කට කහන කාර් කතා

Posted by දුමී

මම NIBM ඩිප්ලෝමා එක ඉවරවෙලා තව අවුරුදු එකහමාරක් විතර ඒකෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙත් ඉඳල හා හා පුරා කම්පැණි එකකට ජොයින් උනේ 98 ඔක්තෝබර් මාසේදි විතර. ඒ ඔය මොරටුව පැත්තෙ තියෙන ගොඩනැගිලි උපාංග නිපදවන සහ බෙදාහරින ආයනයක පරිගණක කලමණාකාරවරයෙක් විදිහට තමයි. ඒ වෙනකොට මැනේජ්මන්ට් එකේ හිටපු වයසින් අඩුම එකා උනෙත් මං. අනිත් අය ඔක්කොම ඒ වෙනකොට මට වඩා අවුරුදු 10ක් 15ක් විතර වයසින් වැඩි අය තමා. ඉතින් කම්පැණි එකේ ඉන්න එකවුන්ටන්ට, සේල්ස් මැනේජර්ට, ඒරියා මනේජර්ලට එහෙම කම්පැනි එකෙන්ම නඩුත්තු කරන වාහන දෙන එක සිරිතක් වෙලා තිබුනා. ( මටත් ඒකට ගිහින් අවුරුද්දකට හමාරකට විතර පස්සෙ ඔය වෑන් කබලක් එහෙම හම්බ උනා.) ඉතින් නිකන් හම්බවෙන වාහනේ උනත් පුළුවං තරං ඉස්තරම්ම එකක් ලබා ගන්න තමයි හැමෝම ෆුල් ට්‍රයි එක දෙන්නෙ. ඒත් ඉතින් කම්පැණි එකේ තියෙන ආර්ථික තත්වෙ හැටියට තමයි කාට කාටත් වාහන හම්බ උනේ. ඉතින් ඔය ලන්ච් ටේබල් එකේදි එහෙම තමයි අපි ඕව ගැන කතා කරන්නෙ. මම ජොයින් වෙන්න කලින් හිටපු එකවුන්ටන්ට දීල තිබිල තියෙන්නෙ ටිකක් විතර පරණ කාර් එකක්. ඉතින් කට්ටිය උගෙන් අහනවා,

"කොහොමද මචං කාර් එක හොඳයිද ? ෆුල් ඔප්ෂන්ද ?"

මූත් ඉඳන් කියනවා, "ෂහ් මචං, මරු කාර් එක. මේක ෆුල් ඔප්ෂන්දත් කියල අහනවා. ෆුල් ඔප්ෂන් වලටත් වැඩිය මේකෙ එක්ස්ට්‍රා ඔප්ෂන්ස් තියෙනවා කියලා"

"ඈහ් . .! ඒ මොනවද බං ඒ එක්ස්ට්‍රා ඔප්ෂන් ? කියලා අනිත් එවුනුත් මුගෙන් දැන් අහනවා.

"ඇයි බං මේකෙ ෂවර් ඇන්ඩ් බිඩර් ඔප්ෂන් හිටන් තියෙනවනෙ. වහිනකොට හොඳට නාගන්න විතරක් නෙමෙයි පස්ස පැත්තත් හෝද ගන්නත් පුළුවංනෙ. අනික බිඩර් එක හොඳටම වැඩ කරන්නෙ මගේ වයිෆ් වාඩිවෙලා යන පැත්තෙ. ඉතින් අපරාදෙ හින්ද එයා ගෙදර වතුර නාස්ති කරන්නෙ නැහැ. "

බලනකොට කාර් එකේ වහලෙයි අඩියයි අම්බානෙකට දිරල. වහිනකොට හිටු කියල වහලෙන් තෙමෙනවා විතරක් නෙමෙයි වලකට වැටුනොත් නිකන්ම පස්සත් හේදෙනවා.

කොහොමෙන් කොහම හරි දවසක් මූ ගිහිල්ලා කාර් එක තඩි කන්ටේනර් ටේලර් එකක පිටි පස්සෙ ගහල. කාර් එකේ වහලෙ කන්ටේනර් ටේලර් එක උඩලු. මූ වදිනකොටම පාත් වෙච්ච හින්ද මුගෙ ඔළුව ගැලවිලා නැහැ. යන්තන් පොඩි හීරීම් තුවාල ටිකකුත් එක්ක පොර බේරිලා. ඉතින් කට්ටිය විස්තර අහලා "මොකද මචං උනේ ?" කියලා. ඉතින් මූ කියනවලු "නෑ මචං මෙච්චර ඔප්ෂන් තියෙන එකේ මට නිකන් හිතුන කාර් එක කන්වර්ටිබල් කරගත්තොත් හොඳයිනෙ කියලා" (කන්වර්ටිබල් කියන්නෙ ඕනෙ වෙලාවට වහලේ ගලවන්න පුළුවං වාහනවලටනෙ )

කොහොම හරි මම ජොයින් වෙනකොට ඒ එකවුන්ටන්ට් අස්වෙලා ගිහිල්ල අළුත් එක්කෙනෙක් තමයි හිටියේ. ඉතින් එයාට දීල තිබුනේ අර ටොයෝටා DX වැගන් කියලා තිබුනේ. අන්න ඒ ජාතියේ වාහනයක්. ඉතින් පොර දවසක් ඔය ලිබර්ටි ප්ලාසා එකේ කාර් පාක් එකේ වාහනේ නවත්තල ඇතුලට ගිහිල්ල ටික වෙලාවකට පස්සෙ ඇවිත් බලනකොට වාහනේ මිසින්ලු. දැන් පොර කල්පනා කරනවලු බොලේ හොරෙක් අරගෙන ගියා නම් මෙච්චර මේ සිරා අළුත් වාහන තියෙත්දි මේ ලදරම මොනවට අරගෙන ගියාද කියලා. ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මිනිහට පේනවලු කාර් එක ආපහු හෙමිහිට කාර් පාක් එකට ඇතුළු වෙනවා. ඉතින් එහම ඇවිල්ල අයිනකින් නවත්තල හොඳට ටයි එකක් එහම දාල හිටපු පොරක් කාර් එකෙන් බැස්සලු. දැන් අපේ එකත් මේ මොන අට මගලක්ද කියල බලන්න ලඟට ගියහම අර කාර් එක අරගෙන ගිය පොර බොහෝම අහිංසක විදිහට කියනවලු,

"අනේ සොරි මිස්ටර්. මගේ කාර් එකත් මේක වගේමයි. අර එහා පැත්තෙ නවත්තල තියෙන්නෙ ඒක. මම මගේ කාර් එක කියල හිතල වැරදිලා මේකනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ"

"ඒත් මේ රේඩියෝ එක දාන්න බලනකොට ඒක වැඩ කරන්නෙ නැති කොට තමයි මම මේ කල්පනා කරේ මේකට මේ මොකද හිටි හැටියේ උනේ කියලා. ඒ මදිවට මම මේ හිත හිතා හිටියේ කවුද යකෝ මගේ කාර් එකේ මේ කුරුසයක් එල්ලුවේ කියල".

බලාගෙන යනකොට මේකට ඕනෙම ගල් ඉබ්බෙක්ගෙ යතුරක් දාල දොරවල් ඇරල ස්ටාර්ට් කරගෙන යන්න පූළුවංලු.

ඉතින් අපේ එකා කියනවා, "බලපන් බං මගේ කාර් එක කොච්චර ෂෝක්ද.බැරි වෙලා හරි කාර් එකේ යතුර නැති උනොත් ගෙදර, දොරේ යතුර දාල හරි කාර් එක ස්ටාර්ට් කරගන්න පුළුවංනේ " කියලා.

මම කිවුවනේ මේ කම්පැණි එක කලේ නොයෙකුත් මාදිලියේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවන එකයි ඒව බෙදා හරින එකයි කියලා. ඉතින් ඔය හාර්ඩ්වෙයාර් කඩ වලට තමයි මේ නිෂ්පාදන බෙදා හරින්නෙ. ලංකාවෙ වටේම හාර්ඩ්වෙයාර් කඩ 20,000 විතර තිබුනා ඒ කාලේ මේ කම්පැණි එකේ නිෂ්පාදන ලබා ගන්න. මේ කතාව අපේ ලන්ච් ටේබල් එකේදි කිව්වෙ ඔය ගම්පහ පැත්ත බාරව හිටපු ඒරියා මැනේජර්.

ඉතින් ඔය ගම්පහ පැත්තෙ ලොකු හාර්ඩ්වෙයාර් කඩේක මුදලාලි කෙනෙක් වාහනයක් ගත්තලු. ඉතින් මාසෙකට විතර පස්සෙ අපේ ඒරියා මැනේජර් ගිහිල්ල මුදලාලිගෙන් ඇහුවලු,
"මුදලාලි, කොහොමද අළුත් වාහනේ ?" කියලා.
ඉතින් මුදලාලි කියනවලු

"වැඩක් නැහැ මහත්තයෝ, මම ඒ කෙහෙම්මල විකුනල දැම්මා" කියල.

ඉතින් අපේ පොර අහනවලු "ඇයි මුදලාලි අරගෙන මාසයක්වත් ගියෙ නෑනේ"

ඔන්න මුදලාලි කියනවලු , "වැඩක් නෑ මහත්තයෝ, ඔය කාලකණ්නි වාහනේ හින්ද මගේ අළුත්ම සෙරප්පු කුට්ටම් දෙකක්ම නැති උනානේ" බලාගෙන යනකොට කාර් එකේ අඩියේ තඩි හිලක්. ගමනක් එහෙම ගිහින් බහින්න හදනකොටලු දන්නෙ සෙරප්පු කුට්ටම ඒ හිලෙන් වැටිලා කියලා. ඉතින් සෙරප්පු නැතිව යන්න බැරි හින්ද මුදලාලි ආපහු ගෙදර එනවා

"තාම නම් නැති උනේ සෙරප්පු විතරයි. මම මේකෙ අපේ උන්දැවත් දාගෙන යනවනෙ.උන්දැ එහෙම මගදි වැටුනොත් මම මොකද කරන්නෙ ?" .

මම ඒ කම්පැණියෙන් අස් වෙලා තමයි අර කොම්පඤ්ඤ වීදියේ තිබුන කම්පැණි එකට ජොයින් උනේ. ඉතින් මේකෙන් අස් උනාට පස්සෙ මමත් ඔය මම හදපු සොෆ්ට්වෙයාර් පැකේජ් එකක් දෙකක් විකුනල සල්ලි ටිකක් හොයා ගෙන මටම කියල වාහනයක් ගන්න හෙව්වා. ඉතින් මමත් ඉරිදා සිළුමිණ පත්තරෙයි, ඔබ්සවර් පත්තරෙයි අරගෙන හතර වටේ ගියා වාහන හොය හොයා.

ඔහොම යනකොට ඔය කිරුළපන පැත්තෙ කාර් එකක් බලන්න ගියා. දැන්වීමේ නම් තිබුනේ ෆුලි ගෑස් කන්වර්ටඩ්, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් කියලා. ගිහිල්ල බලන කොට තමයි දැක්කෙ කියපුවා ඔක්කොම ඇත්තනෙ කියලා. මින්ට් කියන්නෙ මින්ට්ම මින්ට්. අර රවුම් පෙපර් මින්ට් ටොපියක් වගේ රවුම්. හරියට ශේප් එක මොකක්ද කියලා හිතා ගන්න බැහැ. හරිනේ, ලේඩි ඩ්‍රිවන් කියන්නෙ ඒක තමයි අර සුපුරුදු විදිහටම ලේඩීස්ල එළවනවා වගේ හතර පැත්තම හප්පලා රවුම් කරන් තමයි එළවලා තියෙන්නෙ. ෆුලි ගෑස් කන්වර්ටඩ් කිව්වම පැට්‍රල් වලින් දුවන්නෙම නැහැ. පැට්‍රල් ටැංකිය හොඳටම දිරල ගලවලා දාල. බලනකොට අර ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩර් එකකින් තමයි දුවන්නෙ. ඔන්න පොරක් ආවා කාර් එක තිබුන ගෙදර ඉඳන්.ඉතින් පොඩි ට්‍රයල් එකක් ගිහිල්ල බලමු කිව්වහම පොර පට ගාල ගේ ඇතුලට දුවල එල්.පී ගෑස් සිලින්ඩර් එකක් උස්සන් ඇවිත් ඩිකියට දාලා අර ගෑස් කුකර් එකකට ගහනවා වගේ රෙගියුලේටර් එකක් හයි කලා. ගෑස් කන්වර්ට් කරාට වාහනේ ස්ටාර්ට් කරනකොට පැට්‍රල් ඕනෙනෙ. මේකෙ පැට්‍රල් ටැංකිය ගලවලා දාල මොකද ඒක දිරලා හින්ද. ඔන්න පොර බොනට් එක ඇරල කාබලේටර් එකට පොඩි සිංගර් තෙල් බෝතලයකට දාපු පැට්‍රල් ටිකක් දාල කාර් එක ස්ටාර්ට් කරා ඊට පස්සෙ ඔන්න කාර් එකේ අයිති කාරයවත් දාගෙන මම ඉතින් කිරළපනින් හයිලෙවල් පාරට දාගෙන මේක එලවනවා. ඔහොම ටික දුරක් යනකොට, හචස් හචස් ගාල හිටියේ නැතෑ කාර් එක මහ පාරේ ට්‍රැෆික් එකේ. ඔන්න අයිති පොරත් ඇවිල්ල දන්න සෙල්ලං දානවා මේක ස්ටාර්ට් කරන්න. හරියන්නෙම නෑ. පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා කාර් එක පාර අයිනට තල්ලු කරලා නැවැත්තුවා. දැන් මේ ගිණි මද්දහනේ එකත් පහු වෙලා. ආ කියන්න බැරි උනානේ. කාර් එකේ හයි කර තියෙනවා ඔරලෝසුවක් අර බිත්ති ඔරලෝසුවකට වඩා පොඩ්ඩක් පොඩියි. ඔන්න පොර කියනවා

"මල්ලි, මට අද මේ කාර් එක විකුනන්න වෙන්නෙ නැහැ. මොකද අපි තාම දවල්ට උයල නැහැ.”

" එහෙම කියලා පොර ත්‍රී වීලර් එකක් නවත්තගෙන ඩිකියෙන් ගෑස් සිලින්ඩර් එක ගලෝලා දාගෙන කාර් එකත් එහෙම්මම තියල යන්න ගියා. බලාගෙන යනකොට ගෙදර ගෑණි උය උයා හිටපු ගෑස් සිලින්ඩර් එක තමයි මූ මේ කාර් එකට හයි කරගෙන ට්‍රයල් එකට ඇවිත් තියෙන්නෙ.

කාර් හෙවිල්ල පැත්තක තියලා ඊට පස්සෙ මමත් කිරුළපනින් නුගේගොඩ බස් එකකට නැගල එහෙම්මම ගෙදර ආවා.

මෙඩිකල් ටෙස්ට් සහ අයි ටෙස්ට්

Posted by දුමී

මතකනෙ මම අර අපේ ගම හාමිනේ ලයිසොන් ගත්ත කතාවෙදි කිව්වෙ මම ලයිසොන් එක ගන්න වෙලාවෙ මගේ මෙඩිකල් එක ගන්න ගිහිල්ල වෙච්ච සන්තෑසිය ගැන.ඉතින් මම ආපහු මේ පෝස්ට් එක කියව කියව ඉන්නකොට ඔය මෙඩිකල් ගැන තව කට කහන කතා ටිකක් මතක් උනා. මේකෙන් එකක් මේ මටම වෙච්ච එකක් සහ අනිත් ඒව සුපුරුදු විදිහටම මගේ අති ජාත මිත්‍ර කැලට වෙච්ච ඒවා. හැබැයි මම ඔන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මීට පස්සෙ ඔය අකරතැබ්බ වෙච්ච යාළුවන්ගෙ සැබෑ නම් හෙලි නොකර සිටීමට. මොකද පහු ගිය ටිකේම මට නිතරම ඉන්ටර්නැෂනල් කෝල් එන්න පටන් ගත්තා පාතාලෙන් "පරිස්සම් වෙලා හිටපන්" කියල. අනික සමහර යාළුවො කෙලින්ම මූනට කියන්න බැරි හින්ද ෆේස් බූක් එකෙන් මැසේජ් එවන්න පටන් ගත්ත "යකෝ තොගෙ කට කහනවං පොල් ලෙල්ලකින් උළාගෙන ඩෙටෝල් ටිකක් දාල හෝදගනින්" කියල. මෙහෙ ඉතින් කොහෙද පොල් ලෙළි හොයන්නෙ කියල උන් හිතන්නෙ නැහැ.

හරි හරි, යමුකො ඉතින් කතාවට. ඉස්සෙල්ලම කියන්න යන්නෙ මගේ යාළුවෙක්ට වෙච්ච සන්තෑසියක් තමා. මම අර කලින් පෝස්ට් එකකදි හෙලි කලානෙ මම අර කලින් වැඩ කරපු කොම්පඤ්ඤ වීදියේ කම්පැණි එක ගැන. ඒකෙ නම ජෝන් කීල්ස් කම්පියුටර් සර්විස් (JKCS). ඉතින් ඕක හරහා තමයි අපි ඔක්කොම ඩුබායි වල එමිරේට්ස් ගුවන් සමාගමේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් වලට ආවෙ. ඉතින් මෙහේ දීර්ඝ කාලීන, ඒ කියන්නෙ මාස තුනකට වඩා වැඩි ප්‍රොජෙක්ට්ස් වලට ආවහම රෙසිඩන්ට් වීසා එක අරගෙන තමයි ඉන්න වෙන්නෙ. ඉතින් ඔය රෙසිඩන්ට් වීසා එක නිකන්ම දෙන්නෙ නැහැ. ෆුල් මෙඩිකල් ටෙස්ට් එකක් තියලා ඉහේ සිට පාදාන්තේ දක්වා චෙක් කරලා තමයි මෙඩිකල් එක පාස් කරන්නෙ. ඕකට ඉතින් බ්ලඩ් ටෙස්ට් එකක්, යූරීන් ටෙස්ට්, අයි ටෙස්ට්, චෙස්ට් ටෙස්ට් අර ටෙස්ට්, මේ ටෙස්ට් කියල නා නා ප්‍රකාර ටෙස්ට් ජාති තියෙනවා. ඕක කරන්න යන්න ඕනෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට. ඉතින් ඔතනට හැම ජාතියේම ඒ කියන්නෙ පාර අතුගාන්න ආපු කම්කරුවගේ ඉඳන් දොස්තර වැඩේට මෙහෙ ආපු එකාට වෙනකන් එනවා. ගොඩක්ම එන්නෙ ඉතින් ඔය ලේබර් කැටගරියෙ බුවාලා තමයි. ඉතින් ඉස්පිරිතාලෙන් උනත් හැමෝටම සලකන්නෙ එකම විදිහට. උන්ට වැඩක් නැහැ මේකා ලේබරයෙක්ද නැතිනම් ඉන්ජෙක්ද, නැතිනම් ඩොකෙක්ද කියලා. ඉස්පිරිතාලේ ඉන්න බල්ලගෙ ඉඳන් හැම එකාගෙම ආඩම්බර බලන්න වෙනවා ඉතින් ඔතනට ගියහම.

ඔන්න මගේ යාළුවෙක් හිටිය ඉන්ද්‍රජිත් කියලා. අපි ඌට කියන්නෙ ඉන්ද්‍රා කියලා. ඉතින් ඉන්ද්‍රත් දැන් ඩුබායි ඇවිල්ලා හා හා පුරා කියලා මෙඩිකල් යන්න තමයි ලෑස්තිය. එකම අවුල තියෙන්නෙ මූ ඉන්ජෙක්ෂන් කටු වලට චූ යන්න බයයි. ටී වී එකේ කාට හරි ඉන්ජෙක්ෂන් එකක් හැහුවත් මූට කලන්තෙ හැදෙනවා.

ඉතින් බයෙන් බයෙන් මූත් මෙඩිකල් එකට ගිහිල්ල ආවා කියමුකො. ඔන්න ඊට පස්සෙ කට්ටිය ඇහුවහම "මොකද මචං උනේ" කියලා මූ ඇවිල්ල විස්තරේ කියනවා.

"බලහං මචන්, ඌ කටුව ගැහුව විතරක් නෙමෙයි බං මට පයිනුත් ගැහුවා" කියලා.

බලනකොට මොකද වෙලා තියෙන්නෙ මූ ලේ ගන්න තැනට ගිහිල්ල වාඩිවෙලා අත දෙන්නෙ නැතුව අත කකුල් දෙක අස්සෙ ගහන් ඉන්නවලු බයට. ලේ ගන්න පොර මොකද කරල තියෙන්නෙ බැරිම තැන උගේ කකුල් දෙකට පයිං පාරක් ගහල කකුල් දෙක ඈත් කරගෙන මුගේ අත ඇදල අරන් බලෙන්ම කටුව ගහල ලේ අරගෙන.

ඔන්න ඊට පස්සෙ මූට තිබිලා තියෙන්නෙ යූරීන් ටෙස්ට් එක කරන්න. පොර ඊට පස්සෙ තිබුන යූරීන් සාම්පල් ගන්න කාමරේට ගියහම පොඩි කන්ටේනර් එකක් දීලා කිව්වළු අර ටොයිලට් එකට ගිහිල්ල මේකට යූරීන් දාන්න කියලා. ඔන්න ඉන්ද්‍රත් පොඩි ප්ලාස්ටික් කන්ටේනර් එකත් අරගෙන ඇතුලට ගිහිලා ආපහු ආවලු ඒත් කන්ටේනර් එක හිස්ලු. ඉතින් යූරීන් සාම්ප්ලෙ ගන්න පොර ඇහුවලු මොකද සාම්පල් එක ගෙනාවෙ නැත්තෙ කියලා. ඒ පාර ඉන්ද්‍ර කියනවලු,

"නෑ මේකට දාන්න ඕන උනේ නැහැ එක ඇතුලේ කොමඩ් එකක් තියෙනවා" කියලා.

ඔන්න පස්සෙ සාම්පල් කලෙක්ට් කරන එකාටත් මල පැනල කිව්වලු හොඳට වතුර බීල ආපහු මේක පුරෝගෙන එන්න කියලා. ඉතින් ඉන්ද්‍රත් මොකද කරල තියෙන්නෙ වතුර ලීටර් එකක් විතර බීල ටික වෙලාවක් ඉඳල කොහොම හරි සාම්පල් එක දීල ඇවිල්ලා. හොඳම හරිය වෙලා තියෙන්නෙ මෙඩිකල් රිපෝට් එක ආපුවහම රිපෝට් එකේ තියෙනවලු මූට දිය වැඩියාව කියලා. ඔන්න දැන් ඉන්ද්‍රට යකා නැගලා මූ බනිනවලු අර ක්ලිනික් එකේ එකාට, නෑ බං "අරූ තමයි කිව්වෙ මට වතුර බෝතලයක් බීල සාම්පල් එක පුරවන්න” කියලා. මූ හිතන්නෙ වතුර ගොඩක් බීපු හින්ද රිපෝට් එකේ "දිය වැඩියාව" කියල පෙන්නුවා කියලා. බලාගෙන යනකොට ක්ලිනික් එකේදි සාම්පල් එක මාරු වෙලාද කොහෙද අපේ ඉන්ද්‍රා කරපු බුල් සීන් එක නිසා. පස්සෙ ඉතින් කොහොමෙන් කොහොම හරි දෙවනි පාර මෙඩිකල් එකකුත් කරාට පස්සෙ ටෙස්ට් එක නෝමල් කියලා ආවලු.

මේක උනේ මම ඔතන මෙඩිකල් එකට ගිය දවසෙ. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කරන්නෙ ඇස් ටෙස්ට් කරන එක. මේකෙදි ඇස් දෙක හොඳට පේනවද කියලා විතරක් නෙමෙයි කලර් බ්ලයින්ඩ්ද කියලත් ටෙස්ට් කරනවා. මේක කරන්නෙ මේ ඔය උඩින් පෙන්නල තියෙනවා වගේ එක එක පාටෙන් තියෙන රූප පෙන්නල අහනව මේකෙ තියෙන රූප මොනවද කියලා. ඉතින් සමහර කලර් බ්ලයින්ඩ් තියෙන අයට පේන්නෙ නැහැ මේකෙ තියෙන ඉලක්කම් හරි රූප හරි, මොකද ඒ ගොල්ලන්ට සමහර වර්ණ අනිත් වර්ණත් එක්ක වෙන් කරල හඳුන ගන්න බැරි නිසා. ඔය රූප ටික තියෙන පොඩි පොතකින් පෙරළ පෙරළ තමයි ඩොකා අහන්නෙ. එක එක රූප වලින් වෙනස් වෙනස් වර්ණ අන්ධතා හොයා ගන්න පුළුවං. පොතේ අන්තිම හරියෙ හරියට තියෙනවා විස්තර කරලා, දෙන උත්තරේ හැටියට උත්තරේ හරිද එහෙම නැතිනම් මොකක් හරි වර්ණ අන්ධතාවයක් එහෙම තියෙනවද කියලා.

ඔන්න ඉතින් මටත් ඩොකා එක එක රූප පෙන්න පෙන්න අහනව මේකෙ තියෙන්නෙ මොනවද කියලා. මමත් ඉතින් කිසි ගේමක් නැතිව උත්තර දෙනවා. ඔහොම චෙක් කරන ගමන් ඩොකා මට රූපයක් පෙන්නල අහනවා මේකෙ තියෙන්නෙ මොකක්ද කියලා. ඒකෙ ඇත්තටම තිබුනේ නිකන් නයෙක් ගියා වගේ රූපයක්. මම එහෙම කිව්වහම ඔන්න ඩොකා ඒක පිළිගන්නෙ නැහැ. ඊට පස්සෙ පොර කියනව මට ඇඟිල්ල රූපේ උඩින් අරගෙන ගිහිල්ල පෙන්නන්න කියලා. මමත් ඉතින් රූපේ උඩින් ඇඟිල්ල අරගෙන ගිහිල්ල පෙන්නුවා. ඒත් පොරට විශ්වාස නැහැ.පස්සෙ ඔන්න ඩොකා පොතේ පිටි පස්ස පෙරලල බැලුවා මම කිව්වා හරිද කියලා. බලනකොට මම පෙන්නුවා හරි. බලාගෙන යනකොට ඒ ඩොකා කලර් බ්ලයින්ඩ්. ඌට පේන්නෙ එකෙ වෙන රූපයක්.

ඉතින් ඔහොම ටික කාලයක් ගියහම අපේ එවුන් එකා දෙනා මෙහේ ඩ්‍රයිවින් ලයිසන් ගන්න සෙට් උනා. මෙහේ ලයිසන් ගන්නව කියන්නෙ ඉතින් ඩිග්‍රියක් ගහනවාටත් වඩා අමාරු වැඩක් තමයි. නිකන් ආවට ගියාට ලයිසන් දෙන්නෙ නැහැ. මාරම වියදමකුයි කාලයකුයි ඒකට යනවා. ඉස්සෙල්ලාම පිලිගත් රියදුරු පුහුණු පාසලකින් පුහුණු වෙන්නම ඕනෙ. ඊට පස්සෙ සිග්නල් ටෙස්ට් එකක්, මාර්ග නීති ටෙස්ට් , පාකින් ටෙස්ට් එහෙම කරල පාස් උනහම තමයි අන්තිම ට්‍රයල් එක කරන්නෙ දෙන්නෙ. මෙහෙ ට්‍රයල් ටෙස්ට් කරන්නෙ පොලිසියෙන්. එහෙමත් එක්කෙනෙක් තමයි මේක ලේසියෙන් පාස් වෙන්නෙ. ගොඩක් වෙලාවට කාර් එකක් ගන්න යන සල්ලි වලට වඩා වැඩි සල්ලි යනවා ලයිසන් එක අරගෙන ඉවර වෙනකොට. මේගේ යාළුවෙක් 14 පාරක් ට්‍රයල් ගිහිල්ල තමයි මෙහෙ ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස් උනේ. හොඳේ කියන්නෙ ඉස්සර ලංකාවෙ ඉන්නකොට ඌ නුවර එළියෙ කාර් රේස් හිටන් පැදපු එකෙක්.

ඔන්න ඉතින් ලයිසන් ගන්න රෙජිස්ටර් වෙනකොටත් මෙහෙ ‘අයි ටෙස්’ට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. මේක ඉතින් ගොඩක් වෙලාවට කරන්නෙ ඩ්‍රයිවින් ඉගෙන ගන්න යන ඉන්ස්ටිටියුට් එකෙන්ම තමා.

ඔන්න ඉතින් මගෙ තව යාළුවෙක් ගියා ලයිසන් එකට රෙජිස්ටර් වෙන්න කියලා. කොහොමත් මූ කණ්නාඩි එහෙම දාන පොරක්. ඉතින් ඔන්න ඉන්ස්ටිටියුට් එකෙන් මුගේ ඇස් ටෙස්ට් කරලා. මූ එනවා මූන මළ ගෙයක් වගේ කරගෙන. ඉතින් අපි ඇහුවා "මොකෝ මචං උනේ" කියලා

මෙන්න මූ ඉඳන් කියනවා, "මචං උං ටෙස්ට් කරල කිව්ව මචං මගෙ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියලා, ඒක මාරු කරගෙන එන්න කිව්ව" කියලා.

අපි නිකන් අඤ්ඤොකොරොස් වෙලා ඇහුවා "මොකක් බං, මොකක් අප්සෙට් කිව්වා ?"

“ඔව් බං අර ටෙස්ට් කරපු පිලිපිනෝ කෙල්ල අර අන්වීක්ෂයක් වගේ එකකින් බලල තමයි කිව්වෙ මගේ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියල.” මූත් දැන් කියවනවා.

පස්සෙ තමයි අපිට ක්ලික් උනේ මූට කියල තියෙන්නෙ "ස්පෙක්ටකල්ස් (කණ්නාඩි ) දෙක අප්සෙට්" කියලා. කලබල වෙච්ච පාරට මූට ස්පෙක්ටකලුයි ටෙස්ටිකලුයි පැටලිලා.

ලංකාව 2015 - ( දෙවන කොටස )

Posted by දුමී

පළමු කොටස මෙතනින් කියවන්න.

ගොඩ බැසීම සඳහා තව ඇත්තේ මිනිත්තු කිහිපයකි. කවුළුව තුලින් ඉවත බැලූ විට දැන් දැන් දිස් වනුයේ පහල සුදුවන් වලාකුළු ස්ථරය යටින් රිදී පාටින් දිලිසෙන මුහුදු ජලයයි. දෙකන් අගුළු වට්ටමින්ද දෙකන් වලට සියුම් වේදනාවක්ද ගෙනෙමින්ද වරෙක ගැස්සෙමින්ද ගුවන් යානය ටිකෙන් ටික පහලට ඇදෙමින් තිබේ. කන් අගුළු වැටෙනා විට බලෙන්ම වාගේ ඈනුමක් යැව්වවු විට එය සමණය වී යන බව දුමී දැන ගත්තේ අත්දැකීමෙන්ය. යානය තුල සිටින කුඩා දරුවන් අඬන්නට පටන් ගැනීම මෙවන් ගොඩ බෑම්වලදී සිද්ද වෙන සුළභ දෙයකි. කන් අගුළු වැටීමෙන් ඇතිවන වේදනාව නිසා පොඩි එවුන් ආතක් බූතක් නැතිව කෑගසනු ඇසේ. එවුන්ගේ මව්වරු උන් නලවා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනු දුමීට පෙනේ.

දැන් දැන් ඈතින් ලංකාවේ වෙරළ තීරය දිස් වෙනුයේ රන් හවඩියක වටේට දැමුනු රිදී පබළු වැලක් ලෙසිනි. කෙලින්ම පහල බැලූ කල දිස් වනුයේ පේලියට නමුත් පිලිවෙලට තැනින් තැන නවතා තිබෙන නැව් සමූහයකි. ගුවන් යානය ගමන් කරනා උසට අනුව ඉතාම කුඩා කඩදාසි බෝට්ටු සේ දිස් වුවද මෙම යාත්‍රා ඉතා විශාල ප්‍රමාණයේ ඒවා බව සිතිය හැක. ගුවන් මග වැටී ඇත්තේ හම්බන්තොට වරායේ පිවිසුම් දොරටුවට ඉහලින් බවට මොනවට පැහැදිලිවේ. මින් වසර කිහිපයකට පෙර ප්‍රථම වෙළඳ නැව් මෙහයුම ඇරඹූ හම්බන්තොට වරාය අද වනවිට ලෝකයේ ඇති ප්‍රධානතම වරායන්ගෙන් එකකි. ඈත පෙරදිග වෙත යාත්‍රා කරන්නාවූ සියළුම නාවික යාත්‍රා තමන්ගේ සැපයුම් සඳහාද, වෙලඳ යාත්‍රා ප්‍රථි නැව්ගත කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසද හම්බන්තොට වරාය යොදා ගන්නේය.

හම්බන්තොට වරාය හේතුවෙන් බුන්වත් භාවයට පත් වූ රටවල් කිහිපයක්ම වෙයි. සිංගප්පූරුව ඉන් ප්‍රධානය. මින් පෙර ඈත පෙරදිග නාවික ගමන් මාර්ගයේ අනිවාර්ය නැවතුම් පලක් වූ සිංගප්පූරු වරායට යන එන මං නැතිව ගියේ ලංකාවට දකුණු දෙසින් යාත්‍රා කරන සියළුම නාවික යාත්‍රා හම්බන්තොටට සේන්දු වී යෑම පුරුද්දක් කර ගත් බැවිනි. කුඩා භූමි ප්‍රමාණයකින්ද, නොගෙණිය හැකි තරම් ස්වාභාවික සම්පත් වලින්ද යුත් සිංගප්පූරුවේ සම්පූර්ණ ආර්ථිකයම ගොඩ නැගී තිබුනේ ඔවුනගේ වරාය වටාය. එයට හිමිව තිබූ ස්ථානය හම්බන්තොට අයත් කර ගත්තේ වසරකටත් අඩු කාල පරාසයකදීය. මේ කාලය වන විට සිංගපූරුව තම අය වැය හිඟය පියවා ගන්නේ ලංකාව විසින් මානුෂීය මට්ටමින් ලබා දෙන ආධාර උපයෝගී කර ගනිමින්ය. සිංගප්පූරුව නොහොත් 'සිංහපුරය' සිංහ දේශය වන ලංකාවට ඈඳා ගැනීමටද රට කරවන ලොක්කන් දත කට මැදගෙන බලා සිටින වග සිංගපූරුවේ අයිති වාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියවෙන ලංකාවේ ගොංබාහු වාදීන් කෑ කොස්සන් ගසන්නේ අද ඊයේ දිනක හිඳ නොවේ.

හම්බන්තොට වරාය නිසා යන එන මං නැති වූයේ සිංගප්පූරු වරායට පමණක්ද නොවේ. අපගේම කොළඹ වරායට අත් වූයේද ඒ ඉරණමමය. මේ දින වන විට කොළඹ වරායේ ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් පමණි. කොළඹ වරායේ වර්තමානයේ ක්‍රියාකාරි එකම අංශය 'වරායේ කුස්සියයි' . ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය යැයි විරුදාවලිය ලත් එය මෙකල සිදු කරනුයේ කොළඹ නටඹුන් බලන්නට පැමිණෙන සැදැහැවතුණට කෑම බීම සැපයීමය. කොළඹ නටබුන් වී ඇත්තේ කෙසේද කියතොත්, කලක් 'බෙන්තර ගඟෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගෙනෙන්න එපා' යැයි කියවූ කොළඹුන් දැන් පතන්නේ හම්බන්තොට පැත්තේ පූස් පැටියෙක් හරි වෙලා ඉපදියන් කියාය.

හම්බන්තොට වරාය විවෘත කලේ යැයි කිවූ දින එය රූපවාහිනියෙන් නැරඹුවා දුමීගේ මතකයේ තිබේ. ඉතා උත්කර්ෂවත් යැයි කියා පැවැත්වූ එම උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගයක් යැයි කියුවේ, පැවැත්වූ 'මඩ බුරි’ නැටුමයි. ‘බුරි’ නැටුම් කලාව ලංකාවට දායාද කල පරපුරෙන්ම මඩ ගොඩක බුරි නැටුම නටවා ඉදිරිපත් කර එළි දැක්වුනු 'මඩ බුරි' නැටුම දැන් ලංකාවේ ජාතික නැටුම ලෙස පිළිගෙන ඇත. ලෝකයෙන්ද එයට මහා ඉල්ලුමක් ඇතිවී ඇතුවා පමණක් නොව ලංකාවේ විශ්වවිද්‍යාල වලද නැටුම් විශේෂවේදී උපාධිය විෂය නිර්දේශයටද එය ඇතුලත් කර ඇත. දැන් දැන් ලංකාවේ හැම මඩ වලකම, කුඹුරකම මේ ‘මඩ බුරි’ නැටුම් පාඨමාලා පැවැත්වෙනු ඒවා අසලින් ගමන් යන්නෙකුට නිරතුරුවම දැක ගැනීමට පුළුවන.

ලංකාවේ මෑත කාලයේදී සිදු වූ විශාලතම විප්ලවය සිදු කරන ලද්දේ මදුරුවන්ට එරෙහිවය. වසර පහ හයකට පමණ පෙර තනි පංගලමේ මග තොට යන්නෙකු පැහැරගෙන යන තරමටම බෝ වී සිටි මදුරු ගහණය නැත්තටම නැති වී ගියේ දේශීය වශයෙන් නිපදවන ලදැයි කියනා බැක්ටීරියාවක් නිසා යැයි දුමීට මතක තිබේ. ඒ දිනවල ලීටරයක් රුපියල් දෙදහස් ගණනක් වටිනා වූ එම බැක්ටීරියාව නිසාම පොහොසතුන් වූ විශාල ප්‍රමාණයක් අදත් යෙහෙමින් වැජබෙති. එපමණ වටිනාකමක් ඇති වෙනත් දියරයක් නොතිබුනු ඒ යුගයේ එම බැක්ටීරියාව නිපදවීම ගෘහ කර්මාන්තයක් ලෙසට ප්‍රචලිතව ගියේ බඩු මිල පහතට වැටෙනවාටත් වැඩි වේගයකිනි. කලින් හැළි අරක්කු පෙරමින් ජීවත් වූ ජනී ජනයාද වඩාත් ලාබ දායී වූ බැක්ටීරියාව පෙරීමේ කර්මාන්තය තෝරා ගත්තෙන් අතිරික්තක්ද ඇතිවී තිබුනි. නිපදවන ලද අතිරික්තය අදත් කියුබාව, ඇමරිකාව සහ අනිකුත් මදුරුවන්ගෙන් පීඩා විඳින රටවල් වලට අපනයනය කරණු ලැබෙයි. තෙල් අපනයනයෙන් ලැබෙන ආදායමටත් වඩා වැඩි ආදායමක් ලංකාව ලබා ගන්නේ මෙම බැක්ටීරියාව අපනයනයෙන්ය.

දුමී සිතිවිලි අතර සැරි සරත්දීම ගුවන් යානය ධාවන පථය මත ගැටෙනු දැනී නැවතත් කවුළුව අතරින් පිටතට නෙත් යොමු කලේය. දුඹුරු පැහැ දූවිලි පිරුණු අපායක සිට හරිතවන් ගහකොල සපිරි දිව්‍ය පුරයකට සපැමිණියා යැයි හඟීමක් දුමීට දැනුණි. මගී පර්යන්තට පිසිවි දුමී 'ශ්‍රී ලාංකික බලපත්‍ර දරන්නන්' යැයි සඳහන් ආගමන විගමන පේලියට සේන්දු වූයේ ඉන් එහා ඇති වෙනත් රටවල් සඳහා වූ පේලි දෙසට දෑස් යොමා ගෙනය. කලකට පෙර ලෝකයේ ඕනෑම තක්කඩි ගොබිලයෙකුට වීසා බලපත්‍ර නොමැතිව ගුවන් තොටින් ගොඩ බැස රට තුලට පිවිසීමේ අසීමිත නිදහස දැන් අතුරා ඇති සේය. ගව් ගානක් දිග වූ අනෙකුත් රටවල්වල ගමන් බලපත්‍ර දරන්නන් රැඳී උන් පේලියේ උන්ගේ මුහුනත් වල දිස්වනුයේ රට තුලට පිවිසීමට අවසර ලැබෙයිදෝ, නොලැබෙයිදෝ යන අවිනිශ්චිත හැඟීම යැයි දුමීට සිතේ. ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් වීසා ලබා ගොඩබැස ඇතැයි හෙලි වූ සමහරක් යුරෝපීයන්, බ්‍රිතාන්‍යයන්, ඇමරිකානුවන් නැවතත් තම රටවල් වලට පිටුවහල් කරනාතුරු පසෙක කාමරයක රඳවාගෙනය.

ඉතාමත් කාර්යක්ෂම ආගමන ක්‍රමවේදයකට පසු දුමී බඩු මළුද රැගෙන පර්යන්තයෙන් ඉවතට පිවිසියේ රැගෙන යාමට පැමිණි වාහනය බලාපොරොත්තුවෙනි. කොහේදෝ සිට පැමිණි මදුරුවෙක් දුමීගේ බාහුවේ වසන්නේ මේ අතරය. පුදුමයෙනුත් පුදුමයට පත් දුමී ජන්මෙට වඩා පුරුද්ද ලොකු බැවින් දකුණු අත විහිදා මදුරුවාට පහරක් ගසන්නේ ඌ ඇනෝපිලස්ද නැතිනම් ඊඩස්ද නැතිනම් මොහකටවත් නැති වල් මදුරුවෙක්දැයි නොදැනය. මදුරුවා මැරී බිම පතිත වෙත්ම එතනට දුවගෙන ආවේ පිරිසිදු කරන්නෙක්ය. දූවිලි එකතු කිරීමට හැකි බඳුනක්ද බුරුසුවක්ද රැගෙන දිව ආ ඔහු සැනෙකින් බිම වැටුනු මදුරුවා බුරුසුවෙන් ගෙන දූවිලි එකතුකරන බඳුනට දැමුවේ දුමී දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි. එකදු දූවිලි පොදක් වත් නොමැති ඉතාම පිළිවෙලට නඩත්තු කරන්වා වූ වට පිටාව දැකීමෙන් දුමී තුල ඇති වූයේ මහා වරදකාරී හැඟීමකි.

ඒ සමගම පැමිණියේ දුමී බලපොරොත්තුවෙන් සිටි රැගෙන යෑමට පැමිණි වාහනයයි. බඩු පොදිද සමගින් වාහනයට ගොඩ වූ දුමී ඉතාමත් විනීතව මාර්ග නීති රකිමින් ඇදෙන අනෙකුත් වාහන සමග එක්වී ඇදෙන වඩාත් නවීන වූ මාර්ගයට පිවිසියේය. ගුවන් තොටේ සිට මාර්ගයට පිවිසෙන දොරකඩ අසල දිස්වනුයේ ලංකාවේ පාලනය දරනා රාජකීය පවුලේ විශාල ඡායාරූපයකි. මීට ඉහත පාර්ලිමේන්තු ක්‍රමයකින් පාලනය කෙරුනු ශ්‍රී ලංකාව රාජාණ්ඩු ක්‍රමයකට මාරු උනේ පාර්ලි මේන්තුවේ ‘තුනෙන් තුනක’ ඡන්දයෙන් බව දුමීට මතක් විය. පසුගිය අවුරුදු කිහිපයක පටන් වඳ වී යෑමේ තර්ජනයට ලක්වී හුන් ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විපක්ෂය නැත්තටම නැති වී ගියේ අන්තිමටම විපක්ෂයේ ඉතුරු උන විපක්ෂ නායකයාද ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමත් සමගය. ඉන් දින කීපයකට පසු පැවති පාර්ලිමේන්තු සංශෝධනයකින් පාර්ලිමේන්තුව අහෝසි කර රාජාණ්ඩුවකට අවැසි අණ පනත් සම්මත කර ගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් තුනක ඡන්ද බලයද සමගය.

එසැනින් වාහනය දෙසට අත දිගු කරන ලද්දේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකි. පසෙකින් නවත්වනු ලැබූ වාහනයෙන්න් දුමී ඉවතට බැස පොලිස් නිලදාරීන් දෙසට පිය නැගීය. ඉතාමත් විනීත ලෙස අත් දෙක එකතු කර කට පුරා "ආයුබෝවන්" යැයි පැවසූ නිලධාරියා අත රැඳි කඩදාසියකට නෙතු යොමු කරමින්,

"මහත්මයාගේ නම දුමීද ?" යැයි අසනු ලැබීය. එය එසේ යැයි දුමී සනාථ කලේ ප්‍රශ්නාර්ථයක්ද මුහුනේ රඳවමිනි. "මහත්මයාට අපි සමග එන්න වෙනවා." පොලිස් නිලදාරියා ඉතාමත් කාරුණිකව පවසන ලදී.

"ඒ මොකද ? මොකක් හරි වැරදීමක් සිද්ද වෙලා වගේ" දුමී ප්‍රහේලිකාවකට මැදිවූ ලෙසක් හඟවමින් පැවසීය.

"ලංකාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සංරක්ෂිත සත්වයෙක් විනාශ කිරීමේ වරදට සහ පරිසරය අපවිත්‍ර කිරීමේ වරදට අපිට ඔබව අත් අඩංගුවට ගැනීමට සිදුවෙනවා" පොලිස් නිලධාරියා කියාගෙන යයි.

"මොකක් ? මම එහෙම දෙයක් කලේ නැහැනෙ" දුමීට කියවිනි.

"මහත්තයා වඳ වී යෑමේ තර්ජනයට ලක්වී සිටින, ලංකාවෙ නීතියෙන් සංරක්ෂණය කරන ලද මදුරුවෙක් මරා පාරට දමනවා ඇස දුටු සාක්ෂි අපි ලඟ තියෙනවා . . . " පොලිස් නිලදාරියා පවසයි.

ඉතාමත් සූක්ෂම දෙයකටත් දැන් දැන් ලංකාවේ නීතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීම ගැන සිතින් සතුටු වෙමින්, මදුරුවා මරා පාරට දැමූ වරදට හිරේ යෑමට දුමී පොලිස් රියට ගොඩ විය.

ලංකාව 2015 - ( පළමු කොටස )

Posted by දුමී

ගුවන් යානය මගී පර්යන්ථයෙන් හෙමිහිට පසු පසට ඇදෙන්නට පටන් ගත්තේ තව මොහොතකින් පවනට බඳු වේගයෙන් අහස් කුස වෙත ඉගිලෙන්න නියමිත බව පසක් කරමින්ය. ගුවන් යානය තුල කවුළුවක් අසල අසුන් ගෙන සිටි දුමී අවසන් වරටත් කවුළුව තුලින් පිටතට යොමා ගත් දෙනෙතින් සිටී. කාන්තාරයට 'වසන්තය' නොහොත් සමර් කාලය වූයෙන් මූණට වැටෙනුයේ සම දැවී යන තරමේ රස්නයකි. කාන්තාරයේ වසන්තයේ තරම පෙන්නන දූවිලි රොටු කැරකි කැරකි ඉහලට නගින්නේ ගුවන් යානයට තනි රකින්නාක් මෙනි.පහුගිය අවුරුදු බර ගානෙම දුමී හිටියේ අරාබි කරයේයි. එහි යෙදුනු රැකියාවෙන් තව දුරත් ජීවත් විය නොහැකි ලෙසට කරුණු කාරණා යෙදී තිබේ. එය සිතේ සියුම් සතුටක්ද ගෙන දෙයි. රුපියලට සාපේක්ෂව ඩොලරය සෑහෙන්න අව ප්‍රමාණය වී ඇත. මෙයට අවුරුදු පහ හයකට පෙර ඩොලරයකට රුපියල් එකසිය දොලහක් ගෙවන කල කිසිදා එය අනිත් පැත්තට කැරකේ යැයි හීනෙන් වුවද නොසිතුවේ යැයි දුමීට මතකය.

යානය තුල පුවත් පත් බෙදමින් සිටි ගුවන් සේවිකාවකගෙන් පුවත් පතක් ලබා ගත් දුමී මුල් පිටුව වෙත දෑස් යොමු කලෙන්, එහි වූ ප්‍රධාන පුවත් සිරස් තලය වඩාත් උනන්දුවෙන් කියවීය.

"සෞදි රජයේ රෝහලේ සැත් කමකින් ඇණ කිලෝ බාගයක් ඉවත් කරයි" ලෙස එය කියවිනි.

"ලංකාවේ රැකියාවක් සඳහා ගොස් සිටි සෞදි අරාබි ජාතිකයෙකුගේ පස්ස පැත්තේ ගසා තිබූ යකඩ ඇණ කිලෝ බාගයක් පමණ සෞදි අරාබියේ රජයේ රෝහල මගින් කෙරුණු ශල්‍යය කර්මයක් මගින් ඉවත් කරන ලදී."

ඒ විස්තරයට යටින් තිබුනේ ඉවත් කෙරුණු තඩි පරාල ඇන රැසකගේ ඡායා රූපයක්ය.

"ඇණ ගහපු එකා පරාල ඇණම ගහල තියෙනවා" . . දුමී තමාටම කියා ගත්තේය.

මීට අවුරුදු ගාණකට කලින් මේ වගේම ඇණ ගහපු කතාවක් දුමී පත්තරවලින් කියෙව්වා යැයි දුමීට යන්තම් මතක තිබේ. නමුත් එය නිච්චියටම කුමක්දැයි නම් දුමීට මතක නැත.

"පස්ස පැත්තට ඇණ ගසා ගත්තේ සෞදි ජාතිකයාමය - සෞදි විශ්ව විද්‍යාල ඇදුරෙක් පවසයි". තරමක් යටින් වූ උප සිරස්තලයකින් කියවෙයි.

"මේක අප දෙරට අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය කඩා කප්පල් කිරීම සඳහා විරුද්ධවාදීන් දියත් කල කුමන්ත්‍රණයක්" සෞදි විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශක් උපුටා දක්වමින් පල කෙරුණු තවත් ප්‍රවෘතියක්.

"මේ සිද්ධිය ගැන අපි ශ්‍රී ලංකා රජයෙන් සමාව අයදින අතර පස්ස පැත්තේ ඇණ ගසාගත් බව ඔප්පු උවහොත් මොහු හිස ගසා මරා දමා යුක්තිය ඉෂ්ඨ කරන බවත් දිවුරා පොරොන්දු වෙමි" පුවත නැවතත් ඔහුව උපුට උපුටා දක්වයි.

පුවත් පතෙන් දෑස් ඉවතට ගත් දුමී දූවිලි කපාගෙන ඉහල අහසට ඇදෙන ගුවන් යානයේ කවුළුව තුලින් නැවතත් දෑස් යොමු කලේ කල්පනාවකට නිමග්න වෙමිනි.

සෞදි අරාබියේ තෙල් සම්පත නැත්තටම නැතිවී ගියේ මින් අවුරුදු දෙක තුනකට පෙරදීය. අනිකුත් අරාබි රටවල් වලටද නුදුරේම මුහුණ පෑමට සිදුවන්නේ එයමය.

ඒ අතරම මන්නාරම් ද්‍රෝණියේ සිට හම්බන්තොට දක්වා පමණක් නොව ලංකාවට පසු කාලයේදි දකුණු දෙසින් අයත් වුනු කිලෝමීටර් සිය ගණනක මුහුදු තීරයේද තෙල් සම්පත සොයා ගැනුනේද එවැනිම කාල වකවානුවකදීය. ලෝකයේ නව ‘වෙනිසියුලාව’ ලංකාව බවට පත්වෙමින් තිබේ.

පසු ගිය අතීතයේ රැකි රක්ෂා සඳහා ලංකාවේ ශ්‍රමිකයන්ට අවස්ථාව ලබාදීමට කෘත ගුණ සැලකීමක් වශයෙන් ලක් රජය සෞදි සහ අනෙකුත් අරාබි රටවල් වල ශ්‍රමිකයන් සඳහා තම රටේ ගෘහ සේවයේ දොරටු විවර කරනා ලදී. පස්ස පැත්තේ ඇණ ගසා ගත් සෞදි ජාතිකයා ලංකාවට පැමිණ ඇත්තේ එසේ ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනට ගෙනය.

ගෘහ සේවය සඳහා ලංකාවට පැමිණෙන රූමත් අරාබි ගැහැණුන් බඩ ගෙඩි උස්සන් නැවතත් තමන්ගේ රටවල් වෙතට පැමිණෙන සිද්ධීන් නම් සාමාන්‍ය දෙයක් ලෙස දැන් දැන් පිලි ගනු ලැබේ. එසේ පැමිණෙන සෞදි කාන්තාවන්ගේ සියළු අවශ්‍යතාවයන් සොයා බලනුයේ එම රටවල් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්ය. එසේ ලැබෙන සැලකුම් හේතුවෙන්ම බලෙන්ම ගැබ් ගන්වාගන්නටද මෙම කාන්තාවන් සමහරක් උත්සාහ ගන්නේ යැයි කියන කතාද දුලබ නොවේ. එසේ ලැබෙන්නට සිටින දරුවා මගින් යම් කිසි දිනෙක ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීම ඔවුන්ගේ යටි අරමුණ යැයි තැනක කසු කුසුවකින් කියවිනි.

කල්පනාවේ නිමග්න වී සිටි දුමීට නොදැනුවත්වම නින්ද ගියේය. නැවත දෑස් විවර කරන විට හෝරා කීපයක්ම ගතවී ඇත. ගුවන් යානය දැන් ගොඩ බෑමට සූදෑනම් වී ඇත.

"නෝනාවරුනි මහත් වරුනි අපි තව ස්වල්ප වේලාවකින් හම්බන්තොට අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩ බෑමට නියමිතයි." ගුවන් යානයේ මගී ආමන්ත්‍රණ යන්ත්‍රයෙන් කපිතාන්වරයා ප්‍රකාශ කරයි.

පිටව ගිය ඈණුමක් අල්ලෙන් කිහිප වරක් ගසා තලා නැවතත් කට ඇතුලටම දමා ගත් දුමී අසුනේ හරි බරි ගැසී ඉඳ ගත්තේ ආරක්ෂිත පටියද තව දුරටත් තද කර ගනිමින්ය.


( කතාව දිග වැඩි වූ බැවින් දෙවන කොටස පසුව පලාපොරොත්තු වන්න. )

ලංකාව 2015 - ( දෙවන කොටස )

Related Posts with Thumbnails