දෙමළා සහ RPG ( භාෂාව වැරදීම - 3 )

Posted by දුමී

භාෂාව වැරදිලා වෙච්ච නස්පැත්ති ගැන තව කතා දෙක තුනක්ම තියෙනවා. මුලදි මේ ඔක්කොම එක පෝස්ට් එකකට දාන්න හිතුවත් දිග වැඩිවෙච්ච නිසා එක කතාවක් එක පොස්ට් එකකට තමයි දාන්න උනේ. දැන් මම මේ ලියන්න යන කතාවත් භාෂාව වැරදිලා වෙච්ච නස්පැත්තියක් ගැන එකක්. අවාසනාවකට ඒකත් මේ අපේ දමිල මිත්‍රයෙක්ට වෙච්ච එකක්ම තමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ මේ පාර නම් වැරදුනේ ඒ මිත්‍රයට නෙමෙයි.

තව දෙයක් කියන්න ඕනේ. මම මේකේ ටයිටල් එකට "දෙමළා" කියල දැම්මෙ දෙමළ ජාතිකයන්ට කරන අපහාසයක් විදිහට නෙමෙයි. අපිට කවුරුත් "සිංහලයා" කියල කිව්වොත් අපිට ප්‍රශ්නයක්ද ? නෑනෙ ? ඒ වගෙම දෙමළ ජාතිකයෙකුට දෙමළා කියල කියන එකත් ප්‍රශ්නයක් නෑ මගේ හිතේ.

මේ සිද්ධිය උනේ අනූ හයේ අවුරුද්දෙ මැදක් හරියෙ මට මතක හැටියට. එතකොට මම ජාතික ව්‍යාපාර කලමනාකරණ ආයතනයේ, ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් NIBM එකේ කම්පියුටර් ඩිප්ලෝමා එක කරන අවධියේ. (NIBM එකේ සිද්ධ උන කට කහන කතා ගොඩක් තියෙනව. මම ඒව ටික ටික ලියන්නම් ඉඩ ලැබෙන විදිහට ) ඉතින් අපේ ඩිප්ලෝමා ක්ලාස් එකේ හිටිය ලංකාවෙ හතර වටෙන්ම ඉඳන් ආපු බැචාල සහ බැචීලා. ඉතින් අපිත් එක්ක උතුරු නැගෙනහිර පලාත් වලින් ආපු බැචාල සහ බැචීලත් සෑහෙන්න ප්‍රමාණයක් හිටිය. ඔය කාලෙ ඉතින් ලංකාවෙ යුද්දෙ හරි දරුණුවටම පැතිරිච්ච කාලෙනේ. ඉතින් හැමෝටම මතකනෙ හැමතැනම තිබුනු චෙක් පොයින්ට් සහ ජංගම මුර සේවා සහ මෙකී නොකී ආරක්ෂක උපක්‍රම. කොහොමත් ඉතින් සිංහල අපිට වඩා මේ චෙක් පොයින්ට් වලදි ගොඩක් අපහසු තාවයන්ට පත් වෙන්න අපේ දමිල සහෝදර සහෝදරියන්ට සිද්ද උනා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒත් ඉතින් ඒකාලෙ තිබුන වාතාවරණයත් එක්ක ඒකට කරන්න දෙයක් තිබුනෙත් නැහැ.

මේ කතාවෙ කතා නායකයගෙ නම වේළු. ඔහු යාපනය පැත්තෙ සිට පැමිණි ඉතා අහිංසක දෙමළෙක් ( මම මුලින්ම කිව්වා හොඳේ ) එකම අප්සෙට් එක තිබුනෙ ඌ හොඳටම කළු පාටයි. කොච්චර කළුද කියනවනම් ලයිට් ගිය වෙලාවකදි එහෙම ටෝච් එකක් ගැහුවත් ඌව පේන්නේ නෑ.පේන්නෙ උගෙ දත් සෙට් එක විතරයි. අනිත් එක හදිස්සියේ වත් ඌ හිනා උනොත් අහල පහල ඉන්න එවුන් දෙතුන් දෙනෙකුටම කලන්තෙ හැදෙනවා මොකද එච්චරම ලස්සන හිනාවකුත් ඌට තිබුනා.

ඌ නැවතිලා හිටියෙ වැල්ලවත්ත පැත්තෙ උගේ ඥාතියෙකුට අයත් ගෙදරකයි. ඉතින් දවසක් ඌ ප්‍රැක්ටිකල් එකකට සහභාගී වී ගෙදර යමින් සිටිනා විට වැල්ලවත්ත හරියේදී තමයි මේ අකරතැබ්බයට මුහුන දීල තියෙන්නෙ. ඉතින් ප්‍රැක්ටිකල් ඉවරවෙලා වේළු තමන් නැවතිල ඉන්න ගෙදරට යන මුහුද පැත්තට තියෙන අතුරු පාරෙ යනකොට පොලිස් නිලධාරීන් කීප දෙනෙක් පාරේ යමින් සිටින අය නවත නවතා අයිඩෙන්ටිටි කාඩ් චෙක් කරනවා. ඉතින් ඔවුන් අපේ වේළුවත් නවතා අයිඩෙන්ටිටි කාඩ් එක ඉල්ලුවළු. වේලුත් ඉතින් තමන්ගෙ අයි.ඩී එක ඔවුන්ට දීල. මේ වාගෙ දේවල් වලට උන් ගොඩක් පුරුදු වෙලා තමයි හිටියෙ. නිතරම වගේ උන්ගෙ ගෙවල් පොලිසියෙන් ඇවිත් චෙක් කරන එක ඒ දවස්වල නිකන් උදේට මූන හෝදනව වගේ සාමන්‍ය දෙයක් බවට පත් වෙලා තමයි තිබුනෙ.

කොහොම උනත් අපේ වේලුට ටිකක් හොඳට සිංහල කතා කරන්න පුලුවන්. ඉතින් ඔවුන් අතර මෙන්න මේ විදිහට කතාවක් අති උනාලු.
පො.නි - (අයි.ඩී කාඩ් එක දිහා බලමින්) "මොකක්ද නම ?"
වේළු - "වේළු සුබ්‍රමණියම්"
පො.නි - "ගම කොහෙද ?"
වේළු - "යාල්පානම්"
පො.නි - "මෙහෙ මොකද කරන්නෙ ?"
වේළු - "මෙහෙ තමා ඉන්නවා "
පො.නි - "මොකද කරන්නෙ ?"
වේළු - "ලෙක්චර් තමා යනවා "
පො.නි - "මොන ලෙක්චර්ද ?"
වේළු - "RPG"
පො.නි - "මොකක් ???? RPG ??"
වේළු - "ඔව්, අද ප්‍රැක්ටිකල්ස් තමා තිබුනා"
පො.නි - "මොකක් බොල, ඇරපිය බෑග් එක . . . "
එසේ පවසා පොලිස් නිලධාරියා ඌ අතින් බෑගය උදුරාගෙන ඒක ඇරල චෙක් කරලා. ඒක ඇතුලෙන් පොතක් එලියට අරගෙන බලා ,
"ආහ් මේ තියෙන්නෙ බඩු . . . හ්ම් දැන් නැගපන් ජීප් එකට" යයි පවසා වේළු ආයෙත් කට ඇරීමට පෙරම ඇදල ජීප් එකට දාගෙන.
පහු වෙනිදා පුවත්පත් වල මෙන්න මෙහෙම නිව්ස් එකක් දාල තිබ්බලු.

"ඊයේ සවස වැල්ලවත්ත ප්‍රදේශයෙදි දරුණු ත්‍රස්තවාදියෙකු බෝම්බ සෑදීමේ ලිය කියවිලි සමග අත් අඬංගුවට ගැනීමට පොලීසය සමත්වේ !"

පහතින් දැක්වෙන්නේ වේළු ලඟ තිබී අත් අඬංගුවට ගන්නා ලද බෝම්බ සෑදීම සම්භන්ධයෙන් විස්තර අඩංගු පොතයි.



ප.ලි - RPG යනු ඉතා ජනප්‍රිය computer programming language එකක්. අපගේ ඩිප්ලෝමා පාටමාලාවෙ සම්පූර්ණ මොඩියුල් එකක්ම වෙන් කරල තිබුනෙ RPG programming වලට. ඒ දිනවල ලංකාවේ තිබුනු බැංකු විශාල ප්‍රමාණයකම තිබුනේ RPG වලින් ලියපු systems.

පොලිසියට මේ වැරද්ද තේරුනේ දවස් දෙකක් විතර ගියාට පස්සෙ තමයි. කොහොම හරි පොලිසිය වේලුට කරදරයක් කරල තිබුනේ නැහැ. ඔහුව කූඩුවට දාලා තිබිලත් නැහැ. හැබැයි එලියට එනකන්ම ඉඳල තියෙන්නෙ පොලිසියෙ බංකුවක් උඩට වෙලා තමයි.
එලියට එනකොට අපේ කලු වේළු හොඳටම සුදු වෙලා තමයි හිටියෙ.

භාෂාව වැරදීම - 2

Posted by දුමී



භාෂාව වැරදීම සම්භන්ධ කතා දෙක තුනම එකම පොස්ට් එකකට දාන්න හිතාගෙන හිටියට ලියනකොට ටිකක් දිග වැඩි උනා. ඉතින් හිතුවා දෙවෙනි පොස්ට් එකක් ලියන්න ඉතුරු කතා සඳහා.

ඉතින් මම මේ කියන්න යන කතාවටත් වස්තු බීජ උනේ මගේ බොහොම හිතවත් දමිල සහොදරයෙකුට වෙච්ච අකරතැබ්බ්යක්.
දැන් මම මේ කතා ලියාගෙන ලියාගෙන යනකොට අපේ ඔය සමාජ වාදය එහෙම තදින් හදාරලා තියෙන අනිත් සහොදොරයො එහෙම කේන්ති ගන්නව නෙමෙයි මම මේ දමිල සහොදරයන්ට මඩ ගහල ඒ ගොල්ලන්ගෙ මානව අයිතිවසිකම් උල්ලංගනය කරල, ඔවුන්ගේ මව් භාෂාව කතාකරන්න තියෙන අයිතිය උල්ලංගනය කරනව වගේ මෙකී නොකී දේවල් කරනව කියල. ඔන්න මම කලින්ම කිව්ව හොඳේ මගේ අදහස මේ රසවත් සිද්ධි ටික හැමෝම එක්ක ෂෙයාර් කරල ටිකක් විනෝද වෙන්න විතරයි. ඔය අතර තුර සංවාදයකට තුඩු දෙන කතාත් නොතියෙන එකක් නැහැ සමහර විට.

මේ සිද්දියට සම්භන්ධ මගේ මිත්‍රයාගේ නම මෙල්වින්. අපි ඌට කතා කලේ 'මෙලා' කියල. මෙලා ඇවිල්ල වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පිස්සු පූසෙක්. ඒ වගේම වැඩ කරන්න ගියහමත් ඌට වැඩිය දක්ෂයෙක්ව හොයාගන්න අමාරු උනා. අපි ඔක්කොම මුන ගැසුනෙ මම වැඩ කරපු කලින් ඔෆිස් එකේදි. ඔයගොල්ලන්ට මතක ඇති මම ඒ ඔෆිස් එකේ විස්තර මගේ කලින් පෝස්ට් එකෙන් කියුවා. යථා කාලයෙදි මම කම්පණි එකේ නම කියන්නම්. ඒ කම්පැණියෙන්ම තමා අපි සේරවම ඩුබායි වල තියෙන තව ප්‍රධාන පෙලේ කම්පැනියක සොෆ්ට්වෙයාර් ප්‍රාජෙක්ට්ස් වලට එව්වෙ.

ඉතින් ගොඩක් වෙලාවට මේ දමිල සහොදරයන්ට සිංහල කතා කරන්න බැහැ, මොකද ඔවුන් තමන්ගෙ මූලික අධ්‍යාපනය ලබල තියෙන්න යාපනය අර්ධද්වීපයේ එහෙම නැතිනම් මඩකලපුව වගේ නැගෙනහිර පලාත්වල. ඔවුන් තමන්ගෙ උසස් අධ්‍යාපන කටයුතු වලට තමයි ගොඩක් වෙලාවට කොළඹ ඇවිල්ල තියෙන්නෙ. සමහරු ඉස්සෙල්ලම සිංහලයෙක්ව දැකල තියෙන්නෙත් කොළොඹ ආවට පස්සෙ.

ඉතින් අපි ඩුබායි ආවට පස්සෙ ලංකාවෙ ඉන්නවට වඩා හැමෝම ගොඩක් ලඟින්ම ආශ්‍රය කරනව. මොකද ගොඩක් වෙලාවට අපි හැමෝම නැවතිල හිටියෙ එකම බිල්ඩිමක. මුල් කාලයේනම් හොටෙල් අපාර්ට්මෙන්ට්ස් වල. මෙහෙ සති අන්තය තියෙන්නෙ සිකුරදා සහ සෙනසුරදා. සතිය පටන් ගන්නෙ ඉරිදයින්. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්ද කියන්නෙ අපේ පාටි දාන දවස තමයි. ඒක ඉතින් වරදින්නෙ ඉතා කලාතුරකින්. සාමාන්‍යයෙන් රෑ 9 ට විතර පටන් ගන්න පාටිය ඉවර වෙන්නෙ පාන්දර 6 ත් පහු වෙලා තමයි.

ඉතින් ඔහොම ටික කාලයක් යනකොට සිංහල පොඩ්ඩක්වත් කතා කරන්න බැරිව හිටපු මෙලා ටික ටික කොට කොට සිංහල කතා කරන්න ට්‍රයි එකක් දුන්නා. වැඩියෙමත් ඌට සිංහල ඉගෙන ගන්න ඕනෙ උනේ අපි ඌට සිංහලෙන් බනිනවද කියල දැන ගන්න :) . පිස්සුද මන්ද ඌට අපි එහෙම චාටර් වැඩ කරන්නෙ නැහැනෙ. ඉඳල හිටල ඔය කොහෙවත් යන කාඩ් එකක් හරි මඩ පාරක් හරි දමල ගැහුවට .

කොහොම හරි මේ වැඩෙන් අපේ කොල්ලො නම් හොඳ ආතල් එකක් ගත්තා. මෙලා මොකක් හරි දෙයක් සිංහලෙන් කියන්නෙ කොහොමද කියල ඇහුවම අපේ එවුන් මොකක් හරි කුනුහරුපයක් ඌට උගන්නනවා.

මට මතකයි එක පාරක් මෙලාට ඕනෙ උනා 'චියර්ස්' කියන එක සිංහලෙන් කියන්නෙ කොහොමද කියල දැනගන්න. ඌටත් හිතෙන දේවල්. අඩුගානෙ අපිවත් දන්නෙ නැහෙනෙ 'චියර්ස්' සිංහලෙන් කියන්නෙ කොහොමද කියල. ඉතින් මේක මේ කොනක් හොය හොයා ඉන්න අපේ නැහැදිච්ච කොල්ලන්ට හොඳ ලීඩ් එකක්. උන් මෙලාට කියල දුන්නෙ 'චියර්ස්ස්ස්ස්ස්' කියල සිංහලෙන් කියන්නෙ 'පුක අ අ අ' ( ක යන්න ටිකක් ඇදල කරල කියල ) කියල. මෙලත් මේක සිරාවටම අරගෙන ඊලඟට සෙට් වෙච්ච දවසෙ කියුවෙ නැතෑ මහ හයියෙන් වීදුරුවත් පුරෝගෙන 'පුක අ අ අ අ අ අ' කියල. කට්ටිය හිනා උන විදිහට බීපුව නහයෙන් හිටන් ආවා. තව පොඩ්ඩෙන් එකෙක්ව දෙන්නෙක්ව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනව හිනාව නවත්ත ගන්න බැරිවෙලා.

ඔය සිද්ධියෙන් පස්සෙ මෙලා දැන ගත්ත අපේ එවුන් ඌව කඩේ යවනව කියල. ඊට පස්සෙ ඌ ඉස්සෙල්ලම ඉගෙනගත්තෙ සිංහල කුණුහරුප ටික. අපි ඉතින් ඕව කියුවෙ, පාවිච්චි කලේ නැති උනාට ඉතින් කවුරුහරි උනන්දුවෙන් ඉගෙන ගන්නවනම් පැනල උගන්වනවනෙ.

මට කියන්න ඕන වෙච්ච මෙලාට භාෂාව වැරදිච්ච සිද්ධිය උනේ තවත් ටික කාලයකට පස්සෙ. ඉතින් ඩුබායි ඇවිල්ල අවුරුද්දක් ඉවර උනාට පස්සෙ තමයි අපිට මාසෙක ඇනුවල් ලීව් එකක් හම්බවෙන්නෙ. ඉතින් මෙලත් අවුරුද්දක් ඉවර කරල දෙයියනේ කියල ලංකාවට ගියා නිවාඩුවට. මේ සිද්දිය වෙලා තියෙන්නෙ එතකොට තමයි.

මෙලත් කොහොම හරි ඔය බම්බ හරියෙන් 154 බස් එකකට නැගල තියෙනවා. කොහොම හරි ටික වෙලාවකින් සීට් එකකුත් හම්බවෙලා හරි බරි ගැහිල ඉඳ ගත්තළු. ඔහොම ටික දුරක් යනකොට බඩ දරු අම්ම කෙනෙක් බස් එක ඉස්සරහ පැත්තෙන් බස් එකට නැගල තියෙනව එයාගෙ මහත්තය කියල හිතන්න පුලුවන් එක්කෙනෙක් එක්ක. මේ වෙලාවෙ බස් එකේ සීට් ඔක්කොම පිරිල තමයි තිබිල තියෙන්නෙ. අද කාලෙ ඉතින් දන්නවනෙ එහෙමත් එක්කෙනෙක් තමයි නැගිටල සීට් එකක් හරි දෙන්නෙ. සීට් එක දෙන්න වෙනව කියල දැන ගත්තම සමහර අය නිදි කිරා වැටෙනවා.

මෙලා ඉඳගෙන ඉඳල තියෙන්නෙ බස් එක මැදක් හරියට වෙන්න. මෙලා බැළුවලු කවුරුවක්වත් සීට් එකක් දෙන පාටකුත් නැහැ කියල පට ගාල සීට් එකෙන් නගිට්ටලු. දන්න සිංහල පාවිච්චි කරන්නත් හොඳ අවස්තාව කියල හිතල මහ හයියෙන් අර ගෑනු මනුස්සයට කෑගැහුවලු "වරෙන් බුදියගනින්" කියල. මුලු බස් එකම ෆුල් හොල්මන් වෙලා බලාගෙන ඉන්නවලු මේ මොකක්ද කියල. ඒ අස්සෙ මෙලත් බැළුවලු අර ගෑනු මනුස්සයත් තුශ්නිම්භූත වෙලා වගේ බලාගෙන ඉන්නවලු. ඌ ආයෙත් අතින් අඬගහල කිව්වලු "වරෙන් බුදියගනින්" කියල. කොහොමින් කොහොම හරි මෙලා එදා ගුටි නොකා බේරිලා ගිහිල්ල තියෙන්නෙ අනූනවයෙන්. පලවෙනියටම මූට "ඉඳගනින්" කියන එකයි "බුදියගනින්" කියන එකයි පැටලිලා. දෙවෙනියට ඌ දන්න සිංහල ඇවිල්ල අපේ කොල්ලො කතා කරන බන් බොලන් භාෂාව. අපි යාලුවොත් එක්ක කතා කරනකොට "ඉඳගනින්" කියල කියනව මිසක් "ඉඳගන්න" කියල කියන්නෙ නැහැනෙ. යාලුවෙක් තව යාලුවෙක්ට අඬගහනකොට "වරෙන්" කියනව මිසක් "එන්න" කියල කියන්නෙ නෑනෙ. ඉතින් ඔය වැරදීම් ඔක්කොම ටික එක සැරේ අපේ මෙලාට උනා !

ඉතින් මේ කතා කට කහ කහ තියාගෙන ඉන්න කියලද මට කියන්නෙ ?

භාෂාව වැරදීම

Posted by දුමී



මගේ මේ කට කහන එක නවත්ත ගන්නම බැරිතැන හිතුව දෙවනි පෝස්ට් එකත් කරන්න ඕනෙ කියල. ඔෆිස් එකේ වැඩ පොඩ්ඩක් පාඩු උනහම මොකද කට පොඩ්ඩක් කහ ගන්න තියෙනවනම්.

මම මේ කියන්න යන කතා දෙක තුන ඇත්තටම මට සහ මගේ සමහර යාලුවන්ට අත්විඳින්න ලැබිච්ච දේවල්. මේව ඔක්කොම මේ භාෂාව වැරදීමෙන් හෝ වැරදි විදිහට තේරුම් ගැනීම නිසා සිදු වෙච්ච අකරතැබ්බයන්. අනිත් එක මේව සේරම සිද්ද උනේ මම දන්න කියන බොහෝම හිතවත් දමිල සහොදරයන් කිහිප දෙනෙකුට.

එයින් එක්කෙනෙක් තමයි මගේ කලින් හිටිය බොස්. බොස්ගෙ නම ප්‍රතීප්. දැන්නම් ඉන්නෙ නෝර්වේ ඔස්ලෝ වල. මගේ ජීවිතයෙදි මට හම්බවෙච්ච සුන්දරම මනුස්සයෙක් තමයි ඔහු. බොස් උනාට මොකද ප්‍රතීප් අපිට සැලකුවෙ හොඳ යාලුවන්ට වගේ. ප්‍රතීප් අයත් වෙන්නෙ කඳුරට දමිල පරපුරට. හොඳටම කට්ට කාල තැනකට ආපු මනුස්සයෙක් වගේම ටොප් ක්ලාස් මීටරයක් තමයි එයා. ඉතින් අපේ ඔෆිස් එක තිබුනෙ කොම්පඤ්ඤ වීදිය හරියෙ තියෙන වෝක්ෂෝල් වීදියේ තැනක (තාමත් ඒ ඔෆිස් එක තියෙන්නෙ එතනම තමා, හැබැයි මම ඒකෙන් අස්වෙලා දැන් කාලයක්ම ගත වෙලා ගිහිල්ලා )

මම කියුවනෙ ප්‍රතීප්ගෙ ගම කඳුරට පැත්තෙ කියල, ඉතින් ගමන් පහසුව තකා ප්‍රතීප් ඔය කොම්පඤ්ඤ වීදිය හරියෙ තියෙන සිංහල ගෙයකින් පොඩි ඇනෙක්ස් එකක් කාරිය අරගෙන තමා හිටියෙ. මේ දවස්වලම තමා ප්‍රතීප්ට මල්සරා බැල්ම හෙලලත් තිබුනෙ. ඔයින් මෙයින් කාලයක් යනකොට ප්‍රතීප්ගෙ එන්ගේජ්මන්ට් එකටත් දින සෙට්වෙලා. ඉතින් දෙයියනේ කියල ඔෆිස් එකෙනුත් සති දෙකක විතර නිවාඩු අරගෙන මෑන් ගියා එන්ගේජ්මන්ට් එකට. කොහොමත් හරි සිම්පල් මනුස්සය හින්ද බොරු විච්චුරන වැඩ එයා ගාව නැහැ. ඒක නිසා අපිට එන්ගේජ්මන්ට් එක කියුවෙ නැහැ. වැඩියෙමත් කියුවෙ නැත්තෙ අපි හැම එහෙකටම කාඩ් ගහන හින්ද.

ඉතින් ඔන්න සති දෙකකට පස්සෙ ගිය කාරිය එහෙම ඉවර කරල ප්‍රතීප් සැපත් උනා කියමුකො බෝඩිමට. ඉතින් එයා එනකොට බොඩිමේ ගෙදර සෙනග ගොඩක් පිරිල ඉන්නවලු. ඉතින් අපේ බොසුත් මොකද මෙච්චර මේ සෙනග කියල හිත හිත තමන්ගෙ ඇනෙක්ස් එකට ගියාලු. ටික වෙලාවකට පස්සෙ ගෙදර අයිති කාර මහත්මය ප්‍රතීප් ආව බව දැකල කාමරයෙ දොරට තට්ටුවක් දැම්මහම මෙයා ගිහිල්ල දොර ඇරියලු. ඉතින් දොර ඇරල බලනකොට දොර ගාව ඉන්නවලු ගෙදර මහත්තයයි නෝනයි දෙන්නම. එක්කෙනෙක්ගෙ අතේ ලොකු කෑම පිඟානකුයි අනිත් එක්කෙනාගෙ අතේ කෙසෙල්ගෙඩි, කැවිලි පෙවිලි එහෙම දාපු තවත් පිඟානකුයි තිබුනලු. පලාතම සුවඳ ගහනව. මෙච්චර දුර බස් එකේ චාටර් වෙලා ඇවිල්ල බඩ පනුවො රියලිටි ශෝ එකක් කර කර ඉන්න වෙලාවෙ මේ පහල වෙච්ච පින ගැන අපේ බොස්ට අදහ ගන්නවත් බැහැ.

ඉතින් ප්‍රතීපුත් ඒ ගොල්ලන්ට ඇතුලට එන්න කියල ඇහුවලු "ආහ් මොකද පාටියක්ද ?" කියල. ඉතින් ගෙදර මහත්තය කිව්වලු අනේ අපේ අම්ම අන්ත්‍රා උනානෙ ගිය සතියෙ කියල. ප්‍රතීප් උඩ පැනල අත්පුඩියක් ගහල කිව්වලු "ෂා ! හරි ශෝක්නේ ! " කියල. නොනයි මහත්තයයි මූනට මූන බලාගෙන පිඟන් දෙකත් අරගෙන් දඩි බඩි ගාල ආපහු ගියාලු.

ප්‍රතීපුත් බැලුවලු මොකක්ද යකෝ මේ උනේ කියල. පොරට "අන්ත්‍රා උනා" කියන කෑල්ල තේරිලා නැහැ. පොර හිතුවෙ "අන්ත්‍රා උනා" කියන්නෙ හොඳට පාටි දාල සෙලිබ්‍රෙට් කරන ජොලි සීන් එකක් කියල. ඇත්තටම වෙලා තියෙන්නෙ ප්‍රතීප් ගෙදර එනකොටම තමයි හත් දවසෙ දානෙ හාමුදුරවන්ට දීල ඉවර වෙලා, ඊට පස්සෙ ප්‍රතීප්ගෙ පන්ගුව ගෙදර කට්ටිය ලඟටම ගෙනැල්ල දීල තියෙන්නෙ. කරුමෙක මහත කියන්නෙ දොර ලඟටම ගෙනැල්ල දීපු කෑම ටික බඩට දා ගන්නත් මේ භාෂාව හරහට හිටියනෙ.

දුමීගේ පිවිසුම

Posted by දුමී



මෙන්න දුමීගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක.

සෑහෙන කාලයක පටන්ම බ්ලොග් එකක් පටන් ගන්න හිටියට මොකද ඒක මොන හේතුවක් හින්ද හරි පස්සට ගියා. ආයෙමත් මේක කරන්න ඕනෙම කියල හිතුනෙ හොඳ සිංහල බ්ලොග් ටිකක් කියවන්න ලබුනට පස්සෙ. සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදයෙ ඉන්න නිර්මාණ කරුවන්ගෙ හොඳ බ්ලොග් පෝස්ට් ටිකක් බැලුවහම දැන්මම පටන් ගන්න ඕනෙ කියල හිතුන.

ඉතින් ඉස්සලාම ආපු ප්‍රශ්නය තමයි මොකක්ද බොලේ මේකට දාන නම කියල, මොකද ඔක්කොම හොඳ හොඳ නම් මෙලහකටත් අරගෙන ඉවර වෙලා නිසා. අන්තිමට හිතුවා දුමීගේ කට කහන කතා කියල දාන්න. මොකද මම මේ බ්ලොග් එකේ කියන්න යන සමහර කතා හුඟ කාලයක් තිස්සෙ කියන්න කෙනෙක් නැතුව මගේ කට කහ කහා හිටියෙ. අපේ ගෙදර උන්දැ හිටියට මොකද ඉතින් මම කියන කතා අහගෙන ඉන්න එකක් යැ.හැබැයි බැරිවෙලාවත් ඉතින් මම එයා කියන කතා අහගෙන හිටියෙ නැතිනම් තමා විජ්ජුම්බරේ බලා ගන්න පුලුවං වෙන්නෙ. අඩුම තරමෙ වේල් දෙක තුනක්වත් කඩෙන් කන්න වෙන එක නම් ඉතින් ෂුවර්ම තමා.

ඉස්සිස්සෙල්ලාම කියල ඉමුකො මම දුමී උනේ කොහොමද කියල. මගේ ඇත්ත නම නං දුමී නෙමෙයි ඔන්න. දුමී කියල කෑල්ලක්වත් මගෙ නමේ පැත්ත පලාතකවත් නැහැ. ඉතින් ඔන්න මම ඉපදුනු දවස්වල නම දාන්න මුල අකුර දීල තියෙන්නෙ 'දු' යන්නලු. ඉතින් අපේ ජෙනරේෂන් එකේ ඉපදුන පලවෙනි කොල්ල හිංදද කොහෙද නැන්දල, මාමල, බාප්පල, පුංචිල, ආත්තම්මල ඔය ඔක්කොම සෙට් වෙලා තියෙනවා නමක් සිලෙක්ට් කරන්න. එක්කෙනෙක් කියල දුමිඳු කියල දාන්න කියල. තව එක්කෙනෙක් කියල දුලිප් කියල දාන්න කියල. තව එක්කෙනෙක් තව එකක් කියල. කොහොමෙන් කොහොම හරි අපේ අම්ම මට දාල තියෙන්නෙ "දු" යන්නෙන් පටන් ගන්න වෙන නමක්. ඉතින් මේකට හිත රිදුන අපේ නැන්ද කෙනෙක් එයා යොජනා කරපු "දුමිඳු" කියපු නම තවත් කොට කරල මට දුමී කියල පෙට් නේම් එකක් දාපි.

එදා ඉඳන් මම ඔෆිෂලි ගෙදරට දුමී උනා. හැබැයි අම්ම නම් මට කියුවෙ ලොකු පුතා කියල. "ලොකු" කෑල්ල ඉස්සරහට ආවෙ මල්ලි ඉපදුනාට පස්සෙ තමයි ඉතින්. අම්ම දුමී කියල මට කතා කලේ මාත් එක්ක මල පැන්නොත් විතරයි. එතකොට ඉතින් මට කතා කරන්නෙ "දුමී මෙහෙට වරෙන්" වගේ ආදර වදන් ටිකක් එකතු කරල තමයි.

ඕං ඉතින් නම ආපු විදිහත් කියුවනෙ, ඉතින් මොනවද හත්වලාමෙ මම මේකෙ ලියන්න යන්නෙ ? අනේ ඉතින් මම ඔය සංකීර්ණ දේශපාලන භාෂාවල්නම් දන්නෙ නැහැ. ඒවා ලියන්න අදහස් කරන්නෙත් නැහැ. ඔය මට අහන්න දකින්න ලැබිච්ච සිද්දි ටිකක් තමයි මම මේකෙ මේ දිග අරින්න හදන්නෙ. ඒවයින් ගොඩක් දේවල් හොඳ විනෝද ජනකයි. මම හිතන්නෙ හොඳට හිනා වෙන්න පුලුවන් වෙයි. එහෙම නොවුනොත් ඉතින් පාරෙ යන එක්කෙනෙක්ට කියල හරි කුචි කවා ගන්න තමයි තියෙන්නෙ.

ඉතින් මේ පැත්තට ඇවිල්ල මගෙ පෝස්ට් එකක් දෙකක් කියවල ගුණ දොස් ලියල යන්න අමතක කරන්න එපා හොඳේ ?

ඕන්න ඉතින් මම මගේ හා හා පුරා කියල ලියපු පළවෙනි පෝස්ට් එකට තිත තියනව.

මේව ඉතින් මම කට කහනවට ලියන ඒවනේ !!

Related Posts with Thumbnails