ඕං බස් කතා
Posted by
ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම මාරුවෙන් මාරුවට වගේ තමයි පංති තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නිසා, ඉස්කෝලේ ඇරිච්ච ගමන් පයින්ම යනවා නාවල පාරෙ තියෙන ක්ලාස් එකට. ඒ කාලේ ඔය දුර මහ දුරක් විදිහට දැනුනේ නෑ. නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ. ඊට අමතරව කෝට්ටෙ පැත්තෙ තියෙන ඉස්කෝල වලිනුයි, දෙහිවල පැත්තෙ තියෙන ඉස්කෝලවලිනුයි එන බාලිකාවියෝ නිසා ඔය පයින් ගමන හරිම ජොලි ගමනක් තමයි ඒ කාලේ.
යාන්තම් දැළි රැවුල වැඩීගෙන එන වයසත් නිසා, ඔය එක එක ජාතියේ ටයි පටි දිහා බල බල ඉන්නෙ නැතුව ෆුල් ජොලියේ අපිත් ඉතින් පයින්ම යනවා ක්ලාස් එකට. ක්ලාස් එක ඉවර වෙනකොට ජයනෙත්ති සර්ගේ නියමය තමයි, ගෑල්ළමයිව යවලා විනාඩි 10කට පස්සෙ තමයි පිරිමි ළමයින්ව යවන්නෙ. ඒත් ඉතින් ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. ඒ කාලේ ගෑණු ළමයි කොච්චර නෝටිද කියනවනං නම් පිරිමි ළමයි එනකං හිමි හිමිහිට හිමි හිමිහිට හොර ගල් අහුල අහුලා තමයි ඒ ගොල්ලෝ ඇවිදින්නෙ. පිරිමි ළමයි මැරතන් දුවනවා වගේ ඇවිදලා කොහොම හරි ගෑල්ළමයින්ව පහු කරලා ඒ ගොල්ලෝ දිහා බලන්නෙවත් නැතිව යනකොට ඒ ගොල්ලන්ට ඉතින් හරිම තරහයි.
ඔන්න ඔන්න පරණ දෙවල් මතක් වෙනකොට ලියන්න ගිය මාතෘකාවත් වෙන පැත්තකට යනවා.
ඔන්න ඉතින් අපි ගැන්සිය නුගේගොඩ සුපර්මාකට් එක තියෙන පැත්තෙන් ඇවිදගෙන ඇවිල්ලා පාරෙ අනිත් පැත්තට මාරු වෙන්න ඕනනෙ නාවල පාරට යන්න. ඔහොම එන අතරේ එකෙක් අනිත් උන්ට කලින් පාරෙ අනිත් පැත්තට පැනලා, ඔය පිට කෝට්ටෙ පැත්තට හරි, බත්තරමුල්ල පැත්තට හරි යන බස් එකක්, පාර මැද්දට පැනලා, අත දාලා, නවත්තගන්නවා හරියට අර පාරෙන් එහා පැත්තෙ ඉන්න සෙට් එකම බස් එකට නගින්න දුවගෙන එනවා වගේ. ඊට පස්සෙ පාරෙන් එහා පැත්තෙ ඉන්න උන්ට කෑ ගහනවා,
"ඉක්මනට පැනලා වරෙල්ලා බං....!" කියලා.
අනේ උන් ටිකත් අර නවත්තගත්ත බස් එක ඉස්සරහින්ම දුවලා ඇවිත් පාර පනිනවා. ඔන්න ඉතින් ඩ්‍රැයිවර් කාරයා බලාගෙන ඉන්නව කට්ටියම බස් එකට නගින කන්. අරුන් ටික පාර පැනපු ගමන් අර බස් එක නවත්ත ගත්ත එකා ඔළුව දාලා,
"තැන්ක් යූ අංකල්....!" කියලා අතින් බස් එකට යන්න කියනවා.
ඊට පස්සෙ ඉතින් ඩ්‍රයිවර් කාරයා කියන දේවල් අහගෙන ඉන්න එක විනාඩියක්වත් කට්ටිය එතන ඉන්නෙ නැතුව දුවනවා.
173 නුගේගොඩ-තොටලඟ බස් එක පටන් ගන්නෙත් ඔය නාවල පාරට හැරෙන තැනම ඉඳන් තමයි ඒ දවස්වල. ඒ රූට් එකේ දිව්වේ ලදරම්ම ලදරම් රෝසා වගේ බස් ටිකක්. කොහොමත් නුගේගොඩින් පටන් ගන්න ඔය බස් එක ඔතන කොට කොට ඉන්නවා සෑහෙන්න වෙලාවක් මිනිස්සු පටව ගන්නකං. බැරි වෙලාහරි අපි යනවෙලාවට ඔය බස් එකක් ඇද්දුවොත් එහෙම එකෙක් බස් එක පස්සෙ දුවනවා
"හෝව්, හෝව්...." කිය කිය. ඔන්න ඉතින් පස්සෙන් දුවගෙන එන රුපියලේ කෑල්ල දාල යන්න බෑ බෑ වගේ (ඒ කාලේ අවම බස් ගාස්තුව රුපියලයි, ඇඬෙනවා ) කොන්දත් බස් එකට දොහ් දොහ් දොහ් සද්දෙට තට්ටුවක් එහෙම් දාලා නවත්තනවා. ඔන්න ඊට පස්සෙ දෙබස යන්නෙ මෙන්න මෙහෙම...
“තොට ලඟද තොට ලඟද....?" අපේ එකා දුවන ගමන් හති දදා අහනවා...!
"ඔව් ඔව් මල්ලි, ඉක්මනට නගින්න....ඉක්මනට නගින්න...." කොන්දත් කෑ ගහනවා...
"හැතැප්ම කීයක් විතර තියෙනවද.......?" අපේ එකා බස් එකට එක කකුලක් තියාගෙන අහනවා....
"20ක් විතර තියෙනවා මල්ලි...." කොන්දත් අරූව ඇතුලට ඔබා ගන්න හදන ගමන් කියනවා....
"හාපෝ... තොට ලඟ උනාට මට දුරයි...!" කියාගෙන අරූ ආපහු දුවගෙන එනවා.....!
අනේ ඉතින් අර බස් එක අද්දලා යනකන්ම කොන්දා අත දික් කර කර බනිනවා අපිට ඈතට ඇහෙනවා.....!
කවුරුත් දන්නවනේ මහින්ද අබේසුන්දර මහත්තයව. මම ඉස්සර ඉඳන්ම හරිම කැමතියි උන්නැහේට. මොකද ඒ දවස්වල ඉඳලම හරිම විහිළුකාරයා. පොර දිවයිනේ ඉන්න කාලේ පටන් ගත්ත "මහින්දගේ ආගිය කතා" වලින් පොර හරිම ජනප්‍රිය උනා. ඉස්සෙල්ලාම දිවයිනේ, ඊට පස්සෙ ලක්බිමේ ඊට පස්සෙ සිළුමිණේ වගේ උන්නැහේ යන යන තැනට ඔය ආගිය කතාත් අරගෙන ගියානේ. උන්නැහේ ආගිය කතාවලට ලියපු ඔය බස් සම්භන්ධ කතාවකුත් මට මතක් වෙච්ච එකේ, මට මතක තියෙන විදිහට ඒකත් ඔන්න ඔහේ ලියලා දානව කියලා හිතුවා.
ඔන්න ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ කතාවට කන්ද උඩරට විස්ස විද්‍යාලයත් සම්භන්ධයි. මම ඉතින් ඔය විස්ස විද්‍යාලෙට විසි තිස් පාරක් ගිහිල්ලා තිබුනට ඒ වැඩි හරියක් වලේ නාට්ටි පෙන්නන්න සයිඩ් සපෝට් එකක් දෙන්න තමයි. ඒක නිසා සමහර විස්තර වල අඩු පාඩු කං තියෙන්න පුළුවන් හොඳේ....!
මේ කාලේ වෙනකොට කන්ද උඩරට විස්ස විද්ද්‍යාලෙට අළුත් නැවක් ආපු කාලේ. ඉතින් නැවෙන් ආපු කෂ්ටිය පිලිගන්න ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියෝ කුරුඳු නැටි වලින් එහෙම දත කට මැදගෙන ඉන්න කාලයක්. කැමැත්තෙන්ම රැගට සෙට් වෙන අයයි, බලෙන් රැගට අරගෙන යන අයයි, සම්පූර්ණයෙන්ම රැගෙන් අයින් වෙලා ඉන්න හාල් කෑලියි කියලා ඔය කෂ්ටියව ඉතින් බෙදෙනවනේ ඔය කාලේ වෙනකොට.
ඔන්න ඉතින් දෙයියනේ කියලා උදේ පාන්දරම කුණු ප්‍රෙෂාලව පෝලිම් ගස්සලා රැගට අරගෙන යන්න තමයි ජ්‍යේෂ්ට උත්තම උත්තමාවියෝ සැරසෙන්නෙ. ඔය අස්සෙ මේකෙන් ගැලවෙන්න බලාගෙන ඉන්න එවුන් ගස් ගල් පඳුරු වලට මුවාවෙලා ෂේප් එකේ මාරු වෙලා යනවා. එහෙම පැනලා යන එවුන් පට ගාල පාරට පැනලා ගලහා පැත්තට යන බස් වල එල්ලිලා මාරු වෙන්න තමයි කල්පනාව. ඔය සංසිද්ධිය අවුරුදු ගාණක් වෙලා පළ පුරුදු නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ හැතැක්මක් දෙකක් එහාට ගිහිල්ල ඔය එන හැම බස් එකකටම නැගලා දැන් යමරෙට චෙක් කරනවා ප්‍රෙෂාලා පැනලා යනවද කියලා.
ඔන්න බස් එකට නැගපු ජ්‍යේෂ්ඨ උත්තමයෝ කෑගහනවා,
"තොපි හිතුවද රැග් එකෙන් බේරෙන්ඩ... ආහ්...? බැහැපිය ඔක්කොම කුණු ප්‍රෙෂාලා බස් එකෙන්....!" අනේ ඉතින් වැඩි හරියක් ප්‍රෙෂාල සෙට් එක දඩි බිඩි ගාල බස් එකෙන් බහිනවා....
ඔය අස්සෙ බස් වලට නැගපු සමහර ප්‍රෙෂාලා අයිනේ සීට් අල්ලගෙන වාඩි වෙලා බොරුවට නිදි කිරා වැටි වැටි වගේ ඉන්නවා...
ඔන්න ඒ පාර ආපහු අර ජ්‍යේෂ්ඨයා කෑගහනවා....
"ඔය බොරුවට නිදාගෙන ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුත් බැහැපියව් ඔක්කොම....."
අනේ ඉතින් වැඩේ අතේ මාට්ටු නිසා නිදාගෙන වගේ ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුයි ඔක්කොම ටිකත් බස් එකෙන් බහිනවා....!
දැන් ඉතින් පැනලා යන්න හදපු නිසා පෝරියල් එක වැඩියි....! සෙට් එකම අල්ලලා පෝලිම් ගස්සලා දැන් කට්ටියව පාරෙ ඉඳන්ම හාවා පන්නනවා...... තව ටික දුරක් තාරාවා යවනවා... කැම්පස් එකට එනකන්ම....!
ඔන්න ඉතින් ඔය විදිහට හවස් වෙනකන්ම එක එක රැග් සීන් දීලා දැන් ප්‍රෙෂාලට පාං කියා ගන්න බැරි තරම්. ඔන්න මුන් ටිකව ආපහු පෝලිං ගස්සලා ජ්‍යේෂ්ඨ උත්තමයෝ දැන් තෙල බෙදනවා රැග් එක මග ඇරීමේ ප්‍රථිවිපාක, ආනිසංස එහෙම පහදලා දීලා....
ඔන්න ඉතින් අර බස් එකට නැගලා ප්‍රෙෂාලව බස්ස ගත්ත ජ්‍යේෂ්ඨ උත්තමයා කියනවා....
"තොපි අද වගේ හෙටත් මග ඇරලා තිබුනොත්, උඹලට ආපහු දෙන්නෙ අම්ම මුත්ත මතක් වෙන්න දැනගනියව්.....! හෙට උදේම ඇවිල්ල තොපි පෝලිං ගැහිලා හිටියෙ නැත්නම් බලාගන්න පුළුවං....!"
ඔන්න ඒ අස්සෙ පෝලිමේ හිටිය එකෙක් වෙව්ල වෙල අත උස්සනවා......
"මොනාද තොට කියන්න තියෙන්නෙ...." ජ්‍යේෂ්ඨයත් අහනවා....
“අයියේ, හෙටත් එන්න ඕනෙද ..?”
"හෙටත් එන්න ඕනෙද ...? තොපේ අම්මලා තාත්තලා දුක් විඳලා මහන්සිවෙලා තොපිට උගන්නලා, විභාග පාස් කරවලා කැම්පස් එකට එව්වෙ තොට හිතිච්ච වෙලාවට කැම්පස් එන්නද බොල.....?" ජ්‍යේෂ්ඨයත් ගෝරනාඩු කරනවා....
“අනේ අයියේ, මම විභාගේ ෆේල්නේ...! ” ඔන්න පෝලිමේ ඉඳලා අත උස්සපු එකා කියනවා...
"විභාගේ ෆේල්...? එහෙනම් කොහොමද යකෝ තෝ කැම්පස් ආවේ....?" ජ්‍යේෂ්ටයා මුගේ ලඟටම ඇවිල්ල ගෝරනාඩු කරනවා....
“ඉතින් අයියනේ මාව බස් එකෙන් බස්සගෙන හාවා පන්න පන්න කැම්පස් එකට එක්කගෙන ආවෙ...”
ඔන්න ඉතින් ජ්‍යේෂ්ඨයට ටික ටික පත්තු වෙනවා කොහේ හරි වැරද්දක් වෙලා කියලා. ඒ අස්සෙ මෙච්චර වෙලා රැග කාපු ප්‍රෙෂාලත් කිණ්ඩියට හිනා වෙනවා...
“කැම්පස් නෙවේ නං තෝ මොකටද යකෝ බස් එකෙන් බැස්සෙ...? ” හීන් දාඩිය පිහිදාන ගමන් ජ්‍යේෂ්ඨයත් අහනවා....
“අයියා කිව්වෙ නිදි කිරා වැටි වැටි ඉන්න එවුන් ඔක්කොම බැහැපියව් කියලා.......”
හුටා....දැන් පෝලිම්වල ඉන්න ප්‍රෙෂාලා බඩවල් අල්ලගෙන හිනා වෙනවා.
“තෝ කොහේ යන ගමන්ද ?”
“ක්ලාස් යන ගමන් අයියේ....”
“මොන ක්ලාස්ද බොල...?”
“කරාටේ ක්ලාස්....!”
-------------------------------------------------------------------
කරාටේ ක්ලාස් කියපු එකේ මතක් උනේ, දැනට අවුරුදු පහ හයකට කලින් විතර මම අනංමනං එකට ලියපු කතාවක්.
ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින් මිනිහා අළුත් නිසා තැලිලා පොඩි වෙලා එහෙම නැති නිසා හරිම ප්‍රවේසමෙන් තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින් තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක් එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත පොරක් නගිනවා බස් එකට.
“අයියේ ටිකට් ගන්න...” ඔන්න කොන්දා කියනවා...
"හහ්, ටිකට් ගන්න....? මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත් කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම ඇහෙන්න කියනවා...
වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත් දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා, කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට් කඩන්න පටන් ගන්නවා...
ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට නගිනවා....
කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...
“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත් මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත් සද්දේ වහලා ඉන්නවා.
ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට හැමදාම වෙන මේ නව නිංගිරාව තව දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට ගියා කරාටේ ඉගෙන ගන්න.
ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන් ඔන්න කොන්දා යකාටවත් බය නෑ....
ඔන්න එදා කොන්දා උදේ බස් එකට නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවාමයි කියලා හිතාගෙන.
අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට නැග්ගා...
"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත් ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....
"මම තමයි මාතලේ ජේමිස්, මම බස් එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත් පුරුදු උත්තරේම දුන්නා....
"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!" කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක් කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...
“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට් ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන් සීසන් එක අරගෙන කොන්දට දුන්නා.