අපේ සදාදර කුමුදු පින්තු සර්

Posted by දුමී



අපේ ආදරණීය සර් අවසන් ගමන් යනවා ලබන බුද දින කොලොන්නාව සුසානභූමියේදි. එතුමාගේ අසනීප තත්වය ආරම්භ වී තිබෙන්නේ පසුගිය 21 වන බුද දින එනම් හරියටම එතුමාගේ අවසන් ලිපිය පල කරපු දිනමයි. ටික කලක පටන් පැවති පුපුවේ මහන්සිය හිටි ගමන්ම උත්සන්න වීමට හේතුව එතුමා බෙහෙත් කලට වේලාවට ගැනීමට උනන්දු නොවීම යැයි පැවසෙනවා. තම අවසාන මොහොත එළ්ඹෙන තුරු නොඉවසිල්ලෙන් එතුමා බලාගෙන ඉන්න ඇති. ඒකයි බෙහෙත් හේත් පවා ගැනීම උනන්දු වී නොතිබෙන්නෙ.



එතුමාගේ රෝගී තත්වය උත්සන්න වෙලා තියෙන්නෙ ඊයේ, එනම් 25 වන දින පසලොස්වක පෝය දින උදේ වරුවෙ. එතුමාගේ ලඟින්ම හිටිය නොයෙල් සහ සමන්ත එතුමාව ආරෝග්‍යශාලාව වෙත ගෙනගියත් එතුමා පස්වරු 3 ට පමණ තම අවසන් හුස්ම පොද වා තලයට එකතු කරලා. සහස් ගණනින් නැණැස පෑදූ දරු කැල ඇරෙන්න එතුමාට වෙන දූ දරුවන් නැහැ. එවන් සහසක් නණැසවල් පෑදූ අපගේ සදාදරණීය ගුරු පියාණනි, ඔබ පැතූ අයුරින්ම අභාග්‍යයට පත් නොවී මරණය සොයා යෑමට තරම් ඔබ පිං කර තිබුනා. අප සියළුම දෙනා දැන් පතනුයේ, ඔබට අමා මහ නිවන් සැපම ලැබේවා කියායි.






පලවන සහ දෙවන ඡායාරූප ඉන්නේ අපට සුපුරුදු කුමුදු සර්. මෑත කාලයේදී එතුමා අඳුනා ගන්න බැරි ලෙසටම ශරීරයෙන් දුර්වල වී සිටියා. ඔබ මරණ දැන්වීමේදී දකින්නෙ එසේ මෑත කාලයේදි ගත් ඡායාරූපයකුයි.


පැන මඩ කඩිති වැව් තාවළු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

(මෙම ඡායාරූප මාවෙත ලබාදීම ගැන මාගේ සොයුරු අසංග සහ ෆික්රි යන සොයුරන්ට මාගේ හද පිරි ප්‍රණාමය )

(කුමුදු සර් ගැන පෝස්ට් එකකට අවශ්‍යනම් එතුමාගේ මේ ඡායාරූප යොදාගැනීම ගැන මාගේ විරුද්ධත්වයක් නොමැති බව සලකන්න.)

මගේ ආදර ගුරුතුමාණනි - ඔබට අමා මහ නිවන් සුව !

Posted by දුමී


මම මේ සටහන තබන්නේ බුර බුරා නැගෙන ශෝකය හිතේ තද කරගනිමින්. අපේ සදාදර කුමුදු පින්තු සර් එතුමා පැතූ ලෙසම හා අප නොපතූ ලෙසම තවත් එක් පියවරකින් සසර කෙටි කරගෙන.

මීට දින හතරකට උඩදි එතුමාගේ අවසාන ලිපිය ලියා තිබුනේ මිනී මල් සහ මරණයට ඇති බිය ගැන. එතුමා මරණයට බිය උනේ නැහැ. එතුමා මරණය ප්‍රර්ථනා කලා. එතුමා ලිපියෙ ලියා තියෙන්නෙ මරණයට අපේ ඇති බිය ගැනයි.

එය අවසාන ලිපිය වෙයි කියලා හීනෙකින්වත් හිතුනේ නැහැ.

ඒ ලිපිය කිවලා එතුමාට දීඝායු පතපු වෙලාවෙ එතුමා පැවසුවා "දීඝායු වේවා කියල පතන එක කොච්චර නිවැරදිද ? වයසට ගිහිල්ල දුක් විඳිනවට වඩා ඉක්මනටම චුත වෙන එක හොඳයිනෙ" කියලා.

ආදර ගුරුතුමනි, ඔබ වන් ගුරුවරුන් මතු පරපුරට අවශ්‍යම මේ වෙලාවෙ ඔබේ අහිමි වීම අපි සැමගේම අවාසනාවක් !

ඔබතුමාට ඔබ ප්‍රාර්ථනා කල බෝධියකින් අමා මහ නිවන් සුව අත්වේවායයි මම පතන්නම් !

ඩෙංගු මාරයා පරද්දමුද ?

Posted by දුමී



ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.


මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.

කොට කන් කතාවක්

Posted by දුමී



හපොයි දෙයියනේ මම උපුලයගේ කන් දෙක ගැන ලියල අහගත්ත දේවල් කට්ටියගෙන්. හැමෝම කියන්නෙ ඔහොම මඩ ගහන්න එපා කියලනෙ. මම උපුලගෙන් අවසර අරගෙන තමයි ඒක ලිව්වෙ කිව්වත් අහන්නෙම නැහැ. අනේ උපුලො, උඹවත් ඇවිල්ල මාව බේර ගනින් උඹේ කන් දෙකට පබ්ලිසිටි එකක් දීපු එක ගැනවත් හිතලා.

කොහොමෙන් කොහොම හරි මට තව කන් කතාවක් මතක් උනා. ඔන්න ඉතින් යාළුවන්ට මඩ ගහන එක නැවැත්තුවොත්නම් ඉතින් මට මේ බ්ලොග් එකත් නවත්තන්න තමයි එහෙනං වෙන්නෙ ඕං.

ඔන්න මම තව කන් කතා දෙකක් කියනවා.මේ කියන්න යන පළවනි කතාවනං පොඩි මඩක් හොඳේ. අනිත් කතාව නම් ගොඩක් වෙලාවට අහලත් ඇති, මොකද ඒක මටත් ඔය 'කනින් කොනින්' ඇහිච්ච ඒකක්.

මගෙත් එක්ක වැඩ කරපු යාලුවෙක් හිටිය. හොඳ වෙලාවට මට උගේ නම මතක නැහැ. (එක හින්ද ඌ බේරුනා). කොයි වෙලාවෙ බැළුවත් උගේ 'කට කනේ'. ඒ කියන්නෙ ඌ ඉන්නෙ පනාව දාගත්ත ගමන් මයි. සිරාම සීන් එක තමයි ඌ හිනාවෙනකොට කට ගිහිල්ල කනේ වදිනවා.

දවසක් අපි ඔය රස කතන්දර සාගරයක කිමිදිලා ඉන්න වෙලාවක එකෙක් කිව්ව කතාවක් අහලා කට්ටියටම නවත්ත ගන්න බැරි විදිහට හිනා ගියා. ටික වෙලාවකින් අපිට සද්දයක් ඇහෙනවා ඩෝං ඩෝං ගාල. බලනකොට මොකක්ද දන්නවද සද්දෙ, අරූගේ හක්කෙ දතක් ගිහිල්ල කන් බෙරේ වදිනවා.

තව දවසක් සිද්ද වෙච්ච දෙයක් නිසා අපි හරිම පරිස්සමින් තමා ඌත් එක්ක විහිළු කරන්නෙ. එදත් කවුරුහරි කියපු මොකක්ද විහිලුවකට මූ හිනාවෙච්ච පාර කට ගිහිල්ල කනේ වැදිලා කනේ තිබිච්ච කලාඳුරු ගුලියක් ඇවිල්ල මුගේ උගුරෙ හිර වෙලා. අන්තිමට කෘතිම ස්වසනය දෙන්න උනා.

හරි ඒක ඉවරයි. මෙන්න දෙවනි කතාව.

මේකනං ගොඩක් කට්ටිය අහලත් ඇති. අහල තියෙන කට්ටිය බලන්න එපා ඉතින්.

ඔන්න පොරක් ගියාලු කොණ්ඩේ කපන්න තමන්ගේ සුපුරුදු බාබර් සාප්පුවට. හැබැයි මොකක්ද හදීසියක් වෙලා එදා බාබර් හිටියෙ නැහැල්ලු. සාප්පුවේ හිටියේ බාබර්ගේ අත් උදව්වට ඉන්න කොල්ල විතරලු. ඉතින් පොරත් පැයක් හමාරක් බලාගෙන හිටියලු බාබර් එන පාටක් නැහැල්ලු. කොණ්ඩෙත් කන වැහෙන්නම වැවිල තියෙන හින්ද මූට කොන්ඩෙ කපා නොගෙන යන්නත් බැහැල්ලු. ඔන්න ආපු එකේ මේ කොල්ලට කියලවත් කොණ්ඩේ කපා ගන්නව කියල හිතල, "මල්ලි ඇවිල්ල මගේ කොණ්ඩේ කපන්න" කියල කොල්ලට කිව්වලු. කොල්ලත් මේ වගේ චාන්ස් එකක් එනකන් බල බල තමයි ඉන්නේ, මොකද බාබර් ඉන්න වෙලාවට මූට හරි හමන් චාන්ස් එකක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් මූත් සුදු රෙද්ද එහෙම එලලා වැඩේ පටන් ගත්තලු. ටික වෙලාවක් කොල්ල කොණ්ඩේ කප කප ඉඳල එක පාරටම කිව්වලු,

"මහත්තයෝ මෙතන කනක් තියෙනවා, ඒක ඕනෙද ?" කියලා.

පොරත් බැලුවළු මොකාටද යකෝ මූ එන්න යන්නේ කියල කිව්වලු,

"නැතුව නැතුව, ඒක මට ඕනේ" කියල.

කොල්ලා ඩිග් ගාල දැලි පිහිය අරගෙන කන කපල පොරගෙ අතට දුන්නලු "ංආ" කියල.

දැන් පොර කපපු කන අල්ලගෙන ඉන්නවලු. ටික වෙලාවකට පස්සෙ කොල්ල ආපහු අහනවලු,

"මහත්තයෝ, මෙන්න තව කනක් තියෙනව, ඒකත් ඕනෙද ?" කියල.

දැන් මේක ඕනේ කිව්වොත් මූ මේකත් කපල අතට දෙනවනේ, ඉතින් පොර කිව්වලු,

"නෑ නෑ ඕනෙ නෑ" කියල.

කොල්ල ඩිග් ගාල දැලි පිහිය අරන් කන කපල කුණු බක්කියට දැම්මලු.

අම්මෝ කන

Posted by දුමී




සති දෙකහමාරක විතර නිවාඩුවක් ගත කරල ඔන්න දැන් මම බැක් ටු ද ඩෙසර්ට්. මදුරුවො ටිකට නම් හරිම පාළුත් ඇති මම නැතිව දැන්. මොකද පහු ගිය ටිකේ මගේ කට විතරක් නෙමෙයි මුළු ඇඟම කැස්සුවනෙ උන් ටික සෙට් වෙලා. ඔය සති දෙක නම් ගෙවිල ගියේ නිකන් කටේ දාගත්ත බොම්බයි මොටයි කෑල්ලක් දියවෙනවා වගේ. ඒ වගේම තමයි පොකට් එකත් දිය උනේ. එක අතකින් ඉක්මනටම ගෙවිල ගිය එකත් හොඳයි බලගෙන යනකොට. නැතිනම් දියවෙලා දියවෙලා කොහෙන් නතර වෙයිද දන්නෙ නැහැ.

මම නිවාඩු යනකොටම වගේ මාත් එක්ක මෙහෙ ඉන්න තව යාළුවෙකුත් නිවාඩු ආව. උගේ නම රුවිලාල්. අපිනම් ඌට කියන්නෙ රුවියා කියලා. ඌ මෙහෙ ඉන්න ගමන්ම හොඳ පොට් එකක් සෙට් කරගෙන තිබුනා පොඩ්ඩක් රිලැක්ස් එකේ දවසක් දෙකක් නැවතිලා ඉන්න පුළුවං. ඒක තියෙන්නෙ ඔය මීපෙන් හැරිල පාදුක්ක පැත්තට යනකොට. නම 'සෙරිනිටි විලේජ්'. නියම නිස්කලංක පැත්ත. කොන්ක්‍රීට් වනයෙන් මිදිල සොබා දහමට සමීප වෙලා ඉන්න කියාපු තැන. ඔන්න පුළුවන්නම් ගිහිල්ල බලන්න. තැන මාකට් කරනව කියල හිතන්න එපා. ඇත්තටම ලස්සන නිසයි බෙදා හදා ගන්න හිතුවෙ.

ඕකේ ෂැලේස් දෙක තුනක් බූක් කරල තමයි අපි ගියේ. රුවියා ඇවිල්ල තිබුනේ උගේ වැලි කෙලියේ හිටංම පිස්සු කෙලිය සෙට් එකත් එක්කගෙනයි. අද මගේ කට කහන කතාව ලියන්න යන්නෙ එහෙම සෙට් වෙච්ච 'උපුල්' ගැන තමා. ඌ ගැන කියනවානං ඔය ඔය ඉන්නේ පිංතූරේ. ඒ ඌ තමා. ඇත්තම කිව්වොත් ඔයිට වඩා ටිකක් විතර කළුයි. ටිකක් කිව්වට ඇත්තටම අම්බානෙකටම කළුයි. හැබැයි කන් දෙක නං ඕකම තමා. අනේ අපරාදේ කියන්න බැහැ උගේ කනට කොච්චර ගහැව්වත් ඌට කිසිම ගානක් නැහැ. කනට ගහනව කිව්වෙ, කන ගැන මඩ ගැහැව්වට. කොටින්ම කියනවා නං මම මේ කියන්න යන කතා ටික ඌම කිව්ව ඒව තමා. අනිත් එක උගෙන් අවසර අරගෙන තමයි මම මේ ලියන්නෙ. මොකද පහුගිය පෝස්ට් වලින් යාලුවන්ට මඩ ගහල ගහල උන් දැන් තරහත් වෙලා. මතකනෙ අර මගේ අති ජාතක මිත්‍රයා 'පයිතා'. වෙනදා මම ආපු ගමන් පණ කඩාගෙන දුවගෙන එන එකා මේ පාර කෝල් එකකට හරි සෙට් කර ගත්තෙ සෑහෙන්න ගේමක් දීල. මොකද කියල ඇහුවම තමයි ඌ කිව්වෙ, "මචං ජීවිතේ හරි ප්‍රශ්න, එහෙන් ගෙදර ප්‍රශ්න, ළමයින්ගෙ ප්‍රශ්න මෙහෙන් යාළුවො අපිව බ්ලොග් වලින් නෝන්ඩි කරන ප්‍රශ්න.... " ඌ කියාගෙන කියාගෙන යනවා. ඒත් ඉතින් මොනවා කරන්නද. ඌ ගැන ඉතින් තව කට කහන කතා දෙක තුනක්ම තියෙනවා. තරහා උනා කියලා ඒව නොදා ඉන්නෙ කොහොමද ?

හරි අපි ආපහු හැරෙමුකො උපුල් දිහාවට. ඌ ඉස්සෙල්ලම කන් දෙක ගැන කාඩ් එකක් ගස්සගෙන තියෙන්නෙ කාගෙන්වත් නෙවෙයි, පංසලේ ලොකු හාමුදුරුවන්ගෙන්. ලොකු හාමුදුරුවො මූට දාල තියෙන්නෙ "කන් ගොට්ටා" කියලා. ඔහොම ඉතින් කාලයක් යනකොට ඔය නම දෙකට බෙදිල තියෙනවා. කට්ටියක් මූට 'කනා' කියල කියනවා, තව කට්ටියක් මූට 'ගොට්ටා' කියල කියනවලු. මුගේ ලඟින්ම හිටපු සෙට් එක පස්සෙ පස්සෙ කනා කියන එක ටිකක් මොඩ් කරල මූට "කෑන්ස්" කියන්න පටන් ගත්තා. ඒක ඉතින් කාඩ් එකක් උනාට නිකන් සුද්දෙක්ගෙ වගේ නමක්නෙ. අර ක්‍රිකට් ගහපු "ක්‍රිස් කෑන්ස්" වගේ.

කොහොම උනත් කන් දෙක නිසා කෑන්ස්ට වාසි කිහිපයකුත් තියෙනවා. ඔය අපිට වගේ වාහනයක් එලවනකොට මූට "හෑන්ඩ්ස් ෆ්‍රී" එකක් ඕනේ වෙන්නෙ නැහැ . . . මොකද ෆෝන් එක කෙලින්ම කනේ ගහගන්න පුළුවන් නිසා. ඒ වගේම පාඩුත් වෙනවලු. මූට තියෙන්නෙ මෝටර් බයිසිකලයක්ලු. කොච්චර ෆුල් ටෑන්ක් ගැහව්වත් දවසෙන් දෙකෙන් මේකෙ පැට්‍රල් ටික ඉවර වෙනවා. බැරිම තැන මූ ගිහිල්ල දැම්මලු බයිසිකලේ ගැරජ් එකකට. බාසුත් දවසක් දෙකක් මේක ටෙස්ට් කරල කිව්වලු එහෙම ප්‍රශ්නයක්නම් පේන්න නැහැ කියල. මූ පදින්න පටන් ගත්ත විතරලු ෆුල් ටෑන්ක් එක වැඩිම දවස් දෙකයිලු. ඉතින් ඔන්න ලෙඩේ හොය ගන්න හිතල දවසක් බාසුත් නැග්ගලු බයිසිකලේ පිටිපස්සට. දැන් අපේ කෑන්ස් බයිසිකලේ පදිනවා. ටික වෙලාවක් යනකොට බාස්ටත් තේරුනාලු බයිසිකලේ අදින්නෙ නෑ වගේ කියල. ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට තමයි ලෙඩේ අහුවෙලා තියෙන්නෙ. බලනකොට කෑන්ස්ගෙ කන් දෙකට හුලං බදනවා, අර පිටිපස්සෙ පැරෂූට් එකක් එල්ලපු ජෙට් එකක් වගේ. ඉතින් වැඩිපුර පැට්‍රල් පිච්චෙන්නෙත් ඒකම තමා.

මතකනෙ ලංකාවට ඉස්සෙල්ලම ටෙලිවිෂන් ආපු කාලේ. 1979 තමයි ඒ. පටන් ගන්නකොට තිබුනේ අයි.ටී.එන් එක විතරයි. පස්සෙ රූපවාහිනිය පටන් ගත්ත 1982 දිහාවෙ. ඒ කාලෙ මේ චැනල් එකක් හරියට පැහැදිලව අල්ලනව කියන්නෙ නිකන් ෆුල් ගේමක් දෙන්න ඕන වැඩක්. ඇන්ටනා එක දාන්න ඔනේ පිදුරු තලාගලටත් ටිකක් උඩින්. මට මතකයි අපේ ගෙදර ඇන්ටෙනා එක දාල තිබුනෙ වත්තෙ තිබිච්ච උසම කොස් ගහේ කරටියේ තවත් මීටර් 50 ක විතර යකඩ බම්බුවක් හයි කරලයි. හැබැයි ඔය කාලේ අපේ උපුලයට හරි ඩිමාන්ඩ් ටී වී තිබිච්ච ගෙවල් වලින්. ඈත ගම්වලින් හිටන් වාහන එවල මූව එක්කගෙන යනවා. ඉස්සර මාසෙකට සැරයක්ද කොහෙද සිංහල ෆිල්ම් එකක් පෙන්නුවා. එක තියෙන දවස්වලට මූට හරිම ඩිමාන්ඩ්. ඉතින් මූත් හොඳ ගානක් හොයා ගත්ත මේකෙන්. ඌ ටී වී එක ලඟට ගියත් ඇති චැනල් එක ෆුල් ක්‍රිස්ටල් ක්ලියර් වෙනවා. මොකද මූගේ කන් දෙකට ඩෝං ගාල සිග්නල් අහු වෙනවා. වෙන ඇන්ටනා මුකුත් ඕනේ නෑ.

මතකනේ ලංකාවට ඉස්සෙල්ලාම මොබයිල් ෆෝන් ආපු කාලේ. අර සෙල්ටෙල් කියල තිබුනෙ ? ඒ කාලේ මූ වැඩ කලේ සෙල්ටෙල් එකේ තමා පාට් ටයිම්. අළුතෙන් ටවර් එකක් හයි කරල ඩිෂ් එක නැවෙන් එන තුරු මූව කණුවට නග්ගල තියෙනවා. කන් දෙකෙන් තමයි බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.

අනික කෑන්ස් ජීවිතේට පින්නවලට හරි දෙහිවල සත්තු වත්තට හරි ගිහින් නැහැ. ඌ බයයි ගියොත් ආපහු එන්න ලැබෙන එකක් නැහැ කියල. මොකද පැනල යන අලියෙක් කියල මූව බැඳල දායිලු. ඔෆිස් එකෙත් ගොඩක් වෙලාවට මූ ඉන්නේ පාවි පාවි. මොකද ඒ.සී එක වැඩි කරපු ගමන් හුළං පාර කනේ වැදිල මූව සරුංගලයක් වගේ උඩ යනවා.

හොඳම සීන් එක උනේ මූට පීනන්න උගන්නන්න ගිහිල්ල. පීනනකොට අත් දෙක ඔළුවට උඩින් කරකවල ඉස්සරහට ගන්න ඕනෙනෙ. ඕක හරියට කරන්නෙ අතේ උරහිස හරිය කනේ ගෑවෙන්න අරගන්න කියල තමයි කියන්නෙ. මූට කොච්චර කිව්වත් මේක හරියට වෙන්නෙ නැහැ. මොකද මූ අත පොඩ්ඩක් උස්සපු ගමන්ම කනේ වදිනවා. ඉතින් මූ අත් දෙක ගහන්නෙ අර කාක්කෙක් පියාඹනව වගේ. ජීවිතේට පීනන්න බෑ.



උපුලගේ පොඩි එකා හම්බවෙච්ච වෙලාවෙදි තමයි මූ ෆුල් සැටෙන් හිටියේ. මූ පොඩි එකාව බලල ඇවිල්ල කියනව, "හරි මචං කිසිම සැකයක් නෑ, මූ නම් මගේ එකෙක් කියල". මොකද උගේ කන්දෙකට වඩා පොඩි එකාගේ කන්දෙක ලොකුයිලු.

එය මෙසේ සිදුවිය

Posted by දුමී



පෙර වදන : 2008 සැප්තැම්බර් 15 වන දින මුළු ලොවම මහා ආර්ථික ආඝාධයකට ඇද දැමීමේ පළමු පියවර තබමින් ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් හී තම ව්‍යාපාර කටයුතු කරමින් සිටි "ලීමන් සහෝදරයෝ" ආයතනය ඩොලර් බිලියන ගණනක පාඩු ලැබීම හේතුවෙන් තමන් බංකොලොත් භාවයට පත් වූ බැව් ප්‍රකාශ කලේය. එකට ඇමුනූ පබළු වැලක් මුල් පුරුක ගැලවීයාමෙන් විසිරී ඇදවැටෙන අයුරින්ම ඒ සමගම අති දවැන්ත මූල්‍ය ආයතන එකා පසු පස එකා ඇද වැටී ඉතිහාසයේ විශාලතම ආර්ථික අවපාතයට මූලික අඩිතාලම දැමීය.

දිනය : සැප්තැම්බර් 18, 2008
ස්ථානය : ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් හී අති සුපෝඛභොගී කාර්යාල සංකීණයක රැස්වීම් ශාලාවකි. එහි වූ විශාල වට රවුම් මේසයේ පුටු වලට බරදී සිටිනුයේ ඇමරිකාවේ පළමු ගණයේ ආර්ථික විශේෂඥයන් මෙන්ම ෆෙඩරල් ආණ්ඩුවේ නීති සකසන්නන් සමූහයකි. එක ලඟ පැනවු අසුන්වලට වී උනුනුන් සමග කසු කුසුවකට මුල පුරා සිටි දෙදෙනෙකි. එයින් එක් අයෙකු වන්නේ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් 'හෙන්රි පෝල්සන්' ය. අනෙකා ඇමෙරිකාවේ ෆෙඩරල් සංචිතයේ සභාපති 'බෙන් බර්නාන්කෙ' ය. ඔවුන්ගේ නළලත විවිද රටා මවමින් නැගෙන රැළි සහ මුහුණුවල රැඳුනු සිහින් දහඩිය මොනවට කියා පානුයේ ඔවුන් යෙදෙන සංවාදයේ බරපතල භාවයයි.

රැස්වීම පටන්ගත යුතු වේලාව එළඹෙමින් තිබේ. බර්නාන්කෙ නැගී සිට සභාව ඉදිරියට පැමිනෙන්නේ මුහුණේ වූ බැරෑරුම් බව වඩ වඩාත් උත්සන්න වෙමින් තිබියදීය. කෙලවරක රැඳුනු විශාල පැතළි රූපවාහිනී තිරයේ දිස්වනුයේ නොයෙකුත් ප්‍රස්ථාර හා සංඛ්‍යා ලේඛණයි.

"මහත්වරුනි, සුභ උදෑසනක් වේවා ඔබ සැමට !"

"තවමත් මට ඔබ වෙත සුභ උදෑසනක් වේවා කියා පැවසීමට පුළුවන්කම තිබුනත්, හෙට උදෑසන එසේ පැවසීමට පුළුවන් වේදැයි මට සැක සහිතයි"

"මහත්වරුණි, ඔබ සැම දන්නා පරිදි අපගේ සියළුම මූල්‍ය ආයතන අවදානමකට ලක්කරමින් ලීමන් සහෝදරයෝ ආයතනය මීට දින තුනකට උඩදී තම මූල්‍යමය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කලා. ඔබ සැම දන්නා පරිදි මේ මූල්‍ය ආයතන සියල්ලම පාහේ තම ප්‍රාග්ධන ආයෝජන වලින් වැඩිම ප්‍රතිශතයක් ක්‍රියාවට නැංවූවේ ලීමන් සහෝදරයෝ ආයතනය හරහා තමයි . . . . . දැන් ඔවුන් සියල්ල විශාල අර්බුදයකට ලක්වෙලා . . "

"මේ ආයතන බේරා ගැනීම සඳහා අපගේ අතිරික්තයන්ගෙන් ඩොලර් බිලියන 700 ක මුදලක් ඉතා හදීසි අවශ්‍යතාවයක් සේ සලකා මුදා හල යුතුයි . . . ."

"අපි මෙය සිදු නොකාලොත් ලබන සඳුදා වනවිට අපට ආරිථිකයක් ඉතුරු නොවේවි . . . "

සභාව තුලින් මතු වනුයේ විශාල ඝෝෂාවකි.

"මේ අර්බුදයට කවුද වගකිව යුත්තෙ ?" නැගී සිටි නීති විශාරදයෙක් තම ප්‍රශ්නය ඉදිරිපත් කලේය.

"මහත්වරුනි, ඒක පිලිතුරුදීමට ඉතාම පහසු ප්‍රශ්ණයක්. කෙලින්ම හෝ වක්‍රව අපි සියළුම දෙනා ආර්ථික විශෙෂඥ්ඥයන් වශයෙන් මෙයට වග කිව යුතුයි"

යලිත් සභාව තුලින් මහා ඝෝෂාවකි.

"එහම කොහොමද වෙන්නෙ. අපගේ උපදෙස් හරි ආකාරව පිලි ගත්තානම් එසේ සිදු නොවිය යුතුයි . . . . " තවෙකෙක් නැගී සිට ඉතා ආවේග ශීලිව පවසයි.

"ආයෝජනය කරන ප්‍රාග්ධනය සඳහා ඉතා හොඳ සහ වැඩිම ප්‍රතිලාභ ලැබන විදිහට යෙදවිය යුතුයි කියා තමයි අපි ඔවුනට උපදෙස් දුන්නේ. ඔබ සියල්ල ඊට එකඟ වෙනවා ඇති . . . . "

"මහත්වරුණි, එය සිදුවූයේත් එසේමයි. ඔවුන් ආයෝජනය කල මුදුලට ඉතාම හොඳින් ප්‍රතිලාභ ලැබුනා . . . ඒත් දැන් එය එසේ නොවෙයි . . . ප්‍රශ්නය ඇත්තෙ එතනයි . . . ."

"කොහොමද එහෙම වෙන්නෙ ? ඇයි දැන් ඒ ප්‍රථිලාභ නොලැබෙන්නෙ ? කොහෙද ඔවුන් තම මුදල් ආයෝජනය කලේ ?"

මෙපමණ වෙලාවක් නිශ්ෂබ්දව සිටියෙක් තම ප්‍රශ්නය මුදා හලේය.

හෙන්රි පෝල්සන් සහ බෙන් බර්නාන්කෙ මුහුණට මුහුණ බැලීය. ඉන්පසු කට හඬ අවදි කරණුයේ හෙන්රි පෝල්සන්ය.

"මහත්වරුණි, මම මේ පවසන්නට යන දේ මේ රැස්වීමේ ශාලාවෙන් පිට නොවිය යුතුයි. ඒ සියල්ල තම දිවි පරදුවට තබා හෝ රහසක් වශයෙන් රැක ගන්නවා කියා ඔබ සියල්ල එකඟ විය යුතුයි. මේ කිසිම දෙයක් මාධ්‍ය තුලට නොයා යුතුයි. එසේ උවහොත් අප රටක් වශයෙන් ඉතිහාසයේ ලබන විශාලතම නින්දාව එය වනු ඇති."

නැවතත් සභාවේ කසු කුසුවකි.

"හොඳයි අපි පොරොන්දු වෙන්නම් මෙය රහසක් වශයෙන් තබා ගැනීමට. අපිට සියල්ල පවසන්න. කොහේද මේ ප්‍රාග්ධනය ආයෝජනය කලේ ? " තවෙකෙක් නැගිට ප්‍රකාශ කලේය.

හෙන්රි පෝල්සන් කටහඬ අවදි කරමින්, "මහත්වරුනි මුළු ලෝකයෙන්ම වැඩිම ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් අපි කලා."

"ඔව්, ඉතින් ඒ කොහෙද ?" නැවතත් ප්‍රශ්නයකි.

"ශ්‍රී ලංකාවෙ . . . . . . . . . අපි ඒ මුදල් ආයෝජනය කලේ ශ්‍රී ලංකාවෙ සක්විති රණසිංහ ලඟ . . . . . "

"ඌ, පහුගිය සැප්තැම්බර් 9 වෙනිදා ඔක්කොම සල්ලිත් අරන් පැනල ගිහිල්ලා . . . . . "










පසු වදන : සක්විති රණසිංහ පැදුරටත් නොකිය චෙන්නායි නගරයට පැන ගියේ 2008, සැප්තැම්බර් 9 වන දිනයි. ලීමන් සහෝදරයෝ බංකොලොත් බව ප්‍රකාශ කලේ සහ අර්බුදය පටන් ගත්තේ 2008, සැප්තැම්බර් 15 වන දිනයි.

ඔය ගොල්ලො වලත්තද ?

Posted by දුමී





මගේ කලින් පෝස්ට් දෙකම ඒ කියන්නෙ 'දෙවනි මනමාලි' සහ 'ඔය ඉන්නෙ කබරයෙක්' මගුල් ගෙවල් සම්භන්ධයෙන් මම ලබපු හරිම රසවත් අත්දැකීම්. ඔය ටික ලියාගෙන යනකොට තවත් රසවත් සිද්ධියක් මතක් උනා මම බෑන්ඩ් එකට සම්භන්ධ වෙලා හිටපු කාලේ සිද්ද වෙච්ච.

මේ වෙඩින්ග් එකත් තිබුනෙ මාතරට ටිකක් එහා පලාතක හරිම පිටිසර ඒ වගේම හරිම ලස්සන ගම්මානයක් ඒක. කසාද බැන්දෙ අපේ බැන්ඩ් එකේ හිටපු එකෙක්ගේ යාලුවෙක්.

පොර අවුරුදු ගානක් ඉතාලියෙ ඉඳල ඇවිල්ල ඕං හා හාපුර කියල කසාද බඳිනවා. ඒ ගොල්ලො ඔය ගමේ යමක් කමක් තියෙන, වතු පිටි, හරක බාන තියෙන ගොවි කමෙන් ජීවත් වෙච්ච පවුලක්. ඔය ගම්මානවල මගුල් තුලා කටයුතු තියෙන කොට උත්සවය එක වරුවෙන් ඉවර වෙන්නෙ නැහැ. මොකද මුළු ගමටම කියල තමයි ඒ ගොල්ලො මගුල් කන්නෙ. ඉතින් උදෙන්ම කිරි බත් මේසයක් ඇරල පටන් ගන්න මගුල් ගෙදර දවස් දෙක තුනක් යනකන්ම ලොකු ලොකු හැලි වල මාළු බත් පිණි ඉවෙනවා හරිම රසට. කෑම ගැනනං කියල වැඩක් නෑ. ඒවගෙ කටට රහට මගුල් ගෙදරකදි කෑවමයි. ගමේ කුඹුරුවල අළුත් හාලේ රතු බතුයි, ගමේ හැදිච්ච එළවළු මාළු පිණි, හප්පා, ඒක මතක් වෙනකොටත් කටට කෙලත් එනවා. ඔය අපේ කොලඹ මගුල් ගෙවල් වගේ බුෆේ කියන නාමයක් අහලාවත් නෑ ඒ ගම්වල මිනිස්සු. මගුල් කෑම දෙන්නෙ වෙනම හදපු මඩුවක. මේසෙ මේ කොනේ ඉඳන් එහා කොන පේන්නෙ නැති තරමට දිගයි. එක පාරකට සීයකට විතර ඉඳගෙන කෑම කන්න පුලුවන්.

තව ඉතින් අනිත් පැත්තෙන් සීල් අරක්කු වගේම ගමේ ගහෙන් බාපු තෙලිජ්ජෙනුත් කට්ටියට හොඳට සංග්‍රහ කලා වගේ තමයි මට මතක.

පෝරුවෙ චාරිත්‍ර තියෙන දවසෙත් උදේ, දවල්, රෑ තුන් වේලටම ගමේ මිනිස්සු එනව කට්ටි වශයෙන්. මේක ඉතින් අපිටත් හරිම අපූරු අත්දැකීමක්. වෙහස කාරි උනත් අපිත් හරි ආසාවෙන් ප්ලේ කරපු වෙඩින්ග් එකක් ඒක. පෝරුවේ චාරිත්‍ර වලින් පස්සෙ තමයි අපේ පලවෙනි සෙෂන් එක පටන් ගන්නෙ. ඊට පස්සෙ දවල් කැමෙන් බීමෙන් පස්සෙ කට්ටිය සෙට් වෙනව පොඩ්ඩක් එහාට මෙහාට කැරකිල නටන්න කරන්න කාරිය එහෙම. සාමාන්‍යයෙන් වෙඩින්ග් එකකදි පැය 4 ක් වගෙ තමයි අපිට ප්ලේ කරන්න වෙන්නෙ. ඒත් මේකෙදි අපිට මුළු දවසම ප්ලේ කරන්න උනා. දවල් කෑමෙන් පස්සෙ චරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ඉටු කරල මනාල යුවල පිටත්ව ගියාට පස්සෙත් මගුල් ගෙදර ඉවරයක් නැහැ. තව තව ගමේ කට්ටිය එනව කාල බීල යන්න. ඉතින් අපිටත් සෙෂන්ස් දෙක තුනක්ම ප්ලේ කරන්න උනා. උදේ පටන් ගත්ත වැඩේ නැවතුනෙත් බොහෝම රෑ වෙලා තමයි.

මේ සිද්ධිය වෙනකොට ඔන්න ඉතින් අපේ කට්ටිය දවල් සෙෂන් එක ඉවර කරල කෑමට කලින් පොඩි එකකට සෙට් වෙලා තමයි ඒ වෙනකොට හිටියෙ. ඒ කියන්නෙ පොඩ්ඩක් සප්පායම් වෙමින්. හැමෝම වගේ දන්නවනෙ, මීවිතයි ගී පොතයි අතර තියෙන්නෙ හරිම හෘදයාංගම සම්භන්ධතාවයක්නෙ.අපරාදෙ කියන්න බැහැ මගුල් ගෙදර ඈයොත් අපිට මහ ඉහලින් සැලකුවා. කොලඹ ඉඳන් ආපු සංගීත කණ්ඩයමක් කියල ඉතින් අපිට ගමේ ඈයන්ගෙනුත් රජ සැලකිළි.

කොහොමත් ඔය තැන් තැන්වල ප්ලේ කරනකොට අපේ කණ්ඩායමේ අයට ගෑණු ළමයි බැල්ම හෙලන එක නවත්තගන්නත් බෑනේ. ගොඩක්ම ඉතින් ඔය වගෙ දේවල් සෙට් වෙන්නෙ ගොඩක්ම සිංදු කියන අයට තමයි. ඒවා ඉතින් ගොඩක් වෙලාවට වෙඩ්ඩින්ග් එක වෙලාවෙ වදින මල් හී සර පාරවල් දෙක තුනකට සීමා වෙනවා. එහෙමත් එකක් දෙකක් තමයි දිග දුර යන්නෙ. ඒත් වැඩිම මාසයක් දෙකක් වගේ තමයි. ඔන්න මම නම් බැන්ඩ් එකේ සිංදු කියුවෙ නැහැ. මම කී බෝඩ් ප්ලේ කලා විතරයි. ඉතින් ඔය තැන්වලදි ඇහැට කණට පේන ගෑණු ළමයෙක් දෙන්නෙක් දැක්කම අපේ එවුනුත් ඉතින් අරින්නෙ නෑ. පොඩ්ඩක් නග්ගල තියල ගන්නවා. ඔන්න එදත් මේ මගුල් ගෙදර ගැවසුනා ඇහැට කනට පේන ගමේ ගොඩේ නගාල කිහිප දෙනෙක්ම. අපේ එවුනුත් පුරුද්දට වගේ එහෙන් මෙගෙන් වදින මල් හී සර පහරවල් ග්‍රහණය කරමින් තමයි හිටියෙ.

මම කිව්වනේ ඒ වෙනකොට අපි මිදුලේ කොනක හීනියට සෙට් වෙලා හිටියෙ කියලා. ඔන්න එක පාරටම අර මම කියුව ගෑණු ළමයි දෙතුන් දෙනෙක් අපි ඉන්න දිහාවට හෙමිහිට ඇවිදගෙන ආවා. අපි ඉන්න තැනට ආපු ඒ කට්ටියෙන් එක්කෙනෙක්,

"අයියේ . . . ඔය ගොල්ලො වලත්තද ?" කියල අහපි.

අප්පට සිරි, මේ මොකක්ද බොලේ මේ කඩං පාත් උන ගිණි ගෙඩිය කියල අපි දැන් එක එකාගෙ මූන බලනව. හැමෝගෙම උගුර හිර වෙලා වගේ . වචන පිට වෙන්නෙත් නැහැ. ටික වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු ඒ ගොල්ලො අපි මුකුත් කියන්නෙ නැති හින්ද ආපහු හැරිල යන්න ගියා.

ඔන්න ඉතින් අපි දැන් තාම තක්කු මුක්කු වෙලා වගේ. මෙච්චර වෙලා හීනියට දැනිච්ච වැදිච්ච කරන්ට් එකත් කොහේ ගියාද දන්නෙ නැහැ. ඔන්න ඉතින් අපි අපේ ලොකුම ‘මල් කුමාරයට’ දෝස් මුරේ දානව දැන්. උඹ හින්ද තමයි බං අපිටත් මේ වගේ කතා අහන්න වෙන්නෙ කියල අපි දැන් ඌට අම්බානෙකට බනිනවා.

"මචං මගේ මූනෙන් වලත්තයි කියල පේනවද ?" ඌත් අහනව . . .

"යකෝ උඹ විතරක් නෙවෙයි, උඹ හින්ද අපි ඔක්කොම වලත්තයි කියල තමයි උන් හිතාගෙන ඉන්නෙ . . " කියල අපේ තව එකෙක් ඌට බනිනවා.

"ටිකක් වලත්තයි තමයි. ඒත් ඕක එක එකාගෙන් ප්‍රසිද්ධියේ අහගන්න ඕනෙද ?" ඌත් අහනව.

ඔන්න තව ටික වෙලාවකට පස්සෙ උන් සෙට් එක ආපහු අපි ඉන්න දිහාවට එනවා තව කොල්ලෙකුත් එක්ක. අපේ දැන් ඇඟට හීන් දාඩියත් දාල. අපි දැන් හිතුවෙ අපි ගැන කියල කොල්ලෙක්ව එක්කං එනවා තමයි කියල ගේමට.

ආපහු අපි කිට්ටුවට ආපු ඒ ගොල්ලන්ගෙන් වෙන කෙල්ලෙක්,

"අයියල වලත්තෙයි ?" කියල ඔය දකුණෙ භාෂාවෙන්ම ඇහුවා .....

"ඇ . . ඇ. . ඇයි නංගි එහෙම අහන්නෙ ?" අපේ බෑන්ඩ් එකේ උන්නු වැඩිමල්ම එකා ඇහුවා.ඌටත් වචන ටැපලෙනවා

“ඔහෙලා වලත්තෙ මේ අයියලාගේ ගෙදර වෙඩින්ග් එකක් ගැහුවා කියල මේ අයිය කියනවා.”

හුටා . . . බලාගෙන යනකොට 'වලත්ත' කියන්නෙ ඒ පැත්තෙ තියෙන පොඩි ගමක නමක්.

අපේ දාඩිය හිඳිල ගිහිල්ල හිනා වෙලා මැරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . . .

කෙල්ලො සෙට් එකත් මුන්ට මොකක්ද මේ උනේ කියල ටික වෙලාවක් බලාගෙන ඉඳල ආපහු හැරිල යන්න ගියා.

Related Posts with Thumbnails