දුමී බබා කාලේ - දුමීගේ අක්කා සහ කළුබෝවිල දුමී

Posted by දුමී

දුමී බබා කාලේ කතා දෙකක්ම කියුවනේ. මේ කියන්න යන කතාව නම් බබා කාලේ වෙච්ච එකක් නෙමෙයි, ඊට ගොඩක් පස්සෙ වෙච්ච එකක්. ඒත් ඉතින් බබා කාලේ කියලා කැටගරයිස් කරලා දැම්මා ඔන්න ඔහේ. ඔන්න ටික ටික ලොකු වෙනකොට ඉතින් දුමීට තමයි ගෙදර සිකියුරිටි කාරයාගේ වැඩේ කරන්න උනේ. අක්කට තනි රකින්න එයාගෙ වලිගේ වගේ අරහෙයි මෙහෙයි, නංගියි මල්ලියි ක්ලාස් අරගෙන ගිහිල්ලා ආපහු එක්කං එන වැඩයි, ඊට පස්සෙ නාට්ටාමි වැඩ ටික, අර අම්මත් එක්ක ෂොපින් ගිහිල්ලා කිලෝ ගනන් ෂොපින්ග් බෑග් එල්ලගෙන බස් එකේ සෙනග අස්සෙ හිර වෙවී කරන ඩිලිවරි බෝයිගෙ වැඩ, ඉවරයක් නෑ. ඉතින් මේ කාලේ වෙනකොට අක්කා තමයි ගෙදර වැඩර්. එයාට උඩින් තිබුනේ ගෙදර සීලිමේ හයි කරලා තිබ්බ බල්බ් ටික විතරයි. තව ඕනෙමනම් ඔය මේරුවෙක්ව දෙන්නෙක්ව අල්ලන්න බලාගෙන යන හූනෙක් දෙන්නෙක් ඕන්නං උඩින් ඉන්නැති.

මේ මොන නව නිංගිරාවක්ද කියලා දුමී කිහිප පාරක්ම ට්‍රයි කලා එයත් එක්ක යුද්ද ප්‍රකාශ කරලා ගේ ආක්‍රමණය කරන්න. ඒ හැම පාරකම පෙර පිනකින්ද කොහෙදෝ දුමී ඉස්පිරිතාලේ නොගිහින් යන්තම් පණ බේර ගත්තා. ඒ හැම වලියක්ම ඉවර වෙනකොට දුමීගේ අත්, මූණ, කකුල් වල කොටියෙක් හීරුවා වගේ නියපොතු පරවලුයි, දත් පාරවලුයි, ඊට පස්සෙ දවස් ගානක් තෙල් බෙහෙත් බඳින්න තරම් උළුක් වෙච්ච ඇඟිලියි තමයි ඉතුරු වෙන්නෙ. දුමී එහෙම ගුටි කන්නෙ ඉතින් දුමීගෙ කේන්දරේ නිසා. කවුද මං දන්නෙ නෑ ආචාරියෙක් පොඩි කාලේ දුමීගෙ කේන්දරේ බලලා කිව්වලු දුමීගෙන් පාරක් කාල එකෙක් මැරෙනවා කියලා. අනේ ඉතින් එදායින් පස්සෙ දුමීගෙ අම්මා දුමීට ගෙදර වහලේ සීලිමේ බල්බ් එකක් හයි කරන්නවත් අතක් උස්සන්න දෙන්නෙ නෑ. ඒ නිසා අනේ ඉතින් කොච්චර යුද්ද ප්‍රකාශ කලත් අක්කා ඇවිල්ලා හපලා, හූරලා, විකලා, ඇදලා උළුක් කරලා යනකං දුමී බලාගෙන ඉන්නවා.

දුමීගේ අක්කා සහ නංගී දෙන්නාම ගියේ ඔය නුගේගොඩ පැත්තෙ තියෙන කෝලි කුට්ටු ලෙල්ලක් බෙල්ලෙ එල්ල ගත්තා වගේ ගෑණු ළමයි ඉන්න ඉස්කෝලෙට. ඔන්න කොච්චර කොක්කෙන් හිටියත් ඉස්කෝලේ මොකක් හරි එක්සිබිෂන් එකක් වගේ එකක් තියෙනවනම් ඔන්න අක්ක එනවා ඇස්ට්‍රා ටිකිරි පැකට් එකක් අරගෙන බටර් ගාලා දුමීට කියලා මොකක් හරි හදවගන්න. ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් උණ හැදිලා තිබුනු නිසා ඔය එක එක සර්කිට් කෑලි හදන එක තමයි දුමීගෙ විනෝදාංශය වෙලා තිබුනේ. ඔන්න එක දවසක් ඉතින් එහෙම තිබිච්ච එක්සිබිෂන් එකකට දුමී අක්කට හදලා දුන්නා පොඩි පාට පාට බල්බ් (එල්.ඊ.ඩී) වලින් හදපු ගේම් එකක්. එකෙන් වෙන්නෙ බොත්තමක් එබුවහම පාට පාට බල්බ් 10ක් නිවි නිවි පත්තු වෙලා, එක පාරටම එක බල්බ් එකක් විතරක් පත්තු වෙලා තියෙත්දි අනික් බල්බ් ඔක්කොම නිවිලා යනවා. මේ ඉතුරු වෙන බල්බ් එක එක වෙලාවලදි වෙනස් වෙනවා. ඉතින් ඔය ඉතුරුවෙන බල්බ් එක ප්‍රඩික්ට් කරන එක තමයි ඔය ගේම. හපොයි ඉතින් දුමී සහෝදර ප්‍රේමෙ නිසා අතින් කයිට් කරගෙන පොකට් මනිත් වියපැහැදම් කොරලා හදලා දුන්නා කියමුකො. දුමීගේ අක්කා ඇතුළු කෙල්ලො සෙට් එක (එයාට හිටියා එයා වගේම මාර දූතිකාවෝ ටිකක් ) එක්සිබිෂන් එකේදි මේ ගේම් එක ගහන්න එක්කෙනෙක්ගෙන් රුපියල් 5ක් අය කරලා. ඒ කාලේ ඒ කියන්නෙ 90-91 කාලේ රුපියල් 5ක් කියන්නෙ හෙන ගානක්. අන්තිමට දුමීගේ අක්කා සහ යාළුවෝ සෙට් එක කාඩ් එකක් ගහගෙන එක්සිබිෂන් එක බලන්න එන අයගෙන් "ජැක් පොට්" කියලා. අනේ ඉතින් ඊට පස්සෙ ක්ලාස් යනකොටත් කොල්ලො කුරුට්ටෝ මේ ගොල්ලන්ට කෑගහනවලු, "ජැක් පෝට්, ජැක් පෝට්" කියලා. ඉතින් ටික දවසකට පස්සෙ අක්කණ්ඩි ඇවිල්ලා දුමීට රවලා, ගොරවලා විරිත්තලා ගියා එයාට ජැක් පොට් එකක් හදලා දුන්නා කියලා. හරියට නිකං එයාට කියලා මම රුපියල් 5 ගානේ හම්බ කරගත්තා වගේ.

දුමීගේ අක්කා උසස් පෙළට කලේ අර ඇඟ පුරාම මොලේ තියෙන උදවිය කරන බයේ සයන්ස්. කොහොමත් ඒ බයේ සයන්ස් කිරිල්ලෙන් උනේ අන්තිමට අහිංසක ගෙම්බෝ කීපදෙනෙකුට ජීවිතය පූජා කරන්න වෙච්ච එක විතරයි. ඉතින් එයා උසස් පෙල පන්තියේ මුල් අවුරුද්දේ ඉන්නකොට දුමී සාමාන්‍යය පෙල කරලා ජොලියේ ගෙදරට වෙලා ඉන්න කාලේ. ඔන්න ඉතින් ඒ අවුරුද්දේ දුමීගේ අක්කණ්ඩි සහ මාර දූත යාළුවො සෙට් එක ප්‍රදර්ශනයකට තියන්න සෙට් වෙලා ඉන්නෙ කඩොලානක්. කෙල්ලො සෙට් එකේ මොලේ කොහොමද කියලා කියනවනන්, විනිවිද පේන (වීදුරු වගේ ) ප්ලාස්ටික් ෂීට් අරගෙන "බෝල්ට්" ඇණ දාල පෙට්ටියක් හදලා. වතුර පුරවන්න ප්ලෑන් කරලා තියෙන්නෙ ඇතුලට පොලිතීන් ෂීට් දාලා. අනේ මුන්ට හිතුනේ ණෑනේ වීදුරු මාළු ටැංකියක් හොයා ගන්න. ඇයි ඇඟ පුරාම මොලේනෙ. ඔන්න ඊට පස්සෙ මේකට මඩ තට්ටුවක් දාලා, එක එක ගස් හිටවලා, වතුර පුරවලා, කොහෙන්දෝ ගප්පි ටිකක් හොයාගෙන (කඩොලානේ ජෛව විවිදත්වය පෙන්නන්න ) දාලා කොහොම හරි වැඩේ අටවගෙන. ඔන්න යන්තං පලවෙනි දවසේ ෂේප් කර ගත්තා කියමුකෝ. පහුවෙනිදා උදේ ඇවිත් බලනකොට පොලිතීන් එක හිල් වෙලා වතුර ඔක්කොම ලීක්, ගප්පි ටික පස් කඳු වලට යට වෙලා මැරිලා එකම ඛේදවාචකයයි. අක්කා ඇතුළු මාර දූතියෝ ටික ඉන්නවා නිකං නයා පැනලා ගිය නයි නටවන්නෝ ටික වගේ මූණු ටික මල ගෙවල් කරගෙන. ඔන්න ඉතින් කෙල්ලො සෙට් එකේ කඩොලානත් එහෙම්ම්මම චකබ්ලාස්.

ඔන්න එක දවසක් දුමියි අක්කයි ඉන්නවා කළුබෝවිල බස් හෝල්ට් එකේ නුගේගොඩ පැත්තට යන්න. ඒ කාලේ ඉතින් අම්මා පොකට් මනී දෙන්නෙ වෙන වෙනම නිසා තමන්ගෙ වියදම් තමං බලා ගන්න ඕනෙ. ඒ කියන්න දුමී ටිකට් ගන්නෙ දුමීට විතරයි. අක්කා ටිකට් ගන්නෙ අක්කට විතරයි. හරිම ස්වාධීනයි. ඔන්න ඉතින් අර මාරයා වැඩ කරන ජාතියේ ලංගමයක් ආවා. ඕකෙ හිටපු කොන්දා නැතිනම් බස් පළුවා මහ නාහෙට නාහන මැන්ටලයක්. මම දැකලා තියෙනවා පොර දවසක් වලියක් දාන්න ආපු එකෙක්ට ටිකට් මැෂිමෙන් ගහනවා මූණ ඤාලු වෙන්න. ඒ දවස්වල කළුබෝවිල ඉඳන් නුගේගොඩට 1.50යි. ඔන්න ඉස්සෙලාම නැග්ගෙ අක්කා. කොන්දා බෙරිහන් දෙනවා මාරු සල්ලි අරගෙන එන්න කියලා. ඔන්න අක්කා දුන්නා සල්ලි කොන්දට. පොර ඒක අතට අරගෙන හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සෙ සාක්කුවෙන් කණ්නාඩි කුට්ටමත් අරගෙන දාලා ආපහු බැළුවා. දුමිත් ඉතින් බැළුවා මොකක්ද යකෝ මෙච්චර මූ මේ බලන්නෙ කියලා. යකෝ බැලින්නම් අපේ අක්කණ්ඩි රුපියල් දහයක් දීලා, නිකං නෙමෙයි, ඒක ගිණි කූරක් සයිස් එකට පුංචිම පුංචියට රෝල් කරලා. ඔන්න අක්කත් මේක මුගේ අතට දීල බස් එක ඉස්සරහට ගියා. අර මාරු සල්ලි අරං එන්න කියලා කෑගහපු කොන්දා දැන් දාගෙන රුපියල් දහය දිග අරිනවා. ඔන්න දැන් මූට මල පැනලා, මූ දැන් ටික ටික කියවනවා නවත්තන්නෙ නැතිව. තාම මූ අර රුපියල් දහය දිග අරිනවා. දැන් අර කියවිල්ල හෙන බැනුමක් වෙලා, මුළු බස් එකම දැන් බලනවා. ඔන්න ඉතින් දුමීටත් පුළුවන් යෑ මූ අක්කට බනිනකොට කට පියාගෙන ඉන්න. ඒත් වලියට යන්නත් බැහැ මොකද දුමී දන්නව සතා කවුද කියලා. ටිකට් මැෂිමේ ඉලක්කං ටික මූණෙ එම්බෝස් කර ගන්න පුළුවං මූත් එක්ක දැන් වලියට ගියොත්. ඉතින් දුමී ස්ථානෝචිත ප්‍රඥ්ඤාව පාවිච්චි කරලා කොන්දගේ කණට කරලා මෙහෙම කිව්වා.

"ෂ්.... අංකල් කැගහන්න එපා....දන්නවද ඒ කවුද කියලා......"

දුමී දිහා ඇස් ලොකු කරලා බලලා ඔන්න කොන්දත් ඔළුව වනනවා දන්නෙ නෑ කියලා.

"ෂ්.... අංකල් ….. ඒ තමයි කළුබෝවිල දුමීගේ අක්කා......!"

දුමී බොහොම බැරෑරුම් විදිහට රහසින් වගේ කියලා දැම්මා.

ඒ කියපු විදිහට කොන්ද නම් හිතුවෙ කළුබෝවිල දුමී කියන්න හරියට අර මරු සිරා වගේ මැර ඩයල් එකක් කියලා එහෙම්මම සද්දේ වහ ගත්තා.

ඔන්න ඊට පස්සෙ බබා මූනක් දාගෙන ඔළුව පාත් කරගෙන අක්කා ලඟටම ගිහිල්ලා ටිකට් එකයි ඉතුරු සල්ලියි දුන්නා.

කොන්දා දන්නවනම් කළුබෝවිල දුමී තමයි මේ උගේ ඉස්සරහා ඉන්නෙ කියලා, පොර ඒ වෙලාවෙම දුමීව රෝල් කරලා ටිකට් මැෂිමෙ ඇතුලට දානවා ටිකට් රෝල වෙනුවට.

ඒ සීන් එක එහෙම ෂේප් කරා කියමුකෝ, හොඳම හරිය තියෙන්නෙ ඊට පස්සෙ. දුමීගේ අක්ක එදායින් පස්සෙ බලන් ඉඳලා බලන් ඉඳලා අර බස් එකේම තමයි යන්නෙ. මොකද කොන්දා එදායින් පස්සෙ කවදාවත් අක්කාගෙන් සල්ලි ගත්තෙ නෑ.

60 comments :

  1. බොරුද කොහෙද අප්පා...!!! ;-)

    ReplyDelete
  2. හිහි... අපිට කොහෙද මේ වගේ මල්ලිලා... කරුමෙ තමයි ...

    කඩොලානක් අපිත් හැදුව.. අපි කිවට ඉතින් රාහුලේ ළමයි ටික තමයි සම්පූර්ණයෙන් කඩොලාන ප්‍රජාව ට වග කීවේ...

    ඉතින් දැන් අර කළුබෝවිල දුමිය රටෙත් නැහැ ලු නේද ?

    ReplyDelete
  3. ඉතිං ඊට පස්සේ බස්පළුවා දැනගත්තේ නැද්ද "කළුබෝවිල දුමී" කියන්නේ කවුද කියලා..... :D

    ReplyDelete
  4. ඒ බස් එකේ කොන්ද එක්ක වලියෙන් පස්සෙ තමයිලු කලුබෝවිල දුමී රටෙන් පැන්නෙ.

    ReplyDelete
  5. දුමී ඒ වෙලාවේ ටිකිරි මොලෙන් හොඳ වැඩක් අරගෙනනේ.. කිව්වත් වගේ කලුබෝවිල දුමී රටෙන් පිට උනේ ඔය බස් පලුවට ඇත්ත මාට්‍ටු උන නිසාද දන්නේ නැහැ.

    ReplyDelete
  6. අඩේ දුමියා උඹ එහෙනං අපේ වෘත්තීය සගයෙක් බය කොලා ඈ..
    ඔහෙ හිටු..
    වරකෝ මෙහෙ..මං අල්ල ගන්ට ..
    වැඩෙ තියෙන්නේ උඹ කටුනායකින් එයිද නැත්තං අර අහවල් තොටු පොලෙන් බහීද දන්නෙ නැති එකයි..

    ReplyDelete
  7. කළුබෝවිල දුමී, කොහුවල ජිබා දන්නවද දන්නේ නෑ....

    ReplyDelete
  8. "කලුබෝවිල දුමී" ගේ ටිකිරි මොලේ හෙ හෙ.....

    බස් පාළුවා කෙසෙ වෙතත් අක්කා නම් මෙක කියෙවුවනම් දුමී අයියා එනකම් බලගෙන ඉදීවී ඔන්න ... අපි දන්නේ නෑ ..ජෑක්පොට් එක ගෑන . රටටම කීවා කියලා .. :)

    ReplyDelete
  9. @Dee,
    ඩී දන්නවානෙ ඉතින් දුමී කොහොම මැර ඩයල් එකක්ද කියලා...!

    @සොඳුරු සිත,
    වත් නගෝ, අපරාදේ මල්ලිලා නැති අක්කලා හරිම පවු.... ඒ වගේම අක්කලා ඉන්න මල්ලිලා ඊට වඩා පවු....

    එකනේ කියන්න, රටේ ඉන්නවත් බැරි තැනට වැඩ සිද්ධ උනානේ...!

    @සෝරෝ,
    ඊට පස්සෙ දුමී වග බලාගත්තා මොන හේතුවකටවත් ඒ බස් එකේ නොයන්න...!

    ReplyDelete
  10. @පිණිබිඳු...,
    අනේ නෑ බොලේ, මට එච්චර දුර පනින්න බැහැ... ප්ලේන් එකේ තමයි ආවේ...!

    @කොට ජීවිතේ,
    දුමීගේ මොලේට වඩා බස් පළුගේ මොලේ ටිකිරියි. නැතිනම් ඒ වෙලාවෙම මට දෙනවා ටිකට් මැෂිම මූණේ එම්බෝස් වෙන්න....!

    කොහොමත් අක්කා ඒ බස් එකේම ගියත්, දුමීනම් ආයේ ඒ බස් එක දිහා බැළුවෙ වත් නෑ...

    ReplyDelete
  11. @මාරයාගේ,
    කමක් නෑනේ බං, පළුවා 1.50 ටිකට් එකට සල්ලි ගත්තෙ නැති එකට. මොකද අර උඹලා කිව්වත් වගේ මාටිය පාරෙන් ගාන කවර් කරගන්න පුළුවන්නෙ.

    @Kush,
    ජිබා කිව්වද දුමීව දන්නවා කියලා ?

    @ඉලංදාරියා,
    ඕකම තමා බං මලේ අපේ ගම හාමිනෙත් කිව්වේ. දැන් ඉතින් නිවාඩුවකට හරි ලංකාවට ගොහිල්ල හමාරයි කියලා. පළුවාගෙන් කෙසේ වෙතත් අක්කගෙන් කන්න වෙනවා කියලා..

    ReplyDelete
  12. හෙනම හෙන සිරා සිද්ධිනේ දුමී ඉන්න වට පිටේ සිද්ධවෙලා තියෙන්නෙ. බලං ගියාම මුන්නැහේත් චන්ඩියෙක් ඈ.... නමත් රූපෙටම ගැලපෙනව නොවැ. කළු බෝල විල දුමී ;)

    ReplyDelete
  13. හික් හික්!! අර කිව්වත් වගේ බස් පලුවා කලුබෝවිල දුමීව හොයන්න ගත්තද දන්නෑ ලංකාව පුරාම

    ReplyDelete
  14. දුමි අයියගේ අක්කත් මාර පොරියක් නේ ... මාරු කතාව...
    ඒ උනාට අප්පා දුමි අයිය කතා ලියන්න පරක්කුයි නේ... හැමදාම ඇවිත් බලල යනවා තව කතා දාන්නකෝ ඉක්මනට...

    ReplyDelete
  15. දුමී - ඔවුවොවු! බබාලටයි, නැන්දිලටයි Galaxy චොකෝ අරන් දෙන චෝයි මැරයා ඔයා!!

    ReplyDelete
  16. @නවම්,
    ඒකනේ කියන්නෙ, මගේ කේන්දරේ කියලා තියෙනවාලු මගේ වටේ ඉන්න දන්න කියන අයට හරි හරි අබැද්ධි සිද්ධ වෙනවා, ඊට පස්සෙ ඒවා රටේ ලෝකෙ සෑහෙන්න ප්‍රසිද්ධ වෙනවා කියලා.

    හෆොයි, කළු බෝල විල නෙමෙයි බොල, කළුබෝවිල!

    @blog gadol,
    ඔව් ඔව්, ඌ තාම පළු යන්න හොයනවලු. මම දැන් උනත් ලංකාවට ගියාම කළුබෝවිලෙන් නුගේගොඩ 183 බස් එකකට නගින්නෙ කොන්දා කවුද කියලා බලලා තමයි.

    @කල්හාර,
    දුමීගේ අක්ක ඇවිල්ලා දුමීට වඩා සිරා පොරියක් නම් තමයි.

    මොනා කොරන්නද මලේ, පුළු පුළුවන් විදිහට වෙලා ලැබෙන විදිහට තමයි ඉතින් කොටලා දාන්නෙ. තව කතා නම් 100ක් විතර ෆියුචර් ලිස්ට් එකේ තියෙනවා.

    ReplyDelete
  17. @Dee,
    ඉතින් බං මම දන්නවයෑ බොලා වෙජිටේරියන් උනා කියලා චොකලටුත් කන්නෙ නෑ කියලා.... ඇයි ඊට පස්සෙ රටකජු අරගෙන දුන්නෙ ?

    ReplyDelete
  18. කතාව නම් හොඳයි. ඒත් Realistic නෑ වගේ.
    1.50 ට බස් ටිකට් තිබුණු කාලේ බස් පළුවෝ ගාව ටිකට් මැෂින් තිබුණද? අනිත් එක ඔය කාලේ අක්කාත් පොඩි ඇති නේ.ඉතින් මේ ඉස්කෝලෙ යන කෙල්ල කළුබෝවිල දුමී ගේ අක්කා නම්,කළුබෝවිල දුමී ඇවිල්ලා හරිම ලාබාල මැරයෙක් වෙන්න එපැයි? කොන්දට ඕක තේරුණේ නැද්ද? :-o

    ReplyDelete
  19. ස්තූතියි කොමෙන්ටුවට....!

    ඔය බස් පළුවගේ වැඩේ උනේ 96-97 කාලේ. ඒ වෙනකොට දුමී NIBM එකේ ඉගෙන ගන්නවා. දුමීගේ අක්කා ජොබ් හොයන කාලේ.

    කොහොමත් දුමීගේ අක්ක දිහා බැළුවහම හිතාගන්න පුළුවං මල්ලි හොඳ මැර ඩයල් එකක් කියලා.

    අනික දුමී සත 50 ටත් නුගේගොඩ යන කාලේ බස් පළුවෝ ගාව ටිකට් මැෂින් තිබුනා. අහන්නකෝ මාරයාගෙන්....!

    ReplyDelete
  20. හිඋක්...දුමී අයියා...ඇත්තමද...ඔන්න මාරයියා ලෙඩේ දානවා....ඉකේයියා හොදේ

    ReplyDelete
  21. "දුමීගේ අක්ක එදායින් පස්සෙ බලන් ඉඳලා බලන් ඉඳලා අර බස් එකේම තමයි යන්නෙ. මොකද කොන්දා එදායින් පස්සෙ කවදාවත් අක්කාගෙන් සල්ලි ගත්තෙ නෑ."

    මට බෑ අප්පා ෙමච්චර හිනා ෙවන්ට

    ReplyDelete
  22. අපිට බැරි වෙයිද ඉලන්දාරියගෙ වැඩෙට කීයක් හරි හොයා ගන්න කවුරු හරි කෙනෙක්ව බය කරල අපිත් කළුබොවිල දුමී ගෙ යාළුවො තමයි කියල.

    ReplyDelete
  23. (විනාසයි..විනාසයි - කවාපුවා ඔක්කොම කියයි වගෙ!) නෑ බොලේ.. මන් දැන් මනාපයි Galaxy වලට.. ;-)

    ReplyDelete
  24. කවුද ඩෝ කළුබෝවිල දුමී කියන්නෙ.. චන්ඩිද..

    පලි: අඩේ, බයෝ කොරන්නෙ ඇග පුරාම මොළේ තියෙන උන්ද..?? ඉතිං බං මමත් බයෝ නෙ කරේ.. මම මෙච්චර කල් හිතන් හිටියෙ මගේ ඇග පුරාම තියෙන්නෙ ආමාශය කියලා..

    ReplyDelete
  25. @රත්ගමයා ,
    මොකෝ බං ඉකේයියා කියන්නෙ, කක්ක ගොඩක් පෑගුනාද ?

    @ගීත් (සහෘදයා),
    මට නං ඇඬෙනවා. ඇයි අක්කා හැමදාම 1.50 ඉතුරු කර ගත්තට අඩු ගානේ මට ඕකෙන් සත 50ක් වත් දෙනවයෑ..

    @පැන්da,
    දොස්තරව තමයි බය කරන්න වෙන්නෙ, ගාන ටිකක් අඩු කරගන්න....

    @Dee,
    අර සත්තු වත්තට ගිහිල්ලා කාපු කෑම ගැනත් කතාවක් තියෙනවා.... පස්සෙ බලමු...!

    @Buratheno,
    මම ලියලා තියෙන්නෙ බයේ සයන්ස් කරපු මනුස්සයෝ ගැන... හික් හික් හික්...

    ReplyDelete
  26. ඔය මං කිව්වෙ නැද්ද...?
    දුමියා තමයි ඔය කෑම ගැන කියන්න කියලා මට බල කොරන්නේ..
    ඔය පේන්නේ නැද්ද..සත්තු වත්තේ කාපු බීපු හැටිත් ඌම කියන්නයි යන්නේ...
    ඇත්තටම සත්තු වත්තේ ඉන්න කාලේ මොනවද බං දුමියෝ කෑවේ..?

    ReplyDelete
  27. කළුබෝවිල දුමීට මමත් බයයි. ඇයි දෙයියනේ අර පාරක් වැදිලා එකෙක් මැරෙනවා කිව්වා නේද?

    ReplyDelete
  28. ඉහත කමෙන්ටු දෙකම වැරදී ගියේ නොදන්න්නා ලින්ක් කිරීමට ගොස් වරිගේ නහගත් නිසාවෙනි

    -------------------------------------------------
    දුමී අයියා ඔයා නොදන්නව උනාට ඒ කාලේ උන්නා දුමී කියලා පාතාලයෙක් කොන්දඔස්තර මාමා බයවෙන්න ඇත්තේ එයාට .. ඒයාගේ රූපේ මේ ලින්ක් එක ඇතුලේ තියනවා ..මම නිකම්ම දානන්නම් ඔයා බලන්න

    http://4.bp.blogspot.com/_6C8jzqkbd5s/TPEe9upq4jI/AAAAAAAAAAQ/b8nhGwjuZdM/s1600/28256_1493522948187_1537446370_1222177_2227415_n.jpg

    ReplyDelete
  29. @මාරයා,
    බොලාගේ බ්ලොග් එක කියවන්න කියවන්න පෙරේත කම වැඩි වෙනවනේ. ඕක කියවන්න පටන් ගත්ත දවසේ ඉඳලා මගේ බරත් කිලෝ ගානකින් වැඩිවෙලා......

    @පූසා,
    නෑ නෑ, පූසෙක් නෙමෙයි මැරෙනවා කියලා තියෙන්නෙ... මිනිහෙක්...!

    @හිස්,
    මොකාද බං මලයෝ මූ, උඹලගේ නෑයෙක්ද ? නැත්නම් මේ උඹේ ෆොටෝ කෑල්ලක්ද, නිකං මාව බය කරන්න දැම්මෙ...?

    ReplyDelete
  30. ඇත්තටම ඔයාට දැන් කියන නම මොකක්ද?

    ReplyDelete
  31. බස් පලුවා ඊට පස්සෙ ඕනම වලියකට බය නැතුව එන්ටර් වෙන්ඩ ඇති

    " අඩෝව්, දැන ගනියව්, කලුබෝවිල දුමීගෙ අක්ක යන්නෙත් මගේ බස් එකේ හරිද? "

    ReplyDelete
  32. අඩෝ දුමී...
    මං මේ අර බස් එකේ කොන්දොස්තර. උඹ මට දුන්නු ගේම මට දැං තමයි තේරෙන්නේ. ඉඳපං මං උඹට ගේමක් සෙට්කරන්නං. අපෙත් හෙන සෙටාර් එකක් ඉන්නවා හරිය...

    මංපහ ගරණෙ,
    කූර මමාර,
    මානදුර පලී,
    මාවනැල්ලේ නොම්මරේ,
    තිබායි ඩුසා,
    අවිස්සාවේල්ලේ දතා,
    රළඹ කොචියා,
    හිනුවන්ගොඩ මිපියා,
    ආදී ඔක්කෝම අපේ සෙට් එක තමයි හරිය...

    ReplyDelete
  33. ඇර සෝලා වන්නියා..උඹත් එතකොට ඒ සෙට් එක දන්නවා ඈ...
    ඔතනින් අර කූර මමාර ඉන්නවා නේද..?
    ඌ තමයි අමාරුම එකා...කළුබොවිල දුමියාත් ඌට සරෙන්ඩර්..
    ඌ කළුබෝවිල දුමියට දෙන්නෙම අමුතු ජාතියේ ආයුධ වලින්..
    මලොස් පෝළුව
    බරවල කැදුම
    සල් පොම්බෝලේ වගේ බර අවි වලින්ම තමයි...

    ReplyDelete
  34. @Podi Kumarihami,
    මගේ දැන් නම ගැන නම් කියලා වැඩක් නැහැ නගෝ... මතක් වෙනකොටත් ඇඬෙනවා...! හපොයි ඒ කාලේ නම්...!

    @Ravi,
    එහෙනං ඉතින් ඒ උගේ අවසානය තමයි.... හික් හික් හික්..

    @වන්නි,
    බුදු අම්මෝ වන්නියෝ, උඹ මේ පාතාල සෙට් එක දන්නවද....? මමත් ඔය කනින් කොනින් අහලා තිබුනට මුන් සෙට් එක ලඟින් ලඟින්ම ආශ්‍රය කරන එකෙක්ව දැක්කෙ අදමයි...

    මුදු අම්මෝ, මතක් වෙනකොටත් ඇඟ සීතල වෙලා දත් ටිකත් හිරි වැටෙනවා...!

    @මාරයාගේ,
    ඒකනම් ඇත්ත මාරයෝ, ඒ බර අවි වලින් වෙන්නෙ තව එකෙක්ගෙ බර වැඩි කරන එක.... ඇයි බඩ...? වදින්න වදින්න ලොකු වෙනවා...!

    ReplyDelete
  35. ඔය කොන්දොස්තර ලා කරන තව වැඩක් තමයි නන්නාදුණන අයට බෙදාගන්න කියලා ඉතුරු සල්ලි දෙන එක.
    හිතන්න ගාස්තුව 2.50 යි, දෙන්නෙක් වෙන වෙනම පහේ කාසි දුන්නාය කියලා.
    කොන්දා පහේ කාසියක් දීලා කියනවා දෙන්නට බෙදා ගන්න කියලා.

    ReplyDelete
  36. මම ඉන්නේනම් රත්නපුර . ඒ ලෙවල් ඉවර කරලා පොඩි කුපාඩි (කතන්දර අයීයගෙ වදනක් නේ ) වැඩකට සති අන්තයේ කොළඹ ආව මීට අවුරුදු 5 කට කලින් . එක දවසක් 154 බස් එකක කොන්දෙක් රු. 50 ක් රුපියල් 5 ටිකට එකට දුන්න කියල මට බැන බැන හිටිය විතරයි මට ඉතිරිය දුන්නෙම නෑ.පස්සේ බහින් බස් වීමක් වෙලා ඌ මාව ටවුන් හෝල් එක ලඟදි එලියට තල්ලු කළා. මම යන්තම් ළඟ තිබුන මාර්ග sagngnaa කණුවක් අල්ලාගෙන නොවැටී බේරුනා . මට ලජ්ජා හිතුනු වැඩේ මේ සිද්දිය විදේශිකයෝ ටිකක් දැකපු එක . උන්ට අනේ හෆොයි කියල හිතිලා මට හෙල්ප් එකටත් ආවා. [ හැබැයි එක ලෝකලයෙක්වත් අහක් ඇරලා බැලුවේ නෑ ]

    ReplyDelete
  37. ඇති වෙනකන් හිනා උනා කතාවට :D

    ReplyDelete
  38. @Kathandara,
    කසූටනම් ඒකෙන් අවැඩක් උනේ නෑනෙ. අර චූටි ටීචගේ රස්සාව මොකක්ද කියලා සාස්තරයක් කියලා පොඩි වැඩක් එහෙම කරගත්තෙ පළු මහත්තයෙක් එහෙම බෙදාගන්න කියලා සල්ලි දීපු නිසානේ...

    @Web Master_guir,
    කොන්දන්ට නම් ජීවිතයක් එක්කො 6යේ කෑල්ලක්, (ඒ දවස් වල නම් දෙකේ කෑලි )....

    @ZIGzag,
    ස්තූතියි, කට කහන අඩවියට සාදරයෙන් පිළිගන්නවා...!

    ReplyDelete
  39. මම මගේ අක්කත් එක්කලා බස් එකේ බොරැල්ලට ගියා.බොරැල්ලෙ හන්දියෙදි මිනිස්සු ගොඩක් බහින නිසා පොඩි තදබදයක් තිබුනා.බස් එක කොටුවට යන එකක්.කොහොම උනත් මේ ඩ්‍රයිවර්කාරයා පොඩි උනක් තියන කෙනෙක් බවත් ඒ පාරෙ නිතර යන අය දන්නවා.කොන්දා කෑගනවා බොරැල්ල බහින්න බොරැල්ල බහින්න කිය කියා, ඒ මදිවට ඩ්‍රයිවරුත් කෑ ගහනවා ඉක්මන් කරන්න කියලා.මම අන්තිමට බහින්න හිටියේ මට ඉස්සරහින් අක්කා මට ඉක්මන් කරන්න බැරි මගේ අක්ක බබෙක් ලැබෙන්න ඉන්න නිසා.මට දැන් හොඳටම තරහයි මේ මිනිහා එක්ක.බස් එකෙන් දඩි බිඩි ගාල බහින ගමන්ම කියාගෙන බැස්සා බල්ලගේ වැඩේ බූරුවා කරන්නේ මොකද කියලා.හොඳ වෙලාවට මම බස් එකෙන් බැස්සේ නැතිනම් අන්ඩක් කඩාගෙන තමා ගෙදර යන්න වෙන්නේ.
    කොහොම උනත් දුමී ඔයා ලියන ඒව නම් හරිම රසවත්.මම අද තමා මේ බ්ලොග් එකට ආවේ.මගෙන් "සුභ පැතුම් "

    ReplyDelete
  40. පට්ට කතාව. මටත් එහෙම නිකන් යන්න බස් එකක් සෙට් වුනානම් . .

    ReplyDelete
  41. හප්පා දැන් නම් මූත් එක්ක කතා කරන්නත් බයයි. පාතාලෙ ඩයල් එකක්ද කොහෙද? පොලිසියෙන් පන්නන නිසාද අය්ය රට පැන්නෙ ;-)

    ReplyDelete
  42. මෙ අර මාරාන්තික ප්‍රහාරය පරිස්සම් කරල තියගනින්...
    කවද හරි ප්‍රොයොජනවත් වෙවි...

    උබෙ මස්සිනාට හෙල්මුට්ටියක් දිපන් ආදරෙට...

    සුභ දවසක් මචං...

    එල පොස්ට් 1ක

    ReplyDelete
  43. අඩේ කලුබෝවිල දුමී අයියෙ ... අර වන්නි අයිය කිව්ව අවිස්සාවෙල්ලෙ දතා නම් මාර නසරාණිය ... ඕකගෙන් බේරිලා හිටියොත් හොදා ... ; )

    "එයාට උඩින් තිබුනේ ගෙදර සීලිමේ හයි කරලා තිබ්බ බල්බ් ටික විතරයි"
    මේක මරු කතාව

    ReplyDelete
  44. ඔය අක්කල බලාගන්න යන මල්ලිලා ඉස්සර හඳුන්වුනේ "කොල්ලාවල්" කියල. අර ඔරු වල හය් කරල තියෙන්නේ සය්ඩ් කාර් වගෙ.

    ReplyDelete
  45. ලංගම ටිකට් මැෂින් 70 ගනන් වල මුල හරියෙත් තිබුන (අඩුම ටිකට් එක ශත 5 හරි 10 හරි) ඒ කාලෙ ඉඳන්ම හැට්ට කටුවෙන් මැෂිමට වැඩේ දෙන කොන්දොස්තරලත් හිටිය. ඔය වැඩේ කරල අහුවෙලා දිස්මිස් කරපු කොන්දොස්තර කෙනෙක් දෙහිවල ස්ටේෂන් එක ගාව පොඩි තේ කඩයක් ඇතුලේ බිස්නස් එකක් ගෙනිච්ච අනිත් කොන්දොස්තරලගේ මැෂින් ඇජස් කරල දීල ගතමන්ට් එකක් ගන්න. මම ඒ කාලෙ ලංගම වේරහැර අප්රෙන්ටිස්ශිප් එකක් කරනවා එකය් ඔය ගැන විතර දන්නේ. ටිකෙට් මැෂින් ඉස්සෙල්ලම ආපු කාලෙ කතාවක් ගියා, බස් එකක ගිය අම්ම කෙනෙක් කොන්දොස්තර එක්ක වලියක් ඇදගත්ත කියල කොන්දොස්තර එයාගෙ දුවගෙ ෆොටෝ එකක් ගත්ත කියල.
    දුමී, අක්කල ගැන කියපු කතා ගැන දැන් නං හොඳට හිනා යනවා. ඒ කාලෙ නම් මල්ලිටය් මටය් අක්ක අරහන්, එයා හිටියේ බල්බ් වලට නෙමෙය් වහලෙටත් උඩින්. හැබය් දැන් නං අපි තුන් දෙනා හරි යාලුය්, ඒ කාලෙ මතක් කරල හොඳට හිනා වෙනව.
    දුමීගේ, පොස්ට් එකක් අද තමා පලවෙනි පාරට කියෙව්වෙ, මේක කියෙව්වම පරණ ඒවත් කියවන්න අසාවක් ඇති වුනා.
    All the best !!!

    ReplyDelete
  46. @ Bura,
    අහගත්තද? ඇද්ද ?

    ReplyDelete
  47. @neetha,
    බොහොමත්ම ස්තූතියි නගෝ මේ පැත්තෙ ඇවිල්ලා ගියාට. කොහොමත් ගෑණු ළමයි කොකු හොය හොයා යන කට්ටියනේ. ඉතින් අහිංසක මල්ලිලාට තමයි එව්වා බේරන්න වෙන්නෙ. සංතෝසයි අණ්ඩක් කඩා නොගත්තට :)

    @හුටපටයා,
    ඔන්න බොලේ බස් වල ටිකට් නොගෙන ගොහිල්ල ටික්කන්ට අහු උනාම උන්න මේ දුමී පළි නෑ....! ඕං කිව්වා...!

    @රංග - මගේ ලෝකය,
    පොලීසියෙන් තමයි කිව්වෙ රට යන්න කියලා, මොකද අර කොන්දස්තර තාම හොයනවලු කළුබෝවිල දුමීව....!

    @සහෝධරයා,
    මලේ දතාගෙන් අහන්න දත පුරවලා දෙන්නද කියලා....? මම දන්න දත් දොස්තර කෙනෙක් ඉන්නවා..!

    @Observer,
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා ඔන්න....! ඔව් ඔව් මමත් අහලා තියෙනවා ඔය කොල්ලාවල් කතාව.

    ස්තූතියි කතාවට... අර ෆොටෝ ගහපු කතාව මරු...!

    මම දැක්කා ඔබ්සවර් ගාවත් හොඳ හොඳා කතා සැට් එකක් තියෙනවා.... ඇයි ඉතින් මේ බ්ලොග් එකක් පටන් අරගෙන මේව බෙදා හදා ගන්නෙ නැත්තෙ ?

    ReplyDelete
  48. වැඩේ තියෙන්නේ දුමී, ඔය පරණ කතාවල් මතක් වෙන්නෙ කාගෙ හරි පොස්ට් එකක් කියවනකොට. දැන් නාකිය්නෙ, මොලේ ශයිල හුඟක් මැරිලා,මතක ශක්තිය අඩු වෙලා. මතක් වෙන දේවල් ඔයාලගේ පොස්ට් වල කොමෙන්ට් හැටියට එල්ලන්නන්, එතකොට බ්ලොග් ලියන කස්ටියත් දන්නවනෙ එයාලගේ බ්ලොග් නාකිත් කියවල එන්ජෝය් කරනව කියල.

    ReplyDelete
  49. දුමී අයියා, පොඩි කේස් එකක් තියෙනව. දෙන්න බැරිද අපිට පොඩි සප් එකක්? අන්ඩක් කැඩුවොත් ඇති. බාවන්ඩ ඕනෙ නෑ!

    ReplyDelete
  50. වලි නම් කියන්ඩ මල්ලිලා... සාධාරණ විදියට අය කරන්නේ. හොර බොරු වංචා නෑ. අපි සාධාරන මැරයෝ.

    @ වන්නි

    මිනුවන්ගොඩ නෙවෙයි බං නිට්ටඹුව ඒරියල් එක!! එහෙම කිවුවට ඉතින් ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි...

    @ දුමී...

    මේ අපිටත් ඔය තියරිය පාවිච්චි කරලා "කළුබෝවිල දුමීගේ යාළුවෙක් කියලා ඉබ්බට යන්න බැරි වෙයිද දන්නෑ නේ... මරු කථාව. හොඳට හිනා වුනා මචං...

    ReplyDelete
  51. ලඟදි ඔය කට කහන්න ගත්තෙ නැද්ද දුමියෝ ?

    ReplyDelete
  52. කොන්දොස්තරලා අපෙන් මාරු නැද්ද කියලා අහලා අපි නැ කියලා බහින්න කිට්ටු කරලා ඉතුරු ඉල්ලද්දි ආයෙත් අහනවා මාරු නැද්ද කියලා.
    ඔහොම අපේ අයියා කෙනෙක්ගෙන් අහලා මිනිහා ගත්කටටම ඇහැව්වා "ඉස්සෙල්ලා නැති මාරු සල්ලි දැං එර්දියෙන් එන්නද හලෝ" කියලා. මං හිතුවා කොන්දොස්තර අයියට ගහයි කියලා. ඒක හින්දා මම අයියව අදුරන්නැ වගේ බහින තැනට යනකං ගිහිල්ලා සේප් එකේ බැස්සා.

    ReplyDelete
  53. මරු අක්කයි මල්ලියි.....

    ReplyDelete
  54. කළුබෝවිල දුමී දැන් මැද පෙරදිගනේ ඉන්නේ. අප්පා කමෙන්ට් එකක්වත් දාන්න බයයි කළුබෝවිල දුමීගේ බ්ලොග් එකේ :))

    ReplyDelete
  55. දුමී අයියා කත හදනවද මන්දා. කොහොම උනත් අක්කට නම් වාසියි මේ වැඩේන්

    ReplyDelete
  56. මචං අද තමය් ඉස්සරලාම උබෙ බ්ලොග් එක බැලුවෙ
    පට්ට පට පට

    ReplyDelete
  57. මේ, ඔයා කළුබෝවිල දුමී වුනාට කමක් නෑ හරිද, ලංකාවෙ ඉන්න විනීතම, නිරහංකාරම, බුද්ධිමත්ම, ලස්සනම...... කෙල්ලො ඉන්න ඉස්කෝලෙට හෙම මුකුත් කියන්නෑ හරිය?
    මරු කතාව ඈ? :)

    ReplyDelete
  58. මචන් උඹ නම් සිරා බං .... මන් උඹේ ඔක්කොම පොස්ට් කියවනවා වැඩ නැති වෙලාවට .... මේක නම් මරේ මාරු බන් ,,,, හිනා කාල මැරෙනවා.... හැක හැක ....

    ReplyDelete

Related Posts with Thumbnails