ඇය අම්මා විය

Posted by දුමී

 

මම 2002 ඉඳලා ජීවත් වෙන්නේ ප්‍රාන්ත 7කින් හැදිලා තියෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි සහ ෂාජා කියන ප්‍රාන්ත වල. මිනිස්සු මෙහේ රස්සාවල් කරන්න එන්නේ ජීවිතයේ තියෙන දහසකුත් එකක් වූ අප්‍රමාණ සිහින සැබෑවක්ම කරගන්න. අරාබි තෙල් සල්ලි වලින් සහ සිහින සැබෑ කරගන්න මෙහේ එන මිනිසුන් විසින් නොනවත්වා හෙලන ලද, තවමත් හෙලමින් තිබෙන දහඩිය බිංදු, ලේ කඳුළු මත්තෙන්ම තමයි මේ අති සුපෝඛභෝගී නගර සහ දහසකුත් එකක් සිහින සාප්පු ගොඩ නැගිලා තියෙන්නේ. මේක කේතුමතුමතියක්, හැබැයි ඒ කේතුමතිය ඇතුලේ සිය දහස් ගණන් කඳුළු කතා ලියවිලා සහ තවමත් ලියවෙමින් තියෙනවා අපිට හිතාගන්නවත් බැරි විදිහට.

පවුල් පිටින් මෙහේ ඇවිත් රැකි රක්ෂා, ව්‍යාපාර අරඹමින් සිහින පස්සේ හැල්මේ දුවන සමහරු, ඒ අතොරක් නොපෙනෙන සිහින කැලෑවල් වල අතරමං වෙලා මංමුලා වෙනාවා. තමන්ගේ තරමට නොසරිලන තරමේ ණය මුදල් ලබාගෙන, පසුව ඒ ණය ගෙවා ගන්න නොහැකිව, හිරේ විළංගුවේ වැටෙන, ආර්ථික දුෂ්කරතා වලින් කරවටක් ගිලී, පවුල් පිටින් සිය දිවි හානි කර ගත්ත කතා ඕනෑ තරම් මෙහේ පළවන දිනපතා පුවත් පත්වල කාලෙන් කාලෙට දැක ගන්න පුලුවන්. මෑතකදී අසන්නට ලැබුණු පුවතක් නම් (වසරකට එකහමාරකට වගේ කාලයක් ඇතුලත ), තම ව්‍යාපාරය බංකලොත් වූ පියෙක්, තමන්ගේ බිරිඳ සහ දරු තිදෙනාවද හුස්ම හිර කර මරා දමා, නිවසේ විදුලි පංකාව එල්ලී සිය දිවි නසා ගත් පුවතක්. තට්ටු නිවාසවල දොර අගුල් වසාගෙන ජීවිත ගෙවන මිනිස්සු, අල්ලපු නිවාසයේ වෙන දේවල් දන්නේ නෑ. මේ සිද්ධියත් මිනිසුන් දැනගන්නේ සිද්ධිය වී සතියකට දෙකකට ඇවෑමෙන් ඒ නිවස අසලින් හමනා අධික දුර්ගන්ධය හේතුවෙන්, බලධාරීන් පැමිණ දොරවල් කඩා කරන ලද සෝදිසි කිරීමෙන්.

අපේ රටවල් වල වගේම අරාබි ජාතිකයනුත් මලගිය ආත්ම තදින් විශ්වාස කරනවා. අපි හොල්මන්, භූතයන් ප්‍රේතයන් හඳුනන මලගිය ආත්ම ඔවුන් හඳුන්වන්නේ "ජීන්" කියලා. අපේ රටවල් වල කරන ගුරුකම් වගේම ඔවුන් අතරත් මේ ජීන් ආත්ම පලවා හරින ගුරුකම් ඉතාමත් ප්‍රචලිතයි.

මේ අරාබි එමිරේටයේ මේ වගේ අත්භූත සිද්ධීන්, ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර කිසිවෙකුටවත් පදිංචි විය නොහැකි රජමාලිගාවක්, කිසිම කෙනෙකුට ජීවත් විය නොහැකි අතහැර දමන ලද සම්පූර්ණ ගම්මානයක්, ඒ වගේම අත්භූත සිද්ධීන් නිසා සම්පූර්ණයෙන්ම අත හැර දමන ලද තට්ටු නිවාසයක් (මා සිටිනා නිවසට තරමක් ආසන්නයේ) පවතිනවා. මේ කතා එකින් එක, වෙලාවන් ලද සැනින් ලියා පල කරන්නම්.

මේ මම ලියන කතාවත් මීට අවුරුදු කීපයකට කලින් සිද්ධ වූ සත්‍යම කතාවක්. දැනට වසර කීපයකට කලින් සිද්ධ වූ ලෝක අර්ථික කඩා වැටීම සෑහෙන දෙනෙකුට මතක ඇති. ඒ 2009 අවුරුද්ද වගේ. මේ කාලයේදී එක්තරා ව්‍යාපාරයක් කරමින් ඉතාමත් සුපෝඛභෝගී ජීවිතයක් ගෙවූ ඊජිප්තු ජාතික පවුලක් ෂාජා නගරයේ ජීවත් උනා. ඔවුන් ජීවත් වූයේ තට්ටු නිවාසයක නොව, යමක් කමක් ඇත්තන් ජීවත් වන "විලා" නමින් හඳුන්වන ඉඩමක් සමග තට්ටු දෙක තුනකට සදා තිබුන සාමාන්‍යය මිලෙන් අධික නිවාසයකයි. මේ ආර්ථික අවපාතයත් සමග මේ පවුලෙ ව්‍යාපාරම මුලටම කඩා වැටෙනවා. දිනෙන් දින ඉහල යන ණය කන්දරාවත්, බැංකුවලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව කොයි වෙලාවේ නීතිය විසින් යදම් දා කූඩු කරාවිදැයි ව්‍යාපාරයේ හිමිකරු අධික ආතතියකින් කල් ගෙවනු ලැබුවා. මේ ජීවන අභියෝග හමුවේ තව දුරටත් කල හැකි යමක් දෑස් පනාපිට නොපෙනුනු ඔහු ඊලඟ හෝරාවෙහිදී තීරණය කරන්නේ මුලු පවුලම සමග සිය දිවි නසා ගැනීමටයි. තම රූමත් බිරිඳත්, හත් හැවිරිදි දියණිය සහ වසරක්වත් වයස නොවූ පුංචි පුතා දෙසත් බලන ඔහු ඔවුන්ගේ දිවි තොර කරන්නේ කෙසේදැයි සිය දහස් වරක් අඳෝනා දෙන හදවතින් කල්පනා කරා. තම දෑතින් ඒ අපරාධය කල නොහැකි වූ ඔහු එකතරා දවසක එක් තීරණයක් ගන්නවා. ඔවුන් ජීවත් වූ විලා නමින් හඳුවන නිවසේ ගබඩා කාමරය තනා තිබුනේ බේස්මන්ට් නොහොත් පොලොව මට්ටමෙන් යටට සිටින්නටය. තම බිරිඳද දරු දෙදෙනාද ඔහු විසින් ඒ පොලොව යට කාමරය ගොස් ඇරලවන්නේ, ගෙයි සිටිනා මැසි මදුරුවන්, කැරපොත්තන් සඳහා කෘමි නාශක ඉසිනට ඇති බැවින් ඔවුන්ට පැයක් දෙකක් පමණ කාලයක් ඒ තුල සිටින ලෙස පවසමිනි. කෙලි දෙලෙන් තම මලනුවන් සමග සෙල්ලම් කරන දියණියත් පුතනුවනුත් හා තමන්ගේ ආදර බිරිඳ දෙසත් බලන ඔහු බූගත කාමරයෙන් පිටතට පැමින ඒ දොරේ දොර අගුල් දමනවා. ඉන් පසු ඔහු කරන්නේ කලින් සූදානම් කරගත් කඹයක්ද රැගෙන ගෙදර සාලයේ එල්ලී සියදිවි හානි කරගන්නටය. කීපවරක්ම තම දිවි තොරකරගැනීම උත්සා කලත් එසේ සිදු කිරීමට කිසියම් හේතුවකින් ඔහු අපොහොසත් වෙනවා. ඔහු ඉන්පසු කරන්නේ ගෙදර දොරවල් අගුලු දමා ගෙයින් නික්මී ඉබාගාතේ සිහි විකල් වූවෙකු මෙන් ඇවිද යාමයි.

බිරිඳගේ දෙමව්පියන් ජීවත් වන්නේද එමීර් රාජ්‍යයේමයි. සති කීපයකින් තම දියණියගෙන් කිසිම ඇමතුමක් නොලද ඇයගේ දෙමව්පියන් ඇයව සොයා එනවා. ගෙදර දොරවල් අගුල් දමා පවතින බවත්, ගෙදර සීනුව නාද නොවන බවත් (ඒ වන විට ව්‍යාපාරිකයා ගෙදර විදුලිය විසන්දි කර පවතිනවා ) දකින ඔවුන් නිවසින් නිකම යනවා. තම දියණියගේ පවුලට වූයේ කුමක්දැයි සිතා ගත නොහැකී වූ ඔවුන් සිතන්නේ, ආර්ථික ආඝාධයෙහි වැටෙන බහුතරයක් පිරිස් කරනා ලෙස, ඔවුනද හොර රහසේම රටෙන් පැන ගොස් ඇතැයි සිතා කිසිම බලධාරියෙක්ට ඔවුනගේ අතුරුදන් වීම සඟවා තබා ගැනීමට උත්සුක වෙනවා. 

ඉන්පසු ගතවන්නේ මාස තුනකට නොවැඩි කාලයක්. සුන්දර නොවන අරාබි වසන්තයේ දවසක (මේ කාලයේදී වැලි කැට පුපුරන රස්නයක්, ඇතැම් දිනවල සෙන්ටිග්‍රේඩ් අංශක පනහ ඉක්මවන උශ්ණත්වයක්, දවල්ද රැයෙහිද නොවෙනස්ව පවතිනවා ) කාන්තාවගේ දෙමව්පියන්ට දියණියගේ සැමියා හමුවන්නේ ප්‍රදේශයේ මාකට්ටුවක් තුලදියි. සිහි විකල් වූවෙකු මෙන් කොණ්ඩයද රැවුලද වවාගෙන අපිරිසිදු ඇඳුම් ඇඟලා සිටින ඔහු දකින කාන්තාවගේ දෙමව්පියන් ඔහුව තම නිවසට රැගෙන යනවා.

වචනයක්වත් කතා කිරීමට තරම් සිහියක් නොතිබූ ඔහුගෙන් ඔවුන් ප්‍රශ්න කරන්නේ තම දියණිය සහ දරුවන් කොහේ සිටීද යන්නය. මෙසේ දිනක් දෙකක් ගතවන තැන, එක්තරා දිනක ඔහු සිහි එළෝ ගන්නවා. මහා හඬින් අඬමින්, දෙදණින් වැටෙමින් ඔහු පවසන්නේ තමා විසින් සිය දරු පවුල මරා දමන ලද බවය. ඔහු පවසනා දේ ගැන හිතාගැනීමටත් නොහැකි ඔවුන් මේ සිද්ධිය බලධාරීන් වෙත දැනුම් දෙනවා. ඉන්පසු සියලුම දෙනා යුහුසුළුව පැමිනෙන්නේ ඔවුන් වාසය කරනා ලද නිවස වෙතය. ඔවුන් දොර අගුල් කඩා දමා නිවසට ඇතුළු වෙනවා. නාස් පුඬු වලට නොදැරිය හැකි දුගදින් ඔවුන් සිතාගන්නේ විය යුතු සියල්ල ඒ වනවිටත් සිදුවී හමාර බවය. ඔවුන් ඉන්පසු බූගත කාමරයේ දොර විවර කරනවා.මල මිනී වලින් නික්මෙන දුර්ගන්ධය වඩ වඩාත් දැන් ඔවුනට දැනෙන්න ගන්නවා.

කිසිම එළියක් නොමැති කාමරයට විදුලි පන්දම් ආලෝකයක් එල්ලවන සැනින් ඔවුන් දක්කින්නේ කාමරයේ බිම වැතී තිබෙන, ඒ වනවිටත් කුණුවී ඕජස් ගලමින් තිබෙන මල සිරුරුය. ඒ අමගම යමක් ඉතා වේගයෙන් ගොස්, මුල්ලකට වදිනු චායාවක් මෙන් දකින් ඔවුන්, ඒ අසලට විදුලි පන්දම යොමු කරනවා. ඔවුනට ඔවුන්ගේ ඇස් අදහා ගත නොහැකි වනවා.

විදුලි පන්දම එළියෙන් ඔවුන් දකින්නේ කුමක්ද. අඳුරු මුල්ලේ ගුලිවී තවමත් ප්‍රාණය සහිතව සිටින අවුරුද්දක්වත් වයස නැති පවුලේ බාලම දරුවායි.කොණ්ඩය වැවී, අපිරිසිදු ඇඳුමෙන් සිටියත් ඔවුන් දකින්නේ ඔහු ඉතාමත් හොඳ සෞඛ්‍යය සම්පන්නව සිටිනා බවය. ඒ වනවිටත් කාන්තාව සහ වැඩිමල් දියණිය මිය ගොස් මාස කීපයක් ගත වී ඇති බව ඔවුනට වැටහී යන්නේ සිරුරු දිරාපත් වී ඇති ආකරය අනුවය. වහාම වෛද්‍යය ප්‍රතිකාර සඳහා දරුවා රැගෙන යන ඔවුන් සොයා ගන්නේ, දරුවා කිසිම පෝෂණ ඌනතාවයකින් නොපෙලෙන බවයි. කෑමට බීමට වතුර පොදක්වත් නොමැතිව තම මව සහ සහෝදරිය මරු වැලඳගන්නා විට අවුරුද්දක්වත් නැති මේ කුඩා දරුවා මේ ලෙස ජීවිතය බේරාගෙන ඇත්තේ කෙසේද ? ඔවුන්ට නැගෙන විසඳා ගත නොහැකි ප්‍රහේලිකාව එයයි.

තවමත් හරි හැටි වචන හැසිරිය නොහැකි ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඔහු ජීවත් වූයේ කෙසේද යන්නය. කුඩා දරුවා ඔහුට හැකි පරිදි ලබා දෙන ලද තොරතුරු වලින් ඔවුන් මවිතයෙන් වික්ශිප්ත වෙනවා.

කුඩා දරුවා පවසන ලද තොරතුරු අනුව, සිය මව ඔහුට නිරතුරුවම පැමින මවුකිරි පොවා තිබෙනවා.....තමන් මියගියත්, නොමියෙන මවු සෙනෙහස තම දරුවා මියදෙන්න නොදී ඒ කුඩා පුතුගේ ජීවිතය ඒ විදිහට බේරාගත්තේ කෙසේදැයි අදටත් නොවිසඳී ඇති ප්‍රහේලිකාවක්.

8 comments :

  1. කට කහන හොල්මං කතා...
    මේ වගේ පැහැදිලි කරන්ට බැරි දේවල් සෑහෙන්ට ලෝකෙ වෙනවා අයියා..

    ReplyDelete
  2. අම්මගේ ආදරයට අමතරව මට නම් මේ කතාවෙ තියෙන වැදගත්ම ආදර්ශය තමන්ට ප්‍රශ්නයක් වුනාම සමීපතමයන් සහ අදාල නිලධාරීන් වගේ අය එක්ක අවන්කව communicate කරන්න කියන එක. මෙහෙම ජීවිතේම විඳවන දේ කර ගන්නවට වඩා ඔලුව පාත් කරලා බැගෑපත් වෙලා ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමයි වැදගත්.

    ReplyDelete
  3. මේක කියවනකොට මතක් වුණේ . අරාබි මන්තර ගුරුකම් එහෙමත් ඒ වගේම තමයි . ඉතාම බලවත් .
    දුක හිතෙන කතාවක් .

    ReplyDelete
  4. ඇත්තටම ආශ්චර්යයක්. නමුත් අපි හිතනවාට වඩා කුඩා දරුවන්ට අඩු ආහාර ප්‍රමාණයකින් ජීවත් විය හැකියි. දෙමව්පියන් පුරුදු නොකළොත් කෑම ඉල්ලාගෙන කෑමට ඔවුන් පුරුදු වන්නේ නෑ. මෙතන මව සෑහෙන කාලයක් ජීවත් වන්නට ඇතැයි සිතනවා. මමත් ඇසු එක් සත්‍ය කතාවක තමන්ගේ සැමියා ඩුබායි රාජ්‍යයේ ජීවත් වූ වායු සමනය කළ කාමරයේ මියගිය ආකාරය තවමත් අභිරහසක් බව මා දන්නා එක්තරා කාන්තාවක් පැවසුවා. ඔහුගේ මියයාම් දැනගෙන ඇත්තේ ඉන් බොහෝ කාළයකට පසු.

    ReplyDelete
  5. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete
  6. After 1 year... Thanks for the post bro. Nice one.

    ReplyDelete

Related Posts with Thumbnails