තියෙන වෙන එකෙක්වත් නැති එක ?


මම ඉතින් ඕක කල්පනා කලා, මොකක්ද හැබෑටම වෙන්න ඇත්තෙ කියලා. මම ඉතින් දවසක් දෙකක් ඕක කල්පනා කර කර ඉඳල යන්තං ඇහැ පියවුනා විතරයි. හොල්මන්ද පොල්කොළ මේන්න එනවා . . . . කවුද ? එළාර .


මහා සත්දන්ත දේහයක් තියෙන කට්ට කළු පාට පොරක්. සුදු පාටට හුරු ඇඳුමක්ද කොහෙද තමා ඇඳගෙන හිටියෙ. මම හිතන්නෙ ඔහුව ආදාහනය කරන වෙලාවෙ අන්දල තිබුනු විදිහටම තමයි ඔහු අවිල්ල තිබුනෙ. දුටු ගැමුණු ගහපු හෙල්ල පාරත් තාම පපුව හරියෙ පේන්න තියෙනව. පොර ඇවිත් ඉතින් මට කතා කරා.


"දුමී . . . දුමී . . . මම එළාර . . . !"


අප්පට සිරි මගේ කකුල් දෙකත් මැන්ඩලින් ගහනව ගහනව වගේ . . . අනික පොර මගේ නම දන්නෙ කොහොමද ?


"ඕකත් හිතන්න දෙයක්ද. මේ ලෝකේ ඉන්නකොට අපි ඔය ලෝකේ වෙන ඔක්කොම දන්නවා. ඉතින් ඔහේගෙ නම හොයාගන්න එකත් කජ්ජක්ද ? ". එළාර අහපි.


ඒ කියන්නෙ මම හිතන දේත් පොරගෙ රේඩාර් එකට වදිනවා. අනික පොර කතා කරන්නෙ හොඳ පැහැදිලි සිංහලෙන්. දෙමළ ඇක්සන්ට් එකක් ගෑවිලාවත් නැහැ. ඒ කියන්න දැන් මගේ ඉස්සරහ මේ ඉන්නෙ එළාර. දුටු ගැමුණු රජ තුමත් එක්ක යුද්ධ කරල පැරදිච්ච එළාර. කොහොමෙන් කොහොම උනත් දුටු ගැමුණු රජ තුමාත් එළාරට ගරු බුහුමන් දැක්වූවා කියලත් කියනවනෙ. ඉතින් මම මොකෙක්ද. මමත් ඉතින් කොච්චර බය වෙලා හිටියත් පුරුෂ ධහිර්යය ටිකක් එකතු කොරගෙන ගරු සරු දක්වල කතා කලා.


"ඉතින් ඔබ තුමා මොකද මේ පැත්තෙ ? " මම ඇහුවා,


ඔන්න එතකොට එළාර මගේ පැත්තකින් වාඩි උනා. වාඩි වෙලා උගුරේ රැල් එහෙම ටිකක් බුරුල් කරගෙන ආයෙමත් කතා කරන්න පටං ගත්ත.


"දුමී, මම දැන් දවස් කීපයක ඉඳන් දැක්ක දුමී කෙස් කරකව කරකව මගේ මේ නම ගැන කල්පනා කරනවා. මෙච්චර කාලෙකට ඔය ප්‍රශ්නය ගැන මෙච්චර කල්පනා කලේ දුමී විතරයි. මගේ කරුමෙට ඔය ලංකාවෙ ඉතිහාසය ලියපු ඈයොත් මම ආවෙ ඉන්දියාවෙ චෝල රාජ්‍යයෙන්ය කියල මහම මහ පට්ටපල් බොරුවක්නෙ ලියල තියෙන්නෙ."


"එතකොට ඔබ තුමා ලංකාවට ආවෙ ඉන්දියවෙ ඉඳල නෙවෙයිද ? " මම ඇහුවා


"මොන කෙහෙම්මල්ද ?" එළාර අහපි


"එහෙනං ඔබ තුමා කොහෙං ඇවිල්ලද ලංකාව ආක්‍රමණය කලේ ? " මම මගේ කට කහ කහ තිබුණු ප්‍රශ්නය දමල ඇරිය.


එතකොට එළාර මගේ දිහා මහා ගැඹුරු බැල්මක් දාලා ආයෙමත් උගුරෙ රැල් බුරුල් කලා. ඊට පස්සෙ තව ටිකක් මගේ ලඟට කිට්ටුවෙලා මූන මට ලංකරල රහසින් වගේ කිව්වා,


"මම ආවෙ වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් . . . . ."


මම ජීවිතේට බලාපොරොත්තු උන්නැති ඒ උත්තරෙන් මම හිටි තැනම එහෙම්මම නැගිට්ටුනා . . .



"මොකක් ? වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් ?"



එතකොට එළාර ඔහුගේ සීතල අතෙන් අල්ලලා මාව ආයෙමත් වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ හෙමිහිට පොර මෙච්චර වෙලාවක් දාගෙන හිටපු රත්තරන් පාට ඔටුන්න ගලෝල මට ඔළුව පෙන්නුවා. කොණ්ඩෙ හොඳටම සුදු පාට වෙලා තිබුනත් ඒක හරියටම අර කිව්වත් වගේ අප්‍රිකාණුවෙක්ගෙ බොකුටු බොකුටු කොණ්ඩයක්ම තමා . . .


"එහෙනං කොහොමද ලංකාවෙ ඉතිහාසේ පොත්වල ඔබ තුමා ඉන්දියාවෙන් ආව කියලා ලිය වුනේ ?" මම ඇහුව.


"ඕකම නේන්නං දුමී මේ මටත් තියෙන ප්‍රශ්ණය. ඕක ලියවිලා තියෙන්න හරිම වැරදි විදිහටනෙ" එළාර ඉණට අත්දෙක තියාගෙන හෙමිහීට නැගිටින ගමන් කිව්ව.

"ඒ කාලේ ලංකාවෙ මිනිස්සු දැකල තිබුනේ ඉතින් ඉන්දියාවෙන් ආපු ඈයො විතරනෙ. විශේෂයෙන් මගේ මේ හමත් කළුම කළු නිසා මාව දැක්ක ගමන් මේ මිනිස්සු හිතුවෙ මමත් ආවෙ ඔය දකුණු ඉන්දියාව පැත්තෙන් කියලා."


"ඉතින් ඔබ තුමාට තිබුනනේ ඒ මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න ඔබ තුමා සැපත් උනේ වෙස්ට් ඉන්ඩීස් වලින් කියලා !" මම කිව්ව.


"මොකද නැත්තෙ කොලුවො, මම කොච්චර නම් කිව්වද ඒ යක්කුන්ට මම බටහිර ඉන්දියානුවෙක් කියල. එහෙම කියන්න කියන්න උන් පිලි ගත්තෙ මම ඉන්දියාවෙ බටහිර පැත්තෙ ඉඳන් ආව කියලනෙ. උන් ඔය ඉන්දියාව මිසක් වෙන ඉන්දියාවක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ ඒ කාලේ." එළාර කියපි.


"හැබෑ නේන්නං. ඕක ඉතින් වරදින එක ආයෙ අහන්න දෙයක්යෑ . . . " මට ඉබේම කියවුනා.


"එතකොට ඔබතුමාගේ නම ? එළාර කියල නම තියෙන ඈයො වෙස්ට් ඉන්ඩීස් වල ඉන්නවද ?" මම ඇහුවා.


එතකොටම එළාරට බකස් ගාල හිනාවක් ගියා.


"හෙහ් හහ් . . . පොඩ්ඩක් හිතපන් කොලුවො . . ." කියල එළාර මගේ දිහා මහ නක්කල් හිනාවක් දාගෙන බලාගෙන ඉන්නවා.


මම ඉතින් පුරුද්දට මගේ තව කෙස් ගස් දෙක තුනක් රවුං කරන්න ට්‍රයි එකක් දෙමිං විනාඩි කීපයක් කල්පනා කලා. ඒත් මීටර් වෙන්නෙම නැහැ.


ඔන්න එතකොටම එළාර ආපහු මගේ ලඟින් වාඩි වෙලා මගේ කරට අතක් දම්මා.


"පුතා මගේ හරි නම . . . . . ඒ.ලාරා"


"ඔය ක්‍රිකට් ගහපු බී.ලාරා ඒකියන්නෙ බ්‍රයන් ලාරා පැවතෙන්නෙත් මගේ පරපුරෙන්ම තමයි" කියාගෙන මට අත වනාගෙනම ඒ.ලාරා නොපෙනී ගියා.


මම උඩ ගිහිල්ල ඇහරුන පාරටම ඇඳ විට්ටමේ ඔලුව වැදිල එහෙම්මම සිහි නැති උනා . . . . .!

ඌරු කතා

Posted by දුමී

මට ඔය අහන්න ලැබිච්ච කට කහන ඌරු කතා දෙක තුනක් මතක් වෙලා හැමෝම එක්ක ෂෙයාර් පාරක් දාගන්න ඔනේ කියල හිතුනා. පහුගිය පෝස්ට් වලදි යාලුවො දෙතුන් දෙනෙකුටම මඩ ප්‍රහාර එල්ල උන නිසා ඒක ටිකක් ශරීර සෞඛ්‍යයටත් හොඳයි මොකද මේ කතාවලට මගේ කිසිම යාලුවෙක් සම්භන්ධ නෑ. මේ කතාවලදි ඔන්න මම යාලුවො ගැන කතා කලොත් ඒ මගේ යාලුවො ගැන නෙමෙයි වෙන කාගෙ හරි යාලුවො ගැන.

ඔය ඉතින් ඌරො ගැන කතා කරනකොටම මට ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ පහුගිය කාලෙදි ගජරාමෙට පැතුරුණ ඌරු උණ රෝගය එහෙම නතිනම් සූකර උණ නැතිනම් සිංහලෙන් කිව්වොත් ස්වයින් ෆ්ලූ එක ගැන. ඕක ඔය දවස්වල පැතිරිල ගිය විදිහට සහ මීඩියා වල ගිය විදිහටයි මම නම් හිතුවෙ ලෝකෙන් භාගයක් විතර සුද්දයි තමයි කියල. හැබැයි දැන්නම් ඉතින් එහෙම ලෙඩක් තියෙන එකෙක්ව හොයගන්නවත් බැහැ අඩුගානෙ කටුගෙට දාන්නවත්. ඒ දවස්වල ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් කට්ටිය ඌරු මස් කන එකත් නැවැත්තුවා. ඒත් මම නම් දන්න විදිහට ඒ ලෙඩේට ඌරා කිසිම ලෙසකින් සම්භන්ධ නෑ.මේ ලෙඩේට ඒ අහිංසක සතාගෙ නම දාපු එකාව ඉස්සෙල්ලම හොයාගන්න වටිනවා. ඔන්න ඉතින් අපේ කට්ටිය ඔය වගේ ලෙඩ හැදෙන කොට කෑම බීම වලින් හරියට පරිස්සම් වෙනවනෙ. එක කාලයක් 'මෑඩ් කව් ඩිසීස්' එක පැතුරුන වෙලාවෙ හරක් මස් කන එක නැවත්තුව. මම අඳුරන එකෙක් අල්ලපු ෆ්ලැට් එකේ එකාට 'චිකන් පොක්ස්' හැදුන කියල කුකුල් මස් කෑවෙ නෑ මාසයක් විතර.

හැමෝම දන්නවනෙ ලංකාවෙ වත්තල පැත්ත ඉතින් ඔය ඌරු මස් වලට හරි ප්‍රසිද්ධයි කියල. කටුණායක ඉඳන් එනකොට පාර දෙපත්තෙම ඌරු මස් ලෑලි කීයක් නම් තියෙනවද ? මේ කතාවත් ඔය වත්තල පැත්තෙ තියෙන ඌරු ෆාම් එකක වෙච්ච සිද්ධියක්. මේ ඌරු ෆාම් එකේ හිටියෙ එකම එක ඊරියෙක් විතරයිලු. ඉතින් එකා යකා කිව්ව වගේ මේ ඊරිත් හොඳට කාල බීල සත්දන්තයෙක් වගේ තමා ඉඳල තියෙන්නෙ. මූ සයිස් එකෙන් නිකන් අලි පැටියෙක්ට දෙවනි නැහැල්ලු. අනික මූ හරිම වසයිලු. කොහොමත් ඉතින් තනිකඩ ගෑනු සත්තු හරි වසයිනෙ. නෑ නෑ බැඳපු සත්තුත් හරි වසයි. ෆාම් අයිති කාරයත් ෆුල් ගේම් එකක් දීල තමයි ඌව ආංබාං කොරන්නෙ. ටික කාලයක් යනකොට ඉතින් ෆාම් එකේ අයිතිකාරය කල්පනා කලාලු මේ ඊරිට පොඩි කටයුත්තක් එහෙම කරල දුන්නොත් නරකද කියල. එතකොටවත් ඔය තියෙන මුරණ්ඩුකම් එහෙමත් අඩුවෙල යයි නේද කියල. දන්නවනෙ ඉතින් ඔය ෆාම් වල කටයුතු වෙන විදිහ. ඒවට කියන්නෙ මේට් කරනවද මොකක්ද අහවල් එකක් කරනව කියල. ඉතින් ෆාම් අයිති කාරයත් තමන්ගෙ යාලු ෆාම් අයිතිකාරයෙක් එක්ක කතා කර ගත්තලු දවසකට දෙකකට ඊරිව එයාගේ ෆාම් එකට දාල තියන්න. යාලුව ගාව ඉන්නවලු හොඳ නාඹර ඌරො තුන් හතර දෙනෙක්. ෆාම් එකේ අයිති කාරය පහුවෙනිද උදේ තව තුන් හතර දෙනෙක් එක්ක ආවලු ඊරිව අල්ලලා අනිත් ෆාම් එකට ගෙනියන්න. මූව ගෙනියන්න කට්ටිය අරගෙන ඇවිල්ල තිබුනෙ ලොකු වීල් බැරෝ එකක්ලු. ඊරි කටිටියටම හොඳ රැගක් දුන්නලු අයෙත් කාටවත් ඌරො අල්ලන්න එපා වෙන්නම. කොහොමෙන් කොහොම හරි පැය තුන හතරකට පස්සෙ කට්ටිය ෆුල් ඩම් එක දාල ඊරිව අල්ලල වීල් බැරෝවෙ තියල බැන්ඳලු. ඔන්න ඉතින් යන්තම් කට්ටිය ඊරිව වීල් බැරෝවෙ දගෙන අනිත් ෆාම් එකට ගිහිල්ල අත අරියලු. ආපහු හවස කට්ටිය ඊරිව අල්ලගෙන වීල් බරෝවෙම දාගෙන ඇවිල්ල දැම්මලු ආපහු ඌරු කොටුවට. කොහොම හරි පහුවෙනිද උදෙත් කට්ටිය ගියාලු ඊරිව අල්ලා අනිත් ෆාම් එකට ගෙනියන්න බලාගෙන. කට්ටිය ගිහිල්ල බලනකොට ඊරි උගෙ කොටුව ඇතුලෙ නැහැල්ලු. ඌරු කොටුවෙ හැම තැනම හෙව්වත් ඊරිව හොයා ගන්න බැරි උනාලු. දන් කට්ටියට ෆුල් අප්සෙට්. එහෙං මෙහෙං කතා උනාලු පොලිසියේ හරි එන්ට්‍රි එකක් දාන්න ඕනෙ කියල. එහෙම හිතල කට්ටිය පිලිකන්න පැත්තෙන් යනකොටම මේ ඉන්නෙ බොලේ ඊරි !!!. ඌ කොටුව කඩාගෙන ඇවිල්ල තනියම වීල් බැරෝවට නැගල ඉන්නවලු.

හැමෝම දන්නවනෙ ඔය වල් ඌරු මස් ගැන. ඌරු මස් වලින් රහම වල් ඌරු මස් කියල තමයි කියන්නෙ. අනිත් ඌරු මස් වලට කියන්නෙ ගම් ඌරු මස් කියල මගෙ හිතේ. ඔය මස් විකුනන අය හිටපු ගමන් ජිල් මාට් එකක් දාල කස්ටමර්ස්ලට ගම් ඌරු මස් විකුණනව වල් ඌරු මස් කියල. මොකද වල් ඌරු මස් හරි ගනංලු ගම් ඌරු මස් වලට වඩා. ඔය ෆාම් කාරයො ගම් ඌරා වල් ඌර කරන්න ක්‍රම සහ විදි හොඳට දන්නවා. ඒ ගොල්ලො පාවිච්චි කරන එක ක්‍රමයක් තමා මේ තියෙන්නෙ.ඉස්සෙල්ලම උන් හොඳ ඌරෙකුයි ඊරියෙකුයි තෝර ගන්නවා. ඊට පස්සෙ උන් දෙන්නව ඔය බීච් එකක් අයිනෙ තියෙන හොඳ වැටකෙයියා ගාලකට යවනවා. පැයක් හමාරක් ගියාට පස්සෙ ඔය එන්නෙ 'වල් ඌරයි' , 'වල් ඊරියි'. ඊට පස්සෙ උන් දෙන්නට 'වල් ඌරා' 'වල් ඊරි' කිය කිය ගහල මරනවා. හරිනෙ දැන් ඔය තියෙන්නෙ 'වල් ඌරු මස්'. ඉතින් අල්ලල හොඳ ගානකට විකුනනව .

ඔය ලංකාවෙ පොලීසි වලිනුත් ඔය ගම් ඌරො වල් ඌරො කරන වැඩේ හරි හරියට කරනවලු. ඒ ගොල්ලො කරන විදිහ ඉස්සෙල ක්‍රමයට වඩා ටිකක් වෙනස්. ඒ ගොල්ලන්ට ඕනෙ වෙන්නෙ එක ඌරෙක් හරි එක ඊරියෙක් හරි විතරයි. ඉතින් මෙන්න මෙහෙමයි ලංකාවෙ පොලිසි වලින් ගම් ඌරො වල් ඌරො කරන්නෙ. ඔන්න ඌරෙක්ව හරි ඊරියෙක්ව හරි පොලිසියට ගේනව. ගෙනැල්ල ඌව දානව කාමරයකට. දාල මොකද දන්නවද කරන්නෙ, ඔය පොලිසි වල තියෙනවනෙ එහෙන් මෙහෙන් අත්ඩංගුවට ගත්ත නිල් චිත්‍රපට, නිල් සඟරා ආදිය. ඌරට ඒව දාල පෙන්නනවා. ඒවා බැලුවට පස්සෙ ඌරා නිකන්ම 'වල් ඌරා' වෙනවා. ඊට පස්සෙ ඌව මරල විකුනනව හොඳ ගානකට.

මම අහල තියෙන විදිහට ඔය සමහර කතෝලික කට්ටිය ගෙදර ඌරෙක් ඇති කරනවලු ඊලඟ නත්තලට මරන්න කියල. ඒ වගේම කලුකුමෙක්වත් ඇති කරනවලු ඊලඟ මහ සිකුරාදා දවසට කෑම මේසයට යවන්න. මේකත් එහෙම ගෙදරක වෙච්ච දෙයක්. ඉතින් දවසක් මගෙ යාලුවෙක් ගිහිල්ල තියෙනවා එයාගේ හිතවත් කතෝලික පොරක්ගෙ ගෙදර. යනකොට වත්ත පුරා දුව දුව ඉන්නවලු හොඳ ලස්සන ඌරෙක්. හැබැයි මේ ඌරගෙ පිටිපස්ස පැත්තෙ කකුලක් නැහැල්ලු. ඉතින් කතා කර කර ඉන්න ගමන් මෙයා ඇහුවලු යාලුවාගෙන් මොකද මචං මේ ඌරගේ කකුලක් අඩු කියල. ඉතින් යාලුව කිව්වලු,

"දවසක් මගෙ නෝන කුස්සියෙ උය උයා ඉන්නකොට එක හොද්දක් ලිපෙන් බාන්න අමතක වෙලා, එකෙන් ගිනි ඇවිලිලා මුලු කුස්සියම ගිනි ගත්තනෙ. හප්පේ මේ ඌරා ඒක දැකල අපිට අනතුරු ඇඟෙව්වෙ නැත්නම් අපි ඔක්කොම එදා ඉවරයි" කියල.

ඉතින් යාලුව කිව්වලු "ෂාහ් ඒකනම් ටොප් වැඩක්නෙ. මාර ඌරෙක්නෙ මේකා, ඒත් ඇයි මේ පස්සෙ කකුලක් නැත්තෙ

ඉතින් ඔන්න මෑන්ස් කියනවලු,

"දවසක් රෑ අපේ ගෙදරට හොරෙක් පැනලා ගෙට ඇතුලු වෙලා, අල්මාරිය කඩල, රත්තරන් බඩුයි සල්ලියි අරගෙන යනකොට මේ ඌර උගේ ඉස්සරහට පැනල ඌව බිම දාල පාගල පොලිසිය එනකං ඌව කොටු කරගෙන හිටියනෙ"

"ෂාහ් . . . මාර දක්ශ කමෙක්නෙ මූ කරල තියෙන්නෙ . . . ඉතින් කොහොමද පිටිපස්සෙ කකුල නැති උනේ ?"

ඉතින් ඔන්න මෑන්ස් ආයෙත් කියනවලු,

"දවසක් මගේ පොඩි පුතා බෝල ගහ ගහ ඉන්නකොට පිටිපස්සෙ පත්තෙ තියෙන ලිඳට වැටිල. මේ ඌරා එක දැකල මාව ඇදගෙන එතනට ගිය හිංඳ පුතාව බේරගන්න හම්බ උනා"

"අප්පට සිරි, අදහන්න වටින ඌරෙක්නෙ මේකා . . . ඒත් ඉතින් කිව්වෙ නෑනෙ කොහොමද උගේ කකුලක් නැති උනේ කියල ?"

ඉතින් ඔන්න මෑන්ස් කියනවලු,

"මේ වගේ ඌරෙක්ව කොහොමද මචං එක පාර කන්නෙ ?"

බැට් මෑන් සහ පික් පොකට් කාරයා

Posted by දුමී

දැන් මම මගේ මේ යාලුවන්ට වෙච්ච කට කහන කතා ලියන්නට පටන් ගත්තට පස්සෙ ඔන්න ටික ටික මට මරණ තර්ජන එහෙම එන්න පටන් අරගෙන. රෑට රෑට අඳුනන්නැති අය කෝල් කරල "උඹ ටිකක් පරිස්සමෙන් හිටපන්" කියල තර්ජනය කරනව. මම දන්නව මේක වැඩියෙමත් කරනව ඇත්තෙ අපේ නිලන්තය නොහොත් පයිතා තමයි. ඌට වෙච්ච අර "රැල්ල වෙරළ . . ." කතාව ලියුවට මූට අම්බානෙකට තද වෙලා මට සැහෙන්න තර්ජනය කලා. ඌ මට කියුව උඹට කටුනායකින් බහින්න ඉඩ තියන්නෙ නෑ කියල. මොනව කරන්නද ඉතින් කටුනායකින් බහින්න බැරි උනොත් ඉතින් ඔය හම්බන්තොටින් හරි බහින්න බැරියෑ. ඔව ඉතින් ඌට කිය කිය ඉන්න ඔනැයෑ. අපරාදෙ ඌ පාතාලෙට ගෙවපු සල්ලි ටික. ඔන්න ඉතින් පයිතා සම්භන්ධ තව කතා දෙක තුනක් තියෙනව. කොහොමත් ඔය මැත්ස් කරපු පොරවල් ඉතිහාසය විෂයට හරි දුර්වලයි කියලා මම අත්දැකීමෙන්ම දන්නව. තවත් ඉතින් ඉතිහාසගත කතාවකුත් තියෙනවා මේ පයිතට වෙච්ච. ඒව ඉතින් මම නිවාඩු පාඩුවෙ ලියල දාන්නම්කෝ.

හැබැයි ඉතින් මේ වගේ තර්ජනය එන්න එන්න මගේ මේ කට කහන එක වැඩි වෙනවනෙ බොලේ. කට කහන එක නවත්ත ගන්නම බැරි තැන ඔන්න මම කල්පනා කලා මගේ තව යාලුවෙක්ට මඩ ප්‍රහාරයක් එල්ල කරන්න. හැබැයි ඉතින් මේව ඔක්කොම ඇත්තටම සිද්ද වෙච්ච දේවල් තමා. මේ කතාවෙ කතා නායකයගෙ නම හසිත. සුදු උස කෙට්ටු ළමයා. හරි අහිංසකයි. අහිංසක වැඩි කමට මේ ලඟදි තමයි තාත්ත කෙනෙක් උනේ. දැන් මේ සිද්දියනම් වෙලා තියෙන්නෙ දැනට අවුරුදු 5 කට විතර ඉස්සෙල්ල. එතකොට අපේ හසිත ළමය තනිකඩයා. ඒ වෙනකොට ඩුබායි වලට ඇවිල්ල වැඩි කාලයක් නැහැ මගේ හිතේ. හසිත ඒකාලෙ නැවතිල හිටියෙ ෂාජා වල ෆ්ලැට් එකක තවත් බැචුලර් කොල්ලො ටිකකුත් එක්ක. මට උන් ටිකගේ නම් මතක තිබුනත් මගේ වැඩි ආරක්ෂාවට මම නම් ටික ලියන්න යන්නෙ නැහැ මොකද උන් හසිත වගේ අහිංසක උන් නෙමෙයි. දසම නසරාණියො සෙට් එකක්. උන්ගෙ වැඩේ අර අහිංසක හසිත ළමයට දස වද දෙන එක තමයි. මුන් කරන වැඩක් තමයි හසිතය බුදියගන්න යන්න කලින් හොල්මං කතා කියන එක. ඉතින් එවා අහලා හසිතය නිදා ගන්න යන්නෙ ඉති පිසො ගාථාව සිය පාරක් විතර ඇඳේ කකුල් හතරට මතුරල තමයි.

ඒකෙන් මේකෙන් කතාවත් දික් ගැස්සෙන එක තමයි වෙන්නෙ. මේන්න කතාව එහෙනං.



කට්ටිට්යට මතක ඇති කාලෙකට පස්සෙ හොඳ බැට් මෑන් මූවි එකක් ආව 2005 අවුරුද්ද දිහාවෙ. ඒකෙ නම 'බැට්මෑන් බිගින්ස්' (Batman Bigins) . සාමාන්‍යයෙන් අලුත් මූවි රිලීස් කරපු ගමන්ම වගේ ඩුබායි වල ස්ක්‍රීන් කරනවා. ඉතින් මේකටත් ඔන්න ඒ දවස්වල හොඳ හොට් හොට් ඇක්ෂන් මූවි එකක් විදිහට සිරා පබ්ලිසිටි එකක් එහෙම දුන්න. ඉතින් අපේ හසිතත් එක්ක හිටපු උන්ට මේක බලන්න යන්න ඔන වුනා. හසිතයා නම් වැඩිය කැමති නැහැ ඔය බය හිතෙන ජාතියේ ෆිල්ම් බලන්න යන්න. ඒත් ඉතින් යාලුවන්ගෙ වදේටම බලන්න යන්න කැමති උනා. මොකද ඌ වැඩියෙමත් කැමති නැත්තෙ ඌට හරි බයයි ඔය ෆයිට් එහෙම තියෙන සීන් බලන්න. ඌ ඉතින් කරන්නෙ ෆයිට් එකක් යන කොටම ඇස් දෙක වහ ගන්න එක තමයි. හිමිහිට ඇඟිලි අතරින් බලල ෆයිට් එක ඉවර උන ගමන්ම ආපහු බලන්න පටන් ගන්නවා. කොහොමෙන් කොහොම හරි දැන් මූවි එක බලන්න ගියා කියල කියමුකො. කිරි අප්පට පැනපු බල්ලො මීකිරි හට්ටිය කෑව වගේ හසිතයට මේ මූවි එක හොඳට අල්ලල ගියා. මීට කලින් මූ බැට්මෑන්ව දැක්කෙ ඔය ඉස්කෝලෙ ලඟ ඉස්සර විකුනන්න තිබුන ස්ටිකර් වලින් විතරයි. එකට දැන්. බැට් මෑන් ජීවමානව ඉන්නවා වගේ ඇස් දෙක ඉදිරිපිටම ඉන්නවා. අපේ හසිතයට ආසාවෙ බෑ. ඉතින් වෙනදට ෆයිට් යනකොට ඇස් වහ ගන්න පොර අද ඇහි පිල්ලන් නොගහා මූවි එක බලනවා. ඉතින් මූවි එක ඉවර උනාට පස්සෙ අපේ කොල්ලට ෆුල් සැට. මොකද මූ ජිවිත කාලේටම සම්පූර්ණයෙන්ම බලපු ෆස්ට් ඇක්ෂන් මූවි එක. (මූ වෙනදට ෆුල් එකම බලන්නෙ නැහැනෙ, ෆිල්ම් එකේ බාගයක්ම මූ ඉන්නෙ ඇස් දෙක වහගෙනනෙ ) මූ ඉතින් යාලුවන්ටත් නොසෑහෙන්න ස්තුති කරල සෙට් එකත් එක්ක ආපහු ෆ්ලැට් එකට ආවලු. ඉතින් එදා රෑ කට්ටිය සප්පායම් වෙලා තුණුරුවන් මතක් කරලා එහෙම නිදා ගන්න ගියා කියමුකො. හසිතයගෙ අල්ලපු ඇඳේ හිටපු එකා මහ රෑ උඩ ගිහින් ඇහැරිලා තියෙනව. මෙන්න බොලේ හසිතයා මර ලතෝනි දෙනවලු හීනෙන්. ඌ බෙරිහන් දෙනවලු "අනේ බුදු අයියේ බුදු අම්මෝ ගහන්න එපෝ . . . අම්මෝ . . මාව බේර ගනියෝ " කියල. ඉතින් යාලුවත් ෆුල් ඩම් එක දාල හසිතයට වතුර පාරක් එහෙම ගහල ඇහැරව ගත්තලු. ඉතින් ඔන්න සද්දෙට අනිත් කාමර වල හිටපු අනිත් එවුන් සෙට් එකත් ආවලු බලන්න මොකක්ද මේ උනේ කියල. මොකද උනේ කියල ඇහුවට මූ නෙවෙයි කටවත් හොල්ලන්නෙ. පස්සෙ ඉතින් ඔය පිරිත් එහෙම ටිකක් දන්න යාලුවෙක් පිරිත් ටිකක් කියල මූව රිලැක්ස් කරල ආයෙමත් නිදි කෙරෙව්වලු. කොහොමෙන් කොහොම හරි අනිත් එවුන්ට මොකද මූට උනේ කියල දැන ගන්නකම් කිසි ඉස්පාසුවක් නැහැ. ඔන්න පහුවෙනිද වදෙන් පොරෙන් මුන් ටික හසිතයගෙන් කතාව අහ ගත්තලු. කාටවත්ම කියන්නෙ නැහැ කියල පොරන්දුවක් අරගෙන ඔන්න හසිතය කිව්වලු එදා රෑ වෙච්ච සිද්දිය අකුරක් නෑරම. කාටවත් නොකීව එකේ තරම දැන් පේනවනේ. දැන් ඔන්න මේ කාටවත් කියන්න එපා කියපු කතාව බ්ලොග් එකක යනවා.

හසිතට එද රෑ ෆුල් ආතල් හීනයක් පෙනිලා. හීනෙ හැටියට හසිත තමයි බැට් මෑන්. ඔන්න ඉතින් හසිත බැට් මෑන් කිට් එකත් අැඳල බොරැල්ලෙ YMBA එකේ වහලේ උඩට වෙලා ඉන්නවලු පාර දිහා බලාගෙන. එතකොටම හසිත දකිනවලු පික් පොකට් කාරයෙක් පාරෙ යන ගෑණු කෙනෙක්ගෙ පර්ස් එකක් උස්සල දුවනවා. ඉතින් මොකද මූ කරේ එක පාරටම අහසට පැනල ඉගිල්ලිලා ගිහිල්ල අර පික් පොකට් කාරයාගේ ඉස්සරහට පැන්නලු. පැනල ඉතින් මූ කිව්වලු, "අයියා මොකක්ද අයියා ඒ කරපු කැත වැඩේ ! පව්නේ අයිය ඒ අක්කගේ පර්ස් එක ආපහු දෙන්න . . . . " කියල. එත කොටම පික් පොකට් කාරය පැනපු ගමන් හසිතයගේ බෙල්ලෙන් අල්ලගෙන නෙලන්න පටන් ගත්තලු. දැන් මූ හසිතයට අම්බානෙකට ගහනවලු. ඔන්න එතකොට තමයි ඉතින් හසිතය කෑගහන්න පටන් අරන් තියෙන්නෙ . . . "අනේ බුදු අයියේ ගහන්න එපෝ . . . . මම බැට් මෑන් . . . මම බැට් මෑන්.. ගහන්න එපෝ කියල"

සුද්දා සහ බිත්තර ආප්ප

Posted by දුමී

(මට මේ කතාව කිව්වේ මගේ ආදර මිත්‍රයෙක්ව හිටිය සුජාන්. ඔහු අප අතරින් අකාලයේ සමු ගත්ත 2002 වසරෙදි. කෙනෙකුට ඉතාමත් කලාතුරකින් මුන ගැහෙන යාළුවෙක් ඔහු. හොඳ මිනිස්සුන්ට වැඩි ආයුෂ නෑ කියන කතාව ඇත්තක් කරමින් ඔහු අප අතරින් සමු ගත්තා. සසරේ සැරි සරණා තුරාවට යලිත් මෙවැනි අකල් මරණයකට පත් නොවේවා කියල මම පුංචි සටහනක් තියන්නම් ඉස්සෙල්ලාම. සුජාන් සහ මම අකුරු කලේ එකම ඉස්කෝලේ. මට වඩා අවුරුද්දක් විතර ඉහල පංතියක හිටියත් අපි ගොඩක්ම යාලුවො උනේ ඉස්ස්කෝලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකට බැඳුනට පස්සෙ තමා. තමන්ගෙ යාලුවො වෙනුවෙන් ජීවිතේ හරි දෙන ජාතියේ සුන්දර මනුස්සයෙක් ඔහු. ඉතින් සුජාන් මට කිව්ව කතාව ලියනව කියල පටන් ගත්තත් ඔහු ගැන මතක් වෙලා හැඟීම් බර වෙන එක වලක්ව ගන්න බැහැ.)


ඉස්කෝලේ A/L වලින් පස්සෙ සුජාන් කාලයක් වැඩ කලා වත්තල පාම් බීච් හොටෙල් එකේ ෆ්‍රන්ට් ඩෙස්ක් කැෂියර් කෙනෙක් විදිහට. ඉතින් මම මේ ලියන්න යන කතා දෙක වෙලා තියෙන්නෙ සුජාන් එතන වැඩ කරමින් ඉන්න කාලෙදි තමයි. ඉතින් ඔය කාලේ හොඳ හොඳ ඒව වෙලා තියෙනවා. ගොඩක් ඒව ඉතින් මෙහෙම පබ්ලික් එකේ දාන්න පුලුවන් ඒව නෙවේ. මේ කතා දෙකත් ටිකක් විතර තාර බර එහෙම ඇරල තමා ලියන්නෙ මොකද හරිම භාෂාව සහ වචන පාවිච්චි කරන්න බැරි නිසා.


ඔන්න එක දවසක් හෝටලේට ඇවිල්ල තියෙනව ලස්සන ජර්මන් කෙල්ලො දෙන්නෙක්. විශේෂත්වය තමයි උන් දෙන්නා කසාද බැඳල මදු සමය ගත කරන්න තමයි ලංකාවට ඇවිල්ල තියෙන්නෙ (ඔන්න ඉතින් කට්ටිය ඊයා, ඉකේයියා කිය කිය ඉන්නෙ නැතුව කතාව අහගන්න. අප්සෙට්මනම් ඉතින් ඉතුරු ටික නොකියව හිටියට කමක් නැහැ.) . අපිට මේව ඉතින් මැජික් උනාට උන්ගේ රටේ මේව හරිම සාමාන්‍ය දේවල්නෙ. මේ වගේ 'සම රිසි' විවාහ වලට නීතියෙන් කිසිම තහනමක් නැහැ.

ඉතින් මේ සුද්දියො දෙන්න හෝටලෙට ඇවිත් සතියක් දෙකක් විතර ගත කරල තියෙනවා. මේ දෙන්න හැමෝම එක්ක හරිම සුහද විදිහට කතා බහ කරනවලු. ඉතින් සුජාන් ඉන්න තැනටත් නිතරම ඇවිල්ල කට්ටියත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳල යනවලු. ඉතින් එක දවසක් ඔහොම කතා කර කර ඉඳල යනකොට කෙල්ලො දෙන්න සුජාන්ල දිහාවට අත වනල "ආප්පේ . . " කිව්වලු. කට්ටිය මූනට මූන බලාගත්තලු මේ මොකක්ද මුන්ට උනේ කියල . එදා ඉඳන් හැමොටම මුන් දෙන්න අත වන වන ඒ වචනය කියනවලු. ඉතින් සුජාන්ල හොයල බලල තියෙනව මොකක්ද වෙලා තියෙන්නෙ කියල. බලාගෙන යනකොට නැහැදිච්ච රූම් බෝයි කෙනෙක් මුන්ට උගන්නල සිංහලෙන් "බායි" කියන්නෙ එහෙමයි කියල.

ඉතින් ඒක තමයි පලවෙනි කතාව. සමහරුන්ට ඉතින් මේක කැත කතාවක් කියල හිතෙයි. ඉතින් ඒකට එච්චර කේන්ති ගන්න එපා. මේ ඇහෙන් බලල අනිත් ඇහෙන් පිට කරල දන්නකො ඔන්න . . . !



දෙවනි කතාවත් ඉතින් ආප්ප කතාවක්ම තමයි, හැබැයි ඒක නම් බිත්තර ආප්ප කතාවක්. මේකටත් ඉතින් සුද්දෙක් සම්භන්ධයි.

ඉතින් ඔන්න එක දවසක් හෝටලේ නවතින්න සුද්දෙක් ආවලු. මේ සුද්ද හරිම ඩිමාන්ඩින් පොරක්ලු. හැම දේම තිතට තියෙන්න ඕනෙලු. ගොඩක්ම ඉතින් කරදරේ බුෆේ එකේ ඉන්න අයටලු. බුෆේ එකේ කොච්චර හොඳට කෑම හදල තිබුනත් ඌට ඒව හොඳ මදිලු. එක්කො එලවළු තම්බල වැඩියි කියයිලු, මස් ග්‍රිල් කරල මදි කියනවලු, ඔය වගේ දාහක් විතර කම්ප්ලේන්ලු. ඉතින් දවසක් සුද්දා ඩිනර් එකට ආපු වෙලාවක ආප්ප හදන චෙෆ් ලඟට ගිහිල්ල බිත්තර ආප්පයක් ඉල්ලලා. ඉතින් ආප්ප චෙෆ් දන්න සාස්තරය පාවිච්චි කරල බිත්තර ආප්පයක් පුච්චල දුන්නලු. සුද්ද මේක අරගෙන චෙක් කරල ආපහු ආප්පෙ දුන්නලු. දීල කිව්වලු මේකෙ බිත්තරේ තැම්බිල වැඩියි කියල. කොහොමත් මේ වෙනකොට බුෆේ එකේ ලයිව් කුකින් කරපු කොල්ලන්ට මූව ඇති වෙලා තමයි තිබිල තියෙන්නෙ. ඉතින් ආප්ප දාන චෙෆ් ලඟින් ඉන්න කොත්තු හදන චෙෆ්ට සිංහලෙන් කිව්වලු, "මේ ............... සුද්දට කොච්චර හොඳට අප්ප හැදුවත් වැරදියි" කියල (හිස් තැනට යොදපු වචනය මේකෙ දාන්න බැහැනෙ. හරි හරි ඔය හිතපු වචනය තමයි ) . ඒත් එක්කම සුද්ද කිව්වලු "චී චී මල්ලි කුණු හරුප කියන්න එපා ! බිත්තර ආප්පයක් දෙන්න බැරිනම් නිකං ආප්පයක් දෙන්න" කියල. අර කොල්ලො දෙන්න ෆුල් හොල්මන්ද පොල් කොල වෙලා ගියාලු. මූණු නිකන් යෝක් එක කැඩිච්ච බිත්තර ආප්පයක් වගේ වෙනව දැකල සුද්ද කිව්වලු "කමක් නෑ මල්ලි, මම කාටවත් කියන්නෙ නැහැ, පුලුවන් විදිහට ආප්පයක් හදල දෙන්න" කියල. බලාගෙන යන යනකොට මේ සුද්ද අවුරුදු 15 ක් විතර ලංකාවෙ ජීවත් වෙච්ච එකෙක්. ඌට හොඳට සිංහල පුලුවං.

රැල්ළ වෙරළ සහ පස්ස පැත්ත

Posted by දුමී



භාෂාව වැරදීමෙන් සිද්ද වෙච්ච නස්පැත්ති ගැන කට කහන කතා තුනක්ම එක දිගටම ලියුව නිසා පොඩ්ඩක් වෙනස් කතාවක් ලියන්න හිතුනා පොඩි වෙනසකටත් එක්ක. හැබැයි ඉතින් තවත් භාෂාව වැරදිච්ච කතා දෙක තුනක්ම තියෙනවා ලියන්න. එවා ඉතින් පස්සෙ ලියන්න බැරියෑ. . .

මේ කියන්න යන කට කහන කතාව වෙලා තියෙන්නෙ මගේ අති ජාතක යාළුවෙක් වන නිලන්තට. නිලන්තයයි මමයි එකම දවසෙ තමයි මම කලින් වැඩ කල කොම්පඤ්ඤ වීදියේ තියෙන කම්පැණි එකට ජොයින් උනේ. හැබයි ඌ තාමත් එතනම තමයි වැඩ කරන්නෙ. මම දැන් ඒකෙන් අස්වෙලා අවුරුදු තුනකට ටිකක් වැඩ්යි. අපි එකට හිටිය සෙට් එකෙන් දැන් ඒකෙ ඉතුරුවෙලා ඉන්නෙ ටික දෙනයි. ගොඩක් එවුන් ඉන්නෙ පිට රට. එක්කො මයිග්ග්‍රේට් කරල එහෙම නැතිනම් පිටරට ප්‍රොජෙට්ක්ට්ස් වල වැඩ කරනවා. නිලන්තයට චාන්ස් එක හම්බ වෙලත් ඌ යන්නෙ නැත්තෙ ඌ ප්ලේන් වල යන්න බයයි. එතකොට ඉතින් අහන්න පුලුවන් ප්ලේන් එකේ යන්න බැරිනම් ඉතින් නැවේ පලයන්කො කියල. ඌ නැව්වල යන්නත් බයයි මොකද ඌට පීනන්න බැහැයි කියලා. අනිත් එක ඌ රඹුටන් වලට හරි ආසයි. කොච්චර ආසද කියනවනම් බැන්දෙත් මල්වානෙන්. දෑවද්දටත් රඹුටන් ගස් කීපයක් හම්බවුනා කියල තමයි ආරංචිය.

හැබැයි ඉතින් අපරාදෙ කියන්න බැහැ මම නිවාඩුවට ලංකාවට එන හැම සැරයකම ඌ එනවා මාව බලන්න රඹුටන් වල්ලකුත් අරගෙන. ඇවිත් ඉතින් දවසක් දෙකක් ඉඳල තමයි යන්නෙ. මමත් ඉතින් ලංකාවට ආවහම ඉස්සෙල්ලාම කතා කරන්නෙ ඌට. ඉතින් ඌත් එනවා පණ කඩාගෙන මාව බලන්න. එක පාරක් මම ආව දවසෙ පහුවෙනිද අපේ අම්ම කොස් තම්බලා, හොඳ කට්ට කරෝල හොද්දක් හදල, කොච්චි දාල හොඳ සැරට පොල් සම්බෝලයක් එහෙම හදල තිබුනා මොකද මෙහෙදි මේ වගේ කෑමක් හම්බවෙන්නෙම නැති නිසා සහ ඒක මගේ ප්‍රියතම කෑමවලින් එකක් කියල අම්ම දන්න නිසා. මගේ කරුමෙට මූ ආවෙත් එදාම තමා. ආපු ගමන් මූ දෙසා බෑවෙ නැතෑ මුලු කොස් හට්ටියම එක කොස් ඇටයක්වත් ඉතුරු නොකර. ඉතින් එදයින් පස්සෙ නිලන්තයා එනව කියල දනගත්ත ගමන් අම්ම කියනව "ලොකු පුතේ ඉක්මනට කාල හිටියනං අර ළමය එන්න කලින් . . ." කියල.

ආ මට වැදගත්ම දේ කියන්න බැරි උනානේ. නිලන්තය කටුබැද්දෙ ඉන්ජෙක්. උගෙ කැම්පස් එකේ කාඩ් එක තමයි 'පයිතා' . පයිතා කිව්වහම ඒ දවස්වල මුළු කැම්පස් එක විතරක් නෙමෙයි මුළු කටුබැද්දම දන්නවා. හැබැයි ඉතින් ඔන්න මම නොකිව්වැයි කියන්න එපා. ඔය කටුබැද්ද පැත්තෙ යන එනකොට නිකමටවත් 'පයිතව' දන්න විත්තියක් කාටවත් අඟවන්න එපා. ඒක සෞඛ්‍යයට ඉතා අහිතකරයි.

තවනම් ගොඩක් තියෙනව ඉතින් මූ ගැන කියන්න. හැබැයි ඒකෙන් මේකෙන් කියන්න යන කතාව දිග්ගැස්සෙන එක තමයි වෙන්නෙ. ඒක නිසා මම කතාව පටන් ගන්නම්.

ඉතින් අපේ නිලන්තයා කැම්පස් එකේ ඉන්න කාලෙ උන්ගේ බැචෙක්ගෙ ගෙදරක මල ගෙයක් වෙලා. මල ගෙදර තිබිලා තියෙන්නෙ මාතර පැත්තෙ. ඉතින් අපේ නිලන්තයත් උගේ සෙට් එකේ 10ක් 15ක් එක්ක ගියාලු මල ගෙදර. කොහොම හරි මේ දවස්වල කැම්පස් එකේ එග්සෑම් දවස් හින්ද උන් ඉක්මනට එන්න බලාගෙන තමයි ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඉතින් ඔය මල ගෙවල් වල ගියාට පස්සෙ නානාප්‍රකාර වැඩ කෝටියයිනෙ. ඔය අතරෙ ඉතින් මල ගෙදර නයිට ගහන කටිටියට කිරි කෝපි, මාරි බිස්කට් සහ මෙකි නොකී ජාතිත් ඉතින් අහල පහල තියෙන ගෙවල් වලින් සප්ලයි කරනවා. ඒ වගේම් රෑ කෑමත් හොඳ ගමේ රහට අල්ලපු ගෙදරකින් කට්ටිය සප්පායම් වෙලා කාරිය තමයි ඉඳල තියෙන්නෙ.

ඒ වගේම ගම්වල මල ගෙයක් උනහම ඉතින් බූරුවා පොලක් එහෙම වරදින්නෙත් නැහැනෙ. ඉතින් කට්ටිය බූරුව ගහන්නයි, කැරම් ගහන්නයි තව ඉතින් ඔය බෝතලයක් එහෙම හෙමින් සැරේ රවුම් කරන්න වගේ දේවල් වලට ටික ටික සෙට් වෙලා දන්නෙම නැතුව රෑ දෙගොඩ හරියෙ ජාමෙටත් ආවලු. කට්ටියට ආපහු යන්න ඕනෙ කියල මතක් වෙනකොට අම්බානකට පරක්කු වෙලා. ඉතින් තවත් නැවතිල හිටියොත් අපිටම තමා කෙලවෙන්නෙ කියල කට්ටියම බැස්ස පාරට ආපහු යන්න. ඒත් ඉතින් කොහෙද රෑ දෙගොඩ හරියෙ බස් තියෙනවයෑ. ඉතින් ඔහොම ටික දුරක් පයින්ම ඇවිදින කොට වාහනයක් එනව වගේ දැකල අත දාල එක නැවැත්තුවලු. බලාගෙන යනකොට සර්විස් එක ඉවර කරපු ප්‍රයිවෙට් බස් එකක් ඒක. ඉතින් කට්ටිය ඩ්‍රයිවර්ටයි කොන්දටයි වැඳල වැඳල තංගල්ලට පොඩ්ඩක් මෙහායින් බස්සවගන්න කැමති කරගත්තලු. දැන් මේ වෙනකොට වෙලාව පාන්දර තුන හමාර හතරට වගේ කිට්ටුයි. කට්ටියව බස්සපු බස් එකත් අතුරු පාරකට හරෝල නොපෙනී ගියාම ඔන්න ඉතින් අපේ නිලන්තයගෙ නඩේ ආපහු කොළඹ පැත්තට මංගච්චන්න පටන් අරගත්ත බස් එකක් හම්බෙනකං පයිංම යං කියලා.

ඔහොම ටික දුරක් යනකොට කට්ටියට ටික ටික ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයත් ඩිංග ඩිංග මතු වේ ගෙන ආවලු. දන්නවනෙ ඉතින් කැම්පස් හොස්ටල්වල ජීවිතේ, නිකං බඩවල් programme කරල වගේනෙ තියෙන්නෙ. වෙලාව එනකොටම සෙට් වෙනවා. ඉතින් කොහේ කියල යන්නද. මේ වෙනකොට කට්ටිය හොඳට හුලං වැදි වැදි මුහුද අයිනෙන්ම වැටිච්ච පාරෙ තමයි ඇවිද ඇවිද ඉඳල තියෙන්නෙ. පේන තෙක් මානෙක ගෙයක් දොරක් කඩයක් එහෙම පේන්නත් නෑ. එකම විකල්පය තමයි ඉතින් බීච් එක. කොහොමත් සෙට් එකෙන් ගොඩ දෙනෙක්ට මේ වෙනකොට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය තදින්ම වගේ දැනිල, ඊට වඩා අඩියක්වත් ඉස්සරහට යන්න බැරි විදිහට. ඉතින් කට්ටියත් නමෝ විත්තියෙන් බීච් එකට අඩිය තිබ්බලු. කළුවර කොහොමද කියනවනම් එකාට එකා පේන්නෙ නැති තරමටම කළුවරයිලු. ඔන්න ඉතින් කළුවර හිංද ටිකක් ප්‍රයිවසිත් තියෙනවා (ඕක ඉතින් නැති උනා කියලත් මුන්ට අවුලකුත් නැහැ ) හෝදගන්න මුහුදෙ වතුරත් තියෙනවනෙ කියල කට්ටිය ඉතින් පෝලිමේ තැන් තැන් වල ඉඳගත්තලු. ඒත් ඉතින් බයේ බයේ තමයි කට්ටිය කලිසං ගලෝල වැල්ලෙ වාඩිවෙලා තියෙන්නෙ මොකද ඔය තංගල්ල හරිය කකුළුවන්ට හරි ප්‍රසිද්ධයිනෙ.ඔය කටර් අඬු වගේ තියෙන උන්ගෙ ලොකු අඬුවකට අහු උනොත් එහෙම ඔය පොලවට ලම්භක දෙවල් වලට අනුතුරක් උනත් වෙන්න පුලුවන්නෙ. ඒවගෙද ඉකිරියෝ. ඇනුනොත් එහෙම මොන දෙයියන්ට කියල කියන්නද ?

කොහොමෙං කොහොම හරි බයෙන් බයෙන් ඉඳගෙන කට්ටිය ටික ටික වැඩේ ඉවරයක් කරගත්ත කියමුකො. දැන් ඉතින් හෝදගන්න වාරෙ. මුහුද ටිකක් දුරින් වෙන්න තමයි කට්ටිය වැල්ලෙ වාඩි වෙලා තියෙන්නෙ. අනික මුහුද හරියටම කොයි හරියෙද තියෙන්නෙ කියල පේන්නෙත් නැහැ. ඒ තරමටම කළුවරයි. ඒ මදිවට මේ වාරකං කාලේ. පස්ස හොදගන්න කියල කලුවරේම මුහුදට ගියා වගේ නෙවෙයි ලොකු රැල්ලකට අහුවෙලා ගහගෙන ගියොත් ඉතින් පස්ස හේදුව වගේද ?

මුං ටික ඔක්කොම ඉතින් ඉන්ජොනෙ. ඔන්න ඉතින් ගණිතඥාණය එහෙම පාවිච්චි කරල එකෙක් කිව්වලු "මචං අපි එකෙක්ව දාමු හොඳ රැල්ළක් එනවද කියල බලන්න කියල, රැල්ළ එනකොට අපි හෝදගමු " කියල. ඔන්න ඉතින් කට්ටියම මේකට ඇග්‍රිවෙලා වැඩේට සෙට් නොවෙච්ච එකෙකුට කිවාලු පොඩ්ඩක් රැල්ලක් එනවද කියල බලන්න කියලා, මුන් ටික මුහුද පැත්තට පස්ස පැත්ත හරෝල පෝලිමට ඉඳගත්තලු. දැන් ඉතින් කට්ටිය පෝලිමට වාඩි වෙලා බලාගෙන ඉන්නවළු ටිකක් ලොකු රැල්ලක් එනකන් මොකද කට්ටිය ඉන්නෙ මුහුදට ටිකක් දුරින්. ඉතින් ලොකු රැල්ලක් ආවොත් තමයි උන් ඉන්න හරියට වතුර එන්නෙ. විනාඩි පහක් දහයක් ගියාලු ඒත් එන එන රැළි ඔක්කොම පොඩි පොඩි ඒවලු. මුන් ටික ඉතින් තව ටිකක් විතර මුහුද කිට්ටුවට වෙන්න ලං උනාලු තාරවො වෝක් එක දාලා. ඔන්න එතකොටම රැල්ළ බලන්න දාල හිටපු එකා කෑගැහුවලු ඔන්න එනවා ඔන්න එනවා හෝද ගනින් හෝද ගනින් කියල. එතකොටම මුන් ටික දාලා අතුල්ලන්න පටන් ගත්තලු හොඳට. කරුමෙක මහත කියන්නෙ ඒ රැල්ළත් උන්ට අඩියක් විතර මෙහායින් නතරවෙලා ආපහු හැරිල ගියාලු.

Related Posts with Thumbnails