වඳුරු පුක් රෙමඩිය - Monkey Butt Remedy

Posted by දුමී

පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින්. ඔන්න ඒ පාර අපේ මාරයා උන්නැහේත් පුක බිහිඋනේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා දාපු මාර බණ පෝස්ටුවකින් පහදලා දුන්නා. ඔන්න ඉතින් කොටුව සකස් කරලා තියෙන වෙලාවෙ බුලත් දඬු ටිකක් හිටව ගන්න ඕනෙ කියලා මමත් හිතුවා පුක් සීරීස් එකක් පටන් ගන්න කියලා. කලින් එක කතාවක් විදිහට ලියන්න හිතුවත් ගොඩාරියක් දික් වෙයි කියලා කතා කීපයක් විදිහට දාන්න තමයි ඕං දැන් කල්පනාව. ඕං එහෙනං ඈ....!

අපේ සීයා ජීවත් වෙලා හිටියේ මතුගම පාන්තියේ. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ මුළු දිවයිනටම බලපාන සාමධාන විනිසුරු වරයෙක්, ඒ කියන්නෙ ජේ.පී කෙනෙක්. ඒ කාලේ දැන් කාලේ වගේ පඳුරක් පඳුරක් ගානට වගේ ඉන්න ජේ.පී ලා හිටියේ නෑනේ.

ඉස්කෝල රස්සාවෙන් විශ්‍රාම අරගෙන හිටිය සීයා මුළු කාලෙම යෙදෙව්වෙ ගොවිතැන් කරන්න. පාන්තියේ ගෙදර වටේටම තියෙන කුඹුරු යායකුත් තව ගොඩ ඉඩම් වල මැන්ගුස්, ගොරකා, අඹ, ජම්බෝල වගේ මෙකී නොකී පළතුරු මහ ගොඩක් සීයා වවල තිබුනා. ඒ වගේම විවිධ ජාතියේ තැඹිලි, කුන්දිරා වගේම හොඳ සරුසාර පොල් වගාවකිනුත් පාන්තියේ ගෙදර වට වෙලා තමයි තිබුනේ. අපිත් ඉතින් හිච්චි සන්දියේදි ඉකෝලේ නිවාඩුවක් ලැබුනු ගමන්ම දුවන්නේ මතුගම (පාන්තියේ ). අනිත් නිවාඩු කාල කොහොම වෙතත් අවුරුදු නිවාඩුව නම් අනිවාර්යයෙන්ම ගෙවෙන්නෙ එහේ.

ඔන්න ඔය වගේ එක අවුරුදු නිවාඩුවකට මතුගම ගිහින් හිටිය කාලෙක හරි අපූරු සිද්ධියක් සිදු උනා. මේ සිද්ධිය උනේ 1986ට කලින්. සමහර විට 85 වෙන්නේ පුළුවං. මොකද 86 අවුරුදු මාසෙම තමයි සීයා අප අතරින් සමු අරගෙන ගියෙත්.

මතුගම නිවාඩුව ගත කරන අපිට එළියට බැස්සොත් හැමතිස්සේම කකුලේ ඇඟිලි අස්සෙ එල්ලෙන කූඩැල්ලන්ට අමතරව නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි හැමතිස්සේම පොල් අත්තකින් තවත් පොල් අත්තකට පැනලා ඔංචිලි පදින වඳුරු රංචු. සාමාන්‍යයෙන් මේ වඳුරු රංචු වල එක එක සයිස් එකේ වඳුරෝ 20ක් 30ක් නොවරදවාම ඉන්නවා. ගොඩක් වෙලාවට පොල් ගස් කරටි වලට නැගලා කුරුම්බැට්ටි, පොල් මල්, ඒ වගේම මැංගුස්, අඹ, ගොරක හිටන් කඩලා නාස්ති කරලා දාන නිසා අපේ සීයට නම් මේ වඳුරො සෙට් එක නයාට අඳු කොළ වගේ තමයි.

ඔන්න එදත් පීදීගෙන පොල් ගස් ටිකකට වඳුරො වැඩක් දීගෙන යනවා දැකපු සීයට උන් හිටි තැන් අමතක උනා. විගහට ගේ ඇතුලට දුවල ගිය සීයා ආපහු ආවෙ සීයගේ ලයිසන් තුවක්කුවට පතුරම් ලෝඩ් කරන ගමන්. පොල් කරටියක පොල් මල් වලට වැඩක් දිදී හිටිය වඳුරෙක්ට ඉලක්කෙ ගත්ත සීයා කොකා ගැස්සුවේ අපේ කණ් අඩි අගුළු වට්ටලා. කොහොම උනත් සීයගේ වයස හින්දදා අර වඳුරගේ වාසනාව හින්දදා මන්දා සීයා ගත්ත ඉලක්කය හරියටම හරිගියේ නැතත් උණ්ඩේ ගිහිල්ලා තිබුනේ අර වඳුරගේ මීටර් එකක් විතර දිග වලිගේ හරි මැදින් තුවාල කරගෙන. ඒ වෙඩිල්ල තිබ්බා විතරයි මෙච්චර වෙලා ගස් වෙලට වෙලා ෆුල් කූල් එකේ රිලැක්ස් එකේ හිටිය වඳුරො සෙට් එක මල පැනලා කොච්චර දරුණු උනාද කියනවනම් මහ හයියෙන් කෑ ගගහා පොල් අතු අඹරව අඹරව අතට අහුවෙන හැම ගෙඩියක්ම, මලක්ම කඩ කඩ බිමට දාන්න ගත්තා. කොටින්ම කිව්වොත් සමහර පොල් වලු පිටින්ම ගෙඩිය ගෙඩිය කඩ කඩ බිමට දැම්මා.

ඒ අතරේ තමයි මරු සිද්ධියක් දකින්න ලැබුනේ. කොහේද ඉඳන් ආපු ටිකක් වයසක වඳුරෙක් (සමහර විට ඌ වඳුරන්ගේ වෙද-පප්පා වඳුරා වෙන්නැති ) අර තුවාල වෙලා ගහෙන් අනිත් ගහට පනින්න බැරිව ඉන්න වලිගෙට වෙඩි වැදිච්ච වඳුරා ලඟට ගිහිල්ලා ඌට ප්‍රථිකාර කලේ. මොකක්ද දන්නවද ප්‍රථිකාර ...? අර තුවාල වෙච්ච වලිගේ අරගෙන දෙපැත්තෙන්ම අල්ලගෙන වෙද පප්පා වඳුරා අර තුවාල වෙච්ච හරිය තමන්ගේ පුකේ අතුල්ල ගන්න එක. ඔන්න ඉතින් අර තුවාල වෙච්ච වඳුරත් හරි සනීපෙට ඉන්නවා. වෙද පප්පා වඳුරා ඒ විදිහට දෙපාරක් තුන් පාරක් කලාට පස්සෙ තවත් වඳුරො දෙතුන් දෙනෙකුත් ඇවිත් අර වෙද පප්පා වඳුරා විදිහටම තුවාල වෙච්ච වලිගෙට ප්‍රතිකාර කලා තම තමන්ගේ පුකේ පිහිටෙන්. ඒ සෙට් එක සමහර විට වෛද්‍ය ශිෂ්‍ය වඳුරො ටික වෙන්න ඇති. ඔන්න ටික වෙලාවකට පස්සෙ අර වෙඩි වැදිච්ච වඳුරට අමාරුවෙන් හරි අනිත් ගස් වලට පැනලා වඳුරු රංචුවත් එක්ක යන්න තරම් ඒ වඳුරු පුක් ප්‍රථිකාර ක්‍රමය වැඩ කරලා තිබුනා වගේ පෙනුනා.

ඔන්න ඉතින් එදා ඉඳන් දවස් කීපයක් යනකන් අපේ මාතෘකාව තමයි මේ වඳුරෝ පුකේ පිහිටෙන් කරන වඳුරු පුක් ප්‍රථිකාරය. මිනිහා වඳුරගෙන් පැවතෙනවා කියලා හැමෝම කියන නිසා වඳුරන්ගේ පුක් ප්‍රථිකාරේත් මිනිස්සුන්ට වරදින්න විදිහක් නෑනේ. ඔන්න ඉතින් අපිත් එක්ක සෙල්ලං කරන්න එන කොල්ලෝ කුරුට්ටො සෙට් එකත් එක්ක අපි කතා කලේ මීට පස්සෙ දුවනකොට වැටිලා එහෙම නැත්නම් ඔය ඉරටු සුද්ද කරන වෙලාවට ඇඟිලි කැපිලා එහෙම යනකොට කෝපි කොල තලලා, කෝපි කුඩු තියලා වගේ කරන ප්‍රථිකාර කරන්නෙ නැතිව මේ පුක් ප්‍රථිකාරේ කරලා බලමු කියලා.

ඒත් දවසක් දෙකක් යනකං අපේ කාටවත් තුවාලයක් උනේ නැති නිසා මේක අපිට අත්හදා බලන්න පුළුවංකමක් තිබුනේ නෑ. ඔය අස්සෙ තමයි අපිත් එක්ක නිතරම සෙල්ලම් කරන්න එන චමින්ද අයියා හිටපු ගමන් සෙල්ලං කරන්න එන්නෙ නැතිව ඇරපු එක. ඔන්න එක දවසක් අපිට ක්‍රිකට් ගහන්න ටීම් එකට කට්ටිය මදි වෙච්ච වෙලාවක කට්ටිය කතා උනේ චමින්ද අයියාව ගිහින් කොහොම හරි එක්කගෙන එමු කියලයි.අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් ඒ වගේම අෆ්‍රිඩි වගේ පොල් අඩි කාරයෙක් වෙච්චි චමින්ද අයියා ඉන්න පැත්ත හැමදාම දිනන එකත් පොරව කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ කියන එකට වැඩි ඡන්ද ටිකක් ලැබුනා. ඔන්න ඉතින් කට්ටියම පොරගේ ගෙදරට ගිහිල්ලා කෑ ගැහුවා. ඔන්න එතකොට තමයි බුවා ජනේලෙකින් ඔළුවා දාලා කතා කලේ.

"චමින්ද අයියේ එන්නෙ නැද්ද සෙල්ලං කරන්න......" අපිත් කැගහලා ඇහුවා....!

“මල්ලි, මට එන්න වෙන්නෙ නෑ... ඔයගොල්ලෝ යන්න......”

“චමින්ද අයියේ, මොකද සීන් එක...?”

ඔන්න එතකොට තමයි චමින්ද අයියා සිද්ධිය විස්තර කලේ. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.

පහුගිය දවසක හවස් වරුවේ සෙල්ලම් කරලා මූණ කට හෝදගෙන ගෙදර ආපු චමින්ද අයියාත් සරමත් ගහගෙන පත්තරයක් කියව කියව ඉඳලා. එතකොට තමයි එක පාරටම චමින්ද අයියාලාගේ තාත්තා කුස්සියේ පිලිකන්න පැත්තෙ ඉඳගෙන කතා කරලා තියෙන්නෙ. මොකද වෙලා තියෙන්නෙ, ලිපේ දාන්න හනසු වගයක් සුද්ද කර කර ඉඳලා තියෙන චමින්ද අයියාගේ තාත්තගේ ඇඟිල්ලක් පිහියට කැපිලා. තාත්තා කතා කරලා තියෙන්නෙ මේකට බෙහෙත් ටිකක් දාන්න කියලයි. මෙන්න බොලේ චමින්ද අයියත් පැනපු ගමන් මොකද කරලා තියෙන්න සරම උස්සලා තාත්තගේ තුවාල වෙච්ච ඇඟිල්ල අරගෙන පුකේ ගහගත්ත එක.

ඉතුරු ටික කියන්න කලින් අපේ එවුන් බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

තාත්තට වඳුරු පුක් ප්‍රථිකාරේ කරන්න ගිය චමින්ද අයියට වෙලා තියෙන්නෙ හොඳවැයින් හනසු පාරවල් දෙක තුනක් පිට හරහයි, පුක හරහයි ලබා ගන්න.

චමින්ද අයියගේ තාත්තගේ ඇඟිල්ල ඒ ප්‍රථිකාර ක්‍රමෙන් හොඳ උනාද කියලා නම් පස්සෙ අපිට අහන්න නම් බැරි උනා..........!

රාමා, සීතා සහ අබ්දුල් කලාම්

Posted by දුමී

අපේ අසල්වැසියා වන ඉන්දියාවෙන් අපිට නිතරම විවිධ දේවල් ලැබෙනවා. ගොඩක් වෙලාවට හම්බවෙන්නෙ හොඳ දේවල් වලට වඩා නරක දේවල්. කොහොමත් පුරාණ කාලේ ඉඳන්ම ඉන්දියාවෙන් අපිට ගොඩ වෙලාවට ලැබෙන්න පරිප්පුම තමයි. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ලංකාවට පරිප්පු වලින් සංග්‍රහ කරන්නෙ කියලයි.

සමහරු කියනවා ලංකාවෙ ජනාවාස පටන්ගත්තෙ ඉන්දියාවෙන් ආපු විජය කුමාරයගෙන් කියලා. තවත් සමහරු මේකට විරුද්ධව අදහස් දක්වන්නෙ ලංකාවේ විජය එන්න කලින් ඉඳලම ජනාවාස තිබුනාය විජය එනකොටත් කුවේනිය කපු කටින තාක්ෂණය පවා ප්‍රගුණ කරගෙන සිටියාය කියලයි. කොච්චර හොඳට තාක්ෂණය ප්‍රගුණ කරගෙන හිටියාද කියවනන් විජය එන්නත් අවුරුදු දහස් ගාණකට කලියෙන් ලංකා පුරවරය පාලනය කරපු ඔය රාවණා ගොයියාට විතරනේ ඒ දවස්වල අහසෙන් යන්න පුළුවං දඬුමොණරේ හරි තිබුනේ. (රාමායනේ නම් ඔය දඬුමොණරේ ගැන නම් කියන්නෙ රාවණා ඒකත් හොරකම් කරපු එකක්ය කියලා. ඒ ඉතින් කුහක කමට කියන කතා. )

දැන් බලන්න ඔය අපි දන්න රාම රාවණා කතාවත් අපිට ඉන්දියාවෙන් දීපු අම්බ පරිප්පුවක්නේ. ඒකේ හැටියට රාවණා හොරා, රාමා පොර. ඇත්තටම බලනවනම් රාවණා ගොයියා ගිහිල්ලා නල්ල මලේ සීතාව උස්සගෙන ආවෙ තමන්ගේ සහෝදරිය සුපර්ණිකාගේ නහය කපපු එකට, එකට එක කරන්න. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරියට වෙච්ච අසාධාරණේට යුක්තිය පසිඳලන්න. රාවණා කරපු ලොකුම මෝඩ කම තමයි ගිහින් ඒකිව උස්සගෙන ආපු එක. ඕක කරගහහෙන එන්නෙ නැතිව ඒකිගෙ නහයත් එතනදිම කපලා දාලා රිටර්න් එක දීලා ආවනම් අද රාමත් නෑ හනුමත් නෑ.

අනික රාමායනයේ කියන්නේ සීතා තමන්ගේ පති වත රැක ගත්තාය කියලානේ. හරි අමාරු වෙන්නැති එයාට ඒක රැක ගන්න. දඬුමොණරෙන් ගේ දොරකඩටම ගිහිල්ලා ගෑණිව උස්සගෙන ආපු, තුන් ලෝකයක් පාලනය කලැයි කියන රාවණ ගොයියට ඕකට ඕන කමක් තිබුනා නම් ඔය පතිවත කුඩු පට්ටම් නොකර ඉඳියිද ? ඒකට රාමා. ආපහු ආව ගෑණිව පොරට කොච්චර ෂුවර් නැද්ද කියවනං ගෑණිව ගිණි ගොඩකට විසික් කරලා දැම්මා. වැඩේ කියන්නෙ සීතාව ගින්දරට දැම්මත් පිච්චුනේ නෑ. එතකොට තමයි හොරේ අහු උනේ. ගිනි ගොඩට දාලත් පිච්චුනේ නෑ කියන්නෙ සීතාගේ ඇඟේ කොච්චර නම් කුණු තියෙන්නෙ ඇතිද ? ඒකනේ පිච්චුවත් පිච්චුනේ නැත්තෙ. අනික රාවණත් ඕකට අත තියන්නෙ නැතිව ඉන්නෙ නැත්තෙ සීතා නාන්නෙ නැති නිසා නොවෙයි කියලා ඔය රාමායනේ කියලා තියෙනවද ? අනික රාවණා ගොයියත් ගොහින් ඔය ගෑණිව ඇල්ලක් ලඟ නවත්තල තිබ්බේ දැන් නායි, දැන් නායි කියලා හිතලා වෙන්න ඇති. ඒත් කොහේද...? ඒකි නාලම නෑනේ...!!

ඉතින් රාමායනය ලියපු එකා ඕක ලියලා තියෙන්නෙ රාමාව පොර කරන්නනේ. ඒක ලියපු වාල්මිකී වගේම ඔය තමන්ගේ එවුන්ව පොර කරන්න ඉන්දියන් පත්තර කාරයෝ කොච්චර ආසද කියනවන් දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉන්දියාවෙ පත්තර විතරක් නෙමෙයි බී.බී.සී එක හිටන් හරිම අපූරු නිව්ස් එකක් පැල් බැඳගෙන සති ගාණක් ප්‍රචාරය කලා.

Saurabh Singh

මේ සිද්ධිය උනේ 2005 වගේ අවුරුද්දේ වගේ තමයි මතක. ඒ වෙනකොට ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් කියන ප්‍රදේශයේ බල්ලියා කියන නගරේ ජීවත් වෙච්චර අවුරුදු 15ක් විතර වයස සෞරාබ් සින් (Saurabh Singh) කියන කොල්ලා ගැන හරිම අපූරු නිව්ස් එකක් පල උනා. ඒ තමයි ඇමරිකාවෙ නාසා ආයතනය මගින් අළුත් අජඨාකාශගාමීන් සොයාගන්න පවත්වපු විභාගෙකින් මේ සෞරාබ් සින් මුළු ලෝකෙන්ම පළවෙනියා වෙලා තියෙනවා කියලා. ඒ නිව්ස් එකෙන් තවත් කිය උනේ මේ විභාගෙට ලෝකෙන්ම ලක්ෂ දෙකක් විතර පෙනී සිටියාය, ඒ දවස්වල ඉන්දියාවෙ ජනාධිපති වෙලා හිටිය අබ්දුල් කලාම් 1960දි මේ විභාගෙන් 7 වෙනියා වෙලා තියෙනවාය   කියලයි. ඒ වගේම කාලෙකට ඉස්සෙල්ලා කොලොම්බියා අභ්‍යාවකාශ යාන අනතුරෙන් මියගිය ගගණ ගාමිණියක (ගගණ ගාමියා කියන එකේ ස්ත්‍රී ලිංග පදේ ගගණ ගාමිණියද ගගණ ගාමිච්චියද කියල ෂුවර් නෑ) වූ කල්පනා චවුලා ඒ විභාගෙන් 1988 දී 21 වෙනියා වෙලා තියෙනවා කියලත් ප්‍රචාරය උනා. ඔන්න ඉතින් දැන් බලනකොට සෞරාබ් තමයි පොර. මොකද අබ්දුල් කලාමුත් 7 වෙනියා වෙච්ච විභාගෙන් සෞරාබ් 1 වෙනියා වෙලානේ. අනේ ඉතින් මුළු ඉන්දියාවම හොඳට උඩ ගිහින් තිබුනේ. කොටින්ම කියනවානම් අපේ ඔෆිස් එකේ හිටපු ඉන්දියන් කාරයොත් එහේ මෙහේ ඇවිද්දේ උන් හරියට සෞරාබ් සින්ගේ අයියලා අක්කලා කියලා හිතාගෙන. ඔන්න ඊට පස්සෙ ආරංචියක් ආව සෞරාබ්ව බලන්න අබ්දුල් කලාම් සෞරාබ්ගේ ඉස්කෝල විසින් සංවිධානය කරපු උත්සවයකටත් පැමිනෙනවාය, ඊට පස්සෙ ඉන්දියාවෙ අගමැති මන්මෝහන් සින් එක්කත් විශේෂ හමුවක් තියෙනවාය කියලත්. ඔන්න ඉතින් සෞරාබ්ටයි පවුලේ අයටයි ප්‍රාන්ථ ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් සල්ලියි, ශිශ්‍යත්වයි අරවයි මේවයි පල් බැඳගෙන හම්බවෙන්න පටන් ගත්තා.

ඔන්න ඔහොම ඔය නිව්ස් එක නැගලා යනකොට තමයි එක පාරටම නාසා එකේ ප්‍රකාශිකාවක් ඇවිත් කිව්වේ නාසා එකෙන් එහෙම විභාගයක් කවදාවත් තියලා නැහැ කියලා. ඔන්න එහෙම කියලා ඊට දවසකකට දෙකකට විතර පස්සෙ අබ්දුල් කලාම්ගේ ප්‍රකාශකයෙක් කියනවා අබ්දුල් කලාමුත් එහෙම විභාගයක් කලේ නෑනේ කියනවා කියලා. ඔන්න ඉතින් එතකොට තමයි කට්ටියට පත්තු උනේ ‘පොරක්' කරන්න ගිය පොරගේ සැබෑ තත්වේ. එහෙම කිව්වත් සෞරාබ් මේක ඔප්පු කරන්න තව තවත් උත්සාහ ගත්තා. පොර ඉඳන් කියන්න ගත්තා නාසා එකේ විභාගයක් උනත් මේක තිබ්බේ එංගලන්තෙ ඔක්ස්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය මගින්ය කියලා. ඒකෙ අවසාන විභාගෙට පොර ලංඩන්වලටත් ගියාය කියලා. හැබැයි පොර දැනගෙන ඉඳලා නෑ ඔක්ස්ෆෝඩ් තියෙන්නෙ ලංඩන් වල ඉඳනුත් කිලෝමීටර් 100ක් විතර එහායින් කියලා. කවුද එක්කෙනෙක් අහලා තිබුනා සෞරාබ් ලංඩන් වල කොහේද නැවතිලා හිටියේ, ලංඩන්වල ඉඳන් කොහොමද ඔක්ස්ෆර්ඩ් එකට ආවේ ගියේ කිය්ලා. ඒ පාර සෞරාබ් කියලා තියෙන්නෙ පොර නැවතිලා හිටියේ බකිංහැම් මාලිගයේ සහ ඔක්ස්ෆර්ඩ් එකට ආවෙ ගියේ ටැක්සියක කියලත්.

ඕක ඉතින් අතේ පත්තු උනේ නැත්නම් තාමත් සෞරාබ් ෆුල් සිරා පොරක් වෙලා හරියට ඉන්දියාවෙන් රමා දැන් පොරක් කරලා ඉන්නවා වගේ.

ඔය කාලෙම වගේ මම වැඩ කලේ එමිරේට්ස් ගුවන් සේවයේ පරිගණක අංශයේ. හිටපු ගමන් අපේ ටීම් එකට පැරෂූටයකින් වගේ කඩාගෙන පාත් උනා "සමීර්" කියලා පොරක් ප්‍රොජෙක්ට් කන්ට්‍රෝලර් කෙනෙක් හැටියට. දැන් පොතේ හැටියට අපේ ටීම් ලීඩර් වෙන්නෙ සමීර්. පස්සෙ කාලෙකද වැඩ බැරි දාස කෙනෙක් විදිහට අඳුන ගත්තත් ඉන්දියන් කාරයන්ට ආවේණික හොඳට කතාකිරීමේ හැකියාව නොඅඩුව තිබිච්ච පොරක් තමයි සමීර්. කොහොමත් ලංකාවෙ අපි 4 දෙනෙක් හිටිය ටීම් එකට මූ ආපු එක කොහොමත්ම අපිට දිරෙව්වෙ නෑ. ඒක නිසා මූත් එක්ක ගේමෙන්ම තමයි කට්ටිය හිටියේ. ඔන්න දවසක් ටීම් මීටින් එකකදි සමීර් මෝටිවේෂන් ස්පීච් එකක් කියනවා මේ අබ්දුල් කලාම් ගැන. මේ කාලේ අබ්දුල් කලාම් තමයි ඉන්දියාවෙ ජනාධිපති. සමීර් කියපු විදිහට කතාව තමයි මේ.


ඉන්දියාවෙ ජාධිපති වෙන්න කලින් අබ්දුල් කලාම් වැඩ කරලා තිබුනේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේක්ෂණ ආයතනයේ ප්‍රධාණ විද්‍යාඥ්ඥයා විදිහට. ඒ කාලේ අබ්දුල් කලාම්ගේ ටීම් එකේ හරිම දක්ෂ විද්‍යාඥ්ඥයෝ රාශියක් සේවය කරලා තිබුනා. ඔය අතර හිටිය ඉතාමත් කාර්‍යශූර තරුණ විද්‍යාඥ්ඥයෙක් දවසක් උදෙන්ම ඇවිදින් අබ්දුල් කලාම්ට කියලා තියෙනවා "සර් අද මගේ පුතාගේ ඉස්කෝලේ කොන්සර්ට් එක, මම වයිෆ්ට පොරොන්දු උනා හවසට ඇවිත් එයාව කොන්සර්ට් එක බලන්න එක්ක යනවා කියලා, ඒක නිසා මම රෑ වෙන්න කලින් ගෙදර ගියාට කමක් නැද්ද..." ඒ පාර අබ්දුල් කලාම් ඒ තරුණ විද්‍යාඥ්ඥයාට හා කමක් නෑ කියලා අවසර දීලා තියෙනවා. කොහොමින් කොහොම හරි ඒ දවසේ හවස් වෙනකොට අර ගෙදර යන්න ඕනෙයි කිව්ව විද්‍යාඥ්ඥයාට කොන්සර්ට් එක ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගෙදර ගිහින් තියෙන්නෙ පහුවෙනිදා උදේ. උදේ ගෙදර යන ගමන් තමයි පොරට කලින් දවසේ කොන්සර්ට් එක ගැන මතක් වෙලා තියෙන්නෙ. අනේ ඉතින් දැන් පොරට ගෙදර යන්නත් බයයි. අභ්‍යාවකාශ විද්‍යාඥ්ඥයෙක්ගේ උනත් වයිෆ් වයිෆ්මනේ. ඔන්න ඉතින් පොර වලං මුට්ටි කරට එන සීන් ගැන ගැන හීන මව මව ගෙදර ගියා. ඔන්න ගෙදර ගියා විතරයි මෙන්න බොලේ පොරගේ වයිෆ් ඇවිල්ලා හරිම සන්තෝසෙන් හිනා වෙලා දොර ඇරලා පොරව පිළි ගත්තා. ඔන්න ඉතින් පොරට දැන් හරිම පුදුමයි. ආපහු එළියට බැහැලා බැළුවා මේ ඇවිත් තියෙන්න හරි ගෙදරටද කියලා. ඔව්, වැරදිලා නෑ. ඇවිත් තියෙන්නෙ හරි ගෙදරට. ඒත් වයිෆ් ෆුල් ජොලියේ ඉන්නවා. ඔන්න ඉතින් කෝකටත් කියලා ඉතින් අපේ පොරත් සෑඩ් මූඩ් එකක් දාගෙන වයිෆ්ට කියනවා

"අනේ සොරි ඩාලිං. මම වැඩ කර කර ඉන්නකොට ඊයේ පුතාගේ කොන්සර්ට් එක ගැන අමතක උනානේ....! ඔයාව කොන්සර්ට් එකට එක්කගෙන යන්න බැරි වෙච්ච එක ගැන සොරි හොඳේ....!" කියලා.

ඔන්න ඒපාර වයිෆ් ෆුල් ජොලි මූඩ් එකේ කියනවා "අයියෝ ඩාලිං ගණං ගන්න එපා. මට ඔයාගේ බොස් ඔක්කොම කිව්වා ඔයා හරි බිසී කියලා. ඔයාගේ බොස් ඊයේ හවස අපේ ගෙදර ඇවිල්ලා මාව කොන්සර්ට් එක බලන්න එක්කගෙන ගියා....!"

බලාගෙන යනකොට මේ පොර හොඳටම බිසී කියලා දැකලා අබ්දුල් කලාම් පොරගේ ගෙදර ඇවිත් වයිෆ්ව කොන්සර්ට් එකට අරගෙන ගිහිල්ලා.

ඔන්න ඉතින් මේ කතාව කියපු සමීර් ඉඳන් කියනවා, "බලන්න, කොච්චර හොඳ නායකයෙක්ද, ලීඩර් කෙනෙක්ද අබ්දුල් කලාම්. එයාගේ ගෝලයෝ ගැන කොච්චර හොඳට හොයලා බලනවද. මමත් උත්සාහ කරන්නෙ අන්න ඒ වගේ ලීඩර් එකෙනෙක් වෙන්න...." බුවා හදන්නේ කට්ටිය ඉස්සරහා පොර වෙන්න.

කට්ටිය කොහොමත් මූත් එක්ක මලෙන් ඉන්න එකේ කතාව ඉවරවෙච්ච ගමන්ම අපේ එකෙක් කියනවා, "සමීර් මේ, කරදර වෙන්න එපා... ඔයා ඔයාගේ වයිෆ් ගැන බලාගන්න. අපි අපේ වයිෆ්ලා ගැන බලා ගන්නම්..." කියලා.

අනේ ඉතින් අපේ බඩවල් කොර. සමීරුත් ඇස් දෙක උඩ ඉඳවගේන මේ මොකක්ද කඩා පාත් වෙච්ච මරාලය කියලා උඩ බිම බලනවා.

ඔන්න ඒ පාර අරූ ආපහු කියනවා, "අනේ උඹලගේ අබ්දුල් කලාම් ! ඌ දැක්ක නම් උගේ ගෝලයට ගෙදර යන්න අමතක වෙලා කියලා, ඌ හොඳ මිනිහෙක්නම් ගෝලයට ගිහිල්ල මතක් කරලා දීලා පොරව ගෙදර අරිනවා. ඒත් මූ කරලා තියෙන්නෙ අරූ බිසී වෙනකන් බලාගෙන ඉඳලා පොරගේ ගෙදරට රිංගලා මදිවට උගේ ගෑණිවත් උස්සගෙන කොන්සර්ට් එකකුත් බලන්න ගිහිල්ලා.....!"

එදායින් පස්සෙ සමීර් අපිට මෝටිවේෂන් ස්ටෝරීස් කියන එක නවත්තලා දැම්මා...!




Photo's taken from - 
http://www.flixya.com/photo/2381260/ugly-indian-girl
http://news.bbc.co.uk/2/hi/south_asia/4283733.stm
http://cartoon-photocollection.blogspot.com/2009/03/abdul-kalam-cartoon-photos.html

කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා - දෙවන කොටස

Posted by දුමී



පළවෙනි කොටස මෙතනින් කියවන්න.



දෙයියොත් බමන්ත සද්ද කියලා නම මාරු කරලා ඇඟට කිටි කිටියේ හිරවෙන ඇඳුමකුත් දීල ගියා මිසක් අඩුගාණෙ කුණ්ඩලීනි යූසර් මැනුවල් එකවත් දීල ගියේ නෑ නේද කියලා බමන්ත සද්දට මතක්වෙලා ටික ටික මල පැන ගෙන ඇවිල්ලා දෙයියොත් එක්කම දෙයියන්ගේ පරම්පරාවත් මතක් කරන්න ගත්ත ගමන් එක පාරටම ඔන්න දෙයියන්ගේ මූණ ආපහු මතු උනා බමන්තගේ ඉස්සරහින්.

"මොන රෙද්දක්ද බමන්ත, බුදිය ගන්නවත් දෙන්නෙ නැද්ද මට..කිඹුහුම් යනවා....මොකද මාව මතක් කලේ....?" ඔන්න බොලේ කුණ්ඩලීනි දෙයියොත් ගෝරණාඩු කරනවා ඔළුව විතරක් දාලා.

"ඔහේ මේ මට බේබි සූට් එකක් වගේ ඇඳුමක් අන්දල, මගේ යසට තිබිච්ච නම වෙනස් කරලා ගියාට මට අනාගතේට යන හැටි කිව්වෙ නෑනේ.....!" ඔන්න බමන්ත සද්දත් කියලා දැම්මා.

"ඕක තමයි මේ මොනිටිසෝරියත් කට්ටි පැනපු උං කුණ්ඩලීනි වලට දා ගත්තහම මේ අහක ඉන්න අපිට තමයි අමාරු. ඕකට අර හැමදෙනාම දාන ජ්‍යාමිතික සූත්‍රය දැම්මානම් හරිනේ....." දෙයියොත් ගෝරණාඩුවක් දැම්මා....

"එහෙනම් පොඩ්ඩක් ඉන්න දෙයියෝ මම කවකටු පෙට්ටිය අරගෙන එනකං...." බමන්ත නැගිට්ටෙ කවකටු පෙට්ටිය හොයාගෙන එන්න...!

"කවකටු පෙට්ටි මොකටද... ජ්‍යාමිතිය විසඳන්නේ ඇඟිලි වලින්නේ..... ඉස්සෙල්ලම අරක මෙතනින් ගන්න මෙන්න මෙහෙම....." දෙයියෝ වම් අත කරකවලා ඇඟිලි ටික විහිදුවලා බඩ උඩ තියාගත්තා....."ඊට පස්සෙ මේක මෙතනින් ගන්න මෙන්න මෙහෙම...." දෙයියෝ දකුණු අත කරකවලා අරගෙන වම් අතේ ඇඟිලි වලට කිට්ටු කරලා තියාගත්තා..

"ඊට පස්සෙ මේ දෙක එකතු කරන්න, කම්බයින් කරන්න මෙන්න මෙහෙම...." දෙයියෝ ඇඟිලි ටික බඩ උඩ පටලව ගත්තා....

"ඈහ්.......?" බමන්තට කෑගැහුනේ ඉබේටම වගේ....

"පොඩි විහිලුවක් කලේ බමන්තයෝ, ගණන් ගන්න එපා.... මම මේ පහු ගිය දවස්වල ජ්‍යාමිතිය ගැන එෆ්.බී එකේ තිබුනු ජෝක් වීඩියෝ එකක් බැළුවා....”

බමන්තයෝ, ඕකට ඔච්චර මැරෙන්න ඕනෙ නෑ... ඇස් දෙක පියාගෙන යන්න ඕනෙ අවුරුදු ගාණ ගණන් කරපු ගමන් ඒ ගණන් කරපු ගාණට අනාගතේට යන්න පුළුවං.පස්සට කරාම අතීතයට යන්න පුළුවන්....ගණන් කරලා ඉවර වෙලා අප්පුඩියක් ගහන්න....එච්චරයි." කුණ්ඩලීනියත් ඇඟට පතට නොදැනී කියලා ආපහු මාරු වෙලා ගියා.......

ඔන්න ඉතින් බමන්ත සද්දත් ඒ කිව්ව විදිහටම ඇස් දෙක පියාගෙන ගණන් කරන්න පටන් ගත්තා...."එකායි, දෙකායි, තුනායි...................... පනස් එකායි, පනස් දෙකායි........, මදුරුවෙක්....චටාස්........පොහ්.......!!”

'පොහ්' ගාල මදුරුවා මැරුනේ කොහොමද බමන්ත ඇස් දෙක ඇරලා බැලුවා.....

ඇස් දෙක ඇරලා බලපුවහම බමන්තගේ ඉස්සරහා නිල් වන් කෙත් වතු යායක්. ඈතින් සීයා කෙනෙක් අමුඩයක් ගහගෙන පෝර ඉහිනවා...! බමන්ත වාඩිවෙලා ඉන්නෙ ඒ වෙල අද්දර ගල් තලාවක් උඩ.....වෙල අද්දර සිරාවට කාපට් කරපු, දෙපැත්තටම යකඩ වැටවල් ගහපු තඩි පාරක්, පාරෙන් එහා පැත්තට වෙන්න පොල් අතු හෙවෙලි කරපු තේ කඩයක්.....ඔන්න ටික වෙලාවකට පස්සෙ අර කාපට් කරපු පාර දිගේ ඩක ඩක ගාගෙන තනි දොරේ ලංගම බස් එකක් එනවා....

"මේ කොහෙද බොලේ මේ.....?" බමන්තත් බිරන්තට්ටු වෙලා වගේ බලාගෙන ඉන්නවා ගලටම වෙලා....හෝඩුවාවක් දැන ගන්න....!!

ඔන්න ටිකකින් අර පෝර ඉහ ඉහද කොහෙද හිටපු සීයා එනවා උදැල්ලත් උස්සගේන් අමුඩ කෙටියත් ගහගෙන ගල ගාවින් ඇවිදගෙන යන්න...."

සීයේ....!" බමන්ත අර සීයට කතා කලා....!

"සීයේ......? මම කොහොමද ඕයි තමුසෙගේ සීයා උනේ.... මගේ නම චමින්ද....!"

"අනේ සීයේ ... සොරි සොරි... සමාවෙන්න..අයියේ ඔයා ලංකාවෙද ?" බමන්තට ඉබේම ඇහුනේ හිතේ කොනක සැකයක් තිබිච්චි නිසා....!

අර චමින්දත් එක පාරටම යන ගමන නවත්තලා බමන්ත දිහා ඔළුවේ ඉඳන් පාදාන්තය දක්වාම බැල්මක් හෙළුවා....!

"ඇයි... තමුසේ අහලා තියෙනවද ඉන්දියාවෙ මිනිස්සු කුඹුරු කොටලා යන ගමන් සිංහලෙන් කතා කරනවා....?" චමින්ද සීයත් කරුණාවෙන්ම උත්තර දෙනවා. ඒ හඬේ ලාංකීය බව බේරෙනවා...

"හරි හරි.... ඇති යාන්තන්....මම ඉන්නෙ ලංකාවෙ තමයි...."අර සුපුරුදු ලාංකීය ආමන්ත්‍රණ කනට වැටුනු බමන්තට හිතුනා.....! අයියේ මොකක්ද මේ අවුරුද්ද....?"

"මේ මනුස්සයෝ මේ 2064...... තමුසේ අංගොඩින් පැනලා එන ගමන්ද....?" සීයට මල පැනලා.....!

"අප්පට සිරි.... 2064...කුණඩලීනි වැඩ...........මම ඉන්නෙ අනාගතේ …......අංගොඩත් තාම තියෙනවලු.......!"

ඒ එක්කම බමන්තට හිතුනේ …. “මේ 2064 නම්, මුගේ වයස පේන හැටියට නම් මේ චමින්ද ඉපදෙන්න ඇත්තෙ එක්දාස් නවසිය අනූ ගණන් වල වගේ වෙන්න ඕනෙ..... හුටා... ඒ කියන්නෙ මූ මට වඩා ඇත්තටම බාලයි...........” බමන්තටත් හිතුනා....

"මචං....උඹේ ගෙවල් කොහෙද....?" අමාරුවෙන් එහෙම කතා කරන්න කට හදාගත්ත බමන්ත අර චමින්දගෙන ඇහුවා......

ඒ විදිහට මචං කියලා කතා කරපු එකෙන් චමින්දත් පොඩ්ඩක් කික් එකක් ඇවිල්ලා....

“මෙන්න මේ හයි වේ එකේ හරියටම අනිත් පැත්තේ බං.....!” චමින්ද ඇඟිල්ල දික්කරලා හරියටම පාරෙ එහා පත්තෙන් පාර අයිනට වෙන්න තියෙන ගෙයක් පෙන්නනවා...

“ මේ මම දැන් මම හයි වේ ඉන්ටර් සිටියක් එනකන් ඉන්නවා ගෙදර යන්න....! ඇයි පයින් මාරු වෙන්න බෑනේ... 5000ක් දඩ...! ඊට වඩා ලාබයි රුපියල් 400ක් දීලා ඉන්ටර්සිටියේ යනවා....!” චමින්දත් ඔරේ කියවනවා....

"මචං ඉන්ටර්සිටියක් එනකන් පොඩ්ඩක් කතා කරමුද ? 2064 වෙලත් තාම අමුඩේ ගහගෙන කුඹුරු කොටන්නෙ ඇයි...?"

"ඇයි ඕයි, තමුසෙ කියන්නෙ 2064 කියලා හෙළුවෙන් කුඹුර කොටන්න කියලද ?" ...මේකා එන්නෙම වලියට....

"නෑ මචං මම අහන්නේ ලංකාව දියුණු වෙලා නැද්ද පහු ගිය අවුරුදු 50ට 60ට....?"

බමන්තත් පොඩ්ඩක් ශාන්ත දාන්තව ප්‍රශ්නේ අහලා දැම්මා...?

"දියුණු වෙලා නැද්ද ? දැන් තමුසේ බලනවකෝ අපි පොඩි කාලේ තිබුනා වගේ අඩි පාරක්, ගුරු පාරක්, තාර පාරක් ඉතුරු වෙලා තියෙනවද කියලා....! බෝක්කුවක්, කාණුවක් ඉතුරු වෙලා තියෙනවද කියලා.....! ඒවා ඔක්කොම හයිවේ එහෙම නැත්නම් ගුවන් පාලම් වලට හරවලා තියෙන්නෙ......! බේතකටවත් නිකන් පාරක් නෑ....! පේනවා නේද.. බොහොම අමාරුවෙන් මේ කුඹුරක නියරක්වත් බේරගෙන තියෙන්නෙ.!! දියුණු වෙලාද කියලා අහනවා....! දැන් ලංකාවෙ ප්‍රධාන ආධායම් මාර්ගය තමයි හයිවේ....! " චමින්දත් කියවගෙන කියවගෙන යනවා හරියට මයිනෙක් වගේ.

"ඒකත් එහෙමද..එතකොට දේශපාලනේ.....? දැන් එතකොට කවුද මේ රටේ නායකයා....?"

“රටේ නායකයා තමයි අපේ මහ රජ තුමා.........!”

“මොන මහ රජතුමාද ?” තක්බීර් වෙච්ච බමන්තත් ඇහුවා...

“මොන මහ රජතුමාද ? ඒකවත් දන්නෙ නැද්ද... අර පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන්නෙ...?”

“පණ්ඩුකාභය...? ඒ කියන්නෙ අබා...?” බමන්තට ඒකාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා

“අන්න හරි.... අබාගේ බබා තමයි දැන් රජ කරන්නෙ...!!”

“හුටා... ඒ කියන්නෙ ඇක්සන් ජන්තු වැඩේ දීලා....!” පොර ඉතිහාසය ලියන මුවාවෙන් අනාගතේට ගේම දීල වගේ. මොනව උනත් මීයක් කඩන්නෙ ඇඟිලි ලෙවකන්න නෙමෙයි කියලා ඒ දවස්වල සූ එකේ හිටපු වලහෙක්ද කොහෙද කියලා තිබුනා.

"මචං චමින්ද... අර ඒ දවස්වල හිටපු රාජ පරම්පරාවට මොකද උනේ..? ඒ කියන්නෙ මීට අවුරුදු 50 කට විතර කලින් හිටපු...?" බමන්තත් හිතේ කැකෑරෙමින් තිබුනු පුරස්නේ ඇදලා දැම්මා....!

“අනේ ගොනෝ.....” ….චමින්දයා පටන් ගත්තා..."අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා ගැන දන්නවද ?"

"ඔව් ඔව් ඉතින් ඉතින්" බමන්තට දැන් හරිම කුතුහලේ

"ඒ එක වඳුරෙක් ඉඳලා එහෙම උනේ. ඉතින් හිතා ගන්නකෝ වඳුරො දෙසිය ගාණක් වටේට හිටියහම වෙන සන්තෑසිය..."

අපොයි දෙයියනේ කියලා කම්මුලේ අත ගහගත්ත බමන්ත ඊට පස්සෙ ඒ ගැන මොකුත් අහන්නෙ නැතිව ඉන්න තීරණය කලා.

"එතකොට ඒ වඳුරො ටික ?"

"ආහ්... ඒ වඳුරො ටිකට දැන් පුළුන් පුරවලා දියවන්නාවේ මියුසියම් එකට දාල තියෙනවා ජනතාවට බලලා විනෝද වෙන්න......"

‘එහෙනම් ඒ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් නෑනේ, තාමත් වඳුරො ටික ජනතාවට විනෝදය සපයනවා...’

"මචං චමින්ද.... කවුද එතකොට දැන් රටේ විපක්ෂ නායකයා....?" අමාරුවෙන් අනාගතේට ආපු එකේ ඔන්න ඔක්කොම විස්තර ටික අහගෙනම යනවා කියලා බමන්තට හිතුනා.

“විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” බමන්තගේ ඇස් දෙක නළලට යවන ගමන් චමින්දයත් මරු කියවනවා.

“රනිල්..? මෙච්චර කල්... ඒ කොහොමද …....? පොර ඒ කාලෙත් සෑහෙන්න වයසයිනේ....”

“ඕකනේ කියන්නෙ.... තමුසේ දන්න අටමගලයක් නෑ කියලා. රනිල් ලොක්කට අර ධවල බමුණා බේතක් මවලා දීලානේ නොමැරී ඉන්න...”

“ධවල බමුණා.......?” බමන්තට නම් හිතුනේ මේ චමින්දයත් අංගොඩින් පැනලා එන ගමන්දෝයි කියලයි.

"ඔව් ඔව්, අර වලියන්ත ඊට් කියලා හිටියේ. අර ඒ දවස්වල එෆ්.එම් එකකින් ගලක් පෙරලලා දාලා මස්ත බාල්දු වෙලා ගියේ. පොර ඒ කාලේම ගිහි ගෙය කල කිරිලා හිමාලේ පැත්තට භාවනා කරන්න ගියා කියලා ආරංචියි."

බමන්තට දැන්නම් වැඩේ හොඳටම පැහැදිලි වීගෙන එනවා...

“එතකොට අර ඒ දවස්වල අනීවාරතේ හිරේ යන්න වෙච්ච ජන රාළ තුමාට මොකද උනේ...? නිදහස් උනාද...?” බමන්තගේ හිතේ තිබිච්ච තවත් ප්‍රශ්නයක් ඇදලා ඇරියා....

“නිදහස් උනා නිදහස් උනා....! ඇමරිකාවෙ ජනාධිපති, උන්නැහේ වෙනුවෙන් සමාව ඉල්ලුවනේ....! ඉතින් නිදහස් උනා....”

"හෑහ්...? ඇමරිකාවෙ ජනාධිපති...සමාව ඉල්ලුවා..?" බමන්තගේ කට තාමත් ඇරිච්ච ගමන්මයි....

“නැතිව නැතිව.... උන්නැහේට උන්නැහේගේ වැඩක් කරගෙන යන්න බැරි තරමටම වැඩේ දරුණු උනානේ. ලියුං එන තරමක් ආවා කියන්නෙ ලංකාවෙන් යවන පෙත්සං.... ඔන්න ඉතින් උන්නැහේ එතුමා වෙනුවෙන් සමාව ඉල්ලුවා...”

“ඉතින්.. මොකද උනේ....?”

“මොකද උනේ තමයි... නිදහස් උනා විතරයි ජන රාළ තුමා හිරේ ඉන්නකං උඩ පැනපු ගෝතයෝ ටික උන්නැහේගේ පැත්තවත් බැළුවෙ නෑ. ඉස්සර එතුමා උසාවියට, ඉස්පිරිතාලෙට යනකන් කැමරා මානගෙන ෆොටෝ අල්ලන්න බලාගෙන හිටපු මාධ්‍යය වේදියෝ එකෙක්වත් එතුමාගේ ෆොටෝ එකක් ගහන්න පැත්ත පලාතක ආවෙ නෑනේ...බැරිම තැන එතුමා එළියෙ ඉන්නවට වඩා ඇතුල හොඳයි කියලා ආපහු ඉල්ලගෙන හිරේ ගියා....”

හපොයි, මේව ඇහෙනකොට බමන්තට නිකං කැරකිල්ල වගේ......

“එතකොට අර රතු සහෝදරවරු. ඒ ගොල්ලන්ට මොකද උනේ....?” බමන්තගෙනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න.

“ආ ඒක ඒ කාලෙම විසඳුනානේ....! දැන් බලන්න නයි දෙන්නෙක් ඉන්නවා. එක නයෙක් අනිත් නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අනිත් නයත් අර නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අන්තිමට නයි කී දෙනෙක් ඉතුරුද...?”

“එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑනේ....” බමන්තට ඉබේම කිය උනා......

“මචං චමින්දයෝ, අඩුම තරමේ ක්‍රීඩාවෙන්වත් දියුණුවක් නැද්ද හැබෑටම.....! කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්ත්වෙ එහෙම. 96න් පස්සෙ කීපාරක් ලෝක කුසලාණේ දින්නද ?” මොලේ කරපට් වෙලා හිටිය බමන්තත් මාතෘකාව වෙන පැත්තකට හරෝලා දැම්මා....!

“මොකා කිව්වා.....? ක්‍රිකට්...? ඒ මොකක්ද ? ආහ්... ඉස්සර එහෙම එකක් තිබුනා තමයි. ටික කාලෙකට ඉස්සෙල්ල ඒ ගොල්ලන්ව ගොඩවල් ගාණට ඉන්දියාවෙන් සල්ලි දීලා ගත්තයින් පස්සෙ එහෙම එකක් නැතිව ගියා..... ” චමින්දයත් කිසිම විළි සංගයක් නැතිව කියවනවා...

“අඩු ගානේ ජාතික ක්‍රීඩාවක්වත් නැත්ද ?” බමන්තගෙත් ඉවසීමේ සීමාව පැනලද කොහෙද .

“ජාතික ක්‍රීඩාවක් නැත්තෙ මොකද. අපේ ජාතික ක්‍රීඩාව තමයි නයිට් රේස්....” චමින්දයත් දෙකට නැවිලා අමුඩ ලේන්සුවෙන් කට පිහිදගන්න ගමන් කිව්වා.

එතකොටම තමයි චමින්ද මෙච්චර වෙලා බලාගෙන හිටපු හයිවේ ඉන්ටර්සිටිය ආවේ. චමින්ද අත දැම්ම විතරයි යන්තන් ස්ලෝ කරපු පරණ ටකරන් බස් එකට චමින්ද උදැල්ලත් උස්සගෙන ටික දුරක් දුවල ගිහිල්ලා යාන්තම් එල්ලුනා.

අනාගත ආශ්චර්යය බලන්න ආපු බමන්තට දැන් හොඳටම කලන්තෙ වගෙයි. ආපහු යන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඇස්දෙක පියාගෙන පිටිපස්සට ගණන් කරන්න පටන් ගත්තා.... 52, 51, 50.....3,2,1 චටස්. ම්හ්... මුකුත් වෙන්නෙ නෑ... හිටපු තැනමයි.... චටස්....චටස්....චටස්.....!

එතකොටම තමයි බමන්තට හුරු පුරුදු හීනි සොඳුරු කට හඬක් ඇහුනේ.....

“මොන මළ වදයක්ද මම දන්නෙ නෑ.... මේ මිනිහට පිස්සු හැදිලද කොහෙද.... මහ රෑ තිස්සේ නැගිටගෙන ඇඳ උඩ උඩ පැන පැන අප්පුඩි ගහන්නෙ....! මේ පොඩි එවුන්වත් ඇහැරවන්න හදනවා.....!

හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......! පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් හිටන් අමතක වෙනවා.....!

අනේ ඉතින් මෙයාට මට කුණ්ඩලීනි යෝගේ ලැබුනා කිව්වොත් පිලිගනීද ? ඒක නිසා දුමියත් ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

Related Posts with Thumbnails